Sunday, December 19, 2021
63. The Forest of Rhetoric!
62. ගැඹුරු සමනළ චරණ!
පශ්චාත් උපාධිය සම්බන්ධ ෆයිල් එකට වැහි දැරිවි යොදලා තියෙන්නෙ සමනළයෙකුගෙ අයිකන් එකක්. මොකද ඒක දකින හැම වාරයකදිම වැහි දැරිවිට මතක් වෙන යම් යම් කාරණා ටිකක් තියෙනවා.
එකක්, බරසාරය කියන පශ්චාත් උපාධිය හදාරන්න අවැසි සමනල සැහැල්ලුවකින් බව එවිට වැහි දැරිවිට මතක් වෙනවා. ඔය කටු ඔටුන්න හිස පැළඳගත්තට පස්සෙත් පියාපත් බර පමණක් ඇතිව පියාසැරියෙ යෙදෙන්න පුළුවන් සමනල චරණයක් ඉතිරි කර ගත යුතුය යන්නත් සිහිපත් වෙනවා.
ඒ එක්කම ඊට වඩා අඩු බරක් ඇතුව වුණත් මොහොමඩ් අලී වරෙක කියාපු යමකුත් සිහිපත් වෙනවා.
සමනළයෙකු සේ පා ව යන්න. මීමැස්සෙකු සේ දෂ්ට කරන්න.
ඒක වැහි දැරිවි තේරුං අරන් ඉන්න විදියට නම්, මීමැස්සෙකු සේ දෂ්ට කරන්න හැකි වෙන්නෙ - එනම් යහපත උදෙසා බලපෑම් සහගත සමාජ වෙනසක් කරන්න හැකි වෙන්නෙ, සමනලයකු සේ සැහැල්ලුවෙන් පුද්ගලික ජීවිතය සරලව පවත්වාගෙන යන්න හැකි කෙනෙකුටයි. මහා බරපතළෙට තමාව අල්ලගත්ත කෙනෙක්ට තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් සංතෘප්තව යමක් කරන්ඩ අමාරුයි.
ගැඹුරු සමනළ චරණයක් ගැන සහෘදයන් කිහිප දෙනෙක් එක්ක සංවාදෙක උන්න දවස් කීපෙකට පස්සෙ උදා වුණ ඉරිදා ඉරිමාවක වැහි දැරිවිට මහාචාර්යවරු දෙන්නෙක් කතා කරපු කාරණා ටිකක් ඇහුණා. ඔවුන් දෙන්නා අතර සිදු වුණ දුරකථන සංවාදෙ වැහි දැරිවිගෙ හිත විසල් සංතෘප්ත බවකින් පිරෙව්වා.
ඔවුන් දෙන්නා විද්වත් කාරණා ගැන කතා කළෙත් මහා සැහැල්ලුවකින්. එහෙමයි කියා ඒ කාරණාවල බර - ගැඹුර අඩු වුණේ නෑ.
ඒ සැහැල්ලුවෙන්මයි ඔවුන් තමන්‌ගෙ බිරින්දෑ ගැනත් දරුවො ගැනත් කතා කළේ. වෙන වෙන අසත් පැටලිලි නැති ජීවිතවලට මහා සංතෘප්තියකින් නොවළහා, නොසංගා ඒ ගැන කතා කරන්න පුළුවන්.
ඒ එක්ක වැහි දැරිවිට සිහිපත් වුණේ පසුගිය දිනවල ජපුර සරසවියෙ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් පවත්වපු පර්යේෂන සැසියක මහාචාර්යවරයා පවත්වපු මුඛ්‍ය දේශනය. ඔහු කතා කළේ වේගයෙන් දුවන ගමනක පරිසරය රැකගනිමින් යන හරිත චරණයක් පිළිබඳව.
වේගයෙන් සිදු වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ආර්ථික,දේශපාලනික සහ සමාජ ක්‍රියාවලීන්වල තිබෙන ගැටලු ආදියට විසඳුම දරුවන් අඩුවෙන් හැදීම නොවන බවත් පෘථිවියට ආදරය කළ හැකි අන්දමට දරුවන් හරියට හැදීම වගත් ඔහු කියා සිටියා. හරිත මාපියන් විසින් හරිත දරුවන් බිිහි කිරීමේ වැදගත්කම ගැන කී ඔහු ඔහුගේ බිරිද ගැබිණියක් බවත් තමන් දෙදෙනා හරිත දරුවෙක් තනන්නට සිය සියලු ශක්තිය යොදවන බවත් කියා සිටියා. තමන්ගේ දරුවන් සරි සිසුවියන් කෙරේ යොමු වුණ පවිටු අරමුණු නිසා තමන්ගේ පුද්ගලික ජීවිතය, පවුල ගැන දේශනයකදී සදහන් කරන්නට පවා පැකිලෙන, සිසුවියන් අවභාවිත කරමින් අපාගත වන්නට සුදුසුකම් රැස් කරන සමහරක් සරසවි ඇදුරන් මැද මේ අවංක මිනිසුන් හැබෑම විද්වතුන් වග දැනෙනවා.
එවන් සංතෘප්ත - යහපත් විද්වත්තු හරි නිහතමානිිියි... හරි සුන්දරයි. ඔවුන්ට මවාපාන්න දෙයක් නෑ. ගොඩගනාගන්න ඉමේජ් එකක් නෑ. වහන්න බොරු නෑ. හිත්වල කුහකකම් නෑ. වඩා යහපත් ලෝකයක් උදෙසා වැඩ කරන ඔවුන්ට අන්‍යයන් ඉදිරියේ තමන්ගෙ රූපකාය ගොඩනගා නැගීමේත්, ඊට වැසැංගී දුඟද කටයුතුවල යෙදීමේවත් පටු බලාපොරොත්තු නෑ. ඒ නිසාම ඔවුන් විද්වතුන් සේ පෙනී ඉන්න සමහරුන් මෙන් සංකීර්ණ නෑ. පීඩිත නෑ. අතෘප්ත නෑ. ඔවුන්ගේ ජීවිතයත් සේවයත් යන දෙකම සංතෘප්තයි. එහෙම සංතෘප්ත මිනිස්සුන්ට පර්මනන්ට් හෙඩ් ඩැමේජ් කරගන්නව වෙනුවට අන් අයගෙ ඩැමේජ් වුණු හිත් සකස් කරන්න පුළුවන්.
ඉරිදා ඉරිමාවෙ දුරකථන සංවාදයත් ඇසීම නිසා ලියැවුණු මේ සටහන නිමවන්න ඒ මහැදුරුවරුන් දෙන්නාගෙන් කෙනෙක් නිතර කියන කතාවක් හොඳ කමටහනක් වේවි කියා හිතුණා.
සරලකම ගැඹුරුයි - ගැඹුරුකම සරලයි!
Saturday, November 20, 2021
59. සිහිල් සංවාද දිය උල්!
අද සුමින්ද කිත්සිරි ගුණරත්න, ඔහුම කියාගන්නා විදියට නම් 'හිටපු කවියාගේ' කව් විවරණිකාවකට සම්බන්ධ වුණා. ඒත් ඔහුගේ මනරම් විවරණ මැද ගෙවී ගිය අඩ හෝරාවෙදි මොහොතකටවත් ඔහු 'හිටපු කිවියරෙක්' කියා නම් දැනුණෙ නෑ.
ඔහු වැඩසටහනට සම්බන්ධ වී උන්නු හැම කෙනෙක් තුළම පාහේ සැංගී තිබුණ කවිකම් මතු කොටගත්තා. ගලන සිහිල් දිය පාරවල් වන් මිනිස්සු ඒ වගෙයි. ඔවුන් යන යන තැන අලුත් උල්පත් මතු වෙනවා.
සකු පන්තිය නිමා වෙලා වැඩසටහනේ ඉතිරි වී තිබූ අඩ හෝරාවට සම්බන්ධ වී ඉන්න විට වැහි දැරියට ඈත අතීතයෙ ඔහු වන් සිහිල් දියපාරවල් බඳු මිනිස්සු ගැහැණු නිතර අපේ දිහා ඇවිත් ගිය සැන්දෑවරු සිහිපත් වුණා. අපි එදවස හුරු වී උන්නා මනරම්, සංසුන් සාහිත්‍ය සංවාදවල යෙදෙන්න.
එවන් මිනිස්සු, එවන් සංවාද පිළිබඳ මතකයන් පවා මොහොතකට ජීවිතේ සුවපහසු කරනවා. තරඟයෙන් ඈත් වී ඉන්න උත්සාහ කරද්දීත් බලහත්කාරෙන් ධාවන පථයකට ඇදගන්න ටොක්සික් කාලෙකටත්, නීරස ලොක්ඩවුන් සමයකටත් පස්සේ වැහිදැරියට හුරු වී තිබුණ ඒ පුරුදු ජීවිතේ, ඒ සංවාද කොතෙක් නම් මඟ හැරිලාද කියා දැනෙනවා.
කවියක, සංවාදෙක, සත් බසක ඇසුර ලබමින් යෙදෙන සංසුන් ගමනක් කොපමණ ලස්සනද.. ඒ මනරම් සංවාදයට මොහොතකට සම්බන්ධ වන්නට ලැබුණු සැනසිලිදායක සැහැල්ලුවෙන් පස්සෙ කලබල හෙට දවසට අඩිය තියන්න කලින් වැහි දැරියට එහෙම හිතෙනවා.
Tuesday, October 26, 2021
56. මේ ප්‍රථම වසන්තයයි!
කාර්‍යබහුල - කම්පනකාරී ජීවිතෙන් මොහොතකට මිදිලා කලකට පස්සෙ නිවී හැනහිල්ලෙ සින්දුවක් අහන මොහොතක අහම්බෙන් 'මේ ප්‍රථම වසන්තයයි' ගීතය ස්ත්‍රී හඩකින් ඇහෙනවා. ඉතා මියුරු ස්ත්‍රී කටහඩකින්!
රියැලිටි කලාව ගැන ඒ හැටි මනාපයක් නැතත්, එහි එකග වෙන්න බැරි තැන් කප්පරක් තිබුණත් අංජලී මෙත්සරා නම් දැරිය රියැලිටි වැඩසටහනක ගැයූ ඒ ගීය මොහොතකට මාව මත් කර තබනවා. හෝ ගානා පොකුණේ අන්ධ දැරිය ලෙස විශිෂ්ට රංගනයක් කළ ඒ යුවතිය නිසා බබලන්නේ ඈ සම්බන්ධ වන වැඩසටහන මිස ඈ වැඩසටහන නිසා බබලනවා නොවන හෙයින් එක් අතකට ඈ රියැලිටි තරුවක් කියා ලඝු කිරීම වැරදියි.
කොහොම වෙතත් ඇගේ හඩ මේ ප්‍රථම වසන්තයයි ගීය සම්බන්ධ මතක රාශියක් වෙත මා ගෙන යනවා. කුඩා දැරියක කාලයේ ඒ ගීය මගේ ප්‍රියතම ලැයිස්තුවේ තිබුණේ නෑ. ඒත් එක් දවසක ඊශා අක්කාත් මාත් ඔවුන්ගේ ගෙදර බිම වාඩි වී කතා කරමින් උන් දවසක මේ ගීය ගැන ඉතා තදබල කැමැත්තකින් ඇය මා සමග කතා කළා මතකයි. එතකොට ඈ සාමන්‍ය පෙළ පන්තියේ වාගෙයි. මා ඈට වඩා දෙවසරක් ලාබාලයි. මේ ගීය ගැන මා තුළ අලුත් කැමැත්තක් හටගත්තේ එදායි.
ඉන් පසු අලුතින් මේ ගීය හොයාගෙන අසද්දී ඒ ගීය පාදක කරගෙන නිර්මාණය කර තිබූ රූප රචනාවක් අහම්බෙන් මා ඇස ගැටුණේ ඒ කාලයෙදිමයි. එය සකස් වී තිබුණේ පේරාදෙණිය සරසවිය ඇසුරෙන්. අද ආපසු හැරී බලද්දී එය එපමණ විදග්ධ ගණයේ රූපරචනාවක් නූනත්, ගීත අරබයා රූපරචනා සිදු කිරීම මෙකල තරම් අවර ගණයට ලක් වී නොතිබුණු එදවස ඒ ගීය මනරම් මිහිරකින් මා පුරවන්නට සමත් වුණා. ඇතැම් විට එකල මා තුළ දලුලමින් තිබූ - පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් හෝ සාක්ෂාත් කරගන්නට නොහැකි වූ පේරාදෙණි ස්වප්නයත් ඒ මිහිර තියුණු කරවන්නට හේතු වන්නට ඇති.
ඒ කොහොම වෙතත් වසර ගණනක් ගෙවී ගොස් ප්‍රථම වසන්තය ආයේ අලුතින් විදින මොහොතක මිහිරක් සමග දැනෙන්නේ නොස්ටැල්ජීය හැගුමක්. එහැගුමෙන් නොමිදීමයි මා ඒ ගීයේ මනරම් වචන පෙළක් කෙටි පණිවිඩයක් ලෙස දුරබණු මුහුණ මත සටහන් කරන්නේ...
සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ..!
Sunday, October 17, 2021
55. සුන්දර ජපුර!
ජපුරේ මංපෙත් දිගේ ඇවිද යද්දී මෑත අතීතේ සරසවියත් - ඈත අතීතේ සරසවියත් වැසි දැරියට සිහිපත් වෙනවා. දෙවසරකට මෙහා මෑත අතීතේ සරසවියට පා තැබූ ගමන් සුමංගලය වෙත, ඕපන් කැන්ටිම හෝ ජිම් කැන්ටිම වෙත දුව යන්නට වැසි දැරිය පුරුදුව උන්නා. යනෙන මග දිග බොහෝ දෙනා මුණ ගැහුණ, අතින් අල්ලා, වැළදගෙන කතාබස් කළ, සංවාද ගහ යට සංවාද කළ, තණබිම මත වාඩි වී බත් කටවල් හුවමාරු කළ, මනරම් මතක අද හුදෙකලා සරසවියෙ ඇවිද යද්දි මතු වෙමින් රිදුම් දෙනවා. කොතැනකින් හෝ ශේන්‍යා, සත්‍යා අක්කා, වාසනා, සොනික් අය්යා, පොඩි සමීරය්යා, කුරවි අක්කා, සචී වැනි කෙනෙක් මතු වෙතැයි හිතුණත් එසේ ප්‍රාදූර්භූත වෙන්නේ සරසවියට අරක් ගෙන සිටින - දුම්මල ගසාවත් ජපුරෙන් පන්නා දැමිය නොහැකි ලොකුසමීරය්යා නොහොත් සොනික් අය්යා පමණයි.
මෑත අතීතේ ඒ මතකයන්ට යටින් ඊට වඩා බරපතළ නොස්ටැල්ජියාවක් මතු වෙනවා. ඒ වැසිදැරිය සරසවි මානවිකාවක් වන්නට පෙර දවස්. ඇකඩමික් සමයෙ බොහෝ බශා හැන්දෑවරු මග ඇරුණත් ඉන් පෙර නොවැරදී හැම නලමුදු සුවදක්ම, හිමිදිරියක්ම, වේදිකා නාට්‍යයක්ම අත් නෑර විඳගත් මධුර අතීතයක මතක සුණු විත් හද පැටලෙන්නට පටන් ගන්නවා. අවුරුදු දහයක දැරියක්ව ඉද්දී අය්යලා අක්කලාගෙන් සරසවි කුරුටු ගී ඉගෙන ගත්, තෙල් බැමිවල වාඩි වී හැන්දෑ ඉරු එළිය යට තෙමුණු දවස් එකින් එක පෝළිමේ සිහියට නැගෙනවා.
දැන් සරසවිය ඔන්ලයින්. අලුතින් සරසවියට පැමිණෙනු ඇත්තේ සිය සහෝදර සමාගම සූම් සහ වට්සැප් හරහා පමණක් අදුනාගත් යොවුන් පිරිසක්. සරසවියේ අහුමුලු නොදන්නා පිරිසක්. ඒත් කවදාක හෝ ඔවුන් ජපුරේ රස තැන් එකිනෙක සොයාගෙන ඊට ආදරය කරන්නට පටන් ගනීවි. ඒ අලුත් සියොතුන් ඉක්මණින් පැමිණ සිය සරදාකාශයේ පියඹා යන තුරු ජපුර අපේක්ෂා සහගතව බලා ඉන්නවා වැනි හැගුමක් පාලුවට ගිය කසගස් පේළි අතරින් ඇවිද යද්දි වැසිදැරියට දැනෙනවා.
ඒ මතක මංපෙත ඔස්සේ ඇවිද යන කල වරින් වර වැසි දැරිය අතින් ජපුර ගැන ලියැවුණු කැත කවි ටිකක් මෙසටහන අග අමුණා තබන්නේ ජපුර කෙරේ වන ඇලීම නොමිදීම කෙළවර කොට ඇත්තක් බව දැන දැනමයි.
එකෙක් වැටුණොත් දහක් විත් සුවදුක් අහන
සහෝදර අත් වෙලී පැටලුණ රජදහන
සාර සිප් කටු මතින් සතපන මල් යහන
ජපුර නුබගැබ දුලන සුමගුල් සඳපහන
වේදිකාවෙන් මහපොළොව වෙත
බැස්සවූ බෝ දනන් දස දෙස
හමන නළමුදු සුවඳ වින්දේ
රොතු පිටින් නැග ජනෙල් පඩි අස
හිමිදිරියෙ සිට පහන් තරු තෙක්
නිමා නැති මිහිරක්ය ඇස ඇස
කොහේවත් වෙන රඟහලක් වෙද
ඉතින් සකියෙනි බ.ශා එක මිස
සංවාද නැති දවස්වලටත්
සංවාද ගහ වටේ ඉඳගෙන
කතා කළ හැටි කතන්දර, කවි,
සලරූප සහ හුඟක් දේ ගැන
වසර සතරෙන් අතෑරෙන මුත්
හුස්ම යන දින තෙක්ම පවතින
ජීවිතේ මිහිරිතම පාඩම්
සෝවුරනි, මේ බිමෙන් හමුවිණ!
Monday, March 29, 2021
54. නොදුටු ඇදුරු!
සමාන්තර විශ්‍වයක - කොහේ හෝ යම් තැනක
ඔබ සමඟ ඇවිද යන කුඩා දැරියක දකිමි
දුරාතීතේ නෂ්ට කණු අතර
ඇවිද ගොස් ගිමන් හැර තුරු පතර
නිවී සැනහී කිමිද වැව් වතුර
සිටින රූ දෙකක් දකිනෙමි නිතර
තුරක හෙවණක් නොලද ඈත ඉස්කෝලයක
ළපැටි සා පැටවුන්ට ජීවිතය ගෙන බෙදන
නැගී ගොස් දුම්රියෙක, කඩපිළෙක නැවතෙමින්
කුඩා මල් අස රැඳී ඔවුන් දුක් ගැන අසන
රජ මැතිඳු අවසරෙන් වනවදුලු ගෙල සිඳෙන
කලක ඍජු උස් සරෙන් සත්‍යයේ හී විදින
කිසිවකට නොම බැඳුණු, කිසි යොතක නොම රැඳුණු
සැරිසරන්නෙකු දකිමි නොවැස හැම තැන වෙසෙන
මෙපවතින විශ්වයේ කුඩා දියණියක් වෙමි
සමාන්තර විශ්වයක ඔබ දකින
දවස් ඇත ඒ දැරිය අන්ධකාරේ වෙළී
අහිමි එළියක දුකින් දුක් ලබන
මුත් සොබාදම් ළයේ ගැඹුරු හැම නිම්නයේ
ඔබ සිටින බව දැනී යළි නිවෙන
-සිත්තර සමන් රණසිංහ; නුදුටු ඇදුරුතුමන්/බන්ධුවරයා වෙනුවෙනි-