Sunday, January 21, 2024

93. ගුරු දියවර නවකතාව - විසි හත්වන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                              ගුරු දියවර 27

                           



තාත්තාගේ පින්කමේ කටයුතු අවසන් වීමෙන් පසු රේණු, සිය සුහදිනී මිහිදිනිය ද සමග කොළඹ මධ්‍යම බස් රථ නැවතුම් පොලින් අංක 57 දරන අනුරාධපුරය බලා යන බස්රියකට ගොඩ වූයේ ඇල්ලෙන් බැස, එතැනින් ත්‍රිරෝද රථයකට නැග නාගොල්ලාගම බලා යන අරමුණිනි. ඒ දෙදෙනා රිය පොළට ඇරලවූ පවුලේ කනිටු දියණිය, බස්රිය පිටත් වන තෙක් ම එතැන රැඳී සිටියා ය. පැයක් පමණ වන විට මිහිදිනී, සිය මිතුරියගේ උකුළ සිය යහන කොට ගනිමින් නිදි දුව වැළඳ ගත්තා ය. පින්කම උදෙසා අපමණ ව වෙහෙසුණු සිය කලණ මිතුරියට සිය උකුල සුව යහනක් කළ රේණු, තම දයාබර පියාණන් හා බැඳුණු ඉසොඳුරු මතකයනට ගලා එනු පිණිස සිය හද කවුළු විවර කළා ය. ඇයට පළමු ව සිහි නැඟුණේ කිවිපති විමල් අභයසුන්දරයන් විසින් තම පිය පියාණන් ලෝකය අතැර නික්ම ගිය පසු ලියූ පිය සමර පැදි පෙළ යි. ඇය පුතු ඇති තැනට දුව යන යෙදුම යොදා ගනිමින් එකව් කුසුම් පිය හද පුදසුනෙහි තැන්පත් කළා ය.

හොඳ මිස නරක සිය දිවියට නොවැද ගෙන

නරකක් කිසි විටෙක නොඇසුව කිසිම තැන

පිය පිය වාදයට පියතම පියකු          ගැන

අබිමානයට පත් වෙමි මම සියලු                   දින


දුව ගැන නිහතමාන ව අබිමන්        තොර ව

සැනැහුණු සැටි දනිමි සුව සොම්නස්        බර ව

ඔබ දුන් උතුම් හර දම් සළු පිළි                පෙර ව

පසු වෙමි අදත් පිළිවෙත් මග               තිරසර ව


මොහොතක් වෙතොත් තොර ඔබ ගැන සිහිය  නැති

පරවුණු මලක් මෙනි ගිලිහුණු            සුවඳ      පෙති

වෙහෙසෙන දිවා රෑ විඳිනුව               සුමති       මති  

ඔබෙ දුව ඔබෙ නමට පුදමල්           නෙළනු    ඇති

මෙකව් නොදැන සිටියත් තමාගේ මෙන් ම සිය නැඟණියගේ හද බිම විකසිත වන්නේත් එකම සුවඳ දෙන මේ කව් මල් සුවඳ බව රේණු දැන සිටියා ය. එසේ ම සිය දෙටු සොහොයුරා ද පිය දුන් උතුම් දම් සිය හද දම් බවට පත් කොට ගනිමින් පිළිවෙත් මග තිරසර ව හැසිරෙමින් තම දිවි ගමන නිමා වන තෙක් පිය නමට පුද මල් නෙළන බව රේණු සිහිපත් කෙළේ බැතිබර හදිනි. ඇය මෙවන් සංවේදනීය හැඟුම් අතර සිටින විට ය, ඇගේ ජංගම දූරකථනයට ගඟුල්ගෙන් පණිවිඩයක් ලැබුණේ. ඇය මිහිදිනියගේ සුපහන් වත මඬල දෙස දයාලු හදින් මොහොතක් බලා සිට, ගඟුල්ගෙන් ගලා එන කලණ මිත් වදන් ගඟුලැල්ලට නුවන් යොමු කළා ය.

සදාදරණීය රේණු අක්කා වෙත අපරිමිත ආදරයෙනි, අප්‍රමාණ ගෞරවයෙනි,

සොයුරියක නොමැති මට නිබඳ සොයුරියක වූ ඔබ මේ මොහොතේ සිටින කම්පනීය ස්වරූපය මට හොඳින් දැනෙනවා. ඒ සහකම්පනය නිස යි මේ වචන ලියැවෙන්නේ. මෙය එක විදිහකින් අක්කා එදා මිහිදිනීටත් මටත් එවූ ලියමනට එවන පිළිතුරක් ද වෙනවා. මේ මොහොතේ මිහිදිනීත් අක්කාගේ ළඟ ම ඉන්නවා නේද? මට එයත් දැනෙනවා.

අක්කාට මතක ද තාත්තාගේ අවසන් කටයුතු සිදු වන දිනයේත් ඊට පෙර දිනයේත් හිත මිතුරන් සහ ආයතන නියෝජනය කරමින් ගසා තිබූ විවිධ බැනර්. ඒ ගොඩක් ඒවායේ බලවත් ශෝකය හෝ සාතිශය සංවේගය කියන යෙදුම් දැකිය හැකි වුණා. සිය ජීවිතයේ අතිප්‍රකම්පනීය මොහොතක අපේ සර්, ශෝකය සහ සංවේගය කියන මාතෘකාව යටතේ ඉරිදා ලංකාදීපයට ලිපියක් ලියා තිබුණා. මගේ මේ ලිපියේ අරමුණ ඒ ලිපියේ ඇතුළත් කාරණා මේ මොහොතේ අක්කා සමග බෙදා ගැනීම යි. මේ දේවල් අක්කා හොඳින් ග්‍රහණය කර ගන්නා බව දන්නා නිසත් අපි වැටෙන විට අපට අත දෙන රේණු අක්කා හෙට දවසේත් අපත් අපේ ශිෂ්‍ය ප්‍රජාවත් නැගිටවීමට අපට අවශ්‍ය නිසත් තමා මේවා ලියන්නේ.

අප අකැමැති වුවත් අපි කැමති වුවත් ඇතැම් දෙනා අපට පෙර ජීවිතයෙන් සමු ගන්නා බවත්, දිනෙක අපට ආදරය කරන අය සිටිය දී අපටත් මේ ලෝකයෙන් සමු ගන්නට සිදු වන බවත් එහි සඳහන් ව තිබුණා. අක්කේ, ඒක හරිම ඇත්තක් නේ ද? පහත සඳහන් වන්නේ එම ලිපියෙන් ගන්නා ලද උපුටනයක්.

‘ශෝක’ යන වචනය සැදෙන්නේ ‘ශෝක වීම’ යන අර්ථයේ යෙදෙන ‘ශුච්’ ධාතුවෙනි. අපට හුරුපුරුදු ‘ශෝචනීය’ යන වචනය සැදෙන්නේත් ඒ ධාතුවෙන් ම ය. අපගේ සමීපතමයන් මිය ගිය විට අපි හඬමු; වැලපෙමු. මගේ පියා, මගේ මව, මගේ සොහොයුරා, මගේ පුතා හෝ මගේ මිතුරා මිය ගිය බව කියා වැලපෙන තැන ඇත්තේ ශෝකය යි. එය ‘මම,’ ‘මගේ’ ය යන හැඟීම් සමග ඍජු ව ම සම්බන්ධ ය. එහෙයින් ශෝකය පෞද්ගලික ය.       

අක්කේ, අපේ සර්ගෙ ඒ ලිපියේ මට වඩාත් දැනුණු තැන් කිහිපයක් ම තිබෙනවා. සර් කියන්නේ දුකකදී ඇසට කඳුළු ඒමෙහි වරදක් නැති බව යි. එය දුර්වලකමක් ද නොවන බව යි. එහි සඳහන් වෙන හැටියට අපේ ඇස්වල උපදින කඳුළු කියන්නේ හදවතේ ඇති මෘදු බව ප්‍රකාශයට පත් කරන මාධ්‍යයක්. ඒ උනාට අපි කොච්චර වැලපුණත් මියගිය සහෘදයන්ගේ ජීවමාන රූපකාය අපට කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ලිපියේ කියැවෙන පරිදි ඒ චරිතත් සමග එක්විය හැකි පිළිවෙළක් තිබෙනවා. ඒ තමයි ඒ අයගේ චරිතවල තිබූ උදාර ගුණ අපේ ජීවිතයේ කොටසක් බවට පත් කොට ගැන්ම. එහෙම කරන කොට අපේ පෞද්ගලික ශෝකය නිසා උපදින කඳුළ වියලී යන බවත් කඳුළු සලමින් සිටිනවාට වඩා කිරීමට වඩාත් අර්ථසම්පන්න ක්‍රියා ඇති බවත්  එහි සඳහන් වෙනවා.  අක්කේ, මේ අවබෝධය ම නේ ද අපිව ශෝකයෙන් නිදහස් කරන්නේ.

අක්කේ, මේක පණිවිඩයක් කියලා කිව්වාට ටිකක් දිග ලියුමක් උනා. ඔයගොල්ලො දැන් එන ගමන් නේද? අපේ මිහිදිනී අවදියෙන් නං ඉන්නේ එයාටත් මේක පෙන්වන්න. නැත්තං නැගිට්ටහම පෙන්නන්න. එයා මේ වගෙ දේවල්වලට හරිම කැමති යි.

රේණු අක්කේ, දැන් මන් ඔයාට එවන පණිවිඩය අවසාන කරන්න යි යන්නේ. ඒක කරන්නේත් අර ලිපියේ මට තදින් ම දැනුණු ඡේදය උපුටා දක්වල යි.

‘සංවේගය’ ශෝකයට වඩා පෘථුල ය. ‘සැමතින් ම,’ ‘එක් ව’ යන අර්ථ දෙන ‘සම්’, යන උපසර්ගය පූර්වයෙන් යෙදී ‘කැළඹීම,’ ‘චංචලවීම,’ ‘පවන් සැලීම,’ යන අර්ථ දෙන ‘වීජ්’ ධාතුවෙන් ‘සංවේග’ යන වචනය සැදෙයි. එහෙත් බෞද්ධ සම්ප්‍රදාය ‘සංවේග’ යන මේ වචනය යොදන්නේ වඩා පුළුල් වූ අර්ථයක යි. සැරියුත්, මුගලන් ආදි මහ රහතන් වහන්සේලා පිරිනිවන් පෑ අවස්ථාවල දී ගෞතම බුදුන් වහන්සේ විසින් ධර්ම සංවේගය පහළ කරන ලදැයි පැවසේ. මේ හැඟීම ශෝකයෙන් වෙනස් වූවකි. සමීප හිතවතුන් ජීවිතයෙන් සමු ගන්නා විට අප ශෝක වන්නේ තව දුරටත් ඔවුන්ගේ ප්‍රිය ඇසුර අපට නොලැබෙන බැවිනි. එහෙත් බුදුන් වහන්සේ සිය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑ මොහොතේ පළ කෙළේ අප තුළ ඇති වන අන්දමේ ශෝකයක් නොව සංවේගයකි. ජීවත් ව සිටියා නම් ලෝකයට තවදුරටත් අර්ථවත්  සේවාවක නිරත වන ඒ උතුමන්ගේ සේවාව සමාජයට අහිමි ව ගිය බැවිනි, බුදුන් වහන්සේ සිය සංවේගය පළ කෙළේ. 

බුදුන් වහන්සේගේ, රහතන් වහන්සේලාගේ සිත්වල ඇතිවන සංවේගයේ ස්වරූපය ගැන පෘථග්ජන අප විසින් කරනු ලබන විග්‍රහවල බොහෝ අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. අපේ සර් තමා භාෂාත්මක විග්‍රහ ඉදිරිපත් කරන්නේ ද ඒ බව සිහියේ තබාගෙන බව අපට කියා තිබෙනවා. අක්කේ අපිත් ශෝකය සහ සංවේගය ගැන කතා කරද්දී ඒ කාරණය ගැනත් සතිමත් වියයුතු නොවේ ද?  

අක්කේ, මන් දැන් නාගොල්ලාගම ඇවිල්ලයි ඉන්නේ. ඔයගොල්ලන්ව ගන්න මන් මහතුන් අය්යත් එක්ක ඇල්ල හන්දියට එනවා. දැන් ඔයගොල්ල ඉන්න හරිය දන්වන්න. අපි හමු වෙලාම විස්තර කතා කරමු.

අක්කාටත් මිහිදිනීටත් තෙරුවන සරණ යි.

සදා අදරැති මල්ලී 

ගඟුල්

රේණු වරක් දෙවරක් නොව කිහිප වාරයක් ම ගඟුල්ගේ සදර්ථප්‍රදායී පණිවිඩය කියැවූවා ය. ඇයට පළමු ව සිතුණේ මිහිදිනී ඇහැරවා පණිවිඩය කියැවීමට දීමට යි. එහෙත් සිය මිතුරියගේ වෙහෙසට පත් වත මොහොතක් නිරීක්ෂණය කළ රේණු එකී සිතිවිල්ලෙන් මිදුණා ය. ඒ අනුව සිය මිතුරිය නින්දෙන් අවදි වූ වහා එය පෙන්වීමට රේණු තීරණය කළා ය.

බස්රිය පාදෙනියට ළඟාවන විට සවස හතරට ආසන්න ව තිබිණ. සැඳෑ හිරු රැස් රිය කවුළුවලින් රිය ඇතුළතට වැටෙමින් තිබිණ. ඇල්ලට ඇත්තේ සැතපුම් දහයකටත් අඩු දුරක් බැවින් රේණු සිය මිතුරිය අවදි කළා ය. ඈ අවදි වූයේ මෙවදන් පවසමිනි. 

“අනේ අක්කෙ මට මෙච්චර වෙලාවක් නින්ද ගියා ද? ඇයි ඔයා මට කතා නොකළේ.”  

පසුගිය දින කිහිපය තිස්සේ තම නැගණියටත් තමාටත් වඩා ආදරණීය තාත්තාගේ පින්කම වෙනුවෙන් අසීමිත ලෙස වෙහෙසුණු සිය කලණ මිතුරියගේ විඩාබර මුහුණ දෙස දයාබර ව බැලුවා විනා රේණු එයට පිළිතුරු දීමට නොගියා ය.

පාදෙණියේ සිට ඇල්ලට ඒමට ගත වූයේ විනාඩි දහයකටත් අඩු කාලයකි. කලින් සිතා සිටි පරිදි කලණ මිතුරියන් දෙදෙනාට එතැන් සිට නාගොල්ලාගමට යාමට ත්‍රී රෝද රථයක් සෙවීමට අවශ්‍ය නොවූයේ ඒ වන විට ගඟුල් මහතුන් සමග ඇල්ලට පැමිණ සිටි බැවිනි. ඔවුන් වෙත ආ ගඟුල් රේණුගේ බෑගය අතට ගත් අතර මහතුන් මිහිදිනීගේ බෑගය ගැන්මට සිය දකුණත දිගු කෙළේ ය.

“අනේ මේකෙ එච්චර බරක් නැහැ මහතුන් අය්යේ අර ත්‍රීවීලරේ ළඟටනෙ. මට පුළුවන් ගෙනියන්න.”

“හරි හරි අපි දන්නවා අපේ මේ මිස්ලා දෙන්නට ම හොඳට බර අදින්න පුළුවන් බව. අපේ ගමේ දරුවන්ගෙ  බරටත් මේ මිස්ලා කර ගහලා   වග ගමේ කවුද දැන් නොදන්නෙ. නැද්ද ගඟුල් සර්. මේ ඉතින් අපිට අපේ හිතවත්කම මිස්ලට ක්‍රියාවෙන් පෙන්නන්න ලැබෙන වෙලාවනෙ. ඔන්න මිස් අපේ ඒ අයිතියට කොක්ක නං දාන්න එපා.”

“හරි හරි එහෙනං ඔන්න බෑග්ගෙක. දෙන්න මට ත්‍රීවීලරේ යතුර. එන්න ඔය දෙන්න අපේ බෑග් උස්සගෙන පයින්. මන් රේණු අක්කත් එක්ක යන්නං මේකෙන්.”

මිහිදිනී මහතුන්ගේ ත්‍රීවීලරය දෙසට අත දක්වා එවදන් පැවසුවේ සිනාසෙමිනි.

“ඒ කියන්නෙ අපේ මේ මිස්ට ත්‍රීවීලර් එළවන්න පුළුවන්. කොච්චර හොඳයි ද, ඒ උනාට නාගොල්ලා ගමේ ත්‍රී වීලර් හයර් ගිහින් මිස් අපේ බඩට ගහන්න ලෑස්ති වෙන්න නං එපා. මොකද මිස්ලා අපේ රස්සාව කරන කොට අපි ඇවිල්ලා ඉස්කෝලෙ උගන්නන්ඩයැ.”

“රේණු අක්කෙ ඔයා දන්නව ද මහතුන් අය්යා මේ හයර්රෙකක් නොවන හයර්රෙකට සුසෙට් උනේ කොහොම ද කියලා.”

“මොකක් මොකක් සුසෙට් උනා. මොකක් ද අප්පේ සුසෙට් වෙනවා කියන්නෙ.”

“මාත් ඉතින් ඔය වචනෙ ඉගෙන ගත්තෙ නං මහතුන් අය්යගෙන් ම තමයි. ඔය දෙන්නා ඒක එයාගෙන් ම අහගන්නවනං තමයි හොඳ. කියන්ඩ මහතුන් අය්යෙ ඔය වචනෙ ගැන හොඳ අර්ථ විග්‍රහයක් අපේ මේ මිස්ලා දෙන්නට.” 

“මෙහෙම යි සමහර වචන හැදෙන්නෙ අපි ඉස්සර ඉගෙන ගත්ත දේවල් හේතු වෙලා ම තමයි. මිස්ලා දෙන්නම දන්නවනෙ මමත් නාගොල්ලාගම ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් බව. තෙන්නකෝන් සර් තමයි අපි සාමාන්‍ය පෙළ කරද්දි අපිට සිංහල කළේ. අපිට දවසක් සර් උපසර්ග පාඩම කළා. ඒකෙදි සර් කියලා දුන්නා සු කියන උපසර්ගය හොඳ අර්ථයකත් කු කියන උපසර්ගය නරක අර්ථයකත් යෙදෙනවා කියලා. ඒක පැහැදිලි කරන්න සර් ගත්ත උදාහරණෙ මට අද වගේ මතක යි. ඒ තමයි හොඳ මිත්‍රයා කියන අර්ථෙ දෙන්න සුමිත්‍ර කියන වචනෙත් නරක මිත්‍රයා කියන අර්ථෙ දෙන්න කුමිත්‍ර කියන වචනෙත් අපට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියපු එක. දැන් මායි ගඟුල් සර්රුයි දෙන්නම කරන්නෙ අපේ සුමිත්‍රියො දෙන්නෙක්ගෙ බෑග් උස්සන යන එක. හැබැයි ඔයගොල්ල අපට හරි ගමට හරි කුමිත්‍රියො උනානං මන් මේවා අරගෙන යන්න ඉල්ලන්නෙ නැහැ. මයෙ හිතේ අපේ ගඟුල් සර් උනත් එහෙම කරන එකක් නැහැ.”

“හරි හරි මහතුන් අය්යෙ ඒක අපි දන්නවනෙ. ඒ කියන්නෙ මහතුන් අය්යගෙ ඔය අර්ථ විග්‍රහයත් පැහැදිලි යි. ඔය දෙන්නම සුමිත්‍රයො කියන එකත් පැහැදිලි යි. එහෙම නොවුණ නං ඔය දෙන්න කරන්නෙ ඔන්න ඔය අම්මණ්ඩිලා ඕන විදිහකට ආපුවාවෙ කියලා පැත්තකට වෙන එකනෙ. ඒත් ඔයගොල්ල එහෙම කළේ නැහැ. ඒ ඔය දෙන්නා අපේ සුමිත්‍රයො හින්දා.”

“එහෙනං අපේ මිහිදිනී මිස්ට මොකක් ද අපැහැදිලි.”

“අර සුසෙට් කියපු එක.”

“ආ ඒක ද මිස්, ඒක මේ මන් අපේ ගඟුල් සර් උගන්නන බාසාව යි අපේ මිස්ලා උගන්නන බාසාවයි දෙක එකතු කරලා හදා ගත්ත එකක්. මන් සුසෙට් කියලා කියන්නෙ හොඳ දේකට එකතු වෙන එකට. දැන් මිස්ලා එන්නත් ටිකකට කලින් ගඟුල් සර් මාත් එක්ක ගියේ ගජනැග්ගම ඉස්කෝලෙ සුසෙට් එකකට. ඒකට ඇවිල්ලා හිටියා මහව විජයබා එකේ උගන්නන වික්‍රම සර්, ඒ වගෙම මිනුවන්ගැටේ චිත්‍ර සර්. ගජනැග්ගම ඉස්කෝලෙ සුනීතා මිස්, අරුණ සර් එහෙමත් ඒ සුසෙට්ටෙකට සම්බන්ධ උනා.”

“මොකක් ද මල්ලියෙ උඹ දැන් ටිකකට කලින් සම්බන්ධ උනා කියලා අපේ මහතුන් අය්යා කියන ඔය සුසෙට්ටෙක.”

“ඒ රේණු අක්කෙ, අපේ ක්‍රීඩා උත්සවේට ඒ අයගෙ සහය ගන්න හිතාගෙන මේ අපි කීප දෙනෙක් එකතු වෙලා කරපු සාකච්ඡාවක්.”

“ඉතින් ඒකට ඕන්නං කියන්න පුළුවන්නෙ කට්ටිය සෙට් උනා කියලා.”

“අපේ මිස් දැන් ඒ වචනෙ අන්තිමට ම නරක් කරලා ඉවර යි. මන් හිතන විදිහට අන්තිම නරක වැඩකට එකතු වෙලා, තියෙන සෙට් එකත් නැති කරගන්න වැඩවලට තමයි දැන් සෙට් වෙනවා කියලා කියන්නෙ. ඒ වගෙ දේකට එකතු වෙනවටත් මන් නමක් දාලයි තියෙන්නෙ.”

“ඒ මොකක් ද මහතුන් අය්යෙ.”

“කුසෙට් මිස් කුසෙට්. මන් වැඩිපුර ජීවත්වෙන සමාජෙට මන් මට තේරෙන විදිහට හොඳ දේවල් ගෙනියන්නෙ ඔහොම තමයි මිස්.”

“මහතුන් අය්යා හරිම දාර්ශනිකයෙක්නෙ බැලුවහම.”

“දාර්ශනිකයෙක් විතරක් නෙමෙයි රේණු අක්කෙ සමාජෙ නිවැරදි කරන්න අලුත් වචන හදන භාෂාඥයෙක් ඒ වගෙම ගුරුවරයෙක් කියලා කිව්වත් කමක් නැහැ කියල යි මට හිතෙන්නෙ.”

“හරි දැන් හවස් වේගෙනත් එන හින්දා අපි සුසෙට් එක පිටත් වෙමු ද?”  

“ඇත්තට ම මිහිදිනී මිස් කැමති නං වීල්ලෙක ගෙනියන්න. දෙන්න ද මිස්ට යතුර?”

“මහතුන් අය්යා සිය කැමැත්තෙන් දෙනවනං මට යතුර ඕක මොකක් ද ගෙනියන්නංකො මන් මේක අනුරාධපුරේට ම.”

“නෑ නෑ ඩ්‍රයිවර් මිස් මේ මගීන්ට යන්න ඕන කරන්නෙ නාගොල්ලාගමට.”

ගඟුල් මහතුන් සහ රේණු දෙස බලා පැවසුවේ සිනාසෙමිනි.

“අපි මොනවා කතා කළත් අද අපේ රේණු මිස් ඉන්නෙ නං ලොකු කල්පනාවක. මන් දන්නවා මිස් තාත්තා කෙනෙක් නැති උනාම දරුවෙක්ගෙ හිතේ ඇතිවන හැඟීම. අපිත් ඉතින් කවදා හරි මේ ඔක්කොම දාලා යන්න එපායැ. මේ වෙලාවෙ මිස්ට දරාගන්න අමාරු ඇති. ඒ උනාට අපිට වඩා ගොඩක් ඉගෙන ගත්ත සර්ලා මිස්ලා දන්නවනෙ අපිට වඩා ජීවිතේ ගැන. මිස් අපේ දරුවන්ගෙ ඇස් පාදන එකත් මිස්ව මේ ලෝකෙට උප්පාද කරපු ඒ තාත්තට කරන පින්කමක් කියලයි මන් හිතන්නෙ.”

“මහතුන් අය්යගෙ ඔය වචනත් මගෙ ගුරු ජීවිතේ ශක්තිමත් කරනවා. එහෙනං දැන් අපි පිටත් වෙමුකො.”

“මහතුන් අය්යෙ එහෙනං අපි ඔක්කොම දෙවියන් බුදුන් සිහි කරගෙන නගිමු එහෙනං වාහනේට.”

“හා .`.මහත්තයා එහෙම ද මන් ගැන හිතාගෙන ඉන්නෙ. කොහොමත් ඉතින් ගමනක් යනකොට විතරක් නෙමෙයි කරන්න යන ඕනෙම කටයුත්තක දි දෙවියන් බුදුන් සිහි කරන එකනං හොඳ දෙයක් තමයි.” 

මෙසේ පැවසූ මිහිදිනී ත්‍රිරෝද රථය පණ ගැන්වූවා ය. එය වාහන පැදවීමෙහි ලා වන නුපුරුදු චරණයක් නොව සුපුරුදු චරණයක් ම විය. ඇයට මුල්ම සහතිකය දෙන ලද්දේ මහතුන් විසිනි.

“අම්මපා මිස් ඇස්වහක් කටවහක් නෑ මිස්ගෙ එළවිල්ල හොඳයි. මන්නං හදිස්සි වෙච්ච වෙලාවට වාහනේ ඩෝං ගාලා වලවල්වලටත් දාගන්නවා. මිස් හරි ලස්සනට වලවල් බේර ගන්නවනෙ.”

“බොහොම ඉස්තුතියි මහතුන් අය්යෙ ඔයාගෙ ඔය වචනවලට. ඒ උනාට බේරෙන්න බැරි වලකට වැටෙන්නයි යන්නෙ. ඒක මග හරින්න පුළුවන් වලක් නං නෙමෙයි.”

“ඇයි මිස් වලක් බව පෙනි පෙනිත් ඒක මග හරින්නැත්තෙ.”

“අය්යෙ ඒක මට විතරක් නෙමෙයි වීල්ලෙක නවත්තලා අපි ඔක්කොටම කතා කරන්න හිතෙන ආදරණීය වලක් නිසා.”

ඒ නාගොල්ලාගම දෙසට පා ගමනින් එමින් සිටියේ මැදිවියේ කාන්තාවක සමග නව යොවුන් යුවතියකි. මිහිදිනී ඔවුනට අතින් සංඥා කොට වම්පසට වන්නට ත්‍රිරෝද රථය නැවැත්වූවා ය.  

“අනේ දෙය්යනේ මේ අපේ මිහිදිනී මිස්නෙ. කවද්ද මිස් ඉස්කෝලෙන් අස්වෙලා මේ අලුත් රස්සාවට ආවෙ. එන ගමන් අපේ ගමේ කී දෙනෙක් ව ද මිස් ඔයා හැප්පුවෙ. කවද්ද මිස් ඔයා අපේ මහතුන් මාමගෙ වීල්ලෙක සල්ලිවලට හරි බලෙන් හරි අරගෙන එයාව නන්නත්තාර කළේ.”

“සකුණි, ඔය තමන්ගෙ ගුරුවරුන්ට කතා කරන හැටි ද ආ?

යුවතියගේ මව යැයි සිතිය හැකි කාන්තාව ඇයට එවදන් පැවසුවේ දැඩි ස්වරයකිනි.

“අනේ අම්මෙ, අපේ කෙල්ල ඔය අපිට අපේ ආදරේ කරන විදිහනෙ.”

රියෙන් බැස එළියට ආ මිහිදිනී, සිය සිසු දියණිය සමීපයට ගනිමින් පැවසුවා ය. යුවතිය පළමු ව කෙළේ සිය ගුරුවරියට වැඳීම ය. අනතුරුව නැඟී සිටි ඇය ඉමහත් ආදරයකින් සිය ගුරුවරිය වැළඳ ගත්තා ය.

“මිස් කවුද වාහනේ ඇතුළෙ තව ඉන්නෙ. අපේ රේණු මිසුත් ආව ද?”

“ඒ ප්‍රශ්නෙට උත්තරේ මන් දෙන්න ඕනෙ නෑ. ඔන්න ඔයා ළඟට ම එනවා.”

මිහිදිනී පැවසුවේ ඔවුන් සිටි දෙසට ඇවිද එන සිය සහෘදය චරිත ත්‍රිත්වය පෙන්වමිනි.

“අනේ දෙය්යනේ අපේ රේණු මිසුත් ඇවිල්ලා නේන්නං.”

‘මිස් මිස් ය’ කියමින් ඇය රේණු සමීපයට ගොස් සිය ගුරුවරිය වැළඳ ගත්තේ අප්‍රමාණ ස්නේහයකිනි.

“අනේ අපි හිතුවෙ මිස් තව ටික දවසක් ඉඳල ම එයි කියලා.”

“ඇයි ඔයගොල්ල ආවනෙ මගෙ දුකේ දී මාව බලන්න. දැන් මගෙ යුතුකමනෙ ඔයගොල්ල බලන්න එන එක.”

“කොච්චර දෙයක් ද මිස්, මිස්ලා ඉක්මණින් ම ආපු එක.”

“එතකොට කෙල්ලෙ මිස්ලා ආපු එක විතර ද උඹට වැදගත්. අපි එන එක වැදගත් නැහැ.”

“ඉතින් සර්, සර් කලින් ම ආවනෙ. දවසක්  සර්මනෙ අපිට සිංහල උගන්නන්න ආපු දවසක සංස්කෘත ශ්ලෝකයක් කියලා කිව්වෙ කරපු දේ කරන්න දෙයක් නැහැ ය මැරුණට පස්සෙ ආයෙ මැරෙන්න දෙයක් නැහැ ය කොටලා කොටලා කුඩු කරපු දේවල ආයෙත් කුඩු කරන්න දෙයක් නැහැ ය කියලා. දෙකක් ගැන කතා කළාට පස්සෙ තුන්වෙනි දෙයක් ගැන කතා කරන්න දෙයක් නැහැ ය කියලා.”

“මේකිගෙ කට තමයි තමයි කට. අපිටත් කට උත්තර නැති වෙන්නනෙ කතා කරන්නෙ. හොඳයි පණ්ඩිත හාමිනේ, දැන් ඔය අර්ථ දැක්කුවා වගේ මේ අම්මත් ඉන්න තැනම කියමු බලන්ඩ ඔයාගෙ සර් උගන්නපු ශ්ලෝකෙත් මතකෙන්.”

“හරි මිස්, අපේ මේ ආදරණීය මිහිදිනී මිස්ගෙ වචනෙට ශීර්ෂ ප්‍රණාමය කරලා ඔන්න දැන් මන් කියනවා ඒක.”  

කෘතස්‍ය කරණං නාස්ති -   මෘතස්‍ය මරණං න ච      

පිෂ්ටස්‍ය පේෂණං නාස්ති - ද්විතියේ තෘතීයං න හි

“අනේ අම්මප මේ කෙල්ල හැදිලා තියෙන හැටි. කිසිම බයක් සැකක් නැතුව තමන්ගෙ ගුරුවරුන්ට කතා කරන හැටි.”

“මගේ ආදරණීය මවුතුමියනි, ගුරුවරු වූ කලී සිය ශිෂ්‍ය ප්‍රජාවේ බිය සැක දුරු කරන්නෝ වෙති. යම් කෙනෙක් සිසු හදවත්වල භීතිය සහ සැකය උපදවත් ද ඔවුහු ගුරුවරු නම් නොවෙති.”

“මට දුවේ උඹේ ඔය මහප්පරාණ තේරෙන්නෙ නැහැ. මේ සර්ලා මිස්ලටත් දැන් මහන්සි ඇති. සර්ලට මිස්ලට කතා කරලා අපිත් යමු දැන්.”

සකුණි සිය ගුරුවරියන් දෙදෙනාටත් ගඟුල්ටත් වැඳ අනතුරුව මහතුන්ටත් වැන්දේ මෙසේ කියමිනි.

“අප කවර දිනක හෝ යම් තැනකට යා ද ඒ හැම දිනයක දී මහතුන් මාමාට අප ඒ ඒ තැන්වලට ඇරලවීමේ පින් සිත පහළ වේවා!”

“උඹ තමයි කෙල්ලේ දවසකටත් කෙල්ල.”

මෙසේ කියූ මහතුන් තමාට තමාගේ ම දියණියක සේ දැනෙන සකුණිගේ හිස පිරිමැද්දේ මහදාදරයෙනි.

යළිත් ත්‍රී රෝද රථයට නැඟුණු මිහිදිනී එය පණ ගැන්වූවා ය.

“ඔන්න නංගි හෙට ඉස්කෝලෙ ගියා ම උඹ ලෑස්ති වෙලා හිටපන් ළමයි අහන ප්‍රශ්නවලට උත්තර.”

“ඇයි රේණු අක්කෙ මොනව ද ළමයි මගෙන් අහන ප්‍රශ්න ද?

ඇයි නංගි, උඹ හිතන් ඉන්නෙ ඔය සකුණි ඉස්කෝලෙ ගිහින් නිකන් ඉඳීවි කියල ද? හෙට උදේ ආපු ගමන් පටන් ගනීවි, ඔයාලා දන්නව ද අනේ අපේ මිහිදිනී මිස් ඊයේ කොළඹ ඉඳල ම ත්‍රී වීලර්රෙකක් එළෝගෙනනෙ ආවේ. කියලා වැඩක් නෑ මිස් මාර වේගෙකින්නෙ ආවෙ. අම්මයි මායි ටවුමට යද්දි හම්බ උන්නැද්ද මිස්ලව. අපි පාර අයිනෙ තිබිච්ච කාණුවකට පැනලයි බේරුණෙ. මන් ඉතින් වැඩ දන්න හින්දා අම්මවත් අතින් අල්ලන් බල්ටියක් ගහලා බේරුණා. ඔන්න ඔය වගේ මෙලෝ සංසාරයක් නැතුව කියවාවි.”

“රේණු අක්කා කියන එක නං වෙන වෙන එක වෙනවා. මන් ඉස්කෝලෙ ආපු පළවෙනි දවසෙම දැක්කනෙ කෙල්ලගෙ වැඩ. ඒ ගොල්ලො දැක්කෙ නෑ මාව, සමහර ගුරුවරු  ගුරුවරියො කතා කරන හැටි ඇට් කරලා තමයි මේ කෙල්ල පෙන්නුවෙ. අනිත් කෙල්ලො බඩ අල්ලන් හිනාවෙන කොට මෙන්න මෙයා ඉන්නෙ හරිම සීරියස් මූඩ් එකක. ඒක දකින කෙනෙකුට හිතෙන්නෙ අනික් කෙල්ලො තමයි දඟ මේ ළමයනං හරි නිවිච්ච ළමයෙක් කියලා.”  

“ඔය ළමයගෙ ඔය මතුපිටින් පේන ළමයට වඩා මහ ගැඹුරු කෙනෙක් ඉන්නව මල්ලි. අපේ තාත්තා නැති වෙච්ච වෙලාවෙ අපේ විදුහල්පතිතුමා ඉස්කෝලෙ උසස් පෙළ පන්තියෙ ළමයින්ට අවමංගල්ලෙට එන්න පිළිවෙළක් හදලා තිබුණනෙ. ඒ කට්ටියත් එක්ක සකුණිත් ආවනෙ අපේ ගෙදර. එදා මහතුන් අය්යෙ ඔය ළමයි ඔක්කොම යන වෙලාවෙ මට වැඳලයි ගියේ. අන්තිමට මට කතා කරන්න ආවෙ ඔය සකුණි. ඔය කෙල්ල ඉස්සෙල්ල ම කළේ මගෙ කකුල් දෙක අල්ලලා වඳින එක. ඊට පස්සෙ නැගිටලා ඒ වෙලාවෙ ඉඳගෙන හිටපු මගෙ ඔළුව ඉම්බා. ඒක ශිෂ්‍යාවක් ගුරුවරියකට දක්වන ආදරේට වඩා අම්මා කෙනෙක් දුවකට දක්වන ආදරයක් කියල යි මට දැනුණෙ. ඊට පස්සෙ යන්න ඉස්සෙල්ලා මේ කෙල්ල මට කියලා ගියෙත් අම්මා කෙනෙක් දුවකගෙ දුකකදි හිත හදන්න කියන ආදරණිය වචන.”

“අක්කට මතක ද ඒ කෙල්ල කියපුවා.”  

“කෙල්ල කතාව පටන් ගත්තෙ දැන් මන් මේ කතා කරන්නෙ මිස් අපිට කියලා දීපු දේවල් ම තමයි. මල්ලි උඹට මතක ද උඹ මගෙ උපන්දිනේකදි රබීන්ද්‍රනාත්තුමාගෙ Stray Birds කියන පොත තෑගි කළා. මන් ඔය සකුණිලගෙ පන්තියෙ විතරක් නෙමෙයි අනික් පන්තිවලදිත් පාඩමේ කොතැනකට හරි ඒකෙ තියෙන ප්‍රකාශයක් කරලා ඒකෙ තේරුම කියලා දීලා ඒක ගැන පොඩි හරි සාකච්ඡාවක් කළා ළමයිනුත් එක්ක. අන්න ඒ වෙලාවට මන් දැක්කෙ මේ දැන් ටිකකට ඉස්සෙල්ල අපි ඔක්කොම හිනස්සල ගිය සකුණි නෙමෙයි. ඊට වඩා වෙනස් කෙනෙක්. එදා මේ කෙල්ල මට කිව්වා. මිස් අපේ ඉංග්‍රීසි පාඩමට එහා ගිහිල්ලා ඒ සාහිත්‍යෙ තියෙන ලස්සනම දේවල් කියලා දෙන හැම අතින් ම ලස්සන මිස්ලා දෙන්නෙක් අපිට ඉන්නවා. ඒ මිසු යි මිහිදිනී මිසු යි. මිහිදිනී මිස්ටත් ඉස්සෙල්ලා අපේ ඉස්කෝලෙට ආවෙ මිස්. අපි එතකොට 10 පන්තියෙ. අපිට උගන්නන්න ආපු පළවෙනි දවසෙ අපි කරපු දඟ වැඩවලට මිස් දක්වපු ප්‍රතිචාර දැකලා අපි හිතුවෙ මේ මිස් නං හරිම සැර කෙනෙක්නෙ කියලා. එදා අපේ පන්තියෙ එක කොල්ලෙක් කිව්වෙ කොච්චි මිරිස් කරලක්නෙ බන් අපිට ඉංග්‍රීසිවලට එවලා තියෙන්නෙ කියලා. එදා මන් මුළු දවසෙම ගෙදර ගිහින් මහන්සි උනේ කොච්චි මිරිස්වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක් ද කියලා දැන ගන්න. හැබැයි මිස් ඒ හොඳ දේකට නං නෙමෙයි. ඒකෙන් මිස්ට නමක් දාන්න. පහුවදා පන්තියෙ යාළුවන්ගෙන් ඇහුවත් ඒ කවුරුවත් ඒකට කියන ඉංග්‍රීසි වචනෙ දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සෙ අපි තීරණය කළා මිස් හම්බ වෙලා ඒක මිස්ගෙන් ම අහගෙන ඒකෙන් ම දානවා මිස්ට නමක් කියලා. වැඩේ කියන්නෙ ඒක දැන ගන්න මිස් ව හම්බ වෙන්න යන්න ඕනෙ මම යි කියන එක පන්තියෙ ඒකමතික තීරණය උනා. මන් ඉතින් වීරයා වගේ ඒක බාරගෙන මිස් ව හම්බ වෙන්න ආවා. මට අද වගේ මතකයි ඒ වෙලාවෙ ගුරු විවේකාගාරෙ හිටියෙ නදී මිසු යි මිසු යි විතරයි. නදී මිස් කියන්නෙත් අපිට ගොඩක් ආදරේ කරපු අපෙත් ආදරේ දිනා ගත්ත ගුරුවරියක්. මාව දැකපු නදී මිස් මොකෝ සකුණි මේ පැත්තෙ මොකක් හරි තක්කඩිකමකටවත් ද කියලා හිනාවෙවී ඇහැව්වා. ඒ වෙලාවෙ මන් කිව්වෙ මන් මේ අපේ අලුත් ඉංග්‍රීසි හම්බ වෙන්න යි ආවෙ කියලා නදී මිස්ට කිව්වා. ඒ වෙලාවෙ නදී මිස් කිව්වා රේණු, මේ ළමයා ඔයා හම්බ වෙන්නයි ඇවිත් ඉන්නෙ කියලා. ඒ වෙලාවෙ මිස් ඉඳන් හිටපු පුටුවෙන් නැගිටලා ඇවිත් මොකෝ පැටියො මොකක් ද මගෙන් කෙරෙන්න ඕනෙ කියලා බොහොම ආදරේකින් මගෙ අත් දෙක අල්ල ගත්තා. එදා වෙනකං අපි දැනන් හිටියෙ ගුරුවරු එනකොට නැගිටින ශිෂ්‍යයො ගැන මිසක් ශිෂ්‍යයො එනකොට නැගිටින ගුරුවරු ගැන නෙමෙයි. මට එදා උන් හිටි තැන් අමතක උනා මිස්. අනේ අපි මේ මිස්ට නේද නමක් දාන්න හිතුවෙ කියන හැඟීමත් හිතට ආවා. මන් කතා කරගන්න විදිහක් නැතුව ඉන්න කොට මිස් ම කතා කළා. ඇයි පුතේ ප්‍රශ්නයක් ද කියලා ඇහැව්වා. අපි නම් දාන්න ප්ලෑන් කරපු මිස් මුලින් පැටියො කියලා ඊට පස්සෙ පුතේ කියලා කතා කරන කොට මට ඒක දරාගන්න බැරි උනා. මිස් කළේ ඒ ළඟම තියෙන පුටුවක වාඩි කරලා ඇයි දුවේ ඔයාට ප්‍රශ්නයක් ද කියලා අහන එක. මට ඒ වෙලාවෙ කියන්න හිතුණෙ මන් ආවෙ හරිම නරක වැඩකට. ඒක නිසා දැන් මට ගහගෙන ගහගෙන යන්න මිස් කියලා කියන්න. ඒ උනාට ඒ වෙලාවෙ ඒ වචන මගෙන් පිට උනේ නැහැ. ඒ වෙලාවෙ මිස් මගෙන් ඇහැව්වා ඇයි පුතේ ඔයා මේ අඬන්නෙ කියලා. මිස්ට මතක ද දන්නෙ නැහැ මන් එදා කියපු වචන. මන් අඬ අඬා කිව්වෙ සැරයි කියලා හිතාගෙන හිටපු මිස්ගෙ කරුණාවන්තකමට මිස් මට ඇඬෙන්නෙ කියලා. එහෙම කියලා මන් මිස්ට වැඳලා එතනින් නැගිටලා දිව්වා මිස් පුදුම වෙලා වගේ බලා ඉඳිද්දී.” 

“මට හොඳට මතකයි පුතේ ඒ දවස. ඊට පස්සෙ ඔයා පන්තියට ගිහින් ඒ මිස් හරි ආදරෙන් කතා කළේ කියලා මුළු පන්තිය ම වෙනස් කරලා තිබුණා. ඉස්කෝලෙ ම ඉන්න තගයො කියලා හංවඩු ගහලා හිටපු ඒ දඟයො කණ්ඩායමනෙ දැන් එක එක්කෙනා ඇවිත් මට වැඳලා ගියේ කියලා ඒ වෙලාවෙ මන් කිව්වා.” 

“හරි පුදුම ළමයෙක් තමයි අක්කෙ ඔය සකුණි නේද?”

“ඔයගොල්ල දන්නව ද මේ කෙල්ල ඊට පස්සෙ කරපු දේයි කියපු දේයි. මට මිස්ට හතරපාරක් වඳින්න ඕනෙයි කිව්වා. ඒ වෙලාවෙ මන් කිව්වා කෙල්ලෙ ඔයා ඉතින් මට ආපු ගමනුත් වැන්දනෙ ඉතින් ඒ මදි ද කියලා ඇහැව්වා. මිස් ඉස්සෙල්ලා මට වඳින්න දෙන්න, ඊට පස්සෙ මන් මන් ඒකෙ තේරුම කියන්නං කියලා. මන් ඒ දරුවගේ හැඟීමට ඉඩ දුන්නා. මේ ළමයා හරිම හැඟීමකින් මගෙ කකුල් දෙක අල්ලලා වැන්දා. ඊට පස්සෙ ඒ විදිහටම දෙවෙනි සැරේටත් තුන්වෙනි සැරේටත් හතරවෙනි සැරේටත් වැන්දා. මන් කිව්වා දැන්වත් මට කියලා දෙනවද ඔයා ඔය තරන් ආදරේකින් මට හතර සැරයක් ම වැන්දෙ ඇයි කියලා මන් ඇහැව්වා.” 

“මොකක් ද අපේ සකුණි දුන්න උත්තරේ අක්කෙ.”

“මේ කෙල්ල කියනවා ඒ වෙලාවෙ මන් මිස්ට වැන්දෙ එක සැරය යි කියලා. එතකොට මන් ඇහැව්වා එහෙනං දැන් හතර සැරයක් වැන්දෙ ඇයි කියලා. ඒකට මේ කෙල්ල දුන්නෙ මහ පුදුම උත්තරයක්.”

“මන් පළවෙනි සැරේ වැන්දෙ මිස් වගේ සාධාරණය වෙනුවෙන් අයුක්තියට විරුද්ධ ව පෙනී හිටින්න පුළුවන් හොඳ දුවෙක් හදපු තාත්තට. දෙවෙනියට වැන්දෙ මිස් වගේ කරුණාවන්ත හදවතක් තියෙන දුවක් මේ ලෝකෙට උත්පාද කරපු අර අතන ඉන්න මිස්ගෙ අම්මට. තුන්වෙනි වැඳීම අයිති මිස් වගේ ප්‍රඥාවන්ත ගුරුවරියක් අපිට දුන්න, මිස්ට මොන්ටිසෝරියකදි හරි ඉස්කෝලෙකදි හරි විශ්වවිද්‍යාලෙ දි හරි උගන්නපු ඔක්කොම ගුරුවරුන්ට. හරි ඒ ඔක්කොම හරියි කියමුකො කියලා මන් කියන කොට මේ කෙල්ල මට කිව්වෙ ඒ ඔක්කොම හරියි කියන්න දෙයක් නෑ මිස් ඒ ඔක්කොම හරි තමයි කියල යි.”

“ඉතින් කෙල්ල ඔයාට කිව්ව ද ඒ අන්තිම වැඳීම කාට ද කියලත්.” 

“කිව්වා නංගියෙ. ඒක කිව්වෙත් මහ අමුතුම විදිහකට. ඒ වැඳීම නං ඉතින් වෙන කාටවත් නෙමෙයි අපේ මේ හොඳම හොඳ මිස්ට කියලා ආයෙත් සැරයක් මාව ඉඹලා ගිහින් එකට ආපු යාළුවන්ට එකතු උනා.”

“මන් ඔය කෙල්ලව දන්නෙ අද ඊයෙක ඉඳලා නෙමෙයි මිස්. ඔය ළමයගෙ තාත්තා නැති වෙන්නෙ එයා අවුරුදු තුනක හතරක පුංචි දැරිවියක් ව ඉන්න කාලෙ පපුවෙ අමාරුවකින්. එතකොට එයාගෙ මල්ලි කිරි බොන වයසෙ ළමයා.” 

“ඒ මහතුන් අය්යෙ අර නමේ පන්තියෙ ඉන්න සසිල නේද? ඒකත් හරි සීදේවි කොල්ලා.”

“අපරාදෙ කියන්න බැහැ. ඔය දැන් අපිට හම්බ වෙච්ච කුමාරි අක්කා ඒ කියන්නෙ මේ සකුණිලගෙ අම්මා බොහොම දහිරිය දාලා ළමයි දෙන්නව හදා ගත්තා. ඒ අක්කව කසාද බැඳගන්න කැමති වෙලත් කීප දෙනෙක් ම හිටියා. ඒත් කුමාරි අක්කා නෙමෙයි ඒ එකකටවත් කැමති උනේ. එයා ඒ අයට කිව්වෙ තාත්තා නැති වෙච්ච මේ කිරි සප්පයො දෙන්නට මන් අම්මවත් නැති කරන්න ලෑස්ති නැහැ කියලයි.”

“ඒක ගොඩක් දුරට හිතලා බලලා කියපු කියමනක් කියලයි මට හිතෙන්නෙ.”

“මිහිදිනී මිස් හරි ඒක ගොඩක් දුරට හිතලා බලපු කියමනක් බව ඔප්පු වෙන්නෙ කුමාරි අක්කා දිගින් දිගටම හැසිරිචච් විදිහත් එක්ක. අර කුමාරි අක්කව දරුවො දෙන්නත් එක්ක බාර ගන්න කැමති වෙච්ච අය අතරෙ හිටියා ඒ ගොල්ලන්ගෙ ඥාති සහෝදරයෙකුත්. එයත් කුමාරි අක්කට සමාන අද්දැකීමක් ලබපු කෙනෙක්. එයාගෙ නෝනා මැරුණෙ පිළිකාවකින්. ඒ ගොල්ලන්ටත් දරුවො දෙන්නයි. මටත් දුරින් නෑ වෙනවා ඒ අය්යව. එයා නරක කෙනෙකුත් නෙමේ. මේ පවුල් දෙකේ අයට ම ඕන උනා ඒ අය්යයි කුමාරි අක්කයි සම්බන්ධ කරන්න. ඒත් කුමාරි අක්කා ඒකට කැමති වෙලා තිබුණෙ නැහැ. මගෙ ඥාති සහෝදරයා අවංකවම විශ්වාස කළා එයයි කුමාරියි දෙන්න එකතු උනොත් දරුවො හතර දෙනාටම තියෙනවට වඩා වැඩි හොඳ කලක් යාවි කියන එක. ඒක නිසා එයත් කෙළින්ම ගිහින් කුමාරි අක්කත් එක්ක ඒ ගැන කතා කරලා තිබුණා. මට පස්සෙ කාලෙක ඒ විස්තර කිව්වෙත් ඒ අය්යම තමයි. ඒ ගොල්ලන්ගෙ ළමයි දෙන්න එන්නෙත් අපේ නාගොල්ලාගම ඉස්කෝලෙටම තමයි.”

“මොකක් ද මහතුන් අය්යෙ සකුණිගෙ අම්මා ඒ අය්යට කියලා තිබුණෙ.”

“ඒක කියන්න ඉස්සෙල්ලා මන් කියන්න ඕනෙ ඒ අය්යා කුමාරි අක්කට කියපු දේ. එයා අහලා තිබුණා කුමාරි අපි එකම ගමේ අය. අපි දෙන්නම එකම ගමේ ඉපදිච්ච පුංචිකාලෙ ඉඳලම දන්න කියන උදවිය. ඔයාට සනත් අය්යා නැති උනා. මට මගෙ ඉන්දු නැති උනා. හැබැයි මේ දෙන්න ම ගියේ අපි දෙන්න ළඟ දරුවො දෙන්න දෙන්න ඉතිරි කරලා. කුමාරි ඔයා මේ දරුවො හතර දෙනාට අම්මා වෙන්න. මන් මේ හතර දෙනාටම තාත්තා වෙන්නං කියලා, කියලා තිබුණා. විශ්වාස කරන්ඩ අපේ මේ මිස්ලා දෙන්නයි අපේ සර්රුයි මේ කුමාරි අක්කා ඒකට දීති තිබ්බෙ ඒ තත්වෙට පත් වෙච්ච ගෑනියක් සාමාන්‍යයෙන් දෙන උත්තරේ නෙමෙයි.”

“මොකක් ද මහතුන් අය්යෙ සකුණිලගෙ අම්මා ඒකට කියලා තිබුණෙ.” 

“එයා විවෘතව එයාගෙ අදහස අර අය්යට කියලා තිබුණා. හරි දැන් අපි එක ගෙදරකට උනයි කියමුකො. එතකොට මන් මගෙ දරුවො දෙන්නගෙ අම්මා වෙනවට අමතරව අය්යගෙ දරුවො දෙන්නටත් අම්මා උනා කියලා හිතමුකො. ඒ වගෙම අය්යත් තමන්ගෙ දරුවො දෙන්නට අමතරව මගෙ දරුවො දෙන්නට තාත්තා උනැයි කියලත් හිතමුකො. ඔන්න ඔයාගෙ දරුවෙක් මගෙ දරුවෙකුට කරන වැරැද්දක් දැකලා මට කේන්ති ගිහින් මන් ඒ දරුවට ගහනවා. එතකොට අය්යෙ ඔයාට මාව පේන්න ගන්නෙ ඒ දරුවන්ගෙ අම්මා හැටියට නෙමෙයි කුඩම්මා හැටියට. ඒ වෙලාවෙ ඒ අය්යා කියලා තිබුණා ඉතින් නංගි මන් ඒක අම්මා දරුවන්ගෙ වැරැද්දක් හදා ගන්න දීපු දඬුවමක් කියලා බාර ගන්නං කියලා කිව්වහම කුමාරි අක්කා ඒකට දීලා තිබුණෙත් අපූරු උත්තරයක්. ඒ උනාට අය්යෙ ඇත්ත ජීවිතේ ඇතුළෙ ඔයා ඔය කියන තරන් ඒක සරල නැහැ කියපු අක්කා එයාට මෙහෙමත් කියලා තිබුණා.”

“කතා කරන්න මහතුන් අය්යෙ මමත් හරි ඕනෑකමකින් ඔය කතාව අහගෙන ඉන්නෙ.”

මහතුන් මොහොතකට නිහඬ වූ බැවින් රේණු පැවසුවා ය. සිය වතුර බෝතලය රැගෙන උගුර කට තෙමා ගත් මහතුන් නැවත කතාව ආරම්භ කෙළේ ය.

“ඒ වෙලාවෙ කුමාරි අක්කා කියලා තිබුණෙ මගෙ දරුවො දෙන්නට ඔයා අත තිබ්බොත් මට නං ඔයාව දරුවන්ගෙ තාත්තා හැටියට නෙමෙයි දරුවන්ට ආදරේ නැති අකාරුණික බාප්පා හැටියට පේන්න ගනීවි කියලයි. ඒ විතරක් නෙමෙයි එයා අර අය්යගෙන් තවත් ප්‍රශ්නයක් අහලා තිබුණා. හොඳයි අපි දෙන්න විවාහ උනාට පස්සෙ අපි දෙන්නටත් දරුවො දෙන්නෙක් ලැබෙනවා. දැන් ගෙදර දරුවො හය දෙනයි. ඔයාගෙ දරුවො දෙන්නා මගෙ දරුවො දෙන්නා අපි දෙන්නගෙ දරුවො දෙන්නා. ඒක මට නං හිතා ගන්නවත් බැරි තරමෙ සංකීර්ණ තත්වයක්. අනේ අය්යෙ අපි මේ පුළුවන් හැටියට අපේ දරුවො හදා ගම්මු. කොහොමටත් මන් කැමති නෑ අපේ මේ තියෙන සහෝදරකමුත් නැති වෙන දේවල්වලට කියලා අර අය්යට වැඳලා කියලා තිබුණා.”

“ඉතින් අර සහෝදරයා පිළිගත්ත ද ඒක.”

“ඔව් මිස් පිළිගත්ත. ඒ අය්යම කියපු හැටියට එදා ඒ අය්යා ඇවිත් තිබුණෙ තමන්ට වඩා වයසින් බාල රේණු අක්කට වැඳලා නංගි උඹ අද මට ලෝකය දකින්න ඇහක් දුන්නා. මමත් මගෙ දරුවො දෙන්න හදාගන්න ඕන විදිහ මොකක් ද කියන එක මටම තේරුන් ගන්න සැලැස්සුවා. හැබැයි නංගි මට එක උදව්වවක්  විතරක් කරපන්. උඹේ හරි මේ දරුවො දෙන්නගෙයි හරි වැඩකදි උඹේ සහෝදරයෙක් විදිහට මේ දරුවො දෙන්නට ආදරේ තියෙන මාමා කෙනෙක් විදිහට උඹලට මට පුළුවන් පුංචි හරි උදව්ව කරන්න ඉඩ දීපන්. එහෙම කියලා එයා එතනින් ඇවිත් තිබුණා.”

“එතකොට ඒ අය්යා ඊට පස්සෙ මොකක් ද කළේ.”

ඒ ප්‍රශ්නය මිහිදිනීගෙනි.

“එයත් ආයි කසාද හොයන්න ගියේ නැහැ. දරුවො දෙන්නට උගන්නගෙන තමන්ගෙ ගොවිතැන් වැඩත් පුළු පුළුවන් විදිහට දරුවන්ටත් හුරු කරලා ලස්සනට ජීවත් වෙනවා.”

“ඔයාලගෙ කුමාරි අක්කා අදහන්න වටින ගෑනියක් නං ඔය කියන අය්යා අදහන්න වටින පිරිමියෙක්නෙ මහතුන් අය්යා. ඔයා කියන්ඩ කැමතිනං විතරක් කියන්ඩ ඒ කවුද කියලා අපිත් කැමතියි එහෙම මිනිස්සුන්ව අඳුනගන්ඩ.”

“මිස්ලට සර්ලට කිව්වට ඉතින් වරදක් නෑ. මන් හිතන්නෙ මේ දෙන්නම හොඳට දන්න ළමයි. 12  පන්තියක ඉගෙන ගන්න චරිත් එක්කෙනෙක්. මට මතක හැටියට පොඩ්ඩා 10 නැත්තං 11 පන්තියක ඉගෙන ගන්නෙ. එයා සරිත්.” 

“මේ අපි හොඳටම දන්න කොල්ලො දෙන්නෙක්නෙ නංගි. වැඩේ කියන්නෙ ඔය චරිත් මන් බාරව ඉන්න පන්තියෙ. ඔය ඉස්කෝලෙම ඉන්න වොලිබෝල් සූරයනෙ. ඒ වගෙම එයා ශිෂ්‍ය නායකයෙක්. සරිත් හොඳට ම දන්නෙ ගඟුල් තමයි.”

“ඔව් රේණු අක්කෙ, ඔය සරිත් කියන්නෙ පුංචි උනාට හොඳ කවියෙක්. ඒ වගෙම තමයි ඉගෙන ගන්නත් දක්ෂයි. දවසක මගෙන් අහනවා සර් මේ සිංහලෙන් වගේ මට කවදා හරි ඉංග්‍රීසියෙනුත් කවි ලියන්න බැරි ද කියලා. මන් කිව්වෙ මොකෝ පුතා බැරි ඔය කොයි බාසාවෙන් හරි දැන් කවි ලියන අය  ඒ දැනුම උපතින් අරන් ආවෙ නැහැ කියලා. මන් කොහොමත් ඒ දරුවව ඔය දෙන්නට යොමු කරන්න තමයි හිටියෙ.”

“ගඟුල් සර් මේ කියන්නෙ හැම තිස්සෙම සර් සර් කිය කිය ඔයාගෙ පස්සෙන් එන බටු ඇටේ නේද?”

“අන්න හරි ඒ ළමයා තමයි සරිත් කියන්නෙ.”

අනතුරුව කතාව යොමු වූයේ සකුණි දෙසට ය. එවර කතාව ආරම්භ කෙළේ රේණු ය.

 “ඔය සකුණි හරි විවෘත කෙල්ලක්. හිටපු ගමන් අර එක පාරට ම කියලා දාලා දේවල් නිසා සමහර ගුරුවරු පවා එයාව අඳුන ගත්තෙ මහ නැහැදිච්ච කෙල්ලෙක් විදිහට. ඒ අයට කියව ගන්න බැරි උනා මේ කෙල්ල තුළ ජීවත් වෙන හැදිච්ච කෙල්ල. මතුපිටින් විතරක් විනය පෙන්නන අය විනයගරුකම ශිෂ්‍යයා ශිෂ්‍යාව කියලා හඳුන්නන අතරෙ මේ කෙල්ලව දාලා තිබුණෙ ඒකෙ ඔපසිට් එකට. නංගිට මතක ඇති මේ ගඟුල් මල්ලි එන්න අවුරුද්දකට විතර කලින් දවසක ඔයා ආපු අලුත ස්ටාෆ් රූම් එකේදි ඔය කෙල්ල මුල් කරගෙන ඇතිවෙච්ච කතාවකදි මට ටිකක් සැරෙන් කතා කරන්න උනා.”

“ඒක හොඳ ටික සැර. මමත් එදානෙ රේණු අක්කා කියන්නෙ කවුද කියලා හරියට ම අඳුර ගත්තෙ. එතකොට සකුණි හිටියෙ දහයෙ පන්තියෙ. මොකක් හරි පොදුවෙ ඒ පන්තියෙ ළමයින්ගෙන් වෙච්ච වැරැද්දක සම්පූර්ණ වගකීම සකුණිට දාලා කතා කරන කොට එදා එතන හිටපු ගුරුවරුන්ගෙන් ඒ කෙල්ල වෙනුවෙන් කතා කළේ අපේ මේ අක්ක විතර යි. අක්කා එදා පරලා වෙලා වගේ කතා කළේ. ඇත්තම කියන්න එදා මමත් රේණු අක්කට ටිකක් බය උනා. මට හිතුණෙ මෙයා එක්ක වැඩ කරන එකනං ලේසි වෙන එකක් නෑ කියල යි.”

“අන්තිමට එහෙම හිතපු උඹ මන් ඉන්න නවාතැනට ම ඇවිත් පැළපදියන් උනා. දැන් මෙයාව මට දුම්මල ගහලාවත් එලෝ ගන්න බැරි සයිස් එකක් තියෙන්නෙ. හැබැයි එක විදිහක් නං තියෙනවා. ඒත් ඒක  ඉතින් කවදා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද කියලා දැන්ම කියන්ඩ බෑ නේද ගඟුල් මල්ලි.”

රේණු අවසන් වැකිය කීවේ යටැසින් මිහිදිනී දෙස බලා ගඟුල් දෙසට හැරෙමිනි.

“මොකක් ද මොකක් ද මිස් ඒ කතන්දරේ.”

“මෙහෙමනෙ මහතුන් අය්යා දැන් අපි ඔය කතන්දර කියන ජාතිවලට ආරම්භයක් මැදක් අවසානයක් තියෙනවා නේද?” 

“ඔව් මිස් එහෙම තියෙනවා. එතකොට අර ඉස්සෙල්ලා මිස් කියපු කතාවෙයි ඔය කතන්දර කියන ජාතියයි අතර තියෙන සම්බන්ධෙ.”

“තියෙනවා තියෙනවා මේක මේ ඒ කතාවෙ උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් යන ලස්සන ම ලස්සන කතාවක්. හැබැයි තවම ආරම්භෙ විතරයි.”   

“හරි මිස් හරි මිස් දැන්නෙ මට තේරුණෙ දැන් තමයි උනේ. හැබැයි මිස් කාරණේ ඇත්තක් නං ඒක හැම මුවකින් ම කතා කරන්න ඕන කතන්දරයක් ම තමයි. අර මිස් කිව්ව වගේ මිස් දුම්මල ගහලා එලෙව්වත් සිද්ධ වෙන්නෙ ආදරණීය නැවතුම්පලකින් ආදරණීය ම නවාතැන්පොළකට යන එකනෙ.”

මේ අවස්ථාවේ ගඟුල් සිටියේ කියන කිසිවක් නොඇසෙන ගාණට ය. මිහිදිනී ද සිනාසෙමින් රිය පැදවූවා මිස ඊට පිළිතුරු දීමට නොගියා ය. එහෙත් ඇය මාතෘකාව වෙනත් තැනකට මාරුකිරීමෙහි ලා ව්‍යාපෘත වූවා ය.

“රේණු අක්කෙ, ඇයි ඔයා එදා ඒ තරම්ම කේන්තියකින් කතා කළේ. කෙනෙකුට පුදුම හිතෙන තරං හැඟීමකින්නෙ ඒ ළමයා වෙනුවෙන් පෙනී හිටියෙ.”

“ඒ අර වැඩිහිටි ගුරුවරිය බැන්නෙ මේ ළමයගෙ හරි අනිත් ළමයින්ගෙ වැරැද්දකට නොවන නිසා. එදා මතක ද නංගි ඒ ටීචර් කිව්වා එක අතකට අප්පා නැතුව හැදෙන ගෙදරින් ගෙදරට යන පත්තිනි අම්මා කියලා හිතාගෙන ඉන්න ඒ උනාට එහෙම නොවිච්ච අම්මණ්ඩියෙක් ඉන්න දුවෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ තමයි කියලා. මට ඒ කතාවට තමයි මහතුන් අය්යෙ හුඟක් ම  කේන්ති ගියේ. තාත්තා කෙනෙක් අහිමි වීම දරුවෙක්ගෙ වරදක් ද ඒ වගෙම සකුණි කියන්නෙ තාත්තා නැතුව හැදෙන එකම ළමය ද? ඒ වගෙම මන් දැනන් හිටියා සකුණිගෙ අම්මා මේ පැත්තෙ පොල්වතු තියෙන ගෙවල් තුනක වැඩට යන බව. ඒක නිසා තමයි ඒ මනුස්සයව ගෙයින් ගෙයට හුවමාරු කරගන්න භාණ්ඩයක් ගාණට දාලා කතා කරන කොට මට කේන්ති ගියේ.”

“අම්මෝ එදා මේ රේණු අක්කා කියපු ජාති. මුලින් ම අක්කා පත්තිනි අම්මගෙන් සමාව ඉල්ලුවා. පත්තිනි අම්මෙ මන් මේ වෙලාවෙ ඔයා කොච්චරක්නං හොඳ උනත් ඔයාගෙ ඒ හොඳ නමම අරගෙන මේ සමාජෙ  ජීවත් වෙන සමහරු තවත් කෙනෙකුට පහර ගහන්න පාවිච්චි කරනවා. අන්න ඒ සමාජ භාවිතාව ගැනත් හිතල යි දැන් මන් ඔබතුමීගෙ නම පාවිච්චි කරන්නෙ කියලා කිව්වා නේද අර ටීචර්ව නිල්වෙලා යන ජාතියෙ කතාවක්.”

“ඈ මිහිදිනී මිස් මන් අහලා තිබුණෙ නිල් වෙන්ඩ ගහනවා මිසක් නිල් වෙන්ඩ කතා කියනවා කියලා නෙමෙයි. කියන්ඩකො මිස් අපිවත් නිල් වෙන්ඩ ඒ කතාව.”

“නෑ නෑ මහතුන් අය්යා කොහොමත් ඒ නිල් වෙන්ඩ ගහන අයටවත් නිල් වෙන්ඩ කතා අහන අයටවත් අයිති නෑ. ඒක නිසා ඒවට අයිති නැති තැන ඉඳගෙනම මේ කතාව ඇහැව්වහම ඇති. ඒ වගෙම මේ මන් මේ කතා කරන්නෙ තාගෝර් කියන මහා සාහිත්‍යකරුවා ගොඩක් හැඟීමෙන් කතා කරපු නිල් පාට ගැනත් නෙමෙයි.” 

“ඉතින් කියලා දාපන් ඔය කතාව. තව පොඩ්ඩ දුරනෙ තියෙන්නෙ අපේ ස්නේහප්‍රදාවට.”   

“ස්නේහප්‍රදාවට.”

මහතුන් ඇසුවේ ඒ කියූ දේ ඔහුට තේරුම් නොගිය බැවිනි.

“මහතුන් අය්යෙ, ඒ කතාව වෙනම කතාවක්. ඒක ස්නෙහප්‍රදාවට ගියාට පස්සෙ අපේ මිහිදිනී නගාගෙ හිතෙන් ආදරය දාලා, අතින් සීනි තේ කිරි දාලා අපිට හදලා දේවි කියලා හිතෙන තේක බිව්වට පස්සෙ හරි වෙන දවසක දි හරි විස්තර ඇතුව කියන්නං. දැන් අර මිහිදිනීගේ නිල් කතාවට අවසරයි.”

“එදා රේණු අක්කා අර විදිහට පත්තිනි මෑණියන්ගෙන් අවසර එහෙම අරගෙන කියනවා. ඔය ගෙයින් ගෙයට යනවා කියලා ගෙදරම ඉන්න තමන් පත්තිනි අම්මටත් වඩා ශ්‍රේෂ්ඨ අම්මා කෙනෙක් ය කියලා හිතාගෙන ඉන්න සමහර අම්මලට නම් නැහැදිච්ච එපා කරපු නොසණ්ඩාල දරුවො ඉන්න බව අපි දන්නවා කියලා කියාපි.”

“ඉතින් ඊට පස්සෙ මොකද උනේ.”

“ඊට පස්සෙ ද අර ටීචර් ඉඳන් හිටපු පුටුවත් පෙරළගෙන නැගිටලා මේ රේණු අක්කට විතරක් නෙමෙයි අපිටත් රවලා හරි ඉක්මණින් එතනින් යන්න ගියා.”

“කවුද රේණු මිස් ඒ ටීචර්.”

“ඇයි මහතුන් අය්යෙ ඒ ටීචර්ගෙ අතීත කර්මෙට වර්තමානෙද්ි දඬුවං දෙන්න ද?”

“නෑ මිස් එහෙම දෙයකට නෙමෙයි දැන ගන්න. දැනගෙන අපිත් පරිස්සං වෙලා අපේ ළමයිනුත් පරිස්සං කරගන්න.”

“ඒ ටීචර් දැන් නැහැ මහතුන් අය්යෙ.”

“ඒ ටීචර් නැති වෙලා ද?”

“ඔව් ඒ ටීචර් නැති උනා. දැන් ඒ ටීචර් වෙනුවට ඉන්නෙ සකුණි විතරක් නෙමෙයි මුළු ශිෂ්‍ය පරම්පරාවක් වෙනුවෙන් වැඩ කරන ටීචර් කෙනෙක්. මගෙ තාත්තා නැති වෙච්ච වෙලාවෙ ආරංචිය ලැබිච්ච ගමනුත් ආව සකුණිලා ඇතුළු ළමයි කණ්ඩායමක් අරගෙන විදුහල්පතිතුමත් එක්ක අපේ ගෙදෙට්ට ආව ටීචර් කෙනෙක්. ළමයි ආදරේ කරන ළමයින්ට ආදරේ කරන ටීචර් කෙනෙක්.”

“මට රේණු මිස්ගෙ කතාව ටිකක් තේරුන් ගන්න අමාරුයි.”    

“සාමාන්‍ය සමාජය භාවිතා කරන අර්ථෙන් නං මේ එක්කෙනාම තමයි මහතුන් අය්යෙ. ඒත් අපි අමතක කරන්න නරකයි මනුස්සයා කියන්නෙ ඕනෑම මොහොතක හදවතේ වෙනසක් ඇති කරගන්න කෙනෙක් කියන එක. කොයියම් මොහොතක හරි ඇතිවන ක්ෂණික ආලෝකයක් නිසා කෙනෙක් වෙනස් වෙන්ඩ පුළුවන්. ඒ වගෙ මේ කියන මිසුත් වෙනස් උනා. ඒක නිසයි මන් කිව්වෙ නම කියලා වැඩක් නැහැ කියලා. මොකද ඒ දවස්වල ඒ නම කියපු ගමන් බොහෝ දෙනාගෙ හිත්වල ඇඳිච්ච රූපයට සපුරා වෙනස් රූපයක් ඒ නමින් ම දැනුත් පෙනී ඉන්න ඒ මිස්ගෙන් දැන් පිළිබිඹු වෙන නිසා.”

“මට කාරණේ හොඳින් ම තේරුණා මිස්. මන් දැන් ඒ මිස් කවු ද කියලත් දන්නවා. මොකද ඔය කියන මිස්ගෙන් මම ඉගෙන ගෙනත් තියෙනවා, ගුටි කාලත් තියෙනවා. මේ අද වෙන කන් මන් ඒ මිස් දිහා   බලලා තියෙන්නෙ ම අතීතෙන් අරන් ආපු පාට කණ්ණාඩියක් දාගෙන. රේණු මිස්ට ගොඩක් පින් අද ඉඳලා ඒ මිස් දිහා බලන්න මට ඇහැක් දුන්නට.”  

අනතුරුව මිහිදිනී ත්‍රීවීලරය හැරවූයේ තමාගේ මෙන් ම රේණුගෙ නවාතැන්පොළ දෙසට විහිදෙන අතුරු මාවතට යි. මහතුන් අදිටන් කොට ගත්තේ පෙරළා ඒමට පෙර රේණු ගුරුතුමිය පැවසූ ස්නේහප්‍රදාව හා බැඳුණු කතාව ද දැන ගැනීමට ය.

නොබෝ වෙලාවකින් මිහිදිනී ත්‍රීවීලරය සිය නවාතැන ඉදිරිපිට නතර කළා ය. එහි හඬ අසා පළමු ව එළියට පැමිණියේ එහි වෙසෙන මැදිවියේ අඹුසැමි යුවළින් ස්වාමියා ය. ඒ මොහොතේ ම රිය හඬ අසා ඔහුගේ බිරිඳ ද එළියට පැමිණියා ය. ඔවුන් අතුරින් පළමු ව කතා කෙළේ ස්වාමියා ය.

“කවුද අප්පච්චියේ මේ අලුත් ඩ්‍රයිවර් නෝනා. කෝ අපේ රේණු දුව ආවේ නැද්ද?”

“ආවා ආවා අපේ රේණු දුව ආවා. බලන්ඩකො සඳසීලි නැන්දේ අපේ නන්දසිරි මාම අහන්නේ අපේ රේණු දුව ගැන විතරයි. මේ හොඳට ඉන්න මේ දුවව පේන්නෑ. අපි අනුන්ගෙ දුවලා කියලා හිතන හින්දා වෙන්ඩ ඇති ඔය.”

“අප්පච්චියේ ඒකට මේ ළමයා කියපු ටික. හරි හරි ඔන්න මන් දැන් වැරැද්ද නිවැරදි කරනවා. අපේ මිහිදිනී දුව තමයි ඉස්සෙල්ලම ආවේ.”

මේ අතර රේණු රියෙන් බැසි අතර ගඟුල් සහ මහතුන් ගුරු යුවතියන් දෙදෙනාගේ බෑග් දෙක ගෙනැවිත් ආලින්දයෙන් තැබූහ.

“දුවේ තාත්තගෙ දානමාන කටයුතුත් හොඳින් සිද්ධ උනා නේද? අපි දෙන්න ඉතින් මළ ගෙදරට ආවට අපිට පුළුවන්කමක් ලැබුණෙ නැහැනෙ පින්කමට එන්න.”

“නෑ නැන්දෙ ඒ කටයුතු බොහොම සරල ව චාමෙට සිද්ධ කළා. නැන්දලා ඉතින් මාව බලාගන්න පින්කම හොඳින් ම කරනවනෙ. තාත්තත් හරි කැමැත්තෙන්නෙ හිටියෙ මන් මෙහෙ නතර වීම ගැන.”

“මහතුන් මල්ලි ගඟුල් පුතා දෙන්නම ඉඳගන්නකො. සඳසීල,ි අපි හදමු මේ ඔක්කොටම හොඳ රස්නෙට තේ ටිකක්.”  

ආලින්දයේ ඉඳගත් ඕනෑම කෙනෙකුට ඈතින් දැකගත හැකි වන්නේ උස් ද නොවන මුත් පහත ද නොවන මධ්‍යම ප්‍රමාණයේ කඳු පන්තියකි. කුරුණෑගල යනු රුවන්පුර, බදුලු, නුවර, නුවරඑළිය පෙදෙස් මෙන් තුඟු කඳු ඇති දිස්ත්‍රික්කයක් නොවූවත් එය කඳු නැති පෙදෙසක් ද නොවේ. එම දිස්ත්‍රික්කයට හස්තිශෛලපුර යන අභිධානය ලැබී ඇත්තේ ද ප්‍රධාන නගරයේ සුපිහිටි ශ්‍රියාව ද සුන්දරත්වය ද මේ යැයි ප්‍රකාශයට පත් කරන අභිමානවත් උත්තුංග කඳුවැටිය හේතුවෙනි.

පැවැති නිහඬතාව නිමා කරමින් මහතුන් කතා කෙළේ ය. 

“රේණු මිස් කිව්වා නේද එන ගමන් ස්නේහප්‍රදාවට ගිය ගමන් අපේ මිහිදිනී මිස් හදලා දෙන රස තේකක් බිව්වට පස්සෙ ඒ නම ගැන පොඩි කතන්දරයක් කියන්නං කියලා. දැන් අපිට මිහිදිනී මිස් කෙසේ වෙතත් අපේ හොඳ හිතක් තියෙන සඳසීලි අක්කා හදලා දුන්නනෙ තේ. දැන් ඒක බීලත් ඉවරයි. දැන් ඉතින් අර කතාවට තමයි වෙලාව ලැබිලා තියෙන්නෙ.”

“හරි දැන් මිහිදිනී වෙනුවට සඳසීලි අක්කා තේ දුන්නා වගේ ඒ කතාවත් කියන්න හොඳම කෙනාට මන් ඒ වැඩේ පවරනවා. ගඟුල් උඹ දාපු කෑලිනෙ සමහර වෙලාවට අපි අපේ වගේ ඇදලා අරින්නෙ. කියපන් මල්ලි ස්නේහප්‍රදා කතාව.”

“රේණු අක්කෙ මන් හිතන්නෙ මන් කලිනුත් ඔය ගැන කලිනුත් කියලා තියෙනවා නේද?”

“හරි හරි කලින් කියලා තියෙනවා තමයි. ඒ අපිටනෙ. ඒ වෙලාවෙ එතැන මහතුන් අය්යා හිටියෙ නැහැනෙ. දැන් ඒක ගැන දැනගන්නත් ඕනෙ මහතුන් අය්යටනෙ. ඒක නිසා මන් මේ දැන් ඒ කතාව කීමේ සම්පූර්ණ අයිතිය සහ වගකීම උඹට පවරනවා.”

“මෙහෙමයි මහතුන් අය්යෙ, අපේ සර්ලගෙ යාළු දොස්තර මහත්තයෙක් ඉන්නව මහනුවර ඉස්පිරිතාලෙ වැඩ කරන ලලිත් විජේසිංහ කියලා. එයා හරි වෙනස් දොස්තර මහත්තයෙක්. එයා අධිකරණ වෛද්‍යවරයෙක් විදිහට ලබාපු අද්දැකීම් එකතු කරලා පොතක් ලිව්වා නෙත කියලා. ඒකට එක හැඳින්වීමක්  ලියලා තිබුණා අපේ සර්. මන් මහතුන් අය්යට ඒකෙ තියෙන දේවල් ගැන පොඩි අදහසක් ඇති කරගන්න ඒකෙ තියෙන එක කියමනක් විතරක් කියන්නං.”

වෙද නළාවට නොඇසෙන බොහෝ දේ හදවතට ඇසෙයි.

“මන් හිතන්නෙ ගඟුල් සර්, මට මේ කියන්න හදන්නෙ දොස්තර නලාවෙන් විතරක් නෙමෙයි මනුස්සකමේ නලාවෙනුත් මිනිස්සුන්ගෙ පපුව ගැහෙන හැටි අඳුනගත්ත දොස්තර මහත්තයෙක් ගැන නේද?”

“මහතුන් අය්යා මේ එහෙම දොස්තර කෙනෙක් තමයි. අර හිනාව දැක්කම ලෙඩ හොඳ වෙන ජාතියෙ දොස්තර කෙනෙක්. හිනාවෙන්න දන්න, විහිලු කරන්න දන්න අවශ්‍යම වෙලාවෙ සීරියස් ම විදිහට වැඩ කරන්නත් දන්න දොස්තර කෙනෙක්.”

“එතකොට අර ස්නේහප්‍රදා කියන නමයි අර දොස්තර මහත්තයි සර්ගෙ සර්රුයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක් ද?”  

“මෙහෙමයි මහතුන් අය්යෙ, මේ දොස්තර මහත්තයා පහුගිය කාලෙ එයාගෙ ගෙදර ප්‍රතිසංස්කරණ වගයක් කළා. අමුතු අමුතු විදිහෙ වෙනස්කම් ඒවා. ඩොක්ටර් කෙනෙකුට වඩා ආටිස්ට් කෙනෙකුගෙ ඇහෙන් බලලා තමයි ඒවා කරලා තිබුණෙ. මන් ශිෂ්‍යයා කාලෙ අපේ සර්ගෙ පවුලෙ කට්ටියත් එක්ක එහෙ ගිහින් තියෙන හින්දයි ඔය ගැන හොඳටම දන්නෙ.”

“එහෙනං ස්නේහප්‍රදා කියන්නෙ ඒ ගෙදර නම. ඒ නම දැම්මෙ සර්ගෙ සර්. ඒක කළේ අර දොස්තර මහත්තයගෙ ඉල්ලීමට. මන් හරිද ගඟුල් සර්.”

“මහතුන් අය්යා හරියටම හරිනෙ.”

“දැන් සර් මට කියන්නකො ස්නේහප්‍රදා කියන එකේ තේරුම.”

“ස්නේහ කියනවා සෙනෙහසට ආදරයට. ප්‍රදා කියන්නෙ විශේෂයෙන් දෙනවා කියන එක යි. ”  

“ඒ කියන්නෙ ආදරේ කරුණාව අඩුවක් නැති ව දෙන තැනට නේ ද ස්නේහප්‍රදා කියන්නෙ.”

“ඔය කිව්වෙ මහතුන් අය්යා හරියට ම.”

“ඒ කියන්නෙ මේ අපිට උනත් පුළුවන් ද දොස්තර මහත්තෙලගෙ ස්නේහප්‍රදාවෙන් ආදර කරුණාව ලබාගන්න.”

“මොකෝ බැරි. මිනිස්සු මිනිස්සුන්ගෙන් වෙන් කරන්න නෙමෙයි එකතු කරන්න වැඩ කරන, මත්ද්‍රව්‍යවලින්  හරි උගත්කමෙන් නිලයෙන් බලයෙන් ධනයෙන් හරි වෙනත් විදිහකට හරි මත් නොවෙච්ච ඕනෑම ගිහි පැවිදි චරිතෙකට දවසක් හරි දෙකක් හරි සතියක් හරි එහෙ නැවතිලා ලෝකෙට වැඩක් වෙන වැඩක් කරන්න පුළුවන්. හැබැයි මේක ගෙවීම් කරලා පවත්ත ගෙන යන ආයතනයකුත් නෙමෙයි. ඒක නිසා මහතුන් අය්යෙ, ඒත් යන අපි දැනගන්න ඕනෙ මේ වගෙ හොඳ වැඩක පැවැත්ම සහතික කරන්න අපිට කරන්න පුළුවන් පුංචි දේ හරි කරන්න. ඒ වගෙම තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි අපි කවුරු ගියත් අමතක කරන්න නරකයි, අපි මේ යන්නෙ දොස්තර මහත්තයයි එයාගෙ අම්මයි නංගියි නංගිගෙ මහත්තයයි ඒ දෙන්නගෙ පුතයි දුවයි කියන පස්දෙනා ජීවත් වෙන ගෙදරට බව. යන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෙ තමන් එහෙ ඉන්න කොට හදවතින් ම ඒ ගෙදර සාමාජිකයෙක් වෙන්න.”

“හරි මට තේරුණා ගඟුල් සර්. ඒ කියන්නෙ ස්නේහප්‍රදාවට යන කෙනෙක් ආත්මාර්ථකාමී නොවී ලෝකයට සෙනෙහස ප්‍රදානය කරන්න ඕන කෙනෙක් වෙන්න ඕනෙ කියන එකනෙ ඔය කියන්නෙ. එතකොට ඒ දොස්තර මහත්තය හිතාගෙන ඉන්න දේවල් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන විශේෂ වැඩ පිළිවෙළක් තියෙනව ද සර්.”  

“මන් එහෙ ගිය පළවෙනි දවසෙම ඒ ගෙදර හැමතැනම ඇවිදලා ඉවර වෙලා ඩොක්ටර් ලලිත්ගෙන් ඇහැව්වා ඔය මහතුන් අය්යා මගෙන් අහපු විදිහටම සර් ඇත්තටම මේ නමේ අර්ථෙ ක්‍රියාත්මක කරන්න හිතපු විශේෂ විදිහක් තියෙනව ද කියලා. ඉතින් ඒකට උත්තරේ විදිහට කිව්වෙ මන් ඔයාට ඉස්සෙල්ලා කියපු දේවල් ම තමයි. හැබැයි තව එක විශේෂ දෙයක් කිව්වා. ඒ තමයි මට අවශ්‍ය කරන්නෙ මෙතන හරි අමුතු තැනක් අමුතු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන තැනක් කියලා කවුරු හරි කියන එකනං නෙමෙයි. අවසාන අර්ථෙ දි වෙන්න ඕනෙ හැම ගෙදරක් ම ස්නේහප්‍රදායක ගෙදරක් වෙන එක. මුළු ජීවිත කාලෙ පුරාම බුදු හාමුදුරුවො අපට දුන්න ආදර්ශෙත් ඒක නේද? කොයි ශාස්තෘාන් වහන්සෙ උනත් වැඩ කළේ ඒ අරමුණින් නේද? ඇයි අපිට බැරි අපිට පුළුවන් තැනින් පටන් ගන්න. එහෙම කියලා ඒ ගෙදර ඉන්න තිසුක පුතාට කිව්වා මේ අය්යව ගේ ඇතුළ පෙන්නන්න එක්ක යන්න කියලා. ඒ පුතා විතරක් නෙමෙයි එහෙ ඉන්න පොඩි දුව තිසලිත් ආවත් මට උදව් වෙන්න.”

“ඉතින් ගඟුල් සර් මුළු ගේ පුරාම ඇවිද්ද ද තමන්ගෙ ගෙදර වගේ.”

“ඔව් මහතුන් අය්යෙ, මන් ඒ මුළු ගෙදර ම නිරීක්ෂණය කළා. අන්තිමට ඇවිදලා ඉවර වෙලා ඩොක්ටරුයි සර්රුයි කතා කර කර හිටපු තැනට ආවට පස්සෙ මගෙන් ඇහැව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඒ තමයි දැන් ගඟුල් ඔයා මේ ගෙදර හැමතැනම වගේ ඇවිද්දනෙ. ඔයාට හිතෙන විදිහට මේ ගේ අපිට කොහොම තැනක් විදිහට තියාගන්න පුළුවන් ද?”

“මට හිතෙන විදිහට මේක නිකන් පුංචි ආදර්ශ ගෙදරක් වගෙයි. නෑ පුංචි කියන එක වැරදියි ලොකු ආදර්ශ ගෙදරක් කියලා හිතෙනවා. ඇවිදලා බැලුවහම මටත් කවදා හරි ගෙයක් හදනවනං මේකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.”

“ඒ වෙලාවෙ දොස්තර මහත්තයා මගෙන් මෙන්න මෙහෙම ඇහැව්වා.” 

“හරි දැන් මේ ඔයාගෙ සර්රුත් ඉන්න තැන කියන්න බලන්න එහෙම ඔයා ආදර්ශෙකට ගන්නවනං එහෙම ගන්න තැන්.”

“දැන් සර් මන්....කියලා මන් උත්තර දෙන්න හදන කොට ම ලලිත් එයා මට බාධා කරලා මෙහෙම කිව්වා.”

“දැන් අපි යාළුවො වෙලා ඉවරනෙ. මන් කැමතියි ඉස්සෙල්ලම ඔයා මට කතා කරන විදිහෙත් පොඩි සංශෝධනයක් කරන්න. ඔයාගෙ සර් ඔයාට සර්ම තමයි. ඒ ඔයාගෙ ගුරුවරයනෙ. ඒක නිසා ඒක තමයි ඒ චරිතෙට ගැළපෙන ඔයාට සමීප ආමන්ත්‍රණේ. මට ඔයා සර් කිව්වහම අපි හරි ඈතයි වගේ. මන් ඔයාට වඩා වැඩිමල් වයසෙ කෙනෙක් නිසා ඔයාට ලලිත් කියලා කතා කරන්න අමාරුයි කියන එකත් මට තේරෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලලිත් අය්යෙ කියලා කතා කරන්න පුළුවන් නේද?”

“ඉතින් මොකක් ද අපේ ගඟුල් පඬිතුමා ඒකට කිව්වෙ.”

මේ අවස්ථාවේ රේණු ද කතාවට මැදිහත් වූයේ ඔවුනට සුපුරුදු රේණු බවට පත් වෙමිනි.

“ඉතින් රේණු අක්කෙ, ඔයා කියන විදිහට මේ ගඟුල් පඬිතුමත් පසුබැස්සෙ නැහැ. මගේ ආචාර්යවරයත් ලලිත් දොස්තර මහත්තයත් ඉන්න තැනදිම මන් බොහොම නිර්භීත විදිහට මෙන්න මෙහෙම මගෙ අදහස් දක්වන්න පටන් ගත්තා.”  

“හරි ලලිත් අය්යෙ, ඔන්න ඔයා කියන සංශෝධනේ කරල ම මම මගෙ අදහස් දැක්වීම කරන්නං මේ ස්නේහප්‍රදාව ගැන. ඇත්තම කියනවනං මට වැඩියෙන් ම දැනිච්ච එකක් තමයි ඔයාගෙ මේ වැසිකිළි කැසිකිළි සංකීර්ණෙ. කමක් නෑනෙ මන් එතනින් පටන් ගත්තට. අපි සාමාන්‍යයෙන් සංකීර්ණයක් කියලා කියන්නෙ එක වගේ දේවල් කිහිපයක් එක තැනක පිහිටුවලා තියෙන කොට තමයි. මේකෙ තියෙන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනෙන් කිව්වොත් වොෂ් රූම් කියන ඒවා තැන් තුනක පිහිටලා තිබුණත් ඒවයේ තියෙන සමානත්වය නිසා අපිට ඒවා එකම සංකීර්ණයක් විදිහට ගන්න පුළුවන්.”

“ඒ වෙලාවෙ ලලිත් අය්යා කිව්වෙ දැන් ගඟුල් වොෂ්රූම් කියන ජාතිය ගෙදරක, ආයතනයක, හෝටලේක මේ ඕනෙම තැනක තියෙන දෙයක්නෙ. මන් කැමතියි ඔයා මේ වොෂ්රූම්වල දකින විශේෂත්වය ගැන අපිට කියනවනං කියලා.”   

“මොකක් ද බන් ඔය වොෂ්රූම්වල තියෙන විශේෂත්වෙ. ඔය කොයි එකෙනුත් කරගන්න තියෙන්නෙ එකම වැඩේනෙ.” 

“ඒ උනාට රේණු මිස් අපි ගමනක් යද්දි උනත් අතරමග තැනකදි හොයන්නෙ ටිකක් හරි පිරිසිදුකමක් තියෙන ඒවනෙ. අපි කවුරුවත් කැමති නෑනෙ අපිරිසිදු ඒවට යන්න.”

“අන්න එතෙන්දි නං මන් පරාදයි මහතුන් අය්යෙ. ඈ උඹට හරි සන්තෝසයි නේද මන් පරාද උනා කියලා කිව්වහම. මේ මල්ලි මේ වෙලාවෙ මන් පරාද උනා කියලා කිව්වෙ මහතුන් අය්යට මිසක් උඹට නං නෙමෙයි.”

“රේණු අක්කා ඔහොම පණ කට ඇතුව ඉන්නවනං පරදින්නංකො දවසට එක සැරයක් නෙමෙයි දහ සැරයක්. අපේ සර්, සර්ගෙ අය්යට ලිව්ව වගේ සඳේ තෙතමනය, ඉරේ රස්නෙ තියෙන මගෙ අක්කට පරදින එක මට ගෞරවයක් තමයි.”

“අනේ මල්ලියෙ....” 

රේණු ඒ වචන පැවසුවේ ඉමහත් හැඟීමකිනි.

“සර්ලා මිස්ලා ළඟ ඉන්න කොට මට වෙලාව යනවා දැනෙන්නෙ නැහැ. දැන් අර වොෂ්රූම්වල විශේෂත්වෙ කියන්න කලින් මට දැන ගන්න ආසයි අර සර්ගෙ සර් එයාගෙ අය්යට ලියපු කවිය.”

ඒ ඉල්ලීම ඉදිරිපත් වූයේ මහතුන්ගෙනි. 

“අපේ සර් එයාගෙ අය්යට ලියලා තියෙන්නෙ එක කවියක් එහෙම නෙමෙයි. මහතුන් අය්යෙ. උදාහරණයක් හැටියට සර්ගෙ උල්පත කවි පොත පුරා තියෙන්නෙත් අය්යට ලියපු කවිම තමයි. මන් කියපු අර කවියත් තියෙන්නෙ ඒකෙම තමයි.”

“ගඟුල් සර් මටත් ආසයි ඒ කවිය දැනගන්න.”

ඒ මෙතෙක් නිහඬ ශ්‍රාවිකාවක වී සිටි මිහිදිනියගේ හඬ යි. අනතුරුව ඇසුණේ නාදරිද්මානුගත ව නොව හෘදයරිද්මානුගත ව එකව කියන ගඟුල්ගේ හඬ යි.   

තරු පිරුණු අහස ඇත සඳ නැත කුමට       නවතිමි

සඳ එළිය නොමැත තරු එළියට කුමට     නතු වෙමි

හිරු නොමැති ලොවක හිමි වන ජය කිරුළ නොතකමි

හිරු දකිමි හිරුට පැරදෙමි           ජය විලස සලකමි

රේණු හිඳ සිටි තැනින් නැගිට්ටා ය. අනතුරුව ගඟුල් සිටින තැනට ගොස් අතිමහත් සහෝදර ප්‍රේමයකින් සිය තුරුණු ගුරු සහෘදයාගේ හිස සිප ගත්තා ය. එදසුන දැක තෙත් ව ගියේ මිහිදිනීගේ දෑස පමණක් නොවේ. කිසිදා කිසිවකු ඉදිරියේ දුකට නොහඬන දැඩි සිතැත්තෙකැයි ගම ප්‍රකට ව සිටි මහතුන්ගේ දෑස ද ඒ මොහොතේ තෙත් ව යනු ඔවුනට දැක ගත හැකි විය.

ඒ සුනිසල පිවිතුරු නිහැඬියාවෙන් පසු ගඟුල් තමා නැවැත් වූ තැන සිට කළ යුතු කතාව ආරම්භ කෙළේ ය.

“ඉතින් ඊට පස්සෙ මහතුන් අය්යෙ මන් ලලිත් අය්යා අහපු ප්‍රශ්නෙට මෙහෙම උත්තර දුන්නා.”

“දැන් ලලිත් අය්යෙ, ඔයා මේ හදවලා තියෙන වොෂ්රූම්ස් තුනේ මන් දකින විශේෂත්වය තමයි ඒවයේ සොබාදහමට අතිසමීප ගතියක් තිබීම. මොකද මේ කොයිකට ගියත් ඒවයෙ ජලකරාම හයි කරලා තියෙන්නෙ පොඩි ගල්තලාවක් උඩින් ජලදහරා වැටෙන විදිහට. විශේෂයෙන් ඔයා මුලින් ම හදවලා තියෙන වොෂ්රූම් එක ස්වාභාවික ගල්තලයක් තියෙන එකක්. සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නෙ ඒක කරදරයක් විදිහට සලකලා ඒ ගල් කඩවලා එතන හතරැස් කොටුවක් කරලා වොෂ්රූම් එක හදවන එක. ඒත් ඔයා කරලා තියෙන්නෙ බොහොම සුන්දර විදිහට ඒක ඒකෙම කොටසක් කරගන්න එක. ඒ කියන්නෙ ඔයා කරලා තියෙන්නෙ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් කරන වැඩක් විතරක් නෙමෙයි සෞන්දර්යවේදියෙක් කරන වැඩක්. ඒ විතරක් නෙමෙයි ලලිත් අය්යෙ ඔයා සමහර තැනක තියෙන ස්වාභාවික පිහිටීම විකෘති කරන්නෙ නැතුව ප්‍රයෝජනේට අරගෙන තිබුණා. මේකෙ තියෙන මුලින් ම හදපු එකේ තියෙන්නෙ ත්‍රිකෝණාකාර හැඩයක්. අනිත් දෙකත් ඒවයෙ පිහිටීමට අනුගත ව සකස් කරලා තිබුණා. ඊළඟ කාරණේ තමයි ඒවයෙ අපිට දැකලා හිතල බලන්න වෙන විදිහෙ ලස්සන චිත්‍රයක් තිබුණා. අනික් කාරණේ තමයි අපිව පිරිසිඳු කරන විදිහෙ ගතියක් ඒ කියන්නෙ පවිත්‍රකාරක ගුණයක් ඒ තැන් තුනේ ම තිබුණා.” 

“මන් මෙහෙම කිව්වට පස්සෙ අපේ සර් කතාවට සම්බන්ධ උනා. ඒ වෙලාවෙ සර් මෙහෙම කිව්වා.”     

“මට අපේ ගඟුල් කියපු කතාවත් එක්ක මතක් වෙන කාරණා දෙකක් තියෙනවා ලලිත්. එකක් අපේ මහානාම සර් එක්කත් අනික ඉන්දියාවෙ ගයා නගරෙදි දැක්ක දෙයක් එක්කත් සම්බන්ධ යි. ගයාවෙදි මන් දැක්ක එක වැසිකිළි සංකීර්ණෙක ගහලා තිබුණෙ ශෞචාලය කියලා. ශෞච කියන්නෙ පවිත්‍රභාවයට අයත් කියන එකයි. ආලය කියන වචනෙ තේරුම අපේ සමාජෙ වැඩි දෙනෙක් ගළපගෙන තියෙන්නෙ ආදරයත් එක්ක. ඒත් ඒ වචනෙට අපේ ශබ්දකෝශ දීලා තියෙන අර්ථෙ හැටියට අපට තැන, ස්ථානය, නිකේතනය  වගේ ඒවා ගන්න පුළුවන්. එහෙම බැලුවහම වැසිකිළි කියන්නෙ අපිට පිරිසුදු වෙන්න තියෙන තැනක්.”

“ඒ වෙලාවෙ ලලිත් අය්යා ඇහැව්වෙ මහානාම සර් මේ ගැන කිව්වෙ මොකක් ද කියල යි. ඒකට සර් මෙහෙම උත්තර දුන්නා.”  

“ලලිත්, මහානාම සර් අපිට ඉගැන්නුවෙ සංස්කෘත, වාග්විද්‍යාව විතරක් නෙමෙයි.  පලිහවඩන සර් විදිහටම විෂයට අමතරව ජීවිතේ ඉගැන්නුවා. ඒක නිසා මන් දෙවෙනි අවුරුද්දෙ ශිෂ්‍යයෙක් ව ඉන්න කොට සර් කරපු ප්‍රකාශයක් මට ගයාවෙ  දි දැකපු ශෞචාලයත් එක්ක ගළප ගන්න පුළුවන් උනා. බොහෝ දෙනා වැසිකිළිය කියලා හිතාගෙන ඉන්නෙ නහය හකුළ ගෙන යන්න වෙන, කැත කරන තැනක් හැටියට. ඒත් සර් අපිට කිව්වෙ වැසිකිළිය කියන්නෙ කෙනෙක් පිරිසිදු වෙන තැන මිසක් අපිරිසිදු කරන තැනක් නෙමෙයි කියල යි. සර් වැඩි දුරටත් කිව්වෙ වැසිකිළියට ගිය කෙනා නෙමෙයි එළියට එන්නෙ කියලා. මොකද අපද්‍රව්‍ය සහිත ව ගිය කෙනා එළියට එන්නෙ ඒවා බැහැර කරලා. එතකොට ඇත්තට ම එළියට එන්නෙ ගිය කෙනාට වඩා පිරිසුදු කෙනෙක්. ඒ බාහිර පිරිසුදුකම අපට අපේ අභ්‍යන්තරය පිරිසිදු කර ගැනීමේ දොරටුව කරගන්න පුළුවන් කියලයි සර් අපිට ඉගැන්නුවෙ.”

“ලලිත් අපේ ගඟුල් දොරටු ගැන කිව්වහමයි මට මතක් උනේ. කෝ දැන් ඔයා ඔයාගෙ දොරටු පොතේ වැඩ ඉවර කරන්නෙ නැද්ද?”

“අපේ සර් එහෙම ඇහැව්වහම ලලිත් අය්යා කිව්වෙ ‘කරන්ඩ නං ඕනෙ, ඒත් පහුගිය කාලෙ වැඩයි ගමනුයි යෙදිච්ච විදිහත් එක්ක ඒ වැඩේ ටිකක් අතපසු උනා’ කියලයි.”

“ඒ උනාට ලලිත් ඔයාගෙ දොරටු කියන්නෙ අනික් අයට තමන්ගෙ ජීවිතේ දොරටු ඇරගන්න උදව් වෙන පොතක්නෙ. ඔයා ඒකට දාන ලිපි කීපයක් කලින් ලියලත්නෙ තිබුණෙ. අපිත් ඒවා බලලා අපේ අදහසුත් කිව්වනෙ. ඒ වගෙම පහුගිය අවුරුදු දහයකට ආසන්න කාලයක් ඔයා සමීප ව ඇසුරු කරපු ප්‍රනන්ද මහත්තයත් දොරටු කියන්නෙ අපේ දොස්තර මහත්තයගෙන් කෙරෙන්නම ඕන වැඩක් කියන කාරණේ අවධාරණ කළා නේද?”

“සර්ගෙ ඒ කතාවත් එක්ක මටත් ඕන උනා මේ දොරටු කියන්නෙ මොකක් ද කියලා දැනගන්න. මන් ඒ ගැන ඇහැව්වහම ඒකට උත්තර දුන්නෙත් ලලිත් අය්යා නෙමෙයි අපේ සර්ම තමයි.”

“ගඟුල්, අපේ ලලිත් මහත්තයා අපි මොන වෘත්තියක හිටියත් අපේ ජීවිතේ දොරටු ඇරගන්න පුළුවන් විදිහෙ ලිපි කීපයක් ලියලා තිබුණා. ඒ අතර ගුරු ජීවිතය, ශිෂ්‍ය ජීවිතය වගෙම මද්‍යසාරයෙ ආදීනව  ධූමපානයේ විවිධ පැතිකඩ ගැන ලියපු ලිපි තිබුණා. මන් යෝජනා කළේ ඒවත් අර දොරටු පොතටම ඇතුළත් කරමු කියලයි.”

“දැන් ඔය කතා අහගෙන ඉන්න කොට අපිටත් හිතෙන්නෙ ඒ සාකච්ඡාවලට සහභාගි වෙන්න. ගඟුලෝ, ඔන්න දැන් උඹ ගැන මට පොඩි ඉරිසියාවක් වගේ හැඟීමක් මෝදු වේගනයි එන්නෙ.”

“ඉරිසියා කරන්න දෙයක් නැහැ රේණු අක්කෙ, අපි යන්කො දවසක නුවර.”

“ඒ මොකට ද නුවර යන්නෙ.”

“ඇයි මිහිදිනී, ලලිත් මහත්තෙලගෙ ස්නේහප්‍රදාව තියෙන්නෙ එහෙනෙ.”  

“ මන් දැන් කල්පනා කළේ අපේ නාගොල්ලාගම ගමේ දරුවො කොච්චර වාසනාවන්ත ද කියන එක.”

“ඇයි මහතුන් අය්යෙ එහෙම කියන්නෙ.”    

“සර්ලා මිස්ලා වගේ අයගෙන් ඉගෙන ගන්න ලැබිලා තියෙන නිසා. මට පුළුවන්නං මාත් එනවා සර්ලා මිස්ලා උගන්නන කොට ඒ පන්තියෙ කොණකට වෙලා අහගෙන ඉන්න.”

“ඒක අන්‍යෝන්‍ය දෙයක්නෙ. මහතුන් අය්යත් වෙලාවකට අපිට ගුරුවරයෙක්. අපිට කියන්න තියෙන්නෙ ඔය ගොල්ල වගේ මිනිස්සු ඇසුරු කරන්න ලැබිච්ච එක අපෙත් වාසනාවක් කියලා තමයි. නැද්ද රේණු අක්කා.”  

“උඹ හරියටම හරි මල්ලි. මිහිදිනියි මමයි දෙන්න කියන්න ඕන දෙයත් ඒකම තමයි කියලා මහතුන් අය්යා හිතාගන්න.”

“ඔන්න ගඟුල් සර්, එහෙනං ස්නේහප්‍රදා ගමනට මාවත් සම්බන්ධ කරගන්න. මගෙ මේ දුප්පත් වාහනෙන් දෙන්නං ප්‍රවාහන පහසුකං. හැබැයි හයර් එකක් විදිහට සලකලා මට සල්ලි දෙන්න මෙතන ඉන්න තුන්දෙනාටම තහනං.”

“මහතුන් අය්යගෙ ඔය වචනෙට අපේ ගෞරවය. එහෙම නෙමෙයි අපි මෙහෙම කරමු. ලබන මාසෙ අපේ සර්රුයි සර්ගෙ නෝනයි කොහොමත් ලලිත් මහත්තෙලගෙ ගෙදර යන්නයි ඉන්නෙ. සර් දවසක අපේ ඉස්කෝලේටත් එන්න ඕන කියලා තිබුණා. ඉතින් අපි සර්ට කියමු එන ගමන් අපේ විපුල් අය්යත් දාගෙන මෙහෙට ඇවිත් අපිවත් දාගෙන නුවර යන්න.”

“අපේ ගඟුලයා හදන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට නෙමෙයි තුන් හතර දෙනෙක් ව එක සැරේ වට්ටන්න.”

“අනේ රේණු අක්කෙ, ඔයා වගෙ කෙනෙක් ඒ වගෙ කතාවක් කියනවට මන් කැමති නෑ. මොකද කවුරු හැදුවත් ඒ කතාවෙ තියෙන්නෙ හිංසාව තැවරිචච් ගතියක්. අපි අහිංසක කුරුල්ලන්ව පැත්තකින් තියලා වෙන විදිහකට මේක පැහැදිලි කරගම්මු.”

“මිහිදිනී කියන එක ඇත්ත අක්කෙ. අක්කම හදන්න ඕවගෙ තැනකට ගළපන්න පුළුවන් ප්‍රස්තාව පිරුළක් හරි ආප්තෝපදේශයක් හරි.”

“හරි මගෙ ආදරණීය සහෝදරීගෙ ඉල්ලීමත් ඒක අනුමත කරපු ආදරණීය සහෝදරයගෙත් වචනවලට ගරු කරලා කුරුළු කතාව ඉල්ලා අස්කරගන්නවා මේ දැන් මේ මොහොතෙදිම. හැබැයි මට වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපිට යන්න ඕන ගමනට අපි මේ විදිහට සර් පටලවා ගන්න එක හරි ද? අපිත් එක්ක යන්න සර් කැමති වෙයි ද සර් කැමති උනත් සර්ගෙ නෝනා ඒ දෙන්නා නිදහසේ යන්න තියෙන ගමනට තව තුන් හතර දෙනෙක් එනවට කැමති ද ඒ වගෙම සර් වාහනේ එලෝගන යනකොට අපි සම්භාවනීය මගීන් බවට පත්වෙලා ඒ වාහනේ යන එක හරි ද?” 

“වෙනදා වගෙම අදත් රේණු අක්කා මට ඉදිරිපත් කළේ එක ප්‍රශ්නයක්නං නෙමෙයි ප්‍රශ්න පත්‍රයක්. කමක් නෑ මන් අහපු පිළිවෙළට එකින් එකට උත්තර දෙන්නංකො. අක්කගෙ ප්‍රශ්න අංක එක උනේ මේ ගමනට සර් පටලවා ගන්න එක හරි ද කියන එකනෙ. නැහැ මේක කොහොමටවත් එහෙම පටලවා ගැනීමක් විදිහට සර් සලකන්නෙ නැහැ. දෙවෙනි ප්‍රශ්නෙ හැටියට අක්කා ඇහැව්වෙ අපිත් එක්ක යන්න සර් කැමති වෙයි ද කියලනෙ. සර් කැමතියි ඒකෙ කිසිම සැකයක් තියාගන්න එපා. ඔයාගෙ තුන්වෙනි ප්‍රශ්නෙ උනේ රේණු අක්කෙ සර් කැමති උනත් සර්ගෙ නෝනා ඒ දෙන්නා නිදහසේ යන්න තියෙන ගමනකට අපි එනවට කැමති වෙයි ද කියන එක. ඒකටත් කිසිම සැකයකින් තොරව මට කියන්න තියෙන්නෙ අපේ මිස් කැමතියි කියන එක. අවසානෙ ප්‍රශ්නෙට උත්තරේ හැටියට කියන්න තියෙන්නෙ සර් කොයි වෙලාවකවත් කෙනෙක්ව දාගෙන වාහනේ එළවන එක තමන්ට ගෞරවයක් මිස අගෞරවයක් හැටියට සලකන්නෙ නැහැ කියන එක.”   

“උඹ මල්ලි කොහොම ද ඔය කාරණා ගැන ඔය තරන් විශ්වාවාසෙකින් කතා කරන්නෙ.”

“ඒ අක්කෙ මන් සර් ගැන දන්න නිසා, මිස් ගැන දන්න නිසා. ඒ දෙන්නම මගෙ ගුරුවරු නිසා. ඒ දෙන්නා කතා වෙලා ආසන හතේ වාහනයක් ගත්තෙ ඒ දෙන්නට විතරක් වෙනම යන්න ගමන් නැති නිසා බව දන්න නිසා.”

“ආව් මාරයිනෙ මල්ලි, නෑ මට වැරදුණා ප්‍රබුද්ධයිනෙ මල්ලි. එහෙනං ඉතින් ගමන ඉස්තිරයි. හරි දැන් කවුද හත්දෙනා.”

“අපි මෙතන ම හතරයි. ඒ කියන්නෙ මහතුන් අය්යා, ඔයා, මිහිදිනී, මම. එහෙන් සර්රුයි අපේ මිසුයි. තවත් එක්කෙනෙක් එහෙන් ඒවි.”

“ඒ කවුද අපිට පෑහෙන කෙනෙක්ද?”

“ඔයාට නං පෑහෙනව ද නැද්ද කියන්න මන් දන්නෙ නැහැ රේණු අක්කෙ. මටනං එයා කියන්නෙ මගෙ ජීවිතේට පෑහෙන විතරක් නෙමෙයි සෑහෙනම කෙනා.”

“තවත් අගේ කරන් නැතුව කියපන්කො බන් ඒ කවුද කියලා.”

“මොකක් ද අක්කෙ, ඔයා මේ කතා කරන විදිහ. කියපන් බන් කිය කිය. මේ මහතුන් අය්යත් මොනවා  හිතාවිද මන්දා.”

“නෑ නෑ මන් දන්න මහතුන් අය්යනං එහෙම හිතන්නෑ කියන එක මට සීයට දෙසීයක් ෂුවර්. මොකද උඹ කැමති නැද්ද මේ ගඟුලයට මන් උඹ බන් පලයන් කියනවට. හරි හරි මන් ඒක මෙහෙම වෙනස් කරලා කියන්නං. සොහොයුරාණෙනි, නුඹ යනු මැනවි. එහෙම ද බන් මන් මූට කියන්න ඕන. කෝ බන් එතකොට කිසි ගතියක් නෑනෙ. පලයන් බන් යන්න, උඹත් මගෙන් බන් එක අහගන්නැතුව.”

“හරි හරි ඇත්ත තමයි අක්කෙ, නැගණියනි, නුඹ යනු මැනවි කිව්වහම ඔයා මට පලයන් බන් යන්න කියලා කියනවා වගේ නෑ තමයි. ඒක නෙමෙයි ගඟුල් සර් කවුද දැන් සර්ලා එක්ක එන කෙනා අපි දන්නැති කෙනෙක් ද?” 

“දන්නවා දන්නවා හොඳටම දන්න කෙනෙක්. වෙන කවුරුත් නෙමෙයි නංගි ඒ ගොල්ලන්ට සම්බන්ධ කරලා එවන්නෙ අපේ අය්යා විපුල්.”

“ආව් ආව් මරුනෙ.”

එවදන් නිරායාසයෙන් පිට වූයේ රේණු මුවිනි.

“එන්නෙ එක්කෙනෙක්ගෙ අය්යා. හැබැයි සතුට උතුරලා යන්නෙ තවත් කෙනෙක්ගෙ මූණෙන්. කමක් නෑ කමක් නෑ එන්නෙ මාත් ගොඩක් ම කැමැති කෙනෙක්නෙ.” 

මිහිදිනිය ද එසේ සිය සතුට පළ කළ අතර අවසන එතැන සිටි සහෘදය චරිත චතුර්ථය ම මහනුවර ගමන යාමට සිය කැමැත්ත පළ කළහ. ඒ මොහොතේ ගුරු මෙහෙවර හා බැඳුණු පහත සඳහන් වචන ප්‍රකාශයට පත් කෙළේ හාස්‍යෝත්පාදනීය වාක්ප්‍රකාශිකා රේණු නොව සදර්ථෝත්පාදනීය වාක්ප්‍රකාශිකා රේණු ගුරු යුවතිය යි. ඒ, වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවන මහතුන් ද ඒ මොහොතේ ගුරු මෙහෙවරට සම්බන්ධ කොට ගනිමිනි.

“මෙතන ඉන්න අපි ඔක්කොම ගුරුවරු. තුන් දෙනෙක් වෘත්තීය වශයෙනුත් ගුරුවරු. වෘත්තියෙන් විතරක් ගුරුවරු වෙන අය ඉන්න ලෝකෙක අපිට මහතුන් අය්යා කියන්නෙ ගුරුවරයෙක් නොවීත් කෙනෙකුට ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කරන චරිතයක්. මේ ගුරුවරයා ඉන්න පුළුවන් වෛද්‍යවරුන් අතරෙ. සමහර විට ඉංජිනේරුවරුන් අතරෙ. තවත් වෙලාවකට රියදුරන් අතරෙදිත් මේසන් වඩු බාසුන්නැහැලා අතරෙදිත් මේ ගුරුවරයා අපට මුණ ගැහෙන්න පුළුවන්. ඒ අය ජීවිතවලට විතරක් නෙමෙයි ඉරට හඳට ගහට මලට ඇළට දොළට කොටින් ම කිව්වොත් මේ මුළු සොබාදහමටම ආදරය කරනවා. මල්ලි උඹලා අපි දැන් කතා කළෙත් ඉර හොයාගෙන යන, ඉර එළියට පෙම් බඳින චරිත ගැනනෙ. සඳ තරුත් එක්ක හිනාවෙන ගමන් සඳේ තියෙන මුදු ගුණය හදේ තියෙන කරුණාවත් එක්ක මුහු කරලා ලෝකයට දෙන්න පුළුවන් චරිත ගැනනෙ. මිනිස්සුන්ගෙ හිත්වල තියෙන අඳුර දුරුකරලා ආලෝකය දෙන චරිත ගැනනෙ. මහපොළොවෙ ජීවත් වෙමින් මහපොළොවට පෙම් බඳින චරිත ගැනනෙ. ලෝකෙට කැමරාවට පේන්න නෙමෙයි ඇත්තටම මහපොළොව සිප ගන්න චරිත ගැනනෙ. මේ වෙලාවෙ මට මගෙ තාත්තව මතක් වෙනවා මල්ලි.”

මේ මොහොතේ රේණුගේ හඬ බිඳී ගිය අතර ඈ දෑස ද කඳුළින් තෙත් ව ගියේ ය. මොහොතක නිහැඬියාවෙන් පසු යළිදු ඇය කතා කළා ය.

“අපිට භෞතික ව දැක ගන්න වාසනාව නැති උනත් මල්ල,ි උඹ අපිට කියපු දේවලින් ඒ අය කරපු කියපු ලියපු දේවලින් අපට  ආධ්‍යාත්මික ව දැක ගන්න ලැබුණ චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් ආචාර්ය අදිකාරම්තුමා. අනිත් එක්කෙනා සමන් සිත්තරා. මන් හිතනවා ස්නේහප්‍රදාවෙදි කෙරෙන කතාබහට ඒ අය කියපු කරපු දේත් එකතු වෙයි කියලා.”   

මේ මොහොතේ ද ගඟුල්ට සිහිපත් වූයේ සිය හදපුදසුනෙහි ද නිබඳ සුරැඳෙන සමන් සිත්තරා පිළිබඳ ව ඔහුගේ සොහොයුරා විසින් ලියන ලද පැදියකි. එපැදිය එසිත්තරා සම්බන්ධයෙන් පමණක් නොව හදවතින් ම එවන් චරණයක යෙදුණු හෝ යෙදෙන සියලු චරිත සම්බන්ධයෙන් වන සාධාරණ ප්‍රකාශයක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. එහෙයින් ‘ගඟ විලස ගලා යමි’ යන මාතෘකාව යටතේ රැසයුණු එපැදියෙන් එදින සහෘදය සංකථනයේ නිමාව සලකුණු කෙරිණ.

“හිරු මඬල සොයා යමි හිරු කිරණට  පෙම් බඳිමි

සඳ සමග සිනාසෙමි සඳ සිසිලස හා       බැඳෙමි

හදවතට විඩා දෙන ගන අඳුරින්          හද මුදමි

ගඟ විලස ගලා යමි මේ මහ පොළොව   සිප ගමි”  

       

Saturday, December 30, 2023

92. ගුරු දියවර නවකතාව - විසි හයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                               ගුරු දියවර 26


ලෝකය සිය වේදනාවන්ගෙන් මගේ ආත්මය වරින්වර සිප ගන්නේ ගීත ස්වරූපයෙන් ඒවා ලෝකයට ම පෙරළා දෙන්නැයි ආයාචනා කරමිනි.

පෙරළා කොළඹ බලා එන ගමනට පිටත් වීමට සැරසුණු මොහොතේ ය, මිහිදිනී රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ප්‍රකාශයකින් ආරම්භ කොට මධ්‍යම රාත්‍රියේ දී රේණුකා විසින් සිය ජංගම දූරකථනයට එවා තිබූ පණිවිඩය දුටුවේ. එම පණිවිඩය ඇය යොමු කොට තිබුණේ ගඟුල් සහ මිහිදිනී දෙදෙනා ම වෙතට ය. මිහිදිනී ගඟුල්ට ද ඇසෙන සේ ලියුමක ආකාරයෙන් ලියා තිබූ එම පණිවිඩය කියැවීමට පටන් ගත්තා ය.

මගේ ආදරණීය නංගී මිහිදිනී සහ දයාබර මල්ලී ගඟුල් වෙතට යි.

කලින් ඔබ දෙදෙනාට දැන්විය යුතු ව ම තිබූ නමුදු පවරා තිබූ වගකීම නිසා ම නොදැන් වූ, හෙට ඔය දෙන්නා ම උදෙන් කොළඹ එන නිසා ම දැන් මේ මොහොතේ දන්වන, සංවේගජනක පණිවිඩයක් තිබෙනවා. ඒ අපේ ආදරණීය තාත්තා එදා අපි කොළඹ ආ දවසේ ම රාත්‍රියේ අභාවයට පත් වූ බව යි. ඒ මොහොතේ අම්මාත් අය්යාත් විපුල් අය්යාත් නංගීත් මමත් තාත්තා ළඟ ම සිටියා. එය සිය උගත්කම නිසා ම ලද තනතුරු කිසි දිනෙක අවභාවිතයට නොගත් උත්තම පුරුෂයකුගේ නික්ම යාමක්. අය්යාත් නංගීත් දෙස ආදරණීය දෑසින් මොහොතක් බලා සිටි තාත්තා එක් අතකින් අම්මාගේ අතත් අනික් අතින් මගේ අතත් අල්ලා ගෙන මොහොතක් බලා සිටියා. වචනවලින් ප්‍රකාශයට පත් කළ නොහෙන දහසක් හැඟුම් ඔහුගේ දෑසේ ලියැවී තිබුණා. එය ආදරණීය සැමියෙක්, සිය ආදරණීය බිරිඳත් සිය ආදරණීය දරුවනුත් සදහට ම අතහැර යන මොහොතක්. 

ගඟුල් මල්ලී, ඔබගේ ආදරණීය සොහොයුරා මේ දින කීපය තුළ කළ මෙහෙය මෙපමණ යැයි කියා අපට ප්‍රමාණ කරන්නට බැහැ. හඳුනාගත් කෙටි කාලය තුළ අපේ හදවතේ විසල් ඉඩක් හිමි කොට ගත් ඒ ආදරණීයයා ඊයේ හවස තාත්තාගේ අවසන් කටයුතුවලටත් සහභාගී වි තමයි පෙරළා ගෙදර ගියේ, ඊට සහභාගි වන්නට පැමිණි ඔබගේ ආදරණීය දෙමාපියන් සමග. ඔබ දන්නවා ද මල්ලී, අපේ තාත්තා මගේ අත අතහැර සිය නික්ම යාමට පෙර අන්තිමට අල්ලා ගත් අත කාගේ ද කියා. ඔව් මගේ ළබැඳියන් වන ඔබ දෙදෙනාට ම එය අනුමානයක් නොව ප්‍රත්‍යක්ෂයක් බව මා දන්නවා. ඒ වෙන කාගේවත් නොව විපුල් අය්යාගේ අත යි. ගත ව ගිය කාලනිමේශය තුළ අපේ තාත්තාට විපුල් අය්යාගේ හදවත හඳුනා ගැනීමට හැකි වී තිබුණා. මල්ලී, ඔයා මේ මොහොතේ භෞතික ව ළඟ නැති අඩුව නොදැනුණේ ඒ නිස යි. දැන් මගේ මිහිදිනී නංගීට දුක හිතෙනවා ද, එහෙනං අක්කේ ඔයාට මන් නැති එකේ අඩුවක් දැනෙන්නේ නැද්ද කියා. එහෙම අදහසක ඡායාමාත්‍රයක් හරි තියෙනවානං මට නංගියේ උඹට කියන්නට තියෙන්නේ ගඟුල් දවසක් සරස්වතී දෙවඟන, කාලිදාස කවියාට කියූ ප්‍රකාශය කියා, අපට කියා දුන් කතාවයි. ඒ කතාව ගඟුල්ගෙන් අහගන්න. එතකොට උඹට තේරේවි නංගී, මන් උඹව තියලා තියෙන තැන.

නංගී මන් තාගෝර්තුමා නොවුණත් දැන් මට මුහුණ දීමට සිදු ව ඇත්තේ එතුමා මුහුණ දුන් අද්දැකීම්වලට තරමක් සමාන අද්දැකීම්වලට තමයි. එතුමාගේ අද්දැකීම් අපට වඩා බරපතල යි තමයි. එතුමාට තාත්තා අම්මා දෙන්නා ම අහිමි වෙන්නේ පුංචි ම කාලේ දී යි. ඊට පස්සෙ අම්මාගේ හිස්තැන පුරවපු ලොකු අය්යාගේ බිරිඳ නැති වෙනවා. ඒ වගෙම තමන්ගේ දුකේ දී සැපේ දී ළඟ හිටපු බිරිඳ මෘණාලිනීත් නැති වෙනවා. ඒ වගෙ ම අනාගත ආයෝජනයක් කියලා හිතලා දැනුමින් සන්නද්ධ කරපු ශිෂ්‍ය පරපුරේ හිටපු විශිෂ්ට ශිෂ්‍යයා සතිස් මිය යනවා. මේ අයගෙ අභාවයන් ගැන කම්පා වෙනවා වෙනුවට ඔහු කරන්නේ ඒවා නව නිර්මාණයන් බිහිකිරීම උදෙසා වන උල්පත් බවට පත් කිරීම යි. නංගී, මන් විශ්වාස කරන විදිහට හොඳ මනුස්සයෙක් හරි ගැහැනියක් හරි කියන්නේ ඒ අයගේ මරණයෙන් පසුව ලොව හද බිම් තෙමන ගංගා නිර්මාණය කරන උල්පත්වලට යි. මල්ලී ගඟුල්, ඔයා නිතර කතා කරන අදිකාරම්තුමා, සිත්තර සමන් අය්යා අයිති වන්නේ ඒ කුලකයට යි. ඊට ම ඇතුල් කළ හැකි ආදරණීය චරිතයක් තමයි අපේ තාත්තා. ඒ තාත්තා වෙනුවෙන් මගෙන් සමාජයට විය යුතු මෙහෙවර මම අවබෝධ කරගෙන සිටිනවා. මාව ගැඹුරින් ම තේරුම් ගත් ඔය දෙන්නා මාත් එක්ක ම එකම පාසලේ සේවය කිරීම මට මහා ශක්තියක්.

අපේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් වගෙම, උසස් පෙළ ළමයි සෑහෙන පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට අපට උදව් උනා. ඔය දෙන්නාට මේ මොහොතේ තාත්තාගේ අභාවය ගැන නොදැන්වීමට ගත් තීරණය විදුහල්පතිතුමාත් අනුමත කළා. අප මුහුණ දුන් මුළු සිද්ධිය ගැන ම දන්නේ විදුහල්පතිතුමා විතර යි. මන් අපේ පිරිසට ඔය දෙන්නා පමණක් ඉතිරි ආරාධනාපත්‍ර රැගෙන ගියා කියන හැඟීම ඇති නොවන පරිදි කටයුතු කළා. ඒ මගේ මල්ලීගේත් මගේ නංගීගේත් ගෞරවය රැකීම පිණිස යි. සමාජයක ජීවත් වන අප වැදගත් කොට නොසලකතත් ඇතැම් දෙනා ඉතා වැදගත් ය යන කරුණු ගැනත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. 

කියන්නට බොහෝ දේ තිබෙනවා. ඔය දෙන්නා නාගොල්ලාගම යාමට පෙර අපේ ගෙදරට ගොඩ වෙලා යන්න. ආ තව වැදගත් ම දෙයක් ලියන්නට අමතක උනා. දැන් විපුල් අය්යා අපේ අය්යාගේ අතිජාත මිත්‍රයෙක් වෙලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාටත් පේන තැනක ඇඳගත යුතු පරිසර චිත්‍රයක් ඇඳ දෙන්නැයි අපේ අය්යා විපුල් අය්යාට කියනවා මන් අහගෙන. අපේ නංගීටත් අය්යා එයාව හොඳට හිතට අල්ලලා. අපේ අම්මාට එයා ඒ දරුවා වෙලා. ඔය දෙන්නා එයා ගැන මගේ හැඟීම ගැනනං අහන්න එපා.

නංගී, මන් මේ මොන දේවල් ලිව්වත් තාත්තා නැති අඩුව මට තදින් දැනෙනවා. වෙලාවකට හිත කඩා වැටෙන බව ඇත්ත. ඒත් මන් වැටෙන්නේ නැහැ. ඒ ශිෂ්‍ය පරපුරක් නැගිට්ටවීමේ මහා වගකීම අපට තියෙන නිස යි.

මට ඔය දෙන්නා දකින්න ම අවශ්‍ය යි.

ඔය දෙන්නාට ම තෙරුවන සරණ යි.

සදා අදරැති අක්කා රේණු  

ගඟුල්ගේ ඉල්ලීම පරිදි තවත් වරක් මිහිදිනී රේණුගේ පණිවිඩය කියැවූවා ය. ඒ අවසන ගඟුල් ප්‍රකාශ කෙළේ මේ වචන කිහිපය යි.

“මිහිදිනී, අපේ රේණු අක්කා තාක්ෂණික උපකරණෙ ඇතුළට අතීත සන්නිවේදනේ හොඳම ප්‍රකාශනය වන ලියුම ගෙනල්ලා තියෙනවා.”

“රේණු අක්කා ඔයාගෙන් අහ ගන්න කියලා තියෙන කාලිදාස කවියා සරස්වතී දෙවඟනට කරපු ප්‍රකාශෙ මොකක් ද ගඟුල් සර්.”

“ඒක කවුරු හරි සාහිත්‍යකාමී සුන්දර හදවතක් තිබිච්ච අතීත භාරතීයයෙක් හදපු කතාවක්. මන් ඔයාට යන ගමන් ඒ කතාව කියන්නංකො.” 

මෙසේ කියා රථයට නැඟ එය පණ ගැන්වූ ගඟුල් මිහිදිනියට ද රියට ගොඩ වන්නැයි සංඥා කෙළේ ය. අනතුරුව කාලිදාස කවියා හා බැඳුණු කතාව ඇසීමේ මහදාශාවෙන් සිටින මිහිදිනිය දෙස බලා එය කියන්නට පටන් ගත්තේ ය.

“ඔයා දන්නවනෙ කොහොමත් කාලිදාස කවියා ගැන විස්තර. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියවලා ඇතිනෙ.” 

“ඔව් ටිකක් දන්නවා. එතුමා නාට්‍ය තුනකුත් මහා කාව්‍ය දෙකකුත් ඛණ්ඩ කාව්‍ය දෙකකුත් ලියලා තියෙන බවත් දන්නවා. ඒ වගෙම මන් ශාකුන්තල නාට්‍යෙ ඉංග්‍රීසි පරිවර්තනයත් මේඝදූතෙ සිංහල පරිවර්තනයකුත් කියවලා තියෙනවා. හැබැයි දණ්ඩි කවියා ගැනනං දන්නෙ අපේ සියබස්ලකරට මුල් වෙච්ච සංස්කෘත පොත ලියපු ලේඛකයා කියන කාරණේ තමයි.” 

“හොඳයි මිහිදිනී මේ කියන දේවල්වලින් ඇඟෙන්නෙ වෙනත් විෂයක් කරපු ඔයාට සංස්කෘත සාහිත්‍යය ගැනත් මොන මට්ටමක හරි කියවීමක් තියෙනවා කියන එකනෙ. අපිට හැම සාහිත්‍යයකදිම හොඳ නිර්මාණ  බිහි කරපු සමහර චරිත මග හැරෙනවා. මොකක් හරි සාහිත්‍යයක් හදාරපු අය ඒ සාහිත්‍යෙට අයිති එක් චරිතයක් හරි දෙකක් හරි ගැන වැඩියෙන් කියන කොට ඒක හදාරපු නැති අයට තහවුරු වෙන්නෙත් ඒ චරිත ම තමයි, ඒ අයගෙ නිර්මාණ ම තමයි.  සංස්කෘත නාට්‍ය සාහිත්‍යෙ විශිෂ්ටයා විදිහට කාලිදාස කවියා ගැනම කියන්න ගත්තහම සංස්කෘත කරපු අය උනත් භවභූති වගෙ විශිෂ්ට නාට්‍ය රචකයකුට දුන්නේ අඩු ලන්සුවක්. ඒ වගෙම සංස්කෘත නාට්‍ය අතරට වැඩිම නාට්‍ය සංඛ්‍යාවක් එකතු කරපු භාසටත් කාලිදාසට දුන්නු තැන දුන්නෙ නැහැ. ඒ තරමටම නොවුණත් කාලිදාසට වැඩි බරක් දීපු නිසා ම ගොඩක් දෙනා දණ්ඩිට දුන්නෙත් අඩු බරක්. මන් මිහිදිනී, මෙතෙන්දි කාලිදාස කවියා පල්ලෙහාට දාලා කතා කරනවා නෙමෙයි. එතුමා අතිවිශිෂ්ටයෙක් කියන එක ගැන විවාදයක් නැහැ. මන් මෙතෙන්දි කියන්න වෑයම් කරන්නෙ කෙනෙක් ව වැඩියෙන් වර්ණනා කරන කොට අපට තවත් හොඳ අය මග ඇරෙනවා කියන කාරණේ කියන්න යි.”

“දැන්නං ගඟුල් සර් මට අර කතාව අහනවටත් වඩා වැදගත් කියලා දැනෙන්නෙ භවභූති කවියගෙ ලස්සන නිර්මාණයක් ගැන වගෙම භාස කවියගෙ හොඳ නිර්මාණයක් ගැන දැන ගෙන ම දණ්ඩි කවියා ගැනත්  එයා ලියපු දැනෙන ප්‍රකාශයක් දෙකක් ගැනත් දැන ගන්න එක. ඒක නිසා ඔයා වැඩියෙන් ම අගය කරන අර කලින් කියපු නාට්‍යකරුවන්ගෙ නිර්මාණ ගැන මට පොඩ්ඩක් ඒ කියන්නකො ඒවයෙ අර්ථත් එක්ක.”

“මන් නිර්මාණ දෙකක් ගැනම කියන්නංකො. මේවා ඒ අය ලියලා තියෙන්නෙ තමන් වැඩියෙන් ම ආදරය කරපු දෙක ආදරවන්තියන් දෙන්නා ගැන.”

“මොකක් ආදරවන්තියො දෙන්නා ගැන. ඔන්න ඉතින් මට භවභූතියි භාසයි දෙන්නම එපා වෙන්න යි යන්නෙ.” 

“කෝ මිහිදිනී, ඔයා කතාව කියන්නත් කලින් කලබල වෙනවනෙ. මන් මේ ආදරවන්තියො දෙන්නා කියලා මන් අදහස් කළේ භාසගෙ අම්මයි භවභූතිගෙ බිරිඳයි කියන දෙන්නා. ඒ අය තමන්ගෙ නාට්‍යවල චරිතවල ප්‍රකාශ හැටියට ඉදිරිපත් කළේ ඒ අයට තමන්ගෙ අම්මටයි බිරිඳටයි කියන්න ඕන දේවල්.”

“ආ එහෙමනං කමක් නෑ. මන් හිතුවෙ මේ....”

මිහිදිනී කියන්නට ගිය වාක්‍යය සම්පූර්ණ නොකොට නැවතුණා ය. ගඟුල් මඳ සිනහවක් පා පළමු ව පැවසුවේ භාස අම්මා ගැන ලියා ඇති ඔහුගේ නාට්‍යයක එන පද්‍යයකි. ඉන් කියැවෙන්නේ උපනුපන් ජන්මයක් පාසා සිය අම්මා ම සිය අම්මා වෙන්නැයි යන ප්‍රාර්ථනාව ඇයට වැඳ කරන බව ය.

නමස්කෘත්‍ය වදාමි ත්වාං  - යදි පුණ්‍යං මයා කෘතම්

අන්‍යස්‍යාමපි ජාත්‍යාං මේ - ත්වමේව ජනනී භව

“අනේ ඒක හරිම ලස්සනයිනෙ ගඟුල් සර්. එතකොට දැන් කියන්නකො භවභූති එයාගෙ බිරිඳ ගැන කියපු පද්‍යය.”

“දැන් මිහිදිනී මන් ඒකත් කියන්න ම ඕනෙ ද? ඇත්ත ම කියනවනං මේක එයා බිරිඳට කිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ බිරිඳ පෙම්වතිය වෙලා ඉන්න කාලෙ කියපු එකක් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මිහිදිනී මට හිතෙන්නෙ ම දෙවෙනියට කියපු කාරණේ තමයි වැඩිය හරි කියලා.”

“ඉතින් අනේ කියන්ඩකො තවත් අගේ කරන්නැතුව.”

“අගේ කරන දේවල් ළඟ ඉන්න කොට ටිකක් නෙමෙයි ගොඩක් අගේ කරල යි ඒක කියන්න ඕනෙ.”

ගඟුල් මෙවදන් පැවසුවේ මිහිදිනිය දෙස එක එල්ලේ බලමිනි.

“ඔන්න එහෙනං මන් දැන් භවභුති එයාගෙ ආදරවන්තියට කියපු දේ කියනවා.”

ම්ලානස්‍ය ජීවකුසුමස්‍ය විකාසනානි - සන්තර්පණානි සකලේන්ද්‍රියමෝහනානි

ඒතාන් තේ සුවචනානි සරෝරුහාක්ෂි - කර්ණාමෘතානි මනසශ්ච රසායනානි

මෙසේ කියා ගඟුල් එහි අර්ථය නොපවසා නිහඬ විය.

“ඇයි අනේ ඔයා ඒකෙ තේරුම නොකියා මන ්දිහා බලාගෙන ඉන්නෙ. කියන්නකො අනේ තේරුම.”

“ඔයාට මේ වෙලාවෙදිම මේකෙ තේරුම මන් කියන්න ඕනෙ ද මිහිදිනී?”

“නැතුව මේ වෙලාවෙම තමයි ඔයා මට මේකෙ තේරුම කියා දෙන්න ඕනෙ.”

ගඟුල් තවත් ටිකක් මිහිදිනියට සමීප වූයේ ය. මොහොතක් ඇය දෙස ආදරයෙන් බලා සිවියේ ය. අනතුරුව භවභූතිකෘත පද්‍යයේ අර්ථය ප්‍රකාශ කෙළේ ය.

“පියුමැසිය, ඔබේ මේ සොඳුරු වදන් මගේ මැලවුණු දිවි කුසුම විකසිත කරවයි; මෝහිත ඉඳුරන් සතපවයි;

සවනට අමාවකි; මනසට රසායනයකි.” 

මිහිදිනී හැඟුම්බර දෙනෙතින් ගඟුල් දෙස බලා සිටියා මිස එඅරුත් ගැන වචනයකුදු ප්‍රකාශ නොකළා ය. ඒ අනුව මඳ නිහැඬියාවකින් පසු යළි කතාව ආරම්භ කෙළේ ගඟුල් ය.

“අපි මිහිදිනී, දණ්ඩින් ගැනනෙ කතා කරන්න ආවෙ. සියබස්ලකරට බලපාපු පොත තමයි දණ්ඩිගේ කාව්‍යාදර්ශය. ඒ වගෙම එතුමගේ වඩාත් ප්‍රසිද්ධ තවත් පොතක් තමයි දශකුමාරචරිතය. ඒක ගද්‍ය කාව්‍යයක්. අපිට සංස්කෘත පද්‍ය රචකයො ගොඩක් හිටියට ප්‍රසිද්ධ ගද්‍ය රචකයො ඉන්නෙ අතේ ඇඟිලිවලින් ගණන් කරලා පෙන්නන්න පුළුවන් තරමෙ අඩු සංඛ්‍යාවක්. ඒ රචකයන් අතරෙත් අනිවාරෙන් කියවෙන නම් තුනක් තියෙනවා. ඒ තමයි බාණ, සුබන්ධු ඒ වගෙම අපි දැන් මාතෘකා කර ගත්ත දණ්ඩින්. මන් හිතන්නෙ දණ්ඩි තමයි සංස්කෘත ගද්‍යයත් සංස්කෘත පද්‍යය තරමට ම සුන්දර යි කියන කාරණේ අපේ හිත්වල තහවුරු කළේ.”

“ගඟුල් සර්ට පුළුවන් ද ඔය කියන සුන්දර ම ගද්‍ය පාඨයක් මට දැන ගන්නත් එක්ක කියන්න.”   

“එහෙමනං ඉතින් මට වාහනේ අයිනකට කරලා නවත්තන්න වෙනවා.” 

“ඒ මොකද අප්පච්චියේ වාහනේ නවත්තන්නෙ. ඔය මතකෙ තියෙන එකක් කිව්වහම ඇති.”

“ඇයි දැන් ඔයාට ඕනෙ කිව්වෙ දශකුමාරෙ තියෙන සුන්දර ම ගද්‍ය පාඨයක් නෙමෙයි ද?”

“සුන්දර ම එකක් තමයි මහත්තයො. හෝ දැන් තමයි මට තේරුණේ. ඔයා දැන් මානව පුස්තකාලෙන් තාක්ෂණික පුස්තකාලෙට මාරු වෙන්න නේ ද හදන්නෙ.”

මිහිදිනී එවදන් පැවසුවේ ගඟුල් රථය මාවත අයිනට වන්නට නවතා අන්තර්ජාලයට පිවිසෙනු දැක ය.

“මිහිදිනී, මන් ඔන්න ලස්සන ම තැනක් තෝරලා ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්කම ඔයාට කියන්න යි හදන්නෙ. හැබැයි මට ඒකට ඉස්සෙල්ලා පොඩි ප්‍රවේශයක් ගන්නත් ඕනෙ. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි, අපි අද අනිවාරෙන් ම රේණු අක්කලගෙ ගෙදෙට්ට ගොඩ වෙන්න ඕනෙයි කියන කාරණාවත්.”

“ඇත්ත නේන්නං. ඒත් ඉතින් එක එක කතන්දර එක එක්කෙනාගෙන් අහගන්න කියන වාක්‍යය ලියලා තිබුණෙත් ඒ රේණු අක්කම තමයි.”

“හරි මට මන් හිතපු තැන හම්බ උනා. අපි දැන් අර ප්‍රවේශෙ ගමුකො ඔක්කොටම කලින්. දශකුමාරචරිතෙ තියෙන්නෙ එකට හැදිච්ච වැඩිච්ච යාලු කුමාරවරු දහදෙනෙක් තම තමන්ගෙ වචනවලින් තමුන්ගෙ කතාව කියන එක. මුලින් ම රාජහංස කියන රාජකුමාරයා තමන්ගෙ කතාව කියනවා. ඊට පස්සෙ සෝමදත්ත කියන ඇමති පුතා තමන්ගෙ කතාව කියනවා. ඔය විදිහට පුෂ්පෝද්භව, මිත්‍රගුප්ත, මන්ත්‍රගුප්ත වගෙ කුමාරවරු දහදෙනෙක් තමන්ගෙ කතා කියනවා. මේකෙ සඳහන් වෙනවා මේ කුමාරවරු දහදෙනාම විද්වතුන් ඇසුරු කරපු ඥානවන්තයන් වගෙම රණශූරයන් බව. හැබැයි අපි අමතක කරන්න නරකයි මේ රාජපුත්තු ඇමති පුත්තු නරක අයනං නෙමෙයි කියලා රචකයා කිව්වට මේ වර්තමාන සමාජෙ ඉන්න සමහර රජ ඇමති පුතාලව අපට මතක් කරලා දෙන වැඩත් මේ අය කරන බව.”

“ඒ කියන්නෙ ඔය කියන අය, කාල දේශ භේදයකින් තොර ව සමාන චරිත ලක්ෂණ තියෙන අය කියන එක ද ගඟුල් සර්.”

“ඔයා දැන් ඔය මතු කරන කාරණේ ඔයිට ටිකක් වෙනස් ව එක විදිහක ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් දක්වලා තියෙනවා දශකුමාරචරිතෙට සිංහල පරිවර්තනයක් කරපු පුස්සැල්ලාවෙ ඤාණරතන හාමුදුරුවොයි මහාචාර්ය කේ බී ජයවර්ධන මහත්තයයි ඒ පොතට ලියපු ප්‍රස්තාවනාවෙ.”

“දැන් සර්ගෙ කතා ප්‍රවේශය එහෙම එකකට එහා ගිය දිග කතාවක් වෙන්න යන බව පෙනුණත් මාත් කැමති විස්තර ඇතුව ම මේ ගැන දැනගන්න තමයි. මොකක් ද සර් ඒ ප්‍රස්තාවනාවෙ තිබුණෙ.”

“මිහිදිනී, අපේ පරිවර්තක දෙපළ කියනවා සමාජෙක බරපතල ගණයේ අපරාධවල මූලිකත්වය දරන්නෙ රාජ්‍යපාලනේටම සම්බන්ධ රජ - ඇමති - මැති පුතුන් කියන කාරණාව. ඒ අය කියන්නෙ දශකුමාරචරිතෙ එන කුමාර චරිතවල චර්යාවෙන් පැහැදිලි වෙන්නෙත් ඒ කාරණාව ම තමයි කියන එක. මන් මතකෙන් ම කියන්නං ඒ පොතේ මට හොඳින් ම දැනිලා මතක හිටිච්ච වාක්‍යයක් දැන්.

රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ පාලකයන් කිසිම හිරිකිතයකින් තොර ව දූෂිත හා දරුණු ගණයේ අපරාධවල නිරත වීම ඉදිරිපත් කොට ඇත්තේ තත්කාලීන සමාජ විද්‍යාඥයකුගේ දෘෂ්ටිකෝණයෙන්  වුව ද එය සාර්වකාලීන හා සර්වදේශජ වේ. ”

“අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිටත් වඩා වෙනම මානයකින් අදහස් ඉදිරිපත් කරන කෙනා මේ වෙලාවෙ මෙතන නැති එක තමයි දුක.”

“කවුද අපේ රේණු අක්කා නේද?”

“ඔව් එයා තමයි.” 

මිහිදිනී පැවසුවේ සිය සොඳුරු විවාදිනී ළඟ නොමැති දුකිනි.

“දැන් ඒ විවාදිනී නැති උනත් තවත් බරපතල ම විවාදිනියක් ළඟ ඉන්න නිසත් මේක ප්‍රවේශයක් නොවී දිග කතාවක් උනාට කමක් නෑ කියලා කිව්ව නිසත් මේ දශකුමාරෙ එන ඔයත් දැන ගන්න කැමති වෙයි කියලා හිතෙන තැනක් මතු කරන්නං.”

“ඒ මොකක් ද ගඟුල් සර්.” 

“මේකෙ එන මිත්‍රගුප්ත කියන කුමාරයට දවසක් භයානක රකුසෙක්ගෙ තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. උඹේ පණ බේර ගන්න ඕනෙනං මන් අහන මේ ප්‍රශ්න හතරට උත්තර දීපන් කියලා ඒ රකුසා කියනවා. මොකද කියන්න ද මිහිදිනී ඒ ප්‍රශ්න හතර.” 

“හා කියන්න කියන්න, ඒ භයානක රකුසා ගඟුල් සර් ය, ඒ රකුසාගේ ග්‍රහණයට ලක් වෙච්ච මන්ත්‍රගුප්ත මම ය කියලා හිතලා මන් අහගෙන ඉන්නංකො.”

මිහිදිනී ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

“ඔන්න රකුසා මුලින් ම අහනවා ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලා. ඊට පස්සෙ අහනවා ගෘහස්තයාට - ගිහියාට ප්‍රිය වෙන්නෙ කවුද කියලා. ඊටත් පස්සෙ අහනවා කාමය මොකක් ද ඇති කරන්නෙ කියලා. අන්තිමට අහන ප්‍රශ්නෙ තමයි සාධනයට - ඒ කියන්නෙ ඉෂ්ට කර ගන්න දුෂ්කර ම දේ මොකක් ද කියලා.”

“හොඳයි මොනව ද ඒවට මන්ත්‍රගුප්ත මාරයාට දීපු උත්තර.” 

“නෑ එහෙම නෙමෙයි, ඉස්සෙල්ලා ඔයා කිව්වනෙ මන් අර භයානක රකුසා ය ඔයා තමයි අහිංසක මන්ත්‍රගුප්ත ය කියලා. දැන් ඉතින් ඉස්සෙල්ල ම ඔය මන්ත්‍රගුප්ත උත්තර දුන්නොත් හොඳ යි ඒ ප්‍රශ්න හතරට උත්තර.” 

“හොඳයි මට මතක තියෙන විදිහට ඔයා මුලින් ම ඇහැව්වෙ ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලනෙ. මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි දුෂ්ටකම. මොකක් ද එතකොට අර අතීත මන්ත්‍රගුප්ත දීපු උත්තරේ.”

“හැබැයි මන්ත්‍රගුප්ත දුන්න උත්තරේනං ඕක නෙමෙයි. එයා කිව්වෙ ස්ත්‍රී හදවත තමයි ලෝකෙ තියෙන කුරිරු ම දේ කියල යි.”

“මොකක් ස්ත්‍රී හදවත?”

“මේ මේ ඔහොම දරුණු විදිහට මන් දිහා බලන්න එපා. ඒ මගෙ උත්තරේ නෙමෙයි මන්ත්‍රගුප්තගෙ උත්තරේ.”

“දැන් මෙතන මන්ත්‍රගුප්ත නෑනෙ. මට දැන ගන්න ඕනෙ ඔයා මන්ත්‍රගුප්ත නං දෙන උත්තරේ ඒක ද කියන එක යි.”

“දැන් බැලුවහම භයානක රකුසා වෙලා තියෙන්නෙ ඔයානෙ. ඔන්න මමත් පැහැදිලි ව ම කියන්නෙ මන්ත්‍රගුප්තගෙ උත්තරේට මාත් එකග නැහැ කියන එක වගෙම මටත් දැනෙන්නෙ ඔයාගෙ උත්තරේ කියන එක.” 

“හා එහෙනං කමක් නෑ එහෙම නං මට පුළුවන් ඔයා නිදොස් කොට නිදහස් කරන්න. හොඳයි  දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමුකො. පොඩ්ඩක් මතක් කරන්නකො ඒක.” 

“ගිහියාට ප්‍රිය වන්නේ කවු ද?”

“ඔයා ඔය ගෘහස්ත - ගිහි ජීවිතය කියලා අදහස් කළේ ස්වාමි භාර්යා සම්බන්ධය නං ස්වාමියාට ප්‍රිය වෙන්න ඕන භාර්යාව, භාර්යාවට ප්‍රිය වෙන්න ඕන ස්වාමියාව.”

“ඔයා හරිනෙ මිහිදිනී, ඔයා තමයි දෙපැත්තට ම අදාළ කරලා සම්පූර්ණ උත්තරේ දුන්නෙ. මන්ත්‍රගුප්ත කියන්නෙ ගිහියාට ප්‍රිය වෙන්න ඕන ගුණවත් බිරිඳ කියල යි. සංස්කෘත වචනවලින් ම කියනවනං ගුණවන්ත භාර්යාව යි.”

“එතකොට මට මතක හැටියට තුන්වෙනි ප්‍රශ්නෙ තිබුණෙ කාමය මොකක් ද ඇති කරන්නෙ කියලනෙ. හැබැයි හින්දු සම්ප්‍රදායෙ තියෙනවා කියලා ඔයා කියලා දීලා තියෙන හැටියට කාමය නිසා ක්‍රෝධය තමයි ඇති වෙන්නෙ. හැබැයි එහෙම කියපු ඔයාම අපිට කියලා තියෙනවා කාම කියන වචනෙ මූලය වෙන කම් කියන ධාතුවෙන් අදහස් වෙන්නෙ කැමැත්ත, කැමති වීම ය කියලා ඔයාලගෙ සංස්කෘත සර් කියලා දීලා තියෙනව ය කියලා. එහෙම බැලුවහම නං අපේ කැමැත්ත, කාටවත් හිරිහැරයක් නොවෙන විදිහට සපුරා ගන්න එක වරදක් වෙන්න බැහැනෙ. මන් නං හිතන්නෙ ඇත්ත කාමය නිසා වෙන්නෙ යහපතක් මිස අයහපතක් නං නෙමෙයි.”

“ඉතින් මිහිදිනී, මන්ත්‍රගුප්ත කියන්නෙත් ඕකම නෙ. එයා පාවිච්චි කරන වචනෙ තමයි කාමය නිසා වෙන්නෙ ඉෂ්ටාර්ථ සිද්ධිය. ඉතින් ඉෂ්ට අර්ථ සිද්ධිය කියන්නෙත් යහපත සිද්ධ වෙන එක නේ ද? බැලුවහ ම අපේ වර්තමාන මන්ත්‍රගුප්තිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනෙ. හැබැයි මන් ඔයාව කජංගලා භික්ෂුණීන් වහන්සේ, අමරා දේවි නියෝජනය කරන බුද්ධිමත් ස්ත්‍රී කුලකයට දාන්නෙ නං අන්තිම ප්‍රශ්නෙට දෙන උත්තරේ අනුව තමයි.”

“මේ මේ ගඟුල් සර්, මන් කජංගලා භික්ෂුණීන් වහන්සේගෙ ගොඩට දාන්න, ඒත් මන් කැමති නෑ අමරා දේවි වෙන්න.”

“ඒ මොක ද අප්පච්චියෙ අමරා දේවි වෙන්න කැමති නැහැ කියන්නෙ. අමරා දේවි කියන්නෙ අපේ බෞද්ධ සාහිත්‍යෙ එන ප්‍රඥාවන්ත ස්ත්‍රී රත්නයක්නෙ.”

“මන් ඒක පිළිගන්නවා ගඟුල් සර්. ඒ උනාට මන් ලෑස්ති නෑ මහෞෂධ පඬිතුමා නෙමෙයි කවුරු කිව්වත් ස්වාමියගෙ වචනෙට ගරු කරනවා කියලා ස්වාමි භක්තිය පෙන්නන්න කියලා උයපු බත් හරි වෙන මොනවා හරි තවරගෙන නිරපරාදෙ කාටත් පේන්න අව්වට වෙලා ඉන්න.” 

“ඔන්න ඔයාගෙ ඔය ගති හින්දනෙ මමත් ඔයාට මෙච්චර කැමති. හරි දැන් කියන්නකො සාධනයට දුෂ්කර දේ මොකක් ද කියලා.”

“ඇයි ළමයො, ප්‍රඥාවනෙ සාධනයට දුෂ්කර දෙය.”

“මිහිදිනී”

ගඟුල් මිහිදිනීගේ නම උච්චාරණය කෙළේ විස්මයෙනි.

“ඇයි ගඟුල් සර්, මේ පුදුමෙන් වගේ.”

“පුදුම වෙන්නැද්ද ළමයො එදා මන්ත්‍රගුප්ත දුන්න උත්තරේ ම ඔයා මේ දැන් දෙන කොට.”

“ඒක පුදුම වෙන්න තරන් දෙයක් නෙමෙයිනෙ සර්. ඇයි බලන්න බුදුහාමුදුරුවො ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළේ ඒ යුගේ ජීවත් වෙලා හිටපු ප්‍රඥාවන්තයො පස්දෙනෙකුට. ඒ කියන්නෙ පස්වග මහණුන් කියලා බෞද්ධ සාහිත්‍යෙ ප්‍රචලිත ඥානවන්තයො පස්දෙනා. ඔයාගෙ සංස්කෘත භාෂාවෙන් කියනවනං පඤ්චවර්ගීය භික්ෂූන් වහන්සේලා. ඒ පස් දෙනාගෙනුත් ධර්මය වහා වැටහෙන ගුණය තිබුණෙ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ටනෙ. අන්න ඒ කාරණෙත් මතක් වෙලා තමයි ළමයො මම සාධනයට දුෂ්කර ම දේ ප්‍රඥාව කියන උත්තරේ දුන්නේ. ඒක නෙමෙයි කෝ දැන් අර දශකුමාරචරිතෙ සුන්දරම තැනක් ගැන මට තාම කිව්වෙ නැහැනෙ. තැනක් කිව්වට තැන් දෙක තුනක් ගැන කිව්වත් කමක් නෑ.” 

“ඉතින් අපට පරක්කු වෙන් නැද්ද මිහිදිනී, රේණු අක්කලගෙ ගෙදර යන්න.”

“කොහොමත් ගඟුල් සර්, රේණු අක්කා මට අද අපේ ගෙදර යන්න දෙන්නෙ නැහැ. මට එහෙ ඉන්න ම වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපේ සාකච්ඡාව දිගට ම කරගෙන යන්න. මොක ද මන් අද මේ ඉගෙන ගන්න දේවල් මන් උගන්නන භාෂාවෙන් අපේ ශිෂ්‍යයන්ට දෙනවා. මොකද ඔයා කියන්නෙත් කොයි සාහිත්‍යෙක හරි තියෙන ලස්සන දේවල් අපේ කරගෙන ලෝකයට දෙන්න කියලනෙ.”

“හරි එහෙමනං අපි ගමුකො භාෂාව ලස්සන තැනක් මුලින් ම. මේක දීර්ඝ ඡේදයක මුල් වාක්‍යය විතර යි.   මෙතෙන්දි තරුණියක් කියනවා රාජවාහන කුමාරයාට රජතුමනි, දෙන්න මට ඔබගේ කරුණාවෙන් තෙත් වූ හදවත, මම සඳරැසින් උපන් සෝමරශ්මි කියන ගන්ධර්වයාගේ දියණිය වන සුරතමඤ්ජරී කියන දෙවඟන යි කියලා. බලන්න ඒ පොඩි දේ කියන්න දණ්ඩින් වචන පාවිච්චි කරන විදිහ. 

දේව, දීයතාමනුග්‍රහාර්ද්‍රේ චිත්තම්, අහමස්මි සෝමරශ්මිසම්භවා සුරතමඤ්ජරී නාම සුරසුන්දරී.”

“හැබැයි ගඟුල් සර්, මෙතන තියෙන්නෙ වචනවල ලස්සනකම විතරක් නෙමෙයි මහ සුන්දර අර්ථෙකුත් තියෙනවනෙ. බලන්න කෙනෙකුට දෙන්න කියන්නෙ කරුණාව නමැති අනුග්‍රහයෙන් තෙත් වෙච්ච හදවතක් කියන එක ම මොන තරන් විශාල අර්ථයක් දෙන යෙදුමක් ද?”

“බැලුවහම ඔයාට සංස්කෘත දැනුමකුත් තියෙනවනෙ මිහිදින,ී මන් කිව්වෙ කරුණාවෙන් තෙත් වූ හදවතක් දෙන්න කියලා විතර යි. ඔයා මන් කියපු සංස්කෘත පාඨෙ අහගෙන ඉඳලා ඒකෙ තිබිච්ච අනුග්‍රහ කියන වචනෙත් සම්බන්ධ කරගෙන ම අර්ථ දක්වනවනෙ.”

“දැන් ගඟුල් සර් කියන්නකො පැහැදිලි ව ම දශකුමාරෙ තවත වටින අර්ථයක් ප්‍රකාශ වෙන තැනක්. ඉස්සෙල්ලා සංස්කෘත ප්‍රකාශෙ කියන්න. ඊට පස්සෙ අර්ථෙ කියන්න.”

නනු ධර්මාදෘතේ’ර්ථකාමයෝරනුත්පත්තිරේව. තදනපේක්ෂ ඒව ධර්මෝ නිවෘත්තිසුඛප්‍රසූතිහේතුරාත්මසමාධානමාත්‍රසාධ්‍යශ්ච. සෝ’ර්ථකාමවද්බාහ්‍යසාධනේෂු නාත්‍යායතතේ. තත්ත්වදර්ශිනෝපබෘංහිතශ්ච යථාකථඤ්චිදප්‍යනුෂ්ඨීයමානාභ්‍යාං නාර්ථකාමාභ්‍යාං බාධ්‍යතේ. බාධිතෝ’පි චාල්පායාසප්‍රතිසමාහිතස්තමපි දෝෂං නිර්හෘත්‍ය ශ්‍රේයසේ’නල්පාය කල්පතේ.

“මට එහෙන් මෙහෙන් තේරෙනවා වගේ දැනෙනවා. ඒ උනාට එහෙම බැහැ, මට හරියට ම මේකෙ අර්ථය දැනගන්න ඕනෙ.”

අනතුරුව ගඟුල් දූරකථන මුහුණත මත දෘශ්‍යමාන සංස්කෘත පාඨය දෙස මොහොතක් සාවධාන ව බලා සිටියේ ය. අනතුරුව මෙසේ අර්ථය ප්‍රකාශයට පත් කෙළේ ය.

ඒකාන්තයෙන් ධර්මයෙන් තොර ව අර්ථ කාම දෙකේ හට ගැන්මක් නැහැ. ඒ දෙකේ අපේක්ෂාවක් නැතුව ම ඒ ධර්මය නිවෘත්තියේ ඒ කියන්නෙ මේ සංසාර ප්‍රවෘත්තියේ නැවැත්ම කියන සැපයේ ඉපදීමට හේතුව තමන්ගෙ ඒකාග්‍රතාවෙන් පමණක් සිද්ධ කරන්න ඕන දෙයක්. මේ ධර්මය කියන දේ අර්ථ කාම දෙක වගේ බාහිර සංසාර සාධනත් එක්ක යන දෙයක් නෙමෙයි ඒක ඉක්මවා පවතින දෙයක්. තත්ත්ව දර්ශනයෙන් ඒ කියන්නෙ ඇති සැටිය දැකීමත් එක්ක වැඩෙන ධර්මය කොහොම හරි දුකසේ සේවනය කරන කොට ඒකට බාධා කරන්න අර්ථ කාම දෙකෙන් කොයි එකටවත් පුළුවන්කමක් නෑ. සමහර විටෙක ඒ දෙකෙන් යම් බලපෑමක් ආවත් අල්ප උත්සාහයකින් කෙනෙකුට පුළුවන් ඒ දෝෂයත් දුරු කරගෙන අනල්ප වූ ඒ කියන්නෙ අල්ප නොවන මෝක්ෂය ලබා ගන්න.

“ටිකක් නෙමෙයි ගොඩක් ගැඹුරු, ඒත් තේරුම් ගත්තොත් ජීවිතයට සමීප කරගන්න පුළුවන් දහමක් නේද මේ කියලා තියෙන්නෙ. ගඟුල් සර්ට ගොඩක් පින් මේ වගෙ දේවල් මට කියලා දෙනවට.”

“අනේ මට නෙමෙයි මිහිදිනී පින් දෙන්න ඕනෙ.”

“එහෙනං වෙන කාට ද?”

“ඒ අතීත සමාජෙ ජීවත් වෙච්ච දණ්ඩින් කියන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට.” 

“හරි හරි ඒ අතීත ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි වර්තමාන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි දෙන්නට ම පින්.”

“හොඳයි හොඳයි එහෙනං මාත් ප්‍රඥාවන්තයෙක් කළා ඔයා. දැන් අර රේණු ප්‍රඥාවන්ති බලන් ඉන්නවනෙ අපි එනකං. දැන් අපි පිටත් වෙමු නේ ද?”

“පිටත් වෙමු, පිටත් වෙමු. රේණු අක්කා මෙසේජ් එකක් එවලා තියෙන්නෙ හවස හතරට හරි කමක් නෑ දවල් කෑම කන්න එන්න ඕනෙ එහාට යි කියලා, අපිට අවසර තියෙන්නෙ අතරමග දි තේකක් බොන්න විතර යි.”

“හම්මෝ එහෙනං ඒක ඇවිල්ලා අනුල්ලංනීය  ඉල්ලීමක්. නෑ නෑ මට වැරදුනා අනුල්ලංඝනීය නියෝගයක්.”

ගඟුල් අතරමග දී රිය නතර කෙළේ ස්ථාන දෙකක දී පමණි. ඒ වරක් තේ බීම සඳහා පෙට්ටි කඩයක් ළඟ ද දෙවෙනි වර රියට ඉන්ධන ගසා ගැන්ම සඳහා ඉන්ධන පිරවුම් හලක් ළඟ ද වශයෙනි.

සවස තුන පමණ වන විට ඔවුහු රේණුගේ නිවසට ළඟා වූහ. රථ ශබ්දය අසා පළමු ව නිවහනින් එළියට ආවේ උපදිසාපතිවරයා ය. 

“මන් බැලුව කවු ද කියලා. මේ දෙන්නනෙ. කොච්චර දෙයක් ද ඔය දෙන්න මේ වෙලාවෙ ආපු එක.” 

රියෙන් බැස සිය වැඩිමහල් සොහොයුරකු මෙන් දැනෙන උපදිසාපතිවරයා වෙත ගිය මිහිදිනී පළමු ව ඔහුට වැඳ ආචාර කොට දෙවනු ව ඔහුගේ දෑතින් අල්ලා ගත්තා ය. ගඟුල් ද මිහිදිනීගේ ක්‍රියා පිළිවෙත ම අනුගමනය කෙළේ ය. දෙදෙනාගෙන් පළමු ව කතා කෙළේ මිහිදිනී ය.

“අය්යා, මන් දන්නවා මේ වෙලාවෙ ඔයාගෙ හිතට දැනෙන විදිහ. මන් අද මෙහෙ ඉන්නවා. ගඟුල් සර් රෑ වෙන්න ගෙදර යාවි. අපි හෙට ඉස්කෝලෙ ගිහින් හෙට යි අනිද්ද යි වැඩ කරලා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් එහෙන් පිටත් වෙන්නං මෙහෙට එන්න.”

“ඒක හොඳයි නංග,ි මේ වෙලාව කියන්නෙ මගෙ නංගිලා දෙන්නට විතරක් නෙමෙයි අපේ අම්මටත් ඔයා ඕන වෙලාව.” 

“අය්යෙ ඕනකම අනුව මට පුළුවන් වේවි. අපේ ලොකු සර්ට දන්නලා හත් දවසෙ පින්කම ඉවර වෙනකං උනත් මෙහෙ ඉන්න.”

“ඔයා නංග,ි පින්කම ඉවර වෙනකං නෙමෙයි හැමදාම උනත් මෙහෙ ඉන්නවට අපි කැමතියි. ඒ උනාට නංගි ඔයාටත් තියෙනවනෙ මේ වෙලාවෙ වෙනදටත් වැඩියෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්න යුතුකමක්. මොක ද ඔය දෙන්න ම උගන්නන්නෙ එකම සබ්ජෙක්ට් එකනෙ. මුළු ඉස්කා්ලෙ ම ඒ විෂය උගන්නන ගූරුවරු තුන් දෙන යි නේ ද ඉන්නෙ. අර මැදි වයසෙ ඉන්න ඉංග්‍රීසි උගන්නන මැඩනුත් ආවා. එයා කිව්වෙ අපේ නංගි එනකන් නංගිගෙ පන්තියෙ ළමයිනුත් එයාගෙ පන්තියට දාලා උගන්නන්නං කියල යි.”

“එහෙන ං අපේ අයිරාංගනී මැඩම්නෙ ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ. අම්මෝ ඉස්සර රේණු අක්කා ඒ ටීචර් එක්ක දාගන්න ගෝරි ඉවරයක් නැහැ.” 

“මට නං එහෙම එකක් පේන්න තිබුණෙ නැහැ. අපේ නංගිට එයා බොහොම ආදරෙන් කතා කළේ. ඒ ටීචර් යන කොට අපේ නංගි වැන්දත් එක්ක.” 

“අය්යා කියන එක හරි මේ ඇවිත් ගිහින් තියෙන්නෙ තමන්ගෙ පුද්ගලික කරදරවලින් පීඩා විඳපු නිසා ගැටුණත් පස්සෙ කාලෙකදි රේණු අක්කව තේරුන් ගත්ත අයිරාංගනී මැඩම්. අපේ රේණු අක්කා වැඳලා තියෙන්නෙ ඒ ජීවිතේ වෙනසක් කරගත්ත කෙනාට මිස එයාට මුලින් හමු වෙච්ච අයිරංගනී මැඩම්ට  නෙමෙයි.” 

එවදන් පැවසුවේ එතෙක් නිහඬ ව සිටි ගඟුල් ය.

“ඔයා හරි මල්ලි, මන් දන්නැද්ද අපේ නගා ගැන. කෝ අපි තාම එළියෙනෙ. යන් යන් ගෙට.”

“කෝ අය්යෙ අපේ රේණු අක්ක යි චූටි නංගි යි.” 

“ලොකු නංගි ඇඟ හෝද ගන්න කියලා ගියා. චූටි නංගි අම්මත් ලෑස්ති කරගෙන මේ ළඟ තියෙන පන්සලට ගියා අපේ නෑ මල්ලි කෙනෙකුත් එක්ක. යන් අපි ඉඳගෙන ම කතා කරමු නංගි.”

මොහොතකින් ලා පැහැති ගවුමකින් සැරසි රේණු ඔවුන් ඉදිරියට ආවා ය. ඔවුන් දුටුවේ වෙනදා කවට බස් තෙපළන, තැන නොතැන නොබලා ඔවුන් සමග ආදරණීය කලහයනට එළඹෙන තැනැත්තිය නොව මහත් සෝබර බවකින් යුතු කලණ මිතුරිය යි.“

මිහිදිනී වහා රේණු වෙත ගොස් ඇය වැළඳ ගත්තා ය. 

”අක්කා ළඟ හරි සුවඳ යි අක්කෙ. ඔයත් සුවඳ යි ඔයාගෙ හිතත් සුවඳ යි අක්කේ. අපේ වගෙම අපේ ශිෂ්‍යයන්ගෙ ඒ වගෙම තව අප්‍රමාණ ජීවිත සුවඳ කරන්න ඔයා ශක්තිමත් වෙන්න ඕන අක්කේ. මාත් හොඳට ම දන්නෙ අපිටත් තාත්තා කෙනෙක් වෙච්ච මේ තාත්තා වෙනුවෙන් කරන්න ඕන ලොකු ම පින්කමත් ඒකයි අක්කෙ.”

හැඟුම්බර දෙනෙතින් සිය කලණ මිතුරිය මොහොතක් වැළඳ ගෙන සිටි රේණු අනතුරුව ගඟුල් වෙත පැමිණ මහත් වූ සහෝදර ප්‍රේමයකින් යුතු ව ඔහු ද වැළඳ ගත්තා ය. අනතුරුව ඇය ගඟුල්ට පැවසුවේ මේ වචන යි. 

“විපුල් අය්යා ඇවිල්ලා උඹගෙම අය්යා තමයි මල්ලි හැම අතින් ම. මේ වෙලාවෙ උඹ ළඟ නැති අඩුව පිරෙව්වෙ එයා තමයි. අන්තිම මොහොතෙ අපේ අය්යත් එක්ක තාත්තා ළඟ ම ඉන්න සමීපතමයෙක් උනා විපුල් අය්යා. මට මේ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මල්ලි එක වෙලාවක් උඹේ අය්යා තාත්තව එයාගෙ අත් දෙකින් උස්සලා තියා ගත්ත මොහොත.”

“අපිට හොඳට ම දැනෙනවා අක්කෙ දැන් ඔයාට තාත්තව දැනෙන විදිහ. අපේ මිහිදිනී මතක් කරපු විදිහට ඔයාගෙ සේවා ජීවිතය කියන්නෙ ම පින්කමක් අක්කෙ.”

“යන් යන් දැන් වෙලාව තුනටත් කිට්ටුයි, ඔක්කොටම ඉස්සෙල්ලා අපි කාලා ඉමු. උඹලා දෙන්නා අතරමගදි කාලා ආවෙ එහෙම නෑ නේද?”

“මොන තේකක් බොන්න නතර කළෙත් මෙයාට බොහොම කරුණු කාරණා පැහැදිලි කරලා. පුළුවන් ඉක්මණින් යමු ය, කාලා එහෙම ගියොත් රේණු අක්කගෙන් හම්බ වෙන්නෙ ගුටි ය කිය කියා මාවත් ඉක්මන් කෙරෙව්වෙ ඔයාගෙ මේ නංගි මිහිදිනී තමයි.” 

“ඔව් ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මාත් මේ නොකා නොබී බලන් හිටියෙ උඹලා දෙන්න එනකන්නෙ.”

“අනේ රේණු අක්කෙ ඔයත් තාම කෑවෙ නැද්ද? යන් යන් මේස ඕනෙ නැහැ. තුන් දෙනාම කුස්සියට ගිහින් බෙදාගෙන කමු.”

“ඔව් එහෙම තමයි මොකෝ නැතුව උඹලා දෙන්නට මේසවලට කෑම අරින්න මට පිස්සුවක් තියේ ය.”

රේණු මොන වචන කතා කළ ද ඇය සමග සමීප ඇසුරක් තිබූ ගඟුල්ට සහ මිහිදිනීට පිතෘ වියෝගය නිසා ඈ තුළ ඇති වේදනාව තේරුම් ගැන්ම අපහසු නොවී ය. කෑම වෙලාවෙන් පසු රේණු කතා කළ වචනවල රැඳී තිබුණේ ද පියවිරහජජනිත ශෝකය යි. 

“මල්ලි, උඹට මතක ද අපි අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ ආරාධනපත්‍ර අරගෙන පිටත් වෙච්ච දවසෙ ටික වෙලාවක් රත්නපුරේ මහ සමන් දේවාලෙ ඉඳගෙන කතා කළා. මතක ද එදා අපි වැඩියෙන් කතා කළේ කා ගැන ද කියලා.”

“මොකෝ අක්කෙ අමතක. එදා අපි වැඩියෙන් කතා කළේ සමන් අය්යලගෙ තාත්තා ගැනනෙ. ඇයි අපේ මිහිදිනී සමන් දෙවියන්ගෙ ප්‍රතිමාව ළඟ ඉඳන් ඒ තාත්තා ලියපු කවියක් ගායනා කරපු එකනෙ මහ සාකච්ඡාවකට මග පෑදුවෙ.”

“අනේ මල්ලියෙ ඒ තාත්තා ගැන කතා කරපු වෙලාවෙ මන් කොහොමටවත් හිතුවෙ නැහැ දවසක් වත් ගත වෙන්න කලින් මට ඉන්න තාත්තා ගැන නෙමෙයි නැති වෙච්ච තාත්තා ගැන කතා කරන්න වෙයි කියලා.”

“ඕක තමයි රේණු අක්කෙ ජීවිතෙ. කවදා හරි දවසක අපිටත් සිද්ධ වේවි මේ එකට ඉන්න අපි අතරින් මුලින් ම නික්ම යන කෙනා ගැන කතා කරන්න.”

“මට මතක් වෙන්නෙ මල්ලි දවසක් උඹ කිව්ව සංස්කෘත ශ්ලෝකයක කෑල්ලක්. ඒකෙ තිබුණෙ පිතා හතා ත්‍රිභුවනමන්ධකාරං කියලා. උඹගෙ සාහිත්‍යෙ හරි මල්ලි, තාත්තා නැති උනාම මුළු ලෝකෙම අන්ධකාර උනා වගේ තමයි දැනෙන්නෙ.”    

ඔවුන් සිටි තැනට පැමිණි උපදිසාපතිවරයා ද නිහඬ ශ්‍රාවකයකු බවට පත්විය. ඒ මොහොතේ ගඟුල් කතා කෙළේ ය.

“අක්කෙ ඔයා අමතක කරන්න එපා අර කෞෂිතකී උපනිෂදය කියන විදිහට ඒ තාත්තා ගියේ තමන්ගෙ වචන, තමන්ගෙ ප්‍රාණය, ජීවිතය දකින ඇහැ, තමන්ගෙ ක්‍රියා, තමුන්ගෙ සතුට වගෙම වේදනාව ඒ වගෙම ප්‍රඥාව ඔයාටත් ඔයාගෙ මේ අය්යටත් චූටි නංගිටත් පවරා දීලනෙ. ඒ නිසා ඔය තුන් දෙනා කරන හැම වැඩක ම අක්කෙ තාත්තා ඉන්නව කියන කාරණේ මොහොතකටවත් අමතක කරන්න එපා.”

“ඇයි ගඟුල් සර් ඔයාම කියපු හැටියට ඒකෙ ලස්සන ම දේ තාත්තා කරන පවරා දීම් දරුවා බොහොම හැඟීමකින් බාර ගැනීමනෙ. අනේ සර් ඒ ප්‍රකාශෙන් අන්තිම කොටසවත් කියන්නකො දැන්. මන් හිතන්නෙ  පරිපාලන නිලධාරියෙක්  විදිහට තමන්ගෙ රටට අවංක සේවයක් කරන ඒ තාත්තගෙ ලොකු පුතා ඒ වගෙ ම සිය කැමැත්තෙන් ම ඈත දුරපළාතක ඉස්කෝලයක් ඉල්ලගෙන උගන්නන්න ආපු මගෙ මේ රේණු අක්කා  වගෙම විශ්වවිද්‍යාලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න චූටි නංගිත් කැමති වේවි ඒක අහන්න. නංගි මේ මොහොතෙ නැති උනාට කමක් නෑ රේණු අක්කා ඒක එයා ආවහම එයාට කියලා දේවි. අද මේ මොහොත තමයි ගඟුල් සර් ඒක කියන්න ඕන හොඳම දවස වගෙම හොඳම වෙලාව.”

මොහොතක් නිහඬ ව සිටි ගඟුල් ඒ පිතෘ දාරක සංකථනයේ අවසන් කොටස ඔවුනට ඉදිරිපත් කෙළේ ය.

මගේ ක්‍රියා ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ක්‍රියා මා තුළ තබනු මැනවි.

මගේ සතුට සහ වේදනාව ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ සතුට සහ වේදනාව මා තුළ තබනු මැනවි.

මගේ ආනන්දය, සොම්නස සහ උපත ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ආනන්දය, සොම්නස සහ උපත මා තුළ තබනු මැනවි.

මගේ සිත ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ සිත මා තුළ තබනු මැනවි.

මගේ ප්‍රඥාව ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ප්‍රඥාව මා තුළ තබනු මැනවි.

මගේ ජීවන හුස්ම ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ජීවන හුස්ම මා තුළ තබනු මැනවි.

මිහිදිනියගේ ඉල්ලීම පරිදි ගඟුල් කෞෂිතකී උපනිෂදයේ එන පියා ලෝකයෙන් සමු ගන්නා මොහොතේ සිදු වූ පිය පුතු සංවාදය රේණුත් ඇගේ දෙටු සොහොයුරාත් අසා සිටියේ දැහැන් ගත ව ය. සංකථනයට සාවධාන ව සිටි බැවින් ඔවුන්ගෙන් කිසිවකුට පන්සල් ගොස් පෙරළා ආ මව සහ කනිටු දියණිය ගෙට ගොඩ වන බව ඇසුණේ ද දැනුණේ ද නැත. එහි අරුත මෙය ශ්‍රවණය ම කළ යුතු තවත් දෙසවන් දෙකකට ද එවදන් ඇතුළු වී ඔවුන්ගේ හදවත්වල ගැඹුරු ම තැනටත් තදාගමික සාහිත්‍යයේ සිහිල් දිය දහර ගමන් කළ බව නොවේ ද?

එදින රේණුගේ පමණක් නොව ඇයගේ අම්මාගේත් සොහොයුරාගේත් සොයුරියගේත් ඉල්ලීම පරිදි මිහිදිනී ඔවුන්ගේ නිවසේ නැවතුණා ය. පසුදා උදාසනින් ඇය ගැන්මට එන බව දන්වා ගඟුල් සිය නිවස බලා පිටත් විය. සත් දවසේ පින්කම යොදාගෙන ඇත්තේ මෙම සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින බැවින් ගඟුල් බදාදා සවස් වන විට මිහිදිනී ද සමග පාසලට ගොස් බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් වැඩ කොට සිකුරාදා දිනයේ පාසල ඇරුණු විගස රේණුගේ නිවස බලා ඒමට තීරණය කෙළේ ය. ඒ ඉන් සිය සහෝදර ගුරුවරියගේ කාල සටහනට අයත් කාලච්ඡේද කිහිපයක් වත් මිහිදිනියට ආවරණය කළ හැකි නොවේ ද යන අදහස ඇති වූ බැවිනි. සේවා ජීවිතයට ප්‍රමුඛතාව දිය යුතු ය යන අදහස ඉහළින් ම පිළිගන්නා රේණු ද ඇගේ දෙටු සොයුරු උපදිසාපතිවරයා ද එය එක හෙළා අනුමත කළහ.

යන අතරමග දී ගඟුල්ට සිහිපත් වූයේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ග්‍රන්ථමාලාවේ දහතුන් වැන්න වන ආදරය නම් ග්‍රන්ථයේ අන්තර්ගත අයිතිවාසිකම් හා යුතුකම් නම් ශීර්ෂය යටතේ එන ලිපිය යි. එහි දී එතුමන් විසින් අවධාරණ කරනු ලැබ තිබුණේ උපන් සෑම කෙනෙකුට ම ජීවත් වීමේ අයිතිවාසිකම ඇත්තාක් මෙන් ඒ සෑම කෙනෙකුට ම ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් යන සතර උපයා ගැනීමේ මූලික අයිතිවාසිකම ද තිබිය යුතු බව ය. එතුමා පවසන්නේ අයිතිවාසිකම් ලබා ගැන්ම සඳහා කටයුතු කිරීමේ වරදක් නැති අතර ඒ සමග ම යුතුකම් ඉටු කිරීම කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ යුතු බව ය. එම ලේඛනය කියවද්දී ගඟුල්ට හැඟුණේ අයිතිවාසිකම් දිනා ගැන්මට සටන් කරන්නාක් මෙන් ම යුතුකම් ඉටු කිරීමේ සටනට ද අප දායක විය යුතු බව ය. රේණු අක්කා යනු සිය අයිතිවාසිකම්වලට වඩා අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ගැහැනියකි. එසේ ම තමා නොපිරිහෙළා යුතුකම් ඉටු කරන අතර ඇතැම් දෙනා සිය යුතුකම් ඉටු නොකරන විට ඔවුන්ගෙන් යුතුකම් ඉටුකරවීම උදෙසා  සටන් වදින ගැහැනියකි. එහෙත් මේ සියලු සටන්වල දී තමා තුළ සිටින ආදරණීය ගැහැනිය අහිමි කොට නොගෙන කටයුතු කිරීමට ද ඇය දනියි. මිහිදිනී සිය කලණ මිතුරිය හැඳින්වීම සඳහා යොදන අඳුරට එරෙහි ආලෝක රණකාමිණිය යන යෙදුම මේ ආදරණීය ගැහැනිය සම්බන්ධයෙන් අත්‍යන්තයෙන් ගැළපෙන යෙදුමක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මිහිදිනී විශේෂයෙන් හෙට දවසේ පාසලට යන්නේ ද තමාගේ යුතුකම මෙන් ම යුතුකම් උදෙසා සටන් වදින ඒ ආදරණීය ගැහැනියගේ යුතුකම් ද වෙනුවෙනි. එය කොන්දේසි මත පදනම් වන්නක් නොවේ. අදිකාරම්තුමන් පවසන පරිදි  ආදරය ඇති අය අතර අයිතිවාසිකම් ලබා ගැනීමක් වත් යුතුකම් ඉටු කිරීමක් වත් නැත. ඒ ආදරය යනු ගනු දෙනුවක් නොවන බැවිනි. එතුමා සිය ලේඛනය අවසන් කොට තිබූ ආකාරය    අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ නවමු දෘෂ්ටියකින් බැලීසම සඳහා වන ඇසක් නොවේ දැයි ගඟුල්ට සිතිණ.

මනුෂ්‍යයන් තුළ සැබෑ ආදරය පවතියි නම් ඔවුන් සිටින සමාජය අයිතිවාසිකම්වලින් නොමිරිකුණු වාසනාවන්ත සමාජයක් වන්නේය. ඒ සැබෑ ආදරය පිහිටන්නේ “මම” යන දෘෂ්ටිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විට ය. එය මනුෂ්‍ය සමාජයෙහි සිදුවිය යුතු එකම විප්ලවය ද වේ. ඒ විප්ලවය රටක ටික දෙනෙකු තුළ හෝ සිදුවන තුරු මනුෂ්‍යයාගේ සැපය වත් රටේ සාමය වත් ඇති වේ යයි බලාපොරොත්තු වීම අනුවණකමකි.

මේ වනවිට මෙවන් අර්ථසම්පන්න සිතිවිලි සමුදායක් සමාජගත කළ උත්තම පුරුෂයාගේ අභාවයෙන් ද සැලකිය යුතු කාලයක් ඉකුත් ව ගොස් ඇත. එතුමන්ගේ අදහස් එතුමන් වැදගත් යැයි සැලකූ ක්‍රියාකාරකම් යළි යළිත් සමාජගත කිරීම සඳහා පසුගිය දිනෙක ආචාර්ය ඊ. ඩබ්ලිව්.අදිකාරම් පදනම, ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති පදනම, අනුලා නීතිගත පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතිය යන සංවිධාන චතුර්ථයේ සාමාජිකයන් එක් රැස් ව සාකච්ඡා කළ බව ගඟුල්ට දැන ගැන්මට ලැබිණ. ඒ අනුව එළැඹෙන වර්ෂයේ දී පරිසරය, නිර්මාංසික ජීවන ප්‍රතිපදාව, මත්ද්‍රව්‍ය නිවාරණය, විද්‍යාව මානවයා ඇතුළු සමස්ත ජීව ලෝකයේ සුභසිද්ධිය උදෙසා යොදා ගැනීම, ආචාර්ය අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන මෙන් ම ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන දර්ශනය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාසල්, දහම් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාලයන් ඇතුළු විවිධ අධ්‍යාපන නිකේතනවල දියත් කිරීමට සැලසුම් කොට ඇති දේශන, වැඩමුළු, වෛද්‍ය සායන, රසවින්දන වැඩ සටහන් ආදියට සිය සහෘදයන් ද සමග එක් ව උපරිම සහාය ලබා දීමට ගඟුල් තීරණය කෙළේ ය. එසේ ම එවන් වැඩ සටහනක් දෙකක් ක්‍රියාත්මක කරන ස්ථානය බවට නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය ද පත් කොට ගත යුතු ය යන අදහස ද සිතේ දරා ගනිමිනි, ගඟුල් මිහිදිනියගෙන් ද රේණු ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද සමු ගෙන සිය නිවෙස බලා පිටත් ව ආවේ.














  ගුරු දියවර 26 ලෝකය සිය වේදනාවන්ගෙන් මගේ ආත්මය වරින්වර සිප ගන්නේ ගීත ස්වරූපයෙන් ඒවා ලෝකයට ම පෙරළා දෙන්නැයි ආයාචනා කරමිනි. පෙරළා කොළඹ බලා එන ගමනට පිටත් වීමට සැරසුණු මොහොතේ ය, මිහිදිනී රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ප්‍රකාශයකින් ආරම්භ කොට මධ්‍යම රාත්‍රියේ දී රේණුකා විසින් සිය ජංගම දූරකථනයට එවා තිබූ පණිවිඩය දුටුවේ. එම පණිවිඩය ඇය යොමු කොට තිබුණේ ගඟුල් සහ මිහිදිනී දෙදෙනා ම වෙතට ය. මිහිදිනී ගඟුල්ට ද ඇසෙන සේ ලියුමක ආකාරයෙන් ලියා තිබූ එම පණිවිඩය කියැවීමට පටන් ගත්තා ය. මගේ ආදරණීය නංගී මිහිදිනී සහ දයාබර මල්ලී ගඟුල් වෙතට යි. කලින් ඔබ දෙදෙනාට දැන්විය යුතු ව ම තිබූ නමුදු පවරා තිබූ වගකීම නිසා ම නොදැන් වූ, හෙට ඔය දෙන්නා ම උදෙන් කොළඹ එන නිසා ම දැන් මේ මොහොතේ දන්වන, සංවේගජනක පණිවිඩයක් තිබෙනවා. ඒ අපේ ආදරණීය තාත්තා එදා අපි කොළඹ ආ දවසේ ම රාත්‍රියේ අභාවයට පත් වූ බව යි. ඒ මොහොතේ අම්මාත් අය්යාත් විපුල් අය්යාත් නංගීත් මමත් තාත්තා ළඟ ම සිටියා. එය සිය උගත්කම නිසා ම ලද තනතුරු කිසි දිනෙක අවභාවිතයට නොගත් උත්තම පුරුෂයකුගේ නික්ම යාමක්. අය්යාත් නංගීත් දෙස ආදරණීය දෑසින් මොහොතක් බලා සිටි තාත්තා එක් අතකින් අම්මාගේ අතත් අනික් අතින් මගේ අතත් අල්ලා ගෙන මොහොතක් බලා සිටියා. වචනවලින් ප්‍රකාශයට පත් කළ නොහෙන දහසක් හැඟුම් ඔහුගේ දෑසේ ලියැවී තිබුණා. එය ආදරණීය සැමියෙක්, සිය ආදරණීය බිරිඳත් සිය ආදරණීය දරුවනුත් සදහට ම අතහැර යන මොහොතක්. ගඟුල් මල්ලී, ඔබගේ ආදරණීය සොහොයුරා මේ දින කීපය තුළ කළ මෙහෙය මෙපමණ යැයි කියා අපට ප්‍රමාණ කරන්නට බැහැ. හඳුනාගත් කෙටි කාලය තුළ අපේ හදවතේ විසල් ඉඩක් හිමි කොට ගත් ඒ ආදරණීයයා ඊයේ හවස තාත්තාගේ අවසන් කටයුතුවලටත් සහභාගී වි තමයි පෙරළා ගෙදර ගියේ, ඊට සහභාගි වන්නට පැමිණි ඔබගේ ආදරණීය දෙමාපියන් සමග. ඔබ දන්නවා ද මල්ලී, අපේ තාත්තා මගේ අත අතහැර සිය නික්ම යාමට පෙර අන්තිමට අල්ලා ගත් අත කාගේ ද කියා. ඔව් මගේ ළබැඳියන් වන ඔබ දෙදෙනාට ම එය අනුමානයක් නොව ප්‍රත්‍යක්ෂයක් බව මා දන්නවා. ඒ වෙන කාගේවත් නොව විපුල් අය්යාගේ අත යි. ගත ව ගිය කාලනිමේශය තුළ අපේ තාත්තාට විපුල් අය්යාගේ හදවත හඳුනා ගැනීමට හැකි වී තිබුණා. මල්ලී, ඔයා මේ මොහොතේ භෞතික ව ළඟ නැති අඩුව නොදැනුණේ ඒ නිස යි. දැන් මගේ මිහිදිනී නංගීට දුක හිතෙනවා ද, එහෙනං අක්කේ ඔයාට මන් නැති එකේ අඩුවක් දැනෙන්නේ නැද්ද කියා. එහෙම අදහසක ඡායාමාත්‍රයක් හරි තියෙනවානං මට නංගියේ උඹට කියන්නට තියෙන්නේ ගඟුල් දවසක් සරස්වතී දෙවඟන, කාලිදාස කවියාට කියූ ප්‍රකාශය කියා, අපට කියා දුන් කතාවයි. ඒ කතාව ගඟුල්ගෙන් අහගන්න. එතකොට උඹට තේරේවි නංගී, මන් උඹව තියලා තියෙන තැන. නංගී මන් තාගෝර්තුමා නොවුණත් දැන් මට මුහුණ දීමට සිදු ව ඇත්තේ එතුමා මුහුණ දුන් අද්දැකීම්වලට තරමක් සමාන අද්දැකීම්වලට තමයි. එතුමාගේ අද්දැකීම් අපට වඩා බරපතල යි තමයි. එතුමාට තාත්තා අම්මා දෙන්නා ම අහිමි වෙන්නේ පුංචි ම කාලේ දී යි. ඊට පස්සෙ අම්මාගේ හිස්තැන පුරවපු ලොකු අය්යාගේ බිරිඳ නැති වෙනවා. ඒ වගෙම තමන්ගේ දුකේ දී සැපේ දී ළඟ හිටපු බිරිඳ මෘණාලිනීත් නැති වෙනවා. ඒ වගෙ ම අනාගත ආයෝජනයක් කියලා හිතලා දැනුමින් සන්නද්ධ කරපු ශිෂ්‍ය පරපුරේ හිටපු විශිෂ්ට ශිෂ්‍යයා සතිස් මිය යනවා. මේ අයගෙ අභාවයන් ගැන කම්පා වෙනවා වෙනුවට ඔහු කරන්නේ ඒවා නව නිර්මාණයන් බිහිකිරීම උදෙසා වන උල්පත් බවට පත් කිරීම යි. නංගී, මන් විශ්වාස කරන විදිහට හොඳ මනුස්සයෙක් හරි ගැහැනියක් හරි කියන්නේ ඒ අයගේ මරණයෙන් පසුව ලොව හද බිම් තෙමන ගංගා නිර්මාණය කරන උල්පත්වලට යි. මල්ලී ගඟුල්, ඔයා නිතර කතා කරන අදිකාරම්තුමා, සිත්තර සමන් අය්යා අයිති වන්නේ ඒ කුලකයට යි. ඊට ම ඇතුල් කළ හැකි ආදරණීය චරිතයක් තමයි අපේ තාත්තා. ඒ තාත්තා වෙනුවෙන් මගෙන් සමාජයට විය යුතු මෙහෙවර මම අවබෝධ කරගෙන සිටිනවා. මාව ගැඹුරින් ම තේරුම් ගත් ඔය දෙන්නා මාත් එක්ක ම එකම පාසලේ සේවය කිරීම මට මහා ශක්තියක්. අපේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් වගෙම, උසස් පෙළ ළමයි සෑහෙන පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට අපට උදව් උනා. ඔය දෙන්නාට මේ මොහොතේ තාත්තාගේ අභාවය ගැන නොදැන්වීමට ගත් තීරණය විදුහල්පතිතුමාත් අනුමත කළා. අප මුහුණ දුන් මුළු සිද්ධිය ගැන ම දන්නේ විදුහල්පතිතුමා විතර යි. මන් අපේ පිරිසට ඔය දෙන්නා පමණක් ඉතිරි ආරාධනාපත්‍ර රැගෙන ගියා කියන හැඟීම ඇති නොවන පරිදි කටයුතු කළා. ඒ මගේ මල්ලීගේත් මගේ නංගීගේත් ගෞරවය රැකීම පිණිස යි. සමාජයක ජීවත් වන අප වැදගත් කොට නොසලකතත් ඇතැම් දෙනා ඉතා වැදගත් ය යන කරුණු ගැනත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. කියන්නට බොහෝ දේ තිබෙනවා. ඔය දෙන්නා නාගොල්ලාගම යාමට පෙර අපේ ගෙදරට ගොඩ වෙලා යන්න. ආ තව වැදගත් ම දෙයක් ලියන්නට අමතක උනා. දැන් විපුල් අය්යා අපේ අය්යාගේ අතිජාත මිත්‍රයෙක් වෙලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාටත් පේන තැනක ඇඳගත යුතු පරිසර චිත්‍රයක් ඇඳ දෙන්නැයි අපේ අය්යා විපුල් අය්යාට කියනවා මන් අහගෙන. අපේ නංගීටත් අය්යා එයාව හොඳට හිතට අල්ලලා. අපේ අම්මාට එයා ඒ දරුවා වෙලා. ඔය දෙන්නා එයා ගැන මගේ හැඟීම ගැනනං අහන්න එපා. නංගී, මන් මේ මොන දේවල් ලිව්වත් තාත්තා නැති අඩුව මට තදින් දැනෙනවා. වෙලාවකට හිත කඩා වැටෙන බව ඇත්ත. ඒත් මන් වැටෙන්නේ නැහැ. ඒ ශිෂ්‍ය පරපුරක් නැගිට්ටවීමේ මහා වගකීම අපට තියෙන නිස යි. මට ඔය දෙන්නා දකින්න ම අවශ්‍ය යි. ඔය දෙන්නාට ම තෙරුවන සරණ යි. සදා අදරැති අක්කා රේණු ගඟුල්ගේ ඉල්ලීම පරිදි තවත් වරක් මිහිදිනී රේණුගේ පණිවිඩය කියැවූවා ය. ඒ අවසන ගඟුල් ප්‍රකාශ කෙළේ මේ වචන කිහිපය යි. “මිහිදිනී, අපේ රේණු අක්කා තාක්ෂණික උපකරණෙ ඇතුළට අතීත සන්නිවේදනේ හොඳම ප්‍රකාශනය වන ලියුම ගෙනල්ලා තියෙනවා.” “රේණු අක්කා ඔයාගෙන් අහ ගන්න කියලා තියෙන කාලිදාස කවියා සරස්වතී දෙවඟනට කරපු ප්‍රකාශෙ මොකක් ද ගඟුල් සර්.” “ඒක කවුරු හරි සාහිත්‍යකාමී සුන්දර හදවතක් තිබිච්ච අතීත භාරතීයයෙක් හදපු කතාවක්. මන් ඔයාට යන ගමන් ඒ කතාව කියන්නංකො.” මෙසේ කියා රථයට නැඟ එය පණ ගැන්වූ ගඟුල් මිහිදිනියට ද රියට ගොඩ වන්නැයි සංඥා කෙළේ ය. අනතුරුව කාලිදාස කවියා හා බැඳුණු කතාව ඇසීමේ මහදාශාවෙන් සිටින මිහිදිනිය දෙස බලා එය කියන්නට පටන් ගත්තේ ය. “ඔයා දන්නවනෙ කොහොමත් කාලිදාස කවියා ගැන විස්තර. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියවලා ඇතිනෙ.” “ඔව් ටිකක් දන්නවා. එතුමා නාට්‍ය තුනකුත් මහා කාව්‍ය දෙකකුත් ඛණ්ඩ කාව්‍ය දෙකකුත් ලියලා තියෙන බවත් දන්නවා. ඒ වගෙම මන් ශාකුන්තල නාට්‍යෙ ඉංග්‍රීසි පරිවර්තනයත් මේඝදූතෙ සිංහල පරිවර්තනයකුත් කියවලා තියෙනවා. හැබැයි දණ්ඩි කවියා ගැනනං දන්නෙ අපේ සියබස්ලකරට මුල් වෙච්ච සංස්කෘත පොත ලියපු ලේඛකයා කියන කාරණේ තමයි.” “හොඳයි මිහිදිනී මේ කියන දේවල්වලින් ඇඟෙන්නෙ වෙනත් විෂයක් කරපු ඔයාට සංස්කෘත සාහිත්‍යය ගැනත් මොන මට්ටමක හරි කියවීමක් තියෙනවා කියන එකනෙ. අපිට හැම සාහිත්‍යයකදිම හොඳ නිර්මාණ බිහි කරපු සමහර චරිත මග හැරෙනවා. මොකක් හරි සාහිත්‍යයක් හදාරපු අය ඒ සාහිත්‍යෙට අයිති එක් චරිතයක් හරි දෙකක් හරි ගැන වැඩියෙන් කියන කොට ඒක හදාරපු නැති අයට තහවුරු වෙන්නෙත් ඒ චරිත ම තමයි, ඒ අයගෙ නිර්මාණ ම තමයි. සංස්කෘත නාට්‍ය සාහිත්‍යෙ විශිෂ්ටයා විදිහට කාලිදාස කවියා ගැනම කියන්න ගත්තහම සංස්කෘත කරපු අය උනත් භවභූති වගෙ විශිෂ්ට නාට්‍ය රචකයකුට දුන්නේ අඩු ලන්සුවක්. ඒ වගෙම සංස්කෘත නාට්‍ය අතරට වැඩිම නාට්‍ය සංඛ්‍යාවක් එකතු කරපු භාසටත් කාලිදාසට දුන්නු තැන දුන්නෙ නැහැ. ඒ තරමටම නොවුණත් කාලිදාසට වැඩි බරක් දීපු නිසා ම ගොඩක් දෙනා දණ්ඩිට දුන්නෙත් අඩු බරක්. මන් මිහිදිනී, මෙතෙන්දි කාලිදාස කවියා පල්ලෙහාට දාලා කතා කරනවා නෙමෙයි. එතුමා අතිවිශිෂ්ටයෙක් කියන එක ගැන විවාදයක් නැහැ. මන් මෙතෙන්දි කියන්න වෑයම් කරන්නෙ කෙනෙක් ව වැඩියෙන් වර්ණනා කරන කොට අපට තවත් හොඳ අය මග ඇරෙනවා කියන කාරණේ කියන්න යි.” “දැන්නං ගඟුල් සර් මට අර කතාව අහනවටත් වඩා වැදගත් කියලා දැනෙන්නෙ භවභූති කවියගෙ ලස්සන නිර්මාණයක් ගැන වගෙම භාස කවියගෙ හොඳ නිර්මාණයක් ගැන දැන ගෙන ම දණ්ඩි කවියා ගැනත් එයා ලියපු දැනෙන ප්‍රකාශයක් දෙකක් ගැනත් දැන ගන්න එක. ඒක නිසා ඔයා වැඩියෙන් ම අගය කරන අර කලින් කියපු නාට්‍යකරුවන්ගෙ නිර්මාණ ගැන මට පොඩ්ඩක් ඒ කියන්නකො ඒවයෙ අර්ථත් එක්ක.” “මන් නිර්මාණ දෙකක් ගැනම කියන්නංකො. මේවා ඒ අය ලියලා තියෙන්නෙ තමන් වැඩියෙන් ම ආදරය කරපු දෙක ආදරවන්තියන් දෙන්නා ගැන.” “මොකක් ආදරවන්තියො දෙන්නා ගැන. ඔන්න ඉතින් මට භවභූතියි භාසයි දෙන්නම එපා වෙන්න යි යන්නෙ.” “කෝ මිහිදිනී, ඔයා කතාව කියන්නත් කලින් කලබල වෙනවනෙ. මන් මේ ආදරවන්තියො දෙන්නා කියලා මන් අදහස් කළේ භාසගෙ අම්මයි භවභූතිගෙ බිරිඳයි කියන දෙන්නා. ඒ අය තමන්ගෙ නාට්‍යවල චරිතවල ප්‍රකාශ හැටියට ඉදිරිපත් කළේ ඒ අයට තමන්ගෙ අම්මටයි බිරිඳටයි කියන්න ඕන දේවල්.” “ආ එහෙමනං කමක් නෑ. මන් හිතුවෙ මේ....” මිහිදිනී කියන්නට ගිය වාක්‍යය සම්පූර්ණ නොකොට නැවතුණා ය. ගඟුල් මඳ සිනහවක් පා පළමු ව පැවසුවේ භාස අම්මා ගැන ලියා ඇති ඔහුගේ නාට්‍යයක එන පද්‍යයකි. ඉන් කියැවෙන්නේ උපනුපන් ජන්මයක් පාසා සිය අම්මා ම සිය අම්මා වෙන්නැයි යන ප්‍රාර්ථනාව ඇයට වැඳ කරන බව ය. නමස්කෘත්‍ය වදාමි ත්වාං - යදි පුණ්‍යං මයා කෘතම් අන්‍යස්‍යාමපි ජාත්‍යාං මේ - ත්වමේව ජනනී භව “අනේ ඒක හරිම ලස්සනයිනෙ ගඟුල් සර්. එතකොට දැන් කියන්නකො භවභූති එයාගෙ බිරිඳ ගැන කියපු පද්‍යය.” “දැන් මිහිදිනී මන් ඒකත් කියන්න ම ඕනෙ ද? ඇත්ත ම කියනවනං මේක එයා බිරිඳට කිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ බිරිඳ පෙම්වතිය වෙලා ඉන්න කාලෙ කියපු එකක් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මිහිදිනී මට හිතෙන්නෙ ම දෙවෙනියට කියපු කාරණේ තමයි වැඩිය හරි කියලා.” “ඉතින් අනේ කියන්ඩකො තවත් අගේ කරන්නැතුව.” “අගේ කරන දේවල් ළඟ ඉන්න කොට ටිකක් නෙමෙයි ගොඩක් අගේ කරල යි ඒක කියන්න ඕනෙ.” ගඟුල් මෙවදන් පැවසුවේ මිහිදිනිය දෙස එක එල්ලේ බලමිනි. “ඔන්න එහෙනං මන් දැන් භවභුති එයාගෙ ආදරවන්තියට කියපු දේ කියනවා.” ම්ලානස්‍ය ජීවකුසුමස්‍ය විකාසනානි - සන්තර්පණානි සකලේන්ද්‍රියමෝහනානි ඒතාන්ි තේ සුවචනානි සරෝරුහාක්ෂි - කර්ණාමෘතානි මනසශ්ච රසායනානි මෙසේ කියා ගඟුල් එහි අර්ථය නොපවසා නිහඬ විය. “ඇයි අනේ ඔයා ඒකෙ තේරුම නොකියා මන ්දිහා බලාගෙන ඉන්නෙ. කියන්නකො අනේ තේරුම.” “ඔයාට මේ වෙලාවෙදිම මේකෙ තේරුම මන් කියන්න ඕනෙ ද මිහිදිනී?” “නැතුව මේ වෙලාවෙම තමයි ඔයා මට මේකෙ තේරුම කියා දෙන්න ඕනෙ.” ගඟුල් තවත් ටිකක් මිහිදිනියට සමීප වූයේ ය. මොහොතක් ඇය දෙස ආදරයෙන් බලා සිවියේ ය. අනතුරුව භවභූතිකෘත පද්‍යයේ අර්ථය ප්‍රකාශ කෙළේ ය. “පියුමැසිය, ඔබේ මේ සොඳුරු වදන් මගේ මැලවුණු දිවි කුසුම විකසිත කරවයි; මෝහිත ඉඳුරන් සතපවයි; සවනට අමාවකි; මනසට රසායනයකි.” මිහිදිනී හැඟුම්බර දෙනෙතින් ගඟුල් දෙස බලා සිටියා මිස එඅරුත් ගැන වචනයකුදු ප්‍රකාශ නොකළා ය. ඒ අනුව මඳ නිහැඬියාවකින් පසු යළි කතාව ආරම්භ කෙළේ ගඟුල් ය. “අපි මිහිදිනී, දණ්ඩින් ගැනනෙ කතා කරන්න ආවෙ. සියබස්ලකරට බලපාපු පොත තමයි දණ්ඩිගේ කාව්‍යාදර්ශය. ඒ වගෙම එතුමගේ වඩාත් ප්‍රසිද්ධ තවත් පොතක් තමයි දශකුමාරචරිතය. ඒක ගද්‍ය කාව්‍යයක්. අපිට සංස්කෘත පද්‍ය රචකයො ගොඩක් හිටියට ප්‍රසිද්ධ ගද්‍ය රචකයො ඉන්නෙ අතේ ඇඟිලිවලින් ගණන් කරලා පෙන්නන්න පුළුවන් තරමෙ අඩු සංඛ්‍යාවක්. ඒ රචකයන් අතරෙත් අනිවාරෙන් කියවෙන නම් තුනක් තියෙනවා. ඒ තමයි බාණ, සුබන්ධු ඒ වගෙම අපි දැන් මාතෘකා කර ගත්ත දණ්ඩින්. මන් හිතන්නෙ දණ්ඩි තමයි සංස්කෘත ගද්‍යයත් සංස්කෘත පද්‍යය තරමට ම සුන්දර යි කියන කාරණේ අපේ හිත්වල තහවුරු කළේ.” “ගඟුල් සර්ට පුළුවන් ද ඔය කියන සුන්දර ම ගද්‍ය පාඨයක් මට දැන ගන්නත් එක්ක කියන්න.” “එහෙමනං ඉතින් මට වාහනේ අයිනකට කරලා නවත්තන්න වෙනවා.” “ඒ මොකද අප්පච්චියේ වාහනේ නවත්තන්නෙ. ඔය මතකෙ තියෙන එකක් කිව්වහම ඇති.” “ඇයි දැන් ඔයාට ඕනෙ කිව්වෙ දශකුමාරෙ තියෙන සුන්දර ම ගද්‍ය පාඨයක් නෙමෙයි ද?” “සුන්දර ම එකක් තමයි මහත්තයො. හෝ දැන් තමයි මට තේරුණේ. ඔයා දැන් මානව පුස්තකාලෙන් තාක්ෂණික පුස්තකාලෙට මාරු වෙන්න නේ ද හදන්නෙ.” මිහිදිනී එවදන් පැවසුවේ ගඟුල් රථය මාවත අයිනට වන්නට නවතා අන්තර්ජාලයට පිවිසෙනු දැක ය. “මිහිදිනී, මන් ඔන්න ලස්සන ම තැනක් තෝරලා ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්කම ඔයාට කියන්න යි හදන්නෙ. හැබැයි මට ඒකට ඉස්සෙල්ලා පොඩි ප්‍රවේශයක් ගන්නත් ඕනෙ. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි, අපි අද අනිවාරෙන් ම රේණු අක්කලගෙ ගෙදෙට්ට ගොඩ වෙන්න ඕනෙයි කියන කාරණාවත්.” “ඇත්ත නේන්නං. ඒත් ඉතින් එක එක කතන්දර එක එක්කෙනාගෙන් අහගන්න කියන වාක්‍යය ලියලා තිබුණෙත් ඒ රේණු අක්කම තමයි.” “හරි මට මන් හිතපු තැන හම්බ උනා. අපි දැන් අර ප්‍රවේශෙ ගමුකො ඔක්කොටම කලින්. දශකුමාරචරිතෙ තියෙන්නෙ එකට හැදිච්ච වැඩිච්ච යාලු කුමාරවරු දහදෙනෙක් තම තමන්ගෙ වචනවලින් තමුන්ගෙ කතාව කියන එක. මුලින් ම රාජහංස කියන රාජකුමාරයා තමන්ගෙ කතාව කියනවා. ඊට පස්සෙ සෝමදත්ත කියන ඇමති පුතා තමන්ගෙ කතාව කියනවා. ඔය විදිහට පුෂ්පෝද්භව, මිත්‍රගුප්ත, මන්ත්‍රගුප්ත වගෙ කුමාරවරු දහදෙනෙක් තමන්ගෙ කතා කියනවා. මේකෙ සඳහන් වෙනවා මේ කුමාරවරු දහදෙනාම විද්වතුන් ඇසුරු කරපු ඥානවන්තයන් වගෙම රණශූරයන් බව. හැබැයි අපි අමතක කරන්න නරකයි මේ රාජපුත්තු ඇමති පුත්තු නරක අයනං නෙමෙයි කියලා රචකයා කිව්වට මේ වර්තමාන සමාජෙ ඉන්න සමහර රජ ඇමති පුතාලව අපට මතක් කරලා දෙන වැඩත් මේ අය කරන බව.” “ඒ කියන්නෙ ඔය කියන අය, කාල දේශ භේදයකින් තොර ව සමාන චරිත ලක්ෂණ තියෙන අය කියන එක ද ගඟුල් සර්.” “ඔයා දැන් ඔය මතු කරන කාරණේ ඔයිට ටිකක් වෙනස් ව එක විදිහක ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් දක්වලා තියෙනවා දශකුමාරචරිතෙට සිංහල පරිවර්තනයක් කරපු පුස්සැල්ලාවෙ ඤාණරතන හාමුදුරුවොයි මහාචාර්ය කේ බී ජයවර්ධන මහත්තයයි ඒ පොතට ලියපු ප්‍රස්තාවනාවෙ.” “දැන් සර්ගෙ කතා ප්‍රවේශය එහෙම එකකට එහා ගිය දිග කතාවක් වෙන්න යන බව පෙනුණත් මාත් කැමති විස්තර ඇතුව ම මේ ගැන දැනගන්න තමයි. මොකක් ද සර් ඒ ප්‍රස්තාවනාවෙ තිබුණෙ.” “මිහිදිනී, අපේ පරිවර්තක දෙපළ කියනවා සමාජෙක බරපතල ගණයේ අපරාධවල මූලිකත්වය දරන්නෙ රාජ්‍යපාලනේටම සම්බන්ධ රජ - ඇමති - මැති පුතුන් කියන කාරණාව. ඒ අය කියන්නෙ දශකුමාරචරිතෙ එන කුමාර චරිතවල චර්යාවෙන් පැහැදිලි වෙන්නෙත් ඒ කාරණාව ම තමයි කියන එක. මන් මතකෙන් ම කියන්නං ඒ පොතේ මට හොඳින් ම දැනිලා මතක හිටිච්ච වාක්‍යයක් දැන්. රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ පාලකයන් කිසිම හිරිකිතයකින් තොර ව දූෂිත හා දරුණු ගණයේ අපරාධවල නිරත වීම ඉදිරිපත් කොට ඇත්තේ තත්කාලීන සමාජ විද්‍යාඥයකුගේ දෘෂ්ටිකෝණයෙන් වුව ද එය සාර්වකාලීන හා සර්වදේශජ වේ. ” “අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිටත් වඩා වෙනම මානයකින් අදහස් ඉදිරිපත් කරන කෙනා මේ වෙලාවෙ මෙතන නැති එක තමයි දුක.” “කවුද අපේ රේණු අක්කා නේද?” “ඔව් එයා තමයි.” මිහිදිනී පැවසුවේ සිය සොඳුරු විවාදිනී ළඟ නොමැති දුකිනි. “දැන් ඒ විවාදිනී නැති උනත් තවත් බරපතල ම විවාදිනියක් ළඟ ඉන්න නිසත් මේක ප්‍රවේශයක් නොවී දිග කතාවක් උනාට කමක් නෑ කියලා කිව්ව නිසත් මේ දශකුමාරෙ එන ඔයත් දැන ගන්න කැමති වෙයි කියලා හිතෙන තැනක් මතු කරන්නං.” “ඒ මොකක් ද ගඟුල් සර්.” “මේකෙ එන මිත්‍රගුප්ත කියන කුමාරයට දවසක් භයානක රකුසෙක්ගෙ තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. උඹේ පණ බේර ගන්න ඕනෙනං මන් අහන මේ ප්‍රශ්න හතරට උත්තර දීපන් කියලා ඒ රකුසා කියනවා. මොකද කියන්න ද මිහිදිනී ඒ ප්‍රශ්න හතර.” “හා කියන්න කියන්න, ඒ භයානක රකුසා ගඟුල් සර් ය, ඒ රකුසාගේ ග්‍රහණයට ලක් වෙච්ච මන්ත්‍රගුප්ත මම ය කියලා හිතලා මන් අහගෙන ඉන්නංකො.” මිහිදිනී ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “ඔන්න රකුසා මුලින් ම අහනවා ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලා. ඊට පස්සෙ අහනවා ගෘහස්තයාට - ගිහියාට ප්‍රිය වෙන්නෙ කවුද කියලා. ඊටත් පස්සෙ අහනවා කාමය මොකක් ද ඇති කරන්නෙ කියලා. අන්තිමට අහන ප්‍රශ්නෙ තමයි සාධනයට - ඒ කියන්නෙ ඉෂ්ට කර ගන්න දුෂ්කර ම දේ මොකක් ද කියලා.” “හොඳයි මොනව ද ඒවට මන්ත්‍රගුප්ත මාරයාට දීපු උත්තර.” “නෑ එහෙම නෙමෙයි, ඉස්සෙල්ලා ඔයා කිව්වනෙ මන් අර භයානක රකුසා ය ඔයා තමයි අහිංසක මන්ත්‍රගුප්ත ය කියලා. දැන් ඉතින් ඉස්සෙල්ල ම ඔය මන්ත්‍රගුප්ත උත්තර දුන්නොත් හොඳ යි ඒ ප්‍රශ්න හතරට උත්තර.” “හොඳයි මට මතක තියෙන විදිහට ඔයා මුලින් ම ඇහැව්වෙ ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලනෙ. මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි දුෂ්ටකම. මොකක් ද එතකොට අර අතීත මන්ත්‍රගුප්ත දීපු උත්තරේ.” “හැබැයි මන්ත්‍රගුප්ත දුන්න උත්තරේනං ඕක නෙමෙයි. එයා කිව්වෙ ස්ත්‍රී හදවත තමයි ලෝකෙ තියෙන කුරිරු ම දේ කියල යි.” “මොකක් ස්ත්‍රී හදවත?” “මේ මේ ඔහොම දරුණු විදිහට මන් දිහා බලන්න එපා. ඒ මගෙ උත්තරේ නෙමෙයි මන්ත්‍රගුප්තගෙ උත්තරේ.” “දැන් මෙතන මන්ත්‍රගුප්ත නෑනෙ. මට දැන ගන්න ඕනෙ ඔයා මන්ත්‍රගුප්ත නං දෙන උත්තරේ ඒක ද කියන එක යි.” “දැන් බැලුවහම භයානක රකුසා වෙලා තියෙන්නෙ ඔයානෙ. ඔන්න මමත් පැහැදිලි ව ම කියන්නෙ මන්ත්‍රගුප්තගෙ උත්තරේට මාත් එකග නැහැ කියන එක වගෙම මටත් දැනෙන්නෙ ඔයාගෙ උත්තරේ කියන එක.” “හා එහෙනං කමක් නෑ එහෙම නං මට පුළුවන් ඔයා නිදොස් කොට නිදහස් කරන්න. හොඳයි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමුකො. පොඩ්ඩක් මතක් කරන්නකො ඒක.” “ගිහියාට ප්‍රිය වන්නේ කවු ද?” “ඔයා ඔය ගෘහස්ත - ගිහි ජීවිතය කියලා අදහස් කළේ ස්වාමි භාර්යා සම්බන්ධය නං ස්වාමියාට ප්‍රිය වෙන්න ඕන භාර්යාව, භාර්යාවට ප්‍රිය වෙන්න ඕන ස්වාමියාව.” “ඔයා හරිනෙ මිහිදිනී, ඔයා තමයි දෙපැත්තට ම අදාළ කරලා සම්පූර්ණ උත්තරේ දුන්නෙ. මන්ත්‍රගුප්ත කියන්නෙ ගිහියාට ප්‍රිය වෙන්න ඕන ගුණවත් බිරිඳ කියල යි. සංස්කෘත වචනවලින් ම කියනවනං ගුණවන්ත භාර්යාව යි.” “එතකොට මට මතක හැටියට තුන්වෙනි ප්‍රශ්නෙ තිබුණෙ කාමය මොකක් ද ඇති කරන්නෙ කියලනෙ. හැබැයි හින්දු සම්ප්‍රදායෙ තියෙනවා කියලා ඔයා කියලා දීලා තියෙන හැටියට කාමය නිසා ක්‍රෝධය තමයි ඇති වෙන්නෙ. හැබැයි එහෙම කියපු ඔයාම අපිට කියලා තියෙනවා කාම කියන වචනෙ මූලය වෙන කම් කියන ධාතුවෙන් අදහස් වෙන්නෙ කැමැත්ත, කැමති වීම ය කියලා ඔයාලගෙ සංස්කෘත සර් කියලා දීලා තියෙනව ය කියලා. එහෙම බැලුවහම නං අපේ කැමැත්ත, කාටවත් හිරිහැරයක් නොවෙන විදිහට සපුරා ගන්න එක වරදක් වෙන්න බැහැනෙ. මන් නං හිතන්නෙ ඇත්ත කාමය නිසා වෙන්නෙ යහපතක් මිස අයහපතක් නං නෙමෙයි.” “ඉතින් මිහිදිනී, මන්ත්‍රගුප්ත කියන්නෙත් ඕකම නෙ. එයා පාවිච්චි කරන වචනෙ තමයි කාමය නිසා වෙන්නෙ ඉෂ්ටාර්ථ සිද්ධිය. ඉතින් ඉෂ්ට අර්ථ සිද්ධිය කියන්නෙත් යහපත සිද්ධ වෙන එක නේ ද? බැලුවහ ම අපේ වර්තමාන මන්ත්‍රගුප්තිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනෙ. හැබැයි මන් ඔයාව කජංගලා භික්ෂුණීන් වහන්සේ, අමරා දේවි නියෝජනය කරන බුද්ධිමත් ස්ත්‍රී කුලකයට දාන්නෙ නං අන්තිම ප්‍රශ්නෙට දෙන උත්තරේ අනුව තමයි.” “මේ මේ ගඟුල් සර්, මන් කජංගලා භික්ෂුණීන් වහන්සේගෙ ගොඩට දාන්න, ඒත් මන් කැමති නෑ අමරා දේවි වෙන්න.” “ඒ මොක ද අප්පච්චියෙ අමරා දේවි වෙන්න කැමති නැහැ කියන්නෙ. අමරා දේවි කියන්නෙ අපේ බෞද්ධ සාහිත්‍යෙ එන ප්‍රඥාවන්ත ස්ත්‍රී රත්නයක්නෙ.” “මන් ඒක පිළිගන්නවා ගඟුල් සර්. ඒ උනාට මන් ලෑස්ති නෑ මහෞෂධ පඬිතුමා නෙමෙයි කවුරු කිව්වත් ස්වාමියගෙ වචනෙට ගරු කරනවා කියලා ස්වාමි භක්තිය පෙන්නන්න කියලා උයපු බත් හරි වෙන මොනවා හරි තවරගෙන නිරපරාදෙ කාටත් පේන්න අව්වට වෙලා ඉන්න.” “ඔන්න ඔයාගෙ ඔය ගති හින්දනෙ මමත් ඔයාට මෙච්චර කැමති. හරි දැන් කියන්නකො සාධනයට දුෂ්කර දේ මොකක් ද කියලා.” “ඇයි ළමයො, ප්‍රඥාවනෙ සාධනයට දුෂ්කර දෙය.” “මිහිදිනී” ගඟුල් මිහිදිනීගේ නම උච්චාරණය කෙළේ විස්මයෙනි. “ඇයි ගඟුල් සර්, මේ පුදුමෙන් වගේ.” “පුදුම වෙන්නැද්ද ළමයො එදා මන්ත්‍රගුප්ත දුන්න උත්තරේ ම ඔයා මේ දැන් දෙන කොට.” “ඒක පුදුම වෙන්න තරන් දෙයක් නෙමෙයිනෙ සර්. ඇයි බලන්න බුදුහාමුදුරුවො ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළේ ඒ යුගේ ජීවත් වෙලා හිටපු ප්‍රඥාවන්තයො පස්දෙනෙකුට. ඒ කියන්නෙ පස්වග මහණුන් කියලා බෞද්ධ සාහිත්‍යෙ ප්‍රචලිත ඥානවන්තයො පස්දෙනා. ඔයාගෙ සංස්කෘත භාෂාවෙන් කියනවනං පඤ්චවර්ගීය භික්ෂූන් වහන්සේලා. ඒ පස් දෙනාගෙනුත් ධර්මය වහා වැටහෙන ගුණය තිබුණෙ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ටනෙ. අන්න ඒ කාරණෙත් මතක් වෙලා තමයි ළමයො මම සාධනයට දුෂ්කර ම දේ ප්‍රඥාව කියන උත්තරේ දුන්නේ. ඒක නෙමෙයි කෝ දැන් අර දශකුමාරචරිතෙ සුන්දරම තැනක් ගැන මට තාම කිව්වෙ නැහැනෙ. තැනක් කිව්වට තැන් දෙක තුනක් ගැන කිව්වත් කමක් නෑ.” “ඉතින් අපට පරක්කු වෙන් නැද්ද මිහිදිනී, රේණු අක්කලගෙ ගෙදර යන්න.” “කොහොමත් ගඟුල් සර්, රේණු අක්කා මට අද අපේ ගෙදර යන්න දෙන්නෙ නැහැ. මට එහෙ ඉන්න ම වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපේ සාකච්ඡාව දිගට ම කරගෙන යන්න. මොක ද මන් අද මේ ඉගෙන ගන්න දේවල් මන් උගන්නන භාෂාවෙන් අපේ ශිෂ්‍යයන්ට දෙනවා. මොකද ඔයා කියන්නෙත් කොයි සාහිත්‍යෙක හරි තියෙන ලස්සන දේවල් අපේ කරගෙන ලෝකයට දෙන්න කියලනෙ.” “හරි එහෙමනං අපි ගමුකො භාෂාව ලස්සන තැනක් මුලින් ම. මේක දීර්ඝ ඡේදයක මුල් වාක්‍යය විතර යි. මෙතෙන්දි තරුණියක් කියනවා රාජවාහන කුමාරයාට රජතුමනි, දෙන්න මට ඔබගේ කරුණාවෙන් තෙත් වූ හදවත, මම සඳරැසින් උපන් සෝමරශ්මි කියන ගන්ධර්වයාගේ දියණිය වන සුරතමඤ්ජරී කියන දෙවඟන යි කියලා. බලන්න ඒ පොඩි දේ කියන්න දණ්ඩින් වචන පාවිච්චි කරන විදිහ. දේව, දීයතාමනුග්‍රහාර්ද්‍රේ චිත්තම්, අහමස්මි සෝමරශ්මිසම්භවා සුරතමඤ්ජරී නාම සුරසුන්දරී.” “හැබැයි ගඟුල් සර්, මෙතන තියෙන්නෙ වචනවල ලස්සනකම විතරක් නෙමෙයි මහ සුන්දර අර්ථෙකුත් තියෙනවනෙ. බලන්න කෙනෙකුට දෙන්න කියන්නෙ කරුණාව නමැති අනුග්‍රහයෙන් තෙත් වෙච්ච හදවතක් කියන එක ම මොන තරන් විශාල අර්ථයක් දෙන යෙදුමක් ද?” “බැලුවහම ඔයාට සංස්කෘත දැනුමකුත් තියෙනවනෙ මිහිදින,ී මන් කිව්වෙ කරුණාවෙන් තෙත් වූ හදවතක් දෙන්න කියලා විතර යි. ඔයා මන් කියපු සංස්කෘත පාඨෙ අහගෙන ඉඳලා ඒකෙ තිබිච්ච අනුග්‍රහ කියන වචනෙත් සම්බන්ධ කරගෙන ම අර්ථ දක්වනවනෙ.” “දැන් ගඟුල් සර් කියන්නකො පැහැදිලි ව ම දශකුමාරෙ තවත වටින අර්ථයක් ප්‍රකාශ වෙන තැනක්. ඉස්සෙල්ලා සංස්කෘත ප්‍රකාශෙ කියන්න. ඊට පස්සෙ අර්ථෙ කියන්න.” නනු ධර්මාදෘතේ’ර්ථකාමයෝරනුත්පත්තිරේව. තදනපේක්ෂ ඒව ධර්මෝ නිවෘත්තිසුඛප්‍රසූතිහේතුරාත්මසමාධානමාත්‍රසාධ්‍යශ්ච. සෝ’ර්ථකාමවද්බාහ්‍යසාධනේෂු නාත්‍යායතතේ. තත්ත්වදර්ශිනෝපබෘංහිතශ්ච යථාකථඤ්චිදප්‍යනුෂ්ඨීයමානාභ්‍යාං නාර්ථකාමාභ්‍යාං බාධ්‍යතේ. බාධිතෝ’පි චාල්පායාසප්‍රතිසමාහිතස්තමපි දෝෂං නිර්හෘත්‍ය ශ්‍රේයසේ’නල්පාය කල්පතේ. “මට එහෙන් මෙහෙන් තේරෙනවා වගේ දැනෙනවා. ඒ උනාට එහෙම බැහැ, මට හරියට ම මේකෙ අර්ථය දැනගන්න ඕනෙ.” අනතුරුව ගඟුල් දූරකථන මුහුණත මත දෘශ්‍යමාන සංස්කෘත පාඨය දෙස මොහොතක් සාවධාන ව බලා සිටියේ ය. අනතුරුව මෙසේ අර්ථය ප්‍රකාශයට පත් කෙළේ ය. ඒකාන්තයෙන් ධර්මයෙන් තොර ව අර්ථ කාම දෙකේ හට ගැන්මක් නැහැ. ඒ දෙකේ අපේක්ෂාවක් නැතුව ම ඒ ධර්මය නිවෘත්තියේ ඒ කියන්නෙ මේ සංසාර ප්‍රවෘත්තියේ නැවැත්ම කියන සැපයේ ඉපදීමට හේතුව තමන්ගෙ ඒකාග්‍රතාවෙන් පමණක් සිද්ධ කරන්න ඕන දෙයක්. මේ ධර්මය කියන දේ අර්ථ කාම දෙක වගේ බාහිර සංසාර සාධනත් එක්ක යන දෙයක් නෙමෙයි ඒක ඉක්මවා පවතින දෙයක්. තත්ත්ව දර්ශනයෙන් ඒ කියන්නෙ ඇති සැටිය දැකීමත් එක්ක වැඩෙන ධර්මය කොහොම හරි දුකසේ සේවනය කරන කොට ඒකට බාධා කරන්න අර්ථ කාම දෙකෙන් කොයි එකටවත් පුළුවන්කමක් නෑ. සමහර විටෙක ඒ දෙකෙන් යම් බලපෑමක් ආවත් අල්ප උත්සාහයකින් කෙනෙකුට පුළුවන් ඒ දෝෂයත් දුරු කරගෙන අනල්ප වූ ඒ කියන්නෙ අල්ප නොවන මෝක්ෂය ලබා ගන්න. “ටිකක් නෙමෙයි ගොඩක් ගැඹුරු, ඒත් තේරුම් ගත්තොත් ජීවිතයට සමීප කරගන්න පුළුවන් දහමක් නේද මේ කියලා තියෙන්නෙ. ගඟුල් සර්ට ගොඩක් පින් මේ වගෙ දේවල් මට කියලා දෙනවට.” “අනේ මට නෙමෙයි මිහිදිනී පින් දෙන්න ඕනෙ.” “එහෙනං වෙන කාට ද?” “ඒ අතීත සමාජෙ ජීවත් වෙච්ච දණ්ඩින් කියන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට.” “හරි හරි ඒ අතීත ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි වර්තමාන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි දෙන්නට ම පින්.” “හොඳයි හොඳයි එහෙනං මාත් ප්‍රඥාවන්තයෙක් කළා ඔයා. දැන් අර රේණු ප්‍රඥාවන්ති බලන් ඉන්නවනෙ අපි එනකං. දැන් අපි පිටත් වෙමු නේ ද?” “පිටත් වෙමු, පිටත් වෙමු. රේණු අක්කා මෙසේජ් එකක් එවලා තියෙන්නෙ හවස හතරට හරි කමක් නෑ දවල් කෑම කන්න එන්න ඕනෙ එහාට යි කියලා, අපිට අවසර තියෙන්නෙ අතරමග දි තේකක් බොන්න විතර යි.” “හම්මෝ එහෙනං ඒක ඇවිල්ලා අනුල්ලංනීය ඉල්ලීමක්. නෑ නෑ මට වැරදුනා අනුල්ලංඝනීය නියෝගයක්.” ගඟුල් අතරමග දී රිය නතර කෙළේ ස්ථාන දෙකක දී පමණි. ඒ වරක් තේ බීම සඳහා පෙට්ටි කඩයක් ළඟ ද දෙවෙනි වර රියට ඉන්ධන ගසා ගැන්ම සඳහා ඉන්ධන පිරවුම් හලක් ළඟ ද වශයෙනි. සවස තුන පමණ වන විට ඔවුහු රේණුගේ නිවසට ළඟා වූහ. රථ ශබ්දය අසා පළමු ව නිවහනින් එළියට ආවේ උපදිසාපතිවරයා ය. “මන් බැලුව කවු ද කියලා. මේ දෙන්නනෙ. කොච්චර දෙයක් ද ඔය දෙන්න මේ වෙලාවෙ ආපු එක.” රියෙන් බැස සිය වැඩිමහල් සොහොයුරකු මෙන් දැනෙන උපදිසාපතිවරයා වෙත ගිය මිහිදිනී පළමු ව ඔහුට වැඳ ආචාර කොට දෙවනු ව ඔහුගේ දෑතින් අල්ලා ගත්තා ය. ගඟුල් ද මිහිදිනීගේ ක්‍රියා පිළිවෙත ම අනුගමනය කෙළේ ය. දෙදෙනාගෙන් පළමු ව කතා කෙළේ මිහිදිනී ය. “අය්යා, මන් දන්නවා මේ වෙලාවෙ ඔයාගෙ හිතට දැනෙන විදිහ. මන් අද මෙහෙ ඉන්නවා. ගඟුල් සර් රෑ වෙන්න ගෙදර යාවි. අපි හෙට ඉස්කෝලෙ ගිහින් හෙට යි අනිද්ද යි වැඩ කරලා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් එහෙන් පිටත් වෙන්නං මෙහෙට එන්න.” “ඒක හොඳයි නංග,ි මේ වෙලාව කියන්නෙ මගෙ නංගිලා දෙන්නට විතරක් නෙමෙයි අපේ අම්මටත් ඔයා ඕන වෙලාව.” “අය්යෙ ඕනකම අනුව මට පුළුවන් වේවි. අපේ ලොකු සර්ට දන්නලා හත් දවසෙ පින්කම ඉවර වෙනකං උනත් මෙහෙ ඉන්න.” “ඔයා නංග,ි පින්කම ඉවර වෙනකං නෙමෙයි හැමදාම උනත් මෙහෙ ඉන්නවට අපි කැමතියි. ඒ උනාට නංගි ඔයාටත් තියෙනවනෙ මේ වෙලාවෙ වෙනදටත් වැඩියෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්න යුතුකමක්. මොක ද ඔය දෙන්න ම උගන්නන්නෙ එකම සබ්ජෙක්ට් එකනෙ. මුළු ඉස්කා්ලෙ ම ඒ විෂය උගන්නන ගූරුවරු තුන් දෙන යි නේ ද ඉන්නෙ. අර මැදි වයසෙ ඉන්න ඉංග්‍රීසි උගන්නන මැඩනුත් ආවා. එයා කිව්වෙ අපේ නංගි එනකන් නංගිගෙ පන්තියෙ ළමයිනුත් එයාගෙ පන්තියට දාලා උගන්නන්නං කියල යි.” “එහෙන ං අපේ අයිරාංගනී මැඩම්නෙ ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ. අම්මෝ ඉස්සර රේණු අක්කා ඒ ටීචර් එක්ක දාගන්න ගෝරි ඉවරයක් නැහැ.” “මට නං එහෙම එකක් පේන්න තිබුණෙ නැහැ. අපේ නංගිට එයා බොහොම ආදරෙන් කතා කළේ. ඒ ටීචර් යන කොට අපේ නංගි වැන්දත් එක්ක.” “අය්යා කියන එක හරි මේ ඇවිත් ගිහින් තියෙන්නෙ තමන්ගෙ පුද්ගලික කරදරවලින් පීඩා විඳපු නිසා ගැටුණත් පස්සෙ කාලෙකදි රේණු අක්කව තේරුන් ගත්ත අයිරාංගනී මැඩම්. අපේ රේණු අක්කා වැඳලා තියෙන්නෙ ඒ ජීවිතේ වෙනසක් කරගත්ත කෙනාට මිස එයාට මුලින් හමු වෙච්ච අයිරංගනී මැඩම්ට නෙමෙයි.” එවදන් පැවසුවේ එතෙක් නිහඬ ව සිටි ගඟුල් ය. “ඔයා හරි මල්ලි, මන් දන්නැද්ද අපේ නගා ගැන. කෝ අපි තාම එළියෙනෙ. යන් යන් ගෙට.” “කෝ අය්යෙ අපේ රේණු අක්ක යි චූටි නංගි යි.” “ලොකු නංගි ඇඟ හෝද ගන්න කියලා ගියා. චූටි නංගි අම්මත් ලෑස්ති කරගෙන මේ ළඟ තියෙන පන්සලට ගියා අපේ නෑ මල්ලි කෙනෙකුත් එක්ක. යන් අපි ඉඳගෙන ම කතා කරමු නංගි.” මොහොතකින් ලා පැහැති ගවුමකින් සැරසි රේණු ඔවුන් ඉදිරියට ආවා ය. ඔවුන් දුටුවේ වෙනදා කවට බස් තෙපළන, තැන නොතැන නොබලා ඔවුන් සමග ආදරණීය කලහයනට එළඹෙන තැනැත්තිය නොව මහත් සෝබර බවකින් යුතු කලණ මිතුරිය යි.“ මිහිදිනී වහා රේණු වෙත ගොස් ඇය වැළඳ ගත්තා ය. ”අක්කා ළඟ හරි සුවඳ යි අක්කෙ. ඔයත් සුවඳ යි ඔයාගෙ හිතත් සුවඳ යි අක්කේ. අපේ වගෙම අපේ ශිෂ්‍යයන්ගෙ ඒ වගෙම තව අප්‍රමාණ ජීවිත සුවඳ කරන්න ඔයා ශක්තිමත් වෙන්න ඕන අක්කේ. මාත් හොඳට ම දන්නෙ අපිටත් තාත්තා කෙනෙක් වෙච්ච මේ තාත්තා වෙනුවෙන් කරන්න ඕන ලොකු ම පින්කමත් ඒකයි අක්කෙ.” හැඟුම්බර දෙනෙතින් සිය කලණ මිතුරිය මොහොතක් වැළඳ ගෙන සිටි රේණු අනතුරුව ගඟුල් වෙත පැමිණ මහත් වූ සහෝදර ප්‍රේමයකින් යුතු ව ඔහු ද වැළඳ ගත්තා ය. අනතුරුව ඇය ගඟුල්ට පැවසුවේ මේ වචන යි. “විපුල් අය්යා ඇවිල්ලා උඹගෙම අය්යා තමයි මල්ලි හැම අතින් ම. මේ වෙලාවෙ උඹ ළඟ නැති අඩුව පිරෙව්වෙ එයා තමයි. අන්තිම මොහොතෙ අපේ අය්යත් එක්ක තාත්තා ළඟ ම ඉන්න සමීපතමයෙක් උනා විපුල් අය්යා. මට මේ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මල්ලි එක වෙලාවක් උඹේ අය්යා තාත්තව එයාගෙ අත් දෙකින් උස්සලා තියා ගත්ත මොහොත.” “අපිට හොඳට ම දැනෙනවා අක්කෙ දැන් ඔයාට තාත්තව දැනෙන විදිහ. අපේ මිහිදිනී මතක් කරපු විදිහට ඔයාගෙ සේවා ජීවිතය කියන්නෙ ම පින්කමක් අක්කෙ.” “යන් යන් දැන් වෙලාව තුනටත් කිට්ටුයි, ඔක්කොටම ඉස්සෙල්ලා අපි කාලා ඉමු. උඹලා දෙන්නා අතරමගදි කාලා ආවෙ එහෙම නෑ නේද?” “මොන තේකක් බොන්න නතර කළෙත් මෙයාට බොහොම කරුණු කාරණා පැහැදිලි කරලා. පුළුවන් ඉක්මණින් යමු ය, කාලා එහෙම ගියොත් රේණු අක්කගෙන් හම්බ වෙන්නෙ ගුටි ය කිය කියා මාවත් ඉක්මන් කෙරෙව්වෙ ඔයාගෙ මේ නංගි මිහිදිනී තමයි.” “ඔව් ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මාත් මේ නොකා නොබී බලන් හිටියෙ උඹලා දෙන්න එනකන්නෙ.” “අනේ රේණු අක්කෙ ඔයත් තාම කෑවෙ නැද්ද? යන් යන් මේස ඕනෙ නැහැ. තුන් දෙනාම කුස්සියට ගිහින් බෙදාගෙන කමු.” “ඔව් එහෙම තමයි මොකෝ නැතුව උඹලා දෙන්නට මේසවලට කෑම අරින්න මට පිස්සුවක් තියේ ය.” රේණු මොන වචන කතා කළ ද ඇය සමග සමීප ඇසුරක් තිබූ ගඟුල්ට සහ මිහිදිනීට පිතෘ වියෝගය නිසා ඈ තුළ ඇති වේදනාව තේරුම් ගැන්ම අපහසු නොවී ය. කෑම වෙලාවෙන් පසු රේණු කතා කළ වචනවල රැඳී තිබුණේ ද පියවිරහජජනිත ශෝකය යි. “මල්ලි, උඹට මතක ද අපි අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ ආරාධනපත්‍ර අරගෙන පිටත් වෙච්ච දවසෙ ටික වෙලාවක් රත්නපුරේ මහ සමන් දේවාලෙ ඉඳගෙන කතා කළා. මතක ද එදා අපි වැඩියෙන් කතා කළේ කා ගැන ද කියලා.” “මොකෝ අක්කෙ අමතක. එදා අපි වැඩියෙන් කතා කළේ සමන් අය්යලගෙ තාත්තා ගැනනෙ. ඇයි අපේ මිහිදිනී සමන් දෙවියන්ගෙ ප්‍රතිමාව ළඟ ඉඳන් ඒ තාත්තා ලියපු කවියක් ගායනා කරපු එකනෙ මහ සාකච්ඡාවකට මග පෑදුවෙ.” “අනේ මල්ලියෙ ඒ තාත්තා ගැන කතා කරපු වෙලාවෙ මන් කොහොමටවත් හිතුවෙ නැහැ දවසක් වත් ගත වෙන්න කලින් මට ඉන්න තාත්තා ගැන නෙමෙයි නැති වෙච්ච තාත්තා ගැන කතා කරන්න වෙයි කියලා.” “ඕක තමයි රේණු අක්කෙ ජීවිතෙ. කවදා හරි දවසක අපිටත් සිද්ධ වේවි මේ එකට ඉන්න අපි අතරින් මුලින් ම නික්ම යන කෙනා ගැන කතා කරන්න.” “මට මතක් වෙන්නෙ මල්ලි දවසක් උඹ කිව්ව සංස්කෘත ශ්ලෝකයක කෑල්ලක්. ඒකෙ තිබුණෙ පිතා හතා ත්‍රිභුවනමන්ධකාරං කියලා. උඹගෙ සාහිත්‍යෙ හරි මල්ලි, තාත්තා නැති උනාම මුළු ලෝකෙම අන්ධකාර උනා වගේ තමයි දැනෙන්නෙ.” ඔවුන් සිටි තැනට පැමිණි උපදිසාපතිවරයා ද නිහඬ ශ්‍රාවකයකු බවට පත්විය. ඒ මොහොතේ ගඟුල් කතා කෙළේ ය. “අක්කෙ ඔයා අමතක කරන්න එපා අර කෞෂිතකී උපනිෂදය කියන විදිහට ඒ තාත්තා ගියේ තමන්ගෙ වචන, තමන්ගෙ ප්‍රාණය, ජීවිතය දකින ඇහැ, තමන්ගෙ ක්‍රියා, තමුන්ගෙ සතුට වගෙම වේදනාව ඒ වගෙම ප්‍රඥාව ඔයාටත් ඔයාගෙ මේ අය්යටත් චූටි නංගිටත් පවරා දීලනෙ. ඒ නිසා ඔය තුන් දෙනා කරන හැම වැඩක ම අක්කෙ තාත්තා ඉන්නව කියන කාරණේ මොහොතකටවත් අමතක කරන්න එපා.” “ඇයි ගඟුල් සර් ඔයාම කියපු හැටියට ඒකෙ ලස්සන ම දේ තාත්තා කරන පවරා දීම් දරුවා බොහොම හැඟීමකින් බාර ගැනීමනෙ. අනේ සර් ඒ ප්‍රකාශෙන් අන්තිම කොටසවත් කියන්නකො දැන්. මන් හිතන්නෙ පරිපාලන නිලධාරියෙක් විදිහට තමන්ගෙ රටට අවංක සේවයක් කරන ඒ තාත්තගෙ ලොකු පුතා ඒ වගෙ ම සිය කැමැත්තෙන් ම ඈත දුරපළාතක ඉස්කෝලයක් ඉල්ලගෙන උගන්නන්න ආපු මගෙ මේ රේණු අක්කා වගෙම විශ්වවිද්‍යාලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න චූටි නංගිත් කැමති වේවි ඒක අහන්න. නංගි මේ මොහොතෙ නැති උනාට කමක් නෑ රේණු අක්කා ඒක එයා ආවහම එයාට කියලා දේවි. අද මේ මොහොත තමයි ගඟුල් සර් ඒක කියන්න ඕන හොඳම දවස වගෙම හොඳම වෙලාව.” මොහොතක් නිහඬ ව සිටි ගඟුල් ඒ පිතෘ දාරක සංකථනයේ අවසන් කොටස ඔවුනට ඉදිරිපත් කෙළේ ය. මගේ ක්‍රියා ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ක්‍රියා මා තුළ තබනු මැනවි. මගේ සතුට සහ වේදනාව ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ සතුට සහ වේදනාව මා තුළ තබනු මැනවි. මගේ ආනන්දය, සොම්නස සහ උපත ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ආනන්දය, සොම්නස සහ උපත මා තුළ තබනු මැනවි. මගේ සිත ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ සිත මා තුළ තබනු මැනවි. මගේ ප්‍රඥාව ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ප්‍රඥාව මා තුළ තබනු මැනවි. මගේ ජීවන හුස්ම ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ජීවන හුස්ම මා තුළ තබනු මැනවි. මිහිදිනියගේ ඉල්ලීම පරිදි ගඟුල් කෞෂිතකී උපනිෂදයේ එන පියා ලෝකයෙන් සමු ගන්නා මොහොතේ සිදු වූ පිය පුතු සංවාදය රේණුත් ඇගේ දෙටු සොහොයුරාත් අසා සිටියේ දැහැන් ගත ව ය. සංකථනයට සාවධාන ව සිටි බැවින් ඔවුන්ගෙන් කිසිවකුට පන්සල් ගොස් පෙරළා ආ මව සහ කනිටු දියණිය ගෙට ගොඩ වන බව ඇසුණේ ද දැනුණේ ද නැත. එහි අරුත මෙය ශ්‍රවණය ම කළ යුතු තවත් දෙසවන් දෙකකට ද එවදන් ඇතුළු වී ඔවුන්ගේ හදවත්වල ගැඹුරු ම තැනටත් තදාගමික සාහිත්‍යයේ සිහිල් දිය දහර ගමන් කළ බව නොවේ ද? එදින රේණුගේ පමණක් නොව ඇයගේ අම්මාගේත් සොහොයුරාගේත් සොයුරියගේත් ඉල්ලීම පරිදි මිහිදිනී ඔවුන්ගේ නිවසේ නැවතුණා ය. පසුදා උදාසනින් ඇය ගැන්මට එන බව දන්වා ගඟුල් සිය නිවස බලා පිටත් විය. සත් දවසේ පින්කම යොදාගෙන ඇත්තේ මෙම සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින බැවින් ගඟුල් බදාදා සවස් වන විට මිහිදිනී ද සමග පාසලට ගොස් බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් වැඩ කොට සිකුරාදා දිනයේ පාසල ඇරුණු විගස රේණුගේ නිවස බලා ඒමට තීරණය කෙළේ ය. ඒ ඉන් සිය සහෝදර ගුරුවරියගේ කාල සටහනට අයත් කාලච්ඡේද කිහිපයක් වත් මිහිදිනියට ආවරණය කළ හැකි නොවේ ද යන අදහස ඇති වූ බැවිනි. සේවා ජීවිතයට ප්‍රමුඛතාව දිය යුතු ය යන අදහස ඉහළින් ම පිළිගන්නා රේණු ද ඇගේ දෙටු සොයුරු උපදිසාපතිවරයා ද එය එක හෙළා අනුමත කළහ. යන අතරමග දී ගඟුල්ට සිහිපත් වූයේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ග්‍රන්ථමාලාවේ දහතුන් වැන්න වන ආදරය නම් ග්‍රන්ථයේ අන්තර්ගත අයිතිවාසිකම් හා යුතුකම් නම් ශීර්ෂය යටතේ එන ලිපිය යි. එහි දී එතුමන් විසින් අවධාරණ කරනු ලැබ තිබුණේ උපන් සෑම කෙනෙකුට ම ජීවත් වීමේ අයිතිවාසිකම ඇත්තාක් මෙන් ඒ සෑම කෙනෙකුට ම ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් යන සතර උපයා ගැනීමේ මූලික අයිතිවාසිකම ද තිබිය යුතු බව ය. එතුමා පවසන්නේ අයිතිවාසිකම් ලබා ගැන්ම සඳහා කටයුතු කිරීමේ වරදක් නැති අතර ඒ සමග ම යුතුකම් ඉටු කිරීම කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ යුතු බව ය. එම ලේඛනය කියවද්දී ගඟුල්ට හැඟුණේ අයිතිවාසිකම් දිනා ගැන්මට සටන් කරන්නාක් මෙන් ම යුතුකම් ඉටු කිරීමේ සටනට ද අප දායක විය යුතු බව ය. රේණු අක්කා යනු සිය අයිතිවාසිකම්වලට වඩා අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ගැහැනියකි. එසේ ම තමා නොපිරිහෙළා යුතුකම් ඉටු කරන අතර ඇතැම් දෙනා සිය යුතුකම් ඉටු නොකරන විට ඔවුන්ගෙන් යුතුකම් ඉටුකරවීම උදෙසා සටන් වදින ගැහැනියකි. එහෙත් මේ සියලු සටන්වල දී තමා තුළ සිටින ආදරණීය ගැහැනිය අහිමි කොට නොගෙන කටයුතු කිරීමට ද ඇය දනියි. මිහිදිනී සිය කලණ මිතුරිය හැඳින්වීම සඳහා යොදන අඳුරට එරෙහි ආලෝක රණකාමිණිය යන යෙදුම මේ ආදරණීය ගැහැනිය සම්බන්ධයෙන් අත්‍යන්තයෙන් ගැළපෙන යෙදුමක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මිහිදිනී විශේෂයෙන් හෙට දවසේ පාසලට යන්නේ ද තමාගේ යුතුකම මෙන් ම යුතුකම් උදෙසා සටන් වදින ඒ ආදරණීය ගැහැනියගේ යුතුකම් ද වෙනුවෙනි. එය කොන්දේසි මත පදනම් වන්නක් නොවේ. අදිකාරම්තුමන් පවසන පරිදි ආදරය ඇති අය අතර අයිතිවාසිකම් ලබා ගැනීමක් වත් යුතුකම් ඉටු කිරීමක් වත් නැත. ඒ ආදරය යනු ගනු දෙනුවක් නොවන බැවිනි. එතුමා සිය ලේඛනය අවසන් කොට තිබූ ආකාරය අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ නවමු දෘෂ්ටියකින් බැලීසම සඳහා වන ඇසක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මනුෂ්‍යයන් තුළ සැබෑ ආදරය පවතියි නම් ඔවුන් සිටින සමාජය අයිතිවාසිකම්වලින් නොමිරිකුණු වාසනාවන්ත සමාජයක් වන්නේය. ඒ සැබෑ ආදරය පිහිටන්නේ “මම” යන දෘෂ්ටිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විට ය. එය මනුෂ්‍ය සමාජයෙහි සිදුවිය යුතු එකම විප්ලවය ද වේ. ඒ විප්ලවය රටක ටික දෙනෙකු තුළ හෝ සිදුවන තුරු මනුෂ්‍යයාගේ සැපය වත් රටේ සාමය වත් ඇති වේ යයි බලාපොරොත්තු වීම අනුවණකමකි. මේ වනවිට මෙවන් අර්ථසම්පන්න සිතිවිලි සමුදායක් සමාජගත කළ උත්තම පුරුෂයාගේ අභාවයෙන් ද සැලකිය යුතු කාලයක් ඉකුත් ව ගොස් ඇත. එතුමන්ගේ අදහස් එතුමන් වැදගත් යැයි සැලකූ ක්‍රියාකාරකම් යළි යළිත් සමාජගත කිරීම සඳහා පසුගිය දිනෙක ආචාර්ය ඊ. ඩබ්ලිව්.අදිකාරම් පදනම, ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති පදනම, අනුලා නීතිගත පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතිය යන සංවිධාන චතුර්ථයේ සාමාජිකයන් එක් රැස් ව සාකච්ඡා කළ බව ගඟුල්ට දැන ගැන්මට ලැබිණ. ඒ අනුව එළැඹෙන වර්ෂයේ දී පරිසරය, නිර්මාංසික ජීවන ප්‍රතිපදාව, මත්ද්‍රව්‍ය නිවාරණය, විද්‍යාව මානවයා ඇතුළු සමස්ත ජීව ලෝකයේ සුභසිද්ධිය උදෙසා යොදා ගැනීම, ආචාර්ය අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන මෙන් ම ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන දර්ශනය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාසල්, දහම් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාලයන් ඇතුළු විවිධ අධ්‍යාපන නිකේතනවල දියත් කිරීමට සැලසුම් කොට ඇති දේශන, වැඩමුළු, වෛද්‍ය සායන, රසවින්දන වැඩ සටහන් ආදියට සිය සහෘදයන් ද සමග එක් ව උපරිම සහාය ලබා දීමට ගඟුල් තීරණය කෙළේ ය. එසේ ම එවන් වැඩ සටහනක් දෙකක් ක්‍රියාත්මක කරන ස්ථානය බවට නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය ද පත් කොට ගත යුතු ය යන අදහස ද සිතේ දරා ගනිමිනි, ගඟුල් මිහිදිනියගෙන් ද රේණු ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද සමු ගෙන සිය නිවෙස බලා පිටත් ව ආවේ.