Tuesday, January 24, 2017

47. උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක් ය..!

පැංචා තමා අපේ ගෙදරට ආපු පළවෙනි පූසා. පැංචාගෙ අම්මා එයාව අපේ ගෙදර මැද මිදුලේ වෙරළු ගහ ගාව ‍ගෙනත් දාලා හිටියේ. මායි සුදු අම්මයි මැජික් බලනවා වාගෙ එයා ගාවට ගිහින් බලන කොට ජිල් බෝල ඇස් දෙකයි රෝස කටයි උල් කරගෙන පුංචියට පුංචියේ එයා අපි දිහා බලා උන්නා. 

ඒ හරියට ම අවුරුදු හයකට ඉස්සර..!!

ඉපදිලා මාස දෙක තුනක් යන තුරු එයාට මැද මිදුලේ ඉඳන් ගේ ඇතුළට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එක වැහි දවසක තමා එයා මුලින් ම ගෙදරට ගොඩ වැදුණේ. තාම මට මතකයි ගෙයි පිටිපස්සේ තිබුණ ටයර් එකක් ඇතුළේ ගුලි වෙලා බය පිරිච්ච ඇස්වලින් අපි දිහා බලන් උන්නු හැටි. පැංචා ගැන මගේ හිතේ මුලින් ම ආදරයක් ඉපදුණේ ඒ දවසෙයි..

ඒත් පැංචා ගේ ඇතුළට එනවට වැහි දැරිවිගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. වැහි දැරිවි පුංචි කාලෙ ඉඳලා තිබුණ බරපතළ සෙම් අමාරුව නිසා ගෙදර පූසෝ බල්ලෝ නොහදන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තිබීම තමා ඒ අකැමැත්තට හේතු වුණේ. ඒත් වැහි දැරිවිගේත් සුදු අම්මාගේත් බලවත් ඉල්ලීම පිට පැංචා ව නවත්වගන්න අම්මා කැමති වුණා. ඒත් එක කොන්දේසියක් තිබුණා. ඒ වැහි දැරිවිට පූසාව ඇල්ලීම - සිපගැනීම සහ කාමරයට ගැනීම යන කාරණා සියල්ල තහනම් කියන කොන්දේසිය.

ඉතින් හැමදාමත් මං පැංචාට ආදරේ කළේ දුර ඉඳන්. ඒත් ළඟ තියාගෙන ආදරේ කළාට වැඩි ගැඹුරු ආදරයක් මගේ හිතේ පැංචා ගැනත්, ඉන් පස්සෙ අපේ ගෙදර පදිංචියට ආව පැංචියෝ දෙන්නා ගැනත් තිබුණා. 

ඒත් කාමරේට එන්නෙපා කියලා අම්මා දාපු කොන්දේසිය තේරුම් ගන්න පැංචාට බැරි වුණා. මං නැගිටින්න පරක්කු වෙච්ච දවසට පැංචා කාමරේට ඇවිල්ලා මගෙ ඇඳ ගාව වාඩි වෙලා අතින් ගහමින් මාව ඇහැරවනවා. එක දවසක් මේ කම්මැලි කෙල්ලව ඇහැරවන්න බැරි ම තැන පැංචා නෙට් එකේ අත පටලවලා කකුල හූරලා තිබුණා. ඒක නම් කෙළවර වුණේ වැහි දැරිවිට පිටගැස්ම එන්නතත් විදලයි. තාත්තා එදා පැංචා ගැන කේන්ති ගත්තත් කල් ගත වෙද්දි පැංචාගෙ බහුබූත විකාර වැඩවලට තාත්තාත් පුරුදු වුණා. 

මගේ පුංචි අම්මා, එයාගෙයි මගෙයි දෙන්නාගෙම සුදු අම්මා ගැන එයාට තිබුණා මහා විසාල ආදරයක්. සමහර දවසට සුදු අම්මාගෙ ඇඳට පැනලා එයාට තුරුළු වෙලා නිදාගන්නත්, සුදුඅම්මා පුටුවක වාඩි වෙලා හිටියොත් පුටු ඇන්ද දිගේ නැගලා ඇවිත් උරහිස් වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් සුදුඅම්මාව බදාගන්නත් පැංචා පුරුදු වෙලා හිටියා.

කාලයත් එක්ක පැංචා ටිකෙන් ටික ලොකු වුණා. අවුරුද්දක් විතර පිරිලා එයා පළාතේ ම ඉන්න කඩවසම් ම පූසා වුණාට පස්සෙ එයාව ගෙදර තියාගන්න හරි ම අපහසු වුණා. අවට හැම ගෙදරක ම පැංචාට පෙම්වතියෝ උන්නා. ඒ හින්දා ගෙදර එන එක ටික ටික අඩු වුණත් අඩු ම තරමෙ සතියකට සැරයක්වත් ගෙදරට ඇවිල්ලා හැම කාමරේක ම ඇවිදලා රවුමක් ගහලා එන්න පැංචා කවදාවත් අමතක කළේ නෑ. ඉස්සර වගේ පිච්ච වැල උඩ නැගගෙන විකාර කරන්නත්, කඩදාසි බෝලවලින් අපි එක්ක සෙල්ලම් කරන්නත් කම්මැලි වුණාට ගෙදර එන හැම දවසක ම එයා අපි ගාවට ඇවිත් සද්දෙ නෑහෙන්න කතා කරලා ගියා.

මං මේ ජීවිත කාලෙදි දැක්ක වැදගත් ම පූසා තමයි පැංචා. එයා කවදාවත් හොරෙන් කෑවේ නෑ. කොයි තරම් ආස කෑමක් වුණත්-හොරෙන් කන්න පුළුවන්කම තියෙද්දිත් කිසිම දවසක ඒ වගේ වැඩ එයා ළඟ තිබුණේ නෑ. පොල් ගාන කොට ළඟට ඇවිල්ලා හිරමණේ වටේ කැරකුණා මිසක කිසිම දවසක හිරමණේ ඉව කළේවත් නෑ. අසනීපයක් වුණත් ළඟට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සද්දේ නෑහෙන්න ඇඬුවා මිස පැංචා කවදාවත් අපිට කරදරයක් කරපු පූසෙක් නෙමෙයි..

ඒ වගේ ම පැංචා ගාව තිබුණේ සමහරක් මිනිස්සු ගාවවත් නැති තරම් යහපත් ගතිගුණ. ලේඩීස් ෆස්ට් කියන තියරිය ඉතාම වගකීමෙන් පිළිපැදපු පූසෙක් තමා පැංචා. කට්ටියට ම එකට කන්න දෙද්දී පූසියෝ දෙන්නා කාලා ඉවර වෙන තුරු පැංචා කවදාවත් කෑම කෑවේ නෑ. මං දන්න සමහර ගෙවල්වල පිරිමි අය කාලා ඉවර වුණාට පස්සෙ ඉතුරු වෙන ටිකයි ගැහැණු අය කන්නෙ. එහෙම පිරිමි දැක්කාම මට පැංචා ව මතක් වෙන එක ඇත්තටම වළක්වන්න බැහැ. 

ඔව්.. ඇත්තට ම පැංචා හරි ම වැදගත් මහත්මයෙක්. මහත්මා ගතිගුණ තිබුණ පූසෙක්. සංසාරයේ කොහේ හරි අත් වැරැද්දකින් මනුසත් භාවය මග හැරුණු..!

                                 ************************

මේ ඊයේ පෙරේදා දවසක පැංචා මගේ සපත්තු දෙකක් උඩ නිදාගන උන්නා. ඒත් වෙනදා විදියට නෙවෙයි. එයාගෙ සිරුර අප්‍රාණික වෙලා. හුස්ම ගන්නෙත් හය්යෙන්. 

ඉඳලා හිටලා ලෙඩ වෙලා, තුවාල හදාගෙන අසනීප වෙන පැංචාව සනීප කරන ඩොක්ටර්ස්ලා දෙන්නා ම හිටියේ නැහැ. බලාගෙන ඉන්න බය හිතුණ නිසා සුදු අම්මයි මායි ඉක්මණට ම පැංචා ව අරගෙන ළඟ ම තිබුණ සත්ත්ව රෝහලකට ගියා. ඉන්ජෙක්ෂන්ස් කීපයක් එක්ක - පූසාට සේලයින් දුන්නත් ඒ වෛද්‍යවරයා ඒ් ටික කළේ කිසිම කරුණාවකින් නෙමෙයි. කැනියුලා එක ගහපු අත පැංචා වේදනාවෙන් හංගාගනිද්දි ඒ වෛද්‍යවරයා සතාට රිද්දවමින් අත ඇදලා අරගෙන සේලයින් දුන්නා. සත්තුන්ට බෙහෙත් කිරීම මිනිස්සුන්ට බෙහෙත් කිරීමටත් වඩා කරුණාවකින් කරන්න ඕන වග, සත්තු කියන්නේ කතා කරන්න බැරි - තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරන්න බැරි අසරණ ජීවි කොට්ටාසයක් වග ඒ වෛද්‍යවරයා ඇතැම් විට ඉගෙන ගෙන නැති ව ඇති. අසනීපෙක දී අනිත් වෛද්‍යවරියත්, වෛද්‍යවරයාත් පූසන්ට සේලයින් දෙන්නෙ උන් ව අත ගගා - හුරතල් කරමින්. කැනියුලා එක ගහපු අත සේලයින් දීලා ඉවර වෙන තුරු ඔවුන් දෙන්නා අත ගානවා. කිසිම දවසක පැංචා ඔවුන් සේලයින් දෙද්දි දඟලලා නැහැ. ඒත් එදා පැංචා ව අර වෛද්‍යවරයා ගාවට ගෙන ගිය එකෙන් මං සත්ත්ව කරුණාව ගැන විසාල පාඩමක් ඉගෙනගත්තා. 

ඉන් පස්සේ අපේ හුරුපුරුදු වෛද්‍යවරයෙක් ගාවට පැංචා ව අරන් යන්න පුළුවන් වුණා. වෙනදාට කූඩයක දාලා මිසක පැංචා ව අරගෙන යන්න බැහැ. වාහනේට දාගත්ත ගමන් එයා වාහනෙන් පැනලා දුවන්න හදනවා. ඒත් එදා එයා සුදුඅම්මාගෙ අතේ ගුලි වෙලා - ඇබින්දක්වත් දඟලන්නේ නැතුව ගිය විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නැති වෙයි.

"ඔච්චර හොඳ වෙන්නෙපා පැංචෝ. එතකොට ඔයා පැංචා නෙමේ වගේ. ටිකක් දඟට ඉන්න කොට තමා පැංචා ගතිය තියෙන්නෙ."

එහෙම කිව්වට පැංචා ඒක ඇහුවේ නෑ. කවදාවත් නැති විදියට සන්සුන් ව සුදු අම්මාට තුරුලු වෙලා ඉස්පිරිතාලෙ ගියා.

ගියපු ගමන් පැංචා ව සැත්කම් මේසේ උඩින් තියලා ඩොක්ටර් අක්කා එයා ව පරීක්ෂා කළා. පැංචාට වැළඳිලා තියෙන්නෙ මේ දවස්වල රට පුරා ම පූසන්ට - බල්ලන්ට වැළඳිලා තියෙන උණ රෝගය. ඒ රෝගයෙන් යාලු මිත්‍රයන් කීප දෙනෙක්ගෙම හුරතල්ලු අවසන් ගමන් ගිය බව මතක් වෙලා පැංචාව අල්ලන් හිටපු මගේ අත වෙව්ලන්න පටන් ගත්තා. ඒත් ඩොක්ටර් අක්කා පැංචාව ආදරෙන් අත ගගා එයාට සේලයින් දෙද්දී එයාට ආපහු පණ ආවා. ඉන්පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා, බොන්න බෙහෙතුත් ලියා දුන්නාට පස්සෙ එයාට දියර ජාති බොන්න දීලා ආදරෙන් බලාගන්න කියපු ඩොක්ටර්ගේ ස්වරය වැහි දැරිවිට ඇහුණේ අනතුරු ඇඟවීමක් වගෙයි..

සේලයින් බලේට වෙන්න ඇති, පැංචා දවසක් හොඳින් ම උන්නා. ඒත් ආයෙත් ඊළඟ දවසෙදි නපුරු උණ රෝගය පැංචා ව තදබල විදියට දුර්වල කළා. ඒත් ඒ තරම් දුර්වලව ඉද්දිත් ගේ ඇතුළ අපිරිසිදු වෙනවට පැංචා කැමති වුණේ නෑ. වුවමනාවක් වුණ ගමන් අමාරුවෙන් වැටි වැටී එයා එළියට යන්න උත්සාහ කරන අන්දම තමයි අපි හැමෝටම දරාගන්න අපහසු ම දර්ශනය වුණේ. එයා මිදුල කියලා හිතාගෙන සිමෙන්ති පොළොව හාරන්න උත්සාහ කරන විදිය බලාගෙන ඉන්න බැරුව එක පාරක් වැහි දැරිවිට කෑ ගහලා ඇඬුණා. ඉන් පස්සෙ පැංචා.. ඔයා හාරන්න එපා.අපි අයින් කරන්නම් කියලා කිව්වාම ඒක තේරුණා වාගෙ එයා පැත්තකට ගිහින් මුල්ලක නිදියාගත්තා.

ඉන් පස්සෙ ආයෙ බය වීම්.. ඇමතීම්.. තත්පර පහක් තුළ සැරසීම්.. වෙනදට තොරතෝංචියක් නැතුව මොනවා හරි කතා කරන සුදුඅම්මාත් වැසි දැරියත් නිහඬ ව.. පැංචාත් එක්ක ත්‍රීරෝද රියක් ඇතුළෙ..

"මට බොරු කියන්න බෑ. බලාපොරොත්තු තියාගන්නෙපා. දැන් එන්ඩ් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නෙ.."

එදා ඩොක්ටර් අය්යාගෙ වචන මට ඇහුණේ ඈත ලෝකෙකින් වගේ. පැංචාගෙ වෛද්‍ය වාර්තා පොත ඉල්ලගන්න මං දිහාට හැරුණු ඔහු මගෙ ඇස්වල තිබුණු කඳුළු දැකලා කියන්න ගියපු කතාව ආපහු ගිලගත්තා.

"දවස් පහකින් එයා වැඩේ අල්ලගත්තොත් එක්කන් එන්න නංගි."

ඒත් ඔහු එහෙම කිව්වෙ බොරුවට වග මං ඒ මොහොතෙත් දැනං හිටියා. කෙනෙක්ගේ හිත හදන්න කියන බොරුවක තිත්ත ස්වරයයි ඔහුගේ කටහඬේ තිබුණේ. 

ලේසියෙන් කඳුළක් එන්නෙ නැති වැහි දැරිවිගේ ඇස්වලින් එන මග දිගට කඳුළු කඩා හැලුණා. 

අද උදේ වෙද්දි වෙට් අය්යා දුන්න දවස් පහෙන් එක දවසක් ගෙවිලා ඉවරයි. උදා වෙන්නේ දෙවෙනි දවස. පැංචාගෙ අසරණ මුහුණ දැක දැක බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා දැනෙද්දිත් මං මෝඩයෙක් වගේ පැංචා ජීවත් වේවි කියන බලාපොරොත්තුවේ එල්ලිලා ම හිටියා. අද එයාට එළිමහන් තැනක ඉන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් එයාව එළිමහනේ තියාගෙන - ඒ ළඟින් ම පුටුවක් තියාගෙන මැස්සෝ එළවමින් මං එයාට තනි රැක්කා. හවස් යාමේ පැංචාට බෙහෙතක් අරන් එන්න තාත්තා එක්ක එළියට බහින මොහොතෙත් එයාව තනියම ගෙදර දාලා යන්න මහ බයක් වගේ එකක් මගෙ හිත කොණක තිබුණා. 

ආපහු එද්දී අම්මා පැංචා ව ගේ ඇතුළට අරගෙන එයා ව පුංචි බබෙක් වගේ රෙද්දකින් ඔතලා තිබුණා. දවස් පහක් තිස්සේ ඇස් ඇරගෙන ම උන්නු පැංචා ඒ වෙද්දිත් උන්නේ ඇස් ඇරගෙන. උදේ ඔළුව උස්සලා කිරි පීරිසිය ම බීපු පැංචා ඒ වෙද්දි ඔළුව උස්සලා වතුර චුට්ටක්වත් බොන්න බැරි තත්වෙකයි හිටියේ. ඒත් සුදු අම්මා සිරින්ජරයකින් එයාට වතුරත් බෙහෙතුත් පෙව්වා. ඒ වෙලාවට පැංචා සුදු අම්මා දිහා බැලුවේ පුදුමාකාර කෘතඥතා පූර්වක බැල්මකින්. 

ටිකෙන් ටික රෑ බෝ වෙද්දී එයා හුඟාක් දුර්වල වුණා. ඉන්න තැනින් නැගිටලා යන්න බැරි තරමට. අසනීපේ හැදිච්ච දවසේ ඉඳලා ම පියෙව්වේ නැති මලානික ඇස් දෙකින් එයා ගෙදර හැමෝම දිහා ආදරෙන් බලා උන්නා. මිය යන්න අඩ හෝරාවකට විතර කලින් මං එයා ගාවට ගිහින් අන්තිම වතාවට එයා එක්ක කතා කළා. එයාට තේරුණත් නොතේරුණත් මං අවුරුදු හයක් තිස්සේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ කතා කරපු දේවල්වලින් ඇතැම් දේවල් එයාට තේරුණ වගත් මං දන්නවා.

                                     *****************

ඇටමැස්සා පොතේ අන්තිමේ ආතර් කියන වචන ටික ඔබට මතක ඇති..

"එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක්මි.."

ඒ ටික තරමක් වෙනස් කරලා මං පැංචාට මෙහෙම කිව්වා..

"උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක්...!!"

Sunday, January 15, 2017

46. සීයා.. ඔබ ළඟ නැතත් ළඟ ඉන්නවා සේ ම ය..!

සීයා ගැන මට තියෙන්නෙ ඉතා ම පුංචි මතකයක් විතරයි. ඒ මහ හය්යෙන් අකුණු ගහමින් වහින දවසට මං සීයාගෙ ඇඳ ගාවට දුවගෙන යන හැටි. ඉන්පස්සෙ අමාරුවෙන් දණිපණි ගාලා සීයාගෙ ඇඳට නගින හැටි. වැස්ස මුළුමනින් ම පායලා ඉවර වෙන තුරු සීයා අවුරුදු හතරහමාරක් වෙච්ච වැහි දැරිවි ව එක අතකින් තුරුළු කරගෙන ඉන්න හැටි. 

ඒ වෙන කොට ඔහුට මිණිපිරීව වැළඳගන්න පුළුවන් වුණේ එක අතකින් විතරයි. අනෙක් අතේ පණ තිබුණේ නෑ. ඒත් තමන්ට පණ තියෙන අතින් ඔහු වැහි දැරිවි ව බදාගෙන උන්නා. හිතුණ විටෙක ඒ අතින් කවිත් ලිව්වා. 

කවුරු හරි මගෙ කෙල්ලට මොනව හරි කළොත් මං උන් ව උස්සලා පොළොවෙ ගහනවා..

ලෙඩ ඇඳේ ඉඳගෙනත් ඒ දවස්වල ඔහු වැහි දැරිවිගෙ මාපියන්ට එහෙම කියනවලු. 

දන්නවද සීයෙ.. අදටත් කවුරු හරි මගේ හිත රිද්දන කොට මට සීයා කියපු ඒ වචන මතක් වෙනවා. කාවවත් උස්සලා පොළොවෙ ගහන්න ඕන නෑ. කිව්වට ඔබ එහෙම කරන කෙනෙකුත් නෙමේ. ලෝකය ගැන මහා කරුණාවක් - ආදරයක් තිබුණු මනුස්සයෙක්. ඒත් හිත රිදෙන මොහොතකට ඔබ ළඟ උන්නා නම් එදා වගෙම මගෙ හිස අතගාමින් සනසවයි කියන හැඟුම හිතට එද්දි පුංචි කඳුළක් නැගෙන එක වළකන්නට බැහැ.

සීයා අපි ව දාලා යද්දි මට යාන්තම් අවුරුදු පහ පිරුණා විතරයි. සීයාගෙ නික්ම යාමෙන් පස්සෙ එළැඹුණු පළමු වැනි වැහි දවසෙදි වැහි දැරිවි වෙනදා පුරුද්දට එක පාරටම සීයාගෙ කාමරේට දුවගෙන ගියාලු. ඒත් සීයා නැහැ. එහෙම බලාපොරොත්තු කඩ වුණු පෙනුමක් මගේ මුහුණෙන් දැක්කෙ පළමුවෙනි වතාවට කියලයි අම්මා කියන්නෙ. ඉන්පස්සෙ එදා වැස්ස පායන තුරු මම හාන්සි පුටුවට වෙලා තාත්තාගෙ පපුවට ගුළි වෙලා උන්නලු. අම්මා කඳුළින් යුතු ව ඒ කතාව මතක් කරන හැම දවසක ම මට මේ කවි පද පෙළ මතක් වෙනවා.

නාගලකන්දෙන් එන හඬ ඇසී අහස ගුගුරන විට
දිව ගොස් මම හනික වැළඳගතිමි තාත්තා හනිකට

විමල් දිසානායකගෙ ඒ කවියෙ තියෙන්නෙ තමන්ගෙ දියණිය අකුණු ශබ්දයට බය වී තමන් ගාවට දුවගෙන එද්දි තමන් කුඩා කාලෙදි අකුණු හඬට බයේ තම පියා ගාවට දුව ගිය හැටි කථකයා සිහි කරන අන්දම. එදා සීයාගේ අහිමි වීමෙන් මට දැනුණාට වඩා වේදනාවක් තාත්තාට දැනෙන්ට ඇති කියා අද ඒ සිදුවීම සිහිපත් කරද්දී මට හිතෙනවා.

අද අකුණු ගහද්දී වැසි දැරියට බයක් දැනෙන්නේ නෑ. අකුණු විදුලි සැරවලට දැන් වැසි දැරිය ආසයි. වැහි වහිනවට ආසයි. ඒත් ජීවිතේ ඇතුළෙන් මහ අසනි වැසි ගිගුරුම් නැගෙන කොට සීයා ව සිහිපත් වෙනවා. සීයා කෙනෙක්ගේ ආදරය අවුරුදු පහෙන් එහා පැත්තේ නොලබපු කෙනෙක් විදියට මට සීයලා ඉන්න යාලුවෝ ගැන ඒ කාලෙ පුංචි ඉරිසියාවකුත් තිබුණා. සපූ නවකතාව කියවපු අය දන්නවා ඇති, ඒකෙත් ඉන්නවා හරි අපූරු සීයෙකුයි මිණිපිරියෙකුයි. ඇත්තමයි, මගේ සීයාත් මට තේරෙන වයසක් වෙනකං උන්නා නම් ඔහුත් - මාත් හරිම දඩබ්බර රයිගමයෙකුයි - ගම්පළයෙකුයි වෙනවාට කිසිම සැකයක් නැහැ.

ඔහු උන්නා නම් මේ වැහි දවස්වල අපිට කෝපි බිබී කතා කර කර ඉන්න තිබුණා. සීයාගෙන් ඡන්දස් අලංකාරයත් - වෙදකමත් ඉගෙන ගන්නට තිබුණා. ඔහු එක කවිය තුළ පස් තැනෙක එළිසමය තියා කවි ලියූ කවියෙක්. වෙදකම කෙසේ වෙතත් ඒ කවිකමෙන් අංශුමාත්‍රයක් හරි ඉගෙනගන්නට තිබුණා නම් කියා හිතෙද්දී දුකයි. 

එදා වැහි දවසෙ සීයාගෙ අඩුවෙන් රිදිලා දවස් දෙක තුනකට පස්සෙ අම්මාත් දුවත් අතර මෙහෙම සංවාදයක් ඇති වුණාලු.

අම්මා.. සීයට මොකද වුණේ?

සීයා නැති වුණා පුතේ..

එතකොට සීයා කවදාවත් ම ආයෙ එන්නෙ නැද්ද..?

අපි ගාවට එන්නෙ නෑ. වෙන කොහේ හරි ඉපදෙනවා.

ඊට පස්සෙ වෙන කොහේ හරි ඉපදිලා ආයෙත් නැති වෙනවද?

ඔව්. 

ඉතින් ඒක හරි දුකක් නේ අම්මා.. ඒ දුක නැති කරන්න විදියක් නැද්ද?

තියෙනවා. බුදුසාදු දුක නැති කරන හැටි කියලා දුන්නා. ඔයා ලොකු වුණා ම ඒ ක්‍රමය ඉගෙන ගනීවි.

වසර ගණනකට පස්සෙ දහය වසරෙදි බුද්ධාගමට දුක්ඛ නිරෝධය ඉගෙන ගනිද්දී මට ආයේ වතාවක් සීයා මතක් වුණා. 

දුක නැති කිරීමේ මාර්ගය ඉගෙනගත්තා නම් තමයි. ඒත් ඒ මග යන හැටි කියා දෙන්න ඉසිවරයෙක් බඳු සීයා ළඟ උන්නා නම්.. 

දුක නැති කිරීමේ මග වෙනුවට මේ භවයෙදිත් ලෞකික ජීවිතය ම තෝරා ගෙන කටු කොහොල් යුත් මග දිගේ ඇවිදගෙන යද්දි වැහි දැරිවිට එහෙම හිතෙනවා..

Sunday, January 1, 2017

45. දුරුතු හීතල යට හිඳ...

ජනේරුව කවුළුවෙන් ගෙට එබෙන
දොර පියන් විදා එන්නැයි කියන
තණපඳුරු මතින් පිය ඔසවමින
අලුත් සන්තෝසෙකට අත වනන

ගෙවුණු උඳුවප් සිසිල අතහැරෙන
උණුසුම්ම නවම් මහ මඟ හිඳින
තිත්ත පැණි එක් රසින් රස විඳින
හෙටක් හෙට පිපෙන්නට මග බලන

පවන් වැද හදග තුරුපත් සැලෙන
ලවන් පෙම් නුරා රසයෙන් තෙමෙන
කඳුළ ඇති තැනට සිනහව නැගෙන
හෙටක් වේවා පැතුම් පිරිසිඳෙන

වැහි වැටෙන තැනට යන - එන සියලු යහපත් හදැත්තන්ට, හැමදාමත් කියන්නා වාගේ ම ආත්ම අර්ථය සේ ම පරාර්ථයත් ඉටු කරන්නට සිත් වෙන මනෝරම්‍ය වසන්තයක් වේවා.. 

Tuesday, December 13, 2016

44. ඔව්.. මං ලලිතා වගෙ තමයි..!

කලකට පෙර ලියූ මල් පොකුරු, ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට.. කියන ලිපියේ වැහි දැරිවි, ලලිතා ගැන පොඩි සඳහනක් කළා. ඈ මගේ වීරවරියක්. ඒ ලිපියට හිතවතියක් දැමූ කමෙන්ටුවකින් අසා තිබුණා වැහි දැරිවිව ලලිතා වගේ මවා ගන්නද කියලා..

ඒ ප්‍රශ්නයට පිළිතුර, ඔව්! ඒ විදියටම මවාගන්න.. ඒක මට විසල් ගෞරවයක්..!

ලලිතා කියන්නෙ තාගෝර්ගෙ මනෝ විශ්වයේ මැවුණු සුන්දර ම පහන් තාරකාවක්. ඈ ඉන්නෙ ගෝරා පොතේ. ගෝරාගෙ සහෘද මිත්‍රයා, විනයගේ හිත දිනාගන්න අපූරු යුවතියයි, ලලිතා.

ඈ මුරණ්ඩුයි. අතිශය මුරණ්ඩුයි. විප්‍රකාර සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙන්න ඈ අසමත්. ඈ ජීවත් වෙන්නෙ නිවැරදි විදියට. ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයෙ. ඒත් ඒක මුග්ධ සම්ප්‍රදායන් අතහරින ලද ගමනක්. ඒ වගෙම යහපත් සම්ප්‍රදායන් අත් නොහරින ලද ගමනක්. 

ගෝරා පොත හරහා අපේ හිතේ මැවෙන ලලිතා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් සුන්දර කෙල්ලක්. අභ්‍යන්තරය සුන්දර කර ගැනීම කොතෙක් අපහසු කාර්යයක් වුණත් ලලිතා වගේ වෙන්න ඇත්නම් කියා හිතෙද්දී සුපිරිසිදු ආධ්‍යාත්මයක වටිනාකම වඩ වඩාත් දැනෙන්නට පටන් ගන්නවා. 

ඒ වාගේම ලලිතා, ආදරය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්නට සූදානම් යුවතියක්. විරළ ගණයේ පෙම්වතියක්. විනය ලලිතා වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම් වෙද්දී ලලිතාත් විනය වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම්. ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් නොදන්නා ප්‍රාථමික පන්තිවල උන් කාලයේදී පවා ප්‍රේමය අප්‍රමාණ කැපවීමක් ලෙස කියැවූ වැසි දැරිවි ඒ අතින් ලලිතාට බොහෝම සමානයි. ඒ වගෙම කොපමණ දුකකදිවත් කඳුළු සලන්නට අකැමැති කෙල්ලක ලෙස තාගෝර් වරෙක ලලිතා ගැන සඳහන් කරනවා. ලෝකය ඉස්සරහ එක ම කඳුළක්වත් නොහෙළා ඕනෑ ම වේදනාවක දී ඉවසා දරා හිඳ කවුරුත් නැති තැනක පමණක් වැළපෙන්නටයි වැසි දැරිවියත් කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ.

තවත් කාරණයක්.. මේ සුන්දර කෙල්ල ස්ත්‍රීත්වය පිළිබඳ ව ආසියාවේ ඇති ඇතැම් සම්ප්‍රදායික ආකල්ප බරපතළ ලෙස ඉක්මවා යන කෙනෙක්. ගෝරා පොතේ තාගෝර් එක් තැනක සඳහන් කරන, "ගෑණු උදවිය ගෙදර දොර ඉවුම් පිහුම්, පිටි කෙටීම් වගේ දේවලට සීමා කරලා පහත් තත්ත්වයෙන් බැලීමෙන් අපි අපේ මුළු රටම පහත් තත්වයට පත් කරනවා. පුරුෂයා තමයි ශක්තියේ අනාවරණය කළ අංශය. ඒ වුණත් ඒක උසස්ම තත්වය නොවෙයි. ස්ත්‍රිය ශක්තියේ අනාවරණය නොකළ අංශය." යන ස්ත්‍රිය පිළිබඳ ආලෝක ප්‍රකාශය ඒ පොත තුළදී සිය ජීවිතයෙන් ඔප්පු කොට පෙන්වන ස්ත්‍රිය වන්නේත් ලලිතායි. ලලිතා යනු අනාවරණය නොවූ ශක්තිය සමාජගත කරනු පිණිස ම ගුරුදේව් තාගෝරයන් අතින් මැවුණු කෙල්ලක් ද කියාත් විටෙක හිතෙනවා. කතා නායිකාව වන සුචරිතා ඉක්මවා ගොස් සිය හදවත ස්පර්ශ කරන්නේ ද ලලිතා වග තාත්තාත් මා සමඟ පවසා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නගනු පිණිස කලාවෙන් ද - කතාවෙන් ද - ආකල්පයෙන් ද විප්ලවයක් කරන ලලිතා ඉන්දියාවෙන් අපට හිමි වන සුවිශිෂ්ට ආදර්ශ රූපයක්. ඒත් ඉන්දියාවේ ශිවන්‍යාගේ නයි නැටුම් නරඹන ලංකාවේ ළඳුන් කොතෙක් දුරට ලලිතාව ආදර්ශයට ගනීද යන්න ගැන නම් වැහි දැරිවිට සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. 

මං ලලිතා තරම් යහපත් යුවතියක් නොවන වග හොඳින් ම දැන උන්නත් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් උඩ, මාව ලලිතා ලෙසින් මවාගැනීම මට මහා විසල් ගෞරවයක්..

විශාකා නූනත් විශාකාවගේ ශාකාවක්වත් වෙන්න යයි අප පාසලේ දැරියන්ට වරෙක හිමි නමක් පවසා තිබුනා.

ඉතින් ලලිතා ම නූනත් ලලිතා වගේවත් වෙන්නට උත්සාහ කරන මටත් ඒ හඳුන්වා දීම, ඇත්තමයි.. මහමෙරක් තරම් ඉස්තරම්..!

Thursday, November 24, 2016

43. මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

Tuesday, November 15, 2016

42. උසස්පෙළ කියන්නේ ආදරේ ගලන තැන...

උසස්පෙළ කියන්නේ
ආදරේ ගලන තැන
හදවතින් හදවතට
යාලුකම පිරෙන තැන

නෝට් පොත් අගිස්සේ
කවි කෑලි ලියන තැන
ඉසිඹු ලන මොහොතකට
හිස් වචන කියන තැන

පුටු ගොඩක් තියෙද්දිත්
බිමින් ඉඳගන්න තැන
විහඟ රෑනක් වගේ
ඔහේ කෑ ගහන තැන

ටයි පටිය අග රැඳුණ
පහන සේ දිලෙන තැන
පහනකින් තව පහන්
දහක් බබළවන තැන

ඇහිඳ අකුරින් අකුර
හෙට දවස තනන තැන
ලබා සරසවි වරම්
විදු මවුන් පුදන තැන

ළදළු යුත් බෝධියේ
සෙවණ යට වඳින තැන
වෙළා සෙනෙහසේ අත්
යාලුකම් රකින තැන

ප්‍රංඥාකුර ලෙසින්
නැණ නුවණ වඩන තැන
වීර දූවරු හදා
රට දැයට පුදන තැන

දහතුනේ අන්තිමේ
ඇස් දුකින් තෙමෙන තැන
වෙන් වෙලා යන්න පෙර
බදාගෙන අඬන තැන

Sunday, November 6, 2016

41. දෑ සමන් සුවඳ..!!

මුළු හද ම දෑ සමන් සුවඳැති
පෙම්වතෙකි නිති මහදවත වැසි..!

~~~~~~~~~~~~~~~~

දිග දුරැති සසරෙහි
එක් භවයකට හෝ
නවාතැන් දෙන්නැයි ඉල්ලූ
කොලු හදවත් ද ඇත 
මෙතුවක් පැමිණි
වැසිබරිත මග දෙපස..

ඔවුන්ගේ හිත් නේක සුවඳය..
ඇතැමුන්ගෙ හිත් බලෙන් ගැල්වූ
සුවඳ විලවුන් සුවඳ ය..
ඇන්තූරියම් සුවඳ ය..
ඕකිඩ් - සැන්ඩ්‍රියානා
මිලාධික මල් සුවඳ ය..

එහෙත් මා පෙම්වත
දෑසමන් සුවඳැති
වෛවර්ණ නැති - සුදු පෑ
සුපිරිසුදු සුවඳක් ඇති..

ඔබට - ඔබෙ දෑසමන් සුවඳට
මට මේ සංසාරයත් මදි කොට
අන් කිසිදු මල් සුවඳකට
භවයකින් ඇබිත්තක හෝ
ඉඩ තියන්නට මට නොහැකි ය..

~~~~~~~~

සුපෙම්වත!
ඔබ හද
දැන් පිපුණු
දෑසමන් සුවඳ ය..!

Wednesday, October 26, 2016

40. Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

Friday, September 30, 2016

39. සමහරක් දුරින් දුරු කළ යුතු..!

අප්‍රියයන් හා එක් වීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ තුන් කල් පිරිසිඳ බලලා බව අපි කවුරුත් දන්නවනෙ. ඒක එහෙම තමා. අපි කැමති වුණත් අකැමැති වුණත් අපිට ජීවිතේ එක එක වකවානුවලදි අප්‍රියයන් හා එක් වෙන්න වෙනවා. 

පුද්ගලික ව මට නම් අප්‍රියයන් හා එක් වීම කණගාටුදායක දෙයක් වෙන්නෙ ආශ්‍රය කරන්න ඉතා ම ප්‍රියමනාප යහපත් මිනිස්සු මේ ලෝකෙ ඇති පදම් ජීවත් වෙන වග දැනෙන කොටයි. අන්‍යයන් ගැන ඉතා ම කරුණාවෙන් පවතින, ආදරණීය මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඔවුන් වෙනුවට අයහපත් ඇත්තන් සමඟ කෙටි කලකට හෝ ගනුදෙනු කරන්න සිද්ධ වෙන එක කණගාටුවක්. 

If you want a happy life, get rid of toxic people කියලා කතන්දරයක් තියෙනවනෙ. ඉතින් ඒ අත්මිදීම - මේ ලිපියෙ මාතෘකාවෙනුත් කියැවෙන කාරණාව දෙවිදියකට කළ හැකියි. එකක් භෞතික ව එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. එහෙම මඟ හරින්න  පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒත් සමහරුන් ව එහෙම භෞතික ව අත් හරින්න අපහසුයි. කොතෙක් මඟ හරින්න හැදුවත් අහේතුක ව අපිත් එක්ක පැටලෙමින් එනවා. අපි නොදන්නවා වුණාට අපේ සංසාර බන්ධන හරි බරපතළයි. පූර්වාත්මවල අමනාපකම් මේ භවයටත් බලපානවා වෙන්න පුළුවන්. 

ඒත් ඒ සම්බන්ධයෙන් වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමා මේ භවයට මල්ල පුරවගන්නැතුව ඉන්න එක. මොකටද නිකං තව කෙනෙක් ගැන වෛරයක් නඩත්තු කරන්නෙ. රවනවට වඩා හිනා වෙන එක පහසුයි වාගෙ ම වෛර කරනවට වඩා මෛත්‍රී කරන එක ලේසියි. ඒ නිසා ඒ වගේ අය ගැන අපේ හිතේ තියෙන වෛරය මානසික ව අත් හරින එකයි කළ යුතු වන්නෙ. බාහිර පුද්ගලයෙක් ගැන ඇති වන වෛරයකින් දිග් ගැහෙන්නෙ අපේ සංසාරයමයි. ආගමික අරුත පැත්තකින් තියලා බැලුවත් එතැනින් කිළිටි වෙන්නෙ අපේ හදවතමයි. ඒ නිසා හොඳම වැඩේ තමා ඔවුන්ට ඔවුන්ගෙ පාරෙ යන්න දීලා අපි අපේ පාරෙ ගමන් කරන එක... 



අනිත් එක ඒ වාගෙ අය ගැන අපේ හිතේ තියෙන වෛරය පවා එක්තරා ආකාරෙක බැඳීමක්. කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන්නෙත් ඔහු හෝ ඇය ගැන හිතන නිසානෙ. ඔවුන් හා සම්බන්ධ අප්‍රසන්න මතක මතක් කරන නිසානෙ. ඉතින් අප්‍රියයන් ගැන වෛරයක් ඇති නොකරගෙන ඉන්න අපට පුළුවන් නම් ඔවුන් ගැන හිතන එකත් ඉබේටම නතර වෙනවා. එක පාරක් උත්සාහ කරලා බලන්න.. අප්‍රියයන්ට වෛර කිරීම නැවැත්තුවාම ඔවුන් ඔබේ ජීවිතයෙන් ඉබේටම ගිලිහිලා යනවා.

ඒක කියන තරම් පහසු නැහැ. වැසි දැරියටත් ආශ්‍රයට අප්‍රිය කෙනෙක් මුණ ගැහෙද්දි හරි අපහසුයි. තරමක් තරහත් යනවා. ඒත් ඒක අඩු කරගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. දවසක් වැසි දැරිය යමෙක් ගැන තරහ ගිහින් ඉන්න මොහොතක රීසිවරේ එහා පැත්තෙන් ඇහුණු සන්සුන් කටහඬකින් ඒ තරහා හොඳටම නිවිලා ගියා. 

මට නම් තරහකාරයන්ව ඈත් කරන්න කොයි තරම් වුවමනාද කිව්වොත් මං එයාලා එක්ක තරහින් ඉන්න එක අතෑරලා දානවා.. ඔයත් එහෙම කරන්නකො... 

කොයි තරම් අපහසු වුණත් එහෙම කරන්න පුළුවන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. ගල් දෙකක් වුණත් එකිනෙක ගැටීමෙන් උපදින්නෙ ගින්දර ම පමණයි. ඒත් කා එක්කවත් ගැටෙන්නේ නැතුව ජීවිතයට තමා මත්තෙන් ගලා යන්න ඉඩ දුන්නාම නිවිහැනේ හුස්ම ගන්න පුළුවන්. යහපත් මානව සම්බන්ධතා ගොඩ නැගෙන කොට අයහපත් මානව සම්බන්ධතාවල නිස්සාරත්වය අපට ම වැටහෙන්න පටන් ගන්නවා.

අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ.

Tuesday, September 27, 2016

38. රැය පහන් වෙලා යයි - නොවී නිදි දැහැන්..


කාලෙන් කාලට වැසි දැරියගෙ නිදි කාලසටහන වෙනස් වෙනවා. පුංචි ම කාලෙ මං නිදාගන්න පුරුදු වෙලා උන්නෙ උදේ හතට. ඒ අම්මා වෙලාව බලන්න උගන්නපු එකේ භයානක අතුරුඵලයක්.හරියට ම හත වෙන කොට ඇඳට පනින්න බලාගෙන ඉන්න මට නිදියන්න කලින් කවලා පොවලා මූණ සෝදවන්න ඒ කාලෙ අම්මලා පුදුම යුද්ධයක් කරලා තියෙන්නෙ. දැන් නම් එ්වා මතක් කර කර හිනා වෙනවා කට්ටියත් එක්ක.

උසස් පෙළ කරපු කාලෙ නම් මං රෑට වඩා නිදාගෙන ඇත්තෙ පාසල් බස් රියේ එන ගමන්. ඒ පූරුවෙ කරපු පවක් පල දීලා මුණ ගැහුණ කළ්‍යාණ මිත්‍රතුමීගෙ උරිස්සට ඔළුව තියාගෙන. ගමන් සගයාත් නින්ද යන කෙනෙක් නම් ඒක මහ භයානක වැඩක් තමා. ඒත් අපරාදෙ කියන්න බෑ මගෙ මිත්‍රතුමී රෑටවත් නින්ද නොයන ජාතියෙ එකෙක්. ඒ නිසා පන්තියෙ විභාගයක් නොතිබුණ හැම දවසකම මං බස් එකේදි හොඳට නිදා ගත්තා.

අනිත් එක තමා විවේක කාලච්ඡේදවල නිදාගැනීම.. මම කරපු විෂයන්වල නොගැළපීමක් තිබුණ නිසා සතියකට දවස් දෙකක්වත් මට හිස් කාලච්ඡේද දෙකක් අහුවෙනවාම තමයි. ඉතින් ඔය වෙලාවට මං කරන්නෙ පන්තිය පිටිපස්සෙම ෆෑන් එකක් හයි කරලා තියෙන තැනක පුටුවකට ගිහින් කාගෙ හරි බෑග් එකක් බදාගෙන සැපට නිදාගන්න එක. ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න විෂයන් උගන්වන්න ගොඩක් වෙලාවට අපේ පන්තිය තෝරා ගැනුනත් උසස්පෙළ ළමයින්ගෙ අවාසනාවන්ත ජීවන චක්කරේ ගැන දැන උන්නු ගුරුවරු වාසනාවකට වගේ ජීවිතේ කවදාවත් නිදාගෙන නෑ වගේ නිදාගන්න අපිට බාධාවක් කළේ නෑ. 

ඉස්සර එක විෂයක් ඉගෙන ගන්න ගියාම මට නින්ද යන තත්ත්වයක් තිබුණා. අපරාදෙ කියන්න බෑ හීනත් පෙනි පෙනි නින්ද යනවා. ඔන්න ඔය හේතුව නිසා ඒ පන්තියෙ හිටපු මගෙ හොඳ ම යාලුවො දෙන්නා ගාව නිතර ම තිබුණා තදින් උල් කරන ලද පැන්සල්.. දිග පැන්සල්.. ඒ නිසා උන් කොතැන වාඩි වෙලා හිටියත් මට නින්ද යාගෙන එනවා පේන කොටම කොහේ හරි ඉඳලා මට අනින්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම මං ගාවත් තිබුණා ඊටත් වඩා උල් කරන ලද පැන්සලක්. මොකද මට අනින්න ඉන්න උන් දෙන්නට හුඟක් වෙලාවට මටත් වඩා තදට නින්ද යන නිසා. ස්ලීපින් බියුටීස් කියා විරුදාවලියක් හිමි වුණත් අපි නෙමේ අපේ නින්ද අතෑරගත්තෙ. ඒක ඇත්තටම පාඩමේ ප්‍රශ්නයක් නිසා වුණ දෙයක් නෙමෙයි. පාඩම කොතෙක් රසවත් ව ඉගැන්වුවත් අපිට හැමදාම ඒ කාලච්ඡේද දෙක තිබුණේ විවේකයන් පස්සේ. ඔය වෙලාවට හිටගෙනත් නින්ද යන එකේ හොඳට හුළං හමන පන්ති කාමරේක ජනේලයක් ගාව වාඩි වෙලා ඉන්න අපිට නින්ද යන එක අරුමයක්යැ ඉතින්..

අනිත් එක ප්‍රධාන ම හේතුව තමා මං ඒ දවස්වල පාඩම් කළේ රෑ දෙගොඩහරි ජාමෙ. ඉතින් උදේට උදේට නිදිමත හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ පාඩම් කරපුවට හරියන්නත් එක්ක අපි සියලු දෙනා ම සරසවි වරම් ලැබුවා. ඒත් ඒ දවස්වල පටන් ගත්ත නිදිවරන පුරුද්ද මේ වෙද්දිත් අපේ යාලුවන්ගෙන් ගොඩක් දෙනෙකුට අත හැරගන්න අමාරුයි.. කම්මැලි පොතක් හරි චිත්‍රපටියක් හරි හොයාගත්තොත් නම් ඉක්මණට නිදාගන්න පුළුවන්. ඒත් පොතක් අතට ගත්තම බිම තියන්න හිත හදාගන්න බැරි අපි පොත නොකියවා නිදාගනී කියල තමා බය..))

ඉතින් නිදි වරන එක නරක පුරුද්දක් වග දැන දැනත් මං සමහර දවසට මහ රැයක් වෙන තුරු ඇහැරිලා ඉන්නවා. හදවත අවදියෙන් තියෙද්දි නිදාගන්න කොහොමටත් බැහැ. අනෙක් අතට හුඟක් තරු සහිත දවස්වලට නින්ද ගියෙ නැතත් ප්‍රශ්නයක් නැහැ..

දිගු ම දිග රාත්‍රිය හෙමින් පියවර මනිත
මලක් වී නෙත් අරින ඒ ප්‍රභාතය ඔබය..

රාත්‍රිය ගැන ලියැවුණ අපූරු ම ගීයක ඒ වදන් පෙළ ඉයර්ෆෝන් ඇතුළෙන් ඇහෙද්දි එහෙම දවසට මං නිදි නොලබා රෑ කළුවර දිහා බලන් ඉන්නවා.. මහ රෑ දෙකහමාරට ජනේලෙ ඇරන් තරු දිහා බලා ඉන්න මේ කෙල්ලට පිස්සුද කියලා හිතන්න අසල්වාසීන් ඇහැරිලා නැති එකත් ලොකු දෙයක්.. ගෙදර කවුරු හරි අහම්බෙන් ඇහැරිලා මාව බලෙන් නින්දට යවන තුරු ඇතැම් දවසට මං කවි පදයක් - කතා පොඩ්ඩක් කුරුටු ගානවා. නිදි වරන එක වැරදි වග නොදන්නවා නොවෙයි. නිදිවැරීම විවිධ ආකාර ගණනාවකින් සෞඛ්‍යයට නරක විදියට බලපාන හැටි ගැන බොහෝ තැන්වලදි කියවලා තිබුණත් ඒක එක පාරට නැති කරගන්න අපහසු පුරුද්දක්.. තවම ටිකෙන් ටික උත්සාහ කරමිනුයි ඉන්නෙ..

මෙවැනි නිදිවර්ජිත රාත්‍රීන්වලදී ඉබේටම මතක් වෙන ගී පද කිහිපයක් තියෙනවා.. 

"ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදි වෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසූ මිහිරි කවී.."

"ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්.."

"නිම් වළල්ලෙන් එපිට සඳරැස් 
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ.."

තරු එළිය ගෙට එන එක නවත්තන්න ජනේලෙ වහන අතරෙ ඒ චවන හෙමිහිට මගේ දුරකථන මුහුණ මත සටහන් වෙනවා..