ගුරු දියවර 18
ඒ ගුරු පාර දෙපසින් ම ඇත්තේ සුදෝ සුදු මලින් ගැවසී ගත් වතුසුදු මල්වැටි ය. සිය සොහොයුරා වන විපුල් සමග ගඟුල් මේ ගමන් කරන්නේ රේණු සහ මිහිදිනී නැවතී සිටින ගෘහාලය වෙතට යි. මග දෙපස ඇති වතුසුදු මල් අව්‍යාජ පියකරු යුවතියන් වැනි සිතිවිල්ල ය, මේ මොහොතේ ගඟුල් සිත පිළිසිඳුණේ. සුදෝසුදු වතින් සැරසී ඔවුන් එන තෙක් මග බලා සිටි සුදෝසුදු හදින් සැරසි යුවතියෝ දෙදෙන මෝටර් රථයේ හඬ ඇසී ආලින්දයට පැමිණියහ. මේ පසන් ගුණැති යුවතියන්ගේ වතකමල් දුටු සැණින් ගඟුල්ගේ සිතට නැඟුණේ හෙළ සාහිත කෙත පොහොණි කළ මහ වියැරණ ඇදුරිඳු කුමරතුඟු මුනිදසුන්ගේ ඉසොඳුරු කවකි.
'ගස වතුසුදු
වී පිරිසුදු
පොහොය නැතිදු
සිල්
ගත් බඳු'
තරුණයන් දෙදෙනා රියෙන් බැස ඒ
ගෘහාලින්දය දෙසට යනවිට පළමු පිළිගැන්ම ලැබුණේ රේණු ගුරු සුහදිනිය වෙතිනි.
'ආයුබෝවන් විපුල් අය්යේ, ආයුබෝවන් ගඟුල් මල්ලී,ඔයදෙන්නවම අපි ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් අපේ මේ දුප්පත් නිකේතනයට පිළිගන්නවා.'
'ආයුබෝවන් නංගි, ආයුබෝවන්, හඬ අවදි කළ
නැගණිය සහ හඬ නිහඬ කළ නැගණිය, මට බොහොම සන්තෝසයි ඔබතුමිය මගේ නම පවා දැන සිටීම ගැන.'
'නම විතරක් නෙමෙයි අය්යේ ඔයගොල්ලන්ගේ
පවුලේ සියලු ම තොරතුරු මේ වනවිට අපේ මතක ගබඩාවේ තැන්පත් වෙලා තියෙනවා. ඒත් අය්යා
කියපු එක දෙයක් නං මට නිවැරදි කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නෙ ඔයා මේ හඬ නිහඬ කළ
නැගණිය වශයෙන් හඳුන්වා දුන් තැනැත්තිය එබඳු තැනැත්තියක් නොවන බව යි.'
රේණු එවදන් පැවසුවේ මිහිදිනී දෙසට අත
දිගු කොට පෙන්වමිනි.
'ඒ කියන්නෙ මෙතුමිය මන් දුටු පමණින්
තීරණය කළ විදිහේ නිහඬ තැනැත්තියක් නොවන බව ද?'
'නෑ නෑ අය්යෙ මම එහෙම ම කියන්නෙ නැහැ.'
මෙසේ පැවසූ රේණු තව දුටත් කතා කළා ය.
'මේ මිහිදිනිය වරෙක දි සුසැඬ යි.තව වරෙක
හඬ දෙයි. තව වරෙක ගම කයි.එලෙස ම දෙටු සොයුර, තව වරෙක ඇය නිහඬ යි. ඇදහිය නොහෙන ලෙස නිහඬ යි. එහෙත්
ඒ තොරතෝංචියක් නොමැති ව මා හා දොඩමළු වීමෙන් පසු නින්දට ගිය පසු ව යි. එවිට ඇය
ආශ්චර්යජනක ලෙස නිහඬ යි. ඒ නිහඬතාවෙන් පසු ඇය සුනිහඬ යි. එහෙත් අවදි වු පසු ඇය
යළිදු සුසැඬ යි, හඬ දෙයි, නිබඳ හඬ දෙයි.'
'ඈ නංගී, මෙතුමිය වෙනදාටත් කතා කරන්නෙ මේ විදිහට ලේඛන
බාසාවෙන් ද?'
'අපේ රේණු අක්කට වෙලාවකට පිස්සු අය්යෙ. හැබැයි
අය්යෙ ඒ පිස්සුවම තමයි සමහර වෙලාවක අපිට ආරස්සාව දෙන්නෙත්. රේණු අක්කෙ, මේ අය්යලා තවම එළියෙනෙ. එන්න අය්යෙ අපි ඇතුළට
ගිහින් ම කතා කරමුකො.'
'ඔව් යන් විපුල් අය්යෙ ඇතුළට. අපි අපේ
ගෙදර කට්ටියත් අඳුන්නලා දෙන්න එපායැ.'
'එතකොට විපුල් අය්යට විතරයි ආරාධනේ.
කලින් ඉඳන් අඳුනන මන් නැහැ. හරි ම අසාධාරණ යි, හරි ම අසාධාරණ යි.'
'එන්න විපුල් අය්යෙ, උඹටත් ඕන්නං වරෙන්.
නෑ එක්කො මන් ආරාධනා කරන්න ඕනෙ නැහැ උඹට. මිහිදිනී උඹට ඕනෙ නං විතරක් මෙන්න මේ
හාදයටත් එන්න කියපන්.'
'යන් ගඟුල් සර් ඇතුළට. ඔය ඇතුළට එන්න කියලා
ආරාධනා නොකරන කෙනා තමයි, ගඟුල් මල්ලි වැලිතලපවලට කැමති යි කියලා ඒවත් හැදුවේ.'
'අම්මේ මෙහෙ එන්නකො, අර අපි අද ක්‍රීඩා
උත්සවේ ආරාධනා පත්‍ර බෙදන්න යන්න අපිව එක්කන් යන්න එනවා කියපු සර්ලා දෙන්න තමයි මේ
ඇවිල්ලා ඉන්නෙ.'
දෑත් එකතු කොට ආචාර කරමින් ඔවුන් පිළිගන්නට ආළින්දයට පැමිණියේ මැදිවියේ ප්‍රසන්න කාන්තාවකි.
'එන්න පුතාලා දෙන්න ඇතුළට. ඇයි දුවලා මේ
පුතාලව එළියෙ තියාගෙන කතා කළේ. කතා කරන්ඩ එපායැ ඇතුළට.'
'ඔව් අම්මෙ මේ ලොකු දුව තමයි අපිව
පුළුවන් තරං එළියෙ තිබ්බෙ.'
'ආ මන් තමයි එහෙනං වැරදි. හොඳයි ගඟුල්, උඹ එහෙනං මෙතෙන්දිත් මිහිදිනීව බේරුවා එහෙනං. හොඳයි හොඳයි මල්ලි කොකාට වාරයක් ආව නං
තිත්තයටත් වාරයක් එයිනෙ. එන්න විපුල් අය්යෙ, මන් ඔයාට තාත්තව යි ලොකු අය්ය යි ඒ
අක්කව යි ඒ ගොල්ලන්ගෙ පැටියො දෙන්නවයි අඳුන්නලා දෙන්න.'
'එතකොට මට ඒ ගොල්ල අඳුන ගන්න හොඳ නැතුව
ඇති නේද රේණු මැඩම්. මිහිදිනී ඔයාවත් මට අඳුන්නලා දෙන්නකො ඒ අය ව.'
'ලොකු අය්යා කියලා කිව්වෙ රේණු නංගි තව
පොඩි අය්යා කෙනෙකුත් මෙහෙ හිටිය ද?'
'හිටියා අය්යෙ ඒත් ඒ අය්ය ව අපිට දකින්න
වාසනාවක් ලැබුණෙ නැහැ. මේ අම්මා, තාත්තා, ලොකු අය්යා කියන දේවල්වලින් තමයි ඒ අය්යා ගැන ලොකු චිත්‍රයක් අපේ හිත්වල ඇඳිලා
තියෙන්නෙ. අපි ඒ ගැන හෙමින් කතා කරමු අය්යෙ, විශේෂයෙන් ඒ අය්යා ගැන මතක් කරන හැම
වෙලාවකම අම්මට ගොඩක් දුක හිතෙනවා.'
'අපි හැම තිස්සෙම කතා නොකළට අපි හැම
කෙනාගෙම ජීවිතේ ඒ වගෙ අද්දැකීම් තියෙනවනෙ. මට ඒ වේදනාව ගැන හිතා ගන්න පුළුවන්
නංගි. ඔයා කිව්වා වගේ අපි ඒ පොඩි අය්යා ගැන පස්සෙ වෙලාවක කතා කරමු. අන්න මේ පැත්තට
අර එන්නෙ තාත්තා නේද?'
'දුවේ, ඔයගොල්ලන්ගෙ යාළුවො ඇවිත් නේද? ඉඳගන්න පුතාලා අපි ඉඳගෙනම කතා කරමුකො.
කොළඹ ඉඳන් නේද ආවේ. ඉස්සෙල්ලම අපි තේ ටිකක් බීලා ඉඳිමු.'
'මේ ගොල්ලන්ට වැඩිය සලකන්න යන්න එපා
තාත්තෙ. එතකොට දවල් කෑමටත් ඉන්න හදාවි.'
'ඉතින් හොඳයිනෙ දුව, කොහොමටත් ඔය
ළමයින්ට මගෙන් ඉඩක් හම්බ උනත් අම්මගෙන් නං ඉඩක් හම්බ වෙන්නෙ නැහැ කෑම නොකා යන්න.
මට කිව්වා මේ ළමයි දවස් කීපයක ගමනක් තියෙනවා තැන් කීපයකට යන්න කියලා. ඒත් මම
ඇහැව්වා ඔය දෙන්න විතර ද ඔය ගමන යන්නෙ කියලා එතකොට තමයි මේ ළමයි කිව්වෙ ගඟුල්
පුතා එක්කයි යන්නෙ, මේ පුතාගෙ අය්යා එනවා කියලා අපිව එක්ක යන්න කියලා. අපි ඉතින්
හොයලා බලන්න එපායැ මේ අපේ දරුවො වගෙම ළමයිනෙ පුතා.'
'අන්න තාත්තා අපිව දාලා තියෙන තැන.
දරුවො වගෙ නෙමෙයි තාත්තෙ, මේ මගෙ දරුවො කියන්න.'
'හප්පේ වචනයක් වරදින්න බැහැනෙ. හරි හරි
ලොකු දුව මන් වැරැද්ද හදාගන්නං. දරුවො වගේ නෙමෙයි මේ මගෙ දරුවො. දැන් හරි නේද රේණු
දූ.'
'දැන් හරි. අන්න එහෙමනෙ තාත්තෙ කියන්න
ඕනෙ. තාත්තට ඕනෙනං මේ ඇවිත් ඉන්න අය්යට කියන්න මේ අපේ දරුවෙක් වගේනෙ කියලා. අනිත්
කෙනාට එහෙම කියන්න අවශ්‍ය නැහැ.'
'ආ එහෙම ද මැඩම්, තාත්ත කිව්වා නේද මේ
මගෙ දරුවො වගේ කියලා දරුවො වගේ හරි මගෙ දරුවො හරි කියන වචනයත් එක්ක ගළපන්න පුළුවන්
මේ දෙන්නගෙන් එක්කෙනෙක් විතරයි තාත්තෙ. අනිත් එක්කෙනාට කියන්න ඕනෙ හොඳම වචනෙ මන්
තාත්තට කියන්නං.'
'මොකක් ද පුතේ ඒ වචනෙ?'
'තාත්තට තියෙන්නෙ අන්න ඒ මන් කියන කෙනාට
කතා කරන කොට දරුවො කියන තැන ද යන්න වෙනුවට ම යන්න දාලා කතා කරන එක.'
'හොඳයි කවුද ඒ මන් කියන කෙනා කියලා
ඉස්සෙල්ල ම කියලා ඉඳිමු ගඟුල් මහත්තයා.'
'අර අහිංසක මිහිදිනී නං නෙමෙයි තාත්තෙ.
මට කියන්න තියෙන්නෙ එච්චරයි.'
'ආ එච්චර ද එහෙනං මටත් කියන්න දෙයක්
තියෙනවා ඒත් ගඟුල් මහත්තයා ඒක කියන්නෙ ඔහේට නෙමෙයි හරි ය අපේ අම්මට.'
අනතුරුව රේණු හැරුණේ අම්මා දෙසට ය.
'අම්මෙ, මේ විපුල් අය්යට අම්මා හදපු දෝසි, අපේ මිහිදිනී හදපු හැලප, මං හදපු වැලිතලප, අම්මයි මායි කඩෙන් ගෙනාපු ජාති ඔය ඔක්කොම දෙන්න. මොකද මරුවො හදපුවා හොඳ නැතුව ඇතිනෙ මේ වැදගත්
මහත්තයට. අම්මට දෙන්නම ඕනෙ කියලා හිතෙනවා නං විතරක් අපේ වැදගත් උගුල් මහත්තයට ඔය
අපේ මිහිදිනී හදපු හැලපෙකින් බාගයක් හරි කාලක් හරි දෙන්න.'
'කාට ද දුවේ ඔයා මේ උගුල් මහත්තයා
කිව්වෙ අපේ මේ ගඟුල් පුතාට ද? හැබැයි දුවේ මන්නං ඉස්සෙල්ල ම සලකන්නෙ ගඟුල් පුතාට.'
අම්මා විපුල් දෙස බලා සිනාසෙමින්
පැවසුවේ ඇය ද එම හාස්‍යෝත්පාදක සංසිද්ධියේ කොටසක් බවට පත්වෙමිනි.
'ඔන්න ඕවට තමයි කියන්නෙ අම්මේ ඉස්සෙල්ලා
ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙනව යි කියල.'
'ඈ උගුල්තුමා, ඒ මට ද කිව්වෙ. ඒ වගෙම මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කවුද ඉස්සෙල්ලා ආපු කණ යි පස්සෙ ආපු අඟයි කියලා.'
'මෙහෙම යි මැඩම්, කොහොම උනත් මම යි මගෙ
අය්ය යි නං කණක් වත් අඟක් වත් නෙමෙයි.'
'එතකොට මම ද කණ, මිහිදිනී ද අඟ.'
'නෑ නෑ රේණු අක්කෙ ඒ අහිංසක කෙල්ලව මේකට
ගාව ගන්න ඕනෙ නැහැ. ඒ වගෙම අනිත් එක්කෙනාට කොහොමට වත් කණ වීමේ ගෞරවේ නං දෙන්න
බැහැ.'
'ඈ එතකොට මන් ද අඟ. හොඳයි හොඳයි ගඟුල් මල්ලි, උඹ ඔය අහිංසක කෙල්ලත් එක්ක එළියට වෙලා කතා කර කර හිටපන්. එන්න විපුල් අය්යෙ, අපි යමු තාත්තයි අම්මයිත් එක්ක ඇතුළට තේ බොන්න.'
'එහෙම හරි නෑනෙ නංගි, ඔන්න ඔහෙ අපි අදට
විතරක් ඒ දෙන්නටත් එන්න කියමු.'
විපුල් සිනාසෙමින් පැවසුවේ ඔහු ද මේ
ආදරණීය කලහයේ කොටසක් බවට පත් වෙමිනි.
'හොඳයි විපුල් අය්යා කියනවානං මන් අදට
විතරක් ඒ දෙන්නටත් චාන්ස් එකක් දෙන්නං. අම්මේ විපුල් අය්යට විතරක් ඔය වතුර
අල්ලන්නකො. කැමති නං එනවලා ඔය දෙන්නත් ඇතුළට.'
'හරි අසාධාරණ යි නෙ රේණු අක්කෙ ඔයා. මන්
කිසි දෙයක් කතා කළෙත් නෑ. ඔයා මාව වැරදිකාරියකුත් කරලා.'
'ඔව් ඒවා එහෙම තමයි. ඔයා මෙතෙන්දි
වැරදිකාරි වෙන්න පැහැදිලි හේතු දෙකක් ම තියෙනවා මිහිදිනී, දැනගන්න කැමති ද ඒ හේතු?'
'ඔව් මන් දැනගන්න කැමති යි. මන් ලෑස්ති
නෑ කිසිම වෙලාවක හේතු නැතුව වැරදිකාරියක් වෙන්න.'
'ඇත්තට ආ එහෙනං අහගනින් නංගි හේතු දෙක.'
'හේතු අංක එක - බරපතල චෝදනා ලද භයානක
මිනිහෙකුට විරුද්ධ ව නිර්භීත කුල කාන්තාවක් ඒ චෝදනා ගොනු කරන අවස්ථාවේ ඒ සත් කෘත්‍යයට
කිසිම සහායක් නොදී බුම්මාගෙන ඒ වගෙම උඩ බලා ගෙන වචනයක් වත් කතා නොකර ඔහේ බලා ගෙන
සිටීම.'
'හේතු අංක දෙක - භයානක චුදිතයා දෙස
සානුකම්පිත බැල්මක් හෙළා චෝදනා ඉදිරිපත් කරන උදාර කුල කාන්තාව දෙස ද්වේෂ සහගත
බැල්මක් හෙළීම.'
'හා හා නඩුවේ ඉතිරි කොටස පස්සට තියලා
දැන් මේ දරුවො ඔක්කොම යමුකො තේ බොන්න.'
හාස්‍යෝත්පාදනීය එසොඳුරු අවස්ථාවට
අවැසි ම මොහොතේ මිහිරි විරාමය ලබා දුන්නේ ඒ යෞවන යෞවනියන් සතර දෙනාට ම තමන්ගේ ම
තාත්තා ලෙස දැනුණු තාත්තා ය.
තේ පානය සඳහා හිඳගත් ඔවුනට දැකගැන්මට ලැබුණේ මුදු සිනහා රැඳි පසන් වත් සතරක් ඔවුන් දෙසට යොමු ව ඇති ආකාරය යි.
'ඔන්න පුතේ අද දවසේ සංග්‍රහ කමිටුව.
තාත්තයි අම්මයි පුතයි දුවයි.'
නිවැසි තාත්තා අත දිගු කොට පෙන්වූයේ
සිය දෙටු පුතු ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ය.
'මේ අපේ ලොකු පුතා. මේ අපේ ගෙදර ලොකු දුව. මේ තමයි අපේ ගෙදර පැටව් දෙන්නා. අද අපේ පුතා නිවාඩු දාලා හිටියෙත් ඔයගොල්ලො එන
නිසා ම තමයි.'
'අය්යලටත් කරදරේනෙ අපි හින්දා.'
ගඟුල් එසේ කියද්දී ඊට පිළිතුරු දුන්නේ රේණු ය.
'එහෙම තමයි හලෝ අපේ ලොකු අය්යා. ඒ විතරක් නෙමෙයි වැඩකදි අය්යා රෙඩි
නං මේ අක්කා එවරෙඩි. තව අපි මේ ගෙදර වැදගත් ම දෙන්නා අඳුන්නලා දුන්නෙ නැහැනෙ. මේ
අපි ඔක්කොමගෙ දුව ලවැසි ලාවණ්‍යා. ඒ වගෙම මේ පොඩි මහත්මයා සමුදු හදසර. මේ කෑම
මේසයේ රටාව සමුදු පුතාගෙ. මේකෙ ලතාව ලවැසි දුවගෙ.'
'ඈ රේණු නංගි, රටාවයි ලතාවයි කියන්නෙ
එකක් නෙමෙයි ද?'
'අය්යෝ විපුල් අය්යෙ, ඔයාගෙ මේ සහෝදර
භාෂා පඬිතුමා ඒකෙ වෙනස කියලා දීලා නැද්ද? මගේ පිරිසිදු චින්තනයට අනුව නං ඕක
එකක් නෙමෙයි දෙකක්.'
'ඔයාට එහෙම එකක් තියෙනවද රේණු අක්කෙ.'
'කොහොම එකක් ද හලෝ?'
'නෑ මේ මන් කිව්වෙ පිරිසිදු චින්තනේ
කියලා එකක්.'
'ඇයි එහෙම එකක් ලෝකේ නැද්ද?'
'නෑ නෑ
පිරිසිදු චින්තනේ කියලා එකක් ලෝකෙ තියෙනවා. මන් මේ අහන්නෙ එහෙම එකක් ඔයාට
තියෙනව ද කියන එකයි.'
'විපුල් අය්යෙ, පැහැදිලි ඉරිසියාව, උතුම්
කාන්තාවකගෙ පවිත්‍ර චින්තනේ දරාගන්න බැරි මේනියාව.'
'එහෙම අයත් ඉන්නව ද නංගි?'
'පැහැදිලිව ම. සමහර විට එකම පවුලක අය්යා
ඒ උදාර චින්තනේට ගරු කරද්දි ඒ පවුලෙම මල්ලි කෙනෙක් ඉන්න පුළුවන් ඒක දරා ගන්න බැරි.
ඒක දරුණු රෝග තත්ත්වයක්. ඕකට කියන්නෙ දරා බැරිමේනියා.'
'ඒක මහ අමුතු නමක්නෙ නංගි.'
'ඔව් අය්යෙ ඒක මගෙම නිර්මාණයක්.'
'අය්යෙ ඔය වගේ විලම්බීත නමක් හැදුවොත් ඒ ඉතින් අපේ රේණු මැඩම් මිසක් වෙන කවු ද?'
'විපුල් අය්යෙ සංස්කෘත සාහිත්‍යයෙ බොහොම ලස්සන කියමනක් තියෙනවා මෙහෙම. ඒක භවභූති කියන සංස්කෘත නාට්‍ය රචකයා කියලා තියෙන්නෙ. එතුමාගෙ ජීවිත කාලෙදි මේ මට වගේ ඒ දියයුතු ගෞරවය හම්බ වෙලා නැහැ. මොකද ඒ කාලෙත් මේ ගඟුල්ගෙ ජාතියෙ අය ඉඳලා තියෙනවා අපි වගේ අයට බාධා කරපු.'
'අපේ මල්ලි නං මන් දන්න තරමින් එහෙම
කාන්තාවන් කරන හොඳ වැඩවලට බාධා කරන කෙනෙක්නං නෙමෙයි. කමක් නෑ ඒ කොහොම උනත් අර ප්‍රකාශෙ
කියන්නකො බලන්න. කොච්චර දෙයක් ද ඉංග්‍රීසි සාහිත්‍යය හදාරපු කෙනෙක් සංස්කෘත සාහිත්‍යයටත්
උනන්දු වෙන එක.'
'ඔන්න එහෙනං විපුල් අය්යෙ අහගන්න. මිස්ට
ගඟුල් අහගන්නවා ඔහෙත් හොඳට.'
'හරි හරි මැඩම් කියන්නකො එහෙනං.'
'යථා ස්ත්‍රීණාං තථා වාචාං සාධුත්වෙ
දුර්ජනෝ ජනඃ'
'මොකක් ද දන්නව ද මේකෙ තේරුම.'
'යම් සේ ස්ත්‍රී චරිතයක ඇති පවිත්‍රභාවයත්
වචන යෝජනයෙහි ලා ඇති දක්ෂ භාවයත් පිළිගැනීමෙහි ලා ජනයා බෙහෙවින් දුර්ජන යි.'
'ඉතිං අක්කෙ ඕක අපිට කියලා දුන්නෙත් මේ
ගඟුල් සර්මනෙ.'
'මේ මිහිදිනී, ඒවා මෙතෙන්ට අදාළ නැහැ.
ඕනම වෙලාවෙදි ඒවා අදාළ තැනට ගළපන එකයි දක්ෂකම.'
'හරි හරි රේණු අක්කෙ, ඔයා ඕන දෙයක්
ගළපගන්නකො ඔයාට ඕන තැනට. දැන් අපි ඉක්මනට තේ බීලා අපේ ගමන කෙරෙන විදිහ සැලසුම්
කරගත්තොත් නේද හොඳ'
සුහද සංකථන අතරින් කාලය ගෙවී ගියේ ගමන
පිළිබඳ ව සැලසුම ද සකස් වෙමිනි. නිවැසි මාතාවට තරුණ පිරිසට දිවා ආහාරය ලබාදීමෙහි
ලා දැඩි වුවමනාවක් තිබුණ ද එදින ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක දෙකෙහි යායුතු තැන්
කිහිපයකට හෝ ගොස් තරුණියන් දෙදෙනා රේණුගේ නිවසට ද ඇරලවිය යුතු ව තිබූ බැවින් දවසේ
විරාමය සලකූණු කළ යුතු ව තිබිණ. එහෙයින් සිහිල් වැසි බිඳු වියලි බිම තෙමා ඇද හැලෙන
මොහොතේ ඔවුහු එනිවස වෙසෙන ආදරණීයයන්ගෙන් සමු ගත්හ.
'මන් දැන් වාහනේ ගෙනියන්නං. ටික දුරක්
ගියාට පස්සෙ මල්ලි ගන්න.'
එසේ පවසා රියැදුරු අසුනට ගොඩවූයේ
විපුල් ය.
'දැන් ඉතින් යන ගමන් ඔයගොල්ලන්ට
තියෙන්නෙ රාජකතා, චෝරකතා, යුද්ධකතා, අන්නකතා, වස්ත්‍රකතා, යානකතා එහෙම කිය කිය යන්න. මට
ඒවට ආසා හිතුණොත් අහනවා නැත්තං මන්...'
එසේ
කියා රේණු බැලුවේ මිහිදිනී දෙස ය.
'මේ මේ රේණු අක්කෙ ඒවා බැහැ හොඳේ.'
'හරි මොනව ද බැරි අර මන් කියපු කතා කරන
එක ද එහෙම නැත්තං මන්...'
'මන් දන්නවනෙ අක්කෙ, ඔයාගෙ නැත්තං මන්
එක.'
'උඹ දන්නවනං කියපන්කො. උඹ කොහොම ද දන්නෙ
නංගි මන් කියන්න ගියේ මොකක් ද කියන එක.'
'මන් අක්කෙ ඉතින් ඔයාගෙ
සද්ධිවිහාරිකාවනෙ. ඔයා හැරෙන කොට මන් දන්නව මොකක් ද ඔයා කියන්න යන්නෙ කියලා.'
'හා හොඳයි එහෙනං කියපන් නංගි, මේ වැදගත්
අය්යට යි නොවැදගත් මල්ලිටයි දෙන්නට ම දැනගන්නත් එක්ක මන් ඉස්සෙල්ලා කියන්න ගියේ
මොකක් ද කියලා.'
'වෙන මොකවත් නෙමෙයි අක්කෙ ඔයා කියන්න
ගියේ නැත්තං මන් නිදා ගන්නවා කියන එකනෙ. මේ අක්කෙ ඒකට නං ලෑස්ති වෙන්න එපා හොඳේ.
එතකොට මටත් කම්මැලි හිතෙනවනෙ.'
'හරි නංගි, උඹ හිතුවා හරියි කියමුකො. ඒත්
උඹට කොහොම ද කම්මැලි හිතෙන්නෙ. මේ නාගොල්ලාගම ඉස්කෝලෙ කතා චක්‍රවර්ති ඉන්නවා. ඒ
චක්‍රවර්තිගෙ අය්යාවර්ති ඉන්නවා.'
'ඒ උනාට රේණු අක්කෙ, ඔයාගෙ ඔය කතාව හරි
නංගි කියලා පටන් ගන්න එක වැරදි යි. මොක ද ඔයා අපට කරන්න කියන්නෙ වැරදි කතා හින්දා.'
'මේ මේ ගඟුල් මහත්තයා, කොහොම ද මුන්නැහේ
ඒවට වැරදි කතා කියන්නෙ.'
'අනේ රේණු අක්කෙ මන් නං නෙමෙයි ඒවට
වැරදි කතා කියන්නෙ.'
'එහෙනං කවුද එහෙම කියන්නෙ.'
'බුදුහාමුදුරුවො.'
'එහෙම ද එහෙනං බුදු හාමුදුරුවොම කියලා
ඇතිනෙ අපි කරන්න ඕන කතා මොනව ද කියන එකත්.'
'පැහැදිලි ව ම රේණු අක්කෙ පැහැදිලි ව ම.'
'මට පේන්නෙ රේණු නංගි, එක එක කතා කියන්න
කියපු කතාව නිසා ම වැදගත් සාකච්ඡාවකට මග පෑදුණා කියලයි.'
'අන්න දැක්ක ද විපුල් අය්යට තමයි තේරුණේ
ඒකත්.'
'ගඟුල් සර්, අපේ බුදුහාමුදුරුවෝ කියපු ඒ
කාරණාව ගැන කියන්ඩකො අපි කාටත් දැනගන්ඩත් එක්ක. ඔන්න රේණු අක්කෙ ඔයා නිදිය ගන්න
එහෙම බැහැ.'
'අපෝ නැහැ මන් නිදිය ගන්නෙ නැහැ. ලංකා
ඉතිහාසෙ පළමු වතාවට අර ගඟුල් කියන මනුස්සයා වැදගත් කතාවක් කරන්න යනවා කියන එකනෙ
අපේ මේ මිහිදිනී කියන්නෙ. අහන්න ආසයි, අපටත් කියන්න.'
'විනයපිටකයට අයිති පාචිත්තිය පාළි කියන
පොතේ තියෙනවා භික්ඛු විභංගය කියලා කොටසක්. ඒකට ම අයිති කොටසක් කියලා කියන්න
පුළුවන් රාජවග්ගෙ එනවා විකාලේගාමප්පවේසන සික්ඛාපද කියලා කොටසක්.'
'ඈ මල්ලියෙ, උඹ කොහොම ද බන් ඕවා ඔක්කොම
මතක තියාගෙන ඉන්නෙ. උඹේ සබ්ජෙක්ට් එක සිංහල උනාට උඹ මල්ලි මොකක් හරි කතා කරන්න
ගියාම නවතින්නෙ එක්කො පාලි ළඟ එහෙම නැත්තං සංස්කෘත ළඟ.'
'ඒකෙ ගෞරවේ නං යන්න ඕනෙ රේණු අක්කෙ
අදිකාරම්තුමාට, පලිහවඩන සර්ට වගෙම අපේ සර්ට.'
'ඒ කියන්නෙ මල්ලි'
'ඒ කියන්නෙ මට සංස්කෘත ඉගෙන ගන්න
ලැබිච්ච අපේ සර්ගෙ සංස්කෘත පාළි දැනුම පෝෂණය විතරක් නෙමෙයි, ජීවිතය පිළිබඳ විෂය
පෝෂණය කිරීම පිටිපස්සෙත් ඒ දැවැන්ත චරිත දෙක ඉන්න නිසා.'
'දැන් ආයෙත් අපි විනයපිටකයට අයිතියි
කියලා ගඟුල් සර් මතු කරපු කතාවට යමු ද?'
'ඔව් මිහිදිනී, ඒකෙ කියවෙන විදිහට
බුදුහාමුදුරුවො ජේතවනේ අනේපිඬු සිටු ආරාමෙ වැඩ ඉන්න කාලෙ ඡබ්බග්ගීය එහෙම නැත්තං
ෂඩ්වර්ගීය කියලා හඳුන්වන්න පුළුවන් භික්ෂූන් හයදෙනා සුදුසු නැති වෙලාවල්වලට ගම්වලට
ගිහිල්ලා නොයෙක් ජාතියෙ කතා කියනවලු. අද අපි කතා කරන වචනවලින් කියනවනං මේ කතා කරලා
තියෙන්නෙ වල්පල්. බුදු හාමුදුරුවො මේ කතා හඳුන්වන්නෙ තිරච්ඡාන කතා එහෙම නැත්තං
තිරශ්චීන කතා කියන නමින්.'
'ආ ඒ කියන්නෙ කොටින් ම කියනවනං තිරිසන්
කතා. මන් එහෙම කිව්වොත් හරි නේ ද?'
'හරියට ම හරි රේණු අක්කෙ ඔයා හරි.'
'ෂෙහ් එහෙනං මන් නොදැන හරි කරලා
තියෙන්නෙ හරි යෝජනාවක් නෙමෙයි කියන එක මට ම පිළිගන්න වෙනවා.'
'මට හිතෙන හැටියට රේණු අක්කෙ, යමක්
දැනගෙන කරන එකයි නොදැන කරන එකයි අතරෙ බරපතල වෙනසක් තියෙනවා. ඔයා කිව්වෙ නොදැන. ඒත්
අර ඡබ්බග්ගීය භික්ෂූන් මේක දැන දැන කළා කියන හැඟීම යි අපට ඇතිවෙන්නෙ මේ කොටස
කියවගෙන යනකොට. මොකද බුදුහාමුදුරුවො අර වගෙ බරපතල නමක් මේකට දීලා තියෙන්නෙ මේ කතා
අහන කිසිකෙනෙක් තුළ ඒක නිසා ප්‍රසන්න හැඟීමක් වත් ධර්මාවබෝධයක් වත් ඇති නොවන නිස යි.'
'එතකොට අපේ රේණු අක්කා නොදැන කියපු
ඔක්කොම කතා අයිති වෙන්නෙ ඒ ගොඩට ද?'
'මේ කෙල්ල හරි කෙල්ලෙක්නෙ. අනේ මගෙ
යාළුවා නොදැනනෙ ඒවා කියලා තියෙන්නෙ කියන එකත් කියලා එයා තිරිසන් කතා කියන්න තමයි
යෝජනා කළේ කියන එකත් ඇඟට පතට නොදැනි කියලා දැම්ම හැටි.'
'අනේ නෑ විපුල් අය්යෙ, මන් එහෙම යටි
අරුතක් ඇතුව නෙමෙයි එහෙම කිව්වෙ.'
'මිහිදිනී, රේණු දෙස සමායාචී බැල්මක්
හෙලමිනි, එවදන් පැවසුවේ.'
'හොඳයි, අපි ඒකතාව පැත්තකින් තියලා
මාතෘකාවට බහිමුකො. මොනව ද ගඟුල්, බුදු හාමුදුරුවො අපට කරන්න එපා කියලා තියෙන
තිරශ්චීන කතා.'
'මට මතක හැටියට තිරශ්චීන කතා විසිහතක නාමාවලියක්
එතන තියෙනවා. ඒ ඔක්කොම පිළිවෙළට කියන්න තරමේ මතකයක් මට නැහැ. අර ඔයා කියන්න කියලා
කියපුවට අමතරව අක්කෙ සේනාකතා, භයකතා, පානකතා, ශයනකතා, ඥාතිකතා, ග්‍රාමකතා, නගරකතා, ස්ත්‍රීකතා, පුරුෂකතා වගේ ඒවත් ඒ කතා අතර තිබුණා.'
'ඈ විපුල් අය්යෙ, බැලුවහම අපිත් ඉඩක්
ලැබිච්ච වෙලාවට ස්ටාෆ් රූම් එකට වෙලා කරලා තියෙන්නෙ ඔය වැඩේමනෙ.'
'ඒක හින්දා වෙන්න ඇති විපුල් අය්යා ගුරු
සේවෙට එන්නැතුව ඕපදූප කතා කිරීම පිළිබඳ මනා කෞශල්‍යයක් තියෙන මලයව ගුරුසේවෙට එවලා
තියෙන්නෙ.'
'ඒ උනාට රේණු අක්කෙ, අපේ ගඟුල් සර්
ස්ටාෆ් රූම් එකේ දි හරි වෙන තැනකදි හරි ඒ වගෙ කතා කරන්නෙ නැහැනෙ.'
'හෑ ඇච්ච ද අපේ ගඟුල් සර් එහෙම කතා
කරන්නැහැ. උඹද මිහිදිනී දැන් මෙයාගෙ ඉන්ටප්‍රිටර්. මෙයත් මරු, මගෙත් එක්ක එක වහලෙ
යට ඉඳගෙන වෙන අයට සපෝට් එකටයි කතාව.'
'මෙන්න අය්යෙ වැන්දා කවදා හරි ඔයා කසාද බඳිනවනං මේ ජාතියෙ කෙනෙක්නං ගෙදෙට්ට ගේන්න එපා.'
ගඟුල් දෑත් එකතු කොට විපුල් දෙසට හැරී
වැන්දේ සිනාසෙමිනි.
'හිහිහිහි'
මිහිදිනී සිය සිනහව තද කොට ගැන්මට
ගියත් එය පුපුරා ගියේ ඇයටත් නොදැනුවත්වම ය.
'ආ එයාගෙ සහයට මෙයාගෙ සිරික්කිය. ඒකට
දඬුවම අපේ ගෙදරදි නංගි උඹට කරන සංග්‍රහ හැකිතාක් සීමා කිරීම. ආ ඒ වගෙම ගඟුල් මල්ලි, උඹ දැනගන්න ඕන මේ වගෙ නෑනෙක් ලබන්න නං උඹ පින් කරන්න ඕනෙ වගත්.'
'හොඳයි රේණු අක්කෙ, මගෙ සංග්‍රහ කරගන්න
හැටි මන් ඔයාගෙ ගෙදර ගිහිල්ලම බලා ගන්නංකො. දැනට අපිට සමාවෙලා ගඟුල් සර්ට කරගෙන
ආපු කතාව කරගෙන යන්න දෙමු ද?'
'ආ නංගි උඹත් දැන් ගානට වැඩියි හොඳේ.
මදැයි මන් අහිංසකාවිය, සුරංගනාවිය, විමන්ලතාවිය කියලා හිතාගෙන හිටපු ගෑනිගෙ තරම.'
'රේණු මැඩම් මට කතාව කරන්න අවසර ද?'
'හ්ම් අවසරයි.'
'ඉස්සෙල්ලා අපේ රේණු අක්කා කියපු කතාව
හරි. මොකද මාත් ඇතුළුව අපි ගොඩක් දෙනා දැන හෝ නොදැන කරන්නෙ නං නොකළ යුතු කතා තමයි - තිරස්චීන කතා තමයි. එහෙම බැලුවහම උගත්- නූගත්, ධනවත් - දුගී, බලය තියෙන - බලය නැති අපි කවුරු කළත් ඒක හරි
දෙයක් නෙමෙයි. එහෙම හිතුවොත් අපි කාටවත් බුද්ධ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ.'
'ඒත් ගඟුල් සර් මට මෙතෙන්දි ප්‍රශ්නයක්
තියෙනවා. මන් ඇහැව්වට කමක් නැද්ද?'
'අහන්න මිහිදිනී, අපට බුදුහාමුදුරුවො
කියලා තියෙන්නෙ තමන් වහන්සෙ කියපු නිසාවත් ඒ අදහසේ තියෙන පැරණිකම නිසාවත් ඒක
පිළිගන්නෙ නැතුව හොඳට හොයලා බලලා බාර ගන්න කියලනෙ.'
'ගඟුල් සංස්කෘත සාහිත්‍යෙ නැද්ද ඒ වගෙ
එක අදහසක් වත්.'
'මොකද නැත්තෙ රේණු අක්කෙ. සංස්කෘත සාහිත්‍යයෙ තියෙනව, පුරාණමිත්‍යෙව න සාධු සර්වං කියල කියමනක්. ඒකෙන් කියන්නෙත් යමක් පැරණි වෙච්ච පළියට ම හරි වෙන්නෙත් නූතන වෙච්ච පළියට වැරදි වෙන්නෙත් නැහැ. ඒක නිසා හොඳට විමසලා බලලා ඒක පිළිගැනීම හෝ නොපිළිගැනීම අපට ම කරන්න කියලා. හරි දැන් කියන්නකො මිහිදිනී මිස්ගෙ ප්‍රශ්නෙ.'
'ගඟුල් සර් කිව්ව හැටියට අර කියපු
කතාවලට නොකළ යුතු කතා කියලා කියන එකනං හරි. ඒ උනාට තිරස්චීන කතා කියලා කියන එක හරි
ද කියල යි මන් මේ කල්පනා කරන්නෙ.'
'මොකක් ද මිහිදිනි, ඒකෙ තියෙන වැරැද්ද?'
'ආ ඉඳා මන් ගඟුල් සර්ගෙ පැත්ත ගත්ත
කියලා මගෙ සංග්‍රහ වියදං හිටන් කපාහරින්න තීරණය කරපු රේණු අක්ක දැන් ඒ පැත්තට කතා
කරනවා.'
'ඇයි මිහිදිනී, ඔයාට එහෙම හිතුණෙ. මොකක්
හරි හේතුවක් නැතුව ඔයා ඔහොම කතා කරන්නෙ නැහැ. අපිත් කැමතියි ඒක දැනගෙන හේතුයුක්ති
සහිත නං ඒක පිළිගන්නත් නැත්තං බැහැර කරන්නත්.'
'නෑ මං එහෙම කිව්වෙ තිරිසන් සතුන්
කළයුතු හරි නොකළ යුතු හරි කතා නොකරන හින්දයි. ඒක නිසා මෙතෙන්දි නොකළ යුතු කතා කියන වචනෙ
පාවිච්චි කරනවනං වැඩිය හොඳයි කියන එකයි මටනං හිතෙන්නෙ.'
'ඒ උනාට මල්ලි, ඔය නාමාවලියෙ තියෙන සමහර
කතා, කරන පදනම අනුව තිරශ්චීන එහෙම නැත්තං නොකළ යුතු කතා ගණයට අයත් නොවෙන්න පුළුවන්
නේද?'
'අප්පේ යන්තං ඇති විපුල් අය්යත් බුම්මැට්ටෙක්
වගේ ඉන්නැතුව තමන්ගෙ බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න මලයණ්ඩිගෙ කතාවට මැදිහත් උනා.'
'ඒ උනාට නගෝ, අපේ මලය කරන අර්ථ දැක්වීම්
අනුව හිතලා ජීවිත කාලෙම බුම්මැට්ටෙක් විදිහට ම ඉන්න තමයි මම තීරණය කරල තියෙන්නෙ.'
'ඒයි ගඟුල් පඬිතුමා, මොකක් ද මේ තමුන්ගෙ
වැඩිමහල් සහෝදරයා කියන්නෙ. අපට දෙනවා වගේ දුන්නද අය්යටත් හොඳ ලණුවක්.'
'ලණුවක් නෙමෙයි ලොකු නෝනා, මගෙ විෂය
භාෂාව නිසා මන් මගෙ ගුරුවරුන්ගෙ ඉගෙන ගත්ත විදිහට වචන දෙකක අර්ථ අය්යට කියලා
දුන්නා.'
'මොකක් ද අප්පේ විපුල් අය්යගේ ජීවිතේ
විප්ලවීය වෙනසක් ඇති වෙන්න තරං හේතු වෙච්ච වචන දෙක.'
'එකක් ආකාශස්ථ, අනෙක භූම්‍යස්ථ. තව සරල
කරලා කිව්වොත් අහසෙ ඉන්න සහ පොළොවෙ ඉන්න කියන අර්ථ දෙක.'
'ගඟුල් සර් අපි නිතර කියන අපිට නිතර
ඇහෙන ආකාසට්ඨා ච භුම්මට්ඨා ගාථාවෙන් කියන්නෙත් ඒක ම නේ ද?'
'හරියට ම හරි මිහිදිනී, ඒ පාලි වචන දෙක.
කලින් කිව්වෙ සංස්කෘත වචන දෙක. මේ කොයි බාසාවෙන් කිව්වත් ඒකෙන් අදහස් වෙන්නෙ අහසෙ
ඉන්න සහ පොළොවේ ඉන්න කියන අර්ථ තමයි. අපි බුම්මට්ටයා කියලා බුම්ම ගෙන ඉන්න කෙනාට කිව්වට
ඒකෙ තියෙන්නෙ හරිම ගැඹුරු අර්ථයක්. එහෙම බැලුවහම ආකාශස්ථ නැත්තං ආකාසට්ඨ කියන්නෙ
අහසෙ ඉන්න අයට. භූම්‍යස්ථ එහෙම නැත්තං බුම්මට්ඨ කියන්නෙ පොළොවෙ ඉන්න අයට. මට අද
වගේ මතකයි ඔය අර්ථ ගැන මුලින් ම කියපු දවසෙ අපේ අය්යා කියපු කතාව.'
'ගඟුල්, අපි කැමතියි අය්යා කියපු ඒ කතාව
ගැනත් දැන ගන්න.'
'අය්යා එදා කිව්වෙ මල්ලි මම කැමති අහසෙ
ඉන්න දෙවියෙක් වෙන්න නෙමෙයි මහපොළොවෙ ඇවිදින්න දන්න මනුස්සයෙක් වෙන්න කියලයි.'
'එතකොට ගඟුල් සර්, මහපොළොවෙ ඇවිදින්න
දන්න ඒ වගෙම අපිට අහස තරම් උඩක තියන්න හිතෙන ඒ උනාට මහපොළොවෙ අපිත් එක්ක ම ඇවිදින
දෙවිවරු නැද්ද?'
'මන් කැමතියි අපේ මිහිදිනී මිස්ගෙ ප්‍රශ්නෙට
අපේ අය්යා උත්තර දෙනව නං. මොකද මට වඩා සමීප ව මට වඩා වැඩි කාලයක් මහපොළොවෙ ඇවිද ගිය
දිව්‍යමය මනුස්සයව ආශ්‍රය කරන්න ලැබුණෙ අපේ අය්යට නිසා.'
'කවුද ඒ? දැන් එයා කොහෙද ඉන්නෙ?'
'රේණු නංගි ප්‍රශ්න දෙකක් ඇහැව්වා.
පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ සමන් සිත්තරා. මේ වෙන කොටත් අපේ මල්ලි ඒ චරිතෙ ගැන නොකියා
ඉන්න විදිහක් නෑ. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එයා ඉන්නෙ මෙන්න මෙතන.'
මෙසේ කියා විපුල් එක් අතක් සුක්කානමෙන් ඉවතට ගෙන තබා ගත්තේ තම හද මත ය. අනතුරුව ඔහු කතා කෙළේ ය.
'ඒ සමන් ගැන කතා කරන්න නංගි අපිට අපේ
ජීවිත කාලෙත් මදි. මන් කැමතියි පස්සෙ දවසක එයාගෙන් මගෙ ජීවිතේට උකහා ගත්ත දේවල්
ගැන කතා කරන්න. මොක ද ඒක නං කිසිම විදිහකින් නොකළ යුතු පුරුෂ කතා අතරට අයිති කරන්න
බැරි නිසා. දැන් ඔයගොල්ලො කරගෙන ගිය කතාව කරගෙන යන්න.'
'විපුල් අය්යට මහන්සි නං මන් හරි ගඟුල්
හරි වාහනේ ගෙනියන්නං.'
'එහෙම මහන්සියක් නෑ නංගි, ඔයගොල්ලන්ගෙ ඔය
කතා අහ අහ යනකොට මොන මහන්සියක් ද?'
'අපි ඉස්සෙල්ලා කතාව නවත්තපු තැනට
ගියොත් කතාව පටන් ගන්න ඕනෙ විපුල් අය්යම තමයි. මතක ද අන්තිමට අය්යා කිව්වා අර නොකළ
යුතු කතා නාමාවලියෙ තියෙන සමහර කතා නොකළ යුතු කතාවක් නොවෙන්න පුළුවන් කියන එක.
අය්යට පුළුවන් ද ඒක තව ටිකක් පැහැදිලි කරන්න.'
'අපි මෙහෙම හිතමු නංගී ඉතිහාසය ගැන
උනන්දුවක් දක්වන ලෝකයට යහපතක් කරපු රජවරුන් ගැන කතා කරන එක නොකළ යුතු කතාවක් කියලා
මට හිතෙන්නෙ නැහැ. ඒ වගෙම ආහාර විද්‍යාඥයෙක් හරි වෛද්‍යවරයෙක් හරි ශාස්ත්‍රීය
පදනමක ඉඳගෙන කරන ආහාර ගැන දක්වන අදහස් අපට තිරශ්චීන අන්න කතා ගණයට දාන්න බැහැ. ඒ
විතරක් ද අපේ බුදුහාමුදුරුවො ආහාර ගැන දේශනා කරලා තියෙන දේවල් අන්තර්ගත කතාත් අපිට බැහැනෙ නොකළ යුතු කතා අතරට දාන්න. ඒ වගෙම අපි සමන් සිත්තරා ගැන කතා
කරනවනං ඉස්සෙල්ලත් මන් කියපු විදිහට ඒක කොහොමටවත් නොකළ යුතු පුරුෂකතා අතරට අයිති
කරන්න බැහැ. ඒ වගේම තමයි කතා කළයුතු උතුම් ගැහැනියක් ගැන කතා කිරීමත් අපට මොන
විදිහෙන්වත් නොකළ යුතු ස්ත්‍රී කතා අතරට දාන්න බැහැ.'
'ඒත් අය්යෙ, සමහර ස්ත්‍රීන් ගැන කතා
කිරීම නං නොකළ යුතු කතා අතරට තමයි අපිට දාන්න වෙන්නෙ. ඒක බුද්ධ කාලෙටත් හරි, අදටත්
හරි, හෙට දවසටත් හරි.'
'ඇයි ඔය විදිහට කතා කරන්න වැදුණ ද
මහත්තයො ඔයාට ගෑනියෙක්ගෙන් හොඳ ෂොට් එකක්.'
'මට හම්බ වෙච්ච ෂොට් එකක් නෑ කාගෙන්වත්.
ඕන්නං මට මේ දැන් කියන්න පුළුවන් කතා නොකළ යුතු ස්ත්‍රී චරිතයක නමක්.'
'ගඟුල් සර්, ඇත්තටම ඔයා ඇසුරු කරලා
තියෙනව ද එහෙම චරිතත්.'
'මොකෝ නැත්තෙ මිහිදිනී, මේ ජිවිත කාලෙදි
අපි කැමති උනත් නැති උනත් අපිට එහෙම චරිතත් ඇසුරු කරන්න ම වෙනවා.'
'එතකොට දැන් ගඟුල් සර් කියන්න හදන්නෙ ප්‍රසිද්ධ
කාන්තා චරිතයක නමක් ද?'
'ප්‍රසිද්ධ ද නැද්ද කියන්නනං මන් දන්නෙ
නැහැ මිහිදිනී මිස්. හැබැයි එයා හිතාගෙන ඉන්නෙ නං තමන් ලෝක ප්‍රසිද්ධ එහෙමත්
නැත්තං විශ්වව්‍යාප්ත චරිතයක් කියලයි. කමක් නැද්ද රේණු අක්කෙ ඒ නම කිව්වට.'
'කියපන් කියපන් මේ දැන් ම කියපන්.'
ගඟුල් මොහොතක් කල්පනා කෙළේ ය. අනතුරුව
හිස කැසුවේ ය. තදනන්තරව කතා කෙළේ ය.
'රේණු අක්කෙ, ඇත්තට ම කමක් නැද්ද කිව්වට.'
'මන් සැරයක් කිව්වනෙ කමක් නෑ කියලා.
දැන් කියපන්, මේ දැන් ම කියපන්'
'හොඳයි, එහෙනං මන් ඔච්චර ම කියනව නං
කියලා දාන්නං. කමක් නැද්ද රේණු අක්කෙ.'
'මන් උඹට දැන් කිව්වෙ මොකක් ද, කියන්න
කියලා නේ ද'
'ඔන්න එහෙනං කිව්වා. ඔක්කොම සාවධානව
අහගන්න. ඒ කතා නොකළ යුතු ස්ත්‍රී චරිතය වනාහි නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අප්‍රවීණ ආචාර්ය මහාවාචාලී අගෞරව අශාස්ත්‍රවේදී රේණුකා
මනඛාදිනී.'
'ගඟුල් මල්ලී, උඹ ගාණට වැඩියි. මන් දනියි
විපුල් අය්යා මෙතන නැත්තං උඹට කියන්න ඕන දේ. උඹ මල්ලි මන් කිව්වා කියලා හිතා ගනින්
හොඳේ.'
'අපේ මල්ලි ආදරේට කියන ඒවා එච්චර ගණන්
ගන්න එපා රේණු, ඔය ගොල්ලන්ගෙ කතාවට බාධාවක් වෙන්නෙ නැත්තං විතරක් ආචාර්ය
අදිකාරම්තුමා ප්‍රසිද්ධ දේශනයකදි කියපු කතාවක් කියන්නං. සමහර විට මේ කතාව අපේ මල්ලි ඕගොල්ලන්ට කලින් කියලත් ඇති.'
'අනේ කියන්න විපුල් අය්යෙ අපි කැමතියි
අහන්න. අදිකාරම්තුමා කිව්වනං ඒක අහන්නම ඕන කතාවක් තමයි. අහපු කතාවක් වුණත් අවශ්‍යම තැනකට ගළපල කරන කොට ඒකෙත් අමුතුම ලස්සනක් තියෙනව.'
'අපි කැමතියි අහන්න කිව්වට ඔයාගෙ මේ
රේණු අක්කා ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්කුවෙ නැහැනෙ.'
'මේ විපුල් අය්යෙ, මගෙ නිහඬතාව ම තමයි ප්‍රතිචාරය.
ඔයා අය්යෙ තාම තේරුං ගත්තෙ නැද්ද මේ රේණු කියන්නෙ කථාශ්‍රවණාභිලාෂිණියක් වග.'
'කථාශ්‍රවණාභිලාෂිණියක් කෙසේ වෙතත්
කතාකරනාභිලාෂිණියක් වග නං ඔයා හම්බ වෙච්ච මුල් විනාඩිය දෙකේදිම මට හොඳටම තේරුං
ගියා නංගි.'
'එහෙනං බොහොම හොඳයි විපුල් අය්යෙ, ඔයා
මන් කතාකරනාභිලාෂිණියක් වග තේරුං ගත්ත එක. ඒ වගෙම විපුල් අය්යෙ, මේ මොහොතෙ ඉඳලා ඔයා
තේරුං ගත්තොත් හොඳයි මම කථාශ්‍රවණාභිලාෂිණියක් වගත්. හැබැයි මට කණගාටු ඒ අය්යගෙ
මල්ලි මේ වෙනකොට අවුරුදු බාගෙකට කිට්ටු වෙන්න ආස්සරේ කරලත් ඔය ටික තේරුං නොගත්ත
එක.'
'හොඳයි එහෙනං මන් ඒ කතාව කියන්නංකො. මේ
කතාව කැමති කෙනෙකුට කියවන්න කැමතිනං අදිකාරම්තුමාගෙ සිතිවිලි ලිපියකත් තියෙනවා. දවසක් පුතෙක් ගණ කැලෑවක් මැදින් ගමනක් යන්න තීරණය කරලා අම්මට
කියනවා අම්මේ මම කැලේ මැදින් හෙට උදේම ගමනක් යනවා
කියලා. මේ කැලේ දරුණු කොටියෙක් ඉන්නවා. ඒ බව මේ අම්මත් දන්නවා, පුතත්
දන්නවා. මේ අනතුරුදායක බව නිසාම අම්මා තදින් ම කියනවා ඔය ගමන යන්න එපා කියලා. ඒ
පුතාට තියෙන ආදරේ නිසයි. ඒ උනාට පුතා ඒක අහන්නැතුව පහුවදා උදෙන් ම අර කොටියා ඉන්න
කැලෑව මැද්දෙන් යන ගමනට සූදානං වෙලා අම්මට කියනවා මම අද මේ ගමන යනවාමයි කියලා.
එතකොට අම්මා කියනවා මන් කියන දේ අහන්නැති උඹව කොටියම කාපන් කියලා.'
'එහෙම කිව්වට පස්සෙත් අර පුතා නැවතුණේ
නැද්ද විපුල් අය්යෙ.'
ඒ මිහිදිනී ය.
'නැහැනෙ නංගි, මේ යෝදයා අර ගමන යන්න පිටත්
වෙනවා.'
'ඒ කියන්නෙ විපුල් අය්යෙ, ඒ කාලෙත් කිව්ව
දේ නාහන අපේ මේ ගඟුලයාගේ ජාතියෙ පුත්තු ඉඳලා තියෙනවා.'
'පුත්තු කෙසේ වෙතත් අම්මට සත්තම දාලා
මන් ඈත ඉස්කෝලෙකට උගන්නන්න යනවාමයි කියලා පාට් දාපු දුවලා නං අය්යෙ අද සමාජෙත්
ඉන්නවා.'
'උඹ කොහොම ද මල්ලි ඒ කතාව දන්නෙ.'
'ඔන්න ඕකට තමයි අය්යෙ, බළලා මල්ලෙන්
එළියට පනිනවා කියන්නෙ. අපි කියන්නත් ඉස්සෙල්ලා ඒ දුව කවුද කියන එක තමුන් විසින් ම
හෙළිදරව් කරලා ඉවරයි.'
'මොකක් ද අනේ ඔය දෙන්නට වෙලා තියෙන්නෙ, ඔය ගොල්ලො මේ විපුල් අය්යට කතාව කියන්න දෙන්නෙ නැහැනෙ.'
'හරි හරි අපි බාදාකරන්නැහැ. කියන්න
විපුල් අය්යෙ, අහන්න නංගි කතාව.'
අමුතුම තාලයේ හඬකින් ඒ ඇදපැද කතා කෙළේ
රේණු ය.
'ඒ වෙලාවෙ නංගි, අර අම්මා පුතාට කියනවා
කියන දේ අහන්නෙ නැති උඹව කොටියම කාපන් කියලා. ඒ උනාට ඒකත් වගකට ගන්නෙ නැතුව අර
පුතා ගමන යනවා. දැන් මේ හාදයා කැලේ මැද්දට ම යනවා. ඔන්න අර අම්මා කිව්ව වගේම
කොටියා ඉස්සරහට එනවා. ඒ වෙලාවෙ තමයි අර පුතාට දෙවියන් බුදුන් සිහි වෙන්නෙත් අම්මා
කියපු දේ ඇහැව්වනං හොඳයි කියලා හිතෙන්නෙත්. හැබැයි දැන් පරක්කු වැඩියි.'
'ඒ කියන්නෙ විපුල් අය්යෙ, අම්මා කියපු දේ
අහන්නැතුව ආපු අර පුතාව කොටියා කෑව ද?'
'නෑ රේණු නංගි, ඒ වෙලාවෙ මහ පුදුම දෙයක්
සිද්ධ වෙනවා. කොටියා තමන්ගෙ ඇඟට පනින්න හදන මොහොතෙදි මේ පුතා මෙහෙම ප්‍රාර්ථනයක්
කරනවා.'
'මගෙ අම්මා මන් එන්න හදපු වෙලාවෙ කටින්
කියපු දේ නෙමෙයි හිතෙන් හිතපු දේ සිද්ධ වෙන්න ඕනෙ.'
'ඉතිං ඉතිං ඊට පස්සෙ මොකක් ද උනේ?'
සිය හද පිළිසිඳි කුතුහලය රේණුත්
මිහිදිනීත් එසේ ප්‍රකාශයට පත් කෙළේ එක් වර ය.
'ඊට පස්සෙ ද ඒ කතාවෙ කියවෙන්නෙ ටිකක්
වෙලා අර දරුණු කොටියා මේ තරුණයාගෙ මූණ දිහා බලන් ඉඳලා හැරිලා ගියා කියල යි.'
රිය හඬ පමණක් ඇසී කටහඬ නෑසී ගිය ඒ
සුනිහඬ නිමේශයේ හදවත් සතරක පිළිසිඳි සුගැඹුරු හැඟුම ප්‍රකාශයට පත් කෙළේ රේණු යෞවනිය යි.
'අම්මා කෙනෙක්ගේ ආදරේ තියෙන ගැඹුර වගේ ම
බලය පුංචි කතාවකින් අපේ හිත්වල පතුලට ම දනවන කතාවක් අය්යෙ ඒක. මට හිතෙන්නෙ ජීවිතය
ගැන ගැඹුරු දැක්මක් තියෙන කෙනෙක් අතින් නිර්මාණය වෙච්ච කතාවක් කියලයි මේ.'
'රේණු නංගි, ඔයා කියපු දේ ම තමයි එදා අදිකාරම්තුමා ඔය කතාව කිව්වට පස්සෙ කියලා තියෙන්නෙත්. එතුමා කියන්නෙත් තමන්ගෙ මුළු ජීවිත කාලය පුරාම කළ යුතු කතා කරපු කෙනෙක්.'
මෙසේ කියා මඳ විරාමයක් ගත් විපුල් යළිත් සිය හඬ අවදි කෙළේ ය.
'අපි දඹදෙනිය ටවුමට යන්න ඉස්සෙල්ලා හම්බ
වෙන නිදහස් පරිසරයක තියෙන කඩයක් ළඟ නවත්තලා තේ ටිකක් එහෙම බීලම අපේ මල්ලිට කියමු නොකළ යුතු කතා වගෙම බුදු හාමුදුරුවො කළ යුතු කතා ගැන කියපු දේවලුත් කියන්න.'
විපුල් රිය නතර කෙළේ විසල් තුරු වියනක්
මැදින් ගිමන් හල වෙත යාමට හැකි වන සේ මාවත සකසා තිබෙන සොඳුරු බිම්කඩක ය. එහි එක්
පසෙකින් දිස් වන්නේ පිරිසිඳු දිය රැඳි ජලාශයකි. ඊට එපිටෙන් කුඩා කඳු පන්තියකි.
අනෙක් පසින් දිස් වන්නේ වන බිම් කඩකි.
'මේ අය්යා මල්ලි දෙන්නා ගැන මට හරි
ඉරිසියත් හිතෙනවා. අපට මග ඇරිච්ච ලස්සන තැන්වලටනෙ මේ දෙන්න ඇවිල්ල තියෙන්නෙ.'
'රේණු, අපි ගොඩාක් දෙනාට මග ඇරිච්ච ලස්සන
දේවල් වගේම ලස්සන චරිත මේ ලෝකෙ තියෙනවා. වෙලාවකට නංගි, අපි උගත්කම් කියලා මේ ජීවිත
කාලෙ පුරා රැස්කරගන්න උත්සාහ කරන දේවල් නිසත් අපට හොඳම දේවල් මග ඇරෙනවද්ද කියලත්
මට හිතෙනවා.'
'අය්යෙ, ඉගෙන ගන්නත් අතරේ ජීවිතෙත් මග ඇර
ගන්නැතුව ඉන්න අපිට බැරි ද?'
'මොකෝ නංගි බැරි. මේ මිහිදිනී නංගි
අපෙන් ඇහැව්වෙ අපි හැම කෙනාම අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙ තමාගෙන් ම
අහලා තමන්ගෙ විෂය දැනුමත් හදා ගත්ත ඒ වගෙම ජීවිතෙත් මග ඇර ගත්තෙ නැති චරිත තුනක්
මගෙ මේ කෙටි ජීවිත කාලෙ දි මට හම්බ වෙලා තියෙනවා. ඒ විදියට තමන්ගෙ ජීවිත ලස්සන
කරගැනීමෙන් විතරක් මේ චරිත සෑහීමට පත් වෙන්නෙ නැහැ. ඒ ගොල්ලන් කරන්නෙ තමන්ගෙ කායික
මරණය සිද්ධ වෙනකං අනෙක් අයගෙ ජීවිත ලස්සන කරන්න කටයුතු කරන එක.'
'අනේ අය්යෙ, අපිත් කැමතියි ඒ චරිත ගැන
දැන ගන්න. අය්යා කියපු දේවල් අනුව මේ වෙන කොටත් අපේ හිත්වල චරිත දෙකක් මැවිලා
තියෙනවා. මන් හිතනවා අපේ මිහිදිනීගෙ හිතෙත් ඒක ඒ විදිහටම වෙලා ඇති කියලා. මිහිදිනී, උඹ කියපන් නංගි මන් හිතපු විදිහටම උඹේ හිතෙත් එහෙම චරිත දෙකක් මැවිලා තියෙනවනං ඒ
කවුද කියලා?'
'රේණු අක්කෙ, ඔයාගෙ වගෙම මගෙ හිතෙත් ඒ
චරිත දෙක මැව්වේ එකම පවුලක අය්යා මල්ලි දෙන්නෙක්. එක්කෙනෙක් අපි අඳුන ගත්ත පළවෙනි
දවසෙ ඉඳලම ඒ චරිත අපේ හිත්වල මැව්වා නෙමෙයි ඇන්දා. එක චරිතයක් තමයි ආචාර්ය
අදිකාරම්තුමා. අනික් චරිතෙ සමන් සිත්තරා.'
'මිහිදිනී, ඒ දෙන්නම තමයි මගේ හිතෙත්
මැවිලා තියෙන්නෙ. නෑ අපේ මිහිදිනී කියපු වචනෙ තමයි මෙතෙන්ට ගැළපෙන්නෙ. ඒ කියන්නෙ
මැවිලා නෙමෙයි හිතේ ඇඳිලා තියෙන්නෙ. අපි හරි ද විපුල් අය්යෙ.'
'ඔය දෙන්නම හරියට ම හරි රේණු. ඔය
දෙන්නගෙ හිත්වල ඇඳිච්ච ඔය චරිත තමයි අපි මේ ලෝකෙන් සමු ගන්න දවස වෙනකනුත් අපේ
හිත්වල රැඳිලා තියෙන්නෙ. එන්න නංගි, අපි තේ ගේනකං මේ නිදහස් තැනක ඉඳගෙන ම කතා
කරමුකො.'
'එතකොට විපුල් අය්යෙ, ඔයා කිව්වනෙ තමන්ගෙ
විෂය දැනුමට අදාළ කරුණු අධ්‍යයනය කරලා සම්මත උගත්කං තහවුරු කරගන්න අතරෙම ජීවිතේ මග
ඇර ගත්තෙ නැති තුන් දෙනෙක් ගැන. දැන් දෙන්නෙක් ගැනනෙ අපි කතා කළේ. කවුද මේ
තුන්වෙනි චරිතෙ.'
'ඒ තමයි මල්ලි අපේ වන්නිලැ ඇත්තො වගේ ම
මස්මාලු නොකන වැදි සනුහරේ අපේ ආදරණීය උගත් මිත්‍රයා. කොළඹ විශ්වවිද්‍යාලෙට ඇවිත්
සිංහල ගෞරව උපාධිය කරලා නගරයෙන් ගන්න ඕනෙ දේවල් විතරක් අරගෙන ආපහු දඹානට ම ගිය අපේ
සහෘදයා දඹානේ ගුණවර්ධන. මට මෙතෙන්ට විතරක් නෙමෙයි මේ වගේ දැනෙන කොයි තැනකට ගියත්
භෞතික ව විතරක් අපි අතර නැති අදිකාරම්තුමා වයි අපේ සමන්වයි වගේ ම ජීවත් ව ඉන්න දඹානේ වත් මතක් වෙන එක
වළක්වන්න බැහැ.'
'දඹානෙ ගුණවර්ධන ගුරුවරයෙක් විදිහට වැඩ
කළා නේද අය්යෙ.'
'ඔව් නංගි, එයා උපාධිය ගත්තට පස්සෙ ආයි
ගියේ දඹානට ම තමයි. එයා මෑතක් වෙනකං ඉගැන්නුවෙ දඹාන පැත්තෙම තියෙන ගුරුකුඹුර
ඉස්කෝලෙ. මන් ඒ ඉස්කෝලෙට ගිහින් තියෙනවා මේ මල්ලිගෙ සර් කෙනෙකුත් එක්ක. මම දන්න
එකම ඉස්කෝලෙ තමයි ශිෂ්‍යයන් නොකියන, ගුරුවරු කියන පාසල් ගීයක් තියෙන. ඒ පාසල් ගීය
ලියලා තියෙන්නෙත් අපේ දඹානේ ගුණවර්ධන ම තමයි.'
'අය්යට මතක ද අය්යෙ ඒ ගීතයෙ මුල් වචන
ටිකවත්.'
'මුල් වචන විතරක් නෙමෙයි නංගි මට මට ඒ මුළු ගීතෙම කටපාඩම්. ඒත් මන් ඒකෙ මුල් පේළි ටික විතරක් කියන්නං.
'පුංචි දරුවන් උදෙන් ඇවිදින් අපෙන්
ඉල්ලයි ජීවිතේ
සදා දෙන්නට අපට හැකිනං සුන්දරයි ගුරු
ජීවිතේ'
'ඒක හරිම ලස්සන අදහසක්නෙ අය්යෙ.'
'තිසාහාමි ඇත්තො, වන්නිලැ ඇත්තො වගේම අපේ
දඹානෙ ගූණවර්ධනත් ඔය වගේ ලස්සන අදහස් සමාජගත කරලා තියෙනවා. දැන් මේ අපි කරපු වැඩේ
ගැන, ඒ කියන්නෙ ගහකොළ - ඇළදොළ හොයාගෙන අපි මේ එන ගමන ගැන දඹානෙ කතා කරලත් තියෙනවා. ලියලත් තියෙනවා. සැරයක් එයා දඹානෙදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍ය කණ්ඩායමකට
කරපු දේශනයකදි කියලා තිබුණා, අදටත් සති අන්තෙක දි හරි වෙන නිවාඩුවකදි හරි නගරෙ ඉඳලා
ගම විඳින්න යන ඇත්තො අතරමග ගහක් කොළක් ඇළක් දොළක් තියෙන තැනක නැවතිලා ඇඟපත දොවාගෙන
ගෙදරින් අරගෙන ආපු කෑම ටික ගහක් යටට වෙලා කන්නෙ, මනුෂ්‍යයා තුළ තියෙන ප්‍රවේණි
උරුමය සොයායාමේ ස්වභාවය නිසා කියන එක. එදා ඒ කාරණේ, දඹානේ අවධාරණේ කරලා තිබුණ. ඔය ගැන
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ සංස්කෘත උගන්නන මීපිටියේ සීලරතන හාමුදුරුවො හරි ලස්සනට
ලියලා තිබුණා. ඒ ලිපිය අපේ මල්ලි ගාව ඇති. එයාගෙන් ඒක ඉල්ල ගෙන කියවන්න.'
'මට ඕක කිව්වහම මතක් උනේ කොළඹ විශ්වවිද්‍යාලෙ ජනසන්නිවේදන අංශෙ උගන්නපු කමල් වලේබොඩ මහාචාර්යතුමා එයාගෙ මගේ ගම කියන පොතේ දක්වලා තිබිච්ච කාරණාවක්.'
'ඒ මොකක් ද මිහිදිනී.'
'ඒ පොතේ කියැවෙන හැටියට වලේබොඩ සර්ලගෙ
ගෙදර එක් පැත්තක් මායිං වෙන්නෙ කළු ගඟට. අනික් පැත්ත මායින් වෙන්නෙ සිංහරාජ කැලේට.
සර්ගෙ දුව පුංචි කෙල්ල කාලෙ අම්මා තාත්තා එක්ක නිවාඩු කාලෙ ගමට ගිය දවසක සර්ගෙ
තාත්තා ඒ කියන්නෙ අර පොඩි දුවගෙ සීයා තමන්ගෙ මිණිබිරී ව ළඟට අරගෙන කියලා තියෙනවා මේ සීයට තාම
පුළුවන් දුව කැමති ඕන දෙයක් අරගෙන දෙන්න කොළඹ ගෙදර ගෙනියන්න කියලා. මේ කෙල්ල මොකක්ද දන්නව
ද කියලා තියෙන්නෙ.'
'මොකක් ද මිහිදිනී මොකක් ද කියලා
තියෙන්නෙ.'
'රේණු අක්කෙ, ළමයා කොළඹ ගෙනියන්න ඉල්ලලා
තියෙන්නෙ ගඟයි කැලෙයි.'
'ඒකත් අර ඉස්සෙල්ලා කියපු කතාවලට ම
ගැළපෙන මහ අපූරු කතාවක්නෙ.'
එකී කතාව ඇසීමෙන් තමා ලද චමත්කාරය එසේ
ප්‍රකාශයට පත් කෙළේ විපුල් ය.
'ඒ වගෙ කතා අපිට නොකළ යුතු කතා ගණයට
දාන්න බැහැනෙ අය්යෙ.'
'එතකොට ගඟුල්, ඔයා තාම අපට කිව්වෙ නැහැනෙ
බුදුහාමුදුරුවො කියපු කළයුතු කතා මොනව ද කියලා.'
'අන්න ඒ කළයුතු කතා ගැන හරිම පැහැදිලිව
කියවෙන තැනක් තමයි අංගුත්තර නිකායෙ මහාවග්ගයෙ ද්විතීය කෝසල සූත්‍රය. ඒකෙ කියවෙන
විදිහට කළයුතු කතා වෙන්නෙ සමථ විදර්ශනාවට හේතු වෙන කෙලෙස් ලිහන කතා යි. නොකළ යුතු
කතා විසිහතක් ගැන කිව්වට බුදුහාමුදුරුවො කළ යුතු කතා ඔක්කොම මාතෘකා දහයක් යටතට අරගෙනයි
කතා කරන්නෙ.'
'නම් වශයෙන් ගත්තොත් ඒ මොනව ද ගඟුල්
සර්.'
'එක අප්පිච්ඡ කථා - ඒ කියන්නෙ අල්පේච්ඡ
කථා
දෙක සන්තුට්ඨි කථා - ඒ කිව්වෙ හිතේ මහා ප්‍රසන්න බවක් ඇතිකරන සන්තුෂ්ටි කථා
තුන පවිවේක කථා - ඕක අපට වැඩියෙන් හුරු
ප්‍රවිවේක කථා කියලයි. අපට ඕන්නං අපේ හිත් අවුල් කරන්නැතුව අපේ හිත්වලට කායික මානසික සුවය
ගේන කථා කියලත් ඒක පැහැදිලි කරගන්න පුළුවන්.'
'මන් අහලා තියෙන හැටියට ඇලෙන් නැතුව
බැඳෙන් නැතුව කරන්න ඕන කථා වර්ගයක් ගැනත් බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා නේද?'
'ඔයා මිහිදිනී, ඕනෙම වෙලාවෙ තමයි ඒ කාරණේ
මතුකළේ. ඒ තමයි අසංසග්ග කථා. ඒක තමයි කළ යුතු කතා නාමාවලියෙ හතරට තියෙන්නෙ. ඒ වගෙම
පස්වෙනියට විරියාරම්භ කථා ඒ වචනයෙන්ම කියවෙන විදිහට අප තුළ වීර්යය ඇති කරවන කථා. ඊ
ළඟට තියෙන්නෙ අපට හොඳට ඒ වචන අහලා පුරුදු කතා වර්ග තුනක්. ඒ තමයි සීල කථා, සමාධි
කථා, පඤ්ඤා කථා. ඒවා අපිට හය, හත, අට කියන අංක යටතට දාලා කතා කරන්න පුළුවන්. නවය
විමුත්ති කථා දහය විමුත්ති ඤාණදස්සන කථා.'
'ඕවා ගැන අපිට දවස් ගාණක් උනත් කතා
කරන්න පුළුවන්. ඒ දවස්වල අපි කෙසේ වෙතත් සමන් අපිත් එක්ක කරලා තියෙන්නෙ නං
බුද්ධවචනයට අනුගත ඔය කළයුතු කතා අතරට අයිති කරන්න පුළුවන් කතා කියන එකයි ඒ අතීතය
දිහා හැරිලා බලන කොට අපිට දැනේනෙ.'
'එතකොට විපුල් අය්යෙ, අදිකාරම්තුමා ඒ වගෙ
කියපු කතා තියෙන තැන් අපිට කොහෙන් ද බලා ගන්න පුළුවන්.'
'සිතිවිලි පොත්වලත් එහෙම තැන් තියෙනවා.
ඒත් මට හිතෙන විදිහට ඉතාම සුන්දර විදිහට සරල විදිහට අපිට අපිව මුණගස්සන තැන තමයි
එතුමා ළමයින්ට කරපු දේශන. මේ වෙනකොට ඒ පුංචි දරුවන්ට කරපු දේශන විසි දෙකක් එකට
එකතු කරලා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් පදනමේ උදවිය පළමු පියවර කියලා පොතක් ගහලා
තියෙනවා.'
'ඔව් විපුල් අය්යෙ, මේ ගඟුල් සර් ඒ
පොතකින් පිටපතක් හදවලා අපේ පුස්තකාලෙට දාලා තියෙනවා. ඒක දැන් එක්කෙනෙක් පුස්තකාලෙට
දානකොටම තව කෙනෙක් අතට ගන්න පොතක් බවට පත්වෙලා. මගෙ අතට ඒ පොත ආවහම මන් ඒක
කියවන්නෙ දැන් විපුල් අය්යා කියපු අදහසුත් හිතේ තියාගෙන. ඒ වගෙම අය්යෙ අර සමන්
අය්යා කියපු මෙතෙන්ට ගළපන්න පුළුවන් අදහසක් මතක් වෙන්නැද්ද ඔයාට මේ වෙලාවෙ.'
'මොකද නංගි, මතක් නොවෙන්නෙ. සෞන්දර්යෙදි
හම්බ වෙච්ච සමන් ම තමයි මට අපි අඳින චිත්‍රෙට අපි හදන මූර්තියට එහා ගිය
සෞන්දර්යයක් අපේම ජීවිතවල තියෙනවා කියන එක අපට කියලා දුන්නෙ. අද ඔය ගොල්ලන්ගෙ මේ
ඉතාම හොඳ පරමාර්ථෙන් වැඩි දෙනෙක්ගෙ යහපත උදෙසා කරන මේ වැඩේට සිය කැමැත්තෙන් ඒ වගේම
හැඟීමෙන් උදව් කරන විපුල් කෙනෙක් බිහි වෙන්න උල්පත වෙන්නෙත් ඒ සමන් ම තමයි. එයා මට
සෞන්දර්යෙදි හමු නොවුණානං මේ වෙලාවෙත් ගෙදරට හරි ආයතනයකට හරි වෙලා මිනිස් රූප අඳින්න
පුළුවන් ඒත් මිනිස් ජීවිත අඳින්න බැරි චිත්‍රශිල්පියෙක් විතරක් වෙන්න තිබුණා මන්.
ඒ විතරක් නෙමෙයි මගෙ මල්ලිගෙ, ඒ වගෙම ඔය ගොල්ලන්ගෙ පැත්තෙම ඉස්කෝලෙක උගන්නන මල්ලි
නැවතිලා ඉන්න ගෙදර ලොකු පුතා අපේ කල්‍යාණ මිත්‍රයා වසන්තගෙ ගුරු ජීවිතය පුරා
වැටිලා තියෙන දැවැන්ත සෙවණැල්ලත් සමන් ම තමයි.'
ඇත්තටම රේණු අක්කෙ සමන් අය්යා කියන්නෙ
තමන් ඇසුරු කරපු ලෝකය ම වෙනස් කරපු අපූර්ව චරිතයක්. බෙංගාලි ලේඛක විභූතිභූෂණ බන්ධ්‍යොපාධ්‍යාය එයාගෙ මාවතේ ගීතය නවකතාවෙ
මවන අපූර්වටත් එහා ගිය අපූර්ව කෙනෙක්. එයා ඒ වචනාර්ථයට අනුව අපූර්වම තමයි. අපි එහෙම කියන්නෙ අපේ මේ
ජීවිත කාලෙදි ඒ වගේ කෙනෙක් පූර්වයෙන් අපි දැකලා
නැති නිස යි.
ඒ වගෙම නංගිලට මෙතෙන් දි තවත් දෙයක්
කියන්න තියෙනවා. එයා ලෝකය වෙනස් කිරීමේ ආදරණීය පාඩම මුලින් ම පටන් ගත්තෙ එයාගෙ
ගෙදරින්. මන් සමන්ගෙ මරණයෙන් පස්සෙ ඒ ගොල්ලන්ගෙ ගෙදර ගිය දවසක සමන්ලගේ තාත්තා මාත්
එක්ක ගොඩක් දේවල් කතා කළා. මන් එන්න හදන වෙලාවෙ තාත්තා මට දිනපොතක් දුන්නා විපුල්
පුතා, මේ මම ඒ ඒ දවස්වල නිකමට ලියපු සටහන්. ඕකෙනුත් පුතාලට මගෙ පුතාව හම්බ වෙන්න
පුළුවන් කියලා කිව්වා.'
අනතුරුව විපුල් හැරුණේ සිය සොහොයුරා
දෙසට ය.
'මල්ලි ඔයා ළඟ නිතර ළඟ තියෙන පොතේ අපේ
සමන්ලගෙ තාත්තාගෙ දිනපොතෙන් උපුට ගත්ත තැන් තියෙනව නේ ද? ඒකෙන් එහෙම තැනක් හොයලා දෙන්නකො ඔයාගෙ
මේ අක්කා නංගි දෙන්නට කියවන්න.'
ගඟුල් සිය විශේෂ සටහන් තබන පොතෙහි
පිටුවක් සලකූණු කොට, එය කියවීම සඳහා දුන්නේ මිහිදිනී අතට ය.
ඉමහත් හැඟීමකින් එපොත සිය දෝතට ගත්
මිහිදිනී, සලකුණු කරන ලද සටහන කියැවීම ආරම්භ කළා ය.
'අපේ මේ ගෙදර ප්‍රතිසංස්කරණ වැඩ පටන්
ගන්න වත්තෙ තිබිච්ච ගහක් දෙකක් කපලා ප්‍රයෝජනයට ගමු කියපු වෙලාවෙ අපේ ලොකු පුතා සමන් කියපු වචන ටික
මන් අද මගේ දිනපොතේ ලියලා තියනවා.'
'තාත්තේ අපි දර්ශනයක් ඇතුව වැඩ කරමු.
තුන් ලෝකයට නායකයන් අතර ශ්‍රේෂ්ඨ බුදුහාමුදුරුවෝ බුදුබව ලබන දවසේත් හිටියෙ ගහක්
යට. මාලිගා මන්දිර සත්මහල් තුන්මහල් දෙමහල් ප්‍රාසාදවල නෙවේනෙ. තමන්ට අයිතිව තිබුණ
රජකම වගෙම මාලිගාවල මහ සම්පත් අත්හැරලා උන් වහන්සේ සාමාන්‍ය ජීවිතයකුයි ගත කළේ. ඒක නිසා
අපටත් හොඳයි ගහක් යට. වත්තෙ තියෙන ගස් ටික කපන එක නෙමෙයි ආරස්සා කරන එකයි අපි කරන්න ඕනෙ කියලයි අපේ ලොකු පුතා කියන්නෙ.'
'මන් හිතන්නෙ බුදුහාමුදුරුවො අපට කිව්වෙ
ගස්කොළන් විතරක් නෙමෙයි ඇළ දොළ සතා සීපාවා වගේම මනුස්ස ජීවිත දිහාත් බොහොම ආදර
කරුණාවකින් බලන්න කියලයි. අර සබ්බභූතහිතානුකම්පී විහරති කියන ඉගැන්වීමේ ගැබ්වෙලා
තියෙන්නෙත් ඔය පණිවිඩේමනෙ.'
මිහිදිනී, සිය දයාබර පුතාගෙ පැනසර ප්‍රකාශ සිය වචනයෙන් ලියා තැබූ වයෝවෘද්ධ මෙන් ම ගුණවෘද්ධ තාත්තාගේ ළබැඳි සටහන් කියවද්දී තෙත් ව ගියේ රේණු ගුරු සුහදිනියගේ දෑස යි.
'මේ සර්ලා මිස්ලා මෙතෙන්ට ඇවිල්ලා තරමක්
වෙලාව ගත උනත් මොකුත් ඕඩර් නොකරපු හින්දයි මන් මේ මොනව ද ගේන්න ඕනෙ කියලා අහන්න
ආවේ.'
එසේ පැවසුවේ එතැනට පැමිණි වේටර්
තරුණයෙකි.
'සත්ත්ව හිංසා නොකර හදපු සරල කෑමකුයි, අපට හොඳ රස්නෙට තේයි ගේන්නකො මල්ලි. එහෙම හොඳයි නේද රේණු අක්කෙ.'
'එහෙම හොඳයි ගඟුල්, ඒ උනාට මේ ළමයට
තේරුණාද දන්නෙ නැහැ කෑමට මොනව ද ගේන්න ඕන කියන කාරණාව.'
'මොකෝ නොතේරෙන්නෙ. මල්ලි ඔයාට තේරුණාද
අපට මොනව ද කෑමට ඕන කරන්නෙ කියන එක.'
'තේරුණා සර්. මේ සර්ලට මිස්ලට ඕන කරන්නෙ
වෙජි කෑමනෙ. ඉන්න අපි ගාව තියෙනවා ලැවරිය, එලවලු රොටී, බිත්තරවත් දාන්නෙ නැතුව හදන ආප්ප. ඒ වගෙම
සව්දොදොල්. ඉන්න මන් ඒ ඔක්කොම ජාති ගෙනත් තියන්නංකො මෙතෙන්ට.'
'හා හොඳයි මල්ලි, මොකද ඔයා ලොකු
උනන්දුවකින් වගේම මේ කෑම ගේන්නං කියලා කිව්වෙ.'
එසේ පැවසුවේ විපුල් ය.
'සර් මමත් වෙජිටේරියන් කෙනෙක්. දැන්
සර්ලා මිස්ලට ඕන උනේ ඔය කියන කෑම නොවී වෙනත් ජාති උනත් මෙතන වැඩ කරන වේටර් කෙනෙක්
හැටියට මම බැඳිලා ඉන්නවා ඒවා ගෙනත් තියන්න. එතෙන්දිත් මන් මගේ රාජකාරිය ඉෂ්ට
කරනවා. ඒත් කවුරු හරි ඇවිල්ලා අපට වෙජි මොනවා හරි ගේන්න කියන කොට ඒ අය කතා කරන්නෙ
මගෙ ආත්මයට. එහෙම වෙලාවට සර්, අර රාජකාරියට එහා ගිය උනන්දුවක් සතුටක් මගේ හිතේ මෝදු
වෙන්නෙ මටත් නොදැනුවත්වයි.'
'හරි හොඳයිනෙ මල්ලි, ඊළඟ දවසෙ අපේ පවුලෙ
කට්ටියත් මෙතන පහු කරලා ගමනක් යන්න උනොත් මන් වාහනය නවත්තන්න කියන්නෙ මෙතන ම තමයි.'
එසේ පැවසුවේ මිහිදිනී ය.
'මෙතන තුන්දෙනෙක් ම වෙජිටේරියන්ස්ලා. මමත්
අනික් කෑම පස්සෙ එලවන් යන කෙනෙක් නෙමෙයි. ඒ වගෙම වෙජිටේරියන් කෙනෙකුත් නෙමෙයි.
මල්ලි ගඟුල්, දවසක් ඔයා මට හරි වෙනස් කතාවක් කිව්වා. ඒ ධීවර ජීවිත ගැන අපි කතා කරපු
දවසක දි. එදා ඔයා කිව්වෙ මට මුහුදෙ පීනන මාළු ගැනත් දුකයි. මාළු මරන ධීවරයො ගැනත්
දුකයි ඒ වගෙම මාළු කන අය ගැනත් දුකයි කියලා. මුල් කාරණා දෙක මට පැහැදිලි යි. ඒ
කිව්වෙ මැරෙන මාළු ගැන දුක්වෙන එක, ඒ වගෙම මහා ජීවිත අනතුරක් තමන්ගෙ ඉස්සරහින්
තියාගෙන රැයක් දවාලක් බලන්නැතුව ඈත දියඹට යන ධීවරයන් ගැන දුක්වෙන එක හරි. ඒත් මාළු කන
අයට සතුටක් මිසක් දුකක් නැහැනෙ. ඒ අය ගැන මොකට ද ඔයා දුක් වෙන්නෙ.'
'නෑ රේණු අක්කෙ, මට ඒ අය ගැනත් දුකයි. ඒ
ගොල්ලො තමයි ආගමික පැත්තෙන් බැලුවත් ලොකුම පව් රැස්කරගන්නෙ. ඒ අය කන නිසානෙ
ඉල්ලුමක් ඇති වෙන්නෙ. ඒ ඉල්ලුමට සැපයුම දෙන්නනෙ මාළු මරන්නෙ. අනෙකුත් සත්ත්වාහාර
ගැනත් අපට කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි. අපේ සර්රුත් අක්කා දැකපු පැති දෙක තමයි
මුලින් දැකලා තිබුණෙ. ඒ දැක්ම මත ඉඳලා ලියපු සංස්කෘත පද්‍යයක් ගැනත් සර් දවසක්
දේශනශාලාවෙ දි සාකච්ඡාවට ගත්තා. ශිෂ්‍යයන් එක්ක කරපු සාකච්ඡාවෙන් පස්සෙ සර්
කිව්වෙත් මස් මාළු කන අය ඒ කෑම නිසා සතුටක් ලබනවා කියන කතාව ඔයගොල්ලොත් එක්ක කතා
කළාට පස්සෙ මටම ඉල්ලා අස් කරගන්න හිතෙනවා කියලා.'
'මොකක් ද ගඟුල් ඒ පද්‍යෙ. මතකනං
කියන්නකො ඒකෙ තේරුමත් එක්ක.'
'ඔව් මට මතකයි. ඒක මෙහෙමයි.'
'සාගරචඤ්චලරේඛා
මධ්‍යෙ මත්ස්‍යාඃ සන්ති දිගන්තේ
ධීවරනිර්ධනමනසිජ
ආශා නීලජලානි නයන්තේ
සර්වේ
ශීතලස්පර්ශජලස්‍ය නිරන්තරමේව ලභන්තේ
ධීවරමීනවිලාපජලේ
ත්වං හසසි ප්‍රවිශ්‍ය වසන්තේ'
'දැන් ගඟුල් සර් ඒකේ තේරුමත් සර් ම කියන්නකො.'
එවර කතාවට මැදිහත් වූයේ මිහිදිනී ය.
'ඒකෙ තේරුම අපට මෙහෙම ගන්න පුළුවන්.
'සාගරයෙහි චඤ්චල රේඛා මැද දිශා කෙළවර
තෙක් මත්ස්‍යයෝ වෙසෙති. නිර්ධන ධීවරයන්ගේ හද උපන් ආශා ගෙන යන්නේ නිල් දිය යි. ලොව
සියලු දෙනා නිබඳ ජලයෙහි ශීතල ස්පර්ශය ලබති. සයුරත ඇත්තේ ධීවර මීන විලාපය යි. ඔබ
වසන්තයට පිවිස සිනාසෙන්නෙහි ය.'
'මේ වගෙ ඒවා ඇහෙන වෙලාවට මට මන් ගැනම
ලැජ්ජා හිතෙනවා විපුල් අය්යා.'
'ජීවිතේ ඕනෑම මොහොතක කෙනෙකුට වෙනස්
වෙන්න පුළුවන් නංගි. මස්මාළු නොකා ඉන්නවා කියන්නෙ යහපත් ජීවිතයක එක අංගයක් විතර
යි. ඔයා හුඟාක් හොඳ කෙනෙක් රේණු. ඔයා ඔය හැම තිස්සෙම බොරුවට රණ්ඩු වෙන අපේ මල්ලි
ඔයාගෙ හොඳක් මිස එක නරකක් ගැන මට කියලා නැහැ. නංගිව දැක්කට පස්සෙ මල්ලි කියපු
දේවල් කොච්චර නං හරි ද කියන එකයි මට තේරුණේ. ඔයාගෙ නංගි ඔය මතුපිටින් විහිලු කරන
කෙනාට යටින් බොහොම ගැඹුරු ගැහැණියක් ජීවත් වෙනවා. අන්න ඒ ගැහැණිය තමයි මානව සම්පත්
ඕනවටත් වඩා තියෙන ටවුමට වෙලා සැප පහසුවට ඉන්නෙ නැතුව ගමකට ගිහින් වැඩ කරපන් කියලා
තමන්ටම කියා ගත්තෙ. අන්න ඒ ගැහැණිය ම තමයි රේණු කියන නමින් මේ නාගොල්ලාගමට ඇවිල්ලා
තියෙන්නෙත්.'
'අය්යා මාව තියන්න ඕන තැනට වඩා ගොඩක් උස
තැනක තියෙනවනෙ.'
'උස තැන තියන්න ඕන කෙනා ඒ උස තැන තියන්න
ඕනෙ. පල්ලෙහා ඉන්න කෙනා තව තවත් පල්ලෙහාට ඇදලා දාන්නෙ නැතුව උස තැනට ගේන්න වැඩ
කරන්නත් ඕනෙ. ඔය මගෙ වචන නෙමෙයි නංගි අපේ සමන්ගෙ වචන.'
'ඒ අය්යා හැම තිස්සෙම කතා කරලා තියෙන්නෙ
මහ අමුතු දේවල්නෙ විපුල් අය්යෙ.'
'ඒ අය්යා හිටියනං ඔය ගොල්ල මෙහෙම අපිත්
එක්ක කතා කර කර ඉන්නෙ නැහැ. ඒ අය්යව තමයි හොයාගෙන යන්නෙ.'
'අපිට ඒ වාසනාව නෑනෙ අය්යෙ.'
'එහෙම හිතන්න එපා නංගි, සමන් සිත්තරා
වගේ චරිත දුර්ලභ නෙමෙයි අතිදුර්ලභයි කියලයි අපට කියන්න වෙන්නෙ. අපිට ඒ චරිතෙ
දකින්න ලැබුණා විතරක් නෙමෙයි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරන්නත් ලැබුණා. තව සමහර
දෙනෙක් හිටියා එයා දැකලත් නොදැකපු. එයාව දැකලා නැති වගේ ම එයා ලියපු ඇඳපු දේවලින් වත් දැකගන්න
උත්සහයක් වත් නොදරන අය අදත් ඉන්නවා. ඒ වගෙම නංගි, එයාව භෞතිකව නොදැක්කත් දකින අයත්
මේ සමාජෙ ඉන්නවා. ඔය නංගිලා දෙන්නම අයිති වෙන්නෙ අන්න ඒ අන්තිමට කියපු කුලකෙට.'
'අය්යට මතක ද, සමන් අය්යා නැතිවෙන්න ටික
දවසකට ඉස්සෙල්ලා අපි එහෙ ගියා. එදා එයා කිව්ව කතාවක් මගෙ හිතේ ගලේ කොටපු අකුරු
වගේ තමයි අද දවසෙත් ඇඳිලා තියෙන්නෙ. එදා අපි කතා කළා ශිෂ්‍ය විනය ගැන. සමන් අය්යා
එදා හිනාවෙවී කිව්වෙ ශිෂ්‍ය විනය හදන්න පුළුවන් වෙන්නෙ ගුරුවරුන්ට විනයක් තිබුණොත්
විතරයි කියලා. ඒ වගෙම එදා සමන් අය්යා කිව්වෙ ශිෂ්‍යයෙක් උනත් කීකරු වෙන්න ඕනෙ
නිවැරදි දෙයකට විතරයි කියලා. ගුරුවරයෙක් උනත් වැරදි දෙයක් නං කරන්න කියන්නෙ එහෙම
තැනකදි විරුද්ධ වෙන්න කියල යි එයා කිව්වෙ. ගුරුවරයා තමන්ගෙ හදවත මනුෂ්‍යත්වයේ මල්
පිපෙන උයනක් කරගත්තොත් ශිෂ්‍යයන්ගේ හදවතුත් ගුණ සුවඳ විහිදුවන මල් උයනක් වේවි
කියලත් එදා එයා කිව්වා.'
'මට ඒ දවස අද වගේ මතකයි. මන් ඒ වෙලාවෙ
සමන්ගෙන් ඇහැව්වා කොහොම ද සමන් ඔච්චර ලස්සන අදහස් ඔය හිතට ගලා ගෙන එන්නෙ කියලා. ඒ
වෙලාවෙ එයා කිව්වෙ සමහර දේවල් විවේකී ව ඉන්න මොහොතක ඕනම කෙනෙකුගෙ මනසට එන්න
පුළුවන්. සමහර දේවල්වලට උල්පත වෙන්නෙ අපේ ම ජීවිතත් එක්ක බැඳිලා ඉන්න අපේ ම
සමීපතමයො. අර කලින් කියපු අදහසට උල්පත උනේ
අපේ අම්මා කියලයි සමන් කිව්වෙ.'
'ඒ අදහස මොකක් ද අය්යෙ?'
ඒ මිහිදිනී ය.
'නංගි, ඒක කවියක්. සමන් අය්යලගෙ අම්ම
කියපු හැටියට නිකොලස් පෙරේරා කියන අප්‍රකට කවියා තමයි ඒක ලියලා තියෙන්නෙ.'
'අය්යට මතකනෙ ඒ කවිය. අපි ගොඩක් වෙලා
මෙතන කතා කර කර හිටියනෙ. ඒ එකක් වත් වල්පල් නං නෙමෙයි. අපි අය්යෙ අඩුම ගාණේ තැන්
දෙක තුනකටවත් ආරාධනාපත්‍ර ගෙනිහින් දීලා රේණු අක්ක යි මිහිදිනි යි ඇරලගෙන යන්නත් ඕනෙ.
ඒක නිසා දැන් මෙතනින් යමු අර කවිය කියල ම.'
'මට මල්ලි දැන් ඒ කවිය සමන් අය්යගෙ
අම්මගෙ කටහඬින් ඇහෙනවා ඇහෙනවා වගේ තමයි දැනෙන්නෙ. ඒ නැති අම්මට උපහාරයක් ම වෙන්න
කියලා මුළු හදවතින් ම හිතලා ගුරුවරු හැටියට ඔය තුන්දෙනාට ම මේ කවියෙන් කියවෙන
විදිහෙ දරුවො නිර්මාණය කරන්න හැකිවේවා කියන ප්‍රාර්ථනයත් කරලා මන් ඒ කවියේ වචන ටික
කියන්නං.'
අවසන ඒ තරුණ ගුරු මාණවක මාණවිකාවනට සමන් සිත්තරාගේ හදැසුර නොමඳ ව ලැබීමට භාග්‍යවන්ත වූ විපුල් සමරනායක නමැති අව්‍යාජ කලාකරුවාගේ සුගැඹුරු හඬින් අසන්නට - විඳින්නට ලැබුණේ මවුගුණ සුවඳ රැඳි එසොඳුරු කවි කුසුම යි.
කීකරුකම ගුණය හා
කරුණාව යන
පාටත් ලස්සනත් සුවඳත් කරුණු තුන
එක් වී සැදෙන උයනකි ළමයෙකුගෙ මන
එතන යි සුවඳ මල පිපෙතොත්
පිපෙන තැන
No comments:
Post a Comment