Sunday, February 7, 2016

21. ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ

මුදලට පළමු තැන දෙන දැනුම නොවඩන
පතපොත අතර නැති සිත නිසරු බොහො දෙන
අතරෙහි දකිමි මම ඔබ නිතර සතුටින
ගුරු පදවියට ඔබ දුන් එළිය යස ගුණ
(සරත් විජේසූරිය-ආදරණීය දරුවනි පොතේ පිදුමෙන්)

හැම ගුරු මවක් ගැන ම පියෙකු ගැන ම එලෙස //සතුටින්// කතා කළ නොහැකිය.සතුටින් බැතිබර ව සිහිපත් කළ හැකි ගතිගුණ හැම ගුරුවරයෙක් වෙත ම නොපිහිටයි.හරිහමන් ගුරුවරයෙකු විය නොහැකි නම් සිසුන්ට ඉදගැන්මට පුටු තනන වඩුවකු වන්නැයි ආචාර්ය අදිකාරම්තුමා වරෙක පවසා තිබේ.මම ද එය විශ්වාස කරමි.මට මගේ කුඩා ජීවිත කාලය තුළ වන්දනීය ගුරුවරුත්,වඩු බාසුන්නැහේලාත් දෙපිරිසම හමු වී තිබේ.මට මෙතෙක් ඉගැන්වූ ගුරුවරුන් කෙබදු අය වුවද,ඒ දෙවර්ගයෙන් කොයි වර්ගයට අයත් වුවද මම ඒ දෙපිරිසටම එක සේ ගරු කරමි.මන්ද මට අකුරක් හෝ උගන්වා ඇති බැවිනි.මේ ප්‍රතිඵලය මා තනිව උපයා ගත්තා නොවේ.ඔවුන් මට උපයා දුන්හ....

..ඒ කෙසේ වෙතත් හදවතින්ම පැන නැගෙන ගරුත්වය ඇති වෙන්නේ පළමු වර්ගයේ ගුරුවරුන් කෙරේ පමණකි.ඔවුන් එක්තරා ආකාරයක දුයිෂෙන්ලාය.දුයිෂෙන්ට ආදරය කොට අල්තීනායි වරදක් කළා යැයි ඇතැමුන් කියති.එහෙත් මානව හැගීම් යනු වරදක් විය හැකිද?ඇරත් දුයිෂෙන් බෝසත් මිනිසෙක් කෙරෙහි සිත බැදීම සිසුවියගේ වරදක්ද? වඩාත් වැදගත් වන්නේ එයත් නොවේ.දුයිෂෙන් ඒ අවස්ථාවට මුහුණ දුන් අන්දමයි.ඔහුත් අල්තීනායිට ප්‍රේම කළේය.එහෙත් මේ තමන්ගේ සිසුවිය බව ඔහු මතකයේ තබාගෙන උන්නේය.ගුරුවරයෙකුගේ ජීවිතයේ වැදගත්ම කාරණය එය යැයි මම කල්පනා කරමි.ඒ තමන් ගුරුවරයෙකු බව මතක තබා ගැනීමයි.එය මතකයේ පවතින ගුරුවරයෙකුට අමුතුවෙන් ගුරු ජීවිතයට හැඩ ගැසීමක් වුවමනා නොවනු ඇත..

මම සිසුවියක ව හිද මෙසේ ගුරු භූමිකාව ගැන ලිවීම වරදක් විය හැකිය.එහෙත් පසුගිය කාලය පුරාවට මම ගුරුවරුන් සේම පෙර කී අන්දමේ වඩු බාසුන්නැහේලාවද දුටු නිසා වැඩියත්ම මම ඔවුන්ටත් ගරු කරන නිසා මේ බව ලිවිය යුතු ම යැයි සිතිණි.ජීවිතයේ මට අකුරක් හෝ කියා දුන් සෑම ගුරුවරයෙක් ගුරුවරියක් තුළින්ම සැබෑ ගුරුවරයා දකින්නට මසිත ආශා කරන හෙයිනි..

..අනික් අතට මම මගේ දෙමව්පියන් තුළින් සැබෑ ගුරු භූමිකාව අත් වින්දෙමි.ඒ ප්‍රතිරූපය අන් සියලු ගුරුවරුන් වෙතින් බලාපොරොත්තු නොවෙමි.එය වරදකි.සෑම කෙනෙක්ටම තම තමන්ට වෙන් වූ චරිත,ගති ලක්ෂණ තිබේ.එහෙත් තමන් ගුරුවරයෙකු බව තේරුම් ගන්නා උතුමා ද උත්තමාවිය ද මිස වෙනෙකෙකු කෙලෙස නම් ඒ පදවියට ගැළපෙන්නේ වේද...? කෙසේ පවසතත් ඕනෑම කෙනෙකුගේ හද බැදි ගුරුවරයා ගුරුවරිය මතක් කොට බලන කල්හි ඔහු හෝ ඇය කෙරෙහි පිහිටා තිබෙන උත්තර ගුණාංග රාශියක් තිබෙන බව සිහිපත් වනු ඇත.

ඉතින් ඔය ඇරඹුම් කවියේ ලියැවී ඇති පරිදිම මුදලට නොවේ කරුණාවටත් දැනුමටත් උත්තර ස්ථානයක් දී සලකන,සරු මනසකින් ද පිරුණු හදවතකින්ද යුතු යස ගුණැති ගුරුවරුන් කෙරෙහි සිසුන් වී උපදින්නට අප ඉමහත් ආසා කරමු.මෙලොව ඇති තාක් සියලු ගුරු උතුමන් එය දැනගන්නේ නම් ලෝකයේ හෙට දවස මීට වඩා බොහෝමත්ම සුන්දර එකක් වනු ඇත.

Thursday, December 31, 2015

20. සුපැතුම්..))

උස් - පහත් දම්වැල් බිඳේවා
දුක් - තැවුල් දොම්නස් නිවේවා
දුරුත්තේ.. මේ වසත් සමයේ..
මිනිස්කම් මල් වී පිපේවා..














සියලු යහපත් පැතුම් ඉටු වන - ආත්ම අර්ථය සැලසෙන සේ ම, පර අර්ථය ද සලසන්ට සිත් වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරකට සුපැතුම්, මාමලා නැන්දලා අක්කලා අය්යලා හැමෝටම...))) 

Wednesday, December 16, 2015

19. මැටිල්ඩා.. මෙමිහිපිට සුන්දර ම දැරිවිය..



මැටිල්ඩාට මා ආදරය කරන්න පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියට මතක නැත. කූරු කළු කොණ්ඩයකින් යුතු මේ දුඹුරු පාට කැහැටු කෙලි පොඩිත්තිය, මගේ පමණක් නොව, මගේ මව්පියන්ගේ ද, මගේ මිතුරු මිතුරියන්ගේ ද අන්තර්ජාතික වීරවරිය ව හුන් කාලයක් තිබුණි. මට නම් අදට කියා ඒකේ වෙනසක් නැත. මැටිල්ඩා යනු රෝල්ඩ් ඩාල්ගේ පෑනෙන් උපන් සුන්දර ම වස්තුවයි. මගේ සාහිත්‍ය ලෝකයේ වීරවරියන් අතර උඩින් ම ඉන්නා ඇබිත්තන් කෙල්ලයි...

මැටිල්ඩා යනු අසාමාන්‍ය දරුවෙකි. ඇගේ අසාමාන්‍යතා කිහිපයක් ඇත. ඒත් ඒ අතුරින් රෝල්ඩ් ඩාල් වඩාත් ම ඉස්මතු කොට දක්වන අසාමාන්‍ය බව වන්නේ පොත්වලට ඇති පෙරේතකමයි. මැටිල්ඩා පුස්තකාලයට ගොස් පස් වියැති දැරියක ලෙස චාල්ස් ඩිකන්ස්, ජේන් ඔස්ටන් ආදීන්ගේ පොත් ගෙනැවිත්, උණු චොකලට් කෝප්පයක් පානය කරමින් ඒවා කියවන විට මම අමන්දානන්දයට පත් වීමි. 

කියන්නට ඕනෑ වුණේ එය නොවේ. වර්තමානයට මැටිල්ඩා වැනි කෙල්ලන් කොල්ලන් වුවමනා වන බවය. මෑතකදී දුටු බොහෝ දරුවන් කරන්නේ මැටිල්ඩා මෙන් පොත් කියවීම නොවේ. අම්මලා තාත්තලා ද වට කර ගෙන අවුරුදු හතරේ පහේ සිට ජෝදා අක්බාර් හෝ මේ ආදරයයි බැලීමය. මා හොඳින් ම හඳුනන පස් වියැති කුඩා දරුවෙක් ජෝදා බලන්නට නිදා නොගෙන ඇහැරගෙන සිටියි. අඩුම තරමේ පොඩි එකා කාටූන් එකක්වත් බලනවා නම් දුකක් නැත. වෙනස් විය යුත්තේ ළමයින්ව නළවාගන්නට ඔවුන්ට රූප පෙට්ටිය දමා දී තමුන්ගේ වැඩක් කරගන්නා මව්වරුන්ගේ මානසිකත්වයයි.

කියවීමේ රුචිය දරුවෙකුට ඇති විය යුත්තේ පුංචි ම කාලයේදී ය. ළමයින්ට කියවන්නට නොහැක. මව්වරුන් පියවරුන් ඉන්නේ කවා පොවා ඇඳුම් අරන් දී ළමයින් උස් මහත් කරන්නට ම නොවේ යැයි හඟිමි. අනාගතය තනන්නට සවි සත්තිය ඇති මිනිසුන් - ගැහැණුන් තැනිය යුතු වන්නේ කුඩා අවදියේ සිට ය. ඔවුන් එසේ ශක්තියකින් යුතු අය වන්නට නම් මැටිල්ඩාගේ වර්ගයේ සුන්දර වූ ත්, ප්‍රඥාවන්ත වූ ත් ළමා වියක් ඔවුන්ට හිමි විය යුතු යැයි හඟිමි. ඩාල්ගේ මනෝ ලෝකයේ මැවුණු මැටිල්ඩාට පාර පෙන්නන්නට තරම් ප්‍රඥාවකින් යුතු මව්පිය යුවළක් නොසිටියහ. ඈ පාර තනා ගත්තේ තනිවම ය. ඉනික්බිති ඇගේ ගුරුතුමිය මිස් හනී සඳක් මෙන් ඇගේ ජීවිතයට පායා ආවාය. ගුරුවරුන් සතු කාර්යභාරය වාර සටහන් පිරැවීම පමණක් නොව දරුවන්ගේ හිස්මොළ පිරැවීම බව ඩාල් ඒ ළාබාල ගුරුතුමිය හරහා ලෝකයට කියන පාඩමයි.

ඉතින්... යහපත් මව්පියගුරු සෙවණක් ද ලැබ, තීක්ෂණ කල්පනා ශක්තියකින් වැඩ කරන්නට සමත්, මැටිල්ඩා බඳු දරුවන් බිහි වන ලෝකයක් දිනක උදා වෙතැයි බලා හිඳිමි.


Monday, October 12, 2015

18. වෙනස් පෙම් කතා තියෙන්නට පිළිවන්...

ඇස් බැල්මකින්
සිනා පොදෙකින්
පෙම ඉපදෙන්ට පිළිවන්...

මුත් ඇතැම් පෙම් කතන්දර
බිහි වෙයි වෙනස් ලෙසකින්..
නිදසුනක් විලසින්;
සේකරගෙ චිත්‍රයකින්
මොනිකාගෙ කවි පොතකින්..!

උද්‍යානයක ඉඳ පෙම් කරන්නට පිළිවන්..
ඊටත් වඩා මිහිරට
පුස්තකාලෙක.. ළං ව ඉඳගෙන
පොත් කියවන්ට පිළිවන්
වාද කෙරුමට පිළිවන්
සංවාද අස්සෙන්
පෙම් කරන්නත් පිළිවන්...

වෙනස් පෙමකට පාරක්
කපාගන්නත් පිළිවන්
ඇස් අගිසි නොව හිතගිසි
තේරුං ගන්ට පිළිවන්..

පොතක් අස්සේ ගැඹුරින්
හුස්ම ගන්නා ස්වරයෙන්
භවය නොව මුළු සසර ම
එක් ව ඉන්නත් පිළිවන්.. 





Wednesday, September 9, 2015

17. යළි වසිනු ඇත වැසි...

විභාගය නිමා විය.ඒත් ජීවිතය නිමා වෙන්නේ නැත.සුපුරුදු විප්‍රකාර තානයට ජීවිතය ගලා යයි.. අපිළිවෙළ බැව් ඇත්තය.ඒත් ජීවිතයේ ඇති ඒ අපිළිවෙළටත් මම ආසා කරමි.මගේ කුඩා කාලයේ වීරවරිය ඈන් පැවසූ පරිදි ඉතාම පිළිවෙළ දේ ප්‍රසන්න වන්නේ කළාතුරකිනි.ජීවිතය සැලසුම් කළ යුතු මෙන් ම ඊට සැනසුම් සහගත ස්වරයකින් ගලා යන්නට ද ඉඩ හැරිය යුතු ය.. 

...අප නොදන්නා අතීතය දෙස හැරී බලන විට ඉසියුම් වේදනාවක් ද දැනේ.අපේ මව්වරුන්ගේ යුගයේ නිර්මාණය වූ ගීතයක පවා නම් කළ නොහෙන සුන්දරතාවක් විය.ඔවුන්ගේ ජීවිතවල ද අපට අල්ලා බැලිය නොහැකි අන්දමේ සෞම්‍යතාවක් අදත් දක්නට තිබේ.එහෙත් අවාසනාවකට මෙන් විසිඑක් වෙනි සියවසේ අපේ මූණුපොත් පරම්පරාවට අහිමි වූ බොහෝ දේවල් ඇත.. 

අපේ පරම්පරාවේ ඇතැම් අය සංවේදී ය.අනුන්ගේ දුක දැනෙන සුළු ය.ඔවුන්ට හිස නමා ආචාර කරමි.එහෙත් පොදුවේ දකින්නට ලැබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයකි.කොටසක් ජීවිතය දිනා ගත යුතු යැයි අනවරත අරගලයක නිරත වී සිටිති.එහි කිසිදු වරදක් නැත.නමුත් මනුෂ්‍යත්වයෙන් තොර අධ්‍යාපනයක අවාසනාව සඳහා පණපිටින් ඇති උදාහරණ අප අතරේම බහුල ය.තවත් පිරිසක් අන්තර්ජාල සිරකරුවන් ව සිටිති.මැච් එකකට-සිහින තරු තෝරන තරඟයකට-මේ ආදරයයි වැනි මාලා ටෙලා නාටකයකට මුළු මහත් ජීවිතයේ ම දුක - සතුට තීරණය කළ හැකි යැයි සිතන මට්ටමකට අප ළං වී සිටින බව අමතක නොකළ හැකි ය.

එහෙත් වඩාත් ඵලදායී ගමනක් යාමට නම් අප සියලු දෙනා උඩුගං බලා පිහිනිය යුතු ව තිබේ.මගේ දශක දෙකකට අඩු ජීවිතයේ අල්ප අත්දැකීම් ප්‍රමාණයට දැනෙන හැඟෙන හැටියට නම් ඒ සඳහා බොහෝ උත්සාහ කළ යුතු ද නැත.... ගහක් යට වාඩි වී පොතක් කියවද්දී දැනෙන මිහිර මෙතෙකැයි කියා විඳ ගත හැකි නම්, එක වර පෙම් සබඳතා දෙක තුන නඩත්තු කරනු වෙනුවට සංසාරගත පෙමක පැටලීමේ ඇති පවිත්‍ර සුන්දරත්වය ස්පර්ශ කළ හැකි නම්, ගඟක ඇළක දොළක දිය ඉහිරෙන තානයට සිත සංවේදී කරගත හැකි නම්... අප අත් විඳින මේ ජීවිතය මීට වඩා දශම ගණනකින් හෝ සුන්දර වනු නොඅනුමාන ය.. 

Tuesday, April 7, 2015

16. වැව



වාන් බිඳ නොයන්නට හිත නතර                කරගන්න
ඇතුළු වානෙන් ගලන පෙම පෙමින්            පිළිගන්න
ඉඳහිටක උනන කඳුළක් දෙකක්                පිටවෙන්න
පිටවාන සේ ම හයි හත්තියට නුඹ                     ඉන්න

දිය සැරෙන් වැදෙන කොට වැව් බැම්ම නොබිඳෙන්න
ඕන රළ පාරකට බය නැතුව ළය                    දෙන්න
සෙනේ රළ ජීවිතේ බිත්ති මත                     අතුරන්න
රළපනාවක් සේ ම මා ළඟ ම ඔබ                     ඉන්න

පිපාසෙන් යුතු දනට ඇති තරම් දිය                දෙන්න
විඩාබර උන්ට පැන් සනසන්න ඉඩ                දෙන්න
දිය බෙත්ම හරවලා කුඹුරු                     අස්වද්දන්න
මුත් බිසෝ කොටුව මට බුත්තියට               පවරන්න

මහද වැව වාන් දා රැල් නඟා                     උතුරන්න
එක සිනා සොරොව්වක දොර විවර කර        දෙන්න
මුට්ටි නමනා දිනට බැති සිතින්                 වැඳගන්න
අලුත් කළයකට පෙම් වැව් වතුර                පුරවන්න

Monday, December 8, 2014

15. ඔව්.. ඉතින් මේ වෙනස..!!

ඔබ ආදරේ කරන්නේ
වෙනස් ම වෙනස් කෙල්ලකට..

හත වසරෙදි ළමයි සුපර් ස්ටාර් බලන කොට
මිල්ටන් ගේ - අමරදේව ගේ - ස්ටීව් වොන්ඩර් ගේ ගී ඇසූ
අමුතු රසිකාවියකට..

අට වසරෙදි ළමයි ආදරේ ගැන හීන මවන කොට
පොත්වලින් තැනුනු ලෝකයක් තුළ හිඳ
පොත් එක්ක හුස්ම ගත් - හිනා වුණු - හැඬූ
පිස්සු දැරිවියකට...

පොත් නොකියවා ක්‍රිකට් මැච් බලන
කොණ්ඩෙ ජෙල් ගාන - තඩි ඔරලෝසු බඳින
අලුත් පන්නෙට හැදුණු කොල්ලන්
ඇලජික් පිස්සියකට..

කෙල්ලන් ටීන් පොත්වල බෝල අකුරින් ලියන කොට
ඒ ගැන වගක්වත් නැතුව
සටහන් පොත්වලත් කවි කුරුටු ගෑ
මොළේ හොඳ මදි ගෑණු ළමයෙකුට..

දන්නවා නේද..
ඔබ ආදරේ කරන්නේ
මස්කාරා ද - ෆවුන්ඩේෂන් ද
තොල් ආලේපන ද - නිය ආලේපන ද
කරදරයකැයි සලකන නිසා ම
පමණට වඩා සරලයි කියා ලෝකෙට පෙනෙන
ඒත්... සංකීර්ණ ම හිතකට..

කොල්ලන් චුට්ටක් බොනවාට හරි ආස
එහෙම කොල්ලන් මොඩ් බව හිතන
සම වයස් බොහෝ කෙල්ලන් මැද
මත් පැනින් මත් නොවුණ - ආදරෙන් ඉතිරුණු මුවකින්
සෙනෙහස පතා හිඳිනා අමුතු යුවතියකට..

ඔබ දන්නවා..
ඔබ ආදරේ කරන්නේ එහෙම කෙල්ලකට..

ඒ කෙල්ලට තියෙන සුවිසල් ම පුදුමය
නයිට් ක්ලබ්වල රඟ දෙන - සුරාවේ දිවිය පොඟවන
ප්‍රේමය නොහඳුනන - කවි යනු මොනවදැයි අසන
ඉතා පොෂ් කොල්ලන් මැද..
ඔබ වැනි පිස්සෙක් මුණ ගැහුණ එක ගැන..

Sunday, October 12, 2014

14. දන්නවා නම් තෙමෙනවා ඔබ... මහා වැස්සට කල්පයක්..!!

වැසි දැරියට වැස්ස ගැන හැර අන් යමක් ගැන ලියන්නට හැකිද... හැකි විය හැකි ය.එහෙත් මෙවන් වස්සාන සමයන්හී දී මට වැස්ස හැර මුළු ලෝකය ම අමතක වී යාම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි.එපමණට බරපතළ මිනුමකින් මම වැස්සට ආදරය කරමි.ගහකොළ සෝදාගෙන නෙත් ඉදිරිපිට ඇදගෙන හැලෙන සියුම් සුකෝමළ වැසි පොදවලටත්, කළුවර සීත රාත්‍රීන් හී සිත බියපත් කරමින් කඩා වදින අනෝරා වර්ෂාවන්ටත් එක සේ ම ආදරය කරන්නට මා පුරුදු වූයේ කවදා ද කියා හරියටම මට මතක නැතත් මා උපන් දවසේ දී ම වැස්සත් මහදත් අතර පවත්නා අරුම සම්බන්ධය උපදින්නට ඇතැයි විටෙක සිතේ.. 

මා උපත ලැබ ඇත්තේ ද මහා වැස්සක් අතරතුරේ ය.අන් නමක් ගැන නොසිතා මට වැසි දැරිය යැයි නම් තබන්නට තාත්තාට සිතෙන්නට ඇත්තේ ද ඒ හින්දා ම විය යුතු ය.නමට පමණක් වැස්සක් නොවී කටුක පොළොව තෙමනා ආදරයේ වැස්සක් වෙන්න යැයි ඔහු අදටත් සෑම උපන් දිනක දී ම මතක් කර සිටියි.මේ වැහි කතන්දර අලුත් වූයේ මේ දවස් වස්සානයට අයත් වන හින්දා ම පමණක් නොවේ.ඊයේ මහ රැයේ අහම්බයකින් අහන්නට ලැබුණු මේ අපූරු ගීතය හින්දා ය...

හදන්නට වැහි බින්දුවක් - කරුණාරත්න දිවුල්ගනේ

නිශාචරයෙකු වීම නිසා මහ රැයේ පාඩම් කරන අතරේ දැනෙන නිදිමතට පිළියමක් ලෙස මා කරන්නේ අන්තර්ජාලය ඔස්සේ කරක් ගසා ලස්සන සින්දුවක් සොයා ඇහීමය.ඊයේ අහන්නට ලැබුණ මේ ගීතය හිතේ බිත්තිවල ලස්සන සිතුවම් බොහෝමයක් එක නිමේෂයකට ඇන්දේය.

හදන්නට වැහි බින්දුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සට කල්පයක්...

මෙපමණ ගැඹුරට සිතන්නට යාම විකාරයක් ලෙස ඇතැමුන්ට පෙනෙනවා විය හැකි බව දනිමි.ඒත් ගීත රචකයා ලියා ඇති පරිද්දෙන් ම මහා වැස්සේ කල්පයක් හෝ නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් වුව තෙමෙන්නට මම ද ආසා කරමි.වැස්ස මසිතට එපමණට සුවදායක ය... මෙහැඟුම යට මේ මොහොතේ දී ද මම සෙනේහයෙන් තෙමෙමින් සිටිමි.



Thursday, July 31, 2014

13. කවි ලියන අප දෙදෙන...

රිදී තුන් සිත මලානික වී හිත අැසින් වැගිරෙන රැයේ
නුඹේ රුව විත් සිහින ගොතමින් කවි උපද්දයි සෙනෙහයේ
විඩාපත් හද තැවුල් රිදවුම් සැවොම අමතක වන පැයේ
මියුරු සුමියුරු සිහින් කටහඬ සවන්පත් අසළින් වැයේ..

තුරු දෙඅත්වල නැතක් මල් පෙති අැස් අරින අරුමය දැනේ
මසිත තුර මත කුසුම් පුබුදන රන් අතේ පන්හිද පෙනේ
නුබ මතින දියවරින සුළඟින කොතැනින්ද පෙම පැමිණුනේ
දන්නෙ නැතුවයි අාදරේ ගැන දිනක් නුඹ හා හිනැහුණේ..

මෙතෙක් කල් දුර තනිව වැටෙමින් අරන් අා මේ ජීවිතේ
කවි හිතක නැවතිලා දැන් කවි දහක් ඉහිරෙයි මා හිතේ
පරිස්සම් කර තියාගමි අත පටලවන්නට නුඹ අතේ
ඉතිං සසරම අැවිද යමු අපි කවි ම ඉහිරුණු මාවතේ...

Friday, June 27, 2014

12. නොහඬමි...

කවියක් ව නුඹේ නෙත් දකිමි මම නිල් නුබේ
ඔය නුවන් සීරුවේ මා දෙනෙත් වෙත එබේ
දහසකුත් මේ ගැජුම් ඉපිද හදවත් ගැබේ
වැස්සක් ව මකවි පොත් මතට ඉහිරෙයි ඉබේ

මුළු දවස පොත් අතර සරා වෙහෙසින් තැවෙන
සිත අරන් කවි අතර රැයට සක්මන් කරන
මොහොතකට ස්වප්නෙකින් නුඹේ නෙත් මට පෙනෙන
ඇත්තමයි මිහිරි වෙන කවක් නැත ඔබ පමණ

තුරකි නුඹ මා හදට මිහිරි මල් පෙති ඉසින
ගඟකි බොර දිය මඟැර සිහිල් දිය මට පුදන
සඳකි වෙහෙසෙන සිතට සොමි කැළුම් දී නිවන
මලකි මා හද විලේ සදාකල්හි ම පිපෙන

දුරයි නුඹ මා හදට අන් හැමෝටම වඩා
ඒත් හැම දුරු බැඳුම් එකම නිමෙසෙන් කඩා
බිඳ හෙළන මතකෙකින් දුරු ව යයි හද විඩා
ඉතිං නෙත් බොඳ නොකර ඉඳිමි නොහඬා හඬා