Monday, November 4, 2024

116. ටියැං ලූ සහ සිංහල බැරි සිංහල බබ්බු!

වැසිදැරිය දන්න ඇතැම් බබ්බු ඉන්නවා, ඒ බබ්බුන්ට සිංහල බෑ. ඇතැම් අය නෑදෑ වෙන බබ්බු. ඇතැම් අය යාලුවන්ගෙ බබ්බු. සමහරක් පිටරට පදිංචි අය. තවත් සමහරක් ලංකාවෙම ඉන්න අය. ඇතැමුන් කියන්නෙ ප්‍රායෝගිකව සිංහල භාවිත කරන්න විදියක් සහ අවශ්‍යතාවක් නැති වග. ඇතැමුන් කියන්නෙ තමන්ටත් දැන් සිංහල අමතක වෙලා වාගේ නිසා දරුවන්ට කොහොමත් අමතක වෙලා යාම සාමාන්‍ය දෙයක් වග. සිංහල ඉගෙනගත්තා කියලා වැඩකුත් නැති වග. මාතෘ භාෂාව හෙළා දැකීමේ මානසික තත්ත්වය, වාග්විද්‍යා සහ මනෝවිද්‍යා ක්ෂේත්‍රවල Schizoglossia කියන මානසික රෝගී තත්ත්වය ලෙස හඳුනා‍ගෙන තියෙන වග දන්නවා නම් එයාලා එහෙම නොකියන්නත් සමහරක් විට ඉඩ තියෙනව.

කොහොම හරි ඔය කියාපු සමහර දෙමව්පියන්ට තමුන්ගෙ බබ්බුන්ට සිංහල බැරි වීම පුදුම තරමේ ආඩම්බරයක්. ඒ අරුම පුදුම ආඩම්බරේ ඒ බබ්බුන්ට ඉංග්‍රීසි බැරි වුණොත් එහෙම්මම තියේවිද කියලා අහන්න කටට එන ප්‍රස්නේ එහෙම නරක විදියට අහන්නෙ නැතිව තමන්ගෙ භූමිකාව ඇතුළේ, ඒ ආඩම්බරය තුළ තියෙන භයානකකම ගැන නොරිදෙන සාකච්ඡාවක නිරත වෙන්න වැහිදැරිවි උත්සාහ කරනවා. වාග්විද්‍යාව (Linguistics) සහ පශ්චාත්කොලනිකරණය (Post colonialism) විෂයන් ලෙස හදාරපු බැවින්, සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිවීම් සහ සන්නිවේදන කටයුතු කරන බැවින් සහ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය විෂයක් ලෙස උගන්වන බැවින් වැහිදැරියට එහෙම කතා කරන්න හැකි නොනිල බලපත්‍රයක් ලැබිලා තිබීම නිසා ඒක බොහෝ වෙලාවට, යම් තාක් දුරක හෝ පලක් ඇති සංවාදෙකට ගෙනියන්න පුළුවන් වෙලා ති‍බෙනවා. හැබැයි සංවාදෙකට ඇතුළු වෙන්නවත් අකැමැති ඇතැම් අයත් එක්ක එහෙව් සංවාද කරන්න අවකාශයක් හදාගන්න අසීරුනෙ. එවන් වෙලාවට කළ හැක්කෙ, එවන් යටත්විජිතවාදයෙන් හා කොලනිකරණයෙන් නොමිදුණ මානසික තත්ත්වයන් තව දුරටත් අනිත් අය තුළ ඇති වීම වැළැක්වීම සඳහා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන එක කියලා හිත හදාගන්නව!

හැබැයි මේ සටහන ලිව්වෙ එහෙම බබ්බු ගැන ලියන්න නොවෙයි. එහෙම නොවන බබෙක් ගැන ලියන්න. එහෙම නොවන බබෙක් කියන්නෙම, ඔය ඉහත සඳහන් කළ ඩිස්කෝස් එකට ප්‍රතිඋත්තර සපයන නිදර්ශනයක්නෙ. ඒ නිසා ඒ බබා ගැන ලියන්න පෙර එහෙම නොවන බබ්බු ගැන ලිවිය යුතුයි කියලා හිතුණා. ඇත්තටම ලියන්න ඕනෑ ඒ බබ්බු ගැන නොවෙයි, එයාලාගෙ දෙමව්පියො ගැන තමා. මොකද බබෙක්ගෙ භාෂා පරිසරය හැදෙන්නෙ දෙමව්පියන්ගෙන්නෙ. පළමු භාෂාව අන්තර්ග්‍රහණය කරගැනීම ස්වාභාවික සිද්ධියක් වුණාට එයට ඉඩ හසර සපයන්නෙ අවට පරිසරය නිසා දෙමව්පියන්ට ඒ සම්බන්ධ සුවිසාල - අත්හළ නොහැකි වගකීමක් තියෙනවා. ඒ නිසා යම් බබෙක්ට මාතෘ භාෂාව - සිංහල වේවා, දෙමළ වේවා, තමුන්ගෙ මාතෘ භාෂාව බැරි නම්, ඒ වෙනුවට ප්‍රථම භාෂාව විදියට පුළුවන් ඉංග්‍රීසි භාෂාව විතරක් නම්, ඒ ගැන බබා තුළත් ආඩම්බරයක් වගා කරලා දෙමව්පියනුත් බොහෝම ආඩම්බර වෙනවා නම්, එතැන තියෙන්නෙ යටත්විජිතවාදයට සම්බන්ධ බරපතළ දේශපාලනික - සමාජ - සංස්කෘතික - වාග්විද්‍යාත්මක - මානවවිද්‍යාත්මක... ඔන්න ඔහොම ක්ෂේත්‍ර ගණනාවක යටතෙ කතා කළ යුතු බරපතළ ප්‍රශ්නයක්.

මං මේ සටහනේ ලියන බබාට ඉන්නෙ යටත්විජිතවාදෙන් මිදුණු, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් හිස මත තියාන වන්දනයක නොයෙදෙන, ඉංග්‍රීසිය තවත් එක් බසක් ලෙස සලකන, දැනුම පමණක් නොව ප්‍රඥාව සහිත මව්පිය යුවළක්. ඒ නිසා ඒ බබා වාග්විද්‍යාත්මක ශක්‍යතා එකතුවක් වීමේ ගෞරවය ඔවුන්ට හිමි විය යුතු බව මේ සටහනට එක් කළ යුතුමයි.

වැහිදැරිවි ඒ බබාව මුලින්ම දැක්කෙ දවස් දෙක තුනක පුංචි බබෙක් විදියට. එයාගෙ අම්මා, වැහිදැරිවිගෙ මව්පියන්ගෙ ශිෂ්‍යාවක වීම නිසා, (වරහන් ඇතුළෙ කියන්නම ඕන - ආදරණීයම කියලා.. නැත්තං වැහිදැරිවිට ආදරණීය ශිෂ්‍යාවගෙන් බැනුං අහන්න වෙන්නත් ඉඩ තියෙනව) එයා සතියක්වත් වයස නැති පුංචි බබෙක් විදියට අපේ ගෙදර ආවා. එච්චර පොඩි වයසකින් බබෙක්ව එහෙම ගෙනියනවද කියන එක අරුම පුදුම කාරණයක් වුණාට, බබාගෙ අම්මාට ඕනෑම වුණා තමන්ගෙ ගුරුවරු දෙන්නා මුලින්ම බබාව දකින අය බවට පත් කරන්න. ඉතින් එහෙම දවස් ගාණකින් දැකපු පුංචි බබා ආපහු වැහිදැරිවි බලන්න ආවෙ, වැහිදැරිවිගෙ නමයි - වැහිදැරිවි වගේ කොණ්ඩෙ ඉස්සරහින් අපිළිවෙලට ෆ්‍රින්ජ් එකක් කපාගත්ත දැරිවියෙකුගෙ පින්තූරෙකුයි ප්‍රින්ට් කරපු ටෝට් බෑග් එකකුත් - අත්බෑග් එකකුත් - හුරුබුහුටි පර්ස් එකකුත් ආදී තෑගි ගොඩක් අරගෙන.

මේ බබාගෙ නම තරුචමා. න⁣ම වගේම තාරකාමය චමත්කාරයක් සහිත බබෙක්. හැබැයි එයාට තවත් නමක් තියෙනවා. ඒ ටියැං ලූ. එහෙම වෙන්න හේතුව එයා දැන් ජීවත් වන්නෙ චීනයෙ වීම. එයා සම්බන්ධ විශේෂ දේ රටවල් දෙකකදි  භාෂා දෙකක් නියෝජනය කරන නම් දෙකක් තිබීම නොවෙයි. එයා භාෂා තුනක් එකම විදියට හැසිරවීමේ ශක්‍යතාව සහිත අපූරු දැරිවියක් වීම. ටියැං ලූ කතා කරනවා අඩ හෝරාවක් අහං හිටියොත්, එයාගෙ මව්භාෂාව සිංහලද-චීන-ඉංග්‍රීසිද කියා හිතාගන්න අහං ඉන්න කෙනාට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

ඒකට හේතුව එයාගෙ ප්‍රථම භාෂාව හෙවත් ෆස්ට් ලැන්ග්වේජ් එක විදියට භාෂා තුනම අන්තර්ග්‍රහණය වී තිබීම. එයා එක්ක කතා කරද්දී මට දැනුණේ වසර ගණනක් ඉගෙනගත් වාග්විද්‍යා මූලධර්ම ගැන ප්‍රායෝගික පර්යේෂණයක නියැලෙනවා වගෙ හැඟීමක්. එයා එපමණ බුද්ධිමත් සහ සංවේදී බබෙක්. සංවාදයක් පවත්වාගෙන යන්න ආසා හිතෙන අන්දමේ බබෙක්.

කවදා හරි තරුචමා හෙවත් ටියැං ලූ මේක කියවාවි කියා මං දන්නවා. එයාගේ අම්මා එයාට මේක කියාදේවි කියන එක නොවෙයි මං කියන්නෙ. එයාගෙ ධාරිතාවෙ හැටියට එයාට සිංහල කියවන්න ඉගෙනගන්න එක සහ තව ටිකක් වැඩුණාම මේක කියවන එක කරන්න පුළුවන් දෙයක් වග පැහැදිලියි.

තරුචමා නමැති කුඩා තාරකා එළිය දවසක සුවිසාල ආලෝක ධාරාවක්ව දිලිසෙන වග විශ්වාස බව මෙතැන ලියා තියෙන්නෙ දවසක එයා ලොකු බබෙක් වුණ දවසක එයාට කියවන්නයි. ඒ වගේම එයා ‍නොදැනුවත්වම එයා විසින් ඇති කරන පූර්වාදර්ශය මව්බස අමතක නොකොට අනිත් බස් සමෝසමේ අන්තර්ග්‍රහණය කරගැනීම පිළිබඳ මනරම් වාග්විද්‍යාත්මක පාඩමක් මේ සහශ්‍රයේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකික වැඩිහිටියන්ට කියා දෙන බව මතක් කරන්නයි. 

ප.ලි - 
මේ මාතෘකාව ගැනම කලකට කලින් ලියාපු හදබස් දොරටු ලිපිය මෙතන පසුව ලිවීමක් ලෙස අමුණා තියනවා.

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම නිසා කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය නිදසුන් සහිතව කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ මාතෘ භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෘ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය. 

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන මේ සම්මුඛ සාකච්ඡාව මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. 



ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


Sunday, November 3, 2024

115. පිං කුසුමී! 🌸

ජපුරෙ හිටපු උපකුලපතිවරයෙක් වුණ චන්දිම සර් ආයු සංස්කාරය අත්හැරියාය කියා අද උදේ පණිවිඩයක් ආවා.

වැසිදැරිවිට ඒක අහපු ගමන් පිං කුසුමී මතක් වුණා. වැසිදැරිවි  මුණගැහුණ හැම දවසකම චන්දිම සර් වැසිදැරිවිට කතා කළේ පිං කුසුමී කියලයි.

පිං කුසුමී කියන්නෙ චන්දිම සර් ලියාපු පොතක්. ළමා කතා පොතක්. ඒ පොත ලියපු දවස්වල, අවුරුදු පහක් විතර බබෙක් වුණ කුඩා වැහිදැරිවිට, චන්දිම සර් ඒකෙ පිටපතක් අත්සන් කරලා දුන්නෙ, පිං කුසුමීට කියලයි. 

⁣කොතෙක් තෑගි ලෙස පොත් ලැබිලා තිබුණත් පිං කුසුමී වෙසෙස්ව දැනෙන්න එක හේතුවක් අම්මා තාත්තාගෙන් ලැබුණ තෑගි ලෙස එතෙක් ලැබිලා තිබුණ පොත්වලට අමතරව, වෙනත් කෙනෙකුගෙන් තෑගි ලැබුණ මුල්ම පොතක් විදියට වැහිදැරියට මතක තියෙන්නෙ පිං කුසුමී වීම!

ඒ වගෙම වැහිදැරිවිගෙ නම, කුසුම්වර්ෂා නිසා සර් වැහිදැරිවි මුණගැහෙන හැම වෙලාවකම, 'ඔයාට තමා ඒ පොතේ වැඩිම අයිතිය තියෙන්නෙ' කියා මතක් කිරීමත් ඒකට හේතුවක්.

ඒක අවිහිංසාවාදය සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුංචි දැරියකගෙ කතාවක් වීම නිසා, පූසෙකුගෙ කෑම පිඟානක මාලු කටුවක් අඳින්න බෑ කියලා චිත්‍ර පන්තියෙදි කෑ ගහලා මීන අයිතිවාසිකම් වෙනුවෙන් විප්ලව කරපු කුඩා වැහිදැරියට ඒ ප්ලොට් එක තදින් දැනීම තවත් හේතුවක් වෙන්න පුළුවන්.

කොහොම හරි ඔය පිං කුසුමී කතාවට අමතරව චන්දිම සර්යි වැහි දැරිවිගෙ අම්මයි මුණගැහුණම හිනා වෙවී මතක් කරන තව කතාවක් තියෙනව.

වැහිදැරිවි ඉතා කුඩා බබෙක් කාලෙ, සුමංගල මන්දිරය ඉදිරිපිට සුදු වලාකුළු පිරිච්ච ආකාසෙට අත දික් කරලා, චන්දිම සර්ට කිව්වලු, තමුන් මේ ලෝකෙට එන්න කලින් උන්නෙ ඒ වලාකුළු අස්සෙ වග.

ඉතින් ඒ වලාකුළු අස්සෙ ඉඳලා ආවාය කියලා කටකමසිරියාවක් නැතුව කියවපු අතිපණ්ඩිත පොඩි එකී, ඒ සුමංගල මන්දිරයෙදිම කථිකාචාර්යවරියකව මුණගැහුණ දවසෙ චන්දිම සර් සුබ පැතුවෙ හුඟක් සන්තෝසෙන්.

ඉන් කලකට පස්සෙ වැහිදැරිවි බෞද්ධ අධ්‍යයන කටයුතු සිදු වෙන සරසවියක, උගන්වන්න ගිය වග බෞද්ධ දර්ශනය උගන්වපු සර් දැනගෙන උන්නෙ නෑ. දැනගත්තා නම් ඊටත් වඩා සතුටු වේවි කියා වැහිදැරියට, නෑ, පිං කුසුමීට හිතෙනවා.⁣ 

කුඩා ⁣බබෙක්ට තෑග්ගක් ⁣තෝරන වෙලාවක, බෝනික්කෙක්-තුවක්කුවක්-ආදී ලිංගභේදය අනුව වර්ග කරපු භයානක තෑගි මග ඇරගෙන ගිහින් පොතක් තෝරද්දි වැහිදැරිවිට තමන් බබෙකු කාලෙ තෑගි ලැබුණ පිං කුසුමීගෙ සතුටු මතකය මතක් වෙනවා.

තමන් මාර ආදරේ හරිනි සහෝදරීගෙ සාරි ජැකට්ස් ස්වේච්ඡාවෙන් මහලා දෙන්න කැමතියි කියලා සද්භාවයෙන් යුතු සහෝදරත්වෙකින් කියමින්, වැහිදැරියට සාරි ජැකට්ස් මහන අක්කාගෙ බබාට පොතක් ගෙනියන වෙලාවක, වඩා ලාභ ලැබිය හැකි සිරුර විකිණීමේ රැකියාව තෝරාගන්න හැකියාව තියෙද්දි ඒ වෙනුවට ඉතා ගෞරවණීය ලෙස ⁣පලා හෝ හඳුන්කූරු විකුණන ළඳකගෙ බබෙකු⁣ට පොතක් දෙන  වෙලාවක, ඒ බබ්බුන්ගෙ මූණු සන්තෝසෙන් පිරෙනවා දකින කොටත් පිං කුසුමී වැහිදැරිවිගෙ මතක අස්සෙන් එබිකම් කරනව.

ඉතින් ඉස්සරහටත්, චන්දිම සර් දැන් නොහිටියා වුණාට, එහෙම කුඩා බබෙක් අතින් පොතක් තියන හැම දවසකම වැහි දැරිවිට පිං කුසුමී මතක් වේවි!