Thursday, February 10, 2022

68. සූම් සියොතුනි!

උදෑසන ඇහැරෙත්ම මතක් වේ නුඹ සැවොම
සූම් තිර ළඟට වී බලා ඉන්නා අරුම
එවන කෙටි පණිවිඩෙක තිබෙන ආදරෙ තරම
දකින විට  පිරී යයි හද බඳුන එක වරම


ඉංග්‍රීසිවලට දැන් ආදරේ බව කියන
දුකක් එන තැනකදී කතා කර දුක කියන
පාඩමත් ජීවිතෙත් කියවන්න වෙර දරන
සියොතුනේ ඔබ අසළ ජීවිතේ මට දැනෙන


නුදුරකදි සරසවියෙ දොරින් පිටතට ආව
මාත් පොඩි විහගෙක්මි තටු වැඩී නැත තාම
මුත් ඔබේ ඇස්වලින් පෙනෙද්දී මට මාව
මම මාව සොයාගමි දරුවනේ ඔබ ගාව

Tuesday, February 1, 2022

67. ගුරු දියවර නවකතාව - සත්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                සත්වන දියවර


                                        “කඳුළු අතරට සිනාරැළි වෙමි විඩාවට සෙවණක් වෙමි

                                         ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි ”

දයා ද අල්විස් ප්‍රවීණ ගේයපද රචිකාව විසින් ලියන ලදුව හෘදයහාරී ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා විසින් ගයනු ලබන සුන්දරාර්ථවාහී ගීතයට ගඟුල් සවන් දුන්නේ තමා සතු කුඩා ගුවන්විදුලි යන්ත්‍රයෙනි. මේ ගීතය අසද්දීත් ඔහුට සිහිපත් වන්නේ ආදරයේ කවියක් සේ දැනෙන අහිමි ව ගිය, ඒ ආදරණීය සහෘදයා ය. ඒ හා සමග ම සිතට නැඟෙන්නේ එක්තරා දේශනයක දී ආදරය යන වචනයේ සුගැඹුරු අරුත සරල ව කියා දුන් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා ය. 

“ආදරය කියන වචනෙ හැදෙන්නෙ 'වෙතට' කියන අර්ථෙ දෙන 'ආ' කියන අව්‍යපදය මුලින් යෙදිල තැකීම, සැලකීම, ගෞරව කිරීම කියන අර්ථවල යෙදෙන 'දෘ' ධාතුවෙන්. එහෙමනං අපට ආදරවන්තයා - ආදරවන්තිය කියල කියන්න පුළුවන්කම තියෙන්නෙ කෙනෙක් හරි, දෙයක් හරි තමන්ගෙ හදවතට ම අරන් තකන සලකන ගෞරව කරන කෙනාට යි.”

ගුරුවරයා විසින් කළ යුතු ව ඇත්තේ  ද තද් භූමිකාවේ සත්‍ය චරණය සිය ජීවිතයෙන් ම ප්‍රකාශයට පත් කිරීම මිස අන් දෙයක් නොවේ ය යන හැඟීම ගඟුල් තුළ ඇති වූයේ අද ඊයේ නොවේ. විදුහල්පතිතුමන් විසින් තෙන්නකෝන් ආචාර්යතුමන්ගේ අධීක්ෂණය යටතේ කරන්නැ යි පැවසූ, පාසල් භූමිය තුළ අර්ථකර ප්‍රකාශ ස්ථාපිත කිරීමේ කාර්යය ඉහත මෙහෙවර වෙත ගුරුවරයා කැඳවන - ගුරුවරයාට ම තම ගුරු මෙහෙවර සිහිපත් කොට දෙන සමාරම්භක පියවරක් කොට ගත නොහැකි ද?

යටකී හැඟුමින් හද පුරවා ගත් ගඟුල්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ Stray Birds කෘතිය අතට ගත්තේ සුන්දර ප්‍රකාශ කිහිපයක් තෝරාගනු පිණිස ය. සදර්ථපූරිත කාව්‍යෝක්ති 326 කින් සමන්විත තත් කෘතියෙන් තෝරා ගත්  සුන්දර උද්ධෘත ද කලින් තෝරාගත් සුන්දර ප්‍රකාශ අතරට එක්කිරීමට පෙර යළි යළිත් කියවා බැලුවේ තෙන්නකෝන් මහාත්මාට පෙන්වීමට පෙර ඒවාට තමා කළ සිංහල පරිවර්තනවල නිරවද්‍යතාව තවදුරටත් තමා විසින් ම තහවුරු කොට ගැනීම සුදුසු යැයි හැඟුණු බැවිනි. ඒ උද්ධෘත අතර පහත සඳහන් ප්‍රකාශ ද්වය ද විය.

“වරෙක අපි සිහින දුටුවෙමු, අපි ආගන්තුකයන් යැයි සිතා. එහෙත් සිහිනයෙන් අවදි වූ පසු අපට අවබෝධ වූයේ අප තුළ ම අප එකිනෙකාට ඇති ආදරය යි.”

                                                 -----------------------------------

“කවුද මේ සැරසෙන්නේ මගේ මෙහෙවර ඉටු කිරීමට. ඇසුවා හිරු, මැටි පහනින්. 

හිමියනි, මම ඉටු කරමි, මට කළ හැකි දෙය. පැවසුවා මැටි පහන.”

“මල්ලි ඉක්මණට ලෑස්ති වෙලා මුළුතැන්ගෙට වරෙන්. අපේ ත්‍රිවිධ හමුදාව එතෙන්ට කඩා වදින්න කලින්. අම්ම ආප්ප හදනවා.”

ඒ වසන්ත අය්යා ය. ඔහු ත්‍රිවිධ හමුදාව යැයි කීවේ සිය සොයුරියන් දෙදෙනාට සහ බාල සොයුරාට ය.

ගඟුල් ඉක්මණින් සූදානම් වී මුළුතැන් ගෙය දෙසට යන විට වසන්ත කී ත්‍රිවිධ හමුදාව එතැන ආක්‍රමණය කොට තිබිණි.

“අම්මෙ ඔන්න මම පොලිසියෙනුත් අරන් ආවා. ඔක්කොට ම කලින් පොලිසියට සලකන්න වෙයි.” 

එතැනට ආ වසන්ත සිනාසෙමින් කීවේ ගඟුල් දෙසට අත දිගු කරමිනි.

“පොඩි පුතා ඔයා ගිහිල්ල ගඟුල් අය්යට පුටුවක් අරන් එන්න.”

“අනේ මට පුටු ඕන්නෑ අම්මෙ, මන් මේ ත්‍රිවිධ හමුදාව ඉඳගෙන ඉන්න බංකුවෙම කොණකින් වාඩි වෙන්නංකො.”

“එහෙනං ගඟුල් අය්යෙ, ඔයා අපේ නාවුක හමුදාපතිතුම යි පාබල හමුදාපතිනිය යි මැදින් වාඩි වෙන්නකො.”

“එතකොට චූටි නංගි ඔයා ද ගුවන් හමුදාපති?”

ඒ ගඟුල් ය.

“ඔව් අය්යෙ, මේ අපේ ලොකු අය්යා දීපු පත්වීම්නෙ.”

“ගඟුල් මන් ඕවා බොහොම ගැඹුරින් කල්පනා කරල දීපු පත්වීම්. මේ අපේ ලොකු නංගි ලොකු දුරක් උනත් පයින් යන්න කැමති ඒ වගෙම නිතර ම පොළොවෙ පය ගහගෙන ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මන් එයාට පාබල හමුදාපතිකම දුන්නා.”

“ඒ කියන්නෙ ලොකු අය්යෙ අපි ඉන්නෙ පොළොවෙ පය ගහගෙන නෙමෙයි. ඔයාගෙ ලොකු නංගි විතර යි මහ පොළොවෙ ඉන්නෙ. අපි එතකොට අහසෙ ඉන්න අය ද?”

බාල දියණිය එසේ පැවසුවේ නෝක්කාඩු ස්වරයෙනි.

“වරදවා තේරුම් නොගන්න මගේ බාල සොයුරිය, ඔබතුමිය වූ කලී අමුතු අමුතු සංකල්පනා ඉදිරිපත් කරන, බොහෝ වෙලාවට අහසේ මාලිගා තැනීමට දන්නා මගේ බුද්ධිමත් සහෝදරිය යි. ගුවන් හමුදාපති තනතුරට මේ නිවසෙහි මෙතුමිය තරම් සුදුසු වෙනත් කෙනෙකු ගැන මම නම් නොදනිමි.”

“එතකොට වසන්ත අය්යේ මේ පොඩි මල්ලිට නාවුක හමුදාපතිකම දෙනකොට බලපු සුදුසුකං මොනව ද?”

එසේ විමසුවේ ගඟුල් ය.

“මේ තමයි අපේ දියකාවා. වැවෙන් පටන් ගත්ත ගමන මුහුදෙන් තමයි මෙයා නතර කළේ. ඉතින් එහෙව් මෙයාට නොදී වෙන කාට දෙන්න ද නාවුක හමුදාපතිකම?”

“ඒ උනාට ගඟුල් අය්යෙ මේ ඔක්කොම හමුදාපතිලා පාලනය කරන ලොකු ම නිල නොලත් සේනාධිනායකයා තමයි අපේ මේ ලොකු අය්යා.”

එසේ පැවසුවේ මෙතෙක් කිසි අදහසක් පළ නොකළ පවුලේ දෙවන දියණිය යි.

“මේ මන් මේ හමුදාපතිල ඔක්කොට ම කියන්නෙ ඔය කතා නවත්තල අය්යල දෙන්නට කන්න දෙන්න කියල යි. මොක ද නැත්තං මේ දෙන්නට ම දෙන්නගෙ ඉස්කෝල දෙකට යන්න වෙන්නේ ඉස්කෝල ඇරෙන වෙලාවට තමයි.”

සහෘදය සංවාචනා සහිත සංසිද්ධීන්ගෙන් සමුපේත ව ඇරඹි දවසේ ප්‍රසන්නතාව හදවතෙහි දරා ගනිමිනි, ගඟුල් පාසලට යෑම සඳහා වසන්ත සොහොයුරා සමග ගෙදරින් පිටත් වූයේ. නාගොල්ලාගම පාසල අසලින් ගඟුල් බැස්වූ වසන්ත, සිය පාසල බලා පිටත් වූයේ මෙසේ පවසමිනි.

“මල්ලි අද මං එනකොට වෙනදට වටා පැය භාගයක් විතර ප්‍රමාද වේවි. උඹ මල්ලි මන් එනකං හිටපන් හොඳ ද?”

“හොඳයි වසන්ත අය්යේ ඔයා පරිස්සමින් ගිහින් එන්නකො.”

එසේ පවසා ගඟුල් පාසලෙහි ප්‍රවේශ මාවතට පිළිපන්නේ ය.නිල් කලිසම සහ සුදු කමිසය සහිත නිල ඇඳුමින් සැරසුණු ශිෂ්‍යයෝ ද සුදෝ සුදු පාසල් ගවුමින් සැරසුණු ශිෂ්‍යාවෝ ද ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙක් ද ඒ මාවතෙහි ගමන් කරති. ඔවුන් කරන - කියන දේවල් ගඟුල්ට පෙනෙයි, ඇසෙයි. ඒවා දකිමින් ද අසමින් ද ග්‍රහණය කොට ගනිමින් ද ඔහු කාර්යාලය දෙසට ගමන් කෙළේ ය.

“අර තමයි අලුත් සර්. බැලූ බැල්මට නං අහිංසක පාට යි.” 

ඒ ලොකු පන්තියක දැරියකගේ කටහඬ යි. 

“ඒ කියන්නෙ ඒ සර් අහිංසක නොවෙන්නත් පුළුවන්.”

ඒ තවත් දැරියකි.

“ඕ ගොල්ලන්ට මතක නැද්ද ඊයේ ලොකු සර් අපේ පන්තියට ආපු වෙලාවෙ කියපු කතාවක්.”

එක් දැරියක් එසේ කියද්දී එයට මෙසේ පිළිතුරු දුන්නේ වැඩිහිටි ශිෂ්‍යයෙකි.

“ලොකු සර් කොච්චරක් නං කතා කියනව ද? උඹ ඔය කියන්නෙ එයාගෙ කොයි කතාව ද?” 

“අනේ අනේ විසල් ඔයා ඔය එයා මෙයා කියන්නෙ ලොකු සර්ට ද? අනේ මන්දා විසල් ඔයා කවදා හැදෙයි ද කියලා.”

“ආ හරි හරි ඕගොල්ලො හැදෙන්නකො. අපි ඉතින් කවදාවත් හදන්න බැරි අසමජ්ජාති අශීලාචාර හිතුවක්කාරයො කියල ගොඩක් ගුරුවරුන්ගෙනුත් ගරු සම්මාන ලබලා ඉන්න අයනෙ.”

“ඒක එහෙමනං වෙලා තියෙන්නෙ, ඒ ගුරුවරුන්ගෙ ඒ ආකල්පෙ වෙනස් වෙන විදිහට වැඩ කරන්නත් ඕන ඕගොල්ලො ම තමයි විසල්.”

“හරි හරි විදසි මැතිනිය, මං ඔබතුමිය කියපු විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නංකො. මොක ද මේකෙ ඉන්න සමහර ගුරුවරුන්ට වඩා ගෞරවයක්, ආදරයක් ඔබතුමිය ගැන අපිට තියෙන හින්දා. දැන් ඔබතුමිය කරුණාකරල අපට කියනව ද අර ලොකු සර් කියපු කතාව මොකක් ද කියලා.”

“ලොකු සර් කිව්වෙ මනුස්සයෙක් දැකපු ගමන් එයා හොඳ ද නරක ද කියල තීරණය කරන්න හදිස්සි වෙන් නැතිව කාලයට ඉඩ දෙන්න කියලා.” 

“හා එහෙම ද එහෙනං ගරු කටයුතු සම්භාවනීය මගේ මිතුරනි මිතුරියනි, ලොකු සර්ට කරන ගෞරවයක් වශයෙනුත් පිවිතුරු හදවතක් ඇති අපේ ආදරණීය විදසි සහෝදරියට කරන උපහාරයක් වශයෙනුත් ඒ අදහසට ගරු කරමු.”

“උඹ විසල්, අපේ විදසිට ගැළපෙන ම විශේෂණ පදය දැම්මා. මේ කෙල්ලට තියෙන්නෙ පිවිතුරු ම හදවතක් තමයි.”

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක් පසුපසින් ගමන් කරන ගඟුල්ට ඔවුන්ගේ මේ කතාබහ පැහැදිලි ව ම ඇසෙයි. ඔහු මෙය සැලකුවේ මේ වූකලී මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත කියවීමට තමාට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස ය. මේ සියලු ජීවිත පවතිනවාට වඩා උසස් කිරීම උදෙසා ගුරුවරයකු ලෙස කළයුතු මෙහෙවර ගැන සිතමිනි, ගඟුල් කාර්යාලයට ඇතුළු වූයේ.

“ආ මේ අපේ ගඟුල් සර්නෙ. සුබ දවසක් වේවා ගඟුල්.”

එසේ ඔහු පිළිගත්තේ ගුණවර්ධන මහතා ය.

“ගුඩ් මෝනින් ගඟුල් සර්.”

ඒ නිමිමි ය.

“සුබ උදෑසනක් ගුණවර්ධන සර්. ගුඩ් මෝනින් නිම්මි.” 

ප්‍රසන්න සිනහවකින් මුව සරසා ගනිමින් ගඟුල් දෙදෙනාට ම එක්වර ප්‍රතිචාර දැක්වීය.

“ලොකු සර් අද උදෙන් ම කලාපෙට ගියා. මට කිව්වා ගඟුල් මහත්තයා ආවහ ම තෙන්නකෝන් සර්ව හම්බ වෙන්න කියන්න කියලා. තෙන්නකෝන් මහත්තයත් කියලා ගියේ, ගඟුල් මහත්තය ආවහම කියන්න කියලා. සර්ට අද දවසෙ තුන්වෙනි පීරියඩ් එක ඕප් කියලා සර් කිව්වා.”

“හොඳයි ගුණවර්ධන සර්, මට තවම ඉස්තිර කාල සටහනක් දීල නැති නිසා පුළුවන් ඒ වෙලාවට සර් ව හම්බ වෙන්න යන්න. සර් මට කියනව ද තෙන්නකෝන් සර් දෙවෙනි කාල පරිච්ඡේදෙ වැඩ කරන්නෙ කොහෙ ද කියලා?” 

“ඔහොම ඉන්න ගඟුල් සර්. මන් මේජර් ටයිම් ටේබල් එක බලල ම කියන්නං. හරි තෙන්නකෝන් සර් දෙවෙනි පීරියඩ් එකේ දි ඉන්නෙ උසස් පෙළ කලා බී පන්තියෙ. ඒ පීරියඩ් එක ඉවර වෙන වෙලාව අල්ලල ගඟුල් සර් යන්නකො එතෙන්ට.” 

තාවකාලික කාල සටහනට අනුව ගඟුල්ට පළමු පරිච්ඡේදයේ ඉගැන්වීමට තිබුණේ සත්වන පන්තියට යි. පළමු ව ඒ දරු දැරියන්ගේ නම් දෙමාපියන්ගේ රැකියාවන් ආදි විස්තර විමසා, ඔවුනට රස වින්දනය හා බැඳුණු සරල පාඩමක් ද කෙළේ එදරු මනසට ගැළපෙන හාස්‍යෝත්පාදක කතා ද සිය පාඩමට එක්කොට ගනිමිනි. අවසන ගඟුල් පන්තියෙන් නික්ම ගියේ ඒ පන්තියට ඇතුළු වූ ආගන්තුක ගුරුවරයා ලෙස නොව ඔවුන්ගේ සමීපතම මිතුරකු ලෙස ය.

“සර් හෙටත් අපේ පන්තියට එන්න.” 

“සර් අපට හෙටත් කතාවක් කියන්න.” 

“සර් මන් හෙට සර්ට වෙරළු ගේන්නං.” 

“ආයුබෝවන් සර්”  

එක් කටහඬක් පරයා නැඟෙන ඒ සියලු කටහඬවල රැඳි ආදරය හඳුනාගත් ගඟුල්, මේ පන්තියෙන් නික්ම තෙන්නකෝන් මහතා හමුවීමට ගියේ සුන්දර උද්ධෘත අතරට එක්කළ යුතු තවත් තාගෝර් ප්‍රකාශයක් මෙසේ සිය හද සටහනෙහි ලියා ගනිමිනි. 

“ආදරණීය මිහිකත, මම ආගන්තුකයකු ලෙස ඔබේ දොරකඩට පැමිණියෙමි. අමුත්තකු ලෙස ඔබේ නිවහනෙහි රැඳී හුන්නෙමි. මිතුරකු ලෙස ඔබ අතැර යන්නෙමි.”  

තාගෝර් මෙම ප්‍රකාශය තුළ භාවිත කොට තිබූ Stranger, Guest and Friend යන වචන ත්‍රයෙන් ධ්වනිත වන අර්ථ ගැන ගඟුල් කල්පනා කෙළේ ය. Stranger යන වචනය සඳහා භාවිත කළයුතු හොඳම වචනය ලෙස ගඟුල්ට දැනෙන්නේ ආගන්තුකයා යන්න යි. ඔහුට හැම දෙයක් ම නුහුරු ය. ඔහුට තමා පය ගසා සිටින මහ පොළොව ද ආගන්තුක ය. ඒ හඳුනා ගැනීමෙහි ලා වුවමනාවක් ද නැති බැවින් එබඳු චරිතයක් උදෙසා නාඳුනන්නා යන යෙදුම ද සුදුසු ය. 

Guest යනු අමුත්තා ය. ආරාධිතයා ය. එබඳු චරිතයක් ගෙදර වේවා, ආයතනයෙහි වේවා, ජීවත් වන්නේ ද මේ මහ පොළොවෙහි ඇවිද යන්නේ ද එක්තරා ගරු ගාම්භීර භාවයකින් යුතු ව ය. එහෙත් මිතුරා එසේ නොවේ. සිත් නොරිදවෙන ලෙස කටයුතු කිරීමට දන්නා ඔහු මේ මහ පොළොව මත ඇවිද යන්නේ ද පොළොවට නොරිදවෙන ලෙස ය. හරි හෝ වැරදි වේවා මේ යටකී වචන ගැන ගඟුල් සිතන හැටි ය.

තමා මේ නාගොල්ලාගමට හෝ මේ පාසලට හෝ ආගන්තුකයකු විය යුතු නැත. එසේ ම අමුත්තකු ද විය යුතු නැත. මේ මොහොතේත් ඔහුගේ සිහියට නැඟුණේ මේ මහ පොළොවට මෙන් ම තමා ඇසුරු කළ කිසිදු චරිතයකට කිසි විටෙකත් ආගන්තුකයකු නොවූ ඒ ආදරණීය සහෘදයා ය. මේ සුපහන් සිතිවිලි හද ගැබ නිදන් කොට ගනිමින් ගඟුල්" මේ මොහොතේ තෙන්නකෝන් මහතා සිටින පන්ති කාමරය දෙසට පියමං කෙළේ ය.

තෙන්නකෝන් මහතා සිය ශිෂ්‍යයනට උගන්වන පාඩමට ගඟුල් ද සවන් දුන්නේ ය.

ඉතිහාසය කියන වචනෙ හැදෙන්නෙ මෙසේ කියන අර්ථ දෙන ඉති කියන නිපාතයයි, යමක් අවධාරණය කරන කොට යොදන නිපාතයයි වීම කියන කියන අර්ථය දෙන අස් ධාතුවයි එකතු වෙලා. ඇත්තටම ආස කියන්නෙ වූයේ ය, ඒ කියන්නෙ වෙලා ඉවරයි කියන තේරුම දෙන අවසාන ක්‍රියාවක්. මෙහෙම බැලුවහම මෙය මෙසේ මයි සිදු උනේ කියන තේරුම තමා මේකෙ තියෙන්නෙ. තවදුරටත් වෙච්ච ඇත්තම කියනව මිස අපේ රුචි අරුචිකම් අනුව සිද්ධ වෙච්ච දේවල් විකෘති කරන්න අපට අයිතියක් නැහැ.” 

ගඟුල් හොඳින් සවන් දුන්නේ ය. මේ ප්‍රකාශය සිය ජීවිතයේ අවස්ථා දෙකක දී අසා ඇති එකකි. එය පළමුවෙන් ඇසුවේ තමා කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ සිසුවකු ලෙස ඉගෙන ගනිද්දී ඔවුනට ඉතිහාසය ඉගැන්වූ එම්.කේ. දයාරත්න ඇදුරුතුමන් වෙතිනි. එවක ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් ලියන ලද සිතිවිලි පොත්  කියවීම වෙත තමා පමණක් නොව සිය පන්තියේ සිටි මිතුරු මිතුරියන් ද යොමු කෙළේ ඒ ගුරුවරයා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ ආ විට අදිකාරම් මහතා එවක ජීවත් වූ කෝට්ටේ නිවසට ගොස් එතුමා හමු වී යම් යම් දේ සාකච්ඡා කිරීම පුරුද්දක් කොට ගෙන තිබිණ.

දෙවනු ව මේ ප්‍රකාශය අසන්නට ලැබුණේ අන් කිසිවකුගෙන් නොව ආචාර්ය අදිකාරම් මහතා වෙතිනි. තමා සිය ප්‍රථම වර්ෂයේ දී ඉතිහාසය ද විෂයයක් වශයෙන් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බව කිී විට අදිකාරම් මහතා ඉහත සඳහන් ඉතිහාස නිරුක්තිය ද කියා තවදුරටත් පැවසුවේ ඉතිහාසය ශාපයක් නොව ලෝකයට ආශිර්වාදයක් වන ලෙස ඉගෙන ගන්නා ලෙස යි.

එසේ නම් තෙන්නකෝන් මහතා යනු තමා ද අයත් වන එක ම ප්‍රවාහයක කොටසක් ද? 

ගඟුල් තවදුරටත් තෙන්නකෝන් මහතාට සවන් දුන්නේ ය.

“මේ දුවල පුතාල තේරුම් ගන්න ඕනෙ ඉතිහාසය කියන්නෙ අතීතයෙ වෙච්ච සිදුවීම් මාලාවක් පමණක් නොවන බව. ඒක තේරුම් ගන්න මම ඔය දරුවන්ට එක කාරණයක් කියන්නං. මන් ඕක දැන ගත්තෙ කුලියාපිටියේ ශ්‍රී ප්‍රනන්ද මහත්තයගෙ පොතකින්. ඒ මහත්තය ලියපු කියපු හැම දෙයක් සම්බන්ධයෙන් ම මට එකග වෙන්න පුළුවන්කමක් නැහැ. ඒත් එතුමා තමන්ගෙ මැදිවියේ දි මහ වටින කියන පොත් පත් ලේඛන රාශියක් සමාජයට දායාද කළා. ඒ අතරින් කැපිල පේන පොත් අතරට හෙළ ඉතිහාසය  හා මහාවංස දෘෂ්ටිය කියන පොතත් පියදාස සිරිසේන මහත්තයගෙ පොත් හොඳට අධ්‍යයනය කරල එතුමා මැරෙන්න ඉස්සෙල්ල අපේ සමාජයට ඉතිරි කරල ගිය පොතත් එකතු කරන්න පුළුවන්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ වැඩ කරන සහන් මහත්තය අපි එක්ක කියපු වැදගත් කාරණයක් මට මතකයි. ඒ සර් නූතන මහවංසය ලියන ලේඛක මණ්ඩලයටත් සම්බන්ධ කෙනෙක්. දවසක් ප්‍රනන්ද මහත්තය සහන් සර්ට කිව්වලු සර්ල මහවංසෙ නවත්තපු තැන ඉඳල ලියන අය නේද? මේ ඓතිහාසික වටින වැඩේ දි කොයිම මොහොතකවත් මහානාම හාමුදුුරුවන්ගෙ ලේඛන දෘෂ්ටිය අමතක කරන්න එපා කියල.” 

“සර් අපේ සමහර උගත්තු කියනව නේද මහවංසෙ ලියපු මහානාම හාමුදුරුවො උග්‍ර ජාතිවාදියෙක් කියල.” 

මෙසේ ප්‍රශ්න කළේ ඒ පන්තියේ සිටි එක් ශිෂ්‍යයෙකි.

“කාලයක් පුතා මමත් හිටියෙ ඔය මෝඩ අදහසේ තමා. ඒත් මොලේ පෑදෙන කොට මෝඩ කල්පනාවලට ඉඩක් නැතුව යනවා.” 

“එතකොට සර් කියන අදහස්වලට අනුව මහවංසෙ කියල කියන්නෙ සමකාලීන දේශපාලන දර්ශන උනත් ඇතුළත් පොතක් ද?” 

ඒ තවත් ශිෂ්‍යයෙකි.

“ඔව් පුතා, ඔයා හරිම වැදගත් ප්‍රශ්නයක් ඇහැව්වෙ. ඒ ප්‍රශ්නෙ එක්කත් මට මතක් උනේ ප්‍රනන්ද මහත්තය කියපු කතාවක්. මහවංසෙ පැරණි සංස්කරණෙක තියෙන කාරණයක් මේක. අපි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ අහවල් අවුරුද්දෙ ඉඳලා අහවල් අවුරුද්ද වෙනකං හිටියෙ අහවල් රජ්ජුරුවො මේ ආදි වශයෙන් කියන එකට යි ඉතිහාසෙ කියන්නෙ කියලා. ඒත් ඒක නෙමෙයි ඉතිහාසෙ කියන්නෙ, ඊට වඩා ගැඹුරු දෙයක්. උදාහරණයක් විදිහට ප්‍රනන්ද මහත්තය මතු කරන 6 වෙනි අග්බෝ රජ්ජුරුවන්ගෙ දේශපාලන දර්ශනය ගන්න පුළුවන්. මේ රජ්ජුරුවො තමන්ගෙ රාජ්‍ය කාලය තුළ සිද්ධ නොවෙන්න ඕන කාරණා තුනක් අවධාරණය කරලා තියෙනවා. ඒ තමයි අස්ථාන ආයෝජනය, සාවද්‍ය පරිභෝජනය ඒ වගෙම අයෝග්‍ය සංග්‍රහ.”

“ඉතිහාසෙ ඉගෙන ගන්න අපි නොහිතනම පැත්තක්නෙ සර් මේ කියන්නෙ.”  

ඒ ශිෂ්‍යාවකි.

“මේ කාරණා තුන නිස යි රටක් විතරයි නෙමේ ගමක් ගෙදරක් උනත් විනාස වෙන්නෙ. කාට ද කියන්න පුළුවන් මේ කාරණා තුන දිහා බලල අපට මතු කරගන්න පුළුවන් වැදගත් කාරණා තුනක්.” 

පන්තිය පුරා පැතිර තිබුණේ පූර්ණ නිහඬතාවකි. ඒ නිහඬතාව බිඳිමින් කතා කෙළේ තවත් ශිෂ්‍යයෙකි.

“සර් මන් හිතන දේ වැරදි ද දන්නෙ නැහැ. ඒත් මට මෙහෙම හිතෙනවා.”  

“ඔව් කියන්න පුතා හරි යන්න වරදින්න හරි.”  

“සර් මෙතන අග්බෝ රජතුමා කියනවනෙ තමන්ගෙ රටේ නොකළ යුතු කාරණා තුනක්. ඒකෙන් කියවෙනවනෙ රටක කරන්න ඕන කාරණා තුනත්.”  

“ඔව් සවිරු කියන්න බලන්න ඔයා දකින ඒ කාරණා තුන.”  

“මට හිතෙනවා සර් අස්ථාන ආයෝජනය කියන්නෙ රටකට ගෙන්නන්න ඕනෙ නැති දේවල්වලට මුදල් යොදවන්න එපා කියන එක නං ඒකෙන් ම කියවෙනවා ස්ථානීය ආයෝජනය. ඒ කියන්නෙ යොදවන්න ඕන අර්ථවත් දෙයට මුදල් යෙදවිය යුතු යි කියන පණිවිඩය. ඒ වගෙම සර්, අපිට මේ දෙවෙනි කාරණේ සාවද්‍ය පරිභෝජනය එපා කියන කොට ම අඟවනවා නේද අපි කරන්න ඕන නිරවද්‍ය පරිභෝජනය - නිවැරදි දේවල් ම යි භාවිතයට ගත යුත්තේ කියන පණිවිඩය. අන්තිම කාරණෙනුත් ඒ කිව්වෙ අයෝග්‍ය සංග්‍රහ එපා කියන කොටත් කියවෙන්නෙ යෝග්‍ය සංග්‍රහ කළ යුතු යි කියන එකනෙ. අනේ සර් මට සමාවෙන්න මං මේ පණ්ඩිත කතාවක් කිව්වනං. මට සර් අර වැදගත් කාරණා තුන මතු කළා ම මට දැනිච්ච දේවලු යි මන් කිව්වෙ.”  

“මට හරි සන්තෝස යි පුතා මන් වත් නොහිතපු දුරකට  උඹ මේ කාරණේ අරගෙන ගියා. මේ අනික් දුවල පුතාලටත් සතුටු වෙන්න පුළුවන් තමන්ගෙ ම සහෝදර ශිෂ්‍යයෙක් ගුරුවරයා දුන්නු කාරණා ළඟ විතරක් නතර වෙන්නෙ නැතුව ඒවා ගැඹුරුම තැනකට අරන් ගිය එක ගැන.”

“සර් අපටත් අනාගතේ දවසකදි කියන්න පුළුවන් වේවි නේද අහවල් විශ්වවිද්‍යාලෙ ඉතිහාස මහාචාර්ය සවිරු කියන්නෙ අපේ පන්තියෙ අපිත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් කියලා.” 

මේ වදන් පැවසුවේ සවිරුගේ ළඟින් ම හිඳ සිටි චතුර ය.

“හොඳ ප්‍රාර්ථනාවක්. අපි ඔක්කොම ඒක යථාර්ථයක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගෙම සවිරු තමන්ගෙ යාළුවන්ගෙ ඉදිරි ගමනට ආශිර්වාද කරන චතුරල වගේ යාළුවන්වත් කවදාවත් අමතක කරන්න එපා. ඔයා මහාචාර්ය කෙනෙක් වෙනව වගේ ම වැදගත් දෙයක් ඒකත්. සවිරු ඇතුළු මේ ඔක්කොම තමයි මේ රටේ අනාගත පුරවැසියො පුරවැසිනියො වෙන්නෙ. මේ දුවල පුතාල මොන තනතුරක් දැරුවත් නැතත් රටට ලෝකයට පරිසරයට ජීවිතවලට ආදරේ කරන හොඳ මිනිස්සු ගැහැණු වෙන්න. එදාට අපි හිටියත් නැතත් ගුරුවරුන් හැටියට අද අපි කරන ආශිර්වාදෙ තියෙනවා.”

“අනේ සර් අපිට ඒ ආශිර්වාදෙ විතරක් මදි. සර් අපේ ආයුෂත් අරගෙන අපිටත් වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න ඕනෙ.”

හැඟීම්බර ව මේ අදහස ප්‍රකාශ කෙළේ පන්තියේ දඩබ්බර ම ශිෂ්‍යයා ලෙස ප්‍රසිද්ධ ව සිටින සුරාජ් ය.

පන්තියේ වැඩ නිමා කොට පිට ව යෑමට සැරසෙන මොහොතේ ය, තෙන්නකෝන් මහතා ගඟුල් දුටුවේ.

“ආ ගඟුල් සර්, මමත් ඔයා හම්බ වෙන්න ම කියල හිටියෙ. ලොකු සර් අපට වැඩක් බාර දීල තියෙනවනෙ කරන්න. ඔයාට විස්තර කියන්න ඇතිනෙ සර්. මන් මිහිදිනීටත් පණිවිඩයක් යැව්ව.”

“සර් මට දැන් උනත් ඉඩ තියෙනව. සර්ට කොහොම ද දන්නෙ නැහැ.”

“මෙහෙම යි ගඟුල් මේ දවස් ටිකේ ඉඩ ලැබෙන වෙලාවල් ටිකේ අතුල සර්ට පොඩ්ඩක් උදව් කරන්න තියෙනවා. ඔයාට පුළුවන් ද මේ ඉරිදා හවස අපේ ගෙදරට එන්න.”

“අපොයි පුළුවන් සර්. මන් හරි කැමැත්තෙන් ම එන්නං. ලබන සති අන්තෙ නං මන් ගෙදර යන්න යි හිතන් ඉන්නෙ. මේ ඉරිදා හවස මන් එන්නං සර්. මට පාර කියන්නකො සර්.”

“පළුගස්වැව පැත්තෙන් කඩහත වැව පැත්තට යන පොඩි පාරෙ එන්න. වැව අයිනට මායිං වෙල යි අපේ ගේ තියෙන්නෙ. වට පිටාවෙ ම ඉන්නෙ ඉස්කෝලෙ ළමයි. ඔය කාගෙන් ඇහැව්වත් ගෙදෙට්ට පාර කියාවි. අපේ මිහිදිනී ඉන්නෙත් අපේ ගෙදරට පයින් එන්න පුළුවන් දුරක. ඒ ළමයටත් මන් අදම පණිඩිඩයක් අරින්නං ඉරිදට එන්න කියල..”

“හොඳයි සර් එහෙනං මන් ඉරිදට එන්නං. ඒ වගෙම සර් මම මේ දරුවන්ට අද උගන්නපු දේවල් ඈතට වෙලා අහගෙන හිටියා. සර් අග්බෝ රජතුමාගෙ දේශපාලන දර්ශනය ගැන කියපු දේවල් ගොඩක් ම මගෙ හිතට වැදුණා. ඒක සර් අපේ පාර්ලිමේන්තුව ඉස්සරහ යි හැම අමාත්‍යංශෙකම ඉස්සරහ යි ගහන්න වටින ප්‍රකාශයක්..”

“නෑ ගඟුල් අපි ඔක්කොට ම ඉස්සෙල්ල මේ අදහස් දෙන්න ඕනෙ අපේ ඉස්කෝලවල දරුවන්ට. මොකද කවද හරි ඔය තැන්වලට යන්නෙත් කොහේ හරි ඉස්කෝලවලට ගිය ළමයිනෙ.”

“ඒකත් ඇත්ත සර්. එහෙනං අපි ඉරිදට ම හම්බ වෙලා විස්තර කතා කරමු.”

තෙන්නකෝන් මහතාගෙන් සමුගත් ගඟුල් එදින තමාට පැවරී තිබූ වැඩ අවසන් කොට වසන්ත අය්යාට දුරකතන පණිඩිඩයක් දුන්නේ ඔහුගේ වැඩ විවේකී ව සිදුකොට ගන්නා ලෙස යි. එසේ මග දෙපස බලමින් විඳිමින් අද දවසේ ගෙදරට පා ගමනින් ම යාමට ඇති කැමැත්ත ද ඔහු පවසා සිටියේ ය.

“හරි හරි මල්ලි පලයන්. සැලළිහිණි සන්දේසේ සැලළිහිණිය වගේ ගිරා සන්දේසෙ ගිරව වගේ හංස සන්දේසෙ හංසයා වගේ මග සිරි බලමින් පලයන්. හැබැයි වැවක් දැක්කහම එතන ගොඩක් වෙලා නතර වෙලා ඉන්නැතුව ගෙදර පලයන් හොඳේ. නැත්තං අපේ අම්මගෙන් කෙළින් ම දෝස්මුරේ එන්නෙ මට තමයි, ඒ දරුව ගෙදරට දාන්නෙ නැතුව එහෙ මෙහෙ ඇවිදින්න යනව කියල.”

ඒ වසන්ත ගඟුල්ගේ ඇමතුමට ලබා දුන් පිළිතුර යි.

නිවෙසට විත් දිවා ආහාරය ගත් ගඟුල් යහනෙහි මඳක් ඇලවුණේ කෙටි නින්දක් සඳහා ය. කෙටි නින්ද දිගු නින්දක් ව ඔහු අවදි වන විට සැඩ හිරු කිරණ මුදු හිරු කිරණ බවට පරිවර්තනය වී තිබිණි. ඒ වනවිට වසන්ත ද නිවහනට පැමිණ සිටියේ ය.

“වරෙන් මල්ලි යන්න වැව පැත්තට. ටිකක් වෙලා වැව ළඟ ඉඳල නාගෙන ම එමු.” 

උද්ධෘත ගැනීම සඳහා අවශ්‍ය වේ යැයි හැඟුණු ලේඛන කිහිපයක් ද සියතට ගත් ගඟුල්, වසන්ත අය්යා සමග වැව දෙසට ගමන් කෙළේ ය. ඒ යන අතරමග තමා අද දවසේ කළ කී දේ මෙන් ම පාසලින් උකහාගත් දේ පිළිබඳ වත් සිය සහෘදයා දැනුවත් කෙළේ ය. ඒ සියල්ලට ම සවන් දෙමින් නිහඬ ව ම ඉදිරියට ගමන් කළ වසන්ත, වැව් තෙර විසල් තුරක් යට නැවතුණේ ය. අනතුරුව එවිසල් තුරු සෙවණෙහි හිඳගත් වසන්ත, සිය තුරුණු ගුරු සහෘදයාට ද ඒ සෙවණෙහි ම හිඳ ගන්නා මෙන් දැන්වීය. එතැන හිඳ මඳ වේලාවක් නිහඬ ව සිටි ගඟුල්, කිසියම් සටහනක් සිය දෝතට ගත්තේ තමා සමීපයේ හිඳ සිටින, තමාට වඩා වැඩි කලක් ඒ ආදරණීය සහෘදයාගේ සදැසුර ලැබීමට භාග්‍යවන්ත වූ කලණ මිතුරාට ඇසෙන සේ එය කියවීම සඳහා ය.

“පැරකුම් සමුදුර කියන්නෙ මහා සාගරය වගේ බොහෝ දේ පුලතිසි ජනතාවට ලබාදෙන මහාර්ඝ වස්තුවක්. ජලය පමණක් නෙවෙයි හේනට, කුඹුරට අවශ්‍ය පෝෂණය, මිනිසුන්ගේ කුසගින්නට උවමනා සියලු දේ ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කරන මහා වාපියක්.

මේ සියල්ලම එකින් එක ගෙන වෙන් වෙන් වශයෙන් බෙදල වෙන් කරල බලන්නෙ අපේ පහසුවට. ඒ උනාට මේ ඔක්කොම එකතු කරල බැලුවොත් අවුරුදු ගාණක් තිස්සෙ කියවලාවත් ඉවර කරගන්න බැරි අපූරු චිත්‍රයක් ඒකෙ ගැබ්වෙලා තියෙනව රංජිත්. අන්න ඒ චිත්‍රය හරියට කියෙව්වොත් මේ විශ්වයේ රටාව තේරුම් ගන්න පුළුවන්.” 

මේ ඉර බැස යන මොහොතේ තමා සමග ම වැව් ඉවුරේ හිඳ සිටින වසන්ත අය්යාට පොළොන්නරුව පළුගස්දමන සේවාමුක්ත විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන සිය චිරකාලීන මිතුරකු වන රංජිත් කරන්නාගොඩ විසින් එවන ලද ලිපියේ අන්තර්ගත ඉහත සඳහන් ප්‍රකාශය යළිත් වරක් කියැවීය.

“වසන්ත අයියෙ, ඉස්සර රංජිත්ල ඉඩක් ලැබිච්ච ගමන් සමන් අයියලගෙ නවාතැනට යනවලු. සමහර දවසකදි සමන් අය්යා මේ ගොල්ලොත් එක්කම පරාක්‍රම සමුද්‍රෙ ගාවට එනවලු. ඒ හැම දවසකදි ම එයාගෙන් ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියල ප්‍රමාණ කරන්න බැහැ කියලයි රංජිත් කිව්වෙ. ඔය සමන් අයියගෙ මරණයෙන් පස්සෙ රංජිත් මට එවපු දිග ලියුමක තිබිච්ච කොටසක්. මන් ඒක ඒ දවස්වල ම මගෙ දිනපොතෙත් ලියල තියා ගත්ත.” 

“අපිට කවුද මල්ලි මේ නැති උනේ?”  

වසන්ත මේ වචන කිහිපය පැවසුවේ වැව දෙස බලා දිගු සුසුමක් පිට කරමිනි.

“ජීවිතයේ සමහර හිස්තැන් තියෙනව වසන්තයියේ පුරවන්න බැරි. සමන් අය්යා කියන්නෙ එහෙම හිස්තැනක්.” 

“ඒ උනාට මල්ලි අපි කරන්නම ඕන දෙයක් තියෙනව. ඒ තමයි අහිමි වෙලා ගියේ ලෝකයට ඉතාම අර්ථවත් දේවල් කළ චරිතයක් නං අපට පුළුවන් විදිහට ඒ වැඩ ඉස්සරහට කරගෙන යන එක. ඒ වෙනුවෙන් අපේ කයයි මනසයි දෙකම යොදවන එක. හැබැයි මං ඕක ඉගෙන ගත්තෙත් සමන්ගෙන් ම තමයි.”

“ඒක ඇත්ත වසන්තයියෙ. සමන් අය්ය ගුරුවරයෙක් විදිහට අපිට හිතන්න බැරි තරමේ වැඩ කොටසක් කළා. අපි දෙන්නම ගුරුවරු. ඒ තරමට ම නොවුණත් ඇයි අපට බැරි අපේ තරමට ප්‍රමාණවත් වැඩ කොටසක් කරන්න.”

“උඹ හරි මල්ලි ඒක තමයි සමන්ට කරන්න පුළුවන් හොඳම ගෞරවේ වෙන්නෙත්. එයා කවදාවත් කාගෙන්වත් ගෞරවයක් ලාභයක් බලාපොරොත්තු උන චරිතයක් නෙමෙයි. එයා හරියට සුළඟක් වගෙයි. සුළඟ සුවය ගෙනදිදී හමා යනවා. හැබැයි කිසි වෙලාවක සුවය දුන්නෙ මමයි කියල කියන්නෙ නැහැ.”

“ඔයා එහෙම කිව්වහම මට මතක් උනේ සහන් සර් ලියපු කවියක්. ඒ කවිය වගේ ම තවත් කවි ගොඩක් ලියැවුණා සර්ගෙ අතින් අනුරාධපුරේ දි. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. සර් අපිට එයා ලියපු කවි බලන්න දෙනවා. සාමාන්‍යයෙන් හිතට වදින කවියක් සැරයක් දෙකක් කියවද්දි මට මතක හිටිනව. ඒ කවියත් එහෙමයි.”

“ඉතිං මල්ලි උඹ සාහිත්‍යකාරයනෙ. හොඳ කවියක, ගීතයක, පොතක දැනෙන තැන් මතක හිටින්නැති මිනිහෙකුට කවදාවත් හොඳ සාහිත්‍යකාරයෙක් වෙන්න බෑ මල්ලි. උඹට මතක ද මල්ලි ඒ සුළඟේ කවිය.”

“මතක යි වසන්තයියෙ මතක යි. ඒක මෙහෙම යි තියෙන්නෙ.”

                            සුවය ගෙනදිදී මුදු සුළග නොරැඳී                හමයි

                            නොරැඳ හමනා සුළඟ ලොවට සිසිලස         සදයි

                            ඔබ ද සුළඟකි සොයුර නිබඳ නොරැඳී         හමයි

                            ඒ සුළග විඳි හදක් හදින් ගණදුර                  මුදයි

“ඒ කවියෙ සමන් ඉන්නව මල්ලි. 

“ඒ වගෙම වසන්තය්යෙ ඒකෙ අපේ ජීවිත කාලෙ අපි කරන්න ඕන මොකක් ද කියන පණිවිඩයත් තියෙනව.”

ඔවුහු සැලකිය යුතු වේලාවක් වැව් ඉවුරේ රැඳී සිටියහ. ගහට-කොළට ඇළට-දොළට වැවට-කෙතට සවන් දීමේ කලාව ඉගැන්වූ ඒ ආදරණීය ගුරුසහෘදයා හදවතේ ගැඹුරු ම තැනින් සිහිපත් වූ මේ පවිත්‍ර නිමේශය මේ ගුරු සහෘදයන් දෙදෙනාට ම සැබැවින් ම පූජනීය ජීවන අද්දැකීමක් විය.

දෙදෙනා ම එකට කතා කොට ගත්තාක් මෙන් කිසිදු වචනයක් නොදොඩා එතැනින් නිවස දෙසට පියමං කෙළේ වචන භාවිතයෙන් මේ ඉසොඳුරු නිහඬතාව බිඳී යනු ඇතැයි යන හැඟීමෙන් මෙනි.

Saturday, January 15, 2022

66. හද බස් දොරටු!

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන ආතතිමය කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක වන සුවිනි අක්කා මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම හෝ භාෂා කීපයක් එක් වර ඉගැන්වීම නිසා හෝ කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෲ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය.

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන සම්මුඛ සාකච්ඡාවක් මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


65. ගුරු දියවර නවකතාව - සයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                                   සයවන දියවර



ගඟුල් කාර්යාලයට යන විට විදුහල්පතිතුමා සිටියේ ශිෂ්‍යයකුගේ කිසියම් ලිපි ගොනුවක් පරීක්ෂා කරමිනි. සිය නවක ගුරුවරයා කාර්යාලයට පැමිණි බව දුටු විදුහල්පතිවරයා ඔහුට හිඳ ගන්නා මෙන් දැන්වීය.

"කොහොම ගඟුල් වැඩ?" 

"වරදක් නෑ සර් මම අද කළේ ඒ ළමයි එක්ක කතා කරල අඳුනගන්න එක. මට පුළුවන් වෙයි සර් ඒ ළමයින් එක්ක වැඩ කරන්න."

"මට හරි සන්තෝසයි ගඟුල් ඔයා පළවෙනි අභියෝගෙ ජය අරන් තියෙනව. මීට කලින් අවස්ථා දෙකකදි ඔය පන්තියෙ සිංහල උගන්නන්න බාර දුන්න ගූරුවරු දෙන්නම පළවෙනි දවසෙම ආයිත් නම් ඒ පන්තියට යන්න බෑ කිව්ව. එක ගුරුවරයෙක් කතා කළේ හරිම කේන්තියකින්. එයා මට කියනව සර් මට අපායෙ යමපල්ලන්ට උගන්නන්න කියන්න. මුන්ට නං බෑ කියල. 

ඊට පස්සෙ කාලෙක ඔය පන්තියම බාර දුන්න අනික් ගුරුවරය මගෙ ළඟට ආවෙ බයවෙලා වගෙ. එයා කිව්වෙ අනේ සර් මේ වගෙ ලොකු පන්ති ඕනෙ නැහැ. ඔය මොනව හරි පොඩි පන්තියක දෙකක වැඩ දෙන්න මට කියල. ගඟුල් මේ දෙන්න ම සිංහල ගෞරව උපාධිය කරපු අය. එහෙම නං මේක විෂය දැනුම ගැන ප්‍රශ්නයක් වෙන්න බැහැනෙ.මට හිතෙන්නෙ ඒ දෙන්නට ම බැරි උනේ ඒ ළමයින්ව අඳුනගන්න. අපි ළමයින්ට උගන්නන්න කලින් වෑයම් කරන්න ඕන ගඟුල් ළමයින්ව තේරුං ගන්න."

"බොහොම ස්තුතියි ලොකු සර්. සර් එක්ක කතා කරන හැම වෙලාවකදි ම අලුතින් මොකක් හරි දෙයක් මන් ඉගෙන ගන්නව. ඉස්සරහට මොනව වෙයි ද කියල මට දැන්ම කියන්න බැහැ. ඒත් මං වෑයම් කරන්නං සර් මට පුළුවන් දේ කරන්න."

දෙදෙනාට සිය කතාව නතර කිරීමට සිදු වූයේ හයවන පන්තිය තරමේ යැයි සිතිය හැකි තරබාරු ශිෂ්‍යයකු හඬමින් විදුහල්පතිවරයා වෙතට දිව ආ නිසා ය. ඔහු කතා කෙළේ හති දමමිනි.

"මොකද චමත් මේ කඩාගෙන බිඳගෙන. ලොකු ප්‍රශ්නයක් වගෙයි."

"ලොකු සර් ලොකු සර් මන් .. මට.." 

ඔහු කතා කරන්නට වූයේ ගොත ගසමිනි.

"ඔව් මන් ලොකු සර් තමයි. බොහොම ලොකු ප්‍රශ්නයක් වගෙයි මුන්නැහැට."

"ලොකු සර් අදත් මට නුවන් ඉස්කෝලෙ එනකොට අනික් ළමයි ඉස්සරහ මහ හයියෙන් බතලයෝ කියල කිව්ව. අනික් අයත් මට හිනා උනා සර්. මන් මක් කරන්න ද සර් මම මහත උනාට."

"හරි පුතා මන් නුවන්ව ගෙන්නල අහන්නංකො මොකක්ද මේකෙ තේරුම කියල.හැබැයි මම ඔයාටත් එකක් කියන්න ඕන. ඔයාට ඔය නම කියන ළමයින්ට බැනල හරි ගහල හරි යැව්ව කියල ඔයාගෙ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. හැබැයි ඒක නිසා ඇත්තටම වෙන්න ඉඩකඩ තියෙන්නෙ ඔයාට ඔය නම රෙජිස්ටර් වෙන එක. එතකොට අපි කවුරුත් නැති තැන ඒ ළමයි වැඩි වැඩියෙන් ඔය නම කියන්න පටන් ගනීවි. මට තේරෙන විදිහට ඔයා කරන්න ඕන දේ තමයි ඔය නම ඕන කෙනෙකුට ඕන තරං සැරයක් කියාගන්න ඇරල ගණන් ගන්නැතිව සද්ද නැතුව ඉන්න එක. එහෙම නැත්තං ඒ නමට ඔයා පුදුම තරං ආසයි කියල බොරුවට පෙන්නන එක. එතකොට ඒගොල්ලන්ටම එපා වෙලා ඒක නතර කරාවි. තව පැත්තකින් ගත්තත් බතල කියන්නෙ කොච්චර හොඳ කොච්චර රස කෑමක් ද? ඒවයේ රස ගුණ දන්නෙ නැති මෝඩයො කියන කතා ගණන් ගන්න එපා පුතා. මම නුවන්ව ගෙන්නල තදින් ම අවවාද කරන්නං. දැන් ඔයා යන්න පන්තියට."

අනතුරුව විදුහල්පතිතුමා හැරුණේ පියසේන දෙසට ය.

"පියසේන ඔයා ගිහිල්ල 6 සී පන්තියෙ නුවන්ට එන්න කියන්න. නිලූ මිස්ටයි මේ පීරියඩ් එක අයිති. අද මිස්ට එන්න වෙන් නැහැ කියල දන්වපු නිසා මං සඳමාලි මිස්ට කිව්ව මේ වෙලාවෙ ඒ පන්තිය බලා ගන්න කියල. ඒ මිස්ට කියන්න නුවන්ව පොඩ්ඩකට ඔපිස්සෙකට එවන්න කියල."

පියසේන නික්ම ගිය පසු විදුහල්පතිවරයා තමා කලින් බලමින් සිටි ලිපිගොනුවට යළිත් සිය අවධානය යොමු කෙළේ ගඟුල්ට ද තව ටික වෙලාවක් කාර්යාලයේ රැඳී සිටින මෙන් දන්වමිනි. 

මඳ වෙලාවක් ගත විය. සිහින් සිරුරක් ඇති කුඩා ශිෂ්‍යයෙක් විදුහල්පති කාමරයට ඇතුළු වූයේ තැතිගත් ස්වභාවයකිනි.

විදුහල්පතිතුමා සිය උපැස් යුවළ යටින් එම ශිෂ්‍යයා වෙත හෙළුවේ බැරෑරුම් බැල්මකි.

"ආ ලොකු මහත්තය එමු එමු මෙහෙට. මොකද අද මේ පැත්තෙ."

"ලො..ලො.....  ලොකු සර් එන්ඩ කිව්ව කියල සඳමාලි මිස් කිව්ව සර්. ඒකයි මේ මන්...මන්..."

"මොකද මේ ඒකයි මන් මන් ගාන්නේ. තමුන්ට අද මෙහෙම මෙතෙන්ඩ එන්න උනේ ඇයි කියල තමුන් දන්නව ද?"

"නෑ ලොකු සර්." 

අනතුරුව සිය බැරෑරුම් ස්වරූපය වෙනස් කළ විදුහල්පතිතුමා එම ශිෂ්‍යයා දෙසට මඳක් නැඹුරු ව කරුණාවෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය.

"නුවන් ඔයා කැමති ද පුතා මේ මන් හරි සඳමාලි මිස් හරි වෙන සර් කෙනෙක් මිස් කෙනෙක් හරි මේ පියසේන මාමා හරි ඔයාගෙ පන්තියෙ චමත්ල හරි ඔයාට මහ සෙනඟක් මැද්දෙ ඒයි පතෝලයා, ඒයි වැටකොළුව හරි ඒයි මුරුංගයා කියල හරි කියනවට."

ශිෂ්‍යයාට කාරණය වැටහුණේ දැන් ය.

"අනේ නෑ ලොකු සර්." 

එහෙමනං ඔයා ආස කොහොම කතා කරනවට ද?

"ලොකු සර් මන් ආසයි නුවන් - එහෙම නැත්තං පුතා කියල කියනවට. අපේ පන්ති බාර සඳමාලි මිස් සංගීත මිස් මිහිදිනී මිස් එහෙමත් අපට කතා කරන්නෙ එහෙමයි."

"ආ එහෙම ද? ඒ උනාට මට නං ආරංචි ඔයා ගොඩක් කැමති ඔය එක එක එළවළු අල බතල වගේ නම්වලින් කතා කරනවට කියල."

"අනේ නෑ ලොකු සර්. එහෙම නංවලට මං නං චුට්ටක්වත් කැමති නෑ."

"ආ එහෙම එමුකො. එහෙනං ඔයා චුට්ටක්වත් ආස නැති නමකින් වෙන කෙනෙකුට කතා කරන එක හරි ද? ඒ වගෙම පුතා මෙහෙමත් හිතන්න. මේ ඉස්කෝලෙ ඉන්නව උස ළමයි, මිටි ළමයි, මහත ළමයි, කෙට්ටු ළමයි, සුදු ළමයි, ඒ වගෙම කළු ළමයි. මේ එකක් වත් ඒ අයගෙ වැරැද්දක් නෙමේනෙ පුතා. මොකද ඔයා කියන්නෙ." 

"අනේ ඔව් ලොකු සර් අපි උස හරි මිටි හරි මහත හරි කෙට්ටු හරි වෙලා තියෙන්නෙ අපිට ඕනවට නෙමෙයිනෙ."

"අන්න හරි ඔයාටම ඒක තේරුණා. බොහොම හොඳයි බොහොම හොඳයි. එහෙනං දැන් ඔයාම දන්නව ඔයාට පතෝලයා වැටකොළුව මුරුංගයා කියල කියන කොට රිදෙනව වගේම මහත ළමයෙකුට බතලය කිව්වමත් රිදෙනව කියලා."

"මට සමාවෙන්න ලොකු සර්. එහෙම වැරැද්දක් මගෙනුත් උනා අපේ පන්තියෙ චමත්ට. ඒක කොච්චර හොඳ නැති වැඩක් ද කියල තේරෙන්නෙ මට දැනුයි ලොකු සර්. මම ඒ වැරැද්ද කළා. මට සමාවෙන්න සර්. මන් චමත්ට බතලය කියල කිව්වෙ බස් එකේදි. එයා බස් එකෙන් බැහැල ඉස්කෝලෙ ගාවට එනකම්ම ආවෙ අඬ අඬා. අනේ මට සමාවෙන්න සර්."

"නෑ නෑ ඔයා මගෙන් සමාව ගන්න ඕනෙ නෑ. මොකද ඔයා බතලය කිව්වෙ මට නෙමෙයිනෙ. ඔයා මගෙන් නෙවෙයි සමාව ගන්න ඕනෙ පුතා, චමත්ගෙන්. මොකද තමන් දැන දැනම කෙනෙකුට වැරැද්දක් කෙරුවනං පස්සෙ තමන්ටම ඒකෙ වැරැද්දත් තේරුණානං ඒ වැරැද්දට ලක් වෙච්ච කෙනාගෙන්ම තමයි සමාව ගන්න ඕනෙ."

"අනේ ලොකු සර් දැන් මං මොකක්ද කරන්න ඕනෙ. චමත් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. බලන්නෙවත් නෑ. දවසක් මට පැන්සලක් නැතිව ඉන්න කොට එයාගෙ පැන්සලේ දෙකට කඩල කොටට කැඩිච්ච කෑල්ල එයා තියාගෙන දිගට කැඩිච්ච කෑල්ල මට දුන්න. තව දවසක් පොත් සාප්පුවට ගියාම එයාගෙ තාත්තට කියල මටත් අලුත්ම අලුත් බෑග් එකක් අරන් දුන්න සර්. චී මං හරිම නරක වැඩක්නෙ කරල තියෙන්නෙ. අනේ ලොකු සර් දැන් මං මොකද කරන්නෙ."

"දැන් ඔයාට තේරෙනව නේද පුතා, චමත් කියන්නෙ කොච්චර හොඳ යාළුවෙක් ද කියන එක. ඔයා එහෙම යාළුවෙක්ට යි බස් එකේ සෙනඟ ඉස්සරහ බතලය කිව්වෙ. ඒත් ඔයාම දැන් ඒක ගැන කණගාටු වෙනවනෙ. ඒක හොඳ ගුණයක්. යන්න ගිහිල්ල ඔයාම චමත්ව යාළු කරගන්න. ඒක කොහොම හරි කරන්න ඕනෙ ඔයාම තමයි. මං හිතනව ඔයාට ඒක කරන්න පුළුවන් කියල." 

යන්නට සැරසුණු ශිෂ්‍යයාට විදුහල්පතිවරයා යළිත් කතා කෙළේ ය.

"හොඳයි දැන් ඔයා යන්න. හැබැයි චමත් එක්කම ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ල මං ගාවට එන්න  ඕනෙ. හැබැයි පුතෝ මට නං බෑ චමත්ට එන්න කියල පණිවිඩ යවන්න. ඔයාම තමයි ඒක කරන්න ඕනෙ. මේ අලුත් සරුත් ඔක්කොම අහගෙනයි හිටියෙ. දැන් ඔයා මේ වැරැද්ද හදා ගත්තෙ නැත්තං සරුත් හිතාවි අපොයි මමත් ඇවිල්ල තියෙන්නෙ වෙච්ච වැරැද්දක් වත් හදාගන්න දන්නෙ නැති ඉස්කෝලෙකට කියල. එතකොට ඕගොල්ලන්ටත් පල්ලෙක. ගුරු මණ්ඩලේටත් පල්ලෙක. මටත් පල්ලෙක." 

"ලොකු සර් ලොකු සර් මන් කතා කළාම චමත් ඒවි ද?"

ශිෂ්‍යයා විදුහල්පතිවරයාට මඳක් සමීප වෙමින් ඇසුවේ සෙමිනි.

"ඒක මන් දන්නෑ පුතා. ඒක තියෙන්නෙ ඔයාගෙ අතේ. හා හොඳයි ඔයා දැන් යන්න."

කුඩා සිසුවා විදුහල්පතිතුමාට වැඳ කාර්යාලයෙන් නික්ම ගියේ ය.

සමස්ත සිදුවීම දුටු ගඟුල් මහත් ගෞරවයෙන් බලා සිටියේ සරල ඇඳුමක් හැඳි මනා පෞරුෂයක් ඇති මේ ප්‍රසන්න මිනිසා දෙස ය.

විදුහල්පතිවරයා මේ ශිෂ්‍යයාට සැර වැර කෙළේ නැත. එහෙත් මුලදී එම ශිෂ්‍යයා තුළ කිසියම් බියමුසු ගතියක් ඇති වන සේ ඔහු හැසුරුණේ ය. ඒ ඔහු ම දෙවනු ව සිය චර්යාවෙන් කාරුණිකභාවය ද පළ කෙළේ ය. එසේ ම ශිෂ්‍යයාගේ හදවතෙහි ද විදුහල්පතිවරයා කෙරෙහි ඇති ආදර ගෞරවය හඳුනා ගන්නට ගඟුල් සමත් විය. අනතුරුව ඔහු විදුහල්පතිවරයාගෙන් මෙසේ ඇසී ය.

"සර්, සර්ගෙ ප්‍රධාන විෂය මොකක් ද? අධ්‍යාපන මනෝවිද්‍යාව එහෙමත් සර් කළා ද?"

"මම උපාධියට කළේ නං ආර්ථිකවිද්‍යාව. අර ඔයා අහපු අධ්‍යාපන මනෝවිද්‍යාව නං ඉගෙන ගෙන නෑ."

"ඒ උනාට සර් දැන් වැඩ කළේ ළමයින්ගෙ මනස වැඩ කරන හැටි ගැන හොඳ අවබෝධයකින්නෙ."

"ගඟුල් අපේ අම්මල තාත්තල කවුරුවත් ඔය කියන මනෝවිද්‍යාව ඉගෙන ගෙන නැහැනෙ. ඒත් ඒ ගොල්ලන්ට ජීවිතය ගැන තියෙන අවබෝධයත් එක්ක සංසන්දනය කළාම අපි කොච්චර පුංචි ද කියල හිතෙනව."

"ඒක නං ඇත්ත සර්. අපි වෙන කොහේවත් යන්න ඕනෙ නෑ අපේ ම ජීවිතවල අතීතයට එබිල බලන කොට සර් කියපු කාරණේ කොච්චර ඇත්තක් ද කියල හිතෙනව."

මේ මොහොතේ ගඟුල්ට සිහිපත් වූයේ සිය ආදරණිය අම්මා ය. හයේ පන්තියට පමණක් ඉගෙන ගෙන ඇති අම්මා ඇතැම් විට දක්වන අදහසක් අය්යාගේත් තමාගේත් ජීවිත ආලෝකවත් කළ මාර්ගදර්ශක බවට පත්වූවා නොවේ ද? මේ මොහොතේත් ගඟුල්ගේ සිහියට නැඟුණේ එවන් ආලෝක ප්‍රකාශයකි.

"නොඑතිය යුතු ගසක වැලක් එතෙනවානං ඒක එතනින් මුදවල සුදුසු ගහකට යවන්න."

"අපේ අම්මගෙ මේ කතාව ම අපේ ශිෂ්‍ය දරුවන්ගෙ ජීවිත එක්කත් සම්බන්ධ කරන්න පුළුවන්නෙ. ඒ ගොල්ලො දැන් කරන්නෙ නොකෙරෙන්න ඕන වැඩ නං ගුරුවරු හැටියට අපි කරන්න ඕන ඒවට කේන්ති ගන්න එක නෙමෙයි අම්ම කිව්ව වගේ නොඑතෙන්න ඕන ගහෙන් මුදවල එතෙන්න ඕනෙ ගහට වැල යවනව වගේ මේ දරුවන්වත් නොකෙරෙන්න ඕන වැඩෙන් මුදවල කෙරෙන්න ඕන වැඩේට යොදවන එක." 

"ඔයා ලොකු කල්පනාවක වගේ ගඟුල්. ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැනත් ඔයත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ."

ගඟුල් කල්පනා ලොවින් මෑත් වූයේ විදුහල්පතිවරයාගේ ඒ වචන ඇසීමත් සමග ය.

"සමහර මිනිස්සු ඉන්නව අවුරුදු ගාණක් ඇසුරු කළත් දුරස්ත ගතියක් දැනෙන. තව සමහර කෙනෙක් ව දැකල දවසයි දෙකයි හරි සමීප ගතියක් දැනෙනව. මට මේකට හේතු මොනවද කියල විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒක දැනෙන හැඟෙන දෙයක්. මං මේ ගඟුල්ව දකින දෙවෙනි දවස. ඒ උනාට ඔයාගෙ මොකක්දෝ මහ පුරුදු ගතියක් දැනෙනව. මේ නං ගුරු ජීවිතයට සුදුසු මනුස්සයෙක් කියන හැඟීම ඇති උනෙත් ගඟුල්ව දැකපු පළවෙනි මොහොතෙමයි."

"බොහොමත්ම පින් සර් ඔය විදිහට මං ගැන හිතන එකට. මන් ගුරු ජීවිතේට අලුත්. ඒත් මන් උපරිමෙන් ම වෑයං කරන්නං සර් මේ දරුවො වෙනුවෙන් මට පුළුවන් දේ කරන්න. මන් දන්නව මට තේරෙනව සර්ගෙ හිතේ මේ ඉස්කෝලෙ භෞතිකව දියුණු කරනවටත් වඩා වැඩි ඕනකමක් මේ දරුවන්ගෙ ජීවිත උසස් කිරීම සම්බන්ධයෙන් තියෙන බව. සර් මගෙ කොටස කියන්න. මන් ඒ කොටස කරන ගමන් අනික් අයගෙ කොටස් ඉටු කරන්න මට පුළුවන් සහයෝගෙ දෙන්නං."

"මට හරි සන්තෝසයි ගඟුල් ඔයාගෙ ඒ වචනෙට. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ ගුරුවරයා කියල කියන්නෙ කාට ද කියල කියවෙන ලස්සන ප්‍රකාශයක්. ඉන්දියාවෙදි ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ දේශනයක් අහගෙන හිටපු ස්වාමි වෙන්කටේශානන්ද  කියන පඬිවරයට දැනෙනව මේ ක්‍රිෂ්ණමූර්ති කියල කියන්නෙ වෘත්තීය වශයෙන් ගුරුවරයකු නොවී මහ පෘථුල අර්ථයකින් ලෝකයටම ගුරුවරයෙක් වන උත්තමයෙක්ට නේද කියල. වෙන්කටේශානන්ද විශිෂ්ට සංස්කෘත පඬිවරයෙක්, මහා භාෂාඥයෙක්. එතුමා කියන විදිහට නොදැනීම කියන අඳුර යි ගු යන්නෙන් අර්ථවත් වෙන්නෙ. රු යන්නේ දුරු කරන්නා යන අර්ථෙ තියෙනව.එහෙම නං ගුරුවරයා කියල කියන්නෙ නොදැනීම කියන අන්ධකාරය නැති කරන කෙනාට. එයාට අයිතියක් නෑ අන්ධකාරෙ පතුරවන්න." 

"අපිට අපිව දකින්න සලස්සන කතාවක්නෙ සර් මේ. සර්ට පුළුවන් ද ඕකෙ මුල් ප්‍රකාශෙ හොයල දෙන්න." 

"හොඳ මිනිස්සු, හොඳ දේවල්, හොඳ ගීත, හොඳ කවි මතක හිටිනව වගේ හොඳ ප්‍රකාශත් මතක හිටිනව. මේකෙ හොඳම තැන ක්‍රිෂ්ණමූර්තිතුමා දේශනේ ඉවර කළාට පස්සෙදි අර පඬිවරය අර සභාවෙදි ම මේ ප්‍රකාශෙ කිරීම යි. එයාගෙ වචනවලින් ම කිව්වොත් ඒක මෙහෙමයි ගඟුල්."

Etymologically the word guru means the remover of ignorance. 'Gu' stands for the darkness of ignorance and 'Ru' for its remover. So anyone who removes ignorance is a guru.

"මේක සර් සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම ගහල ඉස්කෝලවලයි විශ්වවිද්‍යාලවලයි කාටත් පේන තැනක එල්ලල තියන්න ඕන ප්‍රකාශයක්නෙ." 

"අන්න බලන්න මං කිව්ව එක හරිනෙ. ඔයා නං ගුරු ජීවිතේට සුදුසු මනුස්සයෙක් කියල. ඔයා දැන් මේ කියපු කතාවත් එක්ක තවත් අපි කරන්න ඕන වැඩක් ගැන මට අදහසක් ආවා."

"ඒ මොකක් ද සර්." ඒ ගඟුල් ය.

"ඇයි දැන් ඔයා කිව්වෙ ක්‍රිෂ්ණමූර්තිතුමාගෙ අර ප්‍රකාශෙ ගහල කාටත් පේන තැනක එල්ලමු කියල. ඒක මට කලින් හිතිල තිබුණෙ නෑ. ඒත් දැන් ඒක විතරක් නෙමෙයි ඒ වගෙ ලස්සන අර්ථවත් ප්‍රකාශ අපිට පුළුවන්නෙ මේ ඉස්කෝලෙ ඒවට ගැළපෙන තැන්වල ගහන්න. එතකොට ඒව ගුරුවරුත් දකිනව, ශිෂ්‍යයොත් දකිනව, අපිත් දකිනව. විශේෂයෙන් අපිට අපිවම දැක ගන්න, අපේ මෙහෙවර ගැන ගැඹුරින් හිතන්න ඒ ප්‍රකාශ උදව් වේවි." 

"කොච්චර වටින අදහසක් ද සර් ඒ."

"ඔව් වටින අදහසක් නම් තමයි. හැබැයි ඒකෙ ගෞරවය නං හිමි වෙන්න ඕනෙ ඔයාටයි ගඟුල්."

"ඉතිං සර් සර්මනෙ ඒ අදහස කිව්වෙ."

"අදහස් කියන ඒව අපිට අයිති නෑ ගඟුල්. හැමදාම ලෝකෙ සුන්දර අදහස් තිබුණා. අදත් තියෙනව. මම හිතන්නෙ අපේ කාර්යය ඒ කියන්නෙ ගුරු කාර්යය තමයි ඒ අදහස් අපේ ශිෂ්‍ය ප්‍රජාවට දෙන එක. ඒ විතරක් නෙමෙයි අපට ඉඩ ලැබෙන හැම වෙලාවකදිම ඒව සමාජගත කරන එක. මේ ඉස්කෝලෙට ගුරුවරුයි ළමයිනුයි විතරක් නෙමේනෙ ගඟුල් එන්නෙ. නොයෙක් වෙලාවට දෙමව්පියොත් එනව. හිටපු ගමන් අධ්‍යාපන නිලධාරිනුත් එනව. උත්සව දවස්වලට දේශපාලනඥයොත් එනව. අඩු ගානෙ ඒ අයත් මේ ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙ ප්‍රකාශ දැකල මොනව හරි ඉගෙන ගනීවිනෙ. මේක අපි අද හෙට ම පටන් ගන්න ඕන වැඩක් ගඟුල්."

"ලොකු සර් මේ ඉස්කෝලෙ කාගෙත් ආදරයට ගෞරවයට ලක්වෙච්ච වැඩිහිටි සර් කෙනෙකුට හරි මැඩම් කෙනෙකුට හරි වැඩේ බාර දෙන්න. මන් සර් පැත්තකින් ඉඳන් කරන්න ඕන වැඩ ටික කරන්නං."

"ඔයා ඔහොම කතා කරන එක ගැන මට හරි සතුටුයි ගඟුල්. මොකද ඔයා මේ කතා කරන්නෙ වැඩක් කරන්න උදව් වෙන්න මිසක් ඒ වැඩේ කළේ ඔයා කියල බෝඩ් එකක් ගහගන්න නෙමේ කියන එක ඒකෙන් පේනවා. මට මෙතන හදා ගන්න ඕන කරන්නෙ ඔන්න ඔහොම මිනිස්සු. ඔය වචන ටික මට ඔය විදිහටම කියපු තවත් ගුරුවරියක් ඉන්නව මෙහෙ. ගුරුවරියක් කිව්වට මට දැනෙන්නෙ  තවම පොඩි කෙල්ලෙක් විදිහට. මගෙ පොඩි දුවගෙ වයසෙ. අවුරුදු විසි හතරයි. අවුරුදු විස්සක් තිහක් මේකෙ උගන්නපු ගුරුවර ගුරුවරියන්ට වඩා ළමයි මේ පොඩි කෙල්ලට ආදරෙයි. උසස් පෙළ පන්තියෙ නාහෙට අහන්නැති කොල්ලො කෙල්ලොත් මෙයාට සරෙන්ඩර්."

"සර් ඒ මිස්ගෙ නම මිහිදිනී ද?"

"ඔව් මිහිදිනී තමයි. ගඟුල් අඳුනනව ද කලින් මිහිදිනී ව."

විදුහල්පතිතුමා ඇසුවේ පුදුමයෙන් මෙනි.

"අනේ නෑ සර් මට මේ දවස් දෙකට ඇහිච්ච දේවල් එක්කයි එහෙම හිතුවෙ."

ඒ කිව්වෙ ගඟුල්. 

"සර් මං ආපු පළවෙනි දවසෙම උසස්පෙළ පන්තියෙ කියල හිතන්න පුළුවන් ගෑණු ළමයි තුන් දෙනෙක් කතා කරන දේවල් මට අහම්බෙන් වගේ අහන්න ලැබුණා. ඒ ගොල්ලො කිව්වෙ අපි ඉතින් එපා කරපු පන්තියෙ ළමයිනෙ. අපිට කැමති ගුරුවරු කියල කියපු නම් දෙක තුන අතරෙ ඔය මිහිදිනී කියන නමත් තිබුණ. ඒ නමේ තිබිච්ච වෙනස් වගේම අලුත් ගතිය නිසා මට ඒ නම මතක හිටිය. ඒ වගේම දැන් ටිකකට ඉස්සෙල්ල මෙතනින් ගිය පුතා කිව්වෙත් අපිට සඳමාලි මිස් මිහිදිනී මිස් කතා කරන්නෙ පුතා කියලයි කියලා. සර් කියපු හැටියට සඳමාලි මිස් කියන්නෙ පන්ති බාර මිස් කෙනෙක්. විදුහල්පතිවරයෙක් සාමාන්‍යයෙන් පන්තියක් බාර දෙන්නෙ ටිකක් හරි වයසින් වැඩි කෙනෙකුට. ඉතිං මිහිදිනී කියන්නෙ අවුරුදු විසි හතරක කෙනෙක් නං සර් කියපු කාරණා එක්ක ගළපන්න පුළුවන් ඒ මිස් ම තම යි."

"ගඟුල් ගොඩක් දුරට හිතල තියෙනවනෙ. ඒ ළමය ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්. ඒ වගේම වයසෙ හැටියටත් වඩා ඉංග්‍රීසි සිංහල පොතපත කියවපු - කියවන ළමයෙක්. ගඟුල්ට ඒ ළමයා අඳුන ගත්ත දවසක තේරේවි ඒ ළමය කොච්චර බුද්ධිමත් හොඳ ළමයෙක් ද කියන එක. ඔයා මායා රන්ජන් ගැන තාගෝර් ගැන ටොල්ස්ටෝයි ගැන ස්වාමි විවේකානන්ද ගැන මේ කෙල්ලත් එක්ක කතා කරන්න ඒ හැම කෙනෙක් ගැන ම මේ කෙල්ලට කියන්න දෙයක් තියෙනවා. මේ ළමයත් එක්ක කතා කළාම අපිත් අලුත් වෙනව."

"ආ ඒ වගේම ගඟුල්  ඔයා කලින් කියපු කාරණෙත් එක්ක - ඒ කිව්වෙ බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන්  කෙනෙක් ගැන කියපු ගමන් මගෙ ඔළුවට ආවෙ තෙන්නකෝන් සර්ව. මන් ඒ සර්ට කියන්නං වගකීම බාර ගන්න. ගඟුල් ඒකට උදව් කරන්න. මන් මිහිදිනීටත් කියන්නං උදව් වෙන්න කියල. ඒ ළමයත් හොයලා දේවි මේකට එකතු කරන්න පුළුවන් දේවල්. මං අදම තෙන්නකෝන් සර්ව දැනුවත් කරන්නංකො."

මෙසේ කියා මඳ වෙලාවක් නිහඬ ව සිටි විදුහල්පතිවරයා අනතුරුව යටකී ගුරුවරයා ගැන කතා කෙළේ ඉමහත් හැඟීමකිනි.

"ඒ සර් වෙලාවකට මට ගුරුවරයෙක් ගඟුල්. ගොඩක් වෙලාවට කල්‍යාණ මිත්‍රයෙක්. අපේ ධම්මපදයේ එන එක ගාථා පාඨයක් දකිද්දි මට මතක් වෙන ජීවමාන නිදර්ශනේ තමයි තෙන්නකෝන් සර්."

"මොකක් ද සර් ඒ ගාථාව. මමත් සැරින්සැරේ කියව කියව තේරුන් ගන්න උත්සහ කරන පොතක් තමයි ධම්මපදේ. මන් කැමතියි සර්, සර් කියන ඒ ගාථාව දැනගන්න."

"නිධීනංව පවත්තාරං - යං පස්සේ වජ්ජදස්සිනං

නිග්ගහ්‍යවාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජේ

තාදිසං භජමානස්ස - සෙය්‍යෝ හෝති න පාපියෝ"

"ඒකනං හරිම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක් තමයි සර්"

"ඉතිං සර් ඒකෙ තේරුමත් කියන්නකො."

මෙසේ පැවසුවේ සිය අසුනේ රැඳී ලිපියක් සකස් කරමින් සිටි නිම්මී ය.

"දැක්ක නේද ගඟුල් මේකි අතන ඉඳගෙන හිටියට කන තියෙන්නෙ මෙහෙ. අම්මප මේකිට හොරෙන් මෙතන හොඳ දෙයක් වත් නරක දෙයක් වත් කතා කරන්න බැරි හැටි. හරියට හාඩ් ඩිස්ක් එකක් වගේ. දාගන්නව ඔක්කොම එයාගෙ හාඩ් ඩිස්සෙකට."

විදුහල්පතිතුමා ගඟුල් දෙසට හැරී එසේ පැවසුවේ සිනාසෙමිනි.

"ඉතිං දවසක් ලොකු සර්මනෙ අපිට කිව්වෙ හිඟන්නෙක්ගෙන් හරි හොඳ දෙයක් නං ඉගෙන ගන්න. නරක දෙයක් නං ඒක කිව්වෙ මහාචාර්යවරයෙක් උනත් හිතට ගන්න එපා කියලා."

"ආ එහෙනං කියමු බලන්න ඔය තරුණ නෝනා එහෙම ඉගෙන ගත්ත එක දෙයක් මේ ගඟුල් සර්ට ඇහෙන්නත් එක්ක."

"එහෙනං මං ලොකු සර් කියපු දෙයක් ම කියන්නං ගඟුල් සර්."

"මීට අවුරුදු විසිපහකට තිහකට විතර ඉස්සෙල්ල දවසක හවසක අපේ මේ ලොකු සර් ගමනක් යන්න පානදුරේ බස්සෙක එනකං බලාගෙන ඉඳල තියෙනව නුගේගොඩ හන්දියෙ. එදා හරි සැරට වැහපු දවසක්. මේ වැස්සෙ තෙමි තෙමී ආව අන්ධ හිඟන තරුණයෙක් හිඟමං ඉල්ලල තියෙනව. ඒ වෙන කොට ඊට කලිනුත් හිඟන අය කීප දෙනෙක් ම ආපු නිසා දෙන්නෙක්ගෙන් විතරයි එයාට සල්ලි හම්බ වෙලා තියෙන්නෙ. එහෙම දුන්න දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අපේ මේ ලොකු සර්. " 

නිම්මි එසේ කියා ආඩම්බරයෙන් බැලුවේ විදුහල්පතිතුමා දෙස ය.

"හරි හරි මගෙ වර්ණනාව තියල උඹේ කතාව කියපන්කො."

"ඊට පස්සෙ ඒ යාචක තරුණයා දීපු නොදීපු ඔක්කොටම තමන්ගෙ ගෞරවය පළ කරල මුලින් ම මෙහෙම කියල තියෙනව."

"අසරණ දනට සිය දෝතින් සදන සුවේ

ඔබ නැතිදාට ජීවත් විය හැකි ද ලොවේ"

"මේක අහපු නුදුන්නු අයටත් හොඳට ම දුක හිතිල තියෙනව.  එයා කිව්ව කවියක අන්තිම පේළි දෙක තමයි මට ගොඩක් ම දැනුණේ." 

"ඒකත් කියන්න නිම්මි."

නිම්මිගේ කතාවට සාවධාන ව සවන් දී සිටි ගඟුල් පැවසීය.

"ඒක මෙන්න මෙහෙමයි සර්" 

"කාගේ වුව ද හොඳ ගුණයට ගරු          කරමු 

මිනිසෙකු ලෙස ඉපිද මිනිසෙකු ලෙස මැරෙමු"

"ලොකු සර් ආයි කියල වැඩක් නෑ මේ නිම්මි මේක එයා ලබපු අද්දැකීමක් වගේ ම පණ පිහිටුවල කිව්වනෙ."                   

"ඇත්ත ගඟුල් ඇත්ත. මේ ළමය හරි දක්ෂ ළමයෙක්. මෙයා හොඳ කාර්යාලෙක ලියුම් ලිය ලිය ඉන්න නෙමෙයි, සිංහල සාහිත්‍යයයි නාට්‍ය හා රංගකලාවයි උගන්නන්න."

"ඒක නං හරි ඇත්ත සර්."

"ඒක ඇත්ත උනාට ගඟුල් අපිට ඒ ඇත්ත ක්‍රියාත්මක කරන්න විදියක් නෑනෙ. මට බලයක් තිබ්බනං මං කරන්නෙ ඔය උගන්නන්න ආස නැති ගුරුවරයෙක් නිම්මිගෙ සීට්ටෙකට දාල මේ කෙල්ලට උගන්නන්න දෙන එක."

"ඊළඟ ආත්මෙවත් ගුරුවරියක් වෙන්න මට ලැබේවා කියල තමයි ලොකු සර් මං ප්‍රාර්ථනා කරන්නෙ."

නිම්මි ඒ වචන පැවසුවේ වේදනාත්මක ස්වරයකිනි. ගඟුල් කරුණාබර දෑසින් ඇය දෙස බලා සිටියේ ජීවිතයේ ප්‍රාර්ථනා කඩ වූ බාල සහෝදරියක දෙස බලා සිටින ආදරණීය වැඩිමහල් සහෝදරයකු මෙනි. තමාට පියෙකු මෙන් දැනෙන විදුහල්පතිවරයා දෙසට හැරුණු නිම්මී මෙසේ පැවසුවා ය.

"ඉතිං ලොකු සර් අර ගාථාවෙ තේරුම කිව්වෙ නැහැනෙ."

"ඒකෙ තේරුම මේකයි ළමයො. බුදු හාමුදුරුවො අපට කියන්නෙ නිදානයක් පෙන්නන කෙනෙක් වගේ අපේ වරද දකින ඒ වගේ ම එහෙම වැරදි කරන්න එපා කියල අපට තරවටු කරල අවවාද කරන ප්‍රඥාවන්තයෙක් ව ම ආශ්‍රය කරන්න කියල. ඒ මොක ද එහෙම කෙනෙක් ඇසුරු කරන කෙනාට කවදාවත් නරකක් නොවෙන නිසයි."

සමන් සිත්තරා විසින් පුරවන ලද්දේ මේ දුර්ලභ කල්‍යාණ මිත්‍ර ප්‍රඥාවන්තයාගේ හිස්තැන නොවේ ද? පැනසර සොඳුරු සිදුවීම් වන විට එසොඳුරු චරිතය පිළිබඳ වන ආදරණීය ස්මරණ හදගැබ වෙත ගලා ඒම කෙසේ නම් වැළැක්විය හැකි දැයි ගඟුල්ට සිතිණ. එදින ඔහු පාසල් බිමින් නික්ම ආවේ තමාට පමණක් නොව ඇසුරු කළ කාටත් ජීවත් වීමේ කලාව කියා දුන්, සත්‍ය වූ ආදරය අන් කිසිවකින් නොව සිය ජීවන චරණයෙන් ම ඉගැන්වූ, අඳුර ඇති තැනට ආලෝකය ම ආදේශ කළ වරෙක තෙදවත් හිරු මඬල සේ ද, තව වරෙක මුදුවත් සඳ මඬල සේ ද දැනෙන ඒ සදාදරණීය ගුරු සහෘදයා පිළිබඳ වන සුපහන් හැඟුමින් හද පුරවා ගනිමිනි.

"ඔබගේ ජීවිතය මා දුටු     කලාවයි

ඔබගේ ආදරය මා දුටු        අමාවයි

ඔබගේ වචන ආලෝකයෙ උදාවයි 

හිරු සඳු දුටිමි එක තැන වාසනාවයි"

Friday, December 31, 2021

64. ගුරු දියවර නවකතාව - පස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                        


                                                             පස්වන දියවර

ගඟුල් උදෑසනින් ම අවදි වූයේ ය. ඔහුට ලැබී තිබූ කාමරය පරිසර සුන්දරත්වය අවලෝකනය කිරීම උදෙසා ම නිර්මිත වූවක් වැන්න. එහි පිවිසුම් දොරටුව තනා තිබුණේ ගෙයි ඉස්තෝප්පුවෙන් ඇතුළු විය හැකි වන ලෙස ය. වම් කවුළුවෙන් බැලූවිට පෙනෙන්නේ රන්වන් කරලින් බර වූ කෙත් යාය යි. දකුණුපස කවුළුවෙන් බැලූ විට දිස් වන්නේ නිබඳ සුළඟින් සැලෙන සොඳුරු පත් ඇති බෝධි වෘක්ෂය යි. ගෙමිදුලට පැමිණ වම්පසට හැරී මඳ දුරක් ගොස් නැවතී බැලූවිට මිරිහන්පිටිගම වැව දැකිය හැකි වෙයි.

මේ සුන්දර අර්ථවාහී දර්ශන දකිද්දීත් ගඟුල්ට සිහිපත් වූයේ ඒ ආදරණීය සහෘදයා ය. ගුරුවරයා යනු ලෝකයට ආලෝකය ප්‍රදානය කරන්නා මිස අඳුර පතුරුවන්නා නොවේ ය යන මහනීය පාඩම කියා දුන්නේ ඔහු ය. ගුරු යන වචනයේ ආදරණීය සහ ප්‍රෞඪ යන අර්ථ දෙක ද ඇති බව කියා දුන්නේ ඔහු ය. ගුරුවරයා යනු බරක් ඇති සැහැල්ලු චරිතයක් බව කියා දුන්නේ ද ඔහු ය. ඔහු වූ කලී අතීතයෙන් ඇසී වර්තමානයේ ද රැඳී අනාගතය වෙත ද ඇදී යන සොඳුරු ගීතයක් වැන්න. ඔහු සිහි වන හැම මොහොතක ම මහගමසේකරයන් ලියූ අමරදේවයන් ගයන එක්තරා ගීතයක් ගඟුල්ගේ හදමඬලට පිවිසෙයි. 


අතීතයෙන් ගඟ ගලා බසී

සිඳී බිඳී ගල්පර අතරේ

සිනා සිසී සුදු පෙණ පොකුරේ

ගලා බසී ගඟ ගලා බසී

 

පිපී බිඳෙන දිය බුබුලේ 

වළා රොදක දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ

ඔබේ ඇසිනි මා දුටුවේ

 

දැන් පැවරී ඇත්තේ ඒ ඇස අනාගත පරපුරට උරුම කොට දීම නොවේ ද? ගඟුල් පාසල් යාම සඳහා සූදානම් වූයේ යළි යළිත් ඒ පැනය තමාගෙන් ම අසමිනි.

ගඟුල් උඹ ලෑස්ති ද මල්ලි, වරෙන් මං උඹව බයික් එකේ ගිහින් දාන්නං ඉස්කෝලෙ ගාවට.

එසේ කියමින් එතැනට පැමිණියේ වසන්ත ය.

වසන්ත නාගොල්ලාගම පාසලට හැරෙන තැනින්  ගඟුල් බස්වා සිය පාසල බලා පිටත් ව ගියේ ය. 

ගඟුල් පළමු ව කාර්යාලය වෙත ගියේ සිය පැමිණීම සහතික කොට ගුණවර්ධන මහතා වෙතින් තමාට නියමිත කාලසටහන ලබාගැන්ම සඳහා ය.

සර් මේ කාලසටහන සර්ට දෙන්න කිව්ව ගුණවර්ධන සර්. සර් මෙහෙන් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්නකො ලොකු සර් එනකං.

ඒ නිම්මි ය. 

ලොකු සර් තාම ආවෙ නැද්ද නිම්මි. 

නෑ නෑ සර් ආවා. අපි ඔක්කොටම කලින් තමයි ලොකු සර් ඉස්කෝලෙට එන්නෙ. ඒ ආවහම ඉස්සෙල්ලම කරන්නෙ ඉස්කෝලෙ වටේ රවුමක් යන එක.

ගුරුවරු කාර්යාලයට එති, අත්සන් කරති, අනතුරුව සිය පන්තිවලට යති. ඇතැමෙක් ගඟුල් හා සිනාසෙති. තවෙකෙක් වචනයක් දෙකක් කතා කොට මේ අලුත් ගුරුවරයාට සුබ පතා පිට ව යති. මේ අතර ගඟුල් හැරී බැලුවේ කිසිවකු තමාගේ පිටට අත තබනු දැනී ය. 

මල්ලි මම තෙන්නකෝන්, ඉතිහාසෙ උගන්නන්නෙ, ඔයා නේද සිංහලවලට අලුතින් ආවෙ. මට ඊයෙ ලොකු සර් කිව්ව සිංහලවලටත් අලුත් ගුරුවරයෙක් ආවා කියල. සතුටුයි මල්ලි මං අලුතින් ආරම්භ වෙන ඔයාගෙ ගුරු ජීවිතයට ආදරෙන් සුබ පතනවා.

මෙසේ ගඟුල්ගේ ළඟට ම පැමිණ සුබ ප්‍රාර්ථනා කෙළේ මැදිවියේ ගුරුවරයෙකි. ඒ ප්‍රසන්න ගුරුවරයාගේ රූපකාය ඔහුට සිහිපත් කොට දුන්නේ හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලයේ දී ඔවුනට සමාජ අධ්‍යයනය ඉගැන්වූ උක්කුබණ්ඩා ගුරුතුමන්ගේ රූපකාය යි.

බොහොම ස්තුතියි සර්. 

ගඟුල් එසේ පැවසුවේ එම වැඩිහිටි ගුරුවරයාට හිස නමා ආචාර කරමිනි.

එහෙනං මල්ලි පැමිණීමේ ගුරු ලේඛනයට වඩා ශිෂ්‍යයන්ගෙ හද ලේඛනයේ සටහන් වෙන ගුරුවරයෙක් වෙනව කියන අධිෂ්ඨානය ඇතිව අදම වැඩ පටන් ගන්නකො. මමත් යනව මගෙ පන්තියට. 

තෙන්නකෝන් සර්,  සර්ව අද හම්බ වෙන්නමයි හිටියෙ. පොඩි කරුණු ටිකක් තියෙනව මට සර්ගෙන් අහගන්න. අද වෙලාවක් තියෙයි ද? 

එසේ ඇසුවේ එතැනට පැමිණි තරුණ ගුරුවරයෙකි.

ආ මේ අතුලනෙ. වෙලාවක් නැත්තං අපි වෙලාවක් හදා ගම්මු. අද නං මට ඕප් පීරියඩ්ස් නෑ. උඹට ඉන්න පුළුවන්නං අපි ඉස්කෝලෙ ඇරියට පස්සෙ කතා කරමු. ඔන්න උඹලගෙ වයසට හරියන අලුත් යාළුවෙකුත් ඇවිල්ල. කතා කරල අඳුන ගනින්කො. මං යනව එහෙනං.  

ලොකු දෙයක් සර් අදම වෙලාවක් දාගන්න පුළුවන් වෙච්ච එක. මමත් අස්සන් කරලම මේ සර්ට කතා කරන්නං. 

අතුල එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී මඳ සිනහවක් සෙමිනි.

ගඟුල් ඔහුට සිනහවකින් ම ප්‍රතිචාර දැක්වීය. එයිනික්බිති අතුල සිය කටහඬ අවදි කෙළේ ය.

මම අතුල ජයසිංහ. මගෙ විෂය නං කෘෂිවිද්‍යාව. ඒත් මෙහෙට ක්‍රීඩා ගුරුවරයෙක් නැති නිසා ලොකු සර් මට වැඩි වගකීමක් පවරල තියෙන්නෙ ස්පෝට්ස් පැත්ත බලාගන්න. අපි දැනං හිටිය අද ඉඳන් අපේ ඉස්කෝලෙට අලුත් ගුරුවරු තුන් දෙනෙක් ම එන බව. ඔන්න පළවෙනියව හම්බ උනා.

ගඟුල්ට සිනහ ගියේ ලොකු සර් පැවසූ පාසලක සිටින භයානක ගුරුවරුන් තිදෙනා පිළිබඳ කතාව සිහිවීම නිසා ය. එසේ නම් මේ හමු වී ඇත්තේ තමා ද අයත් වන ඒ භයානක කුලකයට අයත් ගුරුවරයෙකි.

හරි සතුටුයි අතුල සර් අඳුන ගන්න ලැබීම. මම ගඟුල් සමරනායක. සිංහලවලටයි ආවෙ.

ෂා මරුනෙ. මං උපාධියට කෘෂිවිද්‍යාව කළාට සිංහලවලට මාර විදියට ආසයි. අපි ඉස්සරහට හම්බ වෙලා කතා කරමුකො. 

කෝ නිම්මි ලොකු සර්. අදත් උදෙන් ම ගුරු ශිෂ්‍ය නිරීක්ෂණ චාරිකාවට ගිහින් ද?

මෙසේ කියමින් කාර්යාලයට ඇතුළු වූයේ මැදිවියේ ගුරුවරියකි.

ගුඩේ ගුඩ් මෝනින් එකක්ම වේවා සිල්වා මැඩම්.

ආ ගුඩ් මෝනින්. මේ අතුල මන් ඔයාට කීප සැරයක් ම කිව්ව ලස්සන යෙදුම් අවලස්සන කරන්න එපැයි කියල. ඒත් ඔය ළමය දිගින් දිගටම ඒකමනෙ කරන්නෙ. අලුත් යාළුවෙකුත් හම්බ වෙලා ඉන්නෙ. මන් දැක්ක දෙන්න එක්ක ලොකු කතාවක වැටිල ඉන්නව.

නෑ මැඩම් අපි පොඩිම පොඩි කතාවකයි හිටියෙ. ලොකුම ලොකු කතා ඉස්සරහට. මේ අපේ අලුත් සිංහල සර්.

ආ සිංහල ද? අතුල පුළුවන්නං මේ ළමයවත් නරක් කරන්න.

අනේ අනේ මැඩම් අපි ගැන හිතාගෙන ඉන්න විදිහ.

අපිට අතුල එහෙම හිතන්න වෙලා තියෙන්නෙ ඕගොල්ලන්ගෙම වැඩ පිළිවෙළ හන්දා. මට කණගාටු ලොකු සරුත් ඕගොල්ලන්ව හදාගන්නව වෙනුවට උඩගෙඩි දෙන නිසා.

දැන් මැඩම් ඔහොම කිව්වහම මේ අලුත් සර් අපිත් එක්ක කතා කරන්නවත් බය වෙයිනෙ.

ඔව් ඉතින් ඒක හොඳයිනෙ. විශේෂයෙන් ඒක මේ ළමයට. 

හොඳයි. මට බැලුවහම පේනව මේ ළමය නං කාගෙ උනත් වැදගත් ළමයෙක් බව.

ඇත්ත මැඩම් සම්පූර්ණ ඇත්ත. ඒ උනාට මැඩම් එයාගෙ සබ්ජෙක්ට් එක තමයි අප්සට් නේ ද?

අතුල ඔයා මට හින්ට් ගහනව නේද ? 

අපෝ නෑ මැඩම් අපි එහෙම වැඩ කරනව ද?

මොකෝ නැත්තෙ. එහෙම වැඩ තමයි ඕගොල්ලො කරන තරමක් කරන්නෙ. ඒ වගේම ඕගොල්ලන්ගෙ ඕන වැඩකට සපෝට් කරන දෙතුන් දෙනෙකුත් මේකෙම ඉන්නවනෙ.

බී කෙයාෆුල්.

සිල්වා මහත්මිය එසේ පැවසුවේ ගඟුල් දෙසට හැරී තියුණු බැල්මක් හෙළමිනි.

මට වැඩ තියෙනව. මං යනව. 

මෙසේ කියා කාර්යාලයෙන් පිට ව යාමට ගිය සිල්වා මහත්මිය පෙරළා හැරී ආවේ ගඟුල් ළඟට ය.

මං මේ මට අමතක වෙන්න ගිය දෙයක් මතක් වෙලයි මං මේ ආපහු හැරුණෙ. අද ලොකු සර් ඔය ළමයට කාල සටහනක් දේවිනෙ. එතකොට මතක ඇතිවම සීලාචාර ළමයි ඉන්න පන්තිවල උගන්නන්නයි මං කැමති කියල ලොකු සර්ට කෙළින්ම කියන්න. ඔය මේකෙ සමහරක් කැමති එහෙම පන්තිවලටම තමයි.

සිල්වා මහත්මිය සම හරක් යන වචනය බර තබා උච්චාරණය කෙළේ අතුල දෙසට දැඩි බැල්මක් හෙළමිනි.

මෙසේ පවසා ඇය වේගවත් ගමනින් කාර්යාල කාමරයෙන් පිට ව ගියා ය.

මොකෝ අර සිල්ව ටීචර් හයියෙන් හයියෙන් යන්නෙ. මාත් එක්කත් කේන්තියෙන් වගේනෙ ගියේ.

එසේ පැවසුවේ ඒ මොහොතේ කාර්යාලයට ඇතුළු වූ විදුහල්පතිතුමා ය.

ඔපිස් එකට ආවෙ නං සිල්ව මැඩම් තමයි ලොකු සර්. ඒ උනාට දැන් මෙතනින් පිටවෙලා ගියේ නං සිල්ව මැඩම් නෙමෙයි.

ඒ කිව්වෙ අතුල මට තේරෙන්නෑ ඔයා කියන දේ.

මෙහෙමනෙ සර් සිල්වා මැඩම් ඔපිස්සෙකට ආවා. හැබැයි පිටවෙලා ගියේ ආපු සිල්ව මැඩම් නෙවෙයි අයිරාංගනී සදාකෝපාවිෂ්ට. 

එකත් එකටම අතුල උඹ ඒ මනුස්සයගෙ කේන්තිය ඇවිස්සෙන විදිහෙ වචන කියන්නැති.

අනේ නෑ ලොකු සර් එතුමිය ආවා. එතුමියම පැමිණිල්ල ඉදිරිපත් කළා. එතුමියම නඩුවත් ඇහුවා. එතුමියම තීන්දුවත් දුන්නා. එහෙම කරල අධිකරණ ශාලාවේ කවුරුවත් දිහා බලන්නැතිව වේගයෙන් පිටවෙලා ගියා. ඔන්න මේ සිදුවීම සම්පූර්ණයෛන් දැකපු අලුත් සරුයි අපේ නිම්මියි ඒකට සාක්කි.

හොඳයි හොඳයි අපි සාක්කි විමසමුකො පස්සෙ. නිම්මි, ගුණවර්ධන සර් ගඟුල් සර්ට හදපු කාලසටහන දෙන්නකො. සර් එක්ක පොඩ්ඩක් කතා කරල සර්ව එක්ක යන්න ඕන සර්ගෙ මුල්ම පන්තියට. අතුල මට අද ඔයා එක්කත් කතා කර ගන්න කාරණා ටිකක් තියෙනව අපේ ක්‍රීඩා උත්සවේ ගැන. දොළහෙන් පස්සෙ මේ පැත්තට ආවොත් හොඳයි අතුල.

විදුහල්පතිතුමා එසේ පවසා හැරුණේ ගඟුල් දෙසට ය. 

ගඟුල් ඉඳගන්නකො පොඩ්ඩක් මෙතනින්. 

විදුහල්පතිවරයා එසේ පවසා සිය අසුනෙහි හිඳ ගන්නා ගමන් ගඟුල්ට ඉදිරිපස අසුනක් දැක්වීය. අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

නිම්මි මට දෙන්නකො මේ සර්ට හදපු කාලසටහන. අද ගුණවර්ධන සර් ටිකක් පරක්කු වෙලයි එන්නෙ. සර්ට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න තියෙනව කිව්ව. ඔයා අලුතින් එන මිස්ල දෙන්නටත් මේජර් ටයිම් ටේබල් එක බලල තාවකාලික කාලසටහනක් හදන්න. ගුණවර්ධන සර් බැලුවට පස්සෙ ඒකෙ පිටපත් දෙකක් මටත් දෙන්න. මොකද අද ඒ මිස්ල දෙන්නම වැඩ බාර ගන්න එනව. 

ගඟුල් මෙන්න ඔයාගෙ කාලසටහන. මේක තාවකාලික එකක්. ඔයාට දැනට දහය එකොළහ පන්ති වගේම උසස් පෙළ එක පන්තියකුත් දාල තියෙනව. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තියෙනව කියන්න. මං මේක මුලින් කියනවද නැද්ද කියල කියන එකම හොඳයි කියල හිතුණ. මොකද ඔය උසස්පෙළ පන්තිය ගොඩක් ගුරුවරු නොතකා හරින පන්තියක්. ඒකට කියන්නෙ තේරිච්ච පන්තිය කියල. මේ කොන් කිරීම නිසාම මේ සමහර ළමයි ප්‍රචණ්ඩ වෙලා තියෙන බව මමත් දන්නව. සිංහල උපාධිධාරි ගුරුවරයෙකුයි ගුරුවරියකුයි දෙන්නෙක්ම අපට හිටියත් මේ දෙන්නම දවසක් දෙකක් ඒ පන්තිවලට ගියාට පස්සෙ ප්‍රතික්ෂේප කළා ආයෙත් ඒකට යන එක. ඒවට ඒ ගොල්ලන්ගෙ පැත්තෙන් හේතුත් ඉදිරිපත් කළා. මන් ඉතින් හැම පැත්තක්ම බලල මට පුළුවන් විදිහට ඒ පන්තියෙ සිංහල උගන්නන්න ගත්ත. මං තේරුන් ගත්ත විදිහට ගඟුල් ඒ පන්තියෙ ඉන්නෙ අදක්ෂ ළමයිවත් නරක ළමයිවත් නෙවේ. මේ ගොඩක් ළමයින්ගෙ හිත් තැලිල තියෙන්නෙ අර කොන් කිරීම නිසාම. මන් කැමතියි ඔයා මේ පන්තිය බාර අරන් වැඩ කරනවනං. හැබැයි මුලදි ඔයාටත් ප්‍රශ්න දාවි. කල්පනාවෙන් වැඩ කළොත් අපට මේ ළමයි ටික ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. ඔයා මෙහෙට ආපු පළවෙනි දවසෙම ඒ ගත කරපු ටික වෙලාවෙ ගොඩ නැගුණු විශ්වාසෙ නිසයි අද මම මෙහෙම කතා කරන්නෙ. 

ලොකු සර් මට ඒ පන්තිය දෙන්න. මං උත්සාහ කරන්නං මට පුළුවන් උපරිම දේ කරන්න. සර් මං ගැන තබපු විශ්වාසෙට බොහොම ස්තුතියි. 

ගඟුල් දෙස මොහොතක් බලා සිටි විදුහල්පතිවරයා හුන් අසුනෙන් නැගිට ඔහු සමීපයට ආවේ ය. ගඟුල් ද හුනස්නෙන් නැගී සිටියේ ය. විදුහල්පතිවරයා ගඟුල්ගේ දෑතින් දෑත අල්වා මෙසේ පැවසීය.

ගඟුල් අපි මේ ළමයින්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මුළු පන්තියම විශ්වවිද්‍යාලෙට යවල තමයි නවතින්නෙ කියල හිතල වැඩ කරමු. යමු අපි ඒ පන්තියෙන් ම ඔයාගෙ ගුරුජීවිතේ ආරම්භ කරමු. මම ඔයාට සුබ පතනව. යං මමත් එනව ඔයාව මේ ළමයින්ට අඳුන්නල දෙන්න. 

විදුහල්පතිවරයා ගඟුල් කැඳවාගෙන ගියේ 12 බී පන්තිය වෙතට ය. ඊට සමීප වන විට ගඟුල්ට ඇසුණේ මෙවන් කතාබහකි.

මචං අන්න ලොකු සර් එනව අලුත් පොරක් එක්ක. අලුත් මෑන් මොනවද දන්නෑ උගන්නන්නෙ. 

ආපුවාවෙ ආපුවාවෙ අර අනික් අය වගේම දවසක් දෙකක් ඇවිල්ල අපේ පන්තිය අත හරීවි. එතකොට ලොකු සර්ටම භූගෝලෙට අමතරව සිංහල උගන්නන්න උනා වගෙ ඔය අලුත් මෑන්ගෙ සබ්ජෙක්ට් එකත් උගන්නන්න වේවි. 

ඔවුන්ගේ කතාබහින් ගඟුල් බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. බොහෝ ගුරුවරුන් වෙතින් ඔවුන් ප්‍රතික්ෂේප වූවා සෙයින් ම ඔවුන් අතින් බොහෝ ගුරුවරුන් ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඔවුන් තුළ කිසියම් ගෞරවනීය හැඟීමක් ඇති බව ද පෙනේ. ඔවුන් තමා අලුත් පොරක් ලෙස හැඳින්වුව ද සිය විදුහල්පතිවරයා හැඳින්වීම සඳහා පිනා - ප්‍රින්සිපල්කාරය - ලොක්කා - ලොකු සර්කාරය වැනි චචන භාවිත කෙළේ නැත. මේ දරුවන් තුළ සැඟවුණු හරවත් යමක් තිබේ. ගුරුවරයකු වශයෙන් තමා විසින් කළ යුතු ව ඇත්තේ ඒ හරය මතු කොට ගැන්ම උදෙසා තමාට කළ හැකි දෙය කිරීම ය. සිය ගුරු මෙහෙවර එය ම වන බව ගඟුල් තදින් ම ධාරණය කොට ගත්තේ ය.

ඔවුන් ඇතුළුවත් ම මුළු පන්තියේ ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැගී සිට එක්වන් ව මෙසේ කීහ. 

ආයුබෝවන් ලොකු සර්. සුබ උදෑසනක් ලොකු සර්. 

මේ ශිෂ්‍ය පිරිස විදුහල්පතිවරයාට අවනත බවත් එය නීතියක් නිසා නොව ආදරය නිසා ඇති වූ අවනතභාවයක් බවත් ගඟුල් වටහා ගත්තේ ය.

විදුහල්පති සිය කටහඬ අවදි කෙළේ ය.

මේ දුවල පුතාලට දැන් අලුත් ගුරුවරයෙක් ලැබිල තියනව. ඒ සිංහලවලට. මේ සර් කැමති උනා ඕගොල්ලන්ගෙ විෂය නිර්දේසෙ ආවරණය කරන්න. කවුරුත් නැති නිසයි මං වැඩ කළේ. දැන් සර් එක්කම ඉදිරි වැඩ කතා කරගන්න. ආයුබෝවන් දරුවනේ. එහෙනං ගඟුල් සර් වැඩ පටන් ගන්නකො. 

විදුහල්පතිවරයා නික්ම යනවිට පන්තියේ සියලු දෙනා ම නැගිට එක්වන් ව ආචාර කළහ. මොහොතක නිහැඬියාවක් පැවතිණි. අනතුරුව පන්තියේ පසුපෙළ හිඳ සිටින ශිෂ්‍යයෙක් සිය මේසයට කිසියම් තාලයකට ගැසූ අතර තවත් ශිෂ්‍යයකුගේ කටහඬ ඒ හා මුසුවනු පෙනිණ.

බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගේ 

මුළු පන්තිය පුරා පැතිර ගියේ මහත් සිනා හඬකි. විශේෂය වූයේ ගඟුල්ගේ සිනහව ද ඒ හා මුසු වීම ය.

අනතුරුව ගඟුල් සිය කටහඬ අවදි කෙළේ ය.

මට හරිම සතුටුයි වාදන හැකියාව තියෙන ගායන හැකියාව තියෙන දරුවන් මේ පන්තියේ ඉඳීම ගැන. අපි ඒවයිනුත් ඉස්සරහට ප්‍රයෝජන ගනිමු. ඒ දක්ෂතාවලින් වැඩ ගන්නත් උසස් පෙළ සමත් වෙලා තියෙන එක වැදගත් නිසා ඒ පැත්තටත් අපේ අවධානය යොමු කරමු. 

පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහැඬියාවකි. තමා උපහාසයට ලක් කිරීම සඳහා කළ ක්‍රියාව මේ ගුරුවරයා අගය කරයි. මේ සිය පාසල් ජීවිතයේ මතක ඇති කාලයකට ඔවුන් ලද ප්‍රථම ඇගයීම යි. අවලාදයනට ම හුරු ව තිබූ දෙසවන්වලට දැන් ඇගයීමක් ලැබී තිබේ. ගඟුල් තවදුරටත් කතා කෙළේ ය.

අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගනිද්දි අපට ඉගැන්නුව සහන් කියල සර් කෙනෙක්. සර් හැමදාම පාඩමට අමතර දෙයක් අපිට කිව්ව. අදටත් පාඩමටත් වඩා අපේ හිතේ රැඳිල තියෙන්නෙ සර් කියපු ඒ දේවල්. එක්කො සර් තමන්ගෙ අද්දැකීමක් ගැන කතා කළා. එහෙම නැත්තං සර් කියවපු පොතක් ගැන ඒ පොතෙන් උකහා ගත්තු දෙයක් ගැන කතා කළා. ගුරුවරයා කරන්න ඕනෙ තමන්ගෙ පාඩම උගන්නන එක විතරක් නෙමෙයි කියන පාඩම අපි ඉගෙන ගත්තෙ සහන් සර්ගෙන්. 

දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නිහඬ ව සිටිති. ගඟුල් කතා කරයි.

එදා අපිට තිබුණෙ සිංහල ව්‍යාකරණ පාඩමක්. ඒ පාඩම මොකක් ද කියල අද මට මතක නෑ. ඒත් එදා සර් කියපු කතාවක් මට අද වගේ මතකයි. මේ පන්තියට ආවට පස්සෙ ඒ කතාව ආයිත් මට මතක් උනා. 

සර් කිව්ව ගුරු ජීවිතය ගැන ලියැවිව්ව පොතක තිබිච්ච සිද්ධියක් ගැන. මේකට පසුබිම් වෙන්නෙ කුලියාපිටිය සෙන්ට්‍රල් එක. පොත ලියන්නෙ ප්‍රේමචන්ද්‍ර විජේසිංහ කියල සර් කෙනෙක් ඒ සර්ගෙ අද්දැකීම් ගැන.

එක පන්තියක හිටිය ශිෂ්‍යයෙක් ගුරුවරු නැති වෙලාවට මේසෙට ගගහ සින්දු කියනව. පන්තියෙ අනික් ළමයිනුත් අත්වැල් දිදී මේකට සම්බන්ධ වෙනව. දවස් කීපයක් ම ගුරුවර ගුරුවරියො කීප දෙනෙක් ම මේ දරුවටත් එයාට අනුබල දෙනව කියල මුළු පන්තියටමත් බණිනව. එයින් ඇතැම් ගුරුවරයෙක් විදුහල්පතිතුමාටත් පැමිණිලි කරනව ඉස්කෝලෙ විනය රැක ගන්ඩත් මේ වගෙ වැඩ බාධාවක් කියල. 

දවසක් ප්‍රේමචන්ද්‍ර සර් මේ පන්තියට එනව. එදත් මේ ශිෂ්‍යයා මේසෙට ගගහ සින්දු කියනව. අනිත් අය අහගෙන ඉන්නව. සර්ගෙ පැමිණීමත් එක්ක පන්තිය නිහඬ වෙනව. සර් කෙළින් ම අර ළමය ළඟට යනව. ඒ ශිෂ්‍යය බලාපොරොත්තු වෙන්නෙත් අනික් ළමයි බලාගෙන ඉන්නෙත් දැන් කණේ පාරක් හරි බැණුමක් හරි ෂුවර් තමයි කියල.  

දැන් මුළු පන්තියේ ම අවධානය යොමු වන්නේ සිය මේසය තබ්ලා ගැසීම සඳහා යොදාගත් ශිෂ්‍යයා දෙසට ය. මේ අතර ගඟුල් තමා කියාගෙන ආ කතාව දිගට ම කියාගෙන ගියේ ය.

ඒ සර් අර ශිෂ්‍යයට කියනව පුතා උඹ ගහනව ලස්සණයි ගහන තැන තමයි වැරදි කියල. 

ප්‍රේමචන්ද්‍ර සර්ගෙ මේ ප්‍රකාශෙ අර ශිෂ්‍යයගෙ මුළු ජීවිතේ ම වෙනස් කරනව. එයා සංගීතය පැත්තට ම යොමු වෙනව. උසස් පෙළ පාස් වෙලා එයාගෙ යාළුවො පේරාදෙණියට ජයවර්ධනපුරේට කැලණියට කොළඹට යද්දි එයා යන්නෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙට.

අපි එදා සහන් සර්ගෙන් අහනව සර් ඉතින් ඒ ශිෂ්‍යයට සංගීත ක්ෂේත්‍රේ තැනකට යන්න ලැබුණ ද කියල. 

සර්ගෙ උත්තරේ ඔව්. ඒ විතරක් නෙමෙයි සර් ඒ චරිතයට කතාකරලත් තිබුණ.  

කවුද සර් ඒ. 

ඒ ප්‍රශ්නය නැගුණේ පන්තියෙනි.

ඒ තමයි අද වෙන කොට අපේ විශිෂ්ට සංගීතඥයන්ගෙ නාමාවලියට අයිති වන එම්. ආර්. චූලසිංහ. 

සහන් සර් දවසක් එතුමට කතා කරල තිබුණ මේ සිද්ධිය ගැන අහන්න ම. එයා කියල තියෙන්නෙ අදටත් ප්‍රේමචන්ද්‍ර සර්ව මතක් වෙන කොට ඇස් දෙකට කඳුළු එනව කියල. 

මුළු පන්තිය පුරා පැතිර තිබුණේ මහත් නිහැඬියාවකි. යළිත් කතා කෙළේ ගඟුල් ය.

මං අද ඒ කතාව ඕගොල්ලන්ට කිව්වෙත් විශේෂ කාරණයක් නිස යි. මම පාඩමක් කරන්න පටන් ගන්නත් ඉස්සෙල්ල මේ පන්තියෙ අනාගත චූලසිංහල දෙන්නෙක් ව දැක්ක. මම දැක්කෙ නෑ ඒ කවුද කියල. ඒත් ඒ පුතාල දෙන්නට මං ඉතාම ආදරෙන් සුබ පතනව. ඒ වගේම මේ අනික් දුවල පුතාලගෙ අධ්‍යාපන ගමනට වගේ ම ජීවිත ගමනටත් ඉතාම ආදරෙන් සුබ පතනව. 

යළිත් මුළු පන්තිය පුරා පැතිර ගියේ මහත් නිහඬතාවකි. මේ අතර පන්තියේ අන්තිම පේළියේ අසුනක හිඳ සිටි ශිෂ්‍යයෙක් සිය අසුනින් නැඟිට ගඟුල් දෙසට ගමන් කෙළේ ය. ඔහුගේ දෑස් කඳුළින් පිරී තිබිණ. ගඟුල්ගේ මේසය ළඟ සිටගත් ඔහු ආයාසයෙන් කතා කෙළේ ය.

අපිට සමාවෙන්න සර්.  

ඔහු නැමී වඳින්නට සැරසෙත් ම ගඟුල් එම ශිෂ්‍යයාගේ දෙවුරෙන් අල්ලා නැගිටුවා මෙසේ පැවසීය.

මගෙන් සමාව ගන්න ඕගොල්ලො කවුරුවත් මට වරදක් කළේ නැහැනෙ. 

නෑ සර් මං තමයි අර සින්දුව කිව්වෙ. මගෙ ළඟම හිටපු යාළුව තමයි තාලෙට මේසෙට ගැහැව්වෙ. එයත් දැන් .... 

මෙසේ කියා හිස එසවූ එම ශිෂ්‍යයාගේ බැල්ම යොමු වූයේ පන්ති කාමරයේ කෙළවර මේසයකට හිස ගසාගෙන හිඳ සිටි ශිෂ්‍යයකු දෙසට ය. ගඟුල්ගේ මෙන් ම අනෙකුත් ශිෂ්‍යයන්ගේ ද අවධානය එදෙසට යොමුවද්දී මුල් ශිෂ්‍යයා යළිත් කතා කෙළේ ය.

අපිට සමාවෙන්න සර්. අපි දෙන්නයි ඒ වැඩේ කළේ. එයත් ඒ ගැන තැවෙනව සර්. අපි දෙන්න කරපු වරදට පන්තියෙ අනිත් ළමයි ගැන මුකුත් හිතන්න එපා සර්. 

ඉමහත්  ආදරයකින් එම ශිෂ්‍යයාගේ හිස මත අත තැබූ ගඟුල් තවමත් මේසය මත හිස ගසාගෙන සිටින ශිෂ්‍යයා වෙතට ගමන් කෙළේ ය. අනතුරුව කතා කෙළේ ය. තමා ළඟට ම ගුරුවරයා පැමිණ ඇති බව දුටු එම ශිෂ්‍යයා කලබල ව වහා හිඳ සිටි අසුනින් නැඟී සිටියේ ය. 

ඔයා හොඳ තාල ඥානයක් තිබෙන කෙනෙක් පුතා. සංගීතය පැත්තෙන් ම යන්න. ඔයාට ඒ පාරෙ ලොකු දුරක් යන්න පුළුවන්.  

ගඟුල්ගේ මේ වචන ශිෂ්‍යයා තව තවත් කම්පනයට පත් කෙළේ ය.

ඔහුගේ දෑසට කඳුළු නැඟී තිබිණ. නවක ගුරුවරයා අපහසුවට පත් කිරීමේ අදහසින් කළ ක්‍රියාව ඒ ගුරුවරයා විසින් ම ප්‍රශංසනීය කටයුත්තක් ලෙස දැකීම දරා ගන්නේ කෙසේ ද? වෙනදා සිය ක්‍රියාවන්ගෙන් අන්‍යයන් හැඬ වූ තමාට අද මේ සිදුවූයේ කුමක් ද? සිය ගුරුවරුන්, සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව කාර්යාලයීය කාර්යසහායක වැඩිහිටියා පවා සිය ක්‍රියාවන්ගෙන් අපහසුවට පත් කිරීම පරම වීරක්‍රියාවක් ලෙස සිතා සිටි තමා අද පත් ව සිටින්නේ ද මහත් ම අපහසුවකට ය. දැඩි වචන භාවිතයෙන් මුළු පන්තිය ම බියපත් කොට ගෙන සිටි සිය ගුරුවරුන් සමග පවා එකට එක කියාගෙන සිටි තමා දැන් වචනයක් පවා පිට කළ නොහෙන ගොළුවකු බවට පත් ව තිබේ. සිය ශිෂ්‍යයාගේ අපහසුතාව අවබෝධ කොට ගත් ගඟුල් මෙසේ ඇසී ය.

මොකක් ද පුතා ඔයාගෙ නම? 

සු..සු  සුපුන් සර් 

පෙන්නන්න ඔයාගෙ අත් දෙක. 

සුපුන් සිය දෑත ඉදිරියට දිගු කොට පෙන්වීය.

සරස්වතී දෙවඟනගෙන් ආශිර්වාද ලබන අත් දෙකක් කර ගන්න මේ අත් දෙක. 

එසේ පවසා ගඟුල් සිය අසුන වෙත ගියේ ය. එතැන් සිට එම කාල පරිච්ඡේදයේ දී ඔහු කෙළේ පන්තියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහද කතාබහක නිරත වීම ය. ඒ කතාබහින් ඔහු බොහෝ දේ අවබෝධ කොට ගත්තේ ය. මේ දරුවන් පිළිබඳ ව තවදුරටත් සොයා දැනගත යුතු තවත් අනේකවිධ කාරණා තිබෙන බව ගඟුල්ට වැටහිණ. ශිෂ්‍ය ගෞරවය රකින පරිසරයක දී නිරායාසයෙන් ම ගුරු ගෞරවය රැකෙන බව මේ නවක ගුරුවරයා මැනවින් දැන සිටියේ ය. ඔහු ගුරු මෙහෙවර පිළිබඳ ඇතැමකුට අමුතු සේ ද පෙනී යා හැකි බොහෝ සොඳුරු කාරණා උගත්තේ ආචාර්ය අදිකාරම්තුමන් වෙතිනි. එසේ ම ගුරුචරණයෙහි මහදර්ථය උකහා ගන්නේ ඒ සොයුරු මිත්  - ආදරණීය සහෘදයාගේ චරිතාදර්ශයෙනි.

ආචාර්ය අදිකාරම්තුමා ගුරුවරුන් උදෙසා පැවැත් වූ දේශනවල දී අවධාරණයෙන් පවසා ඇත්තේ පිරිසිදු අභ්‍යන්තරයක් ඇති කරගැනීම ගුරුවරයකුගේ මූලික වගකීමක් පමණක් නොව අත්‍යවශ්‍ය යුතුකම ද වන බව ය. එසේ ම ශිෂ්‍යයන් කෙරෙහි වන ආදරයෙන් ගුරු සිත නිබඳ පිරී තිබිය යුතු ය යන්න ද එතුමා අවධාරණ කළ තවත් සුවිශේෂ කරුණක් විය.

ගඟුල් සිය ප්‍රථම පන්තියේ දූ දරුවන්ගෙන් සමුගෙන කාර්යාලය දෙසට ගමන් කෙළේ දිව මතුරක් සේ තමා නිබඳ සිහි කරන ඒ මහා ප්‍රාඥයාගේ පහත සඳහන් සදුක්තිය සිහිපත් කරමිනි.

ආදරය තේරුම් ගැනීමේ පුදුම ශක්තියක් ළමයින්ට තිබේ. තමන්ට ආදරය ඇති ගුරුවරයා ළමයින් විසින් ප්‍රිය කරනු ලැබෙයි. ශිෂ්‍යයන්ගේ විනය පිළිබඳ ප්‍රශ්නයක් ද එවැනි ගුරුවරයකුට ඇති නොවන්නේ ය.