Friday, March 27, 2026

145. ගුරු දියවර 53 - සමන් චන්ද්‍ර රණසිංහ


“මිහිදිනී, සර්ගෙ දිනපොත් අධ්‍යයනය කරද්දි අපිටත් හම්බ වෙනවා කල්‍යාණ මිත්‍රයො දේශ කාල ජාති ආගම් සීමාවන්ගෙන් තොර ව. වෙලාවකට සර්ගෙ දිනපොතේ ඉන්න මිතුරු මිතුරියො සමහර දෙනෙක් අපි කවදාවත් දැකලා නොතිබුණත් ඒ ගොල්ලො සර් නිසා අපේ හිත්වලට ඇවිත් පදිංචි වෙනවා. අපි කලින් කතා කරපු චරිතවලට අමතරව අනිල්, ජගත්, සුමති, ශාන්ත, සේන, ශ්‍රී, සමාන්, කලීල්, සුදර්ශී, බිම්බා, නිරූපා කියන නම්වලින් අපට හමු වෙන අපේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන චරිත අපිට අපේ ම අය විදිහට දැනෙන්නෙ එහෙමයි. වෙලාවකට සර් අපිට කිට්ටු කරන්නෙ පලිහවඩන සර්, මහානාම සර් වගේ තමන්ගේ ආදරණීය ගුරුවරුන් ව. බලන්න මිහිදිනී, අපේ සර් පලිහවඩන සර්ගෙ ශිෂ්‍යයෙක් ව ඉන්දැද්දි ඒ සර් කරපු ප්‍රකාශයක් ඔස්සෙ තමන්ගෙ චින්තනය විකසිත කරගත්ත හැටි 1985 මැයි 05 වෙනිදා දින සටහනෙන් පේනවා.”

“ඉතින් අද අපි මේ දින සටහන් ගැන කරන සාකච්ඡාවට ඒකම ප්‍රවේශයක් කර ගනිමු.”

මේ වූකලී ඉරිදා දවසක උදාසන ගඟුල් - මිහිදිනී සහෘදය යුග්මය අතර ඇතිවූ සුහද පිළිසඳරෙහි සමාරම්භය යි.

 මිහිදිනියගේ ඉල්ලීම පරිදි ගඟුල් මෙසේ සිය ආචාර්යවරයාගේ යථෝක්ත දින සටහන කියැවීය.

“ඇතැම් දිනවල ජීවිතයේ ලොකු පැහැදිලි ගතියක් ඇති වන බැව් පලිහවඩන සර් පැවසුවා. ඒත් ඒ පැහැදිලි ගතිය මුළු ජීවිතය පුරා රඳා නොපවතින්නේ ඇයි ද යන්න සර්ටත් ප්‍රශ්නයක්. ඇලීමෙන් තොරව ජීවත් විය හැකි යයි සර් තිර වශයෙන් පැවසුවා. මසිත ද සමහර දිනෙක නිශ්චල ව පවතියි. ඒත් ඒ නිශ්චලතාව දිගින් දිගට පවතින්නේ නැහැ. සුළු දෙයින් පවා එය බිඳ වැටෙනවා.”

“අපි මිහිදිනී මෙතනින් ඉස්සරහට ගියා ම අපට හමු වෙන මැයි 19 දින සටහනේ මේකට උත්තරයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ. එදා අදිකාරම්තුමා දේශනයක් කරලා තියෙනවා නුගේගොඩදි මගේ ශරීරය කියන මාතෘකාවෙන්. මේ දේශනයෙ අන්තර්ගතය ගැන සඳහනක් නැහැ. මට හිතෙනවා අපේ සර්ව හම්බ වෙලා සමහර දේවල් පැහැදිලි කරගන්න තියෙනවනං හොඳයි කියලා.”

“ඉතින් අපි සර්ට කතා කරලා සර් ගෙදර ඉන්නවනං, සර්ට විවේකයක් තියෙනවනං යමුකො එහෙ.”

මිහිදිනීගේ මේ ප්‍රකාශයත් සමග ගඟුල් දූරකථනයෙන් කතා කෙළේ සිය ආචාර්යවරයාට ය. ඔහු පැවසුවේ ඒ දෙදෙනාගේ පැමිණීම ආදරයෙන් අපේක්ෂා කරන බව යි. ඒ පිළිතුරට වහා ප්‍රතිචාර දක්වනු ලැබිණ. සුළු මොහොතකින් ගඟුල් - මිහිදිනී යුග්මය ගුරු නිවහනෙහි පෙනී සිටියේ ඒ අනුව ය.

“එන්ඩ එන්ඩ මගෙ දිනපොත්වල අලුත් අයිතිකාරයො දෙන්නා එන්න. අද හවස පහ වෙන කොට මම කොළඹ ඉන්න ඕනෙ පොතක් දොරට වඩින උත්සවේක දේශනයට. වෙලාව තියෙනවනං දෙන්නම මාත් එක්ක ඒකටත් යමු. ඒක නවකතාවක්. ඒකෙ ඉස්මතු කරන ප්‍රධාන සංකල්පයක් තමයි කල්‍යාණ මිත්‍රත්වය. අද මම විශේෂයෙන් කතා කරන්නෙ ඒ ගැන. මන් දැන් ම ඔයගොල්ලන්ට එන්න කිව්වෙ අපිට තුන හතර වෙනකන් කතා කරන්න වෙලාව තියෙන නිසා.”

“සර් අපි දෙන්නා කතා කළෙත් ඒ ගැන තමයි. අපේ මිහිදිනී, සර්ගෙ දිනපොතෙන් ම කතාව පටන් ගන්න බලාගෙනයි මේ ඉන්නෙ.”  
“එහෙනං ගඟුල්, අපි ඉස්සෙල්ලා ඉඩ දෙමු අපේ කෙල්ලට. ඔයා දුව මගෙ 85 ඉංග්‍රීසි දිනපොතේ පිටුවක් නේද ඔය පෙරළගෙන ඉන්නෙ.”

“ඔව් සර් මන් සර්ගෙ ඒ දිනපොතේ මැයි 03 වෙනිදා සටහනයි මේ පෙල්ලගෙන ඉන්නෙ. ඒක කල්‍යාණ මිත්‍රයෙක් කල්‍යාණ මිත්‍රයෙක් ගැන තියපු සටහනක්. සර් මේකෙ සඳහන් කරලා තියෙන විදිහට ඇල්බට් අයින්ස්ටයින් කියන මහා විද්‍යාඥයා මහාත්මා ගාන්ධිතුමා ගැන තියපු සටහනක්. මේකෙ කියනවා සර් ගාන්ධිතුමා කියන්නෙ තමන්ගේ යුගයේ ඉන්න සත්‍යයේ සැබෑ ප්‍රතිරූපය බව. ඉදිරියට එන පරම්පරාවලට පිළිගැනීමට පවා අපහසු වේවි මෙවන් ලෙයක් ඇති මිනිසෙක් මේ මහා පොළොවේ ඇවිද ගිය බව කියන එක.”

“ඕක මම උපුටගත්තෙ භගවද්ගීතාව ගැන ගාන්ධි ජී ලියපු පොතකට අයින්ස්ටයින් කරපු සටහනකින්. ඔය සටහනටත් අවුරුදු හතළිහක්නෙ බැලුවහම. ඔය ගොල්ලනෙ දැන් මන් වෙනුවෙන් ඔය දේවල් මතු කර කර ලියන්නෙ. මටත් ආසයි දැන් ඒ අයින්ස්ටයින් කරපු මුල් ප්‍රකාශෙ අහන්න. කියවන්න මිහිදිනී ඒක.”

"I regard Gandhi as the only truly great figure of our age…genarations to come will scarce believe that such a one as this ever in flesh and blood walked upon this earth.̎

“ඔය දෙන්නට කියන්න ඔය ප්‍රකාශෙත් එක්ක මට සිහි වෙන මගෙ ජීවිතේට සමීප තවත් චරිත දෙකක් තියෙනවා.”
“අදිකාරම් සර්රුයි අය්යයි නේද සර් ඒ.”

“ඔයා හරි ගඟුල්, ඒ දෙන්නා තමයි. ඒ ගොල්ලො කල්‍යාණ මිත්‍රයො උනේ තෝරගත්ත කිහිප දෙනෙකුට විතරක් නෙමෙයි. ලෝකෙට. ඒ ලෝකෙ මානවයන්ට විතරක් නෙමෙයි සතා සිව්පාවුන්ට වගෙම ඇළට දොළට ගහකොළටත් ඒ ආදරේ විහිදුණා. මේ ආදරේ සුවිශිෂ්ට ප්‍රකාශනය ගැන මගෙ සංස්කෘත දිනපොතෙත් ඇති. මට දෙන්න ගඟුල් ඒ දිනපොත.”

ගඟුල් වෙතින් එම දිනපොත අතට ගත් සහන් ඒ පෙරළමින් කතා කිරීමට ගත්තේ ය.

“බලන්න, මේ මැයි 02 දිනපොතට අරන් තියෙන්නෙ ලලිතවිස්තරේ ප්‍රකාශයක්. ඒ තවුස් ජීවිතයකට ආපු සිද්ධාර්ථ ගෞතම කියන විශිෂ්ට ආදරවන්තයා ගැන. ඊළඟට මැයි 06 තියෙන්නෙ ඒ ආදරවන්තයා කරපු අපේ හිත් වැටෙන කොට අපිවත් නැගිට්ටවන ප්‍රකාශයක්.”

“සර් බෞද්ධ සම්ප්‍රදායෙන් වගෙම වෙනත් ආගමික සම්ප්‍රදායවලිනුත් ජීවිත වට්ටන නෙමෙයි ජීවිත නැගිට්ටවන චරිත හම්බ වෙනවා නේද?”  

“ඔයා ගඟුල් බොහොම හොඳ ප්‍රශ්නයක් මතු කළේ. අපි උදාහරණයක් හැටියට හින්දු සම්ප්‍රදාය ගනිමු. මේ දේවත්වය තියෙන දෙයක් වෙන්නත් පුළුවන් සංකල්පයක් විතරක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ මානවයා විසින් මානවයාගේ සුභසිද්ධිය උදෙසා නිර්මාණය කරපු දෙයක් වෙන්නත් පුළුවන්. අපිට අප්‍රමාණ උදාහරණ හම්බ වෙනවා ඒ දේව සාහිත්‍යයෙන්. ඇතැම් වෙලාවක වැටෙන හිතට ශක්තිය පිහිට දෙන කල්‍යාණ මිත්‍රයා වෙන්නෙ ඊශ්වර දෙවියො. වෙලාවකට පාර්වතී දෙවඟන. තව වෙලාවකට ඔබේ දෑත පා තමා ආරක්ෂා කරන්න කියන ඉල්ලීම ඉදිරිපත් වෙන්නෙ ස්කන්ද කුමාර දෙවියන්ට. තව වෙලාවකට වල්ලි දේවමාතාවට.”

“සර්ගෙ දිනපොතේ දැන් ඔය කියපු අදහස් තහවුරු කරන භක්ති ස්තෝත්‍රයක් තිබුණා මට මතකයි.”
“ඔව් ගඟුල් මම මේ මැයි 09 දින සටහනට ඇතුළත් කරලා තියෙනවා එහෙම එකක්. මම කියවන්නම් ඒක. ඒක කතරගම දෙවියන් ගැන තියෙන භක්ති ගීතයක කොටසක්.”

“හේ ස්වාමි නාථ කරුණාකර දීන බන්ධො
 ශ්‍රී පාර්වතී සුමුඛ පංකජ පද්මබන්ධෝ
 ශ්‍රී ශාදි දේවගණ පූජිත පාදපද්ම
 වල්ලීසනාථ මම දේහි කරාවලම්බම්”
”හැබැයි සර්ගෙ සංස්කෘත දිනපොත් කියවගෙන යද්දි මට පේන විශේෂයක් තිබුණා. සර්ගේ ප්‍රධාන විෂය සංස්කෘත උනාට ඒවයෙ පාලිය - බෞද්ධ සම්ප්‍රදාය ඉස්මතු වෙන ගතියක් මට පෙනුණා.“

“ඒක ඔයාට පේන විදිහ වගෙම ඇත්තත් ඒකම තමයි. මේක ම අපිට හොඳ ප්‍රවේශයක්. අපිට කල්‍යාණ මිත්‍රත්වයේ උපරි වගෙම සුවිශිෂ්ට සංකේතය මතු කරගන්න පුළුවන් වෙන්නෙ එතැනින් කියන එකයි මගෙ හැඟීම. මේ බොහොම ළඟදි දවසක ලබපු අද්දැකීමක් එක්කම මම ඒ ගැන කතා කරන්නම්. අපේ ගෙදර කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන තේකක් එහෙම බීලම කතාව පටන් ගනිමු.”

“තේ විතරක් නෙමෙයි ඔයාගෙ ගෝලයො දෙන්නට නංගියි රාණියි දවල් කෑමත් හදනවා. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාත් එක්ක එන්නකො කුස්සියට. තේත් එක්ක පොඩි කෑම ජාතියකුත් තියෙනවා. අපි ඒවා මෙතෙන්ට අරගෙන එමු.”

තදාහාර සමුපේත තේ පානයෙන් පසු දෛනික වාර්තා ප්‍රතිබද්ධ සංකථනය යළි ඇරඹිණ.

“ගඟුල් - මිහිදිනී, කල්‍යාණ මිත්‍රත්වය ගැන තියෙන හොඳම ප්‍රකාශ හමු වෙන ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායෙ භික්ඛුමිත්ත සූත්‍රය කියලා. පහුගිය දවසක මේ සූත්‍රයෙන් හරිම ලස්සන අර්ථවත් ධර්ම දේශනයක් කළා අපේ මල්ලිකා මුතුකුඩ නෝනගෙ තුන්මාසෙ පින්කමේදි. මේ ධර්ම දේශනය සිද්ධ කළේ කැලණිය විශ්වවිද්‍යාලෙ බෞද්ධ දර්ශනය ගැන ගෞරව උපාධියක් කරපු පූජ්‍ය දෙනියායේ විසුද්ධානන්ද කියන නම තියෙන තරුණ ස්වාමීන් වහන්සේ නමක්.  උන් වහන්සේ ක්‍රියාවෙන් ඔප්පු කළා තමන් වහන්සේ බෞද්ධ දර්ශනය හැදෑරුවා කියන කාරණේ.”

“සර් අපි කතා කරමුකො ඒ ගැන.”  

“ඔව් ගඟුල්, මම එතනට තමයි එන්න හිතුවෙ. මම මේ සූත්‍රය ගැන අපේ හසිත්ලා එක්කත් කතා කළා. මේක ප්‍රමාණයෙන් පිටු දෙකකටත් අඩු ප්‍රමාණයක් තියෙන, අර්ථ සම්පත්තියෙන් ගොඩක් විශාල සූත්‍රයක්. ඒකෙදි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා කරුණු හතකින් සමන්විත භික්ෂූන් වහන්සේලා සේවනය කරන්න, භජනය කරන්න, පයිරුපාසනය කරන්න කියලා. උන් වහන්සේලා ඇසුරට එන්න අකැමැති උනත් ඒ චරිතම සේවනය කරන්න කියලා තමයි බුදුන් වහන්සේ වදාරන්නේ. මෙතෙන්දි අපේ විසුද්ධානන්ද හාමුදුරුවො කිව්වා නිවන ලබන්න කැමති නම් කෙනෙක් අනිවාර්යයෙන් ම මේ කරුණු හත තමන්ගෙ ජීවිතයේ අංග බවට පත් කර ගන්න ඕනෙ කියලා.”

“මොනා ද සර් ඒ කරුණු හත. අපිට ඉගෙන ගන්නත් එක්ක ඒකෙ පාලි ප්‍රකාශෙත් කියලම තේරුම් කරලා දෙන්න.”

“මෙහෙමයි දරුවො ඒ මුල් ප්‍රකාශෙ.
“පියෝ ච ගරු භාවනීයෝ
වත්තා ච වචනක්ඛමෝ
ගම්භීරඤ්ච කථං කත්තා
නෝ වට්ඨානේ නියෝජයේ”
මම කැමතියි දැනට පාලි හදාරන ශිෂ්‍යයෙක් හැටියට ගඟුල් මේ ගාථාවෙ අර්ථෙ පැහැදිලි කරනවනං.”

“ප්‍රිය භාවය, ගරු කටයුතු බව, සම්භාවනීය බව, පිළිගත හැකි වචන කියන ස්වභාවය, අනුන්ගේ වචන ඉවසන්න පුළුවන්කම. ගැඹුරු කතා කරන්න පුළුවන්කම වගෙම කෙනෙක් නොමගට නොයවන ගුණය. මට තේරෙන හැටියට මෙන්න මේවා තමයි ඒ සප්ත ගුණ වෙන්නෙ.”

“ඔව් ඔයා හරි ගඟුල්, අපේ හාමුදුරුවො ඒ කාරණා පැහැදිලි කළෙත් එහෙම තමයි. මේ සූත්‍රෙ මීට කලින් කියවලා තිබ්බට ඒක පපුවට ම දැනුණෙ මට මේ තරුණ ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනය ඇහැව්වට පස්සෙ.”
“සර් මම පොඩි යෝජනාවක් කරන්න ද?”

“මොකක් ද දුව ඔයාගෙ යෝජනාව.”

“අපි සර් මේ සූත්‍රයත් දිනපොත් ගැන කරන සාකච්ඡාවෙ කොටසක් කරගනිමු. ඒ වගෙම භික්ෂූන් වහන්සේලට විතරක් නෙමෙයි ගිහි අපටත් වැදගත් කරාණා නිසා මේවා අපි ගෘහස්ථ ජීවිතය එක්ක සම්බන්ධ කරලම මේ ගැන කත කරමු.”

“ඔය කාරණේ ඔය විදිහටම කියලා තමයි මිහිදිනී එදා අපේ ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දේශනය කළේ.”
“මන් හිතන්නෙ සර් අපේ මිහිදිනීගේ යෝජනාවෙන් කොටසකුයි ඔය කියන්න ඇත්තෙ. ඉතුරු ටිකත් කියන්ඩකො ඔයා.”

“ඔව් මන් කිව්වෙ කොටසක් විතරයි. ඉතුරු ටික පැවරුමක්.”

“ඒ කියන්නෙ ඔයා දැන් අපට පැවරුමක් දෙන්නයි යන්නෙ.”

“නෑ නෑ මම පැවරුමක් දෙනවා කිව්වොත් වැරදියි මොකද මමත් ඒ පැවරුම කරන කෙනෙක් නිසා. ඒ පැවරුම කරන්න අපේ සර්රුත් ඕනෙ ගඟුල් සර්රුත් ඕනෙ.”

“ඒ කියන්නෙ මිහිදිනීගෙන් මටත් ගැලවීමක් නැහැ.”

“ඔව් ඔව් සර් ඉන්නම ඕනෙ. සර්ගෙ වැඩේට සර් නැතුව කොහොම ද? දැන් සර් මෙතන තියෙනවනෙ දිනපොත් තුනක්. ඒ පොත්වලින් අර කියපු කරුණු හතට ගළපන්න පුළුවන් උදාහරණ අරගෙන අපි මේක සාහිත්‍ය සාකච්ඡාවක් බවට පත් කරමු. සර් තමයි තීරණය කරන්න ඕනෙ මේ දිනපොත් තුන බෙදා ගන්න ඕනෙ කොයි විදිහට ද කියලා.”

“හරි එහෙමනං අපි මෙහෙම කරමු. සිංහල විෂය උගන්නන්නෙ ගඟුල්නෙ. ගඟුල් ගන්න මගෙ සිංහල දිනපොත අතට. මිහිදිනීගෙ විෂය ඉංග්‍රීසිනෙ. ඔයා අතට ගන්න ඉංග්‍රීසි දිනපොත. මම සංස්කෘත දිනපොත බල බලා මේකට සම්බන්ධ කරන්න පුළුවන් තැන් එකතු කරන්නම්.”

“අන්න හරි මම හිතුව විදිහත් ඒක තමයි. දැන් මේ සාකච්ඡාව මෙහෙයවන්න ඕන සර්. සර් පටන් ගන්නකො එහෙනං.”

“මේකෙ පළවෙනි කාරණේ ඇත්තටම ප්‍රිය භාවය විතරක් නෙමෙයි මේ සූත්‍රයට අදාළ ගද්‍ය පාඨයෙ තියෙනවා මනාප කියන වචනයත්. ඒ කියන්නෙ කෙනෙක් ප්‍රියශීලී වීමත් එක්ක එයාව ලෝකයට මනාප වෙනවා කියන එක. දැන් මගෙ මේ 85 අවුරුද්දෙ දිනපොත්වලින් මේ කාරණේට ගැළපෙන ම නිදසුන ගනිමු.”

“සර්ගෙ සිංහල දිනපොතේ මැයි 05 වෙනිදාට සම්බන්ධ සටහනක තියෙනවා කවියක්. ඒක ප්‍රිය භාවය සනාථ කරන්න දෙන්න පුළුවන් හොඳම නිදුසුනක්. මේක ලියලා තියෙන්නෙ චන්ද්‍රා පද්මිණී මාන්නප්පෙරුම කියන කිවිඳිය. මේකෙන් කියවෙන්නෙ හඬන හදවතක් සෙනෙහස පිරිච්ච වචනවලින් පිරිමදින්න පුළුවන් කියලයි. දුක හඳුනගෙන ඒ දුක් නැති කරන්න වැඩ කරන තැන ජීවිතේ වෙහෙස නිවන දියවැල් මතුවෙනවා කියන එකයි.”

“ගඟුල් ඔය කවිය කියන්න ඉස්සෙල්ලා මම කැමතියි ඔය කිවිඳිය ගැන වචනයක් කියන්න. චන්ද්‍රා පද්මිණී කියලා කියන්නෙ අපේ සරත්චන්ද්‍ර ජයකොඩි සර්ගෙ ආදරණීය බිරිඳ. සර් නැති උනාට පස්සෙත් සර්ගෙන් ඉගෙන ගත්ත මාත් ඇතුළු ආදි ශිෂ්‍යයන්ගෙ දුක සැප හොයලා බලන එතුමිය ආචාර්යපත්නී කියන නමට හැම අතින් ම සුදුසු කෙනෙක්. දැන් කියන්න ගඟුල් එතුමියගෙ කවිය.”

“කඳුළෙන් පිරි දෙනෙත හදවත      ඉකි බිඳින
 සෙනෙහස පිරුණ පිය තෙපුලෙන් පිරි මැදිණ
 දිව රෑ වෙහෙස වූයෙන් දුක       දැන හැඳින
 සරතැස නිවන දියවැල් මග තොට     සැදිණ  
ගඟුල් එම සොඳුරු පැදිය ප්‍රකාශ කිරීමෙන් පසු සහන් කතා කෙළේ ය.

“අපිට හමු වෙනවා දරුවනේ ජීවිතේ සරතැස නිවන දියවැල් වගේ චරිත. ඒ අය දුර්ලභයි. ඒ අය වෙහෙස නිවන්නෙ තෝරාගත් කිහිප දෙනෙක්ගෙ විතරක් නෙමෙයි. ආචාර්ය අදිකාරම්තුමා කියන්නෙ මගෙ ජීවිතේ එහෙම හමු වෙච්ච ආදරණීය දියවැලක්. මම මේ දවස්වල එතුමා ගැන දෙවෙනි පොතත් ලියමින් තමයි ඉන්නෙ. ඔය ගඟුල්ගෙ අතේ තියෙන සිංහල දිනපොතේ එහෙම දැනෙන චරිත ගැන මම සටහන් තියලා ඇති. හින්දී භාෂා සාහිත්‍යය ඉගෙන ගෙන කැලණිය විශ්වවිද්‍යාලෙ උගන්නපු රවිලාල් විමලධර්ම සර් හින්දී ගීතවල සුන්දර අර්ථ මතු කරමින් හදවත්වල ප්‍රිය භාවය මතු කරන්න, සමාජයට සිහිල දෙන්න වැඩ කළා. ඔය වගෙ තවත් චරිත ගැන මම දින සටහන් තියලා ඇති. ඒ හැම දේම ගැන ලියන්න මට පුළුවන්කමක් නැහැ. ඔයගොල්ල තමයි දවසක ඒ වැඩේ කරන්න ඕනෙ.”

“සර්, සර්ගෙ ඉංග්‍රීසි දිනපොතේ නිතර නිතර සඳහන් වෙනවා පාලිත වීරවර්ධන, රිචඩ් ෆොන්සේකා, උපාලි අදිකාරම් කියන නම්. ඒත් සර් කියන දියවැල් වැනි චරිත කියලයි මේ සටහන් කියවද්දි හිතෙන්නෙ.”
“ඔය නාමාවලියට ඇතුළත් වෙන්න ඕනෙ නම් තවදුරටත් දින පොත් අධ්‍යයනය කරද්දි ඔයගොල්ලන්ට හමු වේවි. වීරවර්ධන අය්යා, ෆොන්සේකා සර් කියන්නෙ මගෙ අධ්‍යාපන ගමන දිහාත් බොහොම ආදරයෙන් බලන් හිටිය අපේ වැඩිහිටි සහෘදයන් දෙන්නෙක්. උපාලි කියන්නෙ මගෙ ජ්‍යෙෂ්ඨ සරසවි මිත්‍රයෙක්. අදටත් අපිත් එක්ක බොහොම සමීප ඇසුරක් තියෙන කල්‍යාණ මිත්‍රයෙක්.”

“සර්, සංස්කෘත දිනපොතෙන් එහෙම තැනක් මතු කරලා පෙන්නන්න බැරි ද?”

“මොකෝ බැරි. මම 85 ජූනි 01 වෙනි දා සටහනක් තියලා තියෙනවා අද අප අතර නැති හරූන් ලන්ත්‍රා කියන හරිම මාදු, ආදරණීය කටහඬක් තිබිච්ච ගායනවේදියා ගැන. එතුමා මට හම්බ වෙලත් තියෙනවා. හරූන්ගෙ ගීත සමාජය ආදරයෙන් තෙත් කරපු සොඳුරු ගීතාවලියක් උනා කියලා කියන්න පුළුවන්. ඒ ගැනත් අපට දවසක් උනත් කතා කරන්න පුළුවන්.”

“සර් අපි එහෙම නම් දෙවෙනි කාරණේට යමු ද ගරු භාවය කියන.”  

“හොඳයි අපි කතා කරමු ගරුභාවය ගැන. අපි ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නෙ අනික් අයට ගරු කරන්න නෙමෙයි තමන්ට ලෝකයා ගරු කරන එක අපේක්ෂා කරන්න. බුදු හාමුදුරුවො අපිට කියන්නෙ ලෝකයට ගරු කරන්න. ලෝකයට ගරු නොකර ලෝකයෙන් තමාට ගරුත්වය බලාපොරොත්තු වෙන එක වැරදියි. දරුවන් අම්ම තාත්තට වගෙම අම්ම තාත්තා දරුවන්ට ගරු කරන්න ඕනෙ. ශිෂ්‍යයන් ගුරුවරුන්ට ගරු කරනවා වගෙම ගුරුවරු තමන්ගෙ ශිෂ්‍යයන්ට ගරු කරන්න ඕනෙ. ලේඛකයා තමන්ගෙ පාඨකයන්ට ගරු කරන්න ඕනෙ. පාඨක මනස කිලිටි කරන ලේඛකයා තමන්ගෙ පාඨකයන්ට ගරු කරන කෙනෙක් නෙමෙයි. රසිකයා තමන් ආදරය කරන ගායකයට ගායිකාවට ගරු කරනවා වගෙ ඒ අයත් තමන්ගෙ රසිකයන්ට ගෞරව කරන්න ඕනෙ. ඒ ගෞරවය නිසා තමයි ඔවුනොවුන් අතර ආදර කරුණාව ඇති වෙන්නෙත්. අපි තරුණ ශිෂ්‍යයන් කාලෙදි ප්‍රසංග වේදිකාවේ සින්දු කියන ගායක ගායිකාවො දැක්කා. මේ අන්‍යෝන්‍ය ආදර ගෞරවය අපි අද්දැක්කා. උදාහරණයක් හැටියට එච්. ආර්. ජෝතිපාල මහත්තයා ගත්තොත් එතුමා තමන්ගෙ ගීත පටන් ගත්තෙ රසික අපට ගෞරව කරලා. වේදිකාවෙන් බැහැලා ගියේ තමන්ට සංගීතය සපයපු කණ්ඩායමට තමන්ගෙ ආදරය ගෞරවය පුද කරලා. ඒ අය රසිකයන් හමුවෙ ගීතයක් ගයන කොට පවා ඒ ආදරය හදවතේ තියාගෙන තමයි ඒ වැඩේ කරන්නෙ කියන එක අපට දැනුණා.”

“සර් ඒත් වැඩියෙන් සිද්ධ වෙන්නෙ ශිෂ්‍යයන් අපට ගරු කරන එක නේද? ගොඩක් ගුරුවරු හිතන්නෙත් ශිෂ්‍යයන් අපට ගරු කරන්න ඕනෙ කියලා නේද?”

“එහෙම හිතන එක වැරදියි ගඟුල්. ශිෂ්‍යයන්ට තමන්ගෙම දරුවන්ට වගේ ආදරයෙන් කතා කරන එකත් වරදක් විදිහට දකින අයත් අප අතරෙ ඉන්නවා. ඒත් මගෙ අද්දැකීමෙ හැටියට ඒ අල්පතරයක් මිස බහුතරයක් නෙමෙයි. හැබැයි ඒ අල්පතරය තමන්ගෙ අල්ප මතය බහුමතයක් බවට පෙරළන්න තමයි හැම තිස්සෙම වැඩ කරන්නෙ.”
“සර්ට මේ ළඟදිත් එහෙම අද්දැකීමක් ලැබුණා නේද?”

“ඔව් මිහිදිනී, මේ ළඟදි තිබිච්ච පොදු රැස්වීමකදි ශිෂ්‍යයන්ට දුව පුතා කියලා කතා කරන ආචාර්යවරු අප අතර ඉන්නව ය, ඒ ළමයින්ට නමක් තියෙද්දි ඇයි අපි දුව පුතා කියන්නෙ ඇයි කියලයි ඒ ආචාර්යතුමා ප්‍රශ්න කළේ.”
“ඉතින් සර් මොකුත් කිව්වෙ නැද්ද?”

“දරුවන්ට දුව පුතා කියලා කතා කරන වැඩිහිටි ආචාර්යවරු තමයි අපි අතරෙ බහුතරයක් ඉන්නෙ. ඒ සියලු දෙනා වෙනුවෙන් කතා නොකර ඉන්න එක වරදක්. මම කිව්වෙ ඔබතුමා කියන්නෙ ශිෂ්‍යයන්ට දුව පුතා කියන එක වරදක් නම් මම ඒ වරද කරන එක් කෙනෙක් කියලයි. ඔබතුමා වරදක් විදිහට දකින ඒ නිවැරදි දේ මම හෙට දවසෙත් කරනවා. කවුරු මොනා කිව්වත් එහෙම කරන බහුතරයක් තමයි මෙතන ඉන්නෙ කියලත් කිව්වා.”
“සර්ගෙන් මම තව ප්‍රශ්නයක් අහන්න ද සර් මොකුත් හිතන්නෙ නැත්තම්.”

“අහන්න දරුවො අහන්න, හැබැයි ඒ අහන දේ මොකක් උනත් මටත් කියන්න දෙයක් ඇතිනෙ. ඒක නිසා ඔයාගෙ ප්‍රශ්නෙ අන්තිමට තියෙන මොකුත් හිතන්නෙ නැතුව ඉන්න එක නං මට කරන්න බැරි වෙයි.”

“නෑ සර්, මට ඕනෙ උනේ කාරණයක් පැහැදිලි කර ගන්න. මොකද සර් සමහර කෙනෙකුට නම කියනවා, ඒ වයසෙම තව කෙනෙකුට දුව පුතා කියලා කතා කරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනව ද සර්?”

“ඔයා බොහොම හොඳ ප්‍රශ්නයක් දුව මතු කළේ. මන් හිතන්නෙ ඒක වෙන්නෙ අපේ සම්බන්ධතාවල ස්වරූපය අනුව. දැන් මම ඔයාට මිහිදිනී කියලත් කතා කරනවා වෙලාවකට දුව කියලත් මතු කරනවා. ඒත් මම ගඟුල්ට කතා කරන්නෙම ගඟුල් කියලා. වයසින් මට වඩා ගොඩක් බාල උනාට ගඟුල් අඳුන ගත්ත මුල් දවස්වල ඉඳලම මට දැනුණෙ සමකාලීන මිත්‍රයෙක් විදිහට. වැඩිහිටි මිත්‍රයන් සම්බන්ධයෙනුත් මට මේ අද්දැකීම තියෙනවා. ආරියපාල පෙරේරා මහාචාර්යතුමා ප්‍රණීත්ලගෙ ජයන්තලගෙ අපේ ආචාර්යවරයෙක්. ඒ වගෙම අදටත් අපේ වැඩිහිටි මිත්‍රයෙක්. එතුමා කොතනදි දැක්කත් අපි එතුමාට කතා කරන්නෙ සර් කියලා. ඒත් එතුමගෙ සමකාලීන මිත්‍රයෙක් වෙච්ච, බෞද්ධ දර්ශනය විෂයෙ ආරාධිත ආචාර්වරයෙක් විදිහට වැඩ කරපු වීරතුංග සර්ට මම කතා කරන්නෙ වීරෙ කියලා. ඒක සිද්ධ වෙන්නෙ මිහිදිනී අපේ සම්බන්ධතාවල ස්වභාවය අනුව යි.”  

“සර් මටත් තියෙනවා ප්‍රශ්නයක් අහන්න. සර් කිව්ව නේද ගායකයෙක් උනා ම ගීතයක් උනත් ගායනා කරන්න ඕනෙ තමන්ගෙ රසිකයන්ට ආදරයක් ගෞරවයක් ඇතුව කියලා. ජෝතිපාල මහත්තයට අමතරව එහෙම දැනිච්ච තවත් අද්දැකීම් ඇතිනෙ සර්ට. අපි කැමතියි ඒ ගැනත් දැන ගන්න.”

“ඔයාගෙ ඔය ප්‍රශ්නෙත් එක්ක මට මතක් වෙනවා බෙග් මාස්ටර්, සුජාතා අත්තනායක, සිසිර - ඉන්ද්‍රාණි ශ්‍රීමතී තිලකරත්න, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එම්. එස්., හරූන් වගේ නම් ගොඩක්. ඒ අතරින් ඔයා එකක් ගැනනෙ අහන්නෙ. ඒක නිසා මම කියන්නම් හරූන් - ඉන්ද්‍රාණි ගයපු ගීතයක් එක්ක මට අර හැඟීම දැනිච්ච හැටි.”

“එහෙනං ඉතින් තව අපිටත් අහන්න හිතෙන තව ගීතයක් ගැනත් අපේ සර්ගෙන් දැන ගන්න ලැබේවි නේද මිහිදිනී අපට.”

“මම අය්යයි විපුල අය්යයි එක්ක සංගීත සන්දර්ශනයක් බලන්න ගිය දවසක් තමයි ඒ. දැන් ඒ දෙන්නම අපි අතරෙ නෑ. මේ විපුල් කියන්නෙ අපේ පුංචි අම්මගෙ පුතෙක්. ඒ කාලෙ සංගීත සන්දර්ශනයක් කොහෙද අපේ විපුල අය්යා එතන. එදා අපේ ගමේ තිබුණ සංගීත සන්දර්ශනයක් ඒ. හොඳට හඳ පායලා තිබිච්ච රාත්‍රියක්. එදා හරූන් සින්දු හතරක් නැත්නම් පහක් කිව්වා. එයා තමන්ගෙ ගීතාවලිය පටන් ගත්තෙ ආනන්ද මේ රෑ හරී හැඩයි කියන ගීතයෙන්.”

“සර් කියන්න යන්නෙ ඒ ගීතය ගැන ද?”

“නෑ මිහිදිනී, තුන්වෙනියට නැත්නම් හතරට කියපු ගීතය. ඒක ගායනා කළේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරත් එක්ක. ඒ ගීතයෙ වචනවල මහ ප්‍රේමණීය අර්ථයක් තිබුණා. මේ දෙන්නගෙ හඬ ලයාන්විත යි, ප්‍රිය යි, මිහිරි යි. ඒ ඔක්කොටම වඩා ගීතය ගායනා කළේ අනේ මේ අපේ සින්දු අහන රසිකයො නේද කියලා තමන්ගෙ රසිකයන් ගැන හරිම ආදරයක් ගෞරවයක් ප්‍රියභාවයක් ඇතුව. ඒක අපිට දැනුණා දරුවනේ.”

“අනේ සර් කියන්නකො ඒ සින්දුව.”

“අනේ මට සින්දු කියන්න බැහැ. මම වචන ටික කියන්නම්. ඔය දෙන්න කවද හරි දවසක එදා හරූන්- ඉන්ද්‍රාණි කිව්ව වගෙ ඔය ගීතය කියන්න අපි ඉස්සරහ. හැබැයි මේ ගීතෙ තැනක් දෙකක් වෙනස් කරලා.”
අනතුරුව සහන් එම ගීතයේ වදන් වැල මෙසේ ප්‍රකාශයට පත් කෙළේ ය.

“චන්ද්‍රයා පායා එනවා කීවේ -   සීත සුළඟයි කියාලා ගියේ
 නිසලතාවෙන් මැවූ රාත්‍රියේ - ආදරේ වේදනා දෙයි ලයේ
      වේදනාවෙන් වගේ සාගරේ - නැලවිලා හඬ නගා රැල් බිඳේ
      සිතට වද දී අනේ මේ වගේ - ඔබ කෙසේ ඉන්නදෝ රන්කඳේ
පිපිදිලා එක ගහේ මල් වගේ - නැලවිලා සැනසිලා ලෝකයේ
ජීවිතේ ඇති තුරා ඔබ මගේ - ඒ තමා මා පැතූ දේ ලොවේ  
සීත සඳරැස් වැටුණු නිල් දියේ - මතුවෙලා මට පෙනේ රූ ඔබේ
මා සොයා ආ උතුම් ආදරේ - ඇති වෙලා නැති වුණා දෝ මෙසේ”
“ඒ සින්දුව හරි ලස්සනයි, ඒ උනාට හරි දුකයිනෙ සර්.”

“ඒක තමයි දුව, මම මුලින් ම කිව්වෙ ඔය දෙන්නට ඕක ගායනා කරන්න දෙන්නෙ වෙනසක් කරලා කියලා. ඒ උනාට අමතක කරන්න එපා, අපේ මේ ජීවිත කාලෙදි සතුට වගෙම දුකත්, මිහිර වගෙම අමිහිරත් විඳින්න වෙනවා කියන එක. හැබැයි අපේ නිරන්තර ප්‍රාර්ථනාව වෙන්න ඕන සතුට සහ මිහිර ළඟා කර ගන්න එක තමයි. ඒ ප්‍රාර්ථනාව ඔය දෙන්න සම්බන්ධයෙනුත් මගෙ හිතේ තියෙන හින්දනෙ මේ ගීතයෙ පවා වචන වෙනස් කරලා ඔය දෙන්නට දෙන්නෙ.”

“සර් කරන වෙනස ගැන වගෙම අපි කැමතියි මේ ගීතයේ පසුබිම ගැනත් තව ටිකක් විස්තර දැන ගන්න.”
“ගඟුල්, ඔය ගීතය එන්නෙ 1965 අවුරුද්දෙදි තිරගත වෙච්ච හිතට හිත කියන චිත්‍රපටයෙ. ගීතය ලියන්නෙ හර්බට් එම්. සෙනෙවිරත්න කියන විශිෂ්ට ගේයපද රචකයා. සංගීතවත් කරන්නෙ තමන්ගෙ කටහඬින් වගෙම සංගීත ඥානයෙන් කලා කෙත පෝෂණය කරපු සිසිර සේනාරත්න. ගායනා කරන්නෙ කලිනුත් කිව්වා වගේ හරූන් ලන්ත්‍රා එක්ක ඉන්ද්‍රාණි සේනාරත්න. මේ දෙන්නට ම තියෙන්නෙ ලයාන්විත වගෙම මහ මොළකැටි හඬවල්. නිර්මාණයක විරහව මතු කරන්න උපරිම විදිහට මේ දෙන්නගෙ හඬ ගැළපුණා. දැන් මේ හතර දෙනාම භෞතික කාය වශයෙන් අප අතර නැහැ. ඒත් නිර්මාණ කායෙන් ඒ අය අප අතර ජීවමාන යි. දැන් මේ ගීතයෙ කරන වෙනසත් දැන ගන්න ඕනෙ ද ඔය දෙන්නට.”

“ඔව් ඔව්”
ගඟුල් මිහිදිනී දෙදෙනා පිළිතුරු දුන්නේ එක් වර ය.

“චන්ද්‍රයා පායා එනවා ප්‍රියේ කියන මුල් කොටස ගයන්නෙ ඉන්ද්‍රාණි. ඒ ගීතෝක්තියෙ තියෙන අන්තිම පේළිය මම වෙනස් කරනවා ආදරේ මිහිර දෝ මේ ලයේ කියලා. ඊළඟට හරූන්ගෙ හඩින් ඇහෙන කොටස සාගරය වේදනාවෙන් නෙමෙයි මේ ආදරයෙන් ය රළ නගන්නෙ කියලා ලියනවා. ඊට පස්සෙ ඉන්දෘණි කියන කොටස වෙනස් කරන්නෙ නැහැ. ඒ ගීතයෙ කියවෙනවා වගේ මම ඔය දෙන්නට ප්‍රාර්ථනා කරන්නෙත් එක ගහේ පිපිදිච්ච මල් වගේ ලෝකය සුවඳවත් කරන්න කියලයි. ඒ ගීතෝක්තියෙ එක තැනක එනවා ජීවිතේ ඇති තුරා ඔබ මගේ කියලා ප්‍රකාශයක්. කරුණාසේන ජයලත්ලගෙන් පස්සෙ සුජීව ප්‍රසන්න ආරච්චිලගෙ යුගයට කලින් ජනප්‍රිය නවකතා කුලකය නියෝජනය කරපු මිත්‍රසේන ජීරසිංහ තමන්ගෙ එක නවකතාවක් නම් කරන්නෙ ජීවිතේ ඇති තුරා ඔබ මගේ කියලයි. ඒ වගෙම ඔය ගීතය මම ඔය දෙන්නට වගෙම ඔය ගොල්ල අයිති වන තරුණ පරම්පරාවට දෙන්නෙ වෙනස් කරලයි. මම හිතනවා මේ මුල් නිර්මාණකරුවන් හතරදෙනාම ඒ කරන වෙනසට මට සමාව දේවි මගෙ අරමුණ හොඳ නිසා.”

“අනේ සර් ඒ වෙනස් කරපු ගීතෝක්තියත් අපට කියලා ඉන්න.”
ඒ මිහිදිනී ය. සහන් ඒ වෙනස් කළ ගීතෝක්තිය ගඟුල් - මිහිදිනී යුග්මය අබියස මෙසේ කියා සිටියේ ය.

“සීත සඳරැස් වැටුණු නිල් දියේ - මතුවෙලා මට පෙනේ රූ ඔබේ
 අප    සොයා ආ උතුම් ආදරේ-ඇතිවෙලා පැවතුණාදෝ මෙසේ”

“සර් අපි මේ කතා කරන උතුම් ආදරේ කියන එක අපේ පෞද්ගලික සීමා ඉක්මවා යන පෘථුල දෙයක් නේද?”
“ඔව් ඇත්තටම ඒක එහෙමම තමයි වෙන්න ඕන. දෙන්නෙක් අතර ඇති වන ආදර සම්බන්ධෙකටත් වටිනාකමක් එන්නෙ ඒ දෙන්නා තමන්ගෙ ජීවිතය පෞද්ගලිකවත්වය ළඟ විතරක් නතර කරන්නෙ සමාජය වෙත විහිදුවන තරමට යි. ඒ දෙන්නා ලෝකයෙ අනිත් අයගෙත් හදවත් ස්පර්ශ කරන තරමටයි. ලෝකයට ආදරය කරන අහිංසාව ස්පර්ශ කරන ඒ අහිංසාව විහිදුවන චරිත බවට පත් වෙච්ච තරමටයි.”

“සර් කතා කරන ඔය කාරණේ ගැන කියන කොට පිරිමියටත් වඩා වැදගත් වෙන්නෙ ගැහැනිය කියලයි මට නං හිතෙන්නෙ. මොකද පිරිමියකුට වඩා ආදරය අහිංසාව සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ගුණය ඇයට ස්වභාවෙන්ම ලැබිලා තියෙනවා. අපි කලින් කතා කරපු මහාත්මා ගාන්ධිතුමා ගැහැනිය සතු ඒ ගුණය හොඳින් ම අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. සර්ගෙ මේ සිංහල දිනපොතේ ලියාගෙන තියෙන ගැහැනිය ගැන එතුමා කරපු මේ ප්‍රකාශය ඒකට හොඳම උදාහරණයක්. එතුමා කියන්නෙ ගැහැනිය කියන්නෙ අහිංසාවෙ ජීවමාන පිළිබිඹුව කියලයි. ගාන්ධි ජී අහිංසා කියන වචනෙන් මෙතනදි අදහස් කරන්නෙ අසීමිත ප්‍රේමය. එතුමා කියන හැටියට ඒකෙන් අදහස් වෙන්නෙ දුක් වේදනා දැරීමෙහිලා ඇයට තිබෙන අසීමිත ශක්තිය. එතමා අපෙන් අහනවා මිනිසාගේ මව වූ ගැහැනිය මිස මේ ශක්තිය උපරිම විදිහට අපට පෙන්නල දෙන්නෙ වෙන කවුද කියලා. එතන ඉඳලා තියෙන කොටස මම කියවන්න ද?”

“අනේ අනේ කියවන්න. ඔන්න අපේ මැඩනුත් මේ පැත්තට එනවා. අපි ඔක්කොටම ඇහෙන්න කියවන්න ඒක.”

“බිළිඳා දසමසක් කුසෙහි දරා පෝෂණය කරමින්, එයින් හට ගැනෙන දුක් වේදනාවෙන් සතුට ලබමින්, ඇය මේ හැකියාව ප්‍රකාශ කරයි. ප්‍රසුත වේදනාව පරදවාලිය හැකි වෙනත් වේදනාවක් තිබේ ද? උපත ලබාදීමේ ප්‍රීතියෙහි දී ඇය මේ වේදනාව අමතක කර දමයි. යළිදු තම ළදරුවා දිනෙන් දින වැඩෙනු දකිනු වස් දිනපතා දුක් වේදනා උසුලන්නේ වෙන කවරෙක් ද? ඒ ආදරය මුළු මහත් මිනිස් සංහතියටම පතුරුවාලන්නට ඇයට ඉඩ සලසන්න. එවිට මිනිසාගේ මව ලෙසින්, ඔහුගේ නිර්මාතෘ ලෙසින්, ඇයගේ නිහඬ නායිකාව ලෙසින්, මිනිසා සමග ඇයට හිමි ප්‍රෞඪ ස්ථානයේ ඇය සිටිනවා ඇත. සාමය නමැති අමෘතය අවශ්‍යව තිබෙන කලහකාරී ලෝකයට සාමයේ කලාව ඉගැන්වීමේ කාර්යය ඇයට පැවරී තිබේ.”

“දෛනික වාර්තා සංකථනෙ මුල් කොටසට විරාමයක් තියලා දැන් කෑම කාලා ඉන්න පුළුවන් කියන්නයි මම ආවෙ. ඒ උනාට ගඟුල් කියවන මේ ප්‍රකාශෙ ඇහැව්වහම මගේ හිත අවුරුදු විසිපහකට තිහකට එහා අතීතෙට ගියා.”
  “අපිටත් කියන්නකො මැඩම් ඒ අතීතෙ ගැන.”

“දුව, ඒ අතීතෙ ප්‍රධාන හිමිකරුවෙක් වගෙම ජීවමාන සාක්ෂිකාරයෙක් තමයි ඔයගොල්ලන්ගෙ මේ සර්. මම ඒ කාලෙ උගන්නන එකට අමතරව නේවාසිකාගාර උපපාලිකාවක් විදිහට විශ්වවිද්‍යාලෙ වැඩ කළා. අපේ සෝරත නේවාසිකාගාරෙන් පටන් ගත්තා සඟරාවක්. ඒකෙ නම හංසී. දියෙන් කිරි වෙන් කරගන්න හංස ගුණය ගැනත් කියලා ඒ නම යෝජනා කළේ සර්ලගෙ අය්යා. සර්ලගෙ අය්යම තමයි හ යන්න හංසයෙක්ගෙ හැඩයට අරගෙන හංසී කියන නම ඇඳලා දුන්නෙත් ඒ සඟරාවට. ඒ විතරක් නෙමෙයි ඒ සඟරාවෙ චිත්‍ර නිර්මාණය කළෙත් සමන් අය්යා.”

“එතකොට මැඩම් ඒ සමන් සර් කොහොම ද මේ ගාන්ධි ප්‍රකාශයට සම්බන්ධ වෙන්නෙ.”
“ඒ සර් තමයි මිහිදිනී හංසී සඟරාවෙ මංගල කලාපයට දාන්න කියලා අපේ ගඟුල් දැන් කියවපු ඔය ප්‍රකාශෙ මගෙ අතට දුන්නෙත්.”

“දැන් හංසී සඟරාව නැද්ද මැඩම්.”

“ඒක දැන් නැහැ. ඒ හංසී ඉස්සරහට කරනව ද නැද්ද කියන එක දැන් තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ අතේ. ඔයගොල්ලො ඒක කරන්න බාරගන්නව නම් අපට පුළුවන් උදව් වෙන්න.”

“මැඩම් හිතා ගන්න ඒ වැඩේ අපෙන් කෙරෙනවා කියන එක.”
“අහන්නත් සතුටුයි ඒ ගැන. එහෙම නම් දැන් අපි යමු ද කෑමට.”
“මැඩම්, අපේ මිහිදිනී කියනවා කෑම කන්න කියලා එයාට වතුර අල්ලන්නෙ නැද්ද කියලා?”
“මෙයාගෙ බොරු මැඩම්, මම එහෙම එකක් කිව්වෙ නැහැ.”
“බොරු හරි ඇත්ත හරි, අපේ ගෙදර වතුර දෙන්නෙ බත් කෑවට පස්සෙයි.”
ගුරුපත්නිය එසේ පැවසුවේ සිනාසෙමිනි.

“බලන්න ඔයා හරිම නරකයි, දැන් මැඩම් හිතනවා ඇති මම ඇත්තට ම එහෙම කිව්වා කියලා.”
“හරි හරි ඔය දෙන්නගෙ බොරු රණ්ඩුව නවත්තලා අපි කෑමට යමු. ඊට පස්සෙ අපි පැයක් විතර කතා කරලා අදට සාකච්ඡාව නවත්තමු. මොකද අපි අර පොත දොරට වඩින උත්සවේටත් යන්න එපායැ.”

දිවා ආහාරයෙන් පසු යටකී සංකථනයෙහි ලා වන ප්‍රවේශය ගත්තේ ගඟුල් ය.

“දැන් සර් අපට කතා කරන්න තියෙන්නෙ භික්ඛුමිත්ත සූත්‍රයේ එන තුන්වෙනි කාරණේ ගැන. සර් මේ භාවනීය එහෙම නැත්නම් සිංහල පරිවර්තනේ තියෙන හැටියට සම්භාවනීය කියන කාරණේ අපි කොහොම ද පැහැදිලි කරගන්නෙ.”

“මට හිතෙන හැටියට ගඟුල් මේ කාරණේ මුල් කාරණා දෙකත් එක්ක සම්බන්ධ කරලම අපට කතා කරන්න පුළුවන්.”

“බලන්න ප්‍රිය භාවය තියෙන එකා තමන් සමාජයට ගරු කරනවා වගෙම සමාජයෙ සම්භාවනයට ලක් වෙන චරිතයක් බවටත් පත් වෙනවා. අපි අද සම්භාවනීය නොවන චරිතත් සම්භාවනීය නොවන කලාවත් ඉස්සරහෙන් සම්භාවනීය කියන නම දාලා කතා කළාට වැඩක් නැහැ ඒ චරිතෙ හරි නිර්මාණෙ හරි ඇත්තට ම සම්භාවනීය නැත්තම්. ඇත්ත සම්භාව්‍ය චරිත, ඇත්ත සම්භාව්‍ය නිර්මාණ අකාලිකයි. හැම යුගයකදිම ඒ චරිත - ඒ නිර්මාණ ලෝකයට දැනෙනවා. අපිට ඒ චරිත ප්‍රිය වෙනවා, ගරු කරන්න හිතෙනවා. බලන්න බුදුන් වහන්සෙ, යේසුස් වහන්සෙ, නබිනායකතුමා වගෙ ශාස්තෲන් වහන්සේලා තමන් ජීවමාන කාලයට විතරක් සීමා උනේ නැහැ. ඒ චරිත යුගයෙන් යුගය සම්භාවනයට පත් වෙනවා. ඒ වගෙම සොක්‍රටීස්තුමා, ප්ලේටෝතුමා, ක්‍රිෂ්ණමූර්තිතුමා, අදිකාරම්තුමා වගෙ දාර්ශනිකයන්, ටොල්ස්ටෝයි - තාගෝර් වැනි ලේඛකයන්, රවිශංකර් - බීතෝවන් වගෙ සංගීතඥයන් අදටත් සම්භාවනයට පත් වෙන චරිත.”

“සර් සම්භාව්‍ය කියලා හඳුන්වන මේ චරිතවල දකින සුවිශේෂ කාරණයක් තියෙනව ද”

“එක කාරණයක් නෙමෙයි කාරණා රාශියක් ඒ චරිතවල විද්‍යමාන යි. අපි උදාහරණයක් විදිහට එක කාරණයක් ගත්තොත් ඒ චරිත ලෝක සම්මතයට අනුව නෙවෙයි ලෝක සම්මතයට විරුද්ධ ව වැඩ කරපු වැඩ කරන චරිත.”
“ඉතින් සර් ලෝක සම්මතයට විරුද්ධ වෙන එක සමාජය සලකන්නෙ වරදක් විදිහටනෙ.”

“ඔව් දුව, ඒක එහෙම වෙන්නෙ අද දවසෙ විතරක් නෙමෙයි. ජාතිය - කුලය තකන සමාජයක් ඉදිරියෙ ඒවට ව්‍යාජ විදිහට නෙමෙයි, හදවතින් බුද්ධියෙන් විරුද්ධ වෙලා වැඩ කරන එක, ඒවා හිස් මුදුනින් පිළිගන්න මනුෂ්‍යයන් ඉන්න සමාජයක් වරදක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒකනෙ බුදු හාමුදුරුවන්ට ගල් පෙරළුවෙ. යේසුස් වහන්සෙ කුරුසෙක තියලා ඇණ ගැහැව්වෙ. සොක්‍රටීස්තුමාට වහ දුන්නෙ. හැබැයි අමතක කරන්න නරකයි අපි, මේවට මුල් උනේ බහුතර ජනතාව නෙමෙයි බලය අතේ තියාගෙන හිටිය අල්පතරයක් කියන කාරණයත්.”

“සර් කිව්ව එක හරි. සම්භාව්‍ය චරිතවත් සම්භාව්‍ය නිර්මාණත් සම්භාව්‍ය ලේඛනත් එක රටකට එක භාෂාවකට එක යුගයකට සීමා කරන්න බැහැ. සර්ගෙ මේ දිනපොතේ ලියලා තියෙනවා එහෙම චරිත ගැන, එහෙම නිර්මාණ ගැන, ඒ විතරක් නෙමෙයි එහෙම ප්‍රකාශත් තියෙනවා මේ සිංහල දිනපොතේ. ඒ අතරින් මට වැඩිය දැනිච්ච එකක් විතරක් මෙතෙන්ට සම්බන්ධ කරන්න ද සර්.”

ගඟුල්ට ඒ අවසරය ලැබුණේ වචනවලින් නොව ප්‍රසන්න නිහඬතාවකිනි. අනතුරුව ඇසුණේ සහන් සිය දිනපොතෙහි ලියා ගෙන තිබූ මක්සිම් ගෝර්කි නම් මහා සාහිත්‍යධරයාගේ අම්මා නම් විශ්ව කීර්තිමත් නවකතාවේ එන හෘදයග්‍රාහී අර්ථප්‍රදායී ප්‍රකාශයක් ගඟුල් කියවන හඬ යි.

“එකිනෙකා අවබෝධ කරගන්ට වචන ඕන නැහැ. එකම නඩයක් වගේ ජීවත් වෙනවා. හැම දෙනාගේම හදවත් තුළ රැව් දෙන්නේ එකම ගීතයක්. මේ හැම ගීතයක්ම උල්පත් වගේ ගලාගෙන ඇවිල්ලා එකම විශාල ගංගාවකට එකතු වෙනවා. ඒ ගංගාව ගලා ගෙන ගිහින් නිදහස් හා යහපත් ජීවිතය නමැති මහා සාගරයට වැටෙනවා.”  
“සර්, අපි මේ වෙන කොට කාරණා තුනක් ගැන කතා කළා. දැන් තියෙන්නෙ හතරවෙනි කාරණේ. සර් ඒකට පාවිච්චි කළේ වත්තා කියන වචනෙ. අපි දැන් ඒ ගැන කතා කරමු.”

“ වත්තා කියන වචනෙ කිව්වෙ මම නෙමෙයි මිහිදිනී බුදු හාමුදුරුවො. ඒකෙන් අදහස් කරන්නෙ පිළිගත හැකි වචන කතා කරන එක. ඒක කෙනෙක් ළඟ තියෙන්න ඕන කරන උසස් ගුණයක්. බුදු හාමුදුරුවො ළඟ අඩුවක් නැතුව මේ ගුණය විද්‍යමාන උනා. උන් වහන්සේ ගිහි පැවිදි අපි කාටත් කිව්වෙ ඒ ගුණය තමන්ගෙ ජීවිතේ අංගයක් කරගන්න කියලා. ඒ ප්‍රකාශය තුළ ම තියෙනවා බොරුවට පැවැත්මක් නැහැ කියන එක. අපේ හික්කඩුවෙ සුමංගල නායක හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනේ තියෙන එක වැදගත් කාරණයක් තමයි සත්‍ය කරුණු ඉගැන්වීම. උන් වහන්සෙ අපට කියලා තියෙන්නෙ තමන් දෙයක් හරිහැටි දන්නෙ නැත්නම් ශිෂ්‍යයන්ට අසත්‍ය කරුණු උගන්නන්නෙ නැතුව තමන්ගෙ මහලු වෙලා ඉන්න ගුරුවරයෙක් හොයා ගෙන ගිහින් හරි ඇත්ත දැනගෙන ඇවිත් උගන්නන්න කියලා. මේක ගුරුවරුන් විදිහට වැඩ කරන අපි තුන් දෙනාටම එක විදිහට අදාළ වෙන ප්‍රකාශයක්.”  
“ඒක ඇත්ත සර්. ඒක තදබල විදිහට හිතට අරගෙන දැන් මම සර්ගෙන් ඉල්ල හිටින්නේ මේ සූත්‍රෙ එන පස්වෙනි කාරණේ පැහැදිලි කරන්න කියලයි.”

“පස්වෙනියට තියෙන්නෙ වචනක්ඛමෝ කියන කාරණය. ඒ කියන්නෙ අපට අනිත් අයගෙ වචන ඉවසන්න දරාගන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එක. මේක බුද්ධ චරිතය ආශ්‍රයෙන් එදා බොහොම හොඳට පැහැදිලි කළා විසුද්ධානන්ද හාමුදුරුවො. මන් හිතන්නෙ ගඟුල් ගුරු ජීවිතය නියෝජනය කරන ඔයගොල්ල අපි ළඟත් අනිවාරෙන්ම තියෙන්න ඕන ගුණයක් මේ. ඒ කියන්නෙ ගුරුවරයට පුළුවන් වෙන්න ඕනෙ ශිෂ්‍යයන් දරාගන්න. ඒ ගොල්ලන්ගෙ වචන ඉවසන්න. ඒ වගෙම ශිෂ්‍යයන්ට පුළුවන් වෙන්න ඕන ගුරුවරුන් දරා ගන්න ඒ ගොල්ලන්ගෙ වචන ඉවසන්න. ඔය දෙන්නටම නාගොල්ලගම ඉස්කෝලෙදි මේක ජීවන අද්දැකීමක් වෙච්ච බව මම දන්නවා.”

“සර් හිතන හැටියට මේ වචන ඉවසීම ගැන අපේ බුදු හාමුදුරුවන්ගෙ චරිතෙන් ගන්න තියෙන හොඳම උදාහරණෙ මොකක් ද?”

“මිහිදිනීගෙ ඒ ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තමයි ආලවක දමනය. හැබැයි එතන අවශ්‍ය ම අවස්ථාවෙ වචන ඉවසනවා වගෙම කළ යුතු ම තැනදි ඒවා නොඉවසා ප්‍රතිචාර දැක්වීමත් තියෙනවා.”

“සර් ඔය කාරණේ තව ටිකක් පැහැදිලි කරන්නකො.”    

“මෙහෙමයි දුව, බුදු හාමුදුරුවො ආලවක යක්ෂයගෙ නිවහනට යනවනෙ. හැබැයි ඒ මම අද ආලවක පරද්දනවා කියන හැඟීමෙන් නෙවෙයි ඔහුට පිහිට වෙනවා කියන මෛත්‍රීසහගත චිත්තයෙන් ගිය ගමනක්. ‘ශ්‍රමණය මෙහි එව’ කියලා ආලවක කියපු මුල් අවස්ථා තුනේදිම බුදුන් වහන්සෙ ඒකට අවනත වෙනවා. ඒ වචන ඉවසනවා. හැබැයි තුන්වෙනි අවස්ථාවෙ දි ඒකට ප්‍රතිචාර දක්වන්නෙ තමන් වහන්සෙ ඉඳගෙන ඉන්න ආසනයෙන් නැගිටින්නෙ වත් නැතුව. මේ වෙලාවෙ ආලවකට කේන්ති යනවා. එහෙත් දෙපාරක් ම තමාගේ වචනයට බුදුන් වහන්සේ අවනත වීම ගැනත් ආලවකට පොඩි හැඟීමක් තියෙනවා. ඒක පෙන්නන්නෙ නැතුව ආලවක කියන්නෙ ඔතනින් නැගිටලා නොගියොත් බුදුන් වහන්සෙව උස්සලා පරසක්වල ගහනවා කියලයි. ඒකට උන් වහන්සෙ හරිම ලස්සන උත්තරයක් දෙනවා මිහිදිනී.”

“සර් අපි ඒ ප්‍රකාශෙත් සම්බන්ධ කරමුකො මෙතනට.”

“බුදු හාමුදුරුවො කියන්නෙ ආලවකය ඔබට පමණක් නොව මා පරසක්වල ගැසිය හැකි කිසිවෙක් මිනිස් දෙව් නා පාතාල ආදි කිසිදු ලොවක නොදකිමි කියලයි. ආලවක මේ විදිහෙ වචනයක් අහන්නෙ තමන්ගෙ ජීවිතේ ප්‍රථම වතාවට. එයා මේකට දක්වන ප්‍රතිචාර සියල්ල නිෂ්ඵල වෙනවා. නරකින් බැරි නිසා ආලවකට සිද්ධ වෙන්නෙ හොඳින් බුද්ධ වචනය ඉවසන්න. ඒ ඉවසීමේ ප්‍රතිඵලය වෙන්නෙ ආලවක බුදුන් වහන්සේගෙ සරණ ගිය උපාසක චරිතයක් බවට පත් වීම.”

“ඔය වචන ඉවසීම ගැන සර්ටත් අද්දැකීම් ඇතිනෙ.”  
“ඔව් ගඟුල්, ඒ ගැන ගොඩක් අද්දැකීම් තියෙනවා. ඒකත් වචන ඉවසීම වගෙම අවශ්‍යම අවස්ථාවලදි වචනවලට සුදුසු නිවැරදි ප්‍රතිචාර දැක්වීම ගැන කියවෙන කතාවක්. මේකට සම්බන්ධ වෙන්නෙ අපේ අය්යා. මම එතකොට පහේ පන්තියෙ. රුසියානු ප්‍රදර්ශනයක් තිබ්බා කොළඹ කලා භවනෙ. අපේ සමරෙ බාප්පත් එක්ක අය්යයි මමත් ගියා ඒක බලන්න.”

“එතකොට සර්ගෙ අය්යා අටේ පන්තියෙ නේද?”

“ඔව් ඔයා හරියටම කිව්වා. මොකද අය්යා මට වඩා අවුරුදු තුනකින් වැඩිමල්. දැන් අපි ප්‍රදර්ශනය බලනවා. තැනින් තැන ලණු ගහලා වෙන් කරලා තිබ්බා. මගෙ ජීවිතේ පළවෙනි වතාවට රූපවාහිනී යන්ත්‍රයක් කියන එකක් මම දැක්කෙ ඒ ප්‍රදර්ශනේ දී. සමරෙ බාප්පයි අය්යයි එක පැත්තක ප්‍රදර්ශනේ බලද්දි මම අනික් පැත්තට ආවා. එක තැනකදි මම ගහලා තිබිච්ච ලණුවකින් රිංගලා අනිත් පැත්තට යන්න හදද්දි දැවැන්ත රුසියානු ජාතිකයෙක් ඇවිත් මගෙ කමිසෙ කොලර් එකෙන් ඇදලා මාව අරගෙන මට නොතේරෙන භාෂාවකින් බණින්න ගත්තා. භාෂාව නොතේරුණාට මට තේරුණා මේ නං මට බණිනවා තමයි කියන එක. මොකද ඒ වචන පාවිච්චි කරපු සැර විදිහ නිසා. ඈත හිටපු අය්යා එතනට ආවෙ විදුලි වේගෙන්. එතකොටත් අපේ අය්යට තරමක් හොඳට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන්. අය්යා එදා කිව්වෙ මේක අපේ රට, මේ අපේ රටේ දරුවෙක් උඹලට දීලා තියෙන්නෙ මෙහෙ ප්‍රදර්ශනය කරන අවසරය මිසක් මේ රටේ දරුවන්ගෙ කමිසවලින් ඇදලා බණින්න පුළුවන් අවසරයක් නෙමෙයි කියලා. වැඩේ කියන්නෙ ඒ දැවැන්ත මනුස්සයා මේ අටේ පන්තියෙ පුංචි කොල්ලගෙ වචනවලට මෙල්ල උනා. මේ සිද්ධිය දැකපු ඒ අයගෙ ප්‍රධානියා කියලා හිතන්න පුළුවන් කෙනා එතෙන්ට ඇවිත් අපේ අය්යගෙන් සමාව ඉල්ලල මගෙ පැත්තට හැරිලත් තමන්ගෙ කණගාටුව ප්‍රකාශ කළා. ඒ වෙලාවෙ එතෙන්ට අපේ සමරේ බාප්පත් ආවා. බාප්පගෙනුත් සමාව ඉල්ලලා එයා මාධ්‍යවේදියෙක් බව දැනගෙන ටික වෙලාවක් විස්තරත් කතා කළා. ඊට පස්සෙ අපේ අය්යව පෙන්නලා ඇහැව්වෙ මේ පොඩි හාදයා ඔයාගෙ කවුද කියලයි. බාප්පා කිව්වෙ මේ මගෙ ඥාති පුත්තු දෙන්නෙක් කියලයි.”

“මට හිතෙන්නෙ සර්, අර සර්ට බැණපු රුසියානුකාරයා ටොල්ස්ටෝයිගෙ ගෝර්කිගෙ පුෂ්කින්ගෙ පොතක් වත් කියවලා තියා ඇහට දැකලවත් නැතුව ඇති.”  

“සමහර විට එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙන කොටත් අපේ අය්යා ඔයා ඔය නම් කියපු ලේඛකයන්ගෙ විතරක් නෙමෙයි තවත් රුසියානු ලේඛකයන්ගෙ පොත්වල සිංහල හරි ඉංග්‍රීසි හරි පරිවර්තන කියවල තිබුණා. මන් හිතන්නෙ අපේ බාප්පා අය්යව පෙන්න පෙන්න අර ලොකු රුසියානු මහත්තයට ඒ ගැනත් කිව්වා.”
“සර් ඔය සිද්දියෙන් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා මගෙ ජීවිතේට.”

“ඒ මොකක් ද මිහිදිනී?”

“අවශ්‍ය අවස්ථාවෙදි ඉවසීම වගෙම අවශ්‍ය අවස්ථාවෙදි නොඉවසා සුදුසු ප්‍රතිචාර දැක්වීම. අර රුසියානු ජාතිකයො දෙන්න ස්වරූප දෙකකින් පෙන්නුම් කළේ ඒක. සර්ගෙ අය්යගෙන් අපි ඉගෙන ගන්න ඕන දේ තමයි අවශ්‍යම මොහොතේ සුදුසු ඒ වගෙම නිවැරදි ප්‍රතිචාර දැක්වීම.”  

“ඔය කාරණා දෙකම තියෙන රුසියානු නවකතාවක හොඳ සිංහල පරිවර්තනයක් කියවන්න ලැබුණා මේ මෑතකදි. ඒක වීක්තර් ගොල්යාව්කින් කියන රුසියානු ලේඛකයගේ නවකතාවක්. ඒක මගේ හොඳ තාත්තා කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නෙ අපේ මල්රේණු කස්තුරිරත්න. ඒක ඔය දෙන්නත් කියවන්න ඕනෙ පොතක්. මල්රේණු දුන්න පොත අපේ ගෙදර ඇති. ඒක යනකොට අරන් යන්න. ඒ පොතේ මට වඩාත්ම දැනුණු දෙබසක් තියෙනවා. ඒක ඇති වෙන්නෙ මේ නවකතාවෙ ප්‍රධාන චරිතය විදිහට ඉන්න පේත්යා කියන හත්හැවිරිදි දරුවත් ලිවෙර්පූල් නමින් ඉන්න වැඩිහිටියත් අතරෙ. යුද්ධය හිතේ සතුට වඩවන විනෝද ක්‍රීඩාවක් විදිහට දැකපු පුංචි පේත්යා ඒ සම්බන්ධ අකාරුණික අද්දැකීම් ජීවිතයට සමීප වෙන කොට තේරුම් ගන්නවා යුද්ධය කියන්නෙ මිහිපිට නොපැවතිය යුතුම දෙයක් බව. පේත්යගෙ ප්‍රශ්නෙ තමයි ඇයි මිනිස්සු යුද්ධ කරන්නෙ කියන එක. වියපත් ලිවෙර්පූල් මගින් ලේඛකයා අපට කියන දේ හරිම වැදගත්.”

මේ මොහොතේ මිහිදීනී පැවසුවේ ඒ දෙය මේ සංකථනයට අනිවාර්යයෙන් ම එකතු කළ යුතු බව ය. සහන් ඊට ප්‍රතිචාර දැක්වූයේ හොඳ තාත්තා නවකතාවේ 129 වැනි පුටුවේ දෘශ්‍යමාන යථෝක්ත ප්‍රකාශය මෙසේ ඉදිරිපත් කරමිනි.

“යුද්ධය - සියලු මිනිසුන්ට අවාසනාව, යුද්ධය ඇරඹීම... හැබෑටම යන්තමින්වත් සිහිබුද්ධිය තිබෙනවා ද? නැහැ පුතේ යන්තමින්වත් සිහිබුද්ධිය තිබෙනවා නම්  එය කිසිදාක අරඹන්නේ නැහැ....අනෙක මිනිස්සු-වඩාත්ම දියුණු ජීවීන් මේ මහා පොළොවේ...”

“සර්, යුද්ධය වර්ණනා කරන අයට ඊට වෙනස් ව ලෝකය දකින්න ඇහැක් දෙන ප්‍රකාශයක්නෙ ඒ. සර් මටත් මෑතකදි කියවන්න ලැබුණ තවත් පොතක් මම මේකට එකතු කරන්න ද? හැබැයි මේ භෞතික යුද්ධය ගැන නෙමෙයි. දරුවන්ට ළමා ලෝකය අහිමි කිරීම සඳහා වැඩිහිටියන් කරන යුද්ධය ගැනයි මේ මේ පොතේ තියෙන්නෙ. ඒක ලියලා තියෙන්නෙ සුරත් ද මැල්. පොතේ නම ළමුතු අමයා. බැලූ බැල්මට යොවුන් නවකතාවක් වගේ පෙනුණට මට හිතෙන්නෙ මේ පොතින් ඉගෙන ගන්න පාඩම් තියෙන්නෙ වැඩිහිටියන්ට. විශේෂයෙන් දෙමව්පියන්ට. දරුවන්ගෙ වචන ඉවසන්නෙ නැතුව ඒ වචනවලින් කියවෙන පණිවිඩය අඳුන ගන්නෙ නැතුව දරුවන්ට ප්‍රතිචාර දක්වන දෙමව්පියන්ට.”

“බලන්ඩ සර් අපි එක දෙයක් ගැන සාකච්ඡා කරන කොට තවත් කොයි තරන් තැන්වලට යන්න පාර කැපෙනව ද කියලා. සර් දැන් අපි ඊළඟ කාරණේට යමු ද?”
“ඒකට යන්න ඉස්සෙල්ල මේකටම අදාළ තවත් කාරණයක් තියෙනවා. මම ඒකත් කියලම ඉන්නම්. දවසක් ඔය කෙනෙක් බණින කොට වෙන අපේ ප්‍රතිචාර ගැන කියද්දි සුදු නංගි හරි වෙනස් කතාවක් කිව්වා. එයා ඇහැව්වෙ කෙනෙක් බණින කොට ඒවා වචන විතරක් කියලා හිතන්නෙ නැතුව ඇයි අපි අපේ හිත්වලට අරන් ඇඟෙන් කටින් ප්‍රතිචාර දක්වන්නෙ කියලයි.”

“ඒකත් සර් ලොකු තේරුමක් තියෙන කතාවක් අපි කාටත් වටින.”

“හයවෙනි කාරණේ තමයි ගම්භීරඤ්ච කථං කත්තා කියන එක. ඒ කියන්නෙ අපේ ජීවිතවලට ගැඹුරක් ගේන දේවල් කතා කරනවා කියන එක. මේ ගැන කතා කරද්දි බුදුහාමුදුරුවො කියලා තියෙන පුද්ගල චරිත තුනක් මතක් කළා අපේ විසුද්ධානන්ද හාමුදුරුවො. ඒ තමයි ගූථභාණී, පුප්ඵභාණී සහ මධුභාණී.”

“සර් ඒ පුද්ගල චරිත තුන පැහැදිලි කරගෙන ඉස්සරහට ගියොත් තමයි නේද හොඳ?”  

“ගූථභාණී කියන්නෙ අසුචි වගේ ප්‍රිය නැති නපුරු කටුක රළු වචන කතා කරන කෙනාට. මෙහෙම චරිත කිසිම කෙනෙකුට ප්‍රිය වෙන්නෙ නැහැ. එදා අපේ හාමුදුරුවො කිව්වෙ එහෙම කෙනෙක් ළඟට මනුස්සයො විතරක් නෙමෙයි බල්ලෙක් පූසෙක් උනත් කිට්ටු වෙන්න කැමති නෑ කියලයි. පුප්ඵභාණී කියලා කිව්වෙ මල් වගෙ වචන කියන කෙනාට. ඒකත් හොඳ දෙයක්. ඒ උනාට හිතේ නපුරුකම තියාගෙන මතුපිටින් විතරක් මල් වගේ වචන කතා කරන එකේ තේරුමක් නැහැ. එහෙම මිනිස්සුත් ඉන්නවනෙ අපි අතරෙ. හාමුදුරුවො කිව්වෙ මේ අතරින් වැදගත් ම කෙනා මධුභාණී කියලයි. මේකෙන් අදහස් වෙන්නෙ මිහිරිකමත් එක්ක ගැඹුරක් අර්ථයක් තියෙන දේ කතා කරන කෙනා. අපි ආදර්ශෙට ගන්න ඕනෙ චරිතෙ තමයි ඒ.”

“සර් මට ඉඩ දෙනවනං මම මගෙ ළඟ මේ වෙලාවෙ තියෙන පොතකින් මධුර වචන කුලකයට අයිත් කරන්න පුළුවන් ගැඹුරක් අර්ථයක් වගෙම ජිවිතවලට දැක්මක් එකතු කරන ප්‍රකාශයක් කියන්න ද?”
“ඇයි දුවේ මට ඉඩ දෙනව ද කියලා අහන්නෙ. ඒ පොත ගැන ඒකෙ තියෙන අදහස ඔයාගෙ වචනවලින් කියලම කියවන්නකො ඒක අපිට.”  

“සර්, මේ අපේ පරම්පරාවට අයිති ලේඛිකාවකගෙ පොතක එන ප්‍රකාශයක්. ලේඛිකාව ධරණි උපේකා වීරසේකර. එයා සිංහලෙන් වගෙම ඉංග්‍රීසියෙනුත් ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක්. ඒ වගෙම කිවිඳියක් වගෙම දැන් අපිට එයාව නවකතාකාරියක් කියලත් හඳුන්වන්න පුළුවන්. එයා මෑතක ලියනවා නවකතාවක් ත්‍ැ්ර ්බා ඔැ්රි කියලා. විවිධ රටවලින් ඇවිත් එකම විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්න තරුණ ප්‍රජාවක් ගැන කියවෙන කතාවක් මේ. මේ විදේශීය ශිෂ්‍ය කණ්ඩායම වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ පැවැත්වෙනවා වැඩමුළුවක්. මේකෙදි සියලු දෙනා පිළිගැනීමේ කතාව කරන්නෙ ප්‍රභාෂ් සමරනායක කියන තරුණ ශිෂ්‍යයා. එයා කියනවනෙ අපි ලෝකයේ විවිධ රටවල් විවිධ ජාතීන් ආගම් නියෝජනය කළාට අපිට තියෙන්නෙ එකම හද රිද්මයක් කියලා. ඒ වගෙම අපට ඇත්තේ එකම ලෙයක් කියලා අපි එකම මානව පවුලක සාමාජිකයො කියන කාරණෙත් එයා අවධාරණ කරනවා.”

“ඉතින් ළමයො අපටත් ඇහෙන්න කියවන්නකො ඔය පොතේ ඔය අදහස තියෙන තැන.”

මිහිදිනී එයට ප්‍රතිචාර දැක්වූයේ යථෝක්ත ප්‍රකාශයට මෙසේ සිය කටහඬ එකතු කරමිනි.

Here we can see our brothers and sisters from various countries representing Asia, Africa, Europe, North and South America. I believe that this is a great opportunity one can have in his life time to blend your ideas with the people from different parts of the world. We are different from nationality, class, cast, religion, gender and skin colour but just keep your palm on your chest and feel your heart beating.


මිහිදිනී, ඔයා බලලා ඉවර නම් ඔය පොත මටත් දෙන්න කියවන්න. මන් ධරණිව අඳුනගෙන ඉන්නෙ හොඳ කවි ලියන තරුණ කිවිඳියක් හැටියට. බැලුවහම මේ කෙල්ලට කවි විතරක් නෙමෙයිනෙ ලියන්නත් පුළුවන්නෙ. කෙල්ලගෙ සෙල් නම්බර් එකත් ඇති මන් ළඟ. මන් ඔය පොත කියවල ම එයාට කතා කරන්නම්.  

”සර් හත් වෙනි කාරණේ නෝ වට්ඨානෙ නියෝජයේ කියන එක. අපි දැන් ඒ කාරණේට යමු.“

“ඒකෙන් කියවෙන්නෙ කෙනෙක් නොමගට  යොදවන්නෙ නැතුව යහපතේ යොදවනවා කියන එකනෙ. ඒක අපි කාගෙත් වගකීමක්. ඒ කියන්නෙ අපේ භික්ෂූන් වහන්සේලගේ, අනිකුත් ආගම් නියෝජනය කරන පූජක පක්ෂයෙ, රටක දෙමව්පියන්ගෙ, ගුරුවරුන්ගෙ, දේශපාලකයන්ගෙ මේ කී නොකී හැම කෙනෙක් ම කරන්න ඕන දේ තමයි තමන් ජීවත් වෙන සමාජෙ ඉන්න අය යහපතේ යොදවන එක, නොමග නොයවන එක. සියලු ශාස්තෲන් වහන්සේලගේ විසල් සමාජ මෙහෙවර උනෙත් ඒකමනෙ.”

“එහෙනං සර් ජාති - ආගම් - පක්ෂවලට බෙදිලා කුලල් කා ගන්න තැනට වැඩ සලසන කෙනා කරන්නෙ මුළු සමාජයම නොමග යැවීමක්නෙ.”
“මෙතනට එහෙම අය සම්බන්ධයෙන් වැඩ සලසන කියන වචනෙ පාවිච්චි කරන එක සුදුසු නැහැ. මොකද ඒ අය කරන්නෙ වැඩ සැලසීමක් නෙමෙයි වැඩ වැනසීමක් නිසා.”
“හරි සර්, මීට පස්සෙ ඒ ජාතියෙ අය ගැන කතා කරද්දි මම වැඩ සලසන කියන වචනෙ නෙමෙයි වැඩ වනසන කියන වචනෙ පාවිච්චි කරන්නම්.”

“එහෙම නම් අදට අපි මෙතනින් නතර කරමු. මම ලෑස්ති වෙන්නම් අර පොත දොරට වඩින වැඩේට යන්න. යන ගමන් තව වැඩක් තියෙනවා කතා කරගන්න.”
මෙසේ පවසා සහන් යටකී ගමනට සූදානම් වීම සඳහා ගියේ ය.

“සර් මොකක් ද දන්නෙ නැහැ නේද තවත් වැඩක් ගැන කතා කරගන්න තියෙනවා කිව්වෙ.”  
“මම හරියට ම දන්නෙ නැහැ. ඒත් මිහිදිනී මට අනුමාන කරන්න පුළුවන්.”

“ඉතින් අගය කරන් නැතුව මටත් කියන්කො.”

“සර් පසුගිය දවසක කිව්වා දවස් දෙකක් මොනරාගල නැවතිලා එහෙ ඉස්කෝලෙ පහක කරන කලා සාහිත්‍ය වැඩ සටහන් ගැන. එයින් දෙකක විදුහල්පතිලා හැටියට වැඩ කරන්නෙ සර්ලගෙ මැඩම්ලගෙ ශිෂ්‍යයො. ඒ කියන්නෙ අපේ ජ්‍යෙෂ්ඨයො. එක ඉස්කෝලෙක සංගීත විෂය බාර ගුරුවරිය ඒ කියන්නෙ මාත් අඳුරන සුදර්ශි අක්කා. මට හිතෙන හැටියට එයා තමයි මේ ඉස්කෝල පහ ම සම්බන්ධ කරන කෙනා වෙන්නෙ. තව ඉස්කෝලෙක ඉන්න නිශාන්ත අය්යා කියන්නෙ ශිෂ්‍ය කාලෙ ඉඳලම සර්ලගෙ ඇසුර ලබපු කෙනෙක්. එයා සියඹලාණ්ඩුවෙ. තව ඉස්කෝලයක් තියෙන්නෙ බඩල්කුඹුරෙ. මන් හිතන්නෙ මටත් සර්ලා එක්ක ඒ ගමන යන්න ලැබේවි.”

“ඒ කියන්නෙ මම නැහැ.”

“කවුද වස්තුවෙ ඔයා නැහැ කිව්වෙ. මම යනවා කියන්නෙ ඔයත් යන එක තමයි. ඒ විතරක් නෙමෙයි අපේ මැඩම්, මැඩම්ගෙ නංගි, අපේ හසිත්, අපේ සදසි එහෙමත් යනවා. අපි කාටත් කරන්න වැඩ කොටසකුත් තියේවි ඒ වැඩසටහන්වල.”  

“තාම අපට කියලත් නැහැ. ඒ වගෙම සර් කතා කරන්න ඉන්නෙ වෙන දෙයක් ද දන්නෙත් නැහැ. ඔයා දැන් තියා කතා කරන්නෙ ඒ ගමන යන ඒ වැඩවල කොටසක් කරන්න වෙන කෙනෙක් හැටියටනෙ.”
“ඔව් ඔයා බලාගෙන ඉන්නකො මොකක් ද සර් අපට කියන්නෙ කියලා.”

“ගඟුල් අද හසිත්ලා එනකොට ටිකක් රෑ වෙනවා. කතා කරගත්ත විදිහට අපි දෙන්නත් එක්ක යමු ඔය දෙන්නත්. අපි එන ගමන් අපේ මිහිදිනීව බස්සමු එයාගෙ නවාතැනින්.”

“සර් මන් ගන්න ද වාහනේ.”

“හරි ගඟුල් මෙන්න යතුර. ඒක බොහොම හොඳ යෝජනාවක්.”

මොනරාගල ගමන පිළිබඳ සාකච්ඡාව මතු වූයේ යන අතරමගදී ය.

”ගඟුල්, මේ මාසෙ 28, 29 දවස් දෙක මොනරාගල ඉස්කෝල පහක වැඩ සටහන් කරන්න යොදාගෙන තියෙන්නෙ. ඒ ඒ  ඉස්කෝලවල අපි දන්න හඳුනන අය හිටියට මේ පහම එකට එකතු කරන සම්බන්ධීකාරිකාව වෙන්නෙ ඔයගොල්ලන්ගෙ ජ්‍යෙෂ්ඨ අක්කා කෙනෙක් තමයි.“

”වැඩේ තියෙන්නෙ මොනරාගල නම් ඒ අපේ සුදර්ශී අක්කා වෙන්න ඕන සම්බන්ධීකාරිකාව.”  

“ඔයා හරි අපේ සුදර්ශී තමයි. ඉගෙන ගන්න කාලෙ ඉඳලම සංගීත ගුරුවරියක් වෙන්න ප්‍රාර්ථනා කරපු ශිෂ්‍යාවක් විදිහට ඉන්දැද්දිම අර අපේ විශාකා දිසානායකගෙ ගුරු ජීවිතය ගැන ලියපු කවි ටික මෙහෙ කලා උළෙලවල්වලදි ගායනා කරපු, ඒ දුෂ්කර ජීවිත දරුවන්ගේ ජීවිතවලට කවදා හරි පොද වැස්සක් ව වැගිරෙමි මේ ගම් දොරට කියපු අපේ සුදර්ශි තමයි ඒ. ඔය දෙන්නත් කැමති ද මේ ගමනට සම්බන්ධ වෙන්න.”

“මම නම් එක පයින් කැමතියි සර් එන්න. ඒත අපේ මිහිදිනී කැමති වෙයි ද දන්නෙ නැහැ. අනිත් එක සර් ඔය ගමනට මෙයාගෙන් වැඩකුත් නැහැ නේද?”

ගඟුල් එසේ පැවසුවේ රිය පදවන ගමන් පිටුපස හැරී හොරෙන් මිහිදිනී දෙස බලමිනි. මිහිදිනී ඊට සිය විරෝධය පළ කරන ආදරණීය රැවුමකින් ප්‍රතිචාර දක්වද්දී ආචාර්ය පත්නියගේ  විරෝධය පෙරළුණේ වචන බවට යි.”
“මොකද මේ කෙල්ලගෙන් වැඩක් නැත්තෙ. මේ කෙල්ලව හළලා ආවොත් මම ඔයගොල්ල එක්ක එන්නෙ නැතුව මිහිදිනිත් එක්ක එනවා බස් එකේ. ඊළඟට ඔයගොල්ල යන ඉස්කෝල පහටම එනවා. මොකද ඔය ඕන තරන් කොළඹින් බස් තියෙන්නෙ මොනරාගල යන. ඒ විතරක් නෙමෙයි ඒ හැම වැඩසටහනකදිම ගඟුල් කතා කරන කොට මම මේ කෙල්ලත් එක්ක එකතු වෙලා හූ තියනවා.”

මිහිදිනී ගඟුල්ගේ පිටට සෙමින් පහර ගසමින් ගුරු පත්නියගේ අදහස අනුමත කළා ය.

“හැබැයි ඒකත් ජාති වැඩේ. අපේ වැඩ සටහනට විශ්වවිද්‍යාල ආචාර්යවරියකුයි පාසල් ගුරුතුමියකුයි හූ කියන එක. ඒක මොනරාගල දිස්ත්‍රික්කෙටම අපූරු අද්දැකීමක් වේවි නැද්ද ගඟුල්.”  

සහන් සිනාසෙමින් එසේ පැවසුවේ මේ පවිත්‍ර හාස්‍යයේ තමා ද කොටස්කරුවකු බවට පත් වෙමිනි. අනතුරුව සහන් කතා කෙළේ ය.

”හැබැයි දෙන්නට ම දැන්ම ඉඳලා වැඩ සැලසුම් කරගන්න වෙයි මේ ගමන එනව නම්. මොකද මේ මාසෙ 28, 29 කියන්නෙ බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙක නිසා.“

”සර් අපිට පුළුවන්. අපි අනික් වැඩවලට බාදාවක් නොවෙන විදිහට වැඩ සැලසුම් කරගන්නම්.”
දෙදෙනා වෙනුවෙන් ම එසේ පිළිතුරු දුන්නේ ගඟුල් ය.

“සර් මට තියෙනවා තවත් යෝජනාවක් කරන්න.”
“ඒ මොකක් ද මිහිදිනී?”
“සර් දැන් අපි දවස් දෙකක් ම රෑ මොනරාගල නවතිනවනෙ. ඉත්න් අපට පුළුවන් සර්ගෙ දිනපොත් ඇසුරින් ලියන දේට ඒ දවස්වල හවස් කාල යොදා ගන්න.”
“දුවගෙ අදහස නම් හොඳයි ඒත් මට සැක ඕකට අපිට වෙලාවක් එයි ද කියන එක.”
“ඇයි සර් අපිට වෙලාව තියෙනවනෙ.”
“වෙලාව තියෙන එක ඇත්ත දරුවො. ඒ උනාට අපි ඇවිත් ඉන්නවා කියලා ආරංචි උනාම අපේ ආදි ශිෂ්‍යයො එනවනෙ තමන්ගෙ දරුවොත් එක්ක අපිව බලන්න. ඒකයි ඔය ඔයගොල්ලන්ගෙ සර් ඔහොම කියන්නෙ.”
එසේ පැවසුවේ ගුරු පත්නිය යි.

“ඒ උනාට සර් අපි 86 දිනපොත් තුනවත් අරගෙන යමු. ඉඩ ලැබෙන විදිහට අනික් වැඩ අතරෙ ඒකත් කරමු.”
“ඔන්න කතාවෙන් කතාව අපි මහවැලි කේන්ද්‍රෙට ආවා. අපේ ලේඛිකාවගෙ සමකාලීන කොල්ලො කෙල්ලො තමයි මට වැඩිපුර ඉන්නවා පේන්නෙ.”

සහන් එසේ පැවසුවේ ගසක් යට හිඳ කතා කරන පිරිසකට අත දිගු කරමිනි.

“අන්න බලන්න ඔයාව දැකලා මේ පැත්තට කඩාගෙන බිඳගෙන එන්නෙ කවුද කියලා.”

සහන් එවදන් පවසන මොහොතේ එතනට දිව ආ එක් තරුණියක් කෙළේ පළමු ව ගුරු පතිනියට වැඳ ඇය වැළඳ ගැනීම ය. අනතුරුව ඇගේ ලය මත හිස හොවා හැඬීම ය. ගඟුල් ඇතුළු පැමිණි පිරිස එදෙස බලා සිටියේ හැඟුම්බර ව ය. මේ මොහොතේ සහන් පහත් හඬින් ගඟුල්ට සහ මිහිදිනීට මෙසේ කීවේ ය.

“ඔය ළමයා තමන්ගෙ ප්‍රේම සම්බන්ධෙ බිඳිලා දිවිනසා ගන්න ගිය වෙලාවෙ ඔයගොල්ලන්ගෙ මැඩම් තමයි ඔය ළමයව අපේ ගෙදර එක්ක ඇවිත් සතියක් තියාගෙන බලා ගත්තෙ. ළමයගෙ ශිත සන්සුන් උනාට පස්සෙ තමයි අපි ඔය දරුවව එයාගෙ දෙමව්පියන්ට බාර දුන්නෙ. පස්සෙ මෙයාව තේරුම් ගත්ත හොඳ කොල්ලෙක් හම්බ වෙලා බැන්දා. දැන් එයා ගුරුවරියක් මේ පළාතෙම ඉස්කෝලෙක උගන්නන. ඒ වගෙම දරු දෙන්නෙක්ගෙ අම්මා. මම ඔයගොල්ලන්ට මේ කාරණේ කිව්වෙ ඔයගොල්ලන්ගෙ ගුරු ජීවිත කාලෙ දි මෙහෙම අද්දැකීම් ලැබෙන්න පුළුවන් නිසා.”

“සර්ගෙ ඔය කතාවෙ තියෙනවා ඔහොම මොහොතක අපි කරන්න ඕන දෙයත්.”

එසේ පැවසුවේ මිහිදිනී ය.

“අපි දරුවනේ ටිකක් මෙහෙට වෙලා ඉඳලා ඒ දෙන්නට කතා කරගන්න ඉඩ දෙමු. මට තවත් දේකුත් මතක් වෙනවා මේ වෙලාවෙ. ඔය කෙල්ල උපාධිය අරන් යන දවසෙ ඒ අයගෙ කණ්ඩායම තමන්ගෙ ගුරුවර ගුරුවරියන්ට පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බා. එදා මේ කෙල්ල කතාවකුත් පැවැත්තුවා. තමන්ට උගනවපු සියලුම ගුරුවරුන්ට ආචාර කරලා මෙයා ඔයාගෙ මැඩම් දිහාට හැරිලා කිව්වනෙ අද මම ජීවත් වෙන්නෙ මේ මැඩම් නිසා කියන එක ප්‍රසිද්ධියෙම. ඊට පස්සෙ අපේ මේ මැඩම්ලා විශ්‍රාම යන දවසක කියන්න ඕනෙ ගීතය මම අද කියනවා මගෙ ආදරණීය ගුරුවරුන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කරලා ඊට කලින් අපි විශ්වවිද්‍යාලෙන් යන නිසා. එහෙම කියලා එක ගීතයක් බොහොම හැඟුම්බර විදිහට කිව්වා. කියන අතරෙ කෙල්ලට ඇඬෙනවා. ඇඬීම නවත්තල ආයෙත් කියනවා.”

“මොකක් ද සර් ඒ ගීතෙ.”  

“ගඟුල් ඔයාගෙ ෆෝන් එකෙන් ඒ ගීය අහලා අපි වැඩ සටහනට යමු. මේක ගුරු ගීතයක්. මේ ගීතය ලියලා තියෙන්නෙ කිරම සුමංගල හාමුදුරුවො. සංගීතවත් කරලා ගායනා කරන්නෙ මේ වෙන කොට සංගීත ලෝකෙ නමක් දිනාගෙන ඉන්න අපේ ම ආදි ශිෂ්‍යාවක්. ඒ තමයි විශාරද මනෝරී උග්ගලගේ. අපි අර දෙන්නා එනකන් මේ සින්දුව අහලා මේ උත්සවේට සම්බන්ධ වෙමු.”

අනතුරුව ගඟුල් සිය ජංගම දූරකථනය ඔස්සේ ඇසෙන්නට සැලැස්වූයේ එසොඳුරු ගුරු ගීතය ය

සුවහසක් හද කුසුම්
බඹ ලොවින් නෙලා ගෙන
මහ බඹුන් තව මවක් මැව්වා
ලක් මවගෙ සිව්කොණින්
පැමිණි දූ පුත් නමින්
ඈ සෙනෙහෙ කෙම්බිමක් තැනුවා
ගුරු ගෙදර අපට සිටි අම්මා

අවිදු දුක ගණ අඳුර මුණ ගැසෙන හැම තැනම
සඳ මඬල ඒ අසල උන්නා
පොවා සිප් කිරි නිමල ඔවා මිණි දී හදට
ඇගේ නෙත අපේ හිස තැබුවා
ගුරු ගෙදර අපට සිටි අම්මා

සිප් සයුරෙ මග නොමග
නොදැන සිටි පරපුරට
පහන් ටැඹ වී පාර පෙන්නා
බැස ගියත් ගුරුතරුව
මියේවි ද ඒ එළිය
සමනළත් හිස නමා වැන්දා
ගුරු ගෙදර අපට සිටි අම්මා
ගුරු ගෙදර නුඹයි අපෙ අම්මා

Thursday, March 5, 2026

144. අහස් මියැසිය - 01


"The sky is an endless dream." — Ralph Waldo Emerson

අහස් නිල - හංසපාණි පාට පෙට්ටියෙ හුඟක්ම කැමති පාට. අද අහස දිහා බලද්දි හංසපාණිට කවදාවත් නැති තරම් අහස ලස්සනට පෙනුණා. අහස එච්චරට අහස් නිල් පාටයි. ඔය ස්කයි බ්ලූ - අහස් නිල කියලා සොබාදහම එක්ක කිට්ටු නම් තියලා තියන වර්ග ගැන දැනගෙන හිටියට හංසපාණිට චිත්‍ර අඳින්න බෑ. අහස් නිල ගැන දන්නෙත් අහස ගැන තියන ලාලසාව හින්දයි.

මේ ළමයා ගිය ආත්මෙ නාසාද දන්නෑ හිටියෙ.. 

පොඩි දවස්වල අහස දිහා බලා‍ගෙන තරු දිහා බලන් ඉන්න - තරු රටා ගැන පොත් ගෙනත් ‍දෙන්න කියලා වද ‍‍‍‍දෙන අවුරුදු දහයක විතර දැරිවියක් වෙච්ච හංසපාණි දිහා බලාගෙන තාත්තා කියනවා. හැබැයි එහෙම කිව්වට දෝණියන්දෑ ටීවී එක ඉස්සරහ ඇස් අළවගෙන ඉන්න සමයවස් ළමයි වගෙ නොවී තරු රටා හොයන දරුවෙක් වෙච්ච එක ගැන ඒ කාලෙදිත් තාත්තට ආඩම්බරයි. ඔරායන් ගැන මුලින්ම හංසපාණිට කියා දුන්නෙත් තාත්තම තමයි.

ඉන්පස්සෙ හැමදාකම හවසට එළියට බැහැලා හංසපාණි ඔරායන්ගෙ දුන්නයි - ‍ බෙල්ට් එකයි - වීනස්වයි හොයනවා. ජීවිතේ දශක ‍දෙකක් ගෙවිලා අවුරුදු විස්සක් ‍වෙන්න ආවත් තාම ඒ පුරුද්ද අත් ඇරිලා නෑ.

සරසවිය මේ තරම් ඉක්මණින් පටන් ගනීවි කියා හංසපාණි හිතු‍වෙ නැහැ. එහෙම හිතුණා නම් උසස්පෙළ කරලා ‍ගෙවී ගියපු කාලෙ - කාලෙක ඉඳන් ලියනවා කියලා හිතං හිටපු අහසට ලියුම් ලියන ගෑණු ළමයෙක් ඉන්න නවකතාව පටන්ගන්න තිබුණා. 

ඔරියන්ටේෂන් - නැත්නම් නම්නීකරණ වැඩසටහනට හෙට එන්න කියලා සති දෙක තුනකට කලින් කැම්පස් එකෙන් ලැබුණ ලියුමත් අතේ තියාගෙන අහස දිහා බලාගෙන කල්පනා කරද්දි හංසපාණිට හිතුණා. 

අවුරුදු ගාණක් පාඩම් කරපු කරාබු ගහ යට බංකුව උඩ වාඩි වෙලා උන්න හංසපාණිගෙ හිස මත්තට කරාබු ගහේ එතිලා තිබුණ පිච්ච වැ‍ලෙන් මල් පෙති ‍දෙක තුනක් වැටුණා.

පෙති නැතුව මලක් දෙන්න තිවුණා‍‍‍නෙ. එහෙනං මං පොඩි කා‍ලෙ වගෙ කොණ්‍ඩෙ අස්සෙ තියාගන්නව.

හංසපාණි නෝක්කඩු‍‍වෙන් හිතුවට එහෙම කිව්‍‍වෙ නෑ. ගස් එක්ක කතා කරන්න දැන් ‍පොඩි ළමයෙක් ‍නෙමේ‍නෙ. අල්ලපු ගෙදර මිනිස්සු දැක්කොත් කැම්පස් සි‍ලෙක්ට් වුණාට දිසානායක සර්ගෙ දුවට නුහුගුණේ ව‍ගේ කියලා කතාවකුත් හදයි. 

හැබැයි හංසපාණි හිතපු දේ පිච්ච වැලට ‍තේරුණාද කොහෙද - තත්පර දහයක් ගියෙ නෑ පිච්ච මලක් කකුල් දෙක ළඟටම වැටුණා. හංසපාණි බිමට නැමිලා මල අහුලාගෙන සුවඳ බලලා පිච්ච මලෙන් එන පවිත්‍රකාරක සුවඳින් ළය පුරවාගත්තා.

‍මොකක්දෝ හේතුවකට හංසපාණි පොඩි කාලෙ ඉඳලා පිච්ච මල්වලට කැමතියි. සමහර විට සුවඳ නිසා වෙන්න පුළුවන්. පිච්ච මලේ ති‍යෙන අහිංසක ගතියත් ඒකට හේතුවක්. අනික පිච්ච මලක් දකිද්දි හංසපාණිට ආච්චි පිච්ච මල් කඩද්දි පොඩි කාලෙ කියලා දුන්න කවියක් මතක් වෙනවා.

මනුසත්කම ගුණය හා කරුණාව යන

පාටත් ලස්සනත් සුවඳත් කරුණු තුන

එක් වී හැ‍‍දෙන උයනකි ළමයෙකු‍‍ග‍ෙ මන

එතනයි සුවඳ මල පිපුණෙත් පි‍පෙන තැන

දැන් ආච්චි යන්න ගිහිල්ලා අවුරුදු ගාණක් වුණත් පිච්ච මලක් දකිද්දි පිච්ච සුවඳයි - ආච්චි ගාවින් හමාපු සැවැන්දරා සුවඳයි එකතු ‍‍වෙලා හංසපාණි නොස්ටැල්ජියාවකට යනවා. පුංචි කාලෙ ඉඳලා යන්න කැමැත්තෙන් හිටපු සරසවියට තේරිලා කියලා දැනගත්තමත් හංසපාණිට මුලින්ම මතක් වුණේ ආච්චිව. අම්මා ගැන ලස්සන මතක මොනවාවත් නැති හංසපාණිට අම්මා කියලා පොඩි කාලෙ ඉඳලා දැනුණෙ තාත්තව. ඊළඟට ආච්චිව. 

ආච්චි ආ‍යෙ කවදාවත් එන්නෑ කියලා මතක් වෙද්දි දුක හිතිවිලි හිතට ගලා‍‍ගෙන ආවත් ඊටපස්සෙ හංසපාණිට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ‍පො‍තෙ දාන්‍‍තේ - මක්සිමිලියන්ට කියන වචන ටිකක් මතක් වුණා.

අපට නැති වන හිත මිතුරන් නිදන්නේ පොළෝ පතුළේ ‍නෙමෙයි මක්සිමිලියන් - අපේ හිත් පතුළේයි.

එහ‍ෙම හිතුවාම අපි ආදරය කරන අය මැ‍‍රෙන්‍‍නෙ නෑනෙ - හංසපාණිට හිතුණා. ආදරය කරන අය කියලා හිතද්දි අමුත්තකුත් දැනුණා. නුහුරු රූපෙකුත් මැවුණා. සමවයස් හුඟක් ‍දෙනා ආදර කතාවල පැටලිලා හිටියට හංසපාණිගෙ හීනවල නව යොවුන් කාලෙ ඉඳලා හිටියෙ ඉවරයක් නැතුව කියවාපු කතන්දරවල හිටියා වගෙ තරුණයෙක්. 

එ‍හ‍ෙම උන් මේ ලෝකෙ නෑ බං. බූරු‍‍වෙක් වෙන්නැතුව අර පහන්ට කැමති වෙයං.

සාධ්‍යා හැමදාම හංසපාණිට බනින්‍‍න පටන් ගන්නෙ එහෙම කිය කිය. 

උඹට පිස්සු‍නෙ. මං ඕකනෙ රටේ තියන ඔක්කොම පොත් කියවන්නැත්‍තෙ උඹ ව‍ගෙ. පරාර්ථකාමී - පට්ට ගැඹුරු - විප්ලවවාදී - සන්සුන් - උඹ ඔය කියන ලක්සන එක කොල්‍ලෙක්ට පිහිටන්න නං එ‍හෙම එකෙක්ව මවන්න වෙනවා. අ‍නේ නිකං හිටපං.

මින්සඳීත් බැනුමට එකතු ‍‍වෙනවා. හංසපාණිට ඔය බැණුම් ගාණක් නෑ.

හරි හරි එහෙම එ‍කෙක් හම්බු‍‍ණොත් බඳිනව. නැත්තං බඳින්නෙ නෑ. 

හංසපාණි කතාව නවත්තන්නෙ ඔ‍හොමයි. දැන් යාලුවන්ටත් ඒක කටපාඩම්.! 

පුතා, එන්න තේ ‍බොන්න! - තාත්තා කතා කරන හඬිනුයි හංසපාණි පියවි සිහියට ආ‍වෙ.

තාත්තා තේ හදලා. හංසපාණි මනෝ රාජ්‍යය බිඳලා දාලා ‍‍‍ගේ ඇතුළට යන්න නැගිට්ටා. 

හෙට ඉඳලා මට වැඩිය ඔයා ගාවට එන්න වෙලා නැති ‍වෙයි - මං කැම්පස් යනව‍නෙ!

යන්න කලින් පිච්ච වැලයි - කරාබු ගහයි දිහා බලපු හංසපාණි කිව්වා.

දුක හිතුණා වගේ පිච්ච මල් ‍දෙක තුනක් බංකුවට උඩට වැටුණා..!

Monday, March 2, 2026

142. මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

විසිනව වැනි උපන්දිනේට හම්බවුණ පොත් විසිනවයත් කියවලා ඉවර කරලා, කියවන්න දෙයක් නැතුව, ආයෙ පුස්තකාලෙ පැත්තෙවත් යන්න වෙයි නේද.. අවුරුදු හතලිස්පහක් විතර වයස වුණා නම් පොත් හතලිස්පහක් තෑගි ලැබෙනව නේද.. යනාදි වසයෙන් ⁣හිතමින් ඉන්න මොහොතක, The Book Thief පොත අලලා අතීතෙ කියෙව්ව ෆෑන්ෆික්ෂන් එකක් මතක් වුණා. ඊටපස්සෙ ෆෝන් එක පීරලා පීරලා ෆෑන්ෆික්ෂන්ස් සිය ගණනක් අස්සෙන් මැක්ස්වයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් ටික පෙරළා පෙරළා හොයාගත්තා. 

⁣බොරු කියන්න ඕන නෑනෙ. රූඩිවයි ලිසෙල්වයි ඈඳලා ලියාපු ෆෑන්ෆික්ෂන්ස් දැක්කාම වැහිදැරිවිගෙ හෘදයාභ්‍යන්තරේ කැළඹුමට පත් වෙනව. ලිසෙල් ගාවින් මැක්ස්ව ඇර වෙන කෙනෙක් ගලපා තියන්නවත් අකමැති පමණට වැහිදැරිවි ඇතුළෙ, ලිසෙල්ටත් - මැක්ස්ටත් යුවළක් විදියට ගැඹුරු ආදරයක් තියනවා. 

⁣යමෙක්ට ඒක විකාරයක් විදියට පේන්නත් පුළුවන්. කිසිදාක දැක හමු වී නොමැති, සම්මුති සත්‍යය තුළ නොපවතින, මනෝකල්පිත යුවළක් ගැන ආදරයක් ඇති වීම! ඒත් එහෙම තමා.. හෘද්‍යාභන්තරයෙ උපදින සියලු හැඟුම්වලට නිශ්චිත හේතුකාරක සපයන්න බැහැනෙ.

අනිත් කාරණය තමා මේ හැඟුම, තුරුණු පාඨිකාවක් තුළ මැක්ස් නම් සුවිශිෂ්ඨ ප්‍රබන්ධ චරිතය කෙ⁣රේ ඇති වූ ආකර්ෂණයකට - ක්‍රෂ් එකකට සීමා කළ හැක්කකුත් නෙමෙයි. මැක්ස් වාගෙ කොල්ලෙක් මුණගැහුණෙ නැත්තං කසාදයක් කරගන්නෙ නෑ කියන හෘදයවස්තුවට කිට්ටුම හරියක ඉන්න සහෝදරියො දෙන්නාට එහෙව් කොල්ලො නෑ ඔය කාගෙ හරි කරක එල්ලියං කියා බනින කුලකයෙ කිසිදාක නොසිටියා වුණත් වැහිදැරිවි එදා සිට ආදරය කළේ මැක්ස් යන තරුණයාට වෙනුවට මැක්ස් සහ ලිසෙල් යන ආල පරමාදර්ශයටයි. ආදරය සම්බන්ධ ඉතිහාසයෙ මුණගැහෙන පරමහංස-සර්ධාදේවි,විනය-ලලිතා,ගෝරා-සුචරිතා, ඈන්-ගිල්බර්ට්, ආදි පරමාදර්ශ අතරෙ, ලිසෙල්ගෙයි මැක්ස්ගෙයි ආලයත් ස්ථානගත කරන්න වැහිදැරිවි තීරණය කළේ The Book Thief සළරුව බලාපු මුල් වකවානුවෙදිමයි. 

ලිසෙල් හා මැක්ස් අතරෙ - සමුගැනුම් හිස සිපගැනුම හා අවසන් වැළඳගැනීම හැර වෙනත් කිසිදු ශාරීරික ළංවීමක් නෑ. ඒ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මිකයි. සාහිත්‍යාත්මකයි. ආභ්‍යන්තරිකයි. ප්ලේටොනිකයි. එතැනින් එහාට ඒ සම්බන්ධය දිගුවකට නොගෙනයන්න කතුවරයා නොසිතන්න ඇත්තෙත් එනිසයි. ඒත් ලිසෙල්ගෙත් මැක්ස්ගෙත් දෑස් අද්දර රොමාන්තික විශ්වයක් දැකපු වැහිදැරියට රොමාන්තික පරමාදර්ශයක් ඇතුළට ඔවුන් දෙන්නාව ඔබ්බවා නොසටින්න අපාසුයි..)

ඉතින් මේ සටහන නිම කරන්නෙ වැහිදැරිවි ලිසෙල්ට ආරූඪ වෙච්ච වෙලාවක කුරුටු ගාපු වචන ටිකකින්.


බිම්මහලෙ අන්ධ කළුවර මැද ඔබ සැඟවී උන්නු යාමය,

තරු ලකුණු සදිසි ඔබ වචන පමණකි අරන් ආවේ සාමය,

දොළොස් වස් දැරියකට නොහැඟුණ නිසා මිස කොයි පාටදැයි ප්‍රේමය 

ඒ කාලෙදිත් තරුණය, ඔබම විය මගෙ ක්ෂේම භූමිය..


ෆැසිස්ට් ගිනිදැල් ඇවිලෙයි, වේගයෙන් පිලිස්සෙයි කාලය,

ස්වස්තිකය මැද වැඩෙමි, අවි හඬින් කැලැත්තී යයි හැඟුම් ජාලය,

විප්ලවය අවුලවපු ඇසකින් උගත්තෙන් මුල් වරට ආලය,

මේ ජර්මානු ළයට පණ පොවන්නේ යුදෙව්වෙකුගේ ස්වාසනාලය!

Saturday, February 28, 2026

141. ගුරු දියවර 52 - සමන් චන්ද්‍ර රණසිංහ

 


“තාරකාවක් සමග සන්සන්දනය කරන විට පෘථිවිය අතිශයින්ම කුඩා වස්තුවකි. අහසේ තිබෙන අප්‍රමාණ තාරකා සංඛ්‍යාව ගැන සලකන විට එක තාරකාවක් ගණනකට ගත නොහැකි තරම් කුඩා දෙයකි. මෙය ද අප විසින් සිතට ගත යුතු කරුණකි. මනුෂ්‍යයාට පෘථිවියෙහි අයිති සුළු වස්තුවක් පිළිබඳව ඔහු අහංකාර වෙයි. එහෙත් තාරකා පිළිබඳ දැනුමක් කෙනෙකුට ඇති වන විට තමාගේ තත්ත්වය කෙබඳු දැයි මනුෂ්‍යයාට වැටහී යනවා ඇත.”

ගඟුල් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද පළමු පියවර ග්‍රන්ථයේ එන තාරකා නමින් එන ලිපියේ ඉහත සඳහන් ඡේදය කිහිප වාරයක් කියැවූයේ ය. එවක ළමා වියේ සිටි දරු දැරියන් අමතා අදිකාරම්තුමන් විසින් කරන ලද දේශන 22 ක් මෙම කුඩා ග්‍රන්ථයේ අන්තර්ගත ය. වරෙක මත්පැනින් සිදු වන විපත ගැන කතා කරන එතුමා පළමු ව ඒ නිසා කෙනෙකුගේ ශරීරයට සිදු වන බලවත් හානි විද්‍යාත්මක ව පැහැදිලි ව කරයි. අනතුරුව ඉන් පවුලේ සාමාජිකයනට මෙන් ම පොදුවේ සමාජයට සිදු වන හානි පෙන්වා දෙයි. එසේ ම මේ විපතින් සිය වැඩිහිටි සාමාජිකයන් මුදවා ගැන්ම සඳහා දරුවකුට ධර්ම දූතයකු විය හැකි බව ප්‍රකාශ කරයි.
 
ආචාර්ය අදිකාරම් පරිසරය ගැන වන සාකච්ඡාවට එළැඹෙන්නේ මුලින් ම එහි නිරුක්ත්‍යර්ථය පැහැදිලි කරමිනි. ඒ අනුව අප අවට පවතින හැසිරෙන සියලු දෙය අපගේ පරිසරය යි. සතුන් ජීවත් වන සැටි ගැන එතුමා විසින් ලියනු ලැබ ඇති ලේඛනය කියවන පාථකයා එම කියැවීම හමාර කරන්නේ වෙනදාට වඩා අනුකම්පා සහගත ඇසකින් සතුන් දෙසත් ගහකොළ දෙසත් බැලීම පිළිබඳ වන ශික්ෂණය ලබමිනි. එසේ ම තවත් දේශනයකදී එතුමා පවසන්නේ ආදරයෙන් පැළයක් සිටුවා එයට සාත්තු කිරීම නිසා වැඩෙන්නේ පැළය පමණක් නොවන බව ය. එය කෙනෙකුගේ හදවතෙහි මිනිස් ගතිය ද වඩවන ක්‍රියාවලියක් වන බව ය. එහි ඵලය මුළු මහත් මනුෂ්‍ය සමාජයට ම ලැබෙන බව ය. එතුමාගේ ලිපි අපගේ ජීවන චර්යා වෙනස් වීමෙහි ලා හේතු වෙයි. සිය මිතුරකුගේ පවුලේ සියලු සාමාජිකයන්ගේ චර්යා වෙනස් කළ එක් ලිපියක් මේ මොහොතේ ගුඟුල්ගේ සිහියට නැඟිණ. ඒ පළමු පියවරෙහි එන කුහුඹුවාගේ ජීවිතය යි. එම ලිපිය අවසන් වන්නේ පහත සඳහන් ඡේදයෙනි.

“ගෙවල්වල කුහුඹුවන් ගෙන් අපට හිරිහැර ඇති වන්නේ වැඩි වශයෙන් ම අපගේ නොසැලකිල්ල නිසා ය. පිඟන් කෝප්ප ආදිය අප විසින් පිරිසිදුව තබා ගන්නවා නම් ඔවුන්ගෙන් හිරිහැරයක් අපට සිදු වන්නේ නැත. මම කෘමි නාශක බෙහෙත් වලින් හෝ වෙන ක්‍රමයකින් හෝ කුහුඹුවන් මරන්නේ නැත. ඔබ සියලු දෙනා ද මේ අහිංසක සතුන්ට දයාව දක්වනවා ඇතැයි කල්පනා කරමි.”      

එක පවුලක සමස්ත ජීවන චර්යාව වෙනස් කළ මේ සටහනට තවත් අප්‍රමාණ පවුල්වල ජීවන චර්යා වෙනස් කළ හැකි බව ගඟුල් දනියි. ඔහුට සිහිපත් වූයේ සමන් සිත්තරා නිතර අවධාරණ කරන හංස දූත මෙහෙවර යි; ඒ මෙහෙවරෙහි එක් ප්‍රකාශන මාධ්‍යයක් වන හංස පුස්තකාලය යි. මේ දියෙන් කිරි වෙන් කොට ගන්නාක් මෙන් තෝරා ගත් පුස්තක සහිත එම හංස පුස්තකාලයවල අනිවාර්යයෙන් ම තිබිය යුතු පොතකි.  
 
පළමු පියවරට අදාළ ව ඇති වැදගත් ම සංසිද්ධිය වන්නේ එහි ඉංග්‍රීසි පරිවර්තනය වන First Step  නොබෝදා මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් වීම ය. එය සිංහලයට නඟා තිබුණේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ සදාශ්‍රය සිය බිළිඳු වියේ සිට ලැබීමට භාග්‍යවන්ත වූ කෘතහස්ත පරිවර්තකයකු වන රවී පලිහවඩන විසිනි. දුන්නේ මේ පරිවර්තනය ගැන තමාට මුලින් ම දැනුම් දුන්නේ රවී මහතාගේ චිරකාලීන මිතුරකු වන සිය ආචාර්යවරයා ය. තමා මේ ගැන දැනගත් වහා කෙළේ ඒ බව මිහිදිනීට දැනුම් දීම ය. මන්ද ඒ වන විට ඇය තමාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවට ඉගැන්වීම සඳහා නිරන්තරයෙන් භාවිතයට ගත් පොත් දෙකින් එකක් පළමු පියවර වීම ය. අනික් කෘතිය බම්බලපිටියේ වජිරාරාමවාසී ව වැඩ විසූ අතිපූජ්‍ය නාරද හිමියන් විසින් සංරචිත Buddha and His Teachings  නම් කෘතිය යි. පළමු පියවරෙහි ඉංග්‍රීසි පරිවර්තනය රවී මහතා විසින් සිදු කොට ඇති බව දැන්වූ මොහොතේ මිහිදිනී පැවසුවේ පහත සඳහන් වචන යි.

“අනේ ඒක කොච්චර දෙයක් ද? මම පළමු පියවරෙන් ලිපිය ලිපිය ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් තමයි මගෙ ශිෂ්‍යයන්ට ඉගැන්නුවෙ. රවී මාමා ඒක සිංහලට දැම්මා කියන්නෙ ආයි කියන්න දෙයක් නෑ තවත් හොඳ පරිවර්තයක් අපට ලැබුණා කියන එක. මන් හෙට දවසෙ ඉඳලා මගෙ පරිවර්තන වෙනුවට පාවිච්චියට ගන්නෙ රවි මාමගෙ පරිවර්තන. ඔයා එනකොට මට ඒකෙන් පිටපත් පහක් ගේන්න. මම ඒ පොත දෙන්නම ඕන කීප දෙනෙක් ඉන්නවා.”

ඒ වන විට සිය ආචාර්යවරයා යථෝක්ත පරිවර්තන කෘතියෙන් අවම වශයෙන් එක් පිටපතක් හෝ මෙරට විශ්වවිද්‍යාලයීය පුස්තකාලයනට පරිත්‍යාග වශයෙන් ලබා දිය යුතු ය යන යෝජනාව ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් පදනමේ ගරු සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාට සහ ගරු ලේකම් තිලක් පියරත්න මහතාට ඉදිරිපත් කොට තිබු අතර ඒ දෙදෙනා විසින් ම එය කළ යුතු ම කාර්යයක් බව පිළිගෙන ඇති බව ද ගඟුල්ට දැන ගැන්මට ලැබිණ. මේ අතර ඔහුගේ හද පහන් කළ තවත් කරුණක් තිබේ. ඒ සිය ආචාර්යවරයා ආචාර්යතුමන් අදිකාරම්තුමන් පිළිබඳ ව රචනා කරන ද්විතීය ග්‍රන්ථයේ ද බොහෝ දුරට වැඩ අවසන් කොට තිබීම ය.   

ආචාර්ය අදිකාරම්තුමන් විසින් නොයෙක වර අවධාරණ කොට ඇති පරිදි නිදි යහනේ විවේකී ව සිටින මොහොතක පවා කෙනෙකුට ගහ කොළ ඇළ දොළ සිවුපාදි සියලු සත් වග මෙන් ම සමස්ත මානව ප්‍රජාව පිළිබඳ ව ආදරණීය හැඟීමක් හදවතෙහි විකසිත වන්නේ නම් ඒහැඟුමට සුවිසල් අරුතක් තිබේ. පළමු පියවර යනු ඒ ආදරණීය මිනිස් හැඟීම හදවත්වල රෝපණය කිරීමට සමත් අනර්ඝ ග්‍රන්ථ රත්නයකි. මේ මහා ආදරය මේ මහා මෛත්‍රිය ජාති ආගම් කුල දේශ භේදයකින් තොර ව පැල කිරීමට සමත් වූ ඒ මහා ඒ සිද්ධාර්ථ ගෞතම නම් වූ මහා අභිනිෂ්ක්‍රමණිකයන් වහන්සේ ද මේ මොහොතේ සිතට නැගෙන්නේ ඇයි? මන්ද නාරද හිමියන් විසිනුදු අවධාරණ කොට ඇති පරිදි ඒ මහා මෛත්‍රී රෝපකයාණන් වහන්සේ ඒ පියවර ගත්තේ මිනිසුන් විසින් මහා සැප සම්පත් යයි කියනු ලබන දේවල් මහලු විය තෙක් විඳීමෙන් පසුව නොව තරුණ වියේ දී ම ඒවා අත හැරීමෙන් වන බැවිනි. ඒ මහා අත්හැරීම මෙතෙක් ලොව නොවූ විරූ සුවිශිෂ්ටතම අත් හැරීම වූ බැවිනි.  

Thus did he renounce the world. It was not the renunciation of an old man who has had his fill of worldly life. It was not the renunciation of a poor man who had nothing to leave behind. It was the renunciation of a prince in the full bloom of youth and in the plentitude of wealth and prosperity-a renunciation unparalleled in history.


එසේ සිතාමතා කරනු ලබන මහා අත්හැරීම අදාළ වන්නේ කලාතුරකින් ලොව පහළ වන සුවිශිෂ්ට චරිත විෂයයෙහි ය. ඒ හැරුණු විට පෘථග්ජන මනුෂ්‍යයන් වන අප සම්බන්ධයෙන් වන අත්හරින මෙන ම අත හැරෙන චරිත මෙන් ම දේවල් ද කොතෙකුත් තිබේ. සිය අතීත දින සටහන් අධ්‍යයනය කරද්දී ගඟුල්ට අතහළ නොව අත් හැරුණු ඇතැම් චරිත සිහිපත් විය. ඉන් එක් චරිතයක් වන්නේ හොරණ ශ්‍රීපාලී විදුහලේ ආදි සිසුවියක වන වීණා මිතුරිය යි. තමා වෙන වසරේ සිසුවකු ව සිටිය දී පළමු වසර සිසුවියක වශයෙන් පැමිණි ඇය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ කිසිදා කිසිදු නවක සිසුවකුට හෝ සිසුවියකට නවක වදය මූලික කොට ගනිමින් වචනයකින් හෝ සිත් රිදෙන නොකරන බවට ඇය ප්‍රතිඥා දුන්නා සේ ම සරසවියේ සිටින තාක් ඇය එම ප්‍රතිපත්තියෙහි පිහිටා සිටි නිසා ය. තමාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ පසුකාලීන ව බැකු නිලධාරියකු වූ සුගත් ගුණසේකර, වීණාගෙන් වෙනස් වන්නේ ඔහු නවකවදය නැති කිරීම සඳහා නවක වදය භාවිත කළ නිසා ය. සුගත් කෙළේ හැකිතාක් නවක සිසු සිසුවියන් එක් තැනකට රැස්කොට ඔවුනට තර්ජනාංගුලිය ඔසොවා නවකවදයෙහි නිරත වන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම් විවේචනය කිරීම ය. ලොවින් රිදුම් ලද මුත් ලොවට පෙරළා රිදුම් දීම තමාගේ අපේක්ෂාව නොවන බව සුගත් කියා සිටියේ ය. සුගත් කිසිවිටෙකත් සමාජය තමාට කරන නින්දා හෝ ප්‍රශංසා ගැන තැකුවේ නැත. ඔහු දැන් කොතැනක කවරාකාරයකින් ජීවත් වේද කියා ගඟුල් දන්නේ නැත. එහෙත් සුගත් වීණා වන් චරිත සිය නිරවද්‍ය ජීවන ප්‍රතිපදාවෙන් බැහැර නොවන්නේ ය යන විශ්වාසය ගඟුල්ට තිබේ. ජාති ආගම් භේදයකින් තොර ව සමාජ සහජීවනය උදෙසා කටයුතු කළ ශිවා සෙන්දිල් හම්සා ෆාතිමා හුස්නි බඳු කල්‍යාණ මිත්‍ර චරිත ද මේ මොහොතේ ඔහුට සිහිපත් වූයේ නිතැතිනි.
 
ආචාර්ය අදිකාරම්තුමා නිතර සිය ශක්තීන් යෙදවූයේ ද ආදරණීය සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ය. සමාජයේ කොතැනක හෝ සිදුවන යහපත් ක්‍රියාවක් දුටු විට එය වහා අගය කිරීමට ඉදිරිපත් වූයේ එවන් ක්‍රියාවන් බහුල ව සිදු වන සමාජයක් දැකීම එතුමාගේ අරමුණක් වූ බැවිනි. වරෙක මැන්ඩිස් නමැති වෛද්‍යවරයා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දරුවකුට සිය සිරුරින් ලේ දී ඔහු සුවපත් කොට තිබිණ. ඒ රෝගියා සම්බන්ධ ව තීරණාත්මක සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා වූයේ ද ඔහු ය. මේ සම්බන්ධ පුවත්පත් වාර්තාවක් කියවූ අදිකාරම්තුමා අකාරුණිකකම් ගැන වැඩි වශයෙන් කියැවෙන යුගයක සිය සිරුරින් ලේ දී කළ ලියමන එවක දෘෂ්ටි ආබාධයකින් සිටි එතුමා කියද්දී ලියා තිබුණේ එවක සරසවි ශිෂ්‍යයකු ව සිටි සිය ආචාර්යවරයා ය. එම ලේඛනය ද ඇතුළු ව එවන් ලේඛන කිහිපයක් ම ඔහු ළඟ තිබේ. එම ලියමන අදිකාරම්තුමන්ගේ හෘදය සංවේදීත්වය මෙන් ම භාෂා නෛපුණ්‍යය ද සනාථ කරන්නේ වෙයි.   

I was delighted to read in the Divayina paper of 16. 06. 84 about the donation of blood from your own body to a child and thus saving his life. At a time when cruelty and hard-heartedness is almost becoming the rule of life in this country to hear of and action like yours is really refreshing

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් යථෝක්ත ලියමන කියැවූ එම විශේෂඥ වෛද්‍යවරයාගේ ආදරණීය බිරිඳ අදිකාරම්තුමන් විසින් සමාජ ශුභසිද්ධිය උදෙසා කරනු ලබන කටයුතුවලට සක්‍රිය දායකත්වයක් ලබා දීමට සිය කැමැත්ත පළ කොට තිබීම ය. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ කලකට පෙර කියැවූ ඔයැ The Power of words  නම් කෘතියේ එන අදහසකි. එහි කියැවෙන අන්දමට අපට එක් අකාරුණික වදනකින් කෙනෙකුගේ සතුට නැති කළ හැකි ය. එසේ ම එකම කුළුණුබර වදනකින් අපට කෙනෙකු තුළ මහත් සතුටක් ද ජනිත කළ හැකි ය. එහෙත් ගඟුල්ට අනුව ඇතැම් කාරුණික මනුෂ්‍යයන් විසින් කරනු ලබන බලවත් වරදක් ද තිබේ. ඒ ඔවුන් අනුන් විෂයයෙහි කාරුණික වුව ද තමා සම්බන්ධයෙන් සැලකිලිමත් නොවීම ය.

තමා සංස්කෘතයෙන් සිංහලයෙන් මෙන් ම ඉංගීසියෙන් ද දින සටහන් ලිවීමට හුරු වූයේ සිය ආචාර්යවරයා නිසා ය. සංස්කෘතයෙන් හෝ ඉංග්‍රීසියෙන් නිසියාකාර ව ප්‍රකාශයට පත් කළ නොහැකි දෙය ද ඔහුට කිව හැක්කේ මාතෘ භාෂාවෙනි. ඇතැම් ගත ව ගිය සිද්ධීන් පිළිබඳ ව නිවැරදි ව දැන ගැන්ම සඳහා උපකාර වන්නේ ද දින සටහන් ය. ආචාර්ය ඩබ්ලිව්. බී. මකුලොළුව විද්වතාගේ සහ භාරතීය රාජ්‍ය නායිකාවක සිටි ශ්‍රීමතී ඉන්දිරා ගාන්ධි මැතිනියගේ අභාවයන් සිදු වූ දින වකවානු ගැන දැන ගැන්මට අවශ්‍ය වූ මොහොතක ඔහුට උපකාර වූයේ සිය ආචාර්යවරයාගේ දින සටහන් ය. මකුලොළුව මහතා 1084 සැප්තැම්බර් 10 වැනි දාත්  ඉන්දිරා ගාන්ධි එම වර්ෂයේ ම ඔක්තෝබර් මාසයේ 31 වැනි දාත් අභාවයට පත් ව තිබෙන බව ඔහු දැන ගන්නේ ඒ අනුව ය. එසේ ම බෙංගාලි භාෂාවෙන් සිංහලයට රබීන්ද්‍රනාත් තාගෝර් නිර්මාණ පරිවර්තනය කළ සුදාස් මාස්කෝරළ මහතා පිළිබඳ තොරතුරු සොයා යාමට ගඟුල්ට සිතුණේ ද සිය ආචාර්යවරයා 84 වර්ෂයේ නොවැම්බර් 20 වැනි දා තැබූ දින සටහන නිසා ය. ඒ සුදාස් මාස්කෝරළයන්ගේ ඥාති දියණියක වන සිය සමකාලීන සරසවි මිතුරියක වූ සුදර්ශී මාසකෝරාළ සමග ඒ සාහිත්‍යධරයා හමුවීමට තමා ගිය බව සිය ආචාර්යවරයා පැවසූ නිසා ය.
කලක් තිස්සේ විවිධාකාරයෙන් ලද දැනුම සංචිතයක් ව ඇති එක් තැනක් වන්නේ සිය දිනපොත් බව සිය ආචාර්යවරයා දිනක් පැවසුවා ගඟුල්ට මතක ය. කෙනෙකු විසින් දින සටහන් තිබිය යුත්තේ කිසියම් දිනක අතීත ස්මරණ ළඟ නතර වීමට නොවේ ය යන කරුණ ද ඔහු අවධාරණ කෙළේ වරක් දෙවරක් නොවේ. ගුරුවරයකු වන තමා විසින් කළ යුතු ව ඇත්තේ පිපී ගෙන එන මල්වලට විකසිත වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය. මේ මොහොතේ ද ගඟුල්ගේ සිතට ආවේ ආචාර්ය අදිකාරම්තුමන්ගේ සුන්දරාර්ථවාහී ප්‍රකාශයකි.
“පිපීගෙන එන පොහොට්ටුවට විකසිත වන්නට ඉඩ හරිනවා විනා එය විකසිත කරවිය නොහැකි යි. එසේ කරන්නට ගියහොත් වන්නේ මල පිපෙන්ට පෙර විනාශ වීම යි.”  

මෙද 1984 වර්ෂයේ දෙසැම්බර් 10 වැනි දින ආචාර්ය අදිකාරම්තුමන් සමග සිය ආචාර්යවරයා කළ සංකථනයක දී කියැවුණු ප්‍රකාශයකි.
නාගොල්ලාගම දී ඇසුරට ලැබුණු ගොවි රජකු වන රන්බණ්ඩා දිසානායක මහතා වරෙක පැවසුවේ හොඳ ගුරුවරයා කියන්නේ දරුවනට අකුරු පමණක් නොව ජීවිතය ද කියා දෙන තැනැත්තාට බව ය. පීදෙන ගොයම දැක සතුටු වන ගොවියකු මෙන් දැනුමින් වැඩෙන සිසු දරුවන් දැක සතුටු වන තැනැත්තාට බව ය. එසේ ම ඔහු තවත් වරෙක කියා සිටියේ අප කාගේත් ජීවිතවලට දිනෙන් දින එකතු කොට ගත යුත්තේ සිත කඩන දෙය නොව සිත හදන දේ බව ය. එහෙත් එළැඹෙන දිනයේ දී සිත කඩන දේ ද තමා ඉදිරියේ මතු වේ ය යන හැඟීම ඇතුව කෙනෙක් ජීවත් විය යුතු ය. කෙනෙකුට ඒවායින් ගැලවී ජීවත් වීමට හැකි වන්නේ එම අවබෝධය තිබුණහොත් පමණ ය.
නාගොල්ලාගම දී තමාට අපමණ ශක්තියක් වූ මේ වැඩිහිටි සහෘදයා තමා එගමින් එපාසලින් සමුගෙන විදුදය සරසවිය බලා එන මොහොතේ ඔහුට වැඳ ආචාර කළ විට ඔහු පැවසූ අරුත්බර වදන් ගඟුල්ට ජීවිතය දැකීමෙහි ලා වන කැඩපතක් විය.

“ගඟුල් සර්ට හෙට දවසෙදි හමුවෙන්නෙ තමන්ට වඩා අවුරුදු තුන හතරකින් විතරක් බාල තරුණ ළමයි. සර්ගෙ වයස මොකක් උනත් සර් හිතන්න ඕනෙ මේ මගෙ දරුවන් කියලා. ඒ දුවලා පුතාලා දිහා බලන්න ඕනෙ ඒ ඇහෙන්. එතකොට කවදාවත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. මම මේ ප්‍රශ්න ඇති වෙනවට නෙමෙයි වැ ඩිපරිස්සමටයි මේ දේවල් කියන්නෙ. සර් වගෙම මිහිදිනී දුව කියන්නෙ කවුද කියන එක ගැන මට විතරක් නෙමෙයි මේ මුළු ගමට ම පැහැදිලි චිත්‍රයක් තියෙනවා. අපේ හිත්වල ඒ චිත්‍රය ඇඳ ගත්තෙ අපිම තමයි. හැබැයි ඒකට හේතු උනේ ඔය දරුවන්ගෙ යහපත් කල්කිරියාව ම තමයි. මම දන්නවා ඔය දරුවො ඒ ලස්සන චිත්‍රෙ අවලස්සන කරන්නෙ නැහැ කියන එක. මේ ගමට හොඳ ශිෂ්‍ය පරම්පරාවක් හැදුවා වගේ හෙට දවසෙ රටට ලෝකෙට උගත්කම විතරක් නෙමෙයි මනුස්සකමත් තියෙන අය දෙන්න.”

“මාමගෙ වචන මට මහා ආශිර්වාදයක් වගෙම ශක්තියක්. මගෙ මේ ගත වෙච්ච කෙටිකාලීන ජීවිතයෙදි මම ගුරු ජීවිතය ගැන ගොඩක් අද්දැකීම් ලබලා තියෙනවා. පුංචිම ළමයින්ට උගන්නන්න මට හිතුණෙ දහය පන්තියෙදි. අපේ ගමේ අවට පුංචි නංගිලා මල්ලිලට මන් ගෙදර ළදරු පාසලක් දාලා ඉගැන්නුවා. ඒකට මට ආශිර්වාද කරලා ගොඩක් උදව් කළේ අපේ අම්මා. අම්මා එක දෙයක් විතරක් අවධාරණ කරලා කිව්වා. ඒ තමයි ඒ ඉගැන්වීම ඔයා කරන්න ඕනෙ පින්කමක් විදිහටයි කියන එක. ඒක නිසා බලෙන් හරි මට සල්ලි දෙන්න හදපු කිසිම අම්මා තාත්තා කෙනෙක්ගෙන් මම සල්ලි ගත්තෙ නැහැ. අම්මා කියපු තව දෙයක් තමයි කවදාවත් සල්ලි ඉස්සර කර ගන්න එපා කියන එක. අදටත් ඒක මගෙ හිතේ තදින් ම වැඩ කරනවා. ඊට පස්සෙ කාලෙක තමයි මාමෙ මට නිල වශයෙන් ම පාසල් ගුරුවරයෙක් වෙන්න ලැබුණෙ. ඒ මෙහෙදි. දැන් විශ්වවිද්‍යාලෙ උගන්නන අද්දැකීම ලැබිලා තියෙනවා.”  

“පුතා මම ගුරුවරයෙක් නොවුණට ගුරු ජීවිතේ ගැන මට දැනෙන දේවල් ටිකක් තියෙනවා. දැන් මට ගඟුල් සර් වෙනුවට පුතා කියන වචනෙන් කතා කරන්නැයි හිතෙන්නෙ. කමක් නැද්ද පුතා ඒකට.”

“එහෙම නේන්නං මාමෙ හොඳ. මමත් ගොඩක් කැමති එහෙම කතා කරනවට තමයි. දැන් මම කැමතියි මාමා කියාගෙන ආපු දේ තව ඉස්සරහට කියනවනං.”

“පුතා මට තේරෙන විදිහට ඔයා අර දහය පන්තයෙ දි ඉඳිද්දි කරලා තියෙන්නෙ දරුවන්ට පදනමක් දැමීම. ඒක හරියට ගෙදරකට අත්තිවාරමක් දැමීම. ඕ ඔයාම නාගොල්ලගමට ඇවිල්ලා කළේ දරුවන්ගේ ලෝකය දරුවන්ගෙ ගෙදර හදන්න ඕන කරන දේවල් දීපු එක. ඒක හරියට ගඩොල් වැලි සිමෙන්ති ළංකරගෙන කෙනෙක් ගෙයක් ගොඩ නගනවා වගෙ ්වැඩක්. අන්න ඒ වගෙ රුවන්ට අවශ්‍ය අඩුපාඩු දේවල් තමන්ගෙ අතින් වියදම් කරගෙන හරි ගෙනල්ලා මේ පුතා කළේ ඒ ශිෂ්‍යයන්ගෙ අධ්‍යාපන ලෝකෙ හදන එක. ඒ ඔයාට ම දැන් අවස්ථාව ලැබිලා තියෙනවා වහලෙ ගහන්න. ඒ විශ්වවිද්‍යාලෙදි. දැන් පුතා ගඟුල් කියන නමින් ඉන්නෙ ඒ අද්දැකීම් තුනම තියෙන කෙනෙක්. උඹට වරදින්නෙ නෑ පුතා ඒ වගෙම උඹේ ශිෂ්‍යයන්ට වරදින්නෙත් නැහැ. මම කවද හරි දවසක එනවා පුතා විශ්වවිද්‍යාලෙට උඹව බලන්න.”

ආචාර්ය අදිකාරම්තුමා සමන් සිත්තරා සිය ගුරුවරුන් වෙතින් මෙන් ම රන්බණ්ඩා මාමාගෙන් ද ඔහු උගත්තේ ශිෂ්‍ය ප්‍රජාවට ප්‍රදානය කළ යුත්තේ දැනුම පමණක් නොවන බව ය. ගඟුල් දැන් සිය ශිෂ්‍ය ප්‍රජාවට දැනුමට එහා ගිය තැනක තබා උගන්වන්නේ අන් කිසිවක් නොව ජීවිතය යි.

තමාට ආචාර්ය අදිකාරම්තුමාගේ සමන් සිත්තරාගේ හෝ සිය ගුරු පර්ෂදයේ හිස්තැන් පිරවිය නොහැකි බව ගඟුල් මැනවින ්අවබෝධ කොට ගෙන සිටියේ ය. එහෙත් සිය ජීවිත කාලය තුළ තමාට ද සිය ශක්ති පමණිනි කළ හැකි මෙහෙවරක තිබේ. සිය කායික අභාවය සිදු වන තෙක් එකී මෙහෙවරෙහි අඛණ්ඩ ව නිරත වීමට ඔහු අදිටන් කොට ගත්තේ ය. ඒ මෙහෙවරෙහි ලා යෙදෙන තමන් විසින් කළ යුතු ව ඇත්තේ අප එකිනෙකාගෙන් වෙන් කරන තැන් ළඟ රැඳීම නොව ඇති සමානතා අවබෝධ කොට ගෙන සහජීවනයෙන් ජීවත් වීම ය යන හැඟීම ඔහු තුළ නොඅඩුව ම විද්‍යමාන විය. ඔහු මෙතෙක් සිය ජීවිත කාලය පුරා කෙළේද ඒ සමානත්වයේ හුය සොයා යාම ය. තමාට ඇතැමම් අවස්ථාවලදී රිදවීමේ අදහසින ක්‍රියා කළ අය සමග පවා ඔහු කිසි විටෙකත් උරණ නොවූයේත් රිදවීමට නොරිදවීමෙන් පිළිතුරු දුන්නේත් එහෙයිනි. ඔහු කල්පනා කෙළේ සිය ජීවිත කාලය තුළ තමාට මුණ ගැසෙන ලොකු කුඩා කවරෙක් වේවා ඒ සෑම කෙනෙකුගෙන් ම තමාට ඉගෙනීමට දෙයක් ඇති බව ය. ඔහු කල්පනා කරන්නේ සිය හදට දැනෙන සුවඳ සමාජයට ප්‍රදානය කිරීමෙහි ලා වන මාර්ග ගැන ය. අමිහිර නොව මිහිර සමාජගත කළ හැකි මාර්ග ගැන ය. අනර්ථය නොව අර්ථය සම්ප්‍රදානය කළ හැකි මාවත් ගැන ය. එය කොන්දේසි විරහිත ව කළ යුතු දෙයකි. ආදරය මිත්‍රත්වය යනු ගනුදෙනුවක් නොව සම්ප්‍රදානයක් බව ගඟුල් දැන සිටියේ ය. ඔහු අවකාශ ලැබෙන හැම මොහොතක ම ජීවන පාඩම සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාවට කියා දුන්නේ ය.  

එක් තැනක් අතහඅර තවත් තැනකට යාමට සිදු වන අවස්ථා මේ ජීවිතයේ දී එළඹෙයි. අසීරු දෙය වන්නේ අනාදරණීය චරිත නොදැනෙන තැන් අත හරිම නොව ආදරණීය චරිත දැනෙන තැන් අත හැරීම ය. එහෙත් විස ලුයහපතක් උදෙසා එය කළ යුතු වේ නම් එහි ලා පැකිලිය යුතු නැත. එබුඳු අවස්ථාවලදීත් ගඟුල්ගේ සිතට වහා පිවිසෙන්නේ අදිකාරම්තුමා සහ සමන් සිත්තරා ය. මේ අතැර යන ගමනේ දී අත්හැරීමේ පාඩම අන් කිසිවකින් නොව සිය ජීවිතයෙන්ම කියා දුන් එවන් චරිත තමා සවිමත් කරන බව තමා ජීවත් කරවන බව ගඟුල්ට දැනිණ. ඒ වූකලී හදවගෙ ්පැළ වෙන මනුෂ්‍යයෝ ය.

හදවතේ පැළ වන පැළ කළ යුතු සුවිශේෂ මානව කොට්ඨාස අතරට අතරට අත්‍යන්තයෙන් එකතු කළ තවත් පිරිස් වෙති. කලාකරුවෝ ද විද්‍යාඥයෝ ද සාහිත්‍යධරයෝ ද ඊට අයත්වෙති. මේ මොහොතේ තමාට වරින් වර භාරතීය මහා සාහිත්‍යධර රබීන්ද්‍රනාත් තාගෝරයන් සිහි වන්නේ ඇයි දැයි ගඟුල් කල්පනා කෙළේ ය. ඒ ඔහු ජාති ආගම් දේශ සීමා ඉක්මවා යමින් සිය සුනිර්මාණාවලියෙන් අප්‍රමාණ හදවත්වල යහපත පළ කළ බැවිනි.
 
දේවපූජනයන්ගේ නාමයෙන් බිලිපූජා වශයෙන් කරනු ලබන ෂත්ත්ව හිංසනය තාගෝර්තුමා කිසි විටෙකත් අනුමත කෙළේ නැත. ගඟුල් එතුමන් විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද විශ්වභාරතී ශාන්ති නිකේතන පරිශ්‍රය දැක බලා ගැන්ම සඳහා ගිය ගමනේ දී අද්‍යතනයේත් බෝල්පුර් ඇතුළු කල්කටා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ඇතැම් දෙනා තුළ කාලි මාතා පූජනයේ නාමයෙන් සත්ත්ව බිලි පූජා කළ යුතු ය යන මානසිකත්වය තිබෙන බව අවබෝධ කොට ගත්තේ ය. එවන් සමාජයක් වෙනස් කළ හැක්කේ ඒ දේව සංකල්පයට සහ ඒ භක්තිවන්තයනට ගැරහීමෙන් නොවේ. තාගෝර් හිංසක මනස් වෙනස් කිරීම සඳහා භාවිතයට ගත්තේ අප්‍රමාණ කාලයක් තිස්සේ ඒ භාරතීය මනසෙහි පැළ ව තිබූ දේව භක්තිය ම ය. ඊට දිය හැකි හොඳම නිදර්ශනය වන්නේ ඔහුගේ 
Sacrafice නම් නිර්මාණය යි. එය ප්‍රවීණ පරිවර්තක සුදාස් මාසකෝරළයන් විසින් බිලිපූජා නමින් සිංහලයට නඟා තිබිණ. දැන් ගඟුල් ළඟ තිබෙන්නේ සමන් සිත්තරා විසින් පරිශීලනය කරන ලද පිටපත යි. එහි එක් තැනක මෙවන් සඳහනක් එයි.

“කාලි මාතාවෙනි, ඔබට කරන පුදපූජා සඳහා මල් පමණක්, ඔව් ලස්සණ මල් පමණක් තිබුණාවේ. මීට පසු රුධිර පූජා නැහැ. මේ වද මල් පොකුරුවල ලේ මෙන් රතුපාටක් තිබේ. තම දරුවන් මරා දමනු දැක වේදනා වූ සිත් ඇති මහී කාන්තාවගේ හදවත පැලී ඒවා මතු වී තිබේ. කාලි මාතාවෙනි, ඔබට පුද පිණිස ගෙන ආ මේ මල් බාර ගන්න.”

මේ ප්‍රකාශය තමා වෙතින් ගෙන ගිය මිහිදිනී එහි ඉංග්‍රීසි ග්‍රන්ථය ලැබෙන  තෙක් නොසිට එය ඉංග්‍රීසියට නඟා තමන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා දරුවනට කියා දුන්නා ය. එසේ මිහිදිනිය විසින් ද සිය සිසු හදවත්වල පැළ කරන ලද්දේ සත්‍ය වූ ආදරයේත් නිර්මල භක්තියේත් පරම අහිංසාවේත් පවිත්‍ර මල් පැළ යි. ඒ සුවඳ ඒ උගත් මොහොතට සීමා නොවී ඔවුන්ගේ මුළු මහත් ජීවිතය පුරා පවතින බව ගඟුල් මෙන් ම මිහිදිනී ද මැනවින් දැන සිටියා ය.

වරෙක ඉන්දීය නිදහස් දිනයකදී රබීන්ද්‍රනාත් තාගෝර් පැවසුවේ විදේශීය රජයන් විසින් අපට කරන ලද සහ නොකරන ලද දේවල් ගැන කිය කියා සිටීම නවත්වන ලෙස යි. එක් එක් දේ ඉල්ලමින් ඒ ඒ රාජ්‍යයන් වෙත යාචක ඉල්ලුම්පත් යැවීම නවත්වන ලෙස යි. අපගේ ම ප්‍රයත්නයෙන් අපට කළ හැකි දෙය ලොවට පෙන්වන ලෙස යි.  

අද නිදහස් දිනය යයි කියනු ලබන දවසේ නිදහස පිළිබඳ ව එතෙක් තමාගේ හදවතෙහි තිබූ අදහස ගලවා දමා නව අදහසක් පැළ කෙළේ සමන් සිත්තරා ය. ඔහු පැවසුවේ අප විසින් මේ කරනු ලබන්නේ දීර්ඝ කාලයක් තිස්සේ බලහත්කාරයෙන් අප යටපත් කරගෙන සිටින චෞර කණ්ඩායමකින් මිදුණු පසු ඒ මිදුණු දිනය වසරක් පාසා සිහි කිරීමක් බව ය. කිසියම් හොර කණ්ඩායමක් කිසියම් දිනක අපට හිරිහැර කොට අපේ නිවහන කොල්ල කා ගිය පසු හැම වසරක ම ඒ දිනය සිහි කිරීමේ ඇති නිරර්ථක භාවය සහ හාස්‍යජනක ස්වභාවය තමා ඇතුළු බොහෝ පිරිසකට කියා දුන්නේ සමන් සිත්තරා ය. එසේ ම සිය ආචාර්යවරයා දිනක් තමාට කියැවීම සඳහා ගෙනැවිත් දුන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද නිදහස නම් ලිපිය ද නිදහස ගැන තමා තුළ තිබූ ඇතැම් අදහස් ගලවා නව අදහස් හදවතේ රෝපණය කිරීමට හේතු විය. ඒවා සමාජගත කිරීම ද සිය ගුරු මෙහෙවරේ ම කොටසක් වන බව ගඟුල් කල්පනා කෙළේ ය.
70 දශකයට අයත් වසරක එක්තරා දිනයක දී අදිකාරම්තුමන් විසින්  නුගේගොඩ අනුලා ළදරු පාසල් ශාලාවේදී විශ්ෂයෙන් එවක ළමා වියේ සිටි දරු දැරියන් සහ වැඩිහිටියන් අමතා නිදහස නම් මාතෘකාව යටතේ එම දේශනය පවත්වනු ලැබ තිබිණ. කෙනෙකුට සැහැල්ලුවෙන ්සහ ෂතුටින් ජීවත් විය හැක්කේ අනතුරුදායක නොවන යහපත් සමාජ වටපිටාවක යි. සමාජය අයහපත් නම් අනතරුදායක නම් ඒ තත්ත්වය වෙනස් කළ යුත්තේ කෙසේ දැයි ප්‍රශ්න කළ විට එදා සභාවේ සිටි දරුවකු හෝ දැරියක විසින් දී ඇත්තේ පළමු කොට තමා හොඳ වීමෙන් බව යි. මේ මොහොතේ අදිකාරම්තුමා කියා ඇත්තේ තමා හොඳ වීමට නමම් පළමු කොට තමා තූළ ඇති නරක දැන ගත යුතු නොවේද කියා ය. අනෙකාට අයත් දෙය මංකොල්ල කන අයහපත් සමාජ වාතාවරණය වෙනස් කිරීම සඳහා ඒ වෙනස් කිරීමට ය නඅය විසින් අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක ්වෙයි. ඒ පළමුවෙන් එකී මංකොල්ලකාරී අයහපත් ගති ලක්ෂණ තමා තුළ ඇද්දැයි සොයා බැලීම ය. මේ මොහොතේ සභාව නිහඬ ව සිටින විට මෙතැන සිටින ඔබ කිසිවෙක් ලොතරැයි ගන්නේ නැද්දැයි ප්‍රශ්න කොට ඇත. ඒ මොහොතේ කිහිපදෙනෙක් තමන් විසින් එය කරනු ලබන බව පිළිගෙන ඇත. අදිකාරම් මහතා පවසන්නේ ලොතරැයි ගැනීම ද මංකොල්ලකෑමක් බව ය. තමා අඩු මුදකකට ලොතරැය්යක් මිලදී ගෙන ලක්ෂ ගණනක් කඩා ගැන්මට සිතීම තුළ ඇත්තේ මංකොල්ලකාරී මානසිකත්වයක් යන කරුණ එදින ඔහු අවධාරණ කොට ඇත. ඒ මහතා අප අබිමුව තබන ප්‍රශ්නය වන්නේ අපත් මංකොල්ලකරුවන් ව සිටියදී සමාජයේ මංකොල්ලකෑම නවත්වන්නේ කෙසේ ද යන්න යි. ඒ වන විට ඉඳහිට ලොතරැයි පතක් මිලදී ගැන්මට පුරුදු ව සිටි සිය තාත්තා සපුරා ඒ පුරුද්දෙන් මිදුණේ අදිකාරම් මහතාගේ එම ලේඛනය කියැවීමෙන් පසු ය. එම දේශනයේ අවසන් කොටස අද දවසේ ගඟුල් මෙසේ උපුටා දක්වන්නට සිතු‌වේද ඒ කියවන කවුරුන් හෝ සමාජ පවිත්‍ර කරවන උත්තම මානව කුලකයට අයත් වේවා යන පරමාභිලාෂයෙනි.

“සමාජය දූෂණය වීමට ඇත්තේ එක හේතුවක් පමණක් නොවේ. දැන් අපට දක්නට ලැබුණේ අප තුළ ම සැඟවී තිබුණු එක හේතුවකි. තමා තුළ නොදැනම එකක් තිබුණ බැ ව්අනාවරණය වූ විට එයින් සංවේගයටත් කුතුහලයටත් කෙනෙකු පත් වෙනවා ඇත. තව වෙැනි සමාජවිරෝධි හේතු කීයක් තමා තුළ ඇද්දැයි සෙවීමට සිතෙනවා ඇත. එවැනි මගකට පිළිපන් තැනැත්තා නිරායාසයෙන්ම සමාජය පිරිසිදු කරන්නෙක් වන්නේ ය.”  

අපට අවශ්‍ය කරන්නේ නිබඳ මේ සමාජ පවිත්‍රකාරක වන්දනා ගමනෙහි යෙදෙන තීර්ථ යාත්‍රිකයො ්ය. සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව යොමු කළ යුත්තේ එතැනට ය යන හැඟීම ගඟුල් තුළ වෙයි. මේ මොහොතේ ඔහුගේ හද මඬලට පිවිසියේ ආචාර්ය මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍යයේ එන පහත සඳහන් කාව්‍යෝක්තිය යි.

“වන්දනා ගමනක් ය ජීවිතය.
නොයෙක් මංවලින් යෙති වන්දනාකරුවෝ. එහෙත් ඒ යනුයේ එකම තැනකට ය.”

සිය ජීවන වන්දනාව අවසන කොතැනට යොමු වේද කියා කිසිවකුට කල් තියා කිව නොහැකි ය. ඒ අවබෝධය ගඟුල් තුළ ද වෙයි. කෙනෙකු විසින් අත්පත් කරගන්නා වූ නිවැරදි ගුරුවරයකු වෙතින් කෙනෙකුට ලැබෙන්නා වූ අධ්‍යාපනය මෙහිලා විශේෂයෙන් වැදගත් වෙයි. ගඟුල්ට මේ මොහොතේ සිහිපත් වූයේ සිය මුළු මහත් ජීවිත කාලය පුරා ලොව නිවැරදි අධ්‍යාපනය ස්ථාපිත කිරීම උදෙසා කටයුතු කළ ජේ. ක්‍රිෂ්ණමූර්ති නම් සුවිශිෂ්ට චින්තකයාගේ අදහස් සමුදායකි. ඔහු පවසන අන්දමට අතීත පරම්පරාවන් විසින් ලොවට දී ඇත්තේ විවිධ අපේක්ෂා සම්ප්‍රදාය සහ පරමාර්ථ පමණක් නොවේ. ඒ හා සමග ඔවුන් විසින් දොම්නසත් විනාශයත් දී තිබේ. අනාගත පරපුරට මේ වියවුල් බව නැති කොට ප්‍රීතිමත් සමාජයක් ගොඩ නගා ගත හැක්කේ හරි ආකාරයේ අධ්‍යාපනයක් ලදහොත් යැයි ක්‍රිෂ්ණමූර්ති කියා සිටියි. මේ සම්බන්ධ ව ක්‍රිෂ්ණමූර්ති විසින් කරනු ලැබ ඇති එක්තරා ප්‍රකාශයක් වෙත ගඟුල්ගේ නොමඳ අවධානය යොමු විය. ඔහු දැන් කල්පනා කරන්නේ මෙහි පහත සඳහන් කරනු ලබන එම ප්‍රකාශය විශේෂයෙන් සරසවි - පාසල් - පිරිවෙන් සහ ළදරු පාසල්වල සේවය කරන ගුරුප්‍රජාව අතට පත් කිරීමේ ක්‍රමයක් ගැන ය. මන්ද දරුවා නමැති සමාජය විෂයයෙහි අත්‍යන්තයෙන් වැදගත් වන ශිෂ්‍යයා නමැති අනර්ඝ නිෂ්පාදනය ප්‍රදානය කරන වගකිව යු නිෂ්පාදකයා වන්නේ ඔහු හෝ ඇය බැවිනි.

“අර්බුදයකින් ගොඩ ඒමට නම් මිනිසා කොටස්වලට කැඩී ගිය අයකු ලෙෂ නොපැවතිය යුතු ය. ඔශු සමාහිත අයෙකු විය යුතු ය. වර්තමාන ලෝක අර්බුදයෙහි මෙය වඩාත්ම සත්‍ය වෙයි. අධ්‍යාපනය ගැන ඇත්ත වශයෙන් උනන්දු වන ගුරුවරුන් හා දෙමව්පියන් ඇතොත් ඔවුන්ට මුහුණ දීමට සිදු වන ප්‍රශ්නය මෙයයි. එනම් සමාහිත පුද්ගලයකු ඇති කරන්නේ කෙසේද යනුයි. එනම් සමාහිත පුද්ගලයකු ඇති කරන්නේ කෙසේද යනුයි. මෙය කිරීමට නම් උගන්වන්නා ද සමාහිත පුද්ගලයකු හෙවත් කොටස්වලට නොබෙදුණු පුද්ගලයකු විය යුතුයි. ඒ නිසා බාල අයට පමණක් නොව වැඩිහිටි අයටත් ඉතා වැදගත් දෙය වන්නේ හරි ආකාරයේ අධ්‍යාපනයයි.”  

සිය ආචාර්යවරයා වැඩුණේ සමාහිත අධ්‍යාපනය වචන මට්ටමින් නොව වර්යාත්මක ව ප්‍රකාශයට පත් කළ ගුරු සෙවනක ය. ඒ සෙවණින් ලද සිසිල සහ සුවය ගැන ඔහු තමාට කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. සිය ශිෂ්‍ය අවදියේ පටන් එනම් ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ සිය ආචාර්යවරයා විසින් තබන ලද දින සටහන් රැසක් කියැවීමට ඔහුගේ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන තමා ඇතුළු කිහිප දෙනෙකුට අම අවස්ථාව ලැබිණ. ඒ ඒවා පුද්ගලික භාවය ඉක්මවා ගිය අපෞද්ගලික සටහන් බැවිනි. මේ මොහොතේ ද සිය ගුරුවරයා සිය සරසවි ශිෂ්‍ය ජීවිතයේ අවසන් වසරේ දී සිංහල සංස්කෘත සහ ඉංග්‍රීසි යන තෙබසින් ගබන ලද දින සටහන් පොත් තුනක් තමා ඉදිරියේ තිබේ. එකම දවසේ භාෂා තුනකින් දින පොත් තුනක සටහන් තබන්නේ ඇයි දැයි විමසූ තමාට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

“මෙහෙමයි ගඟුල් මම සංස්කෘතයෙන් දින සටහන් ලියන්න ගත්තෙ මගෙ භාෂා දැනීම දියුණු කර ගැනීමේ අදහසින්. ඔයා දන්නවනෙ සංස්කෘතයෙ අතීත අනාගත වර්තමාන කාල ත්‍රය යටතේ ඉගැනේවෙන ආඛ්‍යාත ප්‍රභේද දහයක් තියෙනවා කියන එක. එතකොට ආත්මනේ පද පරස්මෛපද විදිහට ගත්තහම ඔක්කොම විස්සයි. ඒක වචන ද්විවචන බහුවචන වශයෙනුත් ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ වශයෙන් ගත්තහම නමයෙ නමයෙ ආඛ්‍යාත වගුනෙ හැදෙන්නෙ. එතකොට ආත්මනේ පදයට වගු 10 යි ආඛ්‍යාත රූප 90 යි. ඒ විදිහට පරස්මෛපදයටත් ආඛ්‍යාත රූප 90 යි. මම එක මාසයක් යනකන් ම ඔයගොල්ල වර්තමාන කාලය හැටියට ඉගෙන ගත්ත ලට් ආඛ්‍යාත රූප භාවිතයට අරන් දින සටහන් ලියනවා. තව මාසයක් අතීත කාලයෙන්; තව මාසයක් අනාගතයෙන්. ඔන්න ඔය විදිහට මුලදි මම මගෙ සංස්කෘත දිනපොත ඒ භාෂාව දියුණු කර ගන්න මාධ්‍යයක් බවට පත් කර ගත්තා. ඒ අතරෙදි සංස්කෘත සාහිත්‍යෙ ලස්සන තැනක් හම්බ උනහම මම ඒකත් දිනපොතේ ලියනවා.”

“එතකොට සර් ඉංග්‍රීසියෙන් දිනපොතකුත් ලියන්න ගත්තෙ. ඒකත් ඒ භාෂාව ගැන දියුණු කර ගන්න මාධ්‍යයක් හැටියට ද?”

“ඔව් එක පැත්තකින් එහෙම කියන එකත් හරි. මම දවසෙ සිදුවීම් විතරක් නෙමෙයි එදිනෙදා පොතපත කියවීමෙන් හමුවෙන අර්ථවත් ප්‍රකාශයක් දැක්කහම ඒකත් ලියා ගන්නවා. ඊළඟට නාරද හාමුදරුවන්ගෙ අදිකාරම්තුමාගෙ ඉංග්‍රීසි ලියවිලිවල භාෂා රටා දිහා බලලා මගෙ වාක්‍ය හදා ගන්නවා. අය්යට කියලා මම ලියපු වාක්‍යවල අඩුපාඩු බලා ගන්නවා.”

“ඒ කියන්නෙ සර්ගෙ දිනපොත් තුන අපට ෂලකන්න වෙන්නෙ ඒ ඒ දිනයට අයත් එක ම සිදුවීම් ගැන තියෙන භාෂා තුනකින් තියෙන පොත් තුනකට වඩා එකිනෙකට වෙනස් වෙනස් දේවල් ගැන ලියවෙච්ච පොත් තුනක් හැටියට නේද?”

“එකම සිදුවීම ගැන භාෂා තුනෙන් ම ලියවුණු අවස්ථාත් තියෙනවා. ඒ වගෙම වෙනස් වෙනස් සිදුවීම් දේවල් ගැන ලියපු අවස්ථාත් තියෙනවා.”

“සංස්කෘත සිංහල භාෂා දෙකෙන් දිනපොත් දෙකක් ලියන අතරෙ ඇයි සර් තව සිංහලෙනුත් දින පොතක් ලියන්න ගත්තෙ?”

“ගඟුල් ඔය ප්‍රශ්නෙටත් මට පැහැදිලි උත්තරයක් තියෙනවා. මොකද මට අදටත් ඔය භාෂා තුන සම්බන්ධයෙන් තියෙන්නෙ එකිනෙකට සමාන දැනුමක් නෙමෙයි. සිංහලෙන් සරි සංස්කෘතෙන් හරි කියා ගන්න බැරි දේවල් මට පැහැදිලිව වගේ ම හොඳට නිවැරදි ව කිය ගන්න පුළුවන් වෙන්නෙ මගෙ මාතෘ භාෂාවෙන්. මොකද කෙනෙකුට හද බස වෙන්නෙ තමන්ගෙ මාතෘ භාෂාව. ඒක මට විතරක් නෙමෙයි ඔයාටත් අදාළයි. තමන්ගෙ ආත්මය මරා ගත්තෙ නැති වෙන ඕනෙම කෙනෙකුටත් අදාළයි.”

“සර් මොකක් ද මේ ආත්මය මරා ගත්තෙ නැති කියන එකෙන් අදහස් කළේ.”  
“මෙහෙමයි ගඟුල් අපි මෙහෙම හිතපු කෙනෙක් පුංචි කාලෙ ඉඳලම තමන්ගෙ මාතෘ භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ප්‍රගුණ කරනවා කියලා. ඒ කියන්නෙ සිංහල හරි දෙමළ හරි භාෂා කතා කරන කෙනෙක් ඉංග්‍රීසි ආදි වශයෙන්. මාතෘ භාෂාව මරා ගන්නෙ නැතුව කොයි තරම් දුරකට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් ජීවිතේ තීරණාත්මක තැන් දේවල්වලදි එයා පාවිච්චි කරන්නෙ තමන්ගෙ හද බස. අන්න එතන තමයි අව්‍යාජත්වය තියෙන්නෙ නිවැරදි සන්නිවේදනය තියෙන්නෙ.”

“මට හිතෙන්නෙ සර් මේක අපි වෙන ම කාලයක් අරගෙන කතා කරන්න ඕන කරන මාතෘකාවක් කියලයි.”
 
මේ මොහොතේ ගඟුල් එකී අතීත ස්මරණයන්ගෙන් මිදුණේ සිය ජංගම දූරකථනය නාද වූ බැවිනි. ඒ කතා කෙළේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සරසවි මිත්‍රයකු වන පූජ්‍ය දෙයියන්දර සුමනජෝති ස්වාමීන් වහන්සේ ය.

“ඔන්න ගඟුල් මම අද නිදහස ගැන ඉස්කෝලෙක දේශනයක් කළා. අදිකාරම්තුමා ලියපු දේවල් අපේ සර් එක්ක ඔයා එක්ක කතා කරපු දේවලුත් අරගෙන බුද්ධ වචනය පදනම හැටියට අරගෙන තමයි මම මගෙ කතාව කළේ. මන් දැන් කතා කළේ මේ දේවල් ගැන වෙලාව අරගෙන මාත් එක්ක ඔයා ටෙලිෆෝන් එකෙන් කතා කළාට පින් දෙන්න.”

“අපෙ හාමුදුරුවනේ ඒකට ඔබ වහන්සෙ මට අමුතුවෙන් පින් දෙන්න ඕනෙ නැහැ. බුද්ධ පුත්‍රයෙක් එක්ක දැනුම හුවමාරු කරගන්න ලබෙන එක මම සලකන්නෙ පින්කමක් හැටියට. ලබන සතියෙ මම වැලිගම පැත්තෙ එනවා. ඒ එනකොට අනිවාරෙන්ම ඔබ වහන්සෙ බලන්නත් එනවා.”

“කොච්චර දෙයක් ද ඒක. මට කියන්න ඔයා එන දවස. ඒක නෙමෙයි මේ දවස්වල ගඟුල් මොකක් ද විශේෂයෙන් කරන්නෙ.”
“විශ්වවිද්‍යාලෙ උගන්නන එක. දේශනවලට සූදානම් වෙන එක. අලුත් පොතක් ලියන එක. ඒවා තමයි. හැබැයි ඒ පොත ලියන වැඩේට ගොඩක් උදව් වෙන වැඩක් තමයි මේ දවස්වල කරන්නෙ.”

“මොකක් ද ගඟුල් ඒ වැඩේ.”

“හාමුදුරුවනෙ මම මේ දවස්වල සර්ගෙ දින සටහන් අධ්‍යයනය කරනවා.”

“ඒ කිව්වෙ අපේ සහන් සර්ගෙ ද?”
 
“ඔව් ඔව් සර්ගෙ තමයි. සර් ඒක දුන්නෙත් අමුතු කතාවක් කියලයි.”

“මොකක් ද ඒ අමුතු කතාව ගඟුල්.”  

“මෙන්න මෙහෙමයි හාමුදුරුවනේ සර් කිව්වෙ. මන් කිව්වහම දින සටහන් කියන්නේ කෙනෙක්ගෙ පෞද්ගලික දෙයක් නේද කියලා සර් කිව්වෙ නෑ මේවා අපෞද්ගලිකයි කියලා. ඊළඟට සර් කිව්වා ඇතැම් දෙනා කවර හරි කාලෙක ලියලා තියෙන දින සටහන් පස්සෙ කාලෙක දි ඉතිහාසය ගැන උනන්දු අයටත් වැදගත් වෙනවා කියන එක. සර් කියපු අනිත් වැදගත් කාරණේ තමයි දසක හතරකටත් වැඩි කාලයක් තිස්සෙ තමන් තබපු සටහන්වලින් මතු කර ගන්න කාරණා ගැන ලියලා ඉවර කරන්න තමන්ගෙ ජීවිත කාලෙ මදි කියන එක. ඒක නිසා ඒවා ලියයි කියලා හිතන කෙනෙකුට දෙන එක කළ යුතු බව. ඒක නිසා මම දැන් මට පුළුවන් දේ කරනවා. ඔබ වහන්සෙ අතට දුන්නොත් වැඩි දෙයක් ලෝකෙට යයි කියලා හිතෙන සටහනක ්හම්බ උනොත් මම ඒක ඔබ වහන්සෙට දෙනවා. සුදුසු අය අතට ඒ සටහන් පත් කිරීමේ උපරිම නිදහසත් මට දීලයි තියෙන්නෙ.”

“ඒක හොඳයි එහෙමනං ඉස්සෙල්ල ඔයා මෙහෙ එන එක නෙමෙයි මම එන්නං ඊට කලින් කොළඹ. මම අනිද්දා කොළඹ එනව ද නැද්ද කියන එක ගැන ස්ථිර අදහසක් නැතුවයි හිටියෙ. ඔන්න ඔය දිනපොත් කතාවත් එක්ක මම ඒක දැන් ස්ථිර කරනවා. අපි අනිද්දට හම්බ වෙලා ම කතා කරමුකො ගඟුල්.”

මේ එළැඹ ඇත්තේ ඒ දිනය යි. සිය ආචාර්යවරයගේ 1985 වර්ෂයට අයත් සිංහල සහ ඉංග්‍රීසි දින පොත් ගඟුල් ඉදිරියෙන් තැබූ පූජ්‍ය සුමනජෝති ස්වාමීන් වහන්සේ තමා ඉදිරියෙන් තබා ගත්තේ ඔහුගේ සංස්කෘත දිනපොතයි. එහි සිංහල දිනපොතේ තිබු පහත සඳහන් සටහන වෙතට මේ ගිහි පැවිදි කල්‍යාණ මිත්‍ර යුග්මයේ අවධානය යොමු විය.

“නව වසරක් උදා විණ. මට තාගෝර්තුමන්ගේ අදහසක් සිහිපත් වෙයි. දින සහ රාත්‍රි පසු වෙයි. යුග පිපී පර ව යයි මල් මෙන්. ශ්‍යාමා අක්කා සිය ළදරු දියණියන් දෙදෙනා සමග මෙහි පැමිණියා. එක් දැරියක් ගෙමිදුලේ ඇති මල් ගස් දෙස බලා මල් පිපෙන්න අපට කඩා ගෙන යන්න යයි පැවසුවා. මිනිස් සිත් කුඩා දරුවන්ගේ මෙන් වුවහොත් ලොව මීට වඩා ලස්සන ගැනක් වනු ඇතැයි හැඟේ.”
ඉංග්‍රීසි දිනපොතේ ඉහත සඳහන් තාගෝර් පාඨයට අයත් මේ ඉංග්‍රීසි මූල පාඨය ද විය.

Days and nights pass and ages bloom and fade like flowers.


එම දිනපොතේ ම තවත් තැනක සටහන් කොට තිබුණේ සිය හදවත එදින කිව නොහෙන තරම් සක්‍රිය සහ සංසල ආනන්දයකින් පිරී ඇති බව යි. දිනෙන් දින සිය වාක් කෝශයට එක් කොට ගන්නා වචන සහ ඉගෙන ගන්නා වාග්රටා භාවිත කරමින් ඔහු ඒ අදහස ලියා තිබුණේ මේ ආකාරයට යි.

I do not know why today my life is all astir and feeling of tremulous joy is passing through my heart.

සමාජයක් සමන්විත විය යුත්තේ සුන්දර ආනන්දනීය සිත් ඇති මානවයන්ගෙනි. අපට ඇතැම් විට ජීවිතයේ සුළු සිද්ධීන් වශයෙන් සිතා අමතක කොට දමන දෙයක් පවා සිය ආචාර්යවරයා තමන්ගේ දින සටහන් අතරට එක් කොට ගෙන තිබෙනු මෙම ශිෂ්‍ය යුග්මයට දැක ගැන්මට ලැබිණ. එවන් එක් සටහනක් 1985 ජනවාරි 05 දින සටහනෙහි ඇතුළත් විය. එය කියැවූ පූජ්‍ය සුමනජෝති හිමියන් පැවසුවේ ඒ වූකලී ආදරය හඳුනන ආනන්දනීය මිනිසකු පිළිබඳ ව තබා ඇති සටහනක් බව යි.  

“මිනිසුන් තුළ ආදරය නැත්තේ නොවේ. මා ගිය බස්රියට කුඩා දැරියක වඩා ගත් තරුණ පියෙක් ගොඩ වුණා. බස්රිය සෙනඟින් පිරී තිබුණ නිසා කෙනෙකුට නැගිට ඉඩ දෙන්නට තරම්වත් හැකියාවක් තිබුණේ නැහැ. මා දැරිය වඩාගෙන හිඳ සිටි කාන්තාවකට දුන්නා. ඈ ඒ දැරිය දෝතින් ම ගෙන සිය උකුළෙහි තබා ගත්තේ මහත් සෙනෙහසකින්.”

එම වසරේ ම 10 වැනි දා සටහනෙහි සෙව් මනෝ යන සිය ඥාති සොයුරියන් දෙදෙනකුට ධම්මපදයේ ඇතැම් ගාථාවක් තේරුම් කොට දුන් බව සඳහන් කොට තිබිණ. එදින එයිනික්බිති එන සටහන එදාටත් වඩා වලංගු වන්නේ අදට නොවේ දැයි ගඟුල්ට සිතිණ. සැම තැනම දක්නට ලැබෙන්නේ පිපී එන යෞවනය විනාශ කරන ලකුණු බවත් අසන දකින කියවන දෙය හේතු වන්නේ සිත් සැනසීමට නොව කැළඹීමට බවත් එහි සඳහන් විය. එහි තවදුරටත් සඳහන් කොට තිබුණේ උගත්කමත් ගුණවත්කමත් එක්තැන් කළ මිනිසුන් ලොව දුලබ වීම සමාජ පරිහානියෙහිලා බලපාන ප්‍රබල හේතුවක් බව යි. මේ වකවානුවට අයත් දින සටහන්වලින් නොමඳ ව ආචාර්ය අදිකාරම්තුමන්ගේ ජීවන දර්ශනය ද ප්‍රකාශයට පත් වනු පෙනිණ. යටකී ප්‍රකාශය තමන් ඇතුළු අද්‍යතන ගුරු පරපුරට තමන්ගේ මෙහෙවර ද සිහිපත් කොට දෙන්නේ ය යන කරුණ ද ගඟුල් අවබෝධ කොට ගත්තේ ය. තමා යහපත් වී අදාළ උගත්කම් තවදුරටත් සපුරාගෙන උගත්කමත් ගුණවත්කමත් එකට එකතු වී නව පරපුරක් තැනීම සඳහා කැපවිය යුතු යන කරුණ වෙත මේ ආදි විද්‍යාර්ථීන් දෙදෙනාගේ ම නොමඳ අවධානය යොමු විය.

එ ්වනවිට සිය ආචාර්යවරයාගේ සංස්කෘත දිනසටහන් පොත කියවමින් සිටි පූජ්‍ය සුමනජෝති හිමියෝ එහි තමාට වඩාත් දැනුණු තැන් වෙත ගඟුල්ගේ අවධානය ද යොමු කළහ. එහි කලින් කී සිංහල ඉංග්‍රීසි දිනපොතෙහි සඳහන් ඇතැම් කරුණු ද විය. එයට අමතර ව සංස්කෘත දෛනික පුස්තකයට පමණක් සීමා වූ කරුණු ද විය.

“බලන්ඩකො ගඟුල් සර්ලගෙ දන් පින්කම්වලට මුස්ලිම් සහෝදරියොත් සම්බන්ධ වෙලා තියෙනවනෙ බොහොම හැඟීමකින්. මේ දිනපොතේ ජනවාරි හයවෙනිදා බිස්තානි කියන මුස්ලිම් සහෝදරිය ගෙදරින් හිටන් කෑම ජාති හදාගෙන දානෙට ආවා කියලා මේකෙ තියෙනවා.”

“හාමුදුරුවනේ සහජීවනය ගැන කතා කරනවට වඩා වැදගත් වෙන්නෙ ඒක තම තමන්ගෙ ජීවිතවලින් ක්‍රියාත්මක වන අව්‍යාජ ක්‍රියාකාරකමක් වෙන එක. සමන් සිත්තරා තමන්ගේ කායික මරණය සිද්ද වෙනකන් ම ඒක කළා. එයා වෙනුවෙන් පැවතිච්ච පින්කම්වලදිත් තමන්ට පුළුවන් විදිහට ඒ ජීවන දර්ශනය ක්‍රියාත්මක කරලා තිබුණා. සමන් අය්යා වෙනුවෙන් කරපු පින්කම් කිීපෙකට අපිත් සම්බන්ධ වෙලා තියෙනවා සර්ගෙ ශිෂ්‍යයො හැටියට. මට මතකයි එක පින්කමකදි දන් බෙදන්න සර්ගෙ මාතරින් යාළුවො තුන්දෙනෙක් ඇවිත් හිටියා මුළු දානෙටයි එන පිරිසටයි ඇති වෙන විදිහට කිරිත් පැණිත් අරගෙන. එක්කෙනෙක් බෞද්ධ තව එක් කෙනෙක් කතෝලික අනිත් එක්කෙනා මුස්ලිම්. ඒ තුන්දෙනාම ආචාර්ය අදිකාරම්තුමාගෙ ඇසුර ලබපු වෙජිටේරියන්ස්ලා. ඒ නිර්මාංසික දාන පින්කමේදි ඒ තුන්දෙනා ම බොහොම හැඟීමකින් දන් බෙදපු හැටිත් අපි දැක්කා.”

“ගඟුල් ඒ තුන් දෙනා ම ඔයා භෞතික වත් දැක්කා. හැබැයි ඔයාට කියන්න බැහැ ඒ අය මම දැක්කෙ නැහැ කියලා. මොක ද ඒ තුන් දෙනා ගැන ම මමත් දන්න නිසා.”

“සර්ලගෙ පින්කමකදි අපේ හාමුදුරුවන්ටත් ඒ අය සර්ලගෙ පින්කමකදි හම්බ වෙලා තියෙනව ද?”  

“පින්කමකදි නම් හම්බ වෙලා නැහැ. ඔයා මේ කියන්නෙ මාතර නිර්මාංසික දේවල් විතරක් තියාගෙන කඩයක් කරපු ජයසුන්දර මහත්තයයි අපේ භික්ෂූන් වහන්සේලගෙත් කල්‍යාණ මිත්‍රයෙක් වෙච්ච නිර්මාංසාහාර සමිතියෙ මාතර සංවිධානෙ ලේකම් හැටියට වැඩ කරපු මාතර හරිශ්චන්ද්‍රෙ වැඩ කරපු පීරිස් කියන කතෝලික මිත්‍රයයි ඒ දෙන්නත් එක්ක අදිකාරම්තුමා බලන්න ආව ගිය සමානුදීන් මහත්තයයි ගැන නේද?”

“ඔබ වහන්සෙ කොහොම ද දන්නෙ මේ අය ගැන. ඒ කිව්ව නම් තුන නම් හරියටම හරි.”

ගඟුල් එසේ පැවසුවේ විස්මය පත් ව ය.

“පුදුම වෙන්න දෙයක් නැහැ ගඟුල් මමත් මේ ඒ ගොල්ලො ගැන දැන ගත්තෙ සර්ගෙ මේ දිනපොත්වලින් ම තමයි. ඒ විතරක් නෙමෙයි සර් අපිට උගන්නපු ඇතැම් උපනිෂද් පාඨයක් අපට ආයෙත් හම්බ වෙනවා සර්ගෙ මේ දිනපොත්වලින්. මෙන්න දිනය 85 ජනවාරි 14. පලිහවඩන සර් කඨෝපනිෂදය උගන්නන කොට පැහැදිලි කරපු පද්‍යයක් මෙතන තියෙනවා. මේක මට වැඩියෙන් දැනෙන්නෙ ඒකෙ තියෙන බෞද්ධ සම්ප්‍රදායට කිට්ටුකම වගෙම මමත් බුද්ධ පුත්‍රයෙක් නිසා වෙන්න ඇති.”

“එහෙනං හාමුදුරුවනේ ඒක මටත් දැනේවි. මොකක් ද ඒ පද්‍යය.”

“මම ඉස්සෙල්ලා කියන්නං අර්ථෙ. ඔයත් උපනිෂද් ඉගෙන ගෙන තියෙන නිසා මේක කියන කොටම පද්‍යය මතක් වේවි. මනුෂ්‍යයෙක් තමා සන්තකය කියලා හිතාගෙන ඉන්න හැම දෙයක් ම අනිත්‍යයි; මේවා සියලු ම ඉඳුරන්ගේ ශක්තිය දිරාපත් කරනවා. අපි ගොඩක් දිගයි කියලා හිතාගෙන ඉන්න ජීවිතයත් ඇත්තට ම බැලුවහම ස්වල්පයයි. ඒක නිසා යමු දෙවියනි ඔබ මට මේ දෙන්න හදන දේවල් මට එපා ඔබ ම තියා ගන්න. මෙන්න මේ අදහස තියෙන පද්‍යය මතක ද ගඟුල්ට.”

“කොහොමද හාමුදරුවනේ ඒවා අමතක වෙන්නෙ. අපේ සර් ඔය පද්‍යය තේරුම් කළේ අපට ලොකු විවරණයකුත් එක්ක. ඒ වගෙම සර් එදා කිව්වා ඒ විවරණයෙ තමන් නෙමෙයි පලිහවඩන සර් කියන එක. ඔය මරණින් මතු ජීවිතයක් ඇද්ද නැද්ද කියන කාරණය ගැන නචිකේතස් කියන තරුණයා ධර්මයේ දෙවියා වන යමගෙන් ප්‍රශ්න කරපු වෙලාවෙ යම කියනවනෙ ඒ ගැන ප්‍රශ්න නොකර මම ප්‍රදානය කරන මේ ඇත් අසුන් වෙනත් සිවුපාවුන් රන් රිදී විසල් බිම් රථ සොඳුරු ලියන් අරගෙන දීර්ඝායුෂ විඳලා දරු මුනුබුරන් හදාගෙන ජීවත් වෙන්න කියලා. අන්න ඒකට නචිකේතස් දුන්න උත්තරේනෙ හාමුදුරුවනේ ඒ.”

“ගඟුල් අපේ ආදරණීයයන්ට දැන ගන්න අපි ඒක එකතු කරමු ද ඒ පද්‍යය ගුරු දියවරට.”

පූජ්‍ය සුමනජෝති හිමියන්ගේ ඉල්ලීම පරිදි ගඟුල් මේ ගුරු දියවරට මුසු කරන්නේ උපනිෂද් දිය පොදයි.

“ශ්වෝභාවා මර්ත්‍යස්‍ය යදන්තකෛතත්  -  සර්වේන්ද්‍රියාණාං ජරයන්ති තේජඃ
 අපි සර්වං ජීවිතමල්පමේව   -   තවෛව වාහාස්තව නෘත්‍යගීතේ”  

තවදුරටත් සිංහල දිනපොත කියවාගෙන යන ගඟුල්ට දක්නට ලැබුණේ වරින් වර ඊට අදිකාරම් චින්තනය ද මුසු වන ආකාරය යි. සිය ආචාර්යවරයා අද දවසේත් ඉමහත් ගෞරවාදරයකින් සිහිපත් කරන ආචාර්ය සරත්චන්ද්‍ර ජයකොඩි ඇදුරුතුමා 84 ජනවාරි 12 වැනි දා අදිකාරම්තුමන් හමු වීමට පැමිණි බව එදින සටයනෙහි සඳහන් ව තිබිණ. එදින අදිකාරම්තුමන් විසින් මෙවන් ප්‍රකාශයක් කොට තිබිණ.
“සමාජයේ හැමතැනකම තියෙන්නෙ භේද. වෙන භේද නැතුවට ද මන්දා තව ගැහැණු පිරිමි කියලා භේදයකුත් මතු කරගෙන තියෙනවා. අපි හැම කෙනෙකුගෙම අම්මා ගැහැනියක් තාත්තා පිරිමියෙක්. මේ එකම ජීවයක්නෙ ගලා යන්නේ.”

මේ වූකලී තරුණ ශිෂ්‍ය මාණවකයනට සහ ශිෂ්‍ය මාණවිකාවනට උගන්වන ගුරුවරයකු වන තමා විසින් ද විෂය දැනුමට අමතරව ඔවුන් වෙත අනිවාර්යයෙන් ම සම්ප්‍රේෂණය කළ යුතු අත්‍යනර්ඝ පණිවිඩයකි.

සිය ආචාර්යවරයාගේ සරසවි ජීවන සමය හා බැඳුණු දින සටහන් කියවද්දී හමුවන චරිත රැසක් වෙයි. එවක වෛද්‍ය ශිෂ්‍යයකු වන අශෝක ධර්මප්‍රිය ඉන් එක් අයෙකි. ඔහු තමාත් තම සොහොයුරාත් සමග ජීවිතයේ නොයෙක් දේ කතා කළ සහෘදයකු බව සිය ආචාර්යවරයා පවසා තිබේ. 1985 වර්ෂයේ සංස්කෘත සහ ඉංග්‍රීසි සටහන් ලියූ දිනපොත් දෙක තෑගි කොට ඇත්තේ ද ඒ අශෝක නමින් හැඳින්වෙන මිතුරා විසිනි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ ව සිය සොහොයුරා සහ අශෝක මිතුරා අතර ඇති වූ සංකථනයකි. ස්ත්‍රී පුරුෂ සහ සම්බන්ධයේදී වෙන වෙන ඇති දේහ මූර්ති දෙකක් එකට එකතු වීමෙන් හැදෙන නව ජීවිතය ගැන සමන් සිත්තරා කතා කරද්දී අශෝක පවසා ඇත්තේ අගුළු යතුරු සංකල්පය නම් විද්‍යාත්මක සංකල්පයක් ගැන යි. ඊට අනුව එක් දෙයකට ඇතුළු විය හැකි තවත් දෙයක් තිබේ. දොර සිදුරකට ඊට අදාළ යතුර අල්මාරියක ලාච්චුවක් දැමීමේ දී ඊට සමපාත වන අවකාශය ආදි වශයෙනි. අදාළ දෙයට අනුගත නිවැරදි පරිමාවට අනුව ඒ දෙය නිර්මාණය වී නැත්නම් ඒවා එකට එකක් පෑහෙන්නේ නැත. මෙය ස්ත්‍රී පුරුෂ සහසම්බන්ධය සම්බන්ධයෙන් ගළපා ගත යුත්තේ භෞතික කාරණා සම්බන්ධයෙන් පමණක් නොවේ. එය ආධ්‍යාත්මික වශයෙන් වන ගැළපීමට ද අදාළ වෙයි. විවාහයක දී තමාට නොගැළපෙන නිවැරදි අර්ධය හමු නොවීම යනු එම විවාහය අසාර්ථක වීම බව සමන් සිත්තරා පැවසා තිබිණ. කලා විද්‍යා දෘෂ්ටි කෝණයෙන් සිදු කැරුණු යථෝක්ත සංකථනයනට තමා යෞවන ශ්‍රාවකයකු වශයෙන් සම්බන්ධ වූ බව සහන් සිය ශිෂ්‍යයාට පවසා තිබිණ.
 
සිය ආචාර්යවරයා සිරිල් ජගත් ආරි රුවන් බිම්බා සුදර්ශී ශිරෝමී වසන්තා නිරූපා යන මිතුරු මිතුරියන් සමග කළ සංකථන ද මේ දිනපොත් කියවාගෙන යන කෙනෙකුට හමු වෙයි. පසුකාලීන ව ගුරු ජීවිතයට භාග්‍යවත් වූ සුදර්ශී ගීතදහරා නම් මිතුරිය කළ සඳහනක් 85 ජනවාරි 15 දින සටහනෙහි එයි. ගඟුල් එය ද සිය කලණ මිතුරු පැවිදි යති රුවන සමග මෙසේ බෙදා ගත්තේ ය.

“වඩාත් සමීප ව කෙනෙක් ඇසුරු කරන එක වෙලාවකට හරි හිරිහැරයක්. එතකොට නිතරම ඔළුවට එන්නෙ ඒක. කිසිම දෙයකට වැඩි බැඳීමක් නැතුව තනියම ඉන්න එක තමයි හොඳ. එතකොට කිසි කරදරයක් නැහැ.”  

තරුණ තරුණියන් අතර එක්තරා ආකාරයක දාර්ශනික ස්වරූපයක් ගන්නා මෙවන් සංකථන ඇති වීමේ වැදගත්කම ගැන ගඟුල් සිය මිතුරු යතිවරයා සමග පැවසූ විට උන් වහන්සේ පැවසුවේ ද ඒවා කාලේන ධම්ම සාකච්ඡා යන්නට ම ඇතුළත් කළ හැකි බව යි. 85 ජනවාරි 19 වැනි දා සිය ආචාර්යවරයා විසින් තබන ලද පහත එන සටහන ද ධර්ම සංකථනයක් උදෙසා පාදක කොට ගත හැකි යයි ගඟුල්ට සිතිණ.

“ශෝකයෙන් හා ප්‍රීතියෙන් මිදී ජීවත් විය නොහැකි ද යන කරුණ වෙත ඇතැම් විට මසිත යොමු වෙයි. ක්‍ිවිතයේ යම් යම් අවස්ථාවලදී මේ තත්ත්වයෙන් සිත පවතියි. ඒ මොහොතේ පවතින්නේ විශාල සැනසීමක්. මුළු ජීවිත කාලය පුරා එසේ සිටිය නොහැකි ද?”

සාධාරණත්වය ගැන කතා කළ අයම පසුව අසාධාරණයේ කොටස්කරුවන් බවට පත්වීම ගැන ඉදිරි දින සටහනක සටහන් විය. තමා අසාධාරණයේ කොටස්කරුවකු ව හිඳිමින් සමාජ සාධාරණත්වය උදා කළ හැකි ද යන ප්‍රශ්නය එතැන දී මතු කොට තිබිණ. සමාජ අසාධාරණයට එරෙහි ව එදා සරසවියේ දී තමා සමග කතා කළ ඇතැම් ආදි විද්‍යාර්ථියෙක් අද ඒ අසාධාරණ ක්‍රියාවන් සහතික කිරීම උදෙසා කටයුතු කරන ආකාරය ගැන ගඟුල් කල්පනා කෙළේ සංවේගයෙනි. බලය නැති කාලයේ සිටි මිනිසා බලය ලද පසු වෙනස් වන්නේ අදහා ගත නොහැකි ආකාරයකට ය.

මෙයිනික්බිති යති ගිහි කලණ මිතුරු ඇස යොමු වුණේ ඉංගීසි දිනපොතේ ජනවාරි 14 දින සටහනට ය. එහි තරුණ වේවා වැඩිහිටි වේවා දෙපාර්ශ්වය තුළ ම පොදුවේ විද්‍යාමාන ගති ලක්ෂණයක් ගැන ජේ. ක්‍රිෂ්ණමූර්තීන් විසින් තබන ලද සටහනක් අන්තර්ගත විය. එහි සඳහන් අන්දමට මේ වෘද්ධ තරුණ යන මේ දෙපිරිස තුළ වැඩි වෙනසක් නැත. ඒ දෙපිරිස ම සිය අපේක්ෂා සහ ආශාවන්ගේ වහලුන් ව සිටිනා බැවිනි. එසේ ම පරිණතභාවය යනු කෙනෙකුගේ වයසට අදාළ වන කරුණක් නොවේ. එය එන්නේ අවබෝධයත් සමග ය. මෙකරුණ ඇසීමත් සමග තමාට සිහිපත් වන්නේ තරුණ වියේ දී ම ජීවිතය අවබෝධ කොට ගැනීමට සමත් වූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ යැයි පැවසු සුමනජෝති හිමියෝ යථෝක්ත ප්‍රකාශයේ මූලාශ්‍රය පවසන මෙන් ගඟුල්ගෙන් ඉල්ලා සිටියහ. ඔහු විසින් යථෝක්ත දිනපොතින් උපුටා ගෙන එම පාඨය මෙහි මෙසේ සටහන් කරන්නේ ඒ අනුව ය.

"There is no essential difference between the old and the young, for both are slaves to their own desires and gratifications. Maturity is not a matter of age, it comes with understanding."


එම දින පොතේ ජනවාරි 17 වැනි දා ප්‍රවීණ චිත්‍රශිල්පි බන්ධුල කුමාර සිය බිරිඳ සහ පුතු රංග සමග සිය නිවහනට පැමිණි බවට සඳහනක් විය. ඔහුට තමා අලුතින් කිරීමට අපේක්ෂා කරන චිත්‍රකථා පුවත්පතකට නමක් අවශ්‍ය ව තිබිණ. එදා ඒ සිත්තරා සහ සමන් සිත්තරා අතර චංචලත්වයේ සුන්දරත්වය සහ නිශ්චලත්වයේ සුන්දරත්වය ගැන සංකථනයක් ඇති ව තිබිණ. මානව දේහයේ මෙන් ම ගලා බසින ගංගාවක ඇත්තේ චංචලත්වයේ සුන්දරත්වය බව ද නිසල බුදුරුවක නිසල කඳුවැටියක ඇත්තේ නිශ්චලත්වයේ සුන්දරත්වය බව ද එදා සමන් සිත්තරා පවසා තිබිණ. එසේ ම ඔබ සුදු පිවිතුරු කඩදාසියක අඳින මානව දේහය හා බැඳුණු රේඛා ඔස්සේ මතු කරන්නේ චංචලත්වයේ සුන්දරත්වය බැවින් ඔබේ පුවත්පතට චංචල රේඛා යන නම සුදුසු යැයි තමාට සිතෙන බව සමන් සිත්තරා බන්ධුල කුමාර සිත්තරාට පවසා තිබිණ.

මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ ශ්‍රී වාමනකෘත කාව්‍යාලංකාරසූත්‍රවෘත්තයේ එන යටකී චංචල සහ නිශ්චල සුන්දරත්ව සමග ගැළපිය හැකි සෞන්දර්ය සිද්ධාන්තයකි. තත් කෘතියෙහි තෘතීය අධ්‍යායයේ ලෝකවෘත්තඃ ලෝකඃ වශයෙන් ඇත්තේ එම ප්‍රකාශය යි. ලෝකයේ පැවැත්ම එනම් ලෝක ප්‍රවර්තනය ලෝකය යි නම් ඒ ප්‍රකාශය විස්තර කිරීමේ දී ස්ථාවර සහ ජංගම එනම් නිශ්චල සහ චඤ්චල දෙය ආත්ම කොට ඇත්තේ ලෝකය බවත් එහි පැවැත්ම ලෝක ප්‍රවර්තනය බවත් දක්වා ඇත.
 
චංචල සුන්දරත්වයට දිය හැකි අපමණ නිදසුන් මුණ ගස්වන කෘතියකි ඍතුසංහාර ඛණ්ඩ කාව්‍යය. එහි කර්තෘත්වය කාලිදාසගේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්  සිය ආචාර්යවරයා නියෝජනය කරන්නේ ඒ වූකලී තරුණ වියේ දී කාලිදාසයන් විසින් ලියන ලදැයි යන මතය යි. සහේතුක ව කල්පනා කරන විට ගඟුල්ට දැනෙන්නේ ඒ මතය නිවැරදි බව ය. චංචල සුන්දරත්වය සම්බන්ධයෙන් වඩාත් ගැළපෙන ඍතුසංහාරගත නිදර්ශනයක් මේ මොහොතේ ඔහුගේ හද මඬලට පිවිසෙයි. ඒ එහි ශරත්ඍතු වර්ණනයේ එන චංචන්මනෝඥ  ආදි වශයෙන් ඇරඹෙන සුන්දර පද්‍යය යි. ඉන් කියැවෙන්නේ චඤ්චල මනහර ශඵරී නමැති මීන සමූහය නම් මෙවුල් දමින් යුතු හාත්පස මනාව ගැවසී ගත් ජලචර හංසාදි පක්ෂි විශේෂ ඇති විසල් පුලිනතලා නමැති උකුළු පෙදෙස් ඇති ගංගා අද ප්‍රේමණීය ගැහැනියක සෙයින් සෙමෙන් සෙමෙන් ගලා බසින බව යි. ගඟුල් ඒ සුමියුරු පැදිය මෙසේ ගුරු දියවරට මුසු කෙළේ ය.

“චඤන්මනෝඡඥශඵරීරසනාකලාපාඃ   පර්යන්තසංස්ථිතසිතාණ්ඩජපංක්තිහාරාඃ
නද්‍යෝ විශාලපුලිනාන්තනිතම්බබිම්බා  මන්දං ප්‍රයාන්ති ප්‍රමදා ඉවාද්‍ය”

නිශ්චල වූ ආධ්‍යාත්මික සුන්දරත්වය ස්ථානයක හිඳුවන අපේ පෘථග්ජන මනසට වඩාත් ගෝචර වන්නේ චංචලත්වයේ සුන්දරත්වය යි. එහෙත් ඒ සසල සොඳුරු බව තුළින් ද අපට ජීවන ධර්මතා උගත හැකි වෙයි. මලින් පතින් මෙන් ගඟ රළින් පාඩම් උගෙන අපට අපේ ජීවිත සකසා ගත හැකි ය. වරෙක මෙසේ රබීන්ද්‍රනාත් තාගෝර් නම් සුවිශිෂ්ට සාහිත්‍යධරයා විසින් අප අබියස මෙසේ තබන්නේ ඒ දිවි දහම නොවේ ද?

"The flowers go, the leaves go, the waves in the rivers go, and we shall also follow them."


තාගෝර්ගේ මේ ප්‍රකාශය සාවධානව අසා සිටි සුමනජෝති හිමියන් පැවසුවේ තමාට මේ මොහොතේ කිසියම් යෝජනාවක් කිරීමට සිතෙන බව ය. ඒ කුමක් දැයි විමසූ විට උන් වහන්සේ දුන්නේ මෙවන් පිළිතුරකි.

“ගඟුල් දැන් අපි කාටත් වඩා වැඩිපුර අපේ සර්ට මුණ ගැහෙන්නෙ ඔයානෙ. ඒක නිසානෙ සර්ගෙ දිනපොත් බල බල අවශ්‍ය සටහන් මතුකරගෙන යාළුවොත් එක්ක ඒවයින් ප්‍රයෝජන ගන්න එකේ වගකීම ඔයාට දුන්නෙ. ඔයා සිංහල දිනපොත් අධ්‍යයනය කරන්න. සංස්කෘත දිනපොත් අධ්‍යයනය කරන එක සර්ගෙ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන අපට කරන්න පුළුවන්. මට හිතෙනවා ඉංග්‍රීසි දිනපොත් අධ්‍යයනය කරන එක අපේ කඩ්ඩට දුන්නොත් හොඳයි කියලා. මන් මේ ගැන අපේ සර්ටත් මතක් කරන්නම්. කොහොමත් මම වැලිගම යන්නෙ අපේ සර්වත් හම්බ වෙලා ම තමයි.”  

මෙහිදී උන් වහන්සේ අපේ කඩ්ඩ යන ආදරණීය ආමන්ත්‍රණය භාවිත කෙළේ මිහිදිනී උදෙසා ය. මන්ද ඇය කඩුව යැයි භාවිත කරනු ලබන භාෂාව භාවිත කරන්නේ අන්‍යයන් කපා හැරීමට නොව සමාජ යහපත උදෙසා වීම නිසා ය. ගඟුල් කොහොමත් සිතා සිටියේ ඉංග්‍රීසි දිනපොත් අධ්‍යයනයෙහි ලා මිහිදිනීගේ සහය ලබා ගැන්මට ය. එසේ ම මේ කාලවකවානුවේ වෙනත් රාජකාරි හෝ ආගමික කටයුතු සම්බන්ධයෙන් වැඩි බරක් නොමැති සහෘදය ස්වාමීන් වහන්සේලාගේ සහාය සංස්කෘත දෛනික පුස්තක කියැවීමෙහි ලා ලබා ගැන්මේ අදහස ද ගඟුල් තුළ විය. සිය කලණ මිතුරු යතිසඳු විසින් කරන ලද්දේ සිය හද පිළිසිඳි අදහස සනාථ කිරීම ය. ගඟුල් ඒ සම්බන්ධයෙන් සිය සහෘදය ස්වාමීන් වහන්සේ වෙත කෘතඥතාව පළ කොට සිටියේ ය. අනතුරුව දෙදෙනාගේ ම අවධානය යළිත් දිනපොත් වෙතට යොමු විය.

85 වර්ෂයේ පෙබරවාරි 02 වැනි දින සිය ආචාර්යවරයා අදිකාරම්තුමාගෙන් භගවද්ගීතාව හැදෑරීමේ කටයුතු සිදු කොට තිබිණ. ඒ මාසයේ ම 23 වැනි දා එතුම ාසිය ආචාර්යවරයාට පාලි මූලාශ්‍රයානුගත ව ධම්මපදය උගන්වා තිබිණ. ඔහු පසුකාලීන ව ත්‍රිපිටක මූලාශ්‍රය අධ්‍යයනය කිරීම වෙත නැඹුරුවීමෙහි ලා උල්පත වූයේ ඒ විය හැකි යැයි ගඟුල්ට සිතිණ. අනතුරුව ගඟුල්ගේ අවධානය යොමු වූයේ පෙබරවාරි 18 දින සටහනෙහි සමාරම්භක වාක්‍යය දෙසට ය.

“විවේකී මොහොතක ඈත අහස දෙස බලා සිටින විට අප මේ මහා විශ්වයේ අංශුමාත්‍රයක් නොවේ ද යන්න ප්‍රත්‍යක්ෂ වේ.”
මතුපිටින් දුටු පමණින් මිනිසුන් හෝ ගැහැණුන් පිළිබඳ නිගමනවලට එළැඹිමේ ඇති මුළාව පැහැදිලි කරන සටහන් කීපයක් ගඟුල්ට හමු විය. ඒ අතර එන පෙබරවාරි 22 දිනයට අයත් දින සටහන ගඟුල්ට මෙහි සටහන් කිරීමට සිතුණේ තමාට මෙන් ම තවත් කෙනෙකුට ද එය ජීවිත දෙස බලන්නට උපකාරී වේ ය යන හැඟීමෙනි.

“ඊයේ බස්රියේ මා පොත් තබාගෙන ආවේ අපහසුවෙන් ලොකු සෙනඟක් සිටි නිසා. නූතන විලාසිතාවනට වැඩියෙන් සැලකිලිමත් වන බවක් ඇඳුමෙන් පෙන්නුම් කළ මා ළඟ සිටගෙන සිටි තරුණියක් වහා මගේ පොත් සිය අතට ගෙන හිඳගෙන සිටි ඇයගේ මිතුරියකට දුන්නා. තව කෙනෙකුගේ අපහසු තත්ත්වයක් හඳුනාගෙන අනුන්ට උදව් කරන තරුණ තරුණියන් සමාජයේ ජීවත්වීම ලොකු සතුටක්. කෙනෙකුගේ බාහිර පෙනුමින් ඔහු හෝ ඇය පිළිබඳ පූර්ව නිගමනවලට පැමිණීම නිවැරදි වන්නේ නැහැ.”  

85 සංස්කෘත දිනපොත අධ්‍යයනය කරද්දී හමු වූ සුන්දර පද්‍යයක් දුටු සුමනජෝති හිමියෝ එය වෙත ගඟුල්ගේ අවධානය ද යොමු කළහ. ඒ බුදු බැති සකු පැදියකි. එහෙත් එහි මූලාශ්‍රය සඳහන් ව නොතිබීම අඩුවකි. එහෙත් පහුවන විට ඒ තත්ත්වය නැත. එවක ඇතැම් මූලාශ්‍රයන් මග හැරී තිබීම ගැන මෙන් ම සිය සිංහල සහ ඉංග්‍රීසි දින සටහන් පසුකාලයක කියවන විට හමුවන භාෂා දෝෂ ගැන ද සිය ආචාර්යවරයා තමාට පවසා තිබේ. ඔහු එවන් අවස්ථාවක පැවසුවේ තමාට වඩා භාෂා දැනුමින් සන්නද්ධ අලුත් පරපුර අදහස වැදගත් නම් ඒ උකහා ගනිමින් වැරදි තැන් සංශෝධනය කරමින් මේවායින් ඵල ලද යුතු බව යි. සිය ගුරු වචනය ගැන සිතමින් ම ගඟුල් යටකී නොමඳ නාද මාධුර්යය ඇති එබැති පැදිය මෙහි සටහන් කෙළේ ය.

“වීතරාග දෝෂ මෝහ ලෝකනායකඃ තදා
 මාරධීතෘ මණ්ඩලස්‍ය    නෘත්‍යගීතවාදිතං  
 පීයුමාන මත්තමුග්ධ වෘද්ධ ධෘෂ්ට වානරී    
වෘන්දකේලිරිත්‍යචින්තයද් විශුද්ධ චේතසඃ”

මේ අතර යළි 85 ඉංග්‍රීසි දිනපොතට අවධානය යොමු කළ ගඟුල්ට දැක ගැන්මට ලැබුණේ ජේ.ක්‍රිෂ්ණමූර්තීන්ගේ The flame of Attention  නම් කෘතියේ අන්තර්ගත ව තිබූ සුන්දර උද්ධෘතයකි. එහි එන ආගමික ආචාර්යවරයා සිය ශිෂ්‍ය ප්‍රජාවට දිනක් කිසියම් කතාවක් කියනු රිසි වෙයි. මේ ආචාර්යවරයා සෑම දිනයකම යහපත් බව, සුන්දරක්වය සහ ආදරය ගැන කතා කරයි. එක් උදෑසනක ඔහු කතා කරන්නට සැරසුණු මොහොතේ එතැනට පියඹා ආ පක්ෂියෙක් සිය විහඟ ගීතය ගැයීම අරඹයි. ටික වේලාවක් සිය ගීතය ගැයූ පක්ෂියා එතැනින් නික්ම යයි. මේ මොහොතේ ආචාර්යවරයා පවසන්නේ අද දවසේ කතාව දැන් අවසාන වූ බව ය. ගඟුල් සිතුණේ ඒ කියවීමෙන් තමා ලද සොඳුරු අරුත ගුරු දියවර සහෘදයන් සමග බෙදා ගැනීමට ය. ඔහු එය මෙසේ මෙහි සටහන් කරන්නේ එහෙයිනි.

"May I repeat a story? A religious teacher had several disciples and used to talk to them every morning about the nature of goodness, beauty and love. And one morning, just as he is about begin talking, a bird comes on to the window-sill and begins to sing to chant. It sings for a while and disappears. The teacher says, The talk for this morning is over."


මේ මොහොතේ පෙබරවාරි 18 සහ 19 යන දෙදින දින සටහන් අතර රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ කාව්‍යෝක්ති දෙකක් ද විය. 20 දින සටහනෙහි භගවද්ගීතාව සම්බන්ධ මහර්ෂි මහේෂියෝගීතුමන්ගේ ප්‍රකාශයක් විය. ඒ මාසයේ ම 27 වැනි දා දින සටහනට ආචාර්ය විනෝබා භාවේතුමන් ගීතාව ගැන කළ සඳහනක් සම්බන්ධ කොට තිබිණ. ඒවායින් සුදුසු පරිදි අනාගතයේ දවසක ප්‍රයෝජන ගන්නවා විනා ඒ හැම දෙයක් ම මෙහි ඇතුළත් කිරීම කළ නොහැකි ය යන හැඟුම ද ගඟුල් තුළ ඇති විය. සිය ආචාර්වරයා පවසන පරිදි බුදුදහමේ හින්දුසමයේ මතු නොව කිතුදහමේ ද දැනෙන තැන් ඔහුට පැවසූ ආචාර්යවරයා වන්නේ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්තුමා ය. මානව ප්‍රේමයේ සුවිශිෂ්ට සංකේතයක් වන යේසුස් වහන්සේට මානව කුලකයේ ම එක්තරා නියෝජනය කළ පිරිසක් විසින් තමා  ඝාතනය කරන මොහොතේ දෙවියන් වහන්සේ අමතා උන්වහන්සේ කොට ඇතැයි කියන හෘදයසංවේදී ප්‍රකාශය කියා දුන්නේ ද අදිකාරම්තුමා ය. ඔබ වහන්සේ මා අතහැර ගියේ ඇයි යන ප්‍රකාශය කොට තමා කරන්නේ කුමක් ද යන්න අවබෝධ කොට නොගෙන කරන ක්‍රියාවක් බැවින් ඒ ඝාතකයනට සමාව දෙන්නැයි යනුවෙන් වන සඳහන ක්‍රිස්තු චරිතයේ විශිෂ්ටත්වය ප්‍රකාශයට පත් කරන්නේ නොවේ දැයි ගඟුල්ට හැඟිණ.

"God, why hast thou forsaken me

They will be done Lord forgive them for they know not what they do."


ප්‍රකසිංහල දිනපොත කියවාගෙන යන ගඟුල්ට මාර්තු පළමුවැනිදා මුණගැසුණේ භාරතීය රාගධාරී සංගීතයට නව රාග කිහිපයක් එකතු කිරීමට සමත් වූ සංගීත් නිපුන් ශාන්ති ගීතදේවයන්ගේ මේ උදෑසන ඔබට සෙත් වේ ත්‍රිවිධ රත්නයෙ අනුහසින් ආදි වශයෙන් ඇරඹෙන බොදු බැති ගීතය යි. සිය සමකාලීන මිතුරියක වන සුදර්ශිය විසින් කොට ඇති තමන්ගේ පරපුර විසිනුදු සාවධාන විය යුතු ප්‍රකාශයක් ද යටකී දිනපොතෙහි විය.

“කෙනෙක් ඇලුම් කරන්නේ බාහිර පෙනුමට ද? බාහිර පෙනුම සිඳී ගිය මොහොතේ ඒ ඇල්මත් සිඳී යා ද යන්න ගැන සිතිය යුතු නොවේ ද?”

තමාට භෞතික ව දැකගැන්මට නොලැබුණු සුවිශිෂ්ට මහ යති රුවන් දැක කතා බහ කිරීමේ භාග්‍යය සිය ආචාර්යවරයාට ලැබී තිබේ. 85 මාර්තු 21 වැනි දා අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය මහනාහිමියන් හමුව කතාබස් කළ බවට වන සඳහන ඉන් එකකි. ඇතැම් සටහනක් තමා අයත් පරපුරට කියා සිටින්නේ ගුරු ශිෂ්‍ය දෙපිරිසට අයත් කාර්යාවලිය තුළ ඉගැන්වීමට ඉගෙන ගැනීමට අමතර ව අනිවාර්යයෙන් ම කළ යුතු තවත් දේ ද ඇති පව ය. සිය සමකාලීන මිතුරන් වන පූජ්‍ය කොත්මලේ දිංනාග ශිමියන් මිල්ටන් සුදර්ශී සහ බිම්බා සමග පිළිකා රෝහලට ගොස් ගිලානෝපස්ථානයෙහි යෙදුණු බව දැක්වෙන මාර්තු 30 දින සටහන ගෙන එන්නේ ඒ පණිවිඩය යි. කියැවූ පොතපතක වේවා සඟරාවක වේවා පුවත්පතක වේවා සොඳුරු අරුතක් ඇති ප්‍රකාශයක් වූයේ නම් ඒ සටහන් කොට තබා ගැනීමේ පරිචය ගඟුල් උකහා ගත්තේ සිය ආචාර්යවරයා වෙතිනි. ගැහැනිය අවිහිංසාවේ ජීවමාන සංකේතයක් බවත් සාමය අවශ්‍ය ව තිබෙන කලහකාරී ලොක්යට සාමයේ කලාව ඉගැන්වීමේ කාර්යය පැවරී තිබේ ආදි වශයෙන් වන ගාන්ධිතුමන්ගේ මහරු ප්‍රකාශ මෙන් ම ඇය ගැන පුවත්පතක පළ වූ යම් අර්ථවාහී ප්‍රකාශයක් වී නම් එය ද සිය දිනපොතක ලියා තැබීමට ඔහු හුරු ව තිබිණ.

පූජ්‍ය සුමනජෝති හිමියන් ද පැවසූ පරිදි මේ දින සටහන් කියැවීමෙහි ලා වන ව්‍යාපෘතියට අනිවාර්යයෙන් ම මිහිදිනී සම්බන්ධ කොට ගැන්මට ගඟුල් තීරණය කෙළේ ය. ඇය මේ වන විට තවදුරටත් සිය පශ්චාද් උපාධියේ කටයුතු සඳහා කොළඹ රැඳී සිටින බැවින් පහසුවෙන් එය සිදු කළ හැකි ය. සුදුසු පරිදි කලණ මිතුරු යතිරුවන් ද මිතුරු මිතුරියන් ද ඒ සඳහා සම්බන්ධ කොට ගත හැකි ය. සිය කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමාගෙන් සමුගෙන ගිය පසුව ද ගඟුල් ඒ ගැන කල්පනා කෙළේ ය.
 
ගඟුල් දැන් මේ සැරසෙන්නේ අද දවසේ දින සටහන් කියැවීම පිළිබඳ වන ක්‍රියාවලිය අවසන් කිරීමට ය. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ ආචාර්ය මහගම සේකරයන්ගේ පාළු අඳුර නිල් අහස මමයි ගීතෝක්තිය මත පදනම් ව ලියන ලද 1985 අප්‍රියෙල් 26 වැනි දා දිවයින පුවත්පතේ පළ වූ කතුවැකියෙන් ගත් උපුටනයකි.

“ඈත දිලෙන තනි තරුවක් ලෙසට අසාර වූ පොළොවේ ගලන දිය දහර ලෙසට කැලෑවේ කටු පඳුර මැද පිපී දිලෙන මල් පොකුර ලෙසට කාන්තාව උපමා කෙළේ ද සමාජයේ ඇය ඉටු කරන නන්විධ වූ මනා සේවය අගය කළ යුතු හෙයිනි.”