Wednesday, June 26, 2024

103. ගුරු දියවර නවකතාව - තිස්දෙවන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                                             


                                                                     ගුරු දියවර 32

“නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්වෙන කෘතෝපහාරී මහෝත්සවයට මෙබඳු ශුභාසංසන පණිවිඩයක් නිකුත් කරන්නට ලැබීම මට මහත් සතුටකි. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ සේවය ඇගයීම, මහව නව කොට්ඨාස අධ්‍යක්ෂතුමාට සුභපැතීම සහ අභිනව විදුහල්පතිතුමිය පිළිගැනීම යන මංගල කාරණා ත්‍රිත්වය පෙරටු කොට ගෙන මෙය සංවිධානය කරන්නට යෙදුණු බව ඔබ සංවිධායක මණ්ඩලය මවෙත දන්වා තිබේ. ඔබ විද්‍යාලය ද ඇතුළු ව සිය කොට්ඨාසයේ සියලු පාසල්වල අභ්‍යුන්නතිය උදෙසා කටයුතු කළ මගේ සේවා ජීවිත කාලය තුළ මට හමු වූ සුවිශිෂ්ට පරිපාලන නිලධාරිනියක මෙන් ම අපට කලණ මිතුරියක වූ ආචාර්ය සුරේශ් රාජරත්නම් මැතිනියගේ සේවා සම්ප්‍රදානය අගයමින් ඇයට චිරජීවනය ප්‍රාර්ථනා කොට හදවතේ ගැඹුරු ම තැනින් පළමු ව එතුමියට සුභ පතනු කැමැත්තෙමි. දෙවනු ව එතුමියගේ තනතුරට අභිනවයෙන් පත් වූ එම තනතුරට අත්‍යන්තයෙන් යෝග්‍ය මෙතෙක් ඔබගේ ආදරණීය විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දර්ශනපති නාලක දේවනාරායණ මැතිඳුන්ට මගේ සුපැතුම් පිරිනමමි. එසේ ම එතුමාගේ නික්ම යාමෙන් හිස්වන විදුහල්පති තනතුරට පත් වන විදුහල්පති ප්‍රථම ශ්‍රේණිධර අධ්‍යාපනපති සුමනා හේරත් මහාත්මාවට සෙනෙහසින් සුබ පැතීමට ද මෙය අවස්ථාව කොට ගනිමි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා අද දින කලාප අධ්‍යක්ෂතුමන්ගේ සහ මගේ අනිවාර්ය සහභාගිත්වය ලබා දිය යුතු බැවින් ඔබ උත්සවයට සහභාගී වීමට අවකාශ නොලැබීම ගැන ඉතා කණගාටු වෙමි.

රාජරත්නම් මැතිනියනි, මහව නව කොට්ඨාස අධ්‍යක්ෂතුමනි, අභිනව විදුහල්පතිතුමියනි, සහකාර විදුහල්පතිවරුන් සහකාර විදුහල්පතිනියන් ඇතුළු ආදරණීය ගුරු සහෘදයනි, අනධ්‍යයන කාර්ය මණ්ඩලීය හිතවතුනි, දයාබර දෙමවුපියනි, මගේ ආදරණීය සිසු දූ පුතුනි,

අපි හෙට දවසේත් මෙරට අධ්‍යාපනයේ ප්‍රගතිය උදෙසා එක් ව වැඩ කරමු.

ඔබ සියලු ම දෙනාට යහපත ම වේවා!

නදිතා චන්ද්‍රසේකර

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ”

එදින නාගොල්ලාගම පාසල් පරිශ්‍රයේ පැවැති චාම් උත්සවයේ දී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් එවා තිබූ එම සුබපැතුම් පණිවිඩය ඉදිරිපත් කරන ලද්දේ තෙන්නකෝන් ආචාර්යවරයා විසිනි. අනතුරුව ඔහු මෙසේ පැවසීය.

“අභිනව කොට්ඨාස අධ්‍යක්ෂතුමනි, අභිනව විදුහල්පතිතුමියනි, ආචාර්ය මණ්ඩලයේ සහෘදයනි, අනධ්‍යයන මිත්‍රවරුනි, දයාබර දෙමව්පියනි, මගේ සදාදරණීය සිසු දූ පුතුනි,

අද දවස කියන්නෙ මට දුක සතුට දෙක ම එකට මිශ්‍ර වෙලා දැනෙන දවසක්. ඔබ සියලු දෙනා සම්බන්ධයෙන් ගත්තත් ඒ කාරණේ නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. ඇයි අපේ හිත්වලට මේ සා දුකක් දැනෙන්නෙ කියන කාරණේ ගැන මුලින් ම වචනයක් දෙකක් කියන්න මන් කැමතියි. අපිට අද ඉඳලා අහිමි වෙන්නෙ කවදාවත් නිල බලයෙන් හිස උදුම්මගෙන කටයුතු කරපු නැති අධ්‍යාපන අධ්‍යක්ෂතුමියක්. ඒ කියන්නෙ මේ රාජරත්නම් මැතිනිය. අපේ පාසලේ විතරක් නෙමෙයි අපේ කොට්ඨාසෙම තරුණ ගුරු සහෘදයන් ඇයට කිව්වෙ අධ්‍යාපන කාර්යාලෙ අම්මා කියලයි. මන් හිතන්නෙ ඒ තමයි එතුමිය තමන්ගෙ ජීවිත පැවැත්මෙන් උපයා ගත්ත ධනය. මේ වගෙ ස්ත්‍රී රත්නයක් අපට අහිමි වෙන එක අපට ලොකු දුකක් තමයි. එහෙනං ඇයි මන් මේ සතුටක් ගැනත් කියන්නෙ. ඔව් එතුමියගෙන් පස්සෙ ඒ පුටුවට එන්නෙ මේ පාසලේ විතරක් නෙමෙයි මේ මුළු ගමත් එක්කම හරිම සහයෝගෙකින් වැඩ කරපු අපේ ලොකු සර්. මට මේ සබාවෙ ඉන්න කාගෙත් වගෙ ඇස් පේනවා ලොකු සර්. ඇයි මිනිස්සුන්ගෙ ඇස් තෙත් වෙන්නෙ. ඒ කාරණේ සම්බන්ධයෙන් හේතු වෙච්ච චුදිතය නම් කරන්න කිව්වොත් මට අපේ ලොකු සර්ට තමයි ඇඟිල්ල දික් කරන්න වෙන්නෙ. ඇයි සර් මිනිස්සුන්ට අඬන්න හිතෙන තරන් ආදරේකින් සර් මිනිස්සුත් එක්ක ජීවත් උනේ. මේ ගැන මන් වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. මේ රේණු නදී මිස්ලා ආචාර්ය මණ්ඩලේ විතරක් නෙමෙයි මේ දුවලා පුතාලා ඇතුළු ඔක්කොම එකතු කරගෙන කරන මේ කළගුණ සැලකීමේ උත්සවේ දි ඒ ගැන බොහෝ දෙනා තවත් දේවල් කතා කරාවි. සර් අපිට දුක උනාට මේ කාටත් සතුටු වෙන්න පුළුවන් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි සර්ගෙ සේවෙ අපිට විතරක් සීමා වෙන්නෙ නැතුව මේ කොට්ඨාසෙ තියෙන තරන් ඔක්කොම ඉස්කෝලවලට ලැබෙනව කියන එක. ඒක නිසා මන් මේක සලකන්නෙ අපි කාටත් කඳුළු අතරින් සිනාසෙන්න ලැබිච්ච අවස්ථාවක් හැටියටයි. ඒ වගෙම මේ වෙලාවෙ මන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කරන තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපිට දෙයක් අහිමි උනාට ඒ අහිමි වීම් අතරෙදිම හිමිවීම් සිද්ද වෙනවා කියන කාරණේ. සුමනා මැඩම් අපේ විදුහල්පතිතුමිය වීම මට දැනෙන්නෙ එහෙමයි. මන් හිතන්නෙ ඒක අපි කාටත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. මන් තවත් කාලෙ ගන්න යන්නෙ නැහැ. රේණු මිස් කිව්වෙ මුළු වැඩ සටහන ම පැය එකහමාරකට සීමා කරලා තියෙනවා කියලයි. අපි දැන් ඒකට ඉඩ දෙමු. 

මේ සියලු ම දෙනාට තෙරුවන සරණ යි.”

දැන් සිදු කෙරෙන්නට යන වැඩ සටහන නිර්මාණය වූයේ ද වෙනස් ආකාරයකට යි. තෙන්නකෝන් ආචාර්යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ රැස්වීම මුල දී පැය දෙකහමාරක කාලය පුරා විහිදී යන ලෙස සකසා තිබුණත් පසුව එය පැය එකහමාරකට සීමා කිරීම සුදුසු ය යන්න වැඩි දෙනාගේ අදහස විය. නිවේදන කටයුතු සඳහා ගඟුල්ගේ නම යෝජනා වුව ද ඔහු ඊට යෝජනා කෙළේ 12 ඩී පන්තියේ ඉගෙනුම ලබන අනුපම ශිෂ්‍යයාගේ නම යි. ආචාර්යවරුන් වෙනුවෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා මුල දී නම් සතරක් යෝජනා වුවත් එය ඇති කාලය අනුව කතා දෙකකට සීමා කිරීම සුදුසු ය යනු වැඩිදෙනාගේ අදහස විය. වැඩිහිටි තරුණ ගුරු සමූහය එක් කතාවකට යෝජනා කෙළේ තෙන්නකෝන් මහතාගේ නම යි. එහෙත් එහිදී කතාකළ ඒ මහතා අවධාරණයෙන් කියා සිටියේ සිල්වා මහත්මිය හෝ වැලිකල මහත්මිය වෙතින් ඒ කාර්යය ඉටු විය යුතු බව යි. අවසන ඒ කාර්යය කිරීමට අයිරාංගනී සිල්වා ආචාර්වරිය එකඟ වූවා ය. තරුණ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් අදහසක් ඉදිරිපත් කිරීම සඳහා අතුල, රේණු, නදී සහ ගඟුල් යන ගුරු චතුර්ථයේ නම් ඉදිරිපත් වුවත් එහිදී අතුල, නදී මෙන් ම ගඟුල් ද එකහෙළා කියා සිටියේ රේණු ඒ කතාව කළ යුතු බව ය. අවසන එය ම ස්තුති කතාව බවට පත්කොට ගනිමින් තවදුරටත් කාලය කළමනාකරණය කොට ගත හැකි බව නදී ආචාර්යවරිය ප්‍රකාශ කළා ය. ඒ අනුව ඒ වගකීම භාර ගත් රේණු ආචාර්යවරිය සියලු ශිෂ්‍යයන් වෙනුවෙන් වන කතාව සකුණි සිසුවියට බාර දෙන්නැයි ඉල්ලීමක් කළා ය. ඇතැම් ගුරු භවතකු විසින් මොනවා කියාවි දැයි විශ්වාසයක් තැබිය නොහැකි තැන්පත්කමක් නැති එවන් සිසුවියකට මෙවන් භාරදූර වගකීමක් බාර දීමේ ඇති අවදානම ගැන ප්‍රශ්න කළ විට රේණු පැවසුවේ එහි වගකීම තමන් බාර ගන්නා බව ය. එක ම එක දැනෙන හෘදයංගම ගීතයකින් සභාවට සංග්‍රහ කළ යුතු ය යන අදහස ඉදිරිපත් කරන ලද්දේ ද නදී ආචාර්යවරිය විසිනි. එය අනුමත කරමින් කතා කළ මිහිදිනී මෙයට තවත් එක් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැමති බව කියා ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක ලවා පද්‍ය පන්තියක් ගායනා කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්නා ය. ඒ අනුව ගීතය ඉදිරිපත් කිරීම ආනන්ද සසිත් සහ චන්දූපමා චාරුතරංගී ශිෂ්‍ය යුග්මයට පැවරීමට තීරණය වූ අතර පද්‍ය පන්තිය ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගැනුණේ සඳමිණි ඇඹරළුව සිසුවිය යි. එසේ ම දෙමවුපියන්, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් එක් අදහස් දැක්වීමටත් ඒ ඒ අවස්ථාවනට ගැළපෙන පරිදි රාජරත්නම් මහාත්මිය, අභිනව කොට්ඨාස අධ්‍යක්ෂතුමා සහ නව විදුහල්පතිතුමිය කතා කළ යුතු බවත් සාකච්ඡා කමිටුවේ පොදු අදහස විය.   

මේ අනුව සභාවට පැමිණියේ සුදෝසුදු ජාතික ඇඳුමකින් සැරසී සිටි අනුපම හේරත් ශිෂ්‍යයා ය. ප්‍රවීණ නිවේදකයකුගේ ගුණරුව සිහිපත් කරන සුළු මේ යෞවනයා එච්. ඇම්. කුඩලිගමයන්ගේ කවක එක් පෙළක පමණක් වෙනසක් සිදු කරමින් කළ සිය සමාරම්භයෙන් ම මුළු සභාව සිය වසඟයට ගැන්මට සමත් විය.

“සිතිවිලි මුහුදු වෙරළෙහි නැගි   කිරි පබලු 

ඔබ දුටුදාට මට මුළු දවස ම          සුබලු

ළබැඳිනි අද දිනේ මේ පින්බිම  බැබලූ

නව ජීවිතය පිළිබඳ       හදවත ඔබලු ”

ප්‍රිය අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි, නව අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට භාග්‍යවත් වූ ගුරු පියසඳුනි, අභිනව විදුහල්පතිතුමියනි, නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ආදරණීය ගුරු මවුවරුනි, ගුරු පියවරුනි, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩිහිටි හිතමිතුරනි, අපගේ දයාබර දෙමවුපියනි, මගේ ළබැඳි සිසු මිතුරනි, මිතුරියනි,

අපගේ පාසල් ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් සලකුණු කරන මේ උත්සවයේ නිවේදන කටයුතු කිරීම සඳහා මා තෝරා ගැනීම ගැන පළමු ව මගේ කෘතඥතාවත් හද පිරි සතුටත් ඊට මුල් වූ සියලු චරිත විෂයයෙහි පුදන්නට කැමති යි. ඇත්තට ම ශිෂ්‍යයන් වන අපට පසුව දැනගන්නට ලැබුණු පරිදි මේ සඳහා මුලින් ම යෝජනා වී තිබෙන්නේ අපේ ආදරණීය ගඟුල් සර්ගේ නමයි. ඒ අවස්ථාවේ සර් ඒ සඳහා මගේ නම යෝජනා කර තිබෙනවා. ඊට අනුමැතිය පළ කළ අපේ දයාබර නව විදුහල්පතිතුමිය ඇතුළු ආදරණීය සියලු ගුරු මවු පියවරුන් වෙත මගේ ගෞරවය පුද කරනවා. මෙය මා සලකන්නේ අපේ දයාබර ගුරු මවු පියවරුන් සිය ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි තැබූ විශ්වාසයේ ප්‍රකාශනයක් වශයෙනු යි. එහෙයින් මගේ පාසලේ ලොක කුඩා පන්තිවල ඉගෙන ගන්නා සියලු සොයුරු සොයුරියන් වෙනුවෙන් ඒ වගකීම මට හැකි උපරිම ආකාරයෙන් ඉෂ්ට කරන්නට මා වෑයම් කරනවා. 

අද දවසේ මේ කෘතෝපහාරී උත්සවය සඳහා මූලික නිමිත්ත වන්නේ අපේ ආදරණීය විදුහල්පති ගුරු පියාණන්ගේ නික්ම යාම යි. අපට හිරු සඳු සේ දැනෙන මේ මහා ගුරුතරුව මේ විදුබිම්කඩින් නික්ම යන්නේ තවත් මෙබඳු විදුබිම්කඩ ගණනාවකට ආලෝකය ලබාදීමට යි. අපිට මතකයි සිංහල සාහිත්‍ය විෂයට අපට ගුරුවරයෙක් නැතුව සිටි කාලයේ භූගෝලවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි ඔබතුමා අපට සාහිත්‍යය ඉගැන්වීමට ඉදිරිපත් උනා. මේ විෂය ඉගැන්වීමට හැකියාව තිබූ ගුරුවරුන් අතළොස්ස පවා අපේ පන්තියට එන්නට අකැමැති උනේ අපේ ම මරුමුස් වැඩ නිසා බව ඒ ගුරු උතුමන්ට ගුරු උතුමියනට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා කිව යුතු ම යි. ලොකු සර් ඔබ සාහිත්‍යය ඔස්සේ ඒ ගොඩිගල් පන්තිය මුදු මල් පිපෙන බිම්කඩක් කළා. දැන් ඒ බිමේ සාහිත මල් පැල කරන්නේ ගඟුල් සර්. ලොකු සර්ට මතක ද අපේ පන්තියට ආ පළවෙනි දවසේ අපට පියදෝර් දොස්තොයෙව්ස්කිගේ ප්‍රකාශයක් කිව්වා. ජී. එස්. බී. සේනානායක මහත්තයා කරලා තිබුණ ඒ පරිවර්තනේ මන් මට මතක තියෙන හැටියට කියන්නං.

“ඒක සාහිත්‍ය උත්සවයක්. ඒ අවස්ථාව කොතරම් මිහිරි ද කියනවා නම් මල් ගොඩක් මැද ඉන්නව වගෙයි. ඒකට කියන්ඩ වෙන වචනයක් නැහැ. ඔහු කියවන හැම පිටුවකින් ම මල් පොකුරක් හදන්ඩ පුලුවනි. ඔහු ඒ වගේම කරුණාවන්තයි, සාධාරණයි, අනුන්ට පිහිටවන සුලු යි. එයාව සමාන කරන්ඩ පුලුවන් මොකකට ද, මොකකටවත් බෑ.”

ලොකු සර්, සර් එදා උගන්නපු පාඩම කවි පාඩමක් කළා අපේ සහෝදරියක්. අපි දන්නවා ශිෂ්‍ය අපි විතරක් නෙමෙයි අපේ ආදරණීය ගුරු මවු පියවරුන්, අපේ දෙමව්පියන් තුළත් ඔබතුමා ගැන තියෙන්නෙ ලොකු ආදරයක් ගෞරවයක්. ඒක නිසා මේ වෙලාවෙ ඉතාම ආදරයෙන් ආරාධනය කරනවා අප සියලු ම දෙනා වෙනුවෙන් ඒ කවිකාරියට කවියෙන් ඒ හැඟුම් කියන්නට. එන්න වේදිකාවට මගෙ සහෝදරී,

විදුබිම කවිතරුව සඳමිණි ඇඹරළුව  

සඳමිණි සිසු දියණිය පළමු ව මුළු සභාවෙන් ම අවසර ගත්තේ ද කවියෙනි.

අදියුරු   මැතිනියනි 

ගුරු මවු    පියසඳුනි  

ළබැඳි මවු පිය වරුනි

මගෙ මිතුරු මිතුරියනි

අනතුරුව තත් සභාසදය පුරා පැතිර ගියේ තුරුණු දැරියකගේ හෘදයහාරී අව්‍යාජ කටහඬ යි.

“මල් මැද සිටිනවා වැනි    මුදු හැඟුම් දිදී

 ඔබ ළඟ රැඳී සිටියෙමු සෙනෙහසින් බැඳී

සාහිත ගඟක් ගැලුවා ඔබ කෙරෙන්   ඇදී

        ඒ ගඟ ගලයි, ගඟ දුන්     උල්පතෙන් මිදී 


අප සිටිය දී සාහිත රසයෙන්       මත් ව

මල් විල මල් අතර රැඳුණා      සියපත් ව

ගුරු පිය සඳුනි, ඔබ සිටි සැටි   සිහිපත් ව

‘ඔබ දුටු’ සුහද නෙත් යයි කඳුළින් තෙත් ව


මුදු බව ආදරය         හද සඳවතින් දෙයි

ඔබ ඇති තැන  දි පාළුව     හදවතින් යයි

ජීවිතයේ අරුත ඇසුවේ       ඔබෙන් ම යි

හිරු ඔබ, අද බසියි    හෙට පෙරදිගින් එයි”


මෙහි අවසන් පෙළ ගයද්දී බිඳී ගියේ දැරියගේ කටහඬ යි, තෙමී ගියේ සභාසදීය සහෘදය ඇස යි. 

සිය කවි ගැයුමින් පසු සඳමිණි දැරිය දිව ගියේ සිය විදුහල්පති ව මෙතෙක් කටයුතු කළ අභිනව කොට්ඨාස අධ්‍යක්ෂ නාලක දේවනාරායණයන් වෙත ය. එසේ පැමිණි ඇය සිය ගුරුපියසඳු පාමුල වැඳ වැටුණේ හඬමිනි. ඒ වූ කලී අව්‍යාජ පැනසර මිනිසකුගේ සේවා සම්ප්‍රදානය පිළිබඳ සමස්ත පාසලේ මතු නොව නාගොල්ලාගම ග්‍රාමයේ ම සංකේතනීය ප්‍රණිපතනයක් විය. හිඳ සිටි අසුනින් නැඟී සිටි දේවනාරායණ මහතා සිය සිසු දියණියගේ හිස පිතෘ ස්නේහයෙන් සිඹ මෙසේ ඇසී ය.

“ඇයි දුවේ ඔයගොල්ලන්ගෙ හිතේ තියෙන මේ කවි මෙච්චර දවසක් මට නොපෙන්නා හංගගෙන හිටියෙ.”

එයට පිළිතුරු දුන්නේ දැරිය නොව දේවනාරායණ මහතාට යාබද අසුනේ හිඳ සිටි අභිනව විදුහල්පතිවරිය යි.

“කෙල්ල මේ කවි හංගගෙන ඉඳලා තියෙන්නෙ සර් ඒවා ලෝකෙකට ඇහෙන්න ම ඕන දවසෙ දි කියන්න. මන් හරි නේද දුවේ.”

සඳමිණි ඊට ප්‍රතිචාර දැක්වූයේ හිස සැලීමෙනි. අනතුරුව විදුහල්පතිවරිය ඇයගෙන් මෙසේ ඇසුවා ය.

“දැන් දුවේ ඔයා අපේ ලොකු සර් යන දවසෙ ඔයගොල්ලන්ගෙ හැඟීම කිව්වා. මන් යන දවසටත් කියනව ද කවියක් දෙකක්.” 

“එතකොට මැඩම් මන් ඉස්කෝලෙ නැති වෙයිනෙ.”

“ඒ දවස් වෙන කොට ඔයා ඉස්කෝලෙන් ගිහිල්ල ඉඳියිනං තමා.”

විදුහල්පතිතුමිය එසේ කී පසු ඊට ඌනපූරණය සිදු කරන ලද්දේ අභිනව කොට්ඨාස අධ්‍යක්ෂවරයා විසිනි.

“ඒ උනාට සුමනා එදාටත් මේ කෙල්ල මේ රටේ හිටියොත් ඉස්කෝලෙන් ආරාධනයක් දුන්නත් නැතත් මෙතෙන්ට ඇවිල්ල කවියක් දෙකක් කියාවි. හැබැයි ඒ ඉස්කෝලෙ ශිෂ්‍යාවක් විදිහට නෙමෙයි මුළු රට ම දන්න සඳමිණි ඇඹරළුව කියන මහ කිවිඳිය විදිහට.”

සංවාදය නතර වූයේ සියලු සිදුවීම නිරීක්ෂණය කළ තුරුණු නිවේදකයා සිය හඬ අවදි කළ බැවිනි.

“ගුරුවිවරණ ලබා සිසුවිය යන      අතර

ආදරණීය දෙය ළඟ හද වෙයි      නතර

වැඩිහිටි ගුරු මවුනි,  අප    පාසල් ගෙදර

ඔබ හඬ අවැසි ම ය පවසට මෙන් වතුර”

මන් මේ නිවේදන කටයුතු කරන විදිහ ගැන උපදෙස් ටිකක් ගන්න ගඟුල් සර් ළඟට ගිය වෙලාවෙ සර් මට දුන්නෙ එකම එක උපදේශයක් විතරයි. ඒ තමයි තමන් කරන දේට අවංක වෙලා අව්‍යාජ විදිහට ඒ වැඩේ කරන්න කියන එක. ඒ වගෙම සර් කිව්වා තමන්ට කෙනෙක් ගැන දැනෙන දේ ආදරණීය දෙයක්නං ඒක තමන් කියන්නෙත් හදවතේ ගැඹුරු ම තැනින් නං ඒක අහන කියන කාටත් දැනෙනවා කියන එක. මන් මේ ඊළඟ ආරාධනය කරන්නෙ කාටද කියන එක ඉස්සෙල්ල කියපු කවියෙන් ම මේ ගරු සභාවට තේරුම් යන්න ඇති කියලා මන් හිතනවා. එක කාලෙකදි අපිට වැඩියෙන් ම බැණපු වැඩියෙන් ම සැර කරපු  අපිත් ප්‍රසිද්ධියෙ නොවුණත් හිත යටින් බැණපු ගුරු මවක් පස්සෙ කාලෙකදි අපි ගොඩක් ආදරේ කරන චරිතයක් වෙනවා. ශිෂ්‍යයන් වන අපිට එතුමිය වැඩියෙන් ම තේරුම් ගන්න ලැබෙන්නෙ ඉස්සරහට කරන්න යන ක්‍රීඩා උත්සවේ සංවිධාන කටයුතුවලදි එතුමියට සමීප වෙලා වැඩ කරන්න ලැබුණට පස්සෙයි. අම්මලට විතරක් නෙමෙයි ගුරු අම්මලටත් ළමයින්ගෙ,  ශිෂ්‍යයන්ගෙ බඩගින්න දැනෙනවා කියන එක ඔප්පු කරපු අපේ පාසලේ ජ්‍යෙෂ්ඨතම ආචාර්යතුමියට යි, එදා බැණුම් අහපු අද වෙන කොට එතුමියගෙන් වැණුම් ලබන මේ ශිෂ්‍යයා ආරාධනය කරන්නෙ. අපේ ආදරණීය වන්දනීය දෙටු ගුරු මවුනි, දයාබර අයිරාංගනී සිල්වා මැතිනියනි, ඔබතුමියටයි දැන් වේදිකාව.”

මේ මොහොතේ ශිෂ්‍ය ප්‍රජාව වෙතින් නැඟුණු අත්පොළොසන් නාදය සිය පාසල් ගුරු ජීවිත සමය තුළ ඇසූ සුවිසල් ම අත් පොළොසන් නාදය බව පසු කලෙක ගඟුල්ට පැවසුවේ විදුහල්පතිතුමිය යි.

අයිරාංගනී සිල්වා ජ්‍යෙෂ්ඨ ආචාර්යවරිය මුළු සභාවෙන් ම පොදුවේ අවසර ගෙන සිය කතාව ආරම්භ කළා ය. සිතට සතුට ගෙන දෙමින් ද වරෙක ඇසට කඳුළ කැඳවමින් ද තව වරෙක මුළු සභාසදය සිනා සයුරක ගිල්වමින් ද ඇය කළ කතාවේ කොටසක් හෝ සඳහන් නොකිරීම අඩුවකි. 

“ඇත්තම කියනවනං ලොකු සර් මට අපේ මේ ආදරණීය ශිෂ්‍ය පුත්‍රයා ඒ දවස්වල මන් කියපු විදිහට කියනවනං 12 බී එකේ මාරපුත්‍රයා මට මේ ආරාධනෙ කරපු වෙලාවෙ මන් සභාවට ආවෙ ටිකක් නෙමෙයි ලොකු චකිතයකින්. ලොකු සර් වෙනුවෙන් කරන වැඩක් නිසා කවුරුත් මට හූ තියන එකක් නෑ කියල නං හිතුවා තමයි. ඒත් මේ අඩුම තරමට පොඩි පොඩි ෂූ ෂූ පාරවල් දෙකක් තුනක් නං අපේ කොල්ලො කෙල්ලන්ගෙන් ලැබෙයි කියලා හිතාගෙන ආවට ඒ වෙනුවට මට ලැබුණෙ මන් කලින් නොහිතපු විදිහෙ ප්‍රතිචාරයක්. මගෙ දුවලා පුතාලට වගෙම මේ සභාවෙ ඉන්න සියලු ම දෙනාට ඒ ගැන පළමුවෙන් ම මගේ අවංක බැතිබර ස්තුතිය පළ කරන්න කැමතියි.” 

ඇය එසේ කතා කිරීමත් සමග ඊට ද ලැබුණේ අත්පොළොසන් නද රැසක් එක් වූ උණුසුම් ප්‍රතිචාරයකි. යළිත් ඕ සිය හඬ අවදි කළා ය.

“අද මේ වැඩ සටහනට මුල් වෙන ප්‍රධාන කරුණු තුනක් ගැන අපේ තෙන්නකෝන් සර් මුලින් ම සඳහන් කළා. ඒ අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමිය සේවයෙන් විශ්‍රාම යාම, අපේ ලොකු සර් ඒ තනතුරට පත් කිරීම නිසා අපෙන් සමු ගැනීම, අපේ මේ සුමනා හේරත් සහෝදරී නව විදුහල්පතිතුමිය වශයෙන් පත්වීම. අද මෙතන යන්නෙ චරිත තුනක් ගැන කතාවක්. මේ අයිරාංගනී කියන්නෙ එක එක කාලවලදි මේ තුන්දෙනාට ම ප්‍රශ්න පත්තර ඉදිරිපත් කරපු කෙනෙක්. ඒ ගැන මේ සභාවට වචනයක් කිව්වෙ නැත්තං ඒක ලොකු අඩුවක් කියලයි මට හිතෙන්නෙ. මන් හිටපු ගමන් ඒ දවස්වල කොට්ඨාස කාර්යාලෙට යනවා. මොකට ද ඒ නඩුවක් අරන් අපේ මේ රාජරත්නම් මැඩම් හම්බ වෙන්න. එතුමිය කාර්යාලෙ හිටිය කිසිම දවසක මට ඇහුන්කන් නොදී ඉන්න කටයුතු කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි මන් කියන ඔක්කොම දේවල් අහගෙන ඉඳලා මට රසම රස කිරි කෝප්පෙනුත් සංග්‍රහ කරලා තමයි මාව ආපහු එවන්නෙ. ඕගොල්ලන්ට කියන්න වැඩේ දැන් අර කේන්තියෙන් ගිය අයිරාංගනී නෙමෙයි ආපහු ඉස්කෝලෙට එන්නෙ. ඒ එනකොට ඔන්න මට අපේ මේ ලොකු සර්ව මූණට ම හම්බ වෙනවා. සර් ඉතින් කාටත් හොඳට හිනාවෙලා කතා කරන කෙනානෙ. මන් දැන් මේ සර් ගැනත් එක එක දේවල් මැඩම්ට කියලා තමයි එන්නෙ. කොහොම උනත් මගෙ හිතට දැන් හරි සැහැල්ලුයිනෙ. මන් ඉතින් බොහොම හොඳට එතුමත් එක්ක කතා කරනවා. හැබැයි මේ වෙනදා දකින අයිරාංගනී නෙමෙයි නේද කියන එක හිතිල ද මන්දා ඒ වෙලාවට ලොකු සර්රුත් ඉන්නෙ ටිකක් අන්දමන්ද වෙලා. ඒ වගෙම එහෙම දවසට සර්රුත් හෙමින් සීරුවේ ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නෙ සර් මට නොකිව්වට දන්නවා මන් මේ කොට්ඨාසෙට ගිහිල්ලා රාජරත්නම් මැඩම් හම්බවෙලා හිත විරේක කරන් තමයි ඇවිදිල්ලා ඉන්න කාරණේ. සර් මට මෙහෙම කියනවා.

“අයිරාංගනී මැඩම්, නරක ද අපි අපේ දරුවන්ගෙ ඉංග්‍රීසි දැනුම දියුණු වෙන්න පදනමක් හැටියට ඉස්කෝලෙ ඉංග්‍රීසි දිනයක් පැවත්තුවොත්. ඊට පස්සෙ මැඩම්ලට පුළුවන් අපේ දරුවන්ගෙ ලේඛන හැකියාව දියුණු කරන්නත් එක්ක ඉංග්‍රීසි සඟරාවක් පටන් ගන්නත්. වෙනසකටත් එක්ක දවසක චාරිකාවක් අරන් යනවා දරුවන් ව. මේ වැඩේට ගැළපෙන ආචාර්යවරු කීප දෙනෙකුත් සම්බන්ධ කරගන්නවා. මිසිස් සිල්වට ම පුළුවන් විෂය බාර ආචාර්යවරිය විදිහට මේ විෂය උගන්නන අනිත් ගුරු කණ්ඩායමත් ඒකට සම්බන්ධ කරගන්න.

කොහොම ද ළමයිනෙ ඔයගොල්ලන්ගෙ ලොකු සර්ගෙ මොළේ. අපේ නිල අල්ලන ඇල්ලිල්ල. ඉතින් මොකද කරන්නෙ සර්ගෙත් මොකක් හරි වැරද්දක් පෙන්නන්න බලා ගෙන හිටපු මන් එක වැඩක් විදිහට මට බාර දුන්න අර වැඩ ඔක්කොමගෙ වගකීම බාර ගන්නවා. කැඳවනවා මුළු ඉංග්‍රීසි ගුරු මණ්ඩලේ ම. අනේ ඉතින් ඒ පස් හය දෙනාම එනවා. මොනව ද කියන්නෙ මේ මිහිදිනී පොඩි මිස්, චතුරංගනී මිස් වගේ අය වගකීම් බාරගන්නවා. ඔය අතරෙ මාව කැරකිලා යන විදිහෙ ප්‍රශ්නයක් දෙකක් දාන්නෙ මේ රේණු මිස් තමයි. මොනව ද කියන්නෙ ඒ ප්‍රශ්න මගෙන් අහන්නෙත් හොඳම ඉංග්‍රීසියෙන් ම තමයි. ඉතින් මන් සමහර දවසකට ගෙදර ගිහිනුත් කල්පනා කරනවා මොකක් ද අප්පේ අර මිරිස් කරල මගෙන් අහපු ප්‍රශ්නෙ තේරුම. කොහොම කොහොම හරි අන්තිමේ දි වැඩත් කරනවා. අපේ ළමයින්ගෙත් අපි නොහිතපු විදිහෙ දියුණුවක් දකිනවා. 

බොහොම ස්තුතියි, ලොකු සර් එදා ඒ මෙහෙයුමෙ වගකීම මට දුන්නට. ඒ වගෙම මගෙ බැණුම් ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව මේ දරුවන් වෙනුවෙන් මාත් එක්ක එකට වැඩ කරපු අපේ මේ රේණු, චතූ, සවිතා, මිහිදිනී, නදුන් අපේ ඉංග්‍රීසි උගන්නන මුළු ආචාර්ය මණ්ඩලේට ම මගේ ස්තුතිය පළ කරන්නත් මන් මේක අවස්ථාව කර ගන්නවා.

දරුවනේ මට මේ වෙලාවෙ කියන්න තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ රේණු මිස් නිතර කියනවා වගේ ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නෙමෙයි කියන කාරණේ. ඒක තවත් එක භාෂාවක් විතරයි. ඒ වගෙම අපේ රටට අවශ්‍ය කරන්නෙ කලු සුද්දො නෙමෙයි, ඉගෙන ගත්ත ඉංග්‍රීසියෙන් සුද්දන්ටත් අපේ දේවල් කියලා දෙන්න ඒ ගොල්ලන්ගෙ භාෂාව ම අවියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අය බව මේ දරුවො මතක තියා ගන්න. හැබැයි ඉතින් මටත් ඕක අවබෝධ උනේ නං ටිකක් පහුවෙලා කියන එකත්  මේ සභාවට මන් කියන්නම ඕනෙ. ඒකට වග කියන්න ඕනෙනං ඉංග්‍රීසි දැනන් හිටියට ඉංග්‍රීසි උණ තිබිච්ච නැති අපේ මේ ලොකු සර් වගෙම රේණුලගෙ මේ අලුත් පරම්පරාව කියන එකත් කියන්න ම ඕනෙ. 

ලොකු සර්, මන් කේන්ති අරන් කතා කළත් මාත් එක්ක කිසි දවසක කේන්ති නොගත්ත ඔබතුමන්ගෙ ඒ උත්තුංග ගුණයට මේ වියපත් ගුරුවරිය අද දවසෙ ඔබතුමාට දක්වන මේ ගෞරවය ආදරය පිළිගන්න. ඒ වගෙම ඔබතුමා ගැන කතා කරන්න සුදුසු ඔබතුමාත් එක්ක සහයෝගෙන් වැඩ කරපු ගුරු චරිත රාශියක් ඉඳිත්දිත් ඒ අයගෙත් එකගතාවෙන් මට මේ අවස්ථාව ලබා දීපු අපේ නව විදුහල්පතිතුමියටත් ගුරු මණ්ඩලයටත් මගේ ස්තුතිපූර්වක ගෞරවය පිරිනමන්නත් මන් මේක අවස්ථාව කරගන්නවා. මට දැන් අවුරුදු 57 ක් වෙනවා. මට තව සේවය කරන්න තියෙන්නෙ තව අවුරුදු තුනයි. මේ ඉස්සරහ ඉන්න අපේ දරුවො වගෙම අද දෙමව්පියන් හැටියට සහභාගි වෙන ගොඩක් දෙනත් අපෙන් ඉගෙන ගත්ත අය. ඒ කියන්නෙ අපේ ආදි ශිෂ්‍යයො. මන් හිතනවා අපේ අලුත් අධ්‍යක්ෂ ඉතිරි කාලයත් මට මෙහෙ ඉන්න ඉඩ දෙයි කියලා.

දැන් මන් වචනයක් කියන්න ඕනෙ අපේ අලුත් විදුහල්පතිතුමිය ගැන. ලොකු සර්ගෙන් පස්සෙ අපට හම්බ වෙන්නෙ බොහොම හොඳ මැඩම් කෙනෙක්. මොකද ඔය වැඩේ කරන්න පුළුවන් ඉස්කෝලෙත් ගමත් අධ්‍යාපන නිලධාරිනුත් එකට එකතු කරන්න පුළුවන් කෙනෙක්. හිතන්නකො වැරදිලා හරි මාව පත් කළා කියලා ඒකට. එහෙනං ඉතින් ඉස්කෝලෙට දෙවියන්ගෙම පිහිටයි. එහෙම උනානං දැන් මේ පූස් පැටියෙක් වගේ ඉන්න අපේ නිවේදන කරන අපේ මේ මගෝඩිස්තුමාලා නිකන් ඉඳියි කියලා හිතනවද? දැන් මට මැවිලා පේනවා අපේ මේ අනුපම එයාගෙ කණ්ඩායමත් එක්ක මාව හම්බ වෙන්න ඇවිල්ලා කියන දේවල්. ඇයි මැඩම් ඔයා මේ නහින දෙහින කාලෙ බැරි මඟුල් බාර ගන්නෙ.”

සිල්වා ආචාර්යවරිය එසේ ප්‍රකාශ කෙළේ මුළු සභාව ම සිනහ ගස්සමිනි.

“දැන් ඉතින් මේ සභාවෙ ඉතිරි වැඩ කරගෙන යන්නත් තියෙන නිසා මන් මගෙ කතාව නතර කරන්නං. රාජරත්නම් මැඩම් අඳුන ගත්ත දවසෙ ඉඳලා දක්වපු ආදර කරුණාවට මගෙ ගෞරවපූර්වක ස්තුතිය පළ කරන ගමන් ම ඔබතුමියට සුවබර විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගෙම අපෙ ලොකු සර්ට ඒ කියන්නෙ අලුත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට තමන්ගෙ අලුත් තනතුරේ වැඩ කරන්න රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගෙම තව එකක් මන් කියන්න කැමතියි. ඉස්සර මන් රාජරත්නම් මැඩම් හිටපු කාලෙ වගේ ඔබතුමා හම්බ වෙන්ඩ අධ්‍යාපන කාර්යාලෙට එක එකක් නැහැ. අවුරුදු තිහකට වැඩි කාලයක් ගුරුවරියක් හැටියට වැඩ කරපු මට මගෙ දරුවට උගන්න ගන්න විතරක් නෙමෙයි හදාගන්නත් බැරි උනා. ඒක මේ මුළු ගමම දන්න ප්‍රසිද්ධ කාරණයක්. ඒක මගෙත් ලැබීම. ඉස්සරට වඩා මට දැන් ඒවා දිහා ලොකු උපේක්ෂාවකින් බලන්න පුළුවන්. කමක් නෑ ලොකු සර්, දැන් අපේ අලුත් ලොකු මැඩම් අපි අපේ නොවන අපේ දරුවන් හොඳට සකස් කරලා සමාජෙට යවමු. ඒ සඳහා විශ්‍රාම යනකන් මට දිය හැකි උපරිම සහයෝගය දෙනවා කියන එකත් විශ්‍රාම ගියාට පස්සෙත් ගමේ වැඩිහිටි කාන්තාවක් විදිහට ඔබතුමන්ලා ඔබතුමියන්ලා කරගෙන යන ඕනෑම යහපත් කටයුත්තකට මගේ සහයත් තියෙනවා කියන එක මතක් කරන්න සතුටු යි.

මට අන්තිම වශයෙනුත් කියන්න තියෙන්නෙ ගොඩක් දෙනාට කියවගන්න බැරි වෙච්ච මගේ චරිතෙ කියවා ගත්ත ලොකු සර්ට ගොඩක් ම පින් කියන එකයි. සර් මේ මොහොතෙ ඔබතුමාට වඩා වයසින් විතරක් වැඩිමහල් මේ ගැහැනියගෙ අත් දෙක එකට එකතු වෙලා සර්ගෙ පැත්තට යොමු වෙන්නෙ අන්න ඒ හින්දයි.

අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු. මෙතෙක් වෙලා මට සවන් දුන් මේ සම්භාවනීය අමුත්තන් මගේ ගුරු සහෘදයන්, අපේ සිසු දූ පුතුන්, ඔවුන්ගෙ දයාබර දෙමව්පියන් ඇතුළු සියලු ම දෙනාට බොහොමත් ම ස්තුතියි’” 

අයිරාංගනී සිල්වා ආචාර්යවරියගේ කතාව අවසන් වූයේ ඇය හඳුන්වා දුන් මොහොතේ සිදු වූවාටත් වඩා උණුසුම් ප්‍රතිචාර මැද ය. ඒ අත්පොළොසන් නාදය කෙමෙන් වියැකී යන මොහොතේ අසන්නට ලැබුණේ නිවේදක යෞවනයාගේ ගැඹුරු හඬ යි.

“ජීවිතයෙන් උගෙන නෙක පාඩම්  මහරු

ලොවකට කියා දී දුරලන       හද අඳුරු

                                ආදරණීය ගුරුමව   අපමණ     සොඳුරු 

                                නමදිමු මහත් බැතියෙන් ඔබ    පා තඹරු”

සිල්වා මැතිනිය වේදිකාවෙන් බිමට බැස යන මොහොතේ ඇයට පහසුවෙන් බැස ගනු පිණිස දිගුවූයේ නිවේදක ශිෂ්‍යයාගේ දෑත යි. ඒ මොහොතේ කඳුළින් තෙත් ව ගියේ වියපත් ගුරුමවුන්ගේ දෑස යි.

අනතුරුව ජයලත් මනෝරත්න ප්‍රවීණ කලාකරුවාගේ ගුරුතරුව නාට්‍යයේ එක් ජවනිකාවක් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබිණ. තදනන්තර ව තිබුණේ පාසලේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කෙරෙමින් සිදු කළ යුතු කතාව යි. නිවේදක අනුපම යෞවනයා ඊට සිය ප්‍රවේශය ගත්තේ මේ ආකාරයෙනි.

“හඬනා තැනට සිනහව සතුට ම   ගෙනෙනා

 ගුරුවරු නැති වෙලාවට    පන්තියෙ නටනා

 කාගේ දුකක දී වුව       හොඳට ම  රිදෙනා

 අද දින දුටිමු, සකුණිය       ඉකිබිඳ හඬනා”

අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ සුසේවා ප්‍රදානයට ගෞරවය පළකිරීමටත් ඔබ අප කාගේත් අතිමහත් ගෞරවාදරයට ලක් වූ විදුහල්පති ගුරු පියසඳුට ප්‍රණාමය පුද කිරීමටත් අභිනව විදුහල්පති ගුරු මවුනට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේ සුපැතුම් පිරිනැමීමටත් මේ ආරාධනය කරන්නේ අපේ සදාදරණීය සකුණි ජයබාහු සහෝදරියට යි.

සකුණි ශිෂ්‍යාව සභාවට ගියේ රාජරත්නම් මැතිනියට, නාලක දේවනාරායණට සහ සුමනා හේරතුනට වැඳ ආචාර කිරීමෙන් පසුව ය. අනතුරුව ඇය වේදිකාවට ගොස් සමස්ත සභාවට වැඳ ආචාර කළා ය. පළමු ව අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට ශිෂ්‍ය ප්‍රජාවේ ගෞරවය පළ කළ ඇය සිය ආදරණීය විදුහල්පතිතුමන් පිළිබඳ වන හැඟුම් වචන බවට පෙරළුවේ මෙසේ ය.

“හොඳ යයි සම්මත ළමයින්ට වඩා ආදරය අවශ්‍ය නරක යයි හංවඩු ගැහිච්ච දරුවන්ට කියන පාඩම අපි ඉගෙන ගත්තෙ අපේ මේ ලොකු සර්ගෙන්. අපිට වෙනස් වෙන්න ප්‍රබල විදිහට බලපෑවෙ අපේ ලොකු සර්. ජාති, කුල, ආගම් අනුව විතරක් නෙමෙයි උගත් - නූගත්, ධනවත් - දුප්පත් ආදි වශයෙන් මිනිස්සු වර්ග කරන එක නොකළ යුතු ම දෙයක් කියන එක අපට ක්‍රියාවෙන් ම කියලා දුන්නෙ සර්. අපේ තිබිච්ච මෝඩකමට අපි පුරුදු වෙලා හිටියෙ අපේ ආදරණීය ගුරු මණ්ඩලේ පවා වර්ග කරන්න හොඳ නරක හැටියට. ඒ හැඟීම නැති වෙන්න අපට බලපෑවෙ අපේ ලොකු සර්.

මන් ඒක ගැන කාරණයක් කියන්න කැමතියි. අපේ උසස්පෙළ පන්තිය පටන් ගත්ත මුල් දවස්වලට අයිති එක දවසක මොකක් හරි අපිම කරපු දඩබ්බර වැඩක් දැකලා අපේ සිල්වා මැඩම් අපිට සැරට බැණලා අවවාද කළා. මැඩම් අපට පිටුපාලා එතනින් යන වෙලාවෙ මන් කළේ මැඩම්ට නොදැනෙන්න අපේ යාළුවන්ට පේන්න මැඩම්ට ඔච්චන් කරන එක. එදා මන් හිතුවෙ මන් කරන්නෙ හරිම වීරක්‍රියාවක් කියලයි. ඒත් එදා මේ සමස්ත සිදුවීම තරමක් ඈත ඉඳලා නිරීක්ෂණය කරපු තවත් චරිතයක් ඉඳලා තිබුණා. ඒ අපේ මේ ලොකු සර්. එදා මට ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ලා ඔෆිස්සෙකට ඇවිල්ලා ලොකු සර්ව හම්බ වෙන්න කියලා පණිවිඩයක් අරන් ආවා පියසේන මාමා. මන් මොකද දන්නෑ කියලා බයෙන් බයෙන් තමයි ඔෆිස්සෙකට ගියේ. ඒ වෙලාවෙ වැඩිපුර කට්ටිය එතන හිටියා. ඒ කට්ටිය එහෙ මෙහෙ උනාට පස්සෙ එතන ඉතුරු උනේ ගුණවර්ධන සර්රුයි නිම්මි අක්කයි විතරයි. ලොකු සර් මට අතින් ළඟට කතා කරලා සර්ගෙ ඉස්සරහ තියෙන පුටුවෙ ඉඳගන්න කිව්වා. අපිට කවදාවත් එහෙම අද්දැකීමක් ලැබිලා තිබුණෙ නැහැ. ඒ කියන්නෙ ඒ වෙනකන් කිසිම විදුහල්පති කෙනෙක් තමන්ගෙ ශිෂ්‍යයන්ව තමන්ගෙ ඉස්සරහ පුටුවක වාඩි වෙන්න සලස්සලා කතා කරලා තිබුණෙ නැහැ. එහෙම අද්දැකීමක් එතෙක් අපි කාටත් ලැබිලා තිබිච්ච නැති නිසා ම මට එතන ඉඳගන්න හිතුණෙම නැහැ. මන් කිව්වා ලොකු සර් මන් මෙහෙම හිටගෙන ඉන්නං කියලා. ඒ වෙලාවෙ සර් කිව්වෙ ඔයා ඉඳගන්නකො දුව මට තියෙනවා ඔයත් එක්ක ලොකු කතාවක් කියලා. මන් ඉඳගත්ත නෙමෙයි මාව ඒ පුටුවෙ ඉන්දවුණා කිව්වොත් තමයි හරි. අනේ ඒ ආදරේ. එදා තමයි මගෙ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙච්ච දවස. සර් මට එක වචනයකින්වත් බැන්නෙ නැහැ. සර් මන් කරපු වැඩේ තියෙන බරපතලකම මට බොහොම ආදරෙන් කියලා දුන්නා. මන් එදා තමයි දැනගත්තෙ ආදරේට ජීවිත වෙනස් කරන්න පුළුවන් කාරණේ. 

මන් එළියට ආපු ගමන් බැලුවෙ අපේ සිල්වා මැඩම් කොතන ද කියලා. ඒ වෙලාවෙ මැඩම් පන්තියක උගන්න උගන්න හිටියෙ. මන් පන්තිය ඉවර වෙන වෙලාව බලලා එතෙන්ට ගිහින් කුරුමාණන් අල්ල අල්ල හිටියෙ මැඩම් විතරක් ඉන්න වෙලාවක් එනකන්. සිල්වා මැඩම් එළියට ආපු ගමන් මන් කළේ මැඩම්ගෙ ඉස්සරහට ගිහින් මැඩම්ගෙ කකුල් දෙක අල්ලලා දණ ගහලා වඳින එක. ඒ වෙලාවෙ මැඩම් පුදුම වෙලා බලන් හිටපු හැටි මට අද වගේ මතකයි. මැඩම් කිව්වා මොකෝ ළමයො මේ කවදාවත් නැතුව කියලා මගෙන් ඇහැව්වා. මන් කිව්වා මන් මැඩම්ගෙන් සමාව ගන්නයි ආවෙ කියලා කිව්වා. ඉතින් ළමයො වැරැද්දක් නොකර ඇයි ඔය ළමයා මගෙන් සමාව ගන්නෙ කියලා මැඩම් ඇහැව්වා. නෑ මැඩම් මගෙන් වැරැද්දක් මැඩම්ට උනා කියලා මන් ආයෙත් සැරයක් මැඩම්ට වැඳලා එතනින් ආවා මැඩම් පුදුම වෙලා වගේ බලන් ඉන්න කොට. අද වෙනකන් අපේ මැඩම් දන්නෙ නැහැ එදා මන් වැඳපු හේතුව. ඔන්න මැඩම් මන් අද ඔක්කොම ඉන්න තැන ඒ වරද හදා ගත්ත විදිහ ගැන කිව්වා.

ලොකු සර්, ඔන්න ඔහොමයි ඔබතුමා අපේ ජීවිත වෙනස් කළේ. අපේ අනුපම කිව්වා හරි ලොකු සර්. වෙනදා අනික් අයව හිනස්සන මන් අද පන්තියෙ දි කෑ ගහලා ඇඬුවා තමයි. හැබැයි සර් ඒ මන් විතරක් නෙමෙයි. අපි ඔක්කොම. හොඳ මිනිහෙකුට අනිත් මිනිස්සුන්ගෙ ඇස් දෙක විතරක් නෙමෙයි පපුවත් තෙත් කරන්න පුළුවන් කියන පාඩම අපි ඉගෙන ගත්තෙ සර්ගෙන්. එහෙව් සර් අද මෙහෙන් යනවා. ඉතින් සර් අපිට දුක නැද්ද හැබැයි එක දෙයක් ගැන හිතලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ ශිෂ්‍ය අපි විතරක් නෙමෙයි අපේ ආදරණීය ගුරු මණ්ඩලේ ම ආදරය දිනාගත්ත ආදරණීය අම්මා කෙනෙකු යි අද ඉඳලා අපි ඔක්කොමගෙ නායිකාව වෙන්නෙ. ඔබතුමා අද යන්නෙ ඒ පසුබිම හදලා කියන එක ශිෂ්‍යයන් වෙන අපිත් දන්නවා. 

මන් කතා කළා ඇති කියලා මටම හිතෙනවා. අපි ඔක්කමගෙ හැඟීම මුසු වෙච්ච අපේ කවිකාරි සඳමිණි සහෝදරිය ලියපු කවි දෙකකින් මන් මගෙ කතාව අවසාන කරනවා.

මුදු බව රැදුණු හදවත  සොමි ගුණ   ගිහිනි

අපමණ සොඳුරු සිතිවිලි   හදවත  නැගිණි

අයිතිය ළඟ නොරැඳි පෙම ලොවකට බැඳිණි 

යන හදවතින්         දහසක් හදවත් සැදිණි  


හිරු මල පිපෙන විට ලෝකය   අඳුර  මුදයි

සඳවත උදාවී ලොවකට         සිසිල සදයි

හද මල වෙන් ව යන මුදු මල් සුවඳ  රැඳෙයි

හද මල් රැසක් එසුවඳ ගෙන   ලොවට පුදයි”

තදනන්තර ව යළිත් වේදිකාවට ප්‍රවිෂ්ට වූයේ නිවේදක යෞවනයා ය.

“ඔයාට ගොඩාක් ස්තුතියි සකුණි, අපි ඔක්කමගෙ හැඟීම අපි බලාපොරොත්තු උනාටත් වඩා හොඳට ඉදිරිපත් කළාට. 

ලෝකයට සුවඳ දිය හැකි අප්‍රමාණ හදවත් නිර්මාණය කළ අප්‍රමාණ මිනිසා අපේ විදුබිමට සමු දෙන මේ මොහොතේ ඒ අප්‍රමාණ මිනිසා ගැන කතා කරන්නට අපේ ගෞරවනීය ආරාධනය ලබන්නේ ඒ චරිතය නිර්මාණය වූ පසුබිම තුළ සිටි විශිෂ්ට අධ්‍යාපන නිලධාරිනියක මෙන් ම එක් යුගයක සොඳුරු ගුරු තාරකාවක ලෙසත් තවත් යුගයක පාසල් කිහිපයක මුල් පිටුව හෙබ වූ මහරු විදුහල්පතිනියක ලෙසත් සේවා සම්ප්‍රදාන සිදුකළ භෞතික රූපකායෙන් නොව ආධ්‍යාත්මික රූපකායෙන් උත්තුංග ස්ත්‍රී රත්නයකට යි. මහව කොට්ඨාස අධ්‍යක්ෂ වශයෙන් මහඟු මෙහෙවරක් ඉටු කොට අද දින සේවයෙන් ඉසිඹු ලබන ආචාර්ය සුරේශ් රාජරත්නම් මැතිනියනි, දැන් මේ වේදිකාව ඔබතුමියට යි.”

ඒ නිවේදකාරාධනයෙන් පසු කතා කිරීමට ගත්තේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය යි.

“මහව අභිනව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව විදුහල්පතිතුමියනි, හිතාදර ගුරු සහෘදයනි, අනධ්‍යයන සේවා සිදු කරන මිතුරනි, දයාබර දෙමවුපියනි, මගේ ආදරණීය සිසු දූ පුතුනි,

අද දවස පෞද්ගලික ව ගත්තත් මටත් හරිම විශේෂ දවසක්. මන් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයෙන් විශ්‍රාම ලබන්නේ ගොඩක් පැතිවලින් මට වඩා සුදුසු කෙනෙක් ඒ තනතුරට එන මොහොතක. ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්නේ ඒ තැනැත්තා එක යුගයක මගෙත් ආදරණීය ශිෂ්‍යයෙක් වීම නිස යි. මේ වෙලාවෙ මගෙ හිත යන්නෙ අතීතයට. මන් ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලෙ විදුහල්පතිනිය විදිහට සේවය කළ යුගයට. ඉස්කෝලෙ උසස් පෙළ පන්ති පටන් අරන් මාස තුනකටත් වැඩි දවසකට පස්සෙ එක තාත්තා කෙනෙක් ආවා ඉස්කෝලෙට ගැටවර පුතෙකුත් එක්ක. ඒ කලා පන්තියට ඒ දරුවව ඇතුළත් කරගන්න.  මන් ඇහැව්වා මේ ළමයව ඇයි මෙච්චර පරක්කු වෙලා අරන් ආවෙ, දැන් උසස් පෙළ පන්ති පටන් අරගෙන මාස තුනකටත් වැඩි කාලයක් ගිහිල්ලනෙ කියලා. අනේ මැඩම් මේක මගෙ රස්සාවෙ හැටිය නිසා සැරින් සැරේ මුහුණ දෙන අද්දැකීමක් නිසත් මට මෙයා අතපසු වෙච්ච වැඩ අල්ල ගනීවි කියන විශ්වාසෙ තියෙන නිසාත් මගෙ පුතාව ඉස්කෝලෙට ගන්න කිව්වා. 

මට මතකයි එදා මම කිව්වා මගෙ කැමැත්ත දුන්නත් උසස් පෙළ කලා ගුරු මණ්ඩලේ දක්වන ප්‍රතිචාර මොකක් වෙයි ද කියලා මට කියන්න බැහැ කියන වචන ටික කියලා කෝකටත් දෙන්න බලන්න ඔය ළමයගෙ සහතික තියෙන ෆයිල්ලෙක එක ඒක මගෙ අතට ගත්තා. ක්‍රීඩා සහතික වගෙම සාහිත්‍ය තරග ගොඩකට ඉදිරිපත් වෙලා දිනා ගත්ත සහතික ඒ අතර තිබුණා. මන් මගෙ ලොකුම අවධානෙ යොමු කළේ සාමාන්‍ය පෙළ සහතිකේට. ඒ වෙලාවෙ ඒක තමයි මට උසස් පෙළ ගුරුවරුන්ට මේ ළමයා පහුවෙලා ගත්තට කමක් නැහැ කියන කාරණේ තහවුරු කරන්න තියෙන තැන. අනිත්තෙක ඒ වෙන කොට මගෙත් විදුහල්පති හැටියට ලැබිච්ච පළවෙනි පත්වීම. ඒ කාලෙ හැටියට අධ්‍යාපන පරිපාලන විභාගෙ පාස්වෙලා ඒ අවුරුද්දෙ අඩු වයසින් විදුහල්පති තනතුරට පත් වෙච්ච කීප දෙනාගෙන් එක්කෙනෙක් මම. ඒ දරුවා සාමාන්‍ය පෙළ විෂයන් ඔක්කොම විශිෂ්ට සම්මාන ඇතුව සමත් වෙලා තිබුණා. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය වගෙ වෙලාවට වැඩි දෙනෙක් අහන ප්‍රශ්නෙ මමත් එදා ඇහැව්ව කියන එක මට මතකයි. මන් ඇහැව්වෙ මේ ප්‍රතිඵලේ හැටියට මේ දරුවට විද්‍යා අංශෙන් ඉහළට ඉගෙන ගන්න පුළුවන්නෙ කියන ප්‍රශ්නෙ. ඒකට උත්තර දුන්නෙ ඒ තාත්තා. එයා කිව්වෙ මැඩම් මෙයාගෙ ගුරුවරු ගොඩක් දෙනා වගෙම අපේ නෑයොත් කියන්නෙ එහෙම කරන්න කියලා තමයි. ඒ උනාට මැඩම් පුතා කැමති කලා අංශෙන් ඉගෙන ගන්න කියන එකත් මමත් මෙයාගෙ අම්මත් එයා කැමති දෙයක් ඉගෙන ගන්න එකට විරුද්ධ නැහැ කියන කාරණෙත් කිව්වා. ඔව් එදා මන් ඒ දරුවව ඉස්කෝලෙට ඇතුළත් කරගත්තා විතරක් නෙමෙයි ඒ කාලෙ තිබිච්ච ගුරු හිඟය අනුව ඒ පන්තියට භූගෝලවිද්‍යාව උගන්වන ගුරුවරිය උනෙත් මම යි. එදා මන් ගත්ත තීරණය හරිය කියන එක ඒ දරුවා තමන්ගෙ ක්‍රියාවෙන් පැහැදිලි කළා. ඒ අවුරුද්දෙ උසස්  පෙළට ලංකාවෙන් ම වැඩිම ලකුණු ලබන ශිෂ්‍යයා වෙලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙට ගියා. ප්‍රථම පන්ති සාමර්ථයක් එක්ක උපාධිය ගත්තා. ඒ විෂයෙන් ම පශ්චාද් උපාධියත් ගත්තා. ඉස්කෝල දෙකක ගුරුවරයෙක් විදිහට වැඩ කළා. මේ අතර අධ්‍යාපන පරිපාලන විභාගෙ කරලා ඒකෙන් පාස් වෙලා පළවෙනි ශ්‍රේණියෙ විදුහල්පති කෙනෙක් විදිහට ඉස්කෝල තුනක වැඩ කළා. එතුමා අන්තිමට ආවෙ කුරුණෑගල ඉස්කෝලෙකට. ඒ ඉස්කෝලෙ තමයි අපි දැන් මේ මොහොතෙ ඉන්නෙ. එදා ගන්කන්ද සෙන්ට්‍රල් එකට උසස් පෙළ කරන්න ආපු ඒ නාලක දේවනාරායණ කියන ශිෂ්‍යයා තමයි අද ඉඳලා මහව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ විදිහට අද වැඩ බාර ගන්නෙ.”

රාජරත්නම් මහත්මියට සිය කතාවට මඳ විරාමයක් දීමට සිදු වූයේ ඒ මොහොතේ මුළු සභාගැබ සිසාරා පැතිර ගිය සුවිසල් අත්පොළොසන් හඬ නිසාවෙනි. ඇයගේ කතාවාවසානයේ එළැඹියේ තවත් කතා වාර දෙකකි. ඉන් පළමුවැන්න වූයේ ගම, ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය යන තුන් පැත්තක නියෝජනය කරමින් සිදු කරන ලද කතාව යි. තුරුණු නිවේදකයා වෙතින් ඊට ඇරයුම් ලද කථකයා සිය කතාව ආරම්භ කෙළේ මෙසේ ය.

“මේ කතාව පවත්තන්න මට වඩා හැම අතින් ම සුදුසු ගොඩක් දෙනා අද මේ සභාවෙ ඉන්නවා. ඒ අය අතර නියෝජ්‍ය විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීන්, දොස්තර මහත්තුරු, පොලිස් නිලධාරීන්, කලාකරුවන් වගෙම කී නොකී ගොඩක් දෙනා ඉන්නවා. ඒත් ඒ බොහෝ දෙනාගෙ ඉල්ලීම උනේ ඔයා කතා කරන්න කියන එක. ඒ අය මේ සමාජෙ මට වඩා ගොඩක් ඉහළින් ඉන්න අය. ඒත් ඒ ඔක්කොට ම එදා වගෙම අදත් මම මහතුන් අය්යා. අපේ අසේල දොස්තර මහත්තයට ආදි ශිෂ්‍ය නියෝජනය කරමින් කතා කරන්න කිව්වහම එතුමා කිව්වෙ මන් කතා කළොත් ආදි ශිෂ්‍ය සහ ගම කියන නියෝජන දෙක විතරයි. ඒත් ඔයා මේ ඔක්කොම සංවිධාන නියෝජනය කරනවා කියලයි. මන් හිතන්නේ ඒ මම පාසල් සංවර්ධන සමිතියෙත් සාමාජිකයෙක් නිසා වෙන්න ඇති. අපේ ග්‍රාමසේවක නෝනට ඒ නියෝජනය කරන්න කිව්වහම එතුමිය කිව්වෙ මෙතන තියෙන තියෙන කාල සටහන අනුව අපි ඔක්කොමගෙම හැඟීමත් අරගෙන මහතුන් අය්යා කතා කරන්න කියල යි. ඒ වගෙම වර්තමානෙ දළදාගම ලංකා බැංකු ශාඛාවෙ සේවය කරන මන් මේ ඉස්කෝලෙ අටේ පන්තියෙ ඉන්න කොට පහේ හරි හයේ පන්තියෙ හරි ඉගෙන ගත්ත පාසල් සංවර්ධන සමිතියෙ සභාපති හිටියට ඉන්න තිලාන් රත්නායක මහත්තයා කිව්වෙත් මහතුන් අය්යා කතා කරන්න කියලා. ඒ වගෙම අද අපේ විශේෂ ආරාධිතයෙක් විදිහට ඇවිත් ඉන්න අපේ ගමේ ඉස්පිරිතාලෙ අලුත් දොස්තර මහත්තයා කතා කරන්නෙත් මහතුන් අය්යා කියලා. ඒ විතරක් ද මට වැඩිය වයසින් වැඩිමහල් අද උසස් වීමක් ලබලා අලුත් තනතුරකට යන අපේ මේ විදුහල්පතිතුමත් අඳුන ගත්ත දවසෙ ඉඳලම මට කතා කරන්නෙ මහතුන් අය්යෙ කියලා. ඒ කියන්නෙ මන් අපේ ලොකු සර්ගෙත් අය්යා. බැලුවහම මන් කතාකාරයෙක් නොවුණට මන් තමයි ගමේ ම අය්යා. ඒක නිසා එක පැත්තකින් ගත්තහම මේ ගමේ අය්යලට අපේ ලොකු සර් දැනෙන්නෙ කොහොම ද කියන එක කියවෙන එකම කතාව මේක වෙන්ඩත් පුළුවන්.”

මුළු සභාව ම සිනහ සයුරක ගිල්වමින් සිය කතාව ආරම්භ කළ මහතුන් අවසන සිය කතාව රැඳවූයේ නම් කිසිසේත් එබඳු තැනක නම් නොවේ.

“අපි ඉගෙන ගන්න කාලෙ මේ ඉස්කෝලෙ ලොකු සර් වෙලා හිටියෙ සර්නං මාත් ඇතුළු ව අපේ පරම්පරාවෙ ගොඩක් දෙනෙක්ගෙ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපි දැක්ක අපිට නොලැබිච්ච අවස්ථා අපේ ඊළඟ පරම්පරාවලට ලබා දෙන්න සර් වැඩ කරපු හැටි, වැඩ කරන හැටි. ඒ මේ ඉස්කෝලෙ සමිති තුනකට ම සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් හැටියට අපේ සුමනා මැඩම් තෙන්නකෝන් සර් වගේ වැඩිහිටි ගුරු මණ්ඩලේ වගෙම මේ අතුල සර්ලා නදී මිස්ලා රේණු මිස්ලා වගේ නම් කියපු නොකියපු මේ තරුණ ගුරු මණ්ඩලෙත් කොයි තරන් සේවයක් කරනව ද කියන එක අපි පැහැදිලිව ම දන්න නිසයි. ඒක අද වෙන කොට මේ මුළු ගම ම දන්නවා. අපිට මේ විදිහෙ හැඟීමකින් කතා කරන්න බැරි යුගයකුත් මේ ඉස්කෝලෙ තිබුණා කියන එක මගෙ මේ ඉස්සරහ ඉන්න කාටත් රහසක් නෙමෙයි. අවපැහැ ගැන්නිලා තිබිච්ච මේ ඉස්කෝලෙ නොයෙකුත් පාට තවරපු ලස්සන චිත්‍රයක් කළේ අපේ මේ ලොකු සර්. ඒ සර් අපෙන් වෙන් වෙලා යන්නෙ මේ චිත්‍රෙට තව තවත් පාට ඕන කරන වෙලාවක. දැන් සර් ඉන්නෙ පාට කරන තැන නොමෙයි මේ ඉස්කෝලෙට විතරක් නෙමෙයි ඉස්කෝල ගොඩකට පාට බෙදන තැන, පාට බෙදන්න පුළුවන් තැන. ලොකු සර් අපිට පාට දෙන්න. අපි අපේ සුමනා මැඩම් ඇතුළු මේ මුළු ගුරු මණ්ඩලේ, මේ ශිෂ්‍ය දුවලා පුතාලා, සමිති තුනේ කට්ටිය වගෙම මුළු ගම ම එකතු වෙලා මේ නාගොල්ලාගම ඉස්කෝලෙ කියන ලස්සන චිත්‍රෙ තව තවත් ලස්සනට පාට කරන්නම්. මම බෞද්ධයෙක් හැටියට මේ ඔක්කොම වෙනුවෙන් අපේ ලොකු සර්ට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු ම දෙනාට බොහොමත් ම ස්තුතියි.”

“සුවඳැති මලක් වැනි මිනිසත් මල් ගොමුවේ

මිනිසකු වෙතිනි     හද මල් සුවඳක් හැමුවේ”

මහතුන් අය්යට නෙමෙයි, ශිෂ්‍ය අපි කාගෙත් ආදරණීය මහතුන් මාමාට අපේ අසීමිත ආදරයත් ගෞරවයත් පළ කරලා ඔබ සැම ආමන්ත්‍රණය කරන්න මේ වේදිකාවට කැඳවන්නෙ තවත් සුවිශේෂ චරිතයක්. එතුමියගෙ සුවිශේෂත්වය දවසින් දවස වැඩි උනා මිස කිසි දවසක අඩු උනේ නැහැ. අද ඉඳලා ඒ චරිතය විශේෂයෙන් ශිෂ්‍ය අපටත් අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලයටත් වෙනදාටත් වඩා ආලෝකයක් දිය හැකි, බලපෑමක් කළ හැකි මේ පාසල් පියසේ සුවිශේෂ චරිතය බවට පත් වෙනවා. තව කල් නොයවා මන් කැමතියි ඒ වනස්පතිනිය මේ වේදිකාවට කැඳවන්න.

“අප දුටු විට දි මුව රැඳි වදන යි   දරුව

ඇය ඇති තැනදි හැම දුසිරිත් යයි දුරුව

සුමනස අරුත දෙන සුමනා නම දැරුව

කැඳවමු වේදිකාවට දෙටු     ගුරු තරුව

ඔබ සැමට ආමන්ත්‍රණය කිරීම සඳහා දැන් අපගේ අපගේ ගෞරවනීය ආරාධනය ලබන්නේ නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනව විද්‍යාලයාධිපතිනි අධ්‍යාපනපති සුමනා හේරත් සුමැතිසඳිනිය යි.

අනතුරුව වේදිකාවට ප්‍රවිෂ්ට වූයේ සිසු ගුරු දෙගුරු තෙපිරිිසේ මතු නොව මුළු මහත් ගම් පියසේ කොයි කාගේත් ආදරය සහ ගෞරවය දිනා ගැන්මට භාග්‍යවත් වූ ඒ සුමනා හේරත් නමැති දෙටු ගුරු තාරකාව යි.

පහත සඳහන් වන්නේ ඇය කළ අදහස් දැක්වීමෙන් කොටසක් පමණි.

“ප්‍රිය අධ්‍යාපන අධ්‍යක්ෂතුමියනි, මේ ලෝකෙ සමහර හිස්තැන් ඇති වෙනවා තව කිසිම දේකින් පුරවන්න බැරි. අපේ ලොකු සර් කියන්නෙ අපිට පුරවන්න බැරි එහෙම හිස්තැනක්. ඒ උනාට මේ ජීවිත කාලෙදි අපට එහෙම හිස්තැන් ඇති වෙන එක වළක්වන්න බැහැ. ඊළඟට ඒක වඩා අර්ථ සම්පන්න විදිහට පුරවයි කියලා අපි හිතන කෙනත් මන් නෙමෙයි ඒකට සුදුසු කියලා කිව්වොත් එහෙම වෙලාවට කාට හරි සිද්ධ වෙනවා ඒ හිස්තැන තමන්ට පුළුවන් විදිහට පුරවන්න. එහෙම නේද රාජරත්නම් මැඩම්, තෙන්නකෝන් සර් ලෝකෙ වැඩ සිද්ධ වෙන්නෙ. හොඳයි අධ්‍යාපන නිලධාරීන්, අපේ දේවනාරායණ සර් ඇතුළු අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලේ වන ඔබෙත් තීරණය ඒකම නං මගේ පෞද්ගලික කැමැත්ත අකැමැත්ත මොකක් උනත් අද ඉඳලා මන් මෙතන විදුහල්පති හැටියට වැඩ කරන්නම්. අපේ ලොකු සර් ආව දවසෙ ඉඳලා කරපු වැඩ තිබුණා. කරන්න සැලසුම් කරපු වැඩ තිබුණා. දැන් ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයත් අපි ඉස්සරහ තියෙනවා. මට උදව් කරන්න. අපි මේ අහිංසක දරුවන්ගෙ අනාගතය විතරක් නෙමෙයි වර්තමානයත් ලස්සන කරන්න අපට පුළුවන් උපරිම දේ කරමු. 

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමාගෙ අධ්‍යාපන දර්ශනය ගැන ලොකු හැඟීමක් වගේ ම දැකීමක් තිබිච්ච අපේ ලොකු  සර් ඒ අදහස් අපිත් එක්ක බෙදා ගත්තා. මේ අද්දැකීම අපේ ආචාර්ය මණ්ඩලේ ගොඩක් දෙනාට තියෙනවා. ඔබට මතක ඇති අපේ ගුරු මණ්ඩලේ රැස්වීමක් දවසෙදි එතුමා අපිට අදිකාරම්තුමාගෙ ආචාර්ය ගෞරවය කියන ලිපියෙන් ඡායාපිටපත් ගහලා අපි අතර බෙදලා දුන්නා. ඒක පිටු පහක ලිපියක්. මන් ඊයෙ රෑත් ඒ ලිපිය කීප සැරයක් කියෙව්වා. මට හිතෙනවා ඒ ලිපියෙ මට වැඩියෙන් ම දැනිච්ච තැනක් අපේ ගුරුවරුන් ශිෂ්‍යයන් වගේම ඒ ගොල්ලන්ගෙ දෙමවුපියොත් ඉන්න තැන කියන්න.

අනතුරුව ඇය විසින් සිදු කරන ලද්දේ එම ලිපියෙන් ගත් පහත සඳහන් උපුටනය සභාගත කිරීම ය.

“ගුරුවරයාගෙන් බලාපොරොත්තු වන්නේ කුඩා දරුවෙකු තමා අතට ගෙන ක්‍රමයෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්, යහපත අයහපත තේරුම් ගැනීමට සමත්, විමසිලි සහිත බුද්ධියෙන් යුත්, මිනිසෙකු නිපදවීම ය.

යම් හෙයකින් ගුරුවරයා තම වරදින්, තම නොසැලකිලිමත් බවෙන්, ඒ අහිංසක දරුවාගෙන් නරක මිනිසෙකු නිපදවනු ලැබුවහොත් වඩුවා සැදූ නරක භාණ්ඩයක් මෙන් ඔහු ඉවත දැමිය හැකි ද?”

රාජරත්නම් මැඩම්, අද දවසෙ ඉඳලා තවත් අර්ථෙකින් අපට හිටියටත් වැඩිය ලොකු සර් වෙන ලොකු සර්, මගේ ආදරණීය ගුරු සහෘදයනි, මේ අපේ ශිෂ්‍ය දුවලා පුතාලයි ඒ ගොල්ලන්ගෙ ආදරණීය අම්මලයි තාත්තලයි ඉන්න තැන අපි ඒ ගොල්ලන් ඉදිරියේ දෙන්න ඕන ප්‍රතිඥාව තමයි මේ. අපට වැරදුණොත් මුළු සමාජෙට ම වෙන්නෙ මොකක් ද කියන එකයි දැක්වෙන පණිවිඩේ තමයි එදා ඔබතුමා අපිට දුන්නෙ. අපි අද දවසෙ මේ ඔක්කොම දෙනා ඉදිරියෙදි මේ කාරණේ අපේ ගුරු ප්‍රතිඥාව බවට පත් කර ගනිමු. ඒ අනුව අපට බාර දෙන දරුවගෙන් උගත්කමයි මනුස්සකමයි තියෙන මිනිහෙක් හදමු, ගැහැනියක් හදමු.

ඔබ සියලු ම දෙනාට බුදු සරණින් සියලු දෙවි රැකවරණින් යහපත ම වෙන්න කියන ප්‍රාර්ථනාව ඇතුව මන් මගේ කතාව අවසාන කරනවා.”

“ආදරණීය අපගේ පැනසර නියමුවරියට අපේ ගරු විදුහල්පතිතුමියට අපගේ අපරිමිත ගෞරවයත් අසීමිත ආදරයත් පළ කරලා ඔබතුමියගෙ ඒ හෘදයංගම ප්‍රාර්ථනාව වගෙම ගුරු ප්‍රතිඥාව ඇත්තක් ම කරන්නට උගත්කමයි මනුස්සකමයි ඇති අය බවට අපි පත්වෙනවා මයි කියන ශිෂ්‍ය ප්‍රතිඥාව අපේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ඔබ සැම හමුවේ මේ මොහොතේ තබනවා. 

දැන්  ඊළඟට තියෙන්නෙ මේ කෘතෝපහාරෝත්සවයේ මූල හේතුකාරකය වන නාලක දේවනාරායණ දෙටු ගුරු පියසඳුට ඔබ අප සියලු දෙනා විසින් ම සංකේතානුසාරයෙන් හද උවසර පිදීම යි. ගරු සුරේශා රාජරත්නම් මැතිනියනි, අභිනව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි, ගරු විදුහල්පතිතුමියනි, එනු මැනවි වේදිකාවට.

ඒ වූකලී අවංක වූත් අව්‍යාජ වූත් මිනිසකු විෂයයෙහි අපමණ හද මල් පිදෙන ඉසොඳුරු හෝරා අර්ධයක් විය. එහි සමාරම්භය සලකුණු කරමින් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය උපහාර සංකේතයක් සිය කීර්තිමත් ආදිඡාත්‍ර නාලක දේවනාරායණයන් වෙත පිරිනැමුවා ය. ඔහු එය බැතිබර හදින් සිය දෝතට ගත්තේ තමන්ගේ ආදි ගුරු මවුන් පා නමැදීමෙන් පසුව ය. දෙවනු ව විදුහල්පතිතුමිය සිය උවසර පුද කළ අතර තෙවනු ව පැමිණියේ සමස්ත ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් වන හෘදයෝපහාර පූජනය යි. ඒ සඳහා සමස්ත ආචාර්යවරුන් සිය නියෝජනය සඳහා තෝරාගෙන තිබුණේ අතුල ආචාර්යවරයා ය. ආචාර්ය මණ්ඩලයේ දඩබ්බරයා ලෙස ප්‍රචලිත අතුල පළමු ව ඉමහත් ගෞරවයෙන් සංකේතනීය ගුරූපහාරය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඔවුනට ප්‍රධානියා වූ දේවනාරායණයනට පුද කෙළේ ය. අනතුරුව දේවනාරායණ මහතා කෙළේ ඒ උවසර තිලිණය නිවේදක යෞවනයා අතට දී සිය දෑතින් අතුලගේ දෑත් අල්ලා ගැනීම ය. සිය ජීවිතයේ තීරණාත්මක අවස්ථාවල දී බලධාරීන් හමුවේ වුව හිස නොනැමූ මේ උත්තුංග මිනිසා දෙස මොහොතක් බලා සිටි ‘ගුරු දඩබ්බරයා’ අනතුරුව ගුණයට මිස බලයට නොනැමෙන තම සිරස සහ කශේරුකාව නමා, තමා ඉදිරියේ සිටින ඒ සුපහන් මානවයාට සිය ප්‍රණිපතනය පුද කෙළේ ය. වේදිකාවෙන් බැස යන මොහොතේ සිය තෙත දෑස් නොපෙන්වන්නට හේ අසාර්ථක වෑයමක යෙදුණේ නමුදු එය මුළු සභාවට ම ඔහුගේ තෙත් බව ප්‍රකාශයට පත් වූ සංවේදනීය මොහොතක් විය.

අනතුරුව යළිත් අසන්නට ලැබුණේ නිවේදක යෞවනයාගේ ඒ සුගැඹුරු කටහඬ යි. 

“ආදරණීය අතුල, සර් අපේ දයාබර ගුරු මවුපියවරුන් නියෝජනය කරමින් ඔබතුමා පළ කෙළේ යම් හැඟීමක් ද ඒ හැඟීම ම තමයි මේ මොහොතේ ශිෂ්‍යයන් වන අප තුළත් තිබෙන්නේ. දැන් මේ අවකාශය වෙන් වන්නේ අත්‍යාදරණීය සුවිශිෂ්ට පුරුෂරත්නයක සුවිසල් සෙවන එක්වන් ව ලැබීමට භාග්‍යවන්ත වූ මගේ සහෝදර ශිෂ්‍ය ප්‍රජාවට යි. අපේ මුළු ශිෂ්‍ය ප්‍රජාව වේදිකාවට පැමිණ ගුරු උවසර දක්වන්නට ගියොත් නම් ඊට අද දවස වත් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා මේ වැඩ සටහනේ සංවිධායක මණ්ඩලය තීරණය කළා සියලු ම ශිෂ්‍යයන්ගේ ආදර ගෞරවය සංකේතවත් කරමින් ඒ හෘදය පූජන කරන්නට අවස්ථා තුනක් වෙන් කරන්නට. ඒ අනුව අප පාසලේ හයේ පන්තියේ සිට නවයේ පන්තිය දක්වා වන පන්තිවල සිටින අපේ ආදරණීය නංගිලා මල්ලිලාට ඉන් පළමු අවස්ථාව හිමි කර දෙන්නට කැමතියි. ඒ අනුව ඔවුන්ගේ යහළු යෙහෙළියන් විසින් ම තෝරා ගන්නා ලද සිසු කුමරුට සහ සිසු කුමරියට යි මේ ඇරයුම. එන්න සවිත් සඳපහන් පුංචි සොහොයුර, අපේ පුංචි සොහොයුරී සවැසි සදම්සා සමග.”

ඒ මොහොතේ කාටත් පළමු ව දක්නට ලැබුණේ වැවක ආකෘතියට තනන ලද වට්ටියක අලංකාරවත් ලෙස තබන ලද නෙළුම් මලින් ගුරු පුද දෙන කුඩා දැරියකි. අනතුරුව සිසු ලියමන් හා හා සිසු සිතුවම් රැසක් බහාලන ලද එබඳු ම වට්ටියක් කුඩා ගිෂ්‍යයා විසින් එගුරු පියසඳුන් වෙත පිළිගන්වන්නට යෙදිණි.

“ආදරණීය දෙටු ගුරු පියාණෙනි, අපේ පාසලේ අපේ මේ පුංචි නංගිලා මල්ලිලා ලොකු සර් දකින විදිහ මුළු පාසලට ම අදාළ යි. ඔව් ලොකු සර්, ඔබතුමා අප්‍රමාණ නෙළුම් පූදන වැවක්. තවත් විදිහකට කියනවනං මේ නංගියි මල්ලියි දෙන්නා සර් අතට දුන්නෙ සර්ම වගා කරපු අස්වැන්න. එක වට්ටියක සුදු නෙළුම්, රතු නෙළුම් පිරිලා තියෙනවා වගේ අනික් වට්ටිය පිරිලා තියෙන්නෙ ඒ නෙළුම් තමන්ගෙ මහවැව ලොකු සර් ව දැක්ක විදිහ පිළිබිඹු  වන කවි රචනා චිත්‍රවලින්. 

දැන් ඉඩ දෙමු. අපේ 10, 11 පන්ති නියෝජනය කරන අපේ ආදරණීය නංගිලා මල්ලිලාට. උසස් පෙළ අය්යලා අක්කලා වන අපටත් ඒ ගොල්ලන්ගෙ පන්ති පළාතට එන්න නොදී ඉස්කෝලෙ ඇරුණට පස්සෙ දවස් තුනක් ම හවස් වරුවල ඒ ගොල්ලන්ගෙ තෑගි හැදුවෙ. අපිට පෙන්නුවෙ නැති උනාට අපි දන්නවා නංගි මල්ලි, ඔය ඔයගොල්ල ම නිර්මාණය කරපු ලස්සන ම ලස්සන කූඩෙ පිරිලා තියෙන්නෙ මොනවායින් ද කියන එක. ඔව් ලොකු සර් ඒවයේ තියෙන්නෙත් සර් ගැන ඒ ගොල්ල ලියපු කවි රචනා වගෙම ඇඳපු චිත්‍ර තමයි. 10 බී පන්තියෙ අපේ සදසි විමන්ගා නංගි බොහොම ලොකු හැඟීමකින් එක අතකින් නෙමෙයි අත් දෙකෙන් ම අල්ලගෙන ඉන්නෙ, ඒ ස්නේහයේ කූඩය යි. ඒ වගෙම මේ අය තවත් විශේෂ වැඩක් කළා. ඒක ලොකු වැඩක්. හරි වැඩක්. හරිම ලස්සන වැඩක්. අපේ ඉස්කෝලෙ එහෙම වැඩක් කරන්න පුළුවන් උපරිම දක්ෂයා ඉන්නෙ උසස් පෙළ පන්තිවල නෙමෙයි 11 ඒ පන්තියෙ කියන එක මේ මුළු ඉස්කෝලෙ ම දන්නවා. ඔව් සර් අපේ ඉස්කෝලෙ හොඳම චිත්‍ර ශිල්පියා එයාගෙ වගෙම එයාගෙ මිතුරු මිතුරියන්ගෙ හිත්වල ලොකු සර්ට තියෙන ආදරය ගෞරවය එක තැනකට අරගෙන අපේ ලොකු සර්ගෙ උඩු කය චිත්‍රයක් නිර්මාණය කරලා. අනාගත මහ සමාජයට නාගොල්ලාගමින් පිදෙන මහා චිත්‍රශිල්පියාණෙනි, සදිල විකසිත කනිටු සොහොයුරාණෙනි, මේ එසිතුවම පුදන්නට වෙලාව යි.”

එයිනික්බිති උදාවූයේ උසස් පෙළ පන්ති ද්වයේ ශිෂ්‍ය ප්‍රජාවේ හද උවසර පිදුම යි.

“සභාසදීය සහෘදය පර්ෂදය දැන් මොහොතක් මගේ පරපුරටත් ඉඩ දෙන්න. උසස් පෙළ පන්ති දෙකේ අපි කවුරුත් එකට එක්වෙලා කරපු වැඩක් මේක. ලොකු සර්ට මතක ද සර් මෙහෙට එන කාලෙ කියන්නෙ අපි හිටියෙ 11 පන්තියෙ. 11 ඒ 11 බී කියලා පන්ති දෙකක් තිබුණා. ඒ පන්ති දෙක තමයි අද වෙන කොට 12 ඒ 12 බී වෙලා තියෙන්නෙ. ඒ අපේ පන්ති දෙක එකිනෙකාට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කර ගත්ත කාලෙ. ඒ කාලෙ 11 ඒ පන්තියෙ අය හිතන් හිටියෙ අපි තමයි දැනුමින් වැඩි අය ඒ වගෙම විනයෙන් පිරිච්ච අය කියලා. සභාව වරදවා තේරුම් ගන්න එපා මන් මේ කියන්නෙ ඒ කාලෙ ගැන. ඒ වගෙම ඒ කාලෙ අපි හිතන් හිටියෙ ඒ පන්තියෙ ඉන්නෙ බයගුල්ලො, අපි තමයි වැඩ්ඩො කියලා. ඒත් ඇත්තම කියනවනං ඒ කාලෙ අපි වැඩ්ඩො උනේ පොතපතේ වැඩවලින්නං නෙමෙයි චණ්ඩිකමින්. 

ලොකු සර් තමයි මෙහෙට ඇවිල්ලා අපේ හිත්වලින් ඒ ආකල්ප වෙනස් කළේ. සර් ඒක කළේ එක පාරට නොවේ. ටිකෙන් ටික. සර් තමයි අපට කියලා දුන්නෙ ඒ බී කියන්නෙ ඉංග්‍රීසි හෝඩියෙ අකුරු දෙකක් මිස උස්පහත්කම් මනින මිනුම් දණ්ඩක් නොවන බව. ඊළඟට සර් තමයි අපට කියලා දුන්නෙ අපි එක එක්කෙනා ලෝකෙට උපදින්නෙ එක එක දක්ෂකම් ඇතුව ය කියන කාරණේ. ඒ වගෙම සර් අපි දෙගොල්ලන්ට ම කියලා දුන්නා විෂය දක්ෂතා වගෙම විෂය පරිබාහිර දක්ෂතා අපි අගය කරන්න ඕනෙ කියන කාරණාව. අපේ වැරදි නිසා අපේ මගෝඩිකන් නිසා අපේ ඇතැම් ගුරු අම්මලා, ගුරු පියවරු අපිව ප්‍රතික්ෂේප කරපු යුගයක් තිබුණා. ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න ඔය යුගේනෙ සර් මේ ඉස්කෝලෙට ආවෙ. සර් තමයි ඒ ප්‍රතික්ෂේප වෙච්ච පන්තියට සිංහල උගන්නන්න ආවෙ. අපේ තෙන්නකෝන් සර්රුත් වෙනසක් නොකර අපිට ඉතිහාසෙ උගන්නන්න ආවා. හැබැයි දැන් නං ඒ මගෝඩි පන්තිය නැහැ. ඒ වගෙම දුටුගැමුණු - එළාර යුද්දෙත් නෑ. ආයි වෙන මොකුත් ඕනෙ නෑ අපේ ආදරණීය ගුරු අම්මා අයිරාංගනී මැඩම් මීට මොහොතකට කලින් දුන්න සහතිකේ ම ඇති අපට ජීවිතේට ම.

දැන් 12 ඒ 12 බී කියන්නෙ පන්ති දෙකකට නෙමෙයි එක පන්තියකට. අපි වෙන වෙන ම පන්ති දෙකක ඉන්නව තමයි. ඒ උනාට දැන් අපි එක පන්තියෙ. සර් අපි දෙගොල්ල සර් වෙනුවෙන් එකට එකතු වෙලා අද දවසෙ කරන වැඩ දෙකෙන් පළවෙනි වැඩේ තමයි මේ. මන් දෙවෙනි වැඩේ ගැන කියන්නෙ මේ වැඩ සටහන අන්තිමට යි. අපේ පළවෙනි වැඩේ හැටියට අපි කළේ සර් වෙනුවෙන් අපට තේරෙන විදිහට ශාස්ත්‍රීය වගෙම කලා සඟරාවක්. ගඟුල් සර්, රේණු මිස්, නදී මිස්, මිහිදිනී මිස් පසුබිමේ ඉඳගෙන අපට උදව් කළා. අපි තීරණය කළා මේ සඟරාවට සංස්කාරකවරයෙකුයි සංස්කාරකවරියකුයි පත් කරගෙන අනිත් අය ඒ දෙන්නට උදව් කරමින් වැඩ කරන්න. අපේ 12 බී පන්තියෙ ඉතිහාසඥයා සවිරු රත්නායක සංස්කාරක ධුරයකට සුදුසු යි කියන යෝජනාව ගෙනාවෙ 12 ඒ පන්තියෙ සහෝදර සහෝදරියො. ඒ වගෙම රචනා ලියලා සමස්ත ලංකා මට්ටමින් දස්කම් පෙන්නපු 12 ඒ පන්තියෙ මිහිරි කල්පනා සහෝදරිය තමයි අනික් සංස්කාරක වෙන්න ඕන කියන යෝජනාව ගෙනාවෙ අපේ පන්තියෙ ඒ කියන්නෙ 12 බී එකේ සහෝදර සහෝදරියො. මේවා කොච්චර ලස්සන දේවල් ද? වෙන් වෙලා ඇර ගන්න එක නෙමෙයි එක් වෙලා එකම අරමුණකට වෙර ගන්න එකයි අපි කරන්න ඕනෙ කියන පාඩම අපට කියලා දුන්නෙත් මේ ලොකු සර් ම තමයි. තව කාල වෙලාව ගන්නෙ නැතුව මන් මේ සඟරාවෙ තියෙන එකම එක ප්‍රකාශයක් විතරක් උපුටලා දක්වලා සඟරා පූජනයට ඉඩ සලසන්නම්.”

“අඳුරට ඉඩ නොදෙන හිරු දුටු විට  දි  නුබ

සඳ සිසිලසින් උතුරන විට දි        හද ගැබ 

වියලුණු පොළොව පිබිදෙන විට දි වැසි ලැබ

අමතක කළ හැකි ද වැසි පොද    සදිසි ඔබ”

මහරු හිරු මඬල, සොඳුරු ගුරු තරුව නාලක දේවනාරායණ අභිප්‍රශංසා ලේඛනාවලී ගුරු වැසි පොද එතුමන්ගේ සුරතට පිළිගැන්වීම සඳහා අපගේ හෘදයාරාධනා ලබන්නේ එහි සංස්කාරකවරුන් වන සවිරු පසන් රත්නායක සොහොයුරා සහ මිහිරි කල්පනා හේරත් සොහොයුරිය යි.

දේවනාරායණ මහතා ඒ පිළිගනිද්දී රාජරත්නම් මහත්මිය, විදුහල්පතිතුමිය මතු නොව මුළු මහත් සභාසදීයෝ සිය අසුන්වලින් නැගිට ඊට සිය ගෞරවාදරය පුද කළහ.

“දැන් අපි මේ ගත කළ වෙලාව හඳුන්වන්න සුදුසු වචනෙ මොකක් ද? අපේ ගඟුල් සර් කලාතුරෙකින් එළඹෙන අර්ථසම්පන්න අවස්ථා සර්ගෙ වචනයෙන් කියනවනං සුසංසිද්ධි හඳුන්වන්නෙ අනිර්වචනීය සුවර්ණ සුයාම කියල යි. ඔව් මේක අපිට වචනවලින් විස්තර කරන්න බැරි සුදුසු ම වර්ණවලින් පාට වැටිච්ච ලස්සන ම වෙලාවක් සුයාමයක් ම තමයි. ඒ වගෙම මේ වගෙ වෙලාවක් හඳුන්වන්න පුළුවන් ඉංග්‍රීසි වචන තුනක් අපි අපේ මිහිදිනී මිස්ගෙන් අපි ඉගෙන ගෙන තියෙනවා. ඒ වචන තුන පාවිච්චි කරලා අපට මේක පදිඑ මබාසබේබ්ඉකැ චර්සිඅදරඑහ පදපැබඑ එකක් කියලා කියන්න පුළුවන්. අපි ඒක ලස්සන සිංහලට හැරෙව්වොත් සුනිවර්චනීය ප්‍රශංසනීය මුහුර්තයක් කියන්නට පුළුවන්. ඒ සුයාමයට අපි හිතුවට වඩා වෙලාවක් ගියා තමයි. මේ ජීවිතයේ සමහර දේවල් තියෙනවා අපිට සම්මත කාලයෙන් පාලනය කරන්න බැරි. මේ අවස්ථාවත් එහෙම එකක්.

අපේ න්‍යාය පත්‍රයට අනුව අපට තව තියෙන්නෙ තව වැඩ තුනක් විතරයි. දැන් ඊළඟට තියෙන්නෙ මේ න්‍යාය පත්‍රයේ ඇතුළත් වන සුවිශේෂ අංගය කියලා අපට කියන්න පුළුවන්. සදාදරණීය විදුහල්පතිතුමනි, අභිනව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි,

නිශ්චල වැව දකිමු එහි ගැඹුර ද   දකිමු

සුන්දර සඳ දකිමු, එහි සිසිලස     විඳිමු 

පිවිතුරු උල්පතක රුව ගුණ ගැන සිතමු     

හද උල්පතින් ගඟ පැහැදිලි ලෙස දකිමු 

මේ හෘදයසංවේදී මොහොත ඒ නිසල වැවට යි, ඒ සොඳුරු සඳට යි, මහරු උල්පතට යි, ගලා යන ගඟට යි.

ඔව් මේ දර්ශනපති නාලක දේවනාරායණ ගුරු පිය සඳුන් ඔබ අප අමතන හෘදයහාරී සුවර්ණ සුයාමය යි.

වේදිකාවට සපැමිණි ඒ උත්තුංග මිනිසා මොහොතක් නිහඬ ව තමන් වෙත මේ සා ආදරයක් මේ සා ගරුත්වයක් පුද කරන සභාසදීයයන් දෙස බලා සිටියේ ය. අනතුරුව සිය හඬ අවදි කෙළේ ය.  

“මේ වන තෙක් අපගේ මහව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වශයෙන් සුමහඟු සේවා සම්ප්‍රදානය කළ ආචාර්ය සුරේශා රාජරත්නම් මගේ සදාදරණීය ගුරු මවුතුමියනි, නියෝජ්‍ය විදුහල්පතිනිය වශයෙන් පමණක් නොව නිබඳ මට කලණ මිතුරියක වෙමින් අප්‍රමාණ සහායක් ලබාදුන් අද දින ඔබ සියලු දෙනාගේ භාග්‍යවන්තභාවයේ ජීවමාන සංකේතය බවට පත් වෙමින් අප විදුහලේ අභිනව විදුහල්පතිනිය වශයෙන් වැඩ බාර ගන්නා අධයාපනපති සුමනා හේරත් මහත්මියනි, හඳුනාගත් දවසේ පටන් පාසලේ කටයුතුවල දී පමණක් නොව ජීවිතයේ නොයෙක් අවස්ථාවලදීත් මට මාර්ගෝපදේශකයකු වූ නියෝජ්‍ය විදුහල්පති ලාල් තෙන්නකෝන් සහෘදයාණෙනි, මේ පාසල අධ්‍යාපනික වශයෙන් මතු නොව ආධ්‍යාත්මික වශයෙන් ද ඔසොවා තැබීම පිළිබඳ වන මාහැඟි මෙහෙවරෙහි ලා වැඩිම වැඩ කොටස නොපිරිහෙළා ඉටු කළ හිතවන්ත, ගුණවන්ත මගේ ආදරණීය ගුරු සහෘදයනි, පාසලකට අත්‍යවශ්‍ය ම වන වටිනා සේවයක් හදවතින් ම ඉටු කළ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දයාබර මිතුරනි, මිතුරියනි, මේ පාසලේ අභිවෘද්ධිය සිය ජීවිතයේ කටයුතු අතර ප්‍රමුඛ කාර්යයක් බවට පත් කොට ගත් පාසල් සංවර්ධන සමිතිය සහ ආදිශිෂ්‍ය සංගමය නියෝජනය කරන දයාබර හිතවතුනි, හිතවතියනි, සිය දරුවන්ගේ දෑස් පෑදීමේ ලා වන සුවිසල් මෙහෙවර අප ඉත සිතින් ඉටු කරනු ඇතැයි යන සුවිසල් හැඟුමින් සිය දූ දරුවන් අප පාසලට බාර දුන් අප හිතවත් ආදරණීය දෙමවුපියනි, අප පාසලේ පමණක් නොව මුළුමහත් දේශයේ ම ජීවනාලිය වන මගේ සදාදරණීය සිසු දූ පුතුනි,

මට කියන්න  තියෙන්නෙ විදුහල්පති හැටියට මන් මට පුළුවන් දේ කළා. ඔබ මේ දක්වන මහා ආදරයෙන් මහා ගෞරවයෙන් හෙළි වෙන්නෙ ඒක. ඒක තමයි කෙනෙකුට ලැබෙන ලොකු ම තිලිණ වෙන්නෙත්. අද මන් යන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අම්මා කෙනෙක් වන උතුම් අව්‍යාජ ගැහැනියක් ඔබේ ඉස්කෝලෙ - මගේ ඉස්කෝලෙ විදුහල්පති පුටුවට ආ වාසනාවන්ත මොහොතක. ඒ වගෙම මේ දෙමවුපියන් වන ඔබට වගෙම මට ගොඩක් සන්තෝස වෙන්න පුළුවන් තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මන් මෙහෙන් ගියාට මාත් එක්ක වැඩ කරපු මේ විශිෂ්ට ගුරු මණ්ඩලය ඔබත් එක්ක ඉන්නව කියන එක. මේ ගුරු මණ්ඩලය කියන්නෙ මහා ශක්තියකට. මේ එක එක්කෙනාගෙ ශක්තීන් විවිධ යි. ඒ විවිධ ශක්තීන් එකතු උනාම හැදෙන ශක්තියේ බලය අපරිමිත යි. මන් ඒක දැක්කා, මන් ඒක වින්දා. මන් දන්නවා ඒ අප්‍රමාණ ශක්තිය මටත් වඩා හොඳට අපේ සුමනා මැතිනියට භාවිතයට ගන්න පුළුවන් කාරණේ. ඇයගේ ජීවිතයේ මන් දැකපු එක් විශේෂයක් තමයි ඇයට තරහකාරයො, තරහකාරියො නොමැති වීම. එතුමිය එක්ක කෙනෙක් මොකක් හරි හේතුවක් හදාගෙන තරහ උනත් ඒ කෙනාට ඒක පවත්ත ගෙන යන්න බැහැ. මොකද මෙතුමිය ඒ අයත් එක්ක තරහ නැති නිසා. 

මන් ඇවිල්ල මාසයක් දෙකක් යනකන් කළේ අපේ ආචාර්ය මණ්ඩලය හඳුනා ගන්න උත්සාහ දරන එක. මන් මගේ සහෝදර ගුරු මණ්ඩලේ හැම කෙනාගෙන් ම දෙයක් ඉගෙන ගත්තා. භෞතික වශයෙන් මාත් එක්ක වැඩියෙන් ම ගැටිච්ච කෙනෙක් තමයි අපේ මේ ජ්‍යෙෂ්ඨ ගුරු සහෝදරිය අයිරාංගනී සිල්වා මැතිනිය. හැබැයි පස්සෙ කාලෙක ආධ්‍යාත්මික ව තමන් නිවැරදි යි කියලා හිතාගෙන ඉන්න දේ වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී ඉන්න ඕනෙ කියන පාඩම මන් ඉගෙන ගත්තෙ එතුමියගෙන්. මම නිර්මාංසික ජීවිතයක් ගත කරන චරිතයක් උනාට ඒ වෙනුවෙන් ප්‍රබල ව පෙනී හිටින චරිතයක් උනේ නැහැ. හැබැයි මේ කාරණේ දී සිල්වා මැතිනිය හිටියෙ මට වඩා වෙනස් තැනක. ඇය තමන්ගෙම දරුවෙක් උනත් තමන් දරපු නිවැරදි මතයට විරුද්ධ ව නම් වැඩ කළේ ඒ දරුවා අතහැරලා තමන් දරන මතය වෙනුවෙන්  අඛණ්ඩ ව පෙනී සිටියා. ඒක මන් මෙහෙම ප්‍රසිද්ධියෙ ම කිව්වෙ ඒක මේ මුළු ගම ම දන්න කාරණයක් නිස යි.

තෙන්නකෝන් සර් කියන්නෙ අපි කාටත් ජීවිතය ගැන අපි නොදන්න පාඩම් කියලා දෙන පොතක්. සර් මට හෙට දවසෙත් ඒ පොත ඕනෙ. වැලිකල මැඩම්, නදී, රේණු, ගයා, චතූ, නිලූ, සඳමිණි මේ තරුණ වැඩිහිටි හැම ටීච කෙනෙක්ගෙන් ම මම ජීවිතයට දේවල් එකතු කරගෙන තියෙනවා. ඒ වගෙම මේ ගුණවර්ධන සර්, සමරසිංහ සර්, රත්නායක සර්, චිත්‍ර සර් වගෙ වැඩිහිටි ගුරු චරිත විතරක් නෙමෙයි අතුල, අමිල,සමරසිරි වගේ තරුණ ගුරුවරුන්ගෙනුත් මන් ගොඩක් දේවල් දේවල් ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ වගෙම මේ ඉස්කෝලෙ ඉන්න තරුණම ගුරු මණ්ඩලේ නියෝජනය කරන ගඟුලු යි මිහිදිනි යි දෙන්නා තමයි මගෙ සාහිත්‍ය ගුරුවරු. 

සුරේඛා මැඩම්, ඔව් ඒක තමයි අපි ගන්කන්දෙ සෙන්ට්‍රල් එකේ දි රාජරත්නම් මැඩම්ට ආදරෙන් ආමන්ත්‍රණය කරපු විදිහ. මේ ඕනෑම චරිතයකින් ජීවිතයට ගන්න දේවල්, ඉගෙන ගන්න පාඩම් තියෙනවා කියන පාඩම අපිට ඔබතුමිය කියලා දුන්නෙ අපි උසස් පෙළ පන්තියෙ ඉන්න කොට. අපිට භූගෝල විද්‍යාව උගන්නන්න ආපු ඔබතුමිය තමයි අපට කියලා දුන්නෙ ලෝකයේ භූ විෂමතාව කියලා එකක් තිබුණට මානව විෂමතා කියලා දෙයක් නැති බව. මානවයන් අතර වෙනස්කම් තිබුණට විෂමතා තියෙන්න බැහැ කියන එක ඔබතුමිය ඉගැන්නුවා. ජාති, ආගම්, කුලවලට විතරක් නෙමෙයි උගත්, නූගත්, දුප්පත්, පෝසත් විදිහටත් මිනිස්සු වර්ග කරන එක වැරදියි කියන පාඩම මගේ හිතේ තහවුරු වෙන්න බලපෑවෙ මැඩම් එදා කරපු ඒ පාඩම තමයි. නාගොල්ලාගම ඉස්කෝලෙ කියන්නෙ මන් ඒ පාඩම අත්හදා බලපු එක ඉස්කෝලයක්. දැන් මට කොට්ඨාස අධ්‍යක්ෂ විදිහට අපේ මැඩම්ගෙ පාඩම තවත් ඉස්කෝල ගණනාවක කරගෙන යන්න නිල වශයෙන් ම බලය ලැබිලා තියෙනවා. 

මේ ගුරුවරු හැම කෙනා ගැනම මට වෙන වෙන ම කියන්න දේවල් ඔක්කොම කියන්න ගියොත් අද හවස් වෙනකන් කළත් ඒ වැඩේ ඉවර කරන්න බැරි වේවි. ඒක නිසා මන් ඒ කාරණේ මෙතනින් නවත්තන්නම්.

මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා මගෙ දරුවන්ගෙ අත්වලින් තමන්ගෙ තියෙන ආදරණිය හැඟීමත් එකතු කරලා මට දුන්න  ඒ හද තිලිණ ඔක්කොට ම බොහොම පින් කියන වචනෙ තමයි මට මේ දරුවන්ට කියන්න තියෙන්නෙ. 

ජීවිතවල තියෙන දුෂ්කරතා, ආර්ථික අපහසුතා අඳුනන්නෙ මේ සමාජෙ ජීවත් වෙන වැඩිහිටියො මිසක් ළමයි නෙමෙයි. අන්න ඒ හින්ද ම මගෙ මේ ආදරණීය ආචාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය එකතු වෙලා සමිති සංගම් මට්ටමකින් නෙමෙයි තමන්ගෙ පුද්ගල මට්ටමෙන් අද දවසෙ මගෙ පෞද්ගලික පරිහරණය සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් කරන්නත් තීරණය කරලා තිබුණා. ඒ අදහස ගැන කියලා මගෙ කැමැත්ත ගන්න ආපු ඒ නියෝජිත කණ්ඩායමෙන් මන් එක දෙයක් ඉල්ලා හිටියා. ඒක මට නෙමෙයි මේ සභාවෙදි අපේ අලුත් විදුහල්පතිතුමිය අතට දෙන්න අපේ අබලන් වෙලා තියෙන ගොඩනැගිල්ල වෙනුවට වැඩි පන්ති කාමර ගණනාවක් ඇතුව අලුතින් හදන්න යන තෙමහල් ගොඩනැගිල්ලෙ කටයුතු සඳහා කියලා. අන්තිමට ඒ යෝජනාවට තමන්ගෙ එකගතාව පළ කරපු ඒ ඔක්කොටම මගෙ හදවතේ ගැඹුරු ම තැනින් ස්තුති කරන්න, පින් දෙන්න මන් මේක අවස්ථාව කරගන්නවා. 

ඒ වගෙම තමන්ගෙ ඉස්කෝලෙ වැඩ ගැන අවදියෙන් ඉන්න ආදි ශිෂ්‍යයො ඉන්නවා කියන එක ඔප්පු වෙන තවත් වැඩක් ඊයෙ හවස සිද්ද උනා. තරුණ ව්‍යාපාරිකයෙක් ඊයෙ හවස ආවා මාව හම්බ වෙන්න. එයා මේකෙ ආදි ශිෂ්‍යයෙක්. හයේ පන්තියෙ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන තියෙන්නෙ මේ ඉස්කෝලෙ. සර් මන් හෙට මාස තුනකට විදේශගත වෙනවා. මට මගෙ ඉස්කෝලෙට පරිත්‍යාගයක් කරන්න ඕනෙ. මන් දන්නවා සර් අද විතරයි මේ ඉස්කෝලෙ ඉන්නෙ කියන එකත්. සර්ට පොඩි හරි වෙලාවක් තියෙනවනං සර්ට පුළුවන් ද  පොඩ්ඩක් කතා කර ඉස්කෝලෙ චුට්ටක් ඇවිදින්න යන්න මාත් එක්ක එන්න කියලා බොහොම ලොකු හැඟීමකින් කිව්වා. අපි ටිකක් ඇවිද්දා. එයා කඩා වැටෙන්න යන අපේ අබලන් ගොඩනැගිල්ල ළඟ නතර උනා. එයාට කියවුණේ අනේ සර් මේ අපේ පන්තිය තිබිච්ච ගොඩනැගිල්ලනෙ කියල යි. ඊට පස්සෙ එයා මාත් එක්කම කාර්යාලෙට ආවා වචනයක්වත් කතා නොකර. මගෙ ඉස්සරහම ඉඳලා චෙක් එකක් ලියලා ඒක අත් දෙකෙන්ම මගෙ අතට දුන්නා මේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරනවනං ඒකට හරි අලුත් ගොඩනැගිල්ලක් හදනවනං ඒකට හරි ගන්න කියලා. මගේ සහෘදයන් මට දෙන්න හදපු මූල්‍ය පරිත්‍යාගය ඒ අය විදුහල්පතිතුමිය අතට දෙන වෙලාවෙම මන් කැමතියි අර චෙක්පතත් එතුමිය අතට දෙන්න අලුත් ගොඩනැගිල්ලේ කටයුතු සඳහා.

මේක තාවකාලික සමු ගැනීමක් විතර යි. මගෙ ජීවිතය හා බැඳිච්චි සොඳුරු සංසිද්ධි රාශියක් තියෙන මේ ඉස්කෝලෙට රාජකාරි වශයෙන් පැමිණීමට අමතර ව මට ඉඩකඩ ලැබෙන වෙන වෙලාවන්වලටත් එනවා ය කියන ප්‍රතිඥාව දෙමින් මන් මගේ කතාව අවසන් කරනවා.

මා වෙනුවෙන් කළ - කරන මේ සියලු ම දේවලට මගේ ස්තුතියත් ආදරයත් පළ කරන්න මෙය ම අවස්ථාව කරගන්නවා.

ඔබ සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා!”

“‘දෙනු මිස ඔබෙන් කිසිවක්    මම නොගන්නෙමි’

 යන දවසෙදිත් දෙන පාඩම            උගන්නෙමි

 ගුරු පියසඳුනි, ඔබෙ          හදවත හැඳින්නෙමි

 අප හැම දෙනා වෙනුවෙන්        පා වඳින්නෙමි”

මුළු සභාසදය වෙනුවෙන් එඋතුම් මානවයා විෂයයෙහි එසේ හදපිදුම සිදු කළ අනුපම යෞවනයා අනතුරුව අවස්ථාව සලසා දුන්නේ න්‍යාය පත්‍රයේ අවසන් අංගයට පූර්වයෙන් යොදා තිබූ ස්තුති පූජනයට යි.

සාහිත ගඟෙහි බටහිර    ඉවුරට   පීනූ 

එනමුදු හෙළ බසින් වුව හඬවන   සීනු

මිතුරනි, උපරිමෙන් අත්පොළසන ගේනු

දැන් මුළු සබාව ම ගුරු මවට යි   රේණු

අප සියලු දෙනා වෙනුවෙන් ස්තුති සංකථනය සිදු කිරීම සඳහා දැන් සබා ගැබට අවතීර්ණ වන්නේ ඉංග්‍රීසි විෂය ඒකකයේ අංශප්‍රධාන රේණු රශ්මිකා වීරසිංහ අපේ සදාදරණීය ගුරු මාතාව යි.

“හුදු අධ්‍යාපන නිලධාරිනියක වශයෙන් නොව මානවවාදී ස්ත්‍රීරත්නයක් ලෙස අපේ ජීවිතවලට සමීප වූ දයාබර ආචාර්ය සුරේශා රාජරත්නම් මැතිනියනි, එදා මෙන් අදත් අද මෙන් හෙටත් අප හද පුදසුනෙහි සුවිසල් ඉඩක් හිමි කොට ගැන්මට සමත් වූ දර්ශනපති නාලක දේවනාරායණ ආදරණීය පියාණෙනි, අපට කවදත් මවක වූ අද පටන් මේ මුළු පාසලේ ම මහ මව බවට පත් වන අධ්‍යාපනපති සුමනා හේරත් මැතිනියනි, සමස්ත ආචාර්ය මණ්ඩලයේ ආදරණීය සහෘදයනි, පාසල හා බැඳුණු විවිධ සංගම් නියෝජනය කරන හිතවතුනි, හිතවතියනි, හිතාදර දෙමවුපියනි, මා ආදරණීය දූ පුතුනි,

අපේ සංවිධායක මණ්ඩලය මට පවරලා තියෙන්නෙ ස්තුති කතාව කරන්න යි. ඒත් ඒ කතාවට ඉස්සෙල්ලා අපේ ලොකු සර් ගැන මට තියෙන අද්දැකීම් අතරින් ලොකු ම අද්දැකීම ගැන මන් වචනයක් දෙකක් කියන්න කැමතියි.

මට මතක් වෙන්නෙ මන් මේ ඉස්කෝලෙට ආපු පළවෙනි දවස. මන් මගෙ තාත්තා, අම්මා, අය්යා වගෙම නංගිත් එක්ක යි එදා ආවෙ. ඒ කියන්නෙ එදා මගෙ පවුලෙ ඔක්කොම සාමාජිකයො එදා එතන හිටියා. ඒ තමයි මට මේ ලොකු සර් හම්බ වෙච්ච පළවෙනි දවස. මට බොහොම දුෂ්කර ජීවිතයක් තමයි මෙහෙ ගත කරන්න වෙන්නෙ කියලා හිතපු අපේ අම්මා කතා කළේ ම මාව ආපහු එක්ක යන්න. අපේ තාත්තා කැමති උනෙත් නැහැ විරුද්ධ උනෙත් නැහැ. අය්යා තමයි මට සහයට හිටියෙ. නංගි න්‍යුට්‍රල්. එදා අම්මගෙ ආකල්ප වෙනස් වෙන්න බලපෑවේ අපේ ලොකු සර්ගෙ වචන. සර්ගෙ ආදරණීය හැසිරීම. ඒක එහෙම නොවුණනං මගෙ කැමැත්ත කොච්චර තිබුණත් අම්මගෙ හිත රිද්දන්න බැරිකමට මන් ආපහු යන්න තීරණය කරන්නත් තිබුණා. එදා ඒ සම්පූර්ණ සිදුවීම දැකපු කෙනෙක් තමයි අපේ තෙන්නකෝන් සර්. මන් අද මෙහෙ ඉන්නෙ ලොකු සර් හින්දා. අපිට සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා දුන්නෙ සර්. මන් අපේ සර් හම්බ වෙනකන් ම හිටියෙ හොඳින් හරි නරකින් හරි අභියෝග කියන ජාතිය දිනා ගන්න ඕනෙයි කියන මතයෙ. හැබැයි සර් තමයි අපට කියලා දුන්නෙ ආවේගවලින් නෙමෙයි, ආදරයෙන් ගොඩක් දේවල් ජය ගන්න පුළුවන් කාරණේ. ඒ වගෙම සර් කියලා දුන්නා අවශ්‍ය ම තැනදි දැඩි උනාට කමක් නැහැ, ඒත් ඒ වෙලාවටත් තමන්ගෙ හදවතේ ආදරය තියා ගන්න කියන එකත්. මන් හිතන්නෙ මන් තරන් අපේ සිල්වා මැඩම් එක්ක යි වැලිකල මැඩම් එක්ක යි ගැටිච්ච වෙන ගුරුවරියක් නැතුව ඇති. මගෙත් තරුණ වයස, පළවෙනි පත්වීම, පොඩි උණකුත් තිබිච්ච කාලෙ. මැඩම්ට මතක ද මන්දා ඒ දවස්වල අපි දෙන්න සිංහලෙන් විතරක් නෙමෙයි ඉංග්‍රීසියෙනුත් බැණ ගත්තා. හැබැයි ඒවා කළේ අපේ ශිෂ්‍යයො නැති තැන. ඒ උනාට සිල්වා මැඩනුත් මමත් දෙන්න ම දැනන් හිටියෙ නැති උනාට මේ ඉස්කෝලෙ එකම එක චරිතයක් ඒ එක ඉංගිරිසි බැනුමක් අහගෙන ඉඳලා තිබුණා. දවසක් ලොකු සර් මගෙන් ඇහැව්වා රේණු මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද කියලා. මන් කිව්වා අනේ කියන්න සර් මට කරන්න පුළුවන් උදව්වක්නං මන් කරන්නං කිව්වා. එතකොට මේ ලොකු සර් කිව්වෙ මන් දන්න තරමින් ඒ උදව්ව කරන්න පුළුවන් දෙන්නයි මේ ඉස්කෝලෙ ඉන්නෙ කියලා. ඔන්න දැන් මට කුතුහල දෙකයි. එක මොකක් ද සර්ට මගෙන් ඕන කරන උදව්ව. දෙක ඒ කියන උදව්ව කරන්න පුළුවන් මේකෙ ඉන්න අනිත් චරිතෙ කවුද කියන එක.

මට වැඩේ තේරුණෙ සර් කියපු ඊළඟ දේත් එක්ක යි. රේණු ඔයාට පුළුවන් ද මට ඉංග්‍රීසියෙන් බණින හැටි උගන්නන්න. මොක ද ඒ භාෂාවෙන් ටිකක් කතා කරන්න පුළුවන් උනාට ඒකෙන් බණින්න තරමෙ දැනුමක් මට නැහැ. එහෙම කියපු වෙලාවෙ සර් කිව්වෙ මොක ද රේණු නිස්සද්ද, ඔයාට බැරිනං මට කියන්න. මන් මිසිස් සිල්වට කියන්නං ඒ උදව්ව කරන්න කියලා කියාපි. මට එතකොටයි වැඩේ තේරුණෙ. සර් කොහොමටත් හැම දවසක ම වගේ ඉස්කෝලෙ වටේ රවුමක් දෙකක් ඇවිදිනවනෙ. එහෙම දවසක  සර් දැකලා තියෙනවා අපි අර බැණ ගන්න එකත්. මට ඒ වෙලාවෙ හිතුණෙ පොළොව පලා ගෙන ඒක ඇතුළට ගිහිල්ලා හැංගෙන්න තියෙනවනං හොඳයි කියල යි.”

මේ මොහොතේ අයිරාංගනී සිල්වා ආචාර්යවරිය ද සිනහ පිරි වතින් යුතු ව සිය තරුණ ගුරු මිතුරිය කතා කරන ආකාරය දෙස බලා සිටියා ය. මේ අතර රේණු ආචාර්යවරිය සිය කතාව ඉදිරියටත් කරගෙන ගියා ය.

“ඒ දවස මන් හිතන්නෙ මගෙ ජීවිතේ වෙනස් කරපු දවසක් කියලා. භාෂාවක් තියෙන්නෙ තව කෙනෙක් එක්ක බැණ ගන්නවට වඩා වටින වැඩ කරන්න කියන එක මන් ඉගෙන ගත්තෙ එදා. මන් මේ ඉස්කෝලෙට එන දවස්වල අපේ විෂය බාර ආචාර්යවරිය විදිහට වැඩ කළේ අපේ මේ සිල්වා මැඩම්. පස්සෙ එතුමිය ම ඉල්ලීමක් කරලා ඒ වගකීම චතූ මිස්ට, මගෙ වචනවලින් කියනවනං චතූ අක්කට බාර දීලා තිබුණා. ඊට පස්සෙ චතූ මිස් කොළඹ විශ්වවිද්‍යාලෙ අධ්‍යාපනපති පාඨමාලාව කරන්න නිවාඩු ගත්ත වෙලාවෙ ලොකු සර් සිල්වා මැඩම්ගෙන් අහලා තිබුණා ඔබතුමියට පුළුවන් ද ටික කාලයක් හරි විෂය බාර ආචාර්යවරිය හැටියට ආයෙත් වැඩ කරන්න කියලා. ඒ වෙලාවෙ එතුමිය තමන් වෙනුවට වෙනත් ආචාර්යවරියකගෙ නම යෝජනා කරලා තිබුණා. අන්න එහෙම එදා නම යෝජනා වෙච්ච ආචාර්යවරිය තමයි මම. ඒක අනුමත කරපු විදුහල්පතිතුමා තමයි මේ. ඔන්න ඔහොම යි මන් මේ ඉස්කෝලෙ ඉංග්‍රීසි විෂය බාර ගුරුවරිය උනේ. දැන් සිල්වා මැඩමු යි මම යි කිරි යි පැණි යි. දැන් වෙන කවුරු හරි මට වචනයක් කිව්වොත් එයා මගෙන් බේරුණත් අපේ සිල්වා මැඩම්ගෙන් ගැලවෙනවා බොරු.”

රේණු එම වචන කිහිපය පැවසුවේ මුළු සභාව ම සිනහ සයුරක ගිල්වමිනි. අනතුරුව ඇය මෙසේ ද පැවසුවා ය. 

“අපේ ලොකු සර් කියන්නෙ විවිධ හේතු නිසා දුරස් වෙලා තියෙන අය සමීප කරන චරිතයක්. මන් ඇවිල්ලා ඒ අද්දැකීම ලබපු එක්කෙනෙක් විතර යි. අපේ ආචාර්ය මණ්ඩලේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලේ, පාසලේ දූ දරුවො විතරක් නෙමෙයි ගමේ අයටත් මේ අද්දැකීම තියෙනවා. අද මෙතෙන්ට රැස්වෙලා ඉන්න හැම කෙනාට ම සර් ගැන කරන්න ස්තුති කතාවක් තියෙනවා. අද කතා නොකරන මේ හැම කෙනා ම තමන්ගෙ හදවත්වලින් කරන නිහඬ ස්තුති කතාවක් තියෙනවා. අද මන් කරන්නේ අපි මෙහෙම වෙලාවක සාමාන්‍යයෙන් කරන ස්තුති කතාව යි. ඒ අනුව අපේ කෘතෝපහාර උත්සවයේ කටයුතු සාර්ථක කර ගන්න අපිට උදව් කරපු මම දැන් නම සඳහන් කරන චරිත විෂයයෙහි අපේ කෘතගුණපූර්වක ස්තුතිය පුද කරනවා.”

අනතුරුව එම ආචාර්යවරිය විසින් කරන ලද්දේ ක්‍රමානුකූල ව පෙළ ගස්වා ගත් නාමාවලියක් ඉදිරිපත් කොට අවසන විවිධාකාරයෙන් උපකාර කළ නම් නොකී සහෘදයන් විෂයයෙහි ද වන ස්තුතිය ප්‍රකාශයට පත් කිරීම යි. මෙයිනික්බිති එළැඹියේ මෙසරල, නොවක්, ඉසොඳුරු උවසර පුද උත්සවයේ පරිසමාප්තිය සලකුණු කෙරෙන නිමේශය යි. 

නිවේදක යෞවනයා විසින් ඒ සඳහා සිය හඬ අවදි කරන ලද්දේ පහත සඳහන් පරිද්දෙනි.

“අපේ රේණු මැඩම් අපි ඔක්කොම වෙනුවෙන් ඉතා මැනවින් ස්තුති සංකථනය සිදු කළා. ගුරු මෑණියනි, ඔබතුමියට අපේ ආදරය සහ ගෞරවය.

මන් මෙයට මොහොතකට කලින් කිව්වා උසස් පෙළ අපි ස්වරූප දෙකකින් නාලක දේවනාරායණ ගුරු  පිය සඳුන් විෂයයෙහි අපේ සුමහාදරය සහ ගරුගුරු පූජනය සිදු කරන බව. හැබැයි මෙතන තියෙන විශේෂය තමයි ඒක මේ මොහොතේ උසස් පෙළට පමණක් සීමා නොවී මේ මුළු සභාවේ ම භාව ප්‍රකාශනය බවට පත්වීම. මේ තමයි අපි කාගෙත් හදවත්වල ඔබතුමන් ගැන ලියැවුණු ගීතය. කවර හෝ ආකාරයකින් අපට අහිමි වන සැබෑ ගුරු චරිතයක් ගැන කිව යුතු ගීතය. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද මේ සොඳුරු සුගීතය ගායනා කළේ දේශයේ මහා ගාන්ධර්වයාණන් වශයෙන් සම්භාවනයට පත් වූ පණ්ඩිත් ආචාර්ය අමරදේව නම් කලා ගුරු තාරකාව යි.

පරපුරක සිහින යාත්‍රා තොටුපොළට යවාලූ, පිතු සෙනෙහ හද දරා ලොව අරුම කියාලූ, ගුරු පාපියුම් අබියස අපමණ මල් සිරස නැමෙන බව කියන්නට මගේ මේ ආදරණීය ආරාධනය, අවිදූර අනාගතයේ දි නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් සංගීත ලොවට පිදෙන  ප්‍රේක්ෂක හෘදයවිහාරී ගායක යුග්මය සොයුරු සසිත් ආනන්ද රත්නායකයනට සහ චන්දූපමා චාරුතරංගී යෙහෙළියට යි.

අනතුරුව මුළු සබා ගැබ පිරී ගියේ අර්ථ මාධුර්යයට නාද මාධුර්යය මනාසේ සංයෝග කළ ඒ භද්‍ර යෞවනයාගේ සහ භද්‍රයෞවනියගේ නොකැලල් හඬිනි.


“ගුරුතරුව සෙමින් බැස යයි

 ගැලු එළිය නොයා නවතියි

 නුබ කොපුල් තලා වැහි බිඳු තවරා 

  ගුරුතරුව සෙමින් බැස යයි 


 පරපුරක සිහින යාත්‍රා

 තොටුපළට යවා හරවා

 පිතු සෙනේහයෙන්

 ලොව කියා දුන්නු 

 ගුරු පාද පියුම් සුවඳයි


 එක මලෙක නම් නොවේ මැයි 

 මල් යායක සිරස නැමෙයි

 පිතු සෙනේහයෙන්

 ලොව කියා දුන්නු 

 ගුරු පාද පියුම් සුවඳයි”




Saturday, June 22, 2024

102. ඇස්!

වැසිදැරියට නිතර සිහිපත් වන එක සරසවි සිසුවියක් සිටිනවා.ඇය අතිදක්ෂ සිසුවියක්.නමුත් සරසවිය තුළ අතිදක්ෂයෙක් වීම පමණක් මතක හිටින චරිතයක් වන්න ප්‍රමාණවත් වන්නෙ නෑ. මන්ද සරසවියෙ අතිදක්ෂයෙක් වීම සාමාන්‍ය දෙයක් වන නිසා. දක්ෂයන් නොවී නම් ඔවුන්ට සරසවි එන්න බැහැ. ඒ නිසා මට මේ දැරිය මතක හිටියෙ ඇගේ දස්කම් නිසා නොවෙයි.

ලෝකයේ හැම ගැහැණියක්ම සුන්දරයි. එහෙත් භෞතික ලෝකයේ මිනුම්දඬුවලිවන් මනින අන්දමක බාහිර රුවක් නොවෙයි⁣ මේ සිසුවියට ඇත්තේ. ඒ නිසා ඇය සුවිශේෂී වන්නේ ඇගේ පෙනුම නිසාත් නොවෙයි.

ඇය මට ප්‍රථම වරට මුණගැහෙන්නෙ දෘශ්‍යාබාධිත සිසුන් පිරිසක් සමඟ. එක් හවස් වරුවක පැවැත්වුණු මධ්‍ය වාර සම්ප්‍රවේශන (Presentations) වාරයකට ඒ සිසුන් පිරිස සම්බන්ධ විය යුතු ව තිබුණා. එදා තදින් වැසි වැටුණ හවසක්. සිසුන් පනහකගේ පමණ කදිම සම්ප්‍රවේශනවලට සවන් දී පිරුණු හදින්ද-සවනින්ද යුතුව, ⁣මගේ කෝකටත් තෛලේ අත්බෑගයත් උරේ පටලවාගෙන, එතෙක් වේලා පුටුව යටට තල්ලු‍ කර තිබූ පාවහන් දෙකත් පයලාගෙන, දේශන ශාලාවේ විදුලි  පහන්ද වායුසමීකරණ යන්ත්‍රද නිවා දමා මා යන්නට සැරසෙන විටයි මේ සිසු පිරිස ඇතුළු වු⁣ණේ.

සිය මිතුරන්ට ඇසක් වෙමින් පෙර කී සිසුවිය ඔවුන් තුන්වන තට්ටුවේ දේශන ශාලාව වෙත කැඳවාගෙන විත් තිබුණා. දොර විවර වත්ම මා යන්නට සැරසී සිටි බව දුටුවේ ඇය පමණයි. ඇගේ මිතුරන් මා හඳුනන්නේ කටහඬින් පමණයි. ඔවුන්ට මා ⁣දිස් වන්නේ නෑ. ඇගේ ඇසේ නැගුණ අවංක ආයාචනාත්මක බැල්ම අදටත් මට එදා සේ මතක එය තමා වෙනුවෙන් නොව සිය මිතුරන් වෙනුවෙන් නැගුණක් නිසා.

කොහොමටත් මා ඒ මොහොතේ පිටව යාම තෝරාගන්නේ නෑ. විදුලි සෝපානය අක්‍රියව තිබියදී පඩිපේළි ගණනාවක් නැග ඉහළට ආ සිසුන්, ඔවුන් දෘශ්‍යාබාධිත නොවුණත් මා ඒ මොහොතේ ඔවුන්ගේ සම්ප්‍රවේශනය කරන්නට ඉඩ දෙනවා. එහෙත් ඒ මොහොතේ ඉතා කදිමට-පිළිවෙළට සැරසී උන් දෘශ්‍යාබාධිත සිසුන් දෙදෙනාටත් වඩා මේ උපකාරශීලී තරුණිය මගේ මතකයේ රැඳුණා.

අවසාන සම්ප්‍රවේශනය කළ සිසුන් ස්මාට්පුවරු-පරිගණක ආදි සියල්ල රැහැන්වලින් ගලවා දමා ගොස් තිබුණා. මේ කෙල්ල කඩියෙකු සේ දුව පැන සියල්ල නැවත සවි කර සිය මිතුරන් අතින් අල්ලාගෙන ඇවිත් ඔවුන්ව සිටගත යුතු තැන නවත්වා ස්ලයිඩ මාරු කිරීමට පටන් ගත්තා.

මධ්‍යවාර පරීක්ෂණවලදී සිසුන්ගේ අත්සන් තැබීම අනිවාර්යයි. ඉතින් ඈ ඔවුන්ගේ අතින් අල්ලා අදාළ තැන්වල අත්සන් තැබුවා. ඔවුන්ට ඇහෙන්නට ලියාපදිංචි අංක සහ විභාග අංක කියැවූවා. ඒ සියල්ල අවසානය දක්වා ඈ කළේ ඉතා පරෙස්සමින්. පිළිවෙළට. සිනාමුසු මුහුණකින්.

සම්ප්‍රවේශනය අවසන් වූ පසු ඇය ම⁣ට ස්මාට් පුවරු යළි නිවීම ඇතුළු කිසිවක් කරන්නට ඉඩ නොතබා දුව පැන ඒ සියල්ල නිවා දැමුවා. මා කළේ මගේ රාජකාරියේ කොටසක් වුණත් පමාව පැමිණි මිතුරන්ගේ සම්ප්‍රවේශන භාරගැනීම ගැන මට ස්තූති කළා. මිතුරන්ට ඇසක් වූ මේ කදිම කෙල්ල සිය මිතුරන් සමඟ පන්තියෙන් සමුගෙන යන්නට පෙර මා ඇයට කිව යුතු යමක් තිබුණා.

This world will be a more beautiful place if there were more people like you.

එය ඇසු ඈ ඇසෙහි කඳුළු ඇතිව මා දෙස බලන් උන් අන්දම මට ඉගැන්වූ පාඩම වූයේ අප සිසුවකුගේ යහපතක් දුටු කල එය අගය කරන්නට කිසිදා අමතක නොකළ යුතුයි යන්නයි.

ලෝකයට ඇසක් වන්නට - ලෝකය වඩා යහපත් - සියලු දෙනාට ජීවත් වන්නට පහසු තැනක් කරන්නට උත්සාහ කරන එවන් දරුවකු තවත් පොහොසත් කරන්නට අපට වැය වන්නේ එවන් කුඩා වචන කීපයක් විතරයි. ඒත් ඔවුන් කළ, කරන සහ කරන්නට නියමිත හොඳ 'වැඩ' ලෝකයේ වටිනාම මැණික්වලටත් වඩා වටිනවා!

Monday, June 17, 2024

101. සාස්තර, පිරිත් සහ තරුඑළිය!

මාස දෙක තුනකට වාරයක් නිසැකවම  වැහිදැරිවිගෙ දුරකථනෙට සුවදුක් විමසා එන හඬ පණිවිඩයක් තියෙනවා. එය එවන්නෙ ඩිල්ෂාන්.

මේ කදිම පණිවිඩ අහන්න වැහිදරුවා ඉතා ප්‍රියයි. ඉතින් ඩිල්ෂාන්ගෙන් පණිවිඩයක් එන විට මා ඔහු රිය පදවමින් හිටියත් එය බ්ලූටුත් වලට සම්බන්ධ කර අහන්නට දෙනවා.

මලයාලම් ෆිල්ම් එකක චරිතයක් ව⁣ගේ - ඩිල්ෂාන්ගෙ කදිම හඬ පණිවිඩයක් අහපු චරණ මාධ්‍ය ජාලයෙ දිනූෂ කුඩාගොඩගේ අය්යා වරෙක කිව්වා.

මේ කදිම ඩිල්ෂාන් මට හමු වන්නෙ ඔහුගෙ වයසෙ සිසුන් පළමු වසරෙ මැද භාගයත් ගෙවා දැමුවට පස්සෙ.

මං එක් දවසක කැම්පස් එකේදි 'අහසෙන් එන්න' බ්ලොගය ලියන සත්‍යා අක්කගෙත් - කසුන් අය්යගෙත් කුටියට වෙලා රස කතාවක පැටලිලා ඉන්න අතරෙ අක්කා කිව්වා, 'ඔන්න නංගිට පන්තිය කනපිට ගහන මරු ගෝලයෙක් හම්බ වෙන්නයි යන්නෙ.'

'අමු ගැමියෙක්, අපූරු කොල්ලෙක්. ඔන්න බලන්නකො.' කසුන් අය්යා ඒකට එකතු කළා.

කිව්වා වගේම ඩිල්ෂාන් අපේ පන්තිය ලස්සන තානයකින් කණපිට ගැහුවා. එතෙක් පන්තියෙ උන්න එකම දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා වුණ, රෑන්ක් එකක් එක්ක කැම්පස් ආව - නිවිච්ච-අහිංසක ඉමන්ත කොලු‍වාගෙ තැන්පත්-සන්සුන් තානයකින් ගලා ගෙන ගිය ජීවිතෙත් හත්අටපොළකින් කණපිට ගහමින්.

සාමාන්‍යයෙන් අපේ පන්තිය විනෝදබර පන්තියක්. විහිලු‍තහලු‍ නොකර මං උගන්නන්නෙ නෑ. ළමයිනුත් එකිනෙකා එක්ක ඉතා සුහදයි. ඒත් ඩිල්ෂාන් පන්තියෙ යම් තාප්පයක් බැම්මක් ඉතිරි වෙලා තිබ්බාද ඒ සියල්ල බිඳලා දැම්මා. මිනිහා දේශනේ ඉවර වුණාම හැමදාම සිංදු කිව්වා. කදිම තානයකින් නිවේදන කළා. කෙල්ලො වට කරගෙන උන්ගේ අත් අල්ලාන සාස්තර කිව්වා. කේන්දරවල ග්‍රහ පිහිටීම ගැන අහලා අනාගත වාක්‍ය කිව්වා. බුදුදහම ගැන මුස්ලිම් සහ කිතුණු සහෝදර සහෝදරියන්ට කියා දීලා එයාලාගෙන් ඒ ආගම් ගැන ඉගෙනගත්තා. 

හැබැයි අනිත් අයට බෝඩ් එක පාවිච්චි කරලා උගන්නලා ඉවර වෙලා, ඉමන්තත් ඩිල්ෂානුත් ළඟට ඇවිත් වැහිදැරිවි යළිත්  උගන්නද්දි අර දාංගලේ පරදන උනන්දුවකින් හොඳින් පාඩම අහං හිටියා. බ්‍රේල් ක්‍රමය නොදැන සිටීම ගැන වැහිදැරිවි දුක් වු⁣ණේ ඔවුන් ලියන පිළිතුරු ලේඛන කියවන්න බැරි වූ නිසයි. ඒත් සත්‍යා අක්කා ඔවුන් ලියපුවා මට පස්සෙ කියවලා දුන්නා. ඒ අවුරුද්ද තුළ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයන්ට සරිලන අන්දමට අපේ අධ්‍යාපන ක්‍රමයේ සැකසෙන්නට අවැසි තැන් බොහොමයක් ඔවුන් නිසා වැසිදැරියට සම්මුඛ වුණා.

සමාසික සෙමෙස්තරේ අන්තිමේ මුළු බැච් එකක් එකතු වෙලා කරන නාට්‍ය තර‍‍ඟයෙ හොඳම නාට්‍ය හතරෙන් එකක් බවට පන්තිය පත් කරන්න ඩිල්ෂාන් විසාල අත්වැලක් වුණා. නාට්‍ය කොටසට උදව් වෙන්න බාහිර කථිකාචාර්යවරියක් විදියට සම්බන්ධ වුණ උමා අසෙනිත් ඩිල්ෂාන් අගය කළ බව, අනිත් පන්තිවල ළමයින් තරඟය අමතක කරලා ඔහුගෙ රංගනය ආසාවෙන් බලා උන් බව රහ කර කර කිව්වෙ මං රිලීෆ් වෙන නාට්‍ය  දවසෙ ඕපදූප ටික ඊටපස්සෙ මට දේශන තියෙන දවසක මගෙ කනේ තියන කෙල්ලො ටික.

මා තදින් අසනීප වී උන්නු දවසක දේශනයක් තිබුණා. ළමුන්ගෙ විභාගය ළං වී තිබු නිසා ගෙදර අයගේ බලවත් විරෝධය මැද මං එදා දේශනයට ගියා. ඩිල්ෂාන්ට එදා හරියට වැඩ. පන්තියේ කොල්ලො කෙල්ලො විෂය කාරණාවක් ඇහුවත් බැනුම් කෝටියයි.

⁣‘තේරෙන්නැද්ද උඹලාට මැඩම් ලෙඩ වෙලා. මොකද වද දෙන්⁣නෙ.‘

පණ්ඩිතකමට උගන්වන්න ගත්තාට මොකද මට අන්තිම විනාඩි දහයට වගෙ එද්දි කතා කරන්න අපහසුවක් දැනෙන්න ගත්තා.

ඩිල්ෂාන් මැදට පැන පන්තිය නැවැත්තුවා.

‘මැඩම් නවත්තන්න. කෝ මං ඔබතුමියව සනීප කරන්න..‘ කියා කෙල්ලන් දෙදෙනෙක්ගේ උදව්වෙන් මා අසළට ඇවිදගෙන ආවා. ඇවිත් මගේ අත අල්ලාගෙන පිරිත් කියන්නට පටන් ගත්තා. මා ඒ වෙද්දී බෙහෙත් බී හිටියත් ඒ දරුවාගේ පිරිසිදු ආශිර්වාදය එදා හවස් වෙද්දී මා සුවපත් වෙන්න හේතු වූ වග මට දැනෙනවා.

‘කරපු උදව් ජීවිතේට අමතක වෙන්නේ නෑ. මැඩම්ට හුඟක් ස්තූතියි.'

ඩිල්ෂාන්ගෙ හැම හඬ පණිවිඩයක්ම කෙළවර වෙන්නෙ එහෙම.

වැහිදැරිය දෘශ්‍යාබාධිත දරුවන්ගෙ අවශ්‍යතා ගැන ලියන හැම පර්යේෂණ පත්රිකාවකම ඩිල්ෂාන් ඉන්නවා.  ඩිල්ෂාන්ට ඉගැන්වීමට ගොස් අසාර්ථක වුණ හා අලු‍තින් ඉගෙනගත් හැම තැනක්ම අනාගතේ එන ඩිල්ෂාන්ලාට වඩා සාර්ථක අධ්‍යාපනයක් දෙන්න යොදාගන්න පුළුවන් බවට බලාපොරොත්තුවේ කුඩා තරුඑළියක් ඒ හැමෙකකම තියෙනවා. ඉතින් ඒ මාර්ගය වෙත මාව ගෙනත් ඇරලු‍වාට ඩිල්ෂාන්, ඔයාටත් හුඟක් ස්තූතියි!

Saturday, June 15, 2024

100. මිහිරි මිහිර - මිහිරෙන් මතකයේ රැඳේ..!




මිහිර පත්තරේ අන්තිම කලාපය පිට වුණා කියලා ⁣සමවයස් මිහිර පාඨක මිත්‍රයො ෂෙයා කරලා තියෙනවා දැක්කා. හරියට කුඩා කල ඉඳලා ආස්සරේ කරපු කිට්ටුවන්ත යාලුවෙක් මිය ගියා වගෙ හැඟීමක් දැනුණා. විජය පත්තරේටත් ඔය ටික වෙන්න පුලුවන් නේද කියලාත් දැනෙද්දි හිත තව ටිකක් බර වුණා..


වැහිදැරිය තාත්තා එක්ක ඉස්කෝලෙ ගිය හැටි ලියාපු බ්ලොග් සටහනේ හැම අඟහරුවාදාම මොරවක ස්ටෝර්ස් එකෙන් විජය පත්තරේයි චොකලට් අයිස්ක්‍රිම් කප් එකයි ගන්න හැටි ගැන ලිව්වා. ඒ කාගිල්ස් මැජික් කප් එක ආ කාලෙ. ඉතින් ඒක කකා කාරෙකේ පිටිපස්සෙ සීට් එකේ පත්තර කොළ ටික වපුරගෙන ගෙදර නැත්තං තාත්ත⁣ට හවස දේශනයක් තියන දවසට කැම්පස් එකට යනකං වැහිදැරිවි පත්තරේ කියවනව. ඉන්පස්සෙ ඉස්කෝලෙ යද්දි ගෙනියනව පත්තර ගන්න අමාරු යාලුවන්ට කියවන්න. සිකුරාදා හවසට තමා විජය පත්තර ගොඩට ඒ සතියෙ පත්තරේ එකතු වෙන්නෙ. 2002 අවුරුද්දෙ ඉඳන් 2012 අවුරුද්ද වෙනකං විජය පත්තරේ හැම කලාපයක්ම කන්දක් ගහලා අරංතියාගත්ත වැහිදැරිය තාමත් නොස්ටැල්ජියාවක් මතුවෙද්දි පත්තර ඇදලා අරන් අවුරුදු දහයක පොඩිත්ත‍ෙක් වග‍ෙ කියවනවා.

වැහිදැරිය විජය පත්තර කියවන්න අරං ටික කාලෙකට පස්සෙ තමා තාත්තගෙයි මහප්පගෙයි පරණ පත්තර නිධානෙ ගොඩදාන ව්‍යාපෘතිය පටන්ගත්තෙ. කියවිය හැකි ඕනෑම කඩදහියක් ඇද ඇද කියවන සුලු වැහිදැරිවි නම් කුඩා පොත් කාවා නිසා දූවිලි සහිත පරණ පත්තර අම්මලා පරිස්සමට අරන් තියලා තිබ්බත් ඒ පොත් කාවාගෙන් මිහිර,විජය,නවයුගය පත්තර හංගලා තියන්න බැරි වුණා. අරලිය,සිත්තර,සතුට පත්තරවල⁣ට අත ගැහුවෙ ඊටපස්සෙ. ඒ කතාව වෙනම වියුණු සටහනක ලියන්න ඕනැ එකක්. කොහොම වෙතත් හැටේ දශකයේ ඉඳලා එකතු වෙලා තිබුණ ඒ මිහිර පත්තර අතරින් එබුණ යෝධයා, පඬිතුමා, බටකොළ ආච්චි විතරද.. හුන්නස්ගිරි කඳු පාමුල උන්න යාලුවො වැහිදැරිය වයසට යනතුරුම වැහිදැරියගෙ හොඳම යාලුවො වේවි.

ඉතින් ඔය පත්තර ඇද‍ගෙන කියවන ව්‍යාපෘතිවලට කුඩා කා‍ල‍ෙ දිනූ අය්යා,නවා,‍‍ඊශක්කා වා‍ගෙ නෑ පොඩිත්තො සම්බන්ධ වුණ නිවාඩුකාලත් එමටයි. වැහිදැරියට පස්සෙ කාලෙක කැම්පස් එකේදි-සංවාදවලදි-‍ හමු වුණ සමවයසෙ බොහෝ මිතුරුමිතුරියන්ට මනරම් සංවාදවලදි කතා කරන්න මිහිර-විජය ගැන රස මතකයක් තිබුණා. පෙම්වතා වෙලා පස්සෙ සැමියා වුණ වැහිදරුවාගෙන් පටන්ගෙන චතුමධුරි,පුබුදි,භාග්‍යා අක්කා,ඉනූ අක්කා.. නම් කියලා ඉවර කරන්න බැරි තරමෙ යාලුවො ගොන්නක් ඒ කාලෙ තැන් තැන්වල ඉඳන් විජය-මිහිර කියවලා තිබුණා. දේශනයක් මැද තමුන්ගෙ යොවුන් සරසවි ගෝලයො එක්ක අතරමැදි සංවාදවල ‍යෙදෙද්දි විජය-මිහිර මතක තියන කුරුලු පැටවුන් හමුවීමත් වැහි දැරිවි‍ගෙ ගුරු ජීවිතෙ ඉමිහිරි අහම්බයක්!  

ඉතින් එහෙව් පරම්පරාවකට හොඳම යාලුවෙක් අවසන් ගමන් යන එක කොයිතරම් කම්පනයක් ගේනවද.. හෙට ඉඳලා ඒ පත්තරේ ඊ-පත්තරයක්ව අන්තර්ජාලයෙන් හමුවුණා වුණත්. පත්තරේ පිටු පෙරළන හඬ ඩිජීටලීයව අහන්න පුළුවන් වුණත් පත්තරයක් අත මත පෙරළෙන චමත්කාරය කොහොම නම් ඩිජිටල් උපකරණයකින් මවන්නද..

⁣දරුවෙක්ට මිහිර පත්තරයක් අරන්දෙන්න බැරි තරමට නරක ආර්ථිකයක් රටේ දෙමාපියන්ට  උදා කරමින් තමුන්ගෙ දරුවන්ගෙ දෙපයට ලක්ෂ ගණන්වල පාවහන් පළඳන දේශපාලකයොත් - ටික්ටොක් - යූටියුබ් කැලෑවල්වල අතරමං වෙලා මිහිරක මිහිර විඳින මිහිර අහිමි වෙලා ගිය දරුවොත් - තමන්ම ⁣සමාජමාධ්‍යවල ගොදුරක් වීම නිසා දරුවන්ට තමන් විඳි මිහිර දෙන්න අමතක වුණ ටික්ටොක්මය තරුණ මව්පියොත්, අන්තිම මිහිර පත්තරේ වැළලෙන බිම ගාව හිටගෙන ඉන්නව පේනවා.

ඒත් තාමත් මිහිර හැම දේශපාලන පොරොන්දුවකටම - ටික්ටොක් වීඩියෝවකටම වඩා මිහිරියි..!

Monday, May 27, 2024

99. ගුරු දියවර නවකතාව - තිස්එක්වන කොටස- සමන් චන්ද්‍ර රණසිංහ

                                  ගුරු දියවර 31



                                    තරු පිරුණු අහස ඇත සඳ නැත       කුමට                     නවතිමි

                                    සඳඑළිය නොමැත තරු එළියට කුමට                        නතු වෙමි

                                    හිරු නොමැති ලොවක හිමි වන ජය කිරුළ               නොතකමි

                                    හිරු දකිමි හිරුට පැරදෙමි ජය විලස                             සලකමි

“ඇයි ඔයාට මේ වෙලාවෙ ඔය කවිය මට කියන්න හිතුණෙ; ඇයි ඔයා දැන් ටික වෙලාවක ඉඳලා ලොකු කල්පනාවක හිටියෙ?”

“ඔයාගෙ ඔය ප්‍රශ්න දෙකටම මට දෙන්න තියෙන්නෙ එකම උත්තරයයි මිහිදිනී; අපේ සර් සර්ගෙ අය්යා අහිමි උනාට පස්සෙ ලියපු කවිය මට මෙතෙක් මතක් උනේ සමන් අය්ය ගැන තියෙන ආදරණීය මතකයත් එක්ක. දැන් මට මේක මතක් උනේ ඒ වගෙම ආදරණීය චරිතයක් එක්කයි. භෞතික ව අපි අතර ජීවත් ව හිටියත් අපෙන් වෙන් වෙලා යන චරිතයක් එක්කයි.”

“අනේ ඔයා ඔහොම කතා කරන කොට මට බයත් හිතෙනවා. කවුද දෙය්යනේ අපට අහිමි වෙන්න යන ආදරණීය චරිතෙ.”

“අනේ කෙල්ලෙ අපේ ඉර තමයි අපට නැති වෙන්න යන්නෙ.”

“ගඟුල් සර් ඔහොම කතා කළාට මට තේරෙන්නෙ නැහැ. මට කියන්න අපි වැටුණහම අපිවත් නැගිට්ටවන ඔයා මේ තරමට කඩා වැටිලා තියෙන්නෙ ඇයි කියලා.”

“අපේ ඉර අපිට නැති වෙන්නයි යන්නෙ මිහිදි.”

“ඒ කියන්නෙ අපේ ලොකු සර්ට ආයෙ හදා ගන්න බැරි විදිහට ඈතකට මාරුවක්වත් ඇවිල්ල ද?”

“ඒක ආයෙ හදාගන්න බැරි මාරුවක් ද නැද්ද කියන්න නං මන් දන්නැහැ ළමයො. ඒ උනාට ආරංචි හැටියට සර්ට යන්ඩ වෙලා තියෙන එකනං පැහැදිලියි. මන් ඔය කාරණේ දැන ගත්තෙ තෙන්නකෝන් සර්ගෙන්. මන් මේ සර්ලගෙ ගෙදර යන්න කියලයි හිතුවෙ. සර් කිව්වෙ දැන්ම ලොකු සර්ගෙන් අහන්න යන්න එපාය සර් කියනකං කියලා.”

“අන්න රේණු අක්කලත් මේ පැත්තට එනවා. මට පේන්නෙ ඒ ගොල්ලන්ටත් වැඩේ ආරංචි වෙලා වගෙයි.”

ඒ මොහොතේ රේණු සහ නදී එදෙසට එමින් සිටියේ අතුල සමග යි.

“මල්ලි, උඹලට ආරංචි ද වැඩේ. මේ ක්‍රීඩා උත්සවෙත් පටන් ගන්න කටේ අපේ ලොකු සර් අපිට නැති වෙන්නයි යන්නෙ. මේකට නං මොකක් හරි කරන්න වෙනවා හොඳින් හරි නරකින් හරි.”

“ඔයාට අතුල මන් කොච්චරනං කියනව ද ආරංචියක් අහපු පළියට ඔහොම කලබල වෙන්න එපා කියලා. අපි තවම දන්නැහැනෙ ඔය ආරංචිය ඇත්තක් ද කියන එකවත්.”  

“නදී අක්කෙ, ආරංචිය නං ඇත්ත. විහිලුවකට වත් බොරුවක් නොකියන තෙන්නකෝන් සර් තමයි මට මේ ගැන කිව්වෙ. ඒත් ඔයා කියනවා වගේ කලබල වෙලා බෑ තමයි. තෙන්නකෝන් සර් කිව්වෙ මේ වෙලාවෙ ලොකු සර් කියනකං ඒක සර්ගෙන් අහන්න යන්න එපා කියලා. මන් මිහිදිනීටත් කිව්වෙ අද හවස සර්ලගෙ ගෙවල් පැත්තෙ ගියොත් හොඳයි කියන එක.”

“ඒ කිව්වෙ මල්ලි තෙන්නකෝන් සර්ලගෙ ගෙදර ද? ලොකු සර්ලගෙ ගෙදර ද? මටත් හිතයි සර්ව හම්බ වෙන්න යන්න එන්න.”

“ඇයි ඔයගොල්ලො විතරක්. අපිත් එනවා නැද්ද රේණු අක්කෙ. මොකක් හරි දෙකෙන් එකක් බේර ගන්න එපැයි.”

“ඔය කොච්චර කිව්වත් වැඩක් නැහැ රේණු මෙයාටනං. මොකක් ද ඔයා දැන් බේර ගන්න යන දෙකෙන් එක. ඒ වගෙම කාත් එක්ක ද ඔයා ඔය දෙකින් එක බේර ගන්න යන්නෙ.”

“නදී හොඳට අහ ගන්න. දෙකෙන් එක කියන්නෙ ලොකු සර් මෙහෙ තියා ගන්න ඉඩ දෙනව ද නැත්තං සර්ව මෙහෙන් යවනව ද කියන කාරණා දෙකෙන් ඇත්තට ම සිද්ධ වෙන්නෙ මොකක් ද කියන එක. වෙන්නෙ සර්ව මාරු කරන එකනං ඒක බේර ගන්න යන්නෙ අධ්‍යාපන ලොක්කොත් එක්ක.”

“අතුල අය්යෙ දැනට පොඩ්ඩක් ඔයා කලබල නොවී ඉන්නකො. අපි අද තෙන්නකෝන් සර්ව හම්බ වෙලා හරියටම විස්තරේ දැන ගෙන ඉස්සරහට කරන්න තියෙන දේ තීරණය කරමු.”

“බලන්න රේණු, අපි අතරෙ ඉන්න මේ පොඩිම කෙල්ලට තේරෙන දේ අපේ මේ ලොකු මහත්තයට තේරෙන්නෙ නැහැනෙ. කවදාවත් වේවැලක් පාවිච්චි නොකරන මට දැන් හිතිලා තියෙන්නෙ මෙයාට වේවැලක් පාවිච්චි කරන්න.”

නදී රේණුට එසේ පැවසුවේ අතුුල දෙසට අත දිගු කරමිනි.

අවසානයේ මේ සියලු දෙනා තීරණය කෙළේ වැඩිදුර විස්තර දැන ගැන්ම සඳහා එදින සවස් වරුවේ තෙන්නකෝන් ආචාර්යවරයාගේ නිවෙසට යාමට යි. ඒ අනුව අතුල හැර සියලු දෙනා ම තම තමන්ට ඒ මෙහොතේ නියමිත ව තිබූ පාඩම් සඳහා තම තමන්ගේ පන්ති වෙත නික්ම යාමට සැරසුණහ.

“ඇයි අතුල අය්යෙ මේ වෙලාවෙ ඔයාට පන්තියක් නැද්ද?”

“පන්තියක් නං නෑ නංගි. ඒ උනාට මන් සමරෙත් එක්ක පොඩි වැඩක් දාගෙනයි හිටියෙ. ඒ උනාට මට ඒක කරන්නවත් හිතක් නෑ. මන් මෙතනම ටිකක් ඉඳලා එන්නං ඔයගොල්ලො යන්න.”

අතුලගෙ මේ වචනත් සමග යන්නට ගිය නදී යළි නැවතුණා ය. අනතුරුව කතා කළා ය.

“අතුල, ඔයා පොඩ්ඩක් වෙලා ඔතන ඉඳලා ස්ටාෆ් රූම්මෙකට යන්න. මන් ළමයින්ට පොඩි වැඩක් පවරලා ඉක්මණට එන්නං.”

අනතුරුව සිය සහෘදයන් දෙසට හැරුණු නදී අතුලට නොඇසෙන සේ ඔවුනට පැවසුවේ මේ වදන් කිහිපය යි.  

“අපේ අතුල වෙලාවකට පොඩි දරුවෙක් වගේ. ලොකු සර්ට පණ ඇරලනේ ඉන්නෙ. ඉස්කෝලෙ පැත්තකට කරලා හිටපු අතුලව අඳුන ගෙන එයාට කරන්න පුළුවන් වැඩ බාර දීලා ඇත්තම හිතවත්කමකින්නෙ හැම තිස්සෙම ලොකු සර් වැඩ කළේ. මේ වෙලේ කොහොමටවත් එයාට තනි වෙන්න දෙන්න නරකයි. අද හවස ගමනින් පස්සෙ ගොඩක් දේ තීරණය වේවි. දැන් අපි යමු අපේ පන්තිවලට.”

හිරු සිය සැඬ කිරණ මුදු කිරණ බවට හරවා මිහිකතට එවන සන්ධ්‍යාවේ ය, ඔවුන් තෙන්නකෝන් ආචාර්යවරයාගේ නිවහන බලා පිටත් වූයේ. සුපුරුදු සිනහවෙන් සේ ම ආදරණීය ළබැදියාවෙන් යුතු ව ගුරු තරුණ පර්ෂදය පිළිගන්නා ලද්දේ තෙන්නකෝන් පතිනිය වෙතිනි.  

“කෝ නැන්දා අපේ සර් පේන්නවත් නැත්තෙ දුරකටවත් ගිහිල්ල ද?”

“නෑ පොඩි දුව දුරකටනං ගියේ නෑ. එයා මේ වෙලාවෙ ඉන්න තැන ටක්කෙට ම කියාවි බලන් හිටියා වගේ මේ ගඟුල් පුතා.”

“මොකෝ මැඩම් එයා කෙනෙක් යන එන තැන් කියන්න දන්න තරන් වැඩ්ඩෙක් ද?”

“ගඟුල් ඒ ගැන වැඩ්ඩෙක් ද නැද්ද කියන්නනං එයාට අවස්ථාව දීලා බලන්න ඕනෙ අතුල, නැද්ද මැඩම්. කියන්න මල්ලි සර් කොහෙට ගියා කියල ද ඔයා හිතන්නෙ.”

එසේ කතාවට මැදිහත් වූයේ නදී ආචාර්යවරිය යි.

“නදී අක්කෙ මට හිතෙන හැටියට කිසිම සැකයක් නැතුව වැව ගාව තමයි දැන් සර් ඇත්තෙ. සර් මේ වගෙ හවසක වැව ගාවට තමයි යන්නෙ. ඒ විතරක් නෙමෙයි සර් කියලා තියෙනවා හිතට පීඩා දෙන ප්‍රශ්නයක් ආපු වෙලාවටත් වැව ගාවට ගියහම ඒවට උත්තර ලැබෙනවා කියලා.”

“යමල්ලා එහෙනං සේරම වැව ගාවට. ඇයි යකෝ තෙන්නකෝන් සර්ටත් වඩා හිතට පීඩා දෙන ප්‍රශ්නෙ තියෙන්නෙ අපිටනෙ.”

“මේ මොකෝ අතුල පුතා අද හරි කලබලයකින් වගේ. ලොකු දුව අතුල පුතාට මොකුත් ප්‍රශ්නයක් වත් ද?”

“මෙයා කවද්ද නැන්දෙ කලබල නොවුණෙ. දැන් ඔය තරමට හරි ඉන්නෙ අපේ නදීට බයේ. නැන්දට ආරංචි ඇතිනෙ අපේ ලොකු සර්ව මාරු කරලා කියන කාරණේ. ඒක ඉතින් අතුලට විතරක් නෙමෙයි අපි ඔක්කොටම කරදර වෙන්න තරන් හේතුවක් තමයි. අපි ආවෙ මේ සම්බන්ධයෙන් සර් මොකක් ද කරන්න හිතන්නෙ කියන එක දැන ගන්න. ඇයි නැන්දට කිව්වෙ නැද්ද මේ ගැන මොකවත්.”

“මට තේරුණා මොකක් හරි බරපතල ප්‍රශ්නයක් තියෙන වග. මන් වැව පැත්තට ගිහින් ටිකක් ඉඳලා එන්නං කියලා කියන්නෙ එහෙම වෙලාවට. ඒ ආවට පස්සෙ එයාට හිතිච්ච දේවල් ගැන මටත් කියලා මගෙ අදහස අහනවා. හැබැයි මේ වෙලාවෙ ලොකු සර් ඉස්කෝලෙට අහිමි වෙන එකනං බරපතල පාඩුවක් තමයි.”

“අන්න අපේ මැඩම් හරියටම ප්‍රශ්නෙ කියෙව්වා. කියන්න මැඩම් මේ වගෙ වෙලාවට කලබල වෙන්නෙ නැත්තං අපි කොයි වෙලාවට ද කලබල වෙන්නෙ කියලා. මන් ඇරුණහම මෙතන ඉන්න ඔක්කොම සන්සුන් මහත්තුරු නෝනලනෙ. මන් තමයි කලබලයා. කවුරු මොනව කිව්වත්...”

අතුලට සිය වාක්‍යය සම්පූර්ණ කිරීමට නොලැබුණේ නදීගේ සිත් විනිවිද යන බැල්ම ඔහු වෙත යොමු වූ බැවිනි.

“අම්මෝ මැඩම් මන් කතා නොකර ඉන්නං අන්න එක්කෙනෙක් දැන්ම ප්‍රචණ්ඩ නෙත් හී සර එවන්න පටන් අරගෙන.”

“අතුල අය්යෙ මන් අරක කියන්න ද?”

“මොකක් ද බන් අරක කියන්නෙ.”

“ඇයි ඔයා දවසක් කිව්වෙ අපේ නදී අක්කට බැල්මවල් පහක් තියෙනවා කියලා ඒවා එකින් එකට විස්තර කළේ.”

“කියපන් ගඟුල් කියපන්. නදී හිටියට කමක් නෑ. නැන්දා හිටියට කමකුත් නෑ. නැන්දා ඔය බැල්මවල් දාන්න ඇත්තෙ උඹලා අපි ඉපදෙන්නත් ඉස්සර.”

“අනේ මේ ළමයා කියන දේවල්. කොහොම උනත් මමත් කැමතියි අපේ නදී දුවගෙ අර කියපු බැල්මවල් ගැන දැන ගන්න. විශේෂයෙන් ඔයගොල්ලන්ගෙ ටිකක් හිත් ගිනි අරන් තියෙන වෙලාවෙ මේ වගෙ නිවෙන කතාවක් කියන එක හොඳයි කියලයි මටත් හිතෙන්නෙ.”

තෙන්නකෝන් ගුරු පතිනිය නදී දෙස ද ආදරයෙන් බලමින් එවදන් ප්‍රකාශ කෙළේ සිනාසෙමිනි. නදී විලිබර වතින් යුතු ව නිහඬ ව බලා සිටියා විනා ඊට කිසිවකට පිළිතුරු දීමට ගියේ නැත.

“හරි නැන්දගෙ අවසරේ ලැබුණා. අතුලයගෙ අවසරේ මෙතෙන්ට අදාළම නෑ. දැන් ගඟුල් අපෙත් කුතුහලය ඇවිස්සිච්ච වෙලාවෙ උඹ ඕක කියන්නම ඕනෙ. නැත්තන් මන් උඹට තමයි මගෙ ළඟ තියෙන ඔක්කොම සැර බැල්මවල් ටික දාන්නෙ.”

ඒ ප්‍රකාශය රේණු වෙතිනි.

“අනේ නදී අක්කෙ තරහ වෙන්න එපා. අතුල අය්යා ඒ කියපු දේවලින් පවා මටනං දැනුණෙ එයා කොයිතරන් සමීප ව කොයි තරන් හොඳින් ඔයාව කියවලා තියෙනවා කියන එකම තමයි.”

“හරි මන් දැන් කියන්න එපා කිව්වෙ නැහැනෙ. මාත් කැමතියි මාත් නොදන්න වෙන අයට පේන මගේ බැල්මවල් ගැන දැන ගන්න.”

“අන්න අපේ නදීගෙත් අවසරේ ලැබුණා. දැන් ඉතින් උඹට මල්ලි කියන්න ම වෙනවා. අතුලයගෙන් ප්‍රශ්නයක් ආවොත් ඒක මන් බලා ගන්නං. උඹ දැන් අර බැල්මවල් ගැන අතුලයා කියපුවා හරි අතින් දාලා හරි කියන්න ම ඕනෙ.”

“හරි රේණු අක්කෙ මං කියන්නම්. අතුල අය්යා කියන හැටියට නදී අක්කගෙ එක බැල්මක් තමයි දවන බැල්ම. ඒක එවන්නෙ එයා නුසුදුසුයි ඒ වගෙම කරන්න ඕනෙ නැති දෙයක් කෙනෙක් කරන්න යනකොට. අර ‘අනික් ඔක්කොම සන්සුන් මන් තමයි කලබලයා කියලා’ අපේ අතුල අය්යා පොඩි සද්දයක් දාන්න හදපු වෙලාවෙ අතුල අය්යට හම්බ උනේ ඒ බැල්ම තමයි.”

“කුළුණු බැල්ම. ඒක තමයි නදී අක්කට වැඩියෙන් ම තියෙන්නෙ. අපේ ශිෂ්‍යයන් වගෙම අපිත් ගොඩක් වෙලාවට ලබන්නෙ අන්න ඒ කුළුණු බැල්ම.”

“හරි දැන් දෙකක් හරි. අපිත් පිළිගන්නවා ඒ බැල්මවල් දෙකම අපේ නදී අක්කට තියෙනවා කියලා.”

“ඈ මිහිදිනී කවදා ඉඳල ද ඔයා ගඟුල් කියන දේවලට අඩු වැඩි පුරවන්න පටන් ගත්තෙ.”

“ඉතින් ඒකෙ වැරැද්දක් නෑනෙ නදී. මන් කරන්නෙත් ඒකනෙ. ඔයා මොනව ද කියන්නෙ මාත් ඒවා අනුමත කරනවනෙ. මන් හිතන්නෙ ගඟුල් ඔය වැඩේ පටන් ගත්තෙ මට ටිකක් පහුවෙලා. කොහොමත් ජ්‍යෙෂ්ඨයන් අනුගමනය කරන එක කනිෂ්ඨයන්ගෙ සිරිතනෙ. දැන් කියලා දාපන් මන් කියපු ඉතිරි බැල්මවල් තුනත්. කොහොමත් දැන් නොවුණත් පස්සෙ වෙලාවක හරි උඹට නදී අක්කගෙන් හම්බ වේවි සම්බෝල.”

“හරි හරි දැන් කියපන් ඉතිරි බැල්මවල් තුනත් ඉක්මනට. නැත්තං නදී අක්කට ඉස්සෙල්ලා මේ ගඟුලයට සම්බෝල හම්බ වෙන්නෙ මගෙන්.”

“අම්මෝ රේණු අක්කටනෙ ඒවා දැන ගන්න ලොකුම හදිස්සිය තියෙන්නෙ.”

“හොඳයි, තුන්වෙනි එක තමයි රවන බැල්ම. ඒක අර දවන බැල්මට පස්සෙයි එන්නෙ. දවන බැල්ම එවලා ඒකට ප්‍රතිචාර දැක්කුවෙ නැත්තං ඊළඟට අනිවාරෙන්ම හම්බ වෙන්නෙ අන්න ඒ බැල්ම කියලයි අතුලය්යා කියන්නෙ.”

“මොකෝ බන් හැම තිස්සෙම මන් කිව්වා කියන එක කිය කියම කතාව දාන්නෙ. උඹ කතාව පටන් ගත්තෙම ඔය බැල්මවල් ගැන කිව්වෙ මන් ය කියන එක කියලනෙ. උඹ හදන්නෙ මේවා අතුලය්යා කියපුවා මිසක් මගෙනං කිසිම සම්බන්ධයක් නැහැ කියන එක ඇඟෙන විදිහට කතා කරන්න. ඒ උනාට නදී ඔයාට කියන්න මන් ඕවා කියන වෙලාවෙ මේකා කළේ ඔළුව වන වන ඒ ඔක්කොම අනුමත කරන එක. හරි ඒකෙන් කමක් නෑ අපි ආවෙ වෙන වැදගත් වැඩකට. කොහොම උනත් මේ වෙන කතන්දරයක් ආපු එකෙන් මාව ටිකක් රිලැක්ස් උනා කියන එක නං මටම පිළිගන්න වෙනවා.”

“හරි අතුලය්යෙ ඔයා කියන විදිහට නදී අක්කගෙ හතරවෙනි බැල්ම තමයි යවන බැල්ම. ඒ බැල්මෙ දැවීමක් වක් රැවීමක් වත් නැහැ කියලත් ඒ උනාට ඒ කියන බැල්මවල් දෙකටම වඩා බරපතලයි කියලත් ඒ නිසාම ඒ බැල්මට ලක්වෙන කෙනාට මොහොතක් වත් එතන නොයිඳ එතනින් යන්න හිතෙනවා කියලයි අතුලය්යා කියන්නෙ.”

“ මේ ගඟුල්, උඹට අතුලය්යා කියන හැටියට, අතුලය්යා කිව්වෙ, අතුලය්යා කියන්නෙ කියන වාක්‍යාංශ එකතු කරන්නැතුව බැරි ද ඔය කතාව කියන්න.”

“සාහිත්‍ය ගුරුවරයෙක් හැටියට මට එහෙම කරන්න අමාරුයි, මොකද එතකොට මේ කතාවෙ තියෙන රසවත් ගතිය නැතුව යනවා.”

“ඇච්චද එහෙනං හොඳට මතක තියාගනින් උඹට මගෙන් කොයි වෙලාවෙ හරි හොඳ ඩෑෂ් පාරක් හම්බ වෙන වග ඉස්කෝලෙ ක්‍රීඩා බාර ගුරුවරයා හැටියට.”

“ඔව් මටත් හිතෙනවා මන් මේ අන්තිම බැල්ම ගැන කිව්වට පස්සෙනං මට එක්කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි දෙන්නෙක්ගෙ ඩෑෂ් පාරවලට ලක්වීමේ සම්භාවිතාවක් තියෙන බව. ඔක්කොම රක්ෂාවලට වඩා ආත්මාරක්ෂාව හොඳයි කියලත් කියනවනෙ. ඒක නිසා මන් ආරක්ෂාකාරි පියවරක් හැටියට නැන්දට මුවාවෙලාම ඒ බැල්ම ගැන කතා කළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.”

අනතරුව ගඟුල් කෙළේ තෙන්නකෝන් මැතිනියට මුවහ වී යළිත් කතාව පටන් ගැනීම ය.

“මෙහෙමයි රේණු අක්කේ, ඒක ජීවිතේ කෙනෙක් එකම වාරයක් විතරක් කෙනෙකුට පිරිනමන දෙයක්. මේ ගැන දැන ගන්න ලොකුම උනන්දුවක් දක්වන රේණු අක්කට විශේෂයෙන් කියන්න අපේ මේ නදී අක්කා ඉන්නව නේද?”

“ඔව් නදී අක්කා ඉන්නවා මොකද ඒ පාර මට තවත් කතාවක් හදන්න ද යන්නෙ.”

“නෑ නදී අක්කෙ මේක ප්‍රබන්ධයක් නෙමෙයි, ඉතිහාසයෙ කිසියම් අවස්ථාවක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. කොටින් ම කියනවනං ඓතිහාසික සංසිද්ධියක්.”

“මොකක් බන් ඓතිහාසික සංසිද්ධියක්.”

“ඔව් රේණු අක්කෙ අපේ තෙන්නකෝන් සර් ඉතිහාසය කියන වචනෙ අර්ථ දක්වන විදිහට මේකත් ඓතිහාසික සංසිද්ධියක් ම තමයි. සාලිය කුමාරයට අශෝකමාලාගෙන් හම්බ උනේ ඔය කියන පිරුණු බැල්ම. ඒ වගෙම සංස්කෘත සාහිත්‍යෙ නල කුමාරයට දමයන්ති එව්වෙත් ඔය කියන බැල්ම. ඒ විතරක් නෙමෙයි අරාබි සාහිත්‍යෙ ලයිලා මජ්නූන්ට එව්වෙත් ඔය බැල්මම තමයි. ඉතිහාසෙ කියන දේ ආයෙ ආයෙත් වෙනවා ඒ කියන්නෙ රිපීට් වෙනවා කියලා කතාවක් තියෙනවනෙ අක්කෙ. මේ මෑත ඉතිහාසෙ ඒ සංසිද්ධිය වෙච්ච අවස්ථාවක් ගැන තමයි මන් මේ කියන්නෙ යන්නෙ.”

“හරි දැන් අපිට හිතාගන්න පුළුවන්. නැද්ද නැන්දෙ. හොඳයි උඹම කියපන්කො බලන්න ඒ මෑතකාලීන ඓතිහාසික සංසිද්ධිය.”

“නදී අක්කගෙ ඒ පිරුණු බැල්ම ලබන වාසනාවන්තයා වෙන්නෙ වෙනින් කවුරුවත් නෙමෙයි.....”

“ලෙනින් මොරායස් නෙමෙයි කෘෂිවිද්‍යාඥ ක්‍රීඩා උපදේශක අතුල අතුල අතුල.”

සංගීත සන්දර්ශනයක දී නිවේදකයා විසින් කියනු ලබන ආකාරයට ඒ නම තාලයකට පුනරුච්චාරණය කෙළේ අතුල ය. අනතුරුව යලිත් කතා කෙළේ ද රේණු ම ය.

“මේ ගඟුල් ඔය මෑතකාලීන ඓතිහාසික සංසිද්ධියටත් වඩා  මෑතකාලීන සංසිද්ධියක් ගැන උඹට මොකුත් ආරංචියක් ලැබුන් නැද්ද මල්ලි උඹට. අඩු ගානේ නංගි උඹටවත්.”

ගඟුල් සිය හිස කසා ගන්නා තත්ත්වයටත්  මිහිදිනීගේ මුව විලියෙන් රත් පැහැයටත් හරවමින් මේ ප්‍රශ්නය යොමු කෙළේ ද රේණු ය.

“ඒ මොකද අප්පේ මාත් නොදන්න අලුත් කතන්දරයක් යනව ද මෙතන.”

“ඇත්ත වශයෙන් ම නැන්දේ ඇත්ත වශයෙන් ම. මන් ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපේ තෙන්නකෝන් ගුරු යුග්මයට පසුව සපයන හැටියට ගඟුල් සහ මිහිදිනී යන දෙදෙනාට නියෝග කරනවා.”

“ඇද්ද ගඟුලෝ උඹට. මට කෙළවන්න ගිහිල්ලා උඹට ම කෙළවුණා නේද?”

“මේ අපි ආවෙ තෙන්නකෝන් සර් එක්ක අපේ ලොකු සර්ගෙ මාරුව ගැන දැනගන්න නේද? ඒ වැදගත් කාරණේ ගැන සාකච්ඡා කරන්න නේ ද අපි අද මෙතෙන්ට එකතු උනේ.”

“ඈ උඹට මෙච්චර වෙලා කියවා කියවා ඉඳලා දැන් ද ඒ වැදගත් කාරණේ මතක් උනේ. කොහොම උනත් උඹේ වෙලාව හොඳයි වගේ. තෙන්නකෝන් සර් මේ පැත්තට එනවා.”

රේණු එසේ පැවසුවේ වැව පැත්තේ සිට නිවහන දෙසට හැරී ඉදිරියට එන තෙන්නකෝන් ආචාර්යවරයා පෙන්වමිනි.

“ඔය ළමයි කොච්චර දෙයක් ද මේ පැත්තට ආපු එක. මන් කොහොමටත් ඔය කට්ටියම හම්බ වෙන්න තමයි හිටියෙ. හොඳයි හොඳයි ඔයගොල්ලොම ආපු එක. මොකද කට්ටියට තේකක්වත් හම්බ උනා ද?”

“මොන තේ ද සර් මේ ගඟුල් ආපු වෙලාවෙ ඉඳලා වෙන විකාර කරනවනෙ ආපු ප්‍රධාන වැඩේ ගැන නැතුව.”

“හැබැයි සර් එක දෙයක් කියන්න ඕනෙ. ගඟුල්ගෙ ඒ කතා නිසා තමයි ෆයර් වෙලා හිටපු අතුල දැන් ටිකක් කූල් ඩවුන් වෙලා ඉන්නෙ. වරෙන් නදී, අපි තේ ටිකක් හදලම කතාව පටන් ගම්මු. අපි එනකන් අපේ මාතෘකාව සාකච්ඡාවට ගැනීම සම්පූර්ණයෙන් තහනං.”

මෙසේ කියා රේණු නදීත් ඇදගෙන ගියේ එනිවහනේ මුළුතැන් ගෙය දෙසට යි.

තේ පානයෙන් පසු කතාව ආරම්භ කෙළේ තෙන්නකෝන් මහතා ය.

“මන් දන්නවා අද මේ තරුණ ගුරු කණ්ඩායම එහෙම නැත්තං අපේ ම සමහර දෙනෙක් කියන හැටියට පංචමහ බලවේගෙ මෙහෙට ආවෙ ඇයි කියලා. අපි කෙළින්ම මාතෘකාවට බහිමු.”

“ඔව් අපි සර්වම හම්බ වෙන්ඩ ආවෙ මේ ගැන පැහැදිලි අදහසක් සර්ගෙන් දැනගෙන ඉස්සරහට කරන්ඩ ඕන මොනව ද කියන එක තීරණය කරලා කෙළින්ම වැඩේට බහින්න.”

“හරි ඉස්සෙල්ලම මට කියන්න අතුල කෙළින් ම වැඩේට බහින්න කියන එකෙන් අදහස් කළේ මොකක් ද කියන එක.”

“මෙහෙමයි ඉස්සෙල්ලම අපි කෙළින්ම අපේ ඔය අධ්‍යාපන බලධාරීන්ගෙන් තදින්ම ඉල්ලා හිටිනවා ඔය මාරුවීම කැන්සල් කරන්ඩ කියලා. ඒකට ප්‍රතිචාර දැක්කුවෙ නැත්තං ගුරුවරු ශිෂ්‍යයො ඔක්කොමගෙ සහභාගිත්වයෙන් පාසල් මට්ටමින් අපේ විරෝධය දක්වනවා. ඒකටත් ප්‍රතිචාරෙ නිල් නං අපි අධ්‍යාපන කාර්යාලෙ ඉස්සරහට ගිහිල්ලා අපේ විරෝධෙ දක්වනවා.”

“හොඳයි අතුල දැන් ඔයා කියන හැටියට ඒ ඔක්කොම කරලත් වැඩක් උනේ නැත්තං අපි මොකක් ද ඊළඟට කරන්නෙ.”

“ඊළඟට කරන වැඩේ මන් කරන්නෙ තනියම.”

“හරි ඉතින් මොකක් ද මල්ලි උඹ ඔය තනියම කරන විරෝධෙ. කියපන් ඒකත් අපිට. මොකද අපි උඹ ඔය ඉස්සෙල්ලා යෝජනා කරපු වැඩවල අපිත් අනිවාර්ය කොටසක්නෙ. එහෙව් අපිට කියපන් උඹ ඊළඟට කරන්නෙ මොකක් ද කියන එක. මොකද උඹේ හැටියට උඹ අධ්‍යාපන කාර්යාලෙ ඉස්සරහ අර මහ විදුලි කණුව මොකක් ද ඒකට කියන නම. මට මතක නැහැනෙ.”

“හයි ටෙන්ෂන් ලයින් යන කණුව ද අක්කා.”

“අන්න හරි නංගි ඒක තමයි.”

“හරි රේණු අක්කෙ, ඔයා කියන්නෙ මට ඒකත් කරන්න බැහැ කියල ද?”

“අපොයි නැහැ උඹට ඉතින් ඊටත් වැඩි ඔලමොට්ටල වැඩක් උනත් කරන්න බැරි නැහැ.”

“එතකොට රේණු අක්කෙ ලොකු සර් මේ ඉස්කෝලෙම රඳවා ගැනීම වෙනුවෙන් කරන කැපවීම් ඔයාට දැන් පේන්නෙ එහෙනං ඔලමොට්ටල වැඩ හැටියටයි.”

“හරි ඉස්සෙල්ලා කියපන්කො උඹ කරන්න හදන වැඩේ. අපිත් දැනගන්න එපැයි උඹේ ඔය වැඩේ. මොකද ඕක කරන්න අපේ අනුමැතිය දෙනව ද කියන එක අපි එපෑ තීරණය කරන්න.”

“සර්ව ආපහු ඉස්කෝලෙට ලැබෙනකන් මැරෙනකන් මන් උපවාස කරනවා. කවුරු කැමති උනත් නැතත්. කවුරුවත් ලෑස්ති වෙන්න එපා මාව නතර කරන්න. ඒක මන් පුද්ගලිකව මගේ විරෝධෙ දක්වන අන්තිම ක්‍රමේ.”

“ඔය කිව්වෙ ඔය කිව්වෙ. එතකොට දැන් අපි මේ එකතු වෙලා අද මෙතෙන්ට ආවෙ අපේ පුද්ගලික විරෝධෙ දක්වන්න ද එහෙම නැත්තං හරියට ම ප්‍රශ්නෙ දැනගෙන කරන්න ඕන දේ සාකච්ඡා කරන්න ද?”

“හරියටම හරි නදී ඔයා. මෙයාට කියන්න ඕන හොඳම දේ කිව්වා.”

මේ තරුණ ගුරුවරුන්ගේ කතාවනට මෙතෙක් සාවධාන ව සවන් දී සිටි තෙන්නකෝන් මහතා අනතුරුව සිය හඬ අවදි කෙළේ ය.

“අපේ කැමැත්ත අකැමැත්ත මොකක් උනත් ලොකු සර්ට මේ වෙලාවෙ ඉස්කෝලෙන් යන්න ම වෙනවා. මොකද ඔය තීරණය කියපු වෙලාවෙ ලොකු සර් ළඟ හිටපු අනිත් කෙනා මම.”

“ඒ කියන්නෙ අපි ඔක්කොම වෙනුවෙන් සර්රුත් ඒකට අර ලොක්කන්ට කැමැත්ත දුන්නා කියන එකද ඔය කියන්නෙ. ඇයි සර්, සර් එහෙම අපරාධ තීරණේකට කැමැත්ත දුන්නෙ.”

“බලන්න රේණු අපේ අතුල දෙයක් හරියට කියන්නත් ඉස්සෙල්ලා දැන් තෙන්නකෝන් සර්ට උනත් චෝදනා පත්තර බඳින්නයි ලෑස්ති. මටනං තේරෙන්නෙ නැහැ මෙයා කවදා හැදෙයි ද කියලා.”

“නෑ දුව මේ වෙලාවෙ අතුලගෙ හිත වැඩ කරන විදිහ මට තේරුන් ගන්න පුළුවන්. මන් දන්න තරමින් අතුල ම මට කියලා තියෙන හැටියට දිවාකර සර්ගෙන් පස්සෙ අතුලගෙ ජීවිතේට බොහොම තීරණාත්මක විදිහට බලපාපු චරිතෙ තමයි අපේ ලොකු සර්. ඒ වගෙම මේ ඉස්කෝලෙන් අපි ඔක්කෝටම ඉස්සෙල්ලා අතුලව අඳුරගෙන අපිටත් එයාව අඳුන ගන්න ඉඩ සැලැස්සුවේ ලොකු සර්. අතුලගෙ ඔයගොල්ලන්ගෙ විතරක් නෙමෙයි මගෙ හිතෙත් ලොකු ඉඩක් අයිති කරගත්ත මනුස්සයෙකුට තමයි අපි ලොකු සර් කියලා කියන්නෙ. ඉතින් එහෙම චරිතයක් මේ ඉස්කෝලෙට අහිමි වෙන එක ලොකුම ලොකු පාඩුවක් තමයි. ඉස්කෝලෙ පැත්තෙන් ඒ අඩුව සිද්ධ උනත් පොදු සමාජයට මේ යාම නිසා ලොකු ලැබීමක් නං සිද්ද වෙන්නෙ අපිට මේ තීරණේට ඉඩ දෙන්න වෙනවා ළමයිනෙ.”

තෙන්නකෝන් ආචාර්යවරයාගේ කතාවත් සමග පළමු ව කඳුළු නැඟුණේ දඩබ්බරයාගේ ඇසට ය. ඒ මොහොතේ ඒ දෑස් හිමිකරුගේ දෑත ඉමහත් ආදරයෙන් අල්ලා ගත්තේ කඳුළු පිරි තවත් දෑසකි. ඒ දෑසෙහි හිමිකාරිය වූයේ නදී ය. ඒ සුසංවේදී මොහොතේ යළිත් කතා කෙළේ තෙන්නකෝන් ආචාර්යවරයා ය.

“දරුවනේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය අපේ ලොකු සර්ට පහුගිය දවසක එන්න කියලා තිබුණා තවත් ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් එක්ක. ලොකු සර් ඒ ජ්‍යෙෂ්ඨ ගුරුවරයට තෝර ගෙන තිබුණෙ මාව. අපි මීට සතියකට කලින් දවසක කුරුණෑගල පළාත් අධ්‍යාපන කාර්යාලෙට ගියා. මේ මොකට ද එන්න කියලා තියෙන්නෙ කාරණාව ගැන ලොකු සර්රුත් කිසිම දෙයක් දැනන් හිටියෙ නැහැ කියන එක මන් පැහැදිලිවම කියන්න ඕනෙ. අපි එදා ගියා. ඔය ළමයින්ට මතක ඇති පහුගිය සතියෙ සුමනා මැඩම් විදුහල්පතිනිය හැටියට වැඩ ආවරණය කරපු දවස. අන්න එදයි මේ තීරණාත්මක සාකච්ඡාව කෙරිච්ච දවස. එදා ඒ සාකච්ඡාවට අපි පස් දෙනෙක් සම්බන්ධ උනා.”

“කවුද සර් ඒ පස්දෙනා.”

ඒ ප්‍රශ්නය නැඟුවේ මේ වන තෙක් ද අතුලගේ අත අත නොහළ නදී ය.

“දුව අපි කාර්යාලෙට ගියහම අපි දෙන්නව කෙළින්ම පළාත් අධ්‍යක්ෂතුමිය ගාවට යොමු කළා. එතුමියගෙ දකුණු පැත්තෙ පුටුවෙ ඉඳගෙන හිටියෙ කලාප අධ්‍යක්ෂතුමා ඒ කියන්නෙ මජීඩ් මහත්තයා. වම් පැත්තෙ පුටුවෙ හිටියෙ රාජරත්නම් මැඩම්.”

“ඒ කියන්නෙ අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමියනෙ.”

“ඔව් රේණු දුව එතුමිය තමයි. මට තේරිච්ච විදිහට ඒක කලින් ඒ තුන්දෙනා කලින් කාරණා සාකච්ඡා කරලා යොදා ගත්ත රැස්වීමක්.”

“බැලුවහම මල්ටිනැෂනල් කන්ෆරන්ස් එකක්නෙ තිබිලා තියෙන්නෙ.”

“රේණු දුව කියන එක හරි. ඒක එක විදිහක මල්ටිනැෂනල් කන්ෆරන්ස් එකක්ම තමයි. මේ රටේ ජීවත්වෙන ප්‍රධාන ජාතීන් තුනක නියෝජනය තිබිච්ච රැස්වීමක් ඒක. ඒ වගෙම ඒකෙ විශේෂත්වෙ තමයි ඒ ජාතීන් තුන නියෝජනය කරන අධ්‍යාපනේ ක්ෂේත්‍රෙ විද්වතෙක් ඒ වගෙම විද්වතියන් දෙදෙනෙක් එකම තීරණයකට ඇවිල්ලා තිබීම.”

“මට පේන හැටියට අපේ ඉස්කෝලෙ පැත්තෙන් අපට හිතකර තීරණයක්නං වෙන්ඩ බෑ ඕක.”

“ඔව් අතුල කියන හැටියට අපේ ඉස්කෝලෙ පැත්තෙන් ගත්තහම නං ඒක හිතකර තීරණයක් නොවෙන්න පුළුවන්. ඒ උනාට අධ්‍යාපන කොට්ඨාසය විදිහට හිතුවොත් ඒ අය කියන විදිහටත් මට දැනෙන විදිහටත් ඒක හිතකර තීරණයක් නෙමෙයි කියලා කියන්න බැහැ.

“ඒ කියන්නෙ තෙන්නකෝන් සර් කියන්නෙත් ඔය ගත්තය කියන තීරණේ හරි එකක් කියන එක ද?”

“ඔව් ඒක හරි තීරණයක්. ඔය ගොල්ලන්ට විතරක් නෙමෙයි මටත් පුද්ගලිකව සර්ගෙ ඇසුර දුරස් වෙනවය කියන එක ලොකුම ලොකු පාඩුවක් තමයි. ඒ උනාට අපි මේ ගැන හිතන්න වෙන්නෙ ඒ පෞද්ගලික කාරණා පැත්තකින් තියලයි.”

“හරි සර් අපට තවම කිව්වෙ නැහැනෙ හරියටම මොකක් ද උනේ කියලා. ඒ මේ පළාතෙම ඉස්කෝලෙකටනං ඒ කොහෙට ද ඒ වෙනුවට අපිට කවුද එවන්නෙ කියන එක. ඔය කාරණාත් එතන කතා වෙන්න ඇතිනෙ.”

“ඔව් ගඟුල් ඔය කියන ඔක්කොම කතා උනා තමයි. අපේ ලොකු සර්ව මාරු කරලා තියෙන්නෙ තවත් ඉස්කෝල‌ෙක විදුහල්පති කරලනං නෙමෙයි.”

“එහෙනං මොකක් ද වෙලා තියෙන්නෙ.”

තරුණ පංච ගුරු මණ්ඩලයෙන් පමණක් නොව තෙන්නකෝන් මැතිනියගෙන් ද ඒ ප්‍රශ්නය නැඟුණේ එකට ය.

”රාජරත්නම් මැඩම් විශ්‍රාම යනවා. මැඩම්ගෙ නිර්දේශය මේ කොට්ඨාසෙ විතරක් නෙමෙයි මහව කලාපෙම ඉන්න වැඩිම සුදුසුකම් තියෙන විදුහල්පති වෙච්ච අපේ ලොකු සර්ව තමන්ගෙ තනතුරට පත් කරන්න කියන එක. කලාප අධ්‍යක්ෂ මජීඩ් මහත්තයා කළෙත් ඒක තහවුරු කරමින් කතා කරන එක. ඒ විතරක් නෙමෙයි පළාත් අධ්‍යක්ෂතුමිය කළෙත් ඔළුව වන වන ඒක අනුමත කරන එක.”

“එතකොට සර් මොකද කළේ.”

අතුල ඇසුවේ නොඉවසිල්ලෙනි.

“මන් කොහොම ද පුතා විරුද්ධ වෙන්නෙ, මගෙ සහෝදරයෙක් වගේ ඉන්න අදාළ සුදුසුකම් ඕනෙවටත් වැඩියෙන් තියෙන මනුස්සයෙකුට ප්‍රමාද වෙලා හරි ලැබෙන්න ඕන තනතුර ලැබෙන කොට. මාත් කළේ ඒක අනුමත කරන එක. වෙන සුදුසු කෙනෙකුට ඔය තනතුර දෙන්න කියලා කතා කළේ එකම එක්කෙනෙක් විතරයි.”

“ඒ කියන්නෙ අපේ ලොකු සර් තමන්ට ඒ තනතුර එපා කියල කතා කළා.”

“ඔව් දුවේ ඒ අපේ ලොකු සර්ගෙ හැටිනෙ. අනුන්ගෙ තනතුරු රකින්න අවශ්‍ය කරන වැඩ කරනවා මිස තමන් වෙනුවෙන් කවදාවත් කතා කරපු කෙනෙක් නෙමෙයිනෙ මේ. හැබැයි ඒකටත් එක්ක මන් සර් ඒක බාර ගන්නම ඕනෙ කියන කාරණේ වෙනුවෙන් පෙනී සිටියා.” 

“ඒ කියන්නෙ ලොකු සර්ගෙ සහායට කියලා එක්ක ගිය තෙන්නකෝන් සර් කළෙත් සර්ව අපිට නැතිවෙන තැනට වැඩ කරන එක.”

“ඔව් අතුල ඔයා මට කරන්නෙ චෝදනාවක්නං මන් කැමතියි ඒ චෝදනාවේ චුදිතයා බවට පත් වෙන්න.”

“මන් චෝදනා කරනව නෙමෙයි සර්. මට හරි දුකයි සර්.”

“මන් දන්නව පුතා අපි ඔක්කොටම වඩා ලොකු දුකක් ඔයාට තියෙනව කියන එක. මොකද ඔයා ලොකු සර්ට සලකන්නෙ තමන්ගෙ තාත්තට වඩා ගෞරවයකින්. අර හිටපු කොට්ඨාස අධ්‍යක්ෂතුමත් එක්ක ඔයාට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවෙ සාමාන්‍යයෙන් විදුහල්පති කෙනෙක් වැඩ කරන විදිහට නෙමෙයි අපේ ලොකු සර් වැඩ කළේ. ඒවා අපිටත් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඇයි එදා එහෙම ප්‍රශ්නයක් ඇති උනේ. ඒ තනතුරට නොගැළපෙන කෙනෙක් ඒ තනතුරේ හිටපු නිසයි. ඒ ලොකු සර්ම තමයි හෙට දවසෙ ඒ පුටුවට යන්නෙ. ඒකෙ තේරුම හෙට දවසෙ තමන් නිවැරදියි කියලා නිවැරදි දේ වෙනුවෙන් වැඩ කරන උඹලා වගේ ගුරුවරුන්ව අමාරුවෙ දාන්නෙ නැති මිනිහෙක් කොට්ඨාස අධ්‍යක්ෂ උනා කියන එකයි. ඒ ගැන හිතලා සතුටු වෙයන් පුතා.”

“මට සර් කියන දේ තේරෙනවා. මන් මුලින් හිතුවෙම සර්ව ඈත පළාතක විදුහල්පති කරලා යැව්වා කියන කාරණෙයි. ඒත් සර් කියන හැටියට අපේ ලොකු සර්ටත් යහපතක් වෙලා අපේ අධ්‍යාපන කොට්ඨාසෙටත් යහපතක් වෙනවනං අපිට ඉතින් හිත හදා ගන්න තමයි වෙන්නෙ.”

“ඇයි මේ වැඩේදි ලොකු සර් එක්ක සර්ටත් එන්න කියලා තිබුණෙ.”

ඒ ප්‍රශ්නය නැඟුණේ නදී වෙතිනි.

“ඒකටත් ඒ අයට පැහැදිලි හේතුවක් තිබුණා. ඒ ගොල්ලො ලොකු සර්ට එක්ක එන්න කියලා තිබුණෙ ඉස්කෝලෙ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් ව කියන කාරණේ මන් මේ දරුවන්ට කිව්වනෙ. ඉතින් සර් මාවනෙ එක්ක ගියේ. ඒ අය එහෙම කැඳවලා තිබුණෙ ලොකු සර්ගෙන් පස්සෙ ඒ තනතුරට පිටින් කෙනෙක්ව පත් කරන්නැතුව ඉස්කෝලෙන්ම අදාළ විදුහල්පති ශ්‍රේණිය පාස් වෙලා තියෙන කෙනෙක්ව පත් කරන්න. ආපු කෙනා සුදුසුයි කියලා හිතෙනවනං ඉන්න විදුහල්පතිවරයත් එයාව නිර්දේශ කරනවනං එයාව පත් කරන්නත් එයා අකැමැතියි කියලා වෙන ගැළපෙන කෙනෙක්ව යෝජනා කරනවනං ඒ ගැන සලකලා බලලා සුදුසු තීරණයක් ගන්නත් එක්ක තමයි මාව කැඳවලා තිබුණෙ.”

“ඒ කියන්නෙ ඉස්සරහට අපේ ලොකු සර් වෙන්නෙ තෙන්නකෝන් සර් නං අපිට ලොකු අහිමි වීමක් උනත් තවත් සුදුසුම මනුස්සයෙක් අපේ විදුහල්පති හැටියට ලැබුණා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කියන එක නේද?”

“ඔව් අපිට සතුටු වෙන්න පුළුවන් කෙනෙක් තමයි ඊළඟ විදුහල්පති හැටියට එන්න නියමිත.”

“ඒ කියන්නෙ සර් නෙමෙයි ද එන්නෙ.”

“ඔව් මම නෙමෙයි ගඟුල් එන්නෙ විදුහල්පතිනියක්. මන් අර දෙවෙනි කාරණේට ගියා. ඒ කියන්නෙ ඒ සාකච්ඡාවට සහභාගි වෙන්න අවස්ථාව ලැබිච්ච ජ්‍යෙෂ්ඨ ගුරුවරයා හැටියට මේ වෙලාවෙ ලොකු සර්ගෙ හිස්තැන යම් ප්‍රමාණෙකට පුරවන්න පුළුවන් කෙනාගෙ නම යෝජනා කළා. අන්තිමට එතන හිටපු ඔක්කොම ඒකට එකඟත් උනා.”

“කවුද සර් ඒ.”

“ඔව් ඒ තමයි අපේ සුමනා මැඩම්. තාම එයා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. හැබැයි පුතා ඔයගොල්ලො අපි ඔක්කගෙම තියෙන වගකීම තමයි එයා මේකට අකැමැති උනොත් කොහොම හරි කැමති කරවා ගන්න එක.”

“ඉතින් තෙන්නකෝන් සර්රුත් ඔය තනතුරට හැම අතින්ම සුදුසුනෙ. අපේ සුමනා මැඩමුත් හොඳයි තමයි. ඉතින් ඒ වගෙම සර්රුත් සුදුසුයිනෙ. ඒ වගෙම සර්ගෙන්නෙ මුලින්ම මේ ගැන අහලා තියෙන්නෙත්.”

“නදී දුව අපි එක එක්කෙනා උපදින්නෙ එක එක දේට. මන් හිතන්නෙ මන් ඉපදිලා තියෙන්නෙ ගුරුවරයෙක් හැටියට වැඩ කරන්න මිස පරිපාලන තනතුරු දරන්න නෙමෙයි. දැන් බලන්න ලොකු සර් වගෙ කෙනෙක් ගුරුවරයෙක් හැටියට ඉන්න එකත් අපරාධයක්. මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ අපේ ලොකු සර් කියන්නෙ ජාතීන් තුනක් නියෝජනය කරන අයටත් එක විදිහටම දැනිච්ච චරිතයක්. ඊළඟට ඔයගොල්ලො ඔක්කොම දන්නවා ලොකු සර් ගුරුවරු ශිෂ්‍යයො වැඩ කරන අය වගෙම දෙමව්පියො විතරක් නෙමෙයි මේ මුළු ගමම එකතු කරපු පාලමක් වෙච්ච කෙනෙක් බව. මන් දන්නවා අපේ සුමනා කියන්නෙත් ඒ වගෙම කෙනෙක්. අපි එකම කාලෙක විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තෙ. එයා ශිෂ්‍යාව කාලෙදි කළෙත් විවිධ හේතු නිසා වෙන් වෙලා ඉන්න අය එකතු කරපු එක. එතුමිය මේ ඉස්කෝලෙ වැඩ කරන පිළිවෙළ ගැන මන් ඔයගොල්ලන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නැහැනෙ.”

“එතකොට සර් කියන්නෙ අපි ඔක්කොම සුමනා මැඩම්ට කතා කරන්න ඕනෙයි කියන එක ද?”

“ඇත්තටම ඔව්, ඒක තමයි වෙන්න ඕන කරන දේ. ලොකු සර් කියන්න ඉස්සෙල්ලා අපියි පසුබිම හදන්න ඕනෙ. අපේ කැමැත්තත් ඉහළින් ම එතුමියට තියෙනවා කියන එක කිව්වට පස්සෙ එයාට බැරි වෙනවා මේකට බැහැ කියන්න. කොහොමත් මමත් එනවා ඔයගොල්ලොත් එක්ක එයාව හම්බ වෙන්න යන්න. මොකද ඔයගොල්ලො විතරක් ගියොත් එයා ඔය වැඩේට තෙන්නකෝන් සර් හොඳ නැද්ද කියලා අහන්න ඉඩක් තියෙනවා. මට එතකොට පුළුවන් විශ්වවිද්‍යාලෙ ඉතිහාසෙ ඉඳල ම සුමනා වැඩ කරපු හැටි කියලා එයා මේ මොහොතේ අපේ නායිකාව හැටියට අවශ්‍යමයි කියන කාරණේ තහවුරු කරන්න. මොකෝ අතුල ආයෙ ලොකු කල්පනාවකට වැටිලා වගේ ඉන්නෙ. ඇයි ඔයා කැමති නැද්ද සුමනා මැඩම් අපේ ප්‍රින්සිපල් වෙනවට.”

“අපොයි එහෙම එකක් නෙමෙයි. මට සුමනා මැඩම් කියන්නෙ අපිට අම්මා කෙනෙක්. මන් කල්පනා කළේ අපේ ක්‍රීඩා උත්සවෙ කට ළඟටම ආපු වෙලාවෙ විදුහල්පති හැටියට සර්ව අපට නැති වෙන එකට.”

“සර්ව අපට නැති වෙනවා තමයි අපේ විදුහල්පති හැටියට. ඒ වගෙම අමතක කරන්න එපා සර් මේ ක්‍රීඩා උත්සවේට සහභාගි වෙන්නෙ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හැටියට කියන එක. ඒ වගෙම සර්ට ඉදිරියට පුළුවන් වෙනවා ඔයගොල්ලො අපි ක්‍රීඩා උත්සවයක් පවත්තන්න යන ආකෘතිය තමන්ගෙ කොට්ඨාසෙ අනිත් ඉස්කෝලවලටත් බෝ කරන්න. අතුල, ලොකු සර් මෙහෙන් යන එක අපේ පරාජයක් විදිහට නෙමෙයි ලොකු ජයග්‍රහණයක් විදිහට අපි බාර ගම්මු.”

“මන් හිතන්නෙත් තෙන්නකෝන් සර් හරියි කියන එක. යහපත් දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනෙ අපේ ඉස්කෝලෙ විතරක් නෙමෙයිනෙ. මන් දන්නවා අතුල අය්යා ඉන්නෙත් එතැන. අපි යමු අය්යෙ සුමනා මැඩම් හම්බ වෙන්න. එතුමිය මේක තමයි වෙන්නම ඕන දේ කියලා තේරුම් ගත්තට පස්සෙ අපේ ඉල්ලීමත් එතුමියමනං මේකට කැමති වේවි.”

අනතුරුව තෙන්නකෝන් මහතා පෙරටු කොට ගත් පිරිස සුමනා ආචාර්යවරියගේ නිවහනට යාම සඳහා මගට පිළිපන්හ. දුර සිට ම ඔවුන් දුටුවේ සුමනා මහත්මියගේ සැමියා ය. ගජනැග්ගම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන් කරන සේවයට අමතරව ගොවිතැන් කටයුතුවල ද නිරත වන ඔහු ගමේ කොයි කා සමගත් සහයෝගයෙන් කටයුතු කරන මිත්‍රශීලී මිනිසෙකි.

“ආ එන්ඩ එන්ඩ මන් බැලුවා කවුද මේ තෙන්නකෝන් මහත්තයා මුල් කරගෙන මෙහෙට එන පරිවාර සේනාව කවුද කියලා. බැලුවහම අද නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ බැටෑලියන් එකක්නෙ මේ එන්නෙ. මොකෝ තෙන්නෙ ආක්‍රමණයක් ද  එහෙම නැත්තං සංක්‍රමණයක් ද?”

“සිරීට මේ කට්ටිය මොකකට එනව වගේ ද පේන්නෙ.”

 “තෙන්නෙ නදී ඉන්න නිසා සංක්‍රමණයක් කියලා හිතන්නත් පුළුවන්. හැබැයි මේ අතුලයි රේණුයි ඉන්න නිසා ආක්‍රමණයක් වෙන්නත් බැරි නෑ. අනික් කට්ටිය ඉතින් මන් දන්න තරමින් නියුට්‍රල් අයනෙ.”

“බැලුවහම සිරී දන්නවනෙ ඔක්කොම ගැන.”

“මෙහෙමනෙ තෙන්නෙ අපේ සුමනා මට නාගොල්ලාගම ගැන සම්පූර්ණ වාර්තාවක් දෙනවා. මන් සුමනට ගජනැග්ගම ඉස්කෝලෙ ගැන සම්පූර්ණ වාර්තාවක් දෙනවා. අපි ඉතින් සාමයෙන් සමාදානෙන් අපේ ඉස්කෝලෙ දෙකේ තොරතුරු බෙදා ගන්නවා.”

“එහෙනං ඉතින් සිරී සර්ටයි අපේ සුමනා මැඩම්ටයි ඉස්සරහට මීටත් වැඩිය හොඳට ඉස්කෝල දෙකට සහයෝගෙන් වැඩ කරන්න වේවි.”

“ඒ මොකෝ රේණු දැන් අපි දීගන්න සහයෝගෙ මදි වගේ ද රේණු ඔයාලට පේන්නෙ.”

“අපෝ නෑ සර්. සර් ඉස්සෙල්ලා කිව්වා නේද අපි කණ්ඩායම ආක්‍රමණයකට ද සංක්‍රමණයකට ද ආවෙ කියලා. අපි සංක්‍රමණ ක්‍රමවේදයට මුලින් බලනවා. බැරි උනොත් අපිට ආක්‍රමණ ක්‍රමවේදය අනුගමනය කරන්න වෙනවා හොඳින් හරි නරකින්.”

“රේණු නෝනෙ අපි මුලින් හොඳින් බලලා ඉමු නේද? අපි ඉතින් කොහොමටත් සාමෙට කැමති අහිංසක මිනිස්සුනෙ. ඔක්කොට ම ඉස්සෙල්ලා ඔහොම්ම යමු ගෙට. මන් මේ සෙල්ලමට වගේ මය්යොක්කා ටිකක් ලිපේ තියන්න ලෑස්ති උනේ. දැන් ඒකෙ ප්‍රමාණෙ වැඩි කරන්න විතරයි තියෙන්නෙ.”

“ඒකට හොඳ ලුණු මිරිසක් හදලා හොඳට පොල් වඩියක් ගාලා ගත්තම ජාති.”

“අපේ රේණු අක්කා විහිලුවට කියන ඒවා ගණන් ගන්න එපා සර්. සර් දැන් කරදර වෙන්න එපා. අපි තෙන්නකෝන් සර්ලගෙ ගෙදරින් තේ බීපු ගමනුයි ආවෙ.”

“මේ මිහිදිනී උඹට එපානං නිකන් ඉඳින් හොඳේ. සිරී සර් තම්බන්න අපිටත් එක්ක මඤ්ඤොක්කා. කොහොමත් ඉතින් ඉස්සරහට සිරී සර්ලට අදටත් වැඩියෙන් අපේ ඉස්කෝලෙ ගැන හොයන්න බලන්න වෙනවා. ඒකට පෙරහුරුවක් වශයෙන් අද සර් මඤ්ඤොක්කා සංග්‍රහයෙන් පටන් ගම්මු. මේ නිහඬතාවෙන් පේන්නෙ අපේ මිහිදිනී ඇර ඔක්කොම කැමතියි ඒ සංග්‍රහයට කියන එක. අර ඒක කිව්වහම උනුහපුළු පැටියෙක් වගේ මගෙ දිහා බලන් ඉන්න හැටි. හරි හරි මගෙ පංගුවෙන් බාගෙට තැම්බිච්ච එක අලයක් හරි දෙන්නංකො නගෝ උඹට. කොහොමත් මගෙ දුකට සැපට ළඟම ඉන්න එකීනෙ උඹ.”

“තෙන්නෙ, අපේ රේණුගෙ කතාවෙ මට පේන හැටියට ලොකු තේරුමක් තියෙනවා. අපේ සුමනා ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ වැඩකටම අනුග්‍රහ ගන්න කියලා අද කීප දෙනෙක් හම්බ වෙන්න ගියා. උදෙන්ම තමයි ගියේ. තැන් දෙකකට තුනකට ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා තමයි ඉතිරි තැන්වලට යනවා කිව්වෙ. ඔය කියන්න හදන කාරණේ මට කියන්න පුළුවන් දෙයක් නං මට කිව්වොත් එයා ආවහම කියන්න පුළුවන්.”

“මේක සිරී ඔයාටත් අදාළ දෙයක් තමයි. මට හිතෙන්නෙ සුමනට ඉස්සෙල්ලා ඔයාට මේක කියන එක තමයි සුදුසු කියන එක. එහෙම හොඳයි ද ළමයිනෙ. මොකද මේ සිරී සර්ගෙත් සහයෝගය අපිට ලැබුණොත් වැඩේ ගොඩක් පහසු වෙනවා.”

“ඒක හරි සර්ගෙ කැමැත්තත් මෙතෙන්දි අපිට ගොඩක් වැදගත්.”

“නදී බය වෙන්න එපා. සර්ගෙ කැමැත්තත් අපි ගන්නවම තමයි. සිරී සර් දෙකින් එකක් නෙමෙයි අපි හිතන එකෙන් එක විසඳගෙන තමයි අපි අද මෙතනින් යන්නෙ. සර් පැත්තකට වෙන්න. ලිපට ගින්දර අඩු කරන එක මන් කරන්නං. ගඟුල් උඹ බිඳපන් මල්ලි ඔය පොල්ගෙඩිය. අතුල උඹේ මහා ක්‍රීඩා උත්සවේ සාර්ථක වෙන්නයි සුමනා මැඩම්ගෙ නායකත්වය ලැබෙන්නයි ප්‍රාර්ථනා කරලා ගාපන් ඔය ගෙඩියම උඹේ ක්‍රීඩා ජවේ යොදවලා. මිහිදිනී උඹ මොකෝ ඔතන ළමාතැනී වගේ බලන් ඉන්නෙ. සුද්ද කරපන් මේ රතුළුෑණු ටික ලුණු මිරිස හදන්න.”

“මට දෙන්නෙ බාගෙට තැම්බිච්ච අල නං මන් මොකට ද මහන්සි වෙන්නෙ. ඕන කෙනෙක් ඕන එකක් සුද්ද කරගන්න එකයි ඇත්තෙ.”

මිහිදිනී එසේ පැවසුවේ බොරු අමනාපයක් මවා පාමිනි.

“අනේ මගෙ අල ගෙඩිය, මන් එහෙම කිව්වෙ වස්තුවෙ ආදරේටනෙ. හොඳයි නගෝ මේ කට්ටියගෙම පිඟන්වල බාගෙට තැම්බිච්ච අල තිබ්බොත් ඒවා ඔක්කොම මගෙ මේ හොඳ නංගිගෙ පිඟානට දාන්න හොඳේ.”

එසේ කියා රේණු කෙළේ මිහිදිනීගේ නිකටින් අල්ලා සෙලවීම ය.

“මේ රේණු ඉන්න තැනක් පාළු නෑ කියලා අපේ සුමනා කියන වචනවල තියෙන ඇත්ත අද තමයි මට හරියටම තේරුණෙ.”

“රේණු දුව ගැන අපේ නෝනා කියන්නෙත් ඔය ටිකම තමයි සිරී. අනාගතේ කවදා හරි දවසක් ඉස්කෝලෙකට හරි වෙනත් ආයතනයකට හරි නායකත්වය දෙන්න උනත් සුදුසු යි ඔය කෙල්ල. දැක්ක ද මේ ටිකට කරපු මෙහෙයිල්ල. අන්න බලන්ඩ සිරී එක්කෙනෙක් පොල් ගානවා. එක්කෙනෙක් රතුළුෑණු සුද්ද කරනවා. අනිත් එක්කෙනා මඤ්ඤොක්කා ඇතිලිය ගාව ඇණ තියාගෙන. ඒ වගෙම හෙමින් සීරුවෙම ඔයාටත් නොදැනිම ඔයාව ඒ වැඩවලින් අයින් කළා. ඔය කෙල්ල ඒක කළෙත් හිතලමයි. ඒ නදීටයි මටයි ඔයත් එක්ක මේ වෙලාවෙ කතා කරන්න ඕන දේවල්වලට ඉඩ සලස්සන්න.”

“මට පේන විදිහට සිරී ඕගොල්ලො අද මේ ඇවිල්ලා තියෙන්නෙ එසේ මෙසේ වැඩකටනං වෙන්ඩ බෑ. හරි අපි අර එළියෙ තියෙන බංකුවෙ ඉඳගෙන ම කතා කරමු.”

සුමනා මහත්මියගේ සැමියා වන සිරිනන්ද මහතා තෙන්නකෝන් මහතා සහ නදී කැටුව ගියේ තුරු සෙවණ වැටෙන තැනක සදා තිබූ බංකුවක් වෙත ය.

“තෙන්නෙ දැන් කියමු බලන්ඩ දැන් මොකක් ද මේ වෙන්ඩ යන්නෙ කියන එක.”

“නදී දුවේ එහෙනං මන් කෙළින් ම කියන්ඩ ද අපේ සිරී සර්ට වෙන්ඩ යන එක.”

“ඔව් සර් මට හිතෙන්නෙත් ඒක හොඳයි කියන එක. කොහොමටත් අපේ මැඩම්ට ඉස්සෙල්ලා සර් මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක තමයිනෙ අපේ කට්ටියෙම අදහස.”

“මෙහෙමයි සර් අපේ ලොකු සර් මෙහෙන් යනවා උසස් වීමක් ලබලා. ඒ කියන්නෙ එතුමා යන්නෙ අපේ කොට්ඨාසෙ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදිහට පත්වීම ලබලා.”

“ඒකනං අපිට මෑතක අහන්ඩ ලැබිච්ච හොඳම ආරංචියක්නෙ. ඒ කියන්නෙ එතුමා නාගොල්ලාගමට විතරක් නෙමෙයි අපිටත් අයිති වෙනවා කියන එකනෙ. ඒක හොඳ උනාට ඊළඟට නාගොල්ලාගම ඉස්කෝලෙට මොකද වෙන්නෙ.”

“අන්න ඒකට විසඳුම හොයාගෙන තමයි සිරී අද අපි මෙහෙට ආවෙ.”

“ඉතින් තෙන්නෙ අපි කොහොම ද ඒකට විසඳුමක් දෙන්නෙ. ඒක තීරණය කරන්නෙ අධ්‍යාපන කාර්යාලෙනෙ.”

“අධ්‍යාපන කාර්යාලෙනං හරි සිරී. දැන් තියෙන්නෙ ඉතිරි වැඩ ටික මෙහෙන් කෙරෙන එක.”

“ඒ කිව්වෙ තෙන්නෙලා මේ කියන්නෙ මොකක් ද කියන එක මට පැහැදිලි මදි.”

“කොටින්ම කියනවනං විසඳුම තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි මේ ගෙදරම තමයි. දැන් නදී දුව ඉතුරු කොටස සර්ට කියන එක ඔයාට බාරයි.”

“මෙහෙමයි සර්, ඉස්කෝලෙ විදුහල්පතිනිය හැටියට අපේ සුමනා මැඩම්ව පත් කරන්නයි යන්නෙ. ලොකු සර්රුත් ඒ යෝජනාවට කැමතියි ආචාර්ය මණ්ඩලේ හැටියට අපිත් කැමතියි. මේ වෙන කොට අධ්‍යාපන කාර්යාලෙත් ඒකට කැමති වෙලා තියෙනවා.”

“මේ අපේ සුමනව.”

“ඔව් ඔයාගෙ සුමනව තමයි. ඇයි සිරි මේ පුදුමෙන් වගේ. ඇයි සුමනට බැරි ද අපිට නායකත්වෙ දෙන්නෙ.”

“ඉතින් තෙන්නෙ ඒක සුමනට වඩා හොඳින් කරන්න පුළුවන් කෙනා ඔයානෙ.”

“නෑ සිරී, මේ මොහොතෙ අපේ නියමුවරිය වෙන්න සුදුසුම කෙනා තමයි සුමනා. එයාගෙ කැමැත්ත විතරයි අපිට ඕනෙ. සිරීලට වෙනදට වැඩිය අපහසුකම් එන්න පුළුවන් වැඩ වැඩි වෙන්න පුළුවන් එයා  විදුහල්පතිනි උනාම. ඒ උනාට මේ වෙලාවෙ ඒ ඔක්කොම දරාගෙන අපට උදව් කරන්න කියන ඉල්ලීම තමයි අපිට සිරීටත් කරන්න තියෙන්නෙ.”

“ඒක වෙන්නම ඕනෙ දෙයක් කියලා ඔයගොල්ල ඔක්කොම කියනවානං මන් මගෙ සහයත් දෙන්නං. ඒ වගෙම අද හෙටම දවසක යන්න ඕනෙ ලොකු සර්වත් හම්බ වෙන්න. කිසිම අහංකාරයක් නැති මනුස්සයා. හරි මනුස්සයෙකුට පරක්කු වෙලා හරි හරි තනතුර ලැබීමයි මේ වෙලා තියෙන්නෙ. මට හිතෙන හැටියට මුළු කොට්ඨාසෙම තියෙන ඉස්කෝලවලට අලුත් ඉරක් පෑයුවා වගේ තියේවි මේ ලොකු සර්ගෙ පත්වීම. මට බය අපේ සුමනට ඔය විදුහල්පතිකම දරා ගන්න පුළුවන් ද කියන එක.”

“මොකෝ බැරි සිරී, මේ වෙලාවෙ සුමනටම තමයි මේ ඔක්කොම දරාගෙන ඉස්කෝලෙ ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. අනිත්තෙක අපි ඔක්කොම ඉන්නවන‌ෙ එයාගෙ සහයට.”

“අනේ මන්දා ඔන්න කියන කොටම මේ පැත්තට ත්‍රීවීලර් එකක් එන සද්දෙ ඇහෙනවා. ඔය එන්නෙ සුමනා. දැන් ඔයගොල්ලම තමයි එයත් එක්ක කතා කරගන්න ඕනෙ. මට කරන්න පුළුවන් දේ තමයි ඔය අදහසට විරුද්ධ නොවී මට පුළුවන් විදිහට සහය දෙන එක.”

“අන්න හරි සිරී සර් ඒක තමයි සර්ගෙන් අපිට ලැබෙන්න ඕන කරන සහය. ඒ වගෙම සර් අපි මේ අදහස ඉදිරිපත් කළාම සර්රුත් ඉතින් පැත්තක ඉඳගෙන අපේ සහයෝගෙට වචනයක් දෙකක් කියන්න.”

එසේ කියා නදී ඒ වනවිට ත්‍රීරෝද රථය නවත්වා තිබූ තැනට ගමන් කළා ය. ගඟුල් ද එතැනට පැමිණෙනු දැකිය හැකි විය. සුමනා රියෙන් බැස්සේ පාර්සල් ගොඩක් ඔසවා ගෙන ය.

“ගඟුල් පුතා තව බෑග් දෙක තුනක් ඇතුළෙ තියෙනවා ඒවත් ගන්න. පුතේ අර ඇතුළෙ තියෙන පාර්සල් ටික අරගෙන මේ සර්ට දෙන්න.”

සුමනා එසේ පැවසුවේ තරුණ ත්‍රීරෝද රථ රියදුරාට ය.

“මේ මොනව ද මැඩම් මේ ගොඩක් ජාති.”

“ඔය පාර්සල්වල තියෙන්නෙ මොනව ද කියලා පස්සෙ කියන්නං. ඒවා අපේ ඉස්කෝලෙට හම්බ වෙච්ච ඒවා. අනිත් බෑග්දෙකේ තියෙන්නෙනං ඔයගොල්ලන්ට ගෙනාපු ජාති.”

“ඉතින් මැඩම් දන්නෙ නැහැනෙ අපි ඇවිල්ල ඉන්න වගක්.”

“නෑ මන් දන්නවා පුතා අපේ මහත්තයා මට කතා කරලා කිව්වා ඔන්න සුමනා නාගොල්ලාගම ඔයාගෙ ඉස්කෝලෙ ගුරු කණ්ඩායමක් ඔයා හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. තේ ටිකක් දෙන්න මොනව හරි ගේන්න කියලා.”

“මේ මොකද අප්පච්චියෙ මෙයාකාර බඩු. අපි ආපු බව ආරංචි වෙලා ද කලින් ම අපේ මැඩම්ට.”

එසේ පැවසුවේ ඒ මොහොතේ එතනට ආ රේණු ය.

“නෑ නෑ ඔයගොල්ල ආවා කියලා නෙමෙයි මේ ජාති ගෙනත් තියෙන්නෙ. මැඩම්ට ආරංචි වෙලා තිනෙවා ගඟුල් පුතත් මෙතන ඉන්නවා කියන එක. ඔයාට තියෙන්නෙ අක්කෙ ගඟුල් පුතා ඇතුළු එයාගෙ කණ්ඩායමට හොඳ සංග්‍රහයක් කරන්න පුළුවන් තරන් ඉක්මණට තේ මේසෙ ලෑස්ති කරන එක.”

“හරි හරි උඹට කොහොමටත් මට හොඳ සංග්‍රහයක් කරන්න බැරි උනා කාලෙකින්. මන් ඒකට වෙලාව හදාගන්නං මල්ලි අනික් අයට තේ ටිකක් එහෙම දීලා. යන් මැඩම් අපි ගෙට.”

මෙසේ කියා රේණු කෙළේ ඒ වනවිට සුමනාවන්ගේ අතේ තිබූ පාර්සලය ද සියතට ගෙන අනිත් අතින් ඇය අල්ලා ගැනීම ය.

“ආ අපේ තෙන්නකෝන් මහත්තයත් ඇවිල්ලනෙ. කුස්සිය පැත්තෙන් ඇහෙන සද්දෙ හැටියට එතනත් කීප දෙනෙක් ම ඉන්නව වගේ.”

“ඔව් සුමනා අපි ආචාර්ය මණ්ඩලේ හය දෙනෙක් ම මේ වෙලාවෙ ආවෙ ඔයාව හම්බ වෙන්න ඉතාම වැදගත් වැඩකට. අපි ඔය අපිට කරන්න හදන සංග්‍රහයෙන් පස්සෙම කතා කරමු. ඒක කෙරෙන වෙලාවට මේ ආපු අය ඔක්කොම එතන ඉන්න ඕන.”

“මොකක් ද අප්පච්චියෙ මාත් එක්ක කරන්න තියෙන ඒ තරන් වැදගත් සාකච්ඡාව.”

“ඔයත් එක්කම මේ සාකච්ඡාව කරන්න තියෙන්නෙ ඔයා සුමනා මේ කතාවට අත්‍යවශ්‍ය කතා නායිකාව නිසා. හොඳයි කට්ටියම එක තැනකට එකතු උනාට පස්සෙ අපි ඒ ගැන කතා කරමු කො. නැද්ද සිරි.”

“මට පේන්නෙ අපේ මහත්තයත් අල්ලගෙන මේ කට්ටිය මොකක් ද ලොකු කතාවකට යන්න වගේ හදන්නෙ.”

“මේ සුමනා මාවනං අල්ල ගන්න එපා ඔය කතාවට. මොකද මන් ඇවිල්ලා වෙන ඉස්කෝලෙක මනුස්සයෙක්. මේක ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ඔයගොල්ලන්ට අදාළ ප්‍රශ්නයක් මිස මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නැද්ද නදී.”

“හැබැයි සිරී සර් මේක සර්ට අදාළ නෑ කියලත් කියන්න බැහැ. මොකද මේකෙ බලපෑම ප්‍රධාන වශයෙන් ලබන චරිතයක් තමයි සර්රුත්.”

“අනේ මන්දා මට ඔයගොල්ලො කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. හොඳයි ඔයගොල්ලන්ට ඕන වෙලාවට කියන්ඩ ඕන දේ කියන්ඩකො. මන් එතකන් අර කුස්සිය පැත්තෙන් ඇහෙන සද්ද මොනාද කියලා බලන් එන්නංකො.”

එසේ කියා සුමනා ආචාර්යවරිය කෙළේ මුළුතැන් ගෙය දෙසට ගමන් කිරීම ය. ඇය ළංවත් ම රේණු කෙළේ අපේ නියමුවරියට ජය වේවා යි කියමින් ප්‍රීතිඝෝෂා කිරීම ය.

“මන් කොහොම ද ළමයිනේ නියමුවරියක් වෙන්නෙ. ඔන්න ලොකු සර් මෙතන හිටියනං ඔය ප්‍රීති ඝෝෂාව ගැළපෙනවා.”

“මැඩම් අපි ගැළපෙන වැඩ මිසක් නොගැළපෙන වැඩ කරන්න‌ෙ නැහැ. අපරාදෙ කියන්න බැහැ අද දවසට ඕන කරන උත්තේජනය සපයන්න අවශ්‍ය කරන ජාතිත් මැඩම්ම ගෙනත් තියෙනවා අපිට. වණ්ඩු ආප්ප ද ඤාණකතා ද ටී බනිස් ද කෙසෙල් ද ඔක්කොම ගෙනත් තියෙනවා. මැඩම් ගෙනාපු ජාතිවලින් අපි මුලින් ම සංග්‍රහ කරන්නෙ මැඩම්ට ම තමයි. ඒකෙන් පස්සෙ අපි මැඩම්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට මැඩම්ට තියෙන්නෙ ඒකට මන් එකඟයි කියලා කැමැත්ත පළ කරන එක විතරයි. බොහොම සුළු වැඩක් මැඩම් කරන්න තියෙන්නෙ. එකඟයි කියන වචනෙ කියන්න විතරයි තියෙන්නෙ.”

“ඉතින් රේණු යෝජනාව මොකක් ද කියලා දන්නෙත් නැතුව මන් කොහොම ද එකග හරි එකග නැහැ හරි කියලා කියන්නෙ.”

“මෙහෙමනෙ මැඩම්, අපිට බුදු හාමුදුරුවො කියලා දීලා තියෙන්නෙත් බොහෝ දෙනාගෙ හිත පිණිස බොහෝ දෙනාගෙ සුව පිණිස වැඩ කරන්න කියලනෙ. මේකත් අන්න එහෙම බහුජන හිතාය, බහුජන සුඛාය ජාතියෙම වැඩක්.”

“හොඳයි හොඳයි එහෙනං ඔයගොල්ලොම ඔය තේ මේසෙ ලෑස්ති කරලා ඉන්නකො. ඊට පස්සෙ අපි බලමුකො ඔයගොල්ලො කියන බහුජන හිත බහුජන සුඛ වැඩේ මොකක් ද කියලා.”

“මැඩම්, මේකට තේ මේසෙ කියල විතරක් කියන්ඩ බැහැ. මොකද ඒකට අපේ සිරී සර් දහඩිය මහන්සියෙන් හදපු මඤ්ඤොක්කත් එකතු වෙන නිසා. ඒක නිසා මන් කැමතියි මේක නම් කරන්න Tea Table with Mayyokkas කියලා.”

“හරි හරි ඔයගොල්ලන්ට කැමති නමක් දාලා ඕක ලෑස්ති කරන්නකො. මන් ඇඟපත හෝදගෙන ගවුමක් දාගෙනම එන්නංකො ඔයගොල්ලන්ගෙ සාකච්ඡාවට.”

සිනාසී එසේ පැවසූ සුමනා ආචාර්යවරිය එතැනින් නික්ම ගියා ය.

රේණුගේ මූලිකත්වයෙන් අතුලගේ ගඟුල්ගේ සහ මිහිිදිනීගේ සහාය ඇතුව සකසා තිබුණේ සුවඳ හමන කෑම මේසයකි. සුදු පෝසිලේන් විසල් බඳුනක බහා තිබුණේ පදමට තම්බා ගන්නා ලද මයියොක්කා ය. ඊට අවැසි නිසි ලුණුමිරිස සැකසුණේ අතුල අතිනි. ගඟුල් ප්‍රමාණවත් පොල් බඳුනක් ගෙනැවිත් මය්යොක්කා බඳුන ළඟින් තැබුවේ එහි පාළුව නැසීමට මෙනි. සුමනා ආචාර්යවරිය ගෙනැවිත් තිබූ කෙසෙල්, තල, වණ්ඩු ආප්ප ආදිය ද මිහිදිනී ඊට එක් කිරීමෙන් පසු එතැන නිර්මාණය වී තිබුණේ කදිම තේ මේසයකි. එතැන තිබුණේ ආහාර පානාදිය පමණක් නොවේ. එහි ආදරය ද විය. සංග්‍රහයෙන් පසු පළමු ව කතාබහ ආරම්භ කෙළේ සුමනා ආචාර්යවරිය විසිනි.

“ඔයගොල්ල අද මෙහෙ ආවා කිව්වෙ මාත් එක්ක ලොකු දෙයක් කතා කරගන්න කියන බව මන් දන්නවා. ඒ උනාට මොකක් ද ඒ කාරණේ කියන එක නං මන් දන්නෙ නැහැ. රේණුගෙන් ඇහැව්වහම ඒක මැඩම්ට අද සුදුසුම වෙලාවෙදි අපි අතර ඉන්න සුදුසුම කෙනා ලව්වා ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි හිනාවෙවී කිව්වෙ. අපේ මහත්තය නං මොනවා හරි දන්න බව පේනවා. ඒ උනාට එයා මට ඉන්නෙත් අනේ සුමනා මන්නං මේ මොකුත් දන්නෙ නෑ කියන ගාණට. ඒ උනාට එයාගෙ මූණෙන් ම මට තේරෙනවා එයා ඔයගොල්ලො ආපු හේතුව දන්නව කියන එක. මොකද අපේ මහත්තයට තියෙන්නෙ හැඟීම් හංගන හිතක් නෙමේ, හැඟීම් පෙන්නන හිතක්. හරි කමක් නෑ දැන්වත් ඔයගොල්ල මට ආපු කාරණේ කියනවනං හොඳයි මාව තවත් බය කරන්නෙ නැතුව.”

මේ මොහොතේ සියලුදෙනාගේ දෑස් යොමු වූයේ තෙන්නකෝන් මහතා වෙත ය. එහි අරුත වටහා ගත් ඔහු සිය හඬ අවදි කෙළේ ය.

“සුමනා මන් දන්න සුමනා කියන්නෙ බය වෙන නෙමෙයි බය නැති කරන කෙනෙක්. අපි විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ කියන්නෙ මුළු රටේම බොහොම අවදානං දරුණු  කාලයක් කියන එක කියන එක මෙතන ඉන්න අයගෙන් අද්දැකීමෙන්ම දන්න එක්කෙනෙක් ඔයා. තව කෙනෙක් අපේ මේ සිරී. මමත් අයිති ඒ යුගේට. ඒ අවදානන් යුගේ ගොඩක් දෙනා තමන් කරන්න ඕන වගකීම් හිටන් පැහැර අරින කොට තමන්ගෙ ජීවිත අවදානම ගැන පවා නොතකා වැඩ කරපු චරිතවලින් ප්‍රධාන කෙනෙක් තමයි සුමනා ඔයා. අපි වීරයොයි කියලා හිතපු අයත් මග ඇරලා ගිය වෙලාවල පවා ඔයා ශිෂ්‍යයන්ට අවශ්‍යම කරන නායකත්වය බොහොම බුද්ධිමත් විදිහට ලබා දෙන්න ඉදිරිපත් උනා. මට ඒ ඉතිහාසෙ කවදාවත් අමතක නැහැ සුමනා. මොකද ඔයාගෙ ඒ අතීත නායකත්වෙ තිබිච්ච හැඩරුව ගැන මමත් ජීවමාන සාක්කියක් වෙච්ච නිසා. දැන් ඒ නායිකාව අපිට ආයෙත් අවශ්‍ය වෙලා තියෙනවා. නාගොල්ලාගම ඉස්කෝලෙට අවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒකටයි අපි අද ඔයාව හොයාගෙන ආවෙ.”

“ඉතින් තෙන්නකෝන් සර් නායකයෙක් අවශ්‍ය වෙන්නෙ නායකයෙක් නැති තැනට. මන් විතරක් නෙමෙයි මෙතන ඉන්න නැති කවුරුත් ඒකමතිකව පිළිගන්න දෙයක් තමයි අපේ ඉස්කෝලෙට හොඳම හොඳ නායකයෙක් ඉන්නව කියන එක. නැද්ද මන් කියන්නෙ.”

“ඒත් මැඩම් මැඩම් කිව්වා වගෙම හොඳම හොඳ ඒ නායකයා අපට ඉක්මණින් ම නැති වෙන්නයි යන්නෙ.”

“ඇයි රේණු අපේ ලොකු සර් ගම් පළාතෙ ඉස්කෝලෙකට මාරුවක් අරන් යන්නවත් හදිසි තීරණයක් අරන් ද? එහෙම නැත්තං කලාපෙන් මාරු කරල ද වෙන ඉස්කෝලෙක ප්‍රින්සිපල් කරලා. සර් මා එක්කම කියලා තියෙනවනෙ මන් මේ පළාතෙම ඉන්නව මිසක් වෙන දිහාවකට යන්නෙ නැහැ කියන එක.”

“මැඩම් කියපු විදිහට සර්නං ඉස්කෝලෙන් යන්න තීරණයක් අරන් නැහැ. කලාපෙන් මාරු කරන්න තීරණයක් අරන් කියන එකනං හරි. ඒත් ඒ වෙන ඉස්කෝලෙක විදුහල්පති හැටියට නං නෙමෙයි. ඒ වගෙම සර් මේ පළාතෙන් යන්නෙ නැහැ කියන එකත් හරි.”

සුමනා රේණු වෙත යොමු කළ ප්‍රශ්නයට එසේ පිළිතුරු ලබා දුන්නේ නදී ය.

“ඒ කියන්නෙ නදී සර්ගෙ තනතුරෙන් පල්ලෙහාට දාලා කරපු දඬුවම් මාරුවක් ද මේ. ඒක එහෙමනං ඒක වෙනස් කරගන්නෙ කොහොම ද කියන එකත් අපි දන්නවා.”

“අන්න බලන්න අපිට ඕන කරන නායිකාව මතු වෙන හැටි. ඒ කියන්නෙ තෙන්නකෝන් සර් අපි ගත්ත තීරණේ හරි.”

“මොකක් ද රේණු අපි ගත්ත තීරණේ කියන්නෙ.”

“සර් ම පැහැදිලි කරලා දෙනවනං හොඳයි අපේ මැඩම්ට දැන් ඇතිවෙලා තියෙන තත්වෙ.”

“මේකයි සුමනා අපේ ලොකු සර්ව මාරු කරලා තියෙන එක ඇත්ත. ඒත් ඒක දඬුවමක් නෙමෙයි උසස් වීමක්. මන් කෙළින්ම කියන්නං කාරණේ. සර්ට උසස් වීමක්. සර් අපේ ඉස්කෝලෙන් යන්නෙ අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමා හැටියට උසස් වීමක් ලබලා. හැබැයි මුලින් ඒකට එතුමා කැමති උනේම නැහැ. හැබැයි පළාත් අධ්‍යක්ෂතුමිය, කලාප අධ්‍යක්ෂතුමා වගෙම ළඟදි විශ්‍රාම යන්න ඉන්න අපේ කොට්ඨාස අධ්‍යක්ෂතුමිය දිගින් දිගටම කරපු ඉල්ලීම් අනුව සර්ට ඒකට එකඟ වෙන්න උනා. ලොකු සර් පළාත් කාර්යාලෙට ගියේ මාත් එක්ක. ඇත්තම කියන්න සුමනා මන් කළෙත් ඒ තුන්දෙනාගෙ අදහසට එකඟ වෙන එක. ඔය තනතුර මට නෙමෙයි වෙන සුදුස්සෙකුට දෙන්න කියලා ඒකට විරුද්ධව කතා කළේ ඉතින් අපේ ලොකු සර් විතරයි. මට මතකයි ඒ වෙලාවෙ පළාත් අධ්‍යක්ෂතුමිය දුන්න උත්තරේ. අපි වෙන කෙනෙක් ගැන හිතලා තිබුණනං ඒ කෙනාව මේ සාකච්ඡාවට ගෙන්නනවා මිසක් ඔබතුමා ගෙන්නන්නෙ නැහැනෙ කිව්වා. ඒ වගෙම විදුහල්පතිතුමා මේක මගෙ විතරක් නෙමෙයි කලාප අධ්‍යක්ෂතුමා වගෙම කොට්ඨාස අධ්‍යක්ෂතුමියගෙත් ඉල්ලීමක්. ඔබතුමාගෙ වටිනා සේවය දැන් ඉතින් එක ඉස්කෝලෙකට සීමා නොකර මුළු කොට්ඨාසෙටම ලබා දෙන්න ඕන වෙලාවක් මේක. තව මාස තුනකින් මෙතුමිය විශ්‍රාම යන්න නියමිතයි. එතුමිය කිව්වෙ මට සැනසිල්ලෙ යන්න පුළවන් වෙන්නෙ නාගොල්ලාගම විදුහල්පතිතුමා මේකට පත් කළොත් කියන කාරණේ. මේකට බැහැ කියන්න එපා විදුහල්පතිතුමා. දැන් බලන්න මේ ඇවිල්ල ඉන්න ඔබතුමාගෙම නියෝජ්‍ය විදුහල්පතිතුමා කියන්නෙත් ඔබතුමා මේක බාර ගන්න ඕනෙයි කියන කාරණේ. ඔන්න ඔහොමයි සුමනා වැඩ සිද්ද උනේ.”

“තත්වෙ ඕකනං අපිට ඕකට විරුද්ද වෙන්න බැහැ තමයි. මොකද සර් මෙහෙන් යන්නෙ තමන්ගෙ සේවෙ තිබුණටත් ගොඩක් වැඩියෙන් කරන්න පුළුවන් තනතුරකට නිසා. ඒක නිසා අපිට දැන් තියෙන්නෙ මුලින්ම අපේ ලොකු සර්ට සුබ පතලා ඊට පස්සෙ අපේ නායකත්වෙට සුදුසු කෙනෙක් පත් කරගන්න එක.”

“අන්න අපේ මැඩම්ගෙන්ම කියවුණා වෙන්න ඕන දේ. අපි ලොකු සර්ට සුබ පතලා ඉස්සරහට නායකයෙක් වෙනුවට නායිකාවක් පත් කර ගම්මු.”

ඇයි රේණු නායිකාවක්, අපේ තෙන්නකෝන් සර් හොඳයිනෙ ඒකට. කොහොමටත් සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිනෙ.”

“ඇයි මැඩම්ට අමතක උනාද අපේ ඉස්කෝලෙට තවත් නියෝජ්‍ය විදුහල්පති තනතුරක් තියෙන එක ගැන. ඒ තනතුරම දරන අනිත් කෙනා මැඩම්නෙ. අපි ඒ දෙන්නගෙන් කවුරු විදුහල්පති තනතුරට ආවත් කැමතියි. හැබැයි තෙන්නකෝන් සර් කියන හැටියටත් මේ වෙන කොට අධ්‍යාපන කාර්යාලයට අපේ සර්ලා කරුණු දක්වලා තියෙන හැටියටත් මැඩම්ටම තමයි ඒක බාර ගන්න වෙන්නෙ.”

“ඒක හරි කතාවක්නෙ මගෙ කැමැත්ත අකැමැත්ත අහන්නෙත් නැතුව කොහොම ද රේණු එහෙම පත්වීම් කරන්නෙ.”

“හැබැයි මට හිතෙන හැටියට ඒක හරි කතාවක් තමයි. මන් හිතන්නෙ යම් කෙනෙක් යම් තනතුරකට සුදුසු නං එයා කැමති උනත් අකමැති උනත් එයාවම තමයි පත් කරන්න ඕනෙ. මැඩම් මන් කියන දේට එකඟ ද නැද්ද කියන්න මන් දන්නෙ නැහැ. හැබැයි අපේ ලොකු සර්රුයි  තෙන්නකෝන් සර්රුයි දෙන්නම මේ වෙන කොට මැඩම්ගෙ නම යෝජනා කරලා කලාපෙන් අනුමත් වෙලත් තියෙන එක තමයි අපි දන්න ඇත්ත.”

“ඒක පුදුම කතාවක්නෙ. බලන්ඩකො අපේ මහත්තයා අපේ සර්ලා මටත් හොරෙන් කරලා තියෙන වැඩේ. ඔයාවත් පැහැදිලි කරලා දුන්නෙ නැද්ද මේ තෙන්නකෝන් මහත්තයට මට වඩා එයා නේද මේකට සුදුසු කියන කාරණේ.”

“අනේ සුමනා මන් පැහැදිලි කළා. ඒ උනාට මේ කණ්ඩායම කලින් කතාවෙලා තීරණයකට ඇවිල්ල තියෙන්නෙ ඔයාට ම මේක බාරගන්න කියන්න. ඉතින් මන් මොකද කරන්නෙ. මේක ඔයගොල්ලන්ගෙ ඉස්කෝලෙ ප්‍රශ්නයක්නෙ.”

“රේණු බලන්ඩකො අනේ වෙන තැන්වල තමන්ට තනතුර ගන්න මිනිස්සු ගහමරා ගන්නවා. මෙතන තනතුරට උපරිම සුදුසුකම් තියෙන දෙන්න මන් නෙමෙයි ඔයයි සුදුසු කියලා රණ්ඩු වෙනවා.”

“නදී අක්කෙ, ඕවට අපි කියන්නෙ ආදරය නිසා අනිත් කෙනා ගැන තියෙන තැකීම නිසා ඇතිවන ස්නේහ කලහ කියලයි. කොහොම උනත් මේ රණ්ඩුවෙන් අපේ සුමනා මැඩම් පරාද වෙලා විදුහල්පති තනතුර ගන්නම වෙනවා. ඕන්නං අපි විහිලුවට වගේ ඡන්දයක් තියලා බලමු ද?”

“මොකක් කියල ද ඡන්දෙ තියන්නෙ. කවුද ගඟුල් ඡන්ද දායකයො වෙන්නෙ.”

“වෙන මොකක්වත් නෙමෙයි අපේ සුමනා මැඩම් මේ තනතුර බාරගන්න ඕනෙ ද නැද්ද කියන එකටයි ඡන්දෙ තියන්නෙ. දැනට ඡන්ද දායකයො වෙන්නෙ මේ ඉන්න අපිම තමයි. සුමනා මැඩම්ටත් එක ඡන්දයක් තියෙනවා.”

ගඟුල් එසේ පැවසුවේ සිනාසෙමිනි.

කවටකමට මෙන් තැබූ මේ ඡන්දයේදී සුමනා ආචාර්යවරිය විදුහල්පතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ ව තෙන්නකෝන් මහතා ඇතුළු එහි පැමිණ සිටි තරුණ ගුරු මණ්ඩලයේ ඡන්ද සියල්ල ද සුමනාවන්ගේ ස්වාමියාගේ ඡන්දය ද ලැබී තිබූ අතර ඊට විපක්ෂ ව තිබුණේ එකම එක ඡන්දයකි. ඒ තමා තමාට එරෙහි වෙමින් සුමනා විසින් භාවිත කළ ඡන්දය යි. රේණු, නදී, මිහිදිනි, අතුල සහ ගඟුල්ගේ ප්‍රීති ඝෝෂා ද තෙන්නකෝන්, සිරී යන ගුරු භවතුන් දෙදෙනාගේ සිනහ වත් ද ඒ තීරණය අනුමත කරද්දී සුමනාවනට සිදු වූයේ නිහඬ ව ඊට අනුමැතිය දීමට ය. ඒ නිහැඬියාව බිඳ දමමින් අනතුරුව කතා කෙළේ ද සුමනා ය.

“බැලුවහම මට මගෙ මහත්තයගෙ ඡන්දෙවත් නැහැනෙ. හැබැයි ඉස්කෝලෙ කියන්නෙ මෙතන ඉන්න ගුරුවරුන් කීපදෙනාට විතරක් නෙමෙයි. ඒ ඔක්කමගෙ තීරණෙත් මේකම උනොත් මන් බාරගන්නම්. කොහොම උනත් මගෙ හිතටනං ලොකු බරක් තමයි දැනෙන්නෙ.”

“සුමනා අපේ ඉස්කෝලෙ කිසි කෙනෙක් ඔයාට විරුද්ද වෙන්නෙ නැහැ කියන එක අපට ස්ථිරයි. අපි අපි කතා කරපු වෙලාවෙ ඇයි ඔයාව මේකට සුදුසු වෙන්නෙ කියන කාරණාව ගැන හරි ලස්සන කරුණු කීපයක් කිව්වා. මුලින් මට බාර ගන්න කියලා කියපු නදිත් අන්තිමට ආපු ආපු තැනයි ඔයා ගැන කරපු විග්‍රහයයි මට මතක් කරලා දුන්නෙ මන් ඔයා ගැන පළාත් අධ්‍යාපන කාර්යාලෙදි ඒ බලධාරීන් ඉස්සරහ කියපු දේවල් මේ අලුත් පරම්පරාව කොයිතරන් හොඳට කොයි තරන් දැනෙන විදිහට පැහැදිලි කරනව ද කියන එක. ඒ විතරක් නෙමෙයි මේ පරම්පරාව කොයි තරන් සැලකිල්ලකින් අපේ පරම්පරාව කියෙව්ව ද කියන එක. නදී මන් කැමතියි දුව ඔයා ඒ කියපු දේවල් අපේ මේ සුමනා මැඩම් ඉන්න තැනත් ඒ විදිහටම කියනවනං.”

“ඇත්තටම සර් ඒක මගෙ විතරක් නෙමෙයි අපි ඔක්කොම සුමනා මැඩම්ව දකින විදිහ. මන් දැන් කරන්නෙ මෙතන ඉන්න නොඉන්න ඔක්කොම වෙනුවෙන් අපේ මැඩම් ගැන අපිට දැනිච්ච දැනෙන විදිහ කියන එක.”

මේ මොහොතේ එතැනට කවුරුන් හෝ පැමිණිය ද ඒ කාට වුව දැක ගන්නට ලැබෙන්නේ නදී ආචාර්වයවරියට සාවධාන ව සවන් දෙන ගුරු පර්ෂදය යි.

“පළවෙනි කාරණේ තමයි සුමනා මැඩම් කියන්නේ ගුරුවරුයි ශිෂ්‍යයොයි ගමයි අධ්‍යාපන කාර්යාලෙයි කියන මේ ඔක්කොම එකතු කරන පාලමක් වීම. ඒ වගෙම අපි මැඩම්ගෙ දකින අනිත් විශේෂත්වෙ තමයි යම් වැඩක් පටන් ගත්තොත් ඒක සාර්ථක නිමාවකට පත් කරගන්නකන් ඒ වැඩේ අත් නොහැරීම. ඒ විතරක් නෙමෙයි කරන කිසිම වැඩකින් තමන්ගෙ නම ඉස්මතු කරලා පෙන්නන්නත් මැඩම් කිසි දවසක වැඩ කරලා නැහැ. ඔය විශේෂත්වෙ ගැන ලොකු සර් අපි එක්කත් බොහොම ගෞරවයකින් කතා කරලා තියෙනවා. ඒ වගෙම මැඩම් කියන්නෙ ඔය තනතුර විතරක් නෙමෙයි ඊට වඩා උසස් තනතුරක් උනත් දරන්න සුදුසු දැනුමකින් සන්නද්ධ කෙනෙක්. ඒ විතරක් ද සිංහල, ඉංග්‍රීසි දෙකෙන් විතරක් නෙමෙයි දෙමළෙනුත් මැඩම්ට කතා කරන්න පුළුවන්. ඒකත් නායකයෙකුට හරි නායිකාවකට බොහොම ප්‍රයෝජනවත්. ඒ වගෙම මැඩම්ගෙ ආදි ශිෂ්‍යයො කීප දෙනෙක් මේ ඉස්කෝලෙත් උගන්නනවා. මේ වටපිටාවෙම තවත් ඉස්කෝලවලත් උගන්නනවා. ඒ විතරක් නෙමෙයි මැඩම්ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයො අද රජයේ නොයෙක් තනතුරුවලටත් පත්වෙලා තියෙනවා. අපි පහුගිය දවස්වල දැකපු දෙයක් තමයි ඒ සම්බන්ධකන් මේ ඉස්සරහට පවත්තන්න තියෙන අපේ ක්‍රීඩා උත්සවේ සාර්ථක  කරගන්නත් පාවිච්චි කළා කියන එක. ඒකට මට වඩා සාක්කි දරාවි අපේ අතුල. ඒ වගෙම ඔබතුමිය ඒ සම්බන්ධකම් පොදු දේකට මිස තමන්ගෙ පෞද්ගලික වැඩ කරගන්න කවදාවත් පාවිච්චි නොකරපු බවත් නොකරන බවත් අපි හොඳාකාරව දන්නවා. අනේ මැඩම් මේ වෙලාවෙ ඉස්කෝලෙ බාරගෙන අපට නායකත්වෙ දෙන්න මැඩම්. පැරෂුට්වලින් මේකට පනින්න බලන් ඉන්න කාටවත් ඉඩ තියන්න එපා මැඩම්.”

නදීගේ මේ ප්‍රකාශයෙන් පසු කිසියම් වෙලාවක් පූර්ණ නිහඬතාවක ගිලී පැවතිණ. අවසන ඒ නිහැඬියාව බිඳ කතා කෙළේ සුමනාවන්ගේ සමකාලීන සරසවි සහෘදය තෙන්නකෝන් මහතා ය.

“සිරී, ඔයාගෙ මේ ආදරණීය බිරිඳ ඒ වගෙම මගෙ සමකාලීන සරසවි මිතුරිය ගැන මේ අලුත් පරම්පරාවෙ කෙල්ල කියපු හැම දෙයක් ම එක වචනයක් නෑර මන් අනුමත කරනවා. සිරි ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන් එයාගෙ ස්වාමියා හැටියට මේ වෙලාවෙ. මේ සිරී අලුත් පරම්පරාව වැඩිහිටි පරම්පරාවට දෙන්න පුළුවන් ලොකුම චරිත සහතිකයක් තමයි අපේ සුමනට දුන්නෙ. මේ පරම්පරාව එහෙම ලේසියෙන් කෙනෙකුට චරිත සහතික දෙන්නෙ නැහැ සිරී.”

තෙන්නකෝන් මහතාගේ මේ ප්‍රකාශයත් සමග කඳුළු නැඟී තිබුණේ සිරී සුමනා යන ඒ පරිණත දම්පතීන්ගේ දෑස්වලට පමණක් නොවේ. ඒ මොහොතේ එතැන සිටි සමස්ත ගුරු පර්ෂදයේ දෑස් කඳුළින් තෙත් ව තිබිණ.

Friday, May 17, 2024

98. නිය මත පිනි..)



වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත් නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..

⁣කොහොම හරි අද හැන්දෑවරුවෙ ලා පොද අස්සෙ ගෙට ගොඩවැදුණු වැහි දැරිවි ගෙඋයනේ තුරු යට ඇවිද්⁣දෙ ගහේ බඳ වටේයි, වැහිදරුවා පත් තුඩු කියා කියන දළු අග්ගිස්සෙයි එතිලා තියෙන ඇබින්දන් වැහි බින්දු නිය මත තියාන සමබර කරන්න හදන අතරෙ.. නිය ආලේපන ගාලා කැත කරන්න ආසා නැති නියපොතු උඩින් වැහි බින්දු රූටලා යද්දි ඒක පෙනුණෙ හරියට දිලිසෙන නිය ආලේපනයක් ගාලා වගෙයි..

'ආභරණ ගන්නවුන්ට සිල් නමැති ආභරණයට වඩා ආභරණයක්ද නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නමැති සුවඳට වඩා සුවඳකුත් නැත..'

කියලා අම්මා කුඩා කාලෙ වැහි දැරිවිට ඇහෙන්න සද්ධර්මරත්නාවලියෙන් කියවපු කොටසක් මතක් වෙනවා හැමදාම ඔය අලේපන, ආභරණ,විච්චූරණ ජාති ගැන කතාවක් ඇදෙද්දි. 

සමහර කාන්තාවො 'හානේ.. කන විදලා නෑනෙ' කියලා බය බිරාන්ත වෙද්දි හැමදාක ඒ කතාව මතක් වුණත් වැහිදැරිවි ඒක නොකියා කන නොවිදීමේ අතීත කතාව විතරයි කියන්නෙ. 

සද්ධර්මරත්නාවලියෙ කතාව නිතර නොකියන්නෙ ඒ කතාවෙන් ආභරණ නොලන්නන් සිල්වත්ය,අන් අය දුසිල්වත්ය කියා වැරදි වැටහීමක් ඒක අහන අබරණ ලන ඇත්තෝ ගම්‍ය කරගනීය කියා හිතලයි. මොකද වැහි දැරිවි ඒ කතාවෙ එන සීලය දකින්නෙ හුදු සිල්වත් බවක් යන තැනකින් එහා ගිහිනුයි. එහි සීලය යැයි අදහස් කරන්නෙ යහපත කියලයි දැනෙන්නෙ වැහි දැරියට. ඉතින් යහපත සියල්ලට වඩා සුන්දරයි කියන එක වැනි සරල සුන්දර සත්තාවක් විකෘතියකින් භාර ගන්නවට වැහි දැරිවිගෙ ඇති අකැමැත්ත නිසයි, දිගු සාකච්ඡාවක් කළ හැකි මොහොතක මිසක කෙටි සංවාදවලදි ඒ සද් වාක්‍යය මතු කරනොගන්නෙ..

ඉතින් අර කියන්න ගිය අතීත කතාවෙ ඉන්නෙ වැහි ළදැරියට රිදේ යැයි, කන විදීම නොකළ යුත්තක් ලෙස තීරණය කළ තරුණ තාත්තෙක්. කොල්ලන්ට නොකරන කෙල්ලන්ට පමණක් කරන ඒ චාරිත්‍රය තමන්ගේ දියණියට අවැසි නැති බවත් - ලොකුවුණාම කන බැරි නම් නහය හරි විදගනීවි යැයි හිතූ නිර්භීත මව් යුවතියක්.

අතීතයත් වර්තමානයත් යා කරන මැද  තැනක හිටගෙන ඉන්නේ, ආභරණ නයාට අඳුකොළ මෙන් වූද - කන නොවිද පැළඳිය හැකි ආභරණ ගැන අනේකවිධ යෝජනා පිළිකෙව් කළා වූද, වැහිදැරියක්.

වර්තමාන කතාවෙ ඉන්නෙ නොවිදපු කන්පෙතිවලට කොඳුරන, කන මත්තෙ රිද්දන්න කිසිවක් නැති නිසා, බයක් නැතුව කන්පෙති සිපගන්න, නිය ආලේපන නොගෑ අතැඟිලි අස්සෙ කුඩා කවි කෑලි තියන තරුණයෙක්. 

ඉතින් ඔය අතීත කථාවත් වර්තමාන කථාවත් අතරෙ ජීවත් වෙන වැහි දැරියට, ආභරණාදිය ගැන විමසුම්වලදී, සද්ධර්මරත්නාවලියේ තිබුණු ඒ  වාක්‍යය ගාථා පාඨයක්ව හදේ කොතැනකද රැඳී තිබිලා.. හද මතුපිට ඇඳී යනවා දැනීම සාමාන්‍යයක්. ඒත් පිනි බින්දු ගැන ලියන්න ගත්ත සටහන සද්ධමරත්නාවලියෙන් කෙළවර වීම නම් හිතේ කොතැනකටත් නොතිබුණ අහම්බයක්..