Friday, May 20, 2016

තෙතබරිත නගරෙක.. වැසි මැද.. වෙසක් කුමකට..?

අවංකව ම මගෙ හිතේ නම් බුදුහාමුදුරුවො කියල මැවිල තියෙන්නෙ තොරන් මැද විරාජමාන ව වැඩ ඉන්න සවනක් ගණ රැස් විහිදෙන යෝධ රූපකායක් ඇති තැනැත්තෙක් නොවෙයි.. මුළු ගයා නගරය පුරා ම දූවිලි තැවරුණු පොළොවේ නිරුවත් දෙපයින් ඇවිද ගියපු, ජාති - ආගම් - කුල භේදයකින් තොර ව ඕනෑ ම මනුෂයෙකුට - ගැහැණියකට සත්‍යාවබෝධය ලබා දෙනු පිණිස කටයුතු කළ බුදුහාමුදුරුවෝ මගෙ මනසෙ වැඩ ඉන්නෙ බොහොම සරල, සුන්දර මනුෂ්‍යයෙක් විදිහටයි..

අද බුදුහාමුදුරුවො වැඩ උන්නා නම්..

මුළු අහස ම අඳුරු කරමින් නොනැවතී ඇද හැලෙන වැස්ස දිහා බලන් ඉන්න කොට මට හිතුණා..

මං දන්න සමහර අක්කලා - අය්යලා වෙසක් කූඩු - තොරන් හැදිල්ල සම්පූර්ණයෙන් ම පැත්තකට දමලා ඒ වෙනුවට බත් පැකට් බඳින්නත්, ආධාර එකතු කරන්නත් පටන් ගත්තා..

ඒ තමා ඇත්ත වෙසක්.. ඔවුන් තමා අපූරුවට ම වෙසක් සමරන්නෙ..

බුදුහාමුදුරුවෝ දේශනා කලේ ආමීස පූජා පවත්වන්න නොවෙයි.. ප්‍රතිපත්ති පූජා පවත්වන්නයි.. බුදු දහම කියන්නෙ ආගමක් නොවෙයි. එ් එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වුණ විශිෂ්ටත ම - ගැඹුරු ම දර්ශනය. ත්‍රිපිටකය කියන්නෙ බණ පොතක් නොවෙයි.. එය සුවිශිෂ්ට දර්ශනයක් එක්රැස් වුණු විශ්වකෝෂයක්..!

බුදුදහමේ පැවැත්මට ආමීස පූජා අවශ්‍යයි තමා. එය පිළිකෙව් කරන්නට බැහැ. ඒත් මේ මොහොතේ අර අසරණ වුණ අපේ ම මිනිස්සුන්ට බෙහෙත් ටිකක්, ඇඳුමක් කැඩුමක් ගෙනියන එකෙන් වඩාත් පලවත් විදියකට වෙසක් සමරන්න පුළුවන්.. 

පූතිගත්ත තිස්ස තෙරුන්ගේ සැරව ගලන සිරුර තමන්ගෙ දෑතින් පිරිසිදු කරපු බුදුහාමුදුරුවෝ අද ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොකක්ද...

අපි ආයෙ ඒ ගැන හිතලා බලමු..

19 comments:

  1. මේ වෙලාවේ නං බුදු හාමුදුරුවො බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිපත්ති පුජාවකට වඩා ආමිස පුජාවල් වෙන්න ඇති නේද?

    ReplyDelete
  2. මේ පොස්ට් එක කියවද්දී "නලීන් " ගේ නම මතක් වුනේ නිරායාසයෙන්, ඔහු තමයි දුම්රියේ වැඩට එන අයට තමන් දවල්ට කෑමට ගේන බත් පැකට් එක,හරි ඒ එක්කම තව බත් පැකට් එකක් හරි ගෙනත් දෙන්ඩ කියල මුහුණු පොතෙන් ඉල්ලීමක් කරලා ලොකු සේවයක් කරා. පස්සේ විද්‍යුත් මාද්‍යයත් ඒක අනුගමනය කළා. තොරන් හදනවට වඩා මේ වගේ දෙයක් කිරීම ගොඩක් හොද කාලින අවශ්‍යතාවයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් තමන්ගෙ බත්පත පවා පරිත්‍යාග කරන්න තරම් මේ වෙලාවෙ කාරුණික වුණා.ලංකාවෙ බහුතරයක් ජනතාව ගැන ලොකු සතුටක් දැනෙනවා මේ වෙලාවට..

      Delete
  3. ඔව් මගෙත් අදහස ගොක් දෙනා මේ වෙසක් එකට තමයි පින් කරන්නේ කියලා.. වෙනදා කරන දේවලට වඩා ලොකු වටිනාකමක් දැන් තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේවා ප්‍රතිපත්ති පූජා..!

      Delete
  4. බුදු හාමුදුරුවො අපෙන් බලාපොරොත්තු වෙන්නේ එයා ගැන වර්නනා කරකර ඉන්නවත්, එහෙම නැත්නම් බෞද්ධ ලේබල් ගහගෙන පිම්බෙන්නවත්, එයාව සිහිකරන්න බකට් කූඩු පත්තු කරන්නවත් දංසැල් දෙන්නවත් නෙමෙයි. අපි අද ඉන්න තැන ඉඳන් එක්තරා තත්ත්වෙකට ක්‍රම ක්‍රමයෙන් යන ගමනක් යන්න උත්සාහ කරන්න කියල විතරයි. ඒක මෙන්න මෙතනට ගිහින් කියවලා දැනගන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.. දුක නැති කිරීමේ මාර්ගය පෙන්නා දීලා තියෙන්නෙ ඒ දිහා බලලා සාදුකාර දෙන්න නෙමේ.. ඒ මාර්ගයෙ ගමන් කරන්නයි..

      ප.ලි_
      දැන් ළඳුන් සිංහාසනේ ගීය ගැන සඳහනක් ඇති කලින් පෝස්ට් එකේ..

      Delete
  5. බුදුහාමුදුරුවෝ අද ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොකක්ද...//

    බුදු හිමියන් අපෙන් කිසිවක් බලා පොරොත්තු වූයේ නැත...

    මම හිතන විදිහට මිනිස්සු ජීවිතය දකින්නෙ....විදින්නෙ....කියවන්නෙ එකිනෙකාට වෙනස් විදිහට...ඉතින් ඒ අයවලුන් විස්වාස කරන විඳින දේවල් ඒ විදිහටම ඔවුන් පවත්වාගෙන යනව

    ReplyDelete
    Replies
    1. ඔව්.. බුදුහාමුදුරුවො අපෙන් කිසිවක් බලාපොරොත්තු නූන බව ඇත්ත.. ඒත් අපට වගකීමක් තියෙනවා අපේ පුද්ගලික සහ සමාජ පැවැත්ම සම්බන්ධයෙන්.

      Delete
  6. ඔබ බොහොම වටිනා ලිපියක් ලියලා තියෙන්නේ ...

    ඒ වෙනුවෙන් මගේ ආචාරය ...

    ReplyDelete
  7. හපොයි ආචාර මොකටද... අපි හැමෝම පුළුවන් විදියට මොන මොනව හරි කරමු..!

    ReplyDelete
  8. පොඩි ගැජට් වගයක් ගන්න සල්ලි ටිකක් අතේ තියං හිටිය. ගැජට් බල්ලට දාල වතුර බෝතල් වගයක් දුන්න ගංවතුර අාධාර වලට. ඊට වඩා දෙයක් දෙන්න තිබ්බනං කියල හිතනව අප්ප. නමුත් ඔය හේතුව හින්දම මේක තමා මම ගතකරපු හොඳම වෙසක් පෝය

    ReplyDelete
    Replies
    1. දුන්න දේ ප්‍රමාණේ නෙමෙයි වැදගත්.. පුංචි දෙයක් හරි අවංක ව දීපු එක.. හැම කෙනෙක්ම වාගෙ තම තමන්ට පුළුවන් මට්ටමින් කළ හැකි දේ කළා..

      සන්තෝසයි අලියෝ..!!

      Delete
    2. ළමය මේ post එක මගෙ blogger account එකේ පෙන්නන්නෑනෙ !

      Delete
    3. ane manda ayye.. welawakata man wage blog ekath pissu natanawa wenna athi..!

      Delete
  9. බුදුන් වහන්සේ අද දේශනාවක් කළා නම් උන් වහන්සේ ජිවිතේ අනිත්‍ය සහ කර්ම පල අනුව මිනිසුන් දුක් විඳින අයුරු පැහැදිලි කරමින් අපූරු දේශනාවක් කරාවි. ඒ වගේම අන්‍යන්ට පිහිට වීමේ ගුණය, එහෙමත් නැත්නම් පරෝපකාරයේ පල විපාක ගැන අපට පැහැදිලි කරලා දේවී. ඇත්තෙන්ම ඒ බුද්ධ දර්ශනය තේරුම් ගනිපු පින්වත් මිනිසුන් බොහොමයක් අපි අතරේ උන්න බව පහු ගිය දවස් වල ඇසු දුටු දේවල් වලින් පැහැදිලි උනා. ඔබ මතු කලේ අපූරු කරුණක්. හරවත් සටහනක් වැසි දැරිය.

    ReplyDelete
  10. 100%ක් එකඟයි වර්ෂා. බුදු හාමුදුරුවො අද හිටියනම්, අද ආයෙ ආවනම් මේ මිනිස්සු කරන දේවල් දැකල අහවි මේ කාගෙ අනුගාමිකයොද කියල. ඒ තරං උන්වහන්සේගෙ දර්ශනයෙන් අපේ පාර ඩයිවර්ට් වෙලා.

    ReplyDelete