Monday, December 16, 2024

121. ගුරු දියවර නවකතාව - තිස්අටවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ




සිය ආචාර්යවරයාගේ නිවහන ඉදිරිපස ඇති අඹ ගස යට තබා ඇති එක් අසුනක හිඳ සිටි ගඟුල් මෙදින එහි පැමිණියේ ගුරු ඇරයුමෙනි. ඒ විශේෂ සාකච්ඡාවක් සඳහා ය. මොහොතකට පසු එතැනට පැමිණෙන ආචාර්යවරයාට ගුරු බුහුමන් පිණිස අසුනින් නැඟී සිටි ගඟුල්ට යළි හිඳ ගන්නා මෙන් සංඥා කළ සහන් අනික් අසුනෙහි හිඳ ගත්තේ ය. අනතුරුව සංකථනය ආරම්භ කරන ලද්දේ ආචාර්යවරයා විසිනි.

“ගඟුල්ට මතක ඇති මන් ඔයාට එවපු ලිපියෙ මෙහෙ වැඩ කරන කාලෙ ඔයාගෙ පශ්චාද් උපාධියෙ කටයුතු කරන්නත් සූදානම් වෙන්න කියලා ලියලා තිබුණා. මන් අද විශේෂයෙන් ඔයාට එන්න කියලා කිව්වෙ ඒ ගැන කතා කරන්න තමයි ගඟුල්. මොකද ඔයා මේ ගැන හිතන්නෙ. මොකක් හරි අදහසක් තියෙනව ද ඒ ගැන.”

“සර් මන් මේ මාසෙම එම්ෆිල්ලෙකට ලියාපදිංචි වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. මට මාතෘකාවක් දෙකක් ගැන අදහසකුත් තියෙනවා. කොහොමත් මන් ඒ ගැන මුලින් ම සර් එක්ක කතා කරන්න තමයි හිටියෙ. මන් කියන්න ද සර් මන් හිතපු මාතෘකා දෙකක් ගැන දැන්.” 

“ඔව් මාත් කැමතියි ඒ ගැන කතා කරන්න. කොහොමටත් ඔයා පශ්චාද් උපාධියට ලියාපදිංචි වෙන්න ඕනෙ අඛණ්ඩ ව ඒක කරන්න බලා ගෙන තමන්ගෙම හිතට රුති දෙයක් ගැන. අපිට පර්යේෂණ ක්‍රමවිද්‍යාව උගන්නපු අපේ ගතාරේ ධම්මපාල හාමුදුරුවො ඒ කාරණේ අවධාරණ කරන ගමන් කිව්වෙ අවුරුදු තුනක් හරි හතරක් හරි තමන්ගෙ පළවෙනි උපාධියකට වැඩ කරපු කෙනෙක් අනේ සර්, අනේ මැඩම් පශ්චාද් උපාධියකට මට දෙන්නකො මාතෘකාවක් කියලා කියන තැනම තියෙන්නෙ එහෙම දේකට එයා නුසුදුසු යි කියන එක කියලා.”

“ගතාරේ නායක හාමුදුරුවො කියලා තියෙන එක හරිනෙ සර්. උපාධියක් කරපු කෙනෙකුට තමන් ඉගෙන ගත්ත මොකක් හරි විෂය ක්ෂේත්‍රයකින් මාතෘකාවක් එන්නෙ නැහැ කියන එකම නුසුදුසුකමක් තමයි. හැබැයි සර් පෙර ගමන් ගිය ආචාර්යවරුන් මෙන්න මේ පැති ගැන දැනට අධ්‍යයන සිද්ද වෙලා නෑ කියලා පෙන්න දෙන එකේ නං වරදක් නැහැ කියලයි.”

“ඒ කාරණේ හරි ගඟුල්. ඔයගොල්ල අපිත් මෙතෙක් නොකිරිච්ච පැති ගැන කතා කළානෙ. මන් කැමතියි ඒ පැත්තක් හරි ඔයාට අලුතින්ම හිතිච්ච දෙයක් හරි ගැන කතා කරනවනං.”

“සර් මන් මුලින් හිතන් හිටියෙ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය මගෙ මාතෘකාව කරගන්නවා කියලා. ඒත් මගෙ හිත ඊයෙ පෙරේදා ඉඳලා මට බල කරන්නෙ ලෝකයට යමක් දීපු, ඒත් ගොඩක් දෙනෙක්ගෙ අවධානයට ලක් නොවිච්ච නිර්මාණකරුවෙක් පාදක කරගෙන මගෙ අධ්‍යයන කටයුතු කරන්න. ඒ මාතෘකාවට පාර කැපුණෙත් සර් හින්දම තමයි මට.”

“ඒ කොහොම ද ගඟුල් මන් හින්දා මාතෘකාවකට පාර කැපුණා කිව්වෙ.”  

“සර් මන් ගිය සෙනසුරාදා සර්ලගෙ ගෙදර ආපු වෙලාවෙ සර්ලා ලෑස්ති වෙනවා මළ ගෙදරක යන්න. මන් එදා ආවෙ මගෙ මාතෘකාව ගැන කතා කරන්න තමයි. සර්ලට ගමනට බාදා නොකර මන් යන්න හදන කොට සර් කිව්වෙ ඔයාට අද විශේෂ වැඩක් නැත්තං අපිත් එක්ක ම අවිස්සාවේල්ලෙ යන් කියලයි. ඒ යන ගමන් අපි මාතෘකාව ගැනත් කතා කරමු කියලා සර් කිව්වා. මාත් ආවා යන්න. හික්කඩුවෙ නායක හාමුදුරුවන් අධ්‍යාපනය ගැන කියපු දේවල්වලින් ප්‍රවේශයක් අරගෙන සෝරත හාමුදුරුවොයි අදිකාරම්තුමයි අධ්‍යාපනය ගැන කියපු දේවල් ගැන සංසන්දනාත්මක අධ්‍යයනයක් කරන්න මගෙ තියෙන කැමැත්ත ගැන කිව්වහම සර්රුත් ඒක අනුමත කරලා මට කිව්වෙ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය කියන කාරණේ යටතට ඒ කරුණු පෙළ ගස්සන්න කියල යි. මීපෙ පහු උනාට පස්සෙ අපේ පශ්චාද් උපාධි මාතෘකාව වෙනුවට අපි කතා කරන්න ගත්තෙ අපි අවසන් ගෞරව දක්වන්න යන සුමින්ද කිත්සිරි අය්යා ගැන. මන් මුලින් ම සුමින්ද අය්යා අඳුන ගත්තෙ සර් අපිට ඒ දවස්වල කරපු රස වින්දන දේශනවලට ගත්ත නිර්මාණ අතරෙ සුමින්ද අය්යත් හිටපු හින්දා. අපට කලින් යුගයක හිටපු සුමින්ද අය්යව මට සැරයක් දෙකක් හම්බ වෙලා තිබුණා. ඒ සුමින්ද අය්යා නැති වෙලා කියන කාරණේ මන් දැනගත්තෙ සර් කියන කොටයි. සර් එදා සුමින්ද අය්යා ගැන හරි වෙනස් කතාවක් කිව්වා. ඒක මගෙ හිතේ ගැඹුරින් ම තැන්පත් උනා. සර්ට මතක ද සර් කිව්වා “ලෝකය තවත් හොඳ මිනිසකුගෙන් හිස් වුණා.” කියලා. මන් කල්පනා කළා අපේ සර් ඇයි මෙහෙම කියන්නෙ කියලා. එදා පාංශුකූලෙට වැඩම කරලා අනුශාසනා කරපු හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ම කියපු දේවල්වලත් ගිහි කතා කරපු ජයන්ත වත්තෙවිදාන මහාචාර්යතුමත් මහින්ද සෙනරත් අය්යා, ඒ ගමේ මිත්‍රයා වගෙම සර්රුත් කරපු කතාවල හරය උනෙත් හොඳ මිනිහෙක් නැති උනාම ඇති වෙන හිස් තැන ගැන. ඒ විතරක් ද වැඩ සටහන මෙහෙයවපු මහින්ද දළුපොත අය්යත් ඒ වැඩේ කළේ හරිම හැඟීමකින්. මන් එදා හිතුවා සර්, සුමින්ද අය්යගෙ ඒ හිස්තැන ජීවත් ව ඉන්න අපිට එයාගෙ නිර්මාණවලින් පුරවන්න බැරි ඇයි කියලා. සර් මට ඒ ගැන අධ්‍යයනයක් කරන්න අවස්ථාව අරගෙන දෙන්න. මන් පස්සෙ කාලෙක මගෙ ආචාර්ය උපාධියට විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය ගැන කරන්නම්.”

ගඟුල් එසේ පවසා තමන් විසින් සකසක ලද පර්යේෂණ මාතෘකාව සහ පරිච්ඡේද සැලැස්ම සිය ආචාර්යවරයා අත තැබුවේ ය. සහන් ඉමහත් ඕනෑකමකින් එම මාතෘකාවට සිය අවධානය යොමු කෙළේ ය. අනතුරුව එම පරිච්ඡේද සැලැස්ම ද කියවා බැලී ය.

“සුමින්ද කිත්සිරි ගුණරත්නගේ කාව්‍ය, කලා සහ ශාස්ත්‍ර සම්ප්‍රදාන පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක්.”

“ ගඟුල්, ඔයාගෙ මේ මාතෘකාවත් පරිච්ඡේද සැලැස්මත් කියන්නෙ ඔයා සුමින්දව කියවා ගන්න සමත් උනා කියන එකයි. ඒ වගෙම මට කියන්න තියෙන්නෙ සුමින්ද කරපු කියපු දේවල් අධ්‍යයනය කිරීම කියන්නෙ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය අධ්‍යයනය කරන එකෙන් වියුක්ත දෙයක් නෙමෙයි කියන එක. මොකද සුමින්ද කියන්නෙත් ඒ අධ්‍යාපන සම්ප්‍රදායෙම ප්‍රකාශනයක් නිසා. අපි පොඩි සංශෝධනයක් දෙකක් කරලා මේ අධ්‍යයනේ ම කරමු.”

 “සර් පොඩි නෙමෙයි සර් හොඳයි කියලා හිතන ඕනෙම සංශෝධනයක් කරලා මට ඕකම කරන්න ලැබුණොත් හොඳයි. ඒ වගෙම සර් තමයි මගෙ උපදේශක වෙන්නත් ඕනෙ. සර්ට අද වෙලාව තියෙයි ද ටිකක් වැඩිපුර මේ ගැන කතා කරන්න.” 

“ටිකක් නෙමෙයි ගඟුල් අද දවසම හරි මන් කැමතියි මේ වෙනුවෙන් වෙන් කරන්න. මොකද අපේ හෂාන් නිසා වාහනේ එළවන්නෙ සුමින්දලට උගන්නපු මිසුත් අපිත් එක්ක ම යන එකේ අපිට පුළුවන් මේ ගැන නිදහසේ කතා කර කර යන්න. අපි මුලින් ම මාතෘකාව ටිකක් සීමා කර ගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ ගඟුල්. මොකද සීමා කරගත්ත තරමට තමයි අපිට වැඩි ගැඹුරකට යන්න පුළුවන් වෙන්නෙ. මට හිතෙන්නෙ බෞද්ධ දෘෂ්ටි කෝණික කවුළුවෙන් සුමින්ද කිත්සිරිගේ නිර්මාණ අවලෝකනය කිරීම වගේ මාතෘකාවක් අරගෙන අර ඔයා මේ ලියලා තියෙන විදිහට එයාගෙ කවි, කලා, ශාස්ත්‍ර සම්ප්‍රදාන ගැන අපට කතා කරන්න පුළුවන්. මම කැමතියි ඔයාගෙ එක උපදේශකයෙක් වෙන්න. ඒ වගෙම මෙතෙන්දි මේකට අවශ්‍යම කරන තවත් වැදගත් ම චරිතයක් ඉන්නවා. අපි අනිවාරෙන් ම ඒ චරිතෙත් මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕනෙ. ඔයගොල්ලන්ගෙ මිසුත් මේ වැඩේදි නොනිල උපදේශිකාවක් වේවි.”

“ඒ කවුද සර් මන් මේකට සම්බන්ධ කරගන්න ඕන කරන අනික් උපදේශකතුමා? මට නං හිතෙන්නෙ සර්රුයි මිසුයි හිටියත් ප්‍රමාණවත් කියලයි.”  

“ඔයගොල්ලන්ගෙ මිස් කොහොමටත් මේ වැඩේට උදව් කරනවනේ. මන් අනිත් උපදේශක වෙන්න ඕනෙ කියලා කිව්වෙ වෙන කවුරුවත් නෙමෙයි ඔයගොල්ලන්ගෙ ප්‍රණීත් සර්. මන් අපේ ප්‍රණීත් ව ම මේකට සම්බන්ධ කරගන්න කියන්නෙ හේතු කීපයක් නිසා. මොකද සුමින්ද කියන්නෙ කවියෙක්. ප්‍රණිත් සර් කියන්නෙත් කවියෙක් වගේම ගීත රචකයෙකුටනෙ. ඒ වගෙ ම සුමින්දගෙ තියෙන සෞන්දර්යාත්මක ඇහැ ගැන ඒ වගෙම ඇහකින් දකින්න පුළුවන් කෙනෙක් තමයි ප්‍රණීත්. ඒ වගෙම සුමින්දගෙ තිබුණා මානවවිද්‍යාව ගැන ලොකු නැඹුරුවක්. ඉතින් ප්‍රණීත් සර් කියන්නෙ කොහොමත් ම මානව විද්‍යාඥයෙක්නෙ.”

“ප්‍රණීත් සර් කැමති වෙනව නං මමත් කැමතියි ඒකට. මට හිතෙනවා සර් මට කියපු හේතුවලටත් අමතර හේතු සර්ට ඇති කියලා සර් මේ යෝජනාව කරන්න.”  

“ඔව් ගඟුල් ඔයා හරි. ප්‍රණීත් සර් තමයි සුමින්ද  දෘශ්‍යාත්මක මානව විද්‍යාව ගැන තමන්ගෙ දර්ශනපති උපාධියට කරපු පර්යේෂණයේ උපදේශක හැටියට කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දෙනා නොදන්න කාරණයක් තියෙනවා. ඒ තමයි සුමින්ද තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙ බෞද්ධ සිනමාව ගැන බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙ ආචාර්ය උපාධියට ලියාපදිංචි වෙලා ඒකෙ වැඩ කරමින් හිටිය බව. ඒ ගැන මට වඩා හොඳට දන්නෙත් ප්‍රණීත් ම තමයි.”

“සර්ට වඩා හොඳට ඒ ගැන ප්‍රණීත් සර් දන්නවා කියලා කිව්වෙ ඇයි සර්.”

“ගඟුල්, මන් එහෙම කිව්වෙ සුමින්දගෙ ආචාර්ය උපාධියෙ උපදේශකත් ප්‍රණීත් සර් නිසා. මේ මොහොතෙත් ප්‍රණීත් සර්ගෙ අතේ ඒ පොතේ අන්තිම පරිච්ඡේදයෙ අත් පිටපතත් තියෙන නිසා.”

“ඔව් සර්, ප්‍රණීත් සර්රුත් සර්ට අමතර ව මගෙ උපදේශකයෙක් වෙන එකට මන් හරිම කැමතියි. ඒ වගෙම මෙතෙන්දි මන් තව වැදගත් ම දෙයක් කියන්න ඕනෙ සුමින්ද කිත්සිරි නිර්මාණ අධ්‍යයනයට මාව යොමු කරපු.”

“ඒ මොකක් ද ගඟුල්?”

“සර්ට මතක ද අපේ ශේන්‍යා නංගිගෙ කවි පොත ජනගත කරන දවසෙ සුමින්ද අය්යා තමන්ගෙ කතාවෙදි කියපු දෙයක් සර් එදා අවමංගල කටයුතු සිද්ද කරන වෙලාවෙ මතක් කළා.”

“මන් සුමින්ද ගැන ඒ වෙලාවෙ මට මතක් වෙන ගොඩක් දේවල් කිව්වා මතකයි. ඒ අතරින් ඔයාට දැනිච්ච විශේෂම දේ මොකක් ද?”  3

“මට එතෙන්දි තදින් ම දැනිච්ච විශේෂ කාරණා දෙකක් තියෙනවා. එකක් සුමින්ද අය්යා කියපු නිර්මාණ රස වින්දනේදි එක්තරා විදිහකට භෞතික ව අපට දැනෙන අවස්ථා වගෙම අපි ආධ්‍යාත්මික වශයෙන් ඉන්න ඕන කරන, ඒ වගෙම ස්පර්ශ කළ යුතු අවස්ථා. ඒ තමයි සුමින්ද අය්යා කියලා තිබිච්ච පාළුව, කාන්සාව, හුදෙකලාව සහ පරම හුදෙකලාව. ඒ ටිකම ඇති සර් සුමින්ද අය්යගෙ ජීවන ගැඹුර තේරුම් ගන්න. සර් ඊට පස්සෙ එතන ඉන්න විශ්වවිද්‍යාල පද්ධතියට සම්බන්ධ අයගෙන් ඉල්ලීමක් කළා උපාධි පශ්චාද් උපාධිවලට තමන්ට ඒ වැඩේ කරයි කියලා හිතන ශිෂ්‍යයන් යොමු කරන්න කියලා. මමත් ඒ වැඩේ කරන්නම්, ඔබත් යොමු වෙන්න කියලා කිව්වා. ඒ වෙලාවෙ එතන හිටපු මනෝජ් ආරියරත්න මහාචාර්යතුමා වගෙම විද්‍යා අංශෙ උගන්නන ජයන්ත වත්තෙවිදාන මහාචාර්යතුමාගෙ නම් වගෙම කලින් දවසෙ ඇවිල්ලා අවසන් ගෞරව දක්වලා ගිය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සර්ගෙ නම් හිටන් මතක් කරලයි සර් ඒ ටික කිව්වෙ. ඒ වෙලාවෙ අජිත් කල්‍යාණවංශ, සේනානි ධර්මරත්න වගේ කලාවට සම්බන්ධ වෙච්ච අය දිහාවට හැරිලා සර් කිව්වෙ සාහිත්‍යකරුවො හැටියට ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න, අපි සරසවි ඇදුරන් විදිහට අපි අපේ යුතුකම ඉටු කරන්නම් කියලා.”

එදා රෑ තමයි සර් මන් මේ වෙලාවෙ කරන්න ඕනෙ සුමින්ද අය්යව කියවන එක කියලා හිතට ගත්තෙ. ඒ දවසෙ ඉඳන් මේ දවස් දෙක තුනේ ම මන් කළේ ඒ කියවීම.” 

“අපි හිතුවටත් වඩා දුරකට අපේ ශිෂ්‍යයො හිතලා තියෙනවනෙ බැලුවහම. ඔයාගෙ ඔය වචන ටිකම මේ වගෙ අධ්‍යයනයකට ඔයාගෙ තියෙන සුදුසුකම තමයි ප්‍රකාශ කරන්නෙ. මන් මගෙ ළඟ තියෙන මේකට අදාළ පොත්පත් ඔක්කොම ඔයාට දෙන්නම්. ඒ වගෙම සුමින්දගෙ නිර්මාණ මන් දේශනවලට ගත්ත අවස්ථාත් මගෙ මතකයෙ හැටියට ලියලා දෙන්නං. ඒ වගෙම මේ අධ්‍යයනේ දි ඔයා අනිවාරෙන් ම සම්මුඛ සාකච්ඡා කරන්න ඕන අයගෙ නාමාවලියකුත් හදලා දෙන්නං ඒ අයගෙ දුරකතන අංකත් එක්ක. වැඩේ පටන් ගනින් පුතා අපි උඹට උදව් කරන්නම්.”

සහන් ගඟුල්ට ඒ ඡේදයේ අවසන් වැකිය කියා සිටියේ ඉමහත් හැඟීමකිනි. අනතුරුව ඔවුන් සුමින්දගේ නිර්මාණ සහ ජීවිතය ගැන බොහෝ දේ කතා කළහ. ඒ සියල්ල සඳහන් කිරීමට මෙය අවස්ථාව නොාවේ. එහෙයින් යථෝක්ත ගුරු ශිෂ්‍ය සංකථනයෙන් වඩාත් දැනුණු තැන් කිහිපයකට පමණක් අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය. 

“මට මතකයි සර් 2016 අවුරුද්දෙ අංගුත්තර නිකායෙ වඩ්ඪී සූත්‍රය පාදක කරගෙන ලියපු අපි වැඩෙමු කියන ලිපියෙදි අපි ප්‍රඥාවෙන් වර්ධනය විය යුතුයි කියන බුද්ධ වචනය වඩාත් සරලව පැහැදිලි කරන්න අරගෙන තිබුණෙ සුමින්ද අය්යගෙ කවියක්. ඒ තමයි ‘සොඳුරේ අරුත’. මන් කැමතියි සර් මගෙ පර්යේෂණේට අදාළ  පළවෙනි සම්මුඛ සාකච්ඡාව හැටියට සලකලා මේක එතනින් පටන් ගන්නවනං.”

“ගඟුල්, ඔයා ඔය කතා කරන්නෙ සුමින්දගෙ නිර්මාණවලින් මට වැඩියෙන් ම දැනිච්ච එකක් ගැන. ඒක තාත්තයි දුවයි කියන දෙන්නා අතරෙ ඇතිවන සංවාදයක්. මන් කැමතියි මේක මගෙ අදහස් දැක්වීමකට විතරක් සීමා නොවී අපි දෙන්නා අතරෙ සිද්ද වෙන සංකථනයක් වෙනවනං. මොකද ඔයාගෙ මතකය කියන්නෙත් සමහර නිර්මාණ ඒ කියන්නෙ මතක තබාගත යුතු නිර්මාණ ගබඩා කරගෙන ඉන්න ස්මරණ ගබඩාවක් නිසා. මන් ප්‍රවේශය ගන්නං. ඔයත් සුදුසු විදිහට ඒකට සම්බන්ධ වෙන්න. ඇත්තටම ගඟුල් සම්මුඛ සාකච්ඡාවක් කියන්නෙ දෙන්නෙක් සම්මුඛ වෙලා ඒ කියන්නෙ මුහුණට මුහුණ බලා ගෙන දෙපැත්තෙ ඉඳගෙන එක විදිහට කරුණු සාකච්ඡා කරන එක මිසක් එක්කෙනෙක් කතා කරන කොට අනික් එක්කෙනා නිකන් අහගෙන ඉන්න එක විතරක් නොවන නිසා.”

“එහෙනං සර් මන් පටන් ගන්නන්කො ඒ නිර්මාණෙ මුලට ගිහින්. එතනදි තාත්තා දුවට කියනවා මෙහෙම.

මලක් නෙලා දෝතට ගෙන   බුදු මැදුරට යන

මලක් වගේ පුංචි දුවේ මඳක්       අසනු මැන

ගසක් තරම් මලකට ආදරේ       කවුරු වෙන

මලක් ගසේ තිබෙන විටයි ලෝකෙම   ලස්සන

දැන් සර්, මේ නිර්මාණෙ එන තාත්තව තාත්තා කෙනෙක් හැටියට සර්ට  දැනෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ මම සර්ට ඉදිරිපත් කළොත් සර් මොකක් ද ඒ ගැන කියන්නෙ.”  

“සුමින්ද කතා කරන ඒ තාත්තම තමයි මාත් ඇතුළුව ගොඩක් තාත්තලා තුළ ඉන්නෙ. තාත්තා, අම්මා කියන්නෙ දරුවන් නමැති මල්වලට ආදරේ කරන ගස්නෙ. අපිට පුළුවන් මේ කාරණේ ම ගුරු භූමිකාවටත් සම්බන්ධ කරන්න. මොකද හොඳ ගුරුවරයෙක් හොඳ ගුරුවරියක් කියන්නෙ ම ශිෂ්‍යයන් නමැති මල්වලට හදවතින් ම ආදරය කරන ගස් නිසා. හැබැයි ලෝකෙ ලස්සන වෙන්න නං මල් ගස්වලම තියෙන්න ඕනෙයි කියන තැන මම නැහැ. සුමින්ද කවියත් නැහැ. ඒකනෙ සුමින්ද දුවගෙ මාර්ගයෙන් අපට මෙහෙම කියන්නෙ.

පිපුණු මලට අරුතක් දී         බුදු සමිඳුන් ළඟ

මලක් ගසෙන් නෙළා ගොසින් පිදුමෙ වරද කිම  

තාත්තගේ ආදරේ ඇත්ත වගෙම කෙල්ල අහන දේත් ඇත්ත. සුවඳ දිදී ගස්වල මල් පිපුණට ඒ හැම මලක් ම ඒ ගස් පාමුල පරවෙන නිසා වැඩක් ඇති අර්ථයක් ඇති දෙයක් කරලම පරවෙලා යන එක නේද මල් කරන්න ඕනෙ කියලනෙ කෙල්ල කියන්නෙ. අපිට පුළුවන් ද ගඟුල් කෙල්ලගෙ ඒ ප්‍රශ්නෙ නොතකා හරින්න.”

“සර් කියන විදිහට වගෙම මේ නිර්මාණය ඔස්සෙ කවියා මතු කරන විදිහටත් අපට දුවගෙ ප්‍රශ්නෙ නොතකා හරින්න බැහැ තමයි. ඒ වගෙම සර් අපිට බැහැ නේද තාත්තා ඊළඟට දුවගෙන් අහන ප්‍රශ්නෙත් සුළුවෙන් තකන්න. අපි ඒ කවිය මෙතනට අරගෙනම ඒ ගැන කතා කරමු.

පිපුණු මලේ හැඩරුව ගැන බොරුවට     වන වන  

ළඟට ඇවිත් පෙති අතගා    මල් මුවරද     බොන

බමරු වෙසෙන ලෝකය ගැන හරියට    දැනගෙන

සිහි කරන්න ගසක් දැරූ වෙහෙසක්       මල් ගැන

“දැන් හිතන්න ගඟුල්, මේ නිර්මාණය හරහා කවියා ලෝකයට දෙන පණිවිඩය. එයා අපට මතක් කරලා දෙනවා දුවට වඩා කාලයක් මේ ලෝකෙ ජීවත් උනේ තාත්තා කියන එක. ඒකෙ නිසා ලෝකෙ රටේ සිද්ද වෙන දේවල් ගැන හොඳටම දන්නෙ තාත්තයි. තාත්තා දුවට කියන්නෙ බමරුන් ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි බමරුන් වෙසෙන ලෝකය ගැන හරියට දැන ගන්න කියන එක. මන් හිතන්නෙ මේ කවියෙ එන අර්ථ හරියට දැනගෙන වගෙම වචනවලට අයිති නියම බර නොදී අපි මේ නිර්මාණෙ ගැන කතා කරන එක වරදක් කියලයි.”

“දැන් සර්, මේ නිර්මාණෙ ගැන කතා කරපු වෙලාවක මට මතකයි සර් කිව්වා මේක තාත්තා කෙනෙකුගෙයි දුවකගෙයි දෙන්නකුගෙම ප්‍රඥාවට දෙන්න පුළුවන් හොඳ උදාහරණයක් ය කියලා. හැබැයි සර් එදා තමන්ගෙ කතාව අවසන් කළේ දුවගෙ ප්‍රඥාව තාත්තගෙ ප්‍රඥාව සමතික්‍රමණය කරනවා කියලා. සර්ට හිතෙන්නෙ නැද්ද එහෙම බැලුවහම මේක පිතෘ ප්‍රඥාව සම්බන්ධයෙන් කරන අවතක්සේරුවක් කියලා.”

“කොහෙත් ම නෑ ගඟුල්. මන් ඒ නිර්මාණෙ එන අන්තිම කවිය කියලම මගෙ අදහස කියන්නං.

ලස්සන මල් තුරුලෙ හොවා සිටියත්    හැම දින

මලක සුවඳ විඳිය හැකි ද ගසකට        කිසි දින

පිපුණු මලේ සුවඳ දිගේ බමරු         ළඟට එන

සිරිත නිසයි මල් පිපෙන්නෙ ලෝකයෙ හැම  දින  

සුමින්ද පිපෙන මල් පරවෙන බව දැනගෙන හිටියා. ගසක කාර්යය මල් සම්පත්තිය දීලා ලෝකය ලස්සන කරන එක, සුවඳවත් කරන එක, ලෝකය අර්ථවත් කරන එක බවත් දැනගෙන හිටියා. දෙයක් ඇති උනොත් හරියට ම පිපුණු මලක් පරවෙලා යනවා වගේ නැති වෙලා යන බවත් සුමින්ද දැනගෙන හිටියා, අවබෝධ කරගෙන හිටියා. එයා මේ ලෝකෙන් නික්ම ගියෙත් ඒ අවබෝධය ඇතිව යි. සුමින්ද කියන්නෙ කවි යයි සම්මත කවි ලියන නිසා කවියෙක් කියන තැනට එහා ගිය, කවි කියන වචනෙ තියෙන ප්‍රඥාවන්තයා කියන අර්ථය තමන් ලියපු කියපු දෙයින් විතරක් නෙමෙයි තමන්ගෙ ම ජීවිතයෙන් ඔප්පු කරලා පෙන්නපු කවියෙක්. ගඟුල් ඔයා මේ අධ්‍යයනය කරන්න තෝරගෙන තියෙන්නෙ එහෙම සුවඳ ගහන මනුස්සයෙක්ගෙ සුවඳ ගහන නිර්මාණ. එක පැත්තකින් මේක අභියෝගයක්. අනිත් පැත්තෙන් මේක ඔයා කරන්නම ඕන දෙයක්. මොකද මේ වෙලාවෙ සුමින්දගෙ නිර්මාණ විතරක් නෙමෙයි සුමින්දත් කියවලා මේ වැඩේ කරන්න පුළුවන් වෙනත් කිසිම උපාධි අපේක්ෂකයෙක්ගෙ නමක් මගෙ ඔළුවට නොඑන නිසා.”

“සර්, මන් අපේ පර්යේෂණේට අදාළ නොඋනත් මට දැනෙන වෙනත් වැදගත් කාරණයක් මතු කරන්න කැමතියි. සර් එදා කිව්වා සුමින්ද අය්යා තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙ බෞද්ධ සිනමාව ගැන පීඑව්ඩී එක කරන්න ලියාපදිංචි වෙලා හිටිය කියලා. ඒ වගෙම සර් කිව්ව ඒකෙ අන්තිම වැඩ ටික තමයි කර කර හිටියෙ කියලා. සර් මහගමසේකර සර්ට ආචාර්ය උපාධිය ලැබුණෙ එයාගෙ මරණෙන් පස්සෙනෙ. ඉතින් සුමින්ද අය්යා තමන්ගෙ වැඩ ටිකත් කරලනං තියෙන්නෙ විශ්වවිද්‍යාලෙට පුළුවන්නෙ ඒ ක්‍රමවේදෙම සුමින්ද අය්යා සම්බන්ධයෙනුත් අනුගමනය කරන්න.” 

“ඔයා ගඟුල් බොහොම වැදගත් දෙයක් මතු කළේ. මමත් ඔය කාරණේ ගැන හිතුවා. ඒ වගෙම සුමින්ද ගැන කියවීමක් තියෙන තව කීප දෙනෙකුටත් ඔයාටයි මටයි හිතිච්ච දේම දැනිලා තිබුණා. මේ වෙන කොටත් මම ප්‍රණීත් සර් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. අපි තවදුරටත් උත්සාහ කරන්න ඕනෙ ඒක සාක්ෂාත් කරගන්න. ඒ සුමින්ද වෙනුවෙන් නෙමෙයි ලෝකය වෙනුවෙන්.”

“සර්, සුමින්ද අය්යගෙ පළවෙනි පොත වගෙම පළවෙනි කවිපොත වෙච්ච චක්කරං කොටුව බෞද්ධ සලකුණ තැබීමක් නෙමෙයි, දේශපාලන කියවීමකුයි කරන්නෙ කියලා කිව්වොත් ඒ ගැන සර් මොකද කියන්නෙ.”

“ඔය ප්‍රශ්නෙ අපට ඇති වෙන්නෙ ගඟුල් බෞද්ධ සලකුණයි - දේශපාලනයි දෙක එකිනෙකට සපුරා අංශ දෙකක් කියන තැනට දාලා අපි කතා කළොත්නෙ. අපි මෙහෙම හිතුවොත් බෞද්ධ සලකුණ තුළ  දේශපාලනයත් දේශපාලනය තුළ බෞද්ධ සලකුණත් තියෙන්න බැරිද කියලා අපිට පේන විදිහ වෙනස් වෙනවා නේද? සුමින්ද පළවෙනි පොත ලියන්නෙ සරසවි ශිෂ්‍යයෙක් විදිහට. එතකොට සුමින්දට අවුරුදු විසිදෙකක් විතර ඇති මගෙ හිතේ. ඒකෙ එන චක්කරං කොටුව හා පෙන්දෝ කියන්නෙ හොඳම දේශපාලන කියවීමක්. මන් හිතන්නෙ ගඟුල්ට විතරක් නෙමෙයි මුලදි මටත් තවත් අයටත් අර අදහස එන්න බලපෑවේ ඒ නිර්මාණය තමයි. ගඟුල් ඉස්සෙල්ලම අපි ඒ නිර්මාණෙට අවධානය යොමු කරලා ඉඳිමු ද?”

සිය ආචාර්යවරයාගේ ඉල්ලීමත් සමග ගඟුල් සිය අතට ගත්තේ චක්කරං කොටුව යි. මෙදින දෛනික ව ඔහු භාවිත කරන කරේ දමාගෙන යන රෙදි බෑගයෙහි වැඩි අවකාශයක් වෙන් ව තිබුණේ සුමින්දගේ පොත්වලට යි. ගඟුල් යථෝක්ත කවිය සිය හඬින් මෙසේ ප්‍රකාශයට පත් කෙළේ ය.

“චක්කරං කොටුව හා පෙන්දෝ

පොඩි කාලේ 

  පිඟන් කටු පෙන්දෙකුට 

       පයින් ඇන ඇන     6

             චක්කරං පැන්නා 

             අපි දෙන්නා එකට

         ඒ එදා...


මේ මෙදා...

මම - ආර්. චන්ද්‍රසේන වූ - උඩහ ගෙදර මහතුන්

  උඹ - පින්වත්ව සිරිමත් වූ - මහ ඇමතිතුමා  

             මට - චක්කරං කොටුවක් අඳින්නට මිදුලක් වත් නැත.

                 උඹට - මුළු රටම චක්කරං කොටුවක් වී ඇත...”

ගඟුල් ඔය කියපු කවිය අන්තර්ගත පොත බිහිවීමත් එක්ක තමයි සුමින්ද ගැන එයාගෙ ගුරුවරුන් වගෙම යාළුවො කතා කරන්න ගත්තෙ. එතන ඉඳලා එයා ගුරු ශිෂ්‍ය දෙපිරිස අතරම ප්‍රසිද්ද උනේ චක්කරං කියලා. කොටින්ම සුමින්දගෙ විශ්වවිද්‍යාලෙ කාඩ්ඩෙක උනෙත් චක්කරං. සුමින්ද නැති වෙච්ච බව දැනන් හිටියෙ නැති ඒ කාලෙ අපේ ආදි ශිෂ්‍යාවකට සුමින්ද නැති උන එක කිව්වහම එයා ටික වෙලාවක් කල්පනා කළා ඒ කවුද කියලා. අර ආරූඪ නම කිව්වහම එයාට එකපාරටම කියවුණේ අනේ දෙය්යනේ අපේ චක්කරං ද මේ නැති වෙලා තියෙන්නෙ කියලා.  

“සර් මේ කවියම නේද හේතු උනේ මුළු චක්කරං කොටුව පොතටම දේශපාලන සීල්ලෙක තියන්න.”

“මට දෙන්න ගඟුල් ඔයාගෙ අතේ තියෙන ඔය පොත. ඒකෙ පිදුමෙදි සුමින්ද කියනවා මනුෂ්‍යයන්ගෙ සැම බලාපොරොත්තුවක් ම කවියක් වෙලා බිහි උනේ නැති උනාට මෙතෙක් ලියවෙච්ච හැම කවියකම සොබාදහම සහ ජීවිතාවබෝධය පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් පිළිසිඳ ගනිමින් පවතිනවා කියලා. එයා කියන්නෙ තමන්ගෙ සහජීවනය සිදුවන සමාජ වටපිටාව හා එකමුතු වෙමින් ආධ්‍යාත්මික දිළිඳු බවින් මිදී ධනවත් වෙන්න කියලා. ආධ්‍යාත්මික ව්‍යාධීන්ගෙන් මිදිලා සුවපත් වෙන්න කියලා. අපි බලමු මේක සුමින්ද තමන්ගෙම වචනවලින් කොහොමද කිව්වෙ කියලා.


“ස්වකීය සහජීවනය සිදුවන

සමාජ වටපිටාව හා එකමුතු වෙමින්...

ආධ්‍යාත්මික දිළිඳු බවින් මිදී “ධනවත්” වීමටත්

ආධ්‍යාත්මික ව්‍යාධීන්ගෙන් මිදී  “සුවපත්” වීමටත් ලාලසා වඩන්නා වූ අනාගත සියුම් මිනිසා ද

කවියකුගේ හෘදසක්මන් මළුවකදී...

ජීවිතයට පෙම් බඳිනවා සිකුරුයි!”

සහජීවනය, සමාජ වටපිටාව වගෙම ජීවිතයට පෙම් බැඳීම කියන වචනවල තියෙන්නෙ සුමින්දගෙ දේශපාලන කියවීම. ඒ වගෙම ආධ්‍යාත්මික දිළිඳු බවින් මිදී “ධනවත්” වෙන්න ආධ්‍යාත්මික ව්‍යාධීන්ගෙන් මිදී  “සුවපත්” වෙන්න කියන එයාගෙ වචනවල තියෙන්නෙ එයාගෙ ආගමික කියවීම. ඒ විතරක් ද ගඟුල් එයා කවි හදවත උපමා කරන්නෙ හෘදය සක්මන් මළුවට. ඒ වචනෙ කොහෙන්ද කවියෙකුට එන්නෙ. ඊට පස්සෙ තමන්ගෙ පිදුමෙදි අපට අන්තිමට කියන්නෙ මොකක් ද? ඒකත් කියවලම ඉඳිමු ද ගඟුල් අපි.


“සසර‘ඳුර සිපගෙන  

මෝදුවන ළෙන්ගතුකමක් සමඟින්...

ජීවිතය බෙදාහදා ගැනීමට 

දිරි ඔවදන් සුපුදන...

සිනිඳු සිත් - සිලිටි අත්

සිනහදී සිප ගනිමින්...

.... චක්කරං කොටුවට ....

ඔබව එක්කරගෙන යන්නම්!”  

මන් දැන් කැමතියි පිදුමෙ මේ කොටස ගැන ඔයාගෙ කියවීම දැනගන්න. ආදි විද්‍යාර්ථී සුමින්ද ගැන දැන් පශ්චාද් උපාධිය කරන්නත් ඉදිරිපත් වෙච්ච ආදි ශිෂ්‍යයා වෙලා ඒක ක්‍රියාවක් බවට පත් කරගෙන වැඩ කරන්නෙ ඔයයි. මේ වගෙ අධ්‍යයනයක් කරන්න කැමැත්ත තිබිච්ච කෙනෙක් තමයි අපේ ශශී. එයා ගුරුවරියක් කිවිඳියක්. ඒ වගෙම ආදි ශිෂ්‍ය ගයානුත් මේ ගැන කතා කරලා තිබ්බා. ඒ අයටත් වෙනත් දෘෂ්ටි කෝණවලින් මේ ගැන අධ්‍යයන කරන්න පුළුවන්. මේ මොහොතෙ තමන්ගෙන් වෙන්න තියෙන අනිවාර්ය වගකීමක් වගෙම වගවීමක් හැටියට සලකලා මේක කරන්න ගඟුල්. ඒ ඒ මොහොතෙ කරන්න තියෙන දේ මග හැරෙන්න දෙන්න එපා. එහෙම කරලා පස්සෙ පසුතැවිලි වෙලා වැඩක් නෑ. දැන් අපි කතා කරමු පිදුම ගැන.” 

“සර් මට හිතෙන්නෙ සුමින්ද අය්යා අපි කාටත් වඩා දුරකට සසර අඳුරත් ඒ අඳුරත් එක්ක ජීවත් වෙන මිනිස් ප්‍රජාවත් ගැන හොඳින් අවබෝධ කරගෙන හිටියා. ඒ වගෙම මේ සංසාර ගමන අවසාන වෙනකම් අපි අනික් අයත් එක්ක ලොකු ලෙන්ගතුකමකින් ජීවත් වෙන්න ඕනෙයි කියන එකත් දැනගෙන හිටියා. අන්න ඒ හැඟීමත් දැනීමත් දැකීමත් එක්ක තමයි එයා තමන්ගෙ ජීවන ගමන ගියේ, ඒ වගෙම ඒ ගමන අවසන් කළේ.”

“ඔයා කියන මේ හැම වචනයක් ම අපට තහවුරු කරන්නෙ සුමින්ද පිළිබඳ අධ්‍යයනයකට ඔයාගෙ තියෙන සුදුසුකමම තමයි ගඟුල්. ඇතැම් විචාරකයෙක් දේශපාලන කියවීමකට විතරක් ලඝු කරපු සුමින්දගෙ චක්කරං කොටුවෙන්ම එයාගෙ බොදු ලකුණු හොයන්න යොමු වෙන්න. ඔයාට එයාගෙ ඒ පොතේ නිර්මාණ අතර එන මහතුවාගේ කතා වස්තුව, දෙයියන්ගේ සාක්කිය, ඇවත, ඔබයි මමයි, බෝපත් ඇල්ල, රාජු වගේ නිර්මාණ ලොකු උදව්වක් වේවි ඒකට. මට හිතෙනවා මෙතෙන්දී ඔයාගෙ අධ්‍යයනේට වැඩි එළියක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ සුමින්දගෙ කවි පොත්වලින්. එයා එන්න එන්න පරිණත වෙලා තියෙනවා. පළවෙනි කවි පොතට වඩා ගැඹුරක් තියෙනවා දෙවෙනි එකේ. දෙවෙනි එකට වඩා ගැඹුරක් තියෙනවා තුන්වෙනි පොතේ. සමහර කවීන් සම්බන්ධයෙන් මේකෙ අනිත් පැත්තත් මම දැක්කා. ඒ කියන්නෙ පළවෙනි කවි පොතේ තිබිච්ච ගැඹුර දෙවෙනි තුන්වෙනි පියවරවලදි අඩු වෙලා තිබුණා. ඒත් 1996 අර මුල් කවි පොතේ හිටිය සුමින්දට වඩා පැසුණු කෙනෙක් අපට එයා 1998 ලියපු ඇහැළිවල දි දැක ගන්ඩ ලැබෙනවා. මට මතක හැටියට ඒ කවි පොතත්  දොරට වැඩියෙ විශ්වවිද්‍යාලෙදි ම තමයි. එදා ඇහැළි ගැන කතා කරපු නන්දන වීරසිංහ කවියා වගේ ම මොනිකා රුවන්පතිරණ කිවිඳිය ඒ ගැඹුර ගැන තමයි කතා කළේ. මට මතක හැටියට නන්දන කවියා, සුමින්ද තමන්ගෙ පොතේ සඳහන් කරලා තිබිච්ච එක කාව්‍යමය ප්‍රකාශයක්  පාදක කරගෙන තමයි එදා තමන්ගෙ මුළු දේශනය ම ඉස්සරහට අරගෙන ගියේ. ගන්න ගඟුල් ඇහැළි අතට. පෙරළන්න ඕකෙ අටවෙනි පිටුව. මටත් ඇහෙන්නම කියවන්න ඒ ප්‍රකාශය.” 

8

අනතුරුව අසන්නට ලැබුණේ සහෘදය ගුරු ශිෂ්‍ය යුග්මයකින් සමන්විත ඒ සංකථන මණ්ඩපයට සුමින්ද නම් ප්‍රඥාංකුරයාගේ සදර්ථවාහී කාව්‍යෝක්තියක් ගඟුල්ගේ හඬින් සම්ප්‍රේෂණය වන ආකාරය යි.

“ගඟ දිය රිද්මයෙන් සුලලිත

 අසිරිමත් දිය ඇල්ලකට

 තව දුරටත් “ගඟ” යැ යි ව්‍යවහාර නොවෙ යි

  එහෙත් එය 

“ගඟ” නොවන්නේ ද නොවෙ යි

“ගඟ” වන්නේ ද නොවෙ යි     

අපූර්වත්වය පිළිබඳ 

මේ සොඳුරු සත්තාව අබියස දී

මිනිස් සිත 

චමත්කාරය වැළඳ ගනී...”  

“ඔන්න ගඟුල්, ඔය තියෙන්නෙ සුමින්දගෙ කවියෙ බොදු සලකුණ උපරිමාකාරයෙන් නිරූපණය වන තැනක්. ඕක දැකපු මුල්ම අවස්ථාවෙ මට මතක් උනේ ‘ඔහුත් නොවේ ඔහු නොවන්නේත් නොවේ’ කියන අර්ථෙ දෙන ‘න ච සෝ න ච අඤ්ඤෝ’ කියන ප්‍රසිද්ධ පාළි පාඨය. ඒ වගෙම ඒ පොතේ එන අත්තප්පා නිර්මාණය. ඒකෙ දි කියනවනේ “සැමදාම ඔබ සපිරූ වතින්-සිහි කැඳවයි බෝසත් වතක්” කියලා. ඒ යෙදුම විතරක් නෙමෙයි සුමින්දගෙ ඒ පොතේම එන සරසවි බිමේ බුදුරුව පෙන්වන්නෙත් සුමින්ද බුදුහාමුදුරුවන් ව අඳුනගෙන හිටියා කියන කාරණේ තමයි. ඒ වගෙම බෞද්ධයන් හැටියට අපි කරන්නෙ ඕන මොනව ද, නොකරන්න ඕන මොනවද කියන පණිවිඩේ දෙන්නත් එයා දරපු උත්සාහ සමහර කවිවල තිබුණා. මට අදටත් කටපාඩම් සුමින්දගෙ ඒ නිර්මාණෙ එන මෙන්න මේ කවි දෙක.

සිතුවිලි අනුව සිදු වෙ ලු! ලොවට  කාරණ

දහමට අනුව නියම ලු! සසර        තීරණ

දිවි තරගයේ දැඩි බව තවත්        ආරණ

මල් පිදුමකින් සිදුවෙ ද  ශිල්ප     ධාරණ

සරසවි බිමේ සුදු අරලිය   සෙවණ පිට

වසරක් පුරා වැඩ හිඳ හිස්  කුටිය  යට

කාන්සියක් සිත දැවටුණ     විලාසෙට

ශාන්තිමත් හිමි රන් රුව පෙනෙයි මට

මන් හිතන්නෙ මෙන්න මේ වගෙ තැන් ඔයාට උදව් වේවි සුමින්දගෙ කවි ලකුණ හඳුන ගන්න.“

“සර් ඇහැළි පොතේ අන්තිම පිටුවෙ තිබුණා චක්කරං කොටුවෙ ඉඳලා ඇහැළි දක්වා ආපු ගමන තෙක් වන සුමින්දගෙ කවි සලකුණු ගැන. ඒකට පරාක්‍රම කොඩිතුවක්කු, රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණ කවියොත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නියෝජනය කරමින් ජයලතා මැදවත්ත මැඩම්, සමන්ත හේරත් සර් වගෙම සර්රුත් අදහස් දක්වලා තිබුණා.”  9

“ඒ හැම දෙයක් ම ග්‍රහණය කර ගන්න ගඟුල්, ඒවාට එකඟ වීමෙන් හෝ එකඟ නොවිමෙන් කියන තැන් දෙකින් ම මිදිලා. අන්න එතකොටයි ඔයාට ඔයාගෙ ඇස්වලින් සුමින්දගෙ කවියයි එයාගෙ ජීවිතයයි දෙකම දකින්න පුළුවන් වෙන්නෙ. ඇහැළිවලින් පස්සෙ සුමින්දගෙ නා රජ සහ වේ රජ කාව්‍ය සංග්‍රහයට යන්න. ඒ නිර්මාණත් ඔයාට උදව් කරාවි එයාගෙ ප්‍රඥාව වගෙම හදවතත් අඳුන ගන්න.” 

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ සුමින්ද අය්යගෙ අවසාන කටයුතු සිද්ද වෙච්ච දවසෙ සර් ලංකාදීප පත්තරේට ලියලා තිබිච්ච ලිපිය. මන් කැමතියි ඒ ලිපියෙදි සර් සුමින්ද අය්යගෙ අර කියපු පොතේ එන ‘කනාමැදිරියකුගෙන්’ කවි පන්තියෙන් උපුටලා දක්වපු කවි දෙකත් අපේ මේ සාකච්ඡාවෙ කොටසක් කර ගන්න. 


“ගල් ගැසී කළුවරට දොස් කියන්නේ        කුමට

සැබෑ උවමනාවක් තිබෙනවානම්            ඔබට   

සඳක් පායලා ලොව එළිය වන තුරු      නොහිඳ

කනාමැදිරියකු වී ඔබෙ ගමන            අරඹන්න

කනාමැදිරියකු යැයි අවමාන         නොකරන්න

පොඩි එළිය තිතක් යැයි අවිචාර     නොබනින්න

පොඩි තිතක් නො වෙ ද මේ සඳ ද මහ  විශ්වයට

මහා හිරු තරු බිඳකි වෙනත්         සක්වළක දී”  

“ගඟුල්, ලංකාදීපෙ ගැන කියපු වෙලාවෙ මට මතක් උනේ දැන් ඒකෙ ප්‍රධාන කර්තෘ අජන්ත අගලකඩ කියන්නෙත් සුමින්දගෙ සමකාලීන සරසවි සගයෙක් වගෙම එයාගෙ කවි කියවපු රසිකයෙක් කියන එක. ඒක නිසා අජන්ත එක්ක කරන සම්මුඛ සාකච්ඡාවකුත් ඔයාගෙ අධ්‍යයනේට එකතු කරගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

“සර් අපි මෙතෙක් කතා කරපු දේවල් එක්ක මට හිතෙන්නෙ සුමින්ද අය්යගේ කවිතාවෙ විතරක් නෙමෙයි ඒවයින් මතුවන බොදු ලකුණෙ විකාසයේ ගති ලක්ෂණ අවබෝධ කරගන්න නම් එයාගෙ කවිපොත් බිහි වෙච්ච අනුපිළිවෙළ ගැන අවධානය යොමු කරන එක ගොඩක් වැදගත් කියලයි. එහෙම බැලුවහම ඊළඟට අපේ අවධානය යොමු කරන්න ඕනෙ සුමින්ද අය්යා 2010 අවුරුද්දෙදි ලියපු නා රජ සහ වේ රජ කියන පොතනෙ. මට මතක හැටියට ඒකෙ දොරටු වැඩීම් දෙකක් නැත්තං තුනක් තිබුණා. සාමාන්‍යයෙන් කවියෙක්, ලේඛකයෙක් තමන්ගෙ පොතකට තියන්නෙ එක දොරට වැඩුමක් උනාට සුමින්ද අය්යා ඔය කවි පොතට ඒවා තුනක් තිබ්බා. ඒකත් අමුතු වැඩක්නෙ. සර් මොකද ඒ පොත ගැන කියන්නෙ.” 

“සුමින්ද වෙලාවකට අමුතු වැඩ තමයි කරන්නෙ. ඔය පොතේ දෙවෙනි දොරට වැඩුමට යි මම සම්බන්ධ උනේ. ඒක තිබ්බෙ මහරගම මධ්‍ය මහා විද්‍යාලෙ ප්‍රධාන ශාලාවෙ. මටත් එක දේශනයක් තිබුණා. ඒ දොරට වැඩුමට එන්න කියලා ආරාධනාපත්‍රයක් දෙන්න දවසක හවස සුමින්ද අපේ ගෙදර ආවා. ඒ වෙලේ මන් ඇහැව්වා මොකෝ සුමින්ද කරපු දෙයක් ආයි කරන්නෙ කියලා. ඒ වගෙම මන් එදා කිව්වා සුමින්ද සංස්කෘත සාහිත්‍යෙ තියෙන්නෙ නං කරපු වැඩේක ආයෙත් කරන්න දෙයක් නැහැ කියලයි කියලා ඒ අදහස තියෙන කෘතස්‍ය කරණං නාස්ති කියන සංස්කෘත පාඨයත් කිව්වා. ඒ වෙලාවෙ ගඟුල් දන්නව ද සුමින්ද මට මොකක් ද කිව්වෙ කියලා. කරපු දෙයක් උනත් අලුත් විදිහකට ආයෙත් කරන්න පුළුවන් ය එකම දේ උනත් විවිධ පරිසරවලදී වෙනස් විදිහට සමාජගත කරන්න පුළුවන් ය කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි යන කොට මන් කියපු අර සංස්කෘත පාඨෙත් වෙනස් කරලා හිනාවෙවී මට ම කියලා තමයි එදා සුමින්ද ගෙදර ගියේ.”

“සුමින්ද අය්යා සංස්කෘත දැනන් හිටිය ද කියන එකයි අර සංස්කෘත පාඨෙ වෙනස් කරල කිව්වෙ කොහොමද කියන එකයි තමයි සර් දැන් මට දැන ගන්න හිතෙන්නෙ.”  

“සුමින්ද එදා කිව්වෙ කෘතස්‍ය කරණං අස්ති කියලයි. කරපු දේකත් කරන්න දෙයක් තියෙනවා කියලා එයා එදා මට ඒත්තු ගැන්නුවා. ඊළඟ කාරණේ සුමින්ද අපේ සංස්කෘත සහතිකපත්‍ර පාඨමාලාව කරපු කෙනෙක්. අපි ඔය පාඨමාලාව අවුරුදු කීපයක් පවත්තගෙන ආවා. සුමින්දලට කලින් ඔය පාඨමාලාව කරපු දෙන්නෙක් මට මේ වෙලාවෙ මතක් වෙනවා. එයින් එක්කෙනෙක් සබරගමුව විශ්වවිද්‍යාලෙ මෑතක් වෙන කන් සේවය කරලා දේශපාලනයට ආපු අද වෙන කොට අලුත් ආණ්ඩුවෙ සංස්කෘතික  හා ආගමික කටයුතු පිළිබඳ ඇමතිවරයා විදිහට පත් වෙච්ච මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි. අනිත් එක්කෙනා මේ වෙන කොට වයඹ විශ්වවිද්‍යාලෙ ලේඛකාධිකාරි තනතුරක ඉන්න භාෂා පරිවර්තකයකු විදිහටත් යම් වැඩ කොටසක් කරලා තියෙන චූල පත්මේන්ද්‍ර සිරිවර්ධන. මේ වෙලාවෙ මට මේ තුන්දෙනා සම්බන්ධ තවත් කතාවක් මතක් වෙනවා. ඔයා අහන්න කැමතිනං මන් ඒකත් කියන්නං.”

“සර් සුමින්ද අය්යා සම්බන්ධ මේ පර්යේෂණයෙදි මට එයා ගැන තියෙන පුංචිම පුංචි කාරණයක් උනත් වැදගත්. ඒක නිසා මන් කැමතියි ඒකත් දැන ගන්න.” 

“මේක සුමින්දගෙ චරිතයෙ විශේෂ ලක්ෂණයක් දෙකක් පෙන්නුම් කරන කතාවක් විදිහට සැලකුවත් කමක් නැහැ. ඉස්සර මම අපේ කවියෙක් හරි ලේඛකයෙක් හරි තමන්ගෙ පොතක දොරට වැඩුමට ආරාධනා කළොත් ඒක මට යන්න බැරි දවසක් උනොත් මම මන් ඒ වන විට ලියලා තිබිච්ච අලුත් ම පොතෙන් පිටපතක් ඒ අදාළ කෙනාට කරන සුබ පැතුමත් එක්ක එදාට යවනවා. ඔය විදිහට අවස්ථා කීපයකදි ඒ පණිවිඩ අරන් යන නියෝජිතයා උනේ එක්කො සුනිල් සෙනෙවි, එක්කො සුමින්ද. එහෙමත් නැත්තං චූලා. ඔය විදිහට සුමින්දත් අවස්ථා කීපයකදිම මගෙ පොතක් අරගෙන ඒ උත්සවේටත් ගිහිල්ලා සුබ පැතීමත් කරලා ඇවිල්ලා විශ්වවිද්‍යාලෙ දි මට ඒකෙ විස්තරත් කියනවා. ඔන්න දවසක් සුමින්ද එයා ලියපු කවි පොතක් ඒකෙ දොරට වැඩුමට අදාළ ආරාධනාපත්‍රෙත් එක්ක මාව හම්බ වෙන්න ආවා. ඇවිල්ලා ආරාධනාපත්‍රෙ දෝතින් ම මට දීලා කියාපි මට පොතක් එපා කියලා.”

“ඒකෙ හරි උත්ප්‍රාසාත්මක වගෙම ලොකු ධ්වනියකුත් තියෙනවනෙ. ඒ කියන්නෙ සුමින්ද අය්යා ධ්වනිවාදෙන්ම සර්ට උත්ප්‍රාසාත්මක පිළිතුරක් දුන්නා මට අවශ්‍ය මට කරන්නෙ සුබපැතුමක් එක්ක කාගෙ හරි අතේ මට පොතක් එවන එක නෙමෙයි සර් එන එකයි මට වැදගත් කියන කාරණේ ගැබ් වෙච්ච.” 

“මේ උත්ප්‍රාසාත්මක කතා කියන වෙලාවකට පොඩි උපහාසෙකුත් තියෙන කතා කියන සුමින්ද කියන චරිතෙ තුළම මහ ගැඹුරු මිනිහෙක් ජීවත් උනා. සුමින්ද කියන්නේ සරලකම ගැඹුරු ය, ගැඹුරුකම සරල ය කියන ප්‍රකාශෙ තමන්ගෙ ජීවිතෙන් ම ඔප්පු කරලා පෙන්නපු මහ අපූර්ව මනුස්සයෙක්. එයා නා රජ සහ වේ රජ කවි පොතට පුංචි සටහනක් ලියනවා කවිය වනාහි කියන මාතෘකාව යටතෙ. ඒකෙ දි එයා කියපු දෙයක් මම කැමතියි මේ විදිහට පැහැදිලි කරන්න.  

සුමින්ද කියනවා තම තමන්ගෙ  නැණ පමණට  ශ්‍රද්ධා ප්‍රඥා මාර්ග අර ගෙන ස්වාධීන මගක ගමන් කිරීමෙන් විනා, කිසිම කෙනෙකුට කවිය හඳුනා ගන්න බැහැ කියලා. ඒ වගෙම සුමින්ද එතෙන්දි අපේ ඇස් ඇරෙන තවත් ප්‍රකාශයක් ලියනවා. ඒ තමයි අනුකාරක, ගුරුකුල, දේශපාලන හා කල්ලිවාදී වන ඇතැම් දෙනාගෙ කව් මඟ බලන් ඉන්දැද්දිම පිරිහිලා යන්නේ මේ සත්‍යය තේරුම් ගන්නෙ නැති නිසා ය යන කාරණය. පුතා ඔයා අධ්‍යයනය කරන්න තෝරගෙන තියෙන්නෙ මෙන්න මේ වගෙ දේවල් ලියපු කියපු සුමින්ද ව. එයා ජීවත් ව ඉන්දැද්දි එයාට අඩු වශයෙන් සාධාරණයත් වැඩි වශයෙන් අසාධාරණයත් උනා. දැන් ඔයා ලියන දෙයින් වෙන්න ඕනෙ, ඔයා ලියන කියන දේට උත්තර දෙන්න අපි අතර නැති සුමින්දට සාධාරණය ඉෂ්ට වෙන එක. මේක අභියෝගයක්. දැන් ඔයා ඒ අභියෝගෙ භාර අරන් තියෙනවා. ආපහු හැරෙන්න බෑ ඔයාට මේ වැඩේ කරලා මිසක්.”

“සර් අපිට නා රජ සහ වේ රජ පොතෙන් පස්සෙ සුමින්ද අය්යගෙ කවිතාව ගැන කතා කරන්න වෙන්නෙ ලංකා පොකුණ ඔස්සේ. සර්ට ඒ පොත ගැන මොකක් ද හිතෙන්නෙ.”  

“මන් කැමතියි ගඟුල්, ඒ ගැන කතා කරන්න අපි දෙන්නටම බලපාපු චරිතයක ප්‍රකාශයකින්. වෙලාවක සමන් අය්යා කියනවා දේශප්‍රේමය කියන්නෙ යමකට හරි තෝරාගත් කණ්ඩායමකට හරි දක්වන ප්‍රේමය නෙමේ තමන් ජීවත් වන දේශයටත් ඒ දේශයේ ජීවත් වන ජනතාවටත් දක්වන අසීමිත ප්‍රේමයයි කියලා. මන් හිතන්නෙ සුමින්දගෙ ලංකා පොකුණ කියන්නෙ ඒ ප්‍රකාශය සනාථ කරන්න තියෙන හොඳම නිදර්ශනයක්. ඒ වගෙම ඒ ප්‍රේමයේ විකසිත වීමට බාධා කරන දෙයට වගෙම අයට සුමින්ද එරෙහි වෙනවා. ගුරුවරයා, ගුරුවරිය කියන්නෙ මේ ප්‍රේමය ලෝකය වෙත සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂකයන් වගෙම සම්ප්‍රේෂිකාවන්. සුමින්දගෙ ශිෂ්ටාචාරයෙ වාටිය කියන නිර්මාණය මට දැනෙන්නෙ ලංකා පොකුණෙන් විකසිත වෙන පුෂ්පයක් විදිහට යි.”  

“සර් මේ කතා කරන්නෙ ශිෂ්‍යාවකගෙ කොට ගවුමක වාටිය ලෙහපු ගුරු අම්මා කෙනෙකු ගැන වෛර බැඳ ගත්ත මන්ත්‍රී තාත්තෙක් පොල්ලක් අරගෙන ඉස්කෝලෙට ඇවිල්ලා අනෙක් ළමයි ඉස්සරහ පිට ඒ ගුරුතුමියව වැල්ලෙ දණ ගස්සපු සිද්ධිය පාදක කරගෙන සුමින්ද අය්යා ලියපු කවි පන්තිය ගැන නේද?”

“අන්න හරි ඒ නිර්මාණය තමයි ගඟුල්. මේක සුමින්ද දකින්නෙ සරස්වතී දෙවඟන දණ ගැස්වීමක් හැටියට. ඉසුරුපාය ළඟ ගුරු ප්‍රජාව ගිනි කාෂ්ටක අවුවෙ පුවරු ඔසවා ගෙන ඉන්න එක අපේ මේ කවියට පේන්නෙ පුවරු ඔසවාගෙන ප්‍රඥාවට අධිපති බ්‍රහස්පති හිටගෙන ඉන්නවා වගේ. මේක කවියට දැනෙන්නෙ නපුරු සිහිනයක් වගෙ. කවියගෙ ප්‍රාර්ථනාව මේක හීනයක් මිස ඇත්තක් නොවේවා කියන එක උනත් ඒක ඇත්තක් ම බව පේන්නෙ හීනයෙන් අවදි උනාම. ඒ අවදි වෙච්ච කවියට මේ අසාධාරණය උහුල ගන්න බැහැ. එයා ඒක මුදා හරින්නෙ කවිය කියන ප්‍රබල අවිය හරහා යි. බලන්න ගඟුල් ලංකා පොකුණෙදි එයා මේක කියන හැටි. 


ගුරු මෑණියෙනි ගරුතර

ඔබ ලිහා ඇති වාටිය

ශිෂ්ටාචාරයේ වාටිය

දේව ධර්මයේ වාටිය


දරු පරපුරක් සැබි කොට

සීලයට වෙහෙසෙන විට

තිරිසන් පුපුර අළු යට

දැල්වී නැගී මිහි පිට    

“එතකොට සර් මෙතෙන්දි අපට පේනවා කවියාගේ කෝපයත්. එයා තිරිසන් මුගුර කියන්නෙ දේශපාලකයන්ට නේද? එහෙම බැලුවහම සුමින්ද අය්යගෙ මේ කවිය දේශප්‍රේමයේ ප්‍රකාශනයට වඩා  දේශපාලනික විරෝධයක් නේද?”

“සුමින්ද කවදාවත් හැබෑ දේශපාලනයට හරි හැබෑ දේශපාලනඥයන්ට හරි විරුද්ධ උනේ නැහැ. හැම යුගයකම ඒ ක්ෂේත්‍ර නියෝජනය කරපු හොඳ මිනිස්සු නොහිටියා නෙමේ. ඒත් වැඩිපුර හිටියෙ හොඳ අය නෙමේ. දැන් ඒ තත්වෙ වෙනස් වේවි කියන විශ්වාසෙ අපට තියෙනවා. සුමින්දලා තමන්ගෙ කවිය ලේඛනය ඔස්සෙ පැල කරපු ගස්වල දැන් මල් පිපිලා තියෙනවා, පල හැදිලා තියෙනවා. ඒ වගෙම එයාට හිටියා කවියෙන් ලේඛනයෙන් තමන් ජීවත් වෙන මහපොළොවෙ අඛණ්ඩ ව පැල හිටවපු දැනටත් පැල හිටවන සමකාලීන මිත්‍ර ප්‍රජාවක්. එයින් එක්කෙනෙක් තමයි ඔය ගොල්ලොත් දන්න සුනිල් අය්යා.”  

“සර් සුනිල් අය්යා කිව්වෙ සුමින්ද අය්යලගෙ කාලෙම විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත සුනිල් සෙනෙවි අය්ය ද?”

“ඔව් එයා තමයි ජගත් ගාමිණී, දළුපොත, චූලා, සුනිල්, ප්‍රේමතිලක, අජන්ත, නිලාර්, සාමිනාදන් විමල් වගේ අද සාහිත්‍යකරුවන් හරි විචාරකයන් හරි විදිහට නමක් දිනාගෙන ඉන්න මන් මෙතන නම් කියපු නොකියපු අය වගෙම සුමින්දත් එකම කාලෙක තමයි අපිට හම්බ වෙන්නෙ. මේ අය අතර ජ්‍යෙෂ්ඨත්වය කියන සාධකය ගත්තොත් අවුරුද්දක දෙකක වෙනසක් තමයි තිබුණෙ. ඒ කාලෙ ඉඳලා කවිය, ගීතය ගැන මේ ගොල්ලො අතර සංකථන වගෙම විසංකථන තිබුණා. හැබැයි මේ කාගෙත් අවසාන අරමුණ උනේ මීට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාහිත්‍යය භාවිතයට ගත යුතු යි කියන එක. දැන් ඒ පරපුරේ සුමින්ද ගියා. දැන් ඒ පරපුරට ම අයිති සුනිල්ට නිල බලයෙන් ම සංස්කෘතික සමාජය පෝෂණය කිරීමේ මුල් පුටුව ලැබිලා තියෙනවා. මට විශ්වාසයක් තියෙනවා එයා මේ වගකීම උපරිම විදිහට ඉෂ්ට කරයි කියලා. මොකද සුනිල් කියන්නෙ සංස්කෘතික සංරක්ෂකයෙක් මිස සංහාරකයෙක් නොවන නිසා. ඒ වගෙම එදා ඉඳන්ම රටේ අධ්‍යාපනයට සියයට තුනක් නෙමෙයි සියයට හයක් ම වෙන් කරන්න ඕනෙයි කියන මතවාදෙත් මුලට ම හිටපු කෙනෙක් නිසා. අපිට අධ්‍යාපනයයි සංස්කෘතියයි කියන කාරණා දෙක ගත්තහම එකකින් අනික වෙන් කරන්න බැහැ කියන අදහස තදින් ම දරපු දරන කෙනෙක් නිසා.”

“සර් අපි මුලින් කතා කරපු නිර්මාණය කොහොමද මෙතෙන්ට සම්බන්ධ කරන්නෙ.”  

“ඒකෙ සම්බන්ධ කරන්න දෙයක් නැහැ ගඟුල්, ඒක ඍජු ව ම අධ්‍යාපන භූමියත් දේශපාලන භූමියත් කියන දෙකම බුද්ධ භූමියෙ පිහිටුවලා තියෙන නිසා. සමන් අය්යා කතා කරන බොදු ලකුණ උනේ අපි එකිනෙකා එකට එකතු කරන එක මිස වෙන් කරන එක නොවෙන නිසා.”

“සර් ඔහොම කතා කරන කොට මට මතක් වෙන්නෙ සැරයක් සමන් අය්යා කියලා තිබිච්ච කාරණා  දෙකක්. එයා කියනවා බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන්ගේ පැවැත්ම සහතික කිරීම යි කියලා. ඒ වගෙම තවත් වෙලාවක කියලා තිබුණා මේ බෞද්ධකම නමැති මහා වෘක්ෂය රැක ගත්තොත් අපේ අනෙකුත් සහෝදර ජාතීන්ට, සහෝදර ආගම්වලට ඒකෙ තියෙන සුවිසල් හෙවණෙ සැනසිල්ලෙ ඉන්න පුළුවන් කියලා. ඒක කපලා දැම්මොත් ඒ හෙවණ අහිමි වෙන්නෙ අපි ඔක්කොටමයි කියලා.”  

“අපි දන්න සුනිල් කියන්නෙ සංස්කෘතික, ආගමික සංරක්ෂකයෙක් මිස ඒ කාරණා දෙකේ විඝාතකයෙක් නෙමෙයි. ගොඩක් කාර්ය බහුල ව තිබියදි ඡන්දෙට කලින් දවසෙ තමන්ගෙ කල්‍යාණ මිත්‍රයට අවසන් ගෞරව දක්වන්න ආපු සුනිල් තමන්ගෙ ජීවත් ව හිටපු මිත්‍රයා වෙච්ච සුමින්දටත් වඩා අද ජීවතුන් අතර නැති සුමින්ද මිත්‍රයා වෙනුවෙන් අර්ථවත් යමක් කරාවි.”

“සර් දැන් මට හිතෙන්නෙ අපි අර නිර්මාණෙන් පිට පැනලා කතා කරනවා කියලයි.”

“නෑ ගඟුල්, අපි මාතෘකාවෙන් පිට පැනලා නැහැ. අපි මේ දිගින් දිගට ම යන්නෙ ඒ මාතෘකාව දිගේම තමයි. මේ තමයි මහින්දලා සුනිල්ලා සුමින්දට සම්මුඛ වෙන තැන.”

“සර් ඇයි මේ මහින්දලා සුනිල්ලා කියලා බහුවචනෙන් කතා කරන්නෙ කියන කාරණාව පැහැදිලි කරන්න පුළුවන් ද?”  

“මන් එහෙම කිව්වෙ ඇතැම් වෙලාවක සමාන අදහස් වගෙම පරස්පර අදහස් තිබිච්ච මහින්දලා සුනිල්ලා එකට එකතු කරපු මධ්‍ය කේන්ද්‍රය සුමින්ද නිසා. මහින්ද කිව්වහම මහින්ද දළුපොත, මහින්ද දළුගොඩ ආරච්චි, මහින්ද සෙනරත්, මහින්ද පතිරණ කියන ඔක්කොම මහින්දලා කියන කුලකයට අයිතියි. සුනිල්ලා කිව්වහම සුමින්දලට විශ්වවිද්‍යාලෙදි උගන්නපු සුනිල් සර්රුත් ඒකට අයිතියි. සර්ගෙ ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන සුනිල් සෙනෙවිත් අයිතියි සුනිල් දෑරංගලත් අයිතියි. මේ හැම කෙනෙක් ම වගේ තමන්ගෙ සහෘදයට අවසන් ගෞරව දක්වන්න ඇවිත් හිටියා. එක මිනිහෙකුට පුළුවන් නම් තමන්ගෙ සහෘදයන්ගෙ ඇස් වගෙම හිත් එක බිම් කඩකදි තෙත් කරන්න ඒකෙ තේරුම ගඟුල් එයා ජීවත් වෙලා තියෙනවා කියන එකයි.”

“එතකොට සර් කියන හැටියට සුමින්ද අය්යා වගෙම සර් ඉස්සෙල්ලා නම් වශයෙන් ම සඳහන් කරපු ඔක්කොම එකට එකතු කරන මේ නිර්මාණෙ තියෙන බොදු, දේශපාලන වගෙම ජාතික ලකුණ මොකක් ද?”

“ගඟුල් ඒකට මට උත්තර දෙන්න වෙන්නෙ මේ වෙලාවෙ ඔයාගෙ අතේ තියෙන ලංකා පොකුණෙන් ම තමයි.”

මෙසේ පැවසූ සහන් සිය ආදිඡාත්‍ර සහෘදයා අත තිබූ ලංකා පොකුණ සියතට ගත්තේ ය. එකව් පොතේ ඔහු පෙරළා ගත්තේ 14 වැනි පිටුව යි. කියැවූයේ පහත සඳහන් කව් වැකි තුන යි.

“ගුරු මෑණියනි! ගරුතර 

 ගැසුවේ ඔබ දණ

  ජන්ම භූමියේ බිම   

  පුණ්‍ය භූමියේ බිම

  බුද්ධ භූමියේ බිම 

 

මිදුලේ වැඩුණු වැලි කැට

සිනිඳු වීදෝ හෙමිහිට

අවම තුවාල සිදු කොට

බිහි කළේ ගුරු ලෙයින් රතුකැට


නැගි සිටුව! මෑණියනි

ඔබේ කැළැල් දණහිස

ජාතික කොඩියේ

සලකුණ විය යුතු ය...  

  අද සිට”


“සර් කතා කරලා වැඩක් නෑ ඒකනං ලොමු දැහ ගන්වන කවියක්. සර් මට දැනිච්ච තවත් දෙයක් තියෙනවා සුමින්ද අය්යගෙ කවි ගැන. මට හිතෙනවා සර් ගද්‍ය වේවා පද්‍ය වේවා එයා ලියපු පොත්වල පිදුම් පවා අපිව කැඳවන්නෙ බොදු ලකුණක් වෙතටයි කියන එක.”

“මන් කැමතියි ගඟුල් ඔයාම ඒක පැහැදිලි කරනවනං.”  

“සර් බලන්න සුමින්ද අය්යගෙ පළවෙනි පොත. ඒ කිව්වෙ චක්කරං කොටුව. එයා ඒක පිළිගන්වන්නෙ අම්මටයි තාත්තටයි. ඒකෙ කළගුණ සැලකීමේ පාඩම තියෙනවා. ඒ වගෙම දෙගුරුන් මුල් කර ගැනීම තියෙනවා. ඒ වගෙම එතන ඉන්නවා නිවැරදිව යමක් කරන්න අපව යොමු කරන අපේ සම්ප්‍රදායට හුරු පොදු තාත්තා. ඒ වගෙම එතන ඉන්නවා අර මුහුදට වැටිච්ච දරුවා බේරගන්න ක්‍රියා කරපු ලේන් අම්මා මතක් කරලා දෙන තමන්ගෙ දරුවන් පරිස්සං කරන අපේ සංස්කෘතික පොදු අම්මා. බලන්න සර් මේ වචන ටික.”

“වැඩක් කරන කොට

ලකයක් ඇතුව කරපන්” 

තාත්තා මට කිව්වා...


අනේ ...පුතේ...

පරෙස්සමෙන්”

අම්මා කියනවා ඇහුණා...

“ඊළඟට එයා තමන්ගෙ දෙවෙනි පොත සරසවියෙදි තමන්ට උගන්නපු සුනිල් සර්ට පිළිගන්නලා ගුරු පූජාවක් කරනවා. තුන්වෙනි පොත රත්නපුරේ සීවලියෙදි සිංහල උගන්නපු ගුරුතුමියට පුදනවා. හතරවෙනි පොත මිත්‍ර පූජාවක්. ඒකෙ පිදුම ඔයගොල්ලන්ගෙ ජ්‍යෙෂ්ඨයෙක් වන දළුපොත අය්යට. ලුම්බිනී පොතේ පිදුම ජයලත් මනෝරත්න ප්‍රවීණ රංගධරයට.”

“ඉතින් ගඟුල් ඕනෙම පොතක තියෙන පිදුමක ලක්ෂණේ ඕකනෙ. ඒ නිසා අපට ඒ කාරණේ මෙතෙන්දි අමුතු විශේෂ කාරණාවක් කරලා ගන්න බැහැ නේද?”  

“සර් ඒක බොහෝ දුරට පොදු ලක්ෂණයක් තමයි. ඒ උනාට සුමින්ද අය්යා මෙතෙන්දි වෙනස් වෙන්නේ තමන් ශික්ෂණය ලබපු ආගමික සම්ප්‍රදායෙන් බැහැර නොවෙච්ච ගතියක් මේ හැම පිදුමකම පේන්න තියෙන නිසා. බලන්න සර් එයා ආරියවංශ පතිරාජ ප්‍රතිරාව පොත පිළිගන්වන්නෙ යුක්තිය වෙනුවෙන් වැඩ කරපු කවියන්ට. ඒක එයා නම් කරන්නෙ පිදුම කියලා නෙමෙයි මතක වස්ත්‍ර පූජාව කියලයි.” ඒ වගෙම සර්ටයි මිස්ටයි පිළිගන්නපු දෘශ්‍යාත්මක මානව විද්‍යාව පොතේ පිළිගැන්වීමෙදි සංස්කෘත සාහිත්‍යෙ ප්‍රසිද්ධ පද්‍යයක් බෞද්ධකරණයට ලක් කරලා මෙහෙම ලියලා තිබුණා.

“සංසාරේ විෂ රුක මත ඵල දුටුවෙමි         අමා

තොප දැකුමෙන් යුග නෙතු පින සපුරා ගති සැමා”

“ගඟුල්, ඔයා මේ උදාහරණ හැටියට දක්වන දේවල්නං ඔයාගෙ කාරණේ සනාථ කරන්න තියෙන ප්‍රබල සාධක. මට සතුටුයි ඔයා පර්යේෂකයෙක් විදිහට කාරණා ඉදිරිපත් කරන අතරෙම ශාස්ත්‍රීය වශයෙන් ඒවා සනාථ කරන්න උත්සාහ දරන එක ගැන. ඒ වගෙම ගඟුල්, සුමින්දගෙ කවියෙන් බෞද්ධ සංලක්ෂණ කතා කරන අතරෙම යම් මට්ටමකට එයාගෙ ගද්‍ය ග්‍රන්ථවලත් මොන මට්ටමකින් හරි ඒ යොමුව තියෙනව ද බලලා ඒවත් කෙටියෙන් හරි පොතට ගළප ගන්න. හැබැයි කවිය ප්‍රධාන කරගන්න. එතෙන්දි අපි කතා කරපු මාතෘකාව යටතෙ තමන්ගෙ අවධානය වැඩියෙන් ම යොමු කරන්න ඕන වෙයි කියලා ගඟුල් හිතන්නෙ සුමින්දගෙ කොයි කවි පොතට ද?”

“සර් මට හිතෙන්නෙ වගෙම ඇත්තටම වැඩි අවධානයක් දෙන්න වෙන්නෙ ලුම්බිනීට.”   

“ඔයා හරි ගඟුල්, ලුම්බිනී කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. කවිය පිළිබඳ ව කරපු එයාගෙ උපරිම අභ්‍යාස දෙකෙන් එකක් වෙන්නෙ ඒක. තව පැත්තකින් ලුම්බිනී නූතන සිංහල ආඛ්‍යාන කාව්‍යාවලියෙ දෘශ්‍යමාන ප්‍රධාන සන්ධිස්ථානයකුත්  වෙනවා. ඒ වගෙම මගෙ කියවීම අනුව නූතන යුගයට අයිති පංච උපාඛ්‍යානවල දැනට තියෙන අවසන් පුරුක වෙන්නෙත් ඒක.”

“සර් මන් කැමතියි මේ ගැන සර් වැඩි පැහැදිලි කිරීමක් කරනවනං.”  

“ගඟුල්, කොහොමටත් සංස්කෘත සාහිත්‍ය ශානරයන් වෙන ආඛ්‍යාන-ආඛ්‍යායිකා ගැන කියන්න. ඒ වගෙම ආඛ්‍යාන කියන වචනෙ තියෙන තමන්ගෙ හිතට ම අරගෙන කියනව කියන නිරුක්ති අර්ථ ගැනත් කියන්න. ඒ කියන්නෙ වෙතට කියන අර්ථෙ දෙන ආ අව්‍ය පදය මුලින් යෙදිලා කීම, පැවසීම යන අර්ථ දෙන ඛ්‍යා ධාතුවෙන් ඒ වචනෙ හැදෙන හැටිත් පෙන්නලා දෙන්න. ඒ වගෙම ව්‍යාඛ්‍යාන, ආඛ්‍යාත වගේ වචන හැදෙන්නෙත් ඛ්‍යා ධාතුවෙන් ය කියන පැහැදිලි කිරීම් ඒකට එකතු කරන එකත් හොඳයි. මොකද පර්යේෂණ ග්‍රන්ථයකදි ඒ දැනුම සමාජගත කරන තැන තියෙන්නෙත් ඥාන ප්‍රදායනය මිස වෙන දෙයක් නෙමෙයිනෙ.”

“සර් නූතන පංච ආඛ්‍යාන කියලා සඳහනක් කළා. මට තියෙන්නෙ ඒ වගෙ හතරක් ගැන අදහසක්. සර්ට පුළුවන් ද සර්ගෙ කියවීමට අනුව අහු වෙච්ච ඒ පහ පෙළ ගස්සන්න.”

“මෙහෙමයි ගඟුල්, තව කෙනෙකුට මේ ගැන මට වඩා වෙනස් අදහසක් තියෙන්න පුළුවන්. ඒ අදහස් දැක්වීම්වලට තියෙන අයිතියට ගරු කරන අතරෙම මන් මගෙ අදහස කියන්නං. අපිට අපි කතා කරපු නූතන යයි සම්මත කරගෙන තියෙන යුගයට අයිති කරන්න පුළුවන් පළවෙනි ආඛ්‍යානෙ වෙන්නෙ සේකරගෙ ප්‍රබුද්ධ, ඊට පස්සෙ අපට හම්බ වෙනවා රත්න ශ්‍රීගෙ තරු ලකුණ. ඊළඟට නන්දන වීරසිංහගෙ සත්‍යකාම නම් වෙමි. අපිට හතරවෙනි ආඛ්‍යාන කාව්‍යය හැටියට එරික් ඉලයප්ආරච්චිගෙ සුචරිත සිරිත නම් කරන්න පුළුවන්. අපේ සුමින්දගෙ ලුම්බිනී තමයි පස්වෙනි ආඛ්‍යානය වෙන්නෙ.”  

“සර් ඕකෙන් හතරක් නං පැහැදිලි ව ම ආඛ්‍යාන කාව්‍ය. ඒ ගැන විවාදයක් නෑ. ඒත් කොහොම ද සර් එරික්ගෙ පොත ආඛ්‍යානයක් වෙන්නෙ. එයා ඒක ලියලා තියෙන්නෙ සන්දේශ කාව්‍ය ආකෘතියටනෙ.”

“එහෙම උනාට අපට පොතක් ගැන කතා කරන්න වෙන්නෙ ඒකෙ අන්තර්ගතය දිහා බලලනෙ. බලන්න ප්‍රබුද්ධ පොතේ අපට මුල ඉඳන් අගට යනකන් හමු වෙන සත්‍ය ගවේෂකයෙක් ඉන්නවා. ඒ වගෙම තරු ලකුණෙදි අපි දකින සුරත් කියන්නෙ ජීවිතය දකිමින් ජීවිතය අවබෝධ කර ගන්න ප්‍රයත්න දරන සත්‍ය ගවේෂකයෙක්. නන්දන උපනිෂද් සාහිත්‍යයෙන් සත්‍යකාම කියන නම අරගෙන තමන්ගෙ පොත ඔස්සේ අපට මුණ ගස්සන්නෙ සත්‍යයට කැමති සත්‍යය සොයා යන සත්‍ය ගවේෂකයෙක්. සුමින්දගෙ ලුම්බිනියෙදි අපට හමු වෙන්නෙ අනුරාධ. ඒ චරිත ඔක්කොම ඒ කවියන්ගෙ හොඳ පරිකල්පනවල ප්‍රතිඵල. එතකොට එරික් සුචරිත සිරිතෙන් අපට මුණ ගස්සන්නෙත් ඔයත් දන්න මේ සමාජයත් දන්න විද්වතෙක්ගෙ චරණ. ඒ ගැන විද්වතුන්, විචාරකයන් අතර විවිධ මත තියෙන්න පුළුවන්. කොහොමත් පරිකල්පිත චරිතයක් වටා ලියන දෙයකට වඩා දන්න කියන සමාජයක් ගැන දන්න කියන පුද්ගලයෙක් ගැන ලියන කොට ඇති වෙන සමාජ කතාබහ වැඩියි. ඒක අපට අපේක්ෂා කරන්න පුළුවන් තත්ත්වයක්. ගඟුල් සන්දේශ කාව්‍යයක් කියන මානසිකත්වයෙන් මිදිලා සුචරිත සිරිත කියවන්න. එතකොට ඔයාට හමු වෙන්නෙ ප්‍රබුද්ධ, සුරත්, සත්‍යකාම, අනුරාධ වගෙම තවත් සත්‍ය ගවේෂකයෙක්.”  

“සර් ඔය විදිහට ගත්තොත් පරාක්‍රම කොඩිතුවක්කු කවියා එකිනෙකට වෙනස් මාතෘකා යටතෙ ලියපු කවිවලින් මතු වෙන ආලෝක මිනිසා දාන්න වෙන්නෙත් සත්‍ය ගවේෂකයන්ගෙ කුලකයටනෙ.”

“ඔව් ගඟුල්, සාහිත්‍ය විචාරකයෙක්, පර්යේෂකයෙක් විදිහට පරාක්‍රමගේ ආලෝක මිනිසා ඔය විදිහට ඔයාට දකින්න පුළුවන්. ඒ වගෙම ඔයා ඒ පොත ආඛ්‍යාන කුලකයට දාලා කතා කරනවනං ඔයාට පුළුවන් වෙන්ඩ ඕනෙ නිදර්ශන සහිත ව ඒක අපට පැහැදිලි කරලා දෙන්න. ඒ අයිතිය ඔයාට තියෙනවා. මන් ඔයාගෙ උපදේශකවරයෙක් උනා කියලා කිසිම වෙලාවක ඒ අයිතියට බාධා කරන්නෙ නැහැ.”

“සර් කිව්වනෙ මේ අධ්‍යයනේ  දි ලුම්බිනී පොතේ තියෙන විශේෂත්වය. මගෙ පෞද්ගලික රුචියත් හැඟීමත් කියන්නෙ එයාගෙ හොඳම කවි පොත ලුම්බිනී කියන එකයි.”  

“ඔව් ගඟුල් මන් දැනුත් කියනවා ලුම්බිනී විශේෂයි කියලා. විශේෂයෙන් ඔයාගෙ මාතෘකාව වෙච්ච සුමින්දගේ කවිවල දෘශ්‍යමාන බොදු සලකුණ හොයන් යන ගමනක දි ඒක විශේෂ වෙනවා තමයි. ඒ උනාට අමතක කරන්න එපා පරිණත නෙමෙයි සුපරිණත සුමින්ද මුණ ගස්සන තවත් කවි පොතක් එයා ලිව්වා කියන එක. ඒක නිසයි මන් ඉස්සෙල්ල කිව්වෙ සුමින්ද කාව්‍යය ගැන කරපු ගවේෂණයෙ උපරි අභ්‍යාස දෙකක් තියෙනවා කියලා. එකක් කලින් කිව්වා වගේ ලුම්බිනී. ඒක ප්‍රමාණාත්මක ව වගෙම ගුණාත්මක ව ලොකු පොතක්.”

“සර් ලුම්බිනී පොතේ දැක්ක බොදු ලකුණක් දෙකක් කියනවානං මන් කැමතියි; මොකද ඒවා මම හිතපු තැන් එක්ක සමපාත වෙනවද කියලත් එතකොට මට බලා ගන්න පුළුවන්නෙ.”

“ගඟුල්, බලන්න සුමින්ද ලුම්බිනී ආරම්භ කරන වචනය දිහා. එයා ඒ කවි පොත පටන් ගන්නෙ ‘තිත් අඳුර ම විඳින නමුත්’ කියන කාව්‍යෝක්තියෙන්. ඊට පස්සෙ එයා ලියනව ‘පිනි පිරිතේ ස්වරය ඇසෙයි’ කියලා. වෙන මොකුත් ඕනෙ නැහැ. අනුරාධ භෞතික වශයෙන් හැව්ලොක් ටවුන් එකේ තියෙන ලුම්බිනියට අනුරාධ යන ගමන නවත්තන්නේ මොන ලුම්බිනියෙන් ද කියලා. එයා ඒක ප්‍රසිද්ධ රංගශාලාවක් තියෙන ලුම්බිනියෙන් මුදවලා බුද්ධෝත්පත්තිය සිද්ධ වෙච්ච ලුම්බිනිය බලා යන ආධ්‍යාත්මික චාරිකාවක් බවට පත් කරනවා. බලන්න ගඟුල් මේ කවිය.

බුදුන් බුදු වු අලුයම් පෑ පහන් කොට

බුදුන් උපන් තැන සොයමින් ගමන්     කොට

නැඟිට නැඟිට බලමින් ලද බිය          සතුට

කවට නැඟිය හැකි වෙද ලොව     කවරෙකුට”

“සර් මේකෙ ප්‍රධාන චරිතය වෙන අනුරාධගෙ නමත් එක්කත් අපට මතක් වෙන්නෙ අනුරාධපුරය. ඒකත් මට හිතෙන්නෙ සුමින්ද අය්යා හිතාමතාම දාපු නමක් කියලයි. මොකද ඒ නමේ ම තියෙනවනෙ සර් දහම එක්ක බැඳිච්ච ගතියක්.”

“ඒ නමේ තියෙනව විතරක් නෙමෙයි ගඟුල්, සුමින්ද එයාගෙ වචනවලින් ම අපට මතක් කරලා දෙනවා ඒ නගරය මොකක් ද ඒක ආශ්‍රිත ව බිහි කරපු සමාජය මොකක් ද කියන කාරණා වගෙම ඒක අමතක කරලා අපට යන්න ගමනක් නැහැ කියන එකත්. එයා කවියෙක් හැටියට බොහොම දැනෙන විදිහට ඒක කියනවා. පෙරළන්න ගඟුල් ඕකෙ 64 වැනි පිටුව. ඔය අන්තිමට තියෙන්නෙ සුමින්ද අපි කාටත් මතක් කරලා දෙන වැදගත් පණිවිඩේ තමයි.”  

සිය ගුරුවරයාගේ වචනවලට අනුගත වෙමින් එකී කාව්‍යෝක්තිය මෙසේ කියවන ලද්දේ ගඟුල් විසිනි.


“නේක රෝග සමාජයක් භූ කම්පන මැද

 තවමත් සපුරා නට වී මැරී නොගිය

 අනුරාපුර සමාජයක් බිහි කළ තැන...

 ඒ මේ අභිරහස් නොදැන

 යා හැකි වෙ ද අපේ ගමන

 යා හැකි වෙ ද අපේ ගමන”

“ගඟුල්, සුමින්ද කියන අපේ ගමන හොයන් යන්න ඔයා. මට හිතෙන්නෙ එතෙන්දි ලුම්බිනී ටත් එහා ගිය තව පොතක් තියෙනවා කියලයි. එක අතකට ඒක එයාගෙ සුවිශිෂ්ට කාව්‍ය අභ්‍යාසය කියලා කියන්න පුළුවන්. මන් හිතන්නෙ ප්‍රමාණාත්මක ව අල්ප, ගුණාත්මක ව විසල් සුමින්දගෙ විශිෂ්ට කෘතිය තමයි ඒක.”

“සර් මේ කතා කරන්නෙ සුමින්ද අය්යා අන්තිමට ලියපු ප්‍රිස්ම ගැනනෙ. මට මතකයි අපරදිග සාහිත්‍යය ගැන ලොකු කියවීමක් තියෙන ආචාර්ය දර්ශන අශෝක කුමාරයි පෙරදිග සාහිත්‍යය නියෝජනය කරමින් සර්රුයි තමයි කෙටි ඒ උනාට ඒකෙ ප්‍රධාන දේශන දෙක කළේ. ඒ වගෙම මහින්ද දළුපොත අය්යා සීගිරි කවියට සම්බන්ධ කරලා සුමින්ද අය්යගෙ කවිය ගැන කතා කළා. මහාචාර්ය චන්දන උඩවත්ත, ඒ වෙන කොට උපකුලපති තනතුරේ හිටපු මහාචාර්ය තිලකරත්න, මහාචාර්ය ජයන්ත වත්තෙවිදාන, මහාචාර්ය ශාන්ති ද සිල්වා වගෙම මහාචාර්ය ගයත්‍රී ජයතිලක වගෙ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය එදා විවෘත විශ්වවිද්‍යාලෙදි ඔය පොත ජනගත කරන දවසෙ කතා කළා. සර් අපි අපේ අද සාකච්ඡාවෙ අවසානය ලකුණු කරමු ද ඒකෙන්. සර් මට පොඩ්ඩක් උදව් වෙන්නකො මේක ඒ කියන්නෙ ප්‍රිස්මත් මගෙ අධ්‍යයනයට සම්බන්ධ කර ගන්නත්.“

“ඔයයි මමයි දෙන්න ම දන්න විදිහට ප්‍රිස්මවල තියෙන්නෙ කෙටි කවි 74ක්නෙ. හැබැයි ඒ හැම කෙටිකතාවක් පිටිපස්සෙ දිග කතාවක් වගෙම දාර්ශනික කියවීමක් තියෙනවා. සුමින්ද මේ පොතට ගහපු ආරාධනා පත්‍රෙ සඳහන් කරනවා සංකිත කවි-පෙරඹර දැක්ම කියලා. සංකිත කවිය එහෙම නැත්නං සංක්ෂිප්ත කවිය කොටින් ම කෙටි කවිය කියන්නෙම පෙර දිග අහසේ ප්‍රකාශනයක්. ගෞතම බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනා ගොඩක් තියෙනවා අඩු වචන සංඛ්‍යාවකින් වැඩි දෙයක් කියන. ඊ ළඟට ඇතැම් උපනිෂද් ප්‍රකාශ, ඒ වගෙම යෝග පාඨ. මෙන්න මේ වගෙ අපි කියපු නොකියපු ගොඩක් දේවලින් මේ පෙර’ඹර දැක්ම සමන්විත යි. මන් හිතන්නෙ මේ පෙර’ඹර දැක්ම හොයාගෙන ගිය සුමින්ද තමන්ගෙ ජීවිතේ අවසාන කාලෙදි අපට වඩා ගොඩක් දුරකට ගිහින් ඒ දැක්ම අවබෝධ කර ගත්තයි කියලයි. 

අබේවර්ධන සෙවණට සෙනෙහසින් කියලා සුමින්ද පිදුම කියන වචනෙ සඳහන් කරලා එයා කියන 

ගස

මල් 

නොවිඳී    

කියන කාව්‍යොක්තිය විතරක් උනත් ඇති ගඟුල් අපේ මේ සහෘදයා පෙරඹර දැක්ම අවබෝධ කරගෙනයි හිටියෙ කියන එක තේරුම් ගන්න. ඒ වගෙම එයා ඒ පොතට පොත් පිටු හතකට සිමා කරලා ලියපු, අපේ හද පිටු අප්‍රමාණ විදිහට පුරවන සංකිත කවිය හා ප්‍රිස්මාවලෝකන කියන ලිපිය බොහොම සැලකිල්ලෙන් කියවන්න. ඒ වගෙම ඊට මුලින් තියෙන ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහත්තයත් උදිත අලහකෝන් මිත්‍රයත් ලියපු සටහන් දෙකත් කියවන්න. වෙලාවකට මට හිතෙන්නෙ සුමින්ද කෙටි කවි හරහා තමන්ගෙ ජීවන දර්ශනය වගෙම ජිවන කතා ප්‍රවෘත්තිය ලෝකයට කිව්වා කියලයි. බලන්න ඒකෙ පළවෙනි කවිය. 

මහ ගලක් මත

විඩා හරිමි     

පිරිමදිමින් 

ගල්තැලුම්

තවත් තැනෙක එයා ලියලා තිබුණා නොබැඳී බැඳීමේ තියෙන අනුහස් ලෝකයට කියන්න යන්නෙ කැඩිච්ච දම්වැල් කියලා. බලන්න ගඟුල් මේ නිර්මාණය.

දම්වැලක්

කැඩුණු කඹයකට පවසයි

නොබැඳී බැඳුමේ 

අනුහස්

තවත් තැනක එයා මෙහෙම ලියනවා.

ඒ උණුසුම් රාත්‍රියේ 

මා විඳි 

සීතල ම සඳකැන්

මේ සැඩහිරුගෙ ම ද? 

තව තැනක දි වෙනස් ම විදිහට සුමින්ද අපට මුණ ගස්සන්නෙ එයාගෙ ආදරණීය අම්මව.

මහ ඉඩමේ

කෝපි මල් අතර

තාමත්

අම්මාගේ 

සුවඳ 

මේ කවි ගැන එදා තමන්ගෙ දෘශ්‍ය මාධ්‍යය භාවිතා කරලා හොඳම විග්‍රහය කළේ අපේ නුවන් කටුගම්පල.”

තත් සංකථන සමාප්තිය සිදු වන ඒ මොහොතේ සහන් කතා කෙළේ ආවේශයෙන් මෙනි. ඔහු අවසාන වශයෙන් මෙසේ ද කීවේ ය.  

“ගඟුල්, සුමින්ද කියන්නෙ තමන් නිවිලා ලෝකය නිවන්න වැඩ කරපු උත්තම මනුෂ්‍යයෙක්. සමු ගැනීමෙන් පවා අපි සමු ගන්න ඕනෙයි කියන එක අපිට කියලා දුන්නෙ තමන් දාර්ශනිකයෙක් බව සමාජයට නොකියාම මේ සමාජයෙන් නික්මිලා ගිය දාර්ශනිකයෙක්. මේ ජීවිත කාලෙදි එහෙම මනුස්සයෙක් සමීප ව ඇසුරු කරන්න ලැබිච්ච එක පවා මම සලකන්නෙ අපේ භාග්‍යයක් විදිහට. ඔයා උපරිම විදිහට මේ වැඩේ කරන්න ගඟුල්. අපි සුමින්දගෙ වචනවලින් ම මේ සාකච්ඡාව අවසන් කරමු.”


“තවම වැලපෙන

මල් නටුව 

අමතා   

කියයි ගස

සමුගත යුතු ය ඔබ

සමු ගැනීමෙන් පවා”

Sunday, December 1, 2024

120. අනුරාධපුරේ දවසකුත් ඇති!

ග්‍රීසියෙන් පෙරදිගට පාත් වුණ දැරිවියක්ය කියලා කේන්දරේ තිබ්බට ⁣වැහිදැරියට හිතෙන්නෙම පූර්වාත්මභව හුඟක ඉන්න ඇත්තෙ අනුරාධපුරේ කියලයි. ඒ තරම් තද ආදරයක් වැහිදැරියට අනුරාධපුරේ එක්ක තියෙනවා.

මාසෙකට දෙතුන් පාරක් යන්න සැලසෙන දිගු තීර්ථ චාරිකා එකතුව පිරික්සලා බැලුවම, කොවිඩ් කාලෙ ඇරුණම ජීවිතේ අනිත් හැම අවුරුද්දෙම වැසි දැරිවිට වසරකට කීප වතාවක් අනුරාධපුර යන්න වැඩ සැලැස්වෙනව. හරියට තද ආත්මීය බන්ධනයකින් වැහිදැරිවිව රජරටට බැඳලා තියෙනවා වගෙයි.

ඉස්සර හැම අවුරුද්දෙම අනුරාධපුරේ යන්න වැහිදැරිවිට වැදෙන චාන්ස් එක තමා ජපුර සරසවියෙ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශයෙ බිහිවැඩ චාරිකාව. 

ඒ හැම අනුරාධපුර චාරිකාවකදිම වැහිදැරිය ගියත් නැතත් තාත්තා කුට්ටම්පොකුණ අද්දර සුට්ටං කඩේක රෙදි බෝනික්කො විකුණපු යුවතියකගෙන් බෝනික්කො අරන් ආවා. අදටත් වැහිදැරිවි ගාව මේ රෙදි බෝනික්කො රංචුවක් ඉන්නවා. එයාලාට එක එක කාලෙට නම් වැටුණේ එක එක විදියට. ලෝරා පොත් පෙළ කියවන කාලෙ ලෝරා,මේරි,කේරි. ඉන්දියානු පොත් කියවන කාලෙට රත්නා, ක්රිෂ්ණි.. ඔය විදියට නානාප්‍රකාර නම්වලින් හැඳින්වුණ බෝනික්කො එකතුව ටික ටික වැඩි වෙද්දි බෝනික්කො විකුණූ යුවතිය පුංචි යතුරුපැදියෙන් කාර් පොඩ්ඩෙක් දක්වා විතැන් වෙලා ව්‍යවසායිකාවක් වෙලා උන්නා.

වැහිදරුවා වැහිදැරිවිගෙ ජීවිතේට ආවට පස්සෙ අනුරාධපුරට ගිය හැම වතාවෙම ඔහු මේ බෝනික්කො වෙළඳසැලෙන් වැහිදැරිවිට බෝනික්කෙක් අරන් දෙන්න බලන් උන්නත් ඒ එක වතාවකවත් ඒ වෙළඳසැල තිබුණෙ නෑ. බාගෙදා වෙනත් තැනක - වෙනත් පෙදෙසක - වෙනත් දේසෙක ඒ හුරුබුහුටි රෙදි බෝනික්කියො ඈ අතින් අළෙවි වෙනවා ඇති! 

කුට්ටම්පොකුණු මතකෙත් එක්ක වැහිදැරිවිට මතක් වෙන්නෙ අනුරාධපුරේ අස්සක් මුල්ලක් නෑර සරසවි අය්යලා අක්කලා එක්ක ඇවිදපු හැටි. එදා වැහිදැරිවිගෙ අතින් අල්ලන් නැත්නම් වඩාගෙන ගල්පඩිපේළි නැගපු ශශී අක්කා, හැපී අය්යා, සරසි අක්කා, මුතු අක්කා ඇතුළු ඇතැමෙක් අදටත් මුණගැහෙන සහෝදරාත්ම. ආලෝකා, අයේෂා, මහේෂි, ජනක, සංජීව, කෛලාශි වාගෙ තවත් සහෝදර සහෝදරියන් බොහොමයක් ඔවුන්ගෙ සරසවි සමයෙන් පස්සෙ වැහිදැරිවිට හමුවෙලාම නැති තරම්. වැහිදැරිවිගෙ අම්මායි වැහිදැරිවියි එක්ක නටබුන් අතරෙ ඇවිද යන අතරෙ වැහිදැරිවි පෙරදිග සාහිත්‍යය අපරදිගට ගෙන යනවා නේද කියලා පොරොන්දු කරවාගෙන මනරම් සාහිත සංවාද කරපු අරුණ අය්යා ඇතුළු සමහර සහෝදරවරු ආයෙ නොඑන්නම ජීවිතෙන් සමුගෙන ගිහින්. ඒත් බටු ඇටේක සිට නවයොවුන් දැරියක් වන තෙක් කුඩා වැහිදැරිවිව පරිස්සමින් ගල්පඩි නග්ගවාපු ඔවුන්ගෙ අත්වල සහෝදර උණුහුම, තනියම ගල්පඩිවල පැන පැන යන්න ගත්ත වයස⁣ට ආව නමුත් වැහිදැරියට කිසිදාක අමතක වන්නෙ නෑ.

මතක ඇති කාලෙ ඉඳන් ඒ සරසවි සංචාරවලත්, නිවාඩු සමයන්හි නිවැසියන් එක්ක යෙදුණු ඉසිඹු ගමන්වලත් බොහෝ විට මාර්ගෝපදේශක භූමිකාව දැරුවෙ ශාන්ත හාමුදුරුවෝ. සරසවි ශිෂ්‍ය භික්ෂුවක්ව හාමුදුරුවෝ වැඩවිසූ ආරණ්‍ය සේනාසනය තිබුණේ විජයපුර නිසා නිතැතින්ම හාමුදුරුවෝ මග පෙන්වීමේ කාර්යය භාරගත්තා. ඉන්පස්සෙ හාමුදුරුවෝ සරසවියෙ සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියකට පත් වීමත් එක්ක නිරන්තරයෙ අපේ අනුරාධපුර චාරිකාවන්වලට ආරණ්‍යමය සැහැල්ලුවක් සහ සන්තුෂ්ටියක් එක් කළේ හාමුදුරුවෝ. වැහිදැරිවිගෙ ආච්චිව රෝදපුටුවෙ තියාගෙන රුවන්වැලි⁣සෑ මලුවෙ පැදකුණු කරවලා ආශිර්වාද කිරීමේ ඉඳලා ප්‍රත්‍යසම්පාදනය දක්වා හාමුදුරුවෝ අපේ අනුරාධපුර චාරිකා සුවිසාල කරුණාවකින් පුරවලා තියෙනවා.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති සාටෝපී විවාහ උත්සවයක් ගන්නවා වෙනුවට සරලව විවාහය ලියාපදිංචි කරලා උත්සවයක⁣ට වෙන් කරන මුදලින් පාසලකට උපකාර කරන්න තීරණය කරපු වැසි දැරියටයි වැසි දරුවාටයි ජීවිතේ මනරම්ම දවසෙ ස්වේච්ඡාවෙන්ම පිරිත් දේශනා කරන්න භාරගත්තෙත් ශාන්ත හාමුදුරුවෝ. ඉතින් අනුරාධපුර විතරක් නොවෙයි ජීවිතයේ ගොඩක් තැන් ඒ කල්‍යාණ මිත්‍ර ආශිර්වාදයෙන් වියුක්ත කරලා සිහි නංවන්න බෑ. 

කෝම හරි ඔය අනුරාධපුර ගමන්වලදි වැහිදැරිවි ආසාම රියේ පිටිපස්සෙ වීදුරුව⁣ පැත්තට මූණ යොමාගෙන පහුවෙලා යන ගස් වකාරෙන් පිරුණු ලස්සන පාරවල් දිහා බලාගෙන යන්නයි. ඉන්පස්සෙ පූජා නගරයෙ ප්‍රදක්ෂිණා පථවල, ගල් ⁣අල්ලපු පාරවල සහ තණපිඩැලි මත්තෙ, දියබෙරලියා මලක් වගේ සරල වනපස මල් අතින් අරගෙන නිස්කාංසු⁣වෙ ඇවිදගෙන යන්නයි. ඊටත්පස්සෙ නටබුන් - ගල්කණු - ආරාම සංකීර්ණ - පොකුණු - ගරාවැටුණු පුරාතන විශ්වවිද්‍යාල අතරෙ සරමින් - මුරගල්වල හුරුබුහුටි සංඛ-පද්ම රූප අතගාමින් - සමන් සිත්තරා කියපු අනුරාධපුර යුගයෙ සරල සම්භාව්‍ය බව සඳකඩපහණක ලියපෙත්තකින් විඳිමින් - දැක්මෙන් පවා තපස්වරියන්ගෙ සිල් බිඳුණාය කියන නාග මානවකයන්ගෙ සුනම්‍ය තුරුණු කොපුල් මඟඅරිමින් - ඔ⁣රලෝසු කටු ගැන වගේ වගක් නැතුව අමා රස්තියාදුවෙ යන්නයි. 

දෑවුරුද්දක⁣ට විතර ඉහතදි වැහිදැරිවිත්, වැහිදරුවාත්, සුදුඅම්මාත්, සරසවි මිතුරු ගයන්තත් අනුරාධපුර දක්වා යන්න සැලසුම් කරපු හිතුවක්කාර දුම්රිය ගමන දුම්රිය වර්ජනයක්ද කොහෙද හේතුවෙන් බස් ගමනක් බවට පෙරැලුමත් කදිම අනුරාධපුර මතකයක්.

ඒ ගමනෙදි තමා වැහිදැරිවි වැඩිපුරම වෙලාවක් නටබුන් අතර රැඳී උන්නෙ. එක ⁣කොරවක්ගලක් ගාව සෑහෙන වෙලා අපි හතර දෙනා රැඳීගෙන කැටයම් අත ගගා ඉන්න ඇති. රාත්‍රියෙ රුවන්වැලි සෑ මලුවෙ කාලය ගැන හැඟුමක් නැතුව රැඳී ඉඳලා, මහබෝධියට යන මග පහන් පූජා නරඹමින්, ගත කළ වෙලාව හෝරා ගණනක් වෙන්න ඇති. 

වෙස්සගිරියෙ ඇතුළු ගල්ගුහා වෙතටම ගිහින් මිහිඳු මහරහතන් වහන්සේ භාරත රාජ්‍යයම අත්හැරලා සැතපෙන්න තෝරාගත්ත ශිලා යහන වෙතත්, ඉන්පස්සෙ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න තෝරාගත්ත විශ්ව ශක්ති කේන්ද්‍ර වෙතත් නැගගෙන ගිය ගමන කිසිදා අමතක කරන්න බෑ. වෙස්සගිරියෙ එකිනෙක මත සමබර කරපු සුවිශිෂ්ට තාක්ෂණයකින් යුතු ශිලා කේන්ද්‍රවල විස්මයාවහ බවත් විඳගනිමින් - ගල්පර්වතයෙ ස්වභාවික ගල් ඇඳන් මත ⁣හතරදෙනා එක පෙළට වැතිරිලා - ගලින් කළ කොට්ට මත හිස හොවාගෙන භාවනා කළ මතකය අටවිසිවසක ජීවිතයේ සන්සුන්ම මතකයක්.

'ඒ අමා රස්තියාදුව' නමින් ගයන්ත, ඒ ගමන ගැන කවි හත අටකුත් ලියා තිබුණා මතකයි. 

'ලියවැල් මත වෙලී පැටලී වෙමිනි පමා...

ඇත් අස් සිහ රඳුනි මේ ලෙස දුවනු කිමා...

සඳකඩපහණ මත ඇවිදින හිස ද නමා...

හස රද පැවසුවේ නවතින අයුරු තමා...'

කියා තමයි ඒ කවි ටිකෙහි පළමු කොටස අවසන් කරලා තිබුණෙ. ඒකෙ දෙවෙනි කො⁣ටස බාගෙදා මනුස්සයා දෑවුරුද්දක් තිස්සෙ තාම ලියනවා ඇති. ඕං මේ බ්ලොග් පෝස්ටුව කියෙව්වොත් හෙම මේ තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්න සිහි කැඳවීමක්!

මෑතක පටන් නිසැකවම අනුරාධපුරේ වාර්ෂිකව යන්න හේතුවක් සපයන්නෙ අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය. හැම වසරකම එහි බෞද්ධ අධ්‍යයන අරබයා අන්තර්ජාතික  සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. 

මෙවර සම්මන්ත්‍රණය ශාස්ත්‍රකාමීන්ට සැණකෙළියක් බඳු එකක් වුණා. සංවාද, ප්‍රතිසංවාද, තර්ක ඛණ්ඩන මැදින් ඉතා කදිමට ගලා ගියා.වැහිදැරියගෙ ජීවිතේ ඉන්න සමීපතම-ආදරණීයම චරිතයක් වන ආචාර්යතුමියකුත්, ගුරු ජීවිතයට අත්‍යන්තයෙන්ම ආදරය කරන තාරකා එළියක් බඳු සහෝදරියකුත්, තවත් ශාස්ත්‍රකාමී භික්ෂූන් වහන්සේලා සහ සහෝදර සහෝදරියන්ගෙ හුරුපුරුදු මුහුණු රැසකුත් එක්ක වැසිදැරිගෙ කෙටි ගුරුජීවිතේ මුණගැහුණ සුවිශිෂ්ටම ශිෂ්‍යයෙකුත් සම්මන්ත්‍රණයෙදි මුණගැහුම අහඹු මිහිරක්. 

ඒ වගෙම මෙතෙක් භෞතිකව මුණගැහී නොතිබුණු සහෝදර බ්ලොග්කරුවකු වන හසිත චාමිකර ගුණසිංහ සහෝදරයා, කැළණිය සරසවියේ ඉතිහාස අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස මුණ ගැහීමත් ප්‍රීතිමත් අහම්බයක්. ඔහු සරසවි සිසුවෙකු සමයෙ ලියූ ඊ අටුවාව හා ආගිය කතා ඉතිහාසමය-පුරාවිද්‍යාත්මක රසාලිප්තය කියවන්න පටන් ගනිද්දි වැහි දැරිය දහය වසරෙ දැරියක්. ඒ අතීත බ්ලොග් මතකවලින් පටන්ගෙන පර්යේෂණ සැසිය අවසන් වෙලා බ්ලොග් මතක ගැන සතරකන්මන්ත්‍රණ සැසියක් හිටගනම එතැන පවත්වපු හසිත අය්යාත් මාත් ඒ සාකච්ඡාව නැවැත්වුවෙ සංවිධායක මණ්ඩලය ශාලාව වහන්න සැරසෙන විටයි.

සැසිය අවසන් වෙලා මහැදුරු,ඇදුරු,පර්යේෂක ගිහිපැවිදි හිතවතුන්ගෙන් සමු අරන් යන අතරෙ ගිය වසරෙ සම්මන්ත්‍රණයට ගිය වතාවෙ තදින් අසනීප වී රෝහල්ගතව උන් සුමින්ද අය්යාට අපි දෙන්නා රුවන්වැලි සෑ මලුවෙදි වීඩියෝ ඇමතුමක් ගත් හැටිත් වැහි දරුවාටයි වැහි දැරිවිටයි සිහිපත් වුණා. කොහොමටත් අනුරාධපුරය හැම විටම සුමින්ද අය්යා ලියූ ලුම්බිණි ආඛ්‍යානය සමඟ ඔහුව සිහිපත් කරනවා. ඔහු ඒ ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය නම් කරන්නෙ අනුරාධ නමින් නිසා. ඒ රජරට ශිෂ්ටාචාරයෙහි පැවති සුවිශිෂ්ටත්වය පිළිබඳ සංකේතීය නිරූපණයක් විලසිනුයි.

'මං උඹලා දෙන්න⁣ගෙ ආදර කතාවට හෙන ආදරෙයි' කියා අප දෙන්නාට යළි කියන්නට අනුරාධ මැවූ හෘදයවාසී වැඩිමහල් සහෝදරයාගේ හඬ නැවත කිසිදාක නෑසෙන බවට දැනෙද්දි ඔහුගෙ අකල් වියෝවෙ රිදුම් අලුත් වුණා. ඒ හිස්තැන කිසිදා නොපිරවෙනු ඇති මුත්, මේ ලෝකයෙ ජීවත් වුණ සුන්දරම ආත්මයක් වුණ ඔහු මේ භවයෙ වේදනාවෙන් මිදී යාම ගැන සැහැල්ලු සැනසුමකුත් මෙවර අනුරාධපුර ගමනෙදි දැනුණා.

වෙනදා මෙන් දින ගණන් නවාතැන්ගත නූන මේ වතාවෙ අනුරාධපුර ගමන අවසන් වුණේ ඇතුගල්පුර මල්ගොමුවෙන්. ජීවිතයෙ මුණගැහුණ සුන්දරම පවුල් අතරින් එකක් වන ඔවුන් සමඟ ගෙවුණු සංවාද රාත්‍රියත් අනුරාධපුර උදා-දිවා-හවස්වරු තරම්ම මිහිරියි. නරක දේකට කියලා තිවුණෙ, මල්රේණු සහෝදරයා පළ කරපු අලුත් පොතේ පිටපතක් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා, වැහිදැරිවිට අපහාස කරලා වැහිදරුවාට හොඳ මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා  අත්සන් කරලා දුන්න එක.

හැබැයි මල්රේණු සහෝදරයා එක්ක මතක ඇති කාලෙ ඉඳලා නයි මුගටි ගැටුම වාගෙ කොයි තරම් රණ්ඩු සරුවල් වුණත්, ඔහුගෙ අලුත් පොත - 'රතු කොණ්ඩකාරියගෙ කතාව' ගාව පූර්ව භවයක තරම් ඉඳලා එන රණ්ඩුව තාවකාලිකව අමතක කරලා දාන්න වැහිදැරිවි තීරණේ කළා.

ළදරු නාමකරණයේ පටන් ස්ත්‍රියගේ ස්වාධීන බව අහිමි වීමේ හා ස්ත්‍රිය වාස්තවීකරණය වීමේ අවුල, පුරුෂෝත්තමවාදයෙහි අඳුර සහ ඊට එදිරිව ස්ත්‍රී විභවතාව, ස්ත්‍රීත්වයෙහි/මනුෂ්‍යත්වයෙහි වටිනාකම් බාහිර රූපයට පමණක් සීමා කිරීමේ ඛේදය, Bullying හෙවත් අනවරත හිරිහැරකිරීම් ළමා මනසක් කෙරේ ඇති කරන බලපෑම,  සමාජදේහය පුරා දිවෙන පන්ති විෂමතාව සහ නවයොවුන් ආලයේ මිහිරි සිහිලැල්ල ආදී සොඳුරු - සුගැඹුරු සංලක්ෂයන් රැසක් රතු කොණ්ඩකාරි විසින් ස්පර්ශ කරලා තියෙනවා.

අලුත් සෙමෙස්තරය පටන් ගන්න ළඟ නිසා ඒ පොත ගැන දිගට ලියන්න වෙලාවක් තියේද සැකයි. ඒත් එය එහෙම මඟ හැරී යා යුතු නොවන මනරම් පොතක් වන නිසායි, ඒ ගැනත් මේ සටහනටම ඇතුළු කළ යුතුම යැයි හිතු⁣ණේ.

කෝම හරි අනුරාධපුර සිට ඇතුගල්පුර දක්වාත්, ඉන්පස්සෙ ඇතුගල්පුර සිට කො⁣ළොම්පුර දක්වාත් රියේ කවුළු ඇරන් එද්දි වැව් තල සිපගෙන එන සුළං පහස තමන්ව සිපගන්න කොට වැහිදැරිවිට දැනුණේ වෙනදා වගේ දින ගණන් ගත නොකළත් අනුරාධපුරේ ගත කරන මොහොතක් පවා කොතරම් නම් මිහිරිද.. සිහිලැතිද කියායි..

ඉන්ඩියන් හයි කොමිසමේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූරන් දත්තා නම් තරුණ විද්වතා තමාට අනුරාධපුරයේ පෞරාණික නටබුන් අතර ඇවිද යද්දී ඇඬෙන බව කී අයුරුත්, ඊනියා සාහිත්‍ය සම්මානවලට හැමදාම මඟඇරෙන ඉසුරු චාමර සෝමවීර සහෝදරයාගේ කවි අතරෙ වූ මහබෝධියට යන මග කවියත්, මහබෝධියට යන මග වෙසෙන කුමාර සේනානායක වැඩිහිටි විද්වතා තුළ වන තමාට මියෙන්නට ඕනෑ බෝ සෙවණ දැනෙන මානයක බවට වන ප්‍රාර්ථනයත්, ලබ්ධියෙන් බොදුනුවකු නොවන මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ලෝකයේ සුවැතිම සුළඟ හමන්නේ අනුරාධපුර රාජධානියෙන් බවට කළ ප්‍රකාශයත් ඒ එක්ක සිහිපත් වුණා..

ඉතින්.. ජීවිතේ මාස ගණනාවකට නිවෙන්න අනුරාධපුර ගෙවෙන එක දවසකුත් ඇති කියා වැහි දැරිවිටත් හිතෙන එක අරුමයක් නෑ නේද..)

Tuesday, November 19, 2024

119. මධුවන්තී, වැහි කියැවිලි සහ ගී මධූ!

මධුවන්ති ගී දැහැනෙ මේ සතියෙ ගී තෝරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා පහුගිය සතියෙ දවසක. 

ඒත් ගුවන්විදුලි මැදිරියට යන තුරුම, මේ අතීතයේ සේකර-අමරදේව සුසංයෝගයෙන් කෙරුණු මධුවන්තියෙම යළි පණගැන්වීම බව දැනගෙන හිටියෙ නෑ.

වැඩසටහන් නිෂ්පාදිකාව වූ පවිත්‍රා නානායක්කාර සහෝදරිය හෝරාවක් පුරා පැණසර පැන නගමින් සුවිශිෂ්ට සන්නිවේදිකාවකගෙ භූමිකාව ඉටු කළා.

වෙසෙසින්ම මේ ගැන වියුණු අඩවියෙ ලියන්න හිතුවෙ වියුණු හරහා මුණගැහුණු ඉයන් ලිංතොට බ්ලොග් සහෘදයාගෙ ගීතයක් වන 'දැන් ළඳුන් සිංහාසනේ' ගැනත් මේ සංවාදයෙදි කතා කළ නිසයි.

වැහි දැරිවිගෙ වැහි කියැවිල්ල ඔන්න එහෙනම් මෙතැන අමුණා තියනවා.

https://youtu.be/UvcJXpavyYo?si=dV-C8tI3M2H1McOt


Tuesday, November 12, 2024

118. සිහිල් දිය උල්පත්, උත්තර තාරකා එළි සහ සුමින්ද කිත්සිරි ගුණරත්න!


'ලෝකය අද තව හොඳ මිනිසකුගෙන් හිස් වුණා..'

සුමින්ද කිත්සිරි ගුණරත්න, සුවිශිෂ්ට මනුෂ්‍යයාගේ නික්ම යාම ගැන, වැහිදැරිවිගේ තාත්තා, අද දින පොතේ එහෙම ලියා තිවුණා. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම ඇසූ මොහොතේ පටන් හිරකරගෙන සිටි ඇස අස වැසි, ගලන්නට ඉඩ දෙමින්, වැසි දැරිය, ඒ දින සටහනින් පටන්ගෙන තාත්තා ඔහු ගැන තැබූ හෘදය සටහන කියවූවා.  

ලුම්බිණි ආඛ්‍යාන කාව්‍යයයේ සිට ප්‍රිස්මහි සංකිත කවි දක්වා ඕනෑම කාව්‍ය ආකෘතියක විස්කම් පෑ අතිදක්ෂ නිර්මාණකරුවා, වැසිදැරියගෙ ජීවිතයෙ පළමු ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවූ සුවිශිෂ්ට සන්නිවේදකයා, මානවවංශවේදී සිනමා ක්ෂේත්‍රයෙහි දුර්ලභ පර්යේෂකයා ආදී විවිධ ස්වරූපවලින් සුමින්ද අය්යාව මතක් විය යුතු වූවාට, වැසිදැරියට ඔහුව මුලින්ම මතක ඒ කිසි විදියකට නොවෙයි. 'චක්කරං' විදියටයි. ඒ ඔහුගෙ සරසවියෙ අන්වර්ථ නාමය. 'චක්කරං කොටුව' ඔහුගෙ පළවෙනි කවි පොත. සුමින්ද අය්යා අලුත් පොතක් ලියලා කියලා, පස් හැවිරිදි වැසි දැරියට අම්මා කිව්වම, 'එයා ආයෙත් චක්කරං කොටුවක් ලියලද?' කියලා අහපු අතිපණ්ඩිත ළමයාට සුමින්ද අය්යා දුන්න පළවෙනි තෑග්ග තමයි 'ඇහැළි' - ඔහුගෙ දෙවැනි කවි පොත.

ඒ පොතේ පළමු පිටුවෙ, 

'අප හද හර්ෂා-තෙමනා වර්ෂා

සිඟිත්තියට මේ ආදර වර්ෂා'

කියා විසල් අකුරින් ඇබින්දන් වැහිදැරියට අත්සන් කරලා දීලා, තමන්ගෙ ගුරුවරු වූ වැහිදැරිවිගෙ අම්මාවත් තාත්තාවත්, සුමින්ද අය්යා, වරහන් ඇතුළෙ කුඩා අකුරින් සිහිපත් කරලා තිබුණා. 

ඊට අවුරුදු දහයකට විත⁣ර පස්සෙ, ඔහුගෙ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කෘතියෙ පිදු⁣ම, වරහන් නැතුව, වැහිදැරිවිගෙ අම්මාටත් තාත්තාටත් පිළිගන්වමින් ඔහු ලියා තිබුණෙ මෙහෙම සටහනක්.

'ගිනිගහනා අගනගරේ කූටමහල් තෙමා

සමන් කුසුම් වර්ෂාවකි හදවත් දිය දමා

සංසාරේ විෂ රුක මත පල දුටුවෙමි අමා

ඔබ දැකුමෙන් යුගනෙතු පින සපුරාගති සැමා'

ගිනිගහනා අගනගරයෙ වැහිදැරිවිලාගෙ ගෙදර, මනරම් සංවාද විසල් ප්‍රමාණයක්, සුමින්ද අය්යා එක්ක සිද්ධ වෙලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙ වැඩ  අවසන් කරලා හැන්දෑවරුවෙ, හිටපු ගමන් නොකියාම ඇවිත් අපි එක්ක හෝරා ගණන් ගෙවමින් සුමින්ද අය්යා කළ සංවාද, වැහිදැරිවිගෙ හදවත් පොතේ තද මතක තීන්තෙන් සටහන් වෙලා තියෙනවා.

පස්සෙ කාලෙක ඒ සංවාදවල නිත්‍ය සාමාජිකයකු වූ වැහිදරුවා, වැහිදැරිවිගෙ ජීවිතය බෙදාගන්නා ගමන් සගයා බවට පත් වෙන්න පෙරයි, වැහිදරුවාත් සුමින්ද අය්යාත් කළණ මිතුරන්-සහෝදරයන් වී තිබුණේ.

අප විවාහ වූ දවසෙ වැහිදරුවා වෙනුවෙන් අත්සන් කරන්න ඔහුව තෝරාගත්තෙත් අපි දෙන්නාගෙම ජීවිතයෙ ඔහු සුවිසල් තැනක විසූ හින්දයි. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම, ⁣හද රිදවන කාරණාවක් වන්නෙ, ඔහු එපමණ කිට්ටුවන්ත සහෝදරයකු-මිතුරකු-සංවාද සගයකු වූ නිසා පමණක් නොවෙයි. ඔහු සිය ජීවිත කාලය පුරා යහපත් සාහිත්‍යයක් සමාජගත කරන්න⁣ටත් - දැන් ⁣බොහෝ විට සිදු වන්නාක් මෙන්, කවිය ලිංගිකත්වය හා ඕපාදූප පළ කරන්නට යොදාගන්නා හුදු ප්‍රකාශන මාධ්‍යයක් නොකොට, උත්තර තලයක රඳවන්නටත් අත්‍යන්තයෙන්ම කටයුතු කළ සාහිත්‍යධරයකු නිසයි. 

ජපුර සුමංගල කියැවීම් ශාලාවෙ, ⁣ශේන්‍යා ප්‍රනාන්දු සහෝදරියගෙ පළමු පොත එළිදකින දවසෙ, සුමින්ද අය්යා, පාලුව-හුදෙකලාව-පරම හුදෙකලාව සංකල්ප මතු කරලා, නිර්වාණය එක්ක ඒ සංවාදය ගලපලා කළ කතාව ඔහුගෙ උත්තර සාහිත භාවිතාවට එක් නිදර්ශනයක් පමණයි.

සුමින්ද අය්යාට, ඡායාව අනපායිනී වෙමින්, නිරෝගී සමයේත් ගිලන් සමයේත් එක ලෙස - අනලස්ව ආදරය දුන් දර්ශි අක්කා, ඉතා වාසනාවන්ත බිරිඳක් වන්නේත්, සරිත් සහ සාධ්‍යා ඉතා වාසනාවන්ත දරුවන් වන්නේ එවන් මනුෂ්‍යයෙක් සමඟ ජීවිතය බෙදාගැනීමට ලැබීම, කලාතුරකින් ජීවිතයක⁣ට හිමි වන හිමිවීමක් නිසයි.

සුමින්ද අය්යා, වෘත්තියෙන් ඊනියා ඇකඩමික් කෙනෙක් නොවුණාට, ඇකඩමික්ස්ලා දාස් ගණනකගෙ ඇකඩමික් වැඩ කරපු ශාස්ත්‍රවන්තයෙක්. 

දේශන විසල් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් - සතයක් නොගෙන - පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට සිදු කළ සුවිශිෂ්ට දේශකයෙක්. 

සිය සාහිත්‍ය භාවිතාවෙ ස්වාධීන සුගැඹුරකින් නියැලුණ පරිණත සාහිත්‍යවේදියෙක්.

අවුරුදු අසූ - අනූ ගණනක් ජීවත් වෙන ඇතැමකුට කරන්න බැරි වන තරමෙ වැඩ ප්‍රමාණයක් සිය කෙටි ජීවිතකාලය ඇතුළෙ කරපු සදාකාලික තරුණයෙක්.

ලෞකිකත්වයේ සිට ආධ්‍යාත්මිකත්වය වෙත, ව්‍යාජයකින් හෝ මුලාවකින් නොව, ගැඹුරු අවබෝධයකින් විතැන් වුණ ගවේශකයෙක්.

බුදුදහමේ සුවිශිෂ්ටත්වය, අතිනව්‍යත්වය හා පරම විප්ලවීය බව ගැඹුරින්ම වටහාගන්න සමත් වුණ දාර්ශනිකයෙක්.

ඔහු තදින් ගිලන්ව සිටි අවසන් වකවානුවෙ කෙරුණු සංවාදවල තිබුණ - කවියට එහා ගිය ආධ්‍යාත්මිකත්වයකුත් කැටි වුණ ගැඹුර - සුගැඹුර - සුමිහිර ඒ සඳහා නොබිඳෙන සාක්ෂ්‍යයි.

ඒ ගැඹුර, ගැඹුරු නින්දකට හරවාගෙන, ඔහු යන්නම ගිහින් ඇති වග ආරංචි වුණ මොහොතෙ, වැහිදැරිය, රිය පදවමින් උන් වැහිදරුවාට ඒ බව කිව්වෙ නෑ. සුමින්ද අය්යා කෙරෙහි වැහිදරුවා තුළ තිබුණ ආදරයෙහි, සහෝදරත්⁣වයෙහි දිගපළල කොතෙක්ද කියා දන්නා නිසා, සන්සුන් මොහොතක් එනතුරු පොරොත්තුව ඒ බව නොකියා සිට, ඒ ගැන කියූ ඉක්බිති, වැහි දරුවා කියපු යමක්, මේ සටහන නිමවන්න සුදුසුම පසු සටහන කියා හිතෙනවා.

'සුමින්ද අය්යා නැතුව පාලුයි. ඉස්සරහට ඒ පාලුව තවත් දැනෙයි. ඒත් එයා නතර කරලා ගියපු තැනින් අපි ඉදිරියට වැඩ කරන්න ඕන..'

සුමින්ද අය්යා ජීවිත කාලය පුරා වඩා යහපත් ලෝකයක් - වඩා යහපත් කලාවක් වෙනුවෙන් කළ වැඩ, විවිධ ස්වරූපයෙන් අපේ ජීවිත කාලය පු⁣රා කෙරේවි.. ඔහුගේ කවි - සටහන් - අපි අතරේ ජීවත් වේවි.. 

ඉතින්, සුමින්ද අය්යා වගේ මිනිසුන් නික්ම යන්නේ නෑ. පරම හුදෙකලාවෙන් හෝ ඊට මෙපිටින් නිවී ගියත්, සුපැහැදිලි උල්පත් වතුර ප්‍රදායනය කරමින්, උස් කඳු මුදුනකින් ගලා එන සිහිල් දිය උල්පත් වගේ ලෝකය සුවපත් කරමින් - උත්තර තාරකා එළි වගේ ජීවිත ආලෝකවත් කරමින් ජීවත් වෙනවා..!

Monday, November 11, 2024

117. ගුරු දියවර නවකතාව - තිස්හත්වනකොටස - සමන් චන්ද්‍ර රණසිංහ


                            


“නිල්වන් ඈත  අනන්තේ 

 දෝතට අරන්  වසන්තේ

 සඳහම් සුවඳ   දිසන්තේ

 අතරින් දිනිදු   සිනාසේ ”

වසන්තයත් නීල වර්ණයත් අතර ඇති සුසංයෝගය ගැන කීමට තමා සමත් නොවන බව ගඟුල් දැන සිටියේ ය. වසන්තය ඇතුළු සියලු ඍතූන්ගේ මෙන් ම නීල වර්ණය ද ඇතුළු සියලු වර්ණයන්ගේ සැබෑ උරුමක්කාරයා වන්නේ සොබාදහම යන කරුණ ද ඔහු අවබෝධ කොට ගෙන සිටියේ ය. ඔහු මේ උදෑසන සරසවි බිම වෙත පැමිණියේ වසත් නිල හදට දනවන ඉහත කී ගීතය සෙමෙන් මුමුණමිනි. මල්කාන්ති නන්දසිරි ප්‍රවීණ ගායනවේදිනියගේ ලයාන්විත හඬින් ගැයෙන මේ ගීතය රචනා කොට සංගීතවත් කරන ලද්දේ මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයාණන් විසිනි. මේ ගීතය පිළිබඳ අනුස්මරණීය මතකයක් ගඟුල්ට තිබේ. පළමු වසර ශිෂ්‍ය මාණවකයකු වශයෙන් ශිල්ප හදාරන සමයේ ඔවුන්ගේ එක් දේශන ශාලාවක් තිබුණේ ඥානේශ්වර මන්දිරයේ තෙවැනි මහළේ ය. මේ වන විට භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය එහි ස්ථාපිත කොට තිබේ.

ඒ සුවිසල් මන්දිරයේ තෙවැනි මහළේ සිට පහත බලන විට දක්නට ලැබුණු මලින් පිරී ගිය මැයි මල් තුරු පිළිබඳ මතක සුවඳින් ගඟුල්ගේ හද ගැබ පිරිණ. රතු කහ මැයි මලින් පිරී ගිය මාර මල් යාය ඔහුට දැනුණේ වසන්ත නමැති මනාලිය හැඳි සුන්දර වස්ත්‍රය  ලෙසිනි. වසර ගණනාවට පසු ඒ වසත් සොඳුරිය ම යළිදු නෙත‘බිමුවට පැමිණ තිබේ. අන්තර්භාෂා ඥාන පන්තියේ දී උගත් මහාකවි කාලිදාසයන්ගේ ඉසොඳුරු පැදියකි. මේ මොහොතේ ඔහුගේ හද ගැබට පිවිසියේ.

“ද්‍රැමාඃ සපුෂ්පාඃ සලිලං   සපද්මං

ස්ත්‍රියඃ සකාමාඃ පවනඃ  සුගන්ධිඃ

සුඛාඃ ප්‍රදෝෂා දිවසාශ්ච   රම්‍යාඃ

සර්වං ප්‍රියේ චාරුතරං  වසන්තේ”

මින් කියැවෙන්නේ තුරු මලින් පිරී ඇති බව ය; ජලාශයන් පියුමින් වැසී ඇති බව ය; සකාමී කාන්තාවන් ඇති බව ය; සුළඟ සුවඳවත් බව ය; සැඳෑ සමයන් සුව දනවන බව ය; දවස් රමණීය බව ය. මේ සුන්දරත්වයේ විවිධ පැතිකඩ පෙන්වන කවියා අවසන පවසන්නේ වසන්තයේ සෑම දෙයක් ම මනහර බව ය.  

ඒ සොඳුරු වසන්තය පිළිබඳ වන වින්දනය ගඟුල් විසින් සිය දින සටහන් අතරට ද එක් කොට තිබේ. එදින සටහන අදට ද වලංගු ය. ගඟුල්ගේ ඒ සටහන මෙතනට අදාළ කොට ගනු ලබන්නේ එහෙයිනි.

“කල් වේලා ඇති ව දේශනශාලාවට යන මම ඒ උඩුමහලේ සිට සිට සරසවි බිමේ ඇති සුන්දරත්වය විඳිමි. මැයි මාසයේ දී රතු-කහ මැයි මල්වලින් විදුදය බිම වැසී යයි. ඒ අතිශයින් සොඳුරු දර්ශනයකි. තරුණ ශිෂ්‍ය මාණවක මාණවිකාවෝ ඔබමොබ යති. මම ඔවුන් දෙස බලා හිඳිමි. ඉමහත් ආදරයකින් ද සුන්දරත්වයකින් ද මහද පිරී යයි. එමිහිර වචනවලින් ප්‍රකාශ කළ නොහේ. එසේ බලා හිඳින ඇතැම් දිනයක මම සොඳුරු ගීතයක පදවැල් තනි ව මුමුණමි. දේශනය හා මිතුරු මිතුරියන් පැමිණෙන විට මගේ ගීතය නවතියි; දැහැන බිඳෙයි. මමත් දේශන ශාලාවට යමි.”

අද ගඟුල් යන්නේ ඒ දේශන ශාලාවට නොවේ. අද යන දේශන ශාලාවේ සිටින්නේ සිය සමකාලීන මිතුරු මිතුරියන් ද නොවේ. සිය භූමිකාව ද ශිෂ්‍ය භූමිකාවෙන් ගුරු භූමිකාවට මාරු වී තිබේ. 

මිහිර මෙන් ම අමිහිර ද සොඳුරුතා මෙන් ම නොසොඳුරුතා ද එකට විඳගත්, එදා එකට ඉගෙන ගත් මිතුරු මිතුරියන් මේ වන විට දිවයිනේ නන් දෙසට ද ඉන් ඇතැම් චරිතයක් ලොව විවිධ රටවල් වෙත ද විහිද ගොස් තිබේ. එකම බිම් කඩකදී එකට හමුව එක්ව ජීවත් වූ චරිත අතුරින් වැඩි ප්‍රමාණයක් අද එබිම නැත. ඇතැම් චරිතයක් සදාතනික ව ම සමු ගෙන තිබේ. මේ වන විට ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වූ කිහිප දෙනා පමණක් දැක එපින්බිමෙහි දී දැක ගැන්මට ලැබේ. ඔහුට සිහිපත් වූයේ සිය අසල්වැසි මිතුරකු වන සනත්ගේ ත්‍රීරෝද රථයේ පිටුපස ගසා ඇති පාඨය යි.

“වෙන් වන බව දැන හමු වෙමු මිතුරේ”

මේ වන විට ඇතැම් සහෘදයෙක් යළි හමු නොවන්නට ම වෙන් ව ගොස් තිබේ. එසේ සමුගත් චරිත සිහිවීමෙනි, ගඟුල්ගේ නෙත මෙන් ම සිත ද තෙත් ව ගියේ. මේ වූ කලී ජීවිතය යි; එහි ස්වභාවය යි. මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ එවන් වියෝගාවස්ථාවක දී සිය සංස්කෘත ගුරුවරයා මතක් කොට දුන් පද්‍යයකි. 

“සා රම්‍යා නගරී මහාන් ස නෘපතිඃ සාමන්තචක්‍රං ච තත්

පාර්ශ්වේ තස්‍ය ච සා විදග්ධපරිෂත් තාශ්චන්ද්‍රබිම්බානනාඃ

උද්වෘත්තඃ ස ච රාජපුත්‍රනිවහස්තේ බන්ධිනස්තාඃ කථාඃ

සර්වං තස්‍ය වශාදගාත් ස්මෘතිපථං කාලාය තස්මෛ නමඃ

ඒ සිත්කලු නගරය, ඒ බලවත් රජතුමා, ඔහු සමීපයේ සිටි සාමන්ත කුමාරවරු, ඒ උගත් මිනිසුන් සමූහය, සඳවන් මුහුණු ඇති ඒ තරුණ ස්ත්‍රීහු, ඒ ප්‍රෞඪ රාජ සමූහය, ඒ නෑ ජනයා හා ඔවුන්ගේ කතා - මේ සියල්ලම කාලයේ වසඟයට ගියහ. මේ සියලු දේ කළ ඒ කාලයට නමස්කාර වේවා!”  

ගඟුල් සරසවියේ ආරාධිත ආචාර්යවරයකු වශයෙන් සිය මංගල දේශනය පැවැත්වීම සඳහා දේශනශාලාවට ඇතුළු වන මොහොතේ තවත් ආචාර්යවරයෙක් ඔහුට පෙර එහි පැමිණ සිටියේ ය. ඒ සහන් සමරසිංහ ආචාර්යවරයා ය.

“ස්වාගතං ගඟුල් ස්වාගතම්” අපේ මේ දේශන ශාලාවේ ඉන්න සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මන් ඔයාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගෙම මන් අපේ අලුත් කථිකාචාර්යතුමාගෙන් අවසර ඉල්ලනවා මේ පැය දෙක මෙතන රැඳිලා මටත් ඔයාගෙ දේශනය අහන්න අවසර දෙන්න කියලා.”

මෙසේ කියා සහන් ගියේ දේශනශාලාවේ පසුපස අසුනකට යි. ගඟුල්ට සිහිපත් වූයේ සිය ආචාර්යවරයා සමග තුරු සෙවණක හිඳ පෙරදින සන්ධ්‍යාවේ කළ සංකථනය යි.

“ගඟුල්, අපේ අංශප්‍රධානතුමිය සම්භාව්‍ය සාහිත්‍යය පාඨමාලා ඒකකයේ බාගයක් ම ඔයාට බාර දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගෙම මන් ඔයාව කලින් දැනුවත් කරපු විදිහට එතුමියට දැන්නුවා ඒකට අමතර ව දැනට මන් උගන්නන විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය පාඨමාලා ඒකකයටත් ඔයාව සම්බන්ධ කරගන්නවා කියලා. ඔය ගොල්ලන්ගෙ කාලෙ සිංහල- සංස්කෘත- පාළි අංශ තුනේ ශිෂ්‍යයන්ට විතරක් සීමා වෙලා තිබිච්ච ඒ පාඨමාලා ඒකකය දැන් පොදු පාඨමාලාවක් වෙලා. මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න ඕනම උපාධි අපේක්ෂකයකුට මේ දේශනවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට දවසෙ ඔයාට හම්බ වෙන්නෙ ඒ ශිෂ්‍ය කණ්ඩායම. මන් දන්නවා නව දැනුමත් එකතු කරලා ඔයා මේ කටයුත්ත මට වඩා හොඳින් කරන බව.”

මේ එළඹ ඇත්තේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය විද්‍යෝදයේ තරුණ ශිෂ්‍ය ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ සුයාමය යි. පළමු ව සිය හෘදයංගම ආචාර්යතුමන් වෙත එළඹ ඔහුට ප්‍රණිපතනය කොට ඔහුගේ ආශිර්වාදය ලබාගත් මේ ආචාර්ය යෞවනයා දෙවනු ව ශිෂ්‍ය වෘන්දයට ආචාර කොට මෙසේ සිය දේශනය පටන් ගත්තේ ය.

“මගේ සරසවි ගුරු ජීවිතයේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම වෙච්ච ඔය ගොල්ලන්ගේ ජීවිතවලට මම ඉතාම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. අද මට මේ දේශනය කරන්න වෙන්නෙ අපේ ශිෂ්‍ය කාලෙදි අපට මේ අධ්‍යාපන සම්ප්‍රදාය උගන්නපු ආචාර්යතුමත් ඉන්න තැනයි. මන් සර් මන් ගැන විශ්වාසය තියලා මට මේ වගකීම පැවරීම ගැන ඔබතුමාටත් ඒ වගෙම මේ මොහොතෙ මෙතන නැති උණත් ඒක සතුටින් අනුමත කරපු මගේ ආචාර්යතුමියක් වන වර්තමාන අංශප්‍රධානතුමියටත් මගේ ස්තුතියත් ගෞරවයත් පළ කරලා මේ දේශනය පටන් ගන්නවා.

“සඳ සිසිල සමග හිරු කිරණ ලොවට ගේනා 

ඔබ කවුද සිතා ගත නොහැක ස්වාමීනි තවම එළිය ගේනා” 

අද මේ දේශනශාලාවේ ඈතම තැනකට වෙලා අහන් ඉන්න අපේ සර් අපිට මේ දේශනය එදා පටන් ගත්තෙ එහෙමයි. කවුද මේ සඳේ සිසිලත් ඉරේ තේජසත් ගේන චරිතය. ඒ තමයි විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ නිර්මාතෘවරයා විදිහට සලකන්න පුළුවන් හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවො. අපි පොඩ්ඩත් ඒ ඉතිහාසෙට යමු.

1844 අවුරුද්දෙ රත්මලානෙ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ වෙනවා. මේ පිරිවෙණත් එක්කම අපට කවදාවත් අමතක කරන්න බැරි මහා යති පඬිරුවන තමයි වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක හාමුදුරුවො. උන්වහන්සේගේ කීර්තිමත් ශිෂ්‍යයන් අතරින් පසුකාලීන ව වඩාත් ප්‍රබල ව සමාජගත වන චරිත දෙකක් බිහි වෙනවා. ඒ හික්කඩුවෙ සුමංගල හාමුදුරුවොයි රත්මලානෙ ධම්මාලෝක නායක හාමුදුරුවොයි. එකම ආචාර්යපාදයන් වහන්සේ නමකගෙ ශිෂ්‍යයන් වෙච්ච මේ මහා භික්ෂූන් වහන්සේලා දෙනම වෙන වෙන ම මෙරට කීර්තිමත් අධ්‍යාපන නිකේතන දෙකක් හදන්න මුල් වෙනවා. එකක් 1873 බිහි කරපු මරදාන මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණ. අනික 1875 දි බිහි කරපු කැලණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ. පසුකාලීන ව ඔබ අපි ඉන්න මේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලෙට උල්පත වෙන්නෙ විද්‍යෝදය පිරිවෙන. වර්තමානෙ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙට උල්පත වෙන්නෙ විද්‍යාලංකාර පිරිවෙන. එහෙම බැලුවහම අද වෙන කොට අපේ විද්‍යෝදය විශ්වවිද්‍යාලෙ වයස අවුරුදු 151 ක්. අපේ සහෝදර විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙ වයස අවුරුදු 149 යි.

මේ පාඨමාලාව හදපු අපේ මේ සහන් සර් විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායෙ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් අපි ඉදිරියෙ තබනවා. ඉන් දෙකක් යති ලකුණු. අනෙක ගිහි ලකුණක්. මේ සම්ප්‍රදායෙ සමාරම්භකයා වෙන්නෙ හික්කඩුවෙ නායක හාමුදුරුවො. අපේ අධ්‍යයන පහසුව සඳහා වෙන් කරගත්ත දෙවැනි සලකුණ වෙන්නෙ හික්කඩුවෙ හාමුදුරුවන්ගෙ ගෝලයන්ගෙ ගෝලයෙක් වෙච්ච වැලිවිටියෙ සෝරත නායක හාමුදුරුවො. 1959 අවුරුද්දෙ මේ විශ්වවිද්‍යාලෙ ආරම්භ කරපු වෙලාවෙ අපේ පළවෙනි විශ්වවිද්‍යාලයාධිපති වෙන්නෙ උන්වහන්සෙ. ඒ අද දවසෙ උපකුලපති නමින් හැඳින්වෙන තනතුර. මේ අධ්‍යාපන සම්ප්‍රදායෙ තෙවැනි සලකුණ වෙන්නෙ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා. එතුමා තමයි එතෙක් මණ්ඩපයක් වෙලා තිබිච්ච විද්‍යෝදය මණ්ඩපය විදිහට ප්‍රසිද්ද වෙලා තිබිච්ච අපේ අධ්‍යාපන ආයතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් වෙන කොට ඒකෙ පළවෙනි සම්මානිත කුලපති තනතුරට පත් වෙන්නෙ. මේ චරිත තුන මෙතෙන්දි අපට වඩාත් වැදගත් වෙන්නෙ අර කලින් කියපු සන්ධිස්ථාන තුන නියෝජනය කිරීම නිසා විතරක් නෙමෙයි. මේ චරිත තුනම මේ රටේ අධ්‍යාපනය සකස් වෙන්න ඕන කරන විදිහ ගැන බොහොම ගැඹුරින් කල්පනා කරලා ඊට අදාළ වටිනා කියන අධ්‍යාපන සංකල්ප ඉදිරිපත් කරපු චරිත තුනක් නිසයි. දැන් අපි ඉස්සෙල්ලම මේ අධ්‍යාපන සම්ප්‍රදායෙ මුලට යමු.” 

ගඟුල්ගේ ආචාර්යවරයා සිය හෘදයංගමභාවය නිසා ම තමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් සමකාලීන ශිෂ්‍ය ප්‍රජාවේත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේත් හද සටහනක් බවට පත් වූ තම ශිෂ්‍යයා උගන්වන ආකාරය දෙස ස්නේහපූර්වක දෑසින් බලා සිටියේ ය. ඔහුට දැනුණේ තමා අපේක්ෂා කළ අන්දමටත් වඩා ප්‍රශස්ත මට්ටමින් සිය මෙහෙවර සිදු කරන අතීතයේ එක් වකවානුවක මේ අද්‍යතන ශිෂ්‍යයන් පරිද්දෙන් මේ දේශනශාලාවේ එක් අසුනක හිඳ මේ දේශනයට සාවධාන ව සවන් දුන් ගඟුල් ශිෂ්‍යයා ය. ඔහු දැන් ආචාර්යවරයා ලෙස තමා ඔවුනට දුන් දෙය නව පරපුරට පවරා දෙයි. දැන් තමාට මහත් සතුටකින් සිය මෙහෙවර නිමා කොට සරසවි බිමෙන් නික්ම යා හැකි ය. සහන් සිය කල්පනා නිමේශයෙන් මිදුණේ ගඟුල්, ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අධ්‍යාපන දර්ශනය ගැන කතා කිරීමට ප්‍රවේශය ගන්නා මොහොතේ ය.

“විද්‍යෝදය පිරිවෙන - විද්‍යෝදය විශ්වවිද්‍යාලය පවත්නා තෙක් දැන් මෙතන ඉන්න ඔබ අපි පිරිස විතරක් නෙමෙයි මතු පරපුර විසිනුත් කිසිසේත් ම අමතක නොකළ යුතු ම අතිවිශිෂ්ට චරිතයකටයි සුමංගල හාමුදුරුවො කියලා කියන්නෙ. අර අතන ඉඳගෙන ඉන්න අපේ සර් මේ මහා බුද්ධ පුත්‍රයන් වහන්සේ අනුස්මරණය කරමින් ලියපු සමරු ගීතයෙදි උන්වහන්සේ හැඳින්වීම සඳහා ඥානප්‍රදායක- ආලෝක ප්‍රකාශක- ධර්ම සුදේශක කියන නම් පාවිච්චි කරනවා. උන් වහන්සේ වැඩ කරන්නෙ විදේශික බලවේග හමුවෙ අපේ ශිෂ්ටාචාරය අද ඉන්න අපිට හිතාගන්නත් බැරි තරමෙ අභියෝගවලට ලක්වෙලා තිබිච්ච අන්ධකාර යුගයක. ඒ අභියෝගවලට උත්තර දෙන්න උන් වහන්සෙ ළඟ අද දවසෙ ඔයගොල්ලන්ගෙ වචනවලින් කියනවනං බර අවි තිබුණා. හැබැයි ඒවා හිංසාවේ ආයුධ නෙමෙයි. අයුක්තිය තහවුරු කරන්න වැඩ කරපු බටහිර ජාතීන්ට උන්වහන්සේ උත්තර දුන්නෙ ඒ අයගෙන් ම ලබා ගත්ත ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වචනවල තිබුණෙ සත්‍යය, යුක්තිය සහ ධර්මය යි. සත්‍යගරුක, යුක්තිගරුක ඒ වගෙම අධර්මය නෙමෙයි ධර්මයට ප්‍රිය කළ පෙර අපර දෙදිග ම සාධාරණ මිනිස්සු උන්වහන්සේට සවන් දුන්නෙ, උන් වහන්සේට අවනත උනේ ඒ නිස යි. උන් වහන්සේගේ අධ්‍යාපන දර්ශනය අපේ මේ ආදරණීය දේශයට ගෙනත් දුන්නෙ අලුත් ම ඇහැක්. අපේ සර්ට මතකයි නේද සර්ගෙ ඒ ශ්‍රී සුමංගල ගීයේ එක තැනක මෙහෙම තියෙනවා. මන් කැමතියි අපේ මේ තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඒකත් කියල ම උන් වහන්සේගෙ අධ්‍යාපන දර්ශනය පැහැදිලි කරන්න.

”යතීන්ද්‍ර උදාර ශශීන්ද්‍ර විලාසෙව් ගගනතලේ බැබළී

ගිම්හාන සමේ වර්ෂාව වුණා දේශයට නුවන් ගෙන දී

ප්‍රණාම කරන් අත් මුදුන තබා දුර ඈත ඉඳන් පේවී

ප්‍රණේතෘ ලෙසින් මවුබිමට වඩිනු මැන අපට ඇසක් වේවි“

“ඒක ලස්සනයි වගෙම හරි අර්ථවත්. ඒත් මට සර් ඒකෙ ප්‍රණේතෘ කියන වචනයේ මොකක්දො වචනවලින් මට කියා ගන්න බැරි ගාම්භීර බවක් දැනුණට ඒකෙ අර්ථෙ දන්නෙ නැහැ. සර් කරුණාකරලා පැහැදිලි කරලා දෙනව ද ඒක.”

ඒ ප්‍රශ්නය නගන ලද්දේ දේශනශාලාවෙ ඉදිරි අසුනක හිඳ සිටි යුවතියකි. 

“නොදන්න දේවල් පැහැදිලි කරගෙන ම ඉස්සරහට යන එක හරි වැදගත්. ඒක සුමංගල අධ්‍යාපන දර්ශනයටත් අනුගතයි. ඉස්සෙල්ලම මට කියනව ද මේ දුවගෙ නම.?” 

“සර් මන් සයුරි”  

“සර් ඔය නිකන් ම සයුරි නෙමෙයි නැණ සයුරි, අපේ බැච් එකේ ඥාන සාගරේ තමයි ඔය. අපි වගෙ නොදන්න දෙයක් ආවහම ඔහේ යන්න අරින්නෙ නැහැ. ඒක විසඳගෙන ම තමයි ඉස්සරහට යන්නෙ.”

පන්තිය සිනහ ගස්සමින් කතා කළ ඒ කටකාර ශිෂ්‍යයා ගඟුල්ට සිහිපත් කොට දුන්නේ නාගොල්ලාගම උසස් පෙළ පන්ති දෙකේ යොවුන් ශිෂ්‍ය ප්‍රජාව යි. කොහෙත් දරුවෝ දරුවෝ ම ය. උසස් පෙළ යනු 12 සහ 13 යන පන්ති දෙකයි. ඒ අනුව කල්පනා කළහොත් සරසවියේ සිටින ශිෂ්‍ය ප්‍රජාව අයත් කළ හැක්කේ 14, 15, 16 සහ 17 යන පන්ති තුනට යි. මෙහැඟුම් සිත පිළිසිඳෙද්දී ගඟුල් කතා කෙළේ ය.

”සයුරි දුවගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මන් කැමතියි සයුරි ගැන අර්ථ ව්‍යාඛ්‍යාවක් ඉදිරිපත් කරපු මේ පුතාගෙ නමත් දැනගන්න.“

එම ශිෂ්‍යයා කතා කිරීමට පෙර පන්තියේ තැනින් තැන අනෙකුත් ශිෂ්‍යයන් කිහිප දෙනෙකුන් වෙතින් නැඟුණු පිළිතුර මෙසේ කැටි කොට දැක්විය හැකි වෙයි. 

“සර් ඒ තමයි ගගන. කාඩ් එක අජටාකාශ. ඒ උනාට මිනිහ මහපොළොවෙ ඇවිදින්න දන්න මිනිහෙක්. තව පැත්තකින් අපේ කණ්ඩායමේ විදූෂක, අන්දරේ කියන නම්වලින් විතරක් නෙමෙයි චාලි චැප්ලින් කියලා ප්‍රසිද්ද වෙලා ඉන්නෙත් මෙයාම තමයි. සර්ට මොකක් හරි වැඩකට මෙයාව ඕන වෙලා හොස්ටල් එකට ගිහින් ගගන කෝ කියලා අහලා වැඩක් නෑ. සර් අහන්න චැප්ලින් හරි අජටාකාශ හරි කෝ කියලා. ෆස්ටියර්රෙකේ මල්ලි කෙනෙක් උනත් කියාවි ඉන්න සර් අපි අජටා අය්යට එහෙම නැත්නං චැප්ලින් අය්යට පණිවිඩේ දෙන්නම් කියලා.”  

“හැබැයි සර් අපේ ගගන ගැන කියන කොට තව දෙයක් එකතු කරන්න ඕනෙ. ඒ තමයි ගගන කියන්නෙ තමන්ගෙ බත් එක අනුන්ට දීලා තමන් බඩගින්නෙ උනත් ඉන්න කැමති කෙනෙක් කියන එක.”

ගගන චරිතයට ඒ වාක්‍යය එක් කෙළේ ප්‍රණේතෘ යන වචනයේ තේරුම ඇසූ සයුරී ශිෂ්‍යාව යි. ඇගේ මේ ප්‍රශ්නයත් සමග ගඟුල්ට සිහිපත් වූයේ ඇය කලින් ඇසූ ප්‍රශ්නය යි. ඒ අනුව ඔහු එයට පිළිතුරු දීමට ඉදිරිපත් විය.

“දුව ප්‍රණේතෘ කියන්නෙ සංස්කෘත වචනයක්. ඒක ඉදිරියෙන්, විශේෂයෙන් කියන අර්ථ දෙන ප්‍ර කියන උපසර්ගය පූර්වයෙන් යෙදිලා ‘පැමිණවීම, ගෙනයාම’ කියන අර්ථ දෙන නී ධාතුවෙන් හැදෙන වචනයක්. සංස්කෘතෙන් පමුණුවන්නා, ගෙන යන්නා විතරක් නෙමෙයි යමකට මුල් වෙලා කණ්ඩායමක් ඉස්සරහට අරගෙන යන කෙනාට අපි කියනවා නේතෘ කියලා. විශේෂයෙන් පිරිසක් ඉස්සරහට අරගෙන යන කෙනෙක් අපට ප්‍රණේතෘ කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගෙම මේකට බොහෝ දුරට සමාන තවත් වචනයක් තමයි විනේතෘ කියන්නෙ. ඒකෙන් කියන්නෙත් විශේෂයෙන් පමුණුවන්නා ඉදිරියට ගෙන යන්නා කියන අර්ථය යි.”  

“දැන්නෙ සර් විශ්වවිද්‍යාලවල ගොඩක් සීනියර් සර්ලට විනේතෘ මහාචාර්ය කියලා කියන එකේ තේරුම පැහැදිලි උනේ.”

“සර් මට මේ වෙලාවෙ විෂයබද්ධ නොවන වෙන ජාතියක ප්‍රශ්නයක් තියෙනවා සර්ගෙන් අහන්න.”

“අහන්න අහන්න මොකක් ද අප්පේ දැන් ඔයාට ආපු වෙන ජාතියක ප්‍රශ්නෙ.”

ගඟුල් එසේ පැවසුවේ යථෝක්ත ප්‍රශ්නය නැඟූ ගගන ශිෂ්‍යයාට යි.

“මේකයි සර් ප්‍රශ්නෙ. සර් ඇත්තටම ගත්තොත් සර් අපිට වඩා වැඩිමල් වෙනවා ඇත්තෙ අවුරුදු දෙක තුනකට විතරයිනෙ. එතකොට සර් අපිට දුව පුතා කියන කොට ටිකක් අමුතුයි වගේ. ඒ උනාට ඒකට අපෙත් මොකක්දෝ කැමැත්තක් තියෙනවා කියලත් කියන්න ඕනෙ.”

“වයස් පරතරය මොකක් උනත් ගුරුවරුන්ට තමන්ගෙ ශිෂ්‍යයො කියන්නෙ දරුවො තමයි. අපිට අපේ සර්ලා මැඩම්ලගෙන් ගොඩක් දෙනෙක් කතා කළෙත් එහෙමයි. ඇත්තටම ඒක අපේ විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදායටත් අයිති දෙයක්.”

මේ ප්‍රතිරාව දෙන්නේ තමා නියෝජනය කළ අතීතය යි. තමා තරුණ කටහඬින් කී දෙය වර්තමානයේ වෙනත් තරුණ හඬකින් සමාජගත වෙයි. සිදුවිය යුත්තේ ද එය යි. මෙහැඟුම් ද සිත දරාගෙන සහන් ආචාර්යවරයා සිය කීර්තිමත් ආදි ශිෂ්‍යයාට තවදුරටත් සවන් දුන්නේ ය.

“හික්කඩුවෙ නායක හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය කියන්නෙ ධර්මයේ ප්‍රකාශනයක් ම මිස වෙනත් දෙයක් නෙමෙයි. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ භගවද්ගීතාවේ එන ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියො අර්ජුනට කියන දෙයක්. ඒ කියන හැටියට කවර කාලෙක හරි ධර්මය ගිලන් වෙනව ද එතකොට ඒ ගිලන් දහම උත්ථාපනය කරන්න තමන් පහළ වෙනවා කියන එක යි; තමන්ගෙ ස්වරූපය ප්‍රකට කරනවා කියන එකයි. මන් හිතන්නෙ හින්දු සම්ප්‍රදාය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් සුමංගල නායක හාමුදුරුවො ඒ අන්ධකාර යුගයෙදි කළේ තමන් ආලෝක දූතයෙක් වෙන එක.”

“ආලෝක දූත. හරි ලස්සන තේරුමක් තියෙන ලස්සන වචනයක්නෙ සර් ඒක. අපිට බැරි ද සර් ආලෝක දූතයො වෙන්න.”

“මොකෝ බැරි පුළුවන්. ගුරුවරුන් හැටියට අපේ ප්‍රාර්ථනයත් ඒකම තමයි. විශ්වවිද්‍යාලයෙන් ලෝකයට දෙන්න ඕනෙ මේ ආලෝක දූතයන් දූතිකාවන් ම තමයි. ඔයගොල්ලන්ට අවුරුදු ගාණකට කලින් මෙහෙ ඉගෙන ගත්ත අද කවියෙක් - ගීත රචකයෙක් වගේම සන්නිවේදකයෙක් හැටියට සමාජගත වෙලා ඉන්න ජගත් ගාමිණි මාවතගම වෙනස් වචනකලින් කිව්වෙ ඔය කාරණේ ම තමයි. එයා එක වෙලාවක මෙහෙම කවියක් ලියනවා.

ගැටුමින් පිරි ලොවට නොගැටුම ගැන කියන

අවුලින් පිරුණු ලෝකය        නිරවුල් කරන  

දෙවියන් සේ පෙනෙන මිනිසුන් වැඩ වෙසෙන  

සෙනසුන් සදිසි විය යුතු         සරසවි අරණ

අපි විශ්වවිද්‍යාලයෙන් සමාජයට යවන්න ඕන කරන්නෙ දෙවිවරු වගේ මිනිස්සු - ගැහැණු. ඒ කියන්නෙ කලින් කියපු විදිහට අන්ධකාරයේ නෙමෙයි ආලෝකයේ පණිවිඩය අරගෙන යන දූතයො දූතිකාවො.

සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියලා තියෙන රාජ රාජ ගීතයෙ කොටසක් උපුටා දක්වලම මන් අර අධ්‍යාපන දර්ශනේ අන්තර්ගත කරුණු කතා කරන්නං. ඔයගොල්ලො මුලින් කොළවල නෙමෙයි ඒවා තමන්ගෙ හදවත්වල ලියා ගන්න.

ඉන්ද්‍ර දිගින් ගනඳුර බිඳ පායා එන සූර්යරාජ

වලා පලා නැඟී දිලෙනකලා සපිරි චන්ද්‍රරාජ

අපා දෙපා සිවුපා සත මුළු ගන්වන   සිංහරාජ 

ගුණෙන් නැණෙන් වැඩුණොත් පුතු මිනිසුන් මැද දිව්‍යරාජ

හික්කඩුවෙ හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ප්‍රධාන කොටස් නවයකට බෙදලා අපට කතා කරන්න පුළුවන්. උන්වහන්සෙ මුලින් ම කියනවා චිරාගත අධ්‍යාපන සම්ප්‍රදාය රකින්න කියලා. එය රැක ගනිමින් පවත්වා ගෙන යන්න කියලා. ඒ උගත්කමයි ගුණවත්කමයි එකට එකතු වෙච්ච විද්වත් ප්‍රඥාවන්තයන් අඛණ්ඩ ව බිහි කරන්න ඒක හේතු වෙන නිස යි. ඊට පස්සෙ උන් වහන්සෙ දෙවෙනි කාරණේ හැටියට මතු කරන්නෙ එම සම්ප්‍රදායට හානි නොවෙන විදිහට නව ප්‍රවේශ ගන්න කියලා. ඒක තමයි යුගයෙන් යුගයට මේ ගලා ගෙන යන්නෙ. උදාහරණයක් හැටියට සන්ථාගාරය කියන වචනෙ ගන්න. අපේ විශ්වවිද්‍යාලෙ ආචාර්ය මණ්ඩලේ කැන්ටිමට දාලා තියෙන නම. ඒක බෞද්ධ සම්ප්‍රදායට අයිති වචනයක්. ඒ ලිච්ඡවී රජ දරුවො තමන්ගෙ හදවත් උසස් කරගෙන තමන් ජීවත් වෙන සමාජෙ අනික් අයගෙ ජීවිත උසස් කිරීම සඳහා සාකච්ඡා පවත්තපු තැන. ඇයි සෝරත නායක හාමුදුරුවො මේ කැන්ටිමට ආපන ශාලාව, අවන් හල වගේ වචනයක් යොදන්නෙ නැතුව සන්ථාගාරය කියන නම යෙදුවොත්. ඒවා අලුත් වචන උනත් අලුත් නැති නිසයි. දාපු වචනෙ පැරණි උනත් ඒකෙන් දෙන හැඟීම අලුත් නිසයි. සම්ප්‍රදාය රකින ගමන් නව ප්‍රවේශ ගන්නවා කියන එක මන් තේරුම් අරන් ඉන්නෙ එහෙමයි.”

සහන් සාවධාන ව නවක ආචාර්යවරයාට සවන් දුන්නේ ය. මේ මොහොතේ ඔහු විසින් කරනු ලබන්නේ කලකට පෙර තමන් ඔවුනට කළ දේශනය පුනරුච්චාරණය කිරීමක් නොවේ. විෂය කරුණු එක ය. එහෙත් ඔහු ඒවා ඉදිරිපත් කරන්නේ නැවුම් මෙන් ම යෝග්‍ය වෙනත් නිදසුන් දක්වමිනි. සරසවියේ පවත්වන සිය ප්‍රථම දේශනයේ දී ම සම්ප්‍රදාය රකිමින් ගඟුල් නව ප්‍රවේශ ගන්නා ආකාරය දෙස ඔහු බලා සිටියේ සුපහන් හදවතිනි.  

“මොන විෂය ඉගැන්නුවත් ඒක හරි ආදරයකින් කරන්න කියලයි සුමංගල හාමුදුරුවො අපිට කිව්වෙ. ඇත්තට ම සහන් සර්ලා මේ පාඨමාලාව හැදුවෙ එක අධ්‍යයනාංශෙකට, එක පීඨයකට සිමා කරන අදහසින් නෙමෙයි. මන් හිතන්නෙ මේ පාඨමාලාව හැම අධ්‍යයනාංශයක ම තියෙන්න ඕන කරන එකක්. මේකට සමාන  වැඩක් අදත් කෙරෙනවා ඉන්දියාවෙ ශාන්තිනිකේතන විශ්වවිද්‍යාලෙ. ඒකෙ නිර්මාතෘවරයා වගේම පළවෙනි කුලපති වෙච්ච රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගෙ අධ්‍යාපන දර්ශනය විතරක් නෙමෙයි සාහිත්‍ය ජීවිතයත් ගැන එහෙ ඉගෙන ගන්න දේශීය විදේශීය ඔක්කොම ශිෂ්‍යයන්ට ලබා දෙන වැඩ පිළිවෙළක් එතන තියෙනවා. මට ඔය විස්තර කිව්වෙ අපේ විශ්වවිද්‍යාලෙ ආදි ශිෂ්‍යයෙක් වගෙම ශාන්ති නිකේතනෙන් තමන්ගෙ ආචාර්ය උපාධිය දිනා ගත්ත අපේ ධම්මිස්සර හාමුදුරුවො. උන්වහන්සෙ කිව්වෙ තමන් ඉගෙන ගන්න කාලෙ ඒ පාඨමාලාව උගන්නලා තියෙන්නෙ උන්වහන්සේගේ ආචාර්ය උපාධියෙ උපදේශක විදිහට වැඩ කරපු සංස්කෘත මහාචාර්ය කල්පිකා මුඛර්ජි මැතිනිය යි. කියලා. ඒකට පීඨ විෂය භේදයකින් තොර ව ශිෂ්‍යයො සහභාගි වෙලා තියෙනවා.”

“ඉතින් සර් ශාන්ති නිකේතනයට තාගෝර් අධ්‍යාපන දර්ශනය වගෙම අපිට වැදගත්නෙ විද්‍යෝදය අධ්‍යාපන දර්ශනය.”

“ඔව් සන්දීප් ඔයා හරි. මේ පාඨමාලාව හරහාත් මොන මට්ටමකට හරි සිද්ද වෙන්නෙ ඒක තමයි. දැන් අපි අපේ අවධානය යොමු කරමු මේ අධ්‍යාපන දර්ශනේ තුන්වෙනි කාරණාවට. හික්කඩුවෙ හාමුදුරුවො ගුරුවරුන්ට අවධාරණය කරලා කියනවා උගන්නන කොට තමන්ට පැහැදිලි නැති හරි දුෂ්කර තැනක් හරි ආවොත් තමන්ට උගන්නපු ගුරුවරු ඉන්න තැනකට ගිහිල්ලා හරි ඒක හරියට පැහැදිලි කරගෙන ඇවිල්ල තමන්ගෙ ශිෂ්‍යයන්ට උගන්නන්න කියලා. මන් ඉස්කෝලෙ උගන්නන්න ඕනෙ කරන පාඩමකට ලෑස්ති වෙන කොට දුෂ්කර තැනක් ආවොත් කරන්නෙ කොළඹ ආපු ගමන් සහන් සර් හම්බ වෙන එක. ඒක මන් ඉගෙන ගත්තෙ ඔයගොල්ලන්ගෙ - අපේ මේ සර්ගෙන් ම තමයි. මොකද අදටත් සර් තමන්ට අපැහැදිලි තැනක් ආවොත් කරන්නෙ පලිහවවඩන සර් හරි වෝල්ටර් සර් හරි හම්බ වෙන්ඩ යන එක. ඔයගොල්ල දන්නව ද පුතා පලිහවඩන සර්ට වයස කීයක් ද කියලා.”

“අවුරුදු අසූවක් විතර ඇති නේද සර් සහන් සර්ලගෙ ඒ සර්ට.”

“නෑ මියුරි එතුමටාට දැන් අවුරුදු අනූනවයක් වෙනවා. වෝල්ටර් මාරසිංහ මහාචාර්යතුමාට අනූ එකයි.”

“සර් කිව්ව දේ කවද හරි දවසක අපටත් පාඩමක්. දැන් සර් අපිට සුමංගල අධ්‍යාපන දර්ශනේ ගැන කරුණු හතරක් කිව්වා. මොකක් ද සර් පස්වෙනි කාරණේ හැටියට සඳහන් කරලා තියෙන්නෙ.”

“පස්වෙනි කාරණේ අධ්‍යාපනේට විතරක් නෙමෙයි ජීවිතේ කොයි තැනටත් අදාළ කාරණයක්. සුමංගල හාමුදුරුවො කියනවා කොයිම වෙලාවකවත් දැනුම වශයෙන් ශිෂ්‍යයන්ට අසත්‍ය කාරණා උගන්නන්න එපා කියලා. මේක දරුවනේ ඉතාම වැදගත් කාරණාවක්. අසත්‍යය කියන්නෙ තැනක් දෙකක් නෙමෙයි මුළු සමාජයක් විනාශ කරන දෙයක්. බොරු කියන කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ. මේ කාරණේ ඔස්සේ උන් වහන්සේ අපට බොරුවෙන් ජීවත් වෙන්න එපා කියන පණිවිඩෙත් ගේනවා.” 

“ඒත් සර් මේ රටේ උත්තරීතර ආයතනය කියන තැන ඉන්න අයගෙන් අතිබහුතරයක් කළේ ම ඒකනෙ.”

“තත්වය ඒකනන් මොකක් ද දරුවනේ අපි කරන්න ඕනෙ.”

“සර් මන් ඒකට උත්තර දෙන්න ද අන්තර්භාෂා පාඨමාලාවෙදි අපේ සහන් සර් අපට කියපු දෙයකින් ම.”

“හරිම හොඳයි සර්රුත් ඉන්න තැනම  ඔයගොල්ල මෙහෙම කතා කරන එක. ඔව් සන්දීප් කියන්න බලන්න.”

“දවසක් සර් උපනිෂද් පාඨයක් එහෙම උපුටලා දක්වලා කිව්වා, අසත්‍යය තියෙන තැනට සත්‍යයත් අඳුර තියෙන තැනට ආලෝකයත් මරණය තියෙන තැනට ජීවිතයත් ආදේශ කරන්න කියලා. ඉතින් සර් අපිටත් පුළුවන්නෙ බොරුකාරයො වෙනුවට හරිකාරයො යවන්න.”

“හරි සන්දීප් ඔයා හරි. දැනට භාෂාවෙ භාවිත වෙන්නෙ නැති අලුත් වචනයක් නිර්මාණය කරලා ඒ කියන්නෙ බොරුකාරයො කියන වචනෙ විරුද්ධ පදේ විදිහට හරිකාරයො කියලා වචනෙකුත් හදලා ඔයා කියපු දේ තමයි මේකට උත්තරේ. හැබැයි මේකට උත්තර දෙන්න ඕනෙ ඔයගොල්ල - අපි ඒ කිව්වෙ ගුරු - ශිෂ්‍ය දෙපිරිස වන අපි දෙගොල්ල විතරක් නෙමෙයි. ඔයගොල්ලන්ගෙ අම්මා තාත්තා දෙන්න, සහෝදර සහෝදරියො, නැන්ද මාමලා, මේ භූමියෙන් පිට ඉන්න යහලු යෙහෙළියො ඔය ඔක්කොමත් එක්ක තමයි ඒකට උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ.”

“සර් ඒ ඉන්න අය කොහොම ද මේකට සම්බන්ධ කරගන්නෙ.”

එක් ශිෂ්‍යයකු විසින් නගන ලද ඒ ප්‍රශ්නයට ගඟුල්ටත් පෙර උත්තර දුන්නෙ තවත් ශිෂ්‍යයෙකි.

“ඇයි මනුස්සයො ඒ අයටත් ඡන්දයක් කියලා එකක් තියෙනවනෙ. මෙතන ඉන්න අපි විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා අපි හරි මිනිස්සුන්ට ඡන්දෙ දුන්නොත් තමයි බොරුකාරයන් පරාජය කරන්න පුළුවන් වෙන්නෙ.”

“ඉතින් සර් මේ රසිත් කියන වැඩේ හරිම දුෂ්කර එකක්නෙ. මොකද සමාජෙ ඉන්නෙ විවිධ අදහස් දරන අයනෙ. ඉතින් අපේ ම නෑදෑයො යාළුවො අතරත් එහෙම අය ඉන්නවනෙ සර්.”

“මන් මයුරිගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නං අපේ සුමංගල හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනේ එන හය වෙනි කාරණෙන්. උන් වහන්සේ අපිට කියනවා කවර තරන් දුෂ්කර තත්ව යටතෙ උනත් උත්සාහය - වීර්යය අත හරින්න එපා කියලා. එහෙම උත්සාහය අත ඇරපු නැති මිනිස්සු තමයි දරුවනේ හැමදාම ජයග්‍රහණ හිමි කරගෙන තියෙන්නෙ.”

“සර් මේ පාඩම හරහා නියම ගැම්මක්නෙ අපිට දෙන්නෙ.”  

“ඒ ගැම්මෙන් ම පුතා නිවැරදි දේ සමාජගත කරන්න. හික්කඩුවෙ හාමුදුරුවො කිව්වා වගේ තරහෙන් නෙමෙයි බොහොම ආදරේකින් ඒක කරන්න. විරුද්ධ අදහස් දරන අයටත් තමන්ට පැහැදිලි ව දැනෙන දේ ආදරෙන් කියලා දෙන්න. ආදරේට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් පුතා. හැමදාම ලෝකෙ වෙනස් උනේ එහෙමයි පුතා.”

“සර් ඔය අන්තිමට කියපු කාරණේ තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද? ඒ කිව්වෙ ආදරේ තමයි ලෝකෙ වෙනස් කරන්නෙ කියන කාරණේ.”

“බොහොම හොඳ ප්‍රශ්නයක් මේ දුව ඇහැව්වෙ. ඉස්සෙල්ලම කියන්න දුවේ මට ඔයාගෙ නම.”

“සර් මම උත්තරා.”

“සර්, එයා එයාගෙ නමින් කෑල්ලයි කිව්වෙ. එයාගෙ සම්පූර්ණ නම උත්තරා දිව්‍යාංජලී වික්‍රමසූරිය. අපේ බැච් එකේ කවිකාරි. එයාගේ කාඩ්ඩෙකත් ඒකයි සර්. එයාට අපි කියන්නෙ කිවිඳි කියලා.”

“බැලුවහම මේ සන්දීප්නෙ උත්තරා ගැන එයාටත් වඩා විස්තර දන්නෙ.”

“ඔව් සර් මෙයා තමයි එයාගෙ ප්‍රයිවෙට් සෙකටි්‍ර. මෙයා උත්තරා ගැන උනන්දු උනාට තවම උත්තරාගෙ ප්‍රතිචාරනං මදි සර්. ඒ උනාට මේ දෙන්න නං නියමෙට...”

සසිත්ට එය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබුණේ උත්තරාගේ රැවුම් සහගත දැඩි බැල්ම ඔහු දෙසට යොමු වූ බැවිනි. අනතුරුව කතා කෙළේ ගඟුල් ය.

“දුවේ, සති අන්ත පත්තරවලින් මන් ඔයාගෙ කවි කියවලා තියෙනවනෙ. එහෙනං ඔයයි ඒ උත්තරා දිව්‍යාංජලී. ඔයාගෙ කවි හොඳයි දුව. ඒ වගෙ නිර්මාණ කරන අය අනිවාරෙන් ම තවත් මෙතන ඇති. අපි ඒව ගැනත් වෙලාවක කතා කරමු. දැන් මන් උත්තර දෙන්නං මට තේරෙන විදිහට උත්තරා දුවට. ඔයා ඇහැව්වනෙ ආදරේ කොහොම ද ලෝකෙ වෙනස් කරන්නෙ කියලා. මීට අවුරුදු දහස් ගණනකට කලින් ඒකට උත්තර දුන්න අපේ ශාස්තෘාන් වහන්සේලා. බුදු හාමුදුරුවො ලෝකෙ වෙනස් කළේ ආදරයෙන්. මෛත්‍රී කරුණාවෙන්. යේසුස් වහන්සේගෙ ඒ හැඟීමට භක්තිවන්තයො පාවිච්චි කරන්නෙ ප්‍රේමය කියන වචනෙ. නබිනායකතුමන්ගෙ තමන්ට විතරක් දේවල් තියා ගන්නෙ නැතුව නැති අයටත් දෙන්න කියන පරිත්‍යාගය ගැන තියෙන ඉගැන්වීමට උල්පත වෙන්නෙ ආදරය. හින්දු ආගමික සම්ප්‍රදායට අයිති භගවද්ගීතාව අපට උගන්නන්නෙ හැම දෙයක් දිහාම සමාන ඇහැකින් බලන්න කියලයි. එතන තියෙන්නෙත් ආදරය මිස වෙන දෙයක් නෙමෙයි.”

“සර් ගත්ත උදාහරණවල ඉන්න ඔක්කොම ශාස්තෘාන් වහන්සේලා. සර් මන් අහන්නෙ දේශපාලනඥයකුට බැරි ද අර ශාස්තෲන් වහන්සේලා වගේ ඇත්ත ආදරවන්තයෙක් වෙන්න.” 

“මොකෝ බැරි සන්දීප්, ඒ මට්ටමට ම නොවුණත් හොඳ දේශපාලනඥයා කියන්නෙත් ආදරවන්තයෙකුටම තමයි. ලෙනින්, චේ ගුවේරා, මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා මේ ඔක්කොම දේශපාලනඥයො ආදරයේ නියෝජිතයො මිසක් වෛරයේ නියෝජිතයො නෙමෙයි. ඒ වගෙම අපිට සාහිත්‍ය ලෝකෙනුත් හම්බ වෙනවා ආදරවන්තයො. රබීන්ද්‍රනාත් තාගෝර්, ලියෝ ටොල්ස්ටෝයි, සරෝජිනී නායිදු. මේ උදාහරණ කීපයක් විතරයි. මන් මෙතෙන්දි එක කාන්තා චරිතයක් විතරක් උදාහරණෙට ගත්තට අපි අමතක කරන්න නරකයි මේ හැම පැත්තක් ම නියෝජනය කරපු ආදරවන්තියන්ගෙනුත් හැම යුගයකම ලෝකය හිස් නොවිච්ච බව.”

“පැහැදිලි යි සර්, අන්තිමටම පැහැදිලි යි. මමත් සර් වර්තමාන සමාජය පුරවන ආදරවන්තයෙක් වෙනවා.”

“ඒකට උත්තරාගෙනුත් මුලින් ම උඹට අවසර අරන් ඉන්න වේවි.

සන්දීප්ගේ කතාවටත් ඊට මිතුරකු විසින් කරන ලද ප්‍රකාශයත් නිසා දේශනශාලාව සිනා සාගරයක් වද්දී සන්දීප් පැවසුවේ තමා ඒ කතාව කිව්වේ විහිලුවට නොව ඇත්තට ම බව යි. අනතුරුව ඇසුණේ  ගඟුල් ආචාර්යවරයාගේ කටහඬ යි.

“මට දැනෙන්නෙත් සන්දීප් ඒ කතාව කිව්වෙ විහිලුවට නෙමෙයි කියලයි. මන් ප්‍රාර්ථනා කරනවා වගෙම මට දැනෙන දේ වෙන්නෙ අපේ අනික් දරුවොත් ඒ ආදරවන්තයන්ගෙ ආදරවන්තියන්ගෙ හිස්තැන පුරවනවා කියන එකයි. ඒ ප්‍රාර්ථනාව කරලම මන් අර අධ්‍යාපන දර්ශනේ හත් වෙනි කාරණේට යන්නං. එතැන කියැවෙන හත්වෙනි කාරණේ තමයි ශිෂ්‍යයා තුළ දැනුම තහවුරු කිරීමේ ක්‍රමවේදයක් හැටියට කටපාඩම් කිරීම, ආචාර්යවරයා ගාවදි ඒවා පාඩම් දීම වගෙම පදගත අර්ථ විග්‍රහ කිරීම අවශ්‍යයි කියන එක.”

“ඒ උනාට සර් අද අලුත් අධ්‍යාපන මූලධර්ම ගැන කතා කරන ගොඩක් උගත්තු කියන්නෙ කටපාඩම් කරන එක, පාඩම් දෙන එක, ගුරුවරයා ඉස්සරහට ගිහින් අර්ථ විග්‍රහ කරන එක යල් පැන ගිය දෙයක් කියලනෙ.”

“අන්න අපිට වැරදුණ තැනක් තමයි මේ පුතා මතක් කළේ. මේ අධ්‍යාපන මූලධර්මෙ ඒ පැරණි තාලෙන්ම මේ විශ්වවිද්‍යාලෙදි ක්‍රියාත්මක කරපු ගුරුවරයෙක් අපිට හිටියා. ඒ සර් අපිත් එක්ක එකතු වෙලා කලා පර්ෂදය මුල් කරගෙන හැදුවා සංකථන මණ්ඩපයක්. එතකොට කලා පර්ෂදේ සභාපති වෙලා හිටියෙ ප්‍රණීත් සර්. ඒ සර්රුත් අපේ පසුබිමේ ඉඳගෙන අපිට උපරිම සහය දුන්නා. අර කියපු සංකථන මණ්ඩපේට ඕනම ශිෂ්‍යයකුට එන්න පුළුවන්. අපි එක දවසක කවි පන්තියක් ගැන ගීතයක් ගැන කතා කරනවා. ඒ ගීත කවි අපේ ශිෂ්‍යයන්ට කොච්චර හිතට දැනුණ ද කිව්වොත් ඊළඟ සංකථන මණ්ඩපේ දි ඒ ශිෂ්‍යයො ඒ ගීත කවි ගැන කතා කළේ තමන්ගෙ මතකයෙන්. ඊට පස්සෙ අපි අර්ථ විග්‍රහවලටත් ගියා.”

“ඉතින් සර් අපිත් පටන් ගමුකො ඒ සංකථන මණ්ඩපේ ආයෙමත්. සර්ලගෙ ඒ සර් දැන් විශ්වවිද්‍යාලෙ නැද්ද සර්.”  

“මොකෝ නැත්තෙ, ඒ සර් තාම අපිත් එක්ක ඉන්නවා. දැනුත් අපිත් එක්ක ඉන්නවා. මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්නවා. ඒ තමයි මේ දේශනය කරන්න මට බාර දීලා මාව ඔයගොල්ලන්ට අඳුන්නලත් දීලා මේ මේ වෙලාවෙ මේ දේශනශාලාවෙම කෙළවරකට වෙලා අපේ මේ කතා අහගෙන ඉන්නෙ. ඒ තමයි ඔයගොල්ලන්ගෙ අපේ සහන් සර්. ඒ සර් ම තමයි මගේ ජීවිතේ දුෂ්කරම වෙලාවක විෂය කාරණා විතරක් නෙමෙයි ජීවිතේ ඇති වන ගැටලුවලදිත් ගුරුවරයා කියන කෙනා ශිෂ්‍යයා ළඟ ඉන්න ඕනෙ කියන පාඩම තමන්ගෙ ජීවිතයෙන් ඔප්පු කරල ම පෙන්නුවෙ. එහෙම ගුරුවරු හැම පිඨෙකම වගේ ඉන්නවා. අපිත් දැනගන්න ඕනෙ ඒ අයගෙන් ප්‍රයෝජන ගන්න.”

“සර් දැන් කතා කරපු කාරණේ ගැන කිව්වෙත් සුමංගල අධ්‍යාපන දර්ශනේට සම්බන්ධ කරලයි. මොකක් ද සර් ඒක.”

“ඔව් දරුවනේ, සුමංගල අධ්‍යාපන දර්ශනේ අටවෙනි කාරණේ තමයි ඒ. එතෙන් දි කියනවා යම්කිසි ගැටලුවක් මතු උනාම ඒක විසඳගෙන මිස ඉස්සරහට යන්න එපා කියලා. මේක අධ්‍යාපනේටත් අදාළයි. අපේ ජීවිතේටත් අදාළයි. මේ කාරණේ ශිෂ්‍යයන්ටත් අදාළයි ගුරුවරුන්ටත් අදාළයි. ගුරුවරයෙක් වේවා, අපේ ශිෂ්‍යයෙක් වේවා, අපේ සේවක මහත්තයෙක් වේවා ලොකු ප්‍රශ්නෙකට මැදිහත් වෙලා ඉන්න වෙලාවක අපිට බැහැ ඒක නොතකා හැරලා වැඩ කරන්න. එහෙම කරනවනං මොන මිනිස්සු ද අපි.”

සහන් දුටුවේ සාවධාන ව සිය ආදිශිෂ්‍ය ගඟුල්ට සවන් දෙන ශිෂ්‍ය ප්‍රජාවකි. ඔහු මහදවධානයෙන් සිටින ඒ මොහොතේ යළි ඇසුණේ ගඟුල්ගේ හඬ යි.

“දැන් අපි යන්නෙ සුමංගල අධ්‍යාපන දර්ශනේ නවවෙනි එහෙම නැත්තං අන්තිම කාරණේට. එතෙන්දි උන්වහන්සේ ගුරුවරුන්ට කියනවා තමන්ගෙ ශිෂ්‍යයන්ට සටහන් දෙන්න එපා කියලා. උන්වහන්සෙ කියන්නෙ පාඩම කළාට පස්සෙ අදාළ සටහන තමන් ම සකස් කරගන්න තැනට තමන්ගෙ ශිෂ්‍යයන්ව යොමු කරන්න කියලයි.

ඔන්න මේ වෙන කොට ඒ අධ්‍යාපන දර්ශනේට අදාළ කරුණු නවයම අපි කතා කරලා ඉවරයි. දැන් ඔයගොල්ල තමයි සටහන හදන්න ඕනෙ. සති දෙකක් තියෙනවා ඒකට කාලය.”

“ඉතින් සර් මුලින් ම කිව්වනෙ දේශනෙන් පස්සෙ අපිට සටහනක් දෙනවය, ඒ නිසා අපි මොකුත් ලියා ගන්න අවශ්‍ය නැහැ කියලා.”

“ඔව් මන් එහෙම කිව්වා තමයි. හැබැයි දේශනෙන් පස්සෙ දෙනවා කිව්වට ඒ කොයි වෙලාවෙ ද කොයි දවසෙද කියන එක මන් කිව්වෙ නැහැනෙ. ඒ වගෙම මන් කොයි වෙලාවකවත් කිව්වෙ නැහැනෙ ඔයගොල්ලන්ට හද සටහන් ගන්න එපා කියලා. මේ තමයි ඔයගොල්ලන්ට දෙන පැවරුම. ඒ පැවරුම සති දෙකකින් මට දුන්නට පස්සෙ මන් දෙනවා ඔයගොල්ලන්ට සටහනක්.”

“ඉතින් සර්, සර්ම කලින් කියපු හැටියට විද්‍යෝදය අධ්‍යාපන සම්ප්‍රදාය සම්පූර්ණ වෙන්නනං සර් කියපු අනිත් සන්ධිස්ථාන දෙක ගැනත් කතා කරලා ඉන්ඩ ඕනෙනෙ. අපි සෝරත නායක හාමුදුරුවොයි අදිකාරම් මහත්තයයි දෙන්න අධ්‍යාපනය ගැන කියලා තියෙන කරුණු ගැන කතා කළේම නැහැනෙ.”  

“මයුරි දුව ඒ ගැන අවදියෙන්හිටපු එක ගැන මන් ගොඩක් සතුටු වෙනවා. අපිට දුව එක දවසකින් මේ ඔක්කොම කතා කරන්න බැහැනෙ. මන් මගෙ ඊළඟ දේශනය කරන්නෙ ශ්‍රී සෝරත හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ගැන. තුන්වෙනි දේශනේදි කරන්නෙ අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන කතා කරන එක. දැන් මම වෑයම් කරනවා අද අපි ඉගෙන ගත්ත සුමංගල හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය මට පුළුවන් විදිහට එක නිර්මාණයක් අරගෙන පැහැදිලි කරන්න.

මේ නිර්මාණය ලිව්වෙ අපේ සම්මානනීය තරුණ කවියෙක්. ඒ ලක්ශාන්ත අතුකෝරළ. නිර්මාණෙ මාතෘකාව ග්‍රීෂ්මේ පිපෙන මහනෙල් අමුතුයි ලස්සනයි. මහනෙල් මල අපේ සාම්ප්‍රදායික කවියොත් ගොඩක් භාවිතයට ගත්ත එකක්. ඒ වගෙම නිල් මානෙල් මල කියන්නෙ අපේ ජාතික පුෂ්පය. එතන අපේ සම්ප්‍රදාය තියෙනවා. ඒ වගෙම මාතෘකාව ගත්තහම එතන තියෙන්නෙ අපේ සාම්ප්‍රදායික නෙළුම් මලම නෙමෙයි. අපේ සමාජෙ අපිට හමුවෙන ජීවිත සංකේතවත් කරන දෙයක්. ඒ කියන්නෙ සංකේතාර්ථයක්. ඒක නව ප්‍රවේශ ගැනීමක්. ඊට පස්සෙ අපි බලමු අපට ආදරය මුණගස්වන කාව්‍යෝක්තිය තව විදිහකට කිව්වොත් සුමංගල හාමුදුරුවො මතු කරන ආදරය නිර්මාණයෙන් මතු කරන තැන.

“පුලින මලු ගෙන දෙගොඩ පිහිනන ,

කැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක්

නුහුරු පිරිසුදු නිල් තටකෙක - ලබයි ජය පළඟක්

මුදා අබිමන ඔහුගෙ අත

දවටන්න සුබ පැතුමක්”

එතකොට ඔබ, දැන් තමන්ගෙ සෙනෙහස දක්වන්න යන්නෙ නාගරික තටාකෙක පිහිනලා දක්ෂයන් අතර සුදක්ෂයෙක් වෙච්ච ගමෙන් ආව කොල්ලට. දැන් නගරෙ  ඉන්න ඔබ, නාගරිකයන් අතරින් ඉදිරිපත් වෙච්ච තමන් දන්න කියන දරුවන්ට නෙමෙයි කලින් කවදාකවත් දැකලා තිබ්බෙ නැති ගමෙන් ආපු දරුවෙකුට සුබ පතන්න ඉදිරිපත් වෙනවා. මේක කරන්න නං ඔබේ හදවත තමන්ගේ ය අනුන්ගේ ය කියන සීමා කඩපු ආදරයට විවෘත වෙලා තියෙන්න ඕනෙ.”

“සර් අපට සුමංගල හාමුදුරුවො අධ්‍යාපනය ගැන කියපු මුල් කාරණා තුනට සම්බන්ධ කරපු එකනං පැහැදිලියි. ඒත් සර් නොදන්නා දේ ගැන ගුරුවරුන්ගෙන් විමසන්න කියන එක කොහොම ද මෙතෙන්ට සම්බන්ධ කරන්නෙ.” 

“හොඳ ප්‍රශ්නයක්. මෙතෙන්දි නොදන්නා දේ කියලා දෙන ගුරුභූමිකාව දෙන්නෙ මන් ඔයගොල්ලන්ට. හිතන්න මේ කවි ටික කියලා දෙන ගුරුවරයා හෝ ගුරුවරිය ඔබයි කියලා. එතකොට දරුවෙක් අහන්න පුළුවන් පුලින මළු කියන්නෙ මොනවට ද කියලා. එතකොට ඔබ තමයි අපේ සුමංගල හාමුදුරුවො කියන ගුරුවරයා බවට පත්වෙලා පුලින මළු කියන්නෙ වැලි මළුවලටයි කියන කාරණේ පැහැදිලි කරන්න ඕනෙ. එතෙන්දි ඔබත් ඒ වචනෙ තේරුම මෙතෙක් දැනගෙන හිටියෙ නැත්තං තමන්ගෙ ගුරුවරයෙක් හම්බ වෙලා ඒක පැහැදිලි කරගෙන අනික් අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන්.”  

“ලෝකයට අසත්‍ය කරුණු දෙන එක වරදක්. අපි දන්නවා වෙනත් කෙනෙකුට අයිති සම්මානයක්, එහෙම නැත්තං තනතුරක් වංචාවෙන් ලබාගෙන තියෙනවනං එතනදි තාවකාලිකව හරි දිනලා තියෙන්නෙ අසත්‍යය. කවියා මෙතෙන්දි ජයග්‍රහණය කරවන්නෙ ඇත්තටම දිනපු අය. ඒ ගොල්ලො ආවෙ කොතනින් ද ඒ ගොල්ලන්ගෙ වත් පොහොසත්කම් මොනව ද කියන එක අදාළ ම නෑ. කවියා සත්‍යය ජයග්‍රහණය කරවන අතර ම වීරියවන්තකම තියෙනවනං ඕනෙම සමාජ තරාතරමක ඉන්න කෙනෙකුට ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන් කියන පණිවිඩයත් අපිට ගේනවා. ඉතාම දුප්පත් දැරියක් විවාද තරඟෙන් ජය ගන්න එක, හරියකට පාට - කඩදාසි නැති දරුවෙක් චිත්‍ර තරගෙන් පළමු වැනියා වෙන එක, ගී තරගයෙන් මුලට එන දුගී කලාපේ යුවතියගේ ජයග්‍රහණය, මෙන්න මේවා හරහා කවියා සමාජගත කරන්නෙ ඒ පණිවිඩය. අපි යමු ද කවියේ දෙවෙනි කොටසට.

නිහඬ සෝබර ගැහැණියක කුස

නැගී මෙලොවට පැමිණි දැරියක්

පරදවන්නී වාද කතිකා-නැණ සභා වදනින්

එයින් පැහැදී මොහොතකට 

නැගිටින්න ඔබ අසුනින්

මන් දන්නවා ඊළඟට ඔයගොල්ලන්ට එන ප්‍රශ්නෙ. ඒ තමයි කොතන ද සර් කටපාඩම් කිරීම, පාඩම් දීම, අර්ථ විග්‍රහ කිරීම කියන හත්වෙනි අධ්‍යාපන සංකල්පෙ මෙතෙන්ට සම්බන්ධ කරන්නෙ කියන එක. ඇත්තට ම හොඳ නිර්මාණයක් නම් ඒක කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. පාඩම් හිටිනවා. දැන් මේ අපි කරන්නෙත් කවියා අපට දෙන සමාජ පණිවිඩය පාඩම් කරන එක වගෙම ඒක ජීවිතයට දාලා විග්‍රහ කරගන්න එකනෙ.”

“සර් ජීවිතේ ගැටලුවක් ආවොත් ඒක විසඳලා මිස ඉස්සරහට යන්න එපා කියන අධ්‍යාපන සංකල්පෙ අපට තහවුරු කරගන්න පුළුවන් තැනකුත් අපට ඔය කවි පන්තියෙ තියෙනව ද?””

“ඔව් පුතා ඊළඟට එන කාව්‍යෝක්තිය අපට කියන්නෙ සමාජ ගැටලු විසඳන්න ඕනෙ කරන අපේ මැදිහත් වීම ගැන යි. කවියා කියන්නෙ ගැටලුව තියෙන කෙනාට උදව් කරන්න, හැබැයි කුණු තැවරිචච් හිතකින් නෙමෙයි, කුණු නොතැවරිච්ච පිරිසුදු හිතකින් කියලයි. බලන්න කවියේ ඊළඟ කොටස දිහා.


පාට කූරක් කුණු වලෙන් ලද

චෙහොරු පැල්පත් පෙළේ පැටියෙක්

අඳින්නේ කඳු කෙළවරේ ඉර-මුදුන් වන දසුනක්  

දෙන්න හිතවත කුණු නොගෑවුණු

අලුත් සුදු කොළයක්


කවි පෙළ අවසාන කරන්නෙ මෙන්න මේ විදිහටයි.


නිතර චර චර සුරුස් නද දෙන 

වැල් කැසට් කබලකට කන් ඇන

කලාපේ යුවතියක් ශ්‍රැතියට - ගයන්නී ගීයක්

හොඳට අත් දෙක උස්සලා 

ඔබ දෙන්න අත්පුඩියක්!


“දැන් සර්, සුමංගල අධ්‍යාපන දර්ශනේ කාරණා අටකට මේ නිර්මාණෙ සම්බන්ධ කළානෙ. ඒත් මට හිතා ගන්න බැරි අටවෙනි කාරණේ කොහොම ද නිර්මාණයක් එක්ක ගළපන්නෙ කොහොම ද කියලා.”

ඒ ප්‍රශ්නය ඇසුවේ මෙතෙක් නිහඬ ව සවන් දීම පමණක් සිදු කළ සචිත්‍රා නම් උපාධි අපේක්ෂිකා ව යි. 

“මන් කැමතියි ඒ ප්‍රශ්නෙ අහපු දුව මුලින් ම අපි කතා කරපු සුමංගල අධ්‍යාපන දර්ශනේ අන්තිම කාරණය මොකක් ද කියන එක දුවගෙ වචනවලින් පැහැදිලි කරනවනං.”

“ගුරුවරයා සටහන් දෙන්නෙ නැහැ. ශිෂ්‍යයා අන්තිමට තමන් ඉගෙන ගත්ත දේවල් මතක තියාගෙන තමන් ම සටහනක් හදනවා. මන් තේරුම් ගත්ත විදිහට ඒක තමයි සර් කිව්ව අන්තිම කාරණේ.”

“දුව ඔයා බොහොම සරල ව ඒ කාරණේ අපට කිව්වා. දැන් ඔයාට පුළුවන් ද අප කතා කරපු නිර්මාණෙ හරය ඔයාගෙ වචනවලින් අපට කියන්න.”

“සර් මේ පළවෙනි කාව්‍යෝක්තියෙ තිබුණෙ ගඟේ පීනලා පුරුදු, තටාකෙ පීනලා දිනපු ගමෙන් ආපු කොල්ලට සුබ පතන්න කියලා.”

“කොහෙන් ද දුවේ ඔයා ගඟේ පීනලා දිනපු කියන කෑල්ල ගත්තෙ. මේ නිර්මාණෙ කොතනකවත් එහෙම ප්‍රකාශයක් නැහැනෙ.”

“ඇයි සර්, සර් කිව්ව කවියෙ මුල් කොටසෙ තිබුණනෙ යෙදුමක් ‘කැලණි ගඟබඩ සිහිනි කොල්ලෙක්’ කියලා. ඉතින් අපට උපකල්පනය කරන්න පුළුවන්නෙ මේ දරුවා ගඟේ පීනලා පුරුදු දරුවෙක් ය කියන එක.”

“ඔයාගෙ කියවීම හරි දුව. දැන් අපිට කියන්න ඒ නිර්මාණෙ දෙවෙනි කොටසින් උකහා ගත්ත දේ.”  15

“දෙවෙනි කාව්‍යෝක්තියෙන් කියවුණේ දුප්පත් අම්මා කෙනෙක්ගෙ කුසින් උපන් දුවක් විවාද තරගෙන් දින්නය, එක නිසා කවුරුත් නැගිටලා එයාට ගෞරව කරන්න කියන එකනෙ.”

“හරි, මේ දුව ඒකත් හරියට ග්‍රහණය කරගෙන තියෙනවා. දැන් තුන්වෙනියට තියෙන කොටසෙ අදහසත් කියලා මතක නං විතරක් ඔයාට වැඩියෙන් ඒකෙ දැනුණු තැනකුත් අපට කියනවනං මන් කැමතියි.”  

“ඒකෙදි කියවුණේ පාට වගෙම හරි හැටි කඩදාසිත් නැති පුතෙක්, පැල්පතක ජීවත් වෙන පුතෙක් චිත්‍ර තරගෙකින් එකට ආවා කියන එකනෙ. මට සර් කවදාවත් අමතක නොවෙන විදිහට ඒකෙ එක තැනක් මතක හිටියා. ඒ තමයි සර් ‘දෙන්න හිතවත කුණු නොගෑවුණු අලුත් සුදු කොළයක්’ කියන කොටස.”

“ඔයා දුවේ සුමංගල හාමුදුරුවො කියන කට පාඩම් කිරීම කියන කාරණෙත් කරලනෙ බැලුවහම. දැන් අන්තිම කොටසත් අපි කාටත් මතක් කරලා දෙන්න බලන්න.”

“සර් ඒ කවියෙ අන්තිමට තියෙන්නෙ දුප්පත්කමේ පතුළෙම ඉන්න නිදහස් වෙළඳ කලාපෙ වැඩ කරලා ජීවත් වෙන යුවතියක් ඉතාම සුන්දර විදිහට රිද්මයානුකූල ව ගීතයක් ගයනවා කියන එක. ඒ වගෙම එබඳාු වෙලාවක ඒක බලන අපි කරන්න ඕනෙ මොකක් ද කියන එක කවියා අපට යෝජනා කරන්නෙ ‘හොඳට අත් දෙක උස්සලා ඔබ දෙන්න අත්පුඩියක්’ කියන කාව්‍යෝක්තිය හරහා යි.”

“අනේ දුවේ, ඔයා මේ පාඩම හොඳින් ම ග්‍රහණය කරගෙන තියෙනවනෙ. ආයෙ අමුතුවෙන් නොකිව්වත් ඔයා සුමංගල හාමුදුරුවො කියපු විදිහට අපි සටහනක් නුදුන්නට හද සටහන බොහොම අපූරුවට ලියාගෙනත් තියෙනවනෙ, කොළවල නෙමෙයි තමන්ගෙ හදවතේ.”

“එහෙමනං අදට මන් පාඩම අවසාන කරනවා. අපි ඊළඟ සතියෙ මේ වෙලාවට ම හමු වෙලා අපේ සෝරත හාමුදුරුවන්ගෙ අධ්‍යාපන දර්ශනය ගැන කතා කරමු.”

ශිෂ්‍ය ප්‍රජාවට ආචාර කොට දේශනශාලාවෙන් නික්ම යාමට සැරසෙන මොහොතේ ගඟුල් දුටුවේ මොහොතක් රැඳෙන්නයි සංඥා කරමින් තමන් වෙතට එන සහන් ආචාර්යවරයා යි. එතැනට ආ ඔහු පළමු ව ගඟුල්ගේ දෑතින් ම අල්ලාගෙන සිය හෘදයංගම ආචාරය පළ කෙළේ ය. අනතුරුව එයට සිය නොවක් හැඟුම් හා මුසු වූ සුබ පැතුම ද එක් කෙළේ ය.

“ගඟුල් ඔයා හරිම ලස්සනට ඔයාගෙ දේශනය කළා. අතීතයේ දවසක මන් ඔයගොල්ලන්ට කළාට වඩා හොඳට අලුත් උදාහරණ දිදී ඔයා මේ දරුවන්ගෙ අවධානයත් වෙන තැනකට යන්න නොදී හරිම අපූරුවට මේ දේශනේ කළා. ගුරුවරයෙක් හැටියට අද දවස කියන්නෙ මටත් ගොඩක් නෙමෙයි ගොඩක් ම සතුටු දවසක්. තව අවුරුදු දෙකකින් මන් මෙතනින් යන්නෙ මට වඩා හොඳට මම කරපු දේශන කරන්න පුළුවන් ආචාර්යවරයෙක් මෙතන ඉන්නවා කියන විශ්වාසෙන්. ඒ විශ්වාසය ම මට සැනසිල්ලෙන් ඉන්න පුළුවන් විශ්‍රාම ජීවිතයකට මග සලසාවි.”   

සහන් එසේ කියද්දී ගඟුල් සිය ආදරණීය ආචාර්යවරයාට පහත් වී අභිවන්දනය කෙළේ ය. ඒ මොහොතේ සහන් මුවින් ප්‍රකාශයට පත් වූයේ පහත සඳහන් කරනු ලබන කණ්ව ඍෂි භාෂිතය යි.

    “සුශිෂ්‍යෙ පරිදත්ත විදෛ්‍යව අශෝචනීයා සංවෘත්තා.

හොඳ සිසුවකුට සැමතින් ම ඥානය ප්‍රදානය කළ පරිද්දෙන් මම ශෝක නොකොට යුතු බවට පැමිණියේ වෙමි.”