Thursday, March 5, 2026

144. අහස් මියැසිය - 01


"The sky is an endless dream." — Ralph Waldo Emerson

අහස් නිල - හංසපාණි පාට පෙට්ටියෙ හුඟක්ම කැමති පාට. අද අහස දිහා බලද්දි හංසපාණිට කවදාවත් නැති තරම් අහස ලස්සනට පෙනුණා. අහස එච්චරට අහස් නිල් පාටයි. ඔය ස්කයි බ්ලූ - අහස් නිල කියලා සොබාදහම එක්ක කිට්ටු නම් තියලා තියන වර්ග ගැන දැනගෙන හිටියට හංසපාණිට චිත්‍ර අඳින්න බෑ. අහස් නිල ගැන දන්නෙත් අහස ගැන තියන ලාලසාව හින්දයි.

මේ ළමයා ගිය ආත්මෙ නාසාද දන්නෑ හිටියෙ.. 

පොඩි දවස්වල අහස දිහා බලා‍ගෙන තරු දිහා බලන් ඉන්න - තරු රටා ගැන පොත් ගෙනත් ‍දෙන්න කියලා වද ‍‍‍‍දෙන අවුරුදු දහයක විතර දැරිවියක් වෙච්ච හංසපාණි දිහා බලාගෙන තාත්තා කියනවා. හැබැයි එහෙම කිව්වට දෝණියන්දෑ ටීවී එක ඉස්සරහ ඇස් අළවගෙන ඉන්න සමයවස් ළමයි වගෙ නොවී තරු රටා හොයන දරුවෙක් වෙච්ච එක ගැන ඒ කාලෙදිත් තාත්තට ආඩම්බරයි. ඔරායන් ගැන මුලින්ම හංසපාණිට කියා දුන්නෙත් තාත්තම තමයි.

ඉන්පස්සෙ හැමදාකම හවසට එළියට බැහැලා හංසපාණි ඔරායන්ගෙ දුන්නයි - ‍ බෙල්ට් එකයි - වීනස්වයි හොයනවා. ජීවිතේ දශක ‍දෙකක් ගෙවිලා අවුරුදු විස්සක් ‍වෙන්න ආවත් තාම ඒ පුරුද්ද අත් ඇරිලා නෑ.

සරසවිය මේ තරම් ඉක්මණින් පටන් ගනීවි කියා හංසපාණි හිතු‍වෙ නැහැ. එහෙම හිතුණා නම් උසස්පෙළ කරලා ‍ගෙවී ගියපු කාලෙ - කාලෙක ඉඳන් ලියනවා කියලා හිතං හිටපු අහසට ලියුම් ලියන ගෑණු ළමයෙක් ඉන්න නවකතාව පටන්ගන්න තිබුණා. 

ඔරියන්ටේෂන් - නැත්නම් නම්නීකරණ වැඩසටහනට හෙට එන්න කියලා සති දෙක තුනකට කලින් කැම්පස් එකෙන් ලැබුණ ලියුමත් අතේ තියාගෙන අහස දිහා බලාගෙන කල්පනා කරද්දි හංසපාණිට හිතුණා. 

අවුරුදු ගාණක් පාඩම් කරපු කරාබු ගහ යට බංකුව උඩ වාඩි වෙලා උන්න හංසපාණිගෙ හිස මත්තට කරාබු ගහේ එතිලා තිබුණ පිච්ච වැ‍ලෙන් මල් පෙති ‍දෙක තුනක් වැටුණා.

පෙති නැතුව මලක් දෙන්න තිවුණා‍‍‍නෙ. එහෙනං මං පොඩි කා‍ලෙ වගෙ කොණ්‍ඩෙ අස්සෙ තියාගන්නව.

හංසපාණි නෝක්කඩු‍‍වෙන් හිතුවට එහෙම කිව්‍‍වෙ නෑ. ගස් එක්ක කතා කරන්න දැන් ‍පොඩි ළමයෙක් ‍නෙමේ‍නෙ. අල්ලපු ගෙදර මිනිස්සු දැක්කොත් කැම්පස් සි‍ලෙක්ට් වුණාට දිසානායක සර්ගෙ දුවට නුහුගුණේ ව‍ගේ කියලා කතාවකුත් හදයි. 

හැබැයි හංසපාණි හිතපු දේ පිච්ච වැලට ‍තේරුණාද කොහෙද - තත්පර දහයක් ගියෙ නෑ පිච්ච මලක් කකුල් දෙක ළඟටම වැටුණා. හංසපාණි බිමට නැමිලා මල අහුලාගෙන සුවඳ බලලා පිච්ච මලෙන් එන පවිත්‍රකාරක සුවඳින් ළය පුරවාගත්තා.

‍මොකක්දෝ හේතුවකට හංසපාණි පොඩි කාලෙ ඉඳලා පිච්ච මල්වලට කැමතියි. සමහර විට සුවඳ නිසා වෙන්න පුළුවන්. පිච්ච මලේ ති‍යෙන අහිංසක ගතියත් ඒකට හේතුවක්. අනික පිච්ච මලක් දකිද්දි හංසපාණිට ආච්චි පිච්ච මල් කඩද්දි පොඩි කාලෙ කියලා දුන්න කවියක් මතක් වෙනවා.

මනුසත්කම ගුණය හා කරුණාව යන

පාටත් ලස්සනත් සුවඳත් කරුණු තුන

එක් වී හැ‍‍දෙන උයනකි ළමයෙකු‍‍ග‍ෙ මන

එතනයි සුවඳ මල පිපුණෙත් පි‍පෙන තැන

දැන් ආච්චි යන්න ගිහිල්ලා අවුරුදු ගාණක් වුණත් පිච්ච මලක් දකිද්දි පිච්ච සුවඳයි - ආච්චි ගාවින් හමාපු සැවැන්දරා සුවඳයි එකතු ‍‍වෙලා හංසපාණි නොස්ටැල්ජියාවකට යනවා. පුංචි කාලෙ ඉඳලා යන්න කැමැත්තෙන් හිටපු සරසවියට තේරිලා කියලා දැනගත්තමත් හංසපාණිට මුලින්ම මතක් වුණේ ආච්චිව. අම්මා ගැන ලස්සන මතක මොනවාවත් නැති හංසපාණිට අම්මා කියලා පොඩි කාලෙ ඉඳලා දැනුණෙ තාත්තව. ඊළඟට ආච්චිව. 

ආච්චි ආ‍යෙ කවදාවත් එන්නෑ කියලා මතක් වෙද්දි දුක හිතිවිලි හිතට ගලා‍‍ගෙන ආවත් ඊටපස්සෙ හංසපාණිට මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ‍පො‍තෙ දාන්‍‍තේ - මක්සිමිලියන්ට කියන වචන ටිකක් මතක් වුණා.

අපට නැති වන හිත මිතුරන් නිදන්නේ පොළෝ පතුළේ ‍නෙමෙයි මක්සිමිලියන් - අපේ හිත් පතුළේයි.

එහ‍ෙම හිතුවාම අපි ආදරය කරන අය මැ‍‍රෙන්‍‍නෙ නෑනෙ - හංසපාණිට හිතුණා. ආදරය කරන අය කියලා හිතද්දි අමුත්තකුත් දැනුණා. නුහුරු රූපෙකුත් මැවුණා. සමවයස් හුඟක් ‍දෙනා ආදර කතාවල පැටලිලා හිටියට හංසපාණිගෙ හීනවල නව යොවුන් කාලෙ ඉඳලා හිටියෙ ඉවරයක් නැතුව කියවාපු කතන්දරවල හිටියා වගෙ තරුණයෙක්. 

එ‍හ‍ෙම උන් මේ ලෝකෙ නෑ බං. බූරු‍‍වෙක් වෙන්නැතුව අර පහන්ට කැමති වෙයං.

සාධ්‍යා හැමදාම හංසපාණිට බනින්‍‍න පටන් ගන්නෙ එහෙම කිය කිය. 

උඹට පිස්සු‍නෙ. මං ඕකනෙ රටේ තියන ඔක්කොම පොත් කියවන්නැත්‍තෙ උඹ ව‍ගෙ. පරාර්ථකාමී - පට්ට ගැඹුරු - විප්ලවවාදී - සන්සුන් - උඹ ඔය කියන ලක්සන එක කොල්‍ලෙක්ට පිහිටන්න නං එ‍හෙම එකෙක්ව මවන්න වෙනවා. අ‍නේ නිකං හිටපං.

මින්සඳීත් බැනුමට එකතු ‍‍වෙනවා. හංසපාණිට ඔය බැණුම් ගාණක් නෑ.

හරි හරි එහෙම එ‍කෙක් හම්බු‍‍ණොත් බඳිනව. නැත්තං බඳින්නෙ නෑ. 

හංසපාණි කතාව නවත්තන්නෙ ඔ‍හොමයි. දැන් යාලුවන්ටත් ඒක කටපාඩම්.! 

පුතා, එන්න තේ ‍බොන්න! - තාත්තා කතා කරන හඬිනුයි හංසපාණි පියවි සිහියට ආ‍වෙ.

තාත්තා තේ හදලා. හංසපාණි මනෝ රාජ්‍යය බිඳලා දාලා ‍‍‍ගේ ඇතුළට යන්න නැගිට්ටා. 

හෙට ඉඳලා මට වැඩිය ඔයා ගාවට එන්න වෙලා නැති ‍වෙයි - මං කැම්පස් යනව‍නෙ!

යන්න කලින් පිච්ච වැලයි - කරාබු ගහයි දිහා බලපු හංසපාණි කිව්වා.

දුක හිතුණා වගේ පිච්ච මල් ‍දෙක තුනක් බංකුවට උඩට වැටුණා..!

14 comments:

  1. හ්ම්ම්...
    හංසපාණිට සිතුමන් වල ඉන්න ජාතියෙ චේ- ප්‍රේමයක් හමුවෙයිත 😃😃

    ReplyDelete
    Replies
    1. බලමු නේත? අරෙහෙ තාත්තගෙ කතාව ඉවරත් නෑ - මං වෙන එකක් පටන්ගත්ත..))

      Delete
  2. ආච්චි ආ‍යෙ කවදාවත් එන්නෑ කියලා මතක් වෙද්දි දුක හිතිවිලි හිතට ගලා‍‍ගෙන ආවත්.....
    මේ කියමනට නම් ගොඩාක් දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔය පොතේ මාත් ආසාම - දුකම හිතෙන කියමනක් ඒ!

      Delete
  3. “පරාර්ථකාමී - පට්ට ගැඹුරු - විප්ලවවාදී - සන්සුන් “ - මේක එක්තරා වර්ගයක ගෑණු ළමයින්ගේ හීනයක්. නමුත් මේ වර්ගයේ පිරිමි ළමයි එක්ක විවාහයක් පවත්වා ගෙන යන්න අමාරු වෙන්නේ විවාහයේ රෝමාන්තික කාලය ඉවර වෙලා දරු මල්ලෝ හදාගෙන මැදිවියට එන කාලේදී. එයාලගේ පරාර්ථය නිසා තමන්ගේ කුටුම්භයට වඩා එයාල සමාජ සේවයට යොමු වෙනවා, ගැඹුරු සන්සුන් කම නිසා, කතා බහ අඩුයි, තේරුම් ගන්න බෑ, ගෑණු අයට මිඩ් ලයිෆ් එකේ එන හෝමෝන වෙනස්කම් නිසා මේ වගේ සම්බන්ධතා හසුරුවගන්න අමාරුයි. - වයසට යද්දී මේවා කියෙව්වම හිතෙන දේවල තමා. බලමු බලමු හංසමාලි නුවණක්කාර ළමයෙක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතන ගෑල්ලමයිනුත් මේ කාලෙ සෑහෙන්න අඩුයි ඉතින්..

      ඔහොම කොල්ලෙක් දැක්කාම පිස්සෙක් කියන අය තමා දැන් නම් වැඩිපුරම තරුණ ගෑල්ලමයි අතරෙ මුණගැහෙන්නෙ. ඒ ඉතින් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් ගැන අවබෝධෙකින් නම් නෙමේ. බොහෝ විට ආර්ථික කාරණා සමාජ මිනුම් දඩු ආදිය මුල් කරන් විවාහ සංස්ථාව ගැන හිතනවා මිස රෝමාන්තික කාලයක් විවාහය මුල් කාලෙදිවත් ගත කරන්න හිතන්න අවැසිතාවක් බොහෝ අය තුළ පේන්නෙ නෑ..

      තෙත අඩි තියන්නට බර ඇතී - හැම වැස්සටම බෑ හිතවතී.. කියලා ඔයා ලියපු කවියක් මතක් වුණා මට මේකෙ ඉදිරි කොටසක් ලියාගෙන යන අතරෙ..)

      හංසමාලි නෙමේ හංසපාණි.. බලමුකෝ නේද..)

      Delete
    2. ෆෝන් එකෙන් ලියන නිසා පොඩි අතපසුවීමක්. හංසපාණි කියන්නේ ලස්සන නමක්.
      "තෙත අඩි තියන්නට බර ඇතී - හැම වැස්සටම බෑ හිතවතී.." - මම ආසම කවියක්. දැන් ලියවෙන්නේ නෑ එහෙම.

      Delete
    3. ඒක අටාවුරුද්දකට කලිං 2017 ලියපු බ්ලොග් ලිපියකත් තිබිලා මුණගැහුණා..
      https://wehimandarama.blogspot.com/2017/02/romance-in-its-peak.html

      Delete
  4. කාලෙකට ඉස්සර කියවපු කෙටි කතාවක් මතක් උනා. එක පිරිමි ළමයෙක් හරි ආසයි අහසෙ තරුදිහා බලන් ඉන්න. ගෙදරින් බැනුම් අහනවා. අහම්බෙන් පූජකාරාමයකට යන ඔහුට දකින්නට ලැබෙනවා අහස දිහා බලා ඉන්න ඒතෙ පුහුණුවෙන අය. හරියන තැන කියලා හිතලා ඔහුත් ඒකට බැඳෙනවා. පස්සෙ තමයි දැනගන්නෙ එහෙම බලා ඉන්නෙ දඬුවමක් හැටියට කියලා. ඇහි පිහාටු උඩ පුංචි ගල්කැටයක් තියලා තියනවා අහක බැලුවොත් අල්ලගන්න. කතාවෙ නම මතක් නෑ. කර්තෘ මතකත් නෑ.

    ReplyDelete
    Replies
    1. ෂහ්! නියම කතාවක් - ආසා හිතුණා ඒක හොයාගන කියවන්න!

      Delete
    2. අයිරිෂ් කතාවක් වගේ මතක. හොයාගන්න සෑගෙන්න වෙහෙසුනා. බැරිඋනා.

      Delete
    3. Airship of Clonmacnoise / The Boy Who Loved the Stars” / “The Star-Gazer Boy” වගේ ඒවා තමා ළගින් යන කතන්දර විදියට මටත් අන්තර්ජංජාලෙන් මුණගැහුණෙ.. කතාව හමු වුණත් නැතත් බෝම තුති බෙදාගත්තට!

      Delete