Sunday, July 3, 2016

33. රහස්.. රස රහස්...

රඟහලේ මැද පෙළේ අසුනක
නෑසියන් අතර ඉඳ ඉන්න කොට
හිතෙනවා, ළඟක උන්නා නම් ඔබ
වාරු වන්නට
රඳවා මා සිඟිති හිස
පුළුලුර - කැරලි කෙටි කෙස් අස..

ගැහැණුන් පහත් යැයි දොඩවන
පුස් ම පුස් පිරිමි වෙති දස අත
ඔවුන් දකිනා කල
පිරී යන්නෙය මා හද
මහ බැතියකින් සිහි වැ ඔබ මුදු බස්..

මවමින් සිටිමි නෙක සිහින රූ
ඇවිද යන්නට අතිනත වෙළා ඔබ හා
පුරාවිද්‍යා බිම්වල.. කියවමින් සෙල්ලිපි..
පොත් ප්‍රදර්ශනවල.. සිතුවම් ප්‍රදර්ශනවල.. 

ඒත් හඬ ගා කියනු කෙලෙසද 
දැන් ම ලෝකෙට ඔබ ගැන..?

රහස්වලින් මැ නිමැවුණ
රහස් බසින් මැ ඉපදුණ
රහස් ඇසිනැසින් කියැවුණ
රහස් පෙමකිය අප සතු..!

Wednesday, June 1, 2016

32. පෙම් ගිතෙල්, හිම වලසා සහ සමහර සින්දු ඇහෙන හැටි..)))

"දවසක සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ" සින්දුව යද්දි අම්ම තනියෙන් හිනාවෙන්න තියාගත්තා.

තාත්තා මං දිහා බලල අහනව.. මොකෝ පුතේ මේ?

ඔය සින්දුවෙ මැද කෑල්ලක් තියෙනව, 
"මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා 
  එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා.." කියල..))

අම්ම පොඩි කාලෙ හිතන් ඉඳල තියෙන්නෙ පෙම් ගී තාච්චියෙ දාලා ඊට උඩින් තෙල් දානව කියල..!!

---------------------------------------------------------------------------------------------------------

එකක් දෙකක් නෙමේ ඔහොම තේරුං ගන්න බැරි වෙන සින්දු තියෙන්නෙ.. 

"සඳ සාක්කි කියාපුදෙන් 
 තරු සහතික ලියාපුදෙන්" කියන එක මට ඇහෙන්නෙම, හොර සහතික ලියාපුදෙන් කියල නොවැ..!

---------------------------------------------------------------------------------------------------------

ඔන්න ඕවගේ සින්දු ටිකක් ශෙයාර් වෙනව දැක්ක..))

මේ එව්වයින් මතක තියෙන කෑලි ටිකක්..

"ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ - තොටියෙකි මා මේ සීතල වතුරේ.. " ඕක ඇහෙන්නෙ "ඔළුව කපාගෙන රෑ ගණ අඳුරේ - කොටියෙකි මා මේ සීතල වතුරේ" කියල..!!

යළිත් කියන එක නෑහී ගිහින් "අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියා.." කියලත් සමහරුන්ට ඇහෙනවලුනෙ..!

ඔබ දේදුන්න ආකාසයේ..
හංගා තබා
යන ටෙක්නික් බලා..

------------------

රෑ දුරු රට මේ
හිම වලසා
සීත පාලුවේ..

-----------------

සමන් පල්ලි යන්නේ
සඳේ රැස් කැරැල්ලේ..

----------------

වැස්සෙ තෙමෙන්න එන ඇත්තන්ටත් කන්වල වංගු නිසා මේ වගෙ ගීත ඇහිල ඇති ඕනැ තරම්.. 

අද මේක ලියන්න හිතුණෙ වෙන කාරණාවක් හින්දයි.. උදේ පාන්දර එක්කෙනෙක් කතා කර කර ඉන්දැද්දි අහනව,

බබා අහල නැද්ද "රඟපාද්දි ඇවිදින්නට මට අත දුන්න" .. කියල සින්දුවක්..!! 

මං පිස්සු හැදිච්ච අස්සයෙක් වගේ හිනාවෙද්දිවත් උන්දැට නෙමේ කාරණාව තේරුණේ.. )

Friday, May 20, 2016

31. තෙතබරිත නගරෙක.. වැසි මැද.. වෙසක් කුමකට..?

අවංකව ම මගෙ හිතේ නම් බුදුහාමුදුරුවො කියල මැවිල තියෙන්නෙ තොරන් මැද විරාජමාන ව වැඩ ඉන්න සවනක් ගණ රැස් විහිදෙන යෝධ රූපකායක් ඇති තැනැත්තෙක් නොවෙයි.. මුළු ගයා නගරය පුරා ම දූවිලි තැවරුණු පොළොවේ නිරුවත් දෙපයින් ඇවිද ගියපු, ජාති - ආගම් - කුල භේදයකින් තොර ව ඕනෑ ම මනුෂයෙකුට - ගැහැණියකට සත්‍යාවබෝධය ලබා දෙනු පිණිස කටයුතු කළ බුදුහාමුදුරුවෝ මගෙ මනසෙ වැඩ ඉන්නෙ බොහොම සරල, සුන්දර මනුෂ්‍යයෙක් විදිහටයි..

අද බුදුහාමුදුරුවො වැඩ උන්නා නම්..

මුළු අහස ම අඳුරු කරමින් නොනැවතී ඇද හැලෙන වැස්ස දිහා බලන් ඉන්න කොට මට හිතුණා..

මං දන්න සමහර අක්කලා - අය්යලා වෙසක් කූඩු - තොරන් හැදිල්ල සම්පූර්ණයෙන් ම පැත්තකට දමලා ඒ වෙනුවට බත් පැකට් බඳින්නත්, ආධාර එකතු කරන්නත් පටන් ගත්තා..

ඒ තමා ඇත්ත වෙසක්.. ඔවුන් තමා අපූරුවට ම වෙසක් සමරන්නෙ..

බුදුහාමුදුරුවෝ දේශනා කලේ ආමීස පූජා පවත්වන්න නොවෙයි.. ප්‍රතිපත්ති පූජා පවත්වන්නයි.. බුදු දහම කියන්නෙ ආගමක් නොවෙයි. එ් එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වුණ විශිෂ්ටත ම - ගැඹුරු ම දර්ශනය. ත්‍රිපිටකය කියන්නෙ බණ පොතක් නොවෙයි.. එය සුවිශිෂ්ට දර්ශනයක් එක්රැස් වුණු විශ්වකෝෂයක්..!

බුදුදහමේ පැවැත්මට ආමීස පූජා අවශ්‍යයි තමා. එය පිළිකෙව් කරන්නට බැහැ. ඒත් මේ මොහොතේ අර අසරණ වුණ අපේ ම මිනිස්සුන්ට බෙහෙත් ටිකක්, ඇඳුමක් කැඩුමක් ගෙනියන එකෙන් වඩාත් පලවත් විදියකට වෙසක් සමරන්න පුළුවන්.. 

පූතිගත්ත තිස්ස තෙරුන්ගේ සැරව ගලන සිරුර තමන්ගෙ දෑතින් පිරිසිදු කරපු බුදුහාමුදුරුවෝ අද ඇත්තටම අපෙන් බලාපොරොත්තු වෙනවා ඇත්තෙ මොකක්ද...

අපි ආයෙ ඒ ගැන හිතලා බලමු..

Thursday, May 19, 2016

30. මල් පොකුරු,ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට...

"..ඒ අර බලන්නකො.. කරාබු දාන්නැති ගෑණුළමයෙක්..."

ඔය කතාව මට හයක් හතරක් නොතේරෙන කාලෙ ඉඳල අනන්ත වාරයක් ඇහිල ඇති. ළමයගෙ කන හිල් කොරල රිද්දන්න නොහැකි බවට තාත්තත්, අම්මත් ඒකමතික තීරණේකට එළැඹීම හේතුවෙන් පොඩි කාලෙ මගෙ කන විදල නැහැ. ටිකෙන් ටික ලොකු වෙද්දි මටත් කන විදින්න වුවමනාවකුත් දැනුණෙන් නැහැ. ආබරණ පාවිච්චි කරන්න වුවමනාවක් දැනුණෙත් නැහැ. ඇයි දෙයි හාමුදුරුවනේ.. මේ යසට තියෙන කන මොකටද නිකං හිල් කරගන්නෙ. හිල් කරගත්ත මදිවට ඕවයෙ සරුවපිත්තල එල්ලන්නත් එපායැ.. සමහරු කන අතගාලා අනේ පව් කියලා කියද්දි හිනත් යනවා.. අඳින ඇඳුමට ගැළපෙන්න පාට පාටින් කරාබු තෝරන්න ඕන නැති වීමත්, කොයි වෙලාවෙ හරි කන කඩාගෙන රත්තරන් කරාබුව උගුල්ලන් යාවි කියල බයෙන් ඉන්න ඕන නැති වීමත් කොයි තරම් පිනක් ද කියල ඒ ඇත්තන්ට වටහල දෙන්න අමාරුයි නොවැ..

"බඳින දවසටවත් කන විදිමු නේ...? "

කියලා ඒ ඇත්තො අහද්දි,

"බඳින කොට උත්සවයක් නම් ගන්නෙ නෑ.ඒ සල්ලිවලින් පුස්තකාලයක් හදන්න හිතන් ඉන්නෙ.." කියල මං කටවහගන්නව.

අනිත් එක තමා සකල ස්ත්‍රී වර්ගයා මල් පොකුරුවලට ආසා කරන බවට තියෙන මිත්‍යා විශ්වාසය මං නං කොහෙත්ම පිළිගන්නෙ නැහැ. අඩුම තරමෙ මල් පොකුරුවලට ආසා කරන්න එක හේතුවක්වත් මට හිතාගන්න බෑ. ඔන්න නැචුරල් මල් කළඹක සුවඳට හරි ලස්සනට හරි ආසා කළා කියමු. ඕක පරවෙලා ගඳ ගහන කොට පැත්ත පළාතක ඉන්න පුළුවන් ද..? ප්ලාස්ටික් මල් කළඹක් පරවෙන්නෙ නැතුව ලස්සනට තියාගන්න පුළුවන් කියල තර්කයක් ගෙනාවැහැකි. ඒත් වදේ ඕවයෙ දූවිලි බැඳෙනවනෙ.. තව එකක් තමා ආදරේ ප්‍රකාශ කරන්න මල් යොදා ගන්න පුළුවන් කියන එක.. ඒත් දෙයියනේ පෙම්වතාගෙන් පොතක් තෑගි ලැබුණම ඇති වෙන ආදරෙන් දසලක්ෂෙන් පංගුවක් ඇති වෙනවද එයාගෙන් මල් පොකුරක් තෑගි ලැබුණොත්.     

අපේ අම්මල තාත්තලත් අනික් ගෑල්ලමයින්ට වගේ මටත් හැම උපන්දිනේකටම මාල- මුදු- කරාබු - දිලිසෙන පාට පාට ගවුම් හෙම ගෙනත් දුන්න නම්, එහෙමත් නැත්නම් මගෙ කාමරේ බිත්තිවල රෝස පාට තීන්ත ගාලා - තුරුල් කරගෙන නිදාගන්න අලි ටෙඩිබෙයාර්ස්ලා ගෙනැත් දුන්න නම් මාත් අනිත් සමහර ගෑල්ලමයි වගේ වෙන්න ඉඩ තිබුණ. ඒත් මේ අවුරුදු දහනමයෙන් එක අවුරුද්දකවත් මට උපන්දිනේකට තෑග්ගක් විදියට සෙල්ලම් බඩුවක්, ඇඳුමක් ගෙදර උදවියගෙන් තෑගි ලැබිල නැහැ. හැම අවුරුද්දෙම ලැබුණෙ පොත්..! වයසෙ ගාණට.. උදාහරණයක් විදියට එකොළොස් වැනි උපන්දිනේට පොත් එකොළහක්.. 

මේ කාටවත් දොස් පවරන්න ලියූ ලියැවිල්ලක් නොවෙයි. ළඳ බොළඳ ගෑල්ලමයින්ට අපහාස කරලා ලියපු දේකුත් නෙමෙයි.. ඒත් ලෝකයෙ බටහිර රටවල තත්ත්වය බලද්දි ඒ රටවල හැම ක්ෂේත්‍රයකම පාහෙ 50% - 50% ගැහැණු - පිරිමි සහභාගීත්වයක් දකින්න පුළුවන්.වෛද්‍ය,කලා,මාධ්‍ය ආදී අනේක විධ ක්ෂේත්‍රයන්වල.. ඒත් ලංකාවෙ හුඟක් දෙමව්පියො ගෑණු දරුවන්ව පොඩි කාලෙ ඉඳල හදන්නෙ බොහොම දුර්වල ජීවීන් කොට්ටාසයක් විදියට. ගැහැණිය ඉතා ම සියුමැලි, දුර්වල, ශක්ති හිීන ජීවියෙක් නම් කොහොමද ලෝකෙ තියෙන දරුණු ම වේදනාව වන ප්‍රසව වේදනාව දරාගන්නෙ..? නමුත් ලංකාවෙ පුංචි ගැහැණු දරුවන් තුළ පවා බොහෝ විට ඇති කරල තියෙන්නෙ තමන් පිළිබඳ ව අවතක්සේරුවක්. කැරපොත්තෙක් දැක්ක ගමන් ගමට ම ඇහෙන්න හූ තියන මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් තමුන්ගේ සමාජ මෙහෙවර ගැන කල්පනා කරන්න බොහෝ ගැහැණු දරුවන්ගෙ මනස සකස් කරලා නැහැ.. එතනයි වරද තියෙන්නෙ.. 

අපේ බ්ලොග් අවකාශයෙ ම සහෘද ඉයන් මාමා ලියූ දැන් ළඳුන් සිංහාසනේ ගීතයේ පද වචන බවට පත් නොකර සත්තාවක් කිරීමේ වගකීම ඇත්තේ අප අත බව අමතක කරන්නට බැහැ.

මං මෙතැනදි කියන්නෙ ස්ත්‍රී ලාලිත්‍යය නැති කරගත යුතු බව නොවෙයි.  මේක කිසිසේත් ම ස්ත්‍රිවාදී කෝණයකින් ලියන ලිපියකුත් නොවෙයි. ඒත් අනවශ්‍ය විදියට බොළඳකම් පෙන්වන්න ගිහින් රටට ලෝකෙට විහිළුවක් නොවී, සමාජයට වැඩදායක විදියට ජීවත් විය යුතු බවයි මගේ අදහස. 

ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ කාර්යභාරය ඔබ අප සියලු දෙනාගේ උර මත පැටවී තිබෙන මහත් වගකීමක්.. ඒ සමාජ මෙහෙවරේ දී ගැහැණු - පිරිමි භේදයක් කිසිසේත් ම අදාළ වෙන්නෙ නැහැ.

ඒ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම සඳහා අපට මල් පොකුරු වෙනුවට පොත් සිපගන්නත්, අබරණ වෙනුවට පෑන් අතට ගන්නත් හැකි විය යුතුයි...
අප එසේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ලෝකය යහපත් කරනු පිණිස වැඩ කරන කල අප නොදැනුවත්ව ම මේ ලෝකය බොහොම ප්‍රියමනාප තැනක් බවට පත් ව තිබේවි...

Thursday, April 28, 2016

29. සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට..!

මං බේබද්දන්ට කැමති ම නෑ. ඒත් සයිමන් නවගත්තේගම කියන බේබද්දට කැමති. ඒ බේබදුකමට නෙමේ.. නවකතාකාරකමට..!

අපේ අම්මා ජපුර සරසවියෙ ඉගෙනගන්න කාලෙ විජේරාමේ තිබුණ ජනප්‍රියම කෑම කඩයක් තමා ගිහාන්ස් ෆුඩ් සෙන්ටර් එක. ඉස්සර එතැනින් යන කොට අම්මා දකිනවලු නවගත්තේගම අර සුපුරුදු තොප්පියත් දාගෙන ගිහාන්ස් එකේ වාඩි වෙලා තට්ට තනියම මද්‍යසාර පානය කරන හැටි..  තමන් මේ තරම් ප්‍රිය කරන ලේඛකයා එක්ක සාහිත්‍යය ගැන සංවාද කරන්න තරම් නිරවුල් මානසිකත්වෙක ඔහු නොසිටීම නිසා එදා අම්මට ඇති වෙලා තියෙන්නෙ වේදනාවක්.. 

අද මට තියෙන්නෙත් වේදනාවක්.. අඩුම තරමේ අම්මා ඔහුව දැකලා තිබුණා. මං දැකලවත් නැහැ..

ඊටත් වඩා වේදනාවට පත් වුණා මේ ළඟකදි පොත් සාප්පුවකට ගියාම.. එතන වැඩ කරන තරුණ සේවකයෙකුගෙන් මං ඇහුවා සංසාරණ්‍ය්‍ය අසබඩ තියෙනවද කියලා.. ඔහු උඩ බිම බැලුවා. පොත කාගෙද කියා ඇහුවා. සයිමන් නවගත්තේගමගේ.. මං උත්තර දුන්නා. ඔහු බැලුවෙ නිකම් මම හන්දියෙ වින්කලේ වැඩ කරන සයිමන් මාමා ගැන ඇහුවා වගේ බැල්මකින්. ඉන් පස්සෙ ඔහු ඕනැවට එපාවට මෙහෙම කිව්වා.

ඒ නම ඇහුවෙත් අදයි මිස්..

මං වචනයක්වත් නොදොඩා පොත් රාක්ක අතරෙන් ඇවිදගෙන ගියා. අර තරුණයා ජිවිතේට අහලා නොතිබුණ නවගත්තේගම එක පොත් රාක්කෙක ඉන්නවා පෙනුණා. නමුත් සංසාරණ්‍යයේ දඩයක්කාරයාවත්, සංසාරණ්‍යය අසබඩවත් ඒ අතර තිබුණෙ නැහැ. ඒ නිසා සන්ධ්‍යා සහ වින්ධ්‍යා අතට අරගෙන මං පුංචිඅම්මත් එක්ක ආපිට ගෙදර ආවා..

අදයි සන්ධ්‍යා සහ වින්ධ්‍යා කියවා නිම කරන්න පුළුවන් වුණේ..

ඒ පොතට හරිහමන් අවසානයක් නැහැ. පොත මුද්‍රණය කොට තිබුණේ ඔහුගේ බිරිඳ විසින්, ඔහුගේ මරණයට පසුවයි. ඇතැම් විට මියෙන්නට පෙර කතාන්දරය නිම කරන්නට ඔහුට නොහැකි වෙන්නත් ඇති.. ඒ නැතත් මේ අවසානය ඔහු විසින් නිට්ටාවට ම ලියා තැබූවක් වෙන්නත් පුළුවන්. එපමණට නවගත්තේගමගේ කතා වෙනස්.. ආශා උපදවන අන්දමින් ඒ කතාන්දර අන් අය ලියන දේවල්වලින් වෙනස්.. කතා ශෛලිය, දෘෂ්ටි කෝණය, භාෂාව ඇතුළු මෙකී නොකී හැම දෙයක් ම!

ක්ෂීර සාගරය කැළඹිණ.. ඒ මං ඔහුගෙ කියවා තිබෙන කෘති අතරින් වඩාත් කැමති ම පොත. සංසාරණ්‍යෙය් පොත් ත්‍රිත්වය කියවා නිම කළා ම මං ඒවාට වැඩිපුර පෙම් බඳීවි කියලයි අම්මා නම් කියන්නේ.. 

සන්ධ්‍යා තුළ පවතින ගති ලක්ෂණ බොහෝමයක් අතරින් මට මාව ම පෙනෙනවා. මං ඈට බොහොම සමානයි. එක තැනක නවගත්තේගම ඈ ගැන මෙලෙසින් සටහනක් තබනවා,

// සොම්නස් සහගත වේවා දොම්නස් සහගත වේවා තෘප්තිය අතෘප්තිය තුළ භාවනානුයෝගී ව සිටීම ඇගේ පුරුද්ද ය. එය ඇගේ චරිත ලක්ෂණයකි. හැකි තාක් කාලයක් වේලාවක් එම මනෝභාවය භුක්ති විඳීමෙන් ඉමහත් තෘප්තියක් ලබන්නාක් මෙනි. සුව වී ගෙන එන්නා වූ තුවාලයක් වුව ද නැවත නැවත පාරමින් කසමින් නැවත මතු වෙන තුවාලයේ වේදනාවෙන් තෘප්තියක් ලැබීමකි //

මේ කොටස කියවාගෙන යද්දි මට හිනා පහළ වුණා. සන්ධ්‍යා මංමදෝ කියා හිතෙන තරමට මා තුළත් මේ වේදයිතයන් භුක්ති විඳීම අඩුවක් නැතුව ම තිබෙනවා.. ඒක වරදක් බව නොදන්නවා නොවෙයි. ඒත් ඉතිං මක් කරන්නද.. ඒ මගේ විදිය.. එක අතකට සන්ධ්‍යාත් එහෙමයි කියා හිතද්දී මං උමතුවෙන් නොවන වග මට තේරුම් යනවා..

සටහන නිමා කරන්න කලින් ප්‍රියලාල් කොග්ගලගේ සහෘදයා කලකට පෙර ලියා තිබූ කවියක් මට මතක් වුණා. කොතැනක හෝ වෙබ් අඩවියකයි මෙකව සඳහන් ව තිබුණේ. මූලාශ්‍රය මතක නැතත් මතකයේ රැඳුණ හැටියෙන් ඒ කවිය මෙහි ලියා තබන්නම්..

රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
ගෙන යන තුරුම මුල්ලේගම වන රොදට
සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට!

Thursday, April 7, 2016

28. තාත්තා එක්ක ගමන් බිමන් = පොත් බෑග් එක නැතුව පාසල් යාම, කවි කියැවිලි, සෝයා අයිස්ක්‍රීම් සහ විජය පත්තරේ..

වැසි දැරිය පුංචි අවදියෙ ඉඳන් ගමන් බිමන් ගියේ තාත්තා එක්කයි.. අදටත් ඉස්සර වගෙම දෙන්නා එක්ක කොහෙ හරි තනියම යද්දි කරන විප්‍රකාර වැඩවල ලොකු වෙනසක් වෙලා නෑ. ඒවා එහෙම්මයි.. අම්මා කියන්න වගේ කවදාවත් මේ දෙන්නා හැදෙන දෙන්නෙක් නම් නෙමේ...)))

එක දෙක වසරවලදි මට මතකයි තාත්තත් මාත් උදේට පාසල් යන හැටි. පැය විසි හතරෙන් පැය පහළොවක් විතර සිසු දූ දරුවන් වෙනුවෙන් කැප කරන අම්මගෙනුයි තාත්තගෙනුයි මට මඟඇරෙන වෙලාව මං අල්ලන්නෙ උදේ ඔය සිසු සැරියෙදියි.. ඒ යන අතරමග මං තාත්තගෙන් කතන්දර අහගන්නව. ඒවා ඒ මොහොතෙ හදලා කියපු කතන්දර බව මට වැටහෙන්න ගත්තෙ සෑහෙන ලොකු වුණාට පස්සෙදියි.. මාලු වේටර්ලා, පියාඹන ගල් පර්වතවලින් යුක්ත ඒ කතා නැවත නැවත අහමින් මං කොච්චර කරදර කරන්න ඇත්ද කියලා මතක් වෙද්දි දැන් තාත්තා ගැන දැනෙන්නෙ දුකක්.. ඒත් අලුතින් කෑලි එකතු කරමින් තමන් ම ගෙතූ කතා යළි යළි කිව්වා මිස තාත්තා කවදාවත් මට ඒ ගැන දොස් පැවරුවේ නම් නැහැ. 

ඒ කතා අස්සට සමහර දවසට නවකතා පොත්වල තිබුණ කතන්දරත් එකතු වුණා.අපූරු නවකතාවල සාරාංශ කොටස් තාත්තා චිත්තරූප මැවෙන විදියට වැසි දැරියට රස කර කර කියා දෙනවා.. මට මතකයි සමහර කතාවල අවසානය තාත්තට කතුවරයාගෙ කිසිදු අනුදැනුමකින් තොර ව මං නිසා වෙනස් කරන්න සිදු වුණා.ඒ වගේ එක පොතක් තමා ජිනපාලගෙ කතන්දරේ.. ඒ පොතේ දුක්බර අවසානය නිසා මං කොයි තරම් වේදනාවට පත් වුණාද කිව්වොත් තාත්තා අලුත් අවසානයක් නිර්මාණය කළා.

තවත් දවස්වල තාත්තා කතා කළේ රත්න ශ්‍රීගෙ,මොනිකාගෙ,කුමාරගමගෙ,කුඩලිගමගෙ කවි ගැන.. දෙක වසරෙ දරුවෙක්ට ඒ කවි දරාගැනීම අපහසුයි කියා ඕනැ කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඒවා කිසිසේත්ම බරැති දේවල් ලෙස නොව ජිවිතේ පුංචි පුංචි කොටස් ලෙස වැසි දැරියගෙ හිතට ඇතුළු කරන්න තාත්තට පුළුවන් වුණා.අද මාතින් ලියැවෙන කවිවල උල්පත එදා අපි දෙන්නා ඔහේ කියවමින් ගිය සංවාදවල සැඟවී තියෙන්නට ඇති වග මට අද හිතෙනවා..

ගංගාවක් වී ගලන්න 
උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න 
නෙළුම් මලක් යට

ඔය පද පෙළ තමා තාත්තා එදා කියා දුන්න කවිවලින් වඩාත් ම තදින් වැසි දැරියගෙ හිතේ සටහන් වුණ සිතිවිල්ල...!!

මේ සංවාද අතරේ ගොඩක් වෙලාවට වැසි දැරිය මහා විචිත්‍රවත් ලෝකයක අතරමං වුණා. ඒ හින්දාම වෙන්න ඕනෑ මං සමහර දවස්වල පොත් බෑග් එක නැතුව ඉස්කෝලෙ ගියෙත්. පොඩි විමලා කඳුළු සලන හැටි,ඩෙනිස් සමනළ ආර පීනුම් තරඟෙට සහභාගි වුණ හැටි,ඈන් ඩයනා එක්ක කැලෑ පාරවල ඇවිදන් ගිය හැටි ආදී මෙකී නොකී සකලවිධ කතාන්දරවලින් ඔළුව පුරවාගෙන පාසල් යන අතරෙ මට පොත් බෑග් එක වැදගත් දෙයක් විදියට දැනෙන්නෙත් නැතුව ඇති.ශිෂ්‍යත්වය ලියන්න එපා යැයි මට උපදෙස් දුන්න අම්මට තාත්තට වුණත් වඩා වැදගත් වුණේ මගෙ ඔළුවෙ මැවිල තිබුණ ඒ සාහිත සිහින ලෝකය මිසක ඉස්කෝලෙන් බලහත්කාරෙන් කරන්න කියා දුන්න ශිෂ්‍යත්ව ප්රශ්න පත්තර නොවෙන වග ඒ කාලෙදි නැතත් පස්සෙන් පහු මං තේරුම් ගත්ත.. 

ඒ වගෙම පාසල නිම වෙලා ආපහු එන ගමන තමා වැසි දැරිය ආසම කොටස වුණේ.. හෙම්බිරිසාව හැදිලා දුක් විඳිනවා බලන්න බැරි නිසා අම්මාගෙන් අයිස්ක්‍රීම් කෙරෙහි බරපතළ තහනම් නියෝගයක් පැනවිලා තිබුණා.ඒත් ඉතින් සතිපතා තාත්තත් දුවත් පාසල ඇරිලා පාර අයිනේ නැවතිලා සෝයා අයිස්ක්‍රීම් කන බව දැනගන්න අසරණ අම්මට දිවැස් තිබුණේ නැහැ නොව..

ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක්??  

තාත්තා එහෙම අහද්දි වැසි දැරිය ඊට එකඟ වෙන්නෙ උඩ පැන පැන. හොරෙන් අයිස්ක්‍රීම් කාපු වග ඊළඟ දවසෙ උදේ වෙද්දි අම්මට අහු වෙන්නේ වැසි දැරියගෙ නොනවතින කිවිසුමෙන්.. ඒත් එදා වගෙම අදත් තාත්තත් වැසි දැරියත් පාරට බැස්සොත් සෝයා අයිස්ක්‍රීම් වලට වග කියන්න අමතක කරන්නෙ නැහැ.දැන් ඉස්කෝලෙ යන්නෙ නැතිය කියල මුල අමතක කරන්න හොඳ නැහැ නොවැ.. එහෙම නැතුව බඩජාරිකමකට එහෙම නෙමේ...))

අඟහරුවාදා හවස තාත්තා එක්ක එන ගමන වැසි දැරියට වඩාත් විශේෂයි.. එදාට නොවැ විජය පත්තරේ එන්නෙ.. ඒ දවස්වල මං අතින් කුරුටු ගෑවෙන බලි කුරුටු ආදිය තැපැල් කරලා විජය පත්තරේ
ට යවන පුරුද්දක් අම්මට තිබුණ හින්දා එව්වායින් මොනවා හරි පල වෙලා ඇතිය කියලා හිතාගෙන තමා විජය පත්තරේ අතට ගන්නෙ. අද වගේ උදාසීන හැඟීමක් නෙවෙයි පුංචි කාලෙ කවියක් පත්තරේ තියනව දැක්කම ඇති වෙන්නෙ, ඉතිරිල යන සතුටක්.

මේ මතක ඔක්කොම සිහියට නැඟුණෙ තාත්තා එක්ක මේ මෑතක දි ම රියැදුරු පුහුණුවට යත්දියි.. එදා මං වාඩිවෙලා ගිය අසුනෙ අද තාත්තා හිඳගෙන.. එදා තාත්තා පැදවූ රිය මං පදවනවා. දූගෙ කොට ජීවිතෙත් සැලකිය යුතු ප්‍රමාණෙකින් උස ගිිහිල්ලා.. එදා තරුණ වියේ උන් තාත්තගෙ කොණ්ඩෙ අද පැහිලා.. සිඟිත්තියක් ව උන් මං යුවතියක් වෙලා.. 

ඒ අතරෙ මට අපේ අතීත ගමන් බිමන් මැවිලා පෙනෙනවා.අද අපි කතා කරන්නෙ එදා කතා කළාට වඩා ගැඹුරු කවි පද ගැන.. ජීවිතේ බරපතළ තැන් ගැන.. 

ඒත් අද මේ ඉන්නෙත් එදා ඒ අනවරතයෙන් කතා කරමින් ගිය තාත්තයි දූයි ම තමා.. අම්මා කියන්නා වාගෙ කවදාවත් හැදෙන්නෙ නැති පිස්සු තාත්තයි දූයි ම තමා..!!

Wednesday, March 30, 2016

27. පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න!

තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න

සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න

වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න

කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.


Saturday, March 26, 2016

26. පෙම්වත් උදාසන...

ගමට ඉර පායන්නෙ කොළඹට ඉර පායනවට වඩා බොහෝම වෙනස් අන්දමකටයි. ගොඩනැගිලි උඩින් අවලස්සනට කොළඹට පායන ඉරු දෙය්යො මෙහෙට උදා වෙන්නෙ වෙලට උඩින්.. ලා ඉර එළිය රත්තරන් පාටත්, රන් පාටත් අතරමැද වර්ණෙකින් අහස උඩ ඉහිරෙද්දි ගස් මුදුන්වල කොළ පාට බොඳ වී ගෙන යන්නෙ තමන්ගෙ හිස්මුදුන් මතින් වැතිරෙන රත් පැහැයට ඉඩකඩ දෙමින්. ඉරට මඳ දුරක් තියාගෙන කොක්කු පියාඹන අතරෙ මං තනියම වෙල දිහාවට ඇවිදගෙන ගියා..

පෙම්වත් ඇමතුමකට කියාපු වෙලාව...

"මං වෙල අයිනට ආව.."

"තනියම?" ඒ පැත්තෙන් ඇහෙන්නෙ මවිතය මුසු වුණ කටහඬක්..

"ඔව්.. ගෙදරින් තරහ වෙලා තනියම ආවෙ." 

මං කිව්වෙ මුසාවාදයක් බව ඒ කටහඬේ අයිතිකාරයා දන්නව..

"අම්ම අද බබාට සත පනහක් දුන්නෙ නැද්ද..?" 

මගේ අතීත කතන්දරවලින් විනෝදයට පත් වෙන ඒ කටහඬ මතක් කර දෙන්නෙ අතීත සිද්ධියක්. අවුරුදු දෙකහමාරක් තුනක් විතර කාලෙ මං ගෙදරින් තරහ වෙලා ඉස්සරහ දොර ඇරගෙන මිදුලට දුවනවලු. අම්මා මාව වඩාගන්න පිටිපස්සෙන් දුවගෙන එන අතරෙ මග වියදමට සත පනහක් දෙන්නද කියාත් අහනවලු. ඔය සිදුවීම අම්මා හිනා වෙවී මතක් කරන මතකයක්..මාත් කොයි මොහොතක හරි ඒ අතීත මතකය මගෙ වර්තමානයට මතක් කර දීලා තියෙනවා. ඒක නෙව මේ සමච්චල් කරන්නෙ..

"සත පනහක් දුන්නෙ නෑ අනේ.."

"ඔහොම්මම මෙහෙ එන්නකො.. ඔයා සත පනහක් නෙමේ සත පහක්වත් නැතුවයි මං ගාවට එන්න ඕන.."

මං හිනාවෙන්නෙ වෙලට උඩින් ඉරු නැගගෙන එන දිහා බලාගෙන. කොක්කු අහසේ ඉගිල්ලෙනව පේනව. මගෙ හිතත් ඒ එක්ක අහස පුරා ඉගිල්ලීගෙන යනව. පෙම්වත් උදාසන වෙල්යාය උඩින් - පැහෙන ගොයමට ඉහළින් - මගේ හදවත ඉස්මත්තෙන් මනරම් ව පායාගෙන එනව..

ආයේ දින කිහිපයකින් කොළොම්පුරවරේ නපුරු දූවිල්ලත් - වාහන තදබදයත් මැදයි මගෙ ජීවිතේට ඉරු උදා වෙන්නෙ. ඒ අරුණෝදය මෙපමණ මිහිරි බවකින් යුතු නැහැ. පෙම්වත් ව විඳින්නටත් අපහසුයි..

මෙහේ අන්තර්ජාල පහසුකම් නැති නිසා කලින් ම නින්දට යන්න පුළුවන්. කොළඹදි වගේ රෑට රෑ වෙන තුරු සින්දු අහන්න, ඊ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න ආදී මෙකී නොකී කාරණාවලට මෙහෙ ඉඩක් නැහැ. කලින් නින්දට යන නිසා ඉරු උදාවත් එක්ක ම ඇහැත් ඇරෙනව..

කොළඹත් මේ වගේ එක යායට විහිදුණු කෙත් යායවල් තියෙනවා නම්.. ඇඟේ ගෑවි ගෑවී දුවගෙන යන පුංචි වහු පැටව් ඉන්නවා නම්.. පාටපෙට්ටියෙවත් නැති අපූරු පාට එක්කහු වෙලා වර්ණ ගැන්විච්ච සමනළ යාළුවෝ ඉන්නව නම්.. මං කල්පනා කළේ අරමුණක් නැතිව ඔහේ ඇවිදගෙන යන ගමන්..

කොළඹදි හරි කළාතුරකිනුයි පාවහන් නැතිව ගමනක් බිමනක් යන්න ඉඩක් ලැබෙන්නෙ. පුංචි කාලෙදි සපත්තු ගළවලා ජනේලෙන් විසි කරපු වැසි දැරියට පාවහන් පැළඳීම කොයි තරම් එපා කරපු අත්දැකීමක් ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා වැරදිලාවත් මං නෙමේ මේ උදා සංචාරවලදි සෙරෙප්පුවක් කකුල අහලකට ගන්නෙ..  නිරුවත් දෙපාවලට මඩ වතුරත් - තණ පතුත් පෑගෙද්දි දැනෙන සනීපය වචනවලට නගන්න ඇත්තටම අපහසුයි..

"ගහකොළවල, වැව් පතුළෙ, ඇළදොළවල හැම තැනම කවි තියනව. පරිස්සමින් ඇවිදලා කවි  හොයාගන්න.."

කනටත් උරහිසටත් හිර වෙලා තිබුණ දුරකථනයෙන් ගලාගෙන එන කටහඬ ඇහෙන්නෙ වෙන කවරදාටත් වඩා සුන්දර ව..

පෙම්බර ඇමතුම් වුණත් වඩාත් මනරම් වටපිටාවක වඩා සුන්දර ව දැනෙන්න පටන් ගන්නව. බොහෝ වේදයිතයන් නගරයෙදි ඇති සැටියෙන් විඳින්න අපහසුයි..    හෝ ගාන පොකුණෙ ගුරුතුමිය තමන්ගෙ පෙම්වතාට අමතන්නෙ ගහක් උඩ ඉඳන්.. ඒත් සිග්නල් ඇඟෙත් හැපෙන කොළඹදි පිපෙන පෙම් මලකට වඩා ඒ මල් කැඩිල්ල හරි අපූරුයි...

හෙට ඉඳලා ආයෙමත් අර කාස්ටක පොළොවටයි ඉර ඇහැරෙන්නෙ. ඒ බව දැනෙද්දි හිත පිරෙන්නෙ වේදනාවකින්. ඇත්ත.. කොළඹ බොහොම පහසුකම් තියෙනවා. ඒත් මේ මිහිරෙන් අංශුමාත්‍රයක් කොළොම් පුරවරේ ඉරු උදාවක නැහැ..

ඒ දුකත් දරාගෙන ම මං වෙළ අද්දර හිටගත්තා. අපි කැමති වුණත් - අකැමැති වුණත් ජීවිතේට හැම වර්ගෙකම අරුණෝද උදා වෙනව. මනරම් උදා අරුණෝද වගේ ම - නොපහන් අරුණෝදත් අපි එක සේ ජීවිතේට පිළිගත යුතුයි. හෙට උදා වන කොළඹ අරුණ ගැන නොහිතා මං අද මේ පෙම්වත් උදාසන විඳගන්නා අරමුණින් පින්නෙන් නෑවිලා තිබුණ තණපත් යායක් මැද්දෑවෙ ඉඳගත්තා.. 

"ගමේදි තමා ඔයා ඇතුළෙ ඉන්න කවිකාරි කොටහළු වුණේ.."

දුරකථන රැහැන් අතරින් ඒ මොහොතෙ එහෙම කියැවෙනව ඇහුණ...

Tuesday, March 15, 2016

25. සොඳුරු අඳුර..

මේ දිනවල රැයට අන්ධකාරයි.. කළුවරින් වැහිලා. මේ විදුලි විසන්ධි වීම උස්තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් එය පිළිකුල් සහගතයි. නමුත් මේ කියන්න යන්නෙ ඒ ගැන නොවෙයි.. විදුලි විසන්ධියත් සමඟ ඇති වුණු සොඳුරු අඳුර ගැනයි..

විදුලි විසන්ධි වීම අපේ ගෙදර ඇත්තන්ට නම් කොහොමටත් ලොකු ගැටලුවක් නොවෙයි. ගෙදර රූපවාහිනියක් නැති නිසා ගෘහස්ත හිංසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් බඳු වස්සානේ ප්‍රේමයටවත්, අනන්තයෙන් ආ තරු කුමාරයන්ටත්, අහස පළාගෙන මතු වෙන ගායන සහ නර්තන තරුවලටත් අපේ ගෙදර කිසිම තැනක් නැහැ.. ගැටලුවක් ඇති වෙනව නම් ඇති වෙන්නෙ අඳුරේ පොත් කියවන්න අකුරු නොපෙනෙන නිසා පමණයි.. ඒත් ඒකත් ගණන් නොගත යුතු තරමට මේ අන්ධකාරය අපට එකිනෙකා හා සංවාද වෙන්න සුන්දර වටපිටාවක් තනා දෙනවා. 

ඊයෙ සුමින්ද කිත්සිරි ගුණරත්න, අපේ පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ ම කවියාගේ නව කවිපොත පිළිබඳ මිහිරි ඇගයුමක් පැවතුණා. එය නිම වී අම්මාත් - මාත් නිවසට එද්දි රෑ බෝ වෙලා. ගෙදර ඇත්තො අන්ධකාරෙ ඉටි පහන් දල්වාගෙන අපි එන තුරු බලන් ඉන්නවා. විදුලිය නැවත ලැබෙන තුරු අපි ජීවිතේ ගැන, සාහිත්‍යය ගැන කතාබහේ නියැලුණා. අ.පො.ස විභාගත් එක්ක පැටලෙමින් ගෙවුණ ජීවිතේ පහු කාලෙදී එහෙම සුන්දර සංවාදවල නිමග්න වෙන්න ලැබුණු කාලය අඩුයි.. ඒත් මේ අන්ධකාරය විසින් ඉබේම මනුස්සකම්වලට - කවි කතන්දරවලට මතු වෙන්න කාලෙ සකසලා දෙනවා.. ඒක පුදුමාකාර මිහිරක්..!! 

ඒ අතරෙ මං විභාගය සමත් වීම වෙනුවෙන් අපේ අසරණ තාත්තට ගෙවන්න වුණු දඩය අතරට එක් වෙලා තිබුණ ස්ටෙෆ්නි මේයර් කියන මැජික්කාරිගෙ ට්වයිලයිට් කෘතිය ( ඔව්.. ඔව්.. ෆිලුම් එක හැදුවෙ ඒ පොතෙන් තමා) මාව අමන්දානන්දයට පත් කරමින් තිබුණ වෙලාවක විදුලි විසන්ධි වීම කියැවීමට බාධාවක් කරගන්න හිත් දුන්නෙ නැහැ. ඒ නිසා කට්ට කළුවරේ තමා එඩ්වඩ්, බෙලාට ආදරය ප්‍රකාශ කරන අන්දම කියෙව්වෙ.. පුංචි විදුලි පන්දමක් ආධාරයෙන්. වැම්පයර් කොලුවෙකුත් - මනුස්ස කෙල්ලෙකුත් අතර ඇති වුණ මේ අසාමාන්‍ය ආදර අන්දරය තනිවම බෙදා ගැනීම වරදක් යැයි හිතුණ නිසා ඒ මොහොතෙ මගෙ සමීප ම මිතුරියකට කෙටි පණිවිඩයකුත් කෙටුවා කලුවරේ ම. ඇගෙන් හැරෙන තැපෑලෙන් ආවා තරමක් දිගු කෙටි පණිවිඩයක්..

Enjoying the bliss of darkness in the company of a glowing candle.. 

ඒ කෙටි පණිවිඩයෙ තැනක එහෙම සටහන් ව තිබුණා. අන්ධකාරය සාපයකැයි නොසිතා එය අත් විඳින්නට පුළුවන් මිතුරු සිත් සිටීම වාසනාවකැයි සිතන ගමන් ම මම තව දුරටත් ට්වයිලයිට් නමැති මන්ද්‍ර අන්ධකාරය ඇතුළෙ කරක් ගැහුවා..

රූප පෙට්ටියෙන් එහා ගිය ජීවිතයක් තමන්ට තිබෙන බව මතක් කරගන්න මේ මොහොතෙ අපිට හැකි වුණොත් ඒක අන්ධකාරයෙන් උදා කර ගත හැකි අපූර්ව ආලෝක පුංජයක් යැයි සිතෙනවා.. 

Thursday, March 3, 2016

24. අට වසරේ දුටු සිහිනය - මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

   
මා අට වසරේ දී පමණ දුෂ්කර පළාතක ගුරුතුමියක් වන්නට ඇත්නම් යැයි සිහින මැවූයෙමි. ඉනික්බිති දිගින් දිගට ම ඒ ගැන අවදියෙන් හිඳ සිහින දකින්නට පටන් ගතිමි. එය ඉතා මිහිරි සිහිනයක් විය. ඒ හීනයේ මම යොවුන් ගුරුතුමියක් වී උනිමි. දුෂ්කර පළාතක ඉගැන්වූ ගුරුවරයෙක් මගේ අනාගත පෙම්වතා වනු ඇති යැයි මම ඒ කාලයේ කල්පනා කෙළෙමි. රජරට හැඩහුරුකම් තිබූ පෙදෙසක මා ඒ නාඳුනන පෙම්වතා සමඟින් අත්වැල් බැඳ ඇවිදින යුරු ද, පුංචි දරු දැරියන්ට උගන්වන යුරු ද ඒ හීනවල කොටස් විය. අට වසරේ කෙල්ලක ලෙස මා දුටු සුන්දර ම සීනය එය විය.

නිවසට පැමිණි මව්පියන්ගේ හිතෛෂීහු මගෙන් අනාගත බලාපොරොත්තුව විමසූහ.

මම තනි වාක්‍යයකින් ඊට පිළිතුරු දුනිමි.

මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

ප්‍රශ්නය විමසූවෝ මුහුණින් මුහුණ බලා ගත්හ. වෛද්‍යවරියක වන්නට එසේත් නැත්නම් ගණකාධිකාරිවරියක වන්නට කිසිදාක මම සිහින නොදිටියෙමි. 

දිවුරමි! කිසිදාක මසිතේ එවන් සිහින පැන නැඟුණේ නැත.

ගුරු හීනයට මුල් වූයේ කුමක් දැ යි මම නොදනිමි. ඇතැම් විට මම මගේ දෙමව්පියන් වෙතින් දුටු පරමාදර්ශී ගුරු භූමිකාව වන්නට පිළිවන. එසේත් නැත්නම් රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල දුෂ්කර සේවයේ යෙදුණු කාලයේ ලියැවුණු සුන්දර කවි - ගීත ඊට උල්පත වූවා වෙන්නට පිළිවන.

බිම් තඹුරු මලයි ඔබ
මල් නැති සුදුවැලි යානේ
බිම්පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ..

වැනි මිහිරි ගීත ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ මෙසමයේ යැයි මම විශ්වාස කෙළෙමි. ඒ ගුරු ජීවිතය කොතෙක් සුන්දර වන්නට ඇත්දැයි කල්පනා කොට පිනා ගියෙමි. ඒ මිහිරි හැඟුම් මේ හීනයේ උල්පත යැයි අද මට සිතෙයි.

හීනය අලුත්වැඩියා වූයේ දහය වසරේ දී ය. සාමාන්‍ය පෙළට පාඩම් කරන්න යැයි කියා මව්පියෝ කිසිදාක මට  බල නොකළහ. මම පාඩම් ද කළෙමි. නමුත් වැඩියෙන් කියැවූයේ නවකතා ය. දියණිය පාඩම් කළ යුතු යැයි කියා තාත්තා මට පොත් ගෙනැවිත් දීම නතර කළේ ද නැත. තමා යම් සුන්දර පොතක් කියැවූවා නම් මා ද එය කියවිය යුතු යැයි විශ්වාස කළ ඔහු හදවතට දැනුණ යමක් වෙතොත් එය මාතට ද පත් කළේ ය. එසේ මා අත පත් වූ පොතකි අලුත් ඉස්කෝලෙ හාමිනේ.. යන අපූරු ප්‍රබන්ධ කතාව!

එහි පරමාදර්ශී ගුරු යුවළක් විය. ඔවුන් දෙදෙනා ළඟ ළඟ පාසල් දෙකක සේවය කළ ගුරු යුවළකි. ඔවුන් තමන් සේවය කළ දුෂ්කර පාසල් ද්වයය දාඩිය මහන්සියෙන් ගොඩ නගන්නට අත්‍යන්තයෙන් ම වෙහෙස වූ අන්දම විදහා පෑ ඒ කතාව අදටත් මගේ ප්‍රියතම කෘති අතර ඉහළින් ම පවතින්නකි. ඒ කියැවීමත් සමඟ ම දුෂ්කර සේවා හීනය වඩාත් සුන්දර ලෙස දකින්නට පටන් ගතිමි.

ඒ අතරේ දුෂ්කර පළාතකට ගුරු පත්වීම් හිමි වූවන් විඳින නොවිඳිනා දුක්  දකිමි. ඉදිරියටත් දකින්නට සිදු වනු ඇත. එහෙත් පුදුමයකට මෙන් ඒ සියල්ල දැක දැකත් මගේ දුෂ්කර සේවා සිහිනය බොඳ ව නොයේ. ජීවිතය ඉදිරියේ කොතෙක් පහසු අවස්ථා තිබියදීත් ඒ සිහිනය දළු ලා වැඩෙයි. ඉතා කෙටි කාලයකට හෝ දුෂ්කර පාසලක ස්වේච්චාවෙන් උගන්වන්නට සිත් වෙයි.

ඒ දුක දකිද්දී මට හෝ ගානා පොකුණේ ගුරුතුමිය සිය පෙම්වතාට පවසන දෙබසක් සිහි වෙයි.

හිතුවට වඩා අමාරුයි.. 
ඒත් හිතුවට වඩා ලස්සනයි..                                                                                                                                                                                                          
ඒ අතරේ යමෙක් හෝ ගානා පොකුණ බලන්නට ගියේය. ඉනික්බිති මගේ දුරකථනයට කෙටි පණිවිඩියක් පැමිණ තිබිණි. එහි මෙසේ සඳහන් විය.

ඔයාට දුෂ්කර පළාතකට ගිහින් ඉගැන්නුවොත් ඒ ටීචර් වගේ ඉඳීවි..

ඔහු එසේ කියද්දී මට අට වසරේ දුටු සිහිනය සිහිපත් විය.