Wednesday, March 29, 2023

83. ගුරු දියවර නවකතාව - දහනවවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

 

                                                                ගුරු දියවර 19

 



මල් පිපෙන හා පරවෙන අන්දම පමණක් බලන්න. මේ තැනැත්තා හරිය මේ තැනැත්තා වැරදි ය වශයෙන් නොකියන්න. ”

රේණුගේ ගෘහාලින්දයේ ඇති වේවැල් අසුනක හිඳ සිටි විපුල් ය, ඒ ප්‍රකාශය කෙළේ.

මන් දන්නවා විපුල් අය්යා ඇයි ඔය කතාව කිව්වෙ කියලා. ඊයෙ හවස අපි ආරාධනා පත්‍ර දෙන්න ගිය තැන්වලින් දෙකක් ම මන් විවේචනය කරපු නිසා නේද? ”

ඒකට අය්යෙ විවේචනය කියන වචනෙ විතරක් මදි නිර්දය කියන විශේෂණයත් ඉස්සරහට දාන්න න.”

ඔව් න වෙලාවක මේ ගඟුලයට පේන්නෙ මගෙ වැරදිනෙ. මට වැරදියි කියලා පේන දෙයක් දැක්කොත් මන් ඒක දයා විරහිතව විවේචනය කරනවා තමයි. ඒ වගෙම තමයි ආදරණිය විදිහට දැනෙන දෙයක් දැක්කම මම ඒක අගය කරන එක සංස්කෘතත් ටිකක් දන්න මේ බ්‍රාහ්මණ පුත්‍රයට පේන්නෑ. ඒ කියන්නෙ එයාම අපට කියලා තියෙන සදය විචාරය සහිත ආදරයෙන් දෙයක් විචාරය කරන්න පුළුවන් හිතකුත් මේ රේණුට තියෙනවා කියන එක මෙයාට පේන්නෙම නැහැ. මොකද ඒ කැත ගතිය.”

විපුල් අය්යෙ, අදත් සුපුුරුදු රණ්ඩුව පටන් ගන්න යි යන්නෙ. ඔය දෙන්නා රණ්ඩු කරන්න. විපුල් අය්යා රණ්ඩු බේරන්න. මන් යනවා රණ්ඩු කරන - නොකරන ඔක්කොට ම තේ හදන්න.”

අපි ඊයෙ හවස ඔයගොල්ල ඇරලුවෙ කාගෙ ගෙදෙට්ට ද? ඒ කියන්නෙ රේණුලගෙ ගෙදෙට්ට ද? එහෙම නැත්තං මිහිදිනීලගෙ ගෙදෙට්ට ද?”

ආ ඔයා අහන ප්‍රශ්නෙ මට තේරුණා විපුල් අය්යෙ. මේක ඇවිල්ලා රේණුලගෙ ගෙදර තමයි. හැබැයි ඒ මිහිදිනී මාත් එක්ක මෙහෙට යන්න එන්න ඉස්සර. ආව පළවෙනි දවසෙම අපේ අම්මව යාළු කරගත්තා. එදාම තාත්තට එයා අපේ චූටි දුව උනා. ඒ කියන්නෙ කොටින් ම අපේ නංගිගෙ ප්ලේස් එක ගහලා ගියා.”

ඉතින් නංගිට කේන්ති ගියෙ නැද්ද ඒකට.”

මොන, දැන් එයාටත් මෙයාට වඩා ලොක්කෙක් නැහැ. මන් එන දවසට මිහිදිනී ආවෙ නැත්තං අහන්නෙ කෝ අද මිහිදිනී අක්කා ආවෙ නැද්ද කියල. ඒ කෙල්ලට හැමදාම මෙහෙ එන්න පුළුවනෑ. ඒ කෙල්ලටත් ගෙයක් කියලා එකක් තියෙනවනෙ. හැබැයි ගඟුලො පරිස්සං වෙයන් හොඳේ. මට පේන හැටියට ඔය මිහිදිනීට මොකක් දෝ මායා බලයක් තියෙනවා. අපේ අය්යටත් දැන් මට වඩා නංගි එයා.”

ඔයා ඔය කතා කරන හැම වචනෙක ම තියෙන්නෙ මිහිදිනීට තියෙන ආදරේ මිසක් වෙන දෙයක් නෙමෙයි. ඔයා  ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ මල්ලිගෙ යාළුවෙක් එයා ගැන කියපු වචනයක්.”

ඇයි විපුල් අය්යෙ, එයාටත් විශ්වවිද්‍යාලයෙදි මායාකාරයා වගේ නමක් දාලා තිබුණ ද?”

නෑ ඒ අර්ථෙ ම තියෙන වෙන නමක්. කැම්පස් එකේ මෙයා ඉගෙන ගන්න කාලෙ කොල්ලො කෙල්ලො මෙයාට කිව්වෙ ඉන්ද්‍රජාලිකයා කියලා. පහු පහු වෙන කොට ඒක ඉස්සරහින් විශේෂණයකුත් දාලා තිබුණා ආදරණීය කියලා.”

ඒයි ආදරණීය ඉන්ද්‍රජාලිකයා, ඒකයි එහෙනං විශ්වවිද්‍යාලෙදි උඹට දාලා තිබුණ නම. මරු තකට තක. මෙයා ඉන්ද්‍රජාලිකයා. අරයා මායාකාරි. මරු මරේ මරු. නෑ නෑ මරු කියන වචනෙ හොඳ දේවල්වලට දාන්න එපා කියලයි අපේ ලොකු සර් කියලා තියෙන්නෙ. සර් කියපු ප්‍රබුද්ධ යි කියන වචනෙත් දාන්න මන් කැමති නෑ. නිතරම මෙයා මන් එක්කත් මන් එයා එක්කත් වලි දාගන්න නිසා. මන් මෙයයි එයයි නැති තැනකදි ගැළපෙන ම වචනෙ විපුල් අය්යට කියන්නංකො.”

ආ රේණු මැඩම්, දැන් ම ඒ ගැළපෙන වචනෙ අපේ අය්යට කියලා දාන්න. ඔන්න මන් යනවා ඔයගොල්ලන්ගෙ ගෘහෝද්‍යානය නරඹන්න.”

ඈ රේණු නංගි, මේ දෙන්නගෙ අපි නොදන්න වෙන කතාවක් යනව ද?”

වෙන කතාවක් යනව ද නැද්ද කියන්න නං මන් දන්නෙ නැහැ. හැබැයි මේ දෙන්නගෙ ම එකිනෙකාට හරි පුදුම කැමත්තක්නෙ තියෙන්නෙ.”

ඇත්තට ම අපි ඔය සාමාන්‍යයෙන් සමාජය කියන විදිහෙ සම්බන්ධයක් තියෙනවා හරි නැතුවා හරි කියලා හිතමු. ඔයා මොකක් ද නංගි මේ ගැන හිතන්නෙ.”

පුදුම වැඩේ කියන්නෙ අය්යෙ මටත් මුන් දෙන්න ගැනම පුදුම ආදරයක්නෙ දැනෙන්නෙ. මේ මිහිදිනී මගෙම සහෝදරියක්. එයා දැන් අපේ මුළු පවුල ම හදවත්වලින් ම තමන්ගෙ සාමාජිකාවක් කරගෙන ඉවරයි. ගඟුල් කවුද කියලා අපි තේරුං ගත්තෙ කොල්ලා මෙහෙට ආපු පළවෙනි දවසෙමයි.”

මගෙ මල්ලි නිසා කියනවා නෙමෙයි නංගි, ගඟුල් කියන්නෙ මේ සමාජෙ කලාතුරකින් හමුවෙන ජාතියෙ දුර්ලභ පිරිමියෙක්. එයා මගෙ මල්ලි උනාට වෙලාවකට මට ගුරුවරයෙක්. තව වෙලාවකට මල්ලිගෙ නෙමෙයි අය්යගෙ භූමිකාව කරන්නෙත් එයා. තව වෙලාවකට පවුලෙ තාත්තා වෙන්නෙත් අම්මා වෙන්නෙත් ගඟුල් ම තමයි. කොටින්ම කියනවනං එයා තමන්ගෙ පවුල සම්බන්ධයෙන් එහෙම කටයුතු කරන අතරෙම ලෝකයටත් කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා.”

ඔන්න අය්යෙ අපිට මේ කතාව නවත්තන්න වෙනවා. අපේ මිහිදිනී තේ ඇරන් එනවා මෙහෙට්ට.”

ඔන්න විපුල් අය්යෙ, මන් කන ජාතියි තේ යි එකම ට්‍රේ එකක තියන් අරන් ආවා.”

විපුල්ට තේ අල්ලන මිහිදිනීගේ දෑස ඒ මේ අතට දිවයද්දී ඇසුණේ රේණුගේ කටහයි.

මොකෝ මැඩම්, ගඟුලයා කෝ කියල ද බලන්නෙ. අපරාධෙ කියන්න බැහැ නගෝ උඹට තියෙන ලෙඩ ඔක්කොම එයාටත් තියෙනවා.”

රේණු එසේ කියද්දී මිහිදිනී සිය මිතුරිය වෙත හෙළුවේ ආදරණීය නෝක්කාඩු බැල්මකි.

මොනව ද අක්කෙ, මට තියෙන ඔයා කියන ලෙඩ. ”

ආ උඹට දැනගන්න නද ඒ ගැන. උඹට නෙමෙයි කෝකටත් උඹේ ලෙඩ ලැයිස්තුව විපුල් අය්යා දැනන් ඉන්න එක වටින නිසා මම දැන් ඒක ඉදිරිපත් කරනවා.”

හරි මට ඔය ඔයා කියන්න හදන විදිහෙ ලෙඩ ලැයිස්තුවක් තියෙනවා කියලා හිතමුකො. ඒත් ඒවා දැන ගන්න එක කොහොම ද විපුල් අය්යට වැදගත් වෙන්නෙ කියන එකයි මට හිතා ගන්න බැරි.”

උඹට හිතාගන්න බැරි දේවල් අපට හිතා ගන්න පුළුවන්, හා නැද්ද විපුල් අය්යෙ. උඹටත් තියෙන අර ගඟුල් කියන හාදයටත් තියෙන ලෙඩ ලැයිස්තුව දැන් මම ඉදිරිපත් කරන්නං. හොඳට අහගනින් නගේ මේක.

ලෙඩ අංක  එක   -     තැනකට ගියවිට අවට පරිසරයේ ගස්කොළන් විඳීමට යාම.

ලෙඩ අංක දෙක  -     ජලාශයක් දුටුවහොත් එය නැරඹීමෙන් පමණක් නොනැවතී එහි ස්නානය කිරීමට      අවස්ථාවක් සලසා ගැන්ම උදෙසා දත කෑම.

ලෙඩ අංක  තුන  -    ඇතැම් ස්ථානයක් දැකීමෙන් පමණක් නතර නොවී එයට සම්බන්ධ කොට සිංහල, සංස්කෘත, පාලි, ඉංග්‍රීසි ආදි කොට ඇති භාෂාවලින් ලියැවුණු කවියක් හෝ ප්‍රකාශයක් එතැනට අත හැරීම. මෙහිදී සිංහල, පාලි, සංස්කෘත ඒවා වැඩි වශයෙන් ගඟුල් නැමති හාදයා විසින් ද ඉංග්‍රීසි, සිංහල ඒවා වැඩි වශයෙන් මිහිදිනී නමැති හාදිය විසින් ද  ප්‍රකාශයට පත් කරනු ලැබීම.

ලෙඩ අංක  හතර    -  මධ්‍යම රාත්‍රිය මතු නොව එයින් පසු ද හෝරා දෙකක් පමණ පසුවන තෙක් පොත් කියවීම. මිහිදිනීගේ මේ කියවීම සම්බන්ධයෙන් රේණු නමැති මහා විද්වතිය සාක්ෂි දරන අතර ගඟුලයා සමීප ව ඇසුරු කරන මිතුරන්ගෙන් ලබාගත් දත්ත පදනම් කරගෙන අපේ හාදියට මෙන් ම එම හාදයාට ද  යථෝක්ත රෝගය වැළඳී තිඛෙන බවට මවිසින් නිගමනය කරන ලදී.

ලෙඩ අංක  පහ -   ගමේ ඇවිදින විට ගොයම් කැපීමක් දුටු විට ඊට සහාය වීමෙන් පමණක් නොනැවත ගොවි ගෙවිලියන් සමග කයි බත් කෑමට වුවමනා වීම. මෙහි දී ගඟුල්තුමාට සහ මිහිදිනීතුමියට මෙන් ම මේ රෝග නිර්ණය වාර්තාව ඉදිරිපත් කරන මෙම පඬිතුමියට ද අංක පහ යටතේ සඳහන් කරනු ලැබ ඇති රෝගය එකී රෝගියාට සහ රෝගිනියටත් වඩා බලවත් ලෙස වැළඳී තිඛෙන බව මෙහිලා අවංක ව සඳහන් කළ යුතු ය.

හරි මන් පිළිගන්නවා අපේ රේණු අක්කා කියන ජාතියෙ ලෙඩ හරි - වැඩ හරි මට තියෙනවා කියලා. ඒත් ගඟුල් සර්ට වා තියෙනව ද නැද්ද කියන එකනං මන් දන්නෙ නැහැ. ඒ උනාට ඔය කියන එක්කෙනාටනං අඩු වැඩි වශයෙන් ඔය ලෙඩ ජාති පහ තියෙන බවනං මන් දන්නවා.”

මිහිදිනී නංගි, ඔය කාරණා පහ මටනං ලෙඩ පහක් නං නෙමෙයි. හොඳ වැඩ පහක්. අපේ මල්ලි ගැන මන්නෙ හොඳටම දන්නෙ. රේණු කිව්වෙ ඇත්ත. ඔයාටත් ඒ කාරණා පහ පිහිටලා තියෙනව කියන එක දැන ගන්න ලැබීම මට ලොකු සතුටක්. හැබැයි රේණු නංගි, අපේ මල්ලි සම්බන්ධයෙන් කියනවනං තව එකතු කරන්න නෙ කාරණාවක් තියෙනවා.” 

මොකක් ද විපුල් අය්යේ, ඒ කාරණාව.”

ඒ තමයි නංගි එයා හැම තිස්සෙම වෑයම් කරන්නෙ ඔයා ලෙඩ කියලා කියපු කාරණා පහ අනික් අයටත් බෝ කරන්න.”

එහෙනං විපුල් අය්යා කියන ඔය කාරණාව අපට ගන්න පුළුවන් මේ දෙන්නට ම තියෙන හයවෙනි ලෙඩේ හැටියට.”

කෝ මේ ගඟුල් සර්.”

හෑ ගඟුල් සර් ද? අර ඉන්නෙ අපේ නෙළුම් පොකුණ දිහෑ අනිමිස ලෝචනයෙන් බලාගෙන. යන්ඩ ළඟට ම ගිහිල්ලා ඔය කෑමයි තේයි දෙන්ඩ. අනිවාරෙන්ම අපේ පොන්ඩ් එකේ මාළුන්ටත් චාන්ස් එක. මට බය උන්ට ඔය තේකත් පොවන්ඩ හදයි ද කියලා.”

නෑ අරන් යන්න නෙ වෙන්නෙ නැහැ. අන්න ගඟුල් සර් මේ පැත්තට එනවා.”

වරෙන් වරෙන් ෂෂ්ඨ රෝගධාරි මහාපුරුෂයා.”

හප්පේ ඇති යන්තං මාව මොන රෝගධාරි හරි මහාපුරුෂ කුලකයට දැමීම ගැන.”

මල්ලී, මේ රේණු නංගි කියනවනෙ ඔයාටයි මිහිදිනීටයි තදබල ලෙඩ හයක් තියෙනවා කියලා.”

අන්න දැක්ක ද මන් කිව්වෙ ලෙඩ හයක් වැළඳිලා කියලා. ඔන්න විපුල් අය්යා තමයි ඒවට තදබල කියන විශේෂණේ දැම්මෙ. හරියට ම හරි අය්යෙ, ඔයාගෙ විශේෂණ පදේ. ඒක නියමෙට ම ගැළපෙනවා.”

මේ කෙල්ලට වචනයක් බැරි වෙන්න බැහැනෙ, ඒක අල්ල ගන්නවනෙ. මල්ලි ඔය කියන ලෙඩ ම තමයි අපේ සමන්ටත් තිබුණෙ. එයා අද මෙතන හිටියනං අපට ඔය ගැන හොඳ විග්‍රහයක් අහ ගන්න තිබුණා එයාගෙන්.”

අනතුරුව විපුල් සිනාසෙමින් කෙළේ රේණු පැවසූ රෝග හය සිය මතකයේ තබාගත් ආකාරයෙන් ප්‍රකාශයට පත් කිරීම ය.

“ ඕකට තවත් ලෙඩක් එකතු කරලා ඒක වැඩියෙන් ම තියෙන කෙනා හැටියට අපට නම් කරන්න වෙන්නෙ අපේ රේණු අක්ක ම තමයි. ”

මොකක් ද මල්ලි ඒ ලෙඩේ.

ආ ඒකට කියන්නෙ ගමන්මේනියාව. ඒකෙ ලතින් රූපෙ රේණුකියා ගමනැලියා.”

ඒකෙ දෙවෙනි වචනෙ නං සන්ධියක්නෙ ගඟුල් සර්. ගමන් ඇලියා ගමනැලියා. ඒ කියන්නෙ ගමන්වලට ඇලිලා ඉන්නවා කියන එක ද?”

හරියට ම හරි, අර මුලින් තියෙන්නෙ ඒ රෝගෙ ලෝකෙ මුලින් ම හැදිච්ච කෙනාගේ නමේ ලතින් රූපෙ.”

එයා එතකොට කොහෙ ඉන්න කෙනෙක් ද එහෙම නැත්තං හිටපු කෙනෙක් ද?”

මිහිදිනියෝ, උඹත් නංගි, දැන් ගාණට වැඩියි, දෙන්න එක්ක එකතු වෙලා මට මොත්තෙ දාන්න යි එහෙනං හදන්නෙ. ඔව් මම රේණුකියා ගමනැලියා තමයි. මොකෝ  උඹලා දෙන්න එකතු වෙලා මගෙ ගමන් නවත්තන්න ද?”

අනේ නැහැ. නාගොල්ලාගම ඉස්කෝලෙ විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කෙනුත් ඒ සම්බන්ධයෙන් පළවෙනියා උනේ ඔයානෙ. කොටින් ම අය්යෙ, විදුහල්පතිතුමා ආරාධනාපත්‍ර තැපෑලෙන් යවමු කිව්වහම මේ ගමනැලියා මැඩම් තමයි ඒක වෙනස් කරලා දිස්ත්‍රික් ගාණකට යන්න වෙන විදිහට වැඩේ පත්තු කළේ.”

ඉතිං හොඳයිනෙ මල්ලි, මටත් මේ නංගිලා අඳුන ගන්න ලැබුණෙ ඒක හින්දනෙ.“

ඒ විතරක් නෙමෙයි අය්යෙ, මමත් මේ ගමනැලියා මැඩම්ට ගොඩක් රෙස්පෙක්ට් කරනවා කොළඹ ඉස්කෝලෙකට ලේසියෙන් යන්න පුළුවන්කම තියෙද්දි මෙහෙ ඇවිත් වැඩ කරන එකට නං.”

ඉතින් මල්ලි අපිට උඹ ගැනත් කියන්න වෙන්නෙ ඒ කතාවමනෙ.”

මේ අපි දැන් ඔය ඔක්කොම කතා නවත්තලා ගමනට සූදානම් උනොත් නේද හොඳ?”

මෙසේ සියලු දෙනාගේ අවධානය යායුතු ගමන දෙසට යොමු කෙළේ විපුල් ය.

ඈ රේණු අක්කෙ, කෝ ඔයාගෙ අම්මාල තාත්තා ඇතුළු පවුලේ අනිත් සාමාජිකයො ටික. මොකද අපි එන නිසා ඒ කට්ටිය වෙන ගෙදරකට ගිහින් ඇරලුවවත් ද?”

ඇයි ගඟුලො මන් එහෙම කරන්නෙ.”

එහෙම කරන්නෙ ද දෝණියන්දැගෙ නැත්තං සහෝදරිගෙ කතන්දර බතන්දර ඔක්කොම ඒ ගොල්ලො අපිට කියලා දායි කියන බය හින්දා.”

ඒ මොකට ද මන් එහෙම බය වෙන්නෙ. රටේ ලෝකෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි, මගෙ අම්මා තාත්තටයි ඒ වගෙම මගෙ ජ්‍යෙෂ්ඨ සහෝදරයටයි කනිෂ්ඨ සහෝදරියට යි මේ ශ්‍රේෂ්ඨ කුල කාන්තාව ගැන කියන්න තියෙන්නෙ බොහොම ප්‍රශංසනීය දේවල් මිසක් නින්දනීය දේවල් නෙමෙයි.”

මේ ශ්‍රේෂ්ඨ කුලකාන්තාව, අපිට ඒවයින් වැඩක් නැහැ. ඇත්තටම කෝ පවුලෙ සාමාජිකයො ටික.”

මේ පුන්පොහෝදා මගේ ආදරණීය දෙමව්පියන් සිල් ගැන්ම සඳහා ගියා. මගේ ආදරණීය කනිෂ්ඨ සහෝදරිය ඔවුන්ගේ රථාචාරිණිය වශයෙන් ඔවුන් ඇරලවීමට ගියා.”

කෝ එතකොට අය්යා.”

මන් හිතන්නෙ ඔබතුමා මේ අහන්නෙ අපේ ගරු උපදිසාපතිතුමා ගැන වෙන්ඩ නෙ. අහන්නෙ එතුමා ගැනනං කියන්න වෙන්නෙ එතුමාව අපටත් එතුමාට අපවත් දැක බලා ගැන්මට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් බව යි.“

ඇයි අය්යා වැඩිය ගෙදර එන්නෙ නැද්ද? ”

නැහැනෙ, එතුමා සති අන්තෙ ගෙදර එනවා කියලා බොහොම විශ්වාසයකින් ගෙදරට දන්නනවා. ඒ එන්න හිතන් ඉන්නවා කියපු දවසෙ උදෙන්ම බොහොම විශ්වාසෙකින් යුතු ව ගෙදරට දන්නනවා එන්න නොලැඛෙන බව.”

ඇයි එයා එහෙම කරන්නෙ.”

මහත්තයෝ එයා එහෙම කරනවා නෙමෙයි, එයාට එහෙම කරන්න වෙන විදියට වැඩ යෙදෙනවා. එක්කො ආගමික කටයුත්තක්. එහෙම නැත්තං එයාගෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ කොහෙ හරි තැනක කෙරෙන ශ්‍රමදානෙකට ගිහිල්ලා.”

ශ්‍රමදානවලට යන්නෙ උපදිසාපතිවරයා හැටියට ඒවා ගැන හොයලා බලන්න ද?”

හොයලා බලන්න නෙමෙයි මනුස්සයො, ඒ මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.”

අදහන්න වටින මිනිහෙක්නෙ නංගි, ඔයාගෙ අය්යා.”

විපුල් අය්යා කියපු ඔය කතාව ඔය විදිහටම කිව්වා  අය්යා වැඩ කරන දිස්ත්‍රික්කෙ බාරව හිටිය කලින් හිටපු මහ දිසාපතිතුමා. දවසක් මහදිසාපතිතුමා මොකක් හරි රාජකාරි වැඩකට අය්යගෙ කොට්ඨාසෙට ඇවිත් තියෙනවා. එතකොට අය්යා ඉඳලා නැහැ. ඉඳලා තියෙන්නෙ සහකාර ප්‍රාදේශීය ලේකම්. එයා හැම තිස්සෙම ලොක්කන්ට ප්‍රශස්ති ගයන- සොක්කන්ට පාට් දාන කෙනෙක්. දවසක් වයසක අම්මා කෙනෙකුට පාට් දාන හැටි අය්යට තමන්ගෙ ඇස්වලට ම දකින්න ලැබිලා අය්යා එයාට අවවාද කරලා තියෙනවා. ඇයි තමුන්ටත් මේ වගෙම අම්මා කෙනෙක් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා.”

ඉතින් ඒ අවවාද අහලා මිනිහා හැදුණ ද?”

මොන හැදුණ ද මිනිහා, ඊට පස්සෙ දවසක එයාට වඩා තනතුරෙන් අඩු මට්ටමේ ඉන්න නිලධාරියෙක් අහලා තියෙනවා උපදිසාපතිතුමා අර වයසක අම්මා කෙනෙකුට සර් සැර උනයි කියලා සර්ට බැන්න ද කියලා.”

ඉතින් එතකොට මොකක් ද එයා කියලා තියෙන්නෙ.”

කියලා තියෙන්න ද? අයිසේ, අපේ ලොක්ක ඔය වයසක ගොඩේ ගෑණු මිනිස්සුන්ට අම්මා තාත්තා කිව්වට මට එහෙම කරන්න පිස්සුවක් නෑ කියලා. ඒ විතරක් නෙමෙයි එයාට අවවාද කරපු දවසෙ ඉඳලා පෙන්නුවෙ නැති උනාට එයා ඉඳලා තියෙන්නෙ අය්යා ගැන තරහෙන්. අර මහදිසාපතිතුමා ආපු දවස මෙයා සලකලා තියෙන්නෙ අය්යට පාඩමක් උගන්නන්න එයාට ලැබිච්ච හොඳ අවස්ථාවක් විදිහට.”

ඉතින් මොකද මේ මිනිහ අය්යට විරුද්ධව කේලමක් වත් මහ දිසාපතිගෙ කනේ තිබ්බ ද?”

නෑ එහෙම දෙයක් නෙමෙයි, මහදිසාපතිතුමා අහලා තියෙනවා කෝ අයිසෙ තමුසෙලාගෙ ලොක්කා කියලා. එතකොට මේ මනුස්සයා කියලා තියෙන්නෙ, බලන්න සර්, සර් මෙහෙට එන දවසෙදිත් උපදිසාපතිවරයා මෙහෙ නැහැනෙ. සර්, මම  මගෙ මෙතන ප්‍රධානියට විරුද්ධ ව කතා කරනවා කියලා හිතන්න එපා. ඒ උනාට සර් ඇවිල්ලා අපි ඔක්කොමගෙ ප්‍රධානියා. ඒ වගෙම සර් අවංක ව සේවය කරන රාජ්‍ය නිලධාරියෙක් විදිහට මටත් වගකීමක් තියෙනවා, සර්ට මෙතන සිද්ධ වෙන දේ පැහැදිලි කරන එක.”

ඉතින් ඉතින්.”

දැන් කතාවේ ඉතිරි කොටස අසා ගැනීමේ කුතුහලය ඇත්තේ මිහිදිනීට ය.

මෙහෙමයි නංගි, එතකොට දිසාපතිතුමා කියලා තියෙන්නෙ මොකක් ද අයිසෙ තමුසෙ මේ කියන්නෙ මට කියනවකො කියන මඟුලක් පැහැදිලි සිංහලෙන්. මොක ද තමුසෙගෙ ලොක්කා මොකක් හරි වංචාවක් කළා ද එහෙම නැත්තං නෝබිනා ගමනක් ගියා ද එහෙමත් නැත්තං ෆීල්ඩ් ට්‍රිප් කියලා දාලා තමුසෙලගෙත් ඇස් වහලා ගෙදර ගියා ද?”

අන්න සර්ගෙන් ම අවශ්‍ය වචනෙ කියවුණා සර්.”

අයිසෙ මන් වචන කීයක් නං කිව්ව ද ඔය කොයි වචනෙද දැන් මේ කතාවට ගළපන්න පුළුවන් වෙන්නෙ.”

සර් රාජකාරියෙ නමින් වෙනත් වැඩකට යනවානං ඒකට අපිට කියන්න වෙන්නෙ අර සර් පාවිච්චි කරපු නෝබිනා ගමන් කියන වචනෙ තමයි.”

ඒ කියන්නෙ දැන් තමුසෙ කියන හැටියට තමුසෙලාගෙ උපදිසාපතිතුමා ගිහින් තියෙන්නෙ නෝබිනා ගමනක් ?”

ඔව් සර් අපිට එහෙම තමයි හිතන්න වෙන්නෙ.”

හා හොඳයි එහෙනං මේ දිස්ත්‍රික්කයෙ මහ දිසාපති විදියට ඒ කියන්නෙ ප්‍රධාන නිලධාරියා විදිහට මට ඒක විමර්ශනය කරන්න ම වෙනවා. මොකද මට මේ චෝදනාව ඉදිරිපත් කරන්නෙ සහකාර ප්‍රාදේශීය ලේකම්. දැන් මේ වටපිටාවේ ඉන්න කීපදෙනෙක් ම ඒක අහගෙනයි ඉන්නෙ. දැන් අපිට තියෙන්නෙ ක්‍රියාත්මක වෙන්න.”

හරියට ම හරි සර්, සර් වගේ නීතියට වැඩ කරන කෙනෙක් අපි ඔක්කොමගෙ ප්‍රධානියා වීම අපට ලොකු ගෞරවයක්.”

ඒ ගෞරවයෙන් කමක් නැහැ. දැන් තමුසෙත් එනවා මාත් එක්ක යන්න. මට මෙතනම වැඩ කරන ප්‍රධාන නිලධාරියෙක් මගෙ සාක්කියට ඉන්න එක වැදගත්.”

අනේ සර්, ඒක ටිකක් හරි නැහැ නේද අපි චීෆ් ක්ලාක් මහත්තයව ගනිමු ද ඔය වැඩේට. එයා ඉතින් ඔය නෙ වැඩකට හරියන පරිණත කෙනෙක්නෙ.”

හරි මට දැන් ඔය චෝදනාව ඉදිරිපත් කළේ චීෆ් ක්ලාක් ද සහකාර ප්‍රාදේශීය ලේකම් ද ?”

සර්, සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට වැඩ කරන්නෙ මන් උනාට මේ වැඩේට මන් යන එක....”

ඔව්, තමුන් යන එක තමයි හරි. තමුසෙට අමතර ව අද දවසෙ මෙතන වැඩවලින් ටික වෙලාවකට නිදහස් කරගන්න පුළුවන් කෙනෙකුටත් කතා කරනවා. අපි එනකං චීෆ් ක්ලාක් මහත්තයට  බාර දෙන්න පුළුවන් වැඩ ටික බාර දෙනවා.”

සර් මන් ඉඳලා මෙතන ඔක්කොම වැඩ බලාගන්නං. අපි සර් චීෆ් ක්ලාක් මහත්තයයි විමලරත්නයි සම්බන්ධ කරගනිමු මේ වැඩේට.”

අයිසෙ, මේ මට ඉස්සෙල්ලා කියනවා මේකෙ මහදිසාපති තමුසෙ ද මම ද?”

අනේ වෙරි සොරි සර්. සමාවෙන්න.”

නෑ එක බාසාවකින් සමා උනාම ඇති. දැන් එහෙනං තමුසෙ ලෑස්ති වෙනවා ගමනට. මම චීෆ් ක්ලාක් මහත්තයට කියන්නං මේකට සුදුසු නිලධාරියෙක් ව ලෑස්ති කරන්න කියලා.”

හොඳම වැඩේ තමයි මිනිහට වෙලා තියෙන්නෙ. තමුන්ට න වැඩේ මහදිසාපතිතුමා ලවා කරවගෙන මන් සුදනා වෙන්න. නියම වැඩේ. මිනිහා හදලා තියෙන්නෙ බළලුන් ලවා කොස් ඇට බාවන්න.”

අය්යා කියපු මුල් ටික නං හරි. ඒත් මට හිතෙන්නෙ අර බළලුන් ලවා කොස් ඇට බාවන කතාව නං හරි මදි කියලයි.”

කොහොම ද ගඟුලො, ඒක හරි මදි වෙන්නෙ. ඒක තමයි මෙතෙන්ට හරියනම උපහැරණෙ.”

නෑ රේණු නංගි, අපේ මල්ලි ඔය කතාව කියන්න ඇත්තෙ හේතුවක් ඇතුව. එයාට නංගි ඒ හේතුව කියන්න ඉඩ දෙන්න.”

විපුල් අය්යා කියන නිසා මන් ඉඩ දෙන්නං. හොඳයි තමුන්ට හේතු දැක්වීමට අවස්ථාව දෙන්න මන් තීරණය කළා, අපේ විපුල් අය්යට කරන ගෞරවයක් වශයෙන්.”

ඇත්ත ද එහෙනං මන් හේතු දක්වන්නං. මොකද ඒ ප්‍රසිද්ධ කියමන මෙතෙන්ට ගළපන්න බැරි ඔය කතාවෙන් ඉදිරියෙදි තවදුරටත් මතු වෙයි කියලා හිතෙන මහදිසාපතිතුමා මෝඩකමට කොස් ඇට බාවන්න යන බළලෙකුට සමාන කරන්න බැරි නිසා. ඊළඟට අපේ රේණු අක්කගෙ අය්යත් කොස් ඇටවලට සමාන කරන එක හරි නැති නිසා.”

මේ ගඟුලයා කියන විදිහට මහදිසාපතිතුමයි අපේ අය්ය යි කොහොම ද මෙතෙන්දි බළලටයි කොස් ඇටවලටයි සමාන කරගන්නෙ කියන එක තමයි මට හිතාගන්න බැරි.”

රේණු අක්කම දැන් මේ මුළු කතාවම මුල මැද අග ගළපලා බලන්න. එතකොට කතාවෙ සන්දර්භය දිහා බලන ඕන කෙනෙකුට මන් කියන දේ පේනවා.”

නංගි, අපේ මල්ලි කියන එක මට පැහැදිලි යි. ඒක නිසා මම අර යෙදුම ඉල්ලා අස් කර ගන්නවා.”

අක්කෙ දැන් අපි යන්නත් නෙ නේද? ඒක නිසා අර කතාවෙ ඉතිරි ටිකත් කියමු ද?”

ඊට පස්සෙ උනේ ඉතින් අය්යට වින කටින්න බලාගෙන හිටපු අර ප්‍රාදේශීය ලේකම්ට මහ දිසාපතිතුමා එක්ක යන්න උනා.”

ඉතින් කොහාට ද ගියේ?”

වෙන කොහාට ද අර ශ්‍රමදානෙ තියෙන තැනටනෙ.”

ඉතින් ඊට පස්සෙ මොකද උනේ?”

දැන් මේ කට්ටිය එතෙන්ට ගියයි කියමුකො. බලන කොට ගහක් යට පුටුවක් තියාගෙන වැඩ අධීක්ෂණය කරන උපදිසාපති කෙනෙක් එතන ඉඳලා නැහැ. එයාගෙ වාහනෙත් නැහැ. මේක දැක්කම අපේ අය්යා ගෙදර හරි වෙන කොහේ හරි ගියා කියන එක තහවුරු කරන්න බලාගෙන හිටපු ප්‍රාදේශීය ලේකම්ට මාර සැටිස්.”

රේණු අක්කෙ, අපේ විදුහල්පතිතුමා කිව්වා නේද ඔය මාර කියන වචනෙ පාවිච්චි කරන එක සුදුසු නැහැ කියලා.”

ආ උඹ මට කියන්නෙ නංගි මෙහෙම වැඩකදි ඒ ගරු සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාට ප්‍රබුද්ධ සන්තුෂ්ටියක් ඇති උනා කියලා කියන්න ද? ඌ මාර පුත්‍රයෙක් මිස ප්‍රබුද්ධ පුත්‍රයෙක් නොවන හින්දා ඌට කියන්න නෙ මාරපුත්‍රයා කියල ම තමයි. මොකද මිහිදිනී දැන් කට ඇරන් උඩ බලන් ඉන්නෙ. මාවම කන්න ඉන්නැතුව දීපන්කො මට සපෝට් එකක්.”

මෙතෙන්දි නං රේණු අක්කා හරි.”

ආ මෙතෙන්දි නං හරි. ඒ කියන්නෙ අනික් තැන්වලදි මන් වැරදියි එහෙම ද?”

මන් එහෙමම කිව්වෙ නැහැනෙ මගෙ හොඳ අක්කෙ.”

අනේ පලයන් යන්න, මගෙ හොඳ අක්කෙ. දැන් මට බටර් ගාන්න එන්නැතුව. මොකෝ තරුණ පඬිතුමා කට හදා ගත්තෙ මොකක් හරි මට කට කැඩිච්ච කතාවක් ඇදලා අරින්න ද?”

කතාවක් කියන්න නං තමයි. හැබැයි ඒක කට කැඩිච්ච කටකින් නෙමෙයි කට හැදිච්ච කටකින් කියපු අපේ කටවලුත් හදාගන්න පුළුවන් වෙන විදිහෙ ප්‍රබුද්ධ කතාවක්.”

කවුද ඒ පුබුද්ධ කතාවෙ නිර්මාතෘ උඹ ද? එහෙනං ඒක නොකිව්වට කමක් නෑ. මොකද උඹ කියන එකක් නං ඒක ප්‍රබුද්ධ කතාවක් නොවන නිසා.”

නෑ නෑ රේණු අක්කෙ, ඒක මගෙ කතාවක් නෙමෙයි සමන් අය්යා කියපු කතාවක්. අපේ අය්යත් හොඳටම දන්න කතාවක්.”

හා එහෙනං කියපන්.”

ඒක සමන් අය්යා තමන්ගෙ ශිෂ්‍යයෙකුට කියපු එකක්. ඒ ශිෂ්‍යයා ඔය ශ්‍රමදාන ගමේ පින්කම් මළගෙවල් වගේ තැන්වලදි බැහැලා වැඩ කරපු ළමයෙක්. එයා රටට සමාජෙට නොගැළපෙනවා කියන අයගෙ වැඩ වෙනත් කෙනෙක් එක්ක විවේචනය කරන කොට පාවිච්චි කරන්නෙ උන් මුන් කියන වචන. එක දවසක් මේ ශිෂ්‍යයා සමන් අය්යලගෙ ගෙදර ආපු දවසක එයාට සමන් අය්යා කියපු වචන ටික අපේ සර් තමන්ගෙ පොතකටත් අරන් තිබුණා. සමන් අය්යගෙ මරණයෙන් පස්සෙ එයාට බොහොම ගැඹුරින් ම ආදරය කරපු සමීපතමයො කිහිප දෙනෙක් එකතු වෙලා සීතල වතුර පොද කියලා බ්ලොග් එකක් හදලා තිබුණා. රේණු අක්කයි, අපේ මිහිදිනි යි අහන්න කැමතිනං මට පුළුවන් ඒක දැන් ඔයගොල්ලන්ට කියවන්න.”

අනේ කියන්න.”

ඒ මිහිදිනී ය.

ඇයි රේණු අක්කා නිහඬ.”

ඔය කතාව ඔයා ගන්නෙ ගඟුල් මන් කියපු දෙයක් නිසානෙ. ඒක නිසා  අනිවාර්යෙන් ම මාව විවේචනය වීමක් තියෙනවා. ඒත් මන් කැමතියි ඒකට. විශේෂයෙන් අපි නොදැක්කත් එයා කියපු කරපු දේවලින් අපට පේන සමන් අය්යගෙ කතාවක් නිසා ඒක අහන්න මටත් ලොකු කැමැත්තක් තියෙනවා.”

රේණු අක්කෙ, ඔයා හරිම අවංක කෙනෙක්. එහෙම අයට තමයි ගොඩක් වෙලාවට වැරැද්දක් දැක්කහම කේන්ති යන්නෙත්. සමන් අය්යා කියන්නෙ එහෙම අවංක ව කතා කරන අවංක ව වැඩ කරන මිනිස්සු වඩාත් කල්පනාවෙන් වැඩ කරන්න නෙ කියලයි.”

දැන් මල්ලි කියන්න අපේ සමන්ගෙ ඒ ප්‍රකාශෙ. එයා මොන දෙයක් කිව්වත් අර ඔයාගෙ සර් එයාගෙ සමහර දේශනවලදි මතු කරන මාඝ කවියගෙ අදහසයි ඒ ප්‍රකාශත් එක්ක අපට ලේසියෙන් ම ගළපන්න පුළුවන් වෙන්නෙ.”

ගඟුල් සර් ඒකත් කියල ම සමන් අය්යගෙ ප්‍රකාශෙ අපට කියන්න.”

ක්ෂණෙ ක්ෂණෙ යන්නවතාමුපෛති තදේවරූපං රමණීයතායාඃ.”

මොහොතක් මොහොතක් පාසා අලුත් බවට පැමිණේ ය යන යමක් වේ ද එය ම රමණීයත්වයේ ස්වභාවය යි.

දැන් මන් සමන් අය්යා අර ශිෂ්‍යයට කියපු දේ කියන්නං.”

ගැටළුවකදී සත්‍යය නියෝජනය කළ යුතු යි. එහෙත් හැමවිට ම සතුරන් පිරිසක් සමග සටන් කළයුතුයැයි සිතිය යුතු නැහැ. ද්වේෂය සත්‍යගරුක මිනිසුන්ගේ ගුණාංගයක් නොවේ. එය සත්‍යය හැඳින ගැනීමට පවා බාධාවක්. ක්ෂණික කෝපයකදී අපෙන් පිටවන වචන පාලනය කිරීමට අපහසු යි.  උන් මුන් යනුවෙන් මිනිසුන් අමතන්න එපා. සමාජ මෙහෙවරක යෙදිය යුතුයැයි සිතන කෙනෙකුට එය කොහෙත් ම ගැළපෙන්නේ නැහැ.

අභිමානය වටිනා ගුණාංගයක්. එය අහංකාරය නොවේ. අහංකාරය දුර්වලතාවක්. පොදුවේ අප තුළ ඇති අහංකාරය පරාජය කළ හැක්කේ අප අපගේ කටයුතු ගැන නැවත සිතා බලා අපේ ම වැරදි අප ම දකින විට යි. ”

මල්ලි මේ වගෙ දේවල් අහන අහන සැරේට අපිත් අලුත් වෙනවා.”

ඒ විපුල් ය.

මට මතකයි දවසක් අපේ සර් කියපු දෙයක්. මිනිස්සු තනතුරු ගන්න තමන් එක්ක ම මෙතෙක් එකට හිටපු මිනිස්සුන් ව හිටන් කපලා දාන්න වැඩ කරන කොට මට මගෙ අය්යා මතක් වෙනවා ගඟුල් කියලා කිව්වා. තමන්ගෙ ආයතනේ වගේම එයින් පිටස්තර තැන්වලත් එහෙම සිදුවීම් අද්දැකපු කාලෙක තමයි සර් අහංකාරය, හීනමානය, අතිමානය සහ අභිමානය කියලා ලිපියක් ලියලා ලංකාදීප පත්තරේට යවලා තිබ්ඛෙ. සර් ඒ ලිපිය පටන් අරන් තිබුණෙ තමන්ගෙ සහෝදරයා ගැන දැනිච්ච හැඟීම එක කවියකින් කියල යි.

 

                         තනතුරු සොයා මිනිසුන්       යුද වදින      විට

                         තනතුරු නොම සෙවූ ඔබ එයි           ඉදිරියට

                         අය්යේ දයාබර, ඔබ වන්              මිනිසෙකුට

                         මල්ලී වීම    මහ අභිමානයකි                  මට

මට සමන් අය්යා වගේම මගෙ මේ අය්යා ගැන කියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි.”

දැන් අපි කතාවලට විරාමයක් තියලා ගමනට පිටත් වෙමු නේ ද?”

හරි කොතනින් ද පටන් ගන්නෙ. කොහොමටත් අද අපි එන එක ඒ යන තැන්වලට කලින් දන්නලා නේ ද තියෙන්නෙ.”

ඔව්, රේණු අක්කා කල් ඇතුව ම ඒ වැඩේ කරල යි තියෙන්නෙ. අපිට මේ ගම්පහ දිස්ත්‍රික්කෙ යන්න තියෙන තැන් හතරින් තුනකට යන්න තියෙන්නෙ උදේ වරුවෙ යි. නාගොල්ලාගම ඉස්කෝලෙන් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා පස්සෙ පරිපාලන විභාගත් කරලා අද අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙලා ඉන්න ජයවීර මහත්තයා අපිට එන්න කියලා තියෙන්නෙ අද හවස හතරෙන් පස්සෙ.”

මිහිදිනී දැන් වෙලාව අටයි විසිපහයි. මේ ගෙදර ඉන්න නෝනගෙන් නං තව මුකුත් කන්ඩ හම්බ වෙන පාටක් නැහැ.”

ගගුල් කිව්වහමයි මට මතක් උනේ. ඇයි මිහිදිනී, අපි මේ ගඟුල් සර්ට ම දෙන්න කියලා තියාගත්ත අර විශේෂ කෑම තව පොඩ්ඩෙන් අමතක වෙනවා.”

එසේ කී රේණු ගෘහ මධ්‍යයට ගොස් පෙරළා පැමිණයේ දෝත පුරා යමක් රැගෙන එන ආකාරයෙනි. එසේ ආ ඇය සෙමෙන් සෙමෙන් ගමන් කෙළේ ගඟුල් දෙසට යි.

පොඩ්ඩක් ඇස් දෙක වහ ගන්න මල්ලි. සමා වෙන්න විපුල් අය්යෙ, අපේ ගඟුල් මලයට ම තියාගත්ත මේ ජාතියෙන් චුට්ටක්වත් ඔයාට දෙන්නෙ නැති එකට.”

මේ මොහොතේ මිහිදිනී රේණු දෙස බලා සිටියේ විස්මවිකසිත දෑසිනි. මන්ද ඒ සැදූ සියලු අහරින් ඔවුනට සංග්‍රහ කොට තිබූ බැවිනි. එසේ නං රේණු අක්කා තමාට ද හොරෙන් තවත් අහරක් සකසා තිබේ. එහෙත් එය විපුල් අය්යාට නොදෙන්නේ මන්ද?”

එවන් කල්පනා අතර සිර ව සිටි මිහිදිනී ඉන් මිදුණේ කිසියම් තැනකට පහරක් වදින විට ඇසෙන ශබ්දයක් සමග ය. ඒ සමග ම ඇසුණේ ගගුල්ගේ කටහ යි.

අම්මෝ අය්යෙ, මේ යක්ෂ ස්ත්‍රිය මට මොනවදෝ ජාතියක් කන්න දෙන්න වගේ හෙමින් හෙමින් ළඟට ඇවිල්ලා දුන්නෙ නැද්ද මගෙ පිට මැද්දට හොඳවැයින් එකක්.”

නොසැලෙන් මලනුවනි, නොතැවෙන් මලනුවනි, මෙයින් අපගේ ආදරණීය රුක්මණී දේවියගේ ගීතයෙන් කියැවෙන අන්දමේ ලෝහිත ගංගා ගලා යාමක් සිදු උනේ නැහැ. මෙය මගේ හැටියට ඉතා සුළු පහරක් පමණයි. ”

ඒක හොඳ සුළු පහර. සුළු දිය පහවෙන යන අර්ථයෙන් තමයි ඒක සුළු පහරක් වෙන්නෙ. අනිත් එක කන්න දෙන්න වගේ ඇවිල්ලා ඔහොම ගහන එක හරි ද මන් අහන්නෙ?”

අපේ දේශපාලකයො කන්න බොන්න අඳින්න පළඳින්න දෙන්න වගේ අපි ළඟට ම ඇවිල්ලා, තමන් ළඟ නැති බලය අපිට කියල ම අරගෙන ඊට පස්සෙ අපට ගහන ගැහිලිවල හැටියට කත් ගැහිල්ලක් ද මල්ලී ?”

ඒක හරි, ඒ උනාට රේණු අක්කා වගේ කෙනෙක් එහෙම ගැහිලි ගහයි කියලා කොහොම විශ්වාස කරන්න ද?”

ඉතින් මල්ලි උඹ ඉල්ල ගෙනනෙ කෑවෙ.”

ඉල්ල ගෙන.”

ඔව් මල්ලි, උඹ ඉල්ලුවෙ නැද්ද මගෙන් කන්න දෙයක්.”

ඔව් මන් ඉල්ලුවා.”

ඉතින් මන් දුන්නෙ.”

මොනව ද?”

ඇයි ගුටි. ඒ විතරක් ද ඇයි උඹ ම මල්ලි පිළිගත්තනෙ හොඳවැයින් එකක් හම්බ උනා කියලා. ඒ වගෙම ඒ කෑම දුන්න මට බොහොම ගරු නම්බු සහිත නමක් කියල ම ආමන්ත්‍රණෙත් කළානෙ.”

මේ මගෙ පිට මැද්දට කෙළලා ඇරපු එකට මන් ඔයාට ගරු නම්බු දීලා කතාකළා. කොයි වෙලාවෙ ද? ඈ විපුල් අය්යෙ, මිහිදිනී ගොල්ලන්ට ඇහුණ ද ඒ ගහපු එකට මම මෙයාට ගරු නම්බු දීලා කතා කරපු වචනයක්.”

ගරු නම්බුවක් නං මන් දන්නෑ මල්ලි, ඔයා ඒ වෙලාවෙ ඔයාගෙ මේ රේණු අක්කට කතා කළේ නං යක්ෂ ස්ත්‍රිය කියල යි. ”

ඉතින් මලයො, උඹ ම නේ ද දවසක් උඹගෙ අර වචනවල නිරුක්ති ද සදුක්ති ද කියන සර් කිව්වා කියලා අපේ විදුහල්පතිතුමත් ඉන්න තැන යක්ෂ - රාක්ෂ වචනවල තියෙන්නෙ අපි දැන් පාවිච්චි කරන අර්ථෙට එහා ගිය ගැඹුරු අර්ථයක් කියලා කියලා ලොකු සර්වත් හොල්මන් කරලා දැම්මෙ.”

ඈ රේණු, මල්ලි මට කියලා නැහැනෙ එහෙම දෙයක්. මමත් කැමතියි ඒක දැනගන්න.”

බොහොම වැරදියි මලයා තමන්ගෙ සහෝදරයාට ඒ අර්ථ නොපැවසීම. හොඳයි අය්යෙ, මෙතුමා කියන හැටියට යක්ෂ කියන්නෙ බාහිර යාග කරන එකට වඩා තමන්ගෙ  ජීවිතය යාගයක් කරගත්ත අයට. එදා මේ පඬිතුමා කියපු හැටියට තමන්ගෙ මුළුමහත් ජීවිතය ම ආගමික කෘත්‍යයක් කරගත්ත අයට.”

හරි, ඒක හරියි කියමුකො. එතකොට රාක්ෂ කියන්නෙ.”

මෙතුමා කියන්නෙ ඒක හැදෙන්නෙ රැකීම, ආරක්ෂා කිරීම කියන අර්ථ දෙන රක්ෂ් කියන ධාතුවෙන් ¨. ඒ විදිහට බැලුවහම රාස්සයො කියන්නෙ ජීවිත රකින අය මිසක් නසන අය නෙමෙයි. ඒ කොයික වෙතත් මෙතුමා මේ ශ්‍රේෂ්ඨ කාන්තාවට යක්ෂ ස්ත්‍රිය යන නාමය දී ආමන්ත්‍රණය කිරීම ගැන මම එතුමාට මගේ හිස නමා ආචාර කරනවා.”

හැබැයි නංගි අන්තිමට මට කියන්න වෙන්නෙ ඔයගොල්ලො විහිලුවෙන් තහලුවෙන් කරන මේ එක කතාවක් වත් නිෂ්ඵල කතා ගණයට නං අයිති කරන්න බැහැ කියන එක යි. හොඳයි දැන් අපි කට්ටිය මෙතනින් පිටත් වෙමු. එහෙනං මල්ලි ගන්නකො වාහනේ.”

විපුල් එසේ පවසා ගඟුල් අතට රථයෙහි යතුර දුන්නේ ය.

දැන් රේණු අක්කේ, අපි ඉස්සෙල්ල ම කොහෙට ද යන්නෙ.”

අපි ඩොක්ටර් අසේලගෙ ගෙදරට යමු. එයාට කතා කළා ඊයේ. කොහොමටත් කලිනුත් මන් අපේ ක්‍රීඩා උත්සවේ ගැන දැනුවත් කරල යි තියෙන්නෙ. එයා තමන්ගෙ අනික් ඔක්කොම වැඩ කල්දාලා අපි එනකං සැදී පැහැදී බලාගෙනයි ඉන්නෙ. එහෙ අපට ටික වෙලාවක් ගත කරන්න වෙනවා. ඔන්න බලන්න, ඒ කතා කරපු විදිහට ඩොක්ටර්ලගෙ ගෙදරින් කෑමත් කාලා තමයි අපට යන්න වෙන්නෙ.”

ඔය ඔයගොල්ල ඩොක්ටර් අසේල කියන්නෙ හෘදය රෝග විශේෂඥ අසේල වි‍ජේනායක ද එහෙම නැත්තං දන්න ශල්‍ය වෛද්‍ය අසේල වි‍ජේසුන්දර ද?”

විපුල් අය්යෙ, මම කතා කරන්නෙ ඩෙන්ටිස්ට් අසේල ගැන. එක අතකින් එයාට අර රෝග කෑල්ල අතඇරලා හෘදය විශේෂඥ කෙනෙක් කිව්වත් වැරැද්දක් නැහැ කියල යි මට හිතෙන්නෙ මෙතෙක් ඒ දොස්තර මහත්තයා ගැන අහලා තියෙන කතාවල හැටියට.”

ඇයි රේණු, ඒ දොස්තර මහත්තයා මේ නාගොල්ල ඉස්කෝලෙ වැඩක් ගැන ඔච්චර උනන්දු. ඒ වගෙම ඔයා ඔය විදිහට කතා කරන්න හිතෙන තරමට මොනව ද ඔයා එයා ගැන අහලා තියෙන කතා.”

දැන් අය්යා ප්‍රශ්න දෙකක් ඇහැව්වා. ප්‍රශ්න අංක එකට දෙන්න තියෙන උත්තරේ තමයි එයා අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් වීම. ඒ වගෙම එයා තමන්ගෙ ඉස්කෝලෙ ගැන අදටත් ලොකු ආදරයකින් කතා කිරීම.”

හරි ඒක හරි. එතකොට අර හෘදය විශේෂඥ කතාව.”

ඒකට උත්තරේ නං මන් හොයා ගත්තේ ඔබතුමාගෙ සහෝදරයා, ඒ කියන්නෙ ගඟුල් පඬිතුමා අපට කියපු දෙයකින්.”

රේණු අක්කෙ, ඔයාට මන් ගැන කතා කරන්න බැහැ නේද හින්ට් එකක් ගහන්නෙ නැතුව.”

නැතුව මට එහෙම කළේ නැත්තං නිකන් ඇඟ කසනවා කසනවා වගේ.”

මෙසේ කියූ රේණු, එයිනික්බිති හැඟුම්බර ව පැවසුවේ පහත සඳහන් වචන යි.

මල්ලි, උඹ අපිට කොහොමත් පණ්ඩිතයෙක් තමයි.”

දැන් මන් උත්තර දෙන්නං අය්යගෙ ප්‍රශ්නෙට.”

අය්යෙ, දවසක් ඔයාගෙ මල්ලි තමයි අපිට කිව්වෙ ලෝකෙ ඉන්න නෑම කෙනෙකුට හෘදය විශේෂඥයෙක් වෙන්න පුළුවන් කියලා. ඒකට කරන්න කියලා එයා අපට යෝජනා කරන්නෙ කාටත් කරන්න පුළුවන් බොහොම පොඩි දෙයක්.”

මොකක් ද රේණු අක්කෙ, ඒ පොඩි දේ.”

අමුතු දෙයක් නෙමෙයි මිහිදිනී, තමන් ජීවත් වෙන මුළු සමාජයට ම ආදරය කිරීම.”

ඒ අර්ථයෙන් ගත්තහම මගෙ මිත්‍රයා සමන් සිත්තරාට කිසිම පැකිලීමකින් තොරව හෘදය විශේෂඥයෙක් කියලා කියන්න පුළුවන්.”

ඊයේ පෙරේදා දවස් දෙකේ ම විපුල් අය්යෙ, අපේ රේණු අක්කා කළේ අපිට යන්න තියෙන ආරාධිතයන්ගෙ විස්තර  හොයන්න අන්තර්ජාලෙ සැරිසරන එක.”

ඉතින් මිහිදිනී, අපේ මේ රේණු භවතිය මේ වෙන කොට ඒ අය ගැන මොනව ද හොයාගෙන තියෙන්නෙ.”

ඒකට උත්තර දෙන්න දන්නෙ නං අපේ රේණු අක්කම තමයි ගඟුල් සර්.”

හොඳයි ගඟුල්තුමා, ඔබතුමාගෙ ප්‍රශ්නෙට උත්තර දීම මන් ආරම්භ කරන්නං අපේ දොස්තර මහත්තයා ගැන හොයා ගත්ත තොරතුරුවලින් ටිකකින්. මේ රේණු නම් විද්වතිය අන්තර්ජාලයේ සැරිසරන විට ඇයට හමු උනා යථෝක්ත වෛද්‍යවරයා සම්බන්ධ සංකථන. ඒ සංකථන අතර තිබුණා වෛද්‍ය අසේල ගී රස වින්දන පිළිබඳ ව කළ කෘතියක් ජනගත කිරීමේ දී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහත්තයයි අපේ ගඟුලා මහතා අපේ සර් කියා නිතර කියන සර්රුයි ඒ සම්බන්ධ ව කළ දේශන දෙකක්. එක තැනක දී ඒ අපේ සර් කියලා ඔයා කියන සර්, ඩොක්ටර් අසේලගෙන් අහලා තිබුණා ඔයා කොහොම ද අසේල නොරිදවා දත් ගැලවීමේ කලාව ඉගෙන ගත්තෙ කියලා. ඒකට එයා දීලා තිබුණෙ අපූරු උත්තරයක්.”

ඒකනං අය්යෙ අපූරු උත්තරයක් ම තමයි.”

එහෙනං ගඟුල් ම කියනව ද ඒ ගැන.”

නෑ නෑ රේණු අක්ක ම කියන්න. මමත් කැමති අක්කා ඒක විස්තර කරන විදිහ අහන්න යි.”

ඩොක්ටර් අසේල කියලා තිබුණා මට පේරාදෙණියෙ දි දන්ත ශල්‍ය විද්‍යාව උගන්නපු ආචාර්ය මහාචාර්යතුමන්ලට මුලින් ම මගෙ ගෞරවය පළ කරනවා. ඒ වගෙ ම විදේශ රටවල මම මගෙ පශ්චාත් උපාධි කරද්දි මට උගන්නපු මහාචාර්යතුමන්ලටත් මහාචාර්යතුමියන්ලාටත් හිස නමලා ආචාර කරනවා. මෙතෙන්දි මට සර්ලා අහන ප්‍රශ්නෙ ඒ කියන්නෙ නොරිදවා දත් ගැලවීමේ කලාව ඉගෙන ගත්තෙ කොහෙන් ද කියලා ඇහැව්වොත් මට කියන්න තියෙන්නෙ මන් ඒක ඉගෙන ගත්තෙ අටේ පන්තියට විතරක් ඉගෙන ගත්ත මහාචාර්යවරයෙක්ගෙන් කියන එකයි.”

අටේ පන්තියට විතරක් ගිය මහාචාර්යවරයා කියලා ඔබ අදහස් කළේ කාව ද ඩොක්ටර්.”

එදා ප්‍රණීත් සර් ඒ ප්‍රශ්නෙ ඇහැව්වහම ඩොක්ටර් අසේල දුන්න උත්තරය යි මන් ඔයගොල්ලන්ට ඊළඟට කියන්නෙ.”

මොකක් ද නංගියෙ, ඔයත් ඔය ලොකු හැඟීමකින් කියන්න යන ඒ උත්තරේ.”

මගෙ තාත්තා තමයි සර් අටේ පන්තියට යනකං ඉගෙන ගත්ත මහාචාර්යතුමා. තාත්තා තමන් හිටවපු මඤ්‍ඤොක්කා පඳුරු ගැලෙව්වෙ පස හෙමින් හෙමින් බුරුල් කර කර පසට නොරිද්දා අලේට තුවාල නොකර හරි පරිස්සමට. අන්තිමට තාත්තා අතට ගත්තෙ නොකැඩුණු අලයක්. මහපොළොවටත් නොරිදන මඤ්‍ඤොක්කා පඳුරටත් නොරිදන ඒ අලවලටත් තුවාල නොකරන ශිල්ප ක්‍රමයකුයි තාත්තා එදා ඒ පෙන්නලා දුන්නෙ. මන් නොරිදවා දත් ගැලවීමේ කලාව ප්‍රගුණ කළේ අන්න එතනින් සර්.”

ඒ හරි ලස්සන තැනක්නෙ. ඔන්න දැන් මටත් ලොකු කැමැත්තක් ඇති උනා ඒ දොස්තර මහත්තයව දකින්න.“

හරි විපුල් අය්යෙ, ඒකට වැඩි වෙලාවක් ගත වෙන්නෙ නැහැ. දැන් අපි මේ ඉන්නෙ කිරිල්ලවල. ගඟුල්, ඔන්න ඔය අතුරු පාරට දාලා මීටර් පනහක් විතර ගිහින් හම්බ වෙන හතරමන් හන්දියෙන් වමට දාන්න. ඒ පාරේ කෙළවරට ම ගියාම හම්බ වෙන පළවෙනි ගේ.”

ගඟුල් රේණු කී මග තොරතුරු අනුව ගොස් අදාළ තැන රිය නතර කෙළේ ය.

මල්ලි, ඔන්න ඔය ගේට්ටුවෙන් ඇතුළට දාපන්. ඔය ගේට්ටුව ඇරලා තියෙනවා යන්නෙහි සංකේතාර්ථය වූ කලී වෛද්‍යෝත්තම අසේල වි‍ජේසුන්දර මහාත්මා අපගේ පැමිණීම ආදරයෙන් අපේක්ෂා කිරීම යි.”

අන්න රේණු අක්කේ, දොස්තර මහත්තයා වෙන්න නෙ හිනාවීගෙන මේ පැත්තට එන්නේ.”

මගේ නාගොල්ලාගම පාසලේ ආදරණීය ආචාර්ය මණ්ඩලය මන් බොහොමත් ම ගෞරවයෙන් පිළිගන්නවා. එන්න අපි ඇතුළට ම ගිහින් කතා කරමු.”

එසේ ඔවුන් සාදරයෙන් පිළිගෙන ඇතුළට කැඳවාගෙන ගියේ මැදිවියට ආසන්න මුත් තවමත් තුරුණු රුව හැර නොගිය වෛද්‍ය අසේල වි‍ජේසුන්දර යි.

එන්න ඉස්සෙල්ල ම අපි තේ ටිකක් බීලා ඉඳිමු. අද මගෙ ආචාර්ය මණ්ඩලයට දිවා ආහාරය කලින් කියපු විදිහට ම අපෙන්. අපේ සාකච්ඡා කාලය වෙලාවෙදි පොඩි පොඩි සද්ද ඇහේවි. මොකද අද අපේ කොල්ලො තුන්දෙනාම ගෙදර. ඒ වගෙම මේ ගෙදර මහ කෙල්ලත් ඉන්නවා. මහ අම්මත් ඉන්නවා.”

මහ කෙල්ල, මහ අම්මා කිව්වෙ ඩොක්ටර් මේ ගෙදර පොඩි කෙල්ලොත් පොඩි අම්මලත් ඉන්නව ද?”

සිනාසෙමින් ඒ ප්‍රශ්නය ඇසුවේ රේණු ය.

මහ අම්මා අපේ අම්මා. මහ කෙල්ල තමයි අපේ නෝනා. හැබැයි අර සද්ද බද්ද එන්නෙ නං ඒ දෙන්නගෙන් නෙමෙයි අපේ පුත්තරයො තුන්දෙනාගෙන්.”

අනතුරුව වෛද්‍ය අසේල කළේ පවුලේ සමස්ත සාමාජිකයන් පැමිණ සිටි පිරිසට හඳුන්වා දීම ය.

මේ මගෙ අම්මා. අපේ නාගොල්ලාගමේ අයගෙ යසශීලි අක්කා. මේ මගෙ නෝනා මයන්ති. මේ ඉන්නෙ අපේ හාදයො තුන්දෙනා.”

කෝ ඩොක්ටර් සද්දකාරයො කිව්වට මේ බොහොම තැන්පත් ළමයි තුන්දෙනෙක්නෙ.”

ආ එහෙම ද හිතාගෙන ඉන්නෙග ඔය ගොල්ලන්ට හවස් වෙනකං ඉන්න පුළුවන්නං මේ අයගෙ තැන්පත්කම හොඳටම බලාගන්න පුළුවන්.”

අම්මෙ, අපි මේ සර්ලා මිස්ලට ඉස්සෙල්ලා තේ ටිකක් දීලා ඉඳිමු නේද?”

ඩොක්ටර්, අපි වැඩිවෙලාවක් ඉන්නැතුව මේ ආරාධනා පත්‍රය දීලා යන්න යි ආවේ. ඒ උනාට පොඩි වෙලාවක් අපි කතා කරමු.”

ඒ පොඩි වෙලාව කෙහොමත් දවල් කෑම වෙලාව වෙනකං දික්කරන්න ම වෙනවා. වෙනදට ගෙදරට න බඩු ගේන්න යන්නෙ මන්. ඊ්යෙ අපේ මහත්තයා ම ටවුන්නෙකට ගියා න කරන දේවල් ගේන්න. නාගොල්ලාගම ඉස්කෝලෙන් අද එනවා කියපු පණිවිඩේ ආපු දවසෙ ඉඳලා බලන්නෙපෑ මෙයාට තියෙන සන්තෝසෙ.”

සන්තෝස නැද්ද අප්පේ මගෙ ඉස්කෝලෙ ආචාර්යවරු ගෙදෙට්ට ම එනවා කිව්වහම. මන් හරියට අතීතෙට ගියා වගෙයි මට දැනෙන්නෙ. අදටත් කොයි ඉස්කෝලෙක හරි වැඩ කරන ගුරුවරයෙක් ළඟදි හරි ගුරුවරියක් ළඟදි හරි මට දැනෙන්නෙ මන් තවමත් ඉස්කෝලෙ යන පුංචි ළමයෙක් කියල යි.”

ඒක හරි ඩොක්ටර්, ඔය හැගීම ම තමයි මටත් දැනෙන්නෙ ඒ අය ළඟදි. ඒකට ඒ අය අපට උගන්නපු අය ම වෙන්න අවශ්‍ය නැහැ.”

යථෝක්ත ප්‍රකාශය කරමින් කතාවට සම්බන්ධ වූයේ විපුල් ය.

චහ්, කෝ අපේ ගෙදර අයව අඳුන්නලා දෙන්න ගියා මිසක් මන් මේ සර්ලා මිස්ලගෙ වගතුග ඇහැව්වෙ නැහැනෙ.”

හොඳයි ඩොක්ටර්, ඒ කටයුත්ත මන් කරන්නංකො. මේ තමයි ඩොක්ටර්, ගඟුල් සර්. එයාගෙ විෂය සිංහල. ජයවර්ධනපුරෙන් ඩිග්‍රිය ගත්ත ගමන් හාපුරා කියලා ආවේ ඔබතුමාගෙ ඉස්කෝලෙට. මේ ගඟුල්ගෙ අය්යා දැන් අපෙත් අය්යා විපුල්, එයා නිදහස් චිත්‍ර මූර්ති ශිල්පියෙක්. ගෙදර වාහනෙත් අරන් ඇවිල්ලා ඉන්නෙ අපේ ඉස්කෝලෙ වැඩේට උදව් කරන්න. මේ මිහිදිනී, මගේ දුකේ දි වගේ ම සැපේදිත් ළඟ ඉන්න කල්‍යාණ මිතුරිය. විෂය ඉංග්‍රීසි. මම රේණු. මමත් ඉතින් ඒ ඉස්කෝලෙ ම ගුරුවරියක්.”

කෝ රේණු අක්කා, අපි ගැන විස්තර කරලා එයා ගැන කිව්වෙ බොහොම අඩුවෙන්නෙ. ඩොක්ටර් ගොඩක් ගුරුවර ගුරුවරියො ගමෙන් නගරෙට එන්න දත කද්දි මේ රේණු අක්කා කළේ ඒකෙ අනිත් පැත්ත. එයා කළේ නගරයෙන් ගමට එන එක. ආපු දවසෙ ඉඳල ම අපේ මේ අක්කා කළේ ඒ වගෙම කරන්නෙ ගමේ ළමයින් ව දැනුමින් වගේම මනුස්සකමින් සන්නද්ධ කරන එක.”

ගඟුල්ගේ ඒ ප්‍රකාශයත් සමග වෛද්‍ය අසේල රේණු ගුරුවරිය දෙස හෙළුවේ මහත් ගෞරවපූර්වක බැල්මකි.

ඒක ඉතින් ගඟුල්, තනි මට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනෙ. ඔය ගොල්ල කොච්චර වැඩ කරනව ද? ඇයි අපේ විදුහල්පතිතුමා.”

මටත් ආරංචියි හොඳ නායකයෙක් මගෙ ඉස්කෝලෙට ලැබිලා තියෙනවා කියන එක. ඒත් මේ වැඩ වැඩිකම නිසාම මට කාලෙකින් ඉස්කෝලෙට යන්න බැරි උනා. එහෙම ඉන්න අතරෙ දි ඉස්කෝලෙ ගෙදෙට්ට ම එනවා කිව්වහම එතෙන්ට ගොඩක් ආදරේ කරන ආදි ශිෂ්‍යයෙක්ට ඇතිවන හැඟීම ගැන ඔයගොල්ල පොඩ්ඩක් හිතලා බලන්න.”

මෙසේ කියා වෛද්‍ය අසේල බැලුවේ පැමිණ සිටි පිරිස දෙස ය. අනතුරුව ඔහු යළි සිය හඩ අවදි කෙළේ ය.

ඒ කියන්නෙ අපි මේ හම්බ වෙන්න ඇවිල්ලා ඉන්න දොස්තර මහත්තයා කියන්නෙ තමන්ගෙ මුල් අමතක නොකරපු කෙනෙක්. ඩොක්ටර් ඔහොම කියන කොට මතක් වෙන්නෙ අපේ සම්මාන ලබපු නවකතාකරුවෙක්ගේ පොතක එන ප්‍රකාශයක්. ඒ චම්මින්ද වෙලගෙදර මහත්තයා. එයාගෙ සන්තිපරං කියන නවකතාවෙයි තමන්ට අහන්න ලැබිච්ච ඒ කාරණය සඳහන් කරලා තිබුණෙ.”

ගඟුල් සර්, මන් මේ පොඩි බාධාවක් කරන්නෙ. සන්තිපරං කියන්නෙ නිර්වාණයට ම කියන තවත් නමක් නේ ද?”

මිහිදිනී මිස් හරි. සන්තිපරං කියන්නෙ නිර්වාණයට ම තමයි. ශාන්තිය පරම කොට ඇති කියන අර්ථෙන් නිර්වාණෙට සන්තිපරං කියලා කියනවා. ඒක පාලි වචනයක්.”

අනේ ගඟුල් සර්, අතරමැදදි බාදා කළාට සමාවෙන්න. දැන් අර නවකතාවෙ තිබිච්ච කාරණය කියන්ඩකො.”

ඒකෙ තියෙනවා ඩොක්ටර් ගහකට ආවේණික දසවිධ සුවඳක් ගැන.”

දසවිධ සුවඳක් ?”

මාත් ක කලින් දැනගෙන හිටියෙ නැහැ ඩොක්ටර්. ඒකෙ කියවෙන හැටියට ගහක තියෙනවා මුල් සුවඳ, මල් සුවඳ, මැලි සුවඳ, ගැට සුවඳ, පොතු සුවඳ, මද සුවඳ, කඳ සුවඳ, රොන් සුවඳ, පල සුවඳ ඒ වගෙම කොළ සුවඳ. දවසක් අපේ සර් කිව්වා මුල් සුවඳ අමතක නොකරන මිනිස්සුන්ට විතරයි මල් සුවඳ විඳින්න පුළුවන් කියලා.”

ඒක නං හරිම ලස්සන කතාවක්නෙ සර්. මුල් අමතක කරන අයට මුල මතක් කරලා දෙන ගතියක් ඒකෙ තියෙනවා. මාත් ක ලියාගන්න නෙ.”

අපේ ගඟුල්ට තියෙන පුරුදුනෙ ඩොක්ටර්ටත් තියෙන්නෙ.”

ඒ කිව්වෙ මේ සර්ටත් හොඳ දෙයක් ඇත්තං ලියාගන්න පුරුද්දක් තියෙනව ද?”

නැතුව. හැම තිස්සෙම එයා ළඟ පොඩි පොතක් තියෙනවා ඒ වැඩේට.”

ඔන්න දැන් ඔයගොල්ලා මගෙ සමීප යාළුවො වෙලා ඉවරයි. ඒක නිසා මන් දැන් ඔයාට ගඟුල් කියලා කතා කරන්නං. ඔය ගොල්ලොත් මට ඩොක්ටර් ඩොක්ටර් කියන්නැතුව අසේල කියන්න. ඒ වගෙම මන් අහන්න කැමතියි ගඟුල් විශේෂයෙන් ලියා ගන්න කැමති මොන වගෙ දේවල් ද, මොන අය කියන දේවල් ද?”

දැන් ඒකට උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා ඩොක්ටර් කතා කරන විදිහ ගැන තීරණයක් ගන්න එපායැ. මන් මෙහෙම කරන්නං. මට නම කියන්න අමාරු නිසා මම අසේල අය්යෙ කියලා කතා කරන්නං.”

ආ ඒක කමක් නෑ. සමීප ව දැනෙන අයත් මට ඩොක්ටර් ඩොක්ටර් කියන කොට මට දැනෙන්නෙ මන් හොස්පිටල් එකේ ඉන්නවා කියන හැඟීම.”

අය්යෙ හරි, මල්ලි හරි, නම හරි කියන කොට මම ගෙදරකට අයිති කෙනෙක් කියලා මට දැනෙනවා. හරි, ඒක හරි. දැන් මම අහපු ප්‍රශ්නෙට ගඟුල් මල්ලි දෙන උත්තරේ මොකක් ද?”

ඒක අය්යෙ, විශ්වවිද්‍යාලෙදි අහපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං යාළුවෙක් කියන දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං මග තොටදි යාචක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි කියන කතාවක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ත්‍රී වීල් එකක පිටිපස්සෙ ගහලා තියෙන ප්‍රකාශයක් වෙන්ඩත් පුළුවන්. දැන් එන ගමනුත් එහෙම හිතට දැනෙන ප්‍රකාශයක් දැක්කා. තවම ලියා ගන්න ලැබුණෙනං නැහැ. ඒ උනාට හිතේ ලියා ගෙන ඉවර යි.”

ඉතින් කියන්ඩකො ඒක අපටත් දැන ගන්ඩත් එක්ක. නැද්ද විපුල් අය්යෙ.”

හරි ඔන්න එහෙනං අහගන්න. මම අද අහපු එකකුයි කලින් අහලා තියෙන දෙකකුයි දැනට කියන්නං.”

ඇතිදාට රඟන්නෙත් නෑ. නැතිදාට අඩන්නෙත් නෑ.”

වැල්ලෙ අකුරු ලිව්වෙ රැල්ලට මැකෙන බව දැනගෙනයි.”

ම හෝන් ගැහැව්වා කියලා මේම කියලා පාරවල් ලොකු වෙන්නෙ නෑ යාළු,  හරි ය.”

ෂහ්, ඒවයෙ ලොකු දර්ශනයක් තියෙනවනෙ මල්ලි.”

ඇත්ත  අසේල අය්යෙ, අපි ඇස් ඇරලා කන් දීලා බලනවනං අපට මග තොටේ දිම දාර්ශනිකයො හමු වෙනවා. සමහර විට අපි ඇස් පියාගෙන, කන් වහගෙන අපේ ම වැඩවල විතරක් ගිලිලා යන කොට අපට ජීවිතය දකින්න ලැඛෙන හොඳම කමටහන් මග ඇරෙනවා වෙන්නත් පුළුවන්.”

අද ඔය ගොල්ල ආපු එක කොච්චර දෙයක් ද? ”

අපි මේ අද දවසෙ ආපු පළවෙනි ගෙදර. තව තැන් තුන හතරකටවත් ආරාධනාපත්‍ර දීගන්න ලැබුණොත් තමයි හොඳ.”

මගෙ ඉස්කෝලෙ මේ ගුරු මණ්ඩලයට තව න තැනකට යන්ඩ අවසර තියෙන්නෙ දවල් කෑමෙන් පස්සෙයි.”

මොන කරදරයක් ද ඒක ඔයගොල්ලන්ට. අපි මේ ආවේ ක්‍රීඩා උත්සවේ ආරාධනා පත්තරේ දීලා යන්නනෙ. හැබැයි ඩොක්ටර් අසේල ගැන අහලා තිබුණට අපි දැකලා තිබුණෙ නැහැනෙ. මේ හමුවීම අපටත් ලොකු සතුටක්.”

දැන් වෙලාව එකොළහයි කාලයි. හරි මට තේරෙනවා. ඔයගොල්ලන්ට තව තැන්වලට යන්නත් තියෙනවනෙ. මයන්ති අපිට පුළුවන් වෙයි නේද දොළහ වෙනකොට කෑම අරින්න.”

මට තව ටික වෙලාවක් දෙන්නකො. තාත්තගෙ ඉස්කෝලෙ යාළුවො ඇවිත් කියලා පුතාලා තුන්දෙනත් මට ෆුල් සපෝට්. මන් අහගෙන දෙවැනි එයාගෙ යාළුවෙක්ටත් කතා කරලා කියනවා අද නං මට සෙල්ලං කරන්න එන්නෙ වෙන්නෙ නැහැ වැදගත් වැඩක් තියෙනවා කියලා.”

මොකක් ද අප්පච්චියේ අද දෙවැනිට තියෙන වැදගත් වැඩේ.”

සාකච්ඡාවක් කියලා කිව්වෙ. ඒ තුන් දෙනාම ඉන්නෙ ඔයගොල්ල එක්ක කතාවට එන්න.”

එහෙනං අපි මෙච්චර වෙලා ඒ ගොල්ලන්ට කතා නොකර හිටපු එක වැරදියිනෙ.”

කතා  කරන්න දෙයක් නෑ නංගි ඒ තුන්දෙනාම මේ වෙන කොට ඔයගොල්ල කතා කරපු දේවල් ඒ ගොල්ලන්ගෙ හාඩ් ඩිස්ක් එකට දාගෙන ඉවරයි. සද්ද නැතුව තුන් දෙනාම ඔය කතා අහන් හිටපු නිසා තමයි මෙච්චර වෙලාවක් හොඳ නිශ්ශබ්දතාවක් තිබුණෙ.”

ඇත්තට ම විපුල්, රේණු අපේ ගෙදර පුරුද්දක් තියෙනවා. ඒ අපි ගෙදර කට්ටිය පුළුවන් දවසට හවසට මොකක් හරි නිර්මාණයක් ගැන කතා කරන එක. ඒක අපට ඇහෙන ජනප්‍රිය ගීතයක් වෙන්න පුළුවන් එහෙම නැත්තං සරල ගීතයක් හරි ශාස්ත්‍රීය ගීතයක් හරි වෙන්න පුළුවන්. එහෙමත් නැත්තං කවියක් හරි කවි පන්තියක් වෙන්න පුළුවන්. අපි ඒක ගැන එකිනෙකාගෙ අදහස් විමසනවා. අම්මා ඉන්න දවසට අම්මත් ඒ වැඩේ කොටසක් වෙනවා.”

ඒක හරිම හොඳ වැඩක්නෙ අසේල. මන් හිතන්නෙ අපි ඒ විදිහෙ ගෘහ සංස්කෘතියක් තමයි හදා ගන්න නෙ. එතකොට අම්මා - තාත්තා ආච්චි - සීයගෙන් දුරස් නොවිච්ච දරුවො ඉන්න ගෙදර ඒ කියන්නෙ මීට අවුරුදු තිහ හතළිහකට ඉස්සෙල්ලා අපිට තිබිච්ච ගෙදර හදා ගන්න එක අපට අපේ ගෙවල්වලින් ම පටන් ගන්න පුළුවන් වේවි.”

ඔය ගැන විපුල්, මන් මෑතකදි සම්බන්ධ වෙච්ච රූපවාහිනී සාකච්ඡාවකදිත් කිව්වා. ඇත්තට ම අපි හැම කෙනාම මෙතෙන්දි අපට පුළුවන් වැඩේ කළොත් මීට වඩා වෙනස් සමාජයක් නිර්මාණය කර ගන්න අපට පුළුවන් වේවි.”

  වගෙම විපුල් අය්යෙ, අපි හැමදාම පරම්පරා පරතරය ගැන කිය කිය ඉන්න එක නෙමෙයි කරන්න නෙ. මේ දෙකෙන් ම වැඩ ගන්න එක. අතීත පරම්පරාව කියන්නෙම ලොකු ඥාන සම්භාරයක්. අලුත් පරම්පරාව කියන්නෙ ම නව දැනුම් සම්භාරයක්. මේ දෙක එකට එකතු වෙන තැනදි නිර්මාණය වෙන්නෙ නව ශිෂ්ටාචාරයක්.”

රේණු අක්කා ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ මෑතකදි ලියවෙච්ච හොඳ ගීතයක්. මේක ලියලා තියෙන්නෙ මේ තරම් සියුමැලි කළුගල් ගීතය ලියපු රජී වසන්ත වෙල්ගම. සංගීතය ප්‍රසාද් සිරිවර්ධන.”

කවුද මල්ලි, ඒ සින්දුව කියන්නෙ.”

ඒක කියන්නෙ කරුණාරත්න දිවුල්ගනේ.”

මන් අහලා තියෙනවා ගඟුල් සර්, ඒ ගීතෙ. ඒක හරිම ලස්සන අර්ථයක් තියෙන එකක්.”

ඔයගොල්ල අහන්නත් කැමතියි නං මෙතන ඉන්නවා ඒක පපුවට ම දැනෙන විදිහට කියන්න පුළුවන් කෙනෙක්.”

කවුද අප්පච්චියෙ ඒ?” 

වෙන කවුරුවත් නෙමෙයි රේණු අක්කෙ, අපේ අය්යා.”

මේ මල්ලි, මට ලෙඩ නොදා හිටහන්. සින්දු කියන්න මොකෝ මම ගායකයෙක්යැ.”

මේ මේ විපුල් අය්යා, ඔයාට ඒ සින්දුව හරි වෙන සින්දුවක් හරි කියන්න ම වෙනවා. අපේ ගඟුල් ඔය කතාව නිකමට කිව්වා වෙන්න බැහැනෙ.”

ඔව් ඔව් ඔන්න විපුල් මමත් ඒ ආරාධනේ කරනවා. බොහොම පොඩි වෙලාවක් ඇතුළත අවශ්‍ය කරන සංගීතයත් සැපයෙනවා. කෝ අපේ ළමායි මෙහෙ එන්න. මේ විපුල් මාමා ලස්සනට සින්දුවක් කියන්ඩයි යන්නෙ එන්න, අම්මේ මයන්ති ඔය දෙන්නත් එන්න.”

ඔය ගොල්ලො මාව මාර අමාරුවකනෙ දාන්නෙ. ලස්සනට කොහොම උනත් ඔය කියන සින්දුවෙ වචන ටික කියලා දාන්නං. කෝකටත් අසේල ඔයාගෙ නෝනට කියන්න අපි කාටත් ඇතිවෙන තරමට පුළුන් ගේන්න කියලා.”

මොකට ද තාත්තෙ පුළුන්?”

ඒ ප්‍රශ්නය ඇසුවේ ඒ වනවිටත් එතැනට පැමිණ සිටි වෛද්‍ය අසේලගේ පුතුන් තිදෙනාගෙන් බාලයා ය.

වෙන මොකට ද පුතේ මන් සින්දුව කියලා ඉවර වෙනකං ඔයගොල්ලන්ගෙ කන්වල ගහගෙන ඉන්න.”

ඇයි මාමා එච්චරට ම කැතයි ද ඔයා සින්දු කියනවා.”

හරි දැන් ඔක්කොම හරි තව පොඩ්ඩෙන් විපුල්ට පුළුවන් ඒක පටන් ගන්න.”

මොහොතක නිහැඬියාවක් පැවතියේ ය. අනතුරුව ප්‍රකාශයට පත් වූයේ අසේලගේ තාක්ෂණික සංගීත සම්පාදනයට අනුව ශ්‍රැතිගත ව ලය නොබිඳ ගී ගයන විපුල්ගේ ගායන පෞරුෂය යි.

 

                                       බිම වැටුණ කිරි දතට

                                         අඩන මගෙ ළපටි හිත

                                         අඹ ගහේ ලේනෙකුට දුන්නා

                                         අහිමි වී ගිය දිනෙක

                                         සිනාසිය හැකි හිතක්

                                         අතීතෙන් මට ගෙනැත් දුන්නා

                                         මැටිගෙදර අපේ කිරි අම්මා

 

                     රහත් නමකට නොදෙන

                     කැවුම් මල්ලක් තියෙන

                     සිටුවරුත් සිටු ගෙදර උන්නා

                     මා නමින් ගෙයි ඉදෙන

                     කැවුම් අහුරෙන් එකක්

                     අඩන කෝඳුරුවන්ට දුන්නා

                     මැටිගෙදර අපේ කිරි අම්මා

 

මැටි ගෙදර තිබුණු තැන

ගමක කුසගිනි නිවන

කිරි එරෙන ගහක් වැඩ ඉන්නා

වෙබ් අඩවියේ තැනක

හමු වුණොත් දන්වන්න

මැටිගෙදර අපේ කිරි අම්මා ”

 

ඔය ගීතයෙ මට තදින් ම දැනෙන තැනක් තියෙනවා විපුල් අය්යෙ.”

ඉතින් කියන්නකො මිහිදිනී නංගි, ඒක අපටත් දැනගන්න.”

ඒ මිහිදිනියට සිය සහෝදර භාවය ප්‍රදානය කළ වෛද්‍ය අසේලගේ කටහඩ යි.

අහිමි වී ගිය දිනෙක සිනාසිය හැකි හිතක් අතීතෙන් මට ගෙනැත් දුන්නා.”

ඔන්න ඔතන තමයි අසේල අය්යෙ මට දැනෙන ම තැන.”

ඉතින් ළමයො මටත් දැනෙන ම තැන එතනනෙ. අපේ රේණු, ගඟුල් මොකද කියන්නෙ ඒ ගැන.”

ඉස්සෙල්ල ම අය්යෙ, කියන්න තියෙන්නෙ අපේ විපුල් අය්යගෙ ගායනය විශිෂ්ට යි කියන එක. දෙවනු ව මට විපුල් අය්යගෙන් අහන්න තියෙන ප්‍රශ්නෙ ඇත්තට ම අය්යා කළේ චිත්‍ර මූර්ති ද එහෙම නැත්තං සංගීතය ද කියන එක. තුන්වෙනි කාරණේකුත් තියෙනවා මට කියන්න මේ ගීතය ගැන.”

ඒ කියන්නෙ මටයි මිහිදිනීට යි දැනෙන තැනට වඩා වෙනස් තැනක් ඔයාට මේ ගීතයේ තියෙනවා කියන එක ද එහෙම නැත්තං අපට වඩා වෙනස් කියවීමක් ඔයාට මේ ගැන තියෙනවා කියන එක ද?”

නෑ එහෙමම නෙමෙයි, මම ඔය දෙන්නා එක්ක එකඟ වෙනවා අර කිරි අම්මා අපිට දුන්නෙ අහිමි වීමක් උනාම ඒක දරා ගන්න පුළුවන් හිතක් කියන එක. ඒක මටත් තදට ම දැනෙන තැනක් තමයි. හැබැයි ඒක ස්පර්ශ කරන්නෙ අපේ හදවත. තව දැනෙන තැනක් තියෙනවා හැබැයි ඒක කතා කරන්නෙ අපේ බුද්ධියට.”

ඒ කොයි ගීතෝක්තිය ද අක්කා.”

මන් කැමතියි මිහිදිනී, ඒ ප්‍රශ්නෙට මන් වෙනුවට අපේ ගඟුල් උත්තර දෙනවානං. මොකද මට හිතෙනවා ගඟුල්ගෙ උත්තරෙයි මගෙ උත්තරෙයි සමපාත වෙයි කියලා.”

රේණු අක්කෙ, මට නං මේ ගීතෙ බුද්ධියට කතා කරන උපරිම තැන කියලා දැනෙන්නෙ වෙබ් අඩවියේ තැනක හමු වුණොත් දන්වන්න මැටිගෙදර අපේ කිරි අම්මා කියන කොටස යි.”

හරියට ම හරි මල්ලි, අන්න එතන තමයි අපේ බුද්ධිය අවදි කරන තැන වගෙම අලුත් පරම්පරාවට ආමන්ත්‍රණය කරන තැන වෙන්නෙ.”

ඒකෙන් තාත්තෙ, අපි ඉගෙන ගත්ත පණිවිඩේ තමයි ආච්චිලා සීයලා අපට කියලා දුන්න මේ හොඳ දේවල් ලෝකයට දෙන්න අපේ තාක්ෂණික දැනුම පාවිච්චි කරන්න කියන එක.”

ඒ ප්‍රකාශය කෙළේ කිසිවක් නොකියා මෙතෙක් නිහඩ ව සිටි වෛද්‍ය අසේලගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ය.

ලොකු පුතා, ඒකෙන් අදහස් කළේ මොකක් ද කියන එක අපට තව ටිකක් විස්තර කරන්න බැරි ද?”

මෙහෙම යි මාමෙ, දැන් අපේ ආච්චි ඉන්නවනෙ. ආච්චි අපට එයා ගත කරපු ජීවිතේ ගැන කියනවා. ඒ වගෙම ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩම් ගැන කියනවා. ඒ උනාට ආච්චි දන්නෙ නැහැ වෙබ් සයිට් හදන්න. කොටින් ම කම්පියුටර් පාවිච්චි කරන හැටි ගැන දන්නෙ අපේ ආච්චිලා සීයලගේ පරම්පරාවෙ එහෙමත් කෙනෙක්. ඒ උනාට ඒ ගොල්ලන්ට ගොඩාක් දේවල් තියෙනවා අපේ පරම්පරාවට දෙන්න. ඒ වගෙ ම මාත් අයිති වෙන අලුත් පරම්පරාවේ අපි ගොඩාක් දෙනෙකුට ඒ වගෙ අද්දැකීම් නැහැනෙ. ඒ උනාට අපිට කම්පියුටර් පුළුවන්. අපි දන්නවා වෙබබ්සයිට් හදන්න. ඉතින් අපිට පුඵවන්නෙ අපේ ම සීයලා ආච්චිලාගෙ අතීත දැනුම අපි දන්න නූතන දැනුම හරහා ලෝකෙට දෙන්න.”

අසේල ඔයාගෙ මේ කොල්ලා, වැඩිහිටි අපට ඇහැක්නෙ මේ දෙන්නෙ.”

ඒ ප්‍රකාශය කෙළේ ද විපුල් ය.

පුතේ අම්ම යි තාත්ත යි ආච්චි යි එක්ක අනිවාරෙන් ම ඔය තුන් දෙනත් එන්න නෙ තාත්තගෙ ඉස්කෝලෙට එහෙ ක්‍රීඩා උත්සවේ තියෙන දවසට.”

හැබැයි මාමේ, ඕක කියන්න නෙ අපට නෙමෙයි අපේ තාත්තට ම තමයි.”

ඇයි චූටි පුතේ, ඔයා එහෙම කියන්නෙ.”

එහෙම කියන්නෙ නැන්දේ, අපේ තාත්තා හිටපු ගමන් අපිවත් දාලා නාගොල්ලාගං යන හින්දනෙ.”

ඒ ඉතින් පුතේ, මන් ඉක්මනට ගිහිල්ලා ඉක්මනට එන්න බලාගෙන යන දවසටනෙ එහෙම කරන්නෙ.”

ඔන්න ඔයාට මේ සැරේ නං එහෙම කරන්න හම්බ වෙන්නෙ නැහැ. අපි ඔක්කොම අරන් යන්න වෙනවා.”

සිනාසෙමින් එසේ පැවසුවේ අසේලගේ ප්‍රිය බිරිඳ මයන්තී ය. එසේ ම ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය.

මට තව ටික වෙලාවක් දෙන්න. ඉක්මණට කෑම මේසෙ ලෑස්ති කරන්න පුළුවන් අම්මට යි මට යි අපේ ත්‍රිවිධ හමුදාවෙ සහයත් ලැබුණොත්.”

කණ්ඩායම සීරුවෙන් සිටින්. මුළුතැන් ගෙය බලා ගමන් කරන්. යසශීලී මැඩම්ට සහ මයන්තී මැඩම්ට උදව් කරන්. ගමනේ යා වම දකුණ වම දකුණ වම.”

සියලු දෙනා සිනහ ගස්වමින් එම නියෝගය දුන්නේ පවුලේ කුඩා ම සාමාජිකයා වන පුංචි පුතා ය. එසේ ම එම වචන සුන්දර සේ ම අර්ථවත් බවට පත්වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා ම සිය බාල සොහොයුරාගේ නියෝගයට අනුගත ව මුළුතැන්ගෙය බලා ගමන් කළ නිසා ය. සිය දරුවන්ගේ ආදරණීය චරණ දෙස ස්නේහපූර්වක දෑසින් බලා සිටි වෛද්‍ය අසේල සිය බිරිඳ දෙසට හැරී පැවසුවේ පහත සඳහන් වචන යි.

මයන්ති මාත් එන්න ද උදව්වට.”

නෑ නෑ ඔයා කතා කර කර ඉන්නකො කට්ටියත් එක්ක. මන් දන්නවනෙ නාගොල්ලගමින් කවුරු හරි ආවහ ම ඔයාගෙ හිත වැඩ කරන විදිහ.”

බුදු හාමුදුරුවො වගේ මහා උත්තමයෙක් කිව්වනං කිඹුල්වත්පුර පිසගෙන හමන සුළඟ පවා උන් වහන්සේට සුවදායක යි කියලා මන් ගැන කවර කතා ද මයන්ති ?”

ඩොක්ටර් අසේල, මෙතෙන් දි ඔයගොල්ල අපි ඔක්කොට ම තවත් ලොකු වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න.”

ඔයා තාමත් මට ඩොක්ටර් කියලනෙ කතා කරන්නෙ රේණු.”

ඔව් ඔයාට කතා කරන්න ඕනෙ විදිහ කියලා මට දැනෙන්නෙ එහෙම යි. දැන් අපේ විපුල් අය්යා ඔයාට අසේල කියලා කතා කරනවා. ගඟුල් මල්ලි යි මිහිදිනී නංගි යි අසේල අය්යෙ කියනවා. මම ඔයාට ඩොක්ටර් කියනවා. මේ ගෙදර අපේ පුංචි යාළුවො තුන් දෙනා තාත්තේ කියලා කියනවා. ඩොක්ටර්ගෙ අම්මා ඔයා පවුලෙ සාමාජිකයන් අතර ඉන්න තැන අනුව ලොකු පුතා හරි පොඩි පුතා හරි කියනවා ඇති. ඔයාට වැඩිමහල් හරි - බාල හරි සහෝදර සහෝදරියො ඉන්නව නං ඒ අය අය්යෙ - හරි මල්ලි හරි කියලා කතා කරනවා ඇති. අපේ මයන්ති සහෝදරී ඔයාට කතා කරන විදිහ තාම මට අල්ල ගන්න බැරි උනා. හැබැයි මම එක දෙයක් දන්නවා ඒ හැම ආමන්ත්‍රණයක ම ඒවාට ආවේණික සුන්දරත්වයක් තියෙනවා. ඒ වගෙම ඒ හැම ආමන්ත්‍රණයක් ම නිරන්තරයෙන් ම ඔයාට අයිති භූමිකා ඔයාට ම මතක් කරලා දෙනවා.”

මෙම ප්‍රකාශය කළ රේණු දෙස වෛද්‍ය අසේල මොහොතක් ගෞරවපූර්වක දෑසින් බලා සිටියේ ය. අනතුරුව ඔහු පැවසුවේ පහත සඳහන් වචන යි.

රේණු, ඔයා අපේ ඇස් ඇරෙන කතාවන්නෙ කළේ. මට පුදුම තරං සතුටක් වගේ ම අස්වැසිල්ලක් තමයි දැනෙන්නෙ ඔය ගොල්ල වගේ ආචාර්ය මණ්ඩලයක් මගෙ ඉස්කෝලෙ ඉන්න එක ගැන. ඒ කියන්නෙ නාගොල්ලාගම වර්තමාන ශිෂ්‍ය ප්‍රජාව අපටත් වඩා වාසනාවන්ත යි කියන එක යි.”

රේණු අක්කා කිව්වා නේද ගම සම්බන්ධයෙන් අපට ඉෂ්ට කරන්න විශේෂ වගකීමක් තියෙනවා කියලා.”

ඔව් ගඟුල් මල්ලි ගම් - නගර බේදයකින් තොර ව අපට ඉෂ්ට කරන්න වගකීම් තියෙනවා. මන් ඉස්සෙල්ලා ගම විශේෂ කළේ අපි කතා කර කර හිටියෙ ගම ගැන නිසා. අපේ ඩොක්ටර් කිව්ව ප්‍රකාශයෙන් තහවුරු කරපු ඇත්ත තමයි ගම හරි සුවදායක යි කියන එක. මන් කියන්නෙ අපි ඒ සුවදායක ගම අවදායක කරන කිසිම වැඩකට අනුබල දෙන්න හොඳ නෑ. ඒ වගෙම අපි අපේ ශිෂ්‍ය පරම්පරාවටත් දෙන්න නෙ අපිට නිවැරදි විදිහට දැනෙන ඒ පණිවිඩේ ම තම යි.”

අනතුරුව කතා කෙළේ වෛද්‍ය අසේල ය.

දැන හෝ නොදැන අපි ගොඩක් දෙනෙක් මේ වැරැද්ද කරනවා. වැවක ගඟක ලස්සන බලන්න කියලා එන ගොඩක් දෙනෙක් කරන්නෙ ඒ තමන් ලස්සන යි කියලා කියපු තැන් තමන් විහින් ම අවලස්සන කරන එක. මේක මන් මගෙ ගමේදිම අත්වින්දා. වැව බලන්න කියලා ආපු සමහර දෙනෙක් කරලා නොතිබුණේ ම වැව බලන එක යි වැව නොවිඳින එක යි. හිස් අරක්කු බෝතල් තැනින් තැන. ඒ වගෙ ම බීර කෑන් තැනින් තැන. කෑම කාලා විසි කරපු පොළිතීන් කොළ තැනින් තැන. ඔය තත්ත්වෙ ගැන ඉස්සර හිතපු විදිහට වඩා වෙනස් විදිහකට තමයි දැන් මන් හිතන්නෙ. අන්න ඒ හිතන විදිහ අපේ මේ රේණු කියන අදහසුත් එක්ක සමපාත වෙනවා මිසක් විෂමපාත වෙන්නෙ නැහැ.”

මන් අසේල අය්ය ගැන කලින් අහලා තිබුණට රූපකාය හැටියට අඳුන ගත්තෙ අද. මේ සුළු වෙලාවට ඔයාට අපිව දැනෙනවා වගේ අපිටත් ඔයාව දැනෙනවා අය්යේ. මට දැනෙන වෛද්‍යවරු කීප දෙනෙක් ම ඉන්නවා. එක්කෙනෙක් ඩොක්ටර් විමලචන්ද්‍ර සිරිසේන, ඩොක්ටර් සමාධි රාජපක්ෂ ඒ වගෙම ඩොක්ටර් චාමර සේනාරත්න, ඩොක්ටර් ලලිත් විජේසිංහ, ඩොක්ටර් සනත් හෙට්ටිගේ, ඩොක්ටර් චන්ද්‍රසිරි වැලිවිට තව මහාචාර්ය සංජය හුලත්දූව. දැනට එහෙම දැනිච්ච හත් දෙනෙක් ගැන යි මන් ඔය කිව්වෙ. මට නකම තියෙනවා මේ කට්ටිය එකම වේදිකාවකදි ඒ කියන්නෙ එක තැනක දි එකට මුණ ගස්සන්න. ඒ, ඒ වගෙ මුණගැහීම් අප්‍රමාණ යහපත් දේවල්වලට මග පාදන නිසා.”

ඒ කියන්නෙ අපේ ඩොක්ටර් අසේලගෙ අදහස් එක්ක ඔයා දැන් නම් කියපු කණ්ඩායමෙ අදහස් විෂම නොවී සමපාත වෙනවා කියන එක ද?”

ඔව් රේණු අක්කේ, මයන්ති අක්කා අපිට කෑමට කතා කරන්න ඉස්සෙල්ලා ඔය ගොල්ල කතාව නවත්තපු තැනට සම්බන්ධ කරන්න පුළුවන් අපේ ඩොක්ටර් ලලිත් කියපු අදහසක්. ඒක මෙතනට ගොඩක් ගැළපෙනවා කියන එක යි මට කියන්න තියෙන්නෙ. ”

එහෙනං මල්ලි, අපි ඒ කතාවත් කියල ම ආහාර ප්‍රතිබද්ධ සුවිරාමය ගනිමු.”

හප්පේ දැන් විපුල් අය්යත් තමන්ගෙ සහෝදර භාෂා විද්වතා ඇසුරු කරල ම අමුතු අමුතු වචන කියනවනෙ. හරි ගඟුල්, කියන්නකො දැන් අර ඔයාගෙ නූතන ජීවක මිත්‍රයගෙ අදහස.”

ඩොක්ටර් ලලිත් ලිපියක් ලියලා තිබුණා මද්‍යසාර, හිමිවීම් සහ අහිමිවීම් කියලා. ඒක පිටු දාසයක දිග ලිපියක්. ඒකෙ එක තැනක තිබුණා මිනිස්සු සුන්දරත්වය විඳින්න කියලා යන ගමන්වලදි මිහිර වෙනුවට අමිහිර අත්දකින එක ගැන. මට හිතෙන්නෙ ඒක මිනිස්සුන්ට තමන්ට තමන්වම දැක ගන්න කමටහනක් කරගන්න පුළුවන් තරමෙ එකක්. අපි ඒක කියලම අපේ අය්යා කියපු ආහාර සුවිරාමයට යමු.”

දිවාහාරය පිණිස ඇරයුම් කිරීමට එතැනට ආ අසේල පත්නී මයන්තිය ද ඇතුළු තත් කල්‍යාණ මිත්‍ර පර්ෂදයේ සාවධානීය ශ්‍රවණපූර්වක දෘෂ්ටිය තමා වෙත යොමු ව තිබූ ඒ නිමේෂයේ ගඟුල් විසින් කරන ලද්දේ සිය ජීවක සහෘදයාගේ සදර්ථවාහී ලේඛනයේ අන්තර්ගත පහත සඳහන් ප්‍රකාශය කියැවීම ය.

චාරිකාව යනු සොබාදහමේ නිර්මිතයන් - මිනිසුන්ගේ  කලාකාමිත්වයේ සහ අප්‍රතිහත ධෛර්යයේ පිළිබිඹුවන් නැරඹීම සඳහා යන ගමනකි. එය නෙත් - සිත් - හදවත් හොඳින් විවර කරගෙන ඒවා දැක බලා තම ජීවිතයේ නිම් වළලු පුළුල් කරගත යුතු අවස්ථාවකි. එහෙත් කය - මනස නිද්‍රාවට පත් කර හදවත වසා දමන මද්‍යසාර චාරිකාවක දී භාවිත කරන්නේ කවර හේතුවකට ද? එවන් චාරිකාවල දී නෙතින් - සිතින් හා කයින් ජලයෙහි සුන්දරත්වය  - සිසිලස - පහස දකිනු හා විඳිනු විනා එහි කිසිවක් විඳගත නොහැකි වන පරිදි මද්‍යසාරයෙන් මත් ව ජලයෙහි සැඟ ව ඇති මරණය වෙත යන පුද්ගලයන් කොපමණ නම් පිරිසක් ගැන නිරන්තරයෙන් අපට අසන්නට දකින්නට ලැබේ ද? ” 

1 comment:

  1. මේ කවිය සිනමා රූපයකට නගා ආත්මීය සුගන්ධපත් මිනිසෙකු වීමට මට ද උවමනාවක් ඇත..විකසන්ති කුසුමානි....

    ReplyDelete