Tuesday, February 1, 2022

ගුරු දියවර නවකතාව - සත්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                සත්වන දියවර


                                        “කඳුළු අතරට සිනාරැළි වෙමි විඩාවට සෙවණක් වෙමි

                                         ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි ”

දයා ද අල්විස් ප්‍රවීණ ගේයපද රචිකාව විසින් ලියන ලදුව හෘදයහාරී ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා විසින් ගයනු ලබන සුන්දරාර්ථවාහී ගීතයට ගඟුල් සවන් දුන්නේ තමා සතු කුඩා ගුවන්විදුලි යන්ත්‍රයෙනි. මේ ගීතය අසද්දීත් ඔහුට සිහිපත් වන්නේ ආදරයේ කවියක් සේ දැනෙන අහිමි ව ගිය, ඒ ආදරණීය සහෘදයා ය. ඒ හා සමග ම සිතට නැඟෙන්නේ එක්තරා දේශනයක දී ආදරය යන වචනයේ සුගැඹුරු අරුත සරල ව කියා දුන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ය. 

“ආදරය කියන වචනෙ හැදෙන්නෙ 'වෙතට' කියන අර්ථෙ දෙන 'ආ' කියන අව්‍යපදය මුලින් යෙදිල තැකීම, සැලකීම, ගෞරව කිරීම කියන අර්ථවල යෙදෙන 'දෘ' ධාතුවෙන්. එහෙමනං අපට ආදරවන්තයා - ආදරවන්තිය කියල කියන්න පුළුවන්කම තියෙන්නෙ කෙනෙක් හරි, දෙයක් හරි තමන්ගෙ හදවතට ම අරන් තකන සලකන ගෞරව කරන කෙනාට යි.”

ගුරුවරයා විසින් කළ යුතු ව ඇත්තේ  ද තද් භූමිකාවේ සත්‍ය චරණය සිය ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කිරීම මිස අන් දෙයක් නොවේ ය යන හැඟීම ගඟුල් තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. විදුහල්පතිතුමන් විසින් තෙන්නකෝන් ආචාර්යතුමන්ගේ අධීක්ෂණය යටතේ කරන්නැ යි පැවසූ, පාසල් භූමිය තුළ අර්ථකර ප්‍රකාශ ස්ථාපිත කිරීමේ කාර්යය ඉහත මෙහෙවර වෙත ගුරුවරයා කැඳවන - ගුරුවරයාට ම තම ගුරු මෙහෙවර සිහිපත් කොට දෙන සමාරම්භක පියවරක් කොට ගත නොහැකි ද?

යටකී හැඟුමින් හද පුරවා ගත් ගඟුල්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ Stray Birds කෘතිය අතට ගත්තේ සුන්දර ප්‍රකාශ කිහිපයක් තෝරාගනු පිණිස ය. සදර්ථපූරිත කාව්‍යෝක්ති 326 කින් සමන්විත තත් කෘතියෙන් තෝරා ගත්  සුන්දර උද්ධෘත ද කලින් තෝරාගත් සුන්දර ප්‍රකාශ අතරට එක්කිරීමට පෙර යළි යළිත් කියවා බැලුවේ තෙන්නකෝන් මහාත්මාට පෙන්වීමට පෙර ඒවාට තමා කළ සිංහල පරිවර්තනවල නිරවද්‍යතාව තවදුරටත් තමා විසින් ම තහවුරු කොට ගැනීම සුදුසු යැයි හැඟුණු බැවිනි. ඒ උද්ධෘත අතර පහත සඳහන් ප්‍රකාශ ද්වය ද විය.

“වරෙක අපි සිහින දුටුවෙමු, අපි ආගන්තුකයන් යැයි සිතා. එහෙත් සිහිනයෙන් අවදි වූ පසු අපට අවබෝධ වූයේ අප තුළ ම අප එකිනෙකාට ඇති ආදරය යි.”

                                                 -----------------------------------

“කවුද මේ සැරසෙන්නේ මගේ මෙහෙවර ඉටු කිරීමට. ඇසුවා හිරු, මැටි පහනින්. 

හිමියනි, මම ඉටු කරමි, මට කළ හැකි දෙය. පැවසුවා මැටි පහන.”

“මල්ලි ඉක්මණට ලෑස්ති වෙලා මුළුතැන්ගෙට වරෙන්. අපේ ත්‍රිවිධ හමුදාව එතෙන්ට කඩා වදින්න කලින්. අම්ම ආප්ප හදනවා.”

ඒ වසන්ත අය්යා ය. ඔහු ත්‍රිවිධ හමුදාව යැයි කීවේ සිය සොයුරියන් දෙදෙනාට සහ බාල සොයුරාට ය.

ගඟුල් ඉක්මණින් සූදානම් වී මුළුතැන් ගෙය දෙසට යන විට වසන්ත කී ත්‍රිවිධ හමුදාව එතැන ආක්‍රමණය කොට තිබිණි.

“අම්මෙ ඔන්න මම පොලිසියෙනුත් අරන් ආවා. ඔක්කොට ම කලින් පොලිසියට සලකන්න වෙයි.” 

එතැනට ආ වසන්ත සිනාසෙමින් කීවේ ගඟුල් දෙසට අත දිගු කරමිනි.

“පොඩි පුතා ඔයා ගිහිල්ල ගඟුල් අය්යට පුටුවක් අරන් එන්න.”

“අනේ මට පුටු ඕන්නෑ අම්මෙ, මන් මේ ත්‍රිවිධ හමුදාව ඉඳගෙන ඉන්න බංකුවෙම කොණකින් වාඩි වෙන්නංකො.”

“එහෙනං ගඟුල් අය්යෙ, ඔයා අපේ නාවුක හමුදාපතිතුම යි පාබල හමුදාපතිනිය යි මැදින් වාඩි වෙන්නකො.”

“එතකොට චූටි නංගි ඔයා ද ගුවන් හමුදාපති?”

ඒ ගඟුල් ය.

“ඔව් අය්යෙ, මේ අපේ ලොකු අය්යා දීපු පත්වීම්නෙ.”

“ගඟුල් මන් ඕවා බොහොම ගැඹුරින් කල්පනා කරල දීපු පත්වීම්. මේ අපේ ලොකු නංගි ලොකු දුරක් උනත් පයින් යන්න කැමති ඒ වගෙම නිතර ම පොළොවෙ පය ගහගෙන ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මන් එයාට පාබල හමුදාපතිකම දුන්නා.”

“ඒ කියන්නෙ ලොකු අය්යෙ අපි ඉන්නෙ පොළොවෙ පය ගහගෙන නෙමෙයි. ඔයාගෙ ලොකු නංගි විතර යි මහ පොළොවෙ ඉන්නෙ. අපි එතකොට අහසෙ ඉන්න අය ද?”

බාල දියණිය එසේ පැවසුවේ නෝක්කාඩු ස්වරයෙනි.

“වරදවා තේරුම් නොගන්න මගේ බාල සොයුරිය, ඔබතුමිය වූ කලී අමුතු අමුතු සංකල්පනා ඉදිරිපත් කරන, බොහෝ වෙලාවට අහසේ මාලිගා තැනීමට දන්නා මගේ බුද්ධිමත් සහෝදරිය යි. ගුවන් හමුදාපති තනතුරට මේ නිවසෙහි මෙතුමිය තරම් සුදුසු වෙනත් කෙනෙකු ගැන මම නම් නොදනිමි.”

“එතකොට වසන්ත අය්යේ මේ පොඩි මල්ලිට නාවුක හමුදාපතිකම දෙනකොට බලපු සුදුසුකං මොනව ද?”

එසේ විමසුවේ ගඟුල් ය.

“මේ තමයි අපේ දියකාවා. වැවෙන් පටන් ගත්ත ගමන මුහුදෙන් තමයි මෙයා නතර කළේ. ඉතින් එහෙව් මෙයාට නොදී වෙන කාට දෙන්න ද නාවුක හමුදාපතිකම?”

“ඒ උනාට ගඟුල් අය්යෙ මේ ඔක්කොම හමුදාපතිලා පාලනය කරන ලොකු ම නිල නොලත් සේනාධිනායකයා තමයි අපේ මේ ලොකු අය්යා.”

එසේ පැවසුවේ මෙතෙක් කිසි අදහසක් පළ නොකළ පවුලේ දෙවන දියණිය යි.

“මේ මන් මේ හමුදාපතිල ඔක්කොට ම කියන්නෙ ඔය කතා නවත්තල අය්යල දෙන්නට කන්න දෙන්න කියල යි. මොක ද නැත්තං මේ දෙන්නට ම දෙන්නගෙ ඉස්කෝල දෙකට යන්න වෙන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට තමයි.”

සහෘදය සංවාචනා සහිත සංසිද්ධීන්ගෙන් සමුපේත ව ඇරඹි දවසේ ප්‍රසන්නතාව හදවතෙහි දරා ගනිමිනි, ගඟුල් පාසලට යෑම සඳහා වසන්ත සොහොයුරා සමග ගෙදරින් පිටත් වූයේ. නාගොල්ලාගම පාසල අසලින් ගඟුල් බැස්වූ වසන්ත, සිය පාසල බලා පිටත් වූයේ මෙසේ පවසමිනි.

“මල්ලි අද මං එනකොට වෙනදට වටා පැය භාගයක් විතර ප්‍රමාද වේවි. උඹ මල්ලි මන් එනකං හිටපන් හොඳ ද?”

“හොඳයි වසන්ත අය්යේ ඔයා පරිස්සමින් ගිහින් එන්නකො.”

එසේ පවසා ගඟුල් පාසලෙහි ප්‍රවේශ මාවතට පිළිපන්නේ ය.නිල් කලිසම සහ සුදු කමිසය සහිත නිල ඇඳුමින් සැරසුණු ශිෂ්‍යයෝ ද සුදෝ සුදු පාසල් ගවුමින් සැරසුණු ශිෂ්‍යාවෝ ද ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙක් ද ඒ මාවතෙහි ගමන් කරති. ඔවුන් කරන - කියන දේවල් ගඟුල්ට පෙනෙයි, ඇසෙයි. ඒවා දකිමින් ද අසමින් ද ග්‍රහණය කොට ගනිමින් ද ඔහු කාර්යාලය දෙසට ගමන් කෙළේ ය.

“අර තමයි අලුත් සර්. බැලූ බැල්මට නං අහිංසක පාට යි.” 

ඒ ලොකු පන්තියක දැරියකගේ කටහඬ යි. 

“ඒ කියන්නෙ ඒ සර් අහිංසක නොවෙන්නත් පුළුවන්.”

ඒ තවත් දැරියකි.

“ඕ ගොල්ලන්ට මතක නැද්ද ඊයේ ලොකු සර් අපේ පන්තියට ආපු වෙලාවෙ කියපු කතාවක්.”

එක් දැරියක් එසේ කියද්දී එයට මෙසේ පිළිතුරු දුන්නේ වැඩිහිටි ශිෂ්‍යයෙකි.

“ලොකු සර් කොච්චරක් නං කතා කියනව ද? උඹ ඔය කියන්නෙ එයාගෙ කොයි කතාව ද?” 

“අනේ අනේ විසල් ඔයා ඔය එයා මෙයා කියන්නෙ ලොකු සර්ට ද? අනේ මන්දා විසල් ඔයා කවදා හැදෙයි ද කියලා.”

“ආ හරි හරි ඕගොල්ලො හැදෙන්නකො. අපි ඉතින් කවදාවත් හදන්න බැරි අසමජ්ජාති අශීලාචාර හිතුවක්කාරයො කියල ගොඩක් ගුරුවරුන්ගෙනුත් ගරු සම්මාන ලබලා ඉන්න අයනෙ.”

“ඒක එහෙමනං වෙලා තියෙන්නෙ, ඒ ගුරුවරුන්ගෙ ඒ ආකල්පෙ වෙනස් වෙන විදිහට වැඩ කරන්නත් ඕන ඕගොල්ලො ම තමයි විසල්.”

“හරි හරි විදසි මැතිනිය, මං ඔබතුමිය කියපු විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නංකො. මොක ද මේකෙ ඉන්න සමහර ගුරුවරුන්ට වඩා ගෞරවයක්, ආදරයක් ඔබතුමිය ගැන අපිට තියෙන හින්දා. දැන් ඔබතුමිය කරුණාකරල අපට කියනව ද අර ලොකු සර් කියපු කතාව මොකක් ද කියලා.”

“ලොකු සර් කිව්වෙ මනුස්සයෙක් දැකපු ගමන් එයා හොඳ ද නරක ද කියල තීරණය කරන්න හදිස්සි වෙන් නැතිව කාලයට ඉඩ දෙන්න කියලා.” 

“හා එහෙම ද එහෙනං ගරු කටයුතු සම්භාවනීය මගේ මිතුරනි මිතුරියනි, ලොකු සර්ට කරන ගෞරවයක් වශයෙනුත් පිවිතුරු හදවතක් ඇති අපේ ආදරණීය විදසි සහෝදරියට කරන උපහාරයක් වශයෙනුත් ඒ අදහසට ගරු කරමු.”

“උඹ විසල්, අපේ විදසිට ගැළපෙන ම විශේෂණ පදය දැම්මා. මේ කෙල්ලට තියෙන්නෙ පිවිතුරු ම හදවතක් තමයි.”

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක් පසුපසින් ගමන් කරන ගඟුල්ට ඔවුන්ගේ මේ කතාබහ පැහැදිලි ව ම ඇසෙයි. ඔහු මෙය සැලකුවේ මේ වූකලී මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත කියවීමට තමාට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස ය. මේ සියලු ජීවිත පවතිනවාට වඩා උසස් කිරීම උදෙසා ගුරුවරයකු ලෙස කළයුතු මෙහෙවර ගැන සිතමිනි, ගඟුල් කාර්යාලයට ඇතුළු වූයේ.

“ආ මේ අපේ ගඟුල් සර්නෙ. සුබ දවසක් වේවා ගඟුල්.”

එසේ ඔහු පිළිගත්තේ ගුණවර්ධන මහතා ය.

“ගුඩ් මෝනින් ගඟුල් සර්.”

ඒ නිමිමි ය.

“සුබ උදෑසනක් ගුණවර්ධන සර්. ගුඩ් මෝනින් නිම්මි.” 

ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගනිමින් ගඟුල් දෙදෙනාට ම එක්වර ප්‍රතිචාර දැක්වීය.

“ලොකු සර් අද උදෙන් ම කලාපෙට ගියා. මට කිව්වා ගඟුල් මහත්තයා ආවහ ම තෙන්නකෝන් සර්ව හම්බ වෙන්න කියන්න කියලා. තෙන්නකෝන් මහත්තයත් කියලා ගියේ, ගඟුල් මහත්තය ආවහම කියන්න කියලා. සර්ට අද දවසෙ තුන්වෙනි පීරියඩ් එක ඕප් කියලා සර් කිව්වා.”

“හොඳයි ගුණවර්ධන සර්, මට තවම ඉස්තිර කාල සටහනක් දීල නැති නිසා පුළුවන් ඒ වෙලාවට සර් ව හම්බ වෙන්න යන්න. සර් මට කියනව ද තෙන්නකෝන් සර් දෙවෙනි කාල පරිච්ඡේදෙ වැඩ කරන්නෙ කොහෙ ද කියලා?” 

“ඔහොම ඉන්න ගඟුල් සර්. මන් මේජර් ටයිම් ටේබල් එක බලල ම කියන්නං. හරි තෙන්නකෝන් සර් දෙවෙනි පීරියඩ් එකේ දි ඉන්නෙ උසස් පෙළ කලා බී පන්තියෙ. ඒ පීරියඩ් එක ඉවර වෙන වෙලාව අල්ලල ගඟුල් සර් යන්නකො එතෙන්ට.” 

තාවකාලික කාල සටහනට අනුව ගඟුල්ට පළමු පරිච්ඡේදයේ ඉගැන්වීමට තිබුණේ සත්වන පන්තියට යි. පළමු ව ඒ දරු දැරියන්ගේ නම් දෙමාපියන්ගේ රැකියාවන් ආදි විස්තර විමසා, ඔවුනට රස වින්දනය හා බැඳුණු සරල පාඩමක් ද කෙළේ එදරු මනසට ගැළපෙන හාස්‍යෝත්පාදක කතා ද සිය පාඩමට එක්කොට ගනිමිනි. අවසන ගඟුල් පන්තියෙන් නික්ම ගියේ ඒ පන්තියට ඇතුළු වූ ආගන්තුක ගුරුවරයා ලෙස නොව ඔවුන්ගේ සමීපතම මිතුරකු ලෙස ය.

“සර් හෙටත් අපේ පන්තියට එන්න.” 

“සර් අපට හෙටත් කතාවක් කියන්න.” 

“සර් මන් හෙට සර්ට වෙරළු ගේන්නං.” 

“ආයුබෝවන් සර්”  

එක් කටහඬක් පරයා නැඟෙන ඒ සියලු කටහඬවල රැඳි ආදරය හඳුනාගත් ගඟුල්, මේ පන්තියෙන් නික්ම තෙන්නකෝන් මහතා හමුවීමට ගියේ සුන්දර උද්ධෘත අතරට එක්කළ යුතු තවත් තාගෝර් ප්‍රකාශයක් මෙසේ සිය හද සටහනෙහි ලියා ගනිමිනි. 

“ආදරණීය මිහිකත, මම ආගන්තුකයකු ලෙස ඔබේ දොරකඩට පැමිණියෙමි. අමුත්තකු ලෙස ඔබේ නිවහනෙහි රැඳී හුන්නෙමි. මිතුරකු ලෙස ඔබ අතැර යන්නෙමි.”  

තාගෝර් මෙම ප්‍රකාශය තුළ භාවිත කොට තිබූ Stranger, Guest and Friend යන වචන ත්‍රයෙන් ධ්වනිත වන අර්ථ ගැන ගඟුල් කල්පනා කෙළේ ය. Stranger යන වචනය සඳහා භාවිත කළයුතු හොඳම වචනය ලෙස ගඟුල්ට දැනෙන්නේ ආගන්තුකයා යන්න යි. ඔහුට හැම දෙයක් ම නුහුරු ය. ඔහුට තමා පය ගසා සිටින මහ පොළොව ද ආගන්තුක ය. ඒ හඳුනා ගැනීමෙහි ලා වුවමනාවක් ද නැති බැවින් එබඳු චරිතයක් උදෙසා නාඳුනන්නා යන යෙදුම ද සුදුසු ය. 

Guest යනු අමුත්තා ය. ආරාධිතයා ය. එබඳු චරිතයක් ගෙදර වේවා, ආයතනයෙහි වේවා, ජීවත් වන්නේ ද මේ මහ පොළොවෙහි ඇවිද යන්නේ ද එක්තරා ගරු ගාම්භීර භාවයකින් යුතු ව ය. එහෙත් මිතුරා එසේ නොවේ. සිත් නොරිදවෙන ලෙස කටයුතු කිරීමට දන්නා ඔහු මේ මහ පොළොව මත ඇවිද යන්නේ ද පොළොවට නොරිදවෙන ලෙස ය. හරි හෝ වැරදි වේවා මේ යටකී වචන ගැන ගඟුල් සිතන හැටි ය.

තමා මේ නාගොල්ලාගමට හෝ මේ පාසලට හෝ ආගන්තුකයකු විය යුතු නැත. එසේ ම අමුත්තකු ද විය යුතු නැත. මේ මොහොතේත් ඔහුගේ සිහියට නැඟුණේ මේ මහ පොළොවට මෙන් ම තමා ඇසුරු කළ කිසිදු චරිතයකට කිසි විටෙකත් ආගන්තුකයකු නොවූ ඒ ආදරණීය සහෘදයා ය. මේ සුපහන් සිතිවිලි හද ගැබ නිදන් කොට ගනිමින් ගඟුල්" මේ මොහොතේ තෙන්නකෝන් මහතා සිටින පන්ති කාමරය දෙසට පියමං කෙළේ ය.

තෙන්නකෝන් මහතා සිය ශිෂ්‍යයනට උගන්වන පාඩමට ගඟුල් ද සවන් දුන්නේ ය.

ඉතිහාසය කියන වචනෙ හැදෙන්නෙ මෙසේ කියන අර්ථ දෙන ඉති කියන නිපාතයයි, යමක් අවධාරණය කරන කොට යොදන නිපාතයයි වීම කියන කියන අර්ථය දෙන අස් ධාතුවයි එකතු වෙලා. ඇත්තටම ආස කියන්නෙ වූයේ ය, ඒ කියන්නෙ වෙලා ඉවරයි කියන තේරුම දෙන අවසාන ක්‍රියාවක්. මෙහෙම බැලුවහම මෙය මෙසේ මයි සිදු උනේ කියන තේරුම තමා මේකෙ තියෙන්නෙ. තවදුරටත් වෙච්ච ඇත්තම කියනව මිස අපේ රුචි අරුචිකම් අනුව සිද්ධ වෙච්ච දේවල් විකෘති කරන්න අපට අයිතියක් නැහැ.” 

ගඟුල් හොඳින් සවන් දුන්නේ ය. මේ ප්‍රකාශය සිය ජීවිතයේ අවස්ථා දෙකක දී අසා ඇති එකකි. එය පළමුවෙන් ඇසුවේ තමා කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ සිසුවකු ලෙස ඉගෙන ගනිද්දී ඔවුනට ඉතිහාසය ඉගැන්වූ එම්.කේ. දයාරත්න ඇදුරුතුමන් වෙතිනි. එවක ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් ලියන ලද සිතිවිලි පොත්  කියවීම වෙත තමා පමණක් නොව සිය පන්තියේ සිටි මිතුරු මිතුරියන් ද යොමු කෙළේ ඒ ගුරුවරයා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ ආ විට අදිකාරම් මහතා එවක ජීවත් වූ කෝට්ටේ නිවසට ගොස් එතුමා හමු වී යම් යම් දේ සාකච්ඡා කිරීම පුරුද්දක් කොට ගෙන තිබිණ.

දෙවනු ව මේ ප්‍රකාශය අසන්නට ලැබුණේ අන් කිසිවකුගෙන් නොව ආචාර්ය අදිකාරම් මහතා වෙතිනි. තමා සිය ප්‍රථම වර්ෂයේ දී ඉතිහාසය ද විෂයයක් වශයෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බව කිී විට අදිකාරම් මහතා ඉහත සඳහන් ඉතිහාස නිරුක්තිය ද කියා තවදුරටත් පැවසුවේ ඉතිහාසය ශාපයක් නොව ලෝකයට ආශිර්වාදයක් වන ලෙස ඉගෙන ගන්නා ලෙස යි.

එසේ නම් තෙන්නකෝන් මහතා යනු තමා ද අයත් වන එක ම ප්‍රවාහයක කොටසක් ද? 

ගඟුල් තවදුරටත් තෙන්නකෝන් මහතාට සවන් දුන්නේ ය.

“මේ දුවල පුතාල තේරුම් ගන්න ඕනෙ ඉතිහාසය කියන්නෙ අතීතයෙ වෙච්ච සිදුවීම් මාලාවක් පමණක් නොවන බව. ඒක තේරුම් ගන්න මම ඔය දරුවන්ට එක කාරණයක් කියන්නං. මන් ඕක දැන ගත්තෙ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහත්තයගෙ පොතකින්. ඒ මහත්තය ලියපු කියපු හැම දෙයක් සම්බන්ධයෙන් ම මට එකග වෙන්න පුළුවන්කමක් නැහැ. ඒත් එතුමා තමන්ගෙ මැදිවියේ දි මහ වටින කියන පොත් පත් ලේඛන රාශියක් සමාජයට දායාද කළා. ඒ අතරින් කැපිල පේන පොත් අතරට හෙළ ඉතිහාසය  හා මහාවංස දෘෂ්ටිය කියන පොතත් පියදාස සිරිසේන මහත්තයගෙ පොත් හොඳට අධ්‍යයනය කරල එතුමා මැරෙන්න ඉස්සෙල්ල අපේ සමාජයට ඉතිරි කරල ගිය පොතත් එකතු කරන්න පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ වැඩ කරන සහන් මහත්තය අපි එක්ක කියපු වැදගත් කාරණයක් මට මතකයි. ඒ සර් නූතන මහවංසය ලියන ලේඛක මණ්ඩලයටත් සම්බන්ධ කෙනෙක්. දවසක් ප්‍රනන්ද මහත්තය සහන් සර්ට කිව්වලු සර්ල මහවංසෙ නවත්තපු තැන ඉඳල ලියන අය නේද? මේ ඓතිහාසික වටින වැඩේ දි කොයිම මොහොතකවත් මහානාම හාමුදුුරුවන්ගෙ ලේඛන දෘෂ්ටිය අමතක කරන්න එපා කියල.” 

“සර් අපේ සමහර උගත්තු කියනව නේද මහවංසෙ ලියපු මහානාම හාමුදුරුවො උග්‍ර ජාතිවාදියෙක් කියල.” 

මෙසේ ප්‍රශ්න කළේ ඒ පන්තියේ සිටි එක් ශිෂ්‍යයෙකි.

“කාලයක් පුතා මමත් හිටියෙ ඔය මෝඩ අදහසේ තමා. ඒත් මොලේ පෑදෙන කොට මෝඩ කල්පනාවලට ඉඩක් නැතුව යනවා.” 

“එතකොට සර් කියන අදහස්වලට අනුව මහවංසෙ කියල කියන්නෙ සමකාලීන දේශපාලන දර්ශන උනත් ඇතුළත් පොතක් ද?” 

ඒ තවත් ශිෂ්‍යයෙකි.

“ඔව් පුතා, ඔයා හරිම වැදගත් ප්‍රශ්නයක් ඇහැව්වෙ. ඒ ප්‍රශ්නෙ එක්කත් මට මතක් උනේ ප්‍රනන්ද මහත්තය කියපු කතාවක්. මහවංසෙ පැරණි සංස්කරණෙක තියෙන කාරණයක් මේක. අපි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ අහවල් අවුරුද්දෙ ඉඳලා අහවල් අවුරුද්ද වෙනකං හිටියෙ අහවල් රජ්ජුරුවො මේ ආදි වශයෙන් කියන එකට යි ඉතිහාසෙ කියන්නෙ කියලා. ඒත් ඒක නෙමෙයි ඉතිහාසෙ කියන්නෙ, ඊට වඩා ගැඹුරු දෙයක්. උදාහරණයක් විදිහට ප්‍රනන්ද මහත්තය මතු කරන 6 වෙනි අග්බෝ රජ්ජුරුවන්ගෙ දේශපාලන දර්ශනය ගන්න පුළුවන්. මේ රජ්ජුරුවො තමන්ගෙ රාජ්‍ය කාලය තුළ සිද්ධ නොවෙන්න ඕන කාරණා තුනක් අවධාරණය කරලා තියෙනවා. ඒ තමයි අස්ථාන ආයෝජනය, සාවද්‍ය පරිභෝජනය ඒ වගෙම අයෝග්‍ය සංග්‍රහ.”

“ඉතිහාසෙ ඉගෙන ගන්න අපි නොහිතනම පැත්තක්නෙ සර් මේ කියන්නෙ.”  

ඒ ශිෂ්‍යාවකි.

“මේ කාරණා තුන නිස යි රටක් විතරයි නෙමේ ගමක් ගෙදරක් උනත් විනාස වෙන්නෙ. කාට ද කියන්න පුළුවන් මේ කාරණා තුන දිහා බලල අපට මතු කරගන්න පුළුවන් වැදගත් කාරණා තුනක්.” 

පන්තිය පුරා පැතිර තිබුණේ පූර්ණ නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ තවත් ශිෂ්‍යයෙකි.

“සර් මන් හිතන දේ වැරදි ද දන්නෙ නැහැ. ඒත් මට මෙහෙම හිතෙනවා.”  

“ඔව් කියන්න පුතා හරි යන්න වරදින්න හරි.”  

“සර් මෙතන අග්බෝ රජතුමා කියනවනෙ තමන්ගෙ රටේ නොකළ යුතු කාරණා තුනක්. ඒකෙන් කියවෙනවනෙ රටක කරන්න ඕන කාරණා තුනත්.”  

“ඔව් සවිරු කියන්න බලන්න ඔයා දකින ඒ කාරණා තුන.”  

“මට හිතෙනවා සර් අස්ථාන ආයෝජනය කියන්නෙ රටකට ගෙන්නන්න ඕනෙ නැති දේවල්වලට මුදල් යොදවන්න එපා කියන එක නං ඒකෙන් ම කියවෙනවා ස්ථානීය ආයෝජනය. ඒ කියන්නෙ යොදවන්න ඕන අර්ථවත් දෙයට මුදල් යෙදවිය යුතු යි කියන පණිවිඩය. ඒ වගෙම සර්, අපිට මේ දෙවෙනි කාරණේ සාවද්‍ය පරිභෝජනය එපා කියන කොට ම අඟවනවා නේද අපි කරන්න ඕන නිරවද්‍ය පරිභෝජනය - නිවැරදි දේවල් ම යි භාවිතයට ගත යුත්තේ කියන පණිවිඩය. අන්තිම කාරණෙනුත් ඒ කිව්වෙ අයෝග්‍ය සංග්‍රහ එපා කියන කොටත් කියවෙන්නෙ යෝග්‍ය සංග්‍රහ කළ යුතු යි කියන එකනෙ. අනේ සර් මට සමාවෙන්න මං මේ පණ්ඩිත කතාවක් කිව්වනං. මට සර් අර වැදගත් කාරණා තුන මතු කළා ම මට දැනිච්ච දේවලු යි මන් කිව්වෙ.”  

“මට හරි සන්තෝස යි පුතා මන් වත් නොහිතපු දුරකට  උඹ මේ කාරණේ අරගෙන ගියා. මේ අනික් දුවල පුතාලටත් සතුටු වෙන්න පුළුවන් තමන්ගෙ ම සහෝදර ශිෂ්‍යයෙක් ගුරුවරයා දුන්නු කාරණා ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඒවා ගැඹුරුම තැනකට අරන් ගිය එක ගැන.”

“සර් අපටත් අනාගතේ දවසකදි කියන්න පුළුවන් වේවි නේද අහවල් විශ්වවිද්‍යාලෙ ඉතිහාස මහාචාර්ය සවිරු කියන්නෙ අපේ පන්තියෙ අපිත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් කියලා.” 

මේ වදන් පැවසුවේ සවිරුගේ ළඟින් ම හිඳ සිටි චතුර ය.

“හොඳ ප්‍රාර්ථනාවක්. අපි ඔක්කොම ඒක යථාර්ථයක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගෙම සවිරු තමන්ගෙ යාළුවන්ගෙ ඉදිරි ගමනට ආශිර්වාද කරන චතුරල වගේ යාළුවන්වත් කවදාවත් අමතක කරන්න එපා. ඔයා මහාචාර්ය කෙනෙක් වෙනව වගේ ම වැදගත් දෙයක් ඒකත්. සවිරු ඇතුළු මේ ඔක්කොම තමයි මේ රටේ අනාගත පුරවැසියො පුරවැසිනියො වෙන්නෙ. මේ දුවල පුතාල මොන තනතුරක් දැරුවත් නැතත් රටට ලෝකයට පරිසරයට ජීවිතවලට ආදරේ කරන හොඳ මිනිස්සු ගැහැණු වෙන්න. එදාට අපි හිටියත් නැතත් ගුරුවරුන් හැටියට අද අපි කරන ආශිර්වාදෙ තියෙනවා.”

“අනේ සර් අපිට ඒ ආශිර්වාදෙ විතරක් මදි. සර් අපේ ආයුෂත් අරගෙන අපිටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ.”

හැඟීම්බර ව මේ අදහස ප්‍රකාශ කෙළේ පන්තියේ දඩබ්බර ම ශිෂ්‍යයා ලෙස ප්‍රසිද්ධ ව සිටින සුරාජ් ය.

පන්තියේ වැඩ නිමා කොට පිට ව යෑමට සැරසෙන මොහොතේ ය, තෙන්නකෝන් මහතා ගඟුල් දුටුවේ.

“ආ ගඟුල් සර්, මමත් ඔයා හම්බ වෙන්න ම කියල හිටියෙ. ලොකු සර් අපට වැඩක් බාර දීල තියෙනවනෙ කරන්න. ඔයාට විස්තර කියන්න ඇතිනෙ සර්. මන් මිහිදිනීටත් පණිවිඩයක් යැව්ව.”

“සර් මට දැන් උනත් ඉඩ තියෙනව. සර්ට කොහොම ද දන්නෙ නැහැ.”

“මෙහෙම යි ගඟුල් මේ දවස් ටිකේ ඉඩ ලැබෙන වෙලාවල් ටිකේ අතුල සර්ට පොඩ්ඩක් උදව් කරන්න තියෙනවා. ඔයාට පුළුවන් ද මේ ඉරිදා හවස අපේ ගෙදරට එන්න.”

“අපොයි පුළුවන් සර්. මන් හරි කැමැත්තෙන් ම එන්නං. ලබන සති අන්තෙ නං මන් ගෙදර යන්න යි හිතන් ඉන්නෙ. මේ ඉරිදා හවස මන් එන්නං සර්. මට පාර කියන්නකො සර්.”

“පළුගස්වැව පැත්තෙන් කඩහත වැව පැත්තට යන පොඩි පාරෙ එන්න. වැව අයිනට මායිං වෙල යි අපේ ගේ තියෙන්නෙ. වට පිටාවෙ ම ඉන්නෙ ඉස්කෝලෙ ළමයි. ඔය කාගෙන් ඇහැව්වත් ගෙදෙට්ට පාර කියාවි. අපේ මිහිදිනී ඉන්නෙත් අපේ ගෙදරට පයින් එන්න පුළුවන් දුරක. ඒ ළමයටත් මන් අදම පණිඩිඩයක් අරින්නං ඉරිදට එන්න කියල..”

“හොඳයි සර් එහෙනං මන් ඉරිදට එන්නං. ඒ වගෙම සර් මම මේ දරුවන්ට අද උගන්නපු දේවල් ඈතට වෙලා අහගෙන හිටියා. සර් අග්බෝ රජතුමාගෙ දේශපාලන දර්ශනය ගැන කියපු දේවල් ගොඩක් ම මගෙ හිතට වැදුණා. ඒක සර් අපේ පාර්ලිමේන්තුව ඉස්සරහ යි හැම අමාත්‍යංශෙකම ඉස්සරහ යි ගහන්න වටින ප්‍රකාශයක්..”

“නෑ ගඟුල් අපි ඔක්කොට ම ඉස්සෙල්ල මේ අදහස් දෙන්න ඕනෙ අපේ ඉස්කෝලවල දරුවන්ට. මොකද කවද හරි ඔය තැන්වලට යන්නෙත් කොහේ හරි ඉස්කෝලවලට ගිය ළමයිනෙ.”

“ඒකත් ඇත්ත සර්. එහෙනං අපි ඉරිදට ම හම්බ වෙලා විස්තර කතා කරමු.”

තෙන්නකෝන් මහතාගෙන් සමුගත් ගඟුල් එදින තමාට පැවරී තිබූ වැඩ අවසන් කොට වසන්ත අය්යාට දුරකතන පණිඩිඩයක් දුන්නේ ඔහුගේ වැඩ විවේකී ව සිදුකොට ගන්නා ලෙස යි. එසේ මග දෙපස බලමින් විඳිමින් අද දවසේ ගෙදරට පා ගමනින් ම යාමට ඇති කැමැත්ත ද ඔහු පවසා සිටියේ ය.

“හරි හරි මල්ලි පලයන්. සැලළිහිණි සන්දේසේ සැලළිහිණිය වගේ ගිරා සන්දේසෙ ගිරව වගේ හංස සන්දේසෙ හංසයා වගේ මග සිරි බලමින් පලයන්. හැබැයි වැවක් දැක්කහම එතන ගොඩක් වෙලා නතර වෙලා ඉන්නැතුව ගෙදර පලයන් හොඳේ. නැත්තං අපේ අම්මගෙන් කෙළින් ම දෝස්මුරේ එන්නෙ මට තමයි, ඒ දරුව ගෙදරට දාන්නෙ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යනව කියල.”

ඒ වසන්ත ගඟුල්ගේ ඇමතුමට ලබා දුන් පිළිතුර යි.

නිවෙසට විත් දිවා ආහාරය ගත් ගඟුල් යහනෙහි මඳක් ඇලවුණේ කෙටි නින්දක් සඳහා ය. කෙටි නින්ද දිගු නින්දක් ව ඔහු අවදි වන විට සැඩ හිරු කිරණ මුදු හිරු කිරණ බවට පරිවර්තනය වී තිබිණි. ඒ වනවිට වසන්ත ද නිවහනට පැමිණ සිටියේ ය.

“වරෙන් මල්ලි යන්න වැව පැත්තට. ටිකක් වෙලා වැව ළඟ ඉඳල නාගෙන ම එමු.” 

උද්ධෘත ගැනීම සඳහා අවශ්‍ය වේ යැයි හැඟුණු ලේඛන කිහිපයක් ද සියතට ගත් ගඟුල්, වසන්ත අය්යා සමග වැව දෙසට ගමන් කෙළේ ය. ඒ යන අතරමග තමා අද දවසේ කළ කී දේ මෙන් ම පාසලින් උකහාගත් දේ පිළිබඳ වත් සිය සහෘදයා දැනුවත් කෙළේ ය. ඒ සියල්ලට ම සවන් දෙමින් නිහඬ ව ම ඉදිරියට ගමන් කළ වසන්ත, වැව් තෙර විසල් තුරක් යට නැවතුණේ ය. අනතුරුව එවිසල් තුරු සෙවණෙහි හිඳගත් වසන්ත, සිය තුරුණු ගුරු සහෘදයාට ද ඒ සෙවණෙහි ම හිඳ ගන්නා මෙන් දැන්වීය. එතැන හිඳ මඳ වේලාවක් නිහඬ ව සිටි ගඟුල්, කිසියම් සටහනක් සිය දෝතට ගත්තේ තමා සමීපයේ හිඳ සිටින, තමාට වඩා වැඩි කලක් ඒ ආදරණීය සහෘදයාගේ සදැසුර ලැබීමට භාග්‍යවන්ත වූ කලණ මිතුරාට ඇසෙන සේ එය කියවීම සඳහා ය.

“පැරකුම් සමුදුර කියන්නෙ මහා සාගරය වගේ බොහෝ දේ පුලතිසි ජනතාවට ලබාදෙන මහාර්ඝ වස්තුවක්. ජලය පමණක් නෙවෙයි හේනට, කුඹුරට අවශ්‍ය පෝෂණය, මිනිසුන්ගේ කුසගින්නට උවමනා සියලු දේ ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කරන මහා වාපියක්.

මේ සියල්ලම එකින් එක ගෙන වෙන් වෙන් වශයෙන් බෙදල වෙන් කරල බලන්නෙ අපේ පහසුවට. ඒ උනාට මේ ඔක්කොම එකතු කරල බැලුවොත් අවුරුදු ගාණක් තිස්සෙ කියවලාවත් ඉවර කරගන්න බැරි අපූරු චිත්‍රයක් ඒකෙ ගැබ්වෙලා තියෙනව රංජිත්. අන්න ඒ චිත්‍රය හරියට කියෙව්වොත් මේ විශ්වයේ රටාව තේරුම් ගන්න පුළුවන්.” 

මේ ඉර බැස යන මොහොතේ තමා සමග ම වැව් ඉවුරේ හිඳ සිටින වසන්ත අය්යාට පොළොන්නරුව පළුගස්දමන සේවාමුක්ත විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන සිය චිරකාලීන මිතුරකු වන රංජිත් කරන්නාගොඩ විසින් එවන ලද ලිපියේ අන්තර්ගත ඉහත සඳහන් ප්‍රකාශය යළිත් වරක් කියැවීය.

“වසන්ත අයියෙ, ඉස්සර රංජිත්ල ඉඩක් ලැබිච්ච ගමන් සමන් අයියලගෙ නවාතැනට යනවලු. සමහර දවසකදි සමන් අය්යා මේ ගොල්ලොත් එක්කම පරාක්‍රම සමුද්‍රෙ ගාවට එනවලු. ඒ හැම දවසකදි ම එයාගෙන් ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න බැහැ කියලයි රංජිත් කිව්වෙ. ඔය සමන් අයියගෙ මරණයෙන් පස්සෙ රංජිත් මට එවපු දිග ලියුමක තිබිච්ච කොටසක්. මන් ඒක ඒ දවස්වල ම මගෙ දිනපොතෙත් ලියල තියා ගත්ත.” 

“අපිට කවුද මල්ලි මේ නැති උනේ?”  

වසන්ත මේ වචන කිහිපය පැවසුවේ වැව දෙස බලා දිගු සුසුමක් පිට කරමිනි.

“ජීවිතයේ සමහර හිස්තැන් තියෙනව වසන්තයියේ පුරවන්න බැරි. සමන් අය්යා කියන්නෙ එහෙම හිස්තැනක්.” 

“ඒ උනාට මල්ලි අපි කරන්නම ඕන දෙයක් තියෙනව. ඒ තමයි අහිමි වෙලා ගියේ ලෝකයට ඉතාම අර්ථවත් දේවල් කළ චරිතයක් නං අපට පුළුවන් විදිහට ඒ වැඩ ඉස්සරහට කරගෙන යන එක. ඒ වෙනුවෙන් අපේ කයයි මනසයි දෙකම යොදවන එක. හැබැයි මං ඕක ඉගෙන ගත්තෙත් සමන්ගෙන් ම තමයි.”

“ඒක ඇත්ත වසන්තයියෙ. සමන් අය්ය ගුරුවරයෙක් විදිහට අපිට හිතන්න බැරි තරමේ වැඩ කොටසක් කළා. අපි දෙන්නම ගුරුවරු. ඒ තරමට ම නොවුණත් ඇයි අපට බැරි අපේ තරමට ප්‍රමාණවත් වැඩ කොටසක් කරන්න.”

“උඹ හරි මල්ලි ඒක තමයි සමන්ට කරන්න පුළුවන් හොඳම ගෞරවේ වෙන්නෙත්. එයා කවදාවත් කාගෙන්වත් ගෞරවයක් ලාභයක් බලාපොරොත්තු උන චරිතයක් නෙමෙයි. එයා හරියට සුළඟක් වගෙයි. සුළඟ සුවය ගෙනදිදී හමා යනවා. හැබැයි කිසි වෙලාවක සුවය දුන්නෙ මමයි කියල කියන්නෙ නැහැ.”

“ඔයා එහෙම කිව්වහම මට මතක් උනේ සහන් සර් ලියපු කවියක්. ඒ කවිය වගේ ම තවත් කවි ගොඩක් ලියැවුණා සර්ගෙ අතින් අනුරාධපුරේ දි. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. සර් අපිට එයා ලියපු කවි බලන්න දෙනවා. සාමාන්‍යයෙන් හිතට වදින කවියක් සැරයක් දෙකක් කියවද්දි මට මතක හිටිනව. ඒ කවියත් එහෙමයි.”

“ඉතිං මල්ලි උඹ සාහිත්‍යකාරයනෙ. හොඳ කවියක, ගීතයක, පොතක දැනෙන තැන් මතක හිටින්නැති මිනිහෙකුට කවදාවත් හොඳ සාහිත්‍යකාරයෙක් වෙන්න බෑ මල්ලි. උඹට මතක ද මල්ලි ඒ සුළඟේ කවිය.”

“මතක යි වසන්තයියෙ මතක යි. ඒක මෙහෙම යි තියෙන්නෙ.”

                            සුවය ගෙනදිදී මුදු සුළග නොරැඳී                හමයි

                            නොරැඳ හමනා සුළඟ ලොවට සිසිලස         සදයි

                            ඔබ ද සුළඟකි සොයුර නිබඳ නොරැඳී         හමයි

                            ඒ සුළග විඳි හදක් හදින් ගණදුර                  මුදයි

“ඒ කවියෙ සමන් ඉන්නව මල්ලි. 

“ඒ වගෙම වසන්තය්යෙ ඒකෙ අපේ ජීවිත කාලෙ අපි කරන්න ඕන මොකක් ද කියන පණිවිඩයත් තියෙනව.”

ඔවුහු සැලකිය යුතු වේලාවක් වැව් ඉවුරේ රැඳී සිටියහ. ගහට-කොළට ඇළට-දොළට වැවට-කෙතට සවන් දීමේ කලාව ඉගැන්වූ ඒ ආදරණීය ගුරුසහෘදයා හදවතේ ගැඹුරු ම තැනින් සිහිපත් වූ මේ පවිත්‍ර නිමේශය මේ ගුරු සහෘදයන් දෙදෙනාට ම සැබැවින් ම පූජනීය ජීවන අද්දැකීමක් විය.

දෙදෙනා ම එකට කතා කොට ගත්තාක් මෙන් කිසිදු වචනයක් නොදොඩා එතැනින් නිවස දෙසට පියමං කෙළේ වචන භාවිතයෙන් මේ ඉසොඳුරු නිහඬතාව බිඳී යනු ඇතැයි යන හැඟීමෙන් මෙනි.

4 comments: