ආචාර්ය අදිකාරම් සිතිවිලි සොයා යන ගමනක්
ඒ ශනිදා උදෑසන ගඟුල් සිය සොයුරු විපුල, රේණු සහ මිහිදිනී සමග ගියේ සහන් ආචාර්යවරයාගේ නිවහනට යි. ඒ කලින් යොදා ගත් පරිදි මෙරට ජීවත් ව සිටි සුවිශිෂ්ට චින්තකයකු මෙන් ම සුකීර්තිමත් අධ්‍යාපනඥයකු වන ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන්ගේ ජිවන සහ අධ්‍යාපන දර්ශනය ගැන සාකච්ඡා කිරීමට ය. ගෙමිදුල රිය නවතන හඬ අසා සහන් එලියට පැමිණියේ පසන් සිනා වතින් යුතු ව ය.
“එන්ඩ ඔක්කොම. අද ඔයගොල්ලන් ව පිළිගන්න ඉන්නෙ මායි මේ පූස් පැංචයි තමයි. ගෙදර ගොල්ලන්ට ගඟුල් හදිසියෙ තිස්ස යන්න වුණා නෑ මළ ගෙදරක් වෙලා.”
“සර් අද එන්ඩ සැලසුම් කරන් හිටියෙ විපුල් අය්යයි මිහිදිනි යි මම යි. හදිසි වැඩකට අධ්‍යාපන අමාත්‍යංශෙට ඇවිත් යන්න ආපු අපේ මේ රේණු අක්කා සර්ලගෙ ගෙදරයි යන්නෙ අදිකාරම්තුමා ගැන කරුණු කතා කරන්න කිව්වහම එයාටත් මෙහෙ එන්ඩ ඕනෙමයි කිව්වා.”
“ඉතින් කොච්චර හොඳද එතුමිය ආපු එක. මන් අහලා තියෙනවනෙ මේ විදුහල්පතිතුමිය ගැන. මට ගොඩක් විස්තර කියලා තියෙනවා ඔයා ගැන අපේ ගඟුල්. විපුල් ඉතින් කොහොමටත් මගෙත් සෑහෙන කාලෙක ඉඳලා දන්න යාළුවෙක්නෙ. ඉතින් මිහිදිනිත් දැන් ගඟුල් වගෙම මගෙ ශිෂ්‍යයෙක්නෙ. යන් යන් ගෙට අපි ඉඳගෙන ම කතා කරමු.”
ඒ නිවහනේ තැනින් තැන තිබුණේ සමන් සිත්තරාගේ සිත්තම් ය. ඒවා ගඟුල්ට ද විශේෂයෙන් විපුල්ට ද ආගන්තුක ඒවා නොවේ. මිහිදිනී මෙහි ආ ප්‍රථම දිනයේ කෙළේ එසිත්තම් විඳීම ය. අද දවසේ රේණු විසින් පළමු කොට කරන ලද්දේ එය යි. සංග්‍රහපූර්වක විරාමයකින් පසු ය, තත් සංකථනය ඇරඹුණේ.
“හොඳයි අද ආපු පළවෙනි දවසෙම අපේ සංග්‍රහ කටයුතු සංවිධානය කරන්න උනේ අපේ මේ විදුහල්පතිතුමියටනෙ. බැලුවහම එයානෙ දුවලා පැනලා අපි ඔක්කොම ගැන බලන්නෙ.”
“සර් නාගොල්ලාගමට ආවේණික ප්‍රසිද්ධ ප්‍රකාශයක් තියෙනවා සංග්‍රහ කොතන ද රේණු එතන. රේණු කොතන ද සංග්‍රහ එතන කියලා. ඒ තමයි සර් අපේ රේණු අක්කගෙ හැටි. එයා දැන් ලෑස්ති යි අපේ සාකච්ඡාව කෙරෙන අතරෙ කුස්සියට ගිහින් උයන්නත්.”
“නෑ රේණු, ඔයා ආවෙත් අදිකාරම්තුමා ගැන කතා කරන දේවල් අහන උනන්දුවෙන්නෙ. විදුහල්පති භූමිකාව වගෙම ගුරු භූමිකාව කියන්නෙ මොකක් ද කියන එක තමන්ගෙ ජීවිතෙන් ම ඔප්පු කරපු කෝට්ටෙ ආනන්ද ශාස්ත්‍රාලෙ විදුහල්පති හැටියට ඉඳගෙන තමන්ගෙ අධ්‍යාපන දර්ශනේ ක්‍රියාත්මක කරපු එතුමා කරපු කියපු දේවල් විදුහල්පතිනියක් වෙන ඔයාටත් වැදගත්. අනිත් එක ගඟුල්ලගෙ මැඩම් ගියේ නංගිත් එක්ක අද උදේ කෑමට අපි ඔක්කොටම අවශ්‍ය දේවල් ලෑස්ති කරලා. ඒ වගෙම අපේ කටයුතුවලට උදව් කරන මිතුරියක් ඉන්නවා. ඒ රාණි. එයා තව පොඩ්ඩෙන් එනවා අපට දවල් කෑම ටික හදලා දීලා යන්න. ඒක නිසා ගැටලුවක් නැතුව අපි මේ වැඩේ කරගෙන යමු. හරි ගඟුල් ඔයාම යෝජනා කරන්න අපි කොතනින් ද පටන්ගන්නෙ කියලා.”
“සර් අදිකාරම් පදනමයි අනුලා පාලක මණ්ඩලයයි මේ ළඟදි ඒකාබද්ධ ව තිබ්බ රැස්වීමෙදි තීරණයක් අරන් තියෙනවනෙ දීපව්‍යාප්ත ව අදිකාරම්තුමා ගැන දේශන මාලාවක් කරන්න.”
“ඔව් ඉතින් ඒක මම දන්නවනෙ ගඟුල්.”
“ඉතින් සර් ඒ දේශන දෙකක් කරන්න මාවත් දාලනෙ සර්ලත් ඉන්දැද්දි.”
“ඔව් ඉතින් ඒකත් මම දන්නවනෙ ගඟුල්. අනිත් එක් අපි ඒ සංවිධානය කරන දේශනමාලාවෙ ඇල්පිටියෙ ආනන්ද විද්‍යාලෙයි මතුගම ආනන්ද ශාස්ත්‍රාලෙයි දේශන දෙක කරන්න මයි ඔයාගෙ නම යෝජනා උනේ.”
“ඇයි සර් ඒ තරන් ලොකු වැඩකට මාව දැම්මෙ.”
“ඔයා අපිට ලොකු මිනිහෙක් නිසා. හැබැයි මමනං නෙමෙයි ඔයාගෙ නම යෝජනා කළේ. ඇල්පිටියෙ ආනන්දෙට අපේ ගඟුල් යවමු කියලා ප්‍රණීත් සර් කිව්වහම ආනන්ද ශාස්ත්‍රාලෙ දේශනේ කරන්නත් හොඳ ගඟුල් කියලා කිව්වෙ මොරටුවෙ නලින් සර්. හැබැයි දෙකම ඉතින් ස්ථිර කළේ නං මන් තමයි.”
“අප්පට සිරි මෙයාට ගිය කල. ප්‍රොපෙසර්ලා දෙන්නෙක්ගෙන් නාම යෝජනාව ලැබිලා තව ප්‍රොපෙසර් කෙනෙක් ඒවා ස්ථිරත් කරනවා.”
“රේණු අක්කෙ ඔයාට ඉරිසියයි ද?”
“අනේ නෑ මල්ලි මට කොච්චර සතුටු ද ඒකට. උඹ නැතුව කොච්චර පාළු ද අපට. මට ඉතින් බොරුවට රණ්ඩුවක් කරන්න හිටියෙත් උඹලා දෙන්නනෙ.”
රේණු ගඟුල්ට එසේ පැවසුවේ මිහිදිනී දෙස ද බලමිනි.
“අපි දන්නවා අක්කෙ. ඉරිසියාව කියන දේ ඔයාගෙ ජීවිතේ කිසි තැනක වත් ගෑවිලවත් තියෙන දෙයක් නෙමෙයි. ඒක අපි හොඳටම දන්නවා.”
“මල්ලි සුදුසු නිසානෙ මහාචාර්යවරුම තුන්දෙනෙක්ගෙන් ඔයාගෙ නම අනුමත වෙන්නෙ. ඒක නිසා මේක අභියෝගයක් විදිහට සලකලා මේ වැඩේ කරන්න. මන් දන්න නාගොල්ලාගම ඉස්කොලෙ උගන්නපු ගඟුල් කියන්නෙ නම් එහෙම කෙනෙකුට.”
“නෑ රේණු අක්කෙ මන් කියන්නෙ අදිකාරම්තුමා ගැන ගොඩක් ජීවිත අද්දැකීම් තියෙන්නෙ සර්ලට නිසයි. දැන් මේ දවස්වලත් අපේ සර් අදිකාරම්තුමා නැවත කියවමු කියලා පොතක් ලියා ගෙන යනවා. එහෙනං ඉතින් ඒකෙන්වත් මට තව කරුණු ටිකක් කියලා දෙන්න වෙයි සර්ට ම.”
“අනේ මන් ඒක බොහොම සතුටින් කරන්නම්. ඒකෙ මුද්‍රණයට සූදානම් කරපු පොත තමයි දැනුත් මේ මගෙ අතේ තියෙන්නෙ.”
“කොහොම ද සර් අදිකාරම් චින්තනය සර්ගෙ ජීවිතේට සමීප වෙන්නෙ.”
ඒ ප්‍රශ්න ප්‍රදායිකාව වූයේ රේණු විදුහල්පතිනිය යි.
“මන් අදිකාරම්තුමාගෙ සිතිවිලි ලිපි කියවන්න පටන් ගත්තෙ උසස් පෙළ ඉගෙන ගන්න කාලෙ ඉඳලා. එතුමා අපගේ ජීවිතයට ගොඩක් සමීප වෙන්නේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ව ඉන්න කාලෙදි. ඊට පස්සෙ එතුමා ගැන විවිධ මාතෘකා යටතෙ ලිපි කීපයක් ම ලිව්වා. විශේෂයෙන් ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන කාලෙ.”
“සර්ට මතක් කරන්න පුළුවන් ද මේ මොහොතෙ එතුමාගෙ වඩාත් අමතක නොවෙන ප්‍රකාශයක්.”
“අදිකාරම්තුමාගෙ ප්‍රකාශ කියන්නෙම අමතක නොවෙන ඒවා තමයි ගඟුල්. ඒ උනාට මන් භාෂා අධ්‍යයනාංශෙ අංශප්‍රධාන පුටුවෙ ඉඳගත්ත දවසෙ වගෙම මගෙ කාලෙ අවසන් වෙලා නැගිටිචච් දවසෙත් මගේ හිතේ කෙටිලා තිබුණ එතුමගෙ එක ප්‍රකාශයක් තියෙනවා. මන් මොන තනතුරක හිටියත් වැඩ කළේ ඒක හිතේ තියාගෙන. දවසක් එතුමා කිව්වා මෙන්න මෙහෙම.”
“ගමන සිද්ධ වෙන්න නම් කොච්චර ලස්සන උනත් කරන්න දෙයක් නෑ, පුටුව අත හරින්න ම ඕනෙ.”
“ඒක සර් මටත් වැදගත්. දැන් මටත් විදුහල්පති පුටුව දකින හැම මොහොතක ම මතක් වේවි මේ ප්‍රකාශෙ.”
“හැබැයි රේණු අපි අදිකාරම්තුමාව වැරදි විදිහකට කියව ගන්නත් අවශ්‍ය නැහැ. එතුමා තනතුරු දරන්න එපා කිව්වෙ නැහැ. අද ඔයා ඉන්න විදුහල්පති පුටුවෙ ඉඳගෙන තමයි එතුමා ගොඩක් වැඩ කළේ. හැබැයි පුටුවට ඇලිලා නෙමෙයි ඒකට ඇලෙන්නෙ නැතුව. අන්න ඒ පණිවිඩය තමයි අපි එතුමගෙ ජීවිතෙන් ගන්න ඕනෙ.”
“සර් දැන් කියපු දේ මම මගෙ ජීවිතේ ආදර්ශ පාඨෙ කරගන්නවා.”
“ආදර්ශ පාඨෙ කරගත්තට කමක් නෑ. හැබැයි දැන්ම ඔය පුටුවෙන් නැගිටින්න එහෙම නං හිතන්න එපා. ඔයා ඒකෙ ඉන්න ළමයින්ටත් හොඳයි ගුරුවරුන්ටත් හොඳයි නාගොල්ලාගම ගමටත් හොඳයි.”
“සර් මට දවසක් කිව්වා 2011 අවුරුද්දෙ දි අදිකාරම්තුමා ගැන ගොඩක් ලිපි ලිව්වා කියලා.”
“ඔව් ගඟුල් ඔයා හරි. ඒක මෙහෙමයි උනේ. මම ඒ අවුරුද්දෙ තමයි ත්‍රිපිටක මූලාශ්‍රය වාගෙම සිතිවිලි මූලාශ්‍රය වගෙම සංස්කෘත සාහිත්‍යය පාදක කරගෙන ගොඩක් ලිපි ලියන්න ගත්තෙ. එදා ඉඳලා මේ වෙනකන් මන් අභ්‍යාස පොත් 66ක ඒ කියන්නෙ අත් පිටපත් 66 ක මේ ලිපි ලියලා තියෙනවා. ඒකෙ අන්තිම ලිපියෙ අංකෙ 1541. සමහර වෙලාවට එක පොතක මගෙ අත් අකුරින් ලියපු ලිපි විස්සක් විසිපහක් හරි තිහක් හරි තියෙනවා. දිග ලිපි නං එක පොතක හතරක් පහක්. මේ දැන් මගෙ අතේ තියෙන්නෙ ලිපි ගණන වැඩි පොතක්. මේ මගෙ 16 වැනි අත් පිටප. උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙ තියෙන්නෙ 308 සිට 334 දක්වා ලිපි. ඒ කියන්නෙ මේ පොතේ ලිපි 27ක් තියෙනවා. ඒකෙ එක ලිපියක් ඇරුණහම අනික් ලිපි 26ටම උල්පත වෙන්නෙ අදිකාරම්තුමා.”
“සර්ට මතක් කරන්න පුළුවන් ද ඒ ලිපිවලින් කොටසක හරි මාතෘකා.”
“පුළුවන් මිහිදිනී, මන් මේ සමහර ලිපි ගැන ඒ දවස්වල අපේ විපුල් එක්කත් කතා කරල ාතියෙනවා. ඒ දවස්වල විපුල් මට ටිකක් දෝෂාරෝපණයකුත් තමයි කතා කළේ මේවා මුද්‍රණය කරන එක මොකද ප්‍රමාද කියලා. අර කියපු ලිපි අතරෙ මායාවෙන් මිදීම, ආචාර්ය අදිකාරම් දුටු විනාශයක පෙරනිමිති සහ අදිකාරම් සිහින, ලිංගික අධ්‍යාපනය පිළිබඳ අදිකාරම් මතය, ආදරයේ විකසිත වීම යන මාතෘකා යටතෙ ලියවෙච්ච ලිපි තියෙනවා.”
අනතුරුව තමා ලියන මේසය සමිපයේ ඇති පොත් අල්මාරිය විවෘත කොට ඉන් සිය අත් අකුරින් ලියන ලද අත් පිටපත් රැසක් එළියට ගත් සහන් යළි කතාවට අවතීර්ණ වූයේ ය.
“මේ බලන්න මේ මගෙ 533 ලිපිය. ඒක ලිව්වෙ ආචාර්ය අදිකාරම්තුමා තමක්ගෙ ජීවිතේ අන්තිමට සහභාගි වෙච්ච සෙනෙහස කියන ගුවන්විදුලි සාකච්ඡාව පදනම් කරගෙන.”
“සර් මම බැලුවට කමක් නැද්ද මේ පොත්.”
“ඉතින් මිහිදිනී, ඒකටනෙ ළමයො මං මේවා මෙතන ගෙනත් තිබ්බෙ. කොහොමත් ඔය තියෙන ඔක්කොම ඒවා මට ලිපි හැටියට හදන්න මගෙ මේ ජීවිත කාලෙ මදි කියලයි මට හිතෙන්නෙ. මේක ප්‍රවාහයක්. ඒ මානව ප්‍රවාහෙ සුවිශේෂ සන්ධිස්ථාන තුනකට තමයි අදිකාරම්තුමා, පලිහවඩන සර්, සමන් සිත්තරා කියලා කියන්නෙ. මම ඒ ප්‍රවාහෙ අංශුමාත්‍රයක් විතර යි. ඒ ප්‍රවාහෙ ඉස්සරහට අරගෙන යාමේ වගකීම තියෙන්නෙ ඔයගොල්ලන්ට. ඒ කියන්නෙ ගඟුල්ට මිහිදිනීට අපිට අලුතින් එකතු වෙච්ච රේණුට. විපුල්ලට අපිට පුළුවන් අපි ඉන්නකං ඒවට උදව් කරන්න.”
සහන් එසේ පිළිතුරු දුන්නේ මිහිදිනීට පමණක් නොව චතුර්ථ සහෘදය පර්ෂදය දෙස බලමිනි.
“සර්, මේ සරිත් - ගංගා ලිපිය ගොඩක් දිග එකක්නෙ. ඒකෙ පිටු සීයක් විතර තියෙනවනෙ.”
“ඒක හොඳයි මේ මිහිදිනී දුවගෙ අතටම ආපු එක. දුවේ මේ කතාව ගලා ගෙන යන්නෙත් සමන් සිත්තරා උල්පත කරගෙනයි. මේක පරිච්ඡේද ගණනාවක් ඔස්සේ දිවෙන නවකතාවකට හදපු කටු සටහනක්. මගෙ ගුරු දියවර නවකතාවේ මුල් ලකුණු තියෙන්නෙ මේකෙ. ඒත් මේ ගුරු දියවරත් නෙමෙයි ඒක නෙමෙයි කියන්නත් බැහැ. මේක ලියන වෙලාවෙත් මගෙ හිතට ආවෙ මේක විකාශනය කරගෙන තවත් නවකතාවක් ලියන්න පුළුවන් කියන එකයි. හැබැයි යම් විදිහකින් මේක මට ලියා ගන්නට බැරි උනොත් ඒක ඉෂ්ට කිරීමේ වගකීම මම දුවටයි දුව නිසා ලැබිච්ච පුතාටයි පවරලා තියෙනවා. ඒ දෙන්නට ඔය දෙන්නත් උදව් කරන්න.”
සහන් එවදන් පැවසුවේ ගඟුල් සහ මිහිදිනී දෙස බලමිනි.
“සර් මේ ඊළඟට තියෙන දිග ලිපිය ලියලා තියෙන්නෙත් අදිකාරම්තුමා ගැනනෙ.”
“මන් මේ ලිපිය ලිව්වෙ අදිකාරම්තුමන්ගේ ප්‍රකාශ, ඒ සෙවණේ දී ලද විවිධ අද්දැකීම් ඇසුරින්. ඔය ලිපියෙ තියෙන කරුණු මේ මෑතදි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් පදනමේ සහ අනුලා නීතිගත පාලක මණ්ඩලයේ ඒකාබද්ධ ප්‍රකාශනයක් වශයෙන් මුද්‍රණය කරපු සඳ ගමන නොව හද ගමන තෝරාගත් සුවිශිෂ්ට දාර්ශනිකයා - ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් කියන පොතට ඇතුළත් කළා.”
“සර් මට ඒ පොතක් දුන්නනෙ. මන් සර් ඒකෙනුත් කරුණු ගත්තට කමක් නැද්ද?”
“ඉතින් කාට හරි ප්‍රයෝජනයට ගන්නනෙ අපි ඕවා ලියලා තියන්නෙ.”
“එහෙනං සර්, ඔය සමහර පොත්වල ප්‍රකාශයක් හැටියට ගහල තියෙන්නෙ කර්තෘගෙ ලිඛිත අවසරයක් නැතුව කිසිම දෙයක් උපුටා ගන්න තහනම් කියලා.”
“සමහර දෙනෙක් අනික් පොත්වල එහෙම ප්‍රකාශයක් තියෙනවා දැකලා දැම්මට ඒ ගොඩක් දෙනා තමන්ගෙ පොත්වලින් වෙන අය කරුණු ගන්නවට අකමැති අය නෙමෙයි. කොහොම උනත් ඒක ඒ ඒ අයගෙ පුද්ගලික අදහසක්නෙ මිහිදිනී.”
“සර්ගෙ මේ ලිපිය ආදරණීය ලොවක් උදෙසා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා නැවත කියවීම කියලයි නම් කරලා තියෙන්නෙ. මේක ප්‍රශ්නෝත්තර ආකෘතියට නිර්මාංසික ජීවන ප්‍රතිපදාව ගැන ලියපු ලිපියක්. ගඟුල් මල්ලිට පුළුවන් මේ ලිපියෙනුත් ප්‍රයෝජන ගන්න. සර් දන්නවද සර්ගෙ මේ ගෝලයා දුන්නනෙ නාගොල්ලාගම ඉස්කෝලෙ දි සජීවි ආහාර පිළිවෙත කියලා අපිව කරකැවිලා යන විදිහෙ දේශනයක්.”
“මෙතෙන්දි සර් රේණු අක්කා වැදගත් ම දේ කිව්වෙ නැහැ. එදා ඉඳලා තමයි එයා මස් මාළු කන එක සම්පූර්ණයෙන් ම නැවැත්තුවෙ. වෙජිටේරිනිසම් ගැන ලියවෙච්ච ලිපි පොත්පත් වැඩ සටහන් හොය හොය ඒවා සමාජගත කරන්න ගත්තෙ.”
ඒ කතා කෙළේ මිහිදිනිය යි.
“ඒක හරි වටිනවා රේණු. විදුහල්පතිනියගෙ ගුරුවරයකුගේ අභ්‍යන්තරයෙ ඇති වෙන වෙනස කියන්නෙ සුළුපටු දෙයක් නෙමෙයි. විපුල් මේ ඔයගොල්ලන්ට අපිට ලැබිලා තියෙන්නෙ හොඳ කල්‍යාණ මිතුරියක්. ඒකෙ තේරුම රේණු කියන්නෙ අත ඇරෙන්න දෙන්න ඕන කෙනෙක් නෙමෙයි.”
“ඒකනං හරිම ඇත්තක් සර්. ඒක එහෙම නේද විපුල් අය්යෙ.”
මේ අවස්ථාවේ විපුල් කෙළේ එම ප්‍රකාශය කළ මිහිදිනී දෙසට හැරී තර්ජනාත්මක ව මුත් ආදරණීය ව සිය දබරැඟිල්ල එසවීම ය. ඒ දුටු සහන් සිනාසෙමින් කෙළේ පහත සඳහන් ප්‍රකාශය යි.
“මට විපුල් මේ වෙලාවෙ මතක් වෙන්නෙ සුනිල් සර් හේමන්තයේ දී කැසට් පටියට ලියලා තිබිච්ච අපේ නන්දා මාලනී නෝනා කියන ගීතයක්.”
“අනේ සර් මතක් කරන්නකො ඒක.”
“මට විපුල් මිහිදිනී දැක්කම මතක් වෙන්නෙ කාලිදාස කවියගෙ ශාකුන්තලේ ප්‍රියංවදා. හරි ප්‍රියංවදා ගීතය තමයි වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී.”
“බලන්ඩකො සර් ඒකෙත් හැටි. ඒ ගීතෙ හරිම ලස්සනයි නේද විපුල් අය්යෙ.”
“නංගි උඹ දැන් මගෙන් ගුටි කන්නයි ඔය හදන්නෙ.”
“විපුල් අය්යා ඔහොම කිව්වට මන් දන්නවනෙ ඔයා මට ගහන්නෙ නැහැ කියලා. හරි හරි රේණු අක්කෙ ඔයා මට රවන්නෙ නැතුව ඉන්නකො. ඔන්න ඒ කතාව දැන් ඉවරයි. දැන් අපි අපේ ගඟුල් සර්ට ඉඩ දෙමුකො අපේ සාකච්ඡාව ආපහු පටන් ගන්න.”
“උඹත් එකයි උඹෙ ගඟුල් සර්රුත් එකයි. මේ වැඩේ ඉවර වෙලා යමන්කො අපේ ගෙදර. හරි සර් අපි දැන් වැඩේ පටන් ගමුකො.”
“ගඟුල් මොකක් ද දැන් ඔයා කියන්න වගෙ හැදුවෙ.”
“අදිකාරම්තුමා ගැන ලියන අතරෙම සර් ක්‍රිෂ්ණමූර්තිතුමා ගැනත් ලියලා තියෙනවා. සර්ගෙ 1219 ලිපිය ක්‍රිෂ්ණමූර්ති දර්ශනාගත අධ්‍යාපන සංකල්ප 1221 ජේ. ක්‍රිෂ්ණමූර්තිගේ ජීවිතය හා දර්ශනය. 1225 ලියලා තියෙන්නෙත් ක්‍රිෂ්ණමූර්තිතුමා ගැන.”
“සහන් කිව්වා නේද ඉස්සරහට අදිකාරම් සිතිවිලි ශතකය කියලා උද්ධෘත පොතක් කරන්නත් හිතාගෙන ඉන්නවා කියලා.”
“ඔව් විපුල්, මට ඒ අදහස දුන්නෙ අපේ දුව. එයා කිව්වා තාත්තා අදිකාරම් සර්ගෙ සමාජෙ කාට උනත් එක පාරට දැනෙන කෝටේෂන්ස් සීයක් තෝරන්න. මන් ඒ සීය ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නම් කියලා. මන් හිතන්නෙ ඒ වැඩේට සුදුසු තවත් දුවලා දෙන්නෙක් මෙතනත් ඉන්නවා. අපේ දුවත් කැමති වෙයි මේ රේණු - මිහිදිනී දෙන්නත් ඒකට සම්බන්ධ වෙන එකට. අද ගෙදර හිටියනං මන් නෙමෙයි ඔයගොල්ලන්ගෙ හොඳම යාළුවො වෙන්නෙ. අපේ ළමයි දෙන්නා.”
“සර් දැන් මගෙ අතේ තියෙන්නෙ 15 වැනි අත්පිටපත. මේ 288 ලිපියෙ මාතෘකාව සිතිවිලි ග්‍රන්ථාවලිය ඔස්සේ ආචාර්ය අදිකාරම් සොයා යාම. ගඟුල් සර්, මේ ලිපියත් ඔයාට වැදගත් වෙයි ඔයාගෙ දේශන දෙක කරන්න. මේකෙදි සර් මෙහෙම ලියනවා සර් මන් ඒක කාටත් ඇහෙන්න කියවන්න ද?”
“කියවන්න කියවන්න, අපේ මෙතන ඉන්න අපේ මේ පුංචි පඬිවරියගෙ වචනෙට අපි ගරුකරන්න එපායැ නැද්ද රේණු.”
“සර් ඔච්චර මෙයාට නම්බු නාම දෙන්න එපා. එතකොට මට තමයි ඉස්සරහට මෙයාව ඉස්කොලෙ දි පාලනය කරන්න අමාරු වෙන්නෙ. හරි හරි ඔහොම අමුතු විදිහට මගෙ දිහා බලන්න ඕනෙ නැහැ. ඔන්න මාත් අවසර දෙනවා. දැන් ඕක කියවන්න ප්‍රියංවදා.”
“1905 මාර්තු 29 වැනි දින ජන්ම ලාභය ලද ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා 1985 දෙසැම්බර් 28 වැනි දින අභාවයට පත් විය. මේ වූකලී මිනිසෙක් එක් වසරක ඉපිද වසර 80ක් ජීවත් ව තවත් එක් වසරකදී මියයාම පිළිබඳ වන කරුණට ලඝු කළ හැකි දෙයක් නොවේ. ඒ ජීවත් වීම වූ කලී හුදු පුද්ගලයකුගේ ජිවත්වීමට වඩා බොහෝ දුරකට ගිය වෙනස් ම ජීවත් වීමක් වූ බැවිනි. ඒ වූකලී ඔහු ජීවත් වූ මෑතාතීත මානව සමාජය මෙන් ම ඔහු කායික වශයෙන් අප අතර නැති වර්තමානය මෙන් ම අනාගත මනුෂ්‍ය සමාජය ද සුවපත් කරන අර්ථ සම්පන්න භාවයට පත් කරන සදර්ථවාහී ජීවන ප්‍රතිපදාවක් වූ බැවිනි. අපට දැනෙන්නේ එතුමා ජීවත් ව සිටි කාලයටත් වඩා අද දවසට ඒ සුවිශිෂ්ට චින්තන දහරාව අත්‍යවශ්‍ය බව ය; වලංගු බව ය.”
සියලු දෙනා ඊට සාවධාන වූ මොහොතේ නිහඬතාව බිඳ කතා කෙළේ සහන් ආචාර්යවරයා ය.
“මන් මුලින් සිතිවිලි 1 ඉඳලා 5 දක්වා තියෙන පොත් පහ පාදක කරගෙන වෑයම් කළේ, දැන් අපේ මිහිදිනී දුවගෙ කටහඬින් අපි කාටත් ඇහිච්ච අදහස හිතේ තියාගෙන මගෙ අවබෝධෙ තරමට අදිකාරම්තුමා පිළිබඳ නැවත කියැවීමකට යන්න. එහෙම ඒ පොත් බලන කොට අදිකාරම්තුමා අපට අපව බලා ගන්න තියෙන පිරිසුදු කැඩපතක් වෙනවා.”
“සර්ට පුළුවන් ද ඔය කාරණේ අදිකාරම්තුමාගෙ ප්‍රකාශෙකින් ම පැහැදිලි කරන්න.”
“මන් ඒ ගැන මෙහෙම කියන්නං. අදිකාරම්තුමාගෙ පුදපූජා කියන පළවෙනි සිතිවිලි පොතේ යටිසිත කියලා ලිපියක් තියෙනවා. මෙන්න මේ ටික ඔයා කියවන්න රේණු.”
“යටි සිත අපිරිසිදු ව පවත්නා තුරු කෙනෙක් පිරිසිදු නොවේ. කෙනෙකු පිටතින් කොයි තරම් සිල්වත් ව සිටියත්, අවදිව සිටින වේලාවේදී කොතරම් සාර්ථක ලෙස කෙලෙසුන් මැඩගෙන සිටියත්, සිහිනෙන් ඔහු කාමුක දෙයක් දකියි නම්, ඔහු කාමුකයෙක් ම ය. එසේ ම කෙනෙකු කොයි තරම් ශාන්තව සිටියත්, සිහිනෙන් ඔහු කිපෙයි නම්, ඔහු කිපෙන සුලු පුද්ගලයෙක් ම ය. මෙසේ බලන විට පිරිසුදු ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට කිසි කලෙක හැකි වේ දැයි සැක සිතෙන තරමි ය. නමුත් බලාපොරොත්තු රහිත නොවීමට එක්තරා කාරණයක් තිබේ. කෙනෙකුගේ අතීත අත් දැකීම් නිසා ඇති වූ යටි සිතත් එය ආශ්‍රයෙන් ඇති වන උඩ සිතත් සම්පූර්ණයෙන්ම පවත්නේ වර්තමාන මොහොතේ ය. එහෙයින් වර්තමාන මොහොත කෙනෙක් ඇති සැටියේ දකියි නම් ඔහු ඒ ඇසිල්ලේ දී යටි සිතත් උඩු සිතත් සම්පූර්ණයෙන් දක්නේ වෙයි. එසේ වුවොත් ටිකෙන් ටික නොව ඇසිල්ලෙක දී සම්පූර්ණයෙන් පිරිසුදු වීමට කෙනෙකුට හැකි වෙනවා ඇත.”
“මේක අපිට අපවම පෙන්නන තැනක් නෙමෙයි ද විපුල්. ඇත්තට ම අදිකාරම්තුමා මේ ලිපි ලියන්නෙ පොතපතක ආධාරවලින් තොර වෙලා වගෙම තමන්ගේ දෘෂ්ටිවලිනුත් නිදහස් වෙලා ප්‍රශ්න සහ ලෝකය අවලෝකනය කරමින්. ඒ වෙලාවට කෙනෙක් පිවිසෙන්නේ අමුතු ම සිතීම් ලෝකයකට කියලයි එතුමා කියන්නෙ. එහෙම වෙලාවට වෙන්නෙ පරණ දෘෂ්ටි වෙනුවට අලුත් දෘෂ්ටි ඇතිවීමක් නෙමේය, සිද්ධ වෙන්නේ කලින් නුදුටු යම් යම් දේ දර්ශනය වීමක් කියලයි එතුමා කියන්නෙ. එතුමා මේ දේවල් කියන්නෙ පොතපතින් කරුණු උපුටගෙන නෙමෙයි, තමන්ගෙම අභ්‍යන්තරය පරීක්සා කරලා. රේණු, මේක නේද අපි නොකරන ම දේ. බලන්න ගඟුල්, අදිකාරම්තුමාගෙ මේ ඊළඟට තියෙන ප්‍රකාශෙ වැදගත් වෙන්නෙ ඔයාගෙ දේශනේට විතරක් නෙමෙයි, ඔයාට මට මේ ඔක්කොටම. මේක අපිට අපේ ජීවිත බලා ගන්න තියෙන ආලෝක ප්‍රකාශයක්.”
“අප කාගේත් සිත නිතරම පවතින්නේ නොයෙකුත් දේවලින් ආකුල ව්‍යාකූල වූ ස්වභාවයකින් ය. අප ඉදිරියට හමු වන සෑම දෙයක් කෙරෙහි ම අපේ සිත එක්කෝ ඇලෙයි, නැත්නම් කිපෙයි, එසේත් නැතිනම් අක්‍රියව පවතියි. එවැනි වූ සිතකින් ජීවිතය පිළිබඳ ප්‍රශ්න විසඳිය නොහැක. කෙනෙකුගේ උගත්කම ද අත්දැකීම් ද දෘෂ්ටි ද සිත තව දුරටත් අකර්මණ්‍ය කරයි. සිතේ කර්මණ්‍යතාවක්, පිරිසිදු බවක් ඇති විය හැකි වන්නේ සිත අක්‍රිය කරන දේ සොයා, එහි ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගත් විට ය. එම නිසා මගේ සිතේ පවත්නා දෘෂ්ටි, සිතේ ඇති වන සිතිවිලි, නිර්දය ලෙස පරීක්ෂා කර බැලීමට මම කලක සිට උත්සාහ දරමි. මේ ලිපි පෙළේ ඇතුළත් වන්නේ එසේ කලින් කල මගේ ම අභ්‍යන්තරය පරීක්ෂා කර බැලීමේ දී ඇති වුණු ප්‍රතිඵලවලින් සමහරකි.”
“මෙහෙම බැලුවහම සහන්, අදිකාරම්තුමා සිතිවිලි පොත් ලියනවා කියලා කරලා තියෙන්නෙ තමන්ගෙ ජීවිතය දිහා බලන කොට තමන්ට පැහැදිලි වෙචච් දේවල් ලියලා තියන එකනෙ.”
“ඒකම නේද විපුල්, මේ සිතිවිලි ලිපි පිළිබඳ විශේෂත්වයත්. අදිකාරම්තුමා පැහැදිලි ව ම කියනවා කිසිම ආධ්‍යාත්මික දෙයක් සම්බන්ධයෙන් තමා අවසාන වශයෙන් බැස ගත් තීරණයක් නැහැ කියලා. ඒ වගෙම පාඨකයන්ට කියනවා මේ ලිපි ඔස්සේ තමාට ඉදිරිපත් කොට ආරක්ෂා කිරීමට කිසිම දෘෂ්ටියක් නැති බව. ඒ වගෙම කියනවා විවේචනයට භාජනය කළ නොහැකි දෘෂ්ටියක, ඉගැන්වීමක සත්‍යයක් තිබිය නොහැකි බව. මොකද විවේචනයෙන් බිඳී යන්නේ සත්‍යය නොවන නිසා. ඒක නිසා එතුමා කියන්නෙ අපේ ඉතාම හෘදයංගම දෘෂ්ටිය පවා නිර්දය විදිහට විවේචනය කරන්න බය වෙන්න එපා කියලයි.”
“තමන්ගෙ හිත පරීක්ෂා කිරීම කියන්නෙ සර්, එක පැත්තකින් බැලුවහම පෞද්ගලික කාරණයක්නෙ. එහෙම නං ඇයි අදිකාරම්තුමා මේ ලිපි මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කෙළේ?”
“ඔයා ගඟුල්, බොහොම වැදගත් ප්‍රශ්නයක් මතු කළේ. ඒත් ඒකට එතුමා උත්තරයක් දෙනවා මෙහෙම තමන්ගෙ සංඥාපනයෙන්. මිහිදිනී දුව, ඔයා කියවන්න පුතේ මේ කොටස.”
“මගේ අභ්‍යන්තරය ගැන මා කළ විවේචනවලින් සමහරක් මෙම ලිපිවල මාර්ගයෙන් මහජනයා ඉදිරිපිට තැබීමට අදහස් කළේ දෙතුන් දෙනෙකුට වත් තමන්ගේ අභ්‍යන්තරික තත්ත්වය විවේචනය කර ගැනීමේ රුචියක් ඇති වේවා යන අපේක්ෂාවෙන් යුතු ව ය.”
“මෙතන තියෙන වැදගත් ම කාරණේ තමයි ගඟුල්, මේ ලිපි ලියපු අදිකාරම්තුමාට පුළුවන්කම තිබුණා ඒවට ලැබෙන හොඳ හරි - නරක හරි විවේචන මැදහත් හිතින් බාර ගන්න. ලංකාදීප පත්තරේ මේ ලිපි මුලින් ම ගිය දවසේ ටික දෙනෙක් තමන්ගෙ සතුටත් වැඩි දෙනෙක් කෝපයත් පළකරලා තියෙනවා. හැබැයි එතුමා කියන්නෙ ඒ සතුටින් සතුටටත් කෝපයෙන් කුපිත වීමටත් පත් නොවී මැදහත් සිතින් එම අවස්ථා දෙක අවලෝකනය කළා කියල යි.”
“ඒ ගැන එච්චර ද සර් අදිකාරම්තුමා කියලා තියෙන්නෙ.”
“නෑ රේණු, එතුමා කියන්නෙ කෙනෙක් යම් අදහසක් ඉදිරිපත් කළහම තවත් කෙනෙක් ඒකෙ ඇත්ත නැත්ත හොයනවා වෙනුවට ඒ ගැන සතුටු වෙන්නෙ හරි කේන්ති ගන්නෙ හරි මොකක් නිසා ද කියන එක හොයා බලන්ඩ ඕන දෙයක් කියලයි. මේ ක්‍රියා දෙක පිටතින් එකට එකක් විරුද්ධ වශයෙන් පෙනුනට මූලික වශයෙන් එකක් ම නේ ද කියලයි එතුමා කියන්නෙ. ඇත්තටම මේ දෙකෙන් ම කරන්න හදන්නේ තමා නිවැරදි යයි පිළිගත් දෘෂ්ටිය තහවුරු කරන එකනෙ. ඒක නිසා අදිකාරම්තුමා පාඨක අපට යෝජනා කරන්නෙ මේ ලිපි කියවීමෙන් ඇතිවන හැඟීම සතුට වේවා කෝපය වේවා ඒක ඇති උනේ අපේ සිත් බැඳගෙන තියෙන මොන දෘෂ්ටියක් මේකෙන් පෝෂණය වෙච්ච නිසා ද එහෙම නැත්නම් තමන්ගෙ මොන දෘෂ්ටියකට පහර වැදුණු නිසා ද කියන කාරණේ හොයා බලන්න කියල යි.”
“එහෙමනං සර්, අපි අදිකාරම් සර් ලියපු ඔක්කොම සිතිවිලි ලිපි කියවන්න ඕනෙ ඒ හැඟීම හිතේ තියාගෙනනෙ.”
“ඔයා හරියට ම කිව්වා මිහිදිනී දුව. ගඟුල්, ඔයා පුදපූජා පොතේ එන දෙවැනි ලිපිය ඒ කියන්නෙ ආගම්වල නියම හතුරා කවුද? කියන ලිපිය අරගෙන අපේ මේ මිහිදිනී දැන් මතු කරපු කාරණේ හිතේ තියාගෙන ඒක කියවන්න. අදිකාරම්තුමා කියන හැටියට ආගමික හරි දේශපාලනික හරි වෙන යම් දෘෂ්ටියකින් හරි බැඳිච්ච කෙනාගෙ සිත ක්‍රියා කරන්නේ ඒ දෘෂ්ටියේ සීමාව ඇතුළත විතරයි. එහෙම කෙනාට මනුෂ්‍ය සමාජෙ ඇති වෙන ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන් වෙන්නේ බෞද්ධයෙක් ක්‍රිස්තියානිකාරයෙක් අධිරාජ්‍යවාදියෙක් සමාජවාදියෙක් විදිහට මිසක් නිදහස් මනුෂ්‍යයෙක් විදිහට නෙමෙයි. එහෙම කෙනාගෙ හොඳ නරකත් තමන්ගෙ දෘෂ්ටියෙ මිම්මෙන් මැනපු හොඳ නරක නිසා එයාගෙ ක්‍රියා තවත් දෘෂ්ටියක් දැඩිව ගත්ත කෙනෙක්ගෙ ක්‍රියත් එක්ක ඝට්ටනය වෙන එක වළක්වන්න බැහැ. ඒක නිසයි සත්‍යය සොයන කෙනාට දෘෂ්ටිය බන්ධනයක් වෙන්නේ. අදිකාරම්තුමා කියන්නෙ මේ බන්ධනයෙන් මිදෙන්ට උත්සාහ කරන අයට බැණ වැදීමෙන් ආගමක් ආරක්ෂා කරන්න බැහැ කියලයි.”
“සහන්, අදිකාරම්තුමා මම කවුද කියන කාරණේ ගැනත් සාකච්ඡා කරලා තියෙනවා නේද, තමන්ගෙ සිතිවිලි පොත්වල?”
“ඔව් විපුල්, එතුමගෙ ලිපි කීපයකදි ඒ වගෙම ප්‍රසිද්ධ දේශනවලදි මේ ගැන කතා කරලා තියෙනවා. ඒ අතරින් වැදගත් ම එකක් තියෙන්නෙ පුද පූජා පොතේ. ඒකෙ හත්වෙනි ලිපිය. ඒකෙ මාතෘකාව තියෙන්නෙත් මම කවුද කියල යි. එතුමා කියනවා මිනිස්සු තමන්ගෙ හැම දෙයක් ම කරන්නෙ මම සැපවත් වෙමි, මම සුරක්ෂිත වෙමි කියන අපේක්ෂාවෙන් කියලා. ප්‍රශංසාවක් ලැබෙන කොට සිත සතුටට පත් වෙන්නෙත් නින්දාවක් ලැබෙන කොට කුපිත වෙන්නෙත් ඒක හින්දා මම හැඟීමේ ලොකුකමට පහරක් වදින නිසා කියලයි අදිකාරම්තුමා කියන්නෙ. මේ බලන්න මෙන්න මෙතන.”
එසේ පවසා සහන් පෙන්නුවේ අදිකාරම් ප්‍රකාශයකි.
“යමක් නිසා මම හැඟීම පිම්බෙයි ද විශාල වෙයි ද ආරක්ෂා සහිත වෙයි ද ඒ දෙයට මනුෂ්‍යයා සතුටු වෙයි. ඊට විරුද්ධ දෙයට අසතුටු වෙයි. අනුන්ගේ දෙය උදුරාගෙන කන්නේ තමාගේ මම ආරක්ෂා කර ගැනීමට ය. ආත්මාරක්ෂාව පිණිස යයි තවෙකකු මරන්නේත් තමාගේ මම ආරක්ෂා කර ගැනීම සඳහා ය.
මෙසේ නොයෙක් ලෙසින් ආරක්ෂා කර ගන්නට උත්සාහ කරන මම කුමක් ද එය තිබෙන දෙයක් ද එහි ස්වභාවය කවරේ ද යනාදිය ගැන කෙනෙක් සාමාන්‍යයෙන් විමසා නොබලයි. එය තමා හොඳට දන්නා තිබෙන දෙයක් වශයෙන් ම පිළිගනියි.”
“ඉතින් සර්, මම කියන හැඟීම නැතුව ගියොත් අපට කිසිම දෙයක් කරන්න හිතෙන එකක් නැහැනෙ.”
“නැහැ රේණු, මම හැඟීම සම්පූර්ණයෙන් නැති කරපු, එහෙම නැතිනං යම් මට්ටමකට ඒක තුනී කරගත්තු අය තමයි හැමදාම ලෝකෙට වැඩක් තියෙන වැඩ කරලා තියෙන්නෙ. අපේ ආගමික පසුබිම ගත්තොත් හොඳම උදාහරණෙ බුදු හාමුදුරුවොනෙ. අපි ඒ පරමාදර්ශී චරිත වෙනුවට සාමාන්‍ය මනුස්ස ජීවිත ගත කරන හොඳ මනුස්සයෙක්, ගැහැනියක් ගන්න. වැඩි දුර යන්න ඕනෙ නැහැ. රේණු ඔයා මට කියන්න ඇයි ඔයයි මිහිදිනියි දෙන්න ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙත් නාගොල්ලාගම දරුවන්ට තමන්ට කිසිම ප්‍රතිලාභයක් නැතුව ඉංග්‍රීසි උගන්නන්නෙ?”
“අපේ ගඟුල්, සර්ට ඒවත් කියලා තියෙනව ද?”
“ඔය දෙන්න ගැන විතරක් නෙමෙයි, එයාගෙ ඒ ඉස්කෝලෙ පරිසරෙත් එක්ක බැඳිච්ච ගොඩක් දේවල් ගැන ගඟුල් මට කියලා තියෙනවා. කෝ මගෙ ප්‍රශ්නෙට රේණු උත්තරයක් දුන්නෙ නැහැනෙ.”
“ඒ ළමයින්ට අමුතුවෙන් පන්ති ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආර්ථික හය්යක් නෑ සර්. ඒ වගෙම අප ළමයින්ට ආදරෙයි සර්.”
“ඒ කියන්නෙ තමන්ට ප්‍රතිලාභ බලාපොරොත්තු නොවී, හදවතේ උපන් ආදරය නිසා ඒ මොහොතෙ කළ යුතු දේ කරන අය කියන්නෙ දරුවො කවර තරමකට හරි මමත්වය තුනී කරපු අය. ඒත් ඒ සම්පූර්ණයෙන් නොවෙන්න පුළුවන්. ඒක නිසානෙ අපට අපේ සමීපතමයෙක් නැති උනාම ලොකු දුකක් - කණගාටුවක් දැනෙන්නෙ.”
“සර්, අන්න ඒ වගෙ වෙලාවට අපිට දැනෙන්නෙ අපි නැති උනා වගෙ හැඟීමක්. මට මගෙ තාත්තා නැති උන වෙලාවෙ ඇති උනේ එහෙම හැඟීමක්. අදිකාරම් සර් එහෙම අවස්ථා ගැන කතා කරලා නැද්ද සර්.”
“මොකද නැත්තෙ රේණු, එතුමා කියනවා මම නැතිවී ගියාක් මෙන් හැඟෙන අවස්ථා මේ ජීවිත කාලය තුළ දී ඇති වන බව. ඒ හිතවතෙක් - පෙම්වතෙක් - දරුවෙක් - සහෝදරයෙක් මිය ගිය වෙලාවට. ඒ වෙලාවට ඇති වෙන්නේ තමනුත් නැති උනා වගේ හැඟීමක්. ඒක තද හිස් බවක්. ඒ හිස් බව දැකීම නිසා සිතේ බයක් වගෙම දුකක් හට ගන්නවා. මෙහෙම කියන්නෙ අදිකාරම්තුමා. එතුමා කියන හැටියට අචේතනික වස්තූන් අයිති කොට ගැනීමටත් වඩා පුද්ගලයන් අයිති කොට ගැනීම තමයි මම හැඟීම උපදින්න හේතු වෙන්නෙ.
ඒ විතරක් නෙමෙයි අදිකාරම්තුමා කියන හැටියට මගේ වැඩකාරයා, මගේ ස්වාමියා, මගේ මිත්‍රයා, මගේ දරුවා, මගේ මවු, මගේ බිරිඳ මගේ සැමියා ආදි වශයෙන් ඇති වන මම හැඟීම බලවත්. එම හැඟීමේ බලවත්කම තරමට ම එයින් තම හිස් බව වසා ගැනීමේ ශක්තිය ද අධික වෙනවා. ඒ නිසා මනුෂ්‍යයා තම ධනය ආරක්ෂා කිරීමටත් වඩා අර කියපු පුද්ගල චරිත ආරක්ෂා කර ගන්න වෙහෙසෙනවා. එතුමා කියන හැටියට මේ ආරක්ෂා කිරීම ඔවුන් කෙරෙහි ඇති මෛත්‍රියක් හරි අනුකම්පාවක් හරි නිසා ඇති වෙන එකක් නෙමෙය,ි මම හැඟීම ආරක්ෂා කර ගන්න පිණිස ඇති වන්නක්. එහෙම නැත්තං තමන්ගෙ දරුවගේ තමන්ගෙ හිතවතාගේ විපතක දි කරදරයක දිවගෙම වෙනත් කෙනෙකුගේ විපත් කරදරවලදිත් ඒ චින්තාව ම ඇති වෙන්ඩ ඕනෙ. ඔයයි ඔයාගෙ මේ මිතුරියයි මෙතෙන්දි වෙනස් වෙන්නෙ ඔය දෙන්නම තමන්ගෙ නොවන දරුවන් වෙනුවෙන් වැඩ කරන නිසයි.”
“සර්, අදිකාරම්තුමා නිර්මාංසික ජීවන ප්‍රතිපදාව ගැන කතා කරන දේවල තියෙන්නෙත් වෙනම ගැඹුරකින් අපට කතා කරන්න පුළුවන් දැක්මක් නේ ද?”
“ඔව් මිහිදිනී, ඔය පුද පූජා පොතේ අටවැනි ලිපිය මස් කෑමෙන් පව් සිදු වේ ද ? කියන මාතෘකාව යටතෙනෙ ලියලා තියෙන්නෙ. එතුමා මේ ලිපිය ලිව්වෙ පුවත්පත් පාඨකයෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. එතුමා කියන්නෙ මේ ප්‍රශ්නය ගැන කල්පනා කරද්දී, අද අපේ සමාජයේ පවතින තඨෝර නිර්දය ගති කිහිපයක් ගැන හිතන්න යොමු උනා කියලයි. ඒ කියන්නෙ මස් කෑමෙන් පව් සිදු වෙනව ද නැද්ද කියලා දැන ගන්න ඕන වෙලා තියෙන්නෙ පව් සිද්ද වෙනව නම් නොකා ඉන්නත් පව් සිද්ද වෙන්නෙ නැත්තං කෑමටත් නේද කියලයි එතුමා ප්‍රශ්න කරන්නෙ. එහෙම බැලුවහම මෙතැනදී ප්‍රධාන වෙලා තියෙන්නෙ මස් කෑම නිසා සිදු වන සත්ත්ව හිංසාව නෙමෙයි, තමාට පවක් සිද්ද වෙනවද නැද්ද කියන එක. මේ ප්‍රශ්නය දිහා මෙහෙම බලන කෙනෙක් ළඟ තියෙන්නෙ ආත්මාර්ථකාමී බව මිස සතුන් ගැන දයාවක් නෙමෙයි කියලයි අදිකාරම්තුමා කියන්නෙ.”
“ඒ උනාට සර්, පවට බයෙන් හරි මස් නොකා ඉඳීම නිසා රටේ කෙරෙන සත්ත්ව හිංසාව පොඩ්ඩක් හරි අඩු වෙන්න ඉඩක් නැද්ද?”
“අපේ රේණු මේ ප්‍රශ්න කරන විදිහ බලන් ඉන්න කොට මට හිතෙන්නෙ රේණුත් හොඳයිනෙ අපේ දේශනයකට යවන්න කියලයි. හොඳයි දැන් මන් ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් එපැයැ නේද? ඒත් ඒක අදිකාරම් චින්තනය පාදක කරගෙනනෙ දෙන්නත් ඕනෙ. අදිකාරම්තුමා කියන විදිහට මේ මාංස ප්‍රශ්නය තව විශාල ප්‍රශ්නයක කොටසක් විතරයි. එතුමා කියන්නෙ වැරැද්ද වැරැද්ද වශයෙන් දැකීම නිසා නෙමෙයි, පව් සිදු වේවි කියන බය නිසා වැරදි නොකරන තැනැත්තාගේ සිත කොයි අතට ද ගමන් කරන්නෙ, එවැනි කෙනෙක්ගෙන් සමාජයට සිදු වන්නේ යහපතක් ද කියන එක තමයි අර ප්‍රශ්නයත් එක්ක මතුවෙන විශාල ප්‍රශ්නය කියලා.”
“එහෙම නං සර්, ඒ විශාල ප්‍රශ්නය ගැනත් අදිකාරම් සර් විස්තර කරලා ඇතිනෙ.”
“ඔව් මිහිදිනී, එතුමා මේ ගැන විස්තර කරන්නෙ වෙනම විදිහකට. එතුමා කියන හැටියට වැරදි වැඩක් නොකිරීම ක්‍රම කිහිපයකට සිදු වෙන්න පුළුවන්. විශ්වාසයක් - දෘෂ්ටියක් - භයක් නිසා නෙමෙයි, වැරැද්දේ ඇති වැරදි බව අවබෝධ වීම නිසා කෙනෙක් වැරැද්දක් නොකර ඉන්න පුළුවන්. එයා ඒ වැරැද්ද නොකර ඉන්නේ උත්සාහයෙන් නෙමෙයි. වරදක් කියලා ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් නොකර ඉන්න උත්සාහයක් උවමනා කරන්නෙ නැති නිසා. අනුන්ගේ මෙහෙයීමකින් වත් ඒ වැරැද්ද කිරීමේ ආසාවක් එහෙම කෙනෙකුට ඇති වෙන්නෙ නැහැ. එහෙයින් එහෙම කෙනෙක්ගෙන් සමාජයට විපතක් සිද්ද වෙන්නෙ නැහැ.”
“එතුමා කියන හැටියට තව කෙනෙක් ඉන්න පුළුවන් වැරැද්ද කරන්ට කැමති උනත් ලෝක අපවාදයට බයේ ඒක නොකර ඉන්න. ඒ නිසා එයාගේ රුචියක් ක්‍රියාවත් අතර ඝට්ටනයක් ඇති වෙනවා. එයාගෙ හොඳකම තියෙන්නෙ පිටතින් විතරයි. ඇතුළෙන් එයා ඔහු නරක මිනිහෙක්. ඒක නිසා එයා ලෝක අපවාදයට අහු නොවී කරන්න පුළුවන් ඔක්කොම වැරදි කරන්න පුළුවන්. එහෙම කෙනා මේ සමාජෙ ඉන්න ගුප්ත සතුරෙක්.”
“ඇත්තටම සර්, ජනතාවගෙ උපවාදවලට බයේ වැරදි නොකරන කෙනා හිතන්නෙ ආත්මාරක්ෂාව ගැන විතරනෙ. ඒ වගෙම පවට බයේ වැරදි නොකරන කෙනා හිතන්නෙ තමන් ගැන මිසක් අනුන් ගැන නෙමෙයිනෙ.”
“මට ගොඩක් සතුටුයි ගඟුල්. අපි අලුත් පරම්පරාවෙන් තෝර ගෙන තියෙන්නෙ අදිකාරම්තුමා ගැන කතා කරන්න සුදුසු ම කෙනෙක්. ඔයා ඔය කිව්ව දේ ඔය හැටියට ම කියලා තියෙනවා එතුමා. එතුමා කියන්නෙ කෙනෙක් බොරු නොකියන්නෙ බොරුවෙන් රවට්ටන්න හිතන කෙනාට වෙන හානියක් පාඩුවක් කලා නෙමෙයි, බොරු කීමෙන් පවේ විපාකය තමාට විඳින්න සිද්ද වේවි කියන බයට නං, හොරකම් කරන්නෙ නැත්තෙ ඒ බඩු අයිතිකාරයාට සිද්ද වෙන අලාභය ගැන නෙමේ තමාට වෙන පාපය සලකල නං, අනාචාරයෙ යෙදෙන්නේ නැත්තෙ ඒකට සම්බන්ධ වෙන කෙනාට ඇති වෙන කිලුට අපරාධය නෙමෙයි තමන්ට අපා දුක් විඳින්න වෙයි කියන බයෙන් නං එතන නිවැරදි දැක්මක් නැහැ කියලයි. ඒ වගෙම එතුමා කියන්නෙ අර කියපු විදිහට කල්පනා කිරීම නිසා අනුන් ගැන තිබෙන අනුකම්පක ගතිය ඒ තැනැත්තා නොදැනුවත් ව ම ක්‍රම ක්‍රමයෙන් හීන වෙනවා කියලයි.”
“සර්, ජීවිතේ වෙනත් පැති ගැන හිතන්නෙ නැතුව ධනය උපයන්න යන එකම ප්‍රධාන දේ කරගෙන වැඩ කරන්න යන කෙනත් අන්තිමට කර්කශ ගොරෝසු මනුස්සයෙක් වෙනවා නේද?”
“ගොරෝසු වෙනවා විතරක් නෙමෙයි, තමන්ගේ ඒ ගොරෝසුකම ඊට පස්සෙ ඒ ගොල්ලො ලස්සන වචනවලින් වහ ගන්නත් හදනවා. මේ බලන්න ඒ ගැන අදිකාරම්තුමා කියන දේ.”
“ධනවතෙකු ගැන සිතමු. අනුන් තළා පෙළා රවටා මිස දැහැමින් පොහොසත් වීමට වර්තමාන සමාජයේ නුපුළුවන. තමාගේ ධනය රැස් කරන ලද්දේ අධර්මයෙන් බව පෙනුණොත් එය ඔහුගේ ළතැවිල්ලට හේතුවක් වෙයි. පුනරුත්පත්ති විශ්වාසය ඒ ළතැවිල්ල හට ගැනීමට අවකාශය නොතැබීමෙහි සමර්ථ වෙයි. අද මට ධනය ලැබුණේ පෙර ජාතිවල දී මා දුන් නිසා යයි සිතා වර්තමානයේ තිබෙන ඔහුගේ අධමකම සිතින් හදාගත් අතීතයේ සුචරිතයකින් ඔහු වසාගනියි.”
“විපුල්, අදිකාරම්තුමා කියන්නෙ අපිරිසිදු අභ්‍යන්තරයකින් ජීවත් වීම ම සමාජයට කරන අපරාධයක් කියලයි.”
“කොහොම ද සර් අපි පිරිසුදු අභ්‍යන්තරයක් ඇති කර ගන්නෙ?”
“රේණු, ඔයා මතු කළේ අපි හැම දෙනාම අපෙන්ම අහගන්න ඕනෙ ප්‍රශ්නෙ. අදිකාරම්තුමා ලියපු විශුද්ධිය ප්‍රාර්ථනා කිරීම කියන ලිපියෙ ඒකට මෙන්න මේ වගෙ උත්තරයක් තියෙනවා. මිහිදිනී, ඔයා පුතා අපි කාටත් ඇහෙන්න මේ ලිපියෙ මේ කොටස කියවනව ද?
“සමහර විට අප කවුරුත් ප්‍රශ්නය දෙස බලන සැටි සහමුලින් ම වැරදි විය හැකි යි. මා විශුද්ධිය ඇති කර ගන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය ම වැරදි විය හැකි ය. ප්‍රශ්නය වැරදි නම් ඊට නිවැරදි පිළිතුරක් නොමැතියි. මම විශුද්ධිය ඇති කර ගනිමි යි ප්‍රාර්ථනා කරන මම කවුද? මම හැඟීම බොරුවක් නම් මායාවක් නම් රැවටිලි මාත්‍රයක් නම් මුළු ප්‍රශ්නය ම සම්පූර්ණයෙන් අලුත් මුහුණුවරක් ගන්නේ නොවේ ද?
ප්‍රශ්නය වැරදි නම් ප්‍රාර්ථනය කරන මම රැවටිලි මාත්‍රයක් නම් අප විසින් එම කාරණය කවදා හෝ හරිහැටි අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය ය. මනුෂ්‍ය ජීවිතය දීර්ඝ වූවක් නොවේ. කවර මොහොතෙහි අපේ මරණය සිදු වේ දැයි කීමට නුපුළුවන. එහෙයින් මෙවැනි ප්‍රශ්න දෙස එක එල්ලේ බැලීම කොතරම් අපහසු වුව ද කොතරම් අමිහිරි වුව ද කල් දම දමා සිටිය යුත්තක් නොවන්නේ ය.”
”සර්, අදිකාරම්තුමා ඔය පුදපූජා පොතේ එන අන්තිම ලිපිය වෙන යටි සිත ගැන ලියපු ලිපියෙදිත් ඒ ගැන තවදුරටත් කතා කරනවා නේද?“
”ඔව් ගඟුල්, ඒකෙ දි එතුමා යටි සිත අපිරිසුදු ව පවත්නා තුරු කෙනෙක් පිරිසුදු වෙන්නෙ නැහැ කියලයි කියන්නෙ. කෙනෙක් පිටතින් කොයි තරම් සිල්වත් ව සිටියත් අවදිව ඉන්න වෙලාවෙ කොයිතරම් සාර්ථක විදිහට කෙලෙසුන් මැඩගෙන හිටියත් එයා හීනෙන් දකින්නෙ කාමුක දෙයක් නම් එයා කාමුකයෙක් ම තමා කියලයි එතුමා කියන්නෙ. ඒ වගෙම ම කෙනෙක් කොයි තරම් ශාන්තව හිටියත් හීනෙන් කේන්ති ගන්නව නං එයා කිපෙන සුලු පුද්ගලයෙක් ම තමා කියලයි එතුමා කියන්නෙ. මෙහෙම බලන කොට පිරිසිදු ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට කිසි කාලෙක හැකි වේ දැ යි සැක සැක සිතෙන තරම් උනත් බලාපොරොත්තු රහිත නොවීමටත් තියෙන කාරණයක් අදිකාරම්තුමා අපට පෙන්නලා දෙනවා. මෙන්න මේ වාක්‍ය තුනේ ගැබ්වෙලා තියෙන්නෙ අන්න ඒ කාරණේ.”
“කෙනෙකුගේ අතීත අත්දැකීම් නිසා ඇති වූ යටි සිතත් එය ආශ්‍රයෙන් ඇති වන උඩ සිතත් සම්පූර්ණයෙන්ම පවත්නේ වර්තමාන මොහොතේ ය. එහෙයින් වර්තමාන මොහොත කෙනෙක් ඇති සැටියේ දකියි නම් ඔහු ඒ ඇසිල්ලේ දී යටි සිතත් උඩ සිතත් සම්පූර්ණයෙන් දක්නේ වෙයි. එසේ වුවොත් ටිකෙන් ටික නොව ඇසිල්ලෙක දී සම්පූර්ණයෙන් පිරිසුදු වීමට කෙනෙකුට හැකි වෙනවා ඇත.”
“සර්, අපි මේ සිතිවිලි ග්‍රන්ථ මාලාවෙ තවම කතා කළේ එක පොතක් ගැන විතරයි. ඒ පුදපූජා පොත. ඒකෙත් තැනින් තැන තෝරගෙන තමයි අපි කතා කළේ. දැන් වෙලාව එකොළහට දහයයි. අපි සිතිවිලි පොත් පෙළේ දෙක පුහු ප්‍රාර්ථනා ගැනත් ටිකක් කතා කරමු ද දැන්?”
“ඔක්කොටම ඉස්සෙල්ලා අපි තේ ටිකක් බීලා ඉඳිමු ද?”
“අන්න සහන්, ඒක හොඳ අදහසක්. මන් අපේ මේ රේණු හරි මිහිදිනී හරි එක්ක ගිහින් තේ හදන්නම්.”
“විපුල් අය්යට මන් උදව් වෙන්නං. එතකන් මිහිදිනී ඔයගොල්ල වෙන සාහිත්‍ය සාකච්ඡාවක් කරගෙන යන්න. හැබැයි මන් ආපහු එනකන් සිතිවිලි සාහිත්‍යය ගැන කතා කරන එක තහනම්.”
සහන් ඇතුළු පිරිස සිනාමුසු ව බලා සිටියේ එසේ කියා රේණු පුරුදුකාරියක මෙන් විපුල් සමග මුළුතැන් ගෙය දෙසට ගමන් කරන ආකාරය යි.
මඳ වෙලාවකට පසු රේණු පැමිණියේ ලොකු තේ පෝච්චියක් සහ කෝප්ප පහක් තැබු බන්දේසියක් අතැති ව ය. විපුල් අත තිබුණේ රේණු හදාගෙන ආ වැලිතලප තැබූ බන්දේසිය යි. තේ පානයෙන් පසු අදිකාරම් චින්තනය පිළිබඳ වන සංකථනය යළි ඇරඹිණ. සහන්ගේ ඉල්ලීම පරිදි විරාමයෙන් පසු සංකථනය ආරම්භ කරන ලද්දේ ගඟුල් විසිනි.
“මේ පුහු ප්‍රාර්ථනා පොතේ ලිපි දහයක් තියෙනවා. ඒ ජාතික ආලය අපේ විනාශය පිණිස නොවෙයි ද? ජාත්‍යාලය සහ ආත්මාලය, කරදර නැතිව ජීවත්වීමට මාර්ගයක් තිබේ ද? පුහු ප්‍රාර්ථනා, තනි බව සමග කරන නොනවතින සටන, ආගම් සහ දර්ශන නිසා මිනිහා හොඳ වෙයි ද? ලෝකයේ සැම දෙනෙක්ම මගේ නෑයෝ ය, රජයටවත් ආගමටවත් වහල් නොවූ අධ්‍යාපනයක්, දෙවියන් සහ අමනුෂ්‍යයින් පිළිබඳ විශ්වාසය සහ සංස්කෘතිය කියා දෙයක් ඇද්ද? යන මාතෘකා යටතෙ තියෙන ලිපි දහය.”
මෙසේ කියා ගඟුල්, සිය ආචාර්යවරයා දෙස බැලුවත් ඔහු සංඥා කළේ අදාළ පොත ළඟ තබාගෙන ගඟුල්ට ම කතා කරන ලෙස ය.
“මේකෙ පළවෙනි ලිපිය මුලදි ම අදිකාරම්තුමා කියන්නෙ මහජනයා සිතන සිතිවිලි, මහජනයා පතන පැතුම්, විවේචනයට භාජන කිරීම බොහෝ දෙනා තුළ අප්‍රසාදය ඇති වීමට හේතුවක් උනත් තමන් මේ අදහස් ලියන බව යි. ඒක නිසා මේ ලිපිය කියවද්දි නිශ්චයකට එන ආශාව තාවකාලික වත් පැත්තක තියලා තම තමන්ගේ සිත් සතන් පරීක්ෂා කරලා බලන්න කියලයි එතුමා පාඨකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා හිටින්නෙ.
අපි අන්න ඒ කාරණේ හිතේ තියාගෙන තමයි සිතිවිලි ලිපි බලන්න ඕනෙ. මේකෙ දෙවෙනි ලිපිය ජාත්‍යාලය සහ ආත්මාලය. ජාතික හැඟීම ගැන තමා ලියපු පළමු ලිපියට බොහෝ දෙනා තමන්ගෙ විරුද්ධත්වය පළ කළ බව කියන අදිකාරම්තුමා, තමන් මේ ලිපිය ලියන්නේ ඒවාට උත්තර දෙන්නවත් වාදයකට එළඹෙන්න වත් නෙමේය කියන එක කියලා, වැදගත් යයි හැඟෙන ප්‍රශ්නයක් ගැන තව දුර සොයා බැලීමක් වශයෙන් බව කියා හිටිනවා. එතුමා කියන්නෙ ජාතික හැඟීම නිසා ලැබෙනවා කියලා පේන තාවකාලික ප්‍රතිඵල ගැන කතා කරන්නෙ නැතුව, ඒ හැඟීම දියුණු උනාම තමාටත් සමාජයටත් සිදුවෙන්න තියෙන විපත ගැන හිතන්න කියලයි. ඒ වගෙම කිසියම් ජාතියකට අයත් කරලා තියෙන පුද්ගලයෙක් විදිහට නෙමෙයි පොදු වශයෙන් මේ දිහා බලන්න කියලයි එතුමා අපට කියන්නෙ. මෙතෙන්දි එතුමා කරන වැදගත් ප්‍රකාශයක් තියෙනවා. සර් මන් ඒක කියන්න ද?”
“ගඟුල්, ඔයා මගෙන් අවසර ගන්න දෙයක් නැහැ. දැන් ඔයා තමයි මේ සාකච්ඡා මණ්ඩපය මෙහෙයවන කෙනා. අපි කට්ටිය ශ්‍රාවකයන් හැටියට වගෙම, අවශ්‍ය වෙලාවට ප්‍රශ්න මතු කරමින් ඒකට සම්බන්ධ වෙන එකයි කරන්නෙ. හරි දැන් ඔයා ඒ ප්‍රකාශෙ හරි ප්‍රකාශ හරි කියවන්නකො අපටත් ඇහෙන්න.”
“එහෙනං මිහිදිනී, ඔයා කියවන ව ද මේ ටික.”
“ජාතික හැඟීම නොයෙක් හේතූන් නිසා වැඩෙන විට කෙනෙකු තුළ ඇති වන්නේ ප්‍රීතියකි, උනන්දුවකි, ප්‍රාණවත් ගතියකි. තමාගේ ජාතිය උසස් කොට ලියන ලද පොත් පත් කියවීම, ජාතික හැඟීම ඇති ගුරුවරයෙකු වෙතින් ඉගෙනුම ලැබීම, ජාතික වීරවරයින්ගේ චරිත කථා කියවීම සහ ඇසීම, පුරාණ මුතුන් මිත්තන් කළ හපන්කම් ගැන ඇසීම, දක්ෂ දේශපාලනඥයින්ගේ කථාවලින් කුල්මත් වීම යනාදිය එම හේතූන්ගෙන් සමහරකි. මුසෝලිනී විසින් ඉතාලි ජාතික ළමයින් සහ තරුණයින් තුළ ද හිට්ලර් විසින් ජර්මන් ජාතික ළමයින් සහ තරුණයින් තුළ ද ජාතික හැඟීම දියුණු කරවූයේ මෙම හේතූන් සියල්ල ම පාහේ ක්‍රියාවේ යෙදවීමෙන් ය.
එලෙස ඇති කරන ලද ජාතික හැඟීම නිසා ඉතාලියේ ද ජර්මනියේ ද පුදුම තාවකාලික දියුණුවක් ඇති විය. එසේ නමුත් එම දියුණුව නිසා විශේෂයෙන් එම රටවලට ද සාමාන්‍ය වශයෙන් මුළු ලෝකයට ද ඇති වූ විනාශය කෙබඳු දැයි අපි දනිමු.”
මිහිදිනී ඒ කියැවීමෙන් පසු ගඟුල් යළිත් සිය හඬ අවදි කෙළේ අදිකාරම් ආලෝක ප්‍රකාශ ම පාදක කොට ගනිමිනි.
”අදිකාරම්තුමා කියන්නේ පවුල, කුලය, ජාතිය, රට, භාෂාව, ආගම, ධනය, බලය, කීර්තිය, ඉන්ද්‍රියයන් පිණවීම ආදි කවර දෙයක් වේවා ගැන තියෙන ඇල්මත් එක්ක නොවරදවා ම දියුණු වන තවත් දෙයක් තියෙනවා කියලයි. ඒ “මම” යන හැඟීම. සාමාන්‍යයෙන් ලෝකයෙ ආකල්පය තමයි ධනය, බලය, කීර්තිය ආදිය ගැන ඇති වන මම හැඟීම අයහපත් වන අතර ජාතිය, රට, භාෂාව, ආගම ආදිය පිළිබඳ ව ඇති කොට ගන්නා මම හැඟීම උදාර බව.
මම හැඟීමේ ස්වභාවය තමයි අනුන් කෙරෙන් තමා වෙන් කොට ගැනීම. එතුමා කියන්නෙ මම හැඟීම දියුණු වූ දෙදෙනකු අතර ඇති වෙන්නෙ ගැටීමක් මිස සබඳකමක් නොවේ ය කියන කාරණය. ඒ වගෙ ම එතුමා අවධාරණය කරලා කියන්නෙ මම හැඟීම දියුණු වූ පුද්ගලයන් දෙදෙනක් අතර ඝට්ටනයයි අන්‍යෝන්‍ය අවිශ්වාසයයි උපදිනවා වගේ මම හැඟීම දියුණු වූ ජාති දෙකක් අතර ඇති වෙන්නෙ ඝට්ටනයයි අන්‍යෝන්‍ය අවිශ්වාසයයි මිස සමාදානය නොවන බව. අදිකාරම්තුමා සමාජය ඉස්සරහ තියන ප්‍රශ්නෙ ඒ සමාජෙ ජීවත් වෙන අය හැටියට අපට කිසිසේත් ම නොතකා ඉන්න බැහැ. මිහිදිනී, ඔයා කියවනව ද මේ ලිපියෙ මේ කොටසත්.”
“ජාත්‍යාලය දියුණු කළ යුතු යයි උද්ඝෝෂණය කරන්නවුන් තම ක්‍රියාවෙන් තමන්ටත් ලෝකයටත් නොවරදවාම සිදුවන විපත ගැන ටිකක් සිතා බැලිය යුතුයි. ‘ජාත්‍යාලය වඩව්’ යයි මහජනයා උනන්දු කරවන්නා වීරයකු වශයෙන් රටවැසියා සලකයි. සමහර විට මුසෝලිනී ගෙන් හිට්ලර් ගෙන් ඇති වූ දියුණුව වැනි තාවකාලික දියුණුවක් තවත් එවැනි වීරයකු ගෙන් ඇති විය හැකියි. එහෙත් එයින් අවසානයේ දී ඇති වන්නේ කුමක් ද?”
“එහෙමනං අදිකාරම්තුමාගෙ ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නෙ ජාතිවාදෙ වෙනුවට ජාත්‍යන්තරවාදය හොඳයි කියන එක ද?”
“මන් හිතන්නෙ රේණු අක්කගෙ ඒ ප්‍රශ්නෙට අපේ සර් උත්තරයක් දුන්නොත් හොඳයි කියලයි.”
“මේ ගැනත් අදිකාරම්තුමා පැහැදිලි ව ම කියලා තියෙනවා රේණු. එතුමා කියන්නේ ජාතිවාදය විනාශය පිණිස වේ යයි කීමෙන් ජාත්‍යන්තර වාදය යහපත් ය යන නිගමනය ඇති කරගන්න එපා කියලයි. මොකද ජාතිවාදය නැතිව ජාත්‍යන්තර වාදයක් ඇති නොවන නිසයි ඒ. අදිකාරම් චින්තනයට අනුව ජාත්‍යන්තර වාදය කියන්නෙ ජාතිවාදයේ ම විශාල මුහුණුවරක් මිස වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා එයින් ලෝක සාමය ඇති වෙනවා කියලා අපේක්ෂා කරන්න එපා කියන එකයි එතුමගෙ අදහස.”
“ජාතිවාදයත් එපා නං ජාත්‍යන්තරවාදයත් එපා නං අපි මොකක් ද කරන්න ඕනෙ සර්?”
“රේණු මතු කරන ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔය ලිපියෙම ඉස්සරහට තියෙනවා නේද ගඟුල්. අපි ඒකත් බලලා ඉම්මු.”
“ලෝකයේ සාමය ඇති විය හැක්කේ ජාතිවාදයත් ජාත්‍යන්තර වාදයත් යන දෙකම මිනිසා තුළින් අහක් වී ඉංග්‍රීසි - සිංහල - දෙමළ ආදි වශයෙන් නොව මිනිසා මිනිසා වශයෛන් බැලීමට අපට අවබෝධය ඇති වූ විට ය.
එහි මුල පිරීම වශයෙන් සිදු විය යුත්තේ අප එක් එක්කෙනා තුළින් ජාතිවාදය තුරන් කර දැමීම නො වේද?”
“මමත් කැමතියි සහන්, මෙතෙන් දි පොඩ්ඩක් මැදිහත් වෙන්න. රවී - අනිල් - ප්‍රණීත් -ඔයා වගේ අය තරමට නොඋනත් යම් තරමකට අදිකාරම්තුමා දකින්න, කතා කරන්න ලැබිච්ච කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නෙ, එතුමා ජාති සංකල්පය විමර්ශනය කරන්නෙ පෘථුල නිදහස් මනසකින් කියන එක. අපි දන්න අදිකාරම්තුමා ජාතිවාදියෙක් නෙමෙයි; ජාත්‍යන්තර වාදියෙකුත් නෙමෙයි. සියලු ම ආකාරයේ භේදයන් හදවතින් ම බැහැර කළ විශ්වීය මිනිහෙක් කතා කරන වචන දිහා ජාතිවාදී හෝ ජාත්‍යන්තරවාදී යයි කියන ඇහකින් බලන්න බැහැ. ඒක නිසා අදිකාරම් චින්තාව දෙස බලමින් ඒ ගැන කතා කරන කොට අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනෙ. මොකද විශ්වීය මනසක් තියෙන බව පෙන්වමින් ලෝකය එකම වෙළඳ පොළක් කරන්න හදන ජාත්‍යන්තරවාදී ලේබලය අලව ගත්ත ව්‍යාජ ජීවිත ගත කරන හිස් චරිතත් එතුමාගේ අව්‍යාජ - පවිත්‍ර වචන වැරදි අර්ථවල රඳව ගෙන අයථා ප්‍රයෝජන ගන්න ඉඩ තියෙන නිසා.”
“ගඟුල්, ඔයාගෙ සහෝදරයා - මගෙ මිත්‍රයා මතු කළේ බොහොම වැදගත් කාරණයක්. අපි ඒකත් හිතේ තියාගෙන මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යමු. අදිකාරම්තුමා මේ කාරණා කතා කළෙත් මේ සමාජෙන් වියුක්ත වෙච්ච අමුතු මනුස්සයෙක් විදිහට නෙමෙයි, මේකෙ ජීවත් වෙන නිදහස් මනුස්සයෙක් තමන් ජීවත් වන සමාජය ඉතාම අවංකව අවලෝකනය කරන කෙනෙක් විදිහට. එතුමා පැහැදිලි ව ම කියනවා තමන් සම්පූර්ණයෙන් ම කරදරවලින් මිදුණු කෙනෙක් නොවන බව. ඒක නිසා මේ මොහොතෙදි තමන් කරන්නේ අනුන්ට දේශනා කිරීමක් නොවන බව. එතුමා කියන්නෙ මේක තමන් වගෙම කරදරවලින් බැඳුණු අනිත් අය සමග කරන සාකච්ඡාවක්, සොයා බැලීමක් විදිහට සලකන්න කියලයි. ඒ හැඟීමෙන් මේ සිතිවිලි ලිපි කියවන්න කියලයි එතුමා අපට කියන්නෙ. එතුමා කියන විදිහට අපි කවුරුත් ඉන්නෙ එකම විධියේ අඳුරක. අපේ කරදර අපේ ගැටලු විස්තර වශයෙන් වෙනස් වෙන්න පුළුවන් උනත් මූලික වශයෙන් එක සමාන යි කියලයි එතුමා කියන්නෙ.”
“ඒ වගෙම සහන්, කරන්න ඕනෙ කරන්නෙ ලේඛකයාත් පාඨකයාත් කියන දෙන්න ම එකවිට පර්යේෂණයට බැසීම බවත් එහෙම කළහම අපට නොපෙනුණු දෙයක් පෙනෙන්ටත් කලින් අපට නොතිබුණු එළියක් ඇති වන්ටත් ඉඩක් ඇති වෙන්න පුළුවන් කියන කාරණෙත් අදිකාරම්තුමා මතු කරනවා නේද?”
“අපි විපුල් දැන් මතු කරපු ඒ කාරණෙත් හිතට අරගෙන පුහු ප්‍රාර්ථනා පොතේ එන හතර වෙනි ලිපිය දිහා බලමු. මොකක් ද ගඟුල් ඒ ලිපිය. ඒක ලිවීමේ අරමුණ ගැනත් යම් අදහසක් අදිකාරම්තුමා කියලා තිබුණා මට මතකයි.”
“සර්, ඒ පුහු ප්‍රාර්ථනා. ඒ ලිපිය පටන් ගන්න කොටම අදිකාරම්තුමා කියන්නෙ මනුෂ්‍ය සමාජය දිහා පරීක්ෂාකාරී ව බලන කොට පිටතින් ඔපයක් පෙනුනට අභ්‍යන්තරයෙ තියෙන්නෙ ක්‍රෑරකම් කියලයි. එතුමා කියන විදිහට ක්‍රෑරකම් කියන්නෙ එක් කෙනෙක් තව කෙනෙකුට බැණ වැදීම, තුවාල කිරීම, මරා දැමීම විතරක් නෙමෙයි. එතුමා කියන හැටියට එක මිනිහෙක් තව මිනිහෙක් යටපත් කරන්න දරන හැම ක්‍රියාවක් ම ක්‍රෑරකම්. එහෙම බලන කොට ධනය - බලය - කුලය ු තත්ත්වය - නම්බුනාම - නායකකම් කියන ඔක්කොම තව කෙනෙක් යටපත් කරන්න ගන්න ආයුධ. එතුමා අපට කියන්නෙ හිංසාව ඇති කරවන පදනමක් මත ගොඩනැඟුණු සමාජයක සිටින කෙනෙකුට එම හිංසාවේ හවුල්කාරයකු නොවී සිටින්ට ක්‍රමයක් තියෙනව ද කියන එක සොයා බලන්න කියලයි.”
“අපි තවදුරටත් ඕක බලාගෙන යමු ගඟුල්.”
“සර්, මේ ලිපියෙ තියෙන විදිහට අපි එළිපිට කරන ක්‍රෑරකම් නිසා විපත් සිදු වෙනව. ඒත් එළිපිට කිරීම නිසා ම සමාජයට ඒවායින් ආරක්ෂා වෙන්න ඉඩකුත් තියෙනවා. ඒ ක්‍රෑරකම්වල දුර්විපාක නිසා ඒවා ක්‍රෑරකම් ය යන අවබෝධයත් ඒවා කරන කෙනාට ලැබීමට ඉඩත් තියෙනවා. අදිකාරම්තුමා කියන්නේ එළිපිට කරන ක්‍රෑරකම්වලටත් වඩා කරන කෙනාටයි සමාජයටයි දරුණු ප්‍රතිවිපාක ලැබෙන්නේ හොඳ වැඩ නාමයෙන් කරන ක්‍රෑරකම් නිසා බව යි. මේකෙදි එතුමා කියන්නෙ අපේ හොඳ වැඩ ඇත්තෙන් ම හොඳ වැඩ ද එහෙම නැත්නම් තමා රවටා ගැනීමට කරන උපක්‍රම ද කියන එක අපි කවුරුත් නිර්දය විදිහට විවේචනයට භාජනය කරන එක අපේත් සමාජයේත් යහපත පිණිස අවශ්‍ය යි කියලයි. එතුමා මේ ලිපියෙදි මෙහෙමත් තියෙනවා.”
“අද සමාජය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමට ගොරෝසු ය දරුණු ය ක්‍රෑර ය. සමාජය යනු අපෙන් පිටස්තර වූවක් නොවෙයි. සමාජය සැදී තිබෙන්නේ අපෙන් ය. අපෙන් වෙන් වූ සමාජයක් නොමැති යි.
සමාජයේ ගොරෝසුකම දරුණුකම ක්‍රෑරකම වශයෙන් ප්‍රකාශයට පත් වන්නේ අප එක් එක් කෙනා තුළ පවත්නා ගොරෝසුකම් ආදියම ය.”
“ඒක නිසා අදිකාරම්තුමා අපට යෝජනා කරන්නෙ ඔක්කොටම ඉස්සෙල්ලා අපේ සිත් සතන් අවංකව පරීක්ෂා කර බැලීම පළමුවෙන්ම අපි කරන්න ඕනෙ ඉතාම අවශ්‍ය කටයුත්ත විදිහට සලකලා වැඩ කරන්න කියලයි.”
“සර්, අදිකාරම්තුමාගෙ පස්වෙනි ලිපියෙන් මතු කරන කාරණාවලින් අපිටත් බේරෙන්න බැහැනෙ. එතුමා කියන්නෙ මනුස්සයා කියන කෙනා, මිනිසුන්ගේ හරි සතුන්ගේ හරි ආධාරයෙන් වගෙ ම දේවල්වල ආධාරයෙනුත් තමන්ගෙ තනි බව වසා ගැනීමට කටයුතු කරන බව යි. ඔන්න අපිත් ගැලවෙන්නෙ නැති තැන තමයි ඊළඟට තියෙන්නෙ. අදිකාරම්තුමා කියන්නෙ වස්තුව උපයන්නා ඒ වස්තුව උපයන්නට මං හොයමින් වස්තුව ආරක්ෂා කරමින් වස්තුව ගැන හිතමින් තනි බව නැති කර ගන්නවා වගේ උගතා පොතපත කියවීමෙන් හරි පොත් ලිවීමෙන් හරි සාකච්ඡා කිරීමෙන් හරි කල්පනා කිරීමෙනුත් කලා රසිකයා සංගීතයෙන් - කවියෙන්, බේබද්දා මත්පැන් බීමෙන්, කම් සැප පතන්නා ඉන්ද්‍රියයන් පිණවීමෙන් තම තනි බව වසා ගන්න උත්සාහ කරනව කියලයි එතුමා කියන්නෙ.”
“ඊළඟට එතුමා මතු කරන්නෙත් සර්ලා කොහොම උනත් මම නං මෙච්චර දවසකට හිත යොමු කරලා තිබ්බෙ නැති කාරණේකට. සර් අපි ඒකත් බලමු ද? මිහිදිනී කියනව ද මේ වාක්‍ය දෙක තුන.”
එසේ කියා ගඟුල් ඒ සිතිවිලි පොත දුන්නේ මිහිදිනීගේ අතට ය.
“අප ප්‍රිය කරන අය හෝ දේවල් සැමදාම තමා ළඟ තබා ගැනීමට අපට නුපුළුවන. ඒ දෙවර්ගය ම කල් යාමත් සමග විනාශයට පත් වන බැවිනි. මේ නිසාම මනුෂ්‍යයා ඒ දෙකෙන් ම කළ නොහැකි තරම් සියුම් ලෙසකින් ද කල් පවත්නා ලෙසකින් ද තනි බව වසා ගැනීමට ක්‍රම උපදවා ගනියි. ඒ සිතින් මවා ගත් රූපයක හෝ සිතේ ඇති කොට ගත් දෘෂ්ටියක එල්බ ගැනීම යි.”
“ගඟුල්, අදිකාරම්තුමා ඔතෙන්දි කියනවා නේද හිතවතෙකුගෙන් වෙන් වීමෙදි ඇතිවන වියෝ දුකත් තමාගේ තනි බව නසා ගැනීමට දරන උත්සාහය නිසා ඇති වන්නක් බව. එහෙම වෙලාවටත් අපි ඉන්නෙ තනිව නෙමෙයි වෙන් වෙච්ච හිතවතාගේ රූපය සිතින් හදාගෙන, ඒ රූපයෙන් තමන්ගෙ තනිකම වහගෙනනෙ. ඒ වගෙම ඔය ලිපියෙම තියෙනවා නේද දෙවි කෙනෙක් හරි ශාස්තෘවරයෙක් හරි ගැන හෝ හිතමින් කල් යවන කෙනා කරන්නෙ ඒ දෙවියා හරි ශාස්තෘවරයා හරි ගැන හිතේ ඇති කර ගත්ත මූර්තියෙන් සිය තනි බව වහගෙන කියලා. ඒ වගෙම දෘෂ්ටියක ඉන්න කෙනා කරන්නෙත් ඒ දෘෂ්ටිය ගැක සිතිවිලිවලින් තමන්ගෙ තනි බව වසා ගෙන කියන එකත්.”
“ඉතින් සර් මෙහෙම නොයෙක් ක්‍රමවලින් මිනිස්සු ගැළවෙන්ට හදන්නේ පලා යන්න උත්සාහ කරන්නේ තමාගෙන්මනෙ.”
“ඔව් රේණු, මේ ගැන කතා කරද්දි අදිකාරම්තුමා මෙන්න මෙහෙම කියනවා.”
“මගේ හිතවතා මගෙන් වෙන් වූ විට ඉතිරි වන්නේ මම ය. මගේ වස්තුව මා කෙරෙන් වෙන් වූ විට ඉතිරි වන්නේ ද මම ය. මගේ දෘෂ්ටිය මගෙන් ඉවත් වූ විට ඉතිරි වන්නේ ද මම ය. එහෙයින් තනි වීම වශයෙන් මට දැනෙන්නේ නියම මම මට මුණ ගැසීම ය. ඒ නියම මම සම්පූර්ණයෙන් ම හිස් වූ දෙයකි. එය කිසිම දෙයකින් පිරවිය නොහැකි යි. වැසිය නොහැකියි. එහි හිස් බව හිස් ගෙයක හිස් පෙට්ටියක ඇති හිස් බව වැන්නක් නොවෙයි. මම යයි ගැනීමට කිසිවක් නොමැති වීම නිසා ඇති වූ හිස් බවකි.”
“ඇත්ත තත්ත්වය ඒකනං තනි බවෙන් ගැළවෙන්න අපි දරන ප්‍රයත්නත් නිෂ්ඵලයිනෙ.”
“ඔව් මිහිදිනී, මන් හිතන්නෙ මෙන්න මේක තේරුම් ගන්න එක තමයි අපි ඔක්කොටම කලින් කරන්න ඕනෙ දේ වෙන්නෙ.”
“මේ බලන්ඩකො සර්, මේ ඇවිල්ලා රස සංකල්පය මතක් කරලා දෙන ප්‍රකාශයක්නෙ මේ ලිපියෙ තියෙන්නෙ. මේකෙදි අදිකාරම් සර් කියනවා එකම රූපය කෙනෙකු තුළ රාගයත් තවත් කෙනෙකු තුළ පිළිකුලත් තුන්වෙනියෙකු තුළ විස්මයත් සතරවෙනියෙකු තුළ ගෞරවයත් ජනිත කරවනවා කියලා. මේක කියවද්දී මට මතක් වෙන්නෙ රතිය නිසා ශාංගාරයත් ජුගුප්සාව නිසා බීභත්ස්‍ය රසයත් විස්මය නිසා අද්භුත රසයත් ඇති වෙනවා යන විදිහට තියෙන රසවාද ඉගැන්වීම.”
“අපිට මේ සාකච්ඡාව අදිකාරම්තුමාගෙන් පටන් අරන් වෙන වෙන පැතිවලට යන්න පුළුවන්වීමත් මහ අමුතු දෙයක්. මිහිදිනී තමයි ඒ ප්‍රවේශය අරන් දුන්නෙ. අපි ඒ දවස්වල එතුමා එක්ක එක මාතෘකාවක් ගැන කතා කරන්න පටන් ගෙන අන්තිමට නවතින්නෙ හිතපු ම නැති තැනකට ඇවිල්ලා.”
“සංස්කෘතිය කියලා දෙයක් තියෙනව ද කියලා අදිකාරම්තුමා දක්වන අදහස් සර් අපි ඒ විදිහට ම පිළිගන්න ඕනෙ ද?”
“ගඟුල් එතුමා කවදාවත් කියලා නැහැ මම කියපු දේවල් අනික් අය පිළිගන්න ඕනෙයි වගේ කතාවක්. අදිකාරම්තුමාගෙ ඇසුරෙන් ලබපු නිරුක්ති විද්‍යා දැනුමට අනුව ඔය ලිපිය දිහා මට බලන්න හිතෙන්නේ ඒ ලිපියට සීයට සීයක් අනුගත වෙලා නෙමෙයි. සැමතින් ම යහපත් ව එක් ව සකස් කරන ලද වැනි අර්ථ තියෙන සංස්කෘති කියන වචනෙ පරිසමාප්ත අර්ථයට අනුව නම් ආචාර්ය අදිකාරම් කියන්නෙ මහා සංස්කෘතික මිනිහෙක්. එතුමා සංස්කෘතිය කියා දෙයක් ඇද්ද කියන ප්‍රශ්නය නඟන්නෙ, සොබාදහමට - පරිසරයට - මනුෂ්‍යයා ඇතුළු සියලු සත් වගට කරුණාදරය දක්වන කොන්දේසි විරහිත සුවිශිෂ්ට ආදරවන්තයකුගේ චරණ අන් කිසිම දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කරන ගමන්. ඒක නිසා ආගමික - නිරාගමික - දේශපාලනික - නිර්දේශපාලනික - ජාතික හෝ විජාතික බැමිවල බැඳුණු අය මේ ප්‍රශ්නය නඟන එකෙයි අදිකාරම්තුමා කියන දේයි අතර බරපතල වෙනසක් තියෙනවා.”
“සර් දැන් ඔය මතු කරන කතාවට එකතු කරන්න පුළුවන් දෙයක් අදිකාරම්තුමාගෙ මේ ලිපියෙන් ම ගන්න පුළුවන්. බලන්ඩ සර් ඒ ලිපියෙ මෙන්න මෙතන.”
“මනුෂ්‍යයා ජාති වශයෙන් බෙදීම ද මුළාවකි. සිතින් මවා ගත් වෙනස්කම් හැර නිසර්ගයෙන් පිහිටි වෙනසක් සිංහලයෙකුත් වෙන ජාතියකට අයත් කෙනෙකුත් අතර නොමැතියි. සභ්‍යත්වයක් අංගයක් වශයෙන් සලකන කුල ධර්ම ආරක්ෂා කිරීම ද එසේ මුළාව නිසා හටගත් දෙයකි. මනුෂ්‍යයා උස් පහත් තරාතිරම්වලට බෙදන කුලධර්මය අපරාධ ක්‍රියා මාර්ගයක් මිස සීලාචාරකමේ අංගයක් විය නොහැකියි.”
“එහෙම නම් ගඟුල්, අපි අදිකාරම් කියන ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයගෙ වචනවලින් ම ලෝකයේ පැවැත්ම නැති කරන නෙමෙයි, පැවැත්ම සහතික කරන සංස්කෘතියක් - සභ්‍යත්වයක් - ශිෂ්ටාචාරයක් මතු කොට ගන්න බැරි ද කියන අභියෝගය තමයි ඔයගොල්ල අපි ඉස්සරහ තියෙන්නෙ.”
“සර්, මේ ලිපියේ මේ ඡේදයෙ සර්ගෙ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා කියලයි මට හිතෙන්නේ’”
“මීට පෙර කිසි කලෙක නොවූ විරූ මහා ලෝක සංග්‍රාමයකින් විනාශ වී යාමට අර අඳින මනුෂ්‍යයාට අද අවශ්‍යයෙන් ම වුවමනා කරන සංස්කෘතියක් සභ්‍යත්වයක් ශිෂ්ටාචාරයක් තිබේ’ එය ජාතික සභ්‍යත්වය හෝ ආගමික සභ්‍යත්වය හෝ නොවේ’ ඒ වනාහි මනුෂ්‍ය සභ්‍යත්වය යි’ එහෙත් මනුෂ්‍යයා කුලවලට ජාතිවලට ආගම්වලට දේශපාලන වාදවලට බෙදී පවත්නා තුරු ඒ මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඇතිවීමට නුපුළුවන’”
මෙය අසා සහන් ආචාර්යවරයා සිය කීර්තිමත් ශිෂ්‍යයා දෙස බලා පහත සඳහන් වචන කීපය ප්‍රකාශයට පත් කෙළේ අතිමහත් තෘප්තිදායක ස්වරයකිනි.
“ඔයා ගඟුල්, අදිකාරම්තුමාව නිවැරදිව කියවගන්න සමත් වෙලා තියෙන බව යි මට කියන්න තියෙන්නෙ ඔයා කතා කරන දේවල් අහගෙන ඉන්න කොට. මට කිසිම සැකයක් නැහැ ඔයා අදිකාරම්තුමා ගැන කරන දේශන උපරිම විදිහට කරනවා කියන කාරණේ ගැන දැන් මට කිසිම සැකයක් නැහැ.”
“සර්, දැන් වෙලාව එකට කාලයි. දැන් සර්ට විපුල් අය්යට බඩගිනිත් ඇති. අපි කාල ඉවර වෙලා සාකච්ඡා කරමු ද?”
“රේණුගෙ ඒ ප්‍රශ්නයත් සමග ය, මිහිදිනීගේ සිනා හඬ නැඟුණේ.”
“මොකෝ උඹ හිනා වෙන්නෙ. මන් හිනා වෙන්න දෙයක් කිව්වෙ නැහැනෙ දැන් මෙතන.”
“නෑ නෑ මට නිකන් හිනා ගියේ.”
“උඹට බඩගිනි නැත්තං නිකන් හිටපන්. විපුල් අය්යෙ ඔයාට බඩගිනි නැද්ද?”
“මොකක් ද රේණු ඔයාට ඕන කරන උත්තරේ. එතකොට මන් ඒ උත්තරේ දෙන්නං.”
“මන් හිතන්නෙ විපුල් අය්යටවත් සර්ටවත් නෙමෙයි බඩගිනි වෙලා තියෙන්නෙ වෙන කෙනෙකුට.”
මිහිදිනී එවදන් පැවසුවේ ද සිනාසෙමිනි.
“නංගි, උඹ ඔය හිනාවෙන්නෙ නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ ගරු විදුහල්පතිතුමියට. මට කේන්ති ගියොත් කැන්සල් කරනවා උඹේ සම්පූර්ණ නිවාඩුව ම මන්. ඒ පාර ගඟුල්, උඹට බෝ උනා ද මේ අම්මණ්ඩිගෙ හිනාව.”
රේණු එසේ පැවසුවේ නැග එන හිනාව අපහසුවෙන් මැඩ පවත්වන්නට සැරසෙන ගඟුල් දෙස බලමිනි.
“රේණු අක්කෙ, මන් කියන්න ද මට හිනා ගිය හේතුව.”
“කියපන් කියපන් අපේ සර්ලා ඉස්සරහ පිටම.”
“ඉතින් අක්කෙ හිනා යනවනෙ මිහිදිනීලා වගේ අලුත් ගුරුවරියන්ට නිවාඩු දෙන්න එපා කියලා වෙන ගුරුවරියක් කියපු වෙලාවෙ එයාව බැනලා එලෝ ගත්ත ඔයා ම දැන් මෙයාගෙ නිවාඩු කැන්සල් කරන්න කතා කරන කොට.”
එවර සිනා ගියේ රේණුට ය.
“ඔයගොල්ලන්ට තියෙන්නෙ මහ ආදරණීය රණ්ඩුනෙ.”
සහන් එසේ පැවසුවේ ඒ මොහොතේ කාටත් බෝව ගිය සිනාවේ තමා ද කොටස්කරුවකු බවට පත් වෙමිනි. අනතුරුව ඔහු කතා කෙළේ ය.
“අපි මෙහෙම කරමු. තව පොඩ්ඩක් කතා කරලා අපි කෑමට නතර කරමු. එහෙම හොඳයි නේද රේණු.”
ඇය ඊට පිළිතුරු දුන්නේ වචනවලින් නොව හිස සැලීමෙනි.
“ගඟුල්, අදිකාරම්තුමාගෙ ඔයාගෙ අතේ තියෙන සිත දෙස බලන්න කියන පොත ගැන අපි වෙන වෙලාවක කතා කරමු. ඒක ලොකු වෙලාවක් අරන් වෙනම කතා කරන්න ඕන කරන මාතෘකාවක්.”
“එහෙනං සර්, අපි මේ හතරවෙනි සිතිවිලි පොත නිකම් ඉඳීම පොතේ ලිපියක් දෙකක් ගැන කතා කරමු ද?”
“පොතේ අන්තර්ගතය ගැන අපි කාටත් චිත්‍රයක් දිලා ඔයාම තෝරන්නකො ගඟුල් ඕකෙන් එක ලිපියක්.”
“සර්ට නං මේවා කටපාඩම් ඇති කියලයි මට හිතෙන්නෙ. මේකෙ තියෙනවා ලිපි දහයක්. පළවෙනි ලිපිය තරුණ පරපුරට වචනයක්, දෙක සේවය කිරීමේ ආසාව, තුන සේවයට ඇති බාධාවක්, හතර නිකම් ඉඳීම, පහ අද සිටින ප්‍රමාණයට වඩා සතුටින් ජීවත් වීමට අපට නොහැකි ද? හය වැඩිහිටියන් තුළ ප්‍රිය බව අඩු වීමට හේතුව කුමක් ද? හත වැරදි මාර්ගයෙන් හොඳ ප්‍රතිඵල ඇති විය හැකි ද? අට පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම, නවය සමගියෙන් සමාදානයක් ඇති වේ ද? අන්තිම ලිපිය ආගමික අධ්‍යාපනය යනු කුමක් ද? මෙන්න මේ විදිහට තමයි මේ පොතේ ලිපි පෙළ ගස්වලා තියෙන්නෙ.”
“එහෙම නං දැන් බොහොම උනන්දුවෙන් මේ මාතෘකා අහගෙන හිටපු අද අපේ ගෙදෙට්ට අලුතින් ම ආපු සාමාජිකාවට අවස්ථාව දෙමු, එයා සාකච්ඡාවට ගන්න කැමති ලිපිය කියන්න කියලා.”
“මන් කැමතියි සර්, තරුණ පරපුරට වචනයක් කියන ලිපිය ගැන කතා කරනවනං.”
“එහෙම නං මන් කැමතියි ඒ ලිපිය ගැන කතා කරන එකේ ආරම්භය අපේ සර් ගන්නවනං.”
“මේ ගඟුල්, අදිකාරම්තුමා ගුවන්විදුලි සංස්ථාවේ යෞවන සමාජයට 1954 අවුරුද්දෙ දි කරපු කථාවක්. මේක පටන් ගන්න කොටම එතුමා කියන්නෙ තරුණ වියෙහි සිටින ඔබ කිසිවෙකුට අවවාදයක් කිරීම තමන්ගේ බලාපොරොත්තුව නොවන බව යි. එතුමා කියනවා තමන් තවුසෙක් නෙමෙයි කියන එක. සාමාන්‍ය ලෝකයේ වාසය කරන සාමාන්‍ය කෙනෙක් කියන එක. ඒක නිසා තමන්ට කියන්න පුළුවන් වෙන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් වර්තමාන ලෝකය දිහා පරීක්ෂාකාරීව බලන කොට පේන දේ මිස ලෝකෝත්තර කිසියම් දෙයක් නොවන බව.
මේ ලිපියෙදි තමයි අදිකාරම්තුමා හරිම සංවේගයකින් තරුණ තරුණියන් අතර සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන කතා කරන්නෙ. හැම කෙනෙක් ළඟ සහජයෙන් තියෙන මරණ බය අමතක කරලා තමන්ගේ ජීවිතය අවසන් කරන්න කෙනා තව කෙනෙක්ගෙ අවවාදයක් පිළිගන්න තැනක නැහැ කියන කාරණේ එතුමා දකිනවා.
මට මේ ප්‍රශ්නය වැඩියෙන් දැනෙන්නේ කාලෙකට ඉස්සෙල්ලා ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීම නිසා මගේ ඥාති සහෝදරයෙක් දිවි නසා ගත් නිසා. මේ ගැන කතා කරන වෙලාවෙ වැඩි දෙනෙක් මෝඩකම මිසක් වෙන මොකක් ද කියලා කියපු වෙලාවෙ අදිකාරම්තුමා කිව්වෙ එහෙම ඉක්මන් උත්තර දෙන්න ඉදිරිපත් වෙන්න එපා කියලයි. තමාට තිබෙන වටිනා ම දේ වෙන ජීවිතය නැති කරගන්න හිතපු ඒ තරුණයාගෙ ප්‍රශ්නය දිහා ඔයිට වඩා ගැඹුරකින් බලන්න කියලයි අපටත් කිව්වෙ. ඒ ළඟම දවසකදි එතුමා තමන්ගෙ ගුවන් විදුලි සාකච්ඡාවකදි මාතෘකාව කර ගත්තෙ සිය දිවි නසා ගැනීම. යි. ඒ විතරක් නෙමෙයි ඒ වැඩ සටහනට, ඒ වෙන කොට අවුරුදු විස්සෙ තරුණයෙක් වෙච්ච මාවත් සම්බන්ධ කරගෙන ජීවිතය ගැන මට දැනෙන දේවල් කියන්න කියලා කිව්වා. ඒක තමයි මන් සහභාගි වෙච්ච පළවෙනි ගුවන්විදුලි වැඩ සටහන.”
“සර්ට මතක ද එදා අදිකාරම් සර් කතා කරපු දේවල්.”
“ඔව් මිහිදිනී, එදා එතුමා කිව්වෙ සිය දිවි නසා ගැනීමෙ ප්‍රශ්නය විතරක් වෙනම අරගෙන ඒක අනික් ප්‍රශ්නවලින් වියුක්ත කරලා විසඳුම් හොයන්න බෑ කියලයි. එතුමා එදා පෙන්වා දෙන්න වෑයම් කළෙත් ඊටත් තිස් වසරකට විතර ඉස්සෙල්ලා 1954 දි සමාජය දැනුවත් කරන්න කියපු කාරණා ම තමයි. එදා වැඩිහිටියන්ගේ අවධානය එතුමා කියපු දේවලට යොමු උනානං මීට වඩා වෙනස් සමාජයක් බිහි වෙන්න ඉඩ තිබුණා.”
“මොනාද සර් එතුමා අවධානය යොමු කරන්න කියපු ඒත් ඒ කාලෙ දි අවධානය යොමු නොකරපු කාරණා.”
“එයින් එකක් තමයි සමාජය අද මේ විධියට පවතින්නෙ මීට ඉස්සෙල්ලා කිසි කාලෙක නොතිබිච්ච තරමට මින්ස්සුන්ගෙ හිත් නොයෙක් දේවලින් පොළඹවන නිසා කියන එක. එතුමා කිව්වෙ උදේ ඉඳන් හවස් වෙනකනුත් ආයි හවස ඉඳලා පහුවදා උදේ වෙනකනුත් අපට මුණ ගැසෙන්නේ සිත් සන්සුන් කරන දේ නෙමෙයි සිත පොළොඹවන දේ කියන එක. සිත කිති කවන දේ කියන එක.”
“ඉතින් ඒ කාලෙත් මාධ්‍යවල යමක් තේරුම් ගන්න පුළුවන් උගත්තු ඉන්න ඇතිනෙ.”
“ඉන්ඩ ඇති ඒ උනාට වැඩි වශයෙන් සිද්ද උනේ නං අදිකාරම්තුමා කියපු දේවල්වලට ප්‍රතිවිරුද්ධ දේ. මිහිදිනී, කියවන්න දුව ඔය ලිපියෙ ඒ යුගේ මාධ්‍යය කලා භාවිත කරපු හැටි ගැන අදිකාරම් ආකල්පය. හැබැයි මෙතෙන්දි අපි අමතක කරන්න නරකයි එදා හොඳ දේත් ප්‍රචාරය වෙච්ච බව. එසේ ම අද දවසෙත් හොඳ අඩුවෙනුත් නරක වැඩියෙනුත් ප්‍රචාරය කරන තත්ත්වයක් ඇති වෙලා තියෙන බව. දැන් කියවන්න දරුවො අදිකාරම්තුමා එදා ලියපු දේ.”
“ගුවන් විදුලියෙන් අසන්ට ලැබෙන ගීත කවි ආදියෙන් කරන්නේ ද වැඩි වශයෙන් සිත් පෙළඹවීම ය. සිත සන්සුන් කරන කවි ගීත ආදිය ඇති මුත් සිත පෙළඹවීම පුරුදු කොට ඇති අයට ඒවා රුචි නොවෙති. එහෙයින් ගුවන් විදුලිය කරන්නේ ජනප්‍රිය දෙයට මුල් තැන දීම මිස සිත සංසිඳවන දෙය ප්‍රචාරය කිරීම නොවේ. මෙය එක රටක නොව ලෝකයේ සෑම රටක ම පවත්නා තත්ත්වය යි.
සිනිමා චිත්‍රපටවලින් ද මිනිසුන්ගේ සිත පොළඹවනු ලබන ප්‍රමාණය ඉතාම භයානක ය. ළමයින්ට ද තරුණ තරුණියන්ට ද මෙයින් සිදු වන හානිය ඉතා විශාල යයි සිතමි. යමක් ඉගෙන ගැනීමට ආධාර වන චිත්‍රපටියක් දක්වනු ලබන්නේ කලාතුරකිනි. ඒවා නිතර පෙන්වීමෙන් වැඩි මුදලක් සිනිමා අයිතිකරුවන්ට නොලැබෙයි. එහෙයින් ඉතාම වැඩි වශයෙන් සාදනු ලබන්නේත් පෙන්වනු ලබන්නේත් මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ සිත කිති කවන පින්තූර ය. නවකථා බොහොමයක් ගැන ද කියන්ට තිබෙන්නේ මීට සමාන වූවකි. සිත සන්සිඳුවීම පිණිස පවත්නේ යයි කියනු ලබන ආගමික දේශනයට පවා බොහෝ විට මිනිසුන් ගෙන්වනු ලබන්නේ සිත පොළොඹවන දේ කිරීමෙන් ය.”
“මට දෙන්න දුව දැන් ඔය පොත, අපි අපේ වර්තමානය හදාගත්තොත් තමයි අපිට අනාගතයක් ඉතිරි වෙන්නෙ. ගුරුවරයා කියන්නෙ නිවැරදි වර්තමානය නිර්මාණය කරන කෙනාට. මේ සමාජෙ ජීවත් වෙන දරුවන්ට මග පෙන්වන කෙනාට. අඳුර තියෙන තැනට ආලෝකය ගේන කෙනාට.
”රේණු, මන් ඔය දරුවා ගැන අහලා තිබ්බට මට භෞතික ව ඔයා ව දකින්න ලැබුණෙ අද. විපුල්ගෙ ගඟුල්ගෙ මිහිදිනීගෙ ඇස්වලින් දැකපු ඔයාව මට අද මගෙ ඇස්වලින් දැක ගන්න ලැබුණා. ඔයා විදුහල්පතිනියක්. තවම තරුණ යි, අවංක යි, නිර්භිත යි, අව්‍යාජ යි. ඔයාට ශක්තියක් වෙමින් ඔයාගෙ මේ පසුබිමේ ඉන්න විපුල් - ගඟුල් - මිහිදිනි කියන නම් අතරට අද ඉඳලා - මේ මොහොතෙ ඉඳලා තවත් නමක් එකතු උනා කියලා හිතන්න. විපුල් අපි මේ කෙල්ලට ආශිර්වාද කරමු.”
සියලු දෙනා ආදරණීය දෑසින් බලා සිටි ඒ පවිත්‍ර නිමේශයේ යළිත් කතා කෙළේ සහන් ආචාර්යවරයා ය.
“ගන්න රේණු, මේ පොත අතට. පෙරළා ගන්න අපි කතා කරපු ලිපිය තියෙන තැන.”
අනතුරුව සහන් බැලුවේ විපුල්- ගඟුල් සහ මිහිදිනී දෙස ය. යළිත් ඔහු කතා කෙළේ ය. ඒ එතැන සිටි සියලු දෙනා නියෝජනය කරමිනි.
“වර්තමානය වෙන කොටත් තවමත් විසඳිලා නැති ප්‍රශ්න විසඳා ගන්න අදිකාරම්තුමාගෙ මේ කියමන් ආලෝක ප්‍රකාශ ම වේවා කියන ප්‍රාර්ථනාව කරලා, පොඩි දරුවන්ට වගෙම ගැටවර වයසෙ ළමයින්ටත් මග පෙන්වන, අපේ මේ තරුණ විදුහල්පතිතුමියට කියමු, එතුමාගේ මේ ආලෝක ප්‍රකාශ අපි කාටත් ඇහෙන්න කියන්න කියලා.”
එසේ කියා සහන් දෝතින් ම ඒ සිතිවිලි පොත දුන්නේ රේණුගේ දෝතට යි. රේණු ද සිය දෝතින් එය පිළිගත්තේ සිය හද විකසිත වන බැතිබර හැඟුම ද ඊට මුසු කරමිනි. මෙදින සංකථන මණ්ඩපයේ අවසානය සිදු වූයේ මෙරට ජීවත් ව සිටි ඒ සුවිශිෂ්ට දාර්ශනිකයාගේ - පාසල මෙන් ම සරසවිය ද යාකළ ඒ සුකීර්මත් අධ්‍යාපනඥයාගේ හෘදයාලෝකයට සිය හද කවුළු විවර කළ තුරුණු විදුහල්පතිනියගේ අව්‍යාජ කටහඬින් ඇසෙන ආලෝක ප්‍රකාශ හදවත් පහක සුගැඹුරු ම තැන තැන්පත් වීමෙනි.
“කොයි ක්‍රමයකින් සිත කිති කවනු ලැබුවත් ඇති වන ප්‍රතිඵලය එක ය. එනම් ඉන් සිදු වන්නේ සිත තවදුරට කිති කැවීම යි. තරුණ තරුණියන් විසින් පමණක් නොව අනෙකුත් සෑම දෙනා විසින් ද කරනු ලබන සෑම සිය දිවිනසා ගැනීමක් ම සිදු වන්නේ කෙනෙකුට සිත කිතිකවා ගැන්මට ඇති මාර්ග ඇහිරුණු විට ය. සිත කිති කැවීමේ සිත පෙළඹවීමේ ඵලයන් වූ නොයෙකුත් විධියේ දුශ්චරිතත් සිය දිවිනසා ගැනීම් ආදියත් නැවතීමට නම් ඊට හේතුව වන සිත පෙළඹවීම නැවැත්විය යුතු ය. එහෙත් ඒ අතින් කිසි උදව්වක් වර්තමාන සමාජයෙන් කෙනෙකුට නොලැබෙනවා පමණක් නොව ශිෂ්ට යයි සම්මත සමාජය පවා සෑදී තිබෙන්නේ එක්තරා විධියක එනම් සම්මත කර ගන්නා ලද නීතිරීති සහ සිරිත්වල සීමාව ඇතුළේ පිහිටා සිත පෙළඹවීම ඉන්ද්‍රියයන් පිණවීම නිවැරදි යයි ද ඒ සීමාවලින් පිටතට ගොස් ඒ දෙයම කිරීම වැරදි යයි ද යන අදහසිනි. මේ කොයි විධියෙන් සිදු වුවත් පෙළඹීම පෙළඹීම ම ය. තත්ත්වය මෙය නම් අප විසින් කළ යුතු ව ඇත්තේ කුමක් ද?
සමාජයේ තත්ත්වය මෙය නම් මේ මහා අනතුරු සහිත විහිළුවෙන් ගැළවී යාමට කිසිම කෙනෙකුට විශේෂයෙන් තරුණ වියෙහි පිහිටි කෙනෙකුට හැකි වෙයි ද? ඔහුට හෝ ඈට ආධාර වන්නේ කවුද? සිත සන්සිඳීමට පත් නොවූ කිසිවෙකු ඒ අවශ්‍ය වූ ද උතුම් වූ ද ආධාරය දීමට සුදුස්සෙකු නොවන බව නම් පැහැදිලි ය. එහෙයින් රටක තරුණ තරුණියන් අතර ද වැඩි මහල්ලන් අතර ද සදාචාරය ඇති වීමට අවශ්‍ය වන්නේ උගතුන්ගේ හෝ දක්ෂයින්ගේ හෝ බලවන්තයින්ගේ සිටීම නොව එසේ සංසිඳීමට පත් වූ සිත් ඇති ස්වල්ප දෙනෙකු වත් එම රටේ සිටීම ය. එසේ බලන විට අනාථ වූ වර්තමාන සමාජයට කෙනෙකු විසින් කළ හැකි ඉතාම ලොකු සේවය පළමුකොට තමාගේ සිත සන්සිඳුවා ගැනීම යයි හැඟේ.”
No comments:
Post a Comment