එකල ලියැවුණු වියුණු අඩවි බොහෝමයක් එහෙමයි. බොහෝමයක් නිශ්ක්රියයි. බොහෝ වියුණුකරුවන් වෙනත් සමාජ මාධ්‍ය අවකාශ වෙත ලිවීමට විතැන්ව ගොසින්. වැහි දැරිවි සමාජ මාධ්‍යවල සැරිසැරීම නවතා බොහෝ කල් නිසා එකල ලියූ වියුණු කරුවන් සමඟ සබඳතාත් අඩුයි. ඒත් ඒ අතරේ අනවරත මිතුදම් සමඟ යාවත්කාලීන වුණ සුහද සබඳතාත් එමටයි.
එහෙම මිතුරියක් වන සිත්තමී අක්කා වැහි දැරිවිට පහුගිය සතියෙ එවා තිබූ මෙතෙක් වියුණු ලෝකයෙන් ආපු සංවේගදායකම පණිවිඩය වැහි දැරිවිව ඇහැට ඉනූ කඳුළක් සමඟ වසර දාසයක් දුර අතීතයකට අරගෙන ගියා. පණිවිඩය ලැබෙද්දි විදෙස් චාරිකාවක නියුතු නිසා එන්න නොහැකි වුණත් - අවම අන්තර්ජාල පහසුකම් යටතේ මේ ලිපියෙ කටු සටහන හද පොත උඩ වරින් වර ලියැවුණා.
මේ වියුණු අඩවියෙම මීට පෙර ලියා ඇති පරිදි වැහි දැරිවිගෙ වියුණු අතීතයෙ පළවෙනි වැහි බිංදුවෙ ඉඳලාම රවී විරසිංහ නමැති පරිණත - රසදායී වියුණුකරුවා ඉන්නවා. සටහන ඇරඹුමෙදි කිව්වා වගේ පහන් යායෙනුත් ඊ අටුවාවෙනුත් පටන් ගත්ත බ්ලොග් කියැවීම උච්චතම ස්ථානයකට ඇවිදිල්ලා වියුණු ලියන තැනට වැහි දැරිවිව ඇදලා දැම්මෙ රවී විරසිංහ නම් වියුණුකරුවාත් රන්දිල් නම් වියුණුකාරියත් සමෝසමේ ලියාපු නිදහස් සිතිවිලි නම් වියුණු අඩවියත් - ඒ ඔස්සේ මුණ ගැහුණ එවක වියුණු අවකාශයේ ජනප්‍රියම ලියන්නන් පිරිසක් විසින් කොටසින් කොටස ගෙතූ අන්දර මල්දම නම් වියුණු අඩවියත් විසිනුයි.
ඒ අඩවි දෙකේ ලියැවුණ ආදර නිල් දෑසේ, සෙනෙහසේ නවාතැන, සරණ බන්ධන ආදී කතා ඒ අඩවිවල පදිංචි වෙලා පැල් බැඳගෙන කියවාපු දවස්වල කමෙන්ටු හුවමාරු හරහා - වියුණු කියැවීම් හරහා අන්දර මල්දමේ වැඩිහිටිම වියුණු ලියන්නා වැහි දැරිවිට රවී මාමා බවට පත් වෙලා තිබුණා.
බොහොම අපූරුයි දරුවා ඔබේ පරිකල්පනය කියා පටන් ගත් වියත් කමෙන්ටුවලට කාලයක් යද්දි රවී මාමගෙ සුපුරුදු හෙහ් හෙහ් හිනාව මුසු වුණා. කමෙන්ටු ඉතා දිගු වුණා. ඊයෙ කියැවූ බ්ලොග් අඩවියක - වියුණුකරුවකු තමා එදවස නිදහස් සිතිවිලි ලියන රවීගෙන් කමෙන්ටුවක් වැටෙන තුරු අලුත් ලිපියක් ලියුවාම බලා සිටි බව ලියා තිබුණා. ඔහුගෙ කමෙන්ටු එපමණ රසවත්. ඇතැම්වා අපි ලියන පෝස්ටුවලටත් වඩා දිගයි. එසේම ඊට වඩා රහයි. මිහිරියි. ගැඹුරුයි.
හැත්තෑව අසූව දශකෙ ඉපදෙන්න හිටිය එකියක් වැරදිලා මේ කාලෙ ඉපදිලා කියලා බැන්නට - දැන්මම ඔච්චර ගැඹුරින් හිතන්න ගත්තාම උඹ අපි වගෙ නාකි වුණාම මොනවා හිතන්නද හිතාගන ඉන්නෙ බං කියා උපහාසයෙන් යමක් ලිව්වට ආයෙ ඊට යටින් ලිපිය අගය කරලා කමෙන්ටුවක් තියන පුරුද්ද හැමදාමත් රවී මාමාට තිබුණා.
ඔය කමෙන්ටු අතරෙ බොහොම මනරම් වියුණු සබඳතාත් ගොඩනැගුණා. මා කැමතිම ගී සොළොසට ඉයන් මාමා ලියාපු දැන් ළඳුන් සිංහාසනේ ගීතය වැහි දැරිවි එක් කළාම ඒකෙ එක පෙළක් වෙනස් කරලා ඒකට වියුණු ලියනා යුවතියන් - වැස්ස වැස්සන දැරිවියන් කියලා පදයක් එකතු කරන්න කියා කළ සරදම් එබඳු තැන්වල මිහිරි මතක.
පොකුරුවැහියි වැහි දැරිවියි කියලා වියුණුකාරියො දෙන්නෙක් ඉන්න එක හරි පැටලිල්ලක් නිසා එන්තරවාසි ගොනු කරන්න හිටපු රවී මාමා දවසක පොකුරු වැහි අක්කා වැහි දැරිවිට නිදි මරන්න එපාය - ස්නායු කරවේය කියලා දාපු කමෙන්ටුවක් අස්සෙ ගොහින් ආයෙ මේ යෝදිගෙ ස්නායු කරවෙන්න දෙයක් තියනවාය පොකුරු - රට බාරගන්න ඉන්න යොවුං පරපුර වුණාට සංගීත සංදර්සන බලන්න ගිහිං එළිවෙනකං නටන්න එපාය - ඒකට මේකි ලියන්නෙ ආත්තම්මෙක් ලියන එව්වා කියලා ලියා තිවුණාත් මතකයි. ඊටපස්සෙ ඕන්න වැහි දැරිවි තමනුත් යොවුං පරපුර වගෙ හිතන්න ගන්නවා කියලා විහිලුවට කිව්වාම ඉයන් මාමා කියා තිවුණ එහෙම ලියන එව්වා අපි එච්චර ගරුත්වයකින් කියවයි කියා හිතන්නට බැරි වග. ඕං එකට රවී මාමගෙ කමෙන්ටුව - ගරුත්වය කොච්චරද කියනව නම් ඉයන් මේ යෝදි ලියන එව්ව මං ලියන්නෙ පුටුවෙනුත් නැගිටලා!
වැහි දැරිවිගෙ තාත්තා වැහි වැටෙන තැන අඩවියෙ නවකතාවක් ලියන්න පටන් ගත්තාම - ඒකට කමෙන්ටුවක් දාලා වැහි දැරිවි කතාවක් ලියනවද අහපු තනි අලියාටද කොහෙදෝ නෑ යෝදයෝ මේක වැස්ස වලාහක දෙය්යන්ගෙ කතාවක් කියලා රවී මාමා කමෙන්ටුවක් දාලා තිබුණා.
ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියා සිය බිරින්දෑගෙ ගුරු ජීවිතයට ඈඳලා රවී මාමා ලියූ මතක පෙළෙහි එක කොටසකට වැහි දැරිවි නම් පාසල් දැරිවියගෙ සොඳුරු අඳුර නම් වියුණුවට ලින්කුවක් සපයලා තිබුණාට පස්සෙ වැහි වැටෙන තැනට යන පිරිසත් සෑහෙන්න වැඩි වුණා.
තාත්තා සමඟ ගමන් බිමන් කියා වැහි දැරිවි ලියාපු ලිපියක වැවදෙණියේ ඇල් ඩී මැන්දිස් නම් වෙසෙස් නවකතාකරුවා ගැන සඳහන් කළාම වැහි දැරිවිට පවුලෙ අයගෙන් පිට ඔහුගෙ පොත් ගැන කතා කරන්න සංවාදයක් හදාගත හැකි පළමු රසිකයා හමු වුණා. දකුණු පළාතෙ කතුවරයෙක් විදියට එච්චර ජනප්‍රිය නොවී වැහිලා ගිය එතුමාගෙ පොත් රවී මාමා ඔක්කොම කියවා තිබුණා. තව ජැක් ලන්ඩන්ගෙ කතා ගැන - අරඹෙගෙදර ඈන් ගැන - රුවන්වැලි සෑයෙ ගල් විහාරෙ ඉදිරිපිට හැන්දෑවරු ගැන - ආදී මෙකී නොකී දේවල් අපේ අනවරත සංවාද අතරෙ තිබුණා.
වැහි දැරිවි උසස් පෙළ සමයෙ හෝ සරසවි සමයෙ අඩවි අක්‍රීය කරලා වියුණු නොලියා ඉන්න කාලවල රවී මාමා වැහි දැරිවිගේ අධ්‍යාපන කටයුතු ගැන විමසුම් කර ඊ පණිවිඩ එව්වා. පස්සෙන් පහු කාලෙක වැහි දැරිවි තුරුණු විහඟුන්ට උගන්වන බව දැනගත්තාම බොහොම සතුටු වුණා.
ඒ වගෙම වැහි දරුව හඳුන්වන්න මානවකං අසරණං කියලා කිව්වට මොකද වැහි දැරිවිගෙ වැහි විප්‍රකාරවලට හරියන වැහි දරුවෙක් මුණ ගැහුණ එක ගැන රවී මාමා බොහෝම සන්තෝස වුණා.
රවී මාමාගෙ අන්තිම ලිපියෙ මාතෘකාවෙ ලියැවී තිබුණෙ සත්‍යා අක්කාත් කසුන් අය්යා ගැනත්. එය අද යළි කියවද්දි එහි මැද තැනක වැහි දැරිවි ගැනත් ලියැවී තිබෙනු දැක වැහි දැරිවිගෙ ඇහැට කඳුළක් ඉනුවා.
සම වයස් අයට මිසක දශක ගණනාවක වයස් පරතරයක් තියෙන හිතවතුන් මිත්‍රයන් වෙන්න බැරි යැයි කතාවක් කොතැන හරි වැහි දැරිවි අහලා තියෙනවා. ඒත් වැහි දැරිවිට සම වයසෙ බොහෝ අය වෙතින් ලද නොහැකි පිරිපුන් මිත්‍රත්වයක් අවුරුදු විසිපහක තිහක විතර පරතරයක් තිබුණ රවී මාමා වෙතින් මුණ ගැහුණා. වැහි දැරිවිත් රවී මාමාත් එකඟ වුණ තැන් බොහෝමයකුත් එකඟ නූන තැන් අතිශයාල්පයකුත් තිවුණා. ඒ වගේම කොච්චර කොහොම පිටු ගණන් කමෙන්ටු ලිව්වත් අප මුණ ගැහිලාත් නෑ. ඒත් ඒ කිසිදු හේතුවක් කවරදාවත් ඒ මනරම් මිත්‍රත්වයට බාධාවක් වුණේ නෑ.
වැහි වැටෙන තැන වියුණු අඩවියෙ පළ වුණ සටහන් එකතු කරලා ලියූ පොතක පිටපතක් රවී මාමාට දෙන්න විසල් වුවමනාවක් වැහිදැරිවිට තිවුණා. මනරම් තරු සුණු සදිසි වියුණු ලියන්නන්ට කියා ලියැවුණු ඒ පොතේ පිදුමේත් - පෙරවදන් සටහනෙත් රවී මාමා හිටියා. ඒක දෙන්නත් - වැස්ස වලාහක දෙය්යෝ සහ වැහි දරුවා ඇතුළු ඔහුව නොදැක දුටු වැහි දැරිවිගෙ පවුලේ අය සමඟ මුණ ගැහෙන්නත් සැලසුමක් තිබුණත් ඊට කලින් ඔහු ගමන ඉක්මන් කර යන්නටම ගියා.
පස්සෙන් පහු අන්දර මල්දම ලියැවෙන්නෙ නෑ කියා වැහි දැරිවි රවී මාමාට නෝක්කඩු කියන කොට ඒක තමන්ගෙ වැරැද්දක් නොවේය - වැරැද්ද ඒ වියුණු අඩවිය ලියාපු අනිත් විසුරුමාන බවලත්තු අතය කියා ලස්සනට සිත්තමී අක්කා - පොඩි කුමාරිහාමි - හංසකිකිණි ආදි වියුණුකාරියන් වෙත ඊතලය හැරෙව්වට මොකද ඉන්පස්සෙ නිදහස් සිතිවිලිවලත් ඉඳලා හිටලා ලිපි වැටෙන්න පටන් ගත්තා. එතකොට වැහි දැරිවි ඒ වෙද්දි අන්තිමටම ලියවුණු පෝස්ටුව හොයලා එතැන රවී මාමට බනින්නත් - වැහි වැටෙන තැන වැඩිය නොලියැවෙන කාලෙට රවී මාමා වැහි දැරිවිගෙ පොස්ටුවලට බනින්නත් පුරුදු වෙලා හිටියා.
ඒ බොරු බැනුම් - රස සංවාද මැද සියලු දන සිත් නිවාලන්න දිගින් දිගටම සිසිල් වැසි වස්සවන්න කියා වැහි දැරියට කළ පැතුමක් රවී මාමාගෙ ඉපැරණි කමෙන්ටු අතර තිබී අදත් වැහි දැරියට හමු වුණා.
වැහි වැටෙන තැන ලියැවෙන තාක් වැහි දැරිවි ඉඳලා හිටලා රවී මාමා එක්ක රණ්ඩුවක් අල්ලලා හෙට දවසෙත් නිදහස් සිතිවිලි අඩවියෙ කමෙන්ටුවක් ලියාවි.. ඔහුගෙන් වියුණු අවකාශෙ ගොඩක් දෙනෙක්ට පුරුදු වුණ හෙහ් හෙහ් ගාන හිනාවත් එක්කම!
හැබැයි වැහි දැරිය දන්නවා ආයෙ වැහි වැටෙන තැනට රවී මාමාගෙ කමෙන්ටු වැටෙන්නෙ නෑ..
ඒත් වැහි වැටෙන තැනිනුත් වැහි දැරිය නමැති වියුණුකාරියගේ හදවතිනුත් රවී මාමා කිසිදාක නික්ම යන්නේ නෑ!
+++++++++++++++++++++👌🙏💐
ReplyDelete🙏🙏
Deleteරවී මාමට මක් වෙලාද අක්කේ
ReplyDeleteහදිසි අසනීප තත්ත්වයකින් වුණ සමුගැනීමක්..
Deleteහරිම කණගාටුයි ... ජිවිතේ හැටි ඔහොම තමා ඉතින්
ReplyDelete😑
Deleteනංගී… 😢
ReplyDeleteමේ වියෝ වේදනාව 2010 කාලේ පටන් 2026 දක්වා බ්ලොග් ලියූ කියූ අප සැමගේ හිත් වලින් මැකි නොයාවී. බොඳවුණු ඇසින් ලියන්න අපහසුයි. පසුව හමුවෙමු
රන්දිල්
ඇත්ත අක්කා.. පිරැවිය නොහෙන හිස් තැන්!
Deleteහරිම සුන්දර පද ගෙත්තමක්! හිරිපොදකට තෙමුනා වාගේමයි.
ReplyDeleteඔයාලා නොදන්නවා උනාට අපි කිහිප දෙනෙක් මේ බ්ලොග් ලිවීම ඉදිරියට ගෙනියන්න බොහෝම මගන්සියක් ගනිමින්.
රවි අයියාත් හැකි හැම විටම ලිවීමක් කරණ්ණට උත්සාහ කලා.
මේ වටෙන් වටෙන් එන්නේ මොකටදැයි කියා ඔයාට තේරෙණවා ඇති.
කොටින්ම කියනවා නම් දිගටම ආයෙත් ලිය්ණ්න පටන් ගන්න.
පරිණත අයෙකුගේ වෙන්වීමකදී අපට කල හැකි උපරිම ගෞරවය වන්නේ එම ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම කියලයි මම හිතන්නේ!
ලියන්න!
දිගටම ලියන්න!!
නොනවත්වාම ලියන්න!!!
බොහොමත්ම ස්තූතියි. ඒ වෙහෙසට අප තුළ විසල් ගෞරවයක් තියෙනවා. ඇත්තෙන්ම මම කිසිදාක බ්ලොග් ලිවීම නැවත්වුවේ නෑ. ඒකට ප්‍රධානම හේතුවත් එකල බ්ලොග් ලෝකයේ දැකපු ලිවීම් නිසා ඇති කළ උත්තේජනයක් කියා හිතෙනවා.
Deleteඔබේ යෝජනාවට සම්පූර්ණයෙන්ම එකගයි. ඔහුට කළ හැකි මනරම්ම ගෞරවය අපේ අනවරත ලිවීමයි!
රවී ඔහුගේම ක්‍රමයකට මිනිස්සුන්ගේ හදවත් ස්පර්ශ කල කෙනෙක්. ඔහුගේ මතුපිටින් පෙනෙන, හැමදේම විහිළුවකට ගන්න, සරල සැහැල්ලු ස්වභාවය යටින් සංවේදී ගැඹුරක් ඇති මනුෂ්‍යයෙක් හිටියා. ඒක හරි අපූරු විරල සංකලනයක්. - තිසර
ReplyDeleteඒක ඇත්ත. දුලබ තරුඑළියක් වගේ මනුස්සයෙක්!
Deleteනංගී, මේ සුන්දර සටහන අපේ රවි අයියාට මල් වැහි පොදක් ම වේවි! 🙏🙏🙏🙏🙏
ReplyDelete🙏🙏
Deleteවැස්ස වියුණු අඩවිවලින් තියුණු ඇසක් ලබා ගත හැකි බවට හොඳ ම උදාහණයක්. රවී මාමා ඔබලා ඇතුළු හැමෝම අලුත් ලෝකයක් අපට ප්රදානය කරනවා
ReplyDeleteවැහි දරුවා නේද මේ - වැස්ස කියා අමතා තියෙන නිසා එහෙම හිතෙනවා..
Deleteසුන්දරයි . මෙපමණ කල් කතා කරලත් හමුවෙලා නැති එක පුදුමයි . මම මේ පාරත් ලංකාවට ගිය වෙලේ හමුවෙන්න හිටියත් නුවර එක දවසයි හිටියේ . ඒ නිසා පස්සේ යනව අකියල හිතුව . මට මතකයි ඒ දවස් වල කොමෙන්ටු රැල්ල . ජීවිතං අනියතං මරණං නියතං කියල වියමනක් කරගෙන ඉන්නයි තියෙන්නේ අපටත් .
ReplyDeleteදාසය අවුරුද්දක් තිස්සෙ මුණ ගැහෙන්න බැරි වුණ එක ගැන මටත් පුදුමයි..
Delete------------------------------
ReplyDelete-----------------------------
Deleteරවි ව ඊළඟ සැරේ ලංකාවට ගියාම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා කියලා හිතාගෙන හිටියේ.
ReplyDeleteමාත් නුදුරු දවසක මුණගැහෙන්නයි හිටියෙ..
Deleteවැඩිය මගේ ඇැස නොගැටුන වියුණුවක්. දැන් නම් ඒ ගැන කණගාටු හිතෙනවා මේ දිනවල වැටෙන පෝස්ට් දකිද්දී
ReplyDeleteකියවන්න ගනිමු. අවුරුදු ගාණක් කියවන්න දේවල් ඔහු ඒ වියුණුවේ ඉතිරි කර ගිහින් තියෙන්නෙ..
Deleteවැහි, මේ ලිපිය අප දෙදෙනාම ආදරයෙන් ඇසුරු කරපු රවීට ලියපු හොඳම උපහාරය. රවි කියන්නේ බ්ලොග් කලාවේ යුග පුරුෂයෙක්. එහෙම අය ඕනම ක්ශේත්‍රයක පහල වෙන්නේ ඉඳලා හිටලා. ඔබට හමු නොවුණත් ඔබගේ සාහිත්‍ය ජීවිතයට ලොකු බලපෑමක් රවී කරල තියෙන බව මේ ලිපියෙන් පැහැදිලියි.
ReplyDeleteමේ ලිපිය කියෙව්වම මට තව දෙයක් හිතුණා. ඔබගේ ලිපියේ කිසිම ඉංග්‍රීසි හෝ සිංග්‍රීසි වචනයක් පාවිච්ච් කරල නැහැ. රවී ගේ ලිපි වලත් මම ඒ දේ දුටුවා. හරිම සිංහල වචනය තමයි පාවිච්චි කරන්නේ. ඔබ වැනි ඉංග්‍රීසි උපාධියක් කරපු කෙනෙක්ගේ මේ සිංහල වචන භාවිතය ගැන මට නම් හරිම සතුටුයි.
රවීගෙත් ඔබගෙත් තව සමාන කමක් තියෙනවා. ඒ තමයි විශාල පොත් ප්‍රමාණයක් කියවීමෙන් ලබා ගත් දැනුම සහ ආභාශය. ඒ නිසා රවීගේ අඩුව සුළුවෙන් හෝ පිරවිය හැකි කෙනෙක් ඔබ. ඒත් රවී ගේ තිබ්බ උපහාසය, සහ මුරණ්ඩු කම ඔබට තියෙනවාදැයි සැකයි.
අවසාන වශයෙන් තව දෙයක්. රවීව කීප විටක් මුණ ගැහෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ මුන ගැහීම් වලදී අනික් බ්ලොග් ගැන කථා මතුවෙනකොට, ඔබගේ බ්ලොග් එක ගැන ඔහු කථා කලේම ලොකු ප්රසංශාවකින්. ඒක මට වැටහුණේ තමන්ගේම දරුවෙක් උසස් දෙයක් කරනකොට පියෙකුට ඇතිවන ආඩම්බර කම වගේ දෙයක්. නැත්නම් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයෙක්ගේ දක්ෂකම් ගැන උදම් අනනවා වගේ දෙයක්.
ලිපියට නැවතත් ස්තූතියි. ඉයන් මාමා
මේ කමෙන්ටුවට බොහොම ස්තූතියි ඉයන් මාමා.. එය වැහි දැරියට විසල් ගෞරවයක්!
Deleteඇත්ත! ඒ වගේ තාරකා එළි බොහෝම කලාතුරකිනුයි ඕනෑම ක්ෂේත්රයකින් හමු වන්නේ සහ පවතින්නේ. පැහැදිලිවම වැහි වැටෙන තැන ලියන්න පටන් ගන්න පවා ප්‍රධානම හේතුව රවී මාමා ඇතුළු වියුණුකරුවන් ඒ කාලෙ කළ මනරම් ලිවීම්!
මං කුඩා කාලෙ සිට යමක් එක් බසකින් ලියද්දි තවත් බසක් ඊට නොපටලන්නට උත්සාහ කරනවා. මගේ වෙසෙසිතාවකට වඩා දෙමාපියන්ගෙන් ලැබුණු හුරුව වගේම එකල කියැවූ පොත් - පරිවර්තන - නිදහස් සිතුවිලි ඇතුළු වියුණු බොහොමයක - පුවත්පත්වල මේ හැමෙකම තිබුණ නිරවද්‍ය භාෂා භාවිතය ඊට ආභාස වෙන්න ඇති.
රවී මාමාගෙ මා දැකපු සුවිශේෂම කරුණක් ඔහුගෙ සිංහල - ඉංග්‍රීසි භාෂා දෙකෙහිම එක්වන්ව තිබූ නිපුණතාව. ඔහු ලිපිවලට ඉංග්‍රීසියෙන් තැබූ අනුතේමාවන් සහ ලිපිවල අතරින් පතර තැබූ ඉංග්‍රීසි සටහන් ඊට සනිදර්ශන. මා මේ ලිපියෙහිත් එසේ අනුතේමාවක් තැබුවේ ඔහුගේ ඒ පුරුද්දට උපහාර පිණිසයි.
වචනවලින් ඔහු කළ වියුණු රසගැන්වීම වෙත මට කිසිසේත්ම ළඟා වන්නටවත් බැහැ. ඔබ කියන ඔහුගේ ඒ උපහාසයත් - වචන ගලන තානයත් ඒ මධුර ලිවීම් තව රස වන්නට හේතු වන්නට ඇති!
අන්තිම වචන ටික මට ඇසට කඳුළක් ගෙනාවා. ඔහුව මට පියකු සේ දැනෙන වග ඔහු අපෙන් සමුගන්නට පෙර මට ඔහුට කියන්නට හැකි වීම ගැන සතුටක් මේ වචන කියවද්දී මට යළිත් දැනුණා. අපි ඉංග්‍රීසි සාහිත්‍යයේ Proxy father figure කියා සංකල්පයක් ගැන කතා කරනවානෙ. ඊට හරියටම හරියන සිංහල වචනයක් මා තවම හොයනවා. ඒ නිසයි මුල් සංකල්පයම මෙතැන සටහන් කළේ. මට මගේ තාත්තා ගාවට අන්න ඒ සංකල්පයට අනුගතව දැනෙන පියවරු වගේ මිනිසුන් කීප දෙනෙක් මුණ ගැහී තියෙනවා. ඒ අතරින් රවී මාමාත් - ඔබත් මුණ නොගැසුණත් මට එහෙම දැනෙන පියවරු!
මේ කමෙන්ටුව මට අතිශය සුවිශේෂී වන්නේ ඒ නිසයි!
වැහි, මේ ලිපිය අප දෙදෙනාම ආදරයෙන් ඇසුරු කරපු රවීට ලියපු හොඳම උපහාරය. රවි කියන්නේ බ්ලොග් කලාවේ යුග පුරුෂයෙක්. එහෙම අය ඕනම ක්ශේත්‍රයක පහල වෙන්නේ ඉඳලා හිටලා. ඔබට හමු නොවුණත් ඔබගේ සාහිත්‍ය ජීවිතයට ලොකු බලපෑමක් රවී කරල තියෙන බව මේ ලිපියෙන් පැහැදිලියි.
ReplyDeleteමේ ලිපිය කියෙව්වම මට තව දෙයක් හිතුණා. ඔබගේ ලිපියේ කිසිම ඉංග්‍රීසි හෝ සිංග්‍රීසි වචනයක් පාවිච්ච් කරල නැහැ. රවී ගේ ලිපි වලත් මම ඒ දේ දුටුවා. හරිම සිංහල වචනය තමයි පාවිච්චි කරන්නේ. ඔබ වැනි ඉංග්‍රීසි උපාධියක් කරපු කෙනෙක්ගේ මේ සිංහල වචන භාවිතය ගැන මට නම් හරිම සතුටුයි.
රවීගෙත් ඔබගෙත් තව සමාන කමක් තියෙනවා. ඒ තමයි විශාල පොත් ප්‍රමාණයක් කියවීමෙන් ලබා ගත් දැනුම සහ ආභාශය. ඒ නිසා රවීගේ අඩුව සුළුවෙන් හෝ පිරවිය හැකි කෙනෙක් ඔබ. ඒත් රවී ගේ තිබ්බ උපහාසය, සහ මුරණ්ඩු කම ඔබට තියෙනවාදැයි සැකයි.
අවසාන වශයෙන් තව දෙයක්. රවීව කීප විටක් මුණ ගැහෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ මුන ගැහීම් වලදී අනික් බ්ලොග් ගැන කථා මතුවෙනකොට, ඔබගේ බ්ලොග් එක ගැන ඔහු කථා කලේම ලොකු ප්රසංශාවකින්. ඒක මට වැටහුණේ තමන්ගේම දරුවෙක් උසස් දෙයක් කරනකොට පියෙකුට ඇතිවන ආඩම්බර කම වගේ දෙයක්. නැත්නම් ගුරුවරයෙක් තමන්ගේ ගෝලයෙක්ගේ දක්ෂකම් ගැන උදම් අනනවා වගේ දෙයක්.
ලිපියට නැවතත් ස්තූතියි. ඉයන් මාමා
මේ කමෙන්ටුවට බොහොම ස්තූතියි ඉයන් මාමා.. එය වැහි දැරියට විසල් ගෞරවයක්!
Deleteඇත්ත! ඒ වගේ තාරකා එළි බොහෝම කලාතුරකිනුයි ඕනෑම ක්ෂේත්රයකින් හමු වන්නේ සහ පවතින්නේ. පැහැදිලිවම වැහි වැටෙන තැන ලියන්න පටන් ගන්න පවා ප්‍රධානම හේතුව රවී මාමා ඇතුළු වියුණුකරුවන් ඒ කාලෙ කළ මනරම් ලිවීම්!
මං කුඩා කාලෙ සිට යමක් එක් බසකින් ලියද්දි තවත් බසක් ඊට නොපටලන්නට උත්සාහ කරනවා. මගේ වෙසෙසිතාවකට වඩා දෙමාපියන්ගෙන් ලැබුණු හුරුව වගේම එකල කියැවූ පොත් - පරිවර්තන - නිදහස් සිතුවිලි ඇතුළු වියුණු බොහොමයක - පුවත්පත්වල මේ හැමෙකම තිබුණ නිරවද්‍ය භාෂා භාවිතය ඊට ආභාස වෙන්න ඇති.
රවී මාමාගෙ මා දැකපු සුවිශේෂම කරුණක් ඔහුගෙ සිංහල - ඉංග්‍රීසි භාෂා දෙකෙහිම එක්වන්ව තිබූ නිපුණතාව. ඔහු ලිපිවලට ඉංග්‍රීසියෙන් තැබූ අනුතේමාවන් සහ ලිපිවල අතරින් පතර තැබූ ඉංග්‍රීසි සටහන් ඊට සනිදර්ශන. මා මේ ලිපියෙහිත් එසේ අනුතේමාවක් තැබුවේ ඔහුගේ ඒ පුරුද්දට උපහාර පිණිසයි.
වචනවලින් ඔහු කළ වියුණු රසගැන්වීම වෙත මට කිසිසේත්ම ළඟා වන්නටවත් බැහැ. ඔබ කියන ඔහුගේ ඒ උපහාසයත් - වචන ගලන තානයත් ඒ මධුර ලිවීම් තව රස වන්නට හේතු වන්නට ඇති!
අන්තිම වචන ටික මට ඇසට කඳුළක් ගෙනාවා. ඔහුව මට පියකු සේ දැනෙන වග ඔහු අපෙන් සමුගන්නට පෙර මට ඔහුට කියන්නට හැකි වීම ගැන සතුටක් මේ වචන කියවද්දී මට යළිත් දැනුණා. අපි ඉංග්‍රීසි සාහිත්‍යයේ Proxy father figure කියා සංකල්පයක් ගැන කතා කරනවානෙ. ඊට හරියටම හරියන සිංහල වචනයක් මා තවම හොයනවා. ඒ නිසයි මුල් සංකල්පයම මෙතැන සටහන් කළේ. මට මගේ තාත්තා ගාවට අන්න ඒ සංකල්පයට අනුගතව දැනෙන පියවරු වගේ මිනිසුන් කීප දෙනෙක් මුණ ගැහී තියෙනවා. ඒ අතරින් රවී මාමාත් - ඔබත් මුණ නොගැසුණත් මට එහෙම දැනෙන පියවරු!
මේ කමෙන්ටුව මට අතිශය සුවිශේෂී වන්නේ ඒ නිසයි!
සොඳුරු සටහනක් රවි අයිය වෙනුවෙන්.
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteතිලකසිත, කොළඹ ගමයා, ඉයන්, ෂෙෆාකි, ප්‍රා ජේ, විචාරක, හැලප අයියා, තට්ටයා වගේ බ්ලොග් වලින් අඳුනගෙන ළඟින් ආශ්‍රය කරන්න ලැබුණු ජ්‍යේෂ්ඨ බ්ලොග් කරුවන් විශාල ප්‍රමාණයක් මැද රවී අයියා මට ඉතාම සුවිශේෂි කෙනෙක්.. මට මගේම කියලා අයියලා තුන් දෙනෙක් හිටියට ඒ තුන්දෙනාම මට වඩා හාත්පසින්ම වෙනස් අය.. මගේම එක්කුස උපන් සහෝදරයෙක් නොවුනට රවී අයියා මට ගොඩක් පැතිවලින් මගේම අයියා කෙනෙක් වගේ දැනුණු කෙනෙක්. කොටින්ම මගේම තව අවුරුදු දහයක දොළහක වැඩිමහලු වර්ශන් එක වගේ. අපි අන්තිමට හම්බ උනේ මීට අවුරුදු දෙකකට විතර කළින් අජිත් ධර්මකීර්ති ලංකාවට ආව වෙලාවක දෙහිවල බීච් රෙස්ටෝරන්ට් එකකදි වෙන්නෝනි. හැබැයි ඒ අවුරුදු දෙකේදිත් හැමදාම හැමතැනම මං ඉන්න අහල පහළ රවී අයියා හිටියා වගේ. රවී අයියා මළා, ආයි දකින්න හම්බවෙන්නේ නෑ කියලා හිතන්නේ නැතුව ඉන්න ඕනිවට මං ඒ ගැන කාත් එක්කවත් කොතනවත් කතා කරේ නෑ. ඒත් මේක කියෙව්වම මේ ටික නොලියා බැරි උනා..
ReplyDeleteඔය කියුවට ආයි කොළඹ ආව වෙලාවක රවියා කෝල් එකක් දෙයි.. හම්බවෙන්න අඩියක් ගහන්න ඕනිමයි ආයෙම..
ඔබට අය්යා කෙනෙක් වගෙ දැනුණා වගේ මට ඔහුව පියකු - වැඩිමහල් ගමන් තාරකාවක් වගේ දැනුණ කෙනෙක්. අප එකිනෙකාට හාත්පසින්ම වෙනස් මානවලින් ඔහුව දැනීම ඇතුළෙත් තියෙන්නෙ වෙනම කතන්දරයක්!
Deleteරවීව මුණ ගැහෙන්න හරිම ආසාවකින් සහ බලාපොරොත්තුවකින් හිටියා. අපිට පේරාදෙනියෙ යන්න වුන දවසක හමු වෙන්න කතා කරගෙන හිටියත් රවිට දිනය අමතක වීමෙන් ඒ හමුව මග ඇරුණා. ඔහු මෙතරම් ඉක්මනට යාවි කියල බලාපොරොත්තු වුණේ නැහැ. රවිට සුබ ගමන්.
ReplyDeleteමාත් පේරාදෙණිය සරසවියෙ සම්මුඛ පරීක්ෂණයකට යන දවසක මුණ ගැහෙන්න හිතා හිටියත් ඒ දවසෙ කාර්යබහුලත්වයත් එක්ක මග හැරුණා. සමහර වෙලාවට අපි හිතනවානෙ අපට මුණ ගැහෙන්න පමණටත් වඩා කාලය තියෙන බව.. බරපතළ වැරදීම් තමයි ඒ
Deleteඔහු ලැබූ වත්කම්. ස්තුතියි මේ ලියමනට
ReplyDeleteස්තූතියි කමෙන්ටුවට!
Deleteහදිසියේ මතක් වුනා මේ ලිපිය . මේ මගේ කතාව. රවී මේකේ කමෙන්ට් එකක් දාල තියනව . ඒ කතාව දැන ගන්න බැරි වුනා . - https://kolambagamaya.blogspot.com/2019/03/blog-post_28.html
ReplyDeleteඑතකොට දැනෙන්නෙ අවසානය මෙන්න මේකයි කියලා හරියට කියලා නැති කතන්දරයක් අස්සෙ හිරවෙලා වගේ නේද..
Delete