Wednesday, January 11, 2023

ගුරු දියවර නවකතාව - දහහත්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                          ගුරු දියවරට ප්‍රවේශයක්

මවු ගුණ නොනිමි, සිහි කර  -  පුද දෙමි මෙගුරු දියවර



          මේ වූ කලී මවිසින් ලියන ලද පළමු නවකතාව වන ගුරු දියවරෙහි 17 වැනි පරිච්ඡේදය යි. වියුණු අඩවියේ පළ වන මෙම නවකතාවේ, ඉහත සඳහන් පරිච්ඡේදය වෙන් වන්නේ නොබෝදා නික්ම ගිය සදාදරණීය අම්මාට යි. ඒ ඇයට කෙරෙන උපහාරයක් වශයෙනි. මේ ජීවිත කාලයේ දී ඇය විසින් අපට බොහෝ දේ උගන්වනු ලැබ තිබේ. වරෙක ඇය පැවසුවේ ලස්සන සහ හැඩය යනු දෙකක් මිස එකක් නොවන බව ය. තවත් වරෙක හෝකන්දර නිවහන පිහිටි වත්තේ ඇති ළිඳෙහි ජලය ටිකෙන් ටික අඩු වන ආකාරය දෙස බලා සිටි අම්මා මෙසේ පැවසුවා ය.

      “ ළිඳේ වතුර අඩුවෙනවා, වැඩිවෙනවා. ඒ වගේ තමයි ජීවිතයත් අඩු වැඩි වෙමින් ගලා යනවා.”

අම්මා විසින් මේ අයුරින් වරින් වර කරන ලද ප්‍රකාශ රාශියක් තිබේ. 1995 වර්ෂයේ දී සිදු වූ සදාදරණීය අය්යාගේ නික්ම යාමත් 2001 වර්ෂාන්තයේ සිදු වූ දයාබර තාත්තාගේ නික්ම යාමත් නිසා  ඇති වූ සදාතනික හිස්තැන් අවබෝධ කොට ගනිමින්, අපගේ ජීවිතවලට සවිය මෙන් බලය ප්‍රදානය කරමින්, අප සමග වැඩි කලක් ජීවත් වූයේ ස්නේහයේ උල්පත වූ අම්මා ය. ඇය තම මාතෘත්වයේ ගුණ සුවඳ විහිදුවාලූයේ සිය දරු දෙදෙනාට පමණක් නොවේ. අම්මාගේ අභාවයෙන් පසු මෙරට මෙන් ම දුරු රටවල ද වෙසෙන ගරුතර මහ සඟ රුවන ද ඇතුළු ව සියලු ආදරණීයයන් විසින් ඇයගේ නමින් අපමණ පින්කම් සිදු කරන ලද්දේ එහෙයිනි.

           තුනේ පන්තියේදීත් අකුරු හරිහැටි හඳුනා ගැන්මට අසමත් වූ මෙපුතුට අකුරු කියා දුන් ගුරු මව වූයේ ද  දයාබර අම්මා ය. එහෙයින් මෙගුරු දියවර පුරා ගලා යන්නේ ඇය මට කියා දුන් අකුරු සමුදාය මිස අන් කිසිවක් නොවේ. එ අකුරු එකතු කරමින් මේ ජීවිත කාලය පුරා ලිවිය යුතු ලේඛනය වශයෙන් දැන් මට දැනෙන්නේ ද මෙගුරු දියවර යි. මෙය නුදුරු අනාගතයේ දී පොතක් වශයෙන් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කිරීමට ද අපේක්ෂිත ය. මෙහි පසු ගිය කොටස් කියවනු කැමැති පාඨක සහෘදයනට වැහි වැටෙන තැන wehimandarama.blogspot.com වියුණු අඩවියෙන් ඒවා කියැවිය හැකි ය. මෙගුරු දියවර ඔබ ද කියවා තවත් අය විසින් ද කියැවීමට සලස්වනු මැනවි.

දයාලූ සොයුරු සිත්තර සමන් උල්පත කොට ගනිමින් ලියැවෙන ගුරු දියවර, ඒ උල්පත ලොවට දුන් සදාදරණීය අම්මාගේ අකලංක නාමයට පිදෙන කුසුමාඤ්ජලියක් ම වේවා !

                  

                                                                ගුරු දියවර 17

                                   මෙවර ගුරු දියවර නික්ම ගිය අම්මාට උපහාර වශයෙනි.

 

                                               අම්මා නොමැති ජීවිතයක    අඳුර      වැදී

                                               තැවි තැවි හිඳින විට හද ගැඹුරට ම     රිදී

                                               කළ යුතු මෙහෙය කරනට සවි බලය දිදී

                                               ඇයගේ ළතෙත් හඬ එයි දුර සිටක    ඇදී

 

                                              දෙන්නට මිසක් ගන්නට නොම දත්  අම්මා

                                              ගුණයට මිසක බලයට නොනැමුණු  අම්මා

                                              අකුරක් නොදත් පුතෙකුට ගුරු වූ     අම්මා

                                              සම්මා සම්බුදුන් ළඟ       නිවෙනා    අම්මා

 

                                              මගෙ - අන් කියන සීමා        ඉවතට    දම්මා

                                              කොයි පුතු දුවට වුව සෙනෙහස නැත නිම්මා

                                              හද විල් දියට පෑයූ         සඳු    බඳු       අම්මා

                                              නිවුණා දුටිමි දැක,        හිමි සම්බුදු    සම්මා

 

                                                                 මෙතෙක් කතාව

ගඟුල් සමරනායක නමැති තරුණ උපාධිධාරි ගුරුවරයා කුරුණෑගල, නාගොල්ලාගම මැදි මහා විදුහලට ගුරු පත්වීමක් ලැබ එහි සේවය පිණිස යයි. ඔහුට සේවය කරන්නට ලැබෙන්නේ අධ්‍යාපනයේ මෙන් ම ජීවිතයේ ද සදරුත් මනාසේ හඳුනාගත් විදුහල්පතිවරයකු යටතේ ය. එසේ ම පාසලේ දී විවිධාකාර ගුරු චරිත මෙන් ම ගමේ දී අනේකවිධ චරිත හඳුනා ගැන්මට ඔහුට අවකාශ සැලසෙයි. ගඟුල්ගේ ජීවිතය මත ඇද හැළෙන දැවැන්ත ආලෝක ධාරා ද්වය වන්නේ මෙරට සුකීර්තිමත් චින්තකයකු මෙන් ම සුවිශිෂ්ට අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා සහ සිය සොහොයුරා වන විපුල් සමග සෞන්දර්ය සරසවියේ එකම යුගයක උගත්, තමාගේ ජීවිතය මෙන් ම බොහෝ ජීවිත සිත්තම් කිරීමට සමත් වූ සමන් සිත්තරා ය. ගඟුල් එසිත්තරාණන් සහ සිය සොහොයුරා සමග එකට ඉගෙන ගත්, වත්මන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ම ගුරුවරයකු වශයෙන් සේවය කරන වසන්ත රත්නායක නම් ගුරුවරයාගේ මහගෙදර නැවතීමට භාග්‍යවන්ත වෙයි. මේ වූ කලී සිය ශිෂ්‍ය ජීවන සමයේ දී  විපුල් සහ සමන් නිතර ආ ගිය නිවෙසකි.

පාසලේ ඇතැම් ගුරුවරුන් විසින් දඩබ්බර ගුරුවරයකු යැයි කියනු ලබන අතුල ජයසිංහ නම් ගුරුවරයාගේ තථ්‍ය ඇතුළාන්තය හඳුනා ගන්නා ගඟුල්, ඔහු සමග මිතුදමින් බැඳෙයි. ඊට අමතර ව තෙන්නකෝන්, සුමනා බඳු වැඩිහිටි ගුරු පර්ෂදයේ ද සමරසිංහ, රේණු, නදී, මිහිදිනී යන තරුණ ගුරු පර්ෂදයේ ද ආදරය දිනා ගැන්මට සමත් වන ගඟුල්, එපරිද්දෙන් ශිෂ්‍ය ප්‍රජාවේ ද නොවක් ආදරය දිනා ගන්නා ගුරුවරයකු බවට පත් වෙයි.

මේ අතර ජීවිතය අර්ථවත් කරන සොඳුරු අරුත්බර ප්‍රකාශ පාසල් පරිශ්‍රයේ තැනින් තැන ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අදහසක් ඉදිරිපත් වෙයි. මෙහි වැඩි වගකීමක් පැවරෙන්නේ ගඟුල්ට යි. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් තෙන්නකෝන් ආචාර්යවරයාගේ නිවසේ දී පැවැත්වෙයි. එහි දී ගඟුල්ට තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන නීලා මහත්මිය ද සමන් සිත්තරාගේ සමකාලීන සරසවි මිතුරියක බව දැන ගැන්මට ලැබෙයි. ඇය ද දේශයට අහිමි ව ගිය සිය කලණ මිතුරා පිළිබඳ ව කතා කරන්නේ ඉමහත් හැඟීමකිනි. එම සාකච්ඡාවට රේණු සහ මිහිදිනී යන තරුණ ගුරු මෙණෙවියන් දෙදෙනා ද සහභාගි වන අතර එදින සන්ධ්‍යා යාමයේ ඔවුන් වෙන් ව යන්නේ ඔවුනොවුන්ගේ හෘදයංගම භාවයන් පිළිබඳ ව වැඩිදුරටත් අවබෝධ කොට ගනිමිනි.

දීර්ඝකාලීන නිහැඬියාවකින් පසු නාගොල්ලාගම පාසලේ ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට තීරණය කෙරෙයි. විදුහල්පතිවරයා, එහි නියමුවා ලෙස කටයුතු කිරීමේ වගකීම පවරන්නේ අතුල ජයසිංහ ආචාර්යවරයාට ය. වරින්වර ඒ සම්බන්ධ සාකච්ඡා වට පැවැත්වෙයි. එකී සංකථන ආචාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් අතර එතෙක් පැවැති දුරස්කම් දුරු ව මිනිස්කම් තහවුරු වීමට හේතු වෙයි.

මෙම ක්‍රීඩා උත්සවයේ දී අවධානය යොමු වන්නේ ඔවුනොවුන් අතර වෛරය වර්ධනය කිරීමට හේතු වන තරඟකාරී තත්ත්වයනට ඉඩ නොදී ස්නේහප්‍රදායී හෘදයප්‍රවර්ධන ක්‍රියාදාමයක් පවත්වා ගෙන යාම පිළිබඳ ව ය. මුල දී මේ සම්බන්ධයෙන් ගුරුවරුන් අතර විසංවාද පැවතියත් අවසන සිය ආචාර්ය මණ්ඩලය එක ම අරමුණක් පෙරදැරි කරගෙන වැඩ කරන ක්‍රියාකාරී කණ්ඩායමක් බවට පත් කොට ගැන්මට විදුහල්පතිවරයා සමත් වෙයි. මෙහි දී නාගොල්ලාගම පාසලේ ක්‍රීඩා උලෙළ පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වන පූර්වාදර්ශය වන්නේ පොළොන්නරුවේ පළුගස්දමන මහ විද්‍යාලයේ කලකට ඉහත පැවැති ක්‍රීඩා උත්සවය යි. එහි දී තත්කාලීන පාසල් නියමුවාගේ ඍජු මැදිහත් වීම මෙන් ම තත්ක්‍රියා සාධනයෙහි ලා කටයුතු කළ සමන් සිත්තරා ඇතුළු තත්කාලීන ගුරුවරුන්ගේ තදනුබද්ධ ආකල්ප ගැන ගැඹුරින් කතා කිරීමට ගඟුල් අමතක නොකරයි. මේ කටයුතු කරන අතරතුර සිය කාල සටහනට අමතර වශයෙන් ලැබෙන, ගුරුවරයකු පැමිණ නැති  කවර හෝ පන්තියක ඉගැන්වීමට ගඟුල් යන්නේ ඉමහත් සතුටකිනි. මෙසේ ලැබෙන ඉගෙනුම් ඉඩකඩ, ශිෂ්‍යයන් තුළ භාෂා ශක්‍යතා මතු නොව සෞන්දර්ය ශක්‍යතා ද ප්‍රවර්ධනය කරන අවස්ථා බවට පත් කොට ගැන්මට ඔහු ප්‍රයත්න දරයි. එපමණක් නොව මෙබඳු අවස්ථා නිසා ගඟුල්ට මේ සිසු දරු දැරියන්ගේ ජීවිත හා බැඳුණු විඳුම් හා රිදුම් ගැඹුරින් ම හඳුනා ගැන්මට අවකාශ සැලසෙයි.

ශිෂ්‍යයන්ගේ ස්වාධීන අදහස්වලට ගරු කරන ගඟුල්, හැකි හැම විට ම ඔවුන්ගේ හදවත්වලින් නිදහස් අදහස් ගලා එන තැනට පන්ති පරිසරය සකස් කරයි. ඒ ඒ දෙයට වඩාත් ගැළපෙන දක්ෂතාපූර්ණ ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන්  හඳුනා ගෙන ඔවුන් පිහිටුවිය යුත්තේ කවර තැනක ද යන අවබෝධය ඔහු ලබා ගන්නේ ඉහත කී ආකාරයෙන් කටයුතු කිරීමෙනි. එසේ ම සමන් සිත්තරා කී මෙලොව උපන් සැම කෙනෙකුට ම අයත් කාර්යයක් ඇත යන ප්‍රකාශයෙහි ඇති සත්‍යතාව ගඟුල් වඩාත් ගැඹුරින් අවබෝධ කොට ගන්නේ ද නාගොල්ලාගම පාසලේ දී ය. ඒ, සිසු දරුදැරියන් සමග මතු නොව එහි සිටින ගුරු ප්‍රජාව සමග ද කටයුතු කිරීමෙනි.

ගුරු දියවරෙහි 17 වන පරිච්ඡේදය වෙන් වන්නේ ක්‍රීඩා කමිටුවේ විශේෂ රැස්වීමක දී ඇති වන සහෘදය සංකථන ඉදිරිපත් කිරීම සඳහා ය. මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ එම පරිච්ඡේදය යි.

                                                               අද එතැන් සිට

විදුහල්පතිවරයා පාසල පැවැත්වෙන කාල සීමාවෙන් පසු මෙදින ක්‍රීඩා කමිටුවේ රැස්වීමක් කැඳවා තිබුණේ තත් සාමාජිකයන් සමග තවදුරටත් සාකච්ඡා කොට ප්‍රධාන වැඩ සුදුසු පරිදි ඔවුනොවුන් අතර බෙදා දෙනු පිණිස ය. පස්වරු එකයි තිහ වනවිට මේ සාමාජික පර්ෂදය විදුහල්පතිවරයා මෙබඳු රැස්වීම් සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන රැස්වීම් ශාලාවට පැමිණ සිටියහ. පැමිණ සිටි සියලුම දෙනාට ම පැමිණීම වෙනුවෙන් සිය ස්තුතිය සහ ප්‍රසාදය පළකළ විදුහල්පතිතුමා අනතුරුව තම කතාව ආරම්භ කෙළේ ය.

 “ අපි මේ වෙන කොට මේ ක්‍රීඩා උත්සවය පැවැත්විය යුතු ආකාරය ගැන ප්‍රධාන ශීර්ෂ කීපයක් යටතට ගොනු කරගෙන තියෙනවා. මේ තියෙන්නෙ ඒ ලේඛනය. මේක අපේ කමිටුවේ සාමාජිකයන් වන ඔබ ම තමයි හැදුවේ. දැන් අපිට අවශ්‍ය කරන්නෙ මේ එක එක ශීර්ෂෙක වගකීම අරගෙන ඒවා ක්‍රියාවන් බවට පත් කරන ක්‍රියාකාරි අනුකමිටු. අපේ ඉන්න ආචාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව එක අනුකමිටුවකට සාමාජික සාමාජිකාවන් තුන් දෙනෙක් විතර හිටියහම ඇති කියන එකයි මගෙ පෞද්ගලික හැඟීම. අපි මේ වෙන කොටත් ඒ ඒ අයට යම් යම් වගකීම් බාර දීලා තියෙනවා. ඊට වඩා ඒ කණ්ඩායම්වල වෙනසක් වෙන්න ඕනෙ කියලා හිතනවානං අපිට ඒ අනුව කටයුතු කරන්නත් පුළුවන්. මන් ඉස්සෙල්ල ම අපි කාගෙත් මතකය අලුත් වෙන්නත් එක්ක අපේ වැඩ ශීර්ෂ ගැන ආයෙත් සඳහනක් කරන්නං. මේ ලියාගෙන තියෙන අංක පිළිවෙළට ම මන් ඒවා ගැන කියන්නං.

                                 1 නිවාස තුන සම්බන්ධ කටයුතු

                                 2 ක්‍රීඩා උපකරණ සම්පාදනය

                                 3 සංග්‍රහ කටයුතු

                                 4 මූල්‍ය කටයුතු

                                 5 ප්‍රචාරණය

                                 6 ආරාධනාපත්‍ර බෙදා හැරීම

                                 7 සෞඛ්‍ය කටයුතු

මන් ඊයෙ හවස් වරුවෙත් මේ කටයුතු ගැන අපේ තෙන්නකෝන් සර්රුයි සිල්වා මැඩමුයි අතුල මහත්තයයි එක්ක කතාකළා. මේ තුන්දෙනා ම මම නොහිතපු පැතිකඩවලින් පවා මේ කාරණා ගැන අදහස් ඉදිරිපත් කළා. මේ නිවාස තුන සම්බන්ධ කටයුතු ගැන අපි අතරින් අපි කාගෙත් අවධානය යොමු නොවෙච්ච තැන් ගැන හිටන් කරුණු කිව්වෙ මේ තෙන්නකෝන් සර්. ඒක නිසා මම කැමතියි සර් ම මේ ගැන අපේ කමිටු සාමාජිකයන්ටත් අදහස් දක්වනවානං. ”

 “ බොහොම ස්තුතියි අපේ ලොකු සර්ට. ඇත්තටම මග හැරිච්ච සමහර කරුණු ගැනත් මගෙ අවධානය යොමු උනේ අපේ සමස්ත සාකච්ඡාවේ ම ප්‍රතිඵලයක් හැටියට මිස තනිකර මගෙ හපන්කමක් නිසානං නෙමෙයි කියන එක මම ඉස්සෙල්ලම කියන්න ඕනෙ. ඇත්තට ම අපි කාට උනත් නිවාස තුන කියපු ගමන් මතක් වෙන්නෙ ඒ නිවාස තුනට කණ්ඩායම් තුනක් දාලා ඒ ඒ නිවාසෙ නම ගහලා නිවාස පුළුවන් තරං උපරිම විදිහට සරසලා එකකට එකක් නොපරදින්න හදන ක්‍රියාවලියකට. මෙතෙන්දි අපි අනුගමනය කරන්න ඕනෙ ඊට වඩා වෙනස් ක්‍රියාමාර්ගයක්. අපි මුලින් කතා කරගත්තෙත් ක්‍රීඩාව එකිනෙකා පරද්දන්න කරන තරයක්ය කියන මානසිකත්වයෙන් අපේ දරුවන් මුදවන වැඩ පිළිවෙළකට යන්න. හැබැයි එහෙම කරන්නනං ඔක්කොටම ඉස්සෙල්ලා මේ තරකාරී උත්සවයක් ය කියන මෙතෙක් තමන් දැඩිව ගත්ත  මානසිකත්වයෙන් ගුරුවරුන් වන අපි මිදිලා ඉන්න ඕනෙ.”

 “සර්, සමා වෙන්න පොඩි බාධා කිරීමක්. ඔය කාරණේ ගැන මේ කමිටුවෙ මුලින් ම සාකච්ඡාවට ගත්ත වෙලාවෙ මට දැනුණෙ ඒක මොන විකාර කතාවක් ද කියලයි. ඒත් ඒ සාකච්ඡාව අවසන් උනාට පස්සෙ එතනට ආපු සමරසිංහ වන මං නෙමෙයි එතනින් පිටවෙලා ගියේ, තමන් එතෙක් දැඩිව දරපු අදහසක් වෙනස් කරගන්න කැමති වෙච්ච සමරසිංහ කෙනෙක්. හැබැයි සර් මම එහෙම තැනකට ආවෙ ඔබතුමාලගෙන් ම ගොඩක් දේවල් ගැන දැනුවත් උනාට පස්සෙයි. මම ඔය ගැන අපේ ගුරු විවේකාගාරෙ දි කතාකළහම ඔය අදහසට පක්ෂ ව නෙමෙයි විපක්ෂ ව යි ගොඩක් දෙනා කතා කළේ.

මට තියෙන ප්‍රශ්නය තමයි සර්, අපේ ම ගුරුවරුන් වැඩිදෙනා අතරත් තියෙන අදහස ඕකනං ඔය අදහසම වෙන්න බැරි ද දෙමව්පියන් වැඩිදෙනෙක්ගෙත් අදහස. එතකොට ළමයින්ගෙන් වැඩි දෙනෙකුත් ඒකට සමාන අදහසක් දරන්න තියෙන ඉඩ වැඩියි නේද? මොකද ක්‍රීඩා උත්සවයක් කියන්නෙම 1 2 3 ගන්න තර ගොඩක් තියෙන උත්සවයක් ය කියන එක මේ වෙන කොට සමාජෙ තහවුරු වෙලා ඉවර නිසා. ”

 “ ඔයා මතු කළේ සමරසිංහ සර් වැදගත් දෙයක්. ඒ වගෙම ඔයා පෙන්නලා දුන්නෙ අපිට අනිවාර්යෙන් ම මුහුණ දෙන්න වෙන අපි විසඳගන්න ඕන ගැටලුවක්. මම ඉස්කෝල ගණනාවක වැඩ කරපු ගුරුවරයෙක්. ඒ හැම ඉස්කෝලෙකම තිබුණෙ ශිෂ්‍ය දක්ෂතා ඇගයීමකට වඩා ශිෂ්‍යයන් තමන් එක්ක එකට ඉගෙන ගන්න ශිෂ්‍යයන් පරද්දලා ජයග්‍රහණය ලබන්න ඕනෙයි කියන එක හරියි කියන අදහස සහ ඒකට පොළොඹවන වාතාවරණයක්. මේ ඉස්කෝලෙ කලින් තිබුණෙත් ඒ ජාතියෙ ක්‍රීඩා උත්සවයක්. ඒක හිටපු විදුහල්පතිතුමාගෙවත් ආචාර්යවරුන්ගෙවත් වරදක් කියලා කියන්න බැහැ. මොකද අපි පුරුදු වෙලා හිටියෙත් ක්‍රීඩා උත්සවයක් කියන්නෙම මහ තරඟකාරි වැඩක් ය කියන මානසිකත්වයට යටවෙලා හිතන්න නිසා. ඒත් එහෙම හිතන්නැති මනුස්සයෙක් අපට නායකත්වය දෙන කොට, අවදානම තමන්ගෙ අතට අරගෙන වැඩ කරන්න නිදහස දෙන කොට අපිටත් හිතෙන්නෙ වැඩ කරන්න ම තමයි.”

 “ තෙන්නකෝන් සර් කියන කතාව ඇත්ත. මගෙ ශිෂ්‍ය කාලය ගැන සිහි කරද්දි, ඒ කාලවල කෙරිච්ච ක්‍රීඩා උත්සවවලින් පස්සෙ ගත වෙච්ච දවස් ගැන හිතද්දි, මට හිතෙන්නෙත් තරඟකාරි තත්ත්වයෙන් මිදිලා අපට වැඩ කරන්න පුළුවන් නං කොච්චර හොඳ ද කියන එක. හැම ක්‍රීඩා උත්සවයකින් ම පස්සෙ අපි වැඩිපුර දැක්කෙ පළුදු වෙච්ච ඒ වගෙම රිදිච්ච හිත්. ඒක මට තේරෙනවා සර්. ඒත් අපේ ම යාළුවො අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා තරඟ නැත්තං කොහොම ද ඒක ක්‍රීඩා උත්සවයක් වෙන්නෙ කියලා. මේක සර් අපේ ඉස්කෝලෙ විතරක් සමහර ගුරුවරුන්ට ආපු ප්‍රශ්නයක් නෙමෙයි, වෙනත් ඉස්කෝලවල උගන්නන අපේම සමහර යාළුවො අහන ප්‍රශ්නයක්. ඒ ඇතැම් දෙනාට අපේ ලොකු සර්වත් ප්‍රශ්නයක්. වෙන ඉස්කෝලෙක වැඩ කරන මගෙ යාළුවෙක් කිව්වා තරඟයෙන් තොරව අපි කොහොම ද ජවසම්පන්න මිනිස්සු බිහි කරන්නෙ කියලා. ලොකු සර් මට සමා වෙන්න ඕනෙ. ඒ යාළුවගෙ වචනවලින් ම කිව්වොත් එයා කිව්වෙ උඹලගෙ ලොක්කට ඔය සරල කාරණේ තේරුම් ගන්න බැරි ද කියලා. මට තරහ ගිය තරමට යාළුකම පැත්තක තියලා මිනිහට බණින්න තමයි මුලින් හිතුණෙ. පස්සෙ මට හිතුණා එහෙම බණින එක ලොකු සර් නං කොහොමටවත් අනුමත කරන එකක් නැහැ කියලා.”

 “ඔයා වැඩ කරලා තියෙන විදිහ තමයි හරි. කේන්ති අරන් බැන්නනං වෙන්නෙ අපි ගැන විතරක් නෙමෙයි, මේ මුළු ක්‍රීඩා උත්සවය ගැන ම තරහක් ඇති කරගන්න එක. අපට අවශ්‍ය කරන්නෙ මනුස්ස හිත්වල මොකක් හරි අවබෝධයක් ඇති වෙන විදිහට වැඩ කරන එක මිසක් ඒකට පටහැණි විදිහෙ වැඩ කරන එක නෙමෙයි. ඒ විතරක් නෙමෙයි සමරසිංහ සර්, ඔයාගෙ යාළුවගෙ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට කියනවනං ඇත්ත ජවසම්පන්න මිනිස්සු බිහි කරන්න පුළුවන් වෙන්නෙ තරඟ කිරීමෙන් නෙමෙයි අගය කිරීමෙන්. ක්‍රීඩා කරන නොකරන මේ හැම දරුවෙකුට ම වටිනාකමක් තියෙනවා. අපි ගුරුවරුන් හැටියට කරන්න ඕනෙ ඒ වටිනාකම් මතු කරන එක. මේ ක්‍රීඩා උත්සවයෙ දර්ශනය වෙන්න ඕනෙ ඒකයි කියන එකයි මගෙ හැඟීම. අපේ සමරසිංහ සර් මගෙ හිත රිදෙයි කියලා මෙතන නොකියපු තව දේවලුත් තියෙනවා. අර ගුරුවරයා එක්ක ඔහොම වැඩ කළාට වෙන ඉස්කෝලෙක එක ගුරුවරයෙක් උඹලගෙ ලොක්කට පිස්සු ද බන් කියලා අහපු බවත් ඒකට කේන්ති ගිහින් මේ සමරසිංහ  මහත්තයා ඒ ගුරුවරයට බැනපු බවත් මම දන්නවා. ඕවට කේන්ති ගන්න එපා සමරෙ. ඒ දෙන්නට ම අපේ ක්‍රීඩා උත්සවේ බලන්න එන්න කියලා ඔයාම ආරාධනා පත්‍ර දෙකක් ගිහින් දෙන්න. කේන්තියෙන් නෙමෙයි බොහොම ආදරයෙන් ම ඒක ගිහින් දෙන්න. සමහර විට අපේ ක්‍රීඩා උත්සවේ බැලුවට පස්සෙ, ඒ සර්ලගෙ ආකල්ප තරමක් දුරට හරි වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.”

 “ ලොකු සර් අපි මේ කරන්න හදන්නෙ උඩුගං බලා යනවා වගේ වැඩක්නෙ.”

 “ ඉතිං හොඳයිනෙ සමරෙ. උඩුගං බලා ගිය චරිතයක් නේද මේ ලෝක ශිෂ්ටාචාරය උඩු යටිකුරු කළේ. සිද්ධාර්ථ කියන කුමාරයට තමන්ගෙ තරුණ වයසෙදි එහෙම හිතිච්ච නිසා නේද අපට ලෝකයට බුදුවරයෙක් හිමි උනේ. කවුරු මොනවා කිව්වත් බය නැතුව නිවැරදියි කියලා අපිට ම දැනෙන විදිහට අපි වැඩ කරමු. මේක සමරෙ අපි අනාදරයෙ තරඟකාරී උත්සවයක් නෙමෙයි ආදරයේ ක්‍රීඩා උත්සවයක් බවට පත් කරමු. මේකට තනි නියමුවෙක් නැහැ. අපි සියලු ම දෙනා නියමුවො. අපි ඒ හැඟීමෙන් ම දිගට ම වැඩ කරමු. කිසිම සැකයක් නැහැ මේ වැඩේ සාර්ථක වෙනවා කියන විශ්වාසෙ තමයි මට තියෙන්නෙ.”

 “ ලොකු සර් මේ ක්‍රීඩා උත්සවයෙදි ක්‍රීඩා කරන නොකරන හැම දරුවෙකුට ම වටිනාකමක් තියෙනවා කියපු එක මගෙ හිතටත් තදින් ම දැනුණා. ඒ වගෙම ඒක ඇහැව්වහම පොළොන්නරුව පළුගස්දමන ඉස්කෝලෙ වෙච්ච සිදුවීමකුත් මතක් උනා. මන් කැමතියි ඒ අද්දැකීම අපේ කණ්ඩායමත් එක්ක බෙදා ගන්න.”

 “ කියන්න ගඟුල්, සමහර විට ඔය කතාව උනත් අපේ වැඩේට තවත් ආලෝක දර්ශකයක් වෙන්න පුළුවන්.”

 “ අර මම දවසක් කිව්වෙ ඒ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවේ ගැන. අපේ සමන් අය්යා ඒ ඉස්කෝලෙ උගන්නන කාලෙ, ඒ නිවාස සරසද්දි පොලිතීන් පාවිච්චි කරන්න ඉඩක් දුන්නෙම නැහැ. පුවක් ගස් උණ ගස් කපලා කොළ අතු කඩලා පරිසරයට හානි කරන්නෙ නැහැ කියන ප්‍රතිපත්තිමය තීරණේ ඒ ගොල්ලො අරන් තිබුණා. ඒ ලොකු සර් මේ ඉස්කෝලෙ චිත්‍ර ගුරුවරයා කියන විදිහටනෙ වැඩ කරන්නෙ කියලා සමහර ගුරුවරු කියලත් තිබුණා. ඒත් වැඩි දෙනෙක් මේක වෙනස් වැඩක් පරිසර හිතකාමී වැඩක් කියන තැන ඉඳලා මේකට උදව් කරලත් තිබුණා.”

 “ගඟුල් ඔයා පුතා ඔහොම කියන කොට මට මතක් උනේ අපේ ආදිවාසි නායක වන්නිලැ ඇත්තො කරපු කතාවක්. අර අපේ ලොකු සර් කියන විදිහට මේකත් අපේ වැඩේට ආලෝක දර්ශකයක් කරගන්න පුළුවන් එකක්.”

 “ මොකක් ද සුමනා මැඩම් ඒ කතාව. අපි ඒකත් අහලම පළුගස්දමන ඉස්කෝලෙ සිද්ධිය ගැන කතා කරමු.”

 “ මේකයි ලොකු සර් ඒ කතාව. පරිසර සංවිධානයක් පරිසරය සුරකීමේ ලොකු වැඩ සටහනක් ක්‍රියාත්මක කරලා ඒකෙ ප්‍රධාන දේශනය කරන්න ආරාධනය කරලා තියෙන්නෙ වන්නිලැ ඇත්තන්ට. එතුමා ඒ කටයුත්ත හොඳට නිරීක්ෂණය කරලා එහෙම ඉවර වෙලා කතාව කරන්න පටන් ගත්තලු. මුලින් ම අපි ජීවත් වෙන පරිසරය අපිම තමයි රැකගන්න ඕනෙ කියන අදහස තිබීම අගය කළාලු. ඊට පස්සෙ අත දික් කළාලු පරිසරය සුරකිමු කියලා ලොකු අකුරින් ගහලා තිබිච්ච බෝඩ් එකට. ඒක ගහලා තිබිලා තියෙන්නෙ ලොකු පොලිතීන් එකක. ඊට පස්සෙ එතුමා කතා කරලා තියෙන්නෙ පොලිතීන් නිසා පරිසරයට වෙන විනාශෙ ගැන. අපේ මුළු රටේ ම ගොඩක් වැඩ සිද්ධ වෙන විදිහට ම නේ ද මේ පරිසරය සුරැකීමේ වැඩෙත් සිද්ධ වෙන්නෙ කියලා එතුමා ප්‍රශ්න කළාලු. ඊට පස්සෙ කතා කරලා තියෙන්නෙ අපේ ජීවිතේ තියෙන පරස්පර විරෝධිකම ගැන. අපි ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නෙ එක දෙයක් කතා කරලා ඊට සපුරා වෙනස් දෙයක් කරන්න යි කියන කාරණේ එතුමා උදාහරණ දිදී පැහැදිලි කළාලු. ”

 “ ඒක මහ දාර්ශනික කතාවක්නෙ සුමනා. ඔයා ඔහොම කිව්වහම මට මතක් උනේ ක්‍රිෂ්ණමූර්තිතුමා 1980 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ලංකාවට ආපු වෙලේ මට මතක හැටියට ජෝන් ද සිල්වා එකේ දේශනයක් කළා. ඒ දේශනය ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානයෙන් පස්සෙ කාලෙක ගහපු Sri Lanka Talks 1980 කියන පොතේ තිබිලා මට කියවන්න ලැබුණා. එතුමාට දැනුණොත් මන් මේ කියන වචනෙ තවදුරටත් පැහැදිලි කළොත් හොඳයි කියලා, ඒක කරලා තමයි ඊළඟ අදහස කියන්නෙ. එදා එතුමා පාවිච්චි කරලා තිබුණා contradiction  කියන වචනෙ. එතුමාට අවශ්‍ය වෙලා තිබුණා ඒ වචනයේ තියෙන අර්ථය අපේ ගොඩක් දෙනාගෙ ජීවිතවල ක්‍රියාවක් වෙලා තියෙන නිසා ඒක තවත් විස්තර කරන්න. ඊට පස්සෙ එතුමා කියනවා ඔබ වචනයෙන් යම් දෙයක් කියලා ක්‍රියාවෙන් ඊට සපුරා වෙනස් දෙයක් කරනවනං ඒකට තමයි පරස්පරවිරෝධිභාවය කියන්නෙ කියලා. එතුමාගෙම වචනවලින් කිව්වොත් ඒ ප්‍රකාශය මෙහෙම යි.

'You are telling something, but you are doing another thing. That is contradiction.'

 “ ඉතින් අපේ වන්නිලැ ඇත්තො කියලා තියෙන්නෙත් ඒ දේමනෙ ලොකු සර්. එතුමත් ඔය වගෙ ලස්සන තේරුමක් තියෙන දේවල් කියලා තියෙන්නෙ එකක් දෙකක් නෙමෙයි. සැරයක් ලෝක දේශගුණික විපර්යාස ගැන ලංකාවෙ තිබිච්ච ජාත්‍යන්තර සම්මේලනයක මුඛ්‍ය දේශනය කරන්න ආරාධනය ලබන්නෙ වන්නිලැ ඇත්තො. එතුමා එදා කතා කරලා තියෙන්නෙ මේ දේශගුණික වෙනස්කම් ඇතිවෙන්න බලපාපු මානව ක්‍රියාකාරකම් ගැන. විවිධ රටවලින්  මේ සම්මේලනයට උගත්තු ඇවිල්ලා තියෙනවා. වැදිනායකතුමා වැදි භාෂාවෙන් කරන දේශනය ඒ වෙලාවෙම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා අහන්න පුළුවන් වැඩ පිළිවෙළක් එතන යොදලා තියෙනවා. එදා ඒ දේශනය අවසන් කරපු වෙලාවෙ එතන හිටපු විදේශිකයො තමන් ඉඳන් හිටපු ආසනවලින් නැගිටලා එකදිගට අප්පුඩි ගහන්න පටන් අරන් තියෙනවා. මාත් එතන හිටියනං මන් කරන්නෙත් ඒකම තමයි. ඒක ඒ තරමට දැනෙන කතාවක් සර්.

 “ ගඟුල් ළඟ තියෙනවනං ඒ කතාව දෙන්න අපටත්. මේ වැඩේටත් ඒක වැදගත් කියලයි මට හිතෙන්නෙ.”

 “ ඔව් සුමනා මැඩම්, මන් ගාව තියෙනවා ඒ කතාව. අපේ විශ්වවිද්‍යාලෙ කළමනාකරණ පීඨෙ ඉගෙන ගත්ත අපට සීනියර් අය්යා කෙනෙක් ඉන්නවා තරිඳු වීරසිංහ කියලා. එයා දැන් කැලණිය විශ්වවිද්‍යාලෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. එයාට ලස්සන දෙයක් හම්බ උනොත් ඒ අය්යා ඒකෙන් පිටපතක් අපිට එවනවා. අපිට ඒ වගෙ දෙයක් හම්බ උනොත් ඒක අපි එයාට ලැබෙන්න සලස්වනවා. මට ඒ කතාවෙ වැඩියෙන් ම දැනිච්ච තැන තමයි ඒකෙ අවසානෙ.”

 “ ඉතින් කියන්නකො මල්ලි, ඔයාට ඒ වැඩියෙන් ම දැනිච්ච තැන. ඔයා ඉතින් ඔය වගෙ දේවල් පොතේ වගෙම හිතෙත් ලියා ගන්න කෙනානෙ.”

 “ ඒ වගෙ දේවල් අමුතුවෙන් ලියන්න ඕනෙ නෑ නදී අක්කෙ, හිතේ ලියැවෙනවා. වන්නිලැ ඇත්තො එදා ඒ කතාව අවසාන කරලා තිබුණෙ මෙන්න මේ විදිහට.”

 “  මේ මහ පොළොවේ කොතැනක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් පැළයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්ගේ යහළුවෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළට, මල්වලට, ඇළට, දොළට, වැවට, විලට, ගඟට විතරක් නෙමෙයි උණුහුමට, හීතලට පවා ආදරය කරන්න, ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ”

 “ කියලා වැඩක් නෑ මල්ලි මාරයි ඈ. උඹ මාර දේවල්නෙ මල්ලි මෙතන ගෙනල්ලා අත අරින්නෙ. ලියලා දීපන් ඕකත් ඉස්කෝලෙ ගහන ප්‍රකාශයක් හැටියට. ලොකු සර්, ඔන්න මන් තමයි ඒක ගැළපෙන තැන හොයලා ගහන්නෙ.”

 “ හරි හරි අතුල, ඔයාට ඒ වැඩේට අපේ පූර්ණ අනුමැතිය ලැබෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා නිවැරදි කරන්න.”

 “ මොකක් ද ලොකු සර් මගෙන් මෙතෙන්දි මොකුත් වැරදි වචනයක්වත් කියවුණා ද?”

 “ ඔයාට විතරක් නෙමෙයි සමහරක් වෙලාවට අපි ගොඩක් දෙනාට වෙන වැරැද්දක් ඒක. අපි පුරුදු වෙලා ඉන්නෙ ලස්සන හරි, පුදුම හිතෙන දෙයක් හරි දැක්කහම මාරයිනෙ කියන්න. නමුත් ගොඩක් වෙලාවට ඒක මාරයට අයිති කරන්න ඕන දෙයක් නෙමෙයි, බුද්ධ- ප්‍රබුද්ධ පක්ෂයට අයිති දෙයක්. අර වන්නිලැ ඇත්තන්ගෙ ප්‍රකාශයත් ප්‍රබුද්ධ එකක් නිසා අපි කියන්න ඕනෙ මාරයි කියලා නෙමෙයි ප්‍රබුද්ධයි කියලා.”

 “ හරි ලොකු සර් ඔන්න අද මන් සර්ගෙන් තවත් දෙයක් ඉගෙන ගත්තා. මීට පස්සෙ එහෙම හොඳ දෙයක් දැක්කහම හරි, කියෙව්වහම හරි මන් කියන්නෙ ඒක හරි ප්‍රබුද්ධ යි කියලා. හැබැයි සර්, මීට පස්සෙ මට නරකයි කියලා හිතෙන දෙයක් දැක්කහම හරි, සවුත්තු සින්දුවක්  ඇහැව්වහම හරි මන් කියන්නෙ ඒක හරි මාරයි කියලා.”

 “ ඔව් අතුල එතකොට එහෙම තමයි කියන්න ඕනෙ.”

 “ ඒ උනාට ලොකු සර් ඔතන ප්‍රශ්නයක් තියෙනවනෙ. මොකද වෙලාවකට අපේ මේ අතුල මහත්තයා ප්‍රබුද්ධයි කියලා හිතාගෙන ඉන්නෙ මාර දේවල්නෙ.”

 “ මොකක් !  එහෙනං රේණු කියපන් බලන්න, අපේ ලොකු සර් අපේ වැඩිහිටි සර්ලා මැඩම්ලා ඉන්න තැනම මන් ප්‍රබුද්ධ යි කියලා හිතන් ඉන්න එක මාර දෙයක්.

 “ අපෝ ඒවනං අනන්තයි, අප්‍රමාණයි ඒක නිසා ඒවා කියලා ඉවරයක් කරන්න බැහැ. ඒක නිසා මම ඕකෙ අනිත් පැත්ත කරන්නං, ඒ කිව්වෙ අපේ මේ අතුල ප්‍රබුද්ධයි කියලා හිතාගෙන ඉන්න ඇත්තට ම ප්‍රබුද්ධ දෙයක් ගැන කියන්නං.”

 “ පුදුමයි රේණු, උඹට මගෙ එක ප්‍රබුද්ධ දෙයක් හරි පෙනුණා. ඉතින් කියපන්කො ඒක.”

 “ ඒක ඉතින් මට විතරක් නෙමෙයි ගොඩක් දෙනාට පෙනිච්ව දෙයක්. ඒක කියනව ද එහෙම නැත්තං කියන්නැතුව ඉන්නව ද?...... එක්කො ඒක කියන්න බැරිකමකුත් නෑ  එක්කො මන් මෙහෙම කරන්නංඒ ගැන කියන්නැතුව ඇහෙන් පෙන්නන්නං.”

මෙසේ කියා රේණු ඇසෙන් ඉඟි කොට දැක්වූයේ නදී ආචාර්යවරිය යි.

නදීගේ වත විලියෙන් රත් පැහැ ගනිද්දී කතාවට ප්‍රවිෂ්ට වූයේ විදුහල්පතිවරයා ය.

 “ නදීට ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඒක අපි කවුරුත් පිළිගන්න ඇත්තක්නෙ. එතන පොඩි සංශෝධනයක් විතරයි කරන්න තියෙන්නේ. දෙයක් කියපු තැනට කෙනෙක් කියන වචනෙ දාන්න විතරයි අපට තියෙන්නෙ.”

සිනාසෙමින් මේ වචන කී ඔහු අනතුරුව ප්‍රධාන සාකච්ඡාවට මෙසේ අවතීර්ණ වූයේ ය.

 “ හොඳයි හොඳයි පුළුවන් උපරිමෙන් ම අපි ඔක්කොම එකතු වෙලා මේ කතා කරන දේවල් ක්‍රියාවක් කරමු. මන් දන්නවා මේ කාරණේදි ඔයගොල්ල ඔක්කොම මාත් එක්ක එකට හිට ගන්නවා කියන එක. සල්ලිවත් වෙන වෙන පහසුකංවත් නෙමෙයි, ඒ එකතුව ඒ සමගිය  තමයි අපිට තියෙන ලොකුම ශක්තිය. දැන් අපේ මේ ගඟුල් කියන්න ගිය පළුගස්දමන ඉස්කෝලෙ සිද්ධියත් කිව්වොත් හොඳයි. ඒකෙත්  අපේ වැඩේට එළියක් වෙන දේවල් ඇති ගන්න. දැන් කියමු ද ගඟුල් ඒ සිදුවීම.”

 “ ඔව් ලොකු සර්, මේ සාකච්ඡාවලදි මතු වෙන දේවල් අපි කාටත් වැදගත්. අර ඉස්කෝලෙ සර්, ඔක්කොම සැරසිලි කරලා තිබුණෙ පරිසර හිතකාමි විදිහට. සැරසිලිවලට නිරපරාදෙ ගහක කොළයක්වත් කඩන්න එපා කියන තැන තමයි ඒ ගොල්ලො හිටියෙ. දවසක ලොකු පන්තියක ළමයි ඉස්කෝලෙ වත්තෙ පැත්තක තිබිච්ච පරණ කොටන් වගයක් උස්සගෙන ඇවිත් තිබුණා වේදිකාවක් හදන්න. ඒ අතර එක ශිෂ්‍යයෙක් ඔය වැඩේ මට නං අමාරුයි කිව්වහම අනිත් ශිෂ්‍යයො කියලා තිබුණා තමුසෙට විතරක් නෙමෙයි මේ බර උස්සන කොට අපිටත් අමාරුයි සෝබන නැතුව එනවා ඉතිරි කොටන් අදින්න යන්න කියලා. එතකොට අර ශිෂ්‍යයා කියලා තිබුණා, ඇයි ඔයගොල්ලන්ට අමතක උනා ද මම ඉන්නෙ ක්‍රීඩා උත්සවේ නිවේදන කරන්න බව කියන එක. එතකොට එතන හිටපු ශක්තිමත් ඒ වගෙම තරමක් තරබාරු ශිෂ්‍යයෙක් කියලා තිබුණා අපි කොටන් අදින්න උඹ පෙරහැරේ යන්න, එහෙනං ඒක ද උඹේ තියරිය කියලත් කියලා තිබුණා. කොහොම හරි කතාව ටිකක් දිග්ගැස්සිලා අපේ සමන් අය්යා ළඟටත් මේ ප්‍රශ්නෙ ගිහින් තිබුණා.”

 “ ඉතින් ගඟුල් මල්ලි, ඒ කතාව හරිනෙ. කට්ටියක් වැඩ කරන්නයි තව එකෙක් ලකුණු දාගන්නයි. ඔය ප්‍රශ්නෙ ආවෙ මන් ගාවට නං මන් ඒ වෙලේම අර වැඩ නොකරන කොල්ලව දානවා කොටන් අදින්න.”

 “ ඒ අතුල අය්යෙ, ඔයගොල්ල අපි හිතන විදිහනෙ. ඒත් සමන් අය්යා ඒ ප්‍රශ්නෙ දිහා බලලා තිබුණෙ අපි හිතනවට වඩා වෙනස් විදිහට. අර කොටන් උස්සන් ආපු ශිෂ්‍යයො කියන්නෙ තමන්ගෙ අම්ම තාත්තා එක්ක කුඹුරු වැඩ හේන් වැඩවලට බහින ඒ වැඩ හොඳට ම පුරුදු ළමයි. මේ ළමයට ඒ පරිචය නැහැ. සමන් අය්යා අර කණ්ඩායමේ නායකයා විදිහට වැඩ කරපු ළමයත් එක්ක කතා කරලා කියලා තිබුණෙ කල්‍යාණ, ඔයගොල්ලන්ගෙ ශක්තිය ධාරිතාව එකක් මෙයාගෙ හැකියාව තව එකක් කියලයි. ඔයගොල්ල කරන වැඩේ මෙයාට බාර දුන්නනං ඔය වැඩේ සිද්ධ වෙන්නෙ නැහැ. ඒ වගෙම නිවේදන කටයුතු කරන්න ඉදිරිපත් වෙන්න කියපුවහම ඒකට ඉදිරිපත් වෙලා තේරුණේ මේ සිසිරයි ගංගයි. ඔයගොල්ල කිසි කෙනෙක් ඒකට ඉදිරිපත් උනෙත් නැහැ. ඒ වෙලේ අර කල්‍යාණ කියන ශිෂ්‍යයා කිව්වලු අපිට සර් ඒ වැඩ හරියන්නෙ නැහැ ඒක පුළුවන් ඒ ගොල්ලන්ට තමයි ඒකට අපේ විරෝධයක් නැහැ. අපිට කේන්ති ගියේ ඇයි ඔයගොල්ලන්ට අමතක උනා ද මම ඉන්නෙ ක්‍රීඩා උත්සවේ නිවේදන කරන්න කියන එක කියපු තාලෙට කියලා. ඒ වෙලේ සමන් අය්යා කියලා තියෙනවා මම දැන් සිසිරටත් කතා කරනවා කියලා ඒ ශිෂ්‍යයත් ගෙන්නලා තියෙනවා. එයාට කියලා තියෙන්නෙ මෙන්න මේ ටිකයි.

සිසිර වේදිකාවට නැග්ගට පස්සෙ කිසි මොහොතක අමතක කරන්න එපා තමන් කතා කරන වේදිකාව හදලා දුන්නෙ තමන්ගෙ සහෝදර ශිෂ්‍යයො බව. ඒ වගෙම ඔයා අමතක කරන්න එපා ඒ වේදිකා නිර්මාණය පිටිපස්සෙ තියෙන්නෙ තමන්ගෙ සහෝදර ශිෂ්‍යයන්ගෙ දහදිය බව. ඒ දහදියට ගරු කරන්න පුරුදු උනොත් ඔයාට ඔය ක්ෂේත්‍රයෙම දුර ගමනක් යන්න පුළුවන් වේවි.”    

 “ ඉතින් මල්ලි මේ දෙගොල්ල සමනය කරන්න පුළුවන් උනා ද සමන් අය්යට.”

 “ ඒ ප්‍රශ්නය විසඳුවා විතරක් නෙමෙයි අතුල අය්යෙ, ඇතිවෙන්න ගිය ගැටුමේ ප්‍රධාන චරිත දෙක තමන් කවුද විය යුත්තෙ කවුද කියන අවබෝධයත් ලැබෙන විදිහෙ පරිසරයක් හදන්න සමන් අය්යට පුළුවන් උනා. කල්‍යාණ අද පොළොන්නරුව දිස්ත්‍රික්කෙ ම ඉස්කෝලෙක උගන්නන දක්ෂ ගුරුවරයෙක්. සිසිර ප්‍රසිද්ධ නිවේදකයෙක් උනා. ඒ දෙන්න අදටත් හොඳ යාළුවො. ඒ විතරක් නෙමෙයි සර්, ඒ නිවේදන කරන්න වේදිකාවට නැගපු පළවෙනි මොහොතෙ සිසිර මුලින් ම කියලා තියෙන්නෙ තමන් මේ ලස්සනට ඇඳ පැලඳගෙන ඇවිල්ලා කතා කරන්නෙ මගෙ යාළුවො දිවා රෑ දෙකේ මහන්සි වෙලා හදපු ඒ ගොල්ලන්ගෙ දහදිය සුවඳ තැවරුණු වේදිකාව මත ඉඳන් ය කියන කාරණය.”

 “ ඒවා හරි ලස්සන දේවල් ගඟුල්. හොඳ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොම ද කියන කාරණය තමන්ගෙ චර්යාවෙන් ම පෙන්නලා දීලා ලෝකයෙන් බැහැර වෙනවා. ජීවත් ව හිටියනං ඉන්න තැනකට හොයාගෙන ගිහින් අපේ මේ ක්‍රීඩා උත්සවේටත් අපිට උපදෙස් දෙන්න කියලා ඔයාගෙ මේ සමන් අය්යව අරගෙන එනවා. එයා නැති උනත් එයා කියපු කරපු ඒ හැම දෙයක් ම අපිටත් වැදගත්නෙ බැලුවහම.”

 “ ලොකු සර්, සමාජෙ දක්ෂ මිනිස්සුන්ගෙ අඩුවක් නැහැ. අඩුව තියෙන්නෙ ඒ දක්ෂයන් අදාළ තැනට යොදවන හොඳ යෝජකයගේ භූමිකාව. අපේ සංස්කෘත සර් දවසක් අපට ඔය අදහස තියෙන සංස්කෘත ශ්ලෝකයක් ඉගැන්නුවා. ඒකෙ කියැවෙන්නෙ මන්ත්‍රයකට නොගන්න අකුරක් නැහැ. ඒ වගෙම බෙහෙතකට නොගන්න මුලක් නැහැ. ඒ විතරක් නෙමෙයි නුසුදුසු මිනිස්සු කියලා ජාතියකුත් නැහැ. දුර්ලභ වෙන්නෙ ඒ අයව සුදුසු තැන යොදවන යෝජකයා කියලා.”

 “ ඒක හරිම වැදගත් ප්‍රකාශයක්නෙ ගඟුල්. අපි කැමතියි ඔයාට මතක තියෙනවනං ඒ ශ්ලෝකෙත් කියනවනං.”

 “ මන් මේ ලොකු සර් මෙතන තියාගෙන මූණ ඉච්ඡාවට කියනවා නෙමෙයි සර්, සර් කරන්නෙත් මේ දුර්ලභ යෝජකයගෙ මෙහෙවර. සර් ක්‍රීඩා කමිටුවෙ නායකත්වය මට බාර දීලා සංග්‍රහ කමිටුවට අපේ සිල්වා මැඩම් වෙනුවට රේණු මිස් දැම්මනං වැඩේ කොහොම හිටියි ද?”

 “ ඔව් මාව දැම්මත් සිල්වා මැඩම් තරමටම නොවුණත් හොඳට හිටිනවා. හැබැයි ලොකු සර් බැරි වෙලා හරි සර්, අතුල සර් වෙනුවට මෙයාව දැම්මනං ක්‍රීඩා කමිටුවෙ නායකයා කරලා අපේ ළමයි ක්‍රීඩා කරනවා වෙනුවට කවි කිය කිය සින්දු කෑලි කිය කිය සාහිත්‍ය ප්‍රකාශ උලුප්ප උලුප්ප පිට්ටනිය පුරා ඇවිද ඇවිද ඉඳීවි.”

මෙතෙක් නිහඬ ව සිටි රේණු කතාවට මැදිහත් වූයේ ගඟුල් දෙසට අත දිගු කොට යථෝක්ත ප්‍රකාශය ද කරමිනි.

 “ කෝ තවම ගඟුල් අර ශ්ලෝකෙ කිව්වෙ නැහැනෙ.”

 “ කොහෙද තෙන්නකෝන් සර්, මේ නපුරු මිස් අපේ අවධානය වෙන වෙන පැතිවලට යොමු කරනවනෙ. හොඳයි දැන් මන් කියන්නංකො ඒක.

අමන්ත්‍රමක්ෂරං නාස්ති - නාස්තිමූලමනෞෂධම්

අයෝග්‍ය: පුරුෂෝ නාස්ති - යෝජක: තත්‍ර දුර්ලභ:

 “ හොඳයි ගඟුල්, කලින් කතා කරගත්ත විදිහට එතකොට අපිත් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා සැරසිලිවලට ඉස්කෝලෙ වත්තෙ හරි මේ ගමේ වෙනත් වත්තක හරි ගස් කොළන් කපන්නෙ නැහැ කියන එක. දෙවෙනි කාරණේ අපෙත් කිසිම විදිහකින් පොලිතීන් පාවිච්චියක් වෙන්නෙ නැහැ. තුන්වෙනි කාරණේ තමයි අපි සැරසිලි කරනවා. ඒත් ඒවා කරන්නෙ අර පළුගස්දමන ඉස්කෝලෙ කළා වගෙ පරණ කොටන්, පරණ රෙදි වගෙ සාමාන්‍යයෙන් අපතෙ යන දේවල් අරගෙන. අනෙක් වැදගත් කාරණේ තමයි මේ නිවාස හදද්දි හැම නිවාසෙකම දරුවො ඒ වැඩවල කොටසක් වෙනවා. ඒ වගෙම හැම නිවාසෙකම ගුරුවරු ඒ වැඩේට එක වගේ උදව් වෙනවා.”

 “ හැබැයි ලොකු සර් මේක සාමාන්‍යයෙන් සමාජයට පුරුදු විදිහ නොවන නිසා අනික් ඉස්කෝලවල ගොඩක් දෙනත් මේ වැඩේ දිහා වපර ඇහෙන් බලන්නත් පුළුවන්. මේකට හිනාවෙන්නත් පුළුවන්.”

 “ ඔව් සමරසිංහ සර් කියන විදිහටත් වැඩ සිද්ධ වෙන්න පුළුවන්. ඒ උනාට සමරෙ අපි මෙතෙන්දි හිතන්න ඕනෙ අනික් අය මේවා දිහා වපර ඇහෙන් බලන එකවත් අපට හිනාවෙන එකවත් ගැන නෙමෙයි මේ කටයුත්ත කොයි තරං දුරට නිවැරදි ද කියන එක.”

 “ ඒක හරි ලොකු සර්, ඕන කෙනෙක් ඕනෙ දෙයක් කියපුවාවෙ. අපි සමගිපන්න එකම පවුලක උදවිය වගේ අපි විශ්වාස කරන ඇත්ත වෙනුවෙන් එකට වැඩ කරමු. අපට ලැබෙන කීර්තිය වේවා ප්‍රශංසාව වේවා එක විදිහට බාර ගනිමු. අපේ සමරසිංහ සර් මේවා ගැන මෙච්චර විමසන්නෙ කරුණු පැහැදිලි කරගෙන ඒ ඒ අවස්ථාවලට මුහුණ දෙන්න මිසක් විරුද්ධවාදි අදහසකින් නෙමෙයිනෙ.”

 “ ඒක ඇත්ත රේණු,මේ වැඩේ යහපත් අරමුණෙන් කරන ප්‍රබල ක්‍රියාකාරකමක් කියන හැඟීම මගෙ හිතෙත් තියෙනවා. කවුරු මොනා කිව්වත් අන්තිම තත්පරේ දක්වා මන් මේකෙ කොටසක්.”

  “ සමරෙගෙ ඔය වචන අපට ලොකු ශක්තියක්. හැම තිස්සෙ ම තමන් නිවැරදියි කියන මතය වෙනුවෙන් පෙනී හිටපු ඉන්දියාවෙ මහාත්මා ගාන්ධිතුමා එක වෙලාවක හරි ලස්සන කතාවක් කියනවා. සාමාන්‍යයෙන් සමාජය කරන විදිහට වඩා වෙනස් වැඩක් කරන්න ගත්තහම ගොඩක් දෙනා මුලින් ම කරන්නෙ ඒක ගණන් ගන්නැතුව ඉන්න එක. ඊට පස්සෙ කරන්නෙ ඒකට හිනාවෙන එක, විවේචනය කරන එක, ඒ වගෙම අවමන් කරන එක. ඒත් ඒවත් ගණන් ගන්නෙ නැතුව වැඩ කරගෙන ගියොත් ඊළඟට කරන්නෙ බාධා කරන එක. ඒ බාධාත් නොසලකා ඒ වැඩේ සාර්ථක ව කළොත් කරන්නෙ අගය කරන එක. මේ ගාන්ධිතුමා කියන විදිහට වැඩ සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් අපිට තියෙන්නෙ ප්‍රසන්න හිතින් අපේ වැඩේ කරගෙන යන එක.”

 “ හරියට ම හරි ලොකු සර්. අර භගවද්ගීතාවෙ තියෙන විදිහට මා ඵලේෂු කදාචන’ ඒ කියන්නෙ ප්‍රතිඵලය ගැන නොහිතා කරන්න තියෙන වැඩේ කරමු.

 “ අතුල, අපේ දෙවෙනි කාරණේ ක්‍රීඩා කටයුතු සම්පාදනේ අලුත් ම තත්ත්වය මොකක් ද ?”

 “ මෙහෙම යි ලොකු සර්, ඉස්කෝලෙ තියෙන ක්‍රීඩා භාණ්ඩ ප්‍රමාණවත් නැති නිසා මන් අපේ යාළුවො ඉන්න අසල්වැසි ඉස්කෝල දෙකකින් උදව් ඉල්ලුවා. ඒකට හොඳ ප්‍රතිචාර හම්බ උනා. ඒ වගෙම සර්, මහව උපදිසාපතිතුමා පෞද්ගලික ධන පරිත්‍යාගයක් කළා ක්‍රීඩා භාණ්ඩ ගන්න හරි ක්‍රීඩා උත්සවේ වැඩවලට ගන්න හරි. මම ඒ මුදල අපේ මූල්‍ය අංශයට බාර දීලයි තියෙන්නෙ අවශ්‍ය වෙලාවක ප්‍රයෝජනේට ගන්න.”

 “ අපි අතුල සර්, ක්‍රීඩා කටයුතු සම්පාදනය කියන එකෙන් අදහස් කළේ ක්‍රීඩා භාණ්ඩ සම්පාදනය විතරක් නෙමෙයි නේද?”

 “ ඔව් සුමනා මැඩම් අහපු ප්‍රශ්නෙ හරි. කරන ක්‍රීඩා මොනව ද ඒවා කොහොම ද සංවිධානය වෙන්නෙ කියන කාරණෙත් ඒකට ම අදාළ යි. මේ වෙන කොට මැඩම් ඒ කටයුතුත් සංවිධානය වෙලයි තියෙන්නෙ. මේ කමිටුවෙ නොහිටියත් පන්ති කිහිපයක ම ටීචර්ස්ලා අපට උදව් කරන්න ලැහැස්තියි.”

 “ අතුල, ක්‍රීඩා සංවිධානය කරද්දි හරි ක්‍රීඩා කරද්දි හරි ක්‍රීඩා උත්සවයෙන් පස්සෙදි හරි දරුවන්ට පීඩනයක් එන්න බැහැ. සතුටින් පටන් අරගෙන සතුටින් කරගෙන ගිහින් සතුටින් අවසන් වෙන පරිසරයකුයි අපි උදා කරගන්න ඕනෙ. ක්‍රීඩාව කියන්නෙත් අධ්‍යාපනේ ම කොටසක් මිස අධ්‍යාපනයෙන් වියුක්ත වෙච්ච දෙයක් නෙමෙයි. ජීවත් වීම කියන්නෙ කලාවක්. අධ්‍යාපනය, ක්‍රීඩාව ඒ ජීවන කලාව පෝෂණය කරන දෙයක් මිස ඊට වෙනස් දෙයක් වෙන්න බැහැනෙ.”

 “ ලොකු සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ රවී කියපු කතාවක්. එයා තමයි මට ක්‍රිෂ්ණමූර්තිතුමාග‍ෙ 'මුළු ජීවිතයම ඉගෙනීමකි' කියන ලිපිය මට කියවන්න කියලා කිව්වෙ.”

 “ කවුද ගඟුල්, රවී කියන්නෙ.”

 “ අතුල අය්යෙ, රවී කියන්නෙ ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන දර්ශනය මත ක්‍රියාත්මක වෙන ඉන්දියාවෙ ආන්ධ්‍රා ප්‍රදේශෙ තියෙන ඍෂිවැලි කියන ඉස්කෝලෙ කාලයක් ගුරු සහායකයෙක් විදිහට වැඩ කරපු අපේ කල්‍යාණ මිත්‍රයෙක්. අපේ සමන් අය්යගෙ වගෙම එයාගෙ මල්ලිගෙ එහෙමත් හොඳ යාළුවෙක්. ඒ ගොල්ලො හරහා තමයි මටත් රවී අඳුනගන්න ලැබුණෙ.”

 “ එතකොට මොකක් ද ගඟුල්, ඒ රවී මහත්තයා කියපු ලිපියෙ විශේෂත්වය.”

 “ අර ලොකු සර් මතු කරපු කාරණාව ම තමයි. ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා ජීවිතයේ සමස්ත ක්‍රියාවලියම ඉගෙනීමක් කියලා. ඒ වගේම එතුමා කියනවා ජීවත් වීම කලාවක් ය, ඒ කලාව ඉගෙන ගන්න නං කෙනෙකුට විවේකය අවශ්‍ය ය කියලා. ඒ වගෙම එතුමා කියන හැටියට පාසල තමයි අපේ විවේකස්ථානය වෙන්න ඕනෙ. මෙතෙන්දි එතුමා තවත් හරි ලස්සන දෙයක් මතු කරනවා. ඒ කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙ විවේකය තියෙන තැනකදි විතරක් ය කියන එක. ඒ වගෙම එතුමා අවධාරණය කරනවා ඉගෙනීම සිදුවිය හැක්කේ මොන විදිහක වත් පීඩනයක් නැති තැනකය කියන එක.”

 “ ඒ කියන්නෙ අපි අපේ ක්‍රීඩා උත්සවයක් උනත් සංවිධානය කරන්න ඕනෙ කාටවත් පීඩනයක් ඇති නොවෙන විදිහට ය කියන එක ද ඒකෙ අදහස.”

 “ මට හිතෙන්නෙ මැඩම්, මේ ලිපියෙ තියෙන අන්තිම කොටස මුළු ලෝකෙම ඉන්න ගුරුවරුන්ගෙ අවධානයට ලක්වෙන්න ඕන එකක්.”

 “ සිල්වා මැඩම්, අපි අපේ ගඟුල් පඬිතුමාට කියමු ඒ ටිකත් කියන්න කියලා. නොවැදගත් මෙයාගෙ මැඩම්, අර වැදගත් සටහන් පොතේ ඕවා ලියාගෙන ඇතිනෙ. ”

 “ ඇත්ත වශයෙන් ම රේණු මැඩම්, මම ඒකත් ලියාගෙන තියෙනවා. ඔබතුමියගෙ දැනට නොපෑදී තියෙන මොළේ පෑදෙන්නත් එක්ක මම කියන්නංකො ඒක. ඔන්න එහෙනං අහගන්න. ”

ගඟුල් සිය සමීපයේ තබාගෙන සිටින ජීවිතාවබෝධනීය සටහන් තබන කුඩා පුස්තකය අතට ගත්තේ ය. අනතුරුව යටකී සටහන කියැවීමට පටන් ගත්තේ ය.

 “විවේකයෙන් යුක්ත ව යහපත් බව පුබුදු කරවීමට කටයුතු කිරීම ගුරුවරයාගේ ඒකාන්ත වගකීම වේ. පාසැල් තිබෙන්නේ මේ සඳහා ය.

ජීවනෝපාය ගැන පමණක් සිතන සමාජ ව්‍යුහය වෙනස් කිරීම සඳහා අලුත් පරම්පරාවක් ඇති කිරීම ගුරුවරයාගේ වගකීම ය. එසේ වූ විට ඉගැන්වීම පූජනීය ක්‍රියාවක් වෙනවා ඇත. ”

 “ ඉගැන්වීම පූජනීය වැඩක් තමයි මල්ලි. ”

එවර රේණු ආචාර්යවරිය ඒ වචන පැවසුවේ හැඟුම්බර ව ය.

 “ රේණු අක්කලා ඒක තමන්ගෙ ජීවිතයෙන් ම ඔප්පු කරලා තියෙනවනෙ. ඒ හැඟීම ඔයගොල්ල ගාව තියෙන හින්දනෙ අක්කෙ තමන්ගෙ නිවාඩු දවස්වලටත් මේ අහිංසක ළමයි නවාතැනටත් ගෙන්න ගෙන තමන්ට කිසි දෙයක් බලාපොරොත්තු නොවී උගන්නන්නෙ.”

 “ ගඟුල්, රේණුලා ගැන කරපු ප්‍රකාශෙ මම මේ ඉස්කෝලෙ වර්තමාන විදුහල්පතිවරයා හැටියට ඉහළින් ම අනුමත කරනවා. ”

එම ප්‍රකාශය කළ විදුහල්පතිතුමා අනතුරුව හැරුණේ සිල්වා මහත්මිය දෙසට යි.

 “ තුන්වෙනි කාරණේ සංග්‍රහ කටයුතු. කොහොම ද මිසිස් සිල්වා ඒ වැඩවල ප්‍රගතිය.”

 “ ඒ වැඩත් ලොකු සර්, සුදුසු විදිහට සංවිධානය කරලයි තියෙන්නෙ. විශේෂයෙන් අපේ වැලිකල ටීචර් මේ කමිටුවෙ නොවුණත් අපට පසුබිමේ ඉඳගෙන ගොඩක් උදව් කරනවා. ඊට අමතරව නදී, රේණු, මිහිදිනී විතරක් නෙමෙයි ඒ වගෙ අපේ තවත් තරුණ ගුරුවර ගුරුවරියො කිහිප දෙනෙක් ම මට උදව් කරනවා. මට පවරපු වගකීම මන් සතුටින් ම ඉෂ්ට කරන්නෙ ඒක මම ගොඩක් ම කැමති වැඩක් නිසයි.”

 “ බලන්න ගඟුල්, මට මතක හැටියට හතරවෙනි කාරණේ හැටියට තියෙන්නෙ මූල්‍ය කටයුතු. හතර ඒක නේද බලන්න.

 “ ඔව් ලොකු සර්, සර් අපේ ගණකාධිකරණ සර් වගේ ම ගණිත මිස්, සර් හිතපු විදිහට ම ඒ වගකීම හිතට අරගෙන ම වැඩ කරනවා. සුදුසු අයට වැඩ බාර දුන්නහම ඒවා ලස්සනට කෙරෙනවා.”

 “ කොහොම ද තෙන්නකෝන් සර්, මේ ගඟුල් මහත්තයට ඔය වැඩේ බාර දුන්නනං.”

 “ බලන්න සර්, මෙතුමියගෙ කොච්චර හොඳ කිව්වත් මාත් එක්ක පැටලෙන්නමනෙ හදන්නෙ. අනේ මේ රේණු අක්කෙ, මන් ඉතින් ඔයා වගෙ බැරි වැඩ බාර ගන්න යන්නෙ නැහැනෙ.”

 “ මොකෝ මට බැරි. මටත් ගණන් පුළුවන්.”

 “ ලොකු සර්, මේ අක්කගෙයි මල්ලිගෙයි රණ්ඩුවල ඉවරයක් නැහැනෙ. හැබැයි දෙන්නට ම දෙන්නව නැතුවත් බැහැ.”

සුමනා ගුරුතුමිය සිනාසෙමින් ඒ කතාවට මැදිහත් වූවා ය. අනතුරුව යළිත් කතා කෙළේ ද ඇය යි.

 “ සර්, අපේ ආදි ශිෂ්‍යයො කිහිප දෙනෙක් ම මූල්‍ය ආධාර දෙන්න කැමතියි කියලා මට කතා කරලා කිව්වා. සමහර කෙනෙක් ඉස්කෝලෙටත් තව කෙනෙක් ගෙදරටත් ඇවිල්ලා මට මුදල් දීලා ගියා. ඒ වගෙම තව සමහර ආදි ශිෂ්‍යයො මේ වෙලාවෙ මුදලින් ආධාරයක් දෙන්න පුළුවන්කම නැති උනත් ශ්‍රමයෙන් උදව් වෙන්න කැමතියි කියන වචනෙ කිව්වා.”

 “ සුමනා ටීචර් ම උගන්නපු කියපු ළමයි සෑහෙන දෙනෙක් මේ ගමෙත් ඉන්නවා. ගමෙන් පිට රස්සාත් කරනවා. අපි ටීචර් මේ උදව් වර්ග දෙකම බාර ගම්මු, දෙකට ම සමාන බරක් දීලා, ඒ වගෙම සමාන ගෞරවයක් දීලා.  මන් දන්නවා කොහොමත්  සුමනා ටීචර් වැඩ කරන්නෙ ඒ විදිහට බව.”

 “ ලොකු සර්, ඊළඟ කාරණේ හැටියට තියෙන්නෙ ප්‍රචාරණය. සර්, ප්‍රචාරණය කියන එකෙන් අදහස් කරන දේ ගැන යම් යම් දේවල් කලිනුත් කිව්වා තමයි. ඒ උනාට ඒ කාරණේ තවත් ටිකක් පැහැදිලි කළානං හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

 “ ඇත්තට ම මිස්ට තෙන්නකෝන්, මන් කලිනුත් කියලා තියෙන විදිහට මේකෙන් අදහස් කළේ ඔය කොතනත් සාමාන්‍යයෙන් කරන ප්‍රචාරණය නං නෙමෙයි. අපි මේ ක්‍රීඩා උත්සවය කරන්නෙ සාමාන්‍යයෙන් කරන පිළිවෙළටත් නෙමෙයිනෙ. අපි ශිෂ්‍යයන්ගෙ දස්කම් ගැන උපරිම ඇගයීමක් කරනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නෙ එකිනෙකා අතර තරඟකාරි හැඟීම පෝෂණය කරලා නෙමෙයි. ඒක අපි කවුරුත් එකඟ වෙච්ච තැනක්. ඒ වගෙම අපි දුවන දරුවන්ට ඒක උපරිමයෙන් ම කරන්න කියනවා. පීනන දරුවන්ට ඒ වැඩේ උපරිමෙන් ම කරන්න කියනවා. උදාහරණයක්  හැටියට අපි හිතමු දිවීමෙන් මුලට ම කවුරු හරි ළමයෙක් ආවා කියලා. අපි එයාගෙ දක්ෂතාව තහවුරු කරන්නෙ එකට ම දුවපු ළමයෙක් අතින් අදාළ සම්මානය දීලා. එතකොට ඒ දක්ෂයාට සම්මානය පිරිනැමීමේ විශේෂ ආරාධිතයා වෙන්නෙ අපි ගෙන්වන ආරාධිත අමුත්තන්ගෙන් කෙනෙක් නෙමෙයි, සමහරවිට දෙවෙනියට ආපු ළමයා වෙන්න පුළුවන්. එහෙම නැත්තං අන්තිමට දිවීම අවසන් කරපු දරුවා වෙන්න පුළුවන්. මේක වෙනස් අමුතු අද්දැකීමක් වේවි. අපි කරලම බලමුකො.”

 “ ඒ වගෙම ලොකු සර් කිව්ව නේද ක්‍රීඩා කරන්න එච්චර කැමැත්තක් නොදක්වන දරුවොත් මේ ක්‍රීඩා උත්සවේ විශේෂ වෙන වැඩ පිළිවෙළක් ගැන. නරක ද සර්, අපි සුසිත්ට පවරපු වගකීම ගැනත් දැන් ටිකක් කතා කළොත්.”

 “ මේ කාරණේදි අතුල, සුසිත් එක උදාහරණයක් විතරයි. අපි ඒ වගෙ වැඩ කීපයක් ම කරන්න හිතුවනෙ. වැඩක් කරගෙන යනකොට තමයි අපි කාට උනත් අලුත් අලුත් අදහස් එන්නෙ.”

 “ මිස්ට තෙන්නකෝන්, සුසිත් කිව්වෙ 12 බී පන්තියෙ ඉන්න පීනුම් ශූරයා නෙමෙයි, ඉතිහාස විෂය මේ කොල්ලගෙ ඇඟේ ම තියෙනවා කියලා ඔබතුමා නිතර කියන 12 ඒ පන්තියෙ සුසිත්.”

 “ අනේ සර්, ඒ දරුවා ආබාධිත ළමයෙක්නෙ. ඒ ළමයව කොහොම ද අපි ක්‍රීඩාවලට දාන්නෙ.”

 “ නෑ නෑ මිසිස් වැලිකල, අපි ඒ ශිෂ්‍යයව දාලා තියෙන්නෙ ක්‍රීඩා කරන්න නෙමෙයි, මේ ක්‍රීඩා උත්සවේට අත්‍යවශ්‍ය වැදගත් ම වැඩකට. එයා තමයි අපේ ක්‍රීඩා උත්සවේ ප්‍රචාරක ලේකම්. එයාගෙ පසුබිමේ ඉන්නවා අපේ චිත්‍ර සර්, නදී මිස්, මිහිදිනී මිස් ඒ වගේම දුවලා පැනලා වැඩ කරන්න පුළුවන් එයාගෙම යහළු යෙහෙළියො කීප දෙනෙක්. සුසිත් කියන්නෙ හොඳට ලියන්න පුළුවන් දක්ෂයෙක් ය කියන එක තේරුම් ගත්ත එයාගෙ කල්‍යාණ මිත්‍රයො පසුබිමේ ඉන්න කොට සුසිත් වැඩ කරන්නෙ මහ ජවයකින්. ඒ වගෙම ක්‍රීඩා කරන්න එච්චර කැමැත්තක් නොදක්වන ළමයිත් ඉන්නවා මේ ඉස්කෝලෙ සැලකිය යුතු පිරිසක්. ඒ ළමයි ටිකත් ක්‍රීඩා උත්සවේ සාර්ථක කරගන්න බැහැලා වැඩ. ඔන්න අපේ අතුල තමයි ඒ ගැන හොඳට ම දන්නෙ.”

 “ කියලා වැඩක් නෑ සර්, මේ දවස්වල ක්‍රීඩා කරන ළමයින්ටත් වඩා මාව හම්බ වෙන්න එන්නෙ ඒ ළමයිනෙ. සර්, අපිට බාර දුන්න වැඩේ අපි කරලා ඉවරයි,අපිට තව වැඩක් දෙන්නකො සර් කියාගෙන එන කට්ටියගෙන් තමයි මට බේරුමක් නැත්තෙ.”

 “ ඒක හරි හොඳ ප්‍රවණතාවක්නෙ. මෙතන ඉන්න සිල්වා මැඩම්ට සුමනා මැඩම්ට ඒ වගෙම සමරසිංහ සර්ට මතක ඇති මටත් වඩා හොඳට මීට කලින් පැවතිච්ච ක්‍රීඩා උත්සවේ ස්වභාවෙ. ඒකෙදි ක්‍රියාත්මක වෙලා තිබුණෙ ක්‍රීඩා කරන ළමයි විතරයි. අනිත් ළමයින් ව නිකන් අත ඇරලා දාලා වගෙයි තිබුණෙ. අඩුම වශයෙන් ක්‍රීඩාවලට ඉදිරිපත් නොවෙච්ච ළමයින්ගෙ ඉගෙන ගන්න වැඩ පවා නොකෙරෙන තැනටයි වැඩ සිද්ධ වෙලා තිබුණෙ. ඒත් දැන් තත්ත්වෙ ඊට වෙනස්නෙ. ක්‍රීඩා උත්සවේ ඉස්කෝලෙ කාගෙත් වැඩක් වෙලා.”

 “ තෙන්නකෝන් සර් කියපු එක හරියට ම හරි. අපේ ලොකු සර්ට තමයි ඒකෙ ලොකු ම ක්‍රෙඩිට්ටෙක යන්න ඕනෙ. නැද්ද ගඟුල්.”

 “ නෑ අතුල, මේ මාත් එක්ක මේ මොහොතෙත් එකට ඉන්න ඔය පිරිස හිටියෙ නැත්තං මට මුකුත් කරන්න බැහැ. ඒ වගෙම මෙතන නැති උනත් අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපට  උදව් කරන අනිත් ගුරුවරු - අපේ ශිෂ්‍ය කණ්ඩායම. ඒ වගෙම මේ වැඩ ගැන හොයලා බලලා අපට ශක්තියක් වෙන දෙමව්පියො, වෙනත් ඉස්කෝලවල යාළුවො, අලුත් වැඩකට උදව් කරන්න ඕනෙයි කියලා හිතන මානසිකත්වය තියෙන අපේ සමහර අධ්‍යාපන නිලධාරීන්. දෙනවානං මේ ඔක්කොටම තමයි ක්‍රෙඩිට් දෙන්න ඕනෙ. හැබැයි මම එක දෙයක් දන්නවා ස්ථීරෙට ම. ඒ තමයි ඔයාගෙ ඉඳලා මේ ඔක්කොම වැඩ කරන්නෙ ක්‍රෙඩිට් බලාගෙන නොවෙන බව.”

 “ ඇත්තට ම සර්, මෙහෙම වැඩ කරන්න අපි ආසයි. මට ලොකු සර් ව තෙන්නකෝන් සර් ව දැක්කහම මතක් වෙන්නෙ අපේ දිවාකර සර් ව. මට සර්ලා එක්ක වැඩ කරද්දි දැනෙන්නෙ දිවාකර සර් එක්ක වැඩ කරනවා කියලයි. ඒ වගෙම සර් මේ වැඩිහිටි මැඩම්ලා දැන් මට උදව් කරන්නෙ තමන් අම්මලා කියන කාරණේ අමතක නොකර. ඒ විතරක් නෙමෙයි සර් මේ ඉන්නෙ මගේ සහෝදරයො සහෝදරියො. අපේ ශිෂ්‍යයො තමයි අපේ දරුවො.”

 “ අප්පච්චියෙ, අපේ අතුල මහත්තයා පරිණත වෙලා තියෙන තරම.”

රේණු ගුරුවරිය ද කතාවට මැදිහත් වූයේ සිනහමුසු ව යථෝක්ත ප්‍රකාශය ද කරමිනි.

 “ හොඳයි, දැන් ඊළඟට අපි කතා කරමු, ප්‍රචාරණ වැඩ කරද්දි විශේෂයෙන් අවශ්‍ය වෙන ප්‍රවාහන පහසුකම් ගැන. කොහොම ද අතුල ඒකෙ තත්ත්වෙ.”

 “ ඒ වැඩෙත් හොඳින් ම කෙරෙනවා සර්. අපේ ප්‍රධාන ප්‍රචාරක රථය තමයි, අමිල සර්ගෙ ට්‍රැඩ් සනිය. විල්සන් අය්යා එයාගෙ හැම නිවාඩු දවසක ම එනවා ඒ වැඩේට.”

 “ විල්සන් අය්යා කිව්වෙ අතුල, නාගොල්ලාගම - කුරුණෑගල බස්සෙක එළෝන විල්සන් ද? එයාගෙ දරුවො තුන්දෙනාම මෙහෙ ඉගෙන ගන්නවනෙ.”

 “ ඔව් ලොකු සර්, එයා තමයි.  විල්සන් අය්යා ආවා මාව හම්බ වෙන්න. ළමයි ගෙදර ගිය වෙලාවෙ ඉඳලා කතාව ක්‍රීඩා උත්සවේ ගැනලු. ළමයි මේක තරඟයෙන් තොර ක්‍රීඩා උත්සවයක් කියන කොට විල්සන් අය්යා අහලා තියෙනවා කොහොම ද පුතේ තරඟෙකින් තොරව ක්‍රීඩා උත්සව කරන්නෙ කියලා. ඒ දරුවන්ගෙන් තොරතුරු දැනගෙන තමයි එයා ආවෙ මාව හම්බ වෙන්න. සර්, මේකෙ මොකක් ම හරි වැඩක් මටත් බාර දෙන්න කියලා ඉල්ලීමක් කළා. එයාගෙ නිවාඩු දවස්වලට ඇවිත් අපේ අමිලගෙ කාර්රෙක අරගෙන ප්‍රචාරණ වැඩවලට යන්නෙ විල්සන් අය්යා. එයා නැති දවස්වලට අමිල සර් හරි 12 බී එකේ සචිත හරි යනවා.”

 “ සචිත කිව්වෙ නාගොල්ලාගම හන්දියෙ ගරාජ්ජෙක දාගෙන ඉන්න සමන්සිරිගෙ පුතා ද?”

 “ ඔව් සර්, ඒ ළමයගෙ ඇඟේම ඩ්‍රයිවින් තියෙනවා. කොල්ලට ලයිසන්නෙකත් තියෙනවා.”

 “ එතකොට ප්‍රචාරණය යටතෙ කරන විශේෂ වැඩ මොකුත් තියෙනව ද අතුල.”

මේ ප්‍රශ්නය නැගුවේ රේණු ආචාර්යවරිය යි.

 “ අමුතු දෙයක් නෙමෙයි රේණු, අපි ප්‍රචාරණය යටතේ කරන්නෙ. මේ කෙරෙන වැඩ ගැන ම පැහැදිලි චිත්‍රයක් තමයි අපි සමාජෙට දෙන්නෙත්. උදාහරණයක් හැටියට හොඳම නිවාසය කියලා එකක් විශේෂ කිරීමක් අපේ නැහැ කියන එක. ඒ වගෙම ක්‍රීඩා පිටියට බැහැලා ක්‍රීඩා කරන ශිෂ්‍යයා වගේම ක්‍රීඩා නොකළත් ක්‍රීඩා කරන ශිෂ්‍යයන්ට සහාය දෙමින් ඒ ගොල්ලන් ව ශක්තිමත් කරන ශිෂ්‍යයත් අපට එක වගේ ම වැදගත් ය කියන පණිවිඩයත් අපි දෙනවා. මේ වැඩවලදි හෑන්ඩ් බිල් අත්පත්‍රිකා වගෙම පරිසර හිතකාමී පෝස්ටරුත් අපි ගහනවා.”

 “ සර්, මන් පොඩි යෝජනාවක් කරන්න ද?”

 “ ඔව් නදී, කියන්න කියන්න. අපි කලින් දවසකත් මතු කරපු 'සංහතිඃ කාර්යසාධිකා' කියන ප්‍රකාශෙන් කියැවෙන හැටියටත් කටයුතු හරි හැටියට සිද්ධ වෙන්නෙ එකතු උනාමලුනෙ. ඒ කියන්නෙ සමගි උනාම. වැඩක් ගැන හැඟීමක් ඇතිව වැඩ කරන ඕනෑම කෙනෙකුට අලුත් අලුත් අදහස් එන්න පුළුවන්. කියන්ඩකො බලන්න නදීගෙ යෝජනාව.”

 “ සර්, ප්‍රවාහන පහසුකම් අවශ්‍ය වෙන්නෙ ප්‍රචාරණ කටයුතුවලට විතරක් නොවන නිසා ඒක වෙනම ශීර්ෂයක් හැටියට අරගෙන ඒකෙ වගකීම තවත් කණ්ඩායමකට බාර දුන්නොත් නරක ද?”

 “ නදීට පුළුවන් ද ඔය කාරණේ තව ටිකක් පැහැදිලි කරන්න.”

 “ සර්, ඇත්තට ම අපිට ප්‍රවාහන පහසුකම් මේ නිවාස සකස් කිරීමෙදිත් ඕන වේවි. ඒ වගෙම ඉස්සෙල්ලා අතුල සර් කිව්වනෙ ළඟ ඉස්කෝල දෙකකින් ක්‍රීඩා භාණ්ඩ ඉල්ල ගන්න තියෙනවා, තව අලුතින් ම ක්‍රීඩා භාණ්ඩ කීපයක් මිලදී ගන්නත් තියෙනවා කියලා. ඉතින් ඒවා ගේන්න යන්නත් වාහන ඕන කරනවනෙ. ඒ විතරක් ද, සංග්‍රහවලට අවශ්‍ය කරන දේවල් ගේන්න යන්න, කෙනෙක් මුදලින් ආධාරයක් කරන්න කැමති උනොත් එයා අපි ළඟට එනකං බලන් ඉන්නැතුව අපි එයා ළඟට යනකොට, කොහොමටත් ප්‍රචාරණ වැඩවලට. ඊළඟට ආරාධනා පත්‍ර අරගෙන යන්න, සෞඛ්‍ය කටයුතුවලදි, මේ කොයි වැඩේටත් ප්‍රවාහන පහසුකම් අවශ්‍ය කරනවනෙ.”

 “ ඇත්තට ම අපේ නදී ටීචර් මතු කළේ වැදගත් ම කාරණාවක්, ඉදිරිපත් කළේ වැදගත් ම යෝජනාවක්. අපෙන් මග හැරිච්ච දෙයක් අපට ම පෙන්නලා දෙන එකයි එතුමිය කළේ. අපි ප්‍රවාහන පහසුකම් කියන එකත් තවත් අනුශීර්ෂයක් හැටියට ගනිමු. එතකොට අනුශීර්ෂ අටයි.”

 “ බලන්නකො ලොකු සර්, තවමත් තරුණයි කියලා හිතාගෙන මෙතන ඉන්න කිසිම මිස් කෙනෙක් මතු නොකරපු කාරණයක්නෙ නදී මිස් මතු කළේ. ඇයි සර්, මේ අකුරු දෙකේ නම තියෙන එක මිස් කෙනෙක් ලස්සන අදහස් කියන කොට අකුරු දෙකේ නමක් ම තියෙන තව මිස් කෙනෙක් කිසිම අදහසක් ඉදිරිපත් නොකර ඔහේ බුම්මගෙන බලාගෙන ඉන්නෙ.”

ගඟුල් ඒ චචන පැවසුවේ රේණු දෙස බලා බැරෑරුම් මුහුණක් මවාගෙන ය.

 “ මන් අම්මටයි තාත්තටයි වගේ ගරු කරන වැඩිහිටි ආචාර්ය මණ්ඩලය නැත්තං මන් දනී උඹට කියන්න ඕනෙ දේ.”

 “ ලොකු සර්, වැඩිහිටි ආචාර්ය මණඩලය ගියාට පස්සෙ මේ ගොල්ලන්ට ඒ ප්‍රශ්නෙ විසඳ ගන්න ඉඩ තියලා අපි ඉස්සරහට යමු.”

සිනහමුසු ව එසේ පැවසුවේ සමරසිංහ ආචාර්යවරයා ය.

 “ සර්, අපි ඔක්කොටම ඉස්සෙල්ලා ප්‍රචාරණ කමිටුවේ වගකීම් දරන සභාපති කෙනෙක් පත් කර ගන්න ඕන නේද ”

 “ හොඳයි කාටද මේ වගකීම දෙන්න ඕනෙ.”

 “ ගඟුල් දැන් අය්යගෙ වාහනෙත් අරගෙන ම වැඩේට බැහැලා ඉන්න නිසා අපි එයාට දෙමු ප්‍රවාහන කමිටුවේ සභාපතිකම”

 “ ඔව් ලොකු සර්, ගඟුල් හොඳයි ඒ වැඩේට.”

 “ හරි මරුනෙ... නෑ නෑ මට වැරදුණා.. හරි ප්‍රබුද්ධනෙ.. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ගඟුල් එක්ක හැප්පෙන්න ගිය රේණු ම එයාගෙ නම යෝජනා කරන එක.”

ඒ කතා කෙළේ අතුල ය.

 “ රේණු අක්කට බොහොම ස්තුතියි ඉඳලා හිටලා හරි මගෙ වැදගත්කමත් පෙනෙන එක ගැන. ඒ උනාට සර්, ඔය කමිටුවෙ සභාපතිකමට සුදුසු මම නෙමෙයි අපේ අමිල සර්.”

 “ එහෙනං ගඟුල්, අද රැස්වීමෙදි අලුතින් තවත් කමිටුවක් හදාගත්තා කියන කාරණෙත් කියලා ඒ කමිටුවෙ සභාපතිකමට අමිල පත් කරගන්න තීරණයත් කළා කියන කාරණෙ ඔයා මං වෙනුවෙන් අමිල සර්ට දැනුම් දෙන්න. දෙවනුව මමත් ඒ ගැන ඒ සර්ට කියන්නං.”

 “ හරි සර්, මන් ඒ පණිවිඩේ අද හවස ම අමිල සර්ට දෙන්නං.”

 “ හොඳයි අතුල, දැන් එහෙමනං ඒ වැඩෙත් හරිනෙ. එතකොට ආරාධනා පත්‍ර වැඩේ.”

 “ ලොකු සර්, ඒ කමිටුවෙ සභාපති අපේ රේණුනෙ. ඒ උනාට එයාට ලොකු බරක් දෙන්නෙ නැතුව අපි කවුරු කවුරුත් ඒ කාරණේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දේවල් කරන්න ඉදිරිපත් උනානං හොඳයි නේද?”

 “ මෙහෙමයි සුමනා, ඒකෙත් මේ ළඟ ළඟ තැන්වලට ආරාධනාපත්‍ර දෙන එක අපිට ප්‍රචාරණ වගකීම ගත්ත අතුලට ම දෙන්න පුළුවන්. එයිට අමතර ව අතුල ම ගිහින් දෙන්න ඕන ආරාධනාපත්‍රත් තියෙනවා. ඊළඟට කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර වගේ දිස්ත්‍රික්කවලිනුත් මේ වැඩේට එන කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය නං කිව්වෙ අපිට දවස කිව්වහම ඇති, අපි අනිවාර්යෙන් ම එනවා කියලා. ඔය කතාව මන් අපේ රේණුට කිව්වහම රේණු කිව්වෙ එහෙම හොඳ නැහැ සර්, අපි ඒවා ඒ ගොල්ලන්ගෙ අත්වලට ම දෙන එක තමයි වැඩිය හොඳ කියලා. ඒක කියලා විතරක් රේණු නතර උනේ නැහැ එයා ඒ වැඩේ කරන වගකීමත් බාර ගත්තනෙ. අපේ මිහිදිනී මිසුත් ඒකට උදව් කරනවා. ”

 “ මිහිදිනී විතරක් නෙමෙයි, ගඟුල් සර්රුත් අපිට උදව් වෙනවා ලොකු සර්. මට වාහනයක් ගේන්න එපා කියලා ගඟුල් තමයි, ඒ ගොල්ලන්ගෙ ගෙදර තියෙන වාහනේ අපිට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වෙත්.”

 “ එතකොට ගඟුල්, අපිට රියදුරු මහත්තෙකුත් ඕන වෙයි නේද? ඒකට යි තෙල්වලට යන වියදමයි අපේ මූල්‍ය අංශයෙන් ගන්න පුළුවන්.”

 “ අනේ එපා සර්, වාහනේ එලවන වැඩේ මටයි අපේ අය්යට යි මාරුවෙන් මාරුවට කරන්න පුළුවන්. ඕනකමක් උනොත් රේණු අක්කටත් පුළුවන්නෙ උදව් වෙන්න.”

 “ ඔව් දැන් මෙච්චර ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරන එකේ ගඟුල් ඔයා තෙල් වියදමවත් ගන්න. මොකද දිස්ත්‍රික්ක කීයකට යන්න තියෙනව ද?”

 “ අනේ එපා ලොකු සර්, මන් කැමති උනත් කොහොමටත් ඔය කාර්රෙකේ අයිතිකාරයා ඒ කියන්නෙ මගෙ අය්යා නං ඒකට කැමති වෙන්නෙ නැහැ. අපි සතුටින් ඒ වගෙම ලොකු කැමැත්තකින් සර්, ඒ වැඩේ කරන්නෙ. ඒකට අපිට ඉඩ දෙන්න සර්.”

 “ හොඳයි හොඳයි, එහෙමනං ඔයගොල්ලො කැමති විදිහකට ඉස්කෝලෙ වෙනුවෙන් ඒ වැඩේ කරන්නකො.”

 “ ලොකු සර්, අපි ඊළඟ කාරණෙත් කතා කරලා ඉමු ද? ඒක තමයි අන්තිම කාරණේ හැටියට අපි ලියාගෙන තියෙන සෞඛ්‍ය කටයුතු.”

 “ ඒක ඉතින් අනිවාරෙන් ම අපේ සෞඛ්‍ය ටීචර්ගෙ අධීක්ෂණය යටතෙ කෙරෙන්න ඕනෙ වැඩක්නෙ. එතුමිය මේ වෙන කොට ඒකට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරගෙනයි තියෙන්නෙ. ළමයි කට්ටියකුත් ලෑස්ති කරගෙන ඒ ටීචර් බරට ම වැඩ.”

 “ අතුල, එහෙනං අපිට ඒ වැඩේ ගැනත් බරක් නැහැනෙ. එහෙනං අපි ඔය විදිහට වැඩ කරගෙන යන්. ඔයගොල්ලන්ට කාගෙ කාගෙත් සහයෝගය අරගෙන වැඩ කරන්න පුළුවන් බව මම හොඳාකාර ව ම දන්නවා. අපි එහෙනං අද දවසෙ විසිර යමු, හෙට දවස අදටත් වඩා සපලදායක එකක් කර ගම්මු කියන හැඟීම හිත්වල දරාගෙන. ඔයගොල්ල හැමෝට ම මම ස්තුතිවන්ත වෙන්නෙ මගෙ ගෞරවය යි ප්‍රසාදය යි ඒකට එකතු කරල යි.”

 “ ලොකු සර්, මටත් අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවා. ඔබතුමා තමයි කෘෂිකර්මය උගන්නං  හිටපු මගෙ ඇඟේ ක්‍රීඩා උණක් තියෙන එක මුලින් ම දැක්කෙ. ඒක දැකලා නිකං හිටියෙ නැහැ උඹට බැරි ද අතුල, මෙහෙ ක්‍රීඩාවට කියලා වෙන ම ගුරුවරයෙකුත් නැති එකේ දැනට ආවට ගියාවට කෙරෙන ක්‍රීඩා කටයුතු සක්‍රිය කරලා ගන්න කියලත් කිව්වෙ. දිවාකර සර්ගෙන් පස්සෙ මාව හරියට අඳුන ගත්ත පළවෙනි කෙනා තමයි සර්. ලොකු සර් තමයි දැන් මගෙ දිවාකර සර්”

 “ ඒ වගෙම මන් මගෙ තාත්තට වගෙ ගරු කරන තෙන්නකෝන් සර්, ඒ වගෙම මන් මේ ඉස්කෝලෙ පත්වීමට ආපු දවසෙ ඉඳල ම අම්මා නැති මට අම්මා වෙච්ච සුමනා මැඩම්, මට මුලින් අඳුන ගන්න බැරි වෙච්ච ඒත් පස්සෙ අඳුන ගන්න පුළුවන් වෙච්ච සිල්වා මැඩම්, ඒ වගෙම වැලිකල මැඩම්, නාගොල්ලගමදි මට මුලින් ම හමු වෙච්ච සහෝදරයා සමරෙ. රේණු, නදී, මිහිදිනී මගෙ සහෝදරියො, මගෙ පුංචි මල්ලි ගඟුල්. මේ ඔක්කොම තමයි මාව ශක්තිමත් කරන බලවේගෙ. ස්තුතියි කියන වචනෙ මෙතෙන්ට ගැළපෙන්නෙ නැහැ. ඔය ඔක්කොට ම පින්, අප්‍රමාණ පින්.”

 “ ගඟුල් මල්ලි, අර වැඩක් පටන් ගන්න කොට හරි, මැදදි හරි, අවසන් කරන කොට හරි ඔයාට එන අමුතු සාහිත්‍ය කෑලි තියෙන්නෙ. මෙතෙන්ටත් එකතු කරන්නකො එහෙම එකක්.”

 “ නදී අක්කෙ, අපට මුලින් අඳුන ගන්න බැරිව තිබිලා පස්සෙ අඳුන ගන්න ලැබිච්ච චරිත ගැන කියද්දි මට මතක් උනේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ ප්‍රකාශයක්, අපි මේ වෙන කොට අපේ ඉස්කෝලෙ තැනින් තැන ගහපු ප්‍රකාශ අතරටත් එකතු කරලා තියෙන. මේක තියෙන්නෙ එතුමාගෙ Stray Birds  කියන පොතේ.        

                                                        'Once we dreamt

                                                        that we were strangers

                                                        We wake up to find

                                                        that we were dear to each oher'

                                                       

 “ ඒ කියන්නෙ අපි මුලින් සිහින දැක්කා අපි එකිනෙකාට ආගන්තුකයො කියලා. ඒත් ඇහැරිලා බැලුවම අපිටම තේරුණා අපි එකිනෙකාට කොච්චර ආදරේද කියලා. මේක හරිම අර්ථවත් ප්‍රකාශයක්නෙ ගඟුල්.

 “ ලොකු සර්, මන් මේක මුලින් ම දැක්කෙ තාගෝර්තුමාගෙ Stray Birds පොතේ නෙමෙයි, සමන් අය්ය නැති උනාට පස්සෙ අවුරුද්දක් ගානේ සර්ගෙ මල්ලි පොතක් කළා. 1998 අවුරුද්දෙදි කළේ කවි පොතක්, ඒකෙ නම උල්පත. අර කියපු තාගෝර් ප්‍රකාශෙ අදහස, අපේ සර් සිංහල කවියට නගලා තිබුණා. ඒ උල්පත පිළිගන්නලා තිබුණෙ සමන් අය්යට උල්පත වෙච්ච අම්මට. ඒකෙ මෙහෙම යි තිබුණෙ.

                           සඳවතක් සදිසි හදවතකට ජීවය දුන්                     අම්මා

                           සමුදුරක් වගේ ගැඹුරු පුතුට වෙරළක් වූ              අම්මා

                           මහමෙරක් වගේ නොසැලි පුතුට දෙරණක් වූ       අම්මා

                           උල්පතක් වගේ නැගුණු පුතුට උල්පත වූ             අම්මා ”

''ඒ අම්මව හොයාගෙන යන්න වටින අම්ම කෙනෙක්නෙ.''                        

විදුහල්පතිවරයා එසේ කියද්දී තෙත් ව ගියේ ගඟුල්ගේ දෑස යි.

 “ ඒ අම්මත් මේ ළඟදි දවසක නැති උනා ලොකු සර්, අපි කොයි වේලෙ ගියත් අපිට කන්න දුන්න අම්මා. සමන් අය්යා  හිටපු කාලෙ විතරක් නෙමෙයි, ඊට පස්සෙත් ඒ සැලකිලිවල වෙනසක් නොකරපු අම්මා. තමන්ගෙ දරුවන්ට විතරක් නෙමෙයි, කොයි අම්මගෙත් දූ දරුවන්ට අම්මා කෙනෙක් වෙච්ච ඒ අම්මා තමන්ගෙ ජීවිතෙ වරින් වර කරපු ප්‍රකාශ සමන් අය්යලා හිතේ විතරක් නෙමෙයි, පොත්වලත් සටහන් කරගෙන තිබුණා.”

 “ ගඟුල් මම කැමතියි, ටික වෙලාවක් ගියත් ඒ අම්මා කියපු දේවල් ගැන ටිකක් කතා කරලා ඒ කියන්නෙ, ඔයාගෙ වචනවලින් කිව්වොත් අපේ මේ සහෘදය සංකථනය  අවසන් කරන්න.”

මේ අවස්ථාවේ එතැන සිටි ආචාර්ය මණ්ඩලයේ සුගැඹුරු නිහඬතාවෙන් ප්‍රකාශයට පත් වූයේ ඒ උත්තම මාතාව කෙරෙහි එසිත්වල ජනිත වූ ආදර ගෞරවය යි; එවන් මවක ගැන කියනු ලබන දෙය ශ්‍රවණය කිරීමෙහි ලා වන අතිමහත් කැමැත්ත යි.

 “ ඒ අම්මගෙ තුන්මාසෙ පින්කමේ දි බෙදන්න  පත්‍රිකා තුනක් මුද්‍රණය කෙරෙනවා. එකක් සඳඑළිය. ඒ ලිපිය උපුටගෙන තිබුණෙ ධම්මිස්සර හාමුදුරුවන්ගෙ හදවීණාව පොතෙන්. ඒ පොත උන් වහන්සෙ පිළිගන්වලා තිබුණෙ අපේ සමන් අය්ය ඇතුළු කල්‍යාණ මිත්‍රයන්ට. ඒ වගෙම  ආචාර්ය අදිකාරම්තුමා ලියපු ආදර්ශය කියන සිතිවිලි පොතේ තියෙන විද්‍යාව එකකි, ධර්මය තවෙකකි කියන ලිපියත් මුද්‍රණය කරනවා මේ පින්කමේදිම බෙදන්න. ඊට අමතරව පාඩම් පොත කියන පොතේ එන අම්මා කියන ලිපියත් පත්‍රිකාවක් හැටියට මුද්‍රණය කෙරෙනවා පින්කමට එන අය අතරෙ බෙදලා දෙන්න. ඒක අපේ සමන් අය්යගෙ මරණෙන් පස්සෙ තිබිච්ච පින්කමක දි කලිනුත් මුද්‍රණය කෙරිච්ච එකක්. ”

 “ අපිටත් පුළුවන් වෙයි ද මල්ලි ඒවායින් පිටපත් ගන්න.”

 “ මොකෝ රේණු අක්කෙ බැරි, සර්ලගෙ, ප්‍රෙස් එකක් තියෙන උදය කුලතිලක කියන යාළුවා තමයි ඒ හැම පින්කමකදිම මේ වගෙ පත්‍රිකා නොමිලයෙ මුද්‍රණය කරලා දෙන්නෙ. මේ සැරෙත් බොහොම කැමත්තකින් වගෙම ආදරේකින් ඒ වැඩේ කරලා දෙන්නෙ එතුමා ම තමයි.”

 “ ඒ අම්මා කියපු දේවල් ගැන ටිකක් කතා කරමු කියලනෙ අපේ ලොකු සර්රුත් කිව්වෙ. ගඟුල් මල්ලි ගාව තියෙනව ද කලින් මුද්‍රණය කරපු අම්මා පත්‍රිකාවක්”

 “ දැනට එක පත්‍රිකාවක් මගෙ අතේ තියෙනවා නදී අක්කෙ. මේ සති අන්තෙ ගෙදර ගියා ම මම අපේ සමන් අය්යලගෙ ගෙදරත් යනවා. ආයි එනකොට ඒ පත්‍රිකාවෙන් පිටපත් අරගෙන එන්නං අපේ ගුරු මණ්ඩලයත් ශිෂ්‍යයනුත් අතරෙ බෙදලා දෙන්න.”

 “ දැනට ඔයාගෙ අතේ තියෙන පත්‍රිකාවෙ තියෙන අදහසක් දෙකක් බෙදා ගමු ද අපි දැන්.

සියලු දෙනා වෙනුවෙන් ඒ ඉල්ලීම ඉදිරිපත් කෙළේ තෙන්නකෝන් මහතා ය.

 “ මන් ඉස්කෝලෙ යන ශිෂ්‍යයෙක් විදිහට සහභාගි වෙච්ච අවුරුදු ගාණකට එහා තිබිච්ච ඒ පින්කමේ දි ලැබිච්ච පත්‍රිකාවට වඩා එකම එක වෙනසයි මේ පත්‍රිකාවෙ තියෙන්නෙ.”

 “ මොකක් ද ගඟුල් ඒ වෙනස.”

ඒ ප්‍රශ්නය රේණු වෙතිනි.

 “ එදා පින්කමේ සමන් අය්යලගෙ අම්මා හිටියා. මෙදා පින්කමේ එතුමිය නැහැ. ඒක නිසා ම අලුත් පත්‍රිකාවට අලුත් වාක්‍යයක් එකතු කරලා තියෙනවා අපේ සර්”

 “ මොකක් ද මල්ලි ඒ වාක්‍යෙ.”

එසේ විමසූ අතුලට ගඟුල් පිළිතුරු වශයෙන් කෙළේ මුල් පත්‍රිකාවෙහි අවිද්‍යමාන නව පත්‍රිකාවෙහි විද්‍යමාන පහත සඳහන් ප්‍රකාශය හඬ නගා කියවීම ය.

නික්ම ගිය සදාදරණීය අම්මාට උපහාර වශයෙනි.

ඉමහත් අවධානයකින් ඒ ප්‍රකාශය අසා සිටි සහෘදය පර්ෂදයේ හැඟුම වචන බවට පෙරලූයේ තෙන්නකෝන් මහතා ය.

 “ මට මතක් වෙන්නෙ ගඟුල්, මේ අම්මගෙ ලොකු පුතා, ඒ කියන්නෙ ඔයා නිතර නිතර මතක් කරන සමන් සිත්තරා නික්ම ගිය දවස. ඒ ආරංචිය අහපු දවසෙ ඔයාගෙ සමන් අය්යත් එක්ක සෞන්දර්යෙ එකට ඉගෙන ගත්ත අපේ නෝනා විතරක් නෙමෙයි මහ කම්පාවකට පත් උනේ. එයාව දවසක් දෙකක් ඇසුරු කරපු මටත් ප්‍රබල වෙන්වීමක් නිසා දැනෙන මහා කම්පනය දැනුණා. මන් මේ ගැන කලින් දවසකත් අපේ රේණු එක්ක, මිහිදිනී එක්ක, ගඟුල් එක්ක කතා කරලා තියෙනවා අපේ ගෙදරදිත්.

ඒ වගෙම ලොකු සර් දැන් ටිකකට කලින් කියපු දේ හරි.  මතකද ගඟුල්, සමන් සිත්තරා පළුගස්දමන ඉස්කෝලෙ වැඩ කරපු විදිහ ගැන අහලා ජීවත් ව හිටියනං ඉන්න තැනකට හොයාගෙන ගිහින් අපේ මේ ක්‍රීඩා උත්සවේටත් අපිට උපදෙස් දෙන්න කියලා ඔයාගෙ මේ සමන් අය්යව අරගෙන එනවා කියලා සර් කියපු දේ. ඇත්ත ලොකු සර් ඇත්ත, සමහර මිනිස්සු මේ ලෝකෙට එනවා කෙටි කාලයකට, මේ ජීවිත කාලෙ දි අපි කරන්න ඕන මොකක් ද කියන එක කියලා දීලා නික්ම යන්න. ඒ පුතා වගෙම තමයි මේ අම්මත් කියල යි අපේ නීලත් කියන්නෙ. බුදුදහමෙ උගන්වන චාගය සරල ව කිව්වොත් පරිත්‍යාගය උපරිම විදිහට වෙන කිසි දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කරපු කෙනෙක් විදිහටයි එයා එතුමිය අඳුනගෙන ඉන්නෙ. නීලත් ගොඩක් කණගාටු වේවි මේ මරණෙ ගැන ඇහැව්වහම.”

 “ සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ මේ ළඟ දවසක දි නූතන පරම්පරාවෙ විශිෂ්ට කිවිඳියක් වෙන සුහර්ෂිණි ධර්මරත්න පුවත්පත් සාකච්ඡාවකදි උපුටා දක්වලා තිබුණ ලස්සණ අදහසක්. ඒක කියලා තිබුණෙ මේ යුගයෙ ජීවමාන දාර්ශනිකයෙක් වෙන සද්ගුරුතුමා. මන් ඒක කියලම සමන් අය්යලගෙ අම්මා කියපු අදහස්වලට එන්නං. සුහර්ෂිණී හරි දැනෙන විදිහට ඒ ප්‍රකාශෙ උකහගෙන තිබුණා මෙහෙම.”

 “ අපට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ මිහිමත ඇවිද ගොස් තිබෙනවා. දැන් ඔවුන් සියලු දෙනා මතුපිට පස් බවට පෙරැළී තිබෙනවා. ඒ බව සිහියේ තබාගෙනයි අප ඇවිද යා යුත්තේ.”

ඒකත් මල්ලි හරි දැනෙන කතාවක්නෙ. මට හිතෙන්නෙ අපේ ක්‍රීඩා කරන ළමයි ඔක්කොටමයි, තමන් තමයි ක්‍රීඩකයා කියලා හිතාගෙන ඉන්න සමහර ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ටයි, ඔය ප්‍රකාශෙ ටිකක් වෙනස් කරලා කියලා දෙන්න.”

 “ ලොකු සර්, අපි මේ ක්‍රීඩා නායකතුමාගෙ සංශෝධිත ප්‍රකාශෙත් අහලා ඉම්මු ද”

 “ මගෙ හිත කියන්නෙ, අතුල මේ කියන්න හදන ප්‍රකාශේ ක්‍රීඩා උත්සවේ තේමා පාඨය කරගන්න තරං හොඳ එකක් වේවි කියලයි.”

 “ අපේ ලොකු සර්ට එහෙම හිතෙනවනං අපි අතුලගෙ කීමටත් ඉඩක් දීලා ඉම්මු.”

එසේ පැවසුවේ සිල්වා ආචාර්යවරිය යි.

 “ අපට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් අපට පෙර මේ මිහිමත ක්‍රීඩා කොට තිබෙනවා.  දැන් ඔවුන් සියලු දෙනා මේ කෙළිබිම මතුපිට ඇති පස් බවට පෙරැළී තිබෙනවා. ඒ බව සිහියේ තබාගෙනයි අප ක්‍රීඩා කළ යුත්තේ.”

 “ ලොකු සර් කියපු දේ ඇත්තට ම යථාර්ථයක් කරන්න හිතෙන විදිහෙ ප්‍රකාශයක්නෙ අතුල දැන් කළේ.”

අතුලගේ ඒ ප්‍රකාශය නිසා තමා විඳි ගැඹුර එසේ වචන බවට පෙරළුවේ තෙන්නකෝන් ආචාර්යවරයා ය.

 “ අතුල, ඔන්න අපේ මේ ජ්‍යෙෂ්ඨම ආචාර්යවරයෙක් වෙච්ච තෙන්නකෝන් සර් කිව්වෙ ඇත්තට ම අපි යථාර්ථයක් කරන්න ඕන දෙයක්. සද්ගුරුතුමාගෙ ප්‍රකාශයත් අර්ථවත්, ඒක පදනම් කරගෙන ඔයා හදපු ප්‍රකාශයත් අර්ථවත්. මට සතුටු වෙන්න පුළුවන් මම සුදුසු ම කෙනාට තමයි ක්‍රීඩා අංශය බාර දුන්නෙ කියලා. දැන් ගඟුල් කියන්න අපි කාටත් ඇහෙන්න ඒ අම්මා කියපු අදහසක් දෙකක්.”

විදුහල්පතිවරයා අතුලගේ ප්‍රකාශය අගයා තදනන්තර ව ගඟුල්ට අම්මා පිළිබඳ ව කතා කිරීමට අවකාශ සලසා දුන්නේ ය.

 “ ලස්සනයි හැඩයි කියන්නෙ එකක් නෙමෙයි දෙකක්” 

 මේ, ඒ අම්මා කියපු එක අදහසක්.

 “ ඒක හරි දාර්ශනික කතාවක්නෙ. අපේ වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමා කියන හැටියට Beauty කියන වචනය යි Chaming කියන වචනය යි අතර තියෙන වෙනස වගේ දෙයක්නෙ මේක. ”

 “ කොහොම ද ගඟුල් සර්, මාරසිංහ සර් මේ දෙකේ වෙනස පැහැදිලි කරන්නෙ.”

 “ සර් කියන්නෙ මිහිදිනී, කෙනෙක්ගෙ අපි දකින Beauty එහෙම නැත්තං ලස්සන, නැති වෙන්න පුළුවන් තාවකාලික දෙයක් කියල යි. ඒත් Chaming කියන වචනයෙන් කියවෙන සරල චාම් සුන්දර බව එහෙම නැති වෙන්නෙ නැහැ. කෙනෙක් මහලු වෙන කොට අර කියන ලස්සන නැති වෙන්න පුළුවන්. ඒත් කොච්චර වියපත් උනත් කෙනෙකුට ආවේණික අව්‍යාජ සුන්දරත්වය නැති වෙන්නෙ නැහැ කියල යි සර් අවධාරණ කළේ.”

 “ එහෙනං ගඟුල් සර්ට දකින්න කතා කරන්න වාසනාව හිමි වෙච්ච, අපට අහිමි වෙච්ච ඒ සමන්  සර්ලගෙ අම්මා ලස්සන කියන වචනෙ පාවිච්චි කරලා තියෙන්නෙ අපි ඉංග්‍රීසියෙදි Beauty කියන වචනයෙන් දෙන අර්ථෙ මතු කරන්න. ඒ වගෙම ඒ අම්මා හැඩ කියන වචනෙ පාවිච්චි කරලා තියෙන්නෙ Chaming කියන ඉංග්‍රීසි වචනයෙන් කියවෙන සරල චාම් සුන්දර ගුණය, එහෙම නැත්තං අව්‍යාජ බවේ හැඩය මතු කරන්න කියල යි මට හිතෙන්නෙ.”

 “ මිහිදිනීට ඒක දැනිලා තියෙන්නෙත් එහෙනං ඒක මට දැනිච්ච විදිහටමනෙ. ඔයා හරි මිහිදිනී, ලස්සන යි හැඩය යි අතර තියෙන වෙනස අඳුන ගන්න ඒ අම්මට හොඳට ම පුළුවන්කම තිබුණා.”

 “ මගෙ ආචාර්ය මණ්ඩලේ ඉන්න මේ තරුණ විද්වතුන්ගෙන් මේ වැඩිහිටි අපටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ දෙන්නා කතා කරන දේවල් අහගෙන ඉන්න කොට මට මතක් උනේ අපේ අටේ සිංහල පාඩම් පොතේ තිබිච්ච එව්. ඇම්. කුඩලිගම කවියගෙ උණු කඳුළු කවි පන්තිය. මන් හිතන හැටියට මෙතන ඉන්න තෙන්නකෝන් සර්ට සුමනා- වැලිකල - සිල්වා මැඩම්ලටත් තිබුණෙ ඒ පොතම තමයි සිංහලවලට.

ඒ අයට මතක ඇති ඒ කවි පන්තියෙ මෙහෙම අදහසක් තිබුණා.

                               'රැවටී මුළා වී ඇස් කණ        වන     රුවට

                              කිසිදා කිසි තැනෙකවත් නොවිණිමි නිවට'

මේ කියන්නෙ දැන් ගඟුල්ලා මිහිදිනීලා කතා කරපු දේමනෙ. ඒ කියන්නෙ බාහිර ව පේන ලස්සන නෙමෙයි අපි තකන්න ඕනෙ අභ්‍යන්තර ගූණ යි කියන එකනෙ.”

 “ ලොකු සර් ඔහොම කතා කරන කොට මට දැනෙන්නෙ මන් ආයෙත් අටේ පන්තියෙ ඉඳගෙන සිංහල පාඩම අහගෙන ඉන්නවා කියල යි. තමන්ගෙ අම්මගෙන් කුඩලිගම කවියා ජීවිතය ගැන ඉගෙන ගත්ත පාඩම් ම තමයි ඒ මුළු කවි පන්තිය පුරාම තියෙන්නෙ. ඒක නිසානෙ කවියා තමන්ගෙ අම්මව සමනළ කන්දට සමාන කරලා මෙහෙම කියන්නෙ.

                       'නොකියමි සමන් ගිරයයි       තුඹසකට කුඩා

                      මට වෙන කෙනෙකු සිටියේ නැහැ මවට වඩා'

 “ සුමනා ඒක මතක් කරන කොට මට මතක් වෙන්නෙ මගෙ අම්මව. ආදරණීය අම්මා කෙනෙක්ගෙ අහිමි වීම දරුවෙකුට කොච්චර නං දැනෙනව ද කියන පෙන්නලා දෙන තවත් කවියක් මට මතක් උනා. ඒක තියෙන්නෙත් උණු කඳුළුවල. මම ඒකත් කියල ම ගඟුල්ට ඉඩ දෙන්නංකො අර අම්මා කියපු තවත් අදහසක් දෙකක් කියන්න.

                         'සුවසේ දිගා වී            මවගේ දෙපය    මුල

                         රසවත් සිහිනයක පැටලී          නිදන  කල

                         මව මා හැර ගියා බිඳගෙන        අඳුරු  දැල

                         ඒ සුබ සිහින දැන් ඇත        ඇටසැකිලිවල'

 “ අපේ මේ තෙන්නකෝන් සර්, ඊට ඉස්සෙල්ලා සුමනා මැඩම්, ඊටත් කලින් අපේ ලොකු සර් කතා කරපු දේවල් අහගෙන හිටියට පස්සෙ ඒවා විඳිනවා, ඒවා ගැන කල්පනා කරනවා මිස මට වෙනත් දෙයක් කතා කරන්න වචන එන්නෙ නැහැ. අනිත් එක ඒ අම්මගෙ එකම එක ප්‍රකාශයක් තමයි අපි ඔක්කොම දෙනා මෙව්වර දුර අරන් ගියේ. අනේ ලොකු සර්, දැන් අපි ආවේ මහ සංවේදනීය දැනෙන තැනකට. අදට අපි නවතිමු ද?

 “ හොඳයි ගඟුල් එහෙනං ඒ නැවත්ම කිරීමේ වගකීමත් මන් දැන් පවරන්නෙ ඔයාට. ඔයා කැමති දෙයක් කියලා අපේ සංකථනයෙ නැවතීම සලකුණු කරන්න.”

සහෘදය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා කෙළේ හිස් සලා සිය විදුහල්පතිවරයාගේ ප්‍රකාශය අනුමත කිරීම ය.

අනතුරුව ඇසුණේ ගඟුල්ගේ හඬ යි.

 “ මන් එහෙනං ඒ අම්මට පිළිගන්නලා තියෙන උල්පත කවි පොතේ තැනකින් ම අවසන් කරන්නං.

 “ චාල්ස් ඩිකන්ස්ගේ හරිම දැනෙන ප්‍රකාශෙකට අපේ සර් කවියක් ලියලා තිබුණා. ඒක මගෙ ෆෝන් එකේ දාගෙන තියෙනවා. මන් ඒ ප්‍රකාශෙයි කවියයි කියලා නවතින්නං. ”

හෘදය සංවේදී සාවධානී සුනිහඬ තත් සහෘදය පර්ෂදයේ සවන්පත් වෙත ඒ මොහොතේ ගලා ආවේ අහිමි ව ගිය ඒ සදාදරණීය අම්මාගේ සදාශ්‍රය ලැබීමට භාග්‍යවන්ත වූ අව්‍යාජ යෞවනයකුගේ කම්පනීය ශෝකී ස්වරය යි. 

 '' මා අතිශයින් ආදරය දැක්වූ අය දැන් සොහොන් වළවල ගැඹුරේ වැතිර ඉන්නවා. මගේ ජීවිතයේ වාසනාවත් ප්‍රීතියත් ඔවුන් සමග ම වැළලී තිබෙනවා.

එසේ වුවත් මගේ හදවතින් කරුණා ආදරය ඉවත් කොට මුද්‍රා තබා නැහැ. ගැඹුරු ශෝකය නිසා ම ඒ ප්‍රේම චේතනා තව තවත් ශක්තිමත් වී පවතිනවා.''

 

                                    සෙනෙහස පිදූ ගැඹුරින්         හද සුපසන්      ව

                                    ආදරණීය ඔබ දැන් ඇත           මිහිදන්        ව

                                    ශෝකය නොයන මුත් කිසිදා       අවසන්     ව

                                    ප්‍රේමය සදා පවතියි ළඟ               පිරිපුන්     ව 

No comments:

Post a Comment