Friday, December 31, 2021

64. ගුරු දියවර නවකතාව - පස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                        


                                                             පස්වන දියවර

ගඟුල් උදෑසනින් ම අවදි වූයේ ය. ඔහුට ලැබී තිබූ කාමරය පරිසර සුන්දරත්වය අවලෝකනය කිරීම උදෙසා ම නිර්මිත වූවක් වැන්න. එහි පිවිසුම් දොරටුව තනා තිබුණේ ගෙයි ඉස්තෝප්පුවෙන් ඇතුළු විය හැකි වන ලෙස ය. වම් කවුළුවෙන් බැලූවිට පෙනෙන්නේ රන්වන් කරලින් බර වූ කෙත් යාය යි. දකුණුපස කවුළුවෙන් බැලූ විට දිස් වන්නේ නිබඳ සුළඟින් සැලෙන සොඳුරු පත් ඇති බෝධි වෘක්ෂය යි. ගෙමිදුලට පැමිණ වම්පසට හැරී මඳ දුරක් ගොස් නැවතී බැලූවිට මිරිහන්පිටිගම වැව දැකිය හැකි වෙයි.

මේ සුන්දර අර්ථවාහී දර්ශන දකිද්දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ ආදරණීය සහෘදයා ය. ගුරුවරයා යනු ලෝකයට ආලෝකය ප්‍රදානය කරන්නා මිස අඳුර පතුරුවන්නා නොවේ ය යන මහනීය පාඩම කියා දුන්නේ ඔහු ය. ගුරු යන වචනයේ ආදරණීය සහ ප්‍රෞඪ යන අර්ථ දෙක ද ඇති බව කියා දුන්නේ ඔහු ය. ගුරුවරයා යනු බරක් ඇති සැහැල්ලු චරිතයක් බව කියා දුන්නේ ද ඔහු ය. ඔහු වූ කලී අතීතයෙන් ඇසී වර්තමානයේ ද රැඳී අනාගතය වෙත ද ඇදී යන සොඳුරු ගීතයක් වැන්න. ඔහු සිහි වන හැම මොහොතක ම මහගමසේකරයන් ලියූ අමරදේවයන් ගයන එක්තරා ගීතයක් ගඟුල්ගේ හදමඬලට පිවිසෙයි. 


අතීතයෙන් ගඟ ගලා බසී

සිඳී බිඳී ගල්පර අතරේ

සිනා සිසී සුදු පෙණ පොකුරේ

ගලා බසී ගඟ ගලා බසී

 

පිපී බිඳෙන දිය බුබුලේ 

වළා රොදක දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ

ඔබේ ඇසිනි මා දුටුවේ

 

දැන් පැවරී ඇත්තේ ඒ ඇස අනාගත පරපුරට උරුම කොට දීම නොවේ ද? ගඟුල් පාසල් යාම සඳහා සූදානම් වූයේ යළි යළිත් ඒ පැනය තමාගෙන් ම අසමිනි.

ගඟුල් උඹ ලෑස්ති ද මල්ලි, වරෙන් මං උඹව බයික් එකේ ගිහින් දාන්නං ඉස්කෝලෙ ගාවට.

එසේ කියමින් එතැනට පැමිණියේ වසන්ත ය.

වසන්ත නාගොල්ලාගම පාසලට හැරෙන තැනින්  ගඟුල් බස්වා සිය පාසල බලා පිටත් ව ගියේ ය. 

ගඟුල් පළමු ව කාර්යාලය වෙත ගියේ සිය පැමිණීම සහතික කොට ගුණවර්ධන මහතා වෙතින් තමාට නියමිත කාලසටහන ලබාගැන්ම සඳහා ය.

සර් මේ කාලසටහන සර්ට දෙන්න කිව්ව ගුණවර්ධන සර්. සර් මෙහෙන් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්නකො ලොකු සර් එනකං.

ඒ නිම්මි ය. 

ලොකු සර් තාම ආවෙ නැද්ද නිම්මි. 

නෑ නෑ සර් ආවා. අපි ඔක්කොටම කලින් තමයි ලොකු සර් ඉස්කෝලෙට එන්නෙ. ඒ ආවහම ඉස්සෙල්ලම කරන්නෙ ඉස්කෝලෙ වටේ රවුමක් යන එක.

ගුරුවරු කාර්යාලයට එති, අත්සන් කරති, අනතුරුව සිය පන්තිවලට යති. ඇතැමෙක් ගඟුල් හා සිනාසෙති. තවෙකෙක් වචනයක් දෙකක් කතා කොට මේ අලුත් ගුරුවරයාට සුබ පතා පිට ව යති. මේ අතර ගඟුල් හැරී බැලුවේ කිසිවකු තමාගේ පිටට අත තබනු දැනී ය. 

මල්ලි මම තෙන්නකෝන්, ඉතිහාසෙ උගන්නන්නෙ, ඔයා නේද සිංහලවලට අලුතින් ආවෙ. මට ඊයෙ ලොකු සර් කිව්ව සිංහලවලටත් අලුත් ගුරුවරයෙක් ආවා කියල. සතුටුයි මල්ලි මං අලුතින් ආරම්භ වෙන ඔයාගෙ ගුරු ජීවිතයට ආදරෙන් සුබ පතනවා.

මෙසේ ගඟුල්ගේ ළඟට ම පැමිණ සුබ ප්‍රාර්ථනා කෙළේ මැදිවියේ ගුරුවරයෙකි. ඒ ප්‍රසන්න ගුරුවරයාගේ රූපකාය ඔහුට සිහිපත් කොට දුන්නේ හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලයේ දී ඔවුනට සමාජ අධ්‍යයනය ඉගැන්වූ උක්කුබණ්ඩා ගුරුතුමන්ගේ රූපකාය යි.

බොහොම ස්තුතියි සර්. 

ගඟුල් එසේ පැවසුවේ එම වැඩිහිටි ගුරුවරයාට හිස නමා ආචාර කරමිනි.

එහෙනං මල්ලි පැමිණීමේ ගුරු ලේඛනයට වඩා ශිෂ්‍යයන්ගෙ හද ලේඛනයේ සටහන් වෙන ගුරුවරයෙක් වෙනව කියන අධිෂ්ඨානය ඇතිව අදම වැඩ පටන් ගන්නකො. මමත් යනව මගෙ පන්තියට. 

තෙන්නකෝන් සර්,  සර්ව අද හම්බ වෙන්නමයි හිටියෙ. පොඩි කරුණු ටිකක් තියෙනව මට සර්ගෙන් අහගන්න. අද වෙලාවක් තියෙයි ද? 

එසේ ඇසුවේ එතැනට පැමිණි තරුණ ගුරුවරයෙකි.

ආ මේ අතුලනෙ. වෙලාවක් නැත්තං අපි වෙලාවක් හදා ගම්මු. අද නං මට ඕප් පීරියඩ්ස් නෑ. උඹට ඉන්න පුළුවන්නං අපි ඉස්කෝලෙ ඇරියට පස්සෙ කතා කරමු. ඔන්න උඹලගෙ වයසට හරියන අලුත් යාළුවෙකුත් ඇවිල්ල. කතා කරල අඳුන ගනින්කො. මං යනව එහෙනං.  

ලොකු දෙයක් සර් අදම වෙලාවක් දාගන්න පුළුවන් වෙච්ච එක. මමත් අස්සන් කරලම මේ සර්ට කතා කරන්නං. 

අතුල එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී මඳ සිනහවක් සෙමිනි.

ගඟුල් ඔහුට සිනහවකින් ම ප්‍රතිචාර දැක්වීය. එයිනික්බිති අතුල සිය කටහඬ අවදි කෙළේ ය.

මම අතුල ජයසිංහ. මගෙ විෂය නං කෘෂිවිද්‍යාව. ඒත් මෙහෙට ක්‍රීඩා ගුරුවරයෙක් නැති නිසා ලොකු සර් මට වැඩි වගකීමක් පවරල තියෙන්නෙ ස්පෝට්ස් පැත්ත බලාගන්න. අපි දැනං හිටිය අද ඉඳන් අපේ ඉස්කෝලෙට අලුත් ගුරුවරු තුන් දෙනෙක් ම එන බව. ඔන්න පළවෙනියව හම්බ උනා.

ගඟුල්ට සිනහ ගියේ ලොකු සර් පැවසූ පාසලක සිටින භයානක ගුරුවරුන් තිදෙනා පිළිබඳ කතාව සිහිවීම නිසා ය. එසේ නම් මේ හමු වී ඇත්තේ තමා ද අයත් වන ඒ භයානක කුලකයට අයත් ගුරුවරයෙකි.

හරි සතුටුයි අතුල සර් අඳුන ගන්න ලැබීම. මම ගඟුල් සමරනායක. සිංහලවලටයි ආවෙ.

ෂා මරුනෙ. මං උපාධියට කෘෂිවිද්‍යාව කළාට සිංහලවලට මාර විදියට ආසයි. අපි ඉස්සරහට හම්බ වෙලා කතා කරමුකො. 

කෝ නිම්මි ලොකු සර්. අදත් උදෙන් ම ගුරු ශිෂ්‍ය නිරීක්ෂණ චාරිකාවට ගිහින් ද?

මෙසේ කියමින් කාර්යාලයට ඇතුළු වූයේ මැදිවියේ ගුරුවරියකි.

ගුඩේ ගුඩ් මෝනින් එකක්ම වේවා සිල්වා මැඩම්.

ආ ගුඩ් මෝනින්. මේ අතුල මන් ඔයාට කීප සැරයක් ම කිව්ව ලස්සන යෙදුම් අවලස්සන කරන්න එපැයි කියල. ඒත් ඔය ළමය දිගින් දිගටම ඒකමනෙ කරන්නෙ. අලුත් යාළුවෙකුත් හම්බ වෙලා ඉන්නෙ. මන් දැක්ක දෙන්න එක්ක ලොකු කතාවක වැටිල ඉන්නව.

නෑ මැඩම් අපි පොඩිම පොඩි කතාවකයි හිටියෙ. ලොකුම ලොකු කතා ඉස්සරහට. මේ අපේ අලුත් සිංහල සර්.

ආ සිංහල ද? අතුල පුළුවන්නං මේ ළමයවත් නරක් කරන්න.

අනේ අනේ මැඩම් අපි ගැන හිතාගෙන ඉන්න විදිහ.

අපිට අතුල එහෙම හිතන්න වෙලා තියෙන්නෙ ඕගොල්ලන්ගෙම වැඩ පිළිවෙළ හන්දා. මට කණගාටු ලොකු සරුත් ඕගොල්ලන්ව හදාගන්නව වෙනුවට උඩගෙඩි දෙන නිසා.

දැන් මැඩම් ඔහොම කිව්වහම මේ අලුත් සර් අපිත් එක්ක කතා කරන්නවත් බය වෙයිනෙ.

ඔව් ඉතින් ඒක හොඳයිනෙ. විශේෂයෙන් ඒක මේ ළමයට. 

හොඳයි. මට බැලුවහම පේනව මේ ළමය නං කාගෙ උනත් වැදගත් ළමයෙක් බව.

ඇත්ත මැඩම් සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මැඩම් එයාගෙ සබ්ජෙක්ට් එක තමයි අප්සට් නේ ද?

අතුල ඔයා මට හින්ට් ගහනව නේද ? 

අපෝ නෑ මැඩම් අපි එහෙම වැඩ කරනව ද?

මොකෝ නැත්තෙ. එහෙම වැඩ තමයි ඕගොල්ලො කරන තරමක් කරන්නෙ. ඒ වගේම ඕගොල්ලන්ගෙ ඕන වැඩකට සපෝට් කරන දෙතුන් දෙනෙකුත් මේකෙම ඉන්නවනෙ.

බී කෙයාෆුල්.

සිල්වා මහත්මිය එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී තියුණු බැල්මක් හෙළමිනි.

මට වැඩ තියෙනව. මං යනව. 

මෙසේ කියා කාර්යාලයෙන් පිට ව යාමට ගිය සිල්වා මහත්මිය පෙරළා හැරී ආවේ ගඟුල් ළඟට ය.

මං මේ මට අමතක වෙන්න ගිය දෙයක් මතක් වෙලයි මං මේ ආපහු හැරුණෙ. අද ලොකු සර් ඔය ළමයට කාල සටහනක් දේවිනෙ. එතකොට මතක ඇතිවම සීලාචාර ළමයි ඉන්න පන්තිවල උගන්නන්නයි මං කැමති කියල ලොකු සර්ට කෙළින්ම කියන්න. ඔය මේකෙ සමහරක් කැමති එහෙම පන්තිවලටම තමයි.

සිල්වා මහත්මිය සම හරක් යන වචනය බර තබා උච්චාරණය කෙළේ අතුල දෙසට දැඩි බැල්මක් හෙළමිනි.

මෙසේ පවසා ඇය වේගවත් ගමනින් කාර්යාල කාමරයෙන් පිට ව ගියා ය.

මොකෝ අර සිල්ව ටීචර් හයියෙන් හයියෙන් යන්නෙ. මාත් එක්කත් කේන්තියෙන් වගේනෙ ගියේ.

එසේ පැවසුවේ ඒ මොහොතේ කාර්යාලයට ඇතුළු වූ විදුහල්පතිතුමා ය.

ඔපිස් එකට ආවෙ නං සිල්ව මැඩම් තමයි ලොකු සර්. ඒ උනාට දැන් මෙතනින් පිටවෙලා ගියේ නං සිල්ව මැඩම් නෙමෙයි.

ඒ කිව්වෙ අතුල මට තේරෙන්නෑ ඔයා කියන දේ.

මෙහෙමනෙ සර් සිල්වා මැඩම් ඔපිස්සෙකට ආවා. හැබැයි පිටවෙලා ගියේ ආපු සිල්ව මැඩම් නෙවෙයි අයිරාංගනී සදාකෝපාවිෂ්ට. 

එකත් එකටම අතුල උඹ ඒ මනුස්සයගෙ කේන්තිය ඇවිස්සෙන විදිහෙ වචන කියන්නැති.

අනේ නෑ ලොකු සර් එතුමිය ආවා. එතුමියම පැමිණිල්ල ඉදිරිපත් කළා. එතුමියම නඩුවත් ඇහුවා. එතුමියම තීන්දුවත් දුන්නා. එහෙම කරල අධිකරණ ශාලාවේ කවුරුවත් දිහා බලන්නැතිව වේගයෙන් පිටවෙලා ගියා. ඔන්න මේ සිදුවීම සම්පූර්ණයෛන් දැකපු අලුත් සරුයි අපේ නිම්මියි ඒකට සාක්කි.

හොඳයි හොඳයි අපි සාක්කි විමසමුකො පස්සෙ. නිම්මි, ගුණවර්ධන සර් ගඟුල් සර්ට හදපු කාලසටහන දෙන්නකො. සර් එක්ක පොඩ්ඩක් කතා කරල සර්ව එක්ක යන්න ඕන සර්ගෙ මුල්ම පන්තියට. අතුල මට අද ඔයා එක්කත් කතා කර ගන්න කාරණා ටිකක් තියෙනව අපේ ක්‍රීඩා උත්සවේ ගැන. දොළහෙන් පස්සෙ මේ පැත්තට ආවොත් හොඳයි අතුල.

විදුහල්පතිතුමා එසේ පවසා හැරුණේ ගඟුල් දෙසට ය. 

ගඟුල් ඉඳගන්නකො පොඩ්ඩක් මෙතනින්. 

විදුහල්පතිවරයා එසේ පවසා සිය අසුනෙහි හිඳ ගන්නා ගමන් ගඟුල්ට ඉදිරිපස අසුනක් දැක්වීය. අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

නිම්මි මට දෙන්නකො මේ සර්ට හදපු කාලසටහන. අද ගුණවර්ධන සර් ටිකක් පරක්කු වෙලයි එන්නෙ. සර්ට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තියෙනව කිව්ව. ඔයා අලුතින් එන මිස්ල දෙන්නටත් මේජර් ටයිම් ටේබල් එක බලල තාවකාලික කාලසටහනක් හදන්න. ගුණවර්ධන සර් බැලුවට පස්සෙ ඒකෙ පිටපත් දෙකක් මටත් දෙන්න. මොකද අද ඒ මිස්ල දෙන්නම වැඩ බාර ගන්න එනව. 

ගඟුල් මෙන්න ඔයාගෙ කාලසටහන. මේක තාවකාලික එකක්. ඔයාට දැනට දහය එකොළහ පන්ති වගේම උසස් පෙළ එක පන්තියකුත් දාල තියෙනව. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනව කියන්න. මං මේක මුලින් කියනවද නැද්ද කියල කියන එකම හොඳයි කියල හිතුණ. මොකද ඔය උසස්පෙළ පන්තිය ගොඩක් ගුරුවරු නොතකා හරින පන්තියක්. ඒකට කියන්නෙ තේරිච්ච පන්තිය කියල. මේ කොන් කිරීම නිසාම මේ සමහර ළමයි ප්‍රචණ්ඩ වෙලා තියෙන බව මමත් දන්නව. සිංහල උපාධිධාරි ගුරුවරයෙකුයි ගුරුවරියකුයි දෙන්නෙක්ම අපට හිටියත් මේ දෙන්නම දවසක් දෙකක් ඒ පන්තිවලට ගියාට පස්සෙ ප්‍රතික්ෂේප කළා ආයෙත් ඒකට යන එක. ඒවට ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් හේතුත් ඉදිරිපත් කළා. මන් ඉතින් හැම පැත්තක්ම බලල මට පුළුවන් විදිහට ඒ පන්තියෙ සිංහල උගන්නන්න ගත්ත. මං තේරුන් ගත්ත විදිහට ගඟුල් ඒ පන්තියෙ ඉන්නෙ අදක්ෂ ළමයිවත් නරක ළමයිවත් නෙවේ. මේ ගොඩක් ළමයින්ගෙ හිත් තැලිල තියෙන්නෙ අර කොන් කිරීම නිසාම. මන් කැමතියි ඔයා මේ පන්තිය බාර අරන් වැඩ කරනවනං. හැබැයි මුලදි ඔයාටත් ප්‍රශ්න දාවි. කල්පනාවෙන් වැඩ කළොත් අපට මේ ළමයි ටික ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඔයා මෙහෙට ආපු පළවෙනි දවසෙම ඒ ගත කරපු ටික වෙලාවෙ ගොඩ නැගුණු විශ්වාසෙ නිසයි අද මම මෙහෙම කතා කරන්නෙ. 

ලොකු සර් මට ඒ පන්තිය දෙන්න. මං උත්සාහ කරන්නං මට පුළුවන් උපරිම දේ කරන්න. සර් මං ගැන තබපු විශ්වාසෙට බොහොම ස්තුතියි. 

ගඟුල් දෙස මොහොතක් බලා සිටි විදුහල්පතිවරයා හුන් අසුනෙන් නැගිට ඔහු සමීපයට ආවේ ය. ගඟුල් ද හුනස්නෙන් නැගී සිටියේ ය. විදුහල්පතිවරයා ගඟුල්ගේ දෑතින් දෑත අල්වා මෙසේ පැවසීය.

ගඟුල් අපි මේ ළමයින්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු පන්තියම විශ්වවිද්‍යාලෙට යවල තමයි නවතින්නෙ කියල හිතල වැඩ කරමු. යමු අපි ඒ පන්තියෙන් ම ඔයාගෙ ගුරුජීවිතේ ආරම්භ කරමු. මම ඔයාට සුබ පතනව. යං මමත් එනව ඔයාව මේ ළමයින්ට අඳුන්නල දෙන්න. 

විදුහල්පතිවරයා ගඟුල් කැඳවාගෙන ගියේ 12 බී පන්තිය වෙතට ය. ඊට සමීප වන විට ගඟුල්ට ඇසුණේ මෙවන් කතාබහකි.

මචං අන්න ලොකු සර් එනව අලුත් පොරක් එක්ක. අලුත් මෑන් මොනවද දන්නෑ උගන්නන්නෙ. 

ආපුවාවෙ ආපුවාවෙ අර අනික් අය වගේම දවසක් දෙකක් ඇවිල්ල අපේ පන්තිය අත හරීවි. එතකොට ලොකු සර්ටම භූගෝලෙට අමතරව සිංහල උගන්නන්න උනා වගෙ ඔය අලුත් මෑන්ගෙ සබ්ජෙක්ට් එකත් උගන්නන්න වේවි. 

ඔවුන්ගේ කතාබහින් ගඟුල් බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. බොහෝ ගුරුවරුන් වෙතින් ඔවුන් ප්‍රතික්ෂේප වූවා සෙයින් ම ඔවුන් අතින් බොහෝ ගුරුවරුන් ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඔවුන් තුළ කිසියම් ගෞරවනීය හැඟීමක් ඇති බව ද පෙනේ. ඔවුන් තමා අලුත් පොරක් ලෙස හැඳින්වුව ද සිය විදුහල්පතිවරයා හැඳින්වීම සඳහා පිනා - ප්‍රින්සිපල්කාරය - ලොක්කා - ලොකු සර්කාරය වැනි චචන භාවිත කෙළේ නැත. මේ දරුවන් තුළ සැඟවුණු හරවත් යමක් තිබේ. ගුරුවරයකු වශයෙන් තමා විසින් කළ යුතු ව ඇත්තේ ඒ හරය මතු කොට ගැන්ම උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ය. සිය ගුරු මෙහෙවර එය ම වන බව ගඟුල් තදින් ම ධාරණය කොට ගත්තේ ය.

ඔවුන් ඇතුළුවත් ම මුළු පන්තියේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැගී සිට එක්වන් ව මෙසේ කීහ. 

ආයුබෝවන් ලොකු සර්. සුබ උදෑසනක් ලොකු සර්. 

මේ ශිෂ්‍ය පිරිස විදුහල්පතිවරයාට අවනත බවත් එය නීතියක් නිසා නොව ආදරය නිසා ඇති වූ අවනතභාවයක් බවත් ගඟුල් වටහා ගත්තේ ය.

විදුහල්පති සිය කටහඬ අවදි කෙළේ ය.

මේ දුවල පුතාලට දැන් අලුත් ගුරුවරයෙක් ලැබිල තියනව. ඒ සිංහලවලට. මේ සර් කැමති උනා ඕගොල්ලන්ගෙ විෂය නිර්දේසෙ ආවරණය කරන්න. කවුරුත් නැති නිසයි මං වැඩ කළේ. දැන් සර් එක්කම ඉදිරි වැඩ කතා කරගන්න. ආයුබෝවන් දරුවනේ. එහෙනං ගඟුල් සර් වැඩ පටන් ගන්නකො. 

විදුහල්පතිවරයා නික්ම යනවිට පන්තියේ සියලු දෙනා ම නැගිට එක්වන් ව ආචාර කළහ. මොහොතක නිහැඬියාවක් පැවතිණි. අනතුරුව පන්තියේ පසුපෙළ හිඳ සිටින ශිෂ්‍යයෙක් සිය මේසයට කිසියම් තාලයකට ගැසූ අතර තවත් ශිෂ්‍යයකුගේ කටහඬ ඒ හා මුසුවනු පෙනිණ.

බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගේ 

මුළු පන්තිය පුරා පැතිර ගියේ මහත් සිනා හඬකි. විශේෂය වූයේ ගඟුල්ගේ සිනහව ද ඒ හා මුසු වීම ය.

අනතුරුව ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය.

මට හරිම සතුටුයි වාදන හැකියාව තියෙන ගායන හැකියාව තියෙන දරුවන් මේ පන්තියේ ඉඳීම ගැන. අපි ඒවයිනුත් ඉස්සරහට ප්‍රයෝජන ගනිමු. ඒ දක්ෂතාවලින් වැඩ ගන්නත් උසස් පෙළ සමත් වෙලා තියෙන එක වැදගත් නිසා ඒ පැත්තටත් අපේ අවධානය යොමු කරමු. 

පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහැඬියාවකි. තමා උපහාසයට ලක් කිරීම සඳහා කළ ක්‍රියාව මේ ගුරුවරයා අගය කරයි. මේ සිය පාසල් ජීවිතයේ මතක ඇති කාලයකට ඔවුන් ලද ප්‍රථම ඇගයීම යි. අවලාදයනට ම හුරු ව තිබූ දෙසවන්වලට දැන් ඇගයීමක් ලැබී තිබේ. ගඟුල් තවදුරටත් කතා කෙළේ ය.

අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපට ඉගැන්නුව සහන් කියල සර් කෙනෙක්. සර් හැමදාම පාඩමට අමතර දෙයක් අපිට කිව්ව. අදටත් පාඩමටත් වඩා අපේ හිතේ රැඳිල තියෙන්නෙ සර් කියපු ඒ දේවල්. එක්කො සර් තමන්ගෙ අද්දැකීමක් ගැන කතා කළා. එහෙම නැත්තං සර් කියවපු පොතක් ගැන ඒ පොතෙන් උකහා ගත්තු දෙයක් ගැන කතා කළා. ගුරුවරයා කරන්න ඕනෙ තමන්ගෙ පාඩම උගන්නන එක විතරක් නෙමෙයි කියන පාඩම අපි ඉගෙන ගත්තෙ සහන් සර්ගෙන්. 

දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිහඬ ව සිටිති. ගඟුල් කතා කරයි.

එදා අපිට තිබුණෙ සිංහල ව්‍යාකරණ පාඩමක්. ඒ පාඩම මොකක් ද කියල අද මට මතක නෑ. ඒත් එදා සර් කියපු කතාවක් මට අද වගේ මතකයි. මේ පන්තියට ආවට පස්සෙ ඒ කතාව ආයිත් මට මතක් උනා. 

සර් කිව්ව ගුරු ජීවිතය ගැන ලියැවිව්ව පොතක තිබිච්ච සිද්ධියක් ගැන. මේකට පසුබිම් වෙන්නෙ කුලියාපිටිය සෙන්ට්‍රල් එක. පොත ලියන්නෙ ප්‍රේමචන්ද්‍ර විජේසිංහ කියල සර් කෙනෙක් ඒ සර්ගෙ අද්දැකීම් ගැන.

එක පන්තියක හිටිය ශිෂ්‍යයෙක් ගුරුවරු නැති වෙලාවට මේසෙට ගගහ සින්දු කියනව. පන්තියෙ අනික් ළමයිනුත් අත්වැල් දිදී මේකට සම්බන්ධ වෙනව. දවස් කීපයක් ම ගුරුවර ගුරුවරියො කීප දෙනෙක් ම මේ දරුවටත් එයාට අනුබල දෙනව කියල මුළු පන්තියටමත් බණිනව. එයින් ඇතැම් ගුරුවරයෙක් විදුහල්පතිතුමාටත් පැමිණිලි කරනව ඉස්කෝලෙ විනය රැක ගන්ඩත් මේ වගෙ වැඩ බාධාවක් කියල. 

දවසක් ප්‍රේමචන්ද්‍ර සර් මේ පන්තියට එනව. එදත් මේ ශිෂ්‍යයා මේසෙට ගගහ සින්දු කියනව. අනිත් අය අහගෙන ඉන්නව. සර්ගෙ පැමිණීමත් එක්ක පන්තිය නිහඬ වෙනව. සර් කෙළින් ම අර ළමය ළඟට යනව. ඒ ශිෂ්‍යය බලාපොරොත්තු වෙන්නෙත් අනික් ළමයි බලාගෙන ඉන්නෙත් දැන් කණේ පාරක් හරි බැණුමක් හරි ෂුවර් තමයි කියල.  

දැන් මුළු පන්තියේ ම අවධානය යොමු වන්නේ සිය මේසය තබ්ලා ගැසීම සඳහා යොදාගත් ශිෂ්‍යයා දෙසට ය. මේ අතර ගඟුල් තමා කියාගෙන ආ කතාව දිගට ම කියාගෙන ගියේ ය.

ඒ සර් අර ශිෂ්‍යයට කියනව පුතා උඹ ගහනව ලස්සණයි ගහන තැන තමයි වැරදි කියල. 

ප්‍රේමචන්ද්‍ර සර්ගෙ මේ ප්‍රකාශෙ අර ශිෂ්‍යයගෙ මුළු ජීවිතේ ම වෙනස් කරනව. එයා සංගීතය පැත්තට ම යොමු වෙනව. උසස් පෙළ පාස් වෙලා එයාගෙ යාළුවො පේරාදෙණියට ජයවර්ධනපුරේට කැලණියට කොළඹට යද්දි එයා යන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙට.

අපි එදා සහන් සර්ගෙන් අහනව සර් ඉතින් ඒ ශිෂ්‍යයට සංගීත ක්ෂේත්‍රේ තැනකට යන්න ලැබුණ ද කියල. 

සර්ගෙ උත්තරේ ඔව්. ඒ විතරක් නෙමෙයි සර් ඒ චරිතයට කතාකරලත් තිබුණ.  

කවුද සර් ඒ. 

ඒ ප්‍රශ්නය නැගුණේ පන්තියෙනි.

ඒ තමයි අද වෙන කොට අපේ විශිෂ්ට සංගීතඥයන්ගෙ නාමාවලියට අයිති වන එම්. ආර්. චූලසිංහ. 

සහන් සර් දවසක් එතුමට කතා කරල තිබුණ මේ සිද්ධිය ගැන අහන්න ම. එයා කියල තියෙන්නෙ අදටත් ප්‍රේමචන්ද්‍ර සර්ව මතක් වෙන කොට ඇස් දෙකට කඳුළු එනව කියල. 

මුළු පන්තිය පුරා පැතිර තිබුණේ මහත් නිහැඬියාවකි. යළිත් කතා කෙළේ ගඟුල් ය.

මං අද ඒ කතාව ඕගොල්ලන්ට කිව්වෙත් විශේෂ කාරණයක් නිස යි. මම පාඩමක් කරන්න පටන් ගන්නත් ඉස්සෙල්ල මේ පන්තියෙ අනාගත චූලසිංහල දෙන්නෙක් ව දැක්ක. මම දැක්කෙ නෑ ඒ කවුද කියල. ඒත් ඒ පුතාල දෙන්නට මං ඉතාම ආදරෙන් සුබ පතනව. ඒ වගේම මේ අනික් දුවල පුතාලගෙ අධ්‍යාපන ගමනට වගේ ම ජීවිත ගමනටත් ඉතාම ආදරෙන් සුබ පතනව. 

යළිත් මුළු පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහඬතාවකි. මේ අතර පන්තියේ අන්තිම පේළියේ අසුනක හිඳ සිටි ශිෂ්‍යයෙක් සිය අසුනින් නැඟිට ගඟුල් දෙසට ගමන් කෙළේ ය. ඔහුගේ දෑස් කඳුළින් පිරී තිබිණ. ගඟුල්ගේ මේසය ළඟ සිටගත් ඔහු ආයාසයෙන් කතා කෙළේ ය.

අපිට සමාවෙන්න සර්.  

ඔහු නැමී වඳින්නට සැරසෙත් ම ගඟුල් එම ශිෂ්‍යයාගේ දෙවුරෙන් අල්ලා නැගිටුවා මෙසේ පැවසීය.

මගෙන් සමාව ගන්න ඕගොල්ලො කවුරුවත් මට වරදක් කළේ නැහැනෙ. 

නෑ සර් මං තමයි අර සින්දුව කිව්වෙ. මගෙ ළඟම හිටපු යාළුව තමයි තාලෙට මේසෙට ගැහැව්වෙ. එයත් දැන් .... 

මෙසේ කියා හිස එසවූ එම ශිෂ්‍යයාගේ බැල්ම යොමු වූයේ පන්ති කාමරයේ කෙළවර මේසයකට හිස ගසාගෙන හිඳ සිටි ශිෂ්‍යයකු දෙසට ය. ගඟුල්ගේ මෙන් ම අනෙකුත් ශිෂ්‍යයන්ගේ ද අවධානය එදෙසට යොමුවද්දී මුල් ශිෂ්‍යයා යළිත් කතා කෙළේ ය.

අපිට සමාවෙන්න සර්. අපි දෙන්නයි ඒ වැඩේ කළේ. එයත් ඒ ගැන තැවෙනව සර්. අපි දෙන්න කරපු වරදට පන්තියෙ අනිත් ළමයි ගැන මුකුත් හිතන්න එපා සර්. 

ඉමහත්  ආදරයකින් එම ශිෂ්‍යයාගේ හිස මත අත තැබූ ගඟුල් තවමත් මේසය මත හිස ගසාගෙන සිටින ශිෂ්‍යයා වෙතට ගමන් කෙළේ ය. අනතුරුව කතා කෙළේ ය. තමා ළඟට ම ගුරුවරයා පැමිණ ඇති බව දුටු එම ශිෂ්‍යයා කලබල ව වහා හිඳ සිටි අසුනින් නැඟී සිටියේ ය. 

ඔයා හොඳ තාල ඥානයක් තිබෙන කෙනෙක් පුතා. සංගීතය පැත්තෙන් ම යන්න. ඔයාට ඒ පාරෙ ලොකු දුරක් යන්න පුළුවන්.  

ගඟුල්ගේ මේ වචන ශිෂ්‍යයා තව තවත් කම්පනයට පත් කෙළේ ය.

ඔහුගේ දෑසට කඳුළු නැඟී තිබිණ. නවක ගුරුවරයා අපහසුවට පත් කිරීමේ අදහසින් කළ ක්‍රියාව ඒ ගුරුවරයා විසින් ම ප්‍රශංසනීය කටයුත්තක් ලෙස දැකීම දරා ගන්නේ කෙසේ ද? වෙනදා සිය ක්‍රියාවන්ගෙන් අන්‍යයන් හැඬ වූ තමාට අද මේ සිදුවූයේ කුමක් ද? සිය ගුරුවරුන්, සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව කාර්යාලයීය කාර්යසහායක වැඩිහිටියා පවා සිය ක්‍රියාවන්ගෙන් අපහසුවට පත් කිරීම පරම වීරක්‍රියාවක් ලෙස සිතා සිටි තමා අද පත් ව සිටින්නේ ද මහත් ම අපහසුවකට ය. දැඩි වචන භාවිතයෙන් මුළු පන්තිය ම බියපත් කොට ගෙන සිටි සිය ගුරුවරුන් සමග පවා එකට එක කියාගෙන සිටි තමා දැන් වචනයක් පවා පිට කළ නොහෙන ගොළුවකු බවට පත් ව තිබේ. සිය ශිෂ්‍යයාගේ අපහසුතාව අවබෝධ කොට ගත් ගඟුල් මෙසේ ඇසී ය.

මොකක් ද පුතා ඔයාගෙ නම? 

සු..සු  සුපුන් සර් 

පෙන්නන්න ඔයාගෙ අත් දෙක. 

සුපුන් සිය දෑත ඉදිරියට දිගු කොට පෙන්වීය.

සරස්වතී දෙවඟනගෙන් ආශිර්වාද ලබන අත් දෙකක් කර ගන්න මේ අත් දෙක. 

එසේ පවසා ගඟුල් සිය අසුන වෙත ගියේ ය. එතැන් සිට එම කාල පරිච්ඡේදයේ දී ඔහු කෙළේ පන්තියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහද කතාබහක නිරත වීම ය. ඒ කතාබහින් ඔහු බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. මේ දරුවන් පිළිබඳ ව තවදුරටත් සොයා දැනගත යුතු තවත් අනේකවිධ කාරණා තිබෙන බව ගඟුල්ට වැටහිණ. ශිෂ්‍ය ගෞරවය රකින පරිසරයක දී නිරායාසයෙන් ම ගුරු ගෞරවය රැකෙන බව මේ නවක ගුරුවරයා මැනවින් දැන සිටියේ ය. ඔහු ගුරු මෙහෙවර පිළිබඳ ඇතැමකුට අමුතු සේ ද පෙනී යා හැකි බොහෝ සොඳුරු කාරණා උගත්තේ ආචාර්ය අදිකාරම්තුමන් වෙතිනි. එසේ ම ගුරුචරණයෙහි මහදර්ථය උකහා ගන්නේ ඒ සොයුරු මිත්  - ආදරණීය සහෘදයාගේ චරිතාදර්ශයෙනි.

ආචාර්ය අදිකාරම්තුමා ගුරුවරුන් උදෙසා පැවැත් වූ දේශනවල දී අවධාරණයෙන් පවසා ඇත්තේ පිරිසිදු අභ්‍යන්තරයක් ඇති කරගැනීම ගුරුවරයකුගේ මූලික වගකීමක් පමණක් නොව අත්‍යවශ්‍ය යුතුකම ද වන බව ය. එසේ ම ශිෂ්‍යයන් කෙරෙහි වන ආදරයෙන් ගුරු සිත නිබඳ පිරී තිබිය යුතු ය යන්න ද එතුමා අවධාරණ කළ තවත් සුවිශේෂ කරුණක් විය.

ගඟුල් සිය ප්‍රථම පන්තියේ දූ දරුවන්ගෙන් සමුගෙන කාර්යාලය දෙසට ගමන් කෙළේ දිව මතුරක් සේ තමා නිබඳ සිහි කරන ඒ මහා ප්‍රාඥයාගේ පහත සඳහන් සදුක්තිය සිහිපත් කරමිනි.

ආදරය තේරුම් ගැනීමේ පුදුම ශක්තියක් ළමයින්ට තිබේ. තමන්ට ආදරය ඇති ගුරුවරයා ළමයින් විසින් ප්‍රිය කරනු ලැබෙයි. ශිෂ්‍යයන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් ද එවැනි ගුරුවරයකුට ඇති නොවන්නේ ය. 

Sunday, December 19, 2021

63. The Forest of Rhetoric!

කදිම අලුත් වෙබ් අඩවියක් හමු වුණා. එය නම් වී තිබුණේ The Forest of Rhetoric එහෙමත් නැත්නම් අලංකාර වනන්තරේ නමින්. කාව්‍යකරණයේදීත් ගද්‍ය රචනයේදීත් හමු වන සාහිත්‍යාලංකාර - ලිවිසැරි යෙදුම් තමා එහි සටහන් වී තිබෙන්නෙ. වඩාත්ම මා ආසා කළ කාරණය වුණේ එහි සැකැසුම! එහි එක් අඩක Trees නොඑසේව තුරු නමින් පෙර වියුණු සටහන් අන්තර්ගත වී තිබූ අතර Flowers යන මැයෙන් නොඑක් අලංකාර වර්ගයන් සටහන් වී තිබුණා. 

ඇත්තෙන්ම මට ලියන්නට ඕනෑ වුණේ ඒ වියුණු අඩවිය ගැනම නොවෙයි. එය කියවද්දී දැනුණ දේ ගැන. සකලවිධ නිර්මාණාත්මක රසාංකුර අක්රීය වී තිබුණ කාලයක එය විසින් දල්වාලන ලද ආලෝකය ගැන. සාහිත්‍ය විචාරය හැදෑරීම නිසා සාහිත්‍යය රස වින්දනය කරනින බැරි තරම් වියළිි ගතියකින් යුතු වූ ඇතුළු හද ඒ වියුණු අඩවිය විසින් ක්ෂණමාත්රීයව පුබුදු කරවනු ලැබුවා.

සාහිත්‍යයට ආශා කරන්නන්, රසවින්දනයට ආසා කරන්නන් ඇතැම් විචාරමූලධර්ම නොදන්නා පමණට ඔවුන්ට වඩා මනරම්ව යමක් වින්දනය කෙරුමට ශක්‍යතාවක් ලැබෙන්නට පුළුවන්. ඒ වාගේම එසේ නොවන්නත් පුළුවන්. හරසුන් සහ හරවත් දෙය තෝරාගන්නට ඇතැමෙකුට හැකියාව ලැබෙන්නේත් ඇතැම් විට විචාරවාදය නිසයි.

අලංකාර වනන්තරයක් සහිත සාහිත්‍යයට පා තැබීම සිදු වන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් එකී වනන්තරයේ ඇවිද යාම මනරම් සහ යහපත් ගමනක් කරගන්නට හැකි පාවහන් යුවළක් ⁣අපේ මනස් පා මත පැළැන්දී තැබීම අපේ ගමන පහසු කරවනු ඇති බව ලියා තබමින් මෙසටහන මෙසේ නිම කරනවා.

62. ගැඹුරු සමනළ චරණ!

පශ්චාත් උපාධිය සම්බන්ධ ෆයිල් එකට වැහි දැරිවි යොදලා තියෙන්නෙ සමනළයෙකුගෙ අයිකන් එකක්. මොකද ඒක දකින හැම වාරයකදිම වැහි දැරිවිට ‌මතක් වෙන යම් යම් කාරණා ටිකක් තියෙනවා. 

එකක්, බරසාරය කියන පශ්චාත් උපාධිය හදාරන්න අවැසි සමනල සැහැල්ලුවකින් බව එවිට වැහි දැරිවිට මතක් වෙනවා. ඔය කටු ඔටුන්න හිස පැළඳගත්තට පස්සෙත් පියාපත් බර පමණක් ඇතිව පියාසැරියෙ යෙදෙන්න පුළුවන් සමනල චරණයක් ඉතිරි කර ගත යුතුය යන්නත් සිහිපත් වෙනවා. 

ඒ එක්කම ඊට වඩා අඩු බරක් ඇතුව වුණත් මොහොමඩ් අලී වරෙක කියාපු යමකුත් සිහිපත් වෙනවා.

සමනළයෙකු සේ පා ව යන්න. මීමැස්සෙකු සේ දෂ්ට කරන්න.

ඒක වැහි දැරිවි තේරුං අරන් ඉන්න විදියට නම්, මීමැස්සෙකු සේ දෂ්ට කරන්න හැකි වෙන්නෙ - එනම් යහපත උදෙසා බලපෑම් සහගත සමාජ වෙනසක් කරන්න හැකි වෙන්නෙ, සමනලයකු සේ සැහැල්ලුවෙන් පුද්ගලික ජීවිතය සරලව පවත්වාගෙන යන්න හැකි කෙනෙකුටයි. මහා බරපතළෙට තමාව අල්ලගත්ත කෙනෙක්ට තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් සංතෘප්තව යමක් කරන්ඩ අමාරුයි. 

ගැඹුරු සමනළ චරණයක් ගැන සහෘදයන් කිහිප දෙනෙක් එක්ක සංවාදෙක උන්න දවස් කීපෙකට පස්සෙ උදා වුණ ඉරිදා ඉරිමාවක වැහි දැරිවිට මහාචාර්යවරු ‌දෙන්නෙක් කතා කරපු කාරණා ටිකක් ඇහුණා. ඔවුන් දෙන්නා අතර සිදු වුණ දුරකථන සංවාදෙ වැහි දැරිවිගෙ හිත විසල් සංතෘප්ත බවකින් පිරෙව්වා.

ඔවුන් දෙන්නා විද්වත් කාරණා ගැන කතා කළෙත් මහා සැහැල්ලුවකින්. එහෙමයි කියා ඒ කාරණාවල බර - ගැඹුර අඩු වුණේ නෑ. ‌

ඒ සැහැල්ලුවෙන්මයි ඔවුන් තමන්‌ගෙ බිරින්දෑ ගැනත් දරුවො ගැනත් කතා කළේ. වෙන වෙන අසත් පැටලිලි නැති ජීවිතවලට මහා සංතෘප්තියකින් නොවළහා, නොසංගා ඒ ගැන කතා කරන්න පුළුවන්. 

ඒ එක්ක වැහි දැරිවිට සිහිපත් වුණේ පසුගිය දිනවල ජපුර සරසවියෙ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් පවත්වපු පර්යේෂන සැසියක මහාචාර්යවරයා පවත්වපු මුඛ්‍ය දේශනය. ඔහු කතා කළේ වේගයෙන් දුවන ගමනක පරිසරය රැකගනිමින් යන හරිත චරණයක් පිළිබඳව.

වේගයෙන් සිදු වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ආර්ථික,දේශපාලනික සහ සමාජ ක්‍රියාවලීන්වල තිබෙන ගැටලු ආදියට විසඳුම දරුවන් අඩුවෙන් හැදීම නොවන බවත් පෘථිවියට ආදරය කළ හැකි අන්දමට දරුවන් හරියට හැදීම වගත් ඔහු කියා සිටියා.  හරිත මාපියන් විසින් හරිත දරුවන් බිිහි කිරීමේ වැදගත්කම ගැන ‌ කී ඔහු ඔහුගේ බිරිද ගැබිණියක් බවත් තමන් දෙදෙනා හරිත දරුවෙක් තනන්නට සිය සියලු ශක්තිය යොදවන බවත් කියා සිටියා. තමන්ගේ දරුවන් සරි සිසුවියන් කෙරේ යොමු වුණ පවිටු අරමුණු නිසා තමන්ගේ පුද්ගලික ජීවිතය, පවුල ගැන දේශනයකදී සදහන් කරන්නට පවා පැකිලෙන, සිසුවියන් අවභාවිත කරමින් අපාගත වන්නට සුදුසුකම් රැස් කරන සමහරක් සරසවි ඇදුරන් මැද මේ අවංක මිනිසුන් හැබෑම විද්වතුන් වග දැනෙනවා. 

එවන් සංතෘප්ත - යහපත් විද්වත්තු හරි නිහතමානිිියි... හරි සුන්දරයි. ඔවුන්ට මවාපාන්න දෙයක් නෑ. ගොඩගනාගන්න ඉමේජ් එකක් නෑ. වහන්න බොරු නෑ. හිත්වල කුහකකම් නෑ. වඩා යහපත් ලෝකයක් උදෙසා වැඩ කරන ඔවුන්ට අන්‍යයන් ඉදිරියේ තමන්ගෙ රූපකාය ගොඩනගා නැගීමේත්, ඊට වැසැංගී දුඟද කටයුතුවල යෙදීමේවත් පටු බලාපොරොත්තු නෑ. ඒ නිසාම ඔවුන් විද්වතුන් සේ පෙනී ඉන්න සමහරුන් මෙන් සංකීර්ණ නෑ. පීඩිත නෑ. අතෘප්ත නෑ. ඔවුන්ගේ ජීවිතයත් සේවයත් යන දෙකම සංතෘප්තයි. එහෙම සංතෘප්ත මිනිස්සුන්ට පර්මනන්ට් හෙඩ් ඩැමේජ් කරගන්නව වෙනුවට අන් අයගෙ ඩැමේජ් වුණු හිත් සකස් කරන්න පුළුවන්. 

ඉරිදා ඉරිමාවෙ දුරකථන සංවාදයත් ඇසීම නිසා ලියැවුණු මේ සටහන නිමවන්න ඒ මහැදුරුවරුන් ‌දෙන්නාගෙන් කෙනෙක් නිතර කියන කතාවක් ‌‌හොඳ කමටහනක් වේවි කියා හිතුණා.

සරලකම ගැඹුරුයි - ගැඹුරුකම සරලයි!

Wednesday, December 15, 2021

61. ගුරු දියවර නවකතාව - සිව්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ


                                                     සිව්වන දියවර 


                             



ගඟුල් තමා ඉදිරියේ දිස්වන විසල් කොහොඹ ගස දෙස නොසෙල්වී බලා හුන්නේය. මේ වියලි කලාපයේ වියලි කාලගුණයක් පවතින කාලය යි. එබිම්කඩ පිහිටි බොහෝ ගස්වල පත් හැළී වියලී ගොස් තිබුණත් මේ ගස තමා අව්වේ හිඳිමින් අනුනට සෙවණ සදයි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ තමා ලද උගත්කමේ පල, ආත්මලාභය පිණිස නොව පරාර්ථය පිණිස යෙදවූ ඒ ආදරණීය ගුරු සහෘදයා ය. 

දුබල වන සිත් හැඳින දිරිමත් කරමින් ද එළඹෙන අභියෝගවලට නොබිය ව මුහුණ දෙමින් ද අඳුර ඇති තැනට ආලෝකය ආදේශ කරමින් ද කටයුතු කළ ඒ ආදරණීයයා මේ ජීවිත කාලය තුළ යළි භෞතික වශයෙන් නම් මුණ නොගැසෙන බව ගඟුල් හොඳින් ම දනියි. මේ තමා ඉදිරියේ දිස්වන්නේ ඒ උත්තම මිනිසාගේ ආධ්‍යාත්මික රූපකායේ උත්තුංග සංකේතය ද? රත්න ශ්‍රී සහෘදයා ගස ගැන ලියූ කව අන් කවදාකටත් වඩා වෙනස් ම ලය මානයකින් අද ළයට ළං වන්නේ ඇයි?


                    “වැලක් දුබලව වැද හෝන සඳ

                     වාරුකොට දෝතට වඩයි

                     දහක් සිරසට ගිම් තාපයට 

                     සෙවණ වී සිසිලස සදයි

                     නැතක් දුක් මැද ඍජුව සිට

                     හර සොය සොයා අරටුව තනයි


                    ගසක් නම් ඉහළට වැඩෙයි

                    සැඬහිරුට නොබියව මුහුණ දෙයි

                    අඳුර පිළිකෙව් කරයි

                    සඳ එළියෙනුදු සෑහී නොනවතියි 

                    මලක් සිරසෙහි පැළඳ මිස

                    කිසිදාක සැතපෙන්නේ නොවෙයි”


“ගඟුල් මල්ලි මං මේ උඹ කොහෙද කියල බැලුවෙ. අම්මා හොයනව උඹව තේ දෙන්න. ඔන්න මන් දෙන්නගෙම තේ මෙතෙන්ට අරගෙන ආවා.”

“අනේ වසන්ත අය්යෙ කතා කළා නං මං එනවනෙ. ”

ගඟුල් පැවසුවේ වසන්ත දෙසට එමිනි.

“මල්ලි උඹ ඔය හිටපු තැන මටත් විශේෂ තැනක්. සෞන්දර්යෙ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාලුවො ගොඩක් මේ ගෙදෙට්ට ආවා ගියා. කොල්ලො කෙල්ලො කියල වෙනසක් තිබුණෙ නැහැ. ඒ අය ආවහම දවස් ගණන් මෙහෙ ඉන්නව. ඒ අය අතරින් වැඩියෙන්ම ආව ගිය දෙන්න තමයි උඹලෑ අය්යයි සමනුයි. අපි ගොඩක් වෙලාවට ඔය කොහොඹ ගහ යට ඉඳගෙන කතාකර කර ඉන්නව. අපි මොනවද මල්ලි කතා නොකළෙ.....”

මඳ වේලාවක් නිහඬ ව සිටි වසන්ත යළි සිය කටහඬ අවදි කෙළේ ය.

“ඒවට තමයි මල්ලි සුවඳ මතකය කියල කියන්න පුළුවන්. සමන්ගෙ මරණයෙන් පස්සෙ උඹලෑ අය්යත් මෙහෙට එන එක ටික ටික අඩු උනා. ඒකට බලපාපු හේතුවක් තියෙනව. විපුල්ව දැක්කහම අම්මට මතක් වෙන්නෙ අපි තුන්දෙනා ඔය ගහ යටට වෙලා කතා කර කර ඉන්න හැටි. එහෙමත් නැත්තං  තුන් දෙනත් එක්ක වැවට නාන්න යන හැටි. අම්ම තේ බොන්න හරි බත් කන්න හරි කතා කළොත් ඉස්සෙල්ලම නැගිටින්නෙ සමන්, අපිට පස්සෙ කතා කරන්න බැරියැ කියල අන්න අම්ම බලන් ඉන්නව කියලා.”

ගඟුල් ඉමහත් අවධානයකින් යුතු ව වසන්තට සවන් දුන්නේ ය.

“සමන්ගෙ මරණය ආරංචි වෙච්ච දවසෙ මේ ගෙදර බතක් ඉදුණෙ නැහැ. කට්ටිය ඔහෙ ඉන්නවට හිටියා. ඒක උනේ අපිට විතරක් නෙමෙයි. එයාගෙ හුළඟක් හරි වැදිල තිබිච්ච ගෙවල්වල තත්වෙ ඕකයි. සමහර මිනිස්සු ඉන්නව මල්ලි ඒ අය නැති උනාම ඒක පුරවන්න බැහැ කාටවත්ම. අපිට සමන් කියන්නෙ අන්න ඒ වගේ කවදාවත් පුරවන්න බැරි හිස් තැනක්. එයාව දවසක් නෙමෙයි මොහොතක් ආශ්‍රය කළත් දැනෙනව. දැන් ඔයා බලන්න. එයා ඉගෙන ගත්තෙ ඔයාගෙ අය්යත් එක්ක. එයත් එක්ක ඉගෙන ගත්තෙ නැති මල්ලිගෙ ජීවිතෙත් ලොකුම කොටසක් බවට පත්වෙලා සමන්. සමහර මිනිස්සු ඉඳලත් අපිට දැනෙන්නෙ නැහැ. සමහර කෙනෙක් දැන් නැහැ. ඒ උනාට මහ පුදුම විදියට දැනෙනව.”

“ ඒකනං හරි ඇත්ත වසන්ත අය්යෙ. මට ගුරුජීවිතේට මෙච්චර කැමත්තක් ආවෙත් සමන් අය්ය නිසා. එයා ආපු දවසට මුළු ගෙදරම පිරිලා. අපේ අම්මටත් සමන් පුතා ඇවිල්ල කියල වෙන වැඩක් නැහැ. තාත්තට සමාන වයසෙ යාලුවෙක් ආවා වගේ තමයි කතාව. අපි කතා කර කර ඉන්න තැනට ඇවිල්ල අම්ම අහන්නෙ සමන් පුතා කන්න කැමති මොනවද හදන්න කියලා. එතකොට අය්ය විහිලුවට කියනව අම්මේ අපිත් ප්‍රසන්ට්, අපෙනුත් අහන්න මොනවද හදන්නෙ කියල. අම්ම හිනාවෙවී එතනින් යනව මිස ඒවට උත්තර දෙන්නෙ නැහැ.”

“මට මල්ලිට තවත් වැදගත් කාරණයක් තියෙනව කියන්න. අම්මවත් තාත්තවත් නංගිල මල්ලිලවත් දන්නෙ නැහැ මේ ඇවිල්ල ඉන්නෙ සමන් එක්ක නිතර මෙහෙ ආපු විපුල්ගෙ මල්ලි කියල. මං කියල තියෙන්නෙ මේ සෞන්දර්යෙදි ඉගෙන ගත්ත යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් කියල විතරයි. විපුල්ගෙ සම්බන්ධය කියපු ගමන් මේ කට්ටියම අහනව ඇයි අය්ය ආවෙ නැත්තෙ කියල. විපුල් එන දවසක එයාට නිදහසේ එන්න පුළුවන් පරිසරය විතරක් අපි හදල තියමු.”

“එහෙනං අය්යෙ මම වෙන තැනක් හොයා ගන්න එක නේද වැඩිය හොඳ මුල් දවස් ටික විතරක් මෙහෙ ඉඳලා.”

“පිස්සු කතා කරන්න එපා. වැඩිය නෙමෙයි හැම අතින්ම හොඳ ගඟුල් මෙහෙ ඉන්න එක. සුදුසු ම දවසෙදි මමම කියන්නං අම්මට කියන්න ඕන දේ. අපේ සමන් කියන හැටියට එයා සම්බන්ධ මේ කාරණේදිත් අපට කරන්න තියෙන්නෙ කාලයට ඉඩ දෙන එක තමයි මල්ලි. මේ වෙලාවෙ අය්ය නොඑන්න තීරණය කළේ කාරණා තුනක් නිසා කියලයි මට හිතෙන්නෙ. එක ඔයාට ස්වාධීනව වැඩ කරන්න දෙන්න ඕන කියන හැඟීම. දෙක අපි දැන් මෙච්චර වෙලා කතා කරපු කාරණය. තුන ඔයා මේ පළවෙනි වතාවටයි ගෙදරින් පිට ඉන්න යන්නෙ. අම්මයි තාත්තයි විතරක් ගෙදර හිටියොත් ඒ දෙන්න ඒ ගැන කල්පනා කරනව වැඩියි. ඒක වැළකෙන්නෙ විපුල් ගෙදර හිටියොත් විතරයි. මට තේරෙන විදිහට ඒක තමයි තුන. මොකද ඔය මං නොගිය ගෙදරක් නෙවෙයිනෙ.”

“අන්න වසන්ත අය්යෙ, අම්ම මේ පැත්ත බලාගෙන ඉන්නව ඔයාව මොකක් හරි වැඩකට ඕන වෙලා වගේ.”

“වෙන මොකවත් නෙමෙයි ඔය උඹට විශේෂ රෑ කෑමක් දෙන්න ඕන කරන ජාති මදි ඇති. ඔය මාව නාගොල්ලගං යවන්න හොයන්නෙ.”

“අනේ අය්යෙ මං හින්දනං කරදර වෙන්න එපා. මට ඔය ගොල්ලන්ට තියෙන කොයි දෙයක් උනත් හොඳයි.”

“මල්ලි මේ, උඹ පිස්සු කෙළින්නැතිව ඉඳපන් හොඳ ද? මේ අපිටත් චාන්ස් එකක් වදින්න යන වෙලාව. කොහොමත් දැන් වැඩි ඡන්දෙන් නාගොල්ලගම ගමන ඉස්තිර වෙනව. උඹ පරාදයි මල්ලි.”

“ ඒ කිව්වෙ අය්යෙ.” ගඟුල් ඇසීය.

“ඒ කිව්වෙ පක්ෂ ඡන්ද හයයි. නංගිල දෙන්න, මල්ලි, අම්ම, තාත්ත. එතනම පහයි, මමයි හයයි. නොයන ඡන්දෙකට තියෙන්නෙ උඹේ එක විතරයි. ඒක නිසා ඒ ඡන්දෙත් අපටම දාලා යමු නාගොල්ලගං තව ටිකක් ගම බලා කියා ගන්නත් එක්ක.”

ගඟුල් ගෙට ගොඩ වූයේ වසන්තත් සමග ය. ඒ සමග ම එතැනට දිව ආවේ පවුලේ බාල ම සාමාජිකාව වන වසුන්දරා ය.

“ඔය ගඟුල් හොඳකට නං නෙමේ එන්නෙ මට දඩයක් දාන්න.

“ලොකු අය්යෙ ලොකු අය්යෙ ඔයා දැන් නාගොල්ලගං යනවද?“

“පොඩි නංගි පොඩි නංගි යනව තමයි ඇයි මොකද?”

වසන්ත ද ඇය මෙන් ම දෙවරක් ඇමතුම් පදය යොදමින් කීවේ ය.

“ලොකු අය්යෙ ඔයාට කරදරයක් නැත්තං විතරක් මගෙ පොඩි බඩු දෙක තුනක් තියෙනව. ගෙනත් දෙන්න පුළුවන් ද? මේකෙ ලියලයි තියෙන්නෙ.”

ඇය කුඩා තුණ්ඩුවක් සිය වැඩිමහල් සොහොයුරාට දිගු කරමින් කීවා ය.

“ගඟුල් ඔය පොඩි බඩු දෙක තුනක් කිව්වට ඕකෙ ඉස්තීරෙටම බඩු දහයකට වඩා ලැයිස්තුවක් ඇති.”

වසන්ත ගඟුල්ට කීවේ රහසිනි.

“ලොකු අය්ය මොකක්ද ඒ රහසින් මේ අය්යට කිව්වෙ.”

“ඒ මං කිව්වෙ මේ ගෙදර විතරක් නෙමෙයි මේ පළාතටම ඉන්න ශ්‍රේෂ්ඨ කුලකාන්තාව අපේ ඔය පොඩි නංගි කියලයි.”

අනතුරුව ගඟුල් දෙසට හැරුණු වසන්ත මෙසේ කීවේ ය.

“නාගොල්ලගම ඉස්කෝලෙට අලුතින් ආපු සිංහල සර් ඔයා කියලත් ඒ සර් එයාගෙ ජ්‍යෙෂ්ඨ ඒ වගේම ශ්‍රේෂ්ඨ සහෝදරයගෙ යාලුවෙක්ගෙ මල්ලි කියලත් මෙයා දන්නව.”

“ශ්‍රේෂ්ඨ කෙසේ වෙතත් පවුලෙ ජ්‍යෙෂ්ඨ සහෝදරය නං තමයි අය්යෙ මේ ”

වසන්තගේ බාල සොහොයුරිය එසේ පැවසුවේ ගඟුල්ට ය.

“ආ එහෙම ද එහෙනං මේ බඩු ලැයිස්තුවත්.....”

වසන්තට කතාව අවසන් කරන්නට ලැබුණේ නැත.

“නෑ නෑ මේ තමයි අපේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ උත්තුංග උත්කෘෂ්ට මනබන්ධනීය ජනරංජනීය වැඩිමල් සහෝදරයා.”

ඇය පැවසුවේ සිනාසෙමිනි.

“මේ තමයි ගඟුල් අපේ පවුලෙ හැම අතින්ම බාල සහෝදරිය. අඳුනගන්න වසුන්දරා දඩයක්කාර. මහව සෙන්ට්‍රල් එකේ අපකීර්තිමත් ශිෂ්‍යාවක්. සුදුසුකම්, පහ සමත් - හය සමත් - අට සමත් - සාපෙ සමත්, උපෙ මග.”

“ ඒ සුදුසුකං නං හරි වැදගත්. ඒත් මේ නංගිගෙ නමනං ටිකක් අමුතුයි වගෙ. ”

ගඟුල් මේ ආදරණීයයන්ගේ සංවාදයට එක් වූයේ සිනාසෙමිනි.

“නම විතරක් නෙමෙයි මෙයාගෙ වැඩත් අමුතුයි. නම දඩයක්කාර. දාන්නෙම දඩ. ආ ඒකෙන් කමක් නෑ දෙනවකො ඔය දඩ කොළේ.”

මේ අතර ආලින්දයට ආ අම්මා වසන්ත පසෙකට කැඳවා, ගෙන ආ යුතු දේවල් පිළිබඳ ව ඔහු දැනුවත් කළා ය. ගඟුල් දුටුවේ අම්මා කියන හැම දෙයට ම හිස වනන වසන්ත අය්යා ය.

“ඔහොම හිටපන් මල්ලි මං මගෙ දඬුමොනරෙ අරගෙන එන්නම්.”

“පුතේ පරිස්සමින්.”

අම්මා එසේ පැවසුවේ යතුරුපැදියට නැගුණු සිය දෙටු පුතු අමතා ය.

“කිසි දේකට බය වෙන්න එපා අම්මෙ, මං අද යන්නෙ මගෙ බොඩිගාඩ් එක්ක.”

“බොඩිගාඩ් එක්ක....” අම්මා විමතියෙන් ඇසුවා ය.

“ ඔය එන්නෙ කියන කොටම.” 

වසන්ත පැවසුවේ හෙල්මටය පළදිමින් යතුරුපැදිය දෙසට එන ගඟුල් පෙන්වමිනි.

“අය්යලගෙ මේ ඉඩම පිහිටල තියෙන්නෙ හරිම ලස්සන තැනක. එක පැත්තක වෙල්යාය. අනික් පැත්තෙන් පන්සල. මේ පැත්තෙන් වැව. ඒ වගෙම වසන්ත අය්යලගෙ පවුලෙ කට්ටියගෙ මනුස්සකම. දැන් මට හිතාගන්න පුළුවන් අපේ අය්යයි සමන් අය්යයි මෙහෙ නිතරම ආවෙ ගියේ ඇයි කියල.”

මෙසේ පැවසුවේ ගඟුල් ය.

“අපේ තැනට මම කොහොමත් කැමතියි. ඒත් ඒ කැමත්තට ලොකු අර්ථයක් එකතු කළේ සමනුයි ඔයාගෙ අය්යයි තමයි. අපි මල්ලි වැව ගැන කතා කළේ වැව අයිනෙ ඉඳගෙන. කෙත ගැන කතා කළේ කුඹුරුයාය දිහා බලාගෙන. පන්සල ගැන කතා කළේ අර කොහොඹ ගහ යට ඉඳගෙන. සමහර වෙලාවට සමන් ආවේසයෙන් වගේ කතා කරනව. වෙලාවකට මල්ලියි නංගිල දෙන්නයිත් ඇවිල්ල අහගෙන ඉන්නව. ගොවිතැන් වැඩවලට මුලින් ඈලිමෑලි කරපු අපේ මල්ලි මහ ගොවියෙක් කළේ ඒ කතා....”

යතුරුපැදිය පදවන ගමන් කතා කරන වසන්ත මොහොතකට නිහඬ විය.

“වසන්ත අය්යෙ මං අහගෙන ඉන්නෙ.”

ගඟුල් පැවසීය.

“ඒක මහ සුන්දර අතීතයක්. කතා කරනව නං අපිට දවසක් දෙකක් නෙමෙයි අවුරුද්දක් දෙකක් උනත් ඒ ගැන කතා කළෑකි. දැන් ටවුමටත් ආවා අපි කතාවෙන්ම.”

වසන්ත අයිනකට කොට යතුරුපැදිය නතර කෙළේ එසේ කියමිනි.

“ආ අපේ සර් ආයෙත් ටවුමට ආවද?”

ගඟුල් වෙත පැමිණ එසේ ඇසුවේ උදේ වරුවේ මහතුන් ළඟට පැමිණ කතාකළ ගැටවරයා ය.

“තුසිත දැන් උඹට අපිව පේන්නෙත් නෑ නේද? තව ටික දවසක් යනකොට අපිව අමතක වෙලාම යාවි.”

එසේ විහිලු කෙළේ වසන්ත ය.

“වසන්ත සර්ව අමතක වෙනවද එහෙම. එහෙනං ඉතිං මට මාවත් අමතක වේවි. සර්ට මතකද මේ ෂේට් එක.”

තුසිත එසේ පැවසුවේ තමා හැඳ සිටි කමිසයට අත තබා පෙන්වමිනි.

වසන්තට සිහිවූයේ එම කමිසය හා බැඳුණු සිදුවීම යි. මහව ගිය දිනක වසන්ත රෙදි වෙළෙඳසැලකට ගියේ තාත්තාටත් මල්ලීටත් සරම් දෙකක් මිලදී ගැනීමට  ය. එදින එම වෙළෙඳසැලට ම පැමිණ සිටි තුසිත එහි අලුතින් ම ගෙනැවිත් තිබූ කමිස අතගා බලමින් සිටිනු දුටුවේ ය. අනතුරුව ඔහු දුටුවේ ඉන් කමිසයක් අතට ගෙන එහි මිල ගණන් අසා එය තිබූ තැනින් ම තබන තුසිත ය. ඉන්පසු වසන්ත දුටුවේ වෙළෙඳසැලින් පිට ව යන තුසිත යි. ඔහු කෙළේ සරම් දෙකට අමතර ව ඒ කමිසය ද මිල දී ගැනීම ය. දින කිහිපයකට පසු පාපැදියකින් තම ඉඩම අසලින් වැටී තිබූ මාවතේ යමින් සිටි තුසිත නිවසට කැඳවාගෙන ගිය වසන්ත එය ඔහුට තෑගි කෙළේ ය. 

“මේ මට ද සර්. මං මුකුත් කළේ නැහැනෙ සර් තෑගි ගන්න.”

මෙය අදහා ගත නුහුණු තුසිත ඇසී ය.

“කෙනෙකුට තෑග්ගක් දෙන්න මුකුත් කරන්නම ඕනද තුසිත.”

එසේ කීවේ වසන්ත ය.

“සර් මොකක් ද දන්නෑ නේද? මං බලන්නද?”  

වසන්ත හිස වැනුවේ ය.

තුසිත එය දමා තිබූ බෑගයෙන් එළියට ගත්තේ ය. පළමු ව ඔහුගේ මුහුණේ ඇඳී ගියේ විස්මයකි. දෙවනු ව ඒ මුව මත ම රැඳුණේ සිනාරැල්ලකි. අනතුරුව එය මුහුණට තබා තද කොට මෙසේ කීවේ ය.

“හරී සුවඳයි සර්.”

වසන්ත ලැබුවේ පවුලේ බාල ම සොහොයුරාට තෑග්ගක් දීමෙන් පසු ඔහුගේ ඉරියව් දෙස බලා සතුටු වන වැඩිමහල් සොහොයුරා ලබන සතුට යි.

කල්පනා ලොවින් මිදී තමා දෙස තවමත් කෘතඥතාපූර්වක දෑසින් බලා හිඳින තුසිත දෙසට හැරුණු වසන්ත මෙසේ කීවේ ය.

“තුසිත එක සැරයක් සාමාන්‍ය පෙළ කරල නතර කළා නේද? උඹ ඉස්කෝලෙ ගමනත් නවත්තලයි කියලයි මට ආරංචි. ලොකු සර් දවසක් ගෙදරටත් ඇවිල්ල තියෙනව උඹව හොයාගෙන. උඹ මග ඇරියලු නේ. පිස්සු කරන්නැතිව ප්‍රශ්නයක් තියෙනවනං අපිට ඇවිල්ල කියපන්. ඔන්න උඹලටම තමයි මේ සරුත් අලුතින්ම ඇවිත් ඉන්නෙ. දැන් තුසිත කිව්වනෙ අපේ සර් උදෙත් හම්බ උනා කියල. දැන් ඉතින් අපේ සර්ව දවස ගාණෙම හම්බ උනෑකි ඉස්කෝලෙට ගියොත්. උඹ හෙට හවස එන්න ඕනෙ අපේ ගෙදෙට්ට.”

තුසිත හිස කැසුවේ ය, වටපිට බැලුවේ ය, අනතුරුව කතා කෙළේ ය.

“සර් හෙටම එන්න ඕනද?”

“ඔව් හෙට තමයි. මොකෝ තුසිත හෙට එන්න බැරි හේතුවක් තියෙනවද?”

“සර් කලුබණ්ඩා මාමලගෙ තිඹිරියාගම අක්කර විස්සෙ හෙට ඉඳල කම්බි ගහනව කිව්ව. මටත් වැඩ දෙන්න පුලුවන් කිව්ව රෑ වෙනකං ඉන්න පුලුවන්නං.”

වසන්ත බැලුවේ ගඟුල් දෙස ය. ගඟුල් කල්පනා කෙළේ මේ දරිද්‍රතාවෙන් පීඩා විඳින දරුවන්ගේ ඉරණම ගැන ය.

“ අද බදාදා, ඔයා ඒ වැඩේට හෙට ඉඳලා යන්න. හැබැයි සෙනසුරාදා හවස අනිවාරෙන්ම එන්න. ටිකක් රෑ උනත් කමක් නෑ.”

“ඔව් තුසිත  වසන්ත සර් කියපු විදිහට සෙනසුරාදට එන්න. අපි බලමුකො මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා.”

එසේ කීවේ ගඟුල් ය.

වසන්ත - ගඟුල් දෙදෙනා නාගොල්ලාගම තිබෙන තරමක් ලොකු වෙළෙඳසැලකට ගොඩ වූහ. අවශ්‍ය බඩු බාහිරාදිය ද ගත්හ. ගඟුල් ඒවාට මුදල් ගෙවීමට කීපවරක් ම උත්සාහ කළ ද වසන්තගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත.

“වසන්ත අය්යෙ, පොඩි නංගිගෙ දඩකොළේ බඩු ඔක්කොම ගත්තද?”

“ අම්මෝ නැතුව. නැත්තං ඉතින් ගෙදර නොගියට කමක් නෑ.”

ඔවුන් දෙදෙනා යතුරුපැදිය නවතා තිබූ තැනට ඇවිද එද්දී එතැනට පැමිණ නැවැත්වූයේ ත්‍රීරෝද රථයකි.

“ ආ වසන්ත සර් ගඟුල් සර් මොකෝ මේ හවස්වෙලා ”

සිය රියෙන් හිස එළියට දමා එසේ ඇසුවේ මහතුන් ය.

“ අපි මේ ඕන කරන බඩු ටිකක් ගන්න ආවා මහතුන් අය්යා. ආපු පළවෙනි දවසෙම ගඟුල් සර්ව අඳුනගෙන වගෙයි. ඒ විතරක් නෙමෙයි සර්ව හිතටත් අල්ලල වගෙයි. ”

“ වැඩි කාලයක් මං නරක මිනිස්සුම ආස්සරේ කරල තියෙන හින්ද මට හොඳ මිනිහෙක් දැක්කහම පටස් ගාල අඳුනගන්න පුළුවන් වසන්ත සර්. මන් දන්නෑනෙ මේ සර්ගෙත් යාලුවෙක් කියල. ගඟුල් සර් එහෙද නවතින්නෙ. කියල වැඩක් නෑ සර්. එහෙ තමයි සර්ට හැම අතින්ම ගැළපෙන තැන.”

“ වසන්ත අය්යෙ මේ මහතුන් අය්ය මගෙ හයර් එකේ සල්ලි ගත්තෙත් නෑ අද.”

“ ඒව මොනාද සර්. මේ කඩදාසි කෑලි වගේද සර්ලා.” 

“එහෙනං මහතුන් අය්යා අපි ගිහිල්ල එන්නං. දැන් මහතුන් අය්යල අපටත් වඩා මේ සර් ගැන බලන්න ඕන.”

“නැතුව නැතුව. එහෙනං සර් ඔන්න මං කැපුණ. සර්ල දෙන්නටම බුදුසරණයි.”

“ මල්ලි මං ටවුන් එකට ආවොත් කඩේකින් තේකක් බීලයි යන්නෙ. ඒ ගෙදර තේක හොඳ නැති නිසාවත් තේකක් ඕන නිසාවත් නෙමෙයි, අපට මනුස්සයෙක් දෙන්නෙක් හම්බ වෙලා කතාබහ කරන්න ඉඩ ලැබෙන නිසයි.”

“ආ එන්න වසන්ත සර් එන්න ගඟුල් සර්.”

ආපනශාලා හිමිකරු මේ ගුරුවරුන් දෙදෙනා පිළිගත්තේ ආදරයෙනි.

“ඈ මල්ලි උඹ මෙහෙට ආපු පළවෙනි දවසෙම මුළු ගමම අල්ලලනෙ. මදැයි මන් උඹට ගමේ මිනිස්සුන්ව අඳුන්නල දෙන්න ආවා. මුලින්ම තුසිත. ඊට පස්සෙ මහතුන්. දැන් කඩේ මුදලාලි. උඹත් අපේ මල්ලි වගේනෙ. තව ටික දවසක් යන කොට මං නොදන්න අයත් උඹ මට අඳුන්නල දෙයි වගේ.”

වසන්ත කීවේ සිනාසෙමිනි.

“වසන්ත සර්ලගෙ ගෙදරද මේ සර් ඉන්නෙ. ඒක හරි හොඳයි. අන්න සර්ව අපේ සීලවතී නැන්දටත් හොඳටම හිතට අල්ලල. පොළේ ඉඳන් යන ගමන් මෙහෙට ඇවිල්ලයි ගියේ. හොඳ සීදේවි මහත්තයලු. කිසි ආඩම්බරකමක් නැහැලු. මගෙ බඩු මල්ල හිටන් උස්සන් ආවනෙ මං එපා කියද්දිත්. හරිම වරුණාව.” 

“ මං කිව්වෙ මං කිව්වෙ උඹ මුළු ගමම අල්ලල තමයි නවතින්නෙ. උඹත් සමන් වගේ තමයි. කොටින්ම කිව්වොත් මායාකාරයෙක්.... ඒක නෙමෙයි ගැළපෙන වචනෙ. ඉන්ද්‍රජාලිකයෙක්. මිනිස්සු වසී වෙනව. ඉස්කෝලෙදි නං උඹට ටිකක්...නෑ ටිකක් නෙමෙයි ගොඩක් පරිස්සං වෙන්න වෙයි වගේ.”

“ඒ කිව්වෙ වසන්ත අය්යෙ...?”

“ඇයි බන් උඹට තේරෙන්නෙම නැද්ද? කිට්ටු වෙයන් බබාට කියල දෙන්න.”

ගඟුල්ගේ කණට සිය මුව සමීප කළ වසන්ත “තරුණ ගුරුවරියන්ගෙන් බන් තරුණ ගුරුවරියන්ගෙන් ” දෙවරක් ම කීවේ ය.

දෙදෙනා නිවසට ළඟාවන විට රාත්‍රී නවය ද පසු වී තිබිණ. අම්මා ඔවුන් එන තෙක් මග බලමින් සිටියා ය.

“ යසයි ඉලන්දාරි දෙන්න එන වෙලාව. දැන් කට්ටියටම කන්න දෙන්න වෙන්නෙ රෑ එකොළහෙන් පස්සෙ. එන්නෙ එහෙම නෑ එතකන් එක්කෙනෙක්වත් අම්මෙ බඩගිනියි කියාගෙන.” 

අම්මාගේ ඒ දෝෂාරෝපණය සමග  මුසු ව ඇත්තේ දරුවන් කෙරෙහි වන ආදරය යි. අම්මා කතා කළ සැටියෙන් පෙනෙන්නේ තමා මෙහි පැමිණි පළමු දිනය වන අද දවසේ දී ම ඇය තමා ද සිය දරු  කැළ අතරට අයත් කොට ඇති ආකාරය යි.

“අම්මෙ, සම්පූර්ණ වැරදිකාරය අම්මගෙ මේ අලුත් පොඩිපුතා. ඇවිල්ල එක දවසයි ටවුන් එකෙත් මගදිගටත් යාලුවො. අම්ම දන්නවනෙ මං එහෙම නෑනෙ.”

වසන්ත කීවේ සිනාසෙමිනි.

“ අනේ මං මොකෝ නොදන්නෙ. යාලුවො නැතිම මිනිහ. දෙන්නම වත්තෙ ළිඳෙන් ඇඟ හෝද ගන්නව මිස මේ රෑ වැවට එහෙම යන්නෙ නෑ නාන්න.”

මෙසේ කී අම්මා එතැනින් ඉවත් ව ගියේ මුළුතැන්ගෙය දෙසට යි.

තමා මේ පැමිණ සිටින්නේ බෝඩිමකට නොව ගෙදරකට ය. බෝඩිම් පාලිකාවන් බෝඩින්කරුවනට නීති පණවන්නේ නැත. එහෙත් අම්මාවරු සිය දරුවනට නීති දමති. ගඟුල්ගේ සිතට මහත් සතුටක් මෙන් ම සැනසිල්ලක් දැනිණි. එසේ ම තවත් පැත්තකින් බැලූවිට මේ ගෙදර යනු ඒ ආදරණීය සහෘදයාත් තම ආදරණීය සොහොයුරාත් නිතර ආගිය තැන යි; මෙහි සිටින කලණ මිතුරා සමග ඔවුන් ජීවිතය ගැන නොයෙක් දෙය සාකච්ඡා කළ තැන යි.

මෙතැන පිටස්තරයෝ නොවෙති. ආලින්දයේ හාන්සි පුටුවේ සිටින්නේ තාත්තා ය. දැන් මොහොතකට පෙර රාත්‍රියේ වැවට යාම තහනම් කොට ගියේ අම්මා ය. මුළුතැන් ගෙයි මේ මොහොතේත් අම්මාට උදව් කරමින් සිටින්නේ තමාගේ පොඩි මල්ලී සහ පොඩි නංගී ය. මැද කාමරයේ විභාගයට පාඩම් කරන්නේ සරසවි සිසුවියක වන සිය ලොකු නංගී ය. ආ මොහොතේ පටන් ඒ ආදරණීය සහෘදයාගේත් සිය ආදරණීය සොහොයුරාගේත් ජීවන සුවඳට සිය ජීවන සුවඳ මුසු කරමින් හෙටින් ඇරඹෙන ගුරු ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ කියා දුන්නේ තමාගේ ම අය්යා ය.

රාත්‍රී ආහාරයෙන් පසු ගඟුල් නින්දට ගියේ ඒ ආදරණීය සහෘදයා වන සමන් සිත්තරා විසින් ගුරුජීවිතය පිළිබඳ ව තබන ලද ඉසොඳුරු සටහනක් කීපවරක් කියැවීමෙන් පසුව ය.

“මිනිස් ජීවිතයේ යහපත වෙනුවෙන් ඉතිහාසයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුළ දී ඔහු විසින් රැස් කරන ලද සංවේදී භාරය පවරා දීමේ උත්තුංග මෙහෙවරෙහි භාරකරුවා ලෙසින් ගුරුවරයා උත්තරීතර වන්නේ ය.