Wednesday, August 31, 2022

ගුරු දියවර නවකතාව - දහසයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

 

                                                                     ගුරු දියවර 16


 ‘‘එන්න එන්න ඔය දෙන්න තමයි අඩුවෙලා තිබුණෙ අපට මේ නිවාසවල නම් ගැන අවසාන තීරණයක් ගන්න. විශේෂයෙන් මේ ක්‍රීඩා කමිටුවෙ ලොකු මහත්තය කැමති වෙන්ඩ එපායෑ මේ තෝර ගන්න නම්වලට.”

විදුහල්පතිවරයා මේ ප්‍රකාශය කෙළේ පළමු ව තමා ඉදිරියේ හිඳ සිටින අතුල දෙස බලා අනතුරුව කාර්යාල කාමරයට ඇතුළු වූ තෙන්නකෝන් මහතා සහ ගඟුල් දෙස ද බලමිනි.

 ‘‘ඇයි ලොකු සර් ඔය සර් ළඟමනෙ ඉඳගෙන ඉන්නෙ ක්‍රීඩා ලොක්කා. මොකද උන්නැහේගෙ කැමැත්තක් නැද්ද අපේ ළමයි යෝජනා කරලා තියෙන නම්වලට.”

තෙන්නකෝන් මහතා සිනාසෙමින් ඊට පිළිතුරු දුන් විට විදුහල්පතිවරයා මෙසේ පැවසීය.

 ‘‘කැමතියි කැමතියි, එතුමාට විතරක් නෙමෙයි මන් මේ සිල්වා මැඩම් එක්කත් කිව්වෙ මේ නිවාස තුනට නම් යෝජනා කරන්න කියලා ඒ අවස්ථාව ළමයින්ට දීපු එක හරිම වටින වැඩක් කියලයි. මේ අය සමහර වෙලාවට අපිත් නොහිතන විදිහෙ හොඳ නිර්මාණශීලි නම් එවලා තියෙනවා. අපි මෙතන ඉන්න පස්දෙනාගෙන් ක්‍රීඩා කමිටුවේ ම සාමාජිකයො හතර  දෙනෙක් ම ඉන්න එකේ මේවායින් ගැළපෙන කීපයක් තෝරලා  කවුරුත් පොදුවෙ එකග වෙන නම් තුන යොදා ගම්මු.”

 ‘‘ලොකු සර්ටයි සිල්වා මැඩම්ටයි මටයි වඩා හොඳයි කියලා හිතිච්ච නම් තුනත් මෙතන තියෙනවා ඒවා මොනව ද කියලා කියන්නෙ නැතුව අපි කැමතියි තෙන්නකෝන් සර්රුයි ගඟුලුයි කැමති වෙන නම් තුන ගැනත් අදහසක් ගන්න. එහෙම හොඳයි නේද ලොකු සර්.”

 ‘‘හරි ඒක හොඳයි අතුල, එහෙම නං ඔය ඔක්කොම නම් ටික දෙන්නකො අපේ සර්ලා දෙන්නට. මන් හිතන්නෙ අපේ නිම්මි තනි කොළේකට ඔය නම් ඔක්කොම ටික ටපිප් කරනවා. ඒක තිබුණනං අපි කාටත් වැඩේ ලේසි යි.”

අනතුරුව විදුහල්පතිවරයා හැරුණේ සිය ලිපිකාරිණිය දෙසට යි.

 ‘‘සර්, ඒ නම් ටික තමයි මන් මේ ටයිප් කරන්නෙ. මට තව විනාඩි දෙකක් දෙන්නකො. එතකොට මේ වැඩේ ඉවරයි.”

 ‘‘හොඳයි නිම්මි, එහෙනං ටයිප් කරලා ඉවර වෙලා ඉවර වෙලා ඒකෙ ප්‍රින්ට් අවුට් දෙකක් අරන් ගෙනත් දෙන්නකො මේ සර්ලා දෙන්නට.”

සුළු මොහොතකින් ලිපිකාරිණිය මේ ගුරුවරුන් දෙදෙනා අතට අදාළ ලේඛන පත් කළ අතර ඒ දෙදෙනා වෙන වෙන ම ඒ කියවනු දැකිය හැකි විය.

ශිෂ්‍යයන් විසින් යෝජනා කරන ලද නම් අතුරින් තෝරා ගන්නා ලද තුන බැගින් වූ නම් කට්ටල දෙස ගඟුල් බලා සිටියේ අනිමිස ලෝචනයෙනි. හිස ඔසොවා සිය පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුවර තෙන්නකෝන් මහතා දෙස බැලූ ගඟුල්ට දක්නට ලැබුණේ ඔහුගේ මුහුණට නැගී තිබූ තෘප්තිදායක මන්දස්මිතය යි. ගඟුල් යළි යළිත් ඒ නම් කට්ටල දෙස බැලීය.

හිරු සඳු තරු                            කැලණි     වලවේ      මහවැලි                  නීල    හරිත    ධවල

පැරකුම් ගජබා මහසෙන්           ධීර      වීර    සූර                                     පුස්තක ලේඛන අක්ෂර

වාපී      නදී   සාගර                  ශක්ති යුක්ති භක්ති                                  තිසර ගිරා ළිහිණි

ශීල     සමාධි ප්‍රඥා                   චරණ දෙරණ කිරණ                                රුහුණු  මායා පිහිටි

 ‘‘ගඟුල් මල්ලි, ඔය ඔතන සමහර නම් යෝජනා කරලා තියෙන්නෙ දහය එකොළහ ළමයි, අනිත් කණ්ඩායම දොළහ දහතුන. අර කොතනත් තියෙන සාම්ප්‍රදායික නම් ටිකත් තියෙනවා තමයි. හැබැයි අලුත් බවක් තියෙන නම් තමයි වැඩි.

 ‘‘අතුල අය්යෙ, පරණ නමුත් එක්ක ම මේ කොයි නම උනත් හොඳයි. ඒ උනත් අපේ වැඩේට ඕන කරන්නෙ අන්තිමට නම් තුනයිනෙ. මන් මට වැඩියෙන් දැනිච්ච නම් කට්ටල කීපයක් යටින් ඉරි ගහන්නංකො. තෙන්නකෝන් සර්රුත් තෝරලා දෙයිනෙ නම්.”

අඩ හෝරා අඩක් ගෙවී ගියේ ය. එයිනික්බිති තෙන්නකෝන් මහතා සහ ගඟුල් විසින් සලකූණු කරන ලද නම් පත්වූයේ විදුහල්පතිවරයා අතට යි. විනාඩි කිහිපයක් ඒ නිරීක්ෂණය කළ එතුමා සිනහමුසු මුහුණින් යුතු ව බැලුවේ ඒ මොහොතේ එතැන සිටි සිය ආචාර්ය මණ්ඩලයේ සහෘදයන් සිව්දෙනා දෙස ය. තදනන්තර ව සිය කටහඬ අවදි කෙළේ ද ඔහු ම ය.

 ‘‘දැන් අපි පස්දෙනාගෙම ලකුණු කරපු කොළ මගෙ අතේ තියෙනවා. දැන් මම එක එක්කෙනාගෙ තේරීම වෙන වෙන ම කියන්නං. අපි අපේ සිල්වා මැඩම්ගෙන් ම පටන් ගම්මු. එතුමිය තෝරලා තියෙන්නෙ හිරු සඳු තරු මුලට ම. දෙකට චරණ දෙරණ කිරණ. තුනට අරන් තියෙන්නෙ නීල හරිත ධවල. හොඳයි අපි ඊළඟ තේරීමට යමු.”

 ‘‘සර්, මන් කැමතියි ඊළඟට අපේ තෙන්නකෝන් සර් තෝරපු නම් තුන කියනවනං.”

 ර්‍කොහොමත් අතුල මන් ඊළඟට කියන්න හිතුවෙත් තෙන්නකෝන් සර් තෝරපු නම් තමයි.”

 ‘‘අනිවාර්යෙන් ම ලොකු සර් අපේ තෙන්නකෝන් සර් මුලට ම තෝරලා ඇති පැරකුම් ගජබා මහසෙන්, දෙකට රුහුණු  මායා පිහිටි, තුනට ශීල සමාධි ප්‍රඥා. මොකද සර් ඉතිහාසයට කැමති හොඳ බෞද්ධ පදනමක් තියෙන කෙනානෙ.”

 ‘‘තෙන්නකෝන් සර්ගෙ තේරීම ගැන අතුල තුනෙන් එකක් හරි.”

 ‘‘ඒ කියන්නෙ සර් මන් තුනෙන් දෙකක් ම වැරදියි කියන එක ද?”

 ‘‘වැරදියි කියන එකම නෙමෙයි අතුල, කෙනෙක්ගෙ ඉතිහාසය ගැන තියෙන ගැඹුරු හැඟීම හරි, කෙනෙක්ගෙ බෞද්ධ පදනම හරි බලන්න බැහැ මතුපිටින් විතරක් බලලා. තෙන්නකෝන් සර් පැරකුම් ගජබා මහසෙන් කියන නම් තුනත් අරගෙන තියෙනවා. හැබැයි එකට නෙමෙයි දෙකට. සර් එකට තෝරලා තියෙන්නෙ චරණ දෙරණ කිරණ. තුනට තෝරලා තියෙන්නෙ වාපී නදී සාගර. මම දන්නවා එතුමා හිතලා මතලා තමයි මේ තේරීම කරන්න ඇත්තෙ කියලා. අපි තෙන්නකෝන් සර්ගෙන් ම අහමු හේතුව.”

 ‘‘ලොකු සර්, මම අපේ මේ ශිෂ්‍යයන් යෝජනා කරලා තියෙන හැම නමකට ම වගේ කැමතියි. ඒත් අපිට ඕනෙ කරන්නෙ නම් තුනයිනෙ. අපිට පොදු එකගතාවකට යන්න පහසු වෙන්න සර් කිව්වනෙ නම් කට්ටල තුනක් තෝරන්න කියලා. මන්   වාපී  නදී  සාගර කියන  නම් තුනත් ගත්තෙ ඒකෙත් එක විදිහකට බැලුවහම පුළුල් තේරුමක් තියෙන නිසා. ලෝකයෙ හැම ශිෂ්ටාචාරයක් ම වගේ බිහිවෙලා තියෙන්නෙ ජලය පදනම් කරගෙන. ඒ වගෙම වාපී ශිෂ්ටාචාරය අපේ මේ දරුවන්ට ආගන්තුක දෙයක් නෙමෙයි.”

 ‘‘ඒ උනාට සර්  නදී  සාගර දෙක නං අපේ දරුවන්ට තරමක් ඈතයි නේද? මේ මොකෝ අතුල අය්යෙ ඔයා මන් දිහා අමුතු විදිහට බලන්නෙ. මම ළමයින්ගෙන් ඈතයි කියලා කිව්වෙ නදී  සාගර කියන භෞතික වස්තු දෙකට මිස වෙන කා ගැනවත් නෙමෙයි.”

 ‘‘ඒක තමයි ගඟුල්, මේ නම් කට්ටලය තුනට තියන්න හිතුවෙත්. මොකද එක නිවාසෙකට අපේ ජීවිතවලට ගොඩාක් ම සමීප නමක් තියලා අනික් නිවාස දෙකට භෞතික ව වගේ ම ආධ්‍යාත්මිකවත් වැව තරමට ම සමීප නැති නම් දැම්මහම ඒකෙ සමබර ගතියක් නැහැනෙ. මන් මගේ පළමු තේරීමට ඒ නම ගත්තෙ නැත්තෙ ඒකයි. පැරකුම් ගජබා මහසෙන් කියන නම් තුනෙත් ලොකු කියවීමක් කරන්න පුළුවන් තමයි. මොකද මේ රාජ්‍ය පාලකයො තුන් දෙනාම පාලකයන් විදිහට රටත් ජනතාවත් උස් තැනකට ගේන්න කටයුතු කරපු අය. ඒත් ඒ නම්වල පුද්ගලබද්ධ බවක් තියෙනවා. මට මෙතෙන්දි වඩාත් ම පුළුල් නම් කියලා දැනුණෙ චරණ  දෙරණ  කිරණ කියන නම් තුන. චරණ කිව්වහම ඒ වචනෙට අයිති සුවිශේෂ ආගමික අර්ථය වගේ ම අපි කාගෙත් චර්යාව හැසිරීම සංකේතවත් කරන වචනාර්ථය තියෙනවා. ඒ වගෙම ඒ අර්ථෙ අපි කාටත් පැහැදිලි ව තේරෙනවා. දෙරණ කියන්නෙ මහ පොළොවට. අපි ඉස්කෝලෙකින් බිහි කරන්නත් ඕනෙ මහ පොළොවෙ ඇවිද යන්න පුළුවන් මිනිස්සු. කිරණ සංකේතවත් කරන්නෙ අපට අවශ්‍ය කරන භෞතික ආලෝකය වගේම ආධ්‍යාත්මික ආලෝකය. මෙන්න මේ විදිහට තෝරපු නම් අතරිනුත් ඒ නම් තුන විශේෂ කළේ වඩාම පෘථුල අර්ථයක රඳවන්න පුළුවන් කියලා ඒ නම් මට දැනුණු නිසයි. ඒ වගෙම මන් ගොඩක් ම සතුටු වෙන කාරණෙ තමයි මේ ඔක්කොම නම් අපේ දරුවො දාපු නම් වීම. ඒ වගෙම තවත් දෙයක් කියන්න ඕනෙ. මගෙ අදහස මොකක් උනත් අපේ මේ අනික් අය ගන්න තීරණේකට මම එකගයි කියන එක.”

 ‘‘මට අපේ තෙන්නකෝන් සර් කියපු අපි ඉස්කෝලෙකින් බිහි කරන්නත් ඕනෙ මහ පොළොවෙ ඇවිද යන්න පුළුවන් මිනිස්සු කියන වචන ටික ඇහැව්වහම මෑතකදි කියවපු පොතක් මතක් උනා. ඒක ඉංග්‍රීසියෙන් ලියපු පොතක සිංහල පරිවර්තනයක්.පොතේ නම එක් අහසක් රෑ දහසක්.  මුල් පොතේ නම Same Sky Different Nights. ලේඛකයා නන්දසිරි ජසෙන්තුලියන. එතුමා නාසා ආයතනයේ සේවය කරන අපේ කෙනෙක්. මන් දන්න විදිහට එතුමා තමයි සඳට අඟහරුට අභ්‍යවකාශ යානා යවන කොට ඒක අන්තිමට සහතික කරන විද්‍යාඥයා. එතුමා හරි ලස්සන කතාවක් කියනවනෙ තෙන්නකෝන් මහත්තයා. හැබැයි මේ කතාව මතක් වෙන්න හේතු උනේ නං තෙන්නකෝන් මහත්තයාගෙ ප්‍රකාශෙ.”

 ‘‘ලොකු සර් කියන්ඩකො අපේ දැනීමටත් එකතු කරගන්න ඒ ප්‍රකාශෙ.”

 ‘‘වැදගත් ම දේ වෙන්නෙ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න එක කියලයි එතුමා කියන්නෙ. ඒ වගෙම එතුමා කියනවා අපි සඳු අඟහරු සිකුරු මත ගමන් කිරීමට පෙර මේ මහ පොළොව මත ගමන් කිරීමට උගත යුතු යි කියලා.” 

 ‘‘ඒකනං ලොකු සර් ලොකු අකුරෙන් ලියලා අපේ සයන්ස්කාරයො කියලා ලොකුවට හිතාගෙන ඉන්න බොරු සයන්ස්කාරයන්ට දෙන්න ඕනෙ ප්‍රකාශයක්, මෙන්න බලපල්ලා ඇත්ත සයන්ස්කාරයෙක්ගෙ ප්‍රකාශයක් කියලා. ඒ වගෙම සර් මට තෙන්නකෝන් සර්ගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ තරම් ඉතිහාසෙට ප්‍රිය කරන සර්ගෙන් රුහුණු  මායා පිහිටි කියන නම් තුන ගිලිහුණේ ඇයි කියන එක.”

 ‘‘අතුල බොහොම වැදගත් කාරණයක් තමයි මතු කළේ. ඒවත් අපේ ඉතිහාසය සම්බන්ධ වැදගත් සංසිද්ධි තමයි. ඒ උනාට එතන තියෙන්නෙත් එක්තරා විදිහක බෙදීමක්. එකම රටක් හැටියට හිටපු අපි තුනකට බෙදිලා වැඩ කළා කියලා පෙන්නන තැනක්. ඒ ඓතිහාසික වරද ඇයි අතුල අපි අපේ දරුවන්ට පවරලා දෙන්නෙ. හැබැයි මේ මන් හිතන හැටි. ඉතිහාසය ඉගෙන ගත්ත වෙන කෙනෙක් මට වඩා වෙනස් විදිහකට මේ කාරණේ ම දකින්න පුළුවන්.”

 ‘‘අපි හැම කෙනාට ම හිතන්න කාරණානෙ තෙන්නකෝන් මහත්තයා කිව්වෙ. ඒ වගෙම නරක ද අතුල අපි සිල්වා මැඩම්ගෙනුත් එතුමිය මේ නම් තෝරන්න පදනම් කරගත්ත නිර්ණායක ගැන අහන එක.”

 ‘‘මමත් මේ හිතුවෙ ඒ ගැන ම තමයි ලොකු සර්. කියන්ඩකො මැඩම්, මැඩම් මේ නම් තේරුවෙ කොහොම ද කියලා.”

 ‘‘මම නං ළමයො මේ තෙන්නකෝන් සර් වගේ ගැඹුරින් හිතලානං නෙමෙයි නම් තේරුවෙ. ඒත් මන් තෝරපු විදිහ කියන්නංකො ඔය අයට.”

 ‘‘මැඩම් එකට තෝරලා තියෙන්නෙ හිරු  සඳු  තරු, ඒකට විශේෂ හේතුවක් තියෙනව ද මැඩම්.”

 ‘‘මේ ග්‍රහ වස්තු තුනම ආලෝකයත් එක්කනෙ සම්බන්ධ වෙන්නෙ. ඉතින් මන් හිතුවා ඒක තමයි හොඳම එක කියලා. දෙකට ගත්ත චරණ දෙරණ කිරණ නම් තුනේ එකට එකක් ගැළපිලා යන නාද රිද්මයක් තියෙනවා. ඒත් අපේ තෙන්නකෝන් මහත්තයා කරපු විස්තරේ ඇහැව්වට පස්සෙ මටත් හිතෙන්නෙ ඒ නම් කට්ටලේ මුලට ගන්න එක හොඳයි කියලයි. නීල හරිත ධවල අපේ සොබාදහමට අයිති පාට තුනක්නෙ. ඉතින් ඒ නම් තුන උනත් වරදක් නැහැ කියලයි මට හිතුණෙ.”

 ‘‘ඒ උනාට මැඩම්, මේ රටේ දේශපාලන පක්ෂ ඔය නිල්පාට කොළපාට අරගෙන මේ දක්වා කරලා තියෙන විකාර මතක් වෙන කොට ඔය පාටවලුත් එපා වෙනවා. මන්නං මුලින් ම කපලා දැම්මෙ ඔය නීල හරිත ධවල තමයි.”

 ‘‘ඉතින් අතුල, ඒක ඒ ඒ දේශපාලනඥයන්ගෙ මිසක් පාටවල වරදක් නෙමෙයිනෙ.”

 ‘‘ඒක හරි ලොකු සර්, ඒ උනාට අපි ඔය පාට නං තුන මේකට ගාව ගන්නැතුව ඉමු.”

 ‘‘හරි හරි ළමයො, මමත් ඒක තෝරලා තියෙන්නෙ තුන්වෙනි නමටනෙ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරගන් නැතුව අහක් කරන්න.”

 ‘‘එතකොට අපිට පැහැදිලියි, සිල්වා මැඩම් නම් තෝරලා තියෙන්නෙත් පදනමක් ඇතුව බව. දැන් මම අපේ ක්‍රීඩා කමිටුවෙ නායකතුමා තෝරපු නම් ටික කියන්නංකො. අතුලගෙ පළවෙනි තේරීම කැලණි   වලවේ  මහවැලි.  දෙවෙනි තේරීම ශක්ති යුක්ති භක්ති. ඒ වගේම එයා එතනම සලකුණු කරලා තියෙනවා දෙවෙනි තේරීම ලෙස චරණ දෙරණ කිරණ ගැනීමේත් වරදක් නැහැ කියලා. තුන්වෙනි තේරීම වාපී   නදී සාගර. කියමු ද අතුල අපිටත් තෝරපු විදිහ.”

 ‘‘කැලණි වලවේ  මහවැලි කියන්නෙ අපේ  මව්බිම  සරු කරමින් ගලා යන මේ රටේ මිනිස්සුන්ට එක වගේ දැනෙන ගංගා තුනක්. දෙවෙනි තේරීම ශක්ති යුක්ති භක්ති දෙකට තේරුවෙ ඒවයෙ තියෙන අර්ථ ගාම්භීර ගතිය වගේම අපේ සිල්වා මැඩම් තමන්ගෙ නම් තෝර ගනිද්දි නිර්ණායකයක් විදිහට ගත්ත නාද රිද්මය ගැනත් හිතලයි. ඒක හරි නැහැ කියලා කාට හරි හිතෙනවනං ඒකට විකල්පයක් විදිහට තමයි චරණ, දෙරණ, කිරණ ගත්තෙ. තුන්වෙනි තේරීම හැටියට වාපී නදී සාගර  ගත්තෙ ඒකෙත් හරි අමුතු ම ලස්සනක් තියෙන හින්දයි.”

 ‘‘අතුල අය්යෙ ඒ අන්තිමට කියපු නම් තුනනෙ එහෙනං මුලට ගන්න තිබ්බෙ. ඒකනෙ හැම අතින් ම හොඳ. ලොකු සර් මට හිතෙන හැටියට ඔය අපේ අතුල අය්යට ඔය කියන කාරණාම විතරක් නෙමෙයි ඔය නම් තෝරද්දි බලපාලා තියෙන්නෙ.”

 ‘‘ඒ මොකක් ද ගඟුල් ඔයා කියන එක මට තේරෙන්නෙ නැහැනෙ. ටිකක් පැහැදිලි කරන්න බලන්න ඒක.”

 ‘‘මෙහෙමයි ලොකු සර්, ඕක හොඳටම පැහැදිලි කරන්න පුළුවන් අතුල අය්යටම තමයි. ඒත් එයා මෙලෝ සම්මෙකට ප්‍රසිද්ධියේ ඒ පැහැදිලි කිරීම කරන්නෙ නැති නිසා අතුල අය්යත් කැමතිනං මන් කැමතියි එතුමාගේ මේ නම් තේරීමට හේතු වෙච්ච පසුබිම පැහැදිලි කරන්න.”

 ‘‘එතකොට උඹයි දැන් මගෙ ඉන්ටප්‍රිටර්. හා හා කරපන්කො උඹේ පැහැදිලි කිරීම.”

 ‘‘ඉතිං අතුල ම කළහම හරිනෙ තමන් නම් තෝරගත්ත විදිහ ගැන පැහැදිලි කිරීමත්.”

 ‘‘නෑ ලොකු සර්, අපි මේ ගඟුල් පඬිතුමාටම කියමු ඒ වැඩේ කරන්න.”

 ‘‘ඔව් අදාළ පුද්ගලයත් එහෙම කියනවනං අපෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙනං ගඟුල් ම උත්තර දීපුවාවෙ. එහෙම හොඳයි නේද තෙන්නකෝන් සර්, සිල්වා මැඩම්.”

ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයාත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියත් යන දෙදෙනාම සිය හිස් සලා සිනාසී එය අනුමත කිරීමෙන් පසු ය, ගඟුල් කතා කිරීම ආරම්භ කෙළේ.

 ‘‘මෙහෙමයි ලොකු සර්, අපේ අතුල අය්යා සාමාන්‍යයෙන් ගංගාවලට කැමතියි. ඒක නිසා තමයි එයා මහවැලි, කැලණි, වලවේ කියන ගංගා උඩින් ම තිබ්බෙ. ශක්ති, යුක්ති, භක්ති කියන නම් තුනේ තියෙන ගැම්ම - ගාම්භීරකම නිසා තමයි ඒක දෙකට තිබ්බෙ. ඔය ගැම්මක් තියෙන නම්වලට සාමාන්‍යයෙන් අතුල අය්යා කැමතියි. ඒක තමයි එයාගෙ අනන්‍යතාව. තව විදිහකට කිව්වොත් අයිඩෙන්ටිටි එක.”

 ‘‘ඒ කියන්නෙ ලොකු සර් මගෙ අනන්‍යතාව දන්නෙත් මෙයා, මම නෙමෙයි.”

 ‘‘ලොකු සර්, තෙන්නකෝන් සර්, මැඩම්, මන් ආපු දවසෙ ඉඳලා මෙතුමා ගැන අධ්‍යයනය කරලා තමයි ඒ අනන්‍යතාව හොයා ගත්තෙ.”

 ‘‘මගෙ අනන්‍යතාව හොයා ගත් එක පැත්තකින් තියලා කියපන්කො දැන් මම නම් තෝරපු විදිහ ගැන.”

 ‘‘දැන් සර්, මැඩම්, ඔය තුන්වෙනියට දාපු නම් තියෙනවා නේද අන්න ඒ නම් කට්ටලේට තමයි මෙතුමා වැඩියෙන් ම කැමති.”

 ‘‘ඒක මහ විකාර කතාවක්නෙ ළමයො, එහෙනං ඇයි අපේ අතුල ඒ නම් කට්ටලේ මුලට තියන්නෙ නැතුව අන්තිම තේරීමට දැම්මේ.”

එසේ ප්‍රශ්න කෙළේ සිල්වා ආචාර්යවරිය යි.

 ‘‘ඇයි මැඩම් අහලා නැද්ද කොළේ වහලා ගහනවා කියන කතාව.”

 ‘‘කොහෙද මෙතන වැහිල්ලක් තියෙන්නෙ. එයා එළිපිටම තමන් කැමති නම් කැමති පිළිවෙළට කියලනෙ තියෙන්නෙ.” 

  ‘‘අය්යෝ මැඩම්, ඔය තුන්වෙනි නම් කට්ටලේ තමයි අතුල අය්යගෙ පණ හැංගිල තියෙන්නෙ. ඒවා ප්‍රකාශ කරන්නෙත් නැහැ, නොකරන්නෙත් නැහැ. ඔය අපේ අතුල අය්යා කාගෙත් ඇස් වහලා තමන් කැමති දේ කියන්න තෝරාගත් උපාය මාර්ගය තමයි. දැන් බලන්න මේ නම් තුන කියාගෙන යන කොට අපේ සර්ලා දෙන්නයි මැඩමුයි වෙන කොහේවත් බලන්නෙ නැතුව අතුල අය්යගෙ මූණ දිහාම බලන් ඉන්නකො. ඔන්න මන් කියවනවා නම් ටික.”

 ‘‘මහවැලි  කැලණි    වලවේ”

ගඟුල් තාලයකට නම් තුන කියාගෙන ගියේ ය. අනතුරුව කතා කෙළේ ය.

 ‘‘බලන්න සර්, අපේ අතුල අය්යගෙ මූණේ කිසිම වෙනසක් උනේ නැහැ ඒ නම් තුන කියෙව්ව කියලා. දැන් ඔන්න කියවනවා දෙවෙනි තේරීම. ශක්ති  යුක්ති  භක්ති. කෝ ඒත් උනාද වෙනසක්. දැන් බලමු මෙතුමාගෙ තුන්වෙනි තේරීම.”

 ‘‘වාපී   නදී....”

දෙවන නම කියා ගඟුල් කැස්සේ ය.

 ‘‘මොකද උඹ කහින්නෙ. කැස්ස නවත්තලා කියපන් ඊළඟ නමත්.”

ඒ අතුල ය.

 ‘‘කියන්නං කියන්නං වාපී, නදී..... සාගර.”

දෙවන නමට වැඩි බරක් දුන් ගඟුල්, සාගර යන වචනය කීවේ මන්ද ස්වරයෙනි. 

ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් සිනහ වතින් බලා සිටිය දී යළිත් කතා කෙළේ අතුල ය.

 ‘‘මල්ලී උඹ දැන් සෑහෙන්න නරක් වේගනයි එන්නෙ.”

 ‘‘ඒක අතුල අය්යෙ මගෙ වරදක් නෙමෙයි. ආශ්‍රයෙ වරදක්.”

 ‘‘ඒ කියන්නෙ උඹ කොළඹ ඉඳලා ආවා. අපේ ඇසුර නිසා නරක් උනා. ඒකනෙ උඹ ඔය කියන්නෙ.”

 ‘‘නෑ නෑ එහෙම කියන එක වැරදියි. අපේ ඇසුර නිසා කියන එකනං වැරදියි මයෙ හිතේ.”

 ‘‘එහෙනං කාගෙ ඇසුර නිසා ද මේ සත් ගුණවත් කොළඹ මහත්තයා නරක් වෙලා තියෙන්නෙ.”

 ‘‘අතුල අය්යගෙන් මන් මේ දැන් අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මන් මේ ඉස්කෝලෙට ආපු දවසෙ ඉඳලා වැඩියෙන් ම ආශ්‍රය කරලා තියෙන්නෙ කාව ද?”

 ‘‘මන් දන්න තරමින් උඹ මල්ලි ආපු දවසෙ ඉඳලා වැඩියෙන් ම ආශ්‍රය කරලා තියෙන්නෙ මාවනෙ.”

 ‘‘අන්න අතුල අය්යගෙ ඒ කතාවෙම ලොකු සර්, අපිට අවශ්‍ය කරන උත්තරේ තියෙනවා.”

 ‘‘මන් කිව්වයි කියලා හිතාගනින්. මෙතන ලොකු සර්රුයි තෙන්නකෝන් සර්රුයි සිල්වා මැඩමුයි නැත්තං මන් දන්නවා උඹට දෙන්න ඕන උත්තරය.”

 ‘‘හොඳයි අතුල, ඒ උත්තරේ එහෙනං අපි නැති තැනකදි දෙන්නකො. දැන් අපිට කමිටුවෙ තුන් දෙනෙක්ගෙම තේරීම් ලැබුණා. ගඟුලුත් කතා කළාට පස්සෙ මම මගෙ තේරීම කියන්නංකො.”

විදුහල්පතිවරයා ගඟුල්ට ඔහුගේ තේරීම ගැන කීම සඳහා අවස්ථාව ලබා දුන්නේ ය.

 ‘‘සර් මන් මුලට ම තේරුවෙ චරණ  දෙරණ  කිරණ කියන නම් තුන. මගේ දෙවෙනි තේරීම හිරු සඳු  තරු. අතුල අය්යා අතින් තුන්වෙනි තැනට වැටිච්ච හිතින් එයා එකට දාගෙන ඉන්න නම් තුන තමයි මම තුන්වෙනි තැනට දැම්මෙ. ඒ කියන්නෙ වාපී  නදී  සාගර.”

 ‘‘එහෙනං දැන් මගෙ තේරීම විතරයි දැන් කියන්න තියෙන්නෙ. මම මුලට ම තේරුවෙ චරණ දෙරණ කිරණ. මට මේ අපේ දරුවො යෝජනා කරපු නමවලින් දෙවෙනියට හොඳයි කියලා හිතුණෙ නීල  හරිත ධවල. මගෙ තුන්වෙනි තේරීම හිරු  සඳු  තරු. දැන් පොඩ්ඩකට මට ඔබතුමාලා හතර දෙනාගෙම තේරීම් කොළ හතර මගෙ අතට දෙනව ද?”

අනතුරුව විදුහල්පතිතුමා කෙළේ තමාගේ පිටපත ද සහිත ව සිය සහෘදය ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ තේරීම් ලේඛන සතර ද එක තැන තබා නිරීක්ෂණය කිරීම ය. තදනන්තර ව ඔහු සිය කටහඬ අවදි කෙළේ ය.

 ‘‘අපි පස්දෙනා ම මේ නම් තෝරලා තියෙන්නෙ කිසියම් පදනමක් ඇතුව. ඒ තමන් තේරුව පදනම වෙනුවෙන් පෙනී හිටලා පැහැදිලි ව අදහස් දක්වන්නත් මේ කාටත් පුළුවන්කම තිබුණා. මේවා නිරීක්ෂණය කරද්දි පෙනිච්ච දෙයක් තමයි එකම නම් සමූහයක් අතර තමයි අපි කට්ටිය ම දෝලනය වෙලා තියෙන්නෙ. දැන් අපි තුන්දෙනෙක් ම හිරු  සඳු  තරු තෝරලා තියෙනවා එකට හරි දෙකට හරි තුනට හරි. ඒ කියන්නෙ සිල්වා මැඩමුයි  ගඟුලුයි මමයි. ඒ වගෙම සිල්වා මැඩම් මම අපි දෙන්නම නීල  හරිත ධවල කියන නම් කට්ටලෙත් තෝරලා තියෙනවා. ඒ වගෙම වාපී නදී සාගර කියන නම් තුනටත් අපි කීප දෙනෙක් ම ලොකු බරක් දීලා තියෙනවා. ඒ කියන්නෙ අපේ තෙන්නකෝන් සර්, අතුල, ගඟුල් මේ තුන්දෙනාම ඒකට කැමති වෙලා තියෙනවා.”

 ‘‘එතකොට සර් අපි පස් දෙනාම කැමති වෙච්ච එක නම් කට්ටලයක්වත් නැද්ද ඔය අතරෙ.”

ඒ ප්‍රශ්න කිරීම ක්‍රීඩා කමිටුව භාර අතුල ආචාර්යවරයාගෙනි.

 ‘‘තියෙනවා අතුල තියෙනවා. එතෙන්ට තමයි මම දැන් එන්න හදන්නෙ. ඒ තමයි චරණ, දෙරණ, කිරණ. අතුල, ඔයා ඒක දෙවෙනියට තෝරලා තියෙනවා. ඒකම තමයි සිල්වා මැඩම්ගෙ දෙවෙනි තේරීම. තෙන්නකෝන් සර් එකට තෝරලා තියෙන්නෙ අතුලගෙයි සිල්වා මැඩම්ගෙයි දෙවෙනි තේරීම. ඒ වගෙම ගඟුලුයි මමයි එකට අරන් තියෙන්නෙ චරණ, දෙරණ, කිරණ. එහෙම බැලුවහම අපි පස් දෙනාම එකම වේදිකාවක එකට මුණ ගස්සන නම් කට්ටලය වෙන්නෙ චරණ  දෙරණ  කිරණ.”

 ‘‘එහෙනං සර් අපි ඒ නම් තුනම ගනිමු.”

 ‘‘අපේ ක්‍රීඩා කමිටු නායකතුමාගෙ අදහස ඒකයි. අපේ අනිත් අයගෙ අදහස් කොහොම ද?”

සියලු ම දෙනා විසින් කරන ලද්දේ අතුලගේ අදහස අනුමත කිරීම ය.

 ‘‘ඔහොම කිව්වට අතුල අය්යට පොඩි දුකකුත් ඇති ලොකු සර්, තමන් හදවතින්ම අනුමත කරන නම අනුමත නොවෙච්ච එකට. කොච්චර උනත් ඉතින් අපි තවම පෘථජ්ජන මිනිස්සුනෙ.”

 ‘‘මල්ලි, උඹ මාව ආයෙත් අවුස්ස ගන්න ද හදන්නෙ ඈ. එතකොට මම පෘථග්ජනයා. උඹ එතකොට අවබෝධයට පත් වෙච්ච උසස් ජනය ද?”

 ‘‘අපේ ආචාර්ය මණ්ඩලේ රණ්ඩුවලත් හරිම ලස්සනක් තියෙනවා. මේවා ලෙන්ගතුකමේ රණ්ඩු. තවත් විදිහකට කිව්වොත් කල්‍යාණ මිත්‍රයන් අතර ඇතිවෙන ආදරණීය රණ්ඩු. කොහොමත් අද මේ නම් තේරීමත් කල්‍යාණ මිත්‍රත්වයෙ ප්‍රතිඵලයක්. මට මේ වෙලේ මතක් වෙන්නෙ මිස්ට තෙන්නකෝන් එක අවස්ථාවකදි සුප්‍රසිද්ධ ජර්මන් දාර්ශනික නීට්ෂේ මිතුරුකම ගැන කරපු ප්‍රකාශයක්. එයා එක වෙලාවක මෙහෙම ලියලා තියෙනවා.”

 ‘‘මිතුරන් කිසි විටෙකත් ආවේගික කරුණුවලට මුල්තැන නොදිය යුතු ය. එකිනෙකාට පාඩම් වන සේ කටයුතු කළ යුතු ය.”

 ‘‘සර් ඔහොම කිව්වහම මට මතක් උනේ අපට සංස්කෘත උගන්නන්න ආපු සර් කියපු දේවල්. එක දවසක් සර් අපට සංස්කෘත පරිවර්තනවලට තෝරගෙන තිබුණෙ කල්‍යාණ මිත්‍රත්වය ගැන තියෙන ප්‍රකාශ විතරයි. මට ගලේ කෙටුවා වගේ අදටත් හිතේ කෙටිලා තියෙන ප්‍රකාශ කීපයක් ම තියෙනවා ලොකු සර්.”

 ‘‘ඉතින් අපි කාටත් වැදගත්නෙ ඒවා. අපි ළමයින්ට උගන්නනවා වගෙම අපිට ඉගෙන ගන්න ලැබෙන අවස්ථාත් මග හරින්න නරකයි. එහෙම නේද තෙන්නකෝන් සර්.”

කිසිදා මෙබඳු අවස්ථා මග නොහරින විදුහල්පතිවරයා එසේ ප්‍රකාශ කරද්දී තෙන්නකෝන් මහතා වෙතින් මතු නොව අන්‍යයන් වෙතිනුදු ඊට පළවූයේ අනුමැතිය යි.

 ‘‘පියසේන, අපට පොඩි අතුරු පසක් එක්ක තේ ටිකක් ගේන්ඩකො ඔයගොල්ලන්ටත් එක්ක ම.”

 ‘‘ලොකු සර්, සජීවි ආහාර අතුරු පසක් ද අජීවි ආහාර අතුරු පසක් ද?”

 ‘‘සජීවි සජීවි, විශේෂයෙන් අපේ සිල්වා මැඩම් වගේ සත්ත්ව ජීවිතවල අයිතිය වෙනුවෙන් සටන් කරන ඇත්ත සටන්කාමිනියක් ඉන්න තැනකට.”

 ‘‘බලන්ඩකො මිසිස් සිල්වා, ගඟුල් එදා සජීවි ආහාර ගැන කියපු කතා අපේ පියසේනලගෙ හිත්වලටත් ගිහිල්ල තියෙන තරම.”

 ‘‘ඒක තමයි ලොකු සර් කල්‍යාණ මිත්‍රත්වය නිසා උපදින දේවල් ලෝකයට බෝ වෙනවා  ඒ වගෙම බෝ කරන්න ඕනෙ කියලා අපේ අදිකාරම්තුමා නිතර කියලා තියෙන්නෙ.”

‘‘අපට සංස්කෘත උගන්නපු සර් සංස්කෘත සාහිත්යෙ එන හරිම සුන්දර ප්‍රකාශ කීපයක් ම කියලා දුන්නා. ඒ අතර මෙන්න මෙහෙම ප්‍රකාශයක් එනවා. මන් ඒක කියන්ඩ ද ලොකු සර්.”

 ‘‘කියන්ඩ  කියන්ඩ ගඟුල්, අපටත් ඉගෙන ගන්නත් එක්ක.”

 ‘‘ගඟුල් දන්නව ද අපේ ලොකු සර් තවමත් තමන් නොදන්න දේවල් ඉගෙන ගන්න කැමති අලුතින් දේවල් තමන්ගෙ දැනුමට එකතු කරගන්න කැමති ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කැමති කෙනෙක් බව. ලොකු සර් දන්නව ද ඔයා විවිධ අවස්ථාවල දි අදිකාරම්තුමාගෙන් අපේ සමන් සිත්තරාගෙන් වගේම තවත් බොහෝ අයගෙන් වගේම පොතපතින් ඉගෙන ගත්ත කරුණු සටහන් කරගෙන තියෙන පොත ගැන.”

 ‘‘ඒ පොත දැනුත් මගෙ ළඟ තියෙනවා සර්. ඒක හැමදාම අප්ඩේට් වෙන පොතක්. අද දවසෙ මම මේ සාකච්ඡාවෙන් උකහා ගන්න දේවලුත් ඒකෙ සටහන් කරගන්නවා.”

 ‘‘හොඳයි ගඟුල්, අපේ සජීවි ආහාර සම්පාදකයා එනකං කියන්ඩකො අර ඔයාට තදටම දැනිච්ච ප්‍රකාශෙ.”

 ‘‘මේ මන් දැන් කරන ප්‍රකාශෙ අපේ සර් එයාගෙ හොඳම යාළුවකුට පිදුම දීපු පොතක පිදුමට කලින් දාන ප්‍රවේශ වාක්‍යය හැටියට සඳහන් කරලා තිබුණා. ඒක හිතෝපදේශය කියන සංස්කෘත උපදේශ ග්‍රන්ථයේ එන ප්‍රකාශයක්. ඒක මෙහෙමයි.

රහස්‍යභේදෝ යාඥා ච - නෛෂ්ඨුර්යං චලචිත්තතා

ක්‍රොධෝ හි නි:සත්‍යතාද්‍යූත - මෙතන්මිත්‍රස්‍ය දූෂණම්”

 ‘‘දැන් ගඟුල් අපට ඕකෙ අර්ථයත් කියන්ඩකො පැහැදිලි ව.”

 ‘‘සර්, මට ලොකු සංස්කෘත දැනුමක් නැහැ. ඒත් එදා ඉගෙන ගත්ත විදිහට මේ සංස්කෘත පද්‍යෙ අර්ථය පැහැදිලි කරන්න නං පුළුවන්. මේකෙන් කියන්නෙ රහස් හෙළි කිරීම, යැදීම, රළුබව, චපල සිත, ක්‍රෝධය, අසත්‍යය, දූ කෙළිය යන මේවා මිත්‍රයා සම්බන්ධ දූෂණ යි. ඒත් මිතුර මේ වචන පිළිවෙළින් දක්වපු එකම දූෂණයක්වත් ඔබ කෙරෙහි නං දකින්නට ලැබෙන්නෙ නැහැ කියලා.”

 ‘‘ඒක හරි සුන්දර ඒ වගෙම හරිම අර්ථවත් ප්‍රකාශයක්නෙ. කවුද ගඟුල්, ඔයාගෙ සර්ට මේ තරං ප්‍රබල ප්‍රකාශයක් දාලා පිදුම් දෙන්න හිතිච්ච යාළුවා.”

 ‘‘ඒ තමයි සර්රුත් එක්කම එක දවසෙ ශිෂ්‍යයෙක් විදිහට විශ්වවිද්‍යාලෙට ඇතුළත් වෙලා දැන් සර් එක්ක ම ජපුරෙ ආචාර්යවරයෙක් විදිහට වැඩ කරන ප්‍රණීත් සර්.”

 ‘‘ඒ කියන්නෙ අපේ ප්‍රණීත් අභයසුන්දර මහාචාර්යතුමා. ”

 ‘‘ඔව් සර්, ඒ විතරක් නෙමෙයි තමන් තුළ ඒ යාළුවා ගැන තියෙන හැඟීමත් සර් කවියකින් ඉදිරිපත් කරලා තිබුණා.”

 ‘‘ඉතින් අපි ඒ කවියත් අහමුකො. මතක ද ගඟුල් ඔයාට ඒ කවිය.”

 ‘‘මතකයි සර් මතකයි. එහෙනං මම කියන්නං ඒකත්.”

 ‘‘දුකකදි නිබඳ ළඟ රැඳෙනා සබඳ              ප්‍රණීත්

  වරෙකදි දෙකක නොව සිහිවෙයි නිබඳ      ප්‍රණීත්

  ඔබගේ අතින් ලියැවුණු ගී රැසකි               ප්‍රණීත්

  ලියු ගී නොවේ ගීතය මට ඔබයි                ප්‍රණිත්”

 ‘‘ඇත්තටම ගඟුල් පිදුමකදි කෙනෙක් කරන්නෙ තමන්ගෙ ජීවිතේ තමන්ට වැඩියෙන් දැනිච්ච චරිතයක් ගැන තියෙන හැඟීම වචනවලට පෙරළන එකනෙ. පිදුම් ගැන කියද්දි මට මතක් වෙන පිදුමක් තියෙනවා. හැබැයි ඒක නම් කරලා තියෙන්නෙ පිදුම කියලා නෙමෙයි නොපිදුම කියලයි.”

 ‘‘ලක්ශාන්ත අතුකෝරළගෙ සමහර කමටහන් කියන පොතේ නේද ලොකු සර් ඒ පිදුම තියෙන්නෙ.”

 ‘‘හරියටම හරි ගඟුල්, මට ඒක මතක හිටියෙ මේ අද්දැකීම මගෙ ජීවිතයටත් සමීප නිසා. මොකද අපි ජීවිතයේ යම් යම් සන්ධිස්ථානවලට ඇවිල්ල හැරිල බලනකොට ඒ තැන්වලට අපට එන්න උදව් කරපු ආලෝක පහන් විදිහට හිටපු සමීප චරිත ජීවතුන් අතර නැහැ. මම ගුරුවරයෙක් වෙලා රටට වැඩක් කරන්න ඕනෙ කියන කාරණාව නිතර මතක් කරපු කෙනෙක් තමයි මගෙ තාත්තා. ඒත් මම ගුරුවරයෙක් වෙනකොට ඒක දකින්න මගෙ තාත්තා හිටියෙ නැහැ. මට ලක්ශාන්තගෙ නොපිදුම නමින් තියෙන පිදුම එච්චරට ම දැනෙන්නෙත් ඒක නිසා වෙන්ඩ ඇති.”

‘‘අනේ ලොකු සර්, මමත් කැමතියි ඒ නොපිදුමේ පිදුම අහන්න. මොකද මටත් තාත්තව අහිමි වෙන්නෙ මන් සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්න කොට. උඹට මන් කියලා තිනෙවනෙ ගඟුල්. තාත්තා ගැන වගෙම තාත්තා නැති උනාට පස්සෙ මට තාත්තෙක් වෙච්ච දිවාකර සර් ගැන. අපේ ලොකු සර් නිතර කියන විදිහට අපෙ දිවාකර සර් කියන්නෙ ඇත්තම කල්‍යාණ මිත්‍රයෙකුට. දැන් කියන්ඩ සර් අර නොපිදුමේ කවිය.”

 ‘‘ රනක් වස්තුවක් නැති වුව

   පොතක් පත්කඩක් පෙන්නුව

   එයින් මිණිපහන් දැල්වුව

   තාත්තෙක් ඔයා

 

ඈත් වී නැතත් කිසිවිට

ආත්මය උනත් සිත ළඟ

 

කෙසේ අත තබම් මේ පොත

තාත්තේ කියා”

 

 ‘‘ඒක බොක්කට ම වදිනවා සර්.”

හැඟුම්බර ව එසේ පැවසුවේ අතුල ආචාර්යවරයා ය. එයිනික්බිති යළිදු කතා කෙළේ ද අතුල යි.

 ‘‘සර්, අපි හැම එක්කෙනෙක්ගෙම හිත ඇතුළෙ තියෙනව නේද පිදුමක්, අපට පොතක් ලියලා පිදුමක් දෙන්න බැරි උනත්.”

 ‘‘ඇත්ත අතුල, වචනයෙන් ලියපු වගේම හදවතේ ලියැවෙච්ච අප්‍රමාණ පිදුම් තියෙනවා. ඒවා එක භාෂාවකට ජාතියකට සීමා කරන්න බැහැ. ඒ වගෙම කල්‍යාණ මිත්‍රත්වයත් එහෙම සීමා මායිම් අතර හිර කරන්න බැහැ.”

 ‘‘ඒක නං ඇත්ත ලොකු සර්, අපේ සර්, සර්ගෙ එක පොතක් පිළිගන්නලා තිබුණ තවත් යාළුවෙක් හිටියා. එයා සර් එක්ක ඉස්කෝලෙදි හරි අධ්‍යාපන ආයතනයක දි හරි එකට ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. කොටින් ම දෙන්නගෙ ක්ෂේත්‍ර ගත්තත් වෙනස්. ඒ උනාට ඒ යාළුවට කරපු පිදුමටත් සංස්කෘත සාහිත්යෙ තියෙන ලස්සනම ප්‍රකාශයක් ගන්න සර් අමතක කළේ නැහැ.”

 ‘‘අපේ ඉස්කෝලෙට අලුතින් ඇවිල්ලා ඉන්න තරුණ සංස්කෘත පඬිතුමාට කියමුකො සර් ඒ ප්‍රකාශෙත් කරන්න කියලා.”

අතුලගේ ඉල්ලීම අනුව ගඟුල් ඒ සඳහා සූදානම් වන විට දුටුවේ තේ බීමට අවශ්‍ය කළමනාකරණ ද රැගත් පියසේන සාකච්ඡා කාමරය දෙසට එන ආකාරය යි.

 ‘‘අන්න ලොකු සර්, පියසේන එනවා අපිට තේත් අරගෙන. මිනිහා මොකක් හරි කියන්න කටත් හදාගෙනයි එන්නෙ.”

 ‘‘ලොකු සර්, සිල්වා මැඩම්,   මෙන්න මන් සජීවි ආහාර අරගෙන ආවා, සජීවි තලත් එක්ක. ඝාතනය කරලා හදාගත්ත කිසිම කෑමක් මෙතන නැහැ. මෙන්න සර් සජීවි තල, සජීවි ලැවරිය, සජීවි කෙසෙල්, ඒ වගෙම සජීවි තේ සමග සජීවි හකුරු.”

 ‘‘පියසේන, අර ගූණවර්ධන සර්ටයි නිම්මි මිස්ටයිත් එන්න කියන්න තේ බොන්න. දැන් කොහොමත් දැන් මේ වෙච්ච සාකච්ඡාවෙත් සාරාංශයක් මට නිම්මි මිස්ට දෙන්න වෙනවා අනිවාරෙන්ම කල්‍යාණ මිත්‍රත්වය ගැන. වැඩ ඉවර නං මිස්ටත් ඇවිත් සහභාගි වෙන්න කියන්න. පියසේනත් එන්න තේ බොන්න.”

 ‘‘ලොකු සර්, අපේ ගුණවර්ධන සර්රුයි නිම්මි මිසුයි දැන් මෙතෙන්ට ඒවි. මම සර් ඉස්සෙල්ලත් තේකක් බිව්වා. කෝකටත් සර් පස්සෙ තේ බොන්න ඉන්න එක හැම අතින්ම හොඳයි. මොකද සර්ලා මිස්ලා ඕවා ඔක්කොම කන එකක්යැ. ඕකෙන් සෑහෙන කොටසක් ඉතිරි වෙන බව ස්ථිර වශයෙන් ම මම දන්නවා. ඒ වගෙම ඔය සජීවි ආහාරවලින් විශාල කොටසක් දරා ගැනීමේ හැකියාවත් මගේ මේ සජීවි ශරීරයට තියෙනවා කියන බලවත් විශ්වාසෙත් මට තියෙනවා.”

 ‘‘කොහොම ද මිස්ට තෙන්නකෝන්, අපේ පියසේනගෙ කතාව. මිනිහා ස්ථිර වශයෙන් ම දන්නවලු මේ කෑමවලින් විශාල කොටසක් ඉතුරු වෙනවා කියලා.”

 ‘‘හොඳයි පියසේන, අපි මේවායින් පොඩ්ඩක්වත් ඉතුරු නොකොළොත් ඔයාට මොකද වෙන්නෙ.”

 ‘‘අනේ තෙන්නකෝන් සර්, මේ සම්මෙට ඒක වෙන්නැති දෙයක්නෙ. මොකෝ මමත් මේ නාගොල්ලාගම ඉස්කෝලෙ වැඩ කරන්නෙ අද ඊයෙක ඉඳලයැ. අනිත් එක තව වැදගත් කාරණයක් තියෙනවා. සර්ලා දැන් ඉන්නෙ කෑමෙන් පරිස්සම් වෙන්න ඕනෙ වයසක. අතුල සර් තරුණ උනත් සර් ක්‍රීඩකයා නිසා දන්නවා ඔය කඩචෝරුවලට පුරුදු වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා. මන් හිතන්නෙ අපේ ගඟුල් සර් උනත් හොඳයි ඒකෙදි අතුල සර්ව ආදර්ශෙට ගත්තොත්.”

 ‘‘නෑ පියසේන අය්යෙ, මන් මේ කෑම සම්බන්ධ කාරණේදි දිගට ම ආදර්ශෙට ගන්න හිතාගෙන ඉන්නෙ අපේ රේණු මිස්ව.”

 ‘‘හපෝයි විනාශයි එහෙනං. ඒ උනාට අද මේ සාකච්ඡාවට රේණු මිස් නැහැ නේද?”

 ‘‘බයවෙන්න එපා පියසේන අය්යෙ, අද රේණු මිස් නැහැ. හිටියත් ලොකු සර් වගෙම එයත් මුලින් ම වෙන් කරන්නෙ ඔයාගෙ පංගුව.”

 ‘‘මන් ඒක දන්නවා අතුල සර්.”

පියසේන හැඟුම්බර ව එසේ පවසා, ආහාරපාන සහිත බන්දේසිය මේසය මත තබා නික්ම ගියේ ය.

තේ පානයෙන් පසුව ද අඩහෝරාවක් පමණ සාකච්ඡාව සඳහා ගත කරන්නට ඔවුනට අවකාශ තිබිණි.

 ‘‘එහෙනං ලොකු සර් අපේ ගඟුල්ට කියමු ද ආයෙත් වැඩේ පටන් ගන්න.”

එසේ පවසමින් යළිත් සාකච්ඡා ප්‍රවේශය ගත්තේ අතුල යි.

 ‘‘ඉස්සෙල්ලම මම කියලා ඉන්නං ඒ පිදුම දීපු යාළුවා කවුද කියන එක. ඒ තමයි උදය කුලතිලක මහත්තයා. සර් තමන්ගෙ යාළුවො කීප දෙනෙකුට ම තමන්ගෙ පොත් පුදලා තියෙනවා. උදය මහත්තයා තමයි අපේ සර්ගෙ ඔය පිදුම දීපු පොත හැර අනික් ඔක්කොම පොත් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කළේ. එතුමා ව්‍යාපාරිකයෙක්. ලෝකයත් එක්ක ගනුදෙනු කරපු ව්‍යාපාරිකයාට එහා ගිය මනුස්සයෙක් ව එතුමාගෙන් දැක්කා කියලයි සර් අපිට කිව්වෙ.”

 ‘‘ඉතිං කියපන්කො මල්ලි අර ප්‍රකාශෙ.”

 ‘‘ඒක කියන්ඩ හදන කොටනෙ පියසේන අය්යා අපට තේ අරන් ආවෙ. මෙන්න මේකයි ඒ ප්‍රකාශෙ. මේක තියෙන්නෙත් හිතෝපදේශෙ. ”

 ‘‘මුඛං ප්‍රසන්නං විමලා ච දෘෂ්ටි: - කථානුරාගෝ මධුරා ච වාණී

  ස්නේහෝධිකං සම්භ්‍රමදර්ශනං ච - සදානුරාගස්‍ය ජනස්‍ය ලක්ෂ්ම

 ‘‘ඉතින් කියපන් මල්ලි ඕකෙ තේරුමත්.”

 ‘‘ප්‍රසන්න මුහුණ, නිර්මල බැල්ම, කථාවෙහි ඇල්ම, මිහිරි වදන්, දැඩි සෙනෙහස, ආදරණීය දැක්ම  මෙන්න මේ කාරණා තමයි හැමදාම ඇළුණු කල්‍යාණ මිත්‍රයාගෙ ලක්ෂණ කියලා දක්වලා තියෙන්නෙ.

ඔන්න ඔය ටික ලියලා හඳුනාගත් දවසේ පටන් කල්‍යාණ මිත්‍රත්වයේ දෑත දිගු කළ දයාබර උදය කුලතිලක සහෘදයා වෙත අපරිමිත ආදරයෙන් වගේම අසීමිත ගෞරවයෙන් කියලයි ඒ පිදුමෙ තියෙන්නෙ.”

 ‘‘ඒවානං හරිම ලස්සණ කාරණා තමයි. ඒත් බැලූ බැල්මට ප්‍රසන්න බව පෙන්නුවෙ නැති උනත් දැඩි බැල්මක් තියෙන වැඩිය කතා කරන්න කැමති නැති මිහිරි වචන වෙනුවට තද වචන කියන ආදරණීය දැක්මක් නොපෙන්නන අය අතරත් කල්‍යාණ මිත්‍රයො ඉන්න බැරි ද?”

මේ ප්‍රශ්නය මතු කෙළේ මෙතෙක් නිහඬ ව සාකච්ඡාවට සවන් දී සිටි සිල්වා මහත්මිය යි.

 ‘‘සිල්වා ටීචර් කිව්වෙ හරිම වැදගත් දෙයක් තමයි. අර ප්‍රකාශෙ තියෙන වැදගත්කම පිළිගන්න අතරෙම ඊට වඩා වෙනස් විදිහකටත් ජීවිතය දකින්න අපට පුළුවන් වෙන්න ඕනෙ කියන අදහසනෙ ඔබතුමිය මතු කළේ.”

 ‘‘ලොකු සර් මටත් අවසර තියෙනවානං අදහසක් කියන්න පුළුවන්.”

 ‘‘මොකෝ බැරි නිම්මි, අපි ඔක්කොමගෙ අවසරේ තියෙනවා. කියන්ඩකො බලන්ඩ ළමයො එහෙනං ඔයාගෙ අදහසත්.”

 ‘‘අදහසක් කිව්වට ඒක අදහසක් මත් නෙමෙයි සර් ඇත්ත දෙයක් මේ ඉස්කෝලෙදිම දැකපු දෙයක්. ඔය චරිත ලක්ෂණ දෙවිදිහ ම තියෙන සර් කෙනෙක් මේ ඉස්කෝලෙ ම ඉන්නවනෙ.”

 ‘‘ඒ කවුද නිම්මි මිස්.”

එසේ ඇසුවේ ගඟුල් ය.

 ‘‘වෙනින් කවුරුවත් නෙමේ අපේ අතුල සර්.”

 ‘‘ඒ පාර නිම්මි, ගඟුල් සර් වගේ උඹත් මාව ද උදාහරණෙට ගන්න යන්නෙ.”

‘‘ගන්න යනවා නෙමෙයි සර් ගන්නවා. සර් වෙලාවකට හරිම ප්‍රසන්න විදිහට බලනවා. තව වෙලාවකට අර මිනිස්සු යකා වැහුණහම බලන්නෙ අන්න ඒ විදිහට බලනවා. ලොකු සර්ට  මතක ද අර කොට්ඨාස අධ්‍යක්ෂතුමා දිහා බලපු බැල්ම. මතක් වෙන කොට මට දැනුත් බය හිතෙනවා. මොකද මමත් සර්ගෙ ඔය  බැලුම් දෙකකට ම අහු වෙලා තියෙන කෙනෙක්නෙ. හැබැයි අපේ නදී මිස්නං එහෙම නැහැ. අර ගඟුල් සර් කියපු ශ්ලෝකෙ අදහස ඒ විදිහට ම තියෙන කෙනෙක්. කොහොම උනත් අතුල සර් කියන්නෙ කල්‍යාණ මිත්‍රයෙක් තමයි කියන එකනං මන් ඉස්මුදුනින්ම පිළිගන්නවා.”

 ‘‘අනේ අනේ නිම්මි, උඹ තමයි දවසකටත් ගෑනි. ඉස්මුදුනට ම හයියෙන් ටොක්කක් ඇනලා ඒ වෙලාවෙම ඒ ඉස්මුදුන හෙමින් අතගාන ජාතියෙ අම්මණ්ඩියෙක්නෙ බන් උඹ.”

 ‘‘මෙන්න මෙහෙම කවට ප්‍රිය සාද අපි අතර තියෙන්න ඕනෙ. බීලා බීලා වෙරි වෙලා වැටෙන අප්‍රිය සාද අපට අවශ්‍ය නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නෙ අපේ කල්‍යාණ මිත්‍රයො අපිටත් වැඩිය කාලයක් මේ ලෝකෙ ජීවත් වෙන්න කියලයි. ගඟුල් කියවලා ඇතිනෙ අපේ මොනිකා රුවන්පතිරණගෙ විසිවසක ශේෂපත්‍රය කවිපොත. පොදුවේ මම ඒ පොතේ කොයි නිර්මාණයටත් කැමතියි. ඒ අතරෙ ඒ පොතේ මන් ගොඩක් ම කැමති එක කවියක් තියෙනවා මෙහෙම.”

 ‘‘කවට පියසාද පිය තෙපුල්              පැනසර

  සතුට විසුරුවයි හද බිතු                  අතරතුර

  තොපට සකිසඳුනි එහෙයින් මෙලොව   හැර

  අපට පෙර යන්න නැත කිසිදු            අවසර”

 ‘‘මමත් ගොඩක් ම කැමති කවියක් තමයි සර් දැන් කිව්වෙ. ලොකු සර්, අපේ සර්, සර්ගෙ මිතුරුසඳ කියන කවි පොත ලියලා ඒක ප්‍රණීත් සර්ට පිළිගැන්වීම ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඒකට ඇතුළත් කරනවා මිතුරුසඳ කියන මාතෘකාව යටතෙ කවි තුනක්. ඒ කවි තුනට උඩින් සර් සටහන් කරලා තිබුණෙ මොනිකා කිවිඳියගෙ ඔය කවිය. ඒ කවි තුනෙන් මන් වැඩිය කැමති කල්‍යාණ මිත්‍රත්වය කොයි තරම් ගැඹුරු හැඟීමක් ද කියලා උත්සාහ දරලා තිබිච්ච අන්තිම කවි දෙකට. සර් දැන් මගෙ පන්තියට යන්නත් වෙලාව ඇවිල්ලා. මම එහෙනං යන්න ද? ”

 ‘‘ගඟුල් පොඩ්ඩක් ඉන්න. මන් හිතන්නෙ දැන් මේ සාකච්ඡාව අපි අවසන් කරමු. මොකද දැන් අපේ ආචාර්ය මණ්ඩලේ අනිත් අයටත් තමතමන්ගෙ රාජකාරිවලට යන්න තියෙන හින්දා. මන් කැමතියි අපේ සාකච්ඡාව ගැන පොඩි සමාලෝචනයක් කරලා මේක අවසාන කරන්න. මේ සාකච්ඡාව ගැන මට නිරීක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක නිරීක්ෂණවලින් පස්සෙ අපට නිගමනයකට එන්න පුළුවන් උනා    චරණ   දෙරණ  කිරණ කියන නම් තුන තමයි අපේ නිවාස තුනේ නම් හැටියට දැමිය යුත්තෙ කියන කාරණාව. දෙවෙනි වැදගත් කාරණාව තමයි අපට විහිලු තහලුවෙන් හරි අපේ පියසේන ක්‍රියාවෙන් පෙන්නලා දීපු දේ. ඒ කියන්නෙ මේ ක්‍රීඩා උත්සවයෙ සංග්‍රහ කටයුතු සිද්ධ වෙන්නෙ සජීවි ආහාර සංකල්පය මත බව. තුන්වෙනි කාරණය කල්‍යාණ මිත්‍රයන් විදිහට රැස්වෙච්ච අපි මේ මොහොතෙ විසිර යන්නෙ ඒ මිතුරුකම අපි එකිනෙකාගෙන් යම් යම් දේවල් ඉගෙන ගෙන මිත්‍රකම ගැන හිටියට වඩා දැනුවත් වෙලා බව. මන් හිතනවා අපේ මේ කල්‍යාණ මිත්‍ර සාකච්ඡාවට ඒකට ගැළපෙන අවසානයක් ම ගනිමු. මන් දන්නවා අනිත් අයත් එකග වේවි අපි ගඟුල්ට අවස්ථාව දෙමු අර මිත්‍රත්වය ගැන ලියැවුණු කවි දෙකින් ම මේක අවසන් කරන්න.”

ගඟුල් මොහොතක් නිහඬ ව බලා සිටියේ ය. මේ මොහොතේත් ඔහුට සිහිපත් වූයේ භෞතික ව නොසිට ද මල් සම්පත නිබඳ ලොවට නිබඳ ප්‍රදානය කරන සුවිසල් රුකක් බඳු ඒ ආදරණීය සහෘදයා ය. ඒ හද මල් සුවඳ උපරිමාකාරයෙන් සිය හද ස්පර්ශ කරන මේ සුගැඹුරු නිමේශයේ දී ඔහු අබිමුව මැවී ගියේ ඒ සහෘදයාගේ සුන්දර රූපකාය යි; ඇසෙන්නට ගත්තේ සිය කායික මරණය සිදුවන තෙක් අවිරාමී ව නිනද වන ඒ ආදරණීයයාගේ හෘදය වීණාවේ ළබැඳි ස්වරය යි. ලොව හද බිම් තෙමා ගලා ගිය ඒ ස්නේහයේ ගංගාවෙන් උකහා ගත් සෙනෙහ බිඳු සිය ශක්ති පමණින් ලොවට තිළිණ කිරීමෙන් මිස අන් කිසිදු මගකින් මේ ආදරවන්තයාට උපහාර කළ නොහැකි ය යන හැඟුම බලවත් ව නැගෙද්දී තෙත් ව ගියේ ගඟුල්ගේ දෑස යි. සිය ගුරුවරයාට තම කලණ මිතුරා ගැන සිතුණු ලෙසින් ගඟුල්ට සිතුණේ ද ගඟ දිය සිප ගන්නා බිම් කඩක් බවට පත්වීමට යි. අනතුරුව ඒ කලණ මිත් සංසදයේ සවන් පත් වෙත ගලා ආවේ වදන් නොව ස්නේහ ගංගාවේ ආශිර්වාදය ලත් තුරුණු හදවතක මුදු තියුණු  ස්වරය යි.

 

 ‘‘ඔබගේ ජීවිතය නම් වූ සොඳුරු           ගසේ

  පිපි මල් සුවඳ ගැන ලොව කසුකුසුව    ඇසේ

  ඔබ සුවඳක් ව නිබඳ ව හදවතෙහි       වෙසේ

  සුමිතුර ඒ සුවඳ හැර යා හැකි ද         කෙසේ

 

මම ඔබ දකිමි හද සනහන බස්      අසමි

ඔබගේ වචන තුළ රැඳි මුදු බව      දනිමි

ගංගාවක් ව ගලනා සෙනෙහස    දකිමි

මම බිම් කඩක් වී ගඟ දිය සිප    ගනිමි”

 

No comments:

Post a Comment