Saturday, April 27, 2019

කුඩා වැරදි සහ විසල් වැරදි!

අපේ රටේ වෙසෙන්නේ ඉතා සුන්දර මිනිසුන්ය. කොතැනක හෝ අනතුරක් සිදු විය හැකි බව දැන දැන තුවාල ලැබූවන්ට සිය රුධිරය පිරිනමන්නට ගිය තරුණ තරුණියන්ය. ත්‍රස්ත ප්‍රහාර ලක්ෂයකටවත් ඒ මනුෂ්‍යත්වය මරා දමන්නට නොහැකිය.

ඒ අපරිමිත මිනිස්කම ආගමික අන්තවාදීන් අතින් මිය නොයා යුත්තේ එහෙයිනි. නමුත් වෙන් වී සිටින පමණට අපි අනාරක්ෂිත වෙමු. ජාති වශයෙන්ද, ආගම් වශයෙන්ද අප වෙන් ව ඇත්තේ උපතේදී ලද සම්මිතියක් නිසා වීම, මේ අකාරුණික සිදුවීම්වලට හේතුව වීම කොපමණ කණගාටුදායකද?

බුදුන් වහන්සේ බුදුදහම, ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ගන්නැයි වදළ හේතුව වඩාත්ම හොඳින් පැහැදිලි වූයේ මේ සිදුවීමත් සමගය. දර්ශනයක් අප ආලෝකය කරා ගෙන යන්නේ කෙසේද ඒ පරිමාණයෙන්ම ආගමක් අප අන්ධකාරය කරා ගෙන යන බැවිනි. එසේම ජේසු ස්වාමි දරුවන්ටද, අන් ශාස්තෘවරුන්ටද, තමන් වදාළ දහමේ නාමයෙන් බලහත්කාරයෙන් යටත්විජිතවාදය හා ත්‍රස්තවාදය පතුරුවන අනුගාමිකයන් දකින්නට අවැසි වී යයි නොසිතමි.

මිනිස් ඝාතන සිදු කළ විට ස්වර්ගස්ථ වන්නේ යැයි අප අදහන ආගමකින් උගන්වයි නම් එය ඇදහිය යුතුද නැතිද යන්න තීරණය කිරීමට අපට වගකීමක් තිබේ. අප යමක් අදහන්නේ නම් ඒ අදහන කිසිවකින් කිසිවෙකුටත් අල්පෙනෙති තුඩක හානියක් නොවිය යුතු යයි අදහමි.

මේ අකාරුණික සිදුවීම් සිදු වන්නට පෙර සිට මුහුණුපොත් කතිකාවල අවිහිංසාව ද, යහ පැවැත්ම ද විහිළුවක් කොට ලියූ සටහන් දුටිමි. බොහෝ දෙනාට වැරදී ඇත්තේ එතැනය. කුඩා වැරදි වරද සහිත ලෙස නොදකින්නට පෙළඹෙන තාක් අපට විසල් වැරැද්දක් සිදු වීම වළකන්නට නොහැකිය. නසන්නට, සිය ආදරණීයයන්ට සහ මනුෂ්‍යත්වයට වංචා කරන්නට, අනියම් සබඳතාවල පැටලෙන්නට, වැරදි දේ කරන්නට කොන්දක් වුවමනා නැත. කොන්දක් - පෞරුෂයක් වුවමනා වරදින් වළකින්නටය. නිවැරදි දේ කරන්නටය.

යළි කියමි.

කුඩා වැරදි නොහැදෙන තාක් විසල් වැරදි නොවැළැක්විය සුළුය. 

6 comments:

  1. වර්ශාග‌ෙ මොකද්ද මන්ද improvement එකක් පේනව :)

    ReplyDelete
  2. මේ දවස් වල හරි ප්‍රසිද්ධ කියමනක් තියනවා ඉංග්‍රීසි එකක්- "If your religion requires you to hate someone, you need a new religion."
    මේක මමත් තදින්ම විශ්වාස කරනවා. දර්ශනයක් ආගමක් උන ගමන් ම ඒක පිටිපස්සේ අන්තවාදයක් හැදෙන්න පටන්ගන්නවා. ඊට පස්සේ ඒ අන්තවාදය හරහා ත්‍රස්තවාදයක් ඇති වෙනවා. ඕක තමා අර කාල් මාක්ස් ආගම අබිං කියන්නත් එක හේතුවක් (මම එයාගේ සමාජවාදයේ ඔක්කොම පිලිගන්නවා කියන එක නෙවේ ඒකෙන් කිව්වේ).
    බුද්ධ ධර්මය නම් ඇත්තටම ආගමක් නෙවේ. ඒක ධර්මයක් එහෙම නැත්තම් දර්ශනයක්. සහ ඒ හා එකඟ වෙන ජීවන පැවැත්මක්. මම නම් පිළිපදින්නේ ඒක විතරයි.
    අවසාන වශයෙන් මතක් උන ගීතයක් ලියල යන්නම්-
    පැහැසර අරුණක-
    ඉරමල පිපුනාවේ..
    යුගදුරු යුධදුම- සැණෙකින් නිවුනාවේ..
    හිමිදිරියේ...
    සීතල හීනෙක තැවරී වත්..
    පරෙවි පියාපත් ඇසුනාවේ..

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. නමුත් දර්ශනයක් පිළිපැදීමේ හැකියාව උපතින්ම ලැබුණු බෞද්ධයෝ පවා ආමීස පූජා පමණක් කරමින් ප්‍රතිපත්ති සහිත දර්ශනය අතහරිනවා දකින කොට විසල් කණගාටුවක් දැනෙනවා.

      පැහැසර අරුණක සුන්දර ගීතයක්.එය ලියා තියෙන්නේ නිලාර් කාසිම් වීම මේ වැනි කාලයක ඊටත් වඩා සුන්දර අහම්බයක්!

      Delete