පස්වන
දියවර
ගඟුල්
උදෑසනින් ම අවදි වූයේ ය. ඔහුට ලැබී තිබූ කාමරය පරිසර සුන්දරත්වය අවලෝකනය කිරීම
උදෙසා ම නිර්මිත වූවක් වැන්න. එහි පිවිසුම් දොරටුව තනා තිබුණේ ගෙයි ඉස්තෝප්පුවෙන්
ඇතුළු විය හැකි වන ලෙස ය. වම් කවුළුවෙන් බැලූවිට පෙනෙන්නේ රන්වන් කරලින් බර වූ
කෙත් යාය යි. දකුණුපස කවුළුවෙන් බැලූ විට දිස් වන්නේ නිබඳ සුළඟින් සැලෙන සොඳුරු
පත් ඇති බෝධි වෘක්ෂය යි. ගෙමිදුලට පැමිණ වම්පසට හැරී මඳ දුරක් ගොස් නැවතී බැලූවිට
මිරිහන්පිටිගම වැව දැකිය හැකි වෙයි.
මේ සුන්දර අර්ථවාහී දර්ශන දකිද්දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ ආදරණීය සහෘදයා ය. ගුරුවරයා යනු ලෝකයට ආලෝකය ප්‍රදානය කරන්නා මිස අඳුර පතුරුවන්නා නොවේ ය යන මහනීය පාඩම කියා දුන්නේ ඔහු ය. ගුරු යන වචනයේ ආදරණීය සහ ප්‍රෞඪ යන අර්ථ දෙක ද ඇති බව කියා දුන්නේ ඔහු ය. ගුරුවරයා යනු බරක් ඇති සැහැල්ලු චරිතයක් බව කියා දුන්නේ ද ඔහු ය. ඔහු වූ කලී අතීතයෙන් ඇසී වර්තමානයේ ද රැඳී අනාගතය වෙත ද ඇදී යන සොඳුරු ගීතයක් වැන්න. ඔහු සිහි වන හැම මොහොතක ම මහගමසේකරයන් ලියූ අමරදේවයන් ගයන එක්තරා ගීතයක් ගඟුල්ගේ හදමඬලට පිවිසෙයි.
“අතීතයෙන්
ගඟ ගලා බසී
සිඳී
බිඳී ගල්පර අතරේ
සිනා
සිසී සුදු පෙණ පොකුරේ
ගලා
බසී ගඟ ගලා බසී
පිපී
බිඳෙන දිය බුබුලේ
වළා
රොදක දුර ආකාසේ
සොබා
සොඳුරු සිරි මෙලොවේ
ඔබේ
ඇසිනි මා දුටුවේ
දැන්
පැවරී ඇත්තේ ඒ ඇස අනාගත පරපුරට උරුම කොට දීම නොවේ ද? ගඟුල් පාසල් යාම සඳහා සූදානම් වූයේ යළි
යළිත් ඒ පැනය තමාගෙන් ම අසමිනි.
“ගඟුල් උඹ ලෑස්ති ද මල්ලි, වරෙන් මං උඹව බයික් එකේ ගිහින් දාන්නං ඉස්කෝලෙ ගාවට.”
එසේ
කියමින් එතැනට පැමිණියේ වසන්ත ය.
වසන්ත
නාගොල්ලාගම පාසලට හැරෙන තැනින් ගඟුල් බස්වා සිය පාසල බලා පිටත් ව ගියේ ය.
ගඟුල්
පළමු ව කාර්යාලය වෙත ගියේ සිය පැමිණීම සහතික කොට ගුණවර්ධන මහතා වෙතින් තමාට නියමිත
කාලසටහන ලබාගැන්ම සඳහා ය.
“සර් මේ කාලසටහන සර්ට දෙන්න කිව්ව ගුණවර්ධන සර්. සර් මෙහෙන් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්නකො ලොකු සර් එනකං.”
ඒ
නිම්මි ය.
“ලොකු සර් තාම ආවෙ නැද්ද නිම්මි.”
“නෑ
නෑ සර් ආවා. අපි ඔක්කොටම කලින් තමයි ලොකු සර් ඉස්කෝලෙට එන්නෙ. ඒ ආවහම ඉස්සෙල්ලම
කරන්නෙ ඉස්කෝලෙ වටේ රවුමක් යන එක.
ගුරුවරු
කාර්යාලයට එති, අත්සන්
කරති, අනතුරුව සිය පන්තිවලට
යති. ඇතැමෙක් ගඟුල් හා සිනාසෙති. තවෙකෙක් වචනයක් දෙකක් කතා කොට මේ අලුත් ගුරුවරයාට
සුබ පතා පිට ව යති. මේ අතර ගඟුල් හැරී බැලුවේ කිසිවකු තමාගේ පිටට අත තබනු දැනී ය.
“මල්ලි
මම තෙන්නකෝන්, ඉතිහාසෙ උගන්නන්නෙ, ඔයා
නේද සිංහලවලට අලුතින් ආවෙ. මට ඊයෙ ලොකු සර් කිව්ව සිංහලවලටත් අලුත් ගුරුවරයෙක් ආවා
කියල. සතුටුයි මල්ලි මං අලුතින් ආරම්භ වෙන ඔයාගෙ ගුරු ජීවිතයට ආදරෙන් සුබ පතනවා.
මෙසේ
ගඟුල්ගේ ළඟට ම පැමිණ සුබ ප්‍රාර්ථනා කෙළේ මැදිවියේ ගුරුවරයෙකි. ඒ ප්‍රසන්න
ගුරුවරයාගේ රූපකාය ඔහුට සිහිපත් කොට දුන්නේ හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලයේ දී
ඔවුනට සමාජ අධ්‍යයනය ඉගැන්වූ උක්කුබණ්ඩා ගුරුතුමන්ගේ රූපකාය යි.
“බොහොම ස්තුතියි සර්.”
ගඟුල්
එසේ පැවසුවේ එම වැඩිහිටි ගුරුවරයාට හිස නමා ආචාර කරමිනි.
“එහෙනං
මල්ලි පැමිණීමේ ගුරු ලේඛනයට වඩා ශිෂ්‍යයන්ගෙ හද ලේඛනයේ සටහන් වෙන ගුරුවරයෙක් වෙනව
කියන අධිෂ්ඨානය ඇතිව අදම වැඩ පටන් ගන්නකො. මමත් යනව මගෙ පන්තියට.
“තෙන්නකෝන් සර්, සර්ව අද හම්බ
වෙන්නමයි හිටියෙ. පොඩි කරුණු ටිකක් තියෙනව මට සර්ගෙන් අහගන්න. අද වෙලාවක් තියෙයි ද?
එසේ
ඇසුවේ එතැනට පැමිණි තරුණ ගුරුවරයෙකි.
“ආ මේ අතුලනෙ. වෙලාවක් නැත්තං අපි වෙලාවක් හදා ගම්මු. අද නං මට ඕප් පීරියඩ්ස් නෑ. උඹට ඉන්න පුළුවන්නං අපි ඉස්කෝලෙ ඇරියට පස්සෙ කතා කරමු. ඔන්න උඹලගෙ වයසට හරියන අලුත් යාළුවෙකුත් ඇවිල්ල. කතා කරල අඳුන ගනින්කො. මං යනව එහෙනං.”
“ලොකු
දෙයක් සර් අදම වෙලාවක් දාගන්න පුළුවන් වෙච්ච එක. මමත් අස්සන් කරලම මේ සර්ට කතා
කරන්නං.
අතුල
එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී මඳ සිනහවක් සෙමිනි.
ගඟුල්
ඔහුට සිනහවකින් ම ප්‍රතිචාර දැක්වීය. එයිනික්බිති අතුල සිය කටහඬ අවදි කෙළේ ය.
“මම
අතුල ජයසිංහ. මගෙ විෂය නං කෘෂිවිද්‍යාව. ඒත් මෙහෙට ක්‍රීඩා ගුරුවරයෙක් නැති නිසා
ලොකු සර් මට වැඩි වගකීමක් පවරල තියෙන්නෙ ස්පෝට්ස් පැත්ත බලාගන්න. අපි දැනං හිටිය
අද ඉඳන් අපේ ඉස්කෝලෙට අලුත් ගුරුවරු තුන් දෙනෙක් ම එන බව. ඔන්න පළවෙනියව හම්බ උනා.
ගඟුල්ට
සිනහ ගියේ ලොකු සර් පැවසූ පාසලක සිටින භයානක ගුරුවරුන් තිදෙනා පිළිබඳ කතාව සිහිවීම
නිසා ය. එසේ නම් මේ හමු වී ඇත්තේ තමා ද අයත් වන ඒ භයානක කුලකයට අයත් ගුරුවරයෙකි.
“හරි
සතුටුයි අතුල සර් අඳුන ගන්න ලැබීම. මම ගඟුල් සමරනායක. සිංහලවලටයි ආවෙ.
“ෂා මරුනෙ. මං උපාධියට කෘෂිවිද්‍යාව කළාට සිංහලවලට මාර විදියට ආසයි. අපි ඉස්සරහට හම්බ වෙලා කතා කරමුකො.”
“කෝ
නිම්මි ලොකු සර්. අදත් උදෙන් ම ගුරු ශිෂ්‍ය නිරීක්ෂණ චාරිකාවට ගිහින් ද?
මෙසේ
කියමින් කාර්යාලයට ඇතුළු වූයේ මැදිවියේ ගුරුවරියකි.
“ගුඩේ
ගුඩ් මෝනින් එකක්ම වේවා සිල්වා මැඩම්.
“ආ
ගුඩ් මෝනින්. මේ අතුල මන් ඔයාට කීප සැරයක් ම කිව්ව ලස්සන යෙදුම් අවලස්සන කරන්න
එපැයි කියල. ඒත් ඔය ළමය දිගින් දිගටම ඒකමනෙ කරන්නෙ. අලුත් යාළුවෙකුත් හම්බ වෙලා
ඉන්නෙ. මන් දැක්ක දෙන්න එක්ක ලොකු කතාවක වැටිල ඉන්නව.
“නෑ මැඩම් අපි පොඩිම පොඩි කතාවකයි හිටියෙ. ලොකුම ලොකු කතා ඉස්සරහට. මේ අපේ අලුත් සිංහල සර්.”
“ආ
සිංහල ද? අතුල පුළුවන්නං මේ
ළමයවත් නරක් කරන්න.
“අනේ
අනේ මැඩම් අපි ගැන හිතාගෙන ඉන්න විදිහ.
“අපිට
අතුල එහෙම හිතන්න වෙලා තියෙන්නෙ ඕගොල්ලන්ගෙම වැඩ පිළිවෙළ හන්දා. මට කණගාටු ලොකු
සරුත් ඕගොල්ලන්ව හදාගන්නව වෙනුවට උඩගෙඩි දෙන නිසා.
“දැන්
මැඩම් ඔහොම කිව්වහම මේ අලුත් සර් අපිත් එක්ක කතා කරන්නවත් බය වෙයිනෙ.
“ඔව් ඉතින් ඒක හොඳයිනෙ. විශේෂයෙන් ඒක මේ ළමයට.”
“හොඳයි.
මට බැලුවහම පේනව මේ ළමය නං කාගෙ උනත් වැදගත් ළමයෙක් බව.
“ඇත්ත
මැඩම් සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මැඩම් එයාගෙ සබ්ජෙක්ට් එක තමයි අප්සට් නේ ද?
“අතුල ඔයා මට හින්ට් ගහනව නේද ?”
“අපෝ
නෑ මැඩම් අපි එහෙම වැඩ කරනව ද?
“මොකෝ
නැත්තෙ. එහෙම වැඩ තමයි ඕගොල්ලො කරන තරමක් කරන්නෙ. ඒ වගේම ඕගොල්ලන්ගෙ ඕන වැඩකට
සපෝට් කරන දෙතුන් දෙනෙකුත් මේකෙම ඉන්නවනෙ.
“බී
කෙයාෆුල්.
සිල්වා
මහත්මිය එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී තියුණු බැල්මක් හෙළමිනි.
“මට වැඩ තියෙනව. මං යනව.”
මෙසේ කියා කාර්යාලයෙන් පිට ව යාමට ගිය සිල්වා මහත්මිය පෙරළා හැරී ආවේ ගඟුල් ළඟට ය.
“මං
මේ මට අමතක වෙන්න ගිය දෙයක් මතක් වෙලයි මං මේ ආපහු හැරුණෙ. අද ලොකු සර් ඔය ළමයට
කාල සටහනක් දේවිනෙ. එතකොට මතක ඇතිවම සීලාචාර ළමයි ඉන්න පන්තිවල උගන්නන්නයි මං
කැමති කියල ලොකු සර්ට කෙළින්ම කියන්න. ඔය මේකෙ සමහරක් කැමති එහෙම පන්තිවලටම තමයි.
සිල්වා
මහත්මිය සම හරක් යන වචනය බර තබා උච්චාරණය කෙළේ අතුල දෙසට දැඩි බැල්මක් හෙළමිනි.
මෙසේ
පවසා ඇය වේගවත් ගමනින් කාර්යාල කාමරයෙන් පිට ව ගියා ය.
“මොකෝ
අර සිල්ව ටීචර් හයියෙන් හයියෙන් යන්නෙ. මාත් එක්කත් කේන්තියෙන් වගේනෙ ගියේ.
එසේ
පැවසුවේ ඒ මොහොතේ කාර්යාලයට ඇතුළු වූ විදුහල්පතිතුමා ය.
“ඔපිස්
එකට ආවෙ නං සිල්ව මැඩම් තමයි ලොකු සර්. ඒ උනාට දැන් මෙතනින් පිටවෙලා ගියේ නං සිල්ව
මැඩම් නෙමෙයි.
“ඒ
කිව්වෙ අතුල මට තේරෙන්නෑ ඔයා කියන දේ.
“මෙහෙමනෙ සර් සිල්වා මැඩම් ඔපිස්සෙකට ආවා. හැබැයි පිටවෙලා ගියේ ආපු සිල්ව මැඩම් නෙවෙයි අයිරාංගනී සදාකෝපාවිෂ්ට.”
“එකත්
එකටම අතුල උඹ ඒ මනුස්සයගෙ කේන්තිය ඇවිස්සෙන විදිහෙ වචන කියන්නැති.
“අනේ
නෑ ලොකු සර් එතුමිය ආවා. එතුමියම පැමිණිල්ල ඉදිරිපත් කළා. එතුමියම නඩුවත් ඇහුවා.
එතුමියම තීන්දුවත් දුන්නා. එහෙම කරල අධිකරණ ශාලාවේ කවුරුවත් දිහා බලන්නැතිව
වේගයෙන් පිටවෙලා ගියා. ඔන්න මේ සිදුවීම සම්පූර්ණයෛන් දැකපු අලුත් සරුයි අපේ
නිම්මියි ඒකට සාක්කි.
“හොඳයි
හොඳයි අපි සාක්කි විමසමුකො පස්සෙ. නිම්මි, ගුණවර්ධන සර් ගඟුල් සර්ට හදපු කාලසටහන
දෙන්නකො. සර් එක්ක පොඩ්ඩක් කතා කරල සර්ව එක්ක යන්න ඕන සර්ගෙ මුල්ම පන්තියට. අතුල
මට අද ඔයා එක්කත් කතා කර ගන්න කාරණා ටිකක් තියෙනව අපේ ක්‍රීඩා උත්සවේ ගැන. දොළහෙන්
පස්සෙ මේ පැත්තට ආවොත් හොඳයි අතුල.
විදුහල්පතිතුමා
එසේ පවසා හැරුණේ ගඟුල් දෙසට ය.
“ගඟුල් ඉඳගන්නකො පොඩ්ඩක් මෙතනින්.”
විදුහල්පතිවරයා
එසේ පවසා සිය අසුනෙහි හිඳ ගන්නා ගමන් ගඟුල්ට ඉදිරිපස අසුනක් දැක්වීය. අනතුරුව සිය
කටහඬ අවදි කෙළේ ය.
“නිම්මි
මට දෙන්නකො මේ සර්ට හදපු කාලසටහන. අද ගුණවර්ධන සර් ටිකක් පරක්කු වෙලයි එන්නෙ. සර්ට
ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තියෙනව කිව්ව. ඔයා අලුතින් එන මිස්ල දෙන්නටත් මේජර්
ටයිම් ටේබල් එක බලල තාවකාලික කාලසටහනක් හදන්න. ගුණවර්ධන සර් බැලුවට පස්සෙ ඒකෙ
පිටපත් දෙකක් මටත් දෙන්න. මොකද අද ඒ මිස්ල දෙන්නම වැඩ බාර ගන්න එනව.
“ගඟුල්
මෙන්න ඔයාගෙ කාලසටහන. මේක තාවකාලික එකක්. ඔයාට දැනට දහය එකොළහ පන්ති වගේම උසස් පෙළ
එක පන්තියකුත් දාල තියෙනව. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනව කියන්න. මං මේක
මුලින් කියනවද නැද්ද කියල කියන එකම හොඳයි කියල හිතුණ. මොකද ඔය උසස්පෙළ පන්තිය
ගොඩක් ගුරුවරු නොතකා හරින පන්තියක්. ඒකට කියන්නෙ තේරිච්ච පන්තිය කියල. මේ කොන්
කිරීම නිසාම මේ සමහර ළමයි ප්‍රචණ්ඩ වෙලා තියෙන බව මමත් දන්නව. සිංහල උපාධිධාරි
ගුරුවරයෙකුයි ගුරුවරියකුයි දෙන්නෙක්ම අපට හිටියත් මේ දෙන්නම දවසක් දෙකක් ඒ පන්තිවලට
ගියාට පස්සෙ ප්‍රතික්ෂේප කළා ආයෙත් ඒකට යන එක. ඒවට ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් හේතුත්
ඉදිරිපත් කළා. මන් ඉතින් හැම පැත්තක්ම බලල මට පුළුවන් විදිහට ඒ පන්තියෙ සිංහල
උගන්නන්න ගත්ත. මං තේරුන් ගත්ත විදිහට ගඟුල් ඒ පන්තියෙ ඉන්නෙ අදක්ෂ ළමයිවත් නරක
ළමයිවත් නෙවේ. මේ ගොඩක් ළමයින්ගෙ හිත් තැලිල තියෙන්නෙ අර කොන් කිරීම නිසාම. මන් කැමතියි ඔයා
මේ පන්තිය බාර අරන් වැඩ කරනවනං. හැබැයි මුලදි ඔයාටත් ප්‍රශ්න දාවි. කල්පනාවෙන් වැඩ
කළොත් අපට මේ ළමයි ටික ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඔයා මෙහෙට ආපු පළවෙනි දවසෙම ඒ
ගත කරපු ටික වෙලාවෙ ගොඩ නැගුණු විශ්වාසෙ නිසයි අද මම මෙහෙම කතා කරන්නෙ.
“ලොකු
සර් මට ඒ පන්තිය දෙන්න. මං උත්සාහ කරන්නං මට පුළුවන් උපරිම දේ කරන්න. සර් මං ගැන
තබපු විශ්වාසෙට බොහොම ස්තුතියි.
ගඟුල්
දෙස මොහොතක් බලා සිටි විදුහල්පතිවරයා හුන් අසුනෙන් නැගිට ඔහු සමීපයට ආවේ ය. ගඟුල්
ද හුනස්නෙන් නැගී සිටියේ ය. විදුහල්පතිවරයා ගඟුල්ගේ දෑතින් දෑත අල්වා මෙසේ පැවසීය.
“ගඟුල්
අපි මේ ළමයින්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු පන්තියම විශ්වවිද්‍යාලෙට යවල
තමයි නවතින්නෙ කියල හිතල වැඩ කරමු. යමු අපි ඒ පන්තියෙන් ම ඔයාගෙ ගුරුජීවිතේ ආරම්භ
කරමු. මම ඔයාට සුබ පතනව. යං මමත් එනව ඔයාව මේ ළමයින්ට අඳුන්නල දෙන්න.
විදුහල්පතිවරයා
ගඟුල් කැඳවාගෙන ගියේ 12 බී
පන්තිය වෙතට ය. ඊට සමීප වන විට ගඟුල්ට ඇසුණේ මෙවන් කතාබහකි.
“මචං
අන්න ලොකු සර් එනව අලුත් පොරක් එක්ක. අලුත් මෑන් මොනවද දන්නෑ උගන්නන්නෙ.
“ආපුවාවෙ
ආපුවාවෙ අර අනික් අය වගේම දවසක් දෙකක් ඇවිල්ල අපේ පන්තිය අත හරීවි. එතකොට ලොකු
සර්ටම භූගෝලෙට අමතරව සිංහල උගන්නන්න උනා වගෙ ඔය අලුත් මෑන්ගෙ සබ්ජෙක්ට් එකත්
උගන්නන්න වේවි.
ඔවුන්ගේ
කතාබහින් ගඟුල් බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. බොහෝ ගුරුවරුන් වෙතින් ඔවුන් ප්‍රතික්ෂේප
වූවා සෙයින් ම ඔවුන් අතින් බොහෝ ගුරුවරුන් ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත්
විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඔවුන් තුළ කිසියම් ගෞරවනීය හැඟීමක් ඇති බව ද පෙනේ.
ඔවුන් තමා අලුත් පොරක් ලෙස හැඳින්වුව ද සිය විදුහල්පතිවරයා හැඳින්වීම සඳහා පිනා - ප්‍රින්සිපල්කාරය - ලොක්කා - ලොකු සර්කාරය වැනි චචන භාවිත කෙළේ නැත. මේ දරුවන් තුළ සැඟවුණු හරවත් යමක්
තිබේ. ගුරුවරයකු වශයෙන් තමා විසින් කළ යුතු ව ඇත්තේ ඒ හරය මතු කොට ගැන්ම උදෙසා
තමාට කළ හැකි දෙය කිරීම ය. සිය ගුරු මෙහෙවර එය ම වන බව ගඟුල් තදින් ම ධාරණය කොට
ගත්තේ ය.
ඔවුන්
ඇතුළුවත් ම මුළු පන්තියේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැගී සිට එක්වන් ව මෙසේ කීහ.
“ආයුබෝවන්
ලොකු සර්. සුබ උදෑසනක් ලොකු සර්.
මේ
ශිෂ්‍ය පිරිස විදුහල්පතිවරයාට අවනත බවත් එය නීතියක් නිසා නොව ආදරය නිසා ඇති වූ
අවනතභාවයක් බවත් ගඟුල් වටහා ගත්තේ ය.
විදුහල්පති
සිය කටහඬ අවදි කෙළේ ය.
“මේ
දුවල පුතාලට දැන් අලුත් ගුරුවරයෙක් ලැබිල තියනව. ඒ සිංහලවලට. මේ සර් කැමති උනා
ඕගොල්ලන්ගෙ විෂය නිර්දේසෙ ආවරණය කරන්න. කවුරුත් නැති නිසයි මං වැඩ කළේ. දැන් සර්
එක්කම ඉදිරි වැඩ කතා කරගන්න. ආයුබෝවන් දරුවනේ. එහෙනං ගඟුල් සර් වැඩ පටන් ගන්නකො.
විදුහල්පතිවරයා
නික්ම යනවිට පන්තියේ සියලු දෙනා ම නැගිට එක්වන් ව ආචාර කළහ. මොහොතක නිහැඬියාවක්
පැවතිණි. අනතුරුව පන්තියේ පසුපෙළ හිඳ සිටින ශිෂ්‍යයෙක් සිය මේසයට කිසියම් තාලයකට
ගැසූ අතර තවත් ශිෂ්‍යයකුගේ කටහඬ ඒ හා මුසුවනු පෙනිණ.
“බැස
සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගේ
මුළු
පන්තිය පුරා පැතිර ගියේ මහත් සිනා හඬකි. විශේෂය වූයේ ගඟුල්ගේ සිනහව ද ඒ හා මුසු
වීම ය.
අනතුරුව
ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය.
“මට
හරිම සතුටුයි වාදන හැකියාව තියෙන ගායන හැකියාව තියෙන දරුවන් මේ පන්තියේ ඉඳීම ගැන.
අපි ඒවයිනුත් ඉස්සරහට ප්‍රයෝජන ගනිමු. ඒ දක්ෂතාවලින් වැඩ ගන්නත් උසස් පෙළ සමත්
වෙලා තියෙන එක වැදගත් නිසා ඒ පැත්තටත් අපේ අවධානය යොමු කරමු.
පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහැඬියාවකි. තමා උපහාසයට ලක් කිරීම සඳහා කළ ක්‍රියාව මේ ගුරුවරයා
අගය කරයි. මේ සිය පාසල් ජීවිතයේ මතක ඇති කාලයකට ඔවුන් ලද ප්‍රථම ඇගයීම යි.
අවලාදයනට ම හුරු ව තිබූ දෙසවන්වලට දැන් ඇගයීමක් ලැබී තිබේ. ගඟුල් තවදුරටත් කතා
කෙළේ ය.
“අපි
විශ්වවිද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපට ඉගැන්නුව සහන් කියල සර් කෙනෙක්. සර් හැමදාම පාඩමට
අමතර දෙයක් අපිට කිව්ව. අදටත් පාඩමටත් වඩා අපේ හිතේ රැඳිල තියෙන්නෙ සර් කියපු ඒ
දේවල්. එක්කො සර් තමන්ගෙ අද්දැකීමක් ගැන කතා කළා. එහෙම නැත්තං සර් කියවපු පොතක්
ගැන ඒ පොතෙන් උකහා ගත්තු දෙයක් ගැන කතා කළා. ගුරුවරයා කරන්න ඕනෙ තමන්ගෙ පාඩම
උගන්නන එක විතරක් නෙමෙයි කියන පාඩම අපි ඉගෙන ගත්තෙ සහන් සර්ගෙන්.
දැන්
ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිහඬ ව සිටිති. ගඟුල් කතා කරයි.
“එදා
අපිට තිබුණෙ සිංහල ව්‍යාකරණ පාඩමක්. ඒ පාඩම මොකක් ද කියල අද මට මතක නෑ. ඒත් එදා
සර් කියපු කතාවක් මට අද වගේ මතකයි. මේ පන්තියට ආවට පස්සෙ ඒ කතාව ආයිත් මට මතක්
උනා.
“සර්
කිව්ව ගුරු ජීවිතය ගැන ලියැවිව්ව පොතක තිබිච්ච සිද්ධියක් ගැන. මේකට පසුබිම් වෙන්නෙ
කුලියාපිටිය සෙන්ට්‍රල් එක. පොත ලියන්නෙ ප්‍රේමචන්ද්‍ර විජේසිංහ කියල සර් කෙනෙක් ඒ
සර්ගෙ අද්දැකීම් ගැන.
“එක
පන්තියක හිටිය ශිෂ්‍යයෙක් ගුරුවරු නැති වෙලාවට මේසෙට ගගහ සින්දු කියනව. පන්තියෙ
අනික් ළමයිනුත් අත්වැල් දිදී මේකට සම්බන්ධ වෙනව. දවස් කීපයක් ම ගුරුවර ගුරුවරියො
කීප දෙනෙක් ම මේ දරුවටත් එයාට අනුබල දෙනව කියල මුළු පන්තියටමත් බණිනව. එයින් ඇතැම්
ගුරුවරයෙක් විදුහල්පතිතුමාටත් පැමිණිලි කරනව ඉස්කෝලෙ විනය රැක ගන්ඩත් මේ වගෙ වැඩ
බාධාවක් කියල.
“දවසක් ප්‍රේමචන්ද්‍ර සර් මේ පන්තියට එනව. එදත් මේ ශිෂ්‍යයා මේසෙට ගගහ සින්දු කියනව. අනිත් අය අහගෙන ඉන්නව. සර්ගෙ පැමිණීමත් එක්ක පන්තිය නිහඬ වෙනව. සර් කෙළින් ම අර ළමය ළඟට යනව. ඒ ශිෂ්‍යය බලාපොරොත්තු වෙන්නෙත් අනික් ළමයි බලාගෙන ඉන්නෙත් දැන් කණේ පාරක් හරි බැණුමක් හරි ෂුවර් තමයි කියල.”
දැන්
මුළු පන්තියේ ම අවධානය යොමු වන්නේ සිය මේසය තබ්ලා ගැසීම සඳහා යොදාගත් ශිෂ්‍යයා දෙසට
ය. මේ අතර ගඟුල් තමා කියාගෙන ආ කතාව දිගට ම කියාගෙන ගියේ ය.
“ඒ
සර් අර ශිෂ්‍යයට කියනව පුතා උඹ ගහනව ලස්සණයි ගහන තැන තමයි වැරදි කියල.
ප්‍රේමචන්ද්‍ර
සර්ගෙ මේ ප්‍රකාශෙ අර ශිෂ්‍යයගෙ මුළු ජීවිතේ ම වෙනස් කරනව. එයා සංගීතය පැත්තට ම
යොමු වෙනව. උසස් පෙළ පාස් වෙලා එයාගෙ යාළුවො පේරාදෙණියට ජයවර්ධනපුරේට කැලණියට
කොළඹට යද්දි එයා යන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙට.
“අපි
එදා සහන් සර්ගෙන් අහනව සර් ඉතින් ඒ ශිෂ්‍යයට සංගීත ක්ෂේත්‍රේ තැනකට යන්න ලැබුණ ද
කියල.
“සර්ගෙ උත්තරේ ඔව්. ඒ විතරක් නෙමෙයි සර් ඒ චරිතයට කතාකරලත් තිබුණ.”
“කවුද
සර් ඒ.
ඒ
ප්‍රශ්නය නැගුණේ පන්තියෙනි.
“ඒ
තමයි අද වෙන කොට අපේ විශිෂ්ට සංගීතඥයන්ගෙ නාමාවලියට අයිති වන එම්. ආර්. චූලසිංහ.
“සහන්
සර් දවසක් එතුමට කතා කරල තිබුණ මේ සිද්ධිය ගැන අහන්න ම. එයා කියල තියෙන්නෙ අදටත්
ප්‍රේමචන්ද්‍ර සර්ව මතක් වෙන කොට ඇස් දෙකට කඳුළු එනව කියල.
මුළු
පන්තිය පුරා පැතිර තිබුණේ මහත් නිහැඬියාවකි. යළිත් කතා කෙළේ ගඟුල් ය.
“මං
අද ඒ කතාව ඕගොල්ලන්ට කිව්වෙත් විශේෂ කාරණයක් නිස යි. මම පාඩමක් කරන්න පටන් ගන්නත්
ඉස්සෙල්ල මේ පන්තියෙ අනාගත චූලසිංහල දෙන්නෙක් ව දැක්ක. මම දැක්කෙ නෑ ඒ කවුද කියල.
ඒත් ඒ පුතාල දෙන්නට මං ඉතාම ආදරෙන් සුබ පතනව. ඒ වගේම මේ අනික් දුවල පුතාලගෙ අධ්‍යාපන
ගමනට වගේ ම ජීවිත ගමනටත් ඉතාම ආදරෙන් සුබ පතනව.
යළිත්
මුළු පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහඬතාවකි. මේ අතර පන්තියේ අන්තිම පේළියේ අසුනක
හිඳ සිටි ශිෂ්‍යයෙක් සිය අසුනින් නැඟිට ගඟුල් දෙසට ගමන් කෙළේ ය. ඔහුගේ දෑස් කඳුළින්
පිරී තිබිණ. ගඟුල්ගේ මේසය ළඟ සිටගත් ඔහු ආයාසයෙන් කතා කෙළේ ය.
“අපිට සමාවෙන්න සර්.”
ඔහු නැමී වඳින්නට සැරසෙත් ම ගඟුල් එම ශිෂ්‍යයාගේ දෙවුරෙන් අල්ලා
නැගිටුවා මෙසේ පැවසීය.
“මගෙන්
සමාව ගන්න ඕගොල්ලො කවුරුවත් මට වරදක් කළේ නැහැනෙ.
“නෑ
සර් මං තමයි අර සින්දුව කිව්වෙ. මගෙ ළඟම හිටපු යාළුව තමයි තාලෙට මේසෙට ගැහැව්වෙ.
එයත් දැන් ....
මෙසේ
කියා හිස එසවූ එම ශිෂ්‍යයාගේ බැල්ම යොමු වූයේ පන්ති කාමරයේ කෙළවර මේසයකට හිස
ගසාගෙන හිඳ සිටි ශිෂ්‍යයකු දෙසට ය. ගඟුල්ගේ මෙන් ම අනෙකුත් ශිෂ්‍යයන්ගේ ද අවධානය
එදෙසට යොමුවද්දී මුල් ශිෂ්‍යයා යළිත් කතා කෙළේ ය.
“අපිට
සමාවෙන්න සර්. අපි දෙන්නයි ඒ වැඩේ කළේ. එයත් ඒ ගැන තැවෙනව සර්. අපි දෙන්න කරපු
වරදට පන්තියෙ අනිත් ළමයි ගැන මුකුත් හිතන්න එපා සර්.
ඉමහත්
ආදරයකින් එම ශිෂ්‍යයාගේ හිස මත අත තැබූ
ගඟුල් තවමත් මේසය මත හිස ගසාගෙන සිටින ශිෂ්‍යයා වෙතට ගමන් කෙළේ ය. අනතුරුව කතා
කෙළේ ය. තමා ළඟට ම ගුරුවරයා පැමිණ ඇති බව දුටු එම ශිෂ්‍යයා කලබල ව වහා හිඳ සිටි
අසුනින් නැඟී සිටියේ ය.
“ඔයා හොඳ තාල ඥානයක් තිබෙන කෙනෙක් පුතා. සංගීතය පැත්තෙන් ම යන්න. ඔයාට ඒ පාරෙ ලොකු දුරක් යන්න පුළුවන්.”
ගඟුල්ගේ
මේ වචන ශිෂ්‍යයා තව තවත් කම්පනයට පත් කෙළේ ය.
ඔහුගේ දෑසට කඳුළු නැඟී තිබිණ. නවක ගුරුවරයා අපහසුවට පත් කිරීමේ අදහසින් කළ ක්‍රියාව ඒ ගුරුවරයා විසින් ම ප්‍රශංසනීය කටයුත්තක් ලෙස දැකීම දරා ගන්නේ කෙසේ ද? වෙනදා සිය ක්‍රියාවන්ගෙන් අන්‍යයන් හැඬ වූ තමාට අද මේ සිදුවූයේ කුමක් ද? සිය ගුරුවරුන්, සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව කාර්යාලයීය කාර්යසහායක වැඩිහිටියා පවා සිය ක්‍රියාවන්ගෙන් අපහසුවට පත් කිරීම පරම වීරක්‍රියාවක් ලෙස සිතා සිටි තමා අද පත් ව සිටින්නේ ද මහත් ම අපහසුවකට ය. දැඩි වචන භාවිතයෙන් මුළු පන්තිය ම බියපත් කොට ගෙන සිටි සිය ගුරුවරුන් සමග පවා එකට එක කියාගෙන සිටි තමා දැන් වචනයක් පවා පිට කළ නොහෙන ගොළුවකු බවට පත් ව තිබේ. සිය ශිෂ්‍යයාගේ අපහසුතාව අවබෝධ කොට ගත් ගඟුල් මෙසේ ඇසී ය.
“මොකක්
ද පුතා ඔයාගෙ නම?
“සු..සු
සුපුන් සර්
“පෙන්නන්න
ඔයාගෙ අත් දෙක.
සුපුන්
සිය දෑත ඉදිරියට දිගු කොට පෙන්වීය.
“සරස්වතී
දෙවඟනගෙන් ආශිර්වාද ලබන අත් දෙකක් කර ගන්න මේ අත් දෙක.
එසේ
පවසා ගඟුල් සිය අසුන වෙත ගියේ ය. එතැන් සිට එම කාල පරිච්ඡේදයේ දී ඔහු කෙළේ පන්තියේ
සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහද කතාබහක නිරත වීම ය. ඒ කතාබහින් ඔහු බොහෝ දේ
අවබෝධ කොට ගත්තේ ය. මේ දරුවන් පිළිබඳ ව තවදුරටත් සොයා දැනගත යුතු තවත් අනේකවිධ
කාරණා තිබෙන බව ගඟුල්ට වැටහිණ. ශිෂ්‍ය ගෞරවය රකින පරිසරයක දී නිරායාසයෙන් ම ගුරු
ගෞරවය රැකෙන බව මේ නවක ගුරුවරයා මැනවින් දැන සිටියේ ය. ඔහු ගුරු මෙහෙවර පිළිබඳ
ඇතැමකුට අමුතු සේ ද පෙනී යා හැකි බොහෝ සොඳුරු කාරණා උගත්තේ ආචාර්ය අදිකාරම්තුමන්
වෙතිනි. එසේ ම ගුරුචරණයෙහි මහදර්ථය උකහා ගන්නේ ඒ සොයුරු මිත් - ආදරණීය සහෘදයාගේ චරිතාදර්ශයෙනි.
ආචාර්ය
අදිකාරම්තුමා ගුරුවරුන් උදෙසා පැවැත් වූ දේශනවල දී අවධාරණයෙන් පවසා ඇත්තේ පිරිසිදු
අභ්‍යන්තරයක් ඇති කරගැනීම ගුරුවරයකුගේ මූලික වගකීමක් පමණක් නොව අත්‍යවශ්‍ය යුතුකම
ද වන බව ය. එසේ ම ශිෂ්‍යයන් කෙරෙහි වන ආදරයෙන් ගුරු සිත නිබඳ පිරී තිබිය යුතු ය
යන්න ද එතුමා අවධාරණ කළ තවත් සුවිශේෂ කරුණක් විය.
ගඟුල්
සිය ප්‍රථම පන්තියේ දූ දරුවන්ගෙන් සමුගෙන කාර්යාලය දෙසට ගමන් කෙළේ දිව මතුරක් සේ
තමා නිබඳ සිහි කරන ඒ මහා ප්‍රාඥයාගේ පහත සඳහන් සදුක්තිය සිහිපත් කරමිනි.
“ආදරය තේරුම් ගැනීමේ පුදුම ශක්තියක් ළමයින්ට තිබේ. තමන්ට ආදරය ඇති ගුරුවරයා ළමයින් විසින් ප්‍රිය කරනු ලැබෙයි. ශිෂ්‍යයන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් ද එවැනි ගුරුවරයකුට ඇති නොවන්නේ ය.”
ඇස කඳුලින් තෙමී යා....
ReplyDeleteහොඳ කතාවක්. මමත් මගේ යාලුවෙකුත් ඒ දවස් වල දෙස්කෙකට ගගහ සින්දු කියනවා.
ReplyDeleteදැනුම සොයා අනවරත අරගලයක යෙදෙන අතරම මිනිස් හද පත්ලෙහි සැඟව ඇති අරුමැති සොඳුරු දසුන් වදනින් චිත්‍රණය කළහැක්කෝ සැබෑ මානව හිතවාදියෝ වෙත්මය.
ReplyDelete'ගුරු දියවර' කතාවක් නොව මිහිකත සනසා නැලවෙමින් දොඩමළුව ගලාබස්නා දහස් ගණන් ගංගාදියවරින් සුපෝෂිත කතා සාගරයකියි මට සිතේ.
-අමරසිරි ගනේවත්ත-