Tuesday, February 15, 2022

ගුරු දියවර නවකතාව - අටවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

 

                          ගුරු දියවර 8

 


          මල් පොකුරු පොකුරු ඇය එන මග

           ඈ දෙසට ම නැමීයන්

           මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්

           මල් පොකුරට ලැබීයන්”

මල් නොපිපි ශුෂ්ක ගිම්හානයේ රිවි කිරණ වෙනදාටත් වඩා සුසැඬ ව මිහි මත පතිත වන මේ රිවි දිනයේ ගඟුල් නිවහනින් එළියට ආවේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවනු පිණිස ඔහුගේ නිවහනට යනු පිණිස ය.

එහි යාමට ඇති පහසු කෙටි මග වෙනුවට ඔහු දිගු මග තෝරා ගත්තේ ශුෂ්ක ප්‍රදේශයක ජීවත් වන තමා විසින් ශුෂ්ක භාවයේ අද්දැකීම නොමඳ ව විඳ ගත යුතු ය යන හැඟුමින් මඬනා ලද බැවිනි. මල් නොපිපි මාවතේ ගමන් කරන තමාට මල් හා බැඳුණු ඒ සොඳුරු ගීතය සිහිපත් වූයේ ඇයි? තමා සරසවියේ ඉගෙන ගන්නා සමයේ දවසක සංගීත වැඩ සටහනකට සරසවියට ආ ආචාර්ය වික්ටර් රත්නායක මහතා මුලින් ම කෙළේ මේ ගීතය රචනා කළ ආචාර්ය අජන්තා රණසිංහයන් සහ ඒ සංගීතවත් කළ ස්ටැන්ලි පීරිස් සංගීතවේදියාණන් ගෞරවයෙන් සිහිපත් කිරීම ය. පැහැදිලි ව ම යෞවන ප්‍රේමය හා බැඳුණු ගීතයක් වන මෙය ඒ ප්‍රේමය ළඟ පමණක් සිර නොකොට ඊටත් වඩා පෘථුල අර්ථයක රැඳවිය නොහැකි ද? ගඟුල් ඇයට පමණක් සීමා නොවී ඇය ඇති තැනට ඔහු ද කැඳවයි. මල් පොකුරු පොකුරු පිපිය යුත්තේ ඇය එන මග දෙපස පමණක් නොවේ. ඔහු එන මග දෙපස ද ඒ හා සමාන ව ම මල් පිපිය යුතු ය. මෙහි දී ගඟුල් ඔහු සහ ඇය යන වචන දෙක භාවිත කරන්නේ පෙම්වතා සහ පෙම්වතිය උදෙසා නොව සිය ආදරණීය ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් උදෙසා ය. මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ ජීවිතවල මල් පුබුදුවාලීම වෙනුවෙන් තමාට කළ හැකි උපරිම දෙය කළ යුතු ය. කඩහත වැව් ඉවුරේ නැවතී ගඟුල් අත රැඳි අත් ඔරලෝසුව දෙස බැලී ය. එහි දහවල් 1.35 ලෙස වෙලාව සටහන් ව තිබිණි. ඔහු ගණ සෙවණැති ගසක් යට හිඳ ගත්තේ තෙන්නකෝන් මහතා තමාට එන්නැ යි කී වෙලාවට ම එහි යාම වඩා සුදුසු නොවේ දැ යි සිතමිනි.

ගඟුල් සිය ජීවිතයේ මෙතෙක් දුර ආවේ මල් මාවතක නම් නොවේ. රළු ගල් මත සීරුවෙන් පා තබමිනි, ඔහු මේ ගමන ආවේ. එහි දී අන් බොහෝ දෙනාට සිදු වූ පරිදි ඔහුගේ ජීවිතය මත ද ගල් වැසි මෙන් ම මල් වැසි ඇද වැටිණි. මේ දෙවැසි දෙස ම උපේක්ෂාසහගත සිතක් තමා තුළ වර්ධනය වීමෙහි ලා බලපෑ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් සහ සමන් සිත්තරා යන තුඟු තුරු යුග්මය මේ මොහොතේත් ඔහු සිහිපත් කෙළේ අප්‍රමාණ ගෞරවයකිනි. ගල් වැසි හෙළුෑ චරිත කෙරෙහි ද මෛත්‍රීසහගත චිත්තයකින් අද වන විටත් ඔහුට බැලීමට හැකි වී තිබෙන සුප්‍රබල සාධකය වන්නේ ද එචරිත ද්වයෙන් ජීවිතයට උකහා ගත් ගුණාංග ය. ඔවුන් විෂයයෙහි කළ යුතු හොඳම උපහාර පූජාව වන්නේ ද එසේ උකහා ගත් සච්චරිතාංග සිය ශිෂ්‍ය පරපුරට උරුම කොට දීම ය.

යටකී චරිත ද්වය හැරුණු කොට තමාගේ ජීවිතය ආලෝකවත් කළ ගුරු තුරු රැසක් පිළිබඳ වන ආදරණීය මතකය අවදිවත් ම ගඟුල්ගේ සිත දිව ගියේ ඒ සුපසන් අතීතය වෙත යි. පළමු සහ දෙවන පන්තිය හා බැඳුණු ශිෂ්‍ය ජීවිතය අයත් ගංගොඩවිල ශ්‍රී රේවත යුගය පිළිබඳ කිසියම් මතකයක් තිබේ. ඒ මතකය අපැහැදිලි මුත් සුන්දර ය. දෙවනු ව තෙවන වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා උගත් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයේ දී මුණගැසුණු පේමා ධර්මදාස, මල්ලිකා රත්නායක, සුජාතා ජීවන්දර, වීරක්කොඩි, කරුණාරත්න, මැදවල, පෙරේරා, රන්මුතු, සුමනා, ගීතා, බන්දු, සුනීතා, සෝමා යන ගුරු උතුමියන් සහ  පසුව උසස් පෙළ සඳහා ගිය කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ හේමා විජේරත්න, සූරියආරච්චි, නවරත්න, අනුලා විජයරත්න මැණිකේ යන ගුරු උතුමියන් බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන ස්ත්‍රී රූප ආදර්ශ යි. එසේ ම විද්‍යාරාජයේ චන්ද්‍රසේන ගෝමස්,  විජේපාල පල්ලියගුරු, සුසිල් එදිරිසිංහ, සෝමසිරි, තෙන්නකෝන්, භුවනෙක බණ්ඩාර, සමරනායක යන උත්තම ගුරු කුලකය නියෝජනය කරන  ගුරු තාරකා ද කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ දී හමු වූ ව. පි. රාජපක්ෂ, රාජා සෝමරත්න, ආනන්ද දේවප්‍රිය, ප්‍රේමතිලක හඳපාන්ගොඩ, පියතිලක, සමරකෝන්, එම්. කේ. දයාරත්න, රෝලන්ඩ් අබේපාල බඳු චරිත ගුරු ජීවන චරණය පිළිබඳ වන පුරුෂ රූප ආදර්ශ යි.  

ගල් ඇතිරූ මාවතේ ඇවිද ආ පසු මල් පිපුණු උද්‍යානයට ඇතුළු විය හැකි බව කියා දුන්නෝ ඔවුහු‍ ය. මෙ උතුම් නාමාවලියට ඇතුළත් කළ යුතු තවත් නම් තිබේ. මේ සියලු ගුරු චරිත පිළිබඳ වන ආදරණීය ස්මරණ හදගැබට ගලා එද්දී මේ අතුරින් අද වන විට ජීවතුන් අතර නැති ඇතැම් ගුරු තාරකාවන් සිහි වී ගඟුල්ගේ දෑස් කඳුළින් තෙමී ගියේ ය. මේ අතර ගඟුල්ගේ මතකයට ආවේ යට කී චරිත අතුරින් රෝලන්ඩ් අබේපාල සහ අනුලා විජයරත්න මැණිකේ සොඳුරු ගුරු යුග්මය හා බැඳුණු සිදුවීම් කිහිපයකි.

එවක කොළඹ විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ රෝලන්ඩ් අබේපාල මහතා කොට්ටාව ආනන්දයේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ තද්යුගයේ විදුහල්පති ව සිටි දයා ගුණවර්ධන මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ය. උසස් පෙළ පන්ති දෙකකට සිංහල මෙන් ම ඉතිහාසය ද මැනැවින් ඉගැන්වූ ගුරුවරයා දේශපාලන හේතු මත අයුක්තිසහගත ලෙස මාරු කොට යැවීම නිසා ගඟුල්ලාට හොඳ ගුරුවරයෙක් අහිමි විය. සිංහල විෂය ඉගැන්වීම සඳහා සුදුසුකම් ඇති උපාධිධාරි ගුරුවරුන් කිහිප දෙනෙකු ම සිටියත් ඉතිහාසය සම්බන්ධ තත්ත්වය ඊට සපුරා වෙනස් විය.

වෙනත් විෂයයකට අදාළ ව ගෞරව උපාධියක් දිනා සිටි රෝලන්ඩ් අබේපාල මහතා ඉතිහාසය විෂයයට ගුරුවරයකු අහිමි වූ ගඟුල් ද ඉගෙන ගනිමින් සිටි පන්තියට ඉගැන්වීමට සිය කැමැත්ත පළ කෙළේ ය. පසුකාලීන ව ගඟුල් ඇතුළු බොහෝ ශිෂ්‍යයන්ගේ ජීවිතයේ සන්ධිස්ථානයක් බවට පත්වන ඒ ගුරුවරයා ඔවුන්ගේ ඇසුරට ලැබෙන්නේ ඒ ආකාරයට ය. ගඟුල්ගේ ශිෂ්‍ය ජීවන සමයේ දී ම ඔහු ලේඛකයකු ලෙස සමාජගත කෙළේ ද මේ ආදරණීය ගුරුවරයා ය. මේ මොහොතේ සිතුවම් පටක් මෙන් ඔහු අබිමුව මැවී ගියේ එකරුණ හා බැඳි සංසිද්ධි දාමය යි.

පුවත්පතකට දෙකකට කවියක් දෙකක් ලියා තිබුණත් එතෙක් මුද්‍රිත ප්‍රකාශනයකට කිසිදු ලිපියක් ලියා නොතිබූ ගඟුල්ට එවැන්නක් ලිවීම පිළිබඳ වන ප්‍රථම ආරාධනය ලැබෙන්නේ අබේපාල ගුරුතුමන් වෙතිනි. තමා විසින් ඉතිහාසය හදාරන උසස්පෙළ සිසුනට ලියන්නට දුන් නිබන්ධන පරීක්ෂා කිරීමෙන් පසු ඔහු පන්තියේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපිට ගඟුල්ගේ පිළිතුර අගය කෙළේ ය. එසේ ම අඩුපාඩු පෙන්වා දෙමින් සැම දෙනාට ම ලිවීමෙහි ඇති වැදගත්කම අවධාරණය කෙළේ ය. පාසල ඇරුණු පසු තමා හමු වන මෙන් ද ගඟුල්ට දැන්වීය.

පාසල ඇරුණු පසු ගඟුල් ගියේ ගුරු විවේකාගාරයට යි. ඒ වන විට ද ගුරුවර ගුරුවරියෝ කිහිප දෙනෙක් ම එහි රැඳී විවිධ කටයුතුවල නිරත ව සිටියහ. එහෙත් එතැන අබේපාල මහතා සිටියේ නැත. එළියට පැමිණි ගඟුල් දුටුවේ පාසලේ උණ ගස යට හිඳ තවත් ගුරුවරයකු සමග කතා කරමින් සිටි  රෝලන්ඩ් අබේපාල මහතා ය. ඈත දී ම ගඟුල් දුටු අබේපාල මහතා සිය අත වනා සංඥා කෙළේ එතැනට පැමිණීමට ය.

ඔය දිසා එන්නෙ අපේ අනාගත ලේඛකයෙක් තමයි. ”

උණ ගස දෙසට ඇවිද එද්දී ගඟුල්ට ඇසුණේ අබේපාල මහතා කෘෂිවිද්‍යාව උගන්වන දිසානායක ඇදුරුතුමන්ට තමන් ගැන පවසන වචන යි.

ඉස්කෝලෙයි විශ්වවිද්‍යාලෙයි එකට එකතු කරන්න පුළුවන් අබේල වගේ අය මෙහෙට ආපු එකේ එක හොඳක් තමයි මේ. මොකද අපිට වඩා අබේලට තමයි පුළුවන් මේ කොල්ලො කෙල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙන වෙන පාරවල් හදල දෙන්න, තමන්ගෙ තියෙන හිතවත්කං පාවිච්චි කරලා. ”

ගඟුල් පළමු ව කෙළේ මේ ගුරුවරුන් දෙදෙනාට වැඳ ආචාර කිරීම ය.

සර් ඉස්කෝලෙ ඇරිල සර්ව හම්බ වෙන්න කියල කිව්වනෙ.”

ඔයාට ගඟුල් හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා. මන් අපේ අනුලටත් කිව්ව ඒ ගැන.”

ඔහු අනුලා යැයි සඳහන් කෙළේ පසුකාලීන ව ගඟුල්ලාගේ ආදරණීය ගුරුවරියක බවට පත් වූ විශිෂ්ට සාහිත්‍යවේදිනියක ලෙස ද නමක් දිනාගත් අනුලා විජයරත්න මැණිකේ ගුරු උතුමිය ගැන ය.

ගඟුල්ට පොඩි ආරාධනයක් තියෙනව අපෙන්. ලංකාව පුරා ම බෙදල යවන අධ්‍යාපන පත්තරේකට මම උසස් පෙළ සිංහල ලිපිය ලියනවා. ඒ ලිපි එකතු කරලා පොතක් ගහන්න යි යන්නෙ. මගෙ ලිපිවලට අමතර ව අපේ අනුලගෙ ලිපි තුනකුත් ඒකෙ පළ වෙනවා. අනුලයි මායි කතා උනා ඒකට ඔයාගෙ ලිපියකුත් ඇතුළත් කරන්න.”

ඉතිං සර් ඒකට මන් ලියන්නෙ කොහොම ද? මාත් තාම උසස් පෙළ ශිෂ්‍යයෙක් විතරයිනෙ. ”

ඉතිං මොකක් ද ඒකෙ තියෙන වැරැද්ද? හරි නං උසස් පෙළ ළමයි ලියන ලිපිවලින් හොඳ ඒවා තෝරලා තමයි ඒකෙ දාන්න ඕන. ”

ඒ උනාට සර් කවියක් දෙකක් ලිව්වට මට අද්දැකීමක් නැහැනෙ ඔය වගෙ ලිපි ලියලා.”

වැඩ කරලම තමයි ගඟුල් අපි අද්දැකීම් ගන්න ඕන. මොකක් හරි දෙයකින් අද විශිෂ්ට තැනකට ගිය හැම කෙනෙක් ම ඒ දේ මුලින් ම පටන් ගත්ත දවසක් තියෙනවා. මේ තමයි ඔයාගෙ ලේඛන ජීවිතයේ ආරම්භය. වැඩි කතා ඕනෙ නැහැ, වැඩේ පටන් ගන්න. ”

කාව්‍ය නිර්මාණයක සාර්ථකත්වය උදෙසා වෙසෙසින් බලපාන සාධකය වන්නේ කවියා විසින් භාෂාව භාවිතයට ගනු ලබන ආකාරය යි.”

සුදුසු නිදසුන් ආශ්‍රයෙන් යථෝක්ත ප්‍රකාශය පිළිබඳ ව ඔබේ අදහස් දක්වන්න.

ඔන්න මාතෘකාව. ඔයාට සතියක් දෙනවා. ඒ කියන්නෙ අද සිකුරාදා. මට ලබන සිකුරාදා ලිපිය ඕනෙ. පැහැදිලි අත් අකුරෙන් ලියන්න. අපිට පුළුවන් ඒක ටයිප් කරව ගන්න.

ඒ උනාට සර්......” ගඟුල් මේ කාර්යය සඳහා තමන්ට ඇති නුසුදුසුකම් ගැන කීමට සැරසුණත් ඊට ඉඩක් ලැබුණේ අබේපාල ආචාර්යවරයාගෙන් නම් නොවේ.

ඒ උනාට මේ උනාට වචන වැඩක් නෑ. මට ඊළඟ සිකුරාදා වෙන කොට ලිපිය ඕනෙ. දැන් ඔයා යන්න.”

විභාගයක් උදෙසා  ලියැවුණු පොතකට ලිපියක් ලියූ  ලේඛකයා ම සිය සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමගින් ඒ පොත අධ්‍යයනය කරන විභාග අපේක්ෂකයා ද බවට පත්වීමේ දුර්ලභ සංසිද්ධිය ද මතු කරමිනි, ගඟුල් ලේඛකයකු බවට පත් වූයේ.

එසේ ම තමාගේ නිර්මාණ ජීවිතය ඔපවත් කළ තද් ආචාර්ය පත්නිය සම්බන්ධ සිදුවීමක් ද ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ භක්තිපූර්වක හැඟීමෙනි.

සිය දෙවන දාරක ප්‍රසූතිය සමීප ව තිබිය දීත් නිවාඩු යාමට හැකියාව තිබිය දීත් අනුලා ගුරුතුමිය දිනපතා පාසලට පැමිණියේ මෙසේ පවසමිනි.

මේ කොල්ලො කෙල්ලන්ගෙ උසස් පෙළ කට ළඟ තියෙද්දි මං කොහොම ද අනේ ගෙදෙට්ට වෙලා ඉන්නෙ.”

ඇය උසස් පෙළ කට ළඟ යැයි කීවේ එම විභාගයට සය මාසයකටත් වැඩි කාලයක් තිබිය දී ය. එගුරු ගෙදරට දෙවන දරු සම්පත ද තිලිණ කරමින් දියණියක් උපන්නා ය. ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා මෙන් ම ඇගෙන් උගත් නූගත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද මව සහ දියණිය බැලීමට ගියේ හමුවන කා සමගත් හෘදයංගම ලෙස සිනාසී කතා කරන මේ කාරුණික ගුරුවරිය පිළිබඳ ව සිය හදවත්වල පිළිසිඳි පසන් හැඟීම නිසා ම ය. දියණිය බිළිඳියක ව සිටියදී ම තවදුරටත් නිවාඩු තිබිය දී ඒ නිවාඩු අවලංගු කොට ගත් ඇය සේවයට පැමිණියා ය. තම දියණියට උපන් කිරෙන්, හැඳ සිටි හැට්ටය තෙත් වද්දී ඇය තම සිසු දරු දැරියනට ඉගැන්වීම පිළිබඳ වන උතුම් මෙහෙවරෙහි අඛණ්ඩ ව නිරත වූවා ය. අද දවසේත් ඇගෙන් උගත් අතීත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෑසට කඳුළු නංවන පහත සඳහන් ඉසොඳුරු පැදිය එගුරු සිත පිළිසිඳුණේ ද එවන් දවසක ය.

                  අම්මා නැත නුඹට ඉර ගල වැටෙන තුරු

                   මා වට කොට සිටිති සිප් කිරි උරන  දරු

                   උන් පුත හෙට දවස පිබිදෙන කැකුළු  බඳු

                   නුඹ සිහි වෙතත් මා උන් වෙත සිටිය යුතු”

එදා මව් කිරි අහිමි වූ සිඟිති දියණිය වත්මන කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස තරුණ ශිෂ්‍ය ප්‍රජාවට ඥාන සම්ප්‍රදානය කරයි.

සරසවියේ දී තමාට ඉගැන්වූ සහන් ආචාර්යවරයා, වරෙක සිය ගුරු තාරකාවන් සිහි කරමින් ලියා තිබූ එක් පැදියක් ගඟුල් මේ මොහොතේ සිහිපත් කෙළේ එය ම තමාගේත් ගුරු ස්මරණය නොවේ ද යන බැතිබර හැඟීමෙන් යුතු ව ය.

           “ වදනින් කියා නොම හෙන ගුණ රැස  දරනා

                ගුරු සල් මල් සිහි ව ඇස කඳුලැලි නැඟුණා

                සල් මල් සුවඳ විහිදී  යන  ලෙස    දැනුණා

                මුළු දිවියට ම එසුවඳ  ඇති   මට   හැඟුණා ”

දන්නැතුවම වෙලාවත් ගත වෙලා.”

පස්වරු දෙකට විනාඩි පහක් තිබිය දී ගඟුල් හුන් තැනින් නැඟී සිටියේ තෙන්නකෝන් ඇදුරුතුමන් හමුවීමට යනු පිණිස ය.

ගඟුල් යන විට තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපස ආලින්දයේ අසුනකට වී වැව දෙස බලා සිටියේ ය. ඒ වියපත් පසන් මිනිසාගේ බාහිර ස්වරූපය පවා ඔහුගේ අභ්‍යන්තරය ප්‍රකාශයට පත් කරන කැඩපතක් නොවේ දැ යි ගඟුල්ට සිතිණ. සිංහල විශේෂ උපාධිය හදාරන ශිෂ්‍යයන් විසින් අනිවාර්යයෙන් හැදෑරිය යුතු භාෂාන්තර ඥානය පාඨමාලාවට අදාළ ව යම් යම් කරුණු දැනගැන්ම උදෙසා භාෂා අධ්‍යයනාංශයේ සහන් ආචාර්යතුමන් හමුවීමට ගිය මොහොතක ඔහු පළ කළ අදහසක් සහ එය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ සිංහල කවියත් රාමායණ පාඨයත් ගඟුල්ට සිහිපත් වූයේ තෙන්නකෝන් ඇදුරුතුමන්ගේ හද පහන් කරවන රූපකාය දෙස බලා සිටින විට ය.

"සමහර මිනිස්සු ඉන්නව ගඟුල් ඒ මිනිස්සුන්ගෙ මුහුණ දිහා බැලුවහම හදවත පේන. මට එහෙම චරිත අතළොස්සක් දකින්න ඇසුරු කරන්න ලැබිල තියෙනව. ඒ චරිත දැකපු නිසාම මේ චරිත කියල හිතාගෙන ඉන්න ගොඩාක් චරිත චරිත නොවන බවත් මට තේරිල තියෙනව."

හරි ලස්සන කවියක් ලියැවෙනව දවසකදි පී.බී.අල්විස් පෙරේරා කවියා අතින් විමලරත්න කුමාරගම කවියා ගැන. මේ දෙන්නා අතර බොහොම ලොකු කල්‍යාණ මිත්‍රත්වයක් තිබුණා. මේ කවිය අල්විස් පෙරේරා ලියන්නෙ කුමාරගමගෙ දේහය ඉදිරිපිට ඉදගෙන. එදා එයත් එක්කම ළඟ හිටපු දෙන්න තමයි ආරියවංශ පතිරාජ කවියා සහ කුලරත්න බුලත්ගම කවියා. දැන් මේ අය අතරින් ජීවමාන ව ඉන්නෙ බුලත්ගම කවිය විතරයි. එතුමාටත් දැන් අවුරුදු අනූවකට වැඩියි. මට මේ සිද්ධිය විස්තර කළෙත් එතුමා. එවකට බොහොම තරුණ වයසෙ හිටපු බුලත්ගම කවියගෙන් කොළයක් ඉල්ල ගෙන අල්විස් පෙරේරා මෙහෙම ලියල තියෙනවා.”

           පියා ගත් යුග නෙත - තුළ ඇත සදා            නිදිමත

            හිමකඳකි ඇඟපත - එහෙත් මුහුණේ තිබුණි හදවත

ගඟුල් අපි අහල කියවල තියෙන කුමාරගම කියන්නෙ මූණේ හදවත ලියැවිලා තිබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්.”

සර් දවසක් සංස්කෘත සහතිකපත්‍ර පන්තියෙදි ඔය කාරණේට තරමක් දුරට සමාන අදහසක් තියෙන ශ්ලෝකයක් කිව්ව නේද?

ඔව් ගඟුල්, රාමායණේ බාල කාණ්ඩෙ තියෙනව එක ඍෂිවරයෙක් ගැන කියද්දි මෙහෙම අදහසක්.

          අකර්දමමිදං තීර්ථං - භරද්ද්වාජ නිශාමය

          රමණීයං ප්‍රසන්නාම්බු -  සන් මනුෂ්‍යමනෝ යථා

භරද්ද්වාජ අහන්න, මේ තොටුපොල මඩින් තොර යි. රමණීය ප්‍රසන්න ජලය යි මේකෙ තියෙන්නෙ. හරියට සත්පුරුෂයෙක්ගෙ මනස වගෙයි.

බලන්න ගඟුල්, කොච්චර ලස්සන අදහසක් ද කියල මේක.”

ඒ අතීත ස්මරණය රැඳි හදැති ගඟුල්, වැව දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටින, මුහුණේ හදවත ලියැවි, පිරිසිදු ජලය බඳු සිය වැඩිහිටි ගුරු සහෘදයා දෙස මොහොතක් නිහඬ ව බලා සිටියේ ය. අනතුරුව සිය කටහඬ අවදි කෙළේ ය.

ආයුබෝවන් සර්, සර් වැව දිහා බලාගෙන භාවනා කරනව වගෙයි මට දැනුණේ.”

ආ ගඟුල්නෙ. මේ වැව දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ. මේක ජීවිතය අවබෝධ කර ගන්න කැමති කාට උනත් හොද කමටහනක් තමයි. මට නං ගඟුල් වැව කියන්නෙ මහ ඉතිහාසයකට. මට මේ වැව දිහා බලන් ඉන්න කොට ඈත අතීතය පේන්න ගන්නව ගඟුල්.”

කොහොම ද හොඳ ප්‍රකාශ ටිකක් හොයා ගත්ත ද අපේ වැඩේට. අපේ මිහිදිනීත් ඒවි රේණුත් එක්ක මෙහෙට තුනෙන් පස්සෙ. දෙන්න එක්ක එකේ ඉදන් තුන වෙනකං ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා.”

ඒ කිව්වෙ සර් පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් ද?”

ඔව් පන්තියක් නං තමයි ඒ උනාට ගාස්තු අය කිරීමක් නැහැ. ඒක නිසා ඒකට ප්‍රයිවෙට් ටියුෂන් පන්තියක් කියන නම ගැළපෙන්නෙ නැහැ. හුඟක් දවස්වලට මේ ළමයින්ට කන්නත් දීලයි යවන්නෙ.”

හරි වටින වැඩක්නෙ සර් ඒක.”

ඔව් හරිම වටින වැඩක් තමයි ඒක. ඒ උනාට මේකෙ සමහර දෙනාට ඒව පිස්සු වැඩ. ගඟුල්, ඔය රේණු ගොඩක් දේපල තියෙන පවුලක ළමයෙක්. මීට අවුරුදු තුනකට විතර ඉස්සර දවසක තමයි මෙහෙට ආවේ. මට මතකයි අද වගේ, ඒ ළමය ආපු පළවෙනි දවසත්.

ඒ වගෙම එදා මටත් අමතක නොවෙන දවසක් උනේ මේ රේණු ළමය කටයුතු කරපු විදිහ ම තම යි. එදා එයාගෙ අම්ම තාත්තත් අය්යත් නංගිත් එයාව ඇරලවන්න ඇවිත් හිටියා. තමන්ගෙ දුව නවත්තන්න වෙලා තියෙන පරිසරය ගැන, ඉස්කෝලෙ ස්වරූපෙ ගැන අම්මගෙ නං කැමැත්තක් තිබුණේ ම නැහැ. තාත්තා අඩු කතාකාරයෙක්. වචනයෙන් නොකිව්වට දුවට නාගොල්ලාගම වගේ පිටිසර පළාතකට එන්න සිද්ධ වීම ගැන තියෙන අප්‍රසාදය එයාගෙ මූණෙත් ලියවිලා තිබුණා. අය්යගෙ අපි දැක්කෙ නංගිගෙ කැමත්තට ඉඩ දෙන ගතියක්. රේණුගෙ නංගිට තිබ්බෙ මේ අලුත් පරිසරය ගැන කුතුහලයක්.”

බැලුවහම සර්නෙ එතන ඉඳලා තියෙන හොඳම නිරීක්ෂකයා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

නැහැ ගඟුල්, ඒ සහතිකය දෙන්න ඕනෙ අපේ විදුහල්පතිතුමාට යි. රේණුගෙ අම්ම කේන්තියෙන් වගේ කතා කරද්දිත් විදුහල්පතිතුමා කේන්ති ගත්තෙ නෑ. රේණුගෙ අය්යා ඉගෙන ගත්ත හොඳ මිනිහෙක්. එයා උපදිසාපති කෙනෙක්. අම්ම කෝ මේ ඉස්කෝලෙවත් කිසිම පහසුකමක් තියෙන පාටක් නැහැනෙ කියල කියද්දි මේ උපදිසාපතිතුමා කිව්වෙ ඉතින් අම්මෙ මන් වැඩ කරන පළාතත් මේ වගේනෙ. මන් හිතන්නෙ මීටත් වඩා අමාරුයි එහෙ ජීවිතේ කියල කියද්දි මේ අම්මට තවත් කේන්ති ගියා.”

ලොකු පුතේ ඔයත් මන් කියන දේ අහන්නැතිව කැලෑවකට ගියේ සේවෙ කරන්න කියලා. ඔයාගෙ ඔය වචන නිසා මෙයත් ලෑස්ති වෙයි මේ කැලෑ පැත්තෙ නවතින්න. මේ ළමයින්ගෙ තාත්තට කොච්චර දේශපාලන සම්බන්ධකං තියෙනව ද? ඒ උනාට ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න මෙයාට ඕනෙත් නෑ තාත්තට ඕනැකමකුත් නැහැ. දැන් මට බය මෙයාගෙ නංගිත් අය්යගෙයි අක්කගෙයි අඩි පාරෙ ම යයි ද කියලා”

මන් නං කැමතියි අම්මෙ මෙහෙ වැඩ කරන්න. මගෙ නං හිතට ඇල්ලුවා.”

හිතට ඇල්ලුව ද හොඳට”

ඇය ඒ වචන නැවත උච්චාරණය කෙළේ උපහාසයෙනි. එසේ ම කෝපයෙනි.

ඈ ලොකු දුව ඔයා මෙච්චර මහන්සි වෙලා ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගත්තෙ, ඒකට ම උපාධියත් ගත්තෙ මේ ගොඩේ පළාතකට වෙලා ජීවිතේ නාස්ති කර ගන්න ද? මන් හිතන්නෑ ජගත් පුතා ඔයාගෙ මේ මෝඩ තීරණේට එකග වෙයි කියලා.”

ඉතිං අම්මෙ එයාගෙ කැමැත්ත හරි අකැමැත්ත හරි මට මොකට ද? මන් කැමති මේ වගෙ පළාතකට වෙලා මේ අහිංසක ළමයින්ට මන් දන්න දෙයක් කියල දෙන්න.”

අනේ මන්දා විදුහල්පතිතුමා, ඔබතුමාවත් වැඩිහිටියෙක් හැටියට මෙයාට අවවාද කරන්ඩකො මෝඩ තීරණ ගන්නැතිව වැඩක් කරන්න පුළුවන් තැනකට යන්න කියලා. මොකද ලොකු සර් මෙයා කරපු සබ්ජෙක්ට් එකේ හැටියට මෙයාට ලේසියෙන් ම පුළුවන් කොළඹ ඉස්කෝලෙක උනත් පත්වීමක් ගන්න.”

කෝ අම්ම ම කතා කරනව මිසක් මේ ලොකු සර්ට කතා කරන්න ඉඩක් දුන්නෙ ම නැහැනෙ.”

එසේ කීවේ රේණුගේ සොහොයුරා ය.

නෑ දිසාපතිතුමා, අම්මට කතා කරන්න ඉඩ දෙන්න. මන් දන්නව අම්ම කෙනෙක්ගෙ වේදනාව. මේ තරහට කතා කරනව නෙමෙයිනෙ. මමත් මගෙ මුල්ම පත්වීමට ඈත පළාතකට තමයි යන්නෙ කියල දැන ගත්ත මොහොතෙ අපේ අම්ම හැසුරුණෙත් මෙයිට වඩා වෙනස් විදිහකට නෙමෙයි. අම්මා කෙනෙක් කියන්නෙ දරුවන්ට වැඩිම ආදරේ ඇති කෙනා. තාත්තල ආදරේ නැහැ කියනව නෙමෙයි. අම්මලගේ ආදරේ හැටි මම අද්දැකීමෙන් ම දන්න නිස යි මෙහෙම කියන්නෙ.”

සර් මේ අන්තිම කාරණේ කිව්වෙ මොකක් හරි විශේෂ හේතුවක් නිසා ද?”

තරුණ දිසාපතිවරයා එසේ ඇසුවේ කතා කළ වචන කිහිපයෙන් ම තමා තුළ පසන් හැඟුම් ජනිත කරවීමට සමත් වූ විදුහල්පතිතුමන් පිළිබඳ වන ගෞරවපූර්වක හැඟීමත් සමග ය.

මම අනුරාධපුරේ, පොළොන්නරුවෙ, බදුල්ලෙ, අම්පාරේ ඉස්කෝලවල උප ගුරුවරයෙක් විදිහට වැඩ කරල තියෙනවා. ඒ වගෙ ම ඉස්කෝල තුනක මීට කලින් විදුහල්පති විදිහට වැඩ කරල තියෙනවා. ග්‍රාමීය - නාගරික පරිසර දෙකේ ම ලබපු අද්දැකීම් අනුව අම්මල තමයි ළමයි ගැන හොයන්න වැඩියෙන් ම ඉස්කෝලෙට ආවෙ. තාත්තලට හැමදාම හේතුවක් තිබුණ නොඑන්න. කලාතුරකින් ඉරිදාවකට යොදා ගන්න ගුරු දෙගුරු රැස්වීමට ආවෙත් අම්මලම තමයි. තාත්තල ඒකට නොඑන හේතුව තමයි මුළු සතියෙ ම වැඩ කරල වැඩ කරල ලැබෙන එකම නිවාඩු දවස නැති කර ගන්න බෑ කියන තර්කය. හැබැයි එකම දවසක් වත් නිවාඩු නැතුව ගෙදර වැඩ ඔක්කොමත් කරන, ජීවත් වෙන්න පොඩි පොඩි රස්සාවලත් යෙදෙන අම්මල, දරුවො වෙනුවෙන් ආවා මිස අර වගෙ තර්ක ගෙනල්ලා එන්නැතිව හිටියෙ නෑ. මේ නිසා තමයි දිසාපතිතුමා, මන් කිව්වෙ අම්මලගෙ කැක්කුම ගැන මට තේරෙනව කියලා. මේ රේණු ටීචර්ගෙ අම්ම කියන්නෙත් ඒ වගෙම තවත් අම්ම කෙනෙකුට. ඒ නිසා අපි අම්මට කතා කරන්න දෙමු.”

ඒ වන විට රේණුගේ මව කිසියම් සන්සුන් බවකට පත් ව සිටියා ය. විදුහල්පතිවරයා පළ කළ අදහස් ද ඔහුගේ සන්සුන් ස්වරූපය ද ඇය තුළ කිසියම් නිවීමක් ඇති කිරීමට සමත් වූ බව පෙනිණ.

විදුහල්පතිතුමා මේ ළමයට පහසුකම් ඇති නවාතැනක් හොයා ගන්න පුළුවන් වෙයි ද මේ පැත්තෙන්.”

අම්මාගේ මේ වචන ඇසූ දිසාපතිවරයාට සිනහ ගියේ ය.

මොකෝ ලොකු පුතා ඔයා හිනා වෙන්නෙ මන් වැරදි දෙයක් කිව්ව ද මෙතන හිනා වෙන්න.”

අනේ නෑ අම්මෙ, ලොකු නංගිව නවත්තන්න බෑ කියල තදින් ම විරුද්ධ වෙච්ච අම්ම ම දැන් නංගිට නවාතැන් හොයන්න ලෑස්ති වෙච්ච නිස යි මට හිනා ගියේ.”

මොකෝ මන් විරුද්ධ උනා කියල මෙයා එයාගෙ තීරණේ වෙනස් කරන්නැහැනෙ. ඒක හින්දා ඊළඟට කරන්න තියෙන දේවල් ගැන හොයල බලනව මිසක් වෙන මොකක් කරන්න ද මට කියන්නෙ?”

මට හරි සතුටුයි, තමන්ගෙ දරුවන් ගැන මේ තරන්  හොයල බලන එක ගැන. දුවගෙ නවාතැනේ වගකීම මට බාර දෙන්න. අවශ්‍ය මූලික පහසුකම් තියෙන, ලොකු ගෙයක් නොවුණට ලොකු හිතක් තියෙන මිනිස්සු ඉන්න ගෙදරක් දුවට හොයලා දෙනව කියල මම පොරොන්දු වෙනවා. ඔබතුමියට ඒ වගේම මන් පොරොන්දු වෙනව මේ අම්ම තාත්තගෙ හිස්තැන පුරවන්න මට බැරි උනත් මෙහෙ දි මේ දරුවව මගේ ම දුවක් හැටියට බලා ගන්නවා කියලා.”

විදුහල්පතිවරයාගේ වචන ඇසීමත් සමග රේණුගේ දෑසට කඳුළු නැඟිණි. වහා තමා හිඳ සිටි අසුනින් නැඟී සිටි ඇය විදුහල්පතිතුමන් ළඟට ගොස් ඔහුට දණ ගසා වැන්දා ය.

වචනයකුදු කතා නොකළ විදුහල්පතිවරයා ඉමහත් ආදරයකින් ඇගේ හිස පිරිමැද්දේ ඇය තමාගේ ම දියණියක ලෙස බාර ගැනීම පිළිබඳ වන සන්නිවේදනය ඒ මොහොතේ එතැන සිටි සියලු ම දෙනාගේ හදවතේ ගැඹුරු ම තැනට ගෙන යමිනි.

කියන්න ගඟුල් ඒ වෙලාවෙ මගෙ ඇස්වලටත් කඳුළු ආවා.”

තෙන්නකෝන් මහතා ඒ වදන් පැවසුවේ හැඟීම්බර ව ය.

මන් සර් රේණු මිස් ගැන අහල තිබුණා ඒ උනාට තාම එක දවසක් වත් දැකලා කතා කරන්න ලැබුණෙ නැහැ. මිහිදිනී මිසුත් එහෙම යි.”

අද ඔයාට ඒ දෙන්නම හම්බ වෙනවනෙ මෙහෙ දි. මම අහපු කතාවක් තියෙනව ගඟුල්, පිරිමියකුට තමන් පිරිමියෙක් කියල වැටහෙන්නෙ හරි ගැහැනියක් ළඟින් හිට ගත්තම කියලා. ඒ වගෙම තමයි ගඟුල් ගැහැනියකට තමන්ගෙ ගැහැණුකමේ තියෙන හැබෑ අර්ථය දැනෙන්න ගන්නෙ හැබෑ පිරිමියෙක් ළඟින් හිට ගත්තමයි කියලා. ඇත්තට ම ගඟුල් මට මේ කෙල්ලො දෙන්න ගැන ම තියෙන්නෙ ලොකු ආදරයක්, ඒ වගේ ම ගෞරවයක්.”

දැන් ගඟුල්ගේ සිතෙහි ඇති ව ඇත්තේ ද මේ කාන්තා යුග්මය දැක කතා බස් කිරීමෙහි ලා වන අභිරුචියකි. විශේෂයෙන් තෙන්නකෝන් මහතා බඳු සාවබෝධී මිනිසකුගේ හද පහන් කළ චරිත යුග්මයක් දැක ගැනීමෙහි ලා වන ප්‍රසාදජනක කැමැත්තකි.

සර්. මම ඉස්කෝලෙ තැනින් තැන ගහන්න ප්‍රකාශ කීපයක් අරන් ආවා.”

අපි ඒවා ගඟුල් බලමු ද, අපේ කෙල්ලො දෙන්නත් ආවට පස්සෙ. අපි දැන්  ඔක්කොට ම ඉස්සෙල්ල තේකක් බීල ඉමු ද ? නීලා අපිට අලුත් යාළුවෙක් ඇවිල්ල. ඔයත් එන්ඩකො මෙහෙට එයාව අඳුන්නල දෙන්න.”

තෙන්නකෝන් මහතා මේ කතා කෙළේ සිය බිරිඳට ය. ඊට ප්‍රතිචාර දක්වමින් නිවසේ ආලින්දයට පැමිණියේ මැදිවියේ ප්‍රසන්න කාන්තාවකි.

කෝ බලන්න අපේ මහත්තයගෙ අලුත් යාලුවා.”

එසේ සිනාසෙමින් පැවසුවේ තෙන්නකෝන් මහාත්මිය යි.

මේ තමයි නීලා අපේ ඉස්කෝලෙට අලුතින් ම ආපු සර්. සිංහල ගෞරව උපාධිධාරියෙක්. මේ පළවෙනි පත්වීම. අපේ ලොකු සර්රුත් ලොකු පැහැදීමකින් තමයි මාත් එක්ක මේ ගඟුල් ගැන කතා කළේ.”

හරි සතුටු යි පුතා, ඔයාව අඳුන ගන්න ලැබිච්ච එක. විශේෂයෙන් සාහිත්‍යය කරපු කෙනෙකුට මේ දරුවන්ට විතරක් නෙමෙයි ලෝකෙට ම ගොඩක් දේවල් දෙන්න පුළුවන්. මේ පුතාගෙ දැන් වයස කීය ද? මට පේන හැටියට විසි පහක් විසි හයක් විතර ඇති.”

ඔව් මැඩම් හිතුව හරි. දැන් මට විසි පහ යි.”

අපේ පුතාට වඩා අවුරුදු දෙකක් බාල යි එහෙනං මේ පුතා.”

ඉතින් සර් මං ගැන විස්තර කිව්වට අපේ මැඩම් ගැන විස්තර කිව්වෙ නැහැනෙ මට. එතුමිය ගුරුවරියක් බව නං මන් දන්නවා.”

ආ ඒ ටික මන් කියන්නං. මෙතුමිය නීලා දසනායක. දැන් නීලා තෙන්නකෝන්. ඒ උනාට පරපුරේ වාසගමත් අත් ඇරියෙ නෑ. දැන් එයා පාවිච්චි කරන්නෙ නීලා දසනායක තෙන්නකෝන්. විෂය සංගීතය. උගන්නන්නෙ ඇල්ලෙ ගජනැග්ගම ඉස්කෝලෙ. ගෙදරට වඩා මෙයාගෙ ජීවිතේ ගත වෙන්නෙ ඉස්කෝලෙ. මෙයා ඒ ළමයින්ටත්, ඒ ළමයි මෙයාටත් පණ ඇරල යි ඉන්නෙ. මගෙ ඉතිහාසෙට වඩා අපේ දුවට යි පුතාට යි පිහිටියෙ අම්මගෙ කලාව.”

අම්මෝ ඔයාගෙ මේ විස්තරේ මේ දරුව කොහොම මතක තියා ගන්න ද?”

තෙන්නකෝන් මහත්මිය ඒ වචන පැවසුවේ ද සුපුරුදු සිනහවෙන් බැහැර නොවෙමිනි.

මේ දරුවට මහන්සිත් ඇති. ඉන්නකො මන් තේ ටිකක් හදාගෙන එන්න.හැබැයි මේ ගෙදර මට වඩා රසට තේ හදන්නෙ නං...”

මෙසේ කියා ඇය සිනාසෙමින් බැලුවේ සිය සැමියා දෙස ය.

නෑ මැඩම් අපි තව ටිකකින් ම තේ බොමු. අපේ මිස්ලා දෙන්නෙකුත් එනවනෙ තව ටිකකින්.”

මිස්ලා කිව්වෙ අපේ කෙල්ලො දෙන්න නේද අපේ මහත්තය. මන් දන්නව ඒ ගොල්ලො මෙහෙ එනව කියලා. අපි දෙන්නගෙ ගෝලයන්ට මෙහෙ ගෙදර වගෙ. කොල්ලො කෙල්ලො ටික ආපු ගමන් ඉස්සෙල්ල ම කරන්නෙ අපිට කුස්සිය තහනං කරන එක. මට කුස්සි කාමරේට ගියොත්, අවසර තියෙන්නෙ එතන තියෙන පුටුවක ඉඳගෙන බලන් ඉන්න විතරයි. මේ දෙන්නත් එහෙමයි. හිටපු ගමන් දෙන්න එක්ක ඉරිදා දවසක එනවා. එදාට උයන්නෙ පිහින්නෙ, තේ හදන්නෙ මේ කෙල්ලො දෙන්න තම යි. හරිම ආදරේ හිතෙන ළමයි දෙන්නෙක් පුතා. අපේ ළමයි දෙන්නත් හරි කැමති යි මේ දෙන්නට.”

දුව යි පුත යි ගෙදර නැද්ද මැඩම් අද.”

නෑ පුතා අපේ පුතා දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙ උගන්නනවා, දුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ. එයා නැටුම් කරන්නෙ.”

මේ දවස්වල එහෙනං දුව ඇත්තෙ විශ්වවිද්‍යාලෙ. පුතා මැඩම් සංගීත අංශෙ ද චිත්‍ර මූර්ති අංශෙ ද ?”

ගඟුල් ඇසුවේ දැඩි උනන්දුවකිනි.

එයා පුතා චිත්‍ර මූර්ති අංශෙ.”

තෙන්නකෝන් මහත්මිය පිළිතුරු දුන්නා ය.

ඒ කියන්නෙ මැඩම් මුළු ලලිත කලාව ම මේ ගෙදර තියෙනවා.”

එසේ පැවසුවේ ගඟුල් ය.

ඇය නැවත සිය කතාව ආරම්භ කළා ය.

අපේ කාලෙට වඩා එක පැත්තකින් ගත්තහ ම එතන ගොඩක් දියුණු වෙලා. දැන් අධ්‍යයනාංශ ගොඩක් තියෙන පීඨයක් වෙලා. සම්භාව්‍ය කලාව වගේ ම කොමර්ෂල් ආට් පැත්තට යොමුවකුත් තියෙනවා දැන්. ඒක හොඳ ද නරක ද කියන්න මන් දන්නෙ නැහැ. ඒත් කාල පරිණාමයත් එක්ක සිද්ද වෙන මේ දේවල් වළක්වන්න අපට බැහැ.”

මැඩම් සෞන්දර්යෙ ආදි ශිෂ්‍යාවක් ද?”

ඔව් පුතා, මන් ඉගෙන ගත්තෙත් එතන. අපේ කාලෙ ඒක සෞන්දර්ය අධ්‍යයන ආයතනය. කැලණිය විශ්වවිද්‍යාලෙට අනුබද්ධ ව යි තිබුණේ. ඒක නිසා වෙන්න ඇති සෞන්දර්යෙ ඉගෙන ගත්ත මට කැලණි විශ්වවිද්‍යාලෙ ආදි විද්‍යාර්ථියෙක් ම පස්සෙ කාලෙක දි අනුබද්ධ උනේ.”

ඇය මේ වචන ටික පැවසුවේ සිය සැමියා දෙස බලමින් සිනාසෙමිනි. මේ මොහොතේ තෙන්නකෝන් මහතා ද සිනහමුසු ව සිය බිරිඳ සහ ගඟුල් අතර ඇතිවන සංවාදයට සවන් දෙමින් සිටියේ ය.

ඒ වන විට රේණුකා - මිහිදිනී යන ගුරුවරියෝ දෙදෙන තෙන්නකෝන් නිවහන දෙසට එමින් සිටියහ. සුදෝසුදු උඩුකය ඇඳුමක් සහ සුදෝසුදු දිගු සායන්ගෙන් සැරසී සිටි ඒ දෙදෙනා දිස්වූයේ ඉරිදා දහම් පාසල වෙතට යන දැරියන් දෙදෙනකු මෙනි. ඒ දෙදෙනා  නිවහන වෙතට ළංවන විට තෙන්නකෝන් මහතා සිය බිරිඳ දෙසට හැරී මෙසේ පැවසීය.

නීලා, අන්න අර දෙන්නා එනවා. ඔයාට කුස්සිය පැත්තට ගිහින් එන්නහෙම ආසාවක් තියෙනවනං දැන් ම ගිහින් එන්න.”

ආ මගෙ කෙල්ලො දෙන්න එනව ද? අද ඒ ළමයි ඔයගොල්ලොත් එක්ක වැඩකටනෙ එන්නෙ. ඒක නිසා ඒ ගොල්ලො ඒ වැඩවලට අරන් හරි යන්නෙ නැහැනෙ. හරි ගියා නැතා ඒ දෙන්න ම තම යි තීරණය කරන්නෙ තමන් මොනවද කරන්නෙ කියලා.”

මේ ළමයින්ට පාර වැරදිලා මන් හිතන්නෙ. ළමයිනෙ දහම් පාසලට යන්න තියෙන්නෙ අනික් පාරෙන්. අනිත් එක මේ වෙලාවට කොයින් ද දහම් පාසල්.”

ඒ වන විට සිය නිවහන වෙත ළඟාවෙමින් සිටි තරුණ ගුරුවරියන් දෙදෙනා අමතා එසේ පැවසුවේ තෙන්නකෝන් මහතා ය.

නෑ නෑ අපිට කිසිම වැරදීමක් වෙලා නැහැ. මේක තමයි අපේ දහම් පාසල. මේ ඉන්නෙ අපේ දහම් පාසලේ සර්රුයි ටීච යි දෙන්නත්.”

නැන්දේ අපි ආවා.”

මිහිදිනී ගෙට ගොඩ වූයේ එසේ කියාගෙන ය.

නැන්දේ, මොනව ද අපිට කන්න තියෙන්නෙ.”

ඒ රේණු ය.

රේණු අක්කෙ අර අලුත් සර්රුත් ඉන්නවා. දැන් ඒ සර් හිතයි අපි මහ පෙරේත කෙල්ලො දෙන්නෙක් කියලා.”

හිතන්න දෙයක් නැහැ ඒක තම යි ඇත්ත. නංගි, උඹ කෙසේ වෙතත් මේ මුළු නාගොල්ලගම හැම ගෙදරක් ම හැම ගහක් කොළයක් ම දන්නව මේ රේණුගෙ ආහාර රුචිය ගැන.”

ඔයගොල්ල දෙන්න ගැන මේ අලුත් සර් දන්නවා. ඒත් තාම කතා කරන්න නං ඉඩක් උදා උනේ නැහැ කිව්ව.”

තෙන්නකෝන් සර් මොනව ද දන්නෙ නැහැ මේ සර් අපි ගැන දන්නෙ. අපිත් දන්නව මේ ගඟුල් සර් බව. අපිට අතුල සර් කිව්ව  අලුතින් එන අයට අනිවාර්ය, සිල්වා මැඩම්ගෙ ලෙක්චර් එක මේ සර්ටත් අහන්න උනා කියලා. එහෙනං අපි ගැන හොඳක් නං වෙන්න බැහැ අහන්න ඇත්තෙ.”

අනේ නැහැ, ඒ මැඩම් කවුරු ගැනවත් වරදක් කිව්වෙ නැහැ රේණු මිස්.”

ආ ඇත්ත ද හරි පුදුම යි. ඒ මැඩම් කාගෙවත් වැරැද්දක් කිව්වෙ නැද්ද? එහෙනං එතුමියගෙ පුදුමාකාර වෙනසක් සිද්ද වෙලා තියෙනවනෙ තෙන්නකෝන් සර්.”

ඒ උනාට ඔය දෙන්න ගැන ම හොඳට විස්තර කිව්ව අපේ තෙන්නකෝන් සර්රුයි මැඩමුයි.”

අන්න දැක්ක ද අපේ සර්රුයි මේ නැන්දයි හොඳට ම දන්නව අපි දෙන්නගෙ වටිනාකම. හොඳයි ගඟුල් මොනව ද ඒ ගොල්ලො අපි ගැන කිව්වෙ.”

කිව්වෙ ද? ඒ දෙන්න ගැන නං කතා කරලා වැඩක් නෑ කිව්ව. ආවැයින් ආවෙ නෑ කිව්ව නාගොල්ලගමට ඒ වගෙ එපා කරපු කෙල්ලො දෙන්නෙක්. අම්මෝ! තව කියපුව මට කියන්නත් ලැජ්ජ යි. දැනුත් මේ ඇඟ හිරි වැටෙනව ඒ කියපුව මතක් වෙන කොට.”

ගඟුල් අභිනයෙන් කියා පෑවේ මහත් බියකට පත් වූ ස්වභාවයකි.

මල්ලි උඹ නං අපිට ම හරි යන එකෙක්. දාපන් නංගි මෙයත් එක්ක සාකච්ඡාවක් සාහිත්යෙන් ම. උඹ ඉංග්‍රීසි, මෙයා සිංහල. මරු. අපි අහන් ඉන්නං. නැද්ද සර් නැද්ද මැඩම්. ”

රේණු ඒ වචන පැවසුවේ මිහිදිනී දෙස බලමිනි.

තෙන්නකෝන් යුවළ සිනාසෙමින් ආදරණීය ලෙස නිහඬ ව බලා සිටියා මිස එයට පිළිතුරු දීමට ගියේ නැත. නීලා මහත්මිය මුළුතැන් ගෙය දෙසට යාමට සැරසුණත් ගඟුල් දුටුවේ ඇය නැවත හුන් පුටුවේ ම හිඳුවා තරුණ ගුරු මෙණෙවියන් දෙදෙනා කුඩා දැරියන් දෙදෙනකු සේ මුළුතැන්ගෙය දෙසට දිව යන ආකාරය යි.

5 comments:

  1. අපට අහිමි කළ සාර ලේඛන වේදය

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කාලෙකින් මේ පැත්ත ට ආවේ. නවකතාවක් ලියවෙනවා දකින්න තියන එක හොඳයි. මුල ඉඳන් කියවගෙන එන්නම්කෝ..

    ReplyDelete