Wednesday, January 9, 2013

ඉගෙනීම

අධ්‍යාපනය ලබන ළමයෙක් විශේෂයෙන්ම මහන්සි විය යුතු බව මම අදහමි.ඔවුන් අනිත් පුද්ගලයන්ට වඩා මහන්සි විය යුත්තාහුද වෙති.සාමාන්‍යයෙන් මා නම් අධ්‍යාපනය විෂයෙහි වැඩි මහන්සියක් යොදවන්නෙමි.. සහ ඒ යෙදවීම සිදු වන්නේ කැමැත්තෙනි.නිරායාසයෙනි.එය මා අකමැත්තෙන් කරන දෙයක් නොවේ.මා දන්නා අතලොස්සක් මිතුරු මිතුරියෝ ද එසේ වෙති.එහෙත් බහුතරය එසේ නැත.ඔවුන්ට අධ්‍යාපනය සදහා යෙදවිය යුතු මහන්සිය කරදරයකි.

වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය.ඔවුන් මහන්සි විය යුත්‍තේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණි.අනිත් සෑම දෙයක්ම ළගටම ලැබේ.ඉතින් එසේ තිබියදීත් කිසිවක් නොකරන ඔවුන් ගැන ඇත්තෙන්ම මම නම් දැඩි ලෙස කණගාටුවට පත් වෙමි.වාසනාවකට මා කිට්ටුවෙන්ම ඇසුරු කරන මිතුරියන් දෙදෙනා එබදු නැත.ඔවුන් අනායාසයෙන් ඉගෙන ගැනීම සදහා මහන්සි වෙති.ඉගෙනගත් දෙය අත්හදා බැලීමක් ලෙස නොව සැබෑ මනුසත් කමින් තමන් උගත් දෙය අන්‍යයන්ට කියා දෙති.ඒ ඔක්කෝටම වඩා ඒ දෙන්නා පොළොවේ පය ගසා ජීවත් වෙති.ඔවුන් ළග කෝලම් ද,මායම් ද නැත.ඒ යහපත් ගතිගුණ වඩාත් ඉස්මතු වන්නේ ඔවුන් ඉගෙනීමේ නිවැරදිම ක්‍රමයක් අනුගමනය කරන නිසා බව මට සිතෙන කාරණයකි.

මට ඉගෙනීම ගැන ලියන්නට හිතුණේ කරුණාදාස සූරියආරච්චි පුරුදු පරිදි සිළුමිණ පුවත්පතේ ලියා තිබුණු ලිපියක් නිසාය.සෑම ලිපියකටම ප්‍රිය නොකළත් ඔහු අතින් ලියැවෙන බොහෝ දෑ තුළ මට කුමක්දෝ අාකර්ශණීය බවක් දැනේ.මේ ලිපියත් එබදුය.එය ළමා කතාවකි.කතාව ගැන කිව යුතු තරමේ දෙයක් නොතිබුණත් එහි ලියැවී තිබුණු පහත වැකිය ඉගෙනීම සම්බන්ධයෙන් මෙහි ලියා තැබිය යුතුම යැයි මට සිතිණි.

"සරුවට බෝග හැදෙන්න නම් හොද පසක් තෝරාගන්න.හොද බීජ ඇට සොයාගන්න.හොදට මහන්සි වෙලා වැඩ කරන්න.අස්වැන්නෙන් කොටසක් නැති බැරි අයට දෙන්න."

28 comments:

  1. බාහිර දේවල් වලට තමයි මගෙ හිත නම් වැඩි පුර යන්නෙ..

    //අධ්‍යාපනය ලබන ළමයෙක් විශේෂයෙන්ම මහන්සි විය යුතු බව මම අදහමි.ඔවුන් අනිත් පුද්ගලයන්ට වඩා මහන්සි විය යුත්තාහුද වෙති.සාමාන්‍යයෙන් මා නම් අධ්‍යාපනය විෂයෙහි වැඩි මහන්සියක් යොදවන්නෙමි..//

    ඔබව අගය කරමි....

    ReplyDelete
    Replies
    1. බාහිර දේවල්වලට හිත යන එක මනුස්ස සොබාවයක්නේ.ඒත් මං හිතන්නෙ හැගීම් ඇති වෙනව නං ඒව පාලනය කරගන්නත් අපිට ශක්තිය තියෙන්න ඕන බව.

      ස්තූතියි අදහසට!

      Delete
  2. //// වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු............

    මම දැකල තියන විදියටනං එහෙමම කියන්නත් අමාරුයි. සැපට හැදුනු අය හොඳ රිසල්ට් ගන්න අවස්ථාත් දැකල තියනව.. අනිත් අතට කටක විදියට හැදන අය ලයිට්කණු ගන්න වෙලාවලුත් දැකල තියනව.....

    මමනං හිතන්නෙ අපි මේ වගේ රාශීන් දෙකක් තොරල සමීකරණ වලට දාන්න හදන එක හරි යන්නෙ නෑ කියලයි!
    මන්ද ඉතිං මගෙ අදහස විතරයි! :) :)

    අනිත්ව එක්ක නං එකඟයි! :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.මගේ අත්දැකීම්වල හැටියට මහා පොදු සාධකය ගැනයි ලිව්වෙ.එහෙම රාශි දෙකක් තෝරල සමීකරණ වලට දාන එක වැරදි වෙන්න පුළුවන්.අදහස් සාපේක්සයිනෙ.

      ස්තූති අලියෝ..))

      Delete
  3. ශා.... සිරා පොස්ටුව කාලෙකට පස්සේ නියම හරවත් පොස්ටුවක් දැක්කා....
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හරවත් දේවල් ගොඩක් බ්ලොග් අවකාශයෙ ලියවෙනව.නමුත් කණගාටුවකට වගේ ඒවට අවධානය යොමු කරන පිරිස අඩුයි.

      ස්තූති!

      Delete
  4. කියපු දේට මාත් එකගයි. මම දන්න එකෙකුත් , ඌ තමයි ගෙදරටම ඉන්න දරැවා. තට්ටු දෙකට එහෙම ගේහදලා ඌට කරන්න තිබ්බේ ඉගෙන ගන්න එක විතරයි. ඒත් ඌ ඒක කරේ නැතුව රස්තියාදු ගගහා ඉඳලා හිතුවක්කාරකමට නොගැලපෙන තැනකින් 19 පිරෙද්දිම කසාදයකුත් බැඳගත්තට පස්සේ දෙමාපියෝ මූට එන්න දුන් නැ පැත්ත පලාතට. ගේ, දොර, ඉඩ කඩම් ඔක්කොම දෙමාපියන්ගේ ජීවිත බුක්තිය තියාගෙන ලිවා මහලු නිවාසයකට. ඒ අම්මා දොස්තර කෙනෙක්. තාත්තා මුද්‍රණ ව්‍යාපාරයක් කරන බොහොම වැදගත් දෙමාපියෝ..නමුත් අපි ලාවට හරි ඉගෙන ගෙන දැන් පොඩි ජොබ් එකක් කරන අතරෙත් කොහොම කොහෙම හරි නිවාඩු අල්ලලා තවත් දෙයක් ඉගෙන ගන්නයි හදන්නේ...මං ගැන පංපෝරියක් එහෙම නෙවෙයි ඕං හොඳේ..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!




    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඔහොම උදාහරණ ඕනැ තරම් අපි ජීවත් වෙන මේ සමාජයෙ සොයාගන්න පුළුවන් අය්යේ.

      ඕං ඔයා ගැන ලියා තියෙන ටික පම්පෝරියක් කියල මම නං කොහොමවත් හිතන්නෙ නෑ.තමන් හරියට ජීවත් වෙනව නං ඒ ගැන අබිමානයක් මනුස්සයෙකුට තියෙන්න එපැයි නේද?

      බොහොම ස්තූති!

      Delete
  5. ඉගනීමට මහන්සි විය යුතුයි. ඒක අනෙක් ඒවාවගේ වාසනාගුණයෙන් පහළ වෙන්නෙ නෑ. කැපවීම, වෙහෙසිම, සහ උනන්දුව අත්‍යවශ්‍යයි.

    අපූරු සටහනක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.ඉ‍ගෙනීම කියන්නෙ මහන්සිය එක්ක බැදී පවතින දෙයක්.ඒකට උනන්දුව එකතු නූනොත් මහන්සි වීම කරදරයක් ලෙස දැනෙන්න ඉඩ තියෙනව.

      බොහොම ස්තූති..

      Delete
  6. //සාමාන්‍යයෙන් මා නම් අධ්‍යාපනය විෂයෙහි වැඩි මහන්සියක් යොදවන්නෙමි.. සහ ඒ යෙදවීම සිදු වන්නේ කැමැත්තෙනි //

    මේකට මූලිකම හේතුව ප්‍රධාන හේතුව ඔයා ගෑණු ළමයෙක් වීම..
    සාපේක්ෂව කොල්ලන්ට වඩා කෙල්ලො ඉගෙනීමට උනන්දුයි. ඒ උනන්දුව අඩු වෙනව අපත කොල්ලෙක් ජීවිතේට ඇතුළු උනොත්..

    //වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය//

    නංඟි පැටියෝ ඔයා එහෙම හිතනව නම් ඔයාට වැරදිලා.. ඉගෙනීමට මහන්සි වෙන්න කාලයක් වෙන් කරන්න බැරි ළමයිනුත් ඕනතරම් ඉන්නව. එයාලට ඊට වඩා වැඩ තියෙනව. ගෙදර වතුපිටි වැඩ, ඉගෙන ගත්තොත් අනාගතේට හොඳයි තමයි. ඒත් ඒකට වර්ථමානෙ ජීවත් වෙලා ඉන්න එපැයි. ඒ නිසා ගොඩක්ම දුප්පත් පවුල්වල ළමයිනුත් ඉගෙන ගන්න ආසවක් නෑ. මූළික පරමාර්ථය එදා වේල කන්න කීයක් හරි හම්බ කර ගන්න එක..

    දෙමවුපිය වැරදි, පවුල් පසුබිම, සමාජ තත්වය මේවත් ඕකට බලපානව. රෑඩිකල් විදියට අපිට කියන්න පුළුවන් ඔය මොනව තිබුණත් උනන්දුව තියේනම් හොඳට ඉගෙන ගන්න පුළුවන් කියල. ඒත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියල බලන්න අපිත් ඒ තත්වෙට පත් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව කොල්ලන්ට වඩා කෙල්ලො ඉගෙනීමට උනන්දුයි.මේක ඇත්ත වෙන්න පුළුවන්.හැබැයි ඒ උනන්දුව අඩු වෙන්න ජීවිතේට එකතු වෙන්න ඕන අපත කොල්ලෙක් විතරක් නොවෙයි,ඉතාම හොද කොල්ලෙක් වුණත් වැරදි වයසකදි ජීවිතේට ළං වුණොත් ඔක්කොම වැරදෙනව.නමුත් සමහරු ඉන්නව දෙපැත්තම සමබරව කරන.

      දෙවැනි කාරණේට මං එකග වෙනව.මං ඔය ලිව්වෙ මගේ අත්දැකීම්වල හැටියට.මං දන්න හුගක් දුප්පත් ළමයි(සමහරු ඉන්නව මේසන් බාස්ලට අත්උදව් දීල ගෙදරට සල්ලි හම්බ කරනව.ඒ අතරෙ ඉගෙනත්ගන්නව)තුළ ඒ දුකෙන් ඈත් වෙලා දෙපයින් නැගිටින්න ඕන කියන අරමුණ තියෙනව.

      ඔයාගෙ අවංකම අදහස ගැන කියපු එකට ගොඩක් සතුටුයි අය්යේ,ස්තූතියි!

      Delete
  7. ඇත්ත කතාව නංගියෝ......ඉගෙන ගන්නවා කියන්නේ නිකන් භාවනාවක් කරනවා වගේ වැඩක් ඒක බොක්කෙන්ම කරන්න ඕන....(මම නිකන් කියෙව්වට මම ඔය කියන භාවනාව හරියට කලේ නෑ...භාවනාව අතරමැදදී ඇස් ඇරියා...ඉතින් භාවනාව කැඩුනා....)

    ReplyDelete
    Replies
    1. තාම පරක්කු වැඩි නෑ නේද අය්යෙ.ඔයාට නිවැරදි කමටහනක් විතරයි ඕනැ වෙන්නෙ ආපහු ඇස් දෙක පියාගෙන භාවනාව පටන් ගන්න.

      Delete
  8. කතාවත් එක්ක එකගයි නංගියො.. ඉගෙන ගන්නත් වාසනාව පිහිටිම තියෙන්න ඕන කියලා ඔය සමහරු කිවුවට ඒකනම් මම පිළිගන්නේ නෑ.. කැපවීමයි උනන්දුවයි තිබ්බනම් ඕනම දෙයක් කරන්න පුළුවන්.. මේ අපි වගේ කට්ටි පනින්නේ නැතුව..

    ReplyDelete
  9. (මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය.)

    මටත් මේ කතාවටනම් සම්පුර්ණයෙන්ම එකග වෙන්න නම් බෑ. හුගක් ‍අය මේ නිසා වෙන්න ඇති. ඒත් සමහර කට්ට කන අයටත් ඉගෙනීම එපා වෙනවා. සමහරවිට හිතාගන්නත් බැරි හේතු නිසා.

    ReplyDelete
  10. අනිවාර්යයෙන්ම බෙදා හදාගෙන කරන අධ්‍යාපනය තමා මාත් අගය කරන්නේ වගේම ක්‍රියාත්මක කරන්නේ. සමහරු නෝට්, පොත් පත් හංගගෙන තමන්ගේ පාඩම් කටයුතු කළත් ඒවායින් විභාග ගොඩදාගත්තත් අනුන්ට උදව් කරලා තමන් දන්න දෙයක් බෙදා හදාගෙන ඔක්කොමත් එක්ක ගොඩයන එක තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. මැරෙනකොට ගෙනියනවනේ පාඩම් කරපු දේවල්.ඒක වෙන්නැති කාටවත් උදව්වක් නොකර තනියෙන්ම පාඩම් කරන්නෙ.

      Delete
  11. මං කැම්පස් ඉන්න කාලෙ රස්සාවක් කලා. ඔන්න ඉතින් හවහට ඇවිත් පාඩම් කරන්න හදනකොට දවල් තිස්සේ ක්‍රෑම දාන රූමෝ ටික මට උදලු දානවා. ඔන්න ඔහොමයි වැඩ.. හැබයි ප්‍රතිපල ආපුදා මට ක්ලාස් උන් යන්තම් බ්ලාස්

    ReplyDelete
  12. ඔයාගේ ඉගෙනීම ගැනත් ඒ වගේ ම හිතන්න. තමන් ඉගෙන ගත් දෙයක් අනෙක් කෙනෙක්ට කියලා දෙන එක තරම් සතුටක් තවත් නෑ.

    මං දන්නා දෙයක් කියලා දීම ගැන ජීවිතේ පුරාවට වැඩියෙන් ම සතුටු වුණු දවසෙයි මේ කමෙන්ට් කරන්නේ! ඒ සතුට වෙනත් කිසිම දෙයකින් කවදාවත් ලබන්න බෑ. වගකීමෙනුයි කියන්නේ!

    කැම්පස් එකේ නම් ඉතින් අධ්‍යාපනය කියන්නේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. මොඩියුල් එක ගොඩ ගිය එවුන්ගේ කුප්පි දැමීම සහ අනා ගත් උන් කුප්පි වලට යෑම තමයි ස්ටඩි ලීව් එක කියන්නේ!!

    ජය වේවා නංගියෝ!!

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ මගේ ඉගෙනීම ගැනත් හිතනවා.ඒ දෙය අමතක කරල නැහැ.නමුත් මං නිසා යමක් කරගත්තු කෙනෙක් දිහා බලල ඇති වෙන සතුට මගෙ පෞද්ගලික ජීවිතේ ජයග්‍රහණයකින් මට කවදාවත් ලැබිල නැහැ.ඔයාට ඒක හොදින්ම තේරෙනව ඇති.

      අනිවාර්යෙන්ම සරසවි සංස්කෘතියෙ ඒ ප්‍රතිපත්තියට මං හුගක් ගරු කරනව.

      බොහොම ස්තූතියි.

      Delete
  13. ගොඩක් අය මහන්සිවෙලා ඉගෙන ගන්නවා කවදාහරි හොඳ රැකියාවක් කරලා හොඳ තත්වයක් ඇතිකරගන්න තියෙන මාර්ගය ඒක නිසා ..සැපට හැදුන සමහර වෙලාවල ඉගෙනගන්න අකමැතියි කියල කතාවට මම එකගයි ..එකට හේතුව මම හිතන්නේ අපි ඉගෙන ගෙන කවදාහරි ලබාගන්න බලාපොරොත්තුවෙන දේවල් එයාලට දැනටමත් තියෙන නිසා වෙන්න පුළුවන් ...

    ReplyDelete
    Replies
    1. ඒ හේතුව නිසා වෙන්න පුළුවන්.අනික් අතට ඉගෙනීමේ අගය ගැන හරි අදහස ඔළුවට වැටිල නැති නිසා.

      Delete
  14. ඉගෙන ගන්නවා කියන්නෙ අනාගතේ හොඳ විදියට ගොඩදාගන්න තියෙන ෂෝට් කට් එකක්. එහෙම අධ්‍යාපනය නොලබා දුෂ්කර පාරවල් වලින් ගිහින් සාර්ථක වුන මිනිස්සුත් ඉන්නවා, හැබැයි සාපේක්ෂ ව අඩුයි.

    //වඩාත් කණගාටුදායක කාරණය එසේ මහන්සි වීමට අකමැති පිරිස කුඩා අවදියේ පටන්ම සැපට හැදුණු වැඩුණු උදවිය වීමය.. මෙකට නම් ටිකක් එකඟ වෙන්න අමාරුයි නංගියෝ. ඒක බලපාන්නේ එක එක්කනාගේ බුද්ධි මට්ටම මත කියලයි මම හිතන්නේ. පරිසරය කියන එකත් නොසැලකියයුතු එකක් නෙවෙයි. ඒ වුණත් ඒකේ බලපෑම අඩුයි කියලයි මට හිතෙන්නෙ. කොහොම වුණත් හරවත් අදහස් සමාජගත කරන්න හදන උත්සහයට මම Like!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්.හැබැයි අධ්‍යාපනය කියන්නෙ ෂෝට් කට් එකක් කියන එකට නම් එකග වෙන්න ටිකක් අමාරුයි මට..))

      දෙවැනි කාරණේ ගත්තොත් ඒක ඇත්ත අය්යේ.මං ඔය මගේ අත්දැකීම්වලට අනුව තමයි ලීවේ.ඔය අදහස ගැන කමෙන්ට්වල ගොඩක් අය කතා කළා.ඒ බව පිළිගන්නවා.

      ස්තූතියි අය්යේ මෙහෙ ආවට.මේවා මං මගේ ආත්ම තෘප්තිය උදෙසා ලියන දේවල්.ඒ දේවල්වලින් කවුරු හරි මොනවා හරි දෙයක් ගන්නවා නම් සතුටුයි.නැත්නම් අනේ හරවත් කියන ලේබලය ගහගෙන ලියන්න ඕනේ නෑ.ඔයාලා වගෙම අවංකව හිතට දැනෙන දේ තමයි මාත් මේකෙ ලියන්නේ.

      Delete