Wednesday, December 15, 2021

61. ගුරු දියවර නවකතාව - සිව්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ


                                                     සිව්වන දියවර 


                             



ගඟුල් තමා ඉදිරියේ දිස්වන විසල් කොහොඹ ගස දෙස නොසෙල්වී බලා හුන්නේය. මේ වියලි කලාපයේ වියලි කාලගුණයක් පවතින කාලය යි. එබිම්කඩ පිහිටි බොහෝ ගස්වල පත් හැළී වියලී ගොස් තිබුණත් මේ ගස තමා අව්වේ හිඳිමින් අනුනට සෙවණ සදයි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ තමා ලද උගත්කමේ පල, ආත්මලාභය පිණිස නොව පරාර්ථය පිණිස යෙදවූ ඒ ආදරණීය ගුරු සහෘදයා ය. 

දුබල වන සිත් හැඳින දිරිමත් කරමින් ද එළඹෙන අභියෝගවලට නොබිය ව මුහුණ දෙමින් ද අඳුර ඇති තැනට ආලෝකය ආදේශ කරමින් ද කටයුතු කළ ඒ ආදරණීයයා මේ ජීවිත කාලය තුළ යළි භෞතික වශයෙන් නම් මුණ නොගැසෙන බව ගඟුල් හොඳින් ම දනියි. මේ තමා ඉදිරියේ දිස්වන්නේ ඒ උත්තම මිනිසාගේ ආධ්‍යාත්මික රූපකායේ උත්තුංග සංකේතය ද? රත්න ශ්‍රී සහෘදයා ගස ගැන ලියූ කව අන් කවදාකටත් වඩා වෙනස් ම ලය මානයකින් අද ළයට ළං වන්නේ ඇයි?


                    “වැලක් දුබලව වැද හෝන සඳ

                     වාරුකොට දෝතට වඩයි

                     දහක් සිරසට ගිම් තාපයට 

                     සෙවණ වී සිසිලස සදයි

                     නැතක් දුක් මැද ඍජුව සිට

                     හර සොය සොයා අරටුව තනයි


                    ගසක් නම් ඉහළට වැඩෙයි

                    සැඬහිරුට නොබියව මුහුණ දෙයි

                    අඳුර පිළිකෙව් කරයි

                    සඳ එළියෙනුදු සෑහී නොනවතියි 

                    මලක් සිරසෙහි පැළඳ මිස

                    කිසිදාක සැතපෙන්නේ නොවෙයි”


“ගඟුල් මල්ලි මං මේ උඹ කොහෙද කියල බැලුවෙ. අම්මා හොයනව උඹව තේ දෙන්න. ඔන්න මන් දෙන්නගෙම තේ මෙතෙන්ට අරගෙන ආවා.”

“අනේ වසන්ත අය්යෙ කතා කළා නං මං එනවනෙ. ”

ගඟුල් පැවසුවේ වසන්ත දෙසට එමිනි.

“මල්ලි උඹ ඔය හිටපු තැන මටත් විශේෂ තැනක්. සෞන්දර්යෙ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාලුවො ගොඩක් මේ ගෙදෙට්ට ආවා ගියා. කොල්ලො කෙල්ලො කියල වෙනසක් තිබුණෙ නැහැ. ඒ අය ආවහම දවස් ගණන් මෙහෙ ඉන්නව. ඒ අය අතරින් වැඩියෙන්ම ආව ගිය දෙන්න තමයි උඹලෑ අය්යයි සමනුයි. අපි ගොඩක් වෙලාවට ඔය කොහොඹ ගහ යට ඉඳගෙන කතාකර කර ඉන්නව. අපි මොනවද මල්ලි කතා නොකළෙ.....”

මඳ වේලාවක් නිහඬ ව සිටි වසන්ත යළි සිය කටහඬ අවදි කෙළේ ය.

“ඒවට තමයි මල්ලි සුවඳ මතකය කියල කියන්න පුළුවන්. සමන්ගෙ මරණයෙන් පස්සෙ උඹලෑ අය්යත් මෙහෙට එන එක ටික ටික අඩු උනා. ඒකට බලපාපු හේතුවක් තියෙනව. විපුල්ව දැක්කහම අම්මට මතක් වෙන්නෙ අපි තුන්දෙනා ඔය ගහ යටට වෙලා කතා කර කර ඉන්න හැටි. එහෙමත් නැත්තං  තුන් දෙනත් එක්ක වැවට නාන්න යන හැටි. අම්ම තේ බොන්න හරි බත් කන්න හරි කතා කළොත් ඉස්සෙල්ලම නැගිටින්නෙ සමන්, අපිට පස්සෙ කතා කරන්න බැරියැ කියල අන්න අම්ම බලන් ඉන්නව කියලා.”

ගඟුල් ඉමහත් අවධානයකින් යුතු ව වසන්තට සවන් දුන්නේ ය.

“සමන්ගෙ මරණය ආරංචි වෙච්ච දවසෙ මේ ගෙදර බතක් ඉදුණෙ නැහැ. කට්ටිය ඔහෙ ඉන්නවට හිටියා. ඒක උනේ අපිට විතරක් නෙමෙයි. එයාගෙ හුළඟක් හරි වැදිල තිබිච්ච ගෙවල්වල තත්වෙ ඕකයි. සමහර මිනිස්සු ඉන්නව මල්ලි ඒ අය නැති උනාම ඒක පුරවන්න බැහැ කාටවත්ම. අපිට සමන් කියන්නෙ අන්න ඒ වගේ කවදාවත් පුරවන්න බැරි හිස් තැනක්. එයාව දවසක් නෙමෙයි මොහොතක් ආශ්‍රය කළත් දැනෙනව. දැන් ඔයා බලන්න. එයා ඉගෙන ගත්තෙ ඔයාගෙ අය්යත් එක්ක. එයත් එක්ක ඉගෙන ගත්තෙ නැති මල්ලිගෙ ජීවිතෙත් ලොකුම කොටසක් බවට පත්වෙලා සමන්. සමහර මිනිස්සු ඉඳලත් අපිට දැනෙන්නෙ නැහැ. සමහර කෙනෙක් දැන් නැහැ. ඒ උනාට මහ පුදුම විදියට දැනෙනව.”

“ ඒකනං හරි ඇත්ත වසන්ත අය්යෙ. මට ගුරුජීවිතේට මෙච්චර කැමත්තක් ආවෙත් සමන් අය්ය නිසා. එයා ආපු දවසට මුළු ගෙදරම පිරිලා. අපේ අම්මටත් සමන් පුතා ඇවිල්ල කියල වෙන වැඩක් නැහැ. තාත්තට සමාන වයසෙ යාලුවෙක් ආවා වගේ තමයි කතාව. අපි කතා කර කර ඉන්න තැනට ඇවිල්ල අම්ම අහන්නෙ සමන් පුතා කන්න කැමති මොනවද හදන්න කියලා. එතකොට අය්ය විහිලුවට කියනව අම්මේ අපිත් ප්‍රසන්ට්, අපෙනුත් අහන්න මොනවද හදන්නෙ කියල. අම්ම හිනාවෙවී එතනින් යනව මිස ඒවට උත්තර දෙන්නෙ නැහැ.”

“මට මල්ලිට තවත් වැදගත් කාරණයක් තියෙනව කියන්න. අම්මවත් තාත්තවත් නංගිල මල්ලිලවත් දන්නෙ නැහැ මේ ඇවිල්ල ඉන්නෙ සමන් එක්ක නිතර මෙහෙ ආපු විපුල්ගෙ මල්ලි කියල. මං කියල තියෙන්නෙ මේ සෞන්දර්යෙදි ඉගෙන ගත්ත යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කියල විතරයි. විපුල්ගෙ සම්බන්ධය කියපු ගමන් මේ කට්ටියම අහනව ඇයි අය්ය ආවෙ නැත්තෙ කියල. විපුල් එන දවසක එයාට නිදහසේ එන්න පුළුවන් පරිසරය විතරක් අපි හදල තියමු.”

“එහෙනං අය්යෙ මම වෙන තැනක් හොයා ගන්න එක නේද වැඩිය හොඳ මුල් දවස් ටික විතරක් මෙහෙ ඉඳලා.”

“පිස්සු කතා කරන්න එපා. වැඩිය නෙමෙයි හැම අතින්ම හොඳ ගඟුල් මෙහෙ ඉන්න එක. සුදුසු ම දවසෙදි මමම කියන්නං අම්මට කියන්න ඕන දේ. අපේ සමන් කියන හැටියට එයා සම්බන්ධ මේ කාරණේදිත් අපට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දෙන එක තමයි මල්ලි. මේ වෙලාවෙ අය්ය නොඑන්න තීරණය කළේ කාරණා තුනක් නිසා කියලයි මට හිතෙන්නෙ. එක ඔයාට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන කියන හැඟීම. දෙක අපි දැන් මෙච්චර වෙලා කතා කරපු කාරණය. තුන ඔයා මේ පළවෙනි වතාවටයි ගෙදරින් පිට ඉන්න යන්නෙ. අම්මයි තාත්තයි විතරක් ගෙදර හිටියොත් ඒ දෙන්න ඒ ගැන කල්පනා කරනව වැඩියි. ඒක වැළකෙන්නෙ විපුල් ගෙදර හිටියොත් විතරයි. මට තේරෙන විදිහට ඒක තමයි තුන. මොකද ඔය මං නොගිය ගෙදරක් නෙවෙයිනෙ.”

“අන්න වසන්ත අය්යෙ, අම්ම මේ පැත්ත බලාගෙන ඉන්නව ඔයාව මොකක් හරි වැඩකට ඕන වෙලා වගේ.”

“වෙන මොකවත් නෙමෙයි ඔය උඹට විශේෂ රෑ කෑමක් දෙන්න ඕන කරන ජාති මදි ඇති. ඔය මාව නාගොල්ලගං යවන්න හොයන්නෙ.”

“අනේ අය්යෙ මං හින්දනං කරදර වෙන්න එපා. මට ඔය ගොල්ලන්ට තියෙන කොයි දෙයක් උනත් හොඳයි.”

“මල්ලි මේ, උඹ පිස්සු කෙළින්නැතිව ඉඳපන් හොඳ ද? මේ අපිටත් චාන්ස් එකක් වදින්න යන වෙලාව. කොහොමත් දැන් වැඩි ඡන්දෙන් නාගොල්ලගම ගමන ඉස්තිර වෙනව. උඹ පරාදයි මල්ලි.”

“ ඒ කිව්වෙ අය්යෙ.” ගඟුල් ඇසීය.

“ඒ කිව්වෙ පක්ෂ ඡන්ද හයයි. නංගිල දෙන්න, මල්ලි, අම්ම, තාත්ත. එතනම පහයි, මමයි හයයි. නොයන ඡන්දෙකට තියෙන්නෙ උඹේ එක විතරයි. ඒක නිසා ඒ ඡන්දෙත් අපටම දාලා යමු නාගොල්ලගං තව ටිකක් ගම බලා කියා ගන්නත් එක්ක.”

ගඟුල් ගෙට ගොඩ වූයේ වසන්තත් සමග ය. ඒ සමග ම එතැනට දිව ආවේ පවුලේ බාල ම සාමාජිකාව වන වසුන්දරා ය.

“ඔය ගඟුල් හොඳකට නං නෙමේ එන්නෙ මට දඩයක් දාන්න.

“ලොකු අය්යෙ ලොකු අය්යෙ ඔයා දැන් නාගොල්ලගං යනවද?“

“පොඩි නංගි පොඩි නංගි යනව තමයි ඇයි මොකද?”

වසන්ත ද ඇය මෙන් ම දෙවරක් ඇමතුම් පදය යොදමින් කීවේ ය.

“ලොකු අය්යෙ ඔයාට කරදරයක් නැත්තං විතරක් මගෙ පොඩි බඩු දෙක තුනක් තියෙනව. ගෙනත් දෙන්න පුළුවන් ද? මේකෙ ලියලයි තියෙන්නෙ.”

ඇය කුඩා තුණ්ඩුවක් සිය වැඩිමහල් සොහොයුරාට දිගු කරමින් කීවා ය.

“ගඟුල් ඔය පොඩි බඩු දෙක තුනක් කිව්වට ඕකෙ ඉස්තීරෙටම බඩු දහයකට වඩා ලැයිස්තුවක් ඇති.”

වසන්ත ගඟුල්ට කීවේ රහසිනි.

“ලොකු අය්ය මොකක්ද ඒ රහසින් මේ අය්යට කිව්වෙ.”

“ඒ මං කිව්වෙ මේ ගෙදර විතරක් නෙමෙයි මේ පළාතටම ඉන්න ශ්‍රේෂ්ඨ කුලකාන්තාව අපේ ඔය පොඩි නංගි කියලයි.”

අනතුරුව ගඟුල් දෙසට හැරුණු වසන්ත මෙසේ කීවේ ය.

“නාගොල්ලගම ඉස්කෝලෙට අලුතින් ආපු සිංහල සර් ඔයා කියලත් ඒ සර් එයාගෙ ජ්‍යෙෂ්ඨ ඒ වගේම ශ්‍රේෂ්ඨ සහෝදරයගෙ යාලුවෙක්ගෙ මල්ලි කියලත් මෙයා දන්නව.”

“ශ්‍රේෂ්ඨ කෙසේ වෙතත් පවුලෙ ජ්‍යෙෂ්ඨ සහෝදරය නං තමයි අය්යෙ මේ ”

වසන්තගේ බාල සොහොයුරිය එසේ පැවසුවේ ගඟුල්ට ය.

“ආ එහෙම ද එහෙනං මේ බඩු ලැයිස්තුවත්.....”

වසන්තට කතාව අවසන් කරන්නට ලැබුණේ නැත.

“නෑ නෑ මේ තමයි අපේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ උත්තුංග උත්කෘෂ්ට මනබන්ධනීය ජනරංජනීය වැඩිමල් සහෝදරයා.”

ඇය පැවසුවේ සිනාසෙමිනි.

“මේ තමයි ගඟුල් අපේ පවුලෙ හැම අතින්ම බාල සහෝදරිය. අඳුනගන්න වසුන්දරා දඩයක්කාර. මහව සෙන්ට්‍රල් එකේ අපකීර්තිමත් ශිෂ්‍යාවක්. සුදුසුකම්, පහ සමත් - හය සමත් - අට සමත් - සාපෙ සමත්, උපෙ මග.”

“ ඒ සුදුසුකං නං හරි වැදගත්. ඒත් මේ නංගිගෙ නමනං ටිකක් අමුතුයි වගෙ. ”

ගඟුල් මේ ආදරණීයයන්ගේ සංවාදයට එක් වූයේ සිනාසෙමිනි.

“නම විතරක් නෙමෙයි මෙයාගෙ වැඩත් අමුතුයි. නම දඩයක්කාර. දාන්නෙම දඩ. ආ ඒකෙන් කමක් නෑ දෙනවකො ඔය දඩ කොළේ.”

මේ අතර ආලින්දයට ආ අම්මා වසන්ත පසෙකට කැඳවා, ගෙන ආ යුතු දේවල් පිළිබඳ ව ඔහු දැනුවත් කළා ය. ගඟුල් දුටුවේ අම්මා කියන හැම දෙයට ම හිස වනන වසන්ත අය්යා ය.

“ඔහොම හිටපන් මල්ලි මං මගෙ දඬුමොනරෙ අරගෙන එන්නම්.”

“පුතේ පරිස්සමින්.”

අම්මා එසේ පැවසුවේ යතුරුපැදියට නැගුණු සිය දෙටු පුතු අමතා ය.

“කිසි දේකට බය වෙන්න එපා අම්මෙ, මං අද යන්නෙ මගෙ බොඩිගාඩ් එක්ක.”

“බොඩිගාඩ් එක්ක....” අම්මා විමතියෙන් ඇසුවා ය.

“ ඔය එන්නෙ කියන කොටම.” 

වසන්ත පැවසුවේ හෙල්මටය පළදිමින් යතුරුපැදිය දෙසට එන ගඟුල් පෙන්වමිනි.

“අය්යලගෙ මේ ඉඩම පිහිටල තියෙන්නෙ හරිම ලස්සන තැනක. එක පැත්තක වෙල්යාය. අනික් පැත්තෙන් පන්සල. මේ පැත්තෙන් වැව. ඒ වගෙම වසන්ත අය්යලගෙ පවුලෙ කට්ටියගෙ මනුස්සකම. දැන් මට හිතාගන්න පුළුවන් අපේ අය්යයි සමන් අය්යයි මෙහෙ නිතරම ආවෙ ගියේ ඇයි කියල.”

මෙසේ පැවසුවේ ගඟුල් ය.

“අපේ තැනට මම කොහොමත් කැමතියි. ඒත් ඒ කැමත්තට ලොකු අර්ථයක් එකතු කළේ සමනුයි ඔයාගෙ අය්යයි තමයි. අපි මල්ලි වැව ගැන කතා කළේ වැව අයිනෙ ඉඳගෙන. කෙත ගැන කතා කළේ කුඹුරුයාය දිහා බලාගෙන. පන්සල ගැන කතා කළේ අර කොහොඹ ගහ යට ඉඳගෙන. සමහර වෙලාවට සමන් ආවේසයෙන් වගේ කතා කරනව. වෙලාවකට මල්ලියි නංගිල දෙන්නයිත් ඇවිල්ල අහගෙන ඉන්නව. ගොවිතැන් වැඩවලට මුලින් ඈලිමෑලි කරපු අපේ මල්ලි මහ ගොවියෙක් කළේ ඒ කතා....”

යතුරුපැදිය පදවන ගමන් කතා කරන වසන්ත මොහොතකට නිහඬ විය.

“වසන්ත අය්යෙ මං අහගෙන ඉන්නෙ.”

ගඟුල් පැවසීය.

“ඒක මහ සුන්දර අතීතයක්. කතා කරනව නං අපිට දවසක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක් උනත් ඒ ගැන කතා කළෑකි. දැන් ටවුමටත් ආවා අපි කතාවෙන්ම.”

වසන්ත අයිනකට කොට යතුරුපැදිය නතර කෙළේ එසේ කියමිනි.

“ආ අපේ සර් ආයෙත් ටවුමට ආවද?”

ගඟුල් වෙත පැමිණ එසේ ඇසුවේ උදේ වරුවේ මහතුන් ළඟට පැමිණ කතාකළ ගැටවරයා ය.

“තුසිත දැන් උඹට අපිව පේන්නෙත් නෑ නේද? තව ටික දවසක් යනකොට අපිව අමතක වෙලාම යාවි.”

එසේ විහිලු කෙළේ වසන්ත ය.

“වසන්ත සර්ව අමතක වෙනවද එහෙම. එහෙනං ඉතිං මට මාවත් අමතක වේවි. සර්ට මතකද මේ ෂේට් එක.”

තුසිත එසේ පැවසුවේ තමා හැඳ සිටි කමිසයට අත තබා පෙන්වමිනි.

වසන්තට සිහිවූයේ එම කමිසය හා බැඳුණු සිදුවීම යි. මහව ගිය දිනක වසන්ත රෙදි වෙළෙඳසැලකට ගියේ තාත්තාටත් මල්ලීටත් සරම් දෙකක් මිලදී ගැනීමට  ය. එදින එම වෙළෙඳසැලට ම පැමිණ සිටි තුසිත එහි අලුතින් ම ගෙනැවිත් තිබූ කමිස අතගා බලමින් සිටිනු දුටුවේ ය. අනතුරුව ඔහු දුටුවේ ඉන් කමිසයක් අතට ගෙන එහි මිල ගණන් අසා එය තිබූ තැනින් ම තබන තුසිත ය. ඉන්පසු වසන්ත දුටුවේ වෙළෙඳසැලින් පිට ව යන තුසිත යි. ඔහු කෙළේ සරම් දෙකට අමතර ව ඒ කමිසය ද මිල දී ගැනීම ය. දින කිහිපයකට පසු පාපැදියකින් තම ඉඩම අසලින් වැටී තිබූ මාවතේ යමින් සිටි තුසිත නිවසට කැඳවාගෙන ගිය වසන්ත එය ඔහුට තෑගි කෙළේ ය. 

“මේ මට ද සර්. මං මුකුත් කළේ නැහැනෙ සර් තෑගි ගන්න.”

මෙය අදහා ගත නුහුණු තුසිත ඇසී ය.

“කෙනෙකුට තෑග්ගක් දෙන්න මුකුත් කරන්නම ඕනද තුසිත.”

එසේ කීවේ වසන්ත ය.

“සර් මොකක් ද දන්නෑ නේද? මං බලන්නද?”  

වසන්ත හිස වැනුවේ ය.

තුසිත එය දමා තිබූ බෑගයෙන් එළියට ගත්තේ ය. පළමු ව ඔහුගේ මුහුණේ ඇඳී ගියේ විස්මයකි. දෙවනු ව ඒ මුව මත ම රැඳුණේ සිනාරැල්ලකි. අනතුරුව එය මුහුණට තබා තද කොට මෙසේ කීවේ ය.

“හරී සුවඳයි සර්.”

වසන්ත ලැබුවේ පවුලේ බාල ම සොහොයුරාට තෑග්ගක් දීමෙන් පසු ඔහුගේ ඉරියව් දෙස බලා සතුටු වන වැඩිමහල් සොහොයුරා ලබන සතුට යි.

කල්පනා ලොවින් මිදී තමා දෙස තවමත් කෘතඥතාපූර්වක දෑසින් බලා හිඳින තුසිත දෙසට හැරුණු වසන්ත මෙසේ කීවේ ය.

“තුසිත එක සැරයක් සාමාන්‍ය පෙළ කරල නතර කළා නේද? උඹ ඉස්කෝලෙ ගමනත් නවත්තලයි කියලයි මට ආරංචි. ලොකු සර් දවසක් ගෙදරටත් ඇවිල්ල තියෙනව උඹව හොයාගෙන. උඹ මග ඇරියලු නේ. පිස්සු කරන්නැතිව ප්‍රශ්නයක් තියෙනවනං අපිට ඇවිල්ල කියපන්. ඔන්න උඹලටම තමයි මේ සරුත් අලුතින්ම ඇවිත් ඉන්නෙ. දැන් තුසිත කිව්වනෙ අපේ සර් උදෙත් හම්බ උනා කියල. දැන් ඉතින් අපේ සර්ව දවස ගාණෙම හම්බ උනෑකි ඉස්කෝලෙට ගියොත්. උඹ හෙට හවස එන්න ඕනෙ අපේ ගෙදෙට්ට.”

තුසිත හිස කැසුවේ ය, වටපිට බැලුවේ ය, අනතුරුව කතා කෙළේ ය.

“සර් හෙටම එන්න ඕනද?”

“ඔව් හෙට තමයි. මොකෝ තුසිත හෙට එන්න බැරි හේතුවක් තියෙනවද?”

“සර් කලුබණ්ඩා මාමලගෙ තිඹිරියාගම අක්කර විස්සෙ හෙට ඉඳල කම්බි ගහනව කිව්ව. මටත් වැඩ දෙන්න පුලුවන් කිව්ව රෑ වෙනකං ඉන්න පුලුවන්නං.”

වසන්ත බැලුවේ ගඟුල් දෙස ය. ගඟුල් කල්පනා කෙළේ මේ දරිද්‍රතාවෙන් පීඩා විඳින දරුවන්ගේ ඉරණම ගැන ය.

“ අද බදාදා, ඔයා ඒ වැඩේට හෙට ඉඳලා යන්න. හැබැයි සෙනසුරාදා හවස අනිවාරෙන්ම එන්න. ටිකක් රෑ උනත් කමක් නෑ.”

“ඔව් තුසිත  වසන්ත සර් කියපු විදිහට සෙනසුරාදට එන්න. අපි බලමුකො මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා.”

එසේ කීවේ ගඟුල් ය.

වසන්ත - ගඟුල් දෙදෙනා නාගොල්ලාගම තිබෙන තරමක් ලොකු වෙළෙඳසැලකට ගොඩ වූහ. අවශ්‍ය බඩු බාහිරාදිය ද ගත්හ. ගඟුල් ඒවාට මුදල් ගෙවීමට කීපවරක් ම උත්සාහ කළ ද වසන්තගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත.

“වසන්ත අය්යෙ, පොඩි නංගිගෙ දඩකොළේ බඩු ඔක්කොම ගත්තද?”

“ අම්මෝ නැතුව. නැත්තං ඉතින් ගෙදර නොගියට කමක් නෑ.”

ඔවුන් දෙදෙනා යතුරුපැදිය නවතා තිබූ තැනට ඇවිද එද්දී එතැනට පැමිණ නැවැත්වූයේ ත්‍රීරෝද රථයකි.

“ ආ වසන්ත සර් ගඟුල් සර් මොකෝ මේ හවස්වෙලා ”

සිය රියෙන් හිස එළියට දමා එසේ ඇසුවේ මහතුන් ය.

“ අපි මේ ඕන කරන බඩු ටිකක් ගන්න ආවා මහතුන් අය්යා. ආපු පළවෙනි දවසෙම ගඟුල් සර්ව අඳුනගෙන වගෙයි. ඒ විතරක් නෙමෙයි සර්ව හිතටත් අල්ලල වගෙයි. ”

“ වැඩි කාලයක් මං නරක මිනිස්සුම ආස්සරේ කරල තියෙන හින්ද මට හොඳ මිනිහෙක් දැක්කහම පටස් ගාල අඳුනගන්න පුළුවන් වසන්ත සර්. මන් දන්නෑනෙ මේ සර්ගෙත් යාලුවෙක් කියල. ගඟුල් සර් එහෙද නවතින්නෙ. කියල වැඩක් නෑ සර්. එහෙ තමයි සර්ට හැම අතින්ම ගැළපෙන තැන.”

“ වසන්ත අය්යෙ මේ මහතුන් අය්ය මගෙ හයර් එකේ සල්ලි ගත්තෙත් නෑ අද.”

“ ඒව මොනාද සර්. මේ කඩදාසි කෑලි වගේද සර්ලා.” 

“එහෙනං මහතුන් අය්යා අපි ගිහිල්ල එන්නං. දැන් මහතුන් අය්යල අපටත් වඩා මේ සර් ගැන බලන්න ඕන.”

“නැතුව නැතුව. එහෙනං සර් ඔන්න මං කැපුණ. සර්ල දෙන්නටම බුදුසරණයි.”

“ මල්ලි මං ටවුන් එකට ආවොත් කඩේකින් තේකක් බීලයි යන්නෙ. ඒ ගෙදර තේක හොඳ නැති නිසාවත් තේකක් ඕන නිසාවත් නෙමෙයි, අපට මනුස්සයෙක් දෙන්නෙක් හම්බ වෙලා කතාබහ කරන්න ඉඩ ලැබෙන නිසයි.”

“ආ එන්න වසන්ත සර් එන්න ගඟුල් සර්.”

ආපනශාලා හිමිකරු මේ ගුරුවරුන් දෙදෙනා පිළිගත්තේ ආදරයෙනි.

“ඈ මල්ලි උඹ මෙහෙට ආපු පළවෙනි දවසෙම මුළු ගමම අල්ලලනෙ. මදැයි මන් උඹට ගමේ මිනිස්සුන්ව අඳුන්නල දෙන්න ආවා. මුලින්ම තුසිත. ඊට පස්සෙ මහතුන්. දැන් කඩේ මුදලාලි. උඹත් අපේ මල්ලි වගේනෙ. තව ටික දවසක් යන කොට මං නොදන්න අයත් උඹ මට අඳුන්නල දෙයි වගේ.”

වසන්ත කීවේ සිනාසෙමිනි.

“වසන්ත සර්ලගෙ ගෙදරද මේ සර් ඉන්නෙ. ඒක හරි හොඳයි. අන්න සර්ව අපේ සීලවතී නැන්දටත් හොඳටම හිතට අල්ලල. පොළේ ඉඳන් යන ගමන් මෙහෙට ඇවිල්ලයි ගියේ. හොඳ සීදේවි මහත්තයලු. කිසි ආඩම්බරකමක් නැහැලු. මගෙ බඩු මල්ල හිටන් උස්සන් ආවනෙ මං එපා කියද්දිත්. හරිම වරුණාව.” 

“ මං කිව්වෙ මං කිව්වෙ උඹ මුළු ගමම අල්ලල තමයි නවතින්නෙ. උඹත් සමන් වගේ තමයි. කොටින්ම කිව්වොත් මායාකාරයෙක්.... ඒක නෙමෙයි ගැළපෙන වචනෙ. ඉන්ද්‍රජාලිකයෙක්. මිනිස්සු වසී වෙනව. ඉස්කෝලෙදි නං උඹට ටිකක්...නෑ ටිකක් නෙමෙයි ගොඩක් පරිස්සං වෙන්න වෙයි වගේ.”

“ඒ කිව්වෙ වසන්ත අය්යෙ...?”

“ඇයි බන් උඹට තේරෙන්නෙම නැද්ද? කිට්ටු වෙයන් බබාට කියල දෙන්න.”

ගඟුල්ගේ කණට සිය මුව සමීප කළ වසන්ත “තරුණ ගුරුවරියන්ගෙන් බන් තරුණ ගුරුවරියන්ගෙන් ” දෙවරක් ම කීවේ ය.

දෙදෙනා නිවසට ළඟාවන විට රාත්‍රී නවය ද පසු වී තිබිණ. අම්මා ඔවුන් එන තෙක් මග බලමින් සිටියා ය.

“ යසයි ඉලන්දාරි දෙන්න එන වෙලාව. දැන් කට්ටියටම කන්න දෙන්න වෙන්නෙ රෑ එකොළහෙන් පස්සෙ. එන්නෙ එහෙම නෑ එතකන් එක්කෙනෙක්වත් අම්මෙ බඩගිනියි කියාගෙන.” 

අම්මාගේ ඒ දෝෂාරෝපණය සමග  මුසු ව ඇත්තේ දරුවන් කෙරෙහි වන ආදරය යි. අම්මා කතා කළ සැටියෙන් පෙනෙන්නේ තමා මෙහි පැමිණි පළමු දිනය වන අද දවසේ දී ම ඇය තමා ද සිය දරු  කැළ අතරට අයත් කොට ඇති ආකාරය යි.

“අම්මෙ, සම්පූර්ණ වැරදිකාරය අම්මගෙ මේ අලුත් පොඩිපුතා. ඇවිල්ල එක දවසයි ටවුන් එකෙත් මගදිගටත් යාලුවො. අම්ම දන්නවනෙ මං එහෙම නෑනෙ.”

වසන්ත කීවේ සිනාසෙමිනි.

“ අනේ මං මොකෝ නොදන්නෙ. යාලුවො නැතිම මිනිහ. දෙන්නම වත්තෙ ළිඳෙන් ඇඟ හෝද ගන්නව මිස මේ රෑ වැවට එහෙම යන්නෙ නෑ නාන්න.”

මෙසේ කී අම්මා එතැනින් ඉවත් ව ගියේ මුළුතැන්ගෙය දෙසට යි.

තමා මේ පැමිණ සිටින්නේ බෝඩිමකට නොව ගෙදරකට ය. බෝඩිම් පාලිකාවන් බෝඩින්කරුවනට නීති පණවන්නේ නැත. එහෙත් අම්මාවරු සිය දරුවනට නීති දමති. ගඟුල්ගේ සිතට මහත් සතුටක් මෙන් ම සැනසිල්ලක් දැනිණි. එසේ ම තවත් පැත්තකින් බැලූවිට මේ ගෙදර යනු ඒ ආදරණීය සහෘදයාත් තම ආදරණීය සොහොයුරාත් නිතර ආගිය තැන යි; මෙහි සිටින කලණ මිතුරා සමග ඔවුන් ජීවිතය ගැන නොයෙක් දෙය සාකච්ඡා කළ තැන යි.

මෙතැන පිටස්තරයෝ නොවෙති. ආලින්දයේ හාන්සි පුටුවේ සිටින්නේ තාත්තා ය. දැන් මොහොතකට පෙර රාත්‍රියේ වැවට යාම තහනම් කොට ගියේ අම්මා ය. මුළුතැන් ගෙයි මේ මොහොතේත් අම්මාට උදව් කරමින් සිටින්නේ තමාගේ පොඩි මල්ලී සහ පොඩි නංගී ය. මැද කාමරයේ විභාගයට පාඩම් කරන්නේ සරසවි සිසුවියක වන සිය ලොකු නංගී ය. ආ මොහොතේ පටන් ඒ ආදරණීය සහෘදයාගේත් සිය ආදරණීය සොහොයුරාගේත් ජීවන සුවඳට සිය ජීවන සුවඳ මුසු කරමින් හෙටින් ඇරඹෙන ගුරු ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ කියා දුන්නේ තමාගේ ම අය්යා ය.

රාත්‍රී ආහාරයෙන් පසු ගඟුල් නින්දට ගියේ ඒ ආදරණීය සහෘදයා වන සමන් සිත්තරා විසින් ගුරුජීවිතය පිළිබඳ ව තබන ලද ඉසොඳුරු සටහනක් කීපවරක් කියැවීමෙන් පසුව ය.

“මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ඉතිහාසයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ දී ඔහු විසින් රැස් කරන ලද සංවේදී භාරය පවරා දීමේ උත්තුංග මෙහෙවරෙහි භාරකරුවා ලෙසින් ගුරුවරයා උත්තරීතර වන්නේ ය.

3 comments:

  1. හ්ම්මි.. මරු.. ඉක්මණට ලියවෙන්නෙ නැති එකයි දුක.

    ReplyDelete
  2. ගුරුවරයා උත්තරීතර වන්නේ ය. - එකනම් එහෙමම තමයි

    ReplyDelete
  3. හරිම ආදරේ හිතෙන කතාවක්. වන්දනීය පූජනීය ගුරු වෘත්තියේ අගය හොඳින්ම දැනෙන කතාවක්. මගේ මහත්තයා සෞන්දර්ය ගුරුවරයෙක්. ඒ නිසාම මේ කතාව මට ගොඩාක් තදින් දැනෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම කියවන්නම්.

    ReplyDelete